සත්ව ඝාතනය හා මාංශ අනුභවය
ඉස්ලාමය ඉතාමත්ම කාරුනිකවූ දහමක් බව පැවසුවා. එසේ තිබියදී ආහාරය සඳහා සතුන් මරන්නට කටයුතු කරන්නේ ඇයි? ඔබගේ සතුට වෙනුවෙන් සතුන් මැරීම සාධාරණද?
සත්ව ඝාතනය හා මාංශ අනුභවය
මාංශ අනුභවය හා සතුන් කැපීම පිළිබඳ මාතෘකාව සාකච්ඡා කිරීමේදී නිරායාසයෙන්ම බහුතරයකගේ ඇඟිල්ල දිගු වන්නේ ඉස්ලාමයට හා මුස්ලිම්වරුන් වෙතට බව අමුතුවෙන් කිව යුතු නොවන්නකි. මෙම තත්වය උදාවී ඇත්තේ සත්‍යය වශයෙන්ම අනවබෝධය නිසා බව ද පැහැදිලි කරුණකි. මෙම හේතුන් නිසාම මෙම මාතෘකාව විවිධ පැතිකඩ ඔස්සේ සලකා බැලිය යුතුව ඇත. පහතින් ඉදිරිපත් කරන්නට වෑයම් කර ඇත්තේ මේ පිළිබඳ විග්‍රහයකි. කරුණාකර විචාරශීලීව හා බුද්ධිමත් අයුරින් මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. සතුන් කැපීම තහනම් කිරීමට විවිධ ක්‍ෂේත්‍රයන්ගෙන් යෝජනා මතුවෙමින් පවතින නිසා පළමුව ඒ පිළිබඳව සලකා බලමු.
1.මාංශ අනුභවය ඉස්ලාමයේ අනිවාර්ය කරුණක් නොවන හෙයින් සමස්තයක් වශයෙන් සත්ව ඝාතනය හෝ ගව ඝාතනය පමණක් හෝ තහනම් කිරීම පිළිබඳව ප්‍රතිපත්තිමය විරුද්ධතාවක් ඉස්ලාමිකයින්ට නොමැත. නමුත් එහි අතුරු ප්‍රතිඵල කෙරෙහි අවධානය යොමු කරන්නේ නම් මෙහි අදූරදර්ශීභාවය අවබෝධ කරගැනීමට හැකිවේ යැයි සිතන්නෙමු.
2.පශු ආර්ථිකය රැඳී ඇත්තේ කිරි හා මාංශ මතය. මහා පරිමාන ගොවිපොළවල් ලංකාවේ ඇත්තේ කිහිපයක් පමණකි. වැඩි පුරම කිරි නිෂ්පාදනය සිදු කරන්නේ කුඩා සත්ව ගොවිපොළවල් පවත්වා ගෙන යන්නන්ය. කිරි නිෂ්පාදනය, ප්‍රජනනය හා බැඳුනු ක්‍රියාවලියකි. මෙහිදී කරුණු දෙකක් කෙරෙහි අවධානය යොමුකළ යුතුව ඇත. සුළු හෝ මහා පරිමාන ගොවිපොළවල්වල බිහිවන පිරිමි සතුන් නඩත්තු කිරීම සඳහා අමතර වියදමක් ගොවිපොළ හිමියන්ට සිදුවන්නේය. මෙම පිරිමි සතුන් පිරිවැයක් දරා නඩත්තු කොට කිරි ගොවියා ලබන ආදායම කුමක්ද? මෙසේ නඩත්තු කටයුතු කිරීමට කිරි වලින් පමණක් ලැබෙන ආදායම ප්‍රමාණවත් වේද? කරත්ත ප්‍රවාහනය හා එල හරක් කුඹුරු ගොවිතැනට යොදා ගැනීමක් මෙරටේ දැනට තිබේද? මී හරක් පවා ක්‍රමයෙන් කුඹුරු ගොවිතැනින් ඉවත් වී යාන්ත්‍රීකරණයකට අප මුහුණපා ඇති යුගයක පිරිමි එල හරකුන් සම්බන්ධව ඇති ආර්ථික උපයෝගීතාව කුමක්ද? ‘පින් ගොනා’ යනුවෙන් නම් තබා මෙම පිරිමි සතුන් ලිහා හැර තම වගකීමෙන් කිරි ගොවියා මිදෙන්නට කටයුතු කළහොත් මෙයින් සිදුවන අනර්ථකාරී ප්‍රතිඵල කෙරෙහි අප අවධානය යොමු කොට ඇත්ද? පිරිමි සතුන් පමණක් නොව වයස් ගත වීමෙන් ගැහැනු සතුන්ද ප්‍රජනන ක්‍රියාවලියෙන් ඉවත් වන තත්වයක් උදාවන හෙයින් මෙම සතුන් ආදායමින් තොරව පිරිවැයක් දරා නඩත්තු කිරීමට කිරි ගොවියාට සිදුවේ. මෙය කිරි ගොවියාගේ වර්තමාන ආදායම් තත්වය තුළ කළ හැකි ක්‍රියාවලියක් ද? තීන්දු ගැනීම හුදු උද්වේගය මත පමණක් පදනම් වන විට ඇතිවිය හැකි අනර්ථකාරී විපාකයන් මෙම කරුණු වලින් හෙළිදරව් නොවන්නේද? කිරි ගොවියා ආර්ථික බංකොලොත්භාවයට තල්ලු කිරීමක් මෙයින් සිදු නොවන්නේද? කිරි පිටි ආනයනය කොට ඩොලර් බිලියන ගණනක් වාර්ෂිකව විදේශ කිරි ගොවියාට ගෙවන තත්වයෙන් මිදී දේශීය කිරි ගොවියා ශක්තිමත් කොට කිරි වලින් රට ස්වයංපෝෂිත කිරීමට දරන උත්සාහය ලත් තැනම ලොප් කොට දේශීය කිරි ගොවියා විනාශ කර දමන්නට මෙයට වඩා සුදුසු යෝජනාවක් ඇත්දැයි නොසිතිය හැකි තරම්ය.
3.තිස් වසරක බෙදුම්වාදී ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසු විදේශ සංචාරකයින්ගේ පැමිණීම වැඩි වී එහි යහ ප්‍රතිඵල නෙළමින් සිටින අවධියකයි අප සිටින්නේ. සංචාරක කර්මාන්තය මෙලෙස දියුණු වන තත්වයක විදේශ විනිමය ඉපැයීම, නව රැකියා අවස්ථා බිහිවීම හා විදේශ ආයෝජනය මෙම ක්ෂේත්‍රයේ වැඩිපුර සිදුවීම දැනට සිදුවෙමින් පවතී. මෙම විදේශ සංචාරකයින්ට තරු පහේ හෝටල් වලින් දිය හැක්කේ නිර්මාංශ ආහාර පමණක් යන ප්‍රවෘත්තිය ජාත්‍යන්තරව ප්‍රචාරය වුවහොත් සංචාරක කර්මාන්තයට සිදුවිය හැක්කේ කුමක්ද? විදේශ සංචාරකයින්ගේ ජනප්‍රියතම භෝජනය Beef Steak නොහොත් තෙම්පරාදු කළ ගව මස් පෙත්ත බව නොදන්නෙක් නැති තරම්ය. ඔවුන්ට පමණක් දේශීය වශයෙන් හෝ ආනයනය කළ ගව මස් සපයන්නේ නම්, එය ගව මස් අනුභවය කැමති වූ දේශීය ජනයාගේ මුලික අයිතිවාසිකමක් උල්ලංඝනය කිරීමක් බවට පත් නොවන්නේද? ශ්‍රෙෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් මේ සම්බන්ධව ඉදිරිපත් වුවහොත් ඇති විය හැකි තත්වය කුමක්ද? ගව මස් ආනයනය කළවිට අප නැවත වරක් දේශීය කිරි ගොවියාට ආර්ථික ප්‍රහාරයක් එල්ල කොට විදේශීය කිරි ගොවියා නගා සිටුවීමට කටයුතු නොකරන්නේද?
4. වෙළඳ පොළේ භාණ්ඩ මිල රැඳී ඇත්තේ සැපයුම හා ඉල්ලුම මතය. එක් ආහාර වර්ගයක් වෙළඳ පොළෙන් ඉවත් කළ විට අනෙකුත් ආහාර වර්ග වල පාරිභෝජනය වැඩිවී මිල ඉහළ යාමක් අනිවාර්යයෙන්ම සිදුවන්නක්. මෙම මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා ක්‍ෂණිකව අනෙකුත් භාණ්ඩ සැපයුම වැඩි කිරීමේ ක්‍රමවේදයක් වහාම සිදුකළ හැකි වන්නේද?
5.සත්ව තෙල් විවිධ කර්මාන්තයන්ට උපයෝගී කර ගැනීමක් සිදු වේ. මෙම තීන්දුවෙන් දේශීය සත්ව තෙල් සැපයුමට සිදුවන්නේ කුමක්ද? සත්ව තෙල් සැපයීමේ කටයුත්තේ යෙදී සිටින්නන් ගේ රැකියා අවස්ථා ගිලිහී යාම පිළිබඳව ඉදිරිපත් කරනු ලබන විකල්ප විසඳුම කුමක්ද? ආනයනික සත්ව තෙල් සඳහා බොහෝ විට අධික මිලක් ගෙවීමට සිදුවන තත්වය තුළ මෙම කර්මාන්තයන්හි නිෂ්පාදන මිල අධික වී පාරිභෝගිකයාට එම භාණ්ඩ සඳහා අධික මිලක් ගෙවීමට සිදුවීම නොවේද? ප්ලාස්ටික් හා කෘතීම දෑ උපයෝගී කරගෙන සාදන්නාවූ පාවහන් බහුතරයකගේ සෞඛ්‍යයට හිතකර නොවන බව අප සැම දන්නා කරුණකි. දේශීය පාවහන් කර්මාන්තයද එතරම් දියුණු තත්වයේ දැනට නොමැත. ආනයනික පාවහන් සඳහා විශාල විදේශ විනිමයක් වැය කරන්නට සිදු වී තිබේ. මෙම තීරණයෙන් සත්ව සමින් නිෂ්පාදිත පාවහන් කර්මාන්තයට පමණක් නොව අනෙකුත් සම් භාණ්ඩ කර්මාන්තයටද ඉතා විශාල හානියක් සිදු වීමට ඇති ඉඩකඩ ඉමහත්ය. මෙම කර්මාන්තයන්ටද සත්ව සම් ආනයනය කළහොත් නියත වශයෙන්ම ඒ සඳහා අධික මිලක් ගෙවීමට සිදු වනු ඇත. මෙම ආනයනික සත්ව සම් උපයෝගී කර ගෙන සිදුකරන්නාවූ භාණ්ඩයන්ගේ මිල වැඩිවීමක් මෙමගින් සිදුවීමට නියත වශයෙන්ම ඉඩකඩ ඇත. මෙම සියලු ක්‍රියාවන්ගෙන් සිදු වන්නේ දේශීය කිරි ගොවියාගේ ආදායම් තත්වය පහත හෙළා ඔහුගේ පැවැත්මට තර්ජනයක් ඇති කොට විදේශීය කිරි ගොවියා නගා සිටුවීම නොවේද?
6.අප ජීවත් වන්නේ බහු වාර්ගික හා බහු සංස්කෘතික සමාජයකයි. මෙම සමාජ ස්තරයන්ට ආවේනික වූ චර්යාවන් හා ක්‍රියාකාරකම් ඇත. උදාහරණයක් ලෙස ගත් විට ඌරු මස් අනුභවය ඉස්ලාමිකයින්ට තහනම්ය. ශුද්ධවූ බයිබලය අනුව කිතුනුවන්ට ද එම මාංශ අනුභවය ඉස්ලාමිකයින්ට වඩා තද බල ලෙස තහනම් කොට ඇත.
උදාහරණ:
“ඌරාගේ කුරය බෙදී වෙන ව තිබෙන නමුත් ඌ වමාරා නොකයි. ඌ අපවිත්‍ර ලෙස සැලකිය යුතුය. ඉහත දැක් වූ සතුන්ගේ මස් නොකෑ යුතුය.උන්ගේ මළකුණු ස්පර්ශ නොකළ යුතුය. උන් අපවිත්‍ර ලෙස සැලකිය යුතුය” (ශුද්ධ බයිබලය - ලෙවී ව්‍යස්ථාව 11:7-8)
“ඌරා කුරය බෙදී ඇති සතෙකු නමුත් ඌ වමාරා නොකන බැවින් අපවිත්‍ර සතෙකු මෙන් සැලකිය යුතුය. උන්ගේ මස් නොකෑ යුතු අතර උන්ගේ මලකුණුද ස්පර්ශ නොකළ යුතුය” (ශුද්ධ බයිබලය - ද්විතීය නීති සංග්‍රහය 14:8)
කරුණු මෙලෙස වුවද, කිතුනුවන්ගෙන් බහුතරයක් හා බෞද්ධයින්ගෙන් සුළුතරයක් ඌරු මස් අනුභව කරන්නන්ව සිටිත්. බහු සංස්කෘතික සමාජයක ඉස්ලාමිකයින්ගේ චර්යාවට මෙය පටහැනි බව පවසා ඌරු මස් අනුභවය තහනම් කරන ලෙස ඉල්ලීමට සදාචාරාත්මක අයිතියක් ඉස්ලාමිකයින්ට තිබේද? බහු ජනවාර්ගික හා බහු සංස්කෘතික සමාජයක එක් එක් සමාජ ස්තරයන්ගේ චර්යාවන් හා පිළිවෙත් අනිකා කෙරෙහි නීතියෙන් හෝ බලයෙන් පැටවීමට සදාචාරාත්මක අයිතියක් කිසිවෙකුට තිබේද? සුළුතරයක ගේ අදහස් මුළු රටටම බල පවත්වන්නට කළ ක්‍රියාව සුළුතරයකගේ ත්‍රස්තවාදය ලෙස හඳුන්වා එහි අනිසි විපාක දසක තුනක් අපි අත් වින්දෙමු. දැනට සිදුවෙමින් පවතින තත්වය තුල මෙයට පෙර වැකියට සුළුතරය වෙනුවට බහුතරය ආදේශ කළ විට එන අරුත වෙත අප යොමුවෙනවා නොවේද? පරිසරයට හෝ අසල්වැසියන්ට කිසිම හානියක්, බාධාවක් හෝ පෙළීමක් නොමැතිව අවුරුදු ගණනක් තිස්සේ සලාතය ඉටු කළ තැන්වලට පෙළපාළියෙන් පැමිණ “මෙතැන නැමදුම් නොකළ යුතු යැ”යි තර්ජනාත්මකව පවසන විට අප පත් වන්නේ කෙනම් තත්වයකටද? වර්ධනය වෙමින් පවතින මෙම අහිතකර සංස්කෘතිය වෙනස් කිරීමට කටයුතු කිරීම අප සැමගේ වගකීමක් නොවන්නේද?
7.බිලි පුජාව සැබැවින්ම සත්ව හිංසනයකි. එය පිළිකුල් කළ යුතු ක්‍රියාවක් බව නොරහසකි. එනමුත් මෙය ආරම්භ වුයේ හලාවත මුන්නේෂ්වරම් කෝවිලෙන් නොවන බව අප සැවොම දන්නා කරුණකි. බුදු දහම බිහි වූ යුගයේ භාරත දේශයේ පැවතියේ බහු ආගමික හා බහු ජනවාර්ගික සමාජයකි. විවිධ ආගමික ඇදහිලි හා විශ්වාස එහි විය. ඒ අවස්ථාව වන විට භාරත දේශයේ මහා පරිමාණ ලෙස ව්‍යාප්තවී තිබුණේ බ්‍රාහ්මණ දහමයි. ඒ අතර විවිධ ආගමික දෘෂ්ටි ගරු කළ ශ්‍රමණ කණ්ඩායම්, ආජීවකයන්, පරිබ්‍රාජකයන්, ජටිලයන්, සහ වෙනත් තාපස යෝගී නිකායයන් එහි ක්‍රියාත්මක විය. මේ අතර ෂඩ් ශාස්තෘ දර්ශනයන්ද විය. මේ හැම ආගමික සාම්ප්‍රදායක්ම විවිධ මතිමතාන්තර ඉදිරිපත් කළහ. මොවුන් ඉදිරිපත් කළ දෘෂ්ටි අතර බ්‍රාහ්මණ වාදය, ඊශ්වර නිර්මාණ වාදය, දේව වාදය, අධිච්ච සමුත්පත්ත වාදය, අහේතු අප්‍රත්‍ය වාදය, නියතිසංගතික වාදය, අකිරිය වාදය, සංසාර සුද්ධික වාදය, ශාස්වත වාදය, උච්ඡේද වාදය, දිට්ඨධර්මනිර්මාණ වාදය, මේ ආදී මත වාදයෝ එහි ප්‍රචලිතව තිබිණ. දීඝ නිකායේ බ්‍රහ්මජාල සුත්තයෙහි සඳහන් වන පරිදි බුද්ධ කාලීන භාරත දේශයේ දෘෂ්ටි දෙසැටක් ව්‍යාප්ත වී පැවත ඇත. බුදුන් වහන්සේ අන්‍යාගමික පැවිද්දන් හා ඔවුන්ගේ ඉගැන්වීම් හෙළා දැකීමට ඉදිරිපත් වූ බවක් පිළිබඳව කිසිම සඳහනක් පිටකයන්හි නොමැත. බුදුන් දවස බ්‍රාහ්මණ දහම අනුගමනය කළවුන් අතර අද මෙන්ම බිලි පුජා පැවති බවට පිටකාගත සාක්ෂි බොහෝමයක් දකින්නට ඇත. යාග හෝම සම්බන්ධයෙන් කරන්නා වූ මෙම ක්‍රියාව අර්ථ විරහිත කෘර හිංසාකාරී ක්‍රියාවක් බව පවසමින් බුදුන් වහන්සේ දේශනා කළා මිස එය නැවැත්වීමට රාජ්‍ය බලය යෙදවීම, හර්තාල් පැවැත්වීම වැනි ක්‍රියා උන්වහන්සේ හෝ උන්වහන්සේගේ ශ්‍රාවකයන් විසින් නොකරන ලදී. එම පිළිකුල් සහගත ක්‍රියාවන් සම්බන්ධයෙන් වුවද බුදුන් වහන්සේ ක්‍රියා කළ ආකාරය ප්‍රශංසනීයය, ප්‍රජාතන්ත්‍රවාදීය, තවද, කරුණාව මෛත්‍රිය පදනම් කරගත් ශ්‍රේෂ්ඨ නායකයෙකුගේ බුද්ධිමය ප්‍රතිචාරය මෙය යැයි ලොවට ඔප්පු කරන්නාවූ හැසිරීමකි එය.
8.ශ්‍රී ලංකාව තුළ රජයෙන් අවසර පත් ලද ගවයින් කපන ස්ථාන 300 ක් ඇත. මෙම අවසර පත් ලබා දෙන්නේ එම ප්‍රදේශය අයත් පළාත් පාලන ආයතනය මගිනි. මේ සඳහා විශාල මුදලක් ටෙන්ඩර් කැඳවීම තුළින් වැඩිම ටෙන්ඩරය ලබා ගන්නා ගෙන් එම පළාත් පාලන ආයතනය අය කර ගනී. ගවයින් කැපීම නතර කිරීමට යමෙකුට අවංක අවශ්‍ය තාවයක් ඇත්නම් කළ යුත්තේ තම ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයට මෙම අවසර පත් ලබා නෙදෙන ලෙස ඉල්ලා සිටීමය. මෙය අතහැර මුස්ලිම් හා කිතුනුවන් ඉලක්ක කරගෙන උද්ඝෝෂණ පැවැත්වීම සැබැවින්ම හාස්‍ය ජනක කරුණකි. හේන මුවන් කද්දී ගෙදර ඇති මුව හමට තඩි බෑමක් ලෙස මෙය සඳහන් කළ හැක. මෙම ගවයින් කපන අවසර පත් ලද ස්ථාන 300 මගින් දිනකට ගවයින් 4500 පමණ කපන බව සංඛ්‍යා ලේඛන අනුව දැන ගත හැක. මේ පිළිබඳව පශු සම්පත් අමාත්‍යංශය මගින් වැඩි දුර තොරතුරු ලබා ගත හැක. පෝය දින 12 අතහැර වර්ෂයකට සාමාන්‍ය වශයෙන් දින 350 කදී බලපත්‍ර ලබා ඇති ස්ථාන මගින් පමණක් කපන ගවයින් සංඛ්‍යාව පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු.
4500 X 350 = 1,575,000
මෙය වර්ෂයක් තුළ බලපත්‍ර සහිතව කපන සංඛ්‍යාවය. බලපත්‍ර නොමැතිවද නීතියට පටහැනිව ගවයින් කැපීම අප සැම දන්නා ප්‍රසිද්ධ රහසකි. මෙයට අමතරව දැනට ජීවතුන් අතර ඉන්නා ගව ගහනයත් සැළකිල්ලට ගත් විට ගවයින් කැපීම නතර කළ හොත් වර්ෂ දහයක් ඇතුළත ජන ගහනයට වඩා ගව ගහනය වැඩි විය හැකි බව බුද්ධිය ඇති සැමට ඉතාම සරලව වටහා ගත හැකි සත්‍යයකි. මෙයින් සිදුවිය හැකි පාරිසරික අසමතුලිතතාවය ඉතාම භයානක ප්‍රතිඵල ගෙනදිය හැක්කක් බව ඕනෑම අයෙකුට පැහැදිළි වන කරුණකි. මාංශ අනුභවය විශ්වයේ නිර්මාතෘ විසින් මිනිසාට අනුමත කර ඇත්තේ එහි ඇති යතාර්ථය පදනම් කරගෙන බව මෙයින් පැහැදිළි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු. උද්වේගය හෝ තවත් ආගමික-වාර්ගික කොටසක් කෙරෙහි ඇති වෛරය පදනම් කරගෙන අර්ථ ශුන්‍ය උද්ඝෝෂණ යන්හි නිරත නොවී ලෝක යථාර්ථය අවබෝධ කරගෙන ජීවත් වන්නට අදිටන් කර ගනිමුයි කාරුණිකව ඉල්ලා සිටින්නට කැමැත්තෙමු.
මාංශ අනුභවය පිළිබඳ ඉස්ලාමීය ඉගැන්වීම්
මිනිසා මිහිතලයේ පාලකයා හා භාරකරුය
මිනිසා මිහිතලයේ භාරකාරයෙකු ලෙස හා පාලකයෙකු ලෙස ක්‍රියා කරන බව අප අවට සිදුවන දෑ නිරීක්ෂණය කිරීමෙන් පමණක්ම නිගමනය කළහැකි සත්‍යයක් බවට පත්ව ඇත. අන් කිසිම ජීවියෙකුට මෙම සුවිශේෂී හැකියාව ඇති බව දකින්නට නොමැත. මිනිසා අන් සියලු ජීවීන්, පරිසරය, හා එහි අඩංගු දෑ පාලනය කරන, වෙනස් කරන, හා පරිහරණය කරන අයෙකු ලෙස දැක්වීම ඉතාමත්ම නිවැරදි මතයක් යැයි අපි සිතන්නෙමු. උදාහරණයක් ගෙන සාකච්ඡා කළහොත් මෙය වඩාත් පැහැදිලි වනු ඇතැයි අපගේ අදහසයි. සත්ව වර්ගයාගෙන් 500 ක් හා මිනිසුන්ගෙන් 500 ක් තෝරා ගෙන මෙයට පෙර ජනාවාස නොවූ ප්‍රදේශ දෙකක වෙන් වශයෙන් පදිංචි කොට ඉන් අවුරුදු 5 ක් හෝ 10 ක් වැනි කාලසීමාවකට පසු එම ප්‍රදේශ දෙක නිරීක්ෂණය කිරීමට ගියහොත් දැකිය හැකි තත්වය ගැන ඔබට සිතා බැලිය හැකි වන්නේද? සතුන් ගෙනගොස් හැර දැමු ප්‍රදේශයේ දැනෙන ආකාරයේ කිසිම වෙනසක් දැකිය නොහැකි වනු ඇතැයි අමුතුවෙන් කිව යුතු වන්නේ නැත. තම ජීවිතය ගෙන යෑමට පමණක් අවශ්‍ය වන ප්‍රමාණයේ අවම පරිහරණයකින් යුක්තව පරිසරය උපයෝගී කරගෙන තිබෙන ආකාරය අපට දකින්නට හැකිවනු ඇත. සතුන්ගේ හැකියාව හා පරිසරය පිළිබඳව කටයුතු කළ හැකි ප්‍රමාණයේ සීමාව එයයි. නමුත් මිනිසුන් පදිංචි කල ප්‍රදේශය නිරීක්ෂණය කරන්නට පෙරම ඔබගේ මනස තුළ මතුවන්නේ කුමන ආකාරයේ චිත්ත රූපද? සැබැවින්ම ආරම්භයේ එම ප්‍රදේශය දුටුවෙකු මවිතයට පත් කළ හැකි අයුරින් හා මිනිසුන් පදිංචි කළේ මෙම ප්‍රදේශයේද කියා සිතෙන තරමට අදහාගත නොහැකි අයුරින් එම ප්‍රදේශය සහමුලින්ම වෙනස් කොට ඇති ආකාරය නියත වශයෙන්ම ඔබට දැකිය හැකි වනු ඇත. මෙයින් පැහැදිලි වන්නේ සත්ව වර්ගයා තම පැවැත්ම සඳහා පමණක් මිහිතලය හා එහි පරිසරය සීමිත අයුරින් ප්‍රයෝජනයට ගන්නා අතර මිනිසාගේ තත්වය මෙයට හාත්පසින්ම වෙනස් වූ එකක් බවය. මිහිතලය හා එහි අඩංගු සියලු දෑ මිනිසාගේ ප්‍රයෝජනය සඳහා නිර්මාණය කර ඇති බවද එහි පාලකයා හා භාරකාරයා ලෙසද ඔහු ක්‍රියා කරන බවද මෙයින් ඉතා පැහැදිලිව පෙනෙන්නට ඇති සත්‍යයකි. මෙම සුවිශේෂී හැකියාව මිනිසාට නොලැබී තිබුණා නම් මිහිතලය මත සිදු වී හා සිදුවෙමින් පවතින අදහාගත නොහැකි වෙනස් වීම් දකින්නට අපට අවස්ථාව නොලැබී යන්නට ඉඩ තිබුණි. අල් කුරානය මෙම අදහස ඉතා අලංකාර ලෙස පැහැදිලි කර තිබෙන අයුරු බලමු.
“ඔහුමය (අල්ලාමය) ඔබව මිහිතලය මත (පරපුරෙන් පරපුරට) උරුමක්කාරයින් බවට පත්කෙරුවේ.” (35:39)
මෙයින් පැහැදිලි වන්නේ පරිසරය හා එහි අඩංගු සියලු දෑ මිනිසාගේ ප්‍රයෝජනය සඳහා උපයෝගී කරගැනීමට හැකියාව හා අයිතිය ඔහුට ලැබී තිබෙන බවය.
ඉස්ලාමය හා සත්ව කරුණාව
නමුත් මෙම අයිතිය හා නිදහස පිළිබඳව වැරදි මතයක් සිත්හි දරාගෙන පරිසර විනාශයකට තුඩු දෙන කිසිම ආකාරයේ කිසිම ක්‍රියාවකට ඉස්ලාමය අනුමැතිය දී නොමැති බව අවධාරණයෙන් පැවසිය යුතුව ඇත.
මුහම්මද් නබිතුමාණන් (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ ආශිර්වාදය හා සාමය අත්වේව) පැවසු බව බුහාරි හදීස් ග්‍රන්ථයෙන් උපුටා මිෂ්කාත් අල් මසාබිහ් ග්‍රන්ථයෙහි (3:1392) දක්වා ඇති පරිදි:
“සියලු සත්වයින් දෙවිඳුන්ගේ නිර්මාණයන්ය. දෙවිඳුන්ගේ නිර්මාණයන්ට යමෙක් කාරුණික වන්නේද ඔහු කෙරෙහි දෙවිඳුන්ගේ කරුණාව ඇත්තේය.”
සියලු සත්වයින් කෙරෙහිම කරුණාවෙන් කටයුතු කිරීම ඉස්ලාමයේ වැදගත්ම ඉගැන්වීමක් වෙයි. මේ පිළිබඳව බුහාරි හා මුස්ලිම් හදීස් ග්‍රන්ථයන්හි සඳහන් මුහම්මද් නබිතුමාණන්ගේ (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ ආශිර්වාදය හා සාමය අත්වේවා) ප්‍රකාශයක් පහතින් උපුටා දක්වා ඇත්තෙමු.
“මෙයට පෙර ජීවත් වූ නබිවරයෙකු ව කුහුඹියෙකු දෂ්ට කිරීමෙන් ඇතිවූ කෝපය හේතුවෙන් සියලු කුහුඹි තුඹස් පුළුස්සා විනාශ කරන්නට එම නබිවරයා උපදෙස් දීම හේතුවෙන් දෙවිඳුන්ගේ දැඩි කෝපයට ඔහු පත්වුණි. ‘එක් කුහුඹියෙකු ඔබව දෂ්ට කිරීම හේතුවෙන් මට තුති පුදමින් සිටි මහා කුහුඹි සමුහයක්ම විනාශ කරන්නට ඔබ ඉදිරිපත්ව ඇතැ’යි දෙවිඳුන් කෝපයෙන් පැවසු බවද දන්වා සිටියේය”. (බුහාරි - 3072)
ඉහත කරුණු වලින් පැහැදිලි වන්නේ සත්වයින් ඇතුළු පරිසරයේ පාලනය හා ප්‍රයෝජනය මිනිසාට හිමි වී තිබුනද එය ඔහු විසින් යුක්තිය හා සාධාරනය මත පදනම් වූ දෙවිඳුන්ගේ ඉගැන්වීම් අනුව ඉටු කළ යුතු බවය. ඉස්ලාමයේ සත්ව කරුණාව පිළිබඳව ඇති ඉගැන්වීම් විස්තර කරන්නට මෙවන් කුඩා ලිපියක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. සතුන් සම්බන්ධව හිංසනය, කෘරත්වය හා දැඩි භාවයකින් යුක්තව කටයුතු කිරීම ඉස්ලාමය සම්පුර්ණයෙන්ම තහනම් කොට ඇත. අශ්වයින්ගේ කේශරය හෝ වලිගය කැපීම, සතුන්ගේ මුහුණට පහරදීම, සතුන්ව ඉතා දැඩි වේදනාවකට පත් කරමින් කරන්නාවූ හංවඩු ගැසීම, අශ්වයින්ගේ පිටමත නිකරුණේ සෑදලය බැඳ තැබීම, සතුන්ට දරන්නට බැරි බර පැටවීම, සතුන්ට යහ අයුරින් ආහාර, ජලය හා අවශ්‍ය පෝෂණය ලබා නොදීම, සතුන්ගෙන් ප්‍රමාණයට වඩා වැඩ ගැනීම, කුරුලු කුඩු වලින් පැටවුන් පැහැර ගැනීම වැනි මවගෙන් පැටවුන් ඈත් කිරීමේ ක්‍රියාවන්, සතුන්ට ප්‍රමාණවත් නොවන කුඩු වල තැබීම, කිරි දෙමින් සිටිනා සතුන් ආහාරය සඳහා කැපීම වැනි කරුණු සම්බන්ධව නබි තුමාණන් ඉතා දැඩි ලෙස අවවාද කොට ඇත. සතුන්ට කරන්නා වූ හිංසනයන් දුටු විට එතුමාණන් එම සතුන්ගේ අයිතිකරුවන් හමුවී “සතුන්ට යහ අයුරින් සලකන්න. උන්ට කරන්නා වූ හිංසනයන් පිළිබඳව දෙවිඳුන්ගේ දඬුවමට බියවන්න” යැයි උපදෙස් දී ඇති බව ‘සහිහ් මුස්ලිම්’ හදීස් ග්‍රන්ථයෙහි ඉතා පැහැලිදිව සඳහන් කොට ඇත. සතුන් යොදවා භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී හා අනිකුත් වැඩ ගැනීමේදී උන්ට හිංසනයක් වන ලෙස පහර නොදෙන ලෙසද අවවාද කොට ඇත. සත්ව පොර හා සතුන්ව ඉලක්කයන් ලෙස තබා ක්‍රීඩාවක් ලෙසින් විදීමද වෙඩි තැබීමද තහනම් කොට ඇත. සතුන්ට උපත් පාලන ක්‍රියාවලියක් ලෙසින් කරන්නා වූ (කර ඇඹීම) වණ්ධ්‍යකරණයද ඉස්ලාමය තහනම් කර ඇත.
සතුන්ට කරුණාව දැක්වීමේ යහ ආනිසංසද ඉස්ලාමීය ඉගැන්වීම් තුළ විශාල වශයෙන් අපට දක්නට හැකිය. එක් උදාහරණයක් පහතින් උපුටා දක්වා ඇත්තෙමු.
“පිපාසයෙන් පීඩිතව මියයන්නට ආසන්නව සිටි සුනඛයෙකු සම්බන්ධව එක් පාපතර කාන්තාවක් සානුකම්පිත හැඟීමෙන් යුක්තව ළිඳකට බැස තම පාවහනේ දිය පුරවා ගෙනැවිත් එම සුනඛයාගේ පිපාසය සංසිඳුවීමේ පින හේතුවෙන් ඇගේ සියලු පාපයන්ට දෙවිඳුන් පාප ක්‍ෂමාව ලබාදුන් බව නබිතුමාණන් පවසා ඇත.” (බුහාරි හදීස් ග්‍රන්ථය 3208)
එලෙසම සතුන්ට කරන්නා වූ හිංසනයන්ට ලබා දුන්නාවූ දඬුවම් පිළිබඳවද ඉස්ලාමය උගන්වා ඇත්තේ අප සැමට එවැනි කටයුතු වලින් වැළැකී ජීවත් වීම සඳහාවූ අවවාදයක් ලෙසිනි.
“කාන්තාවක් පුසෙකුව කුඩුවක වසා තබා ආහාර ලබා නොදී හා කුඩුවෙන් පිටත ගොස් ආහාර ලබාගන්නටද ඉඩ නොදී කුසගින්නේ මියයන්නට ඉඩහැරීම හේතුවෙන් එම කාන්තාවට නිරයට යන්නට සිදු වූ බව නබිතුමාණන් වරෙක පවසා සිටියේය” (බුහාරි 4:54:535).
මාංශ අනුභවය
මෙලෙස ඉතා අලංකාර ලෙස සතුන්ගේ අයිතිවාසිකම් සුරැකෙන ආකාරයේ හා උන්ට කරුණාව දැක්වීමට දිරිගන්වන දහමක් මාංශ අනුභවය අනුමත කර ඇත්තේ කෙලෙසදැයි යමෙකුට නියත වශයෙන්ම සිතෙන්නට ඉඩ ඇත. පොදුවේ ගත් කළ බහුතරයකගේ මතය මාංශ අනුභවය අනුමත ඉස්ලාමීය ඉගැන්වීම් තුළ පමණක් බවය. සත්‍යවශයෙන්ම ලොව ප්‍රධාන දහම් සියල්ලම මාංශ අනුභවය අනුමත කොට ඇත. මෙම මාතෘකාව සාකච්ඡා කිරීමේදී අප උද්වේගයට හා නොඉවසිලිවන්තභාවයට පත් නොවී තම හෘදසාක්ෂියට එකඟව බුද්ධියෙන්, විචාරයෙන් හා විද්‍යාත්මක පදනමකින් යුක්තව විමසුමක යෙදෙන්නේ නම් සත්‍යය කුමක්දැයි දැනගැනීමට කිසිසේත්ම අපහසුතාවක් ඇති නොවනු ඇත.
මාංශ අනුභවය ලොව සියලු ප්‍රධාන දහම් අනුමත කර ඇති බව එම සියලු දහම්හි පිළි ගත් මුලාශ්‍රයන්ගෙන් උපුටාගත් සාධක ගෙන හැර දක්වා කිසිම සැකයකින් තොරව සනාථ කළ හැකි බව සහතික වන්නට කැමැත්තෙමු. මාංශ අනුභවය අනුමත කර ඇත්නම් එය කළ හැක්කේ සතුන් කැපීම තුළින් එනම් ජීවිතක්ෂයට පත් කිරීමෙන් පමණක් බව අපට පිළිගන්නට සිදුවෙනවා නොවේද? මේ පිළිබඳව මත පරස්පරයක් කිසිවෙකුටවත් තිබිය හැකි වන්නේද? අන් දහම්හි කරුණු ඉදිරිපත් නොකොට තර්කයට, විචාරයට හා බුද්ධියට පිළි ගත හැකි අයුරින් මේ පිළිබඳව වු ඉස්ලාමීය සංකල්පය සකස් වී ඇත්තේ කෙසේද යන්න පැහැදිලි කිරීම අපගේ පරමාර්ථයයි. සතුන් කැපීම පිළිබඳව ඉස්ලාමය ගැන ඇති වැරදි මතයන් ඉවත් කොට සත්‍යය තත්වය පැහැදිලි කිරීම අපගේ වගකීමක් ලෙසද සලකන්නෙමු එම නිසා මෙම සුහද සාකච්ඡාවට අප හා එක්වන ලෙස ගෞරවයෙන් හා ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
ආචාර්ය විලියම් ටී. ජාර්විස්, විද්‍යාව හා සෞඛ්‍ය පිළිබඳව වූ ඇමරිකානු සභාවේ (American Council of Science and Health) උපදේශක වරයෙකි. හෙතෙම මහජන සෞඛ්‍ය හා නිවාරක වෛද්‍ය විද්‍යාව පිළිබඳව ලෝටා ලින්ඩා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ධුරයද දරයි. ආචාර්ය ජාර්විස් නිර්මාංශ අනුභව කරන්නන්ව ඔවුන්ගේ හැසිරීම් රටාව අනුව පුළුල් කොටස් දෙකකට බෙදයි.
1. ප්‍රායෝගික නිර්මාංශ අනුභව කරන්නන්.
2. මතවාදී නිර්මාංශ අනුභව කරන්නන්.
ප්‍රායෝගික නිර්මාංශ අනුභව කරන්නන්ගේ ආහාර ගැනීමේ රටාව ප්‍රායෝගික සෞඛ්‍ය හේතුන් මත රඳා පවතී. ඔහු උද්වේගකාරී නොවී යථාර්ථවාදීව මෙම විෂය පිළිබඳව අවධානය යොමු කරයි. මතවාදී නිර්මාංශ අනුභව කරන්නන්ගේ ආහාර ගැනීමේ රටාව මතවාදයන් මත පිහිටා ඇති අතර ඔහු යථාර්ථයෙන් සිතනවාට වඩා උද්වේගකාරීව මෙම විෂය පිළිබඳව කටයුතු කරයි. මිනිසුන් තම ආහාරය තෝරා ගැනීමේදී විවිධ හේතුන් පිළිබඳව අවධානය යොමු කරවන අතර එයින් ප්‍රධාන කරුණු පහතින් දක්වා ඇත්තෙමු.
1. ආගමික හේතු
2. භූගෝලීය හේතු
3. පුද්ගලික කැමැත්ත
4. මානව දයාව
5. පාරම්පරිකව පැවත එන හා පුද්ගලික චර්යාවන්
6. පාරසරික හා ආර්ථික හේතු
7. පෝෂණය
ඉහත කරුණු වලින් මිනිසුන්ගෙන් බහුතරය වඩාත් උද්වේගකාරී වන්නේ මාංශ අනුභවය පිළිබඳව ආගමික පදනමකින් යුක්තව කරුණු සාකච්ඡා කිරීමේදී බව අප අත්දැක ඇති සත්‍යයකි.
මාංශ අනුභවයට අනුමැතිය පමණක් ඉස්ලාමය තුළ ඇති අතර එය කිසිසේත්ම අනිවාර්යය ක්‍රියාවක් ලෙස හෝ එයට කිසිඳු දිරිගැන්වීමක් හෝ එම ඉගැන්වීම් තුළ නොමැත. යහ මුස්ලිමයෙකු වීමට මාංශ අනුභවය කිසිසේත්ම අත්‍යවශ්‍ය සාධකයක් නොවේ. නමුත් පටු චින්තනයක් තුළ කොටු වී ලෝක යථාර්ථය පිලිබඳව අවබෝධයකින් තොරව බොහෝ විට තම හෘදසාක්ෂියට එකඟ නැති අයුරින් කටයුතු කිරීමෙහි ඇති හරය කුමක්ද?
දැන් අප ඉස්ලාමයට අනුව මාංශ ආහාර අනුභවය පිළිබඳව පනවා ඇති නීතිරීති කවරේදැයි අල් කුර්ආනයෙන් විමසා බලමු.
“විශ්වාස කළවුනි, ගිවිසුම් ඉටු කරවූ. නුඹලාට (පසු) පාරයනා කරනු ලබන දෑ හැර, ගොවිපළ සත්වයින් නුඹලාට අනුමත කරනු ලැබීය....” (අල් කුර්ආන් 5:1)
“මළ සතුන් ද රුධිරය ද සුකර මාංශ ද අල්ලාහ් හැර වෙනත් දෑ සඳහා (ඒවායෙහි නාමයෙන්) භාර කරනු ලැබූ දෑ ද ගෙල මිරිකා මරන ලද සතුන් ද පහළට වැටී මරණයට පත් සතුන් ද ඇනීමෙන් මරණයට පත් සතුන් ද තවද නුඹලා (ඉස්ලාමීය) අනුමත ක්‍රමයට අනුව කැපීමෙන් මිස තිරිසන් සතුන් ආහාරයට ගත් දෑ ද පිළිම වෙනුවෙන් කපනු ලැබූ දෑ ද ඊතල මගින් පංගු තීන්දු කිරීම ද නුඹලාට තහනම් කරනු ලැබ ඇත....” (අල් කුර්ආන් 5:3)
“නුඹලා සඳහා ගොවිපළ සත්වයින් නිර්මාණය කළේ ඔහුමය (අල්ලාහ්). එහි උණුසුම් (ඇඳුම්)ද (අනේකවිධ) ප්‍රයෝජනද ඇත. තවද එහි බුදින්නට ආහාර ද ඇත.” (අල් කුර්ආන් 16:5)
“තවද ඔබට මෘදු මාංශ (මත්ස්‍යයින්) එයින් අනුභව කිරීමටද, ආභරණ වශයෙන් පැලඳිය හැකි දැය ලබා ගැනීමටද සාගරය ඔබට වසඟ කර දුන්නේ ඔහුමය (අල්ලාහ්). (අල් කුර්ආන් 16:14)
මෙලෙස ඉස්ලාමය මාංශ ආහාර අනුභවය මිනිසා හට අනුමත කර දී ඇති අතර අනුභව කළ හැකි සත්වයින් කවරේද? ඒවා අනුභව කිරීම සඳහා සකස් කර ගන්නේ කෙසේද? යනාදී සියලුම උපදෙස් ඉතා පැහැදිලි අයුරින් විස්තර කර දී ඇත. ඉස්ලාමය මිනිසාට ඔහුගේ මිහිතලය මත වු ජීවිතය යහ අයුරින් සකස් කර ගැනීම සඳහා වූ සියලුම උපදෙස් කිසිඳු අඩුවකින් තොරව ලබාදී ඇති දහමකි. මේ බව විශ්ව නිර්මාතෘ හා පාලක අල්ලාහ් විසින් අල් කුර්ආනයෙහි මෙසේ පවසා ඇත.
“අද දින නුඹලාගේ දහම නුඹලාට මම පරිසමාප්ත කර ඇත්තෙමි. තවද මාගේ දායාදයන් නුඹලා වෙත පරිපුර්ණ කර ඇත්තෙමි. නුඹලාට දහම වශයෙන් ඉස්ලාමය මම පිළිගත්තෙමි.” (අල් කුර්ආන් 5:3)
ලොව ජීවත් වන සියලුම ජනයාට කිසිඳු ගැටලුවකින් හා අපහසුතාවකින් තොරව එකසේ පිළිපැදිය හැකි ඉගැන්වීම් මේ අනුව ඉස්ලාමය තුළ අන්තර්ගත ඇත. ඉස්ලාමය මිහිතලය මත ජීවත්වන සියලු ජනයාට කිසිඳු බාධාවකින් තොරව එකසේ අනුගමනය කළහැකි ඉගැන්වීම් අඩංගු විශ්ව දහමකි. එය එක් රටකට, එක් ප්‍රදේශයකට, එක් ජනකොට්ඨාසයකට, එක් යුගයකට, එක් ශිෂ්ටාචාරයකට, හෝ එක් සංස්කෘතියකට පමණක් සීමා වූ දහමක් නොවේ. දිය හිඟයෙන් යුත් කාන්තාරයේ කටුක දිවියක් ගෙවන කාන්තාර වැසියාට මෙන්ම වර්ෂයේ දින 365 ම හිම මත ජීවත් වන එස්කිමෝවරුන්ටද එකසේ පිළිපැදිය හැකි ඉගැන්වීම් එහි අඩංගු වී ඇත.
බෝග වගාවට පහසුකම් නොමැති කාන්තාර වැසියාගේ ආහාරය සැපයෙන්නේ රට ඉඳි, කිරි, මාංශ, හා ඉතාමත් සීමිත බෝග වර්ගයන්ගෙනි. උත්තර හා දක්ෂිණ ධ්‍රැව ආශ්‍රිතව ජීවත් වන එස්කිමෝවරු හා එයට ආසන්න රටවල් වල ජීවත් වන ජනයාට මාංශ අනුභවයෙන් තොර ජීවිතයක් ගැන සිතා බැලීමටවත් නොහැක. මාංශ අනුභවය හා එයට සම්බන්ධ ආහාරයට ගන්නා සතුන් කැපීම තහනම් කර තිබේ නම් මෙම ප්‍රදේශයන්හි ජනයාට එම මතය නියත වශයෙන්ම වලංගු නැති සංකල්පයක් වනු නොඅනුමානය. ඉස්ලාමීය ඉගැන්වීම් මෙම ලෝක යථාර්ථයට අනුකුල වන සේ සකස් වී ඇත්තේ සැබැවින්ම එය විශ්ව දහමක් වන හෙයිනි. ඉස්ලාමයට එරෙහිව නගන චෝදනා පමණක්ම නිවැරදිව අවබෝධ කර ගත් විට එයින්ම එම දහමේ අන්තර්ගත ගැඹුරු විශ්ව සත්‍යය ලෝකයාට හඬ නගා කියන්න්නක් බවට පත්වන ආකාරය මෙම කරුණු වලින් හෙළි නොවන්නේද?
මාංශ ආහාර වර්ජනය ලෝක යථාර්ථයක්ද
එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ ආහාර හා කෘෂිකර්මාන්ත සංවිධානයේ (Food and Agriculture Organization – FAO/UN) 2010 වර්ෂයේ සංඛ්‍යා ලේඛන අනුව වාර්ෂික ලෝක ඒක පුද්ගල මාංශ පරිභෝජනය (per capita consumption of meat) කි. ග්‍රෑ. 46.6 ක් වන අතර මත්ස්‍ය පරිභෝජනය කි. ග්‍රෑ. 17 ක් ලෙස දක්වා ඇත. බිලියන 6.9 ක් වූ ලෝක ජනගහනයෙන් මෙම පරිභෝජන දත්තයන් වැඩි කිරීමෙන් 2010 වර්ෂය සඳහා වූ මාංශ හා මත්ස්‍ය පරිභෝජන ප්‍රමාණයන් ලබා ගත හැක.
මාංශ පරිභෝජනය = 6.9 X 46.6 = කි. ග්‍රෑ. බිලියන 321.54
මත්ස්‍ය පරිභෝජනය = 6.9 X 17.0 = කි. ග්‍රෑ. බිලියන 117.30
මෙම දත්තයන් අපට හඬ නගා කියන්නේ කුමක්ද? මෙවන් විශාල මාංශ හා මත්ස්‍ය පරිභෝජනයක් වෙනුවට කෘෂි නිෂ්පාදන ආදේශ කරන්නට යෑමෙන් සිදුවන අතුරු හා අනිසි විපාක පිළිබඳව බුද්ධිමත් යමෙකුට සිතා බලන්නටවත් හැකියාවක් තිබේද? ඉතා පටු චින්තන රාමුවක් තුළ කොටු වී දුර දක්නා දැනුමකින් තොරව ආවේගශීලීව කටයුතු කිරීම ලෝක යථාර්ථයට සහමුලින්ම එකඟ නැති ක්‍රියාවක් බව ඕනෑම අයෙකුට පෙනී යා යුතු සත්‍යයකි. සමස්තයක් වශයෙන් ලෝක යථාර්ථය දෙස බලනවිට මාංශ හා මත්ස්‍ය අනුභවයෙන් තොර තත්වයක් අපේක්ෂා කිරීම පැහැදිලි මුළාවක් බව අපට ඉහත දත්තයන් හඬ නගා පවසයි.
කුහුඹියෙකුවත් අසාධාරණ ලෙස මරා දමන්නට ඉස්ලාමය තුළ ඉඩක් නැත. එහෙත් සත්ව ඝාතනයෙන් තොර තත්වයක් අපේක්ෂා කිරීම යථාර්ථවාදී, බුද්ධිමත් හා ප්‍රායෝගික සංකල්පයක් බව අපට නුතන තත්වයන් දෙස විමසුම් ඇසින් බලන විට පිළිගත හැකි වන්නේද? සත්ව ඝාතනයෙන් තොරව කෘෂි ගොවිතැන් කර පමණක් ජීවත් වන්නට අප තීරණය කර ගත්තා යැයි මොහොතකට සිතමු. සත්ව ඝාතනයෙන් තොරව කෘෂි ගොවිතැන වුවද කිරීමට අපට ඉඩකඩ තිබේද? තම ගෙවත්තේ ඉතා සුළු පරිමාණයේ ගොවිතැනක් පළිබෝධ නාශක නොයොදා කිරීමට ඉඩකඩ සමහරවිට තිබිය හැක. මෙයත් අපගේ අත්දැකීම් අනුව සැමවිටම සත්‍යය වන තත්වයක් නොවේ. නමුත් මහා පරිමාණ කෘෂි ගොවිතැන සඳහා අනිවාර්යයෙන්ම පළිබෝධ නාශක යොදා ගැනීමේ අවශ්‍යතාව අපි දැක ඇත්තෙමු. ගොවිතැනට හානි කරන කෘමීන් ගොවියා විසින් හඳුනාගැනීම පළමුව සිදු වේ. උන්ට ජීවයක් ඇති බව ගොවියා ඉතා හොඳින් දනී. උන්ගෙන් ගොවිතැනට සිදුවන හානිය අවබෝධ කරගන්නා ගොවියා උන්ව මරා දමන්නට චේතනාවක් ඇති කර ගනී. මේ සඳහා විවිධ උපක්‍රමයන් ගොවියා උපයෝගී කර ගනී. මෙම උපක්‍රමයන් මගින් කෘමීන් මරා දමා ඔහුගේ ගොවිතැන රැක ගන්නට ගොවියා ක්‍රියා කරයි. මෙයින් පැහැදිලි වන්නේ කුමක්ද? සත්ව ඝාතනයෙන් තොරව කෘෂි ගොවිතැන වුවද සාර්ථක අන්දමින් කර ගැනීමට අපට හැකියාවක් නොමැති බව නොවේද? මෙම ලෝක යථාර්ථය ප්‍රතික්ෂේප කළහැක්කේ කවරෙකුටද?
වැළැක්විය නොහැකි සත්ව ඝාතනයන්
අප රට විවිධ වසංගත රෝගයන්ට මුහුණ පා ඇත. 19 වන සියවසේ ආරම්භයේ ඇති වූ මැලේරියා වසංගතයෙන් ජනගහනයෙන් කොටසක් මිය ගිය අතර රටවැසියන් මෙයින් ඉතා දුෂ්කර තත්වයකට පත්වූහ. දැනට අප මුහුණපාමින් සිටින්නේ තවත් වසංගත රෝග රැල්ලකටය. ඩෙංගු හා චිකුන්ගුන්යා මුළු රටටම ඉතා විශාල අභියෝගයක් බවට පත්ව ඇත. ඩෙංගු වසංගතයෙන් මිය යන සංඛ්‍යාව දිනපතා පුවත්පත් කියවන විට අප පත්වන්නේ ඉතාමත් කම්පනීය තත්වයකටය. මෙම වසංගත රෝග බෝකරන විෂබීජ මිනිසාගේ ශරීරයට ඇතුළත් වන්නේ මදුරුවන් මාර්ගයෙනි. මෙම රෝගකාරක විෂබීජ ශරීරගත කරන මදුරුවන් මරා දමන්නට රාජ්‍ය අනුග්‍රහය ඇතිව විවිධ වැඩ සටහන් රටේ ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම මදුරුවන් මරාදමන්නට අප ඉදිරිපත් නොවුණා නම් සිදුවන විනාශකාරී තත්වය යමෙකුට සිතාබලන්නට බැරි තරම් බරපතල හා භයානක එකක් බව අමුතුවෙන් කිව යුතු වන්නේ නැත. මෙයිනුදු සනාථ වන ලෝක යථාර්ථය කුමක්ද? සත්ව ඝාතනයෙන් තොර ජීවිතයක් හෝ පැවැත්මක් මිනිසාට මිහිතලය මත නොමැති බව නොවේද? ඉස්ලාමයේ ඉගැන්වීම් විශ්ව යථාර්ථය අනුව සකස් වී ඇති බව මෙයින් පැහැදිලිව සනාථ වන සත්‍යයක් බව අපට පිළිගන්නට සිදුවෙනවා නොවේද?
නියුමෝනියාව, ක්‍ෂය රෝගය වැනි ආසාදනයන් ඇතිවූ විට අපට ප්‍රති ජීවක (Antibiotic) බෙහෙත් ගැනීමට අනිවාර්යයෙන්ම සිදුවෙයි. මෙම ප්‍රති ජීවක බෙහෙත් මගින් සිදු වන්නේ ශරීර ගත වී ඇති කෝටි ගණන් රෝගකාරක විෂබීජ නසා දමා අපට දිවි රැක ගැනීමට උපකාරී වීමයි. ප්‍රාණ ඝාතනය සැම තැන්හිම තහනම් හෝ වැරදියි යන අතාත්වික හා බුද්ධියට එකඟ නැති නිගමනයේ අප පිහිටා සිටියේ නම් කෝටි ගණන් ජීව නසා දමා අපගේ එක් ජීවිතයක් රැකගැනීමට කටයුතු කිරීම වැරදියි යන තත්වයට අපට පත්වන්නට සිදුවෙනවා නොවේද? කරුණාකර ආවේගශීලී නොවී විචාර බුද්ධිය මෙහෙයවා මෙම කරුණු ගැන සිතා බලන්න.
මිනිසාට ඇත්තේ සර්ව භක්ෂක දත් පෙළකි. මාංශ අනුභවයට උපකාරී වන දඩයම් දත් මෙන්ම කෘෂි ආහාර අනුභවයට සුදුසු පැතලි දත්ද මිනිසාට තිබේ. ජීරණ පද්ධතියද මිනිසාගේ සකස් වී ඇත්තේ මාංශ මෙන්ම කෘෂි ආහාර ජීරණය කළ හැකි වන අයුරිනි. මෙයිනුත් පෙනී යන්නේ ස්වභාවයෙන්ම මිනිසා සර්ව භක්ෂක සතෙක් බව නොවේද? සිංහ කොටි වැනි මාංශ භක්ෂක සතුන්ට තෘණ වර්ග ආහාරයට ගැනීමට හෝ එය ජීරණය කරන්නට හැකියාවක් නොමැත. එළුවන් ගවයින් බැටළුවන් වැනි තෘණ භක්ෂක සතුන්ට මාංශ අනුභව කොට එය ජීරණය කළ හැකි තත්වයක් නොමැත. ආහාර අනුභවය පිළිබඳව මිනිසාට ඇති සුවිශේෂී හැකියාව මෙයින් අපට අවබෝධ කර ගන්නට හැකි වන්නේය.
මිනිසාගේ යහපත පිණිස විවිධ පර්යේෂණ වල යෙදෙමින් වෛද්‍ය විද්‍යාව උදාර ඉදිරි ගමනක යමින් සිටියි. මෙම වෛද්‍ය පර්යේෂණ සඳහා සතුන් රාශියකගේ ජීවිත කැප කිරීමට සිදු වී තිබේ. ප්‍රාණ ඝාතනය සම්පුර්ණයෙන්ම වැරදි’යි යන මතයේ අප එල්බ ගෙන සිටියේ නම් වෛද්‍ය විද්‍යාව අදත් ප්‍රාග් ඵෙතිහාසික තත්වයෙන්ම ඉදිරියට ගමන් කළ නොහැකි තත්වයේ අනිවාර්යයෙන්ම රැඳී සිටිනු ඇත.
සත්ව ඝාතනය පිළිබඳව අප සාකච්ඡා කිරීමේදී බොහෝ විට එයට විරුද්ධව අදහස් දක්වන්නන් කතා කරනුයේ ගවයින් කැපීමට එරෙහිවය. මෙයට හේතුව බොහෝ විට ශ්‍රී ලාංකික සංස්කෘතිය සමග ගවයා පිළිබඳව ඇති සම්බන්ධතාව විය හැක. කුඹුරු ගොවිතැන, ප්‍රවාහන කටයුතු, සහ විශේෂයෙන්ම කිරි ලබාගැනීමේ ප්‍රධාන මගක් ලෙස පාරම්පරිකව උපකාරී වූ මෙම සතා ගැන බැඳීමක් ඇති වීම එක අතකින් සත්‍යයකි. බෙරයද ජාතික සංස්කෘතියේ කොටසකි. එයට සම් ලබාගන්නා එක් මගක් ලෙසද ගවයා දැක්විය හැක. මේවා හැරෙන්නට වෙනත් ආගමික හෝ සංස්කෘතික හේතුවක් නිසා මෙම මතය ගොඩ නැගී ඇති බව කීමට කිසිම සාක්ෂියක් හෝ සාධකයක් නොමැත. ඒ අතරම මත්ස්‍ය හා අනෙකුත් මාංශ පිළිබඳව ඇති නිහැඬියාවද සැබැවින්ම මවිතකරය. ගවයින් එක්තරා වයසක් පසු කළවිට ගොවිතැන, ප්‍රවාහනය හෝ කිරි ලබාගැනීම වැනි කටයුතු වලට ගත නොහැකි තත්වයක් උදාවෙයි. මෙවන් තත්වයක් තුළ බොහෝ විට සිදුවන්නේ ආර්ථික වශයෙන් තමන්ට බරක් බවට පත් වන මෙම ගවයින්ට ආහාර ලබා දීම හා අනෙකුත් වගකීම් වලින් තමන්ව ඉතා සියුම් ලෙස ඉවත් කර ගනිමින් “පින් ගොනා” යන නාමය මෙම ගවයින්ට ලබා දී ප්‍රදේශයේ සැමටම කරදරයක් වන අයුරින් ලිහා ඇරීමය. ඉන්දියාවේ එක් ප්‍රාන්තයක ගවයින් කැපීම සම්පුර්ණයෙන් තහනම් කොට වයෝවෘද ගවයින් රැක බලා ගැනීමේ වගකීම ප්‍රාන්ත රජය විසින් භාර ගන්නා ලදී. ඉතාම කෙටි කාලයක් තුළදී තමන්ගේ තීරණයේ වැරදිභාවය හා ප්‍රායෝගික නොමැතිකම තෙරුම් කරගත් ප්‍රාන්ත රජයේ වගකිව යුත්තන් තම ව්‍යාපෘතිය ඇත හැර දමන්නට තීරණය කළහ. තමන්ගේ අවශ්‍යතාවට වඩා බෝවීම සිදුවන අවස්ථාවේදී අතිරික්ත ගවයින් සැබැවින්ම අයිතිකරුට ආර්ථික වශයෙන් විශාල බරක් බවට පත් වන බව අප සැම දන්නා කරුණකි. පිරිමි සතුන් පිළිබඳවද ඇත්තේ මෙවැනිම ගැටළුවකි.
පංච ශීලයේ පළමුවන සිල් පදය පිළිබඳවය මෙතරම් ගැටළු මතුවී තිබෙන්නේ. එයිනුත් එළුවන්, ඌරන්, කුකුලන් හා මත්ස්‍ය වර්ග පිළිබඳව සැවොම නිහඬය. පංච ශීලයේ සුරාව පිළිබඳවද අපගේ උත්තමයින් නිහඬය. සුරාව සුදුව අතහැර ගවයා පිළිබඳව පමණක් මෙතරම් හඬක් මතුවීමට හේතු රාශියක් ඇති බව අපට ප්‍රතික්‍ෂේප කළ නොහැකි කාරණයකි. “ගව ඝාතන විරෝධතා ව්‍යාපාර”, “ගව පෙරහැරවල්”, “මරණයට කැපවූ ගවයින් මුදා හැරීම” වැනි ව්‍යාපාරයන්ට සම්බන්ධ සිල්වත් පිරිසට පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කරන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නට කැමැත්තෙමු.
I. කුඹුරු ගොවිතැන් කිරීමේදී තද අව්වේ නගුලට බැඳ කෙවිටෙන් අමානුෂිකව තලමින් කරන්නාවූ සත්ව හිංසාව පිළිබඳව ඔබතුමන්ලා නිහඬව ඉන්නේ ඇයි?
II. කරත්තයට ගැට ගසා දින ගණන් විශාල බරක් අදිමින් හා ඒ අතරතුර කෙවිටෙන් ලැබෙන වේදනාකාරී පහරවල් විඳිමින් කටයුතු කරන කරත්ත ගොනාගේ හිංසාකාරී ජීවිතය ගැන කතා කරන්නන් කවුරුන්ද? කරත්ත ගොනාට ලාඩම් ගැසීමේ හිංසාකාරී ක්‍රියාව ඔබ දැක ඇතැයි සිතන්නෙමු.
III. කිරි ලැබෙන්නේ වැස්සිට පැටවුන් ලැබුනාට පසුවය. නමුත් මෙම කිරි අලුත බිහිවූ වසු පැටියාගේ ආහාරය බව අපි ඉතා හොඳින් දන්නෙමු. නමුත් අප වැස්සිට “කිරි අම්මා” යන ගෞරවනීය නාමයක් ප්‍රදානය කොට වසු පැටියාට අයත් කිරි ටික “මම නුදුන් දෙය ගැනීමෙන් වැලකෙන්නෙමි” යන දෙවන ශික්ෂාව වංචනික ලෙස බිඳ දමා කටයුතු කිරීම පිළිබඳව ඇති නිහැඬියාව ලැජ්ජා සහගතය.
IV. ගවයින් හඳුනා ගැනීම සඳහා ඇති පාරම්පරිකව පැවත එන හංවඩු ගැසීමේ ක්‍රියාව ඔබ දැක ඇතිදැයි දැනගන්නට කැමැත්තෙමු. සතෙක් මරණයට පත්කරණවාට වඩා අති භයානක වේදනාවක් ඇති කරවමින් කරන්නාවූ මෙම කෘර ක්‍රියාව ගැන ඇති නිහැඬියාව කන් බිහිරි කරවන තරමට භයානකය.
V. ගත හැකි සියලු ප්‍රයෝජන ලබාගෙන වයස්ගත භාවයට පත්වන විට “කිරි අම්මා” හදිසියේම “පින් ගොනා” බවට පත්කොට ආහාර ලබාදීම හා අනෙකුත් වගකීම් වලින් තමන්ව නිදහස් කරගෙන වංචනික අන්දමින් මෙම ගවයා ලිහා ඇරීම පිළිබඳව ඔබ සිතා බැලුවේ නැද්ද?
හිංසනයෙන් තොරව සතුන් කැපීම
ඉදිරිපත් කරන ලද සියලු කරුණු ඉතා සාවධානව හා උද්වේගයට පත් නොවී හෘද සාක්ෂියට එකඟව සිතා බැලීමේදී මාංශ අනුභවය ලෝක යථාර්ථයක් බවට පත් වී ඇති බව තර්කයෙන් තොරව අපට පිළිගැනීමට සිදුවෙනවා නොවේද? මාංශ අනුභව නොකර සිටින්නට ඕනෑම අයෙකුට අයිතියක් ඇත. නමුත් කිසිම තර්කයකට එකඟ නැති, පදනම් විරහිත අයුරින් මෙය සටන් පාඨයක් කර ගෙන කරන්නාවූ හිස් ක්‍රියාවන් කිසිම යහ පුරවැසියෙකු අනුමත කරන ක්‍රියාවක් නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ලොව අද පවතින සියලු ප්‍රධාන දහම් මාංශ අනුභවය අනුමත කරීමට ප්‍රධාන හේතුව මෙය ලෝක යථාර්ථයක් බව පිළිගෙන ඇති නිසා බව විය හැක. මෙම සත්‍ය තත්වයට ඉස්ලාමය ඉදිරිපත් කරන නුතන විද්‍යාවට එකඟතාවක් ඇති මෙන්ම හිංසනයෙන් තොර වූ ක්‍රියා පිළිවෙත පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු. මේ සඳහා ජර්මනියේ පළවන සත්ව පාලකයින් හා විද්‍යාඥයින් අතර ජනප්‍රිය “German Veterinary Weekly” යන සඟරාවේ 85 වන වෙළුමේ 62-66 යන පිටුවල සඳහන් දීර්ඝ විස්තරයෙන් උපුටා ගත් කරුණු පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු.
ජර්මානු සත්ව සුබ සාධන පනත (Animal Welfare Act of 24th July 1972) අනුව සතුන් පිළිබඳව ක්‍රියා කිරීමේදී උද්වේගයට වඩා විද්‍යාත්මක සාධක මත පදනම් වී කටයුතු කළ යුතු බව සඳහන් වී ඇත. මෙම පනත අනුව හිංසනයෙන් තොරව සතුන් කැපීමේ විද්‍යාත්මක ක්‍රමවේදයක අවශ්‍යතාව මතුකොට තිබිණ. මේ අනුව මහාචාර්ය W. ෂුල්ට්ස්, H. ෂුල්ට්ස්, A.S. හාසිම්, හා R. ග්‍රොස් යන විද්‍යාඥයින් විසින් ජර්මනියේ හැනොවර් විශ්ව විද්‍යාලයේදී විද්‍යාත්මක පර්යේෂණයක් පවත් වන ලදී. බටහිර දැනට භාවිතයේ ඇති සියලු ක්‍රමවේදයන් පිළිබඳව ඔවුන් විසින් පර්යේෂණ පවත්වා එමගින් මරණයට පත්වීමට පෙර සතාට විඳින්නට සිදුවන වේදනාවන් පිළිබඳව විද්‍යානුකුල තක්සේරුවක් කර ගන්නා ලදී. මෙම ක්‍රමය තුළින් සනාථ වූ ප්‍රධාන සාධක නම්, සතුන් විශාල ලෙස කලබලයට පත්වීම, විද්‍යුත් මස්තිෂ්ක රේඛය (Electro Encephalogram – EEG) අනුව සතුන් දැඩි වේදනාවකට පත් වීම හා හෘද ස්පන්දනය සැනින් නතර වී යෑම හේතුවෙන් ශරීරයෙන් රුධිරය ඉවත් වීම අවමවීම යන කරුණුය. මෙම කරුණු වලින් පෙනී යන්නේ සතාට දැඩි වේදනාවක් මෙන්ම සතාගේ ශරීරයෙන් රුධිරය පිටවීම අවම වීම හේතුවෙන් එම මාංශය සෞඛ්‍යයට එතරම් හිතකර එකක් නොවන බවය.
මෙම පර්යේෂණයට විද්‍යුත් මස්තිෂ්ක රේඛය (Electro Encephalogram – EEG), විද්‍යුත් කන්තු රේඛය (Electro Cardiogram-ECG), රුධිර පීඩන මාපකය ආදිය ඇතුළු ව තවත් සංකීර්ණ උපකරණ උපයෝගී කර ගන්නා ලදී. විශේෂයෙන්ම EEG මගින් වේදනාවක් ඇති වන විට මොළයේ ක්‍රියාකාරිත්වයේ වෙනස මැනීමට හැකියාවක් තිබිණ. මෙම පර්යේෂණය ඉතා සංකීර්ණ තාක්ෂණික විස්තරයන්ගෙන් යුක්ත වුවක් වන අතර එමගින් සොයාගත් කරුණු පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු. ඉස්ලාමීය පිළිවෙත අනුව සතුන් කැපීමේදී හෙළි වු කරුණු අනුව:-
1. ඉතා මුවහත් වූ පිහියකින් කැපීමේදී කැපීමට පෙර හා පසු EEG මානයේ එක සමාන කියවුම් දක්නට ලැබිණ. කැපීමේ කාලයේදී දක්නට තිබු සුළු ප්‍රතික්‍රියාව පහත සඳහන් අයුරින් විය. එළුවන් බැටළුවන් වැනි සතුන් සඳහා තත්පර 4 සිට 6 දක්වාද ගවයින් වැනි ලොකු සතුන් සඳහා තත්පර 10 ට වැඩි නොවන අයුරින් එම ප්‍රතික්‍රියා කාලය විය.
2. ශුන්‍ය රේඛනයක් EEG මානයේ එළුවන් හා බැටළුවන් සඳහා තත්පර 13 කට පසුවද, ගවයින් වැනි ලොකු සතුන් සඳහා තත්පර 23 කට පසුවද දක්නට ලැබිණ.
3. තාප වේදනා උත්තේජකයේ (Thermal Pain Stimuli) කිසිදු වෙනසක් දක්නට නොතිබිණ.
4. ගවයින් වැනි ලොකු සතුන් කැපීමෙන් තත්පර 40 කට පසු හෘද ස්පන්දන වේගය මිනිත්තුවකට 240 දක්වාත් එළුවන් බැටළුවන් වැනි සතුන්ගේ හෘදස්පන්දන වේගය මිනිත්තුවකට 280 දක්වාත් වැඩි විය. මෙසේ හෘද ස්පන්දනය වැඩි වන්නේ සතාට ජීවය ඇති නිසා හෝ වේදනාව දැනෙන නිසා හෝ නොවන බව සොයා ගන්නා ලදී. මෙයට හේතුව පහතින් දක්වා ඇත්තෙමු.
ඉහත නිරීක්ෂණයන් පදනම් කරගෙන පහත සඳහන් නිගමනයන්ට එළඹීමට ජර්මන් විද්‍යාඥයින්ට හැකි වූ බව සඳහන් කොට තිබිණ.
1. ඉහත සාධකයන් අනුව නියමිත ආකාරයට කැපීම සිදු කළහොත් පිහිය තබා කපන තත්පර කිහිපයක ප්‍රතික්‍රියාව හැර අන් කිසිම වේදනාවක් දැරීමට සිදු නොවන බව විද්‍යාත්මකව ඔප්පු විය. මෙසේ කිරීමේදී මොළයට රුධිරය සපයන ප්‍රධාන නාලයන් විසන්ධි වන හෙයින් මොළය අක්‍රීය තත්වයට පත් වෙයි. ශරීරයෙන් මොළයට පණිවිඩ ගෙන යන නාල සියල්ල විසන්ධි වීම හේතුවෙන් සතාට වේදනාව දැනීමේ හැකියාව නැති වී යන්නේය. ශ්වාසනාලයද විසන්ධි වන හෙයින් මොළයට අවශ්‍ය ඔක්සිජන් නොලැබී යාමෙන් සතා නිර්වින්දන තත්වයකට පත්වන්නේය.
2. කැපීමෙන් පසු හෘදස්පන්දනය ඉහළ යෑමට හේතුව මොළයේ ක්‍රියාකාරිත්වයකින් තොරව සිදුවන්නාවූ මාංශ පෙශීන්ගේ ප්‍රතීක (Reflex) ක්‍රියාකාරිත්වයක් බව සොයා ගන්නා ලදී. මේ හේතුවෙන් ශරීරය තුළ ඇති රුධිරයෙන් අති විශාල ප්‍රමාණයක් බැහැර කිරීමට හැකියාව ඇති වී තිබේ.
3. අධික රුධිරය අඩංගු මාංශය මිනිසාගේ සෞඛ්‍යයට හිතකර නොවන හෙයින් රුධිරය බැහැර කිරීමේ ක්‍රියාවලියෙන් ඒ අයහපතද ඉවත් කර ගන්නට හැකියාව ඇති වී තිබේ.
ඉහත විද්‍යාත්මක පර්යේෂණයෙන් සොයා ගත් කරුණු වලින් ඉතා මැනවින් ඔප්පු වන්නේ ඉස්ලාමීය අනුමත ක්‍රමය හිංසනයෙන් තොර වූ හොඳම ක්‍රමය බවය. මේ අනුව අප විසින් නැවත වරක් අවධාරණය කළ යුතු වැදගත් කරුණු කිහිපයක් ඇත.
1. ඉස්ලාමය මාංශ අනුභවය අනුමත කර ඇතත් එය අනිවාර්ය කාර්යයක් නොවේ. මාංශ අනුභවයෙන් තොරව යහ මුස්ලිමයෙකු වීමට කිසිම බාධාවක් නොමැත.
2. සත්ව ඝාතනයෙන් තොරව මිහිතලය මත මිනිස් පරපුරක පැවැත්ම කිසිසේත්ම සිදුවිය නොහැක්කක් යන්න ලෝක යථාර්ථයක් බවට පත්ව තිබේ. හෘදසාක්ෂියට එකඟව බුද්ධිය හා විචාරය මෙහෙයවා කරුණු විමසන්නෙකුට මෙම සත්‍යය අවබෝධ කර ගැනීමට කිසිසේත්ම අපහසුතාවක් නොමැත. නමුත් අන්ධ භක්තියෙන් කටයුතු කරන අයෙකුට නම් මෙය දුෂ්කර විය හැක.
3. සතුන් කැපීම අවශ්‍ය වූ විටක එය හිංසනයෙන් තොරව කිරීමට ඇති හොඳම ක්‍රමය ඉස්ලාමය අනුමත කොට ඇති පිළිවෙත බව විද්‍යාත්මකව ඔප්පු කර තිබේ.
සතුන් කැපීමේදී අනුගමනය කළ යුතු තවත් වැදගත් චර්යාවන් පිළිබඳවද ඉස්ලාමය උපදෙස් ලබා දී තිබේ.
1. සත්වයාට හොඳින් ආහාර හා ජලය ලබා දීම.
2. කලබලකාරිත්වයකින් තොරව සෙමින් සතාව කපන තැනට ගෙන යෑම.
3. පිහිය ඉතාමත්ම හොඳින් මුවහත් කර තිබීම.
4. කපන්නා හොඳ සිහිය ඇති වැඩිහිටි මුස්ලිමයෙකු වීම.
5. කැපීම දෙවිඳුන්ගේ නාමය පවසමින් කළ යුතුය. සියලු ජීවීන් දෙවිඳුන්ට අයත් බවත් දෙවිඳුන් ලබාදුන් ජීවියෙක්ව අනුමත ක්‍රමයට ආහාරය පිණිස ගැනීමට කරන්නා වූ ක්‍රියාවක් බව මෙයින් සහතික කොට ඇත.
6. කැපීම ඉතාමත්ම මුවහත් පිහියකින් ඉදිරියට හා පසුපසට ගෙන ඒමෙන් ඉතා ක්ෂණිකව එක් කැපීමකින් අවසන් කිරීම.
7. කැපීමෙන් ශ්වාසනාලය, ආහාර මාර්ගය, හා ප්‍රධාන ලේ නහර කැපී යා යුතුය. සුෂුම්නාව (Spinal cord) නොකැපිය යුතුය.
8. එක් සතෙකු ඉදිරියේ තවත් සතෙකු නොකැපිය යුතුය.
9. සතා ඉදිරියේ පිහිය මුවහත් නොකළ යුතුය.
10. සතා මනා සෞඛ්‍යයෙන් යුක්ත විය යුතු අතර කිසිම අසීරුතාවකින් නොසිටිය යුතුය.
11. කැපීමෙන් පසු ඉතා හොඳින් රුධිරය ගලා යෑමට සැලසිය යුතුය.
12. තම පැටවුන්ට කිරි ලබා දෙන සතුන් නොකැපිය යුතුය.
ඉස්ලාමය කොතෙක් දුරට සත්ව කැපීම ගැන සාධාරණ ලෙස අවධානය යොමු කර ඇද්ද යන්න ඉහත විස්තරයන්ගෙන් මනාව සනාථ වෙයි.
උලුහිය්යා
ඉස්ලාමීය දින දර්ශනයේ දොළොස් වන මාසය දුල් හිජ්ජා මාසයයි. හජ් නැමදුම ඉටු කරන්නේ මෙම මාසයේ ආරම්භක දින කිහිපය තුළය. මිනිස් ඉතිහාසයේ දෙවිඳුන්ගේ අණට කීකරු වීමේ හා පරිත්‍යාගයේ උදාරතම උදාහරණය සනිටුහන් වන්නේ මෙම කාලවකවානුවේදීය. ඉබ්‍රාහිම් නබි තුමා (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ ආශිර්වාදය හා සාමය අත්වේවා) පෙන්වා දුන් මෙම අති ශ්‍රේෂ්ඨ පූර්වාදර්ශය සිහිපත් කරමින් දෙවිඳුන්ගේ අණට කීකරුවීමේ වැදගත්කම සිත්හි දරාගෙන දානමය ක්‍රියාවක මුස්ලිම්වරු මෙම මාසයේදී නිරත වෙති. සතෙකු කපා අසරණ හා දුගී ජනයාට මෙන්ම අසල්වැසි හා හිතවතුන්ට දානයක් ලෙස පිරිනැමීම “උලුහිය්යා” නමින් හැඳින් වේ. මෙය අල්තාරයක් හෝ පිළිරුවක් ඉදිරියේ කරන්නාවූ බිලි පුජාවක් හෝ බිලි දීමක් නොවේ. ඉතාමත් පිරිසිදු චේතනාවෙන් දෙවිඳුන්ගේ නාමයෙන් පෙර පැවසුවාක් මෙන් දුගීන්ට, අසරණයින්ට, යාචකයින්ට, අසල්වැසියන්ට හා නෑ හිතවතුන්ට ආහාරය පිණිස කරන්නා වූ දානමය ක්‍රියාවකි.
ඉස්ලාමයේ සියලු ක්‍රියාවන් මිනිසාගේ යහපත පදනම් කර ගෙන යහ චේතනාවෙන් දෙවිඳුන්ගේ තෘප්තිය උදෙසා කරන්නා වූ ක්‍රියාවන් වන අතර එහි අන්තර්ගතයේ විද්‍යාත්මක හා යථාර්ථවාදී පදනමක් නිරන්තරයෙන් දක්නට ඇත. ඉහත කරුණු වලින් පැහැදිලි වන තවත් සත්‍යයක් නම් ඉස්ලාම් යනු තවත් දහමක් නොව එය සැබැවින්ම සියලු මනුෂ්‍ය අවශ්‍යතාවන්ට නිසි මග පෙන්වන පරිපුර්ණ ජීවන සැලැස්මක් බවය.
ඉහතින් ඉදිරිපත් කළ සියලු කරුණු සමස්තයක් වශයෙන් සමාලෝචනය කර බැලීමේදී ඉස්ලාමීය ඉගැන්වීම් පිළිබඳව මතු වී තිබු වැරදි අවබෝධයන් ඉවත් කොට එකිනෙකා අවබෝධ කරගෙන ජීවත් විය හැකි සාමකාමී හා සුහදත්වයෙන් යුත් සමාජයක් බිහි කිරීමට අප සැමට හැකිවේ යැයි ඉතා අවධාරණයෙන් යුක්තව විශ්වාස කරන්නෙමු. බහු සංස්කෘතික හා බහු ආගමික සමාජයක එකිනෙකාගේ විශ්වාසයන් හා මතයන්ට ගරු කරමින් තමාට යහ යැයි අවබෝධ වන විශ්වාසයෙහි හා මතයෙහි පිහිටා ක්‍රියා කිරීමට ඇති නිදහස හා අයිතිය අත්‍යවශ්‍ය කරුණකි. අනවබෝධය හේතුවෙන් අප අන් අයගේ විශ්වාසයන් හා ක්‍රියාකාරකම් කෙරෙහි බලපෑම් කරන්නට හෝ විවේචනය කරන්නට හෝ යෑමෙන් සිදු වන්නේ කාලාන්තාරයක් තිස්සේ පැවත ආ සුහදත්වය පළුදු වී එකිනෙකාගෙන් ඈත් වූ සමාජයක් ඇති වීමය. මෙය රටේ ආර්ථික හා සමාජයීය සංවර්ධනයට හිතකර පරිසරයක් ලෙස කිසිසේත්ම සැලකිය නොහැක. අනවබෝධය හා ඉන් මතු වන අනර්ථකාරී වෛරය ඉවත් කොට සැමට සතුටින් එකට ජීවත් විය හැකි, සුහදත්වය හා මිනිසත්කම පදනම් කර ගත් සමාජයක් ගොඩ නැගීමට අධිෂ්ඨානශීලීව එකට අත්වැල් බැඳ ගනිමු.
එනිසා අපි සත්‍යය අවබෝධ කර ගනිමු. දැනුවත් වෙමු, වෛරය, ක්‍රෝධය තුරන් කරමු. සාමකාමී, හා සමගියෙන් බැඳුනු මව්බිමක් ගොඩනගමු. ඉදිරි පරපුරට සාමකාමී හා සෞභාග්‍යයෙන් යුත් රටක් ගොඩනගන්නට අවශ්‍ය අඩිතාලම දමන්නට අදම අධිෂ්ඨාන කර ගනිමු.

VI. කුඹුරු ගොවිතැන් කිරීමේදී තද අව්වේ නගුලට බැඳ කෙවිටෙන් අමානුෂිකව තලමින් කරන්නාවූ සත්ව හිංසාව පිළිබඳව ඔබතුමන්ලා නිහඬව ඉන්නේ ඇයි?
VII. කරත්තයට ගැට ගසා දින ගණන් විශාල බරක් අදිමින් හා ඒ අතරතුර කෙවිටෙන් ලැබෙන වේදනාකාරී පහරවල් විඳිමින් කටයුතු කරන කරත්ත ගොනාගේ හිංසාකාරී ජීවිතය ගැන කතා කරන්නන් කවුරුන්ද? කරත්ත ගොනාට ලාඩම් ගැසීමේ හිංසාකාරී ක්‍රියාව ඔබ දැක ඇතැයි සිතන්නෙමු.
VIII. කිරි ලැබෙන්නේ වැස්සිට පැටවුන් ලැබුනාට පසුවය. නමුත් මෙම කිරි අලුත බිහිවූ වසු පැටියාගේ ආහාරය බව අපි ඉතා හොඳින් දන්නෙමු. නමුත් අප වැස්සිට “කිරි අම්මා” යන ගෞරවනීය නාමයක් ප්‍රදානය කොට වසු පැටියාට අයත් කිරි ටික “මම නුදුන් දෙය ගැනීමෙන් වැලකෙන්නෙමි” යන දෙවන ශික්ෂාව වංචනික ලෙස බිඳ දමා කටයුතු කිරීම පිළිබඳව ඇති නිහැඬියාව ලැජ්ජා සහගතය.
IX. ගවයින් හඳුනා ගැනීම සඳහා ඇති පාරම්පරිකව පැවත එන හංවඩු ගැසීමේ ක්‍රියාව ඔබ දැක ඇතිදැයි දැනගන්නට කැමැත්තෙමු. සතෙක් මරණයට පත්කරණවාට වඩා අති භයානක වේදනාවක් ඇති කරවමින් කරන්නාවූ මෙම කෘර ක්‍රියාව ගැන ඇති නිහැඬියාව කන් බිහිරි කරවන තරමට භයානකය.
X. ගත හැකි සියලු ප්‍රයෝජන ලබාගෙන වයස්ගත භාවයට පත්වන විට “කිරි අම්මා” හදිසියේම “පින් ගොනා” බවට පත්කොට ආහාර ලබාදීම හා අනෙකුත් වගකීම් වලින් තමන්ව නිදහස් කරගෙන වංචනික අන්දමින් මෙම ගවයා ලිහා ඇරීම පිළිබඳව ඔබ සිතා බැලුවේ නැද්ද?