43 සූරා අස් සුහ්ඃරුෆ්

(විසිතුරු භාණ්ඩ)

ආයත් 1-89 දක්වා.

අල් කුර්ආනය

< Sinhala>


—™

මාහිර් රම්ඩීන්

පරිවර්තක

ඉස්ලාම් හවුස් වෙබ් අඩවියේ සංස්කරණ මණ්ඩලය

විචාරය කිරීම

43 සූරත් අස්-සුහ්ඃරුෆ් (විසිතුරු භාණ්ඩ)

මක්කාහ්වෙහි දී හෙළිදරව් කෙරුණකි.

ආයාත් (වැකි) 89 කි.

بِسْمِ اللهِ الرَّحمنِ الرَّحِيْمِ

 අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි.

1-4 අල් කුර්ආනයේ භාෂාව ආරබිය.

හා මීම්

حم {1}

තවද පැහැදිලි දේව ග්‍රන්ථය මත දිවුරමින්

وَالْكِتَابِ الْمُبِينِ {2}

නුඹලා වටහා ගත හැකි වනු පිණිස අරාබි බසින් වූ පාරායනයක් බවට නියත වශයෙන්ම අපි එය පත් කළෙමු.

إِنَّا جَعَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا لَعَلَّكُمْ تَعْقِلُونَ {3}

තවද නියත වශයෙන්ම එය අප අබියස ඇති ප්‍රඥාවෙන් සපිරුණු උත්කෘෂ්ට මව් ග්‍රන්ථයේ විය.

وَإِنَّهُ فِي أُمِّ الْكِتَابِ لَدَيْنَا لَعَلِيٌّ حَكِيمٌ {4}

5-8 සීමාව ඉක්මවා ගියවුන් ඔවුන් නබිවරුන්ට කළ අපහාස සහ ඔවුනට අත් වූ දඬුවම.

නුඹලා සීමාව ඉක්මවා ගිය පිරිසක් ලෙස සිටි බැවින් එම මෙනෙහි කිරීම නුඹලාගෙන් වළක්වා අපි රඳවා ගන්නෙමු ද?

أَفَنَضْرِبُ عَنْكُمُ الذِّكْرَ صَفْحًا أَنْ كُنْتُمْ قَوْمًا مُسْرِفِينَ {5}

අපි කොපමණක් නබිවරුන් මුතුන් මිත්තන් අතරට එවා ඇත්තෙමු ද?

وَكَمْ أَرْسَلْنَا مِنْ نَبِيٍّ فِي الْأَوَّلِينَ {6}

කිසියම් නබිවරයකු ඔවුන් වෙත පැමිණි විට ඔවුන් ඔහුට සරදම් කරමින් සිටියා මිස නැත.

وَمَا يَأْتِيهِمْ مِنْ نَبِيٍّ إِلَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ {7}

එහෙයින් අපි ඔවුනට වඩා දරුණු අය ග්‍රහණය කොට විනාශ කළෙමු. මුතුන් මිත්තන්ගේ උපමාව ඉකුත් ව ගොස් ඇත.

فَأَهْلَكْنَا أَشَدَّ مِنْهُمْ بَطْشًا وَمَضَىٰ مَثَلُ الْأَوَّلِينَ {8}

9-14 අල්ලාහ්ගේ බලමහිමය.

අහස් හා මහපොළොව මැව්වේ කවුරුන්දැයි ඔබ ඔවුන්ගෙන් විමසා සිටියෙහි නම්. සර්වඥ සර්ව බලධාරියාණන් ඒවා මැව්වේ යැයි සැබැවින්ම ඔවුන් පවසනු ඇත.

وَلَئِنْ سَأَلْتَهُمْ مَنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ لَيَقُولُنَّ خَلَقَهُنَّ الْعَزِيزُ الْعَلِيمُ {9}

ඔහු වනාහි ඔහු නුඹලාට මහපොළොව තොටිල්ලක් බවට පත් කළේය. තවද නුඹලා ලැබිය හැකි වනු පිණිස නුඹලා වෙනුවෙන් එහි මංමාවත් ඇති කළේය.

الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ مَهْدًا وَجَعَلَ لَكُمْ فِيهَا سُبُلًا لَعَلَّكُمْ تَهْتَدُونَ {10}

තවද ඔහු වනාහි ඔහු අහසින් ජලය ප්‍රමාණ කොට පහළ කරයි. එවිට අපි මියැදුණු භූමියක් එමගින් පුබුදුමත් කළෙමු. එලෙසය නුඹලා බැහැර කරනු ලබනුයේ.

وَالَّذِي نَزَّلَ مِنَ السَّمَاءِ مَاءً بِقَدَرٍ فَأَنْشَرْنَا بِهِ بَلْدَةً مَيْتًا ۚ كَذَٰلِكَ تُخْرَجُونَ {11}

තවද ඔහු වනාහි ජෝඩු සියල්ල මැව්වේය. තවද නැව් හා ගොවිපළ සතුන්ගෙන් නුඹලා ප්‍රවාහනය කරන දෑ ඇති කළේය.

وَالَّذِي خَلَقَ الْأَزْوَاجَ كُلَّهَا وَجَعَلَ لَكُمْ مِنَ الْفُلْكِ وَالْأَنْعَامِ مَا تَرْكَبُونَ {12}

එහි පිට මත නුඹලා අසුන් ගෙන යනු පිණිසත් පසු ව ඒ මත නුඹලා නැග යන විට නුඹලාගේ පරමාධිපතිගේ ආශිර්වාදය මෙනෙහි කරනු පිණිසත් ‘අපට මෙය වසඟ කර දුන් ඔහු සුවිශුද්ධය. අපි එයට ඟාවන්නන් ලෙස නොසිටියෙමු තවද නියත වශයෙන්ම අපි අපගේ පරමාධිපති වෙත හැරී යන්නෝමය’ යැයි ඔවුන් පවසනු පිණිසත්ය.

لِتَسْتَوُوا عَلَىٰ ظُهُورِهِ ثُمَّ تَذْكُرُوا نِعْمَةَ رَبِّكُمْ إِذَا اسْتَوَيْتُمْ عَلَيْهِ وَتَقُولُوا سُبْحَانَ الَّذِي سَخَّرَ لَنَا هَٰذَا وَمَا كُنَّا لَهُ مُقْرِنِينَ{13} وَإِنَّا إِلَىٰ رَبِّنَا لَمُنْقَلِبُونَ {14}

15-25 දේව ආදේශකයින්ගේ ප්‍රබන්ධ ඔවුන් වෙත දක්වන ප්‍රතිචාරය සහ ඔවුන්ගේ අන්ධානුගමනය.

නමුත් ඔවුහු ඔහුගේ ගැත්තන්ගෙන් පිරිසකට ඔහු(ගේ දේවත්වය) සතු කොටසක් පත් කළෝය. නියත වශයෙන්ම මිනිසා පැහැදිලි ගුණමකුවෙකි.

وَجَعَلُوا لَهُ مِنْ عِبَادِهِ جُزْءًا ۚ إِنَّ الْإِنْسَانَ لَكَفُورٌ مُبِينٌ {15}

එසේ නැතහොත් ඔහු මවන දැයින් ඔහු දූවරුන් ගෙන නුඹලාට ඔහු පුතුන් තෝරා දුන්නේ ද?

أَمِ اتَّخَذَ مِمَّا يَخْلُقُ بَنَاتٍ وَأَصْفَاكُمْ بِالْبَنِينَ {16}

මහා කරුණාන්විතයාණන්හට උපමාවක් ලෙස ගෙන හැර දැක් වූ දෙයක් පිළිබඳ ව ඔවුන්ගෙන් කිසිවකුට ශුභාරංචි වශයෙන් දන්වනු ලැබූ විට ඔහු කෝපයට පත් ඔහුගේ මුහුණ කළු පැහැ ගැන් විය.

وَإِذَا بُشِّرَ أَحَدُهُمْ بِمَا ضَرَبَ لِلرَّحْمَٰنِ مَثَلًا ظَلَّ وَجْهُهُ مُسْوَدًّا وَهُوَ كَظِيمٌ {17}

ඔහු වාද කිරීමෙහි පැහැදිලි කළ නොහැකි ව සිටිය දී ආභරණයන් තුළ සරසනු ලබන්නන්ට ද? (ඔවුහු ගැතිකම් කරන්නේ)

أَوَمَنْ يُنَشَّأُ فِي الْحِلْيَةِ وَهُوَ فِي الْخِصَامِ غَيْرُ مُبِينٍ {18}

ඔවුන් මහා කරුණාන්විතයාණන් ගේ ගැත්තන් ව සිටියදී මලක්වරුන් ගැහැනුන් බවට මොවුහු පත් කර ගත්තෝය. ඔවුන් මැවීමේ දී මොවුහු පෙනී සිටියෝ ද? මොවුන්ගේ සාක්ෂිය සටහන් කරනු ලැබේ. තවද ඔවුහු ප්‍රශ්න කරනු ලබති

وَجَعَلُوا الْمَلَائِكَةَ الَّذِينَ هُمْ عِبَادُ الرَّحْمَٰنِ إِنَاثًا ۚ أَشَهِدُوا خَلْقَهُمْ ۚ سَتُكْتَبُ شَهَادَتُهُمْ وَيُسْأَلُونَ {19}

තවද “මහා කරුණාන්විතයාණන් අභිමත කර තිබුණේ නම් අපි ඔවුනට ගැතිකම් නොකරන්නට තිබුණි.” යැයි ඔවුහු පැවසූහ. පිළිබඳ ඔවුනට දැනුමක් නැත. ඔවුන් අනුමාන කරනු මිස නැත.

وَقَالُوا لَوْ شَاءَ الرَّحْمَٰنُ مَا عَبَدْنَاهُمْ ۗ مَا لَهُمْ بِذَٰلِكَ مِنْ عِلْمٍ ۖ إِنْ هُمْ إِلَّا يَخْرُصُونَ {20}

එසේ නැතහොත් මීට පෙර දේව ග්‍රන්ථයක් අපි ඔවුනට පිරිනමා ඔවුහු එය ග්‍රහණය කර ගෙන සිටියෝ ද?

أَمْ آتَيْنَاهُمْ كِتَابًا مِنْ قَبْلِهِ فَهُمْ بِهِ مُسْتَمْسِكُونَ {21}

එසේ නොව, නියත වශයෙන්ම අපගේ මුතුන් මිත්තන් යම් පිළිවෙතක සිටිනු අපි දුටුවෙමු. තවද නියත වශයෙන්ම අපි ඔවුන්ගේ පා සකුණු මත මග ලැබූවන් වූයෙමු. යැයි ඔවුහු පැවසූහ.

بَلْ قَالُوا إِنَّا وَجَدْنَا آبَاءَنَا عَلَىٰ أُمَّةٍ وَإِنَّا عَلَىٰ آثَارِهِمْ مُهْتَدُونَ {22}

එලෙසය ඔබට පෙර ද ගම්මානයක් වෙත අවවාද කරන්නෙකු අපි එවූ විට එහි සිටි ප්‍රභූවරුන් නියත වශයෙන්ම අපගේ මුතුන් මිත්තන් එක් පිළිවෙතක සිටිනු අපි දුටුවෙමු. තවද නියත වශයෙන්ම අපි ඔවුන්ගේ පා සකුණු මත අනුගමනය කරනු ලැබූවෝ වෙමු” යැයි වසා සිටියා මිස (වෙනත් දෙයක් සිදුවූයේ) නැත.

وَكَذَٰلِكَ مَا أَرْسَلْنَا مِنْ قَبْلِكَ فِي قَرْيَةٍ مِنْ نَذِيرٍ إِلَّا قَالَ مُتْرَفُوهَا إِنَّا وَجَدْنَا آبَاءَنَا عَلَىٰ أُمَّةٍ وَإِنَّا عَلَىٰ آثَارِهِمْ مُقْتَدُونَ{23}

කවර දෙයක් මත නුඹලාගේ මුතුන් මිත්තන් සිටිනු නුඹලා දුටුවේ ද ඊට වඩා නිවැරදි දෑ මම නුඹලා වෙත නොගෙනාවෙම් දැයි ඔහු විමසීය. එයට “කවර දෙයක් සමග නුඹලා එවනු ලැබුවේ ද නියත වශයෙන්ම අපි එය ප්‍රතික්ෂේප කරන්නෝ වෙමු. යැයි ඔවුහු පැවසූහ.

قَالَ أَوَلَوْ جِئْتُكُمْ بِأَهْدَىٰ مِمَّا وَجَدْتُمْ عَلَيْهِ آبَاءَكُمْ ۖ قَالُوا إِنَّا بِمَا أُرْسِلْتُمْ بِهِ كَافِرُونَ {24}

එවිට අපි ඔවුනට දඬුවම් කළෙමු. එහෙයින් බොරු කළවුන්ගේ අවසානය කෙසේ වී දැ?යි ඔබ අධීක්ෂණයෙන් බලනු.

فَانْتَقَمْنَا مِنْهُمْ ۖ فَانْظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ {25}

26-28 ඉබ්‍රාහීම් (අලය්හිස් සලාම්) තුමාගේ කතා වස්තුවෙන් බිඳක්.

තවද නියත වශයෙන්ම මා මැවූ අය හැර නුඹලා නමදින දැයින් මම ඉවත් වූයෙක්මි. එහෙයින් නියත වශයෙන්ම ඔහු මට මග පෙන්වනු ඇතැයි ඉබ්‍රාහීම් තම පියා හා තම ජනයාට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.

وَإِذْ قَالَ إِبْرَاهِيمُ لِأَبِيهِ وَقَوْمِهِ إِنَّنِي بَرَاءٌ مِمَّا تَعْبُدُونَ {26} إِلَّا الَّذِي فَطَرَنِي فَإِنَّهُ سَيَهْدِينِ {27}

තවද ඔවුන් නැවත හැරිය හැකි වනු පිණිස ඔහු එය(එම ප්‍රකාශය) ඔහුගෙන් පැවත එන්නන් අතර පවතින ප්‍රකාශයක් බවට පත් කළේය.

وَجَعَلَهَا كَلِمَةً بَاقِيَةً فِي عَقِبِهِ لَعَلَّهُمْ يَرْجِعُونَ {28}

29-35 දේව ආදේශකයින්ගේ ප්‍රබන්ධ.

නමුත් මොවුන් හා මොවුන්ගේ මුතුන් මිත්තන්හට ඔවුන් වෙත සත්‍යය හා පැහැදිලි දහම් දූතයකු පැමිණෙන තෙක් භුක්ති විඳින්නට මම සැලැස්වූයෙමි.

بَلْ مَتَّعْتُ هَٰؤُلَاءِ وَآبَاءَهُمْ حَتَّىٰ جَاءَهُمُ الْحَقُّ وَرَسُولٌ مُبِينٌ {29}

තවද ඔවුන් වෙත සත්‍යය පැමිණි කල්හි ‘මෙය හූනියමකි. තවද නියත වශයෙන්ම අපි එය ප්‍රතික්ෂේප කරන්නෝ වෙමු.’ යැයි ඔවුහු පැවසූහ.

وَلَمَّا جَاءَهُمُ الْحَقُّ قَالُوا هَٰذَا سِحْرٌ وَإِنَّا بِهِ كَافِرُونَ {30}

තවද “මෙම කුර්ආනය ගම්මාන දෙකෙහි ප්‍රබල මිනිසෙකු වෙත පහළ කරනු ලැබිය යුතු නොවේද?” යැයි ඔවුහු පැවසූහ.

وَقَالُوا لَوْلَا نُزِّلَ هَٰذَا الْقُرْآنُ عَلَىٰ رَجُلٍ مِنَ الْقَرْيَتَيْنِ عَظِيمٍ {31}

ඔබේ පරමාධිපතිගේ ආශිර්වාදය බෙදා හරිනුයේ ඔවුන් ද? මෙලොව ජීවිතයේ දී ඔවුන්ගේ ජීවන සම්පත් ඔවුන් අතර බෙදා හැරියේ අපය. තවද ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුගෙන් සේවා සසා ගැනීම සඳහා ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට වඩා ඉහළින් තරාතිරම් වලින් උසස් කළෙමු. ඔබේ පරමාධිපතිගේ ආශිර්වාදය ඔවුන් රැස් කරන දෑට වඩා ශ්‍රේෂ්ය.

أَهُمْ يَقْسِمُونَ رَحْمَتَ رَبِّكَ ۚ نَحْنُ قَسَمْنَا بَيْنَهُمْ مَعِيشَتَهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا ۚ وَرَفَعْنَا بَعْضَهُمْ فَوْقَ بَعْضٍ دَرَجَاتٍ لِيَتَّخِذَ بَعْضُهُمْ بَعْضًا سُخْرِيًّا ۗ وَرَحْمَتُ رَبِّكَ خَيْرٌ مِمَّا يَجْمَعُونَ {32}

ජනයා එකම සමූහයක් නොවන්නේ නම් මහා කරුණාන්විතයාණන් ප්‍රතික්ෂේප කරන්නන්හට ඔවුන්ගේ නිවෙස් රිදියෙන් වූ වියනින් ද ඒ මත ඔවුන් නැග යන පියගැට පෙළින් ද තවද ඔවුන්ගේ නිවෙස් දොරටු වලින් ද ඔවුන් ඒ මත හාන්සි ව සිටින කවිච්චි වලින් ද විසිතුරු භාණ්ඩ වලින්ද අපි ඇති කරන්නට තිබුණි. මේ සියල්ල මෙලොව ජීවිතයේ (සුළු) භුක්ති විඳීමක් මිස නැත. තවද ඔබේ පරමාධිපති අබියස මතු ලොව පිහිටනුයේ බිය බැතිමතුන්හටය.

وَلَوْلَا أَنْ يَكُونَ النَّاسُ أُمَّةً وَاحِدَةً لَجَعَلْنَا لِمَنْ يَكْفُرُ بِالرَّحْمَٰنِ لِبُيُوتِهِمْ سُقُفًا مِنْ فِضَّةٍ وَمَعَارِجَ عَلَيْهَا يَظْهَرُونَ {33} وَلِبُيُوتِهِمْ أَبْوَابًا وَسُرُرًا عَلَيْهَا يَتَّكِئُونَ {34} وَزُخْرُفًا ۚ وَإِنْ كُلُّ ذَٰلِكَ لَمَّا مَتَاعُ الْحَيَاةِ الدُّنْيَا ۚ وَالْآخِرَةُ عِنْدَ رَبِّكَ لِلْمُتَّقِينَ {35}

36-42 අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් ඉවත්වන්නා ෂෙයිතාන්ගේ මිතුරෙකි.

මහා කරුණාන්විතයාණන් මෙනෙහි කිරීම කවරෙකු පිටුපාන්නේ ද අපි ඔහුට ෂෙයිතානුවකු පවරන්නෙමු. එවිට ඔහු ඔහුට සමීප මිතුරෙකු වෙයි.

وَمَنْ يَعْشُ عَنْ ذِكْرِ الرَّحْمَٰنِ نُقَيِّضْ لَهُ شَيْطَانًا فَهُوَ لَهُ قَرِينٌ {36}

තවද නියත වශයෙන්ම ඔවුහු (ෂෙයිතානුන්) ඔවුන් යහ මාර්ගයෙන් වළක්වති. තවද නියත වශයෙන්ම තමන් යහ ලැබූවෝ යැයි ඔවුහු සිතති.

وَإِنَّهُمْ لَيَصُدُّونَهُمْ عَنِ السَّبِيلِ وَيَحْسَبُونَ أَنَّهُمْ مُهْتَدُونَ {37}

ඔහු අප වෙත පැමිණි අවස්ථාවේ ‘මා අතර හා ඔබ අතර නැගෙනහිර හා බටහිර මෙන් දුරස්භාවයක් තිබුණා විය යුතු නොවේ ද?’ යැයි ඔහු පවසයි. එහෙයින් එම සමීප මිතුරා නපුරුය.

حَتَّىٰ إِذَا جَاءَنَا قَالَ يَا لَيْتَ بَيْنِي وَبَيْنَكَ بُعْدَ الْمَشْرِقَيْنِ فَبِئْسَ الْقَرِينُ {38}

නුඹලා අපරාධ කර ඇති බැවින් අද දින නුඹලාට ප්‍රයෝජනවත් නොවන්නේමය. නියත වශයෙන්ම නුඹලා දඬුවමෙහි සහකාරයෝය.

وَلَنْ يَنْفَعَكُمُ الْيَوْمَ إِذْ ظَلَمْتُمْ أَنَّكُمْ فِي الْعَذَابِ مُشْتَرِكُونَ {39}

ඔබ බිහිරාට සවන් වැකෙන්නට සස්වන්නෙහි ද? එසේ නැතහොත් අන්ධයාට හා පැහැදිලි මුළාවෙහි සිටින්නාට ඔබ මග පෙන්වන්නෙහි ද?

أَفَأَنْتَ تُسْمِعُ الصُّمَّ أَوْ تَهْدِي الْعُمْيَ وَمَنْ كَانَ فِي ضَلَالٍ مُبِينٍ {40}

එහෙයින් අපි ඔබ (මෙලොවින්) ඉවත් කළ ද, සැබැවින්ම අපි ඔවුනට දඬුවම් කරන්නන් වෙමු.

فَإِمَّا نَذْهَبَنَّ بِكَ فَإِنَّا مِنْهُمْ مُنْتَقِمُونَ {41}

එසේ නැතහොත් ඔවුනට අපි ප්‍රතිඥා දුන් දෑ, අපි ඔබට පෙන්වන්නෙමු. සැබැවින්ම අපි ඔවුන් මත බලය දරන්නෝ වෙමු.

أَوْ نُرِيَنَّكَ الَّذِي وَعَدْنَاهُمْ فَإِنَّا عَلَيْهِمْ مُقْتَدِرُونَ {42}

43-45 නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් වෙත පෙන්වා දුන් ඇතැම් මග පෙන්වීම්

එහෙයින් ඔබ වෙත හෙළිදරව් කරනු ලැබූ දෑ ඔබ ග්‍රහණය කර ගනු. නියත වශයෙන්ම ඔබ ඍජු මාර්ගය මතය.

فَاسْتَمْسِكْ بِالَّذِي أُوحِيَ إِلَيْكَ ۖ إِنَّكَ عَلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ {43}

තවද නියත වශයෙන්ම මෙය ඔබට හා ඔබේ සමූහයාට මෙනෙහි කිරීමකි. තවද නුඹලා මතු ප්‍රශ්න කරනු ලබනු ඇත.

وَإِنَّهُ لَذِكْرٌ لَكَ وَلِقَوْمِكَ ۖ وَسَوْفَ تُسْأَلُونَ {44}

46-56 මූසා (අලය්හිස් සලාම්) තුමා සහ ෆිර්අවුන්ගේ කතා වස්තුව.

මහා කරුණාන්විතයාණන්ගෙන් තොර ව ගැතිකම් කරනු ලබන්නට වෙනත් දෙවිවරුන් අප පත් කළෙමු දැයි ඔබට පෙර අප එවූ අපගේ දූතවරුන්ගෙන් ඔබ විමසනු.

وَاسْأَلْ مَنْ أَرْسَلْنَا مِنْ قَبْلِكَ مِنْ رُسُلِنَا أَجَعَلْنَا مِنْ دُونِ الرَّحْمَٰنِ آلِهَةً يُعْبَدُونَ {45}

ෆිර්අවුන් හා ඔහුගේ පිරිස වෙත සැබැවින්ම අපි අපගේ සාධක සමග මූසා ව එව්වෙමු. එවිට ඔහු නියත වශයෙන්ම මම ලෝකයන්හි පරමාධිපතිගේ දහම් දූතයා වෙමි යැයි පැවසීය.

وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِآيَاتِنَا إِلَىٰ فِرْعَوْنَ وَمَلَئِهِ فَقَالَ إِنِّي رَسُولُ رَبِّ الْعَالَمِينَ {46}

57-66 ඊසා (අලය්හිස් සලාම්) තුමාගේ පහළ වීම ලෝක විනාශයේ සලකුණකි.

අපගේ සාධක සම ඔහු ඔවුන් වෙත පැමිණි කල්හි එවිට ඒ ගැන ඔවුහු (සමච්චලයට) සිනහසුනහ.

فَلَمَّا جَاءَهُمْ بِآيَاتِنَا إِذَا هُمْ مِنْهَا يَضْحَكُونَ {47}

අපි ඔවුනට කවර සාධකයක් පෙන්වුව ද එවැන්නට වඩා විශාල දෙයක් මිස වෙනකක් නොවීය. තවද ඔවුන් නැවත හැරිය හැකි වනු පිණිස අපි ඔවුන් දඬුවමින් හසු කර ගත්තෙමු.

وَمَا نُرِيهِمْ مِنْ آيَةٍ إِلَّا هِيَ أَكْبَرُ مِنْ أُخْتِهَا ۖ وَأَخَذْنَاهُمْ بِالْعَذَابِ لَعَلَّهُمْ يَرْجِعُونَ {48}

අහෝ හූනියම් කරුව! ඔබ අබියස ගිවිස ගත් දෑ අනුව ඔබ අප වෙනුවෙන් ඔබේ පරමාධිපතිගෙන් අයැද සිටිනු. නියත වශයෙන්ම අපි යහ මග ලැබූවෝ වන්නෙමු යැයි ඔවුහු පැවසූහ.

وَقَالُوا يَا أَيُّهَ السَّاحِرُ ادْعُ لَنَا رَبَّكَ بِمَا عَهِدَ عِنْدَكَ إِنَّنَا لَمُهْتَدُونَ {49}

ඔවුන්ගෙන් එම දඬුවම අපි ඉවත් කළ කල්හි එවිට ඔවුහු (දිවුරුම) කඩ කරති.

فَلَمَّا كَشَفْنَا عَنْهُمُ الْعَذَابَ إِذَا هُمْ يَنْكُثُونَ {50}

තවද ෆිර්අවුන් තම සමූහයා අතර අමතා අහෝ ජනයිනි! මිසරයේ ආධිපත්‍යය මා සතු නොවේ ද? මෙම ගංගාවන් මාගේ (පාලනය) යටතේ ගලා යයි. එහෙයින් නුඹලා නොදකින්නෙහු ද?

وَنَادَىٰ فِرْعَوْنُ فِي قَوْمِهِ قَالَ يَا قَوْمِ أَلَيْسَ لِي مُلْكُ مِصْرَ وَهَٰذِهِ الْأَنْهَارُ تَجْرِي مِنْ تَحْتِي ۖ أَفَلَا تُبْصِرُونَ {51}

එසේ නැතහොත් පැහැදිලි ව කතා කළ නොහැකි මේ නින්දිත පුද්ගලයාට වඩා මා ශ්‍රේෂ්ඨ නොවේ ද?

أَمْ أَنَا خَيْرٌ مِنْ هَٰذَا الَّذِي هُوَ مَهِينٌ وَلَا يَكَادُ يُبِينُ {52}

එසේනම් රනින් වූ වළලු ඔහු වෙත පඳවනු ලැබිය යුතු නොවේ ද? එසේ නැතහොත් ඔහු සමග පරිවාරකයින් ලෙස මලක්වරුන් පැමිණියේ ද?

فَلَوْلَا أُلْقِيَ عَلَيْهِ أَسْوِرَةٌ مِنْ ذَهَبٍ أَوْ جَاءَ مَعَهُ الْمَلَائِكَةُ مُقْتَرِنِينَ {53}

එවිට ඔහු තම ජනයා සුළුකොට සැකුවේය. එහෙයින් ඔවුහු ඔහුට අවනත වූහ. නියත වශයෙන්ම ඔවුහු (අල්ලාහ්ට එරෙහි වු) කලහකාරී පිරිසක් වූහ.

فَاسْتَخَفَّ قَوْمَهُ فَأَطَاعُوهُ ۚ إِنَّهُمْ كَانُوا قَوْمًا فَاسِقِينَ {54}

ඔවුහු අප කෝපයට පත් කළ කල්හි අපි ඔවුනට දඬුවම් කළෙමු. එවිට අපි ඔවුන් සියලු දෙනා (දියේ) ගිල්වූයෙමු.

فَلَمَّا آسَفُونَا انْتَقَمْنَا مِنْهُمْ فَأَغْرَقْنَاهُمْ أَجْمَعِينَ {55}

එවිට ඉකුත් ව ගිය පරපුරක් ලෙසත් පසු පැමිණෙන්නන්හට උපමාවක් ලෙසත් අපි ඔවුන් පත් කළෙමු

فَجَعَلْنَاهُمْ سَلَفًا وَمَثَلًا لِلْآخِرِينَ {56}

මර්යම්ගේ පුතණුවන් උපමාවක් ලෙස ගෙන හැර පෙන්වනු ලැබූ කල්හි එවිට ඔබේ ජනයා ඒ ගැන (අපහාස ලෙස) සිනහසුනහ.

وَلَمَّا ضُرِبَ ابْنُ مَرْيَمَ مَثَلًا إِذَا قَوْمُكَ مِنْهُ يَصِدُّونَ {57}

තවද ශ්‍රේෂ්ඨ වනුයේ අපගේ දෙවියන් ද එසේ නැතහොත් ඔහු දැ?”යි ඔවුහු විමසූහ. තර්කයක් ලෙසින් මිස ඔවුහු එය ඔබට ඉදිරිපත් නොකළෝය. එසේය. ඔවුහු තර්ක කරන පිරිසකි.

وَقَالُوا أَآلِهَتُنَا خَيْرٌ أَمْ هُوَ ۚ مَا ضَرَبُوهُ لَكَ إِلَّا جَدَلًا ۚ بَلْ هُمْ قَوْمٌ خَصِمُونَ {58}

අපි ඔහුට ආශිර්වාද කළ ගැත්තෙකු මිස ඔහු නැත. ඉස්රාඊල් දරුවන්ට උදාහරණයක් ලෙස අපි ඔහු පත් කළෙමු.

إِنْ هُوَ إِلَّا عَبْدٌ أَنْعَمْنَا عَلَيْهِ وَجَعَلْنَاهُ مَثَلًا لِبَنِي إِسْرَائِيلَ {59}

තවද අපි අභිමත කර තිබුණේ නම් නුඹලා අතුරින් මහපොළොවේ නියෝජනය කරමින් පැමිණෙන මලක්වරුන් පත් කරන්නට තිබුණි.

وَلَوْ نَشَاءُ لَجَعَلْنَا مِنْكُمْ مَلَائِكَةً فِي الْأَرْضِ يَخْلُفُونَ {60}

තවද නියත වශයෙන්ම ඔහු (ජේසු) අවසන් හෝරාවේ සංඥාවයි. එහෙයින් ඒ ගැන නුඹලා සැක නොකරනු. තවද නුඹලා මා අනුගමනය කරනු. මෙය ඍජු මාර්ගයයි.

وَإِنَّهُ لَعِلْمٌ لِلسَّاعَةِ فَلَا تَمْتَرُنَّ بِهَا وَاتَّبِعُونِ ۚ هَٰذَا صِرَاطٌ مُسْتَقِيمٌ {61}

ෂෙයිතාන් නුඹලා නොවැළක්විය යුතුය, නියත වශයෙන්ම ඔහු නුඹලාට ප්‍රකට සතුරෙකි.

وَلَا يَصُدَّنَّكُمُ الشَّيْطَانُ ۖ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُبِينٌ {62}

ඊසා පැහැදිලි සාධක සම පැමිණි කල්හි, මම නුඹලා වෙත ප්‍රඥාව සමග පැමිණියෙමි. තවද නුඹලා කවර දෙයක් සම්බන්ධයෙන් මතභේද ඇති කරගන්නෙහු ද එහි ඇතැම් දෑ මම නුඹලාට පැහැදිලි කරනු පිණිස (පැමිණියෙමි.) එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු. යැයි ඔහු පැවසීය.

وَلَمَّا جَاءَ عِيسَىٰ بِالْبَيِّنَاتِ قَالَ قَدْ جِئْتُكُمْ بِالْحِكْمَةِ وَلِأُبَيِّنَ لَكُمْ بَعْضَ الَّذِي تَخْتَلِفُونَ فِيهِ ۖ فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ {63}

නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහු මාගේ පරමාධිපතිය. තවද නුඹලාගේද පරමාධිපතිය. එහෙයින් නුඹලා ඔහුට ගැතිකම් කරනු. මෙය ඍජු මාර්ගයයි.

إِنَّ اللَّهَ هُوَ رَبِّي وَرَبُّكُمْ فَاعْبُدُوهُ ۚ هَٰذَا صِرَاطٌ مُسْتَقِيمٌ {64}

එවිට ඔවුන් අතුරින් වූ කණ්ඩායම් මත භේද ඇති කර ගත්තෝය. එහෙයින් අපරාධ කළවුන්ට වේදනීය දිනයේ දඬුවමින් විනාශ අත්වේවා!

فَاخْتَلَفَ الْأَحْزَابُ مِنْ بَيْنِهِمْ ۖ فَوَيْلٌ لِلَّذِينَ ظَلَمُوا مِنْ عَذَابِ يَوْمٍ أَلِيمٍ {65}

ඔවුන් නොහගමින් සිටිය දී ක්ෂණික ව ඔවුන් වෙත පැමිණෙන අවසන් හෝරාව ගැන හැර (වෙනත් කිසිවක්) ඔවුහු බලාපොරොත්තු වන්නෙහු ද?

هَلْ يَنْظُرُونَ إِلَّا السَّاعَةَ أَنْ تَأْتِيَهُمْ بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ {66}

67-73 බිය බැතිමතුන්හට ස්වර්ගයේ හිමි ප්‍රතිඵල.

දේව බිය බැතිමතුන් හැර, එම මිතුරන් එදින ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට සතුරු වෙති.

الْأَخِلَّاءُ يَوْمَئِذٍ بَعْضُهُمْ لِبَعْضٍ عَدُوٌّ إِلَّا الْمُتَّقِينَ {67}

අහෝ මාගේ ගැත්තනි! අද දින නුඹලා වෙත කිසිදු බියක් නැත. තවද නුඹලා දුකට පත් නොවන්නෙහුය.

يَا عِبَادِ لَا خَوْفٌ عَلَيْكُمُ الْيَوْمَ وَلَا أَنْتُمْ تَحْزَنُونَ {68}

ඔවුහු වනාහි අපගේ වදන් විශ්වාස කොට අවනත වන්නන් වූහ.

الَّذِينَ آمَنُوا بِآيَاتِنَا وَكَانُوا مُسْلِمِينَ {69}

නුඹලා හා නුඹලාගේ බිරියන් සතුටු කරවනු ලබන තත්ත්වයේ නුඹලා ස්වර්ගයට පිවිසෙනු (යැයි එදින ඔවුනට කියනු ලැබේ.)

ادْخُلُوا الْجَنَّةَ أَنْتُمْ وَأَزْوَاجُكُمْ تُحْبَرُونَ {70}

රනින් වූ තැටි හා බදුන් ඔවුන් වටා ගෙන යනු ලැබේ. සිත් ආශා කරන දෑ ද ඇස් පිනවන දෑ ද එහි ඇත. තවද නුඹලා එහි සදාතනිකයෝය.

يُطَافُ عَلَيْهِمْ بِصِحَافٍ مِنْ ذَهَبٍ وَأَكْوَابٍ ۖ وَفِيهَا مَا تَشْتَهِيهِ الْأَنْفُسُ وَتَلَذُّ الْأَعْيُنُ ۖ وَأَنْتُمْ فِيهَا خَالِدُونَ {71}

නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් නුඹලාට උරුම කර දෙනු ලැබූ ස්වර්ගය එයයි.

وَتِلْكَ الْجَنَّةُ الَّتِي أُورِثْتُمُوهَا بِمَا كُنْتُمْ تَعْمَلُونَ {72}

නුඹලාට එහි බොහෝමයක් පලතුරු ඇත. එයින් නුඹලා අනුභව කරන්නෙහුය (එහිදී කියනු ලැබේ.)

لَكُمْ فِيهَا فَاكِهَةٌ كَثِيرَةٌ مِنْهَا تَأْكُلُونَ {73}

74-80 නිරාවාසීන් සතු දඬුවම්‍.

නියත වශයෙන්ම වැරදිකරුවන් නිරයේ දඬුවමෙහි සදාතනිකයෝ වෙති.

إِنَّ الْمُجْرِمِينَ فِي عَذَابِ جَهَنَّمَ خَالِدُونَ {74}

ඔවුහු එහි නිරායාසයට පත් ව සිටියදී ඔවුන්ගෙන් (දඬුවම) ලිහිල් කරනු නොලැබේ.

لَا يُفَتَّرُ عَنْهُمْ وَهُمْ فِيهِ مُبْلِسُونَ {75}

තවද අපි ඔවුනට අපරාධ නොකළෙමු. නමුත් ඔවුහු (තමන්ම) අපරාධකරුවන් වූහ.

وَمَا ظَلَمْنَاهُمْ وَلَٰكِنْ كَانُوا هُمُ الظَّالِمِينَ {76}

අහෝ (නිරයේ භාරකරු වන) මාලික්! ඔබේ පරමාධිපති (අපේ අවසානය) අප වෙත තීන්දු කරත්වා ! යැයි ඔවුහු අමතති. (එවිට)නියත වශයෙන් නුඹලා රැඳී සිටින්නෝ වෙති යැයි ඔහු පවසයි.

وَنَادَوْا يَا مَالِكُ لِيَقْضِ عَلَيْنَا رَبُّكَ ۖ قَالَ إِنَّكُمْ مَاكِثُونَ {77}

සැබැවින්ම අපි සත්‍යය සමග නුඹලා වෙත පැමිණියෙමු. නමුත් නුඹලාගෙන් බහුතරයක් දෙනා සත්‍යය පිළිකුල් කරන්නෝ වෙති.

لَقَدْ جِئْنَاكُمْ بِالْحَقِّ وَلَٰكِنَّ أَكْثَرَكُمْ لِلْحَقِّ كَارِهُونَ {78}

එසේ නැතහොත් ඔවුහු යම් කරුණක් තීන්දු කළෝ ද? එවිට නියත වශයෙන්ම අපි ද තීන්දු කරන්නො වෙමු.

أَمْ أَبْرَمُوا أَمْرًا فَإِنَّا مُبْرِمُونَ {79}

ඔවුන් රහසින් පවසන දෑට හා ඔවුන්ගේ රහස් සාකච්ඡා වලට සැබැවින්ම අප සවන් නොදෙනු ඇතැයි ඔවුහු සිතන්නෝ ද? එසේ නොව ඔවුන් අබියසට වී අපගේ දූතවරු (සියල්ල) සටහන් කරති.

أَمْ يَحْسَبُونَ أَنَّا لَا نَسْمَعُ سِرَّهُمْ وَنَجْوَاهُمْ ۚ بَلَىٰ وَرُسُلُنَا لَدَيْهِمْ يَكْتُبُونَ {80}

81-89 අල්ලාහ්ට කිසිදු හවුල් කරුවකු හෝ පුතකු හෝ නැත. ඔහු එකීයය.

“මහා කරුණාන්විතයාණන් හට දරුවකු වී නම් ගැතිකම් කරන්නන් අතුරින් පළමුවැන්නා මම වෙමි” යැයි (නබිවරය,) ඔබ පවසනු.

قُلْ إِنْ كَانَ لِلرَّحْمَٰنِ وَلَدٌ فَأَنَا أَوَّلُ الْعَابِدِينَ {81}

අහස් හි හා මහපොළොවේ හිමිපාණන් වූ එමෙන්ම අර්ෂ් (හෙවත් සවර්ග රාජ්‍යයේ) හිමිපාණන් ඔවුන් වර්ණනා කරන දැයින් සුවිශුද්ධය.

سُبْحَانَ رَبِّ السَّمَاوَاتِ وَالْأَرْضِ رَبِّ الْعَرْشِ عَمَّا يَصِفُونَ {82}

එහෙයින් ඔවුනට ප්‍රතිඥා දෙනු ලබන ඔවුන්ගේ දිනය හමුවන තෙක් එසේ ඔවුන් නිරත වන්නටත් සෙල්ලම් කරන්නටත් ඔබ ඔවුන් අත්හැර දමනු.

فَذَرْهُمْ يَخُوضُوا وَيَلْعَبُوا حَتَّىٰ يُلَاقُوا يَوْمَهُمُ الَّذِي يُوعَدُونَ {83}

ඔහු වනාහි අහස් හි දෙවිඳාය. මහපොළොවෙහි ද දෙවිඳාය. තවද මහා ප්‍රඥාවන්තය. සර්වඥානීය.

وَهُوَ الَّذِي فِي السَّمَاءِ إِلَٰهٌ وَفِي الْأَرْضِ إِلَٰهٌ ۚ وَهُوَ الْحَكِيمُ الْعَلِيمُ {84}

අහස්හි හා මහපොළොවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද ආධිපත්‍යය තමන් සතු වූ ඔහු අති උත්කෘෂ්ඨ විය. තවද අවසන් හෝරාව පිළිබඳ දැනුම ඔහු වෙතය. තවද නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙතමය.

وَتَبَارَكَ الَّذِي لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا وَعِنْدَهُ عِلْمُ السَّاعَةِ وَإِلَيْهِ تُرْجَعُونَ {85}

ඔහු හැර ඔවුන් ඇරයුම් කරන අයට මැදිහත් වීමට බලය නොමැත. නමුත්, ඔවුන් දැනුවත්ව සත්‍යයට සාක්ෂි දැරූවන් හැර.

وَلَا يَمْلِكُ الَّذِينَ يَدْعُونَ مِنْ دُونِهِ الشَّفَاعَةَ إِلَّا مَنْ شَهِدَ بِالْحَقِّ وَهُمْ يَعْلَمُونَ {86}

තවද ඔවුන් මැව්වේ කවුදැයි ඔබ ඔවුන්ගෙන් විමසූ විට අල්ලාහ් යැයි සැබැවින්ම ඔවුහු පවසනු ඇත. එසේ නම් ඔවුන් වෙනතකට හරවනු ලබනුයේ කෙසේ ද?

وَلَئِنْ سَأَلْتَهُمْ مَنْ خَلَقَهُمْ لَيَقُولُنَّ اللَّهُ ۖ فَأَنَّىٰ يُؤْفَكُونَ {87}

තවද ‘අහෝ මාගේ පරමාධිපතියාණනි, නියත වශයෙන්ම මොවුහු විශ්වාස නොකරන පිරිසකි.’ යන ඔහුගේ ප්‍රකාශය වේ.

وَقِيلِهِ يَا رَبِّ إِنَّ هَٰؤُلَاءِ قَوْمٌ لَا يُؤْمِنُونَ {88}

එහෙයින් ඔබ ඔවුන් නොසළකා හරිනු. තවද සලාම් (ශාන්තිය) යැයි පවසනු. එවිට ඔවුහු මතු දැන ගනු ඇත.

فَاصْفَحْ عَنْهُمْ وَقُلْ سَلَامٌ ۚ فَسَوْفَ يَعْلَمُونَ {89}