38 සාද්

 ආයත් 1-88 දක්වා.

අල් කුර්ආනය

< Sinhala>


—™

මාහිර් රම්ඩීන්

පරිවර්තක

ඉස්ලාම් හවුස් වෙබ් අඩවියේ සංස්කරණ මණ්ඩලය

විචාරය කිරීම

38. සූරත් සාද්

මක්කාහ්වෙහිදී හෙළිදරව් කෙරුණකි.

ආයාත් (වැකි) 88 කි.

بِسْمِ اللهِ الرَّحمنِ الرَّحِيْمِ

 අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි.

1-11 දේව ආදේශකයින්ගේ අහංකාරකම සහ මුරණ්ඩුකම.

සාද්, උපදෙස් සහිත අල් කුර්ආනය මත දිවුරමින්.

ص ۚ وَالْقُرْآنِ ذِي الذِّكْرِ {1}

නමුත් ප්‍රතික්ෂේප කළවුන් ගර්වයෙහි හා බෙදීම්හි වෙති.

بَلِ الَّذِينَ كَفَرُوا فِي عِزَّةٍ وَشِقَاقٍ {2}

ඔවුනට පෙර පරම්පරාවන් කොපමණක් අපි විනාශ කළෙමු ද? එවිට ඔවුහු විලාප නැගුවෝය. (එය)ලා යන අවස්ථාවක් නොවීය.

كَمْ أَهْلَكْنَا مِنْ قَبْلِهِمْ مِنْ قَرْنٍ فَنَادَوْا وَلَاتَ حِينَ مَنَاصٍ {3}

ඔවුන් අතුරින්ම අවවාද කරන්නෙකු ඔවුන් වෙත පැමිණීම ගැන ඔවුහු පුදුමයට පත් වූහ. මොහු මහා බොරුකාර හූනියමකරුවකුයැයි දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් පැවසීය.

وَعَجِبُوا أَنْ جَاءَهُمْ مُنْذِرٌ مِنْهُمْ ۖ وَقَالَ الْكَافِرُونَ هَٰذَا سَاحِرٌ كَذَّابٌ {4}

දෙවිවරුන් එක් දෙවියකු බවට ඔහු පත් කළේ ද? නියත වශයෙන්ම මෙය පුදුම සහගත කරුණකි. (යැයි ඔවුහු විමසූහ)

أَجَعَلَ الْآلِهَةَ إِلَٰهًا وَاحِدًا ۖ إِنَّ هَٰذَا لَشَيْءٌ عُجَابٌ {5}

ඔවුන් අතර සිටි ප්‍රධානීහු, “නුඹලා යනු. නුඹලාගේ දෙවිවරුන් මත ස්ථීර ව රැඳී සිටිනු. නියත වශයෙන්ම මෙය (අපගෙන්) අපේක්ෂා කරනු ලබන කරුණකි යැයි (පවසමින්) ගමන් කළහ.

وَانْطَلَقَ الْمَلَأُ مِنْهُمْ أَنِ امْشُوا وَاصْبِرُوا عَلَىٰ آلِهَتِكُمْ ۖ إِنَّ هَٰذَا لَشَيْءٌ يُرَادُ {6}

“අවසාන පිළිවෙත් තුළ මේ ගැන අප අසා නැත්තෙමු. මෙය ප්‍රබන්ධිත බොරුවක් මිස නැත.

مَا سَمِعْنَا بِهَٰذَا فِي الْمِلَّةِ الْآخِرَةِ إِنْ هَٰذَا إِلَّا اخْتِلَاقٌ {7}

අප අතුරින් මෙම උපදෙස පහළ කරනු ලැබුවේ මොහු වෙත ද?(යැයි ප්‍රතික්ෂේප කළවුන් විමසීය.) එසේ නොව ඔවුන් මාගේ උපදෙස ගැන සැකයෙහි වෙති. මක්නිසාද යත් ඔවුන් (මෙතෙක්) මාගේ දඬුවම විඳ නැත.

أَأُنْزِلَ عَلَيْهِ الذِّكْرُ مِنْ بَيْنِنَا ۚ بَلْ هُمْ فِي شَكٍّ مِنْ ذِكْرِي ۖ بَلْ لَمَّا يَذُوقُوا عَذَابِ {8}

එසේ නැතහොත් පරිත්‍යාගශීලී සර්වබලධාරී ඔබේ පරමාධිපතිගේ දයාවේ නිධන් ඔවුන් අබියස තිබේ ද?

أَمْ عِنْدَهُمْ خَزَائِنُ رَحْمَةِ رَبِّكَ الْعَزِيزِ الْوَهَّابِ {9}

එසේ නැතිනම් අහස්හි හා මහපොළොවේ ද ඒ දෙක අතර ඇති දෑහි ආධිපත්‍යය ඔවුන් සතු ද? එසේ නම් ඔවුහු (භෞතික) සාධකයන්හි නැග යත්වා!

أَمْ لَهُمْ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا ۖ فَلْيَرْتَقُوا فِي الْأَسْبَابِ {10}

මෙහි ඇති සේනාව ද පරාජයට පත් කරනු ලැබූ ඒකාබද්ධ සේනාවන් අතුරිනි.

جُنْدٌ مَا هُنَالِكَ مَهْزُومٌ مِنَ الْأَحْزَابِ {11}

12-16 පෙර විසූ සමූහයන් පිළිබඳ සිහිගැන්වීම සහ ඔවුනට කළ අවවාදය.

ඔවුනට පෙර නූහ්ගේ ජනයා ද ආද් සමූහයා ද රිටි සහිත ෆිර්අවුන් ද සමූද් ජනයා ද ලූත්ගේ ජනයා ද අයිකාවාසීන් ද බොරු කොළෝය. ඔවුහුමය එම සේනා වනුයේ.

كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَعَادٌ وَفِرْعَوْنُ ذُو الْأَوْتَادِ {12} وَثَمُودُ وَقَوْمُ لُوطٍ وَأَصْحَابُ الْأَيْكَةِ ۚ أُولَٰئِكَ الْأَحْزَابُ {13}

(ඔවුන්) සියල්ල දහම් දූතයින් බොරු කළා මිස නැත. එහෙයින් මාගේ දඬුවම නියම විය.

إِنْ كُلٌّ إِلَّا كَذَّبَ الرُّسُلَ فَحَقَّ عِقَابِ {14}

එක් හඬක් මිස මොවුහු බලාපොරොත්තු නොවූහ. එයට කිසිදු හැරීබැලීමක් (හෝ ප්‍රමාදවීමක්) නැත.

وَمَا يَنْظُرُ هَٰؤُلَاءِ إِلَّا صَيْحَةً وَاحِدَةً مَا لَهَا مِنْ فَوَاقٍ {15}

අපගේ පරමාධිපතියාණනි! විනිශ්චය දිනට පෙර අපගේ කොටස අපහට ඉක්මන් කරනු මැනව! යැයි ඔවුහු පැවසූහ.

وَقَالُوا رَبَّنَا عَجِّلْ لَنَا قِطَّنَا قَبْلَ يَوْمِ الْحِسَابِ {16}

17-26 දාවූද් (අලය්හිස් සලාම්) තුමාගේ කතා වස්තුව.

ඔවුන් පවසන දෑ මත ඔබ ඉවසා සිටිනු. තවද බලවත් අයකු වූ අපගේ ගැත්තා දාවූද් පිළිබඳ මෙනෙහි කරනු. නියත වශයෙන්ම ඔහු (අල්ලාහ් වෙත) ඉමහත් ලෙස හැරෙන්නෙකු විය.

اصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَاذْكُرْ عَبْدَنَا دَاوُودَ ذَا الْأَيْدِ ۖ إِنَّهُ أَوَّابٌ {17}

ඔහු සම සවස් කාලයේ සහ උදෑසන (අල්ලාහ්ගේ නාමය) සුවිශුද්ධ කරන කඳු ද (රංචු වශයෙන්) රැස් කරනු ලබන පක්ෂීන් ද අපි වසඟ කර දුනිමු. සියල්ල ඔහු වෙත ඉමහත් ලෙස හැරෙන්නෝ වෙති.

إِنَّا سَخَّرْنَا الْجِبَالَ مَعَهُ يُسَبِّحْنَ بِالْعَشِيِّ وَالْإِشْرَاقِ {18} وَالطَّيْرَ مَحْشُورَةً ۖ كُلٌّ لَهُ أَوَّابٌ {19}

තවද අපි ඔහුගේ රාජ්‍යය බලවත් කළෙමු. තවද අපි ඔහුට ප්‍රඥාව හා (තීරණාත්මකව) කතා කිරීමේ පැහැදිලිතාව පිරිනැමුවෙමු.

وَشَدَدْنَا مُلْكَهُ وَآتَيْنَاهُ الْحِكْمَةَ وَفَصْلَ الْخِطَابِ {20}

ඔවුහු නැමදුම් ස්ථානය වෙත (බිත්තියෙන්) නැග පැමිණි අවස්ථාවේ එම වාදයේ පුවත ඔබ වෙත පැමිණියේ ද? දාවූද් වෙත ඔවුහු පිවිසුණු විට ඔවුන් පිළිබඳ ඔහු තැති ගත්තේය. ඔබ බිය නොවනු. අපගෙන් ඇතැමෙකු ඇතැමෙකුට අසාධාරණකම් සිදු කොට ඇත. එහෙයින් ඔබ යුක්ති ගරුක ව අප අතර තීන්දු දෙනු. තවද ඔබ නැඹුරු නොවනු. තවද අපහට ඍජු මාර්ගය වෙත ම පෙන්වනු යැයි ඔවුහු පැවසූහ.

وَهَلْ أَتَاكَ نَبَأُ الْخَصْمِ إِذْ تَسَوَّرُوا الْمِحْرَابَ {21} إِذْ دَخَلُوا عَلَىٰ دَاوُودَ فَفَزِعَ مِنْهُمْ ۖ قَالُوا لَا تَخَفْ ۖ خَصْمَانِ بَغَىٰ بَعْضُنَا عَلَىٰ بَعْضٍ فَاحْكُمْ بَيْنَنَا بِالْحَقِّ وَلَا تُشْطِطْ وَاهْدِنَا إِلَىٰ سَوَاءِ الصِّرَاطِ {22}

ඉදිරිපත් කරනු ලැබූ වාදය හා තීන්දුව

“නියත වශයෙන්ම මොහු මාගේ සහෝදරයාය. ඔහුට බැටළු දෙනුන් අනූ නව දෙනෙකු ඇත. තවද මට එක් බැටළු දෙනකු පමණක් ඇත. තවද ‘එය ද මට පවරන්නැ’යි ඔහු පවසා සිටියි. කතාවෙහි ඔහු මා අබිබවා ගොස් ඇත.”

إِنَّ هَٰذَا أَخِي لَهُ تِسْعٌ وَتِسْعُونَ نَعْجَةً وَلِيَ نَعْجَةٌ وَاحِدَةٌ فَقَالَ أَكْفِلْنِيهَا وَعَزَّنِي فِي الْخِطَابِ {23}

ඔබේ බැටළු දෙන ද ඔහුගේ බැටළු දෙනුන්ට එක් කරන මෙන් ඉල්ලා සිටීමෙන් ඔහු ඔබට අසාධාරණයක් කර ඇත. හවුල්කරුවන්ගෙන් බහුතරයක් දෙනා ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට අසාධාරණකම් කරති. නමුත් විශ්වාස කොට යහකම් කළවුන් හැර. තවද ඔවුහු ස්වල්ප දෙනෙකි. සැබැවින්ම අපි ඔහු පරීක්ෂාවට ලක් කොට ඇතැයි දාවූද් වටහා ගත්තේය. එහෙයින් ඔහු ඔහුගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිටියේය. තවද නැමී බිම වැතිරුණේය. තවද ඔහු (පශ්චාතාපවී) හැරුණේය.

قَالَ لَقَدْ ظَلَمَكَ بِسُؤَالِ نَعْجَتِكَ إِلَىٰ نِعَاجِهِ ۖ وَإِنَّ كَثِيرًا مِنَ الْخُلَطَاءِ لَيَبْغِي بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَقَلِيلٌ مَا هُمْ ۗ وَظَنَّ دَاوُودُ أَنَّمَا فَتَنَّاهُ فَاسْتَغْفَرَ رَبَّهُ وَخَرَّ رَاكِعًا وَأَنَابَ ۩ {24}

එහෙයින් අපි ඔහුට ඒ සඳහා සමාව දුනිමු. නියත වශයෙන්ම අප අබියස ඔහු වෙනුවෙන් සමීපතාවක් සහ අලංකාර හැරී පැමිණෙන තැනක් ඇත.

فَغَفَرْنَا لَهُ ذَٰلِكَ ۖ وَإِنَّ لَهُ عِنْدَنَا لَزُلْفَىٰ وَحُسْنَ مَآبٍ {25}

තීන්දු දීමේදී පිළිපැදිය යුතු කරුණු දෙකක්.

අහෝ දාවූද්! අපි ඔබ මහපොළොවේ නියෝජිතයකු බවට පත් කළෙමු. එහෙයින් ඔබ ජනයා අතර යුක්තිගරුක ව තීන්දු දෙනු. තවද ආශාවන් අනුගමනය නොකරනු. එවිට එය අල්ලාහ්ගේ මාර්ගයෙන් ඔබ නොම යවනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ්ගේ මාර්ගයෙන් නොම ගියවුන් වන ඔවුනට විනිශ්චය දිනය ඔවුන් අමතක කළ බැවින් දැඩි දඬුවමක් ඇත.

يَا دَاوُودُ إِنَّا جَعَلْنَاكَ خَلِيفَةً فِي الْأَرْضِ فَاحْكُمْ بَيْنَ النَّاسِ بِالْحَقِّ وَلَا تَتَّبِعِ الْهَوَىٰ فَيُضِلَّكَ عَنْ سَبِيلِ اللَّهِ ۚ إِنَّ الَّذِينَ يَضِلُّونَ عَنْ سَبِيلِ اللَّهِ لَهُمْ عَذَابٌ شَدِيدٌ بِمَا نَسُوا يَوْمَ الْحِسَابِ {26}

27,28. ලොවෙහි නිෂ්ඵල කිසිවක් නොමැත.

අහස හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද නිෂ්ඵල දෑ ලෙසින් අප මවා නැත. එය දෙවියන් ප්‍රතික්ෂේප කළවුන්ගේ සිතුවිල්ලයි. එහෙයින් දෙවියන් ප්‍රතික්ෂේප කළවුනට (නිරා) ගින්නෙන් වූ විනාශය අත්වේවා!

وَمَا خَلَقْنَا السَّمَاءَ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا بَاطِلًا ۚ ذَٰلِكَ ظَنُّ الَّذِينَ كَفَرُوا ۚ فَوَيْلٌ لِلَّذِينَ كَفَرُوا مِنَ النَّارِ {27}

දෙවියන් විශ්වාස කොට යහකම් කළවුන්, මහපොළොවේ කලහකාරීන් මෙන් අපි සළකන්නෙමුද? එසේ නැතහොත් බිය බැතිමතුන් දුෂ්ටයින් මෙන් අපි සළකන්නෙමුද?

أَمْ نَجْعَلُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ كَالْمُفْسِدِينَ فِي الْأَرْضِ أَمْ نَجْعَلُ الْمُتَّقِينَ كَالْفُجَّارِ {28}

29 අල් කුර්ආනයේ මහිමය සහ එහි වැදගත්කම.

(මෙය) ඔබ වෙත අපි පහළ කළ භාග්‍යමත් පුස්තකයයි. ඔවුන් එහි වදන් පරිශීලනය කරනු පිණිසත් බුද්ධිය ඇත්තන් මෙනෙහි කරනු පිණිසත් (අපි එය පහළ කළෙමු.)

كِتَابٌ أَنْزَلْنَاهُ إِلَيْكَ مُبَارَكٌ لِيَدَّبَّرُوا آيَاتِهِ وَلِيَتَذَكَّرَ أُولُو الْأَلْبَابِ {29}

30-40 සුලය්මාන් (අලය්හිස් සලාම්) තුමාණෝ

තවද අපි දාවූද්ට සුලයිමාන් ව පිරිනැමුවෙමු. එම ගැත්තා යහපත් විය. නියත වශයෙන්ම ඔහු ඉමහත් ලෙස (අල්ලාහ් වෙත) නැඹුරු වන්නෙකි.

وَوَهَبْنَا لِدَاوُودَ سُلَيْمَانَ ۚ نِعْمَ الْعَبْدُ ۖ إِنَّهُ أَوَّابٌ {30}

සවස් කාලයෙහි මනාව වැඩුණු අශ්වයින් ඔහු වෙත ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාව සිහිපත් කරනු.

إِذْ عُرِضَ عَلَيْهِ بِالْعَشِيِّ الصَّافِنَاتُ الْجِيَادُ {31}

එවිට නියත වශයෙන්ම ආවරණය වීමෙන් එය(හිරු) සැඟ වී යනතෙක් මාගේ පරමාධිපති මෙනෙහි කිරීමෙන් මෙම වස්තුවට ඇලුම් කර ඇතැයි මම සිතමි යැයි පැවසීය.

فَقَالَ إِنِّي أَحْبَبْتُ حُبَّ الْخَيْرِ عَنْ ذِكْرِ رَبِّي حَتَّىٰ تَوَارَتْ بِالْحِجَابِ {32}

නුඹලා එය මා වෙත නැවත ගෙන එනු යි පවසා ගෙලවල් හා කකුල් පිරිමදින්නට පටන් ගත්තේය.

رُدُّوهَا عَلَيَّ ۖ فَطَفِقَ مَسْحًا بِالسُّوقِ وَالْأَعْنَاقِ {33}

තවද සැබැවින්ම අපි සුලයිමාන් පරීක්ෂාවට ලක් කළෙමු. තවද අපි ඔහුගේ ආසනය මත (මළ)සිරුරක් හෙළුවෙමු. පසු ව ඔහු නැවත යොමු විය.

وَلَقَدْ فَتَنَّا سُلَيْمَانَ وَأَلْقَيْنَا عَلَىٰ كُرْسِيِّهِ جَسَدًا ثُمَّ أَنَابَ {34}

මාගේ පරමාධිපතියාණනි! මට ඔබ සමාව දෙනු මැනව! තවද මගෙන් පසු ව කිසිවකුට අයිති නොවන රාජ්‍යයක් මට පිරිනමනු මැනව! නියත වශයෙන්ම ඔබ මහා පරිත්‍යාගශීලීය.

قَالَ رَبِّ اغْفِرْ لِي وَهَبْ لِي مُلْكًا لَا يَنْبَغِي لِأَحَدٍ مِنْ بَعْدِي ۖ إِنَّكَ أَنْتَ الْوَهَّابُ {35}

එවිට අපි ඔහුට සුළඟ වසඟ කර දුන්නෙමු. ඔහු සිතූ පරිදි ඔහුගේ අණින් එය පහසුවෙන් හමා යයි.

فَسَخَّرْنَا لَهُ الرِّيحَ تَجْرِي بِأَمْرِهِ رُخَاءً حَيْثُ أَصَابَ {36}

තවද ගොඩනැගිලි ඉදි කරන එමෙන්ම කිමිද මුතු ගොඩගන්නා සියලු ෂෙයිතානුවන් හා යදම් තුළ බැඳ දමනු ලැබූ තවත් අය ද (අපි ඔහුට වසඟ කර දුනිමු.)

وَالشَّيَاطِينَ كُلَّ بَنَّاءٍ وَغَوَّاصٍ {37} وَآخَرِينَ مُقَرَّنِينَ فِي الْأَصْفَادِ {38}

මෙය අපගේ ත්‍යාගයයි. එහෙයින් ඔබ කිසිදු විනිශ්චයක් නොවනු අයුරින් උපකාර කරනු, එසේ නැතහොත් රඳවා ගනු.

هَٰذَا عَطَاؤُنَا فَامْنُنْ أَوْ أَمْسِكْ بِغَيْرِ حِسَابٍ {39}

තවද නියත වශයෙන්ම අප අබියස ඔහුට කිට්ටු සමීපතාවක් හා අලංකාර හැරී පැමිණෙන නවාතැන ඇත.

وَإِنَّ لَهُ عِنْدَنَا لَزُلْفَىٰ وَحُسْنَ مَآبٍ {40}

41-44 අය්යූබ් (අලය්හිස් සලාම්) තුමාණෝ

තවද අපගේ ගැත්තකු වූ අය්යූබ් ද ඔබ මෙනෙහි කර බලනු. ඔහු තම පරමාධිපති අමතා, “නියත වශයෙන්ම ෂෙයිතාන් උවදුරකින් හා වේදනාවකින් මා ස්පර්ශ කොට ඇත යැයි පැවසීය.

وَاذْكُرْ عَبْدَنَا أَيُّوبَ إِذْ نَادَىٰ رَبَّهُ أَنِّي مَسَّنِيَ الشَّيْطَانُ بِنُصْبٍ وَعَذَابٍ {41}

ඔබේ පාදය ගසනු. මෙය ස්නානය කරනු ලබන සිසිල් ස්ථානයකි. එමෙන්ම පානය කිරීමකි.

ارْكُضْ بِرِجْلِكَ ۖ هَٰذَا مُغْتَسَلٌ بَارِدٌ وَشَرَابٌ {42}

තවද ප්‍රබුද්ධිමත් අයට අපගෙන් වූ ආශිර්වාදයක් හා මෙනෙහි කිරීමක් වශයෙන් ඔහුට ඔහුගේ පවුල හා ඔවුන් සම වූ ඔවුන් මෙන් වූවන් අපි පිරිනැමුවෙමු.

وَوَهَبْنَا لَهُ أَهْلَهُ وَمِثْلَهُمْ مَعَهُمْ رَحْمَةً مِنَّا وَذِكْرَىٰ لِأُولِي الْأَلْبَابِ {43}

තවද ඔබ පිදුරු මිටියක් ඔබේ අතට ගෙන එමගින් ඔබ (ඔබේ බිරියට) ගසනු. තවද ඔබ ප්‍රතිඥා කඩ නොකරනු. නියත වශයෙන්ම අපි ඔහු ඉවසිලිවන්තයකු සේ දුටුවෙමු. එම ගැත්තා යහපත් විය. නියත වශයෙන්ම ඔහු (අල්ලාහ් වෙත) ඉමහත් ලෙස හැරෙන්නෙකි.

وَخُذْ بِيَدِكَ ضِغْثًا فَاضْرِبْ بِهِ وَلَا تَحْنَثْ ۗ إِنَّا وَجَدْنَاهُ صَابِرًا ۚ نِعْمَ الْعَبْدُ ۖ إِنَّهُ أَوَّابٌ {44}

45-48 ඉබ්‍රාහීම් (අලය්හිස් සලාම්) තුමා සහ එතුමාණන්ගේ පරම්පරාවෙන් බිහි වූ නබිවරු.

තවද බලය හා මනා දෘෂ්ටීන්ගෙන් හෙබි අපගේ ගැත්තන් වන ඉබ්‍රාහීම් ඉස්හාක් හා යඃකූබ් පිළිබඳ ව ද මෙනෙහි කරනු.

وَاذْكُرْ عِبَادَنَا إِبْرَاهِيمَ وَإِسْحَاقَ وَيَعْقُوبَ أُولِي الْأَيْدِي وَالْأَبْصَارِ {45}

මතු ලොව නිවහන මෙනෙහි කිරීමට නියත වශයෙන්ම අපි ඔවුන් විශේෂිත කළෙමු.

إِنَّا أَخْلَصْنَاهُمْ بِخَالِصَةٍ ذِكْرَى الدَّارِ {46}

තවද නියත වශයෙන්ම ඔවුන් අප අබියස විශිෂ්ටයින් ලෙස තෝරා ගනු ලැබූවන් අතුරිනි.

وَإِنَّهُمْ عِنْدَنَا لَمِنَ الْمُصْطَفَيْنَ الْأَخْيَارِ {47}

තවද ඉස්මාඊල් අල්යසඃ හා දුල් කිෆ්ල් පිළිබඳ ව ද මෙනෙහි කරනු. තවද (මේ) සියල්ලන්ම විශිෂ්ටයින් අතුරිනි.

وَاذْكُرْ إِسْمَاعِيلَ وَالْيَسَعَ وَذَا الْكِفْلِ ۖ وَكُلٌّ مِنَ الْأَخْيَارِ {48}

49-54 මළවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනයේ දේව බිය බැතිමතුන්හට හිමි ප්‍රතිඵල.

මෙය මෙනෙහි කිරීමකි. තවද නියත වශයෙන්ම බිය බැතිමතුන් හට අලංකාර නවාතැනක් ඇත. එය ඔවුන් වෙනුවෙන් දොරවල් විවෘත කරනු ලැබූ සදා (ස්වර්ග) උයන් වශයෙනි.

هَٰذَا ذِكْرٌ ۚ وَإِنَّ لِلْمُتَّقِينَ لَحُسْنَ مَآبٍ {49} جَنَّاتِ عَدْنٍ مُفَتَّحَةً لَهُمُ الْأَبْوَابُ {50}

එහි ඔවුන් හාන්සි ව සිට අධික පතුරු හා පානයන් එහි ඔවුන් ඉල්ලා සිටිති.

مُتَّكِئِينَ فِيهَا يَدْعُونَ فِيهَا بِفَاكِهَةٍ كَثِيرَةٍ وَشَرَابٍ {51}

සම වයසැති දමිත බැල්ම හෙළන කාන්තාවෝ ඔවුන් අබියස සිටිති.

وَعِنْدَهُمْ قَاصِرَاتُ الطَّرْفِ أَتْرَابٌ {52}

විනිශ්චය දිනය සඳහා නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ මෙයයි (යැයි කියනු ලැබේ.)

هَٰذَا مَا تُوعَدُونَ لِيَوْمِ الْحِسَابِ {53}

නියත වශයෙන්ම මෙය ඊට අවසානයක් නැති අපගේ පෝෂණයයි.

إِنَّ هَٰذَا لَرِزْقُنَا مَا لَهُ مِنْ نَفَادٍ {54}

55-64 සීමාව ඉක්මවා කටයුතු කරන්නන්හට හිමි ප්‍රතිවිපාක සහ ඔවුන්ගේ වාදය.

(බිය බැතිමතුන් සඳහා වූ දෑ) මෙයයි. තවද නියත වශයෙන්ම සීමාව ඉක්මවා ගියවුන්ට නපුරු නවාතැනකි.

هَٰذَا ۚ وَإِنَّ لِلطَّاغِينَ لَشَرَّ مَآبٍ {55}

එය නිරයයි. ඔවුහු එහි පිවිස දැවෙති. එහෙයින් එම වාසස්ථානය නපුරු විය.

جَهَنَّمَ يَصْلَوْنَهَا فَبِئْسَ الْمِهَادُ {56}

මෙය(සීමාව ඉක්මවූවන් සඳහා)ය. එහෙයින් ඔවුහු එය භුක්ති විඳිත්වා! (ඔවුනට) නටන ජලයයි. සැරව මුසු වූ රුධිරයයි (යැයි අල්ලාහ් පවසයි.)

هَٰذَا فَلْيَذُوقُوهُ حَمِيمٌ وَغَسَّاقٌ {57}

ඒ ස්වරූපයෙන් යුත් වෙනත් (දඬුවම්) වර්ගද (ඔවුනට) ඇත.

وَآخَرُ مِنْ شَكْلِهِ أَزْوَاجٌ {58}

මෙය නුඹලා සම පිවිසුණු පිරිසකි. ඔවුනට කිසිදු පිළිගැනීමක් නැත. නියත වශයෙන්ම ඔවුන් නිරා (ගින්නට) පිවිස දැවෙන්නෝ වෙති.

هَٰذَا فَوْجٌ مُقْتَحِمٌ مَعَكُمْ ۖ لَا مَرْحَبًا بِهِمْ ۚ إِنَّهُمْ صَالُو النَّارِ {59}

එසේ නොව, නුඹලාට කිසිදු පිළිගැනීමක් නැත. අප හට එය ඉදිරිපත් කළේ නුඹලාය. එහෙයින් එම වාසස්ථානය නපුරු විය යැයි (ඔවුන් පිළිපැද්දවුන් වන) ඔවුහු පවසති.

قَالُوا بَلْ أَنْتُمْ لَا مَرْحَبًا بِكُمْ ۖ أَنْتُمْ قَدَّمْتُمُوهُ لَنَا ۖ فَبِئْسَ الْقَرَارُ {60}

අපගේ පරමාධිපතියාණනි! අපහට කවරෙකු මෙය ඉදිරිපත් කළේ ද ඔහුට නිරයේ දඬුවම දෙගුණයක් කොට අධිකව දෙන්නැයි ඔවුහු පවසති.

قَالُوا رَبَّنَا مَنْ قَدَّمَ لَنَا هَٰذَا فَزِدْهُ عَذَابًا ضِعْفًا فِي النَّارِ {61}

නපුරන් අතුරින් යැයි අපි ඔවුන් ගණන් ගනිමින් සිටි මිනිසුන් අපහට දකින්නට නැත්තේ ඇයි දැයි ඔවුහු පවසති.

وَقَالُوا مَا لَنَا لَا نَرَىٰ رِجَالًا كُنَّا نَعُدُّهُمْ مِنَ الْأَشْرَارِ {62}

අපි ඔවුන් සමච්චලයට ගත්තෙමු ද? එසේ නැතහොත් ඔවුන්ගෙන් (අපගේ) බැල්ම ඉවත් වූයේ ද?

أَتَّخَذْنَاهُمْ سِخْرِيًّا أَمْ زَاغَتْ عَنْهُمُ الْأَبْصَارُ {63}

නියත වශයෙන්ම එය සැබෑවකි. එය නිරාවාසීන්ගේ වාදයයි.

إِنَّ ذَٰلِكَ لَحَقٌّ تَخَاصُمُ أَهْلِ النَّارِ {64}

65-70 නබි මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් දේව දූතයෙකි.

නියත වශයෙන්ම මම අවවාද කරන්නෙකු පමණි. තවද බල පරාක්‍රම ඒකීය වූ අල්ලාහ් හැර වෙනත් කිසිදු දෙවියකු නැත යැයි ඔබ පවසනු.

قُلْ إِنَّمَا أَنَا مُنْذِرٌ ۖ وَمَا مِنْ إِلَٰهٍ إِلَّا اللَّهُ الْوَاحِدُ الْقَهَّارُ {65}

ඔහු සර්ව බලධාරී, අතික්ෂමාශීලී, අහස්හි හා මහපොළොවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද පරමාධිපතිය.

رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا الْعَزِيزُ الْغَفَّارُ {66}

එය මහත් වූ පුවතකි.” යැයි ඔබ පවසනු.

قُلْ هُوَ نَبَأٌ عَظِيمٌ {67}

“නුඹලා එය පිටුපාන්නෝය.

أَنْتُمْ عَنْهُ مُعْرِضُونَ {68}

ඉහළ ප්‍රධානීන් තර්ක කරන විට ඔවුන් පිළිබඳ කිසිදු දැනුමක් මට නොවීය.

مَا كَانَ لِيَ مِنْ عِلْمٍ بِالْمَلَإِ الْأَعْلَىٰ إِذْ يَخْتَصِمُونَ {69}

නියත වශයෙන්ම මම පැහැදිලි අවවාද කරන්නකු පමණි යැයි මිස මා වෙත හෙළිදරව් කරනු නොලැබීය.

إِنْ يُوحَىٰ إِلَيَّ إِلَّا أَنَّمَا أَنَا نَذِيرٌ مُبِينٌ {70}

71-83. මිනිසාගේ මැවීම සිදු වූ අයුරු.

නියත වශයෙන්ම මම මැටියෙන් වූ මිනිසෙකු මවන්නෙමි යැයි මලක්වරුන්ට ඔබේ පරමාධිපති පැවසූ අවස්ථාව සිහියට නගනු.

إِذْ قَالَ رَبُّكَ لِلْمَلَائِكَةِ إِنِّي خَالِقٌ بَشَرًا مِنْ طِينٍ {71}

පසු ව මම ඔහු නිසි අයුරින් හැඩගස්වා මාගේ ආත්මයෙන් ඔහු තුළ පිඹූ විට නුඹලා ඔහුට සුජූද් කරන්නන් ලෙස වැටෙනු. (යැයි පැවසුවෙමි)

فَإِذَا سَوَّيْتُهُ وَنَفَخْتُ فِيهِ مِنْ رُوحِي فَقَعُوا لَهُ سَاجِدِينَ {72}

එවිට මලක්වරුන් වන ඔවුන් සියල්ලෝම සුජූද් කළෝය.

فَسَجَدَ الْمَلَائِكَةُ كُلُّهُمْ أَجْمَعُونَ {73}

නමුත් ඉබ්ලීස් හැර. ඔහු උඩඟු විය. තවද දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන් අතුරින් විය.

إِلَّا إِبْلِيسَ اسْتَكْبَرَ وَكَانَ مِنَ الْكَافِرِينَ {74}

අහෝ ඉබ්ලීස්! මාගේ දෑතින් මා මැවූ දෑට ඔබ සුජූද් කිරීමෙන් ඔබ ව වැළැක්වූයේ කුමක් ද? ඔබ උඩඟු වූයෙහි ද එසේ නැතහොත් උසස් අය අතුරින් වූයෙහි දැයි ඔහු(අල්ලාහ්) විමසීය.

قَالَ يَا إِبْلِيسُ مَا مَنَعَكَ أَنْ تَسْجُدَ لِمَا خَلَقْتُ بِيَدَيَّ ۖ أَسْتَكْبَرْتَ أَمْ كُنْتَ مِنَ الْعَالِينَ {75}

මම ඔහුට වඩා ශ්‍රේෂ්ටය. ඔබ මා මවා ඇත්තේ ගින්නෙනි. තවද ඔබ ඔහු මවා ඇත්තේ මැටියෙනි යැයි ඔහු පැවසීය.

قَالَ أَنَا خَيْرٌ مِنْهُ ۖ خَلَقْتَنِي مِنْ نَارٍ وَخَلَقْتَهُ مِنْ طِينٍ {76}

එසේ නම් ඔබ මෙයින් බැහැර වනු. නියත වශයෙන්ම ඔබ පවා හරිනු ලැබූවෙකි. තවද නියත වශයෙන්ම විනිශ්චය දිනය දක්වා මාගේ ශාපය ඔබට එරෙහි ව පවතී යැයි ඔහු පැවසීය.

قَالَ فَاخْرُجْ مِنْهَا فَإِنَّكَ رَجِيمٌ {77} وَإِنَّ عَلَيْكَ لَعْنَتِي إِلَىٰ يَوْمِ الدِّينِ {78}

මාගේ පරමාධිපතියාණනි! එසේ නම් ඔවුන් නැවත නැගිටුවනු ලබන දිනය දක්වා මට කල් දෙනු යැයි ඔහු පැවසීය.

قَالَ رَبِّ فَأَنْظِرْنِي إِلَىٰ يَوْمِ يُبْعَثُونَ {79}

එසේ නම් නියමිත වේලාවේ දිනය දක්වා කල් දෙනූ ලැබූවන් අතුරින් ඔබ වන්නෙහිය යැයි ඔහු(අල්ලාහ්) පැවසීය.

قَالَ فَإِنَّكَ مِنَ الْمُنْظَرِينَ {80} إِلَىٰ يَوْمِ الْوَقْتِ الْمَعْلُومِ {81}

ඔබේ ගරුත්වයේ නාමයෙන් දිවුරමින්. සැබැවින්ම මම ඔවුන් සියල්ල නොම යවමි. නමුත් ඔවුන් අතුරින් වූ ඔබේ අවංක ගැත්තන් හැර.” යැයි (ඉබ්ලීස්) පැවසීය.

قَالَ فَبِعِزَّتِكَ لَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ {82} إِلَّا عِبَادَكَ مِنْهُمُ الْمُخْلَصِينَ {83}

84-85 ඉබ්ලීස් ව අනුගමනය කරන්නන් හට අල්ලාහ් දෙන ප්‍රතිඥාව.

එසේ නම් එය සත්‍යයකි. තවද මම සත්‍යයම පවසමි යැයි ඔහු (අල්ලාහ්) පැවසීය.

قَالَ فَالْحَقُّ وَالْحَقَّ أَقُولُ {84}

ඔබ හා ඔවුන් අතුරින් ඔබ ව අනුගමනය කළ සියලු දෙනාගෙන් මම නිරය පුරවමි.

لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنْكَ وَمِمَّنْ تَبِعَكَ مِنْهُمْ أَجْمَعِينَ {85}

86-88 අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ සහ අල් කුර්ආනයේ වැදගත්කම.

ඒ වෙනුවෙන් කිසිදු කුලියක් මම නුඹලාගෙන් නොඉල්ලමි. තවද මම ස්ව කැමැත්ත පරිදි ප්‍රකාශ කරන්නන් අතුරින් ද නොවෙමියැයි (නබිවරය) ඔබ පවසනු.

قُلْ مَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ وَمَا أَنَا مِنَ الْمُتَكَلِّفِينَ {86}

එය ලෝවැසියන්ට මෙනෙහි කිරීමක් මිස නැත.

إِنْ هُوَ إِلَّا ذِكْرٌ لِلْعَالَمِينَ {87}

තවද ටික කලකට පසු ව එහි පුවත සැබැවින්ම නුඹලා දැන ගනු ඇත.

وَلَتَعْلَمُنَّ نَبَأَهُ بَعْدَ حِينٍ {88}