ඉස්ලාමය හැඳින්වීමක් ()

මුහම්මද් මක්දූම් ඉබ්නු අබ්දුල් ජබ්බාර්

1 සෑම කෙනෙකුටම සත්යළ තෝරා ගැනීමේ නිදහස ඇත. එමගින් තමා වටා තිබෙන දේ කෙරෙහි අවධානය යොමු කර, ඒවායේ පැවැත්ම සිදුවුයේ කෙසේද යන්න ඔහු කල්පනා කළ යුතුය. 2. ඉස්ලාමීය ඒකීයත්වය කුමක් සඳහා ද?කවුරුන් සඳහාද? මිනිසා ගෙන් ඉස්ලාම් බලාපොරොත්තු වන්නේ කුමක්ද? යනු ඔහු කල්පනා කළ යුතුය. 3 මිනිසාගේ ස්වභාවයට ඉස්ලාම් එකඟවන්නේ? 4. මිනිසාගේ හැසිරීම ඉස්ලාම් දහමින් යහමඟට ගෙන යන්නේද? එසේ නම් එයයි ඔහු අනගමනය කළ යුතු ආගමවේ.
ඉස්ලාමය හැඳින්වීමක්

|

 ඉස්ලාම් හැඳින්වීමක්

التعريف بالإسلام

 හැඳින්වීම

විශ්වය මවා එය පරිපාලනය කරන අල්ලාහ්ට ම සියලු ප්‍රශංසා සතු ය. ලොව ට දායාදයක් ලෙස උදා වූ උත්තම දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත ද එතුමාණන් ව අනුගමනය කළ එතුමාගේ මිතුරන් හා දැහැමියන් යන සියලු දෙනා වෙත ද අල්ලාහ් තම කරුණාව ද ශාන්තිය ද සැමදා සැම විටම ලබා දෙත්වා ආමීන්.

ඉස්ලාම් යනු මිනිස් සංහතිය මැවූ දෙවිඳුන් විසින් ඔවුන් වෙනුවෙන් තෝරා දෙනු ලැබූ ජීවන මාර්ගයකි. එම ඉස්ලාමය පිළිබඳ කෙටි සටහනක් සරල ව සියල්ලන්ට වටහා ගත හැකි අයුරින් කුඩා පොත් පිංචයක් ලෙසින් ඔබ දෝතට පත් වීම ගැන මම සතුටු වෙමි. පොදුවේ ඉස්ලාමය පිළිබඳ ව කෙටියෙන් දැන හඳුනා ගැනීමට කැමැත්තක් දක්වන අයට මෙම පොත් පිංචය ඉන්ෂා අල්ලාහ්, වඩාත් ප්‍රයෝජනවත් වේවි යැයි මම විශ්වාස කරමි. ඉස්ලාම් පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය  නම් ඊට අදාළ පොත්පත් හෝ ආගමික වියතුන් වෙත යොමු වී ඒ පිළිබඳ අවබෝධය ලබා ගැනීම අවශ්‍ය වේ.

මෙය පොතක් ලෙස නිකුත් කිරීමට උදව් උපකාර කළ සියලු බලධාරී අල්ලාහ් ට ප්‍රශංසා පුද කර සිටින අතර ම මෙය වඩාත් ප්‍රයෝජනනීයක් බවට පත් විය යුතු යැයි ද ප්‍රාර්ථනා කරමි.

 තේරීම අප අතේය. තෝරා ගත යුත්තේ කුමක් ද?

1.      මහපොළොව, ගහකොළ, කෘමීන්, සතුන්, පක්ෂීන්, මත්ස වර්ග ඇතුළු ව සෙසු සියලු මැවීම් කවර අයුරින් නිර්මාණය වී තිබේදැ යි ඔබ මදක් සිතා බැලුවේ ද ?

2.      ඒවායෙහි ජීවන පහසුකම්, ඊට අදාළ මඟ පෙන්වීම විධිමත් පාලනයකින් යුත් රටාව යන්න ගැන ඔබ වටහා ගෙන තිබේ ද?

3.      හිරු, චන්ද්‍රයා, ග්‍රහයින්, තරු, වලාකුළු, හමන සුළඟ යන දෑ ඇතුළු ව සෙසු නිර්මාණයන් විධිමත් ලෙසින් ලෞකික ජීවිතයට කෙලෙස සහය දෙන්නේ දැ යි ඔබ දන්නෙහි ද?

4.      නිසියාකාර ව හැඩ ගැසී ඇති ඔබේ ශරීර හැඩය ගැන සිතා බලන්න. එහි අවයවයන් විධිමත් ව ඇමිණී ක්‍රියා කරනුයේ කෙසේ ද?

5.      කිසිදු චින්තනයකින් සිතා බැලිය නොහැකි මැවීම් නිර්මාණය කළේ කවුද? ඒවායෙහි සැලසුම් සහගත ක්‍රියාවලිය නිර්මාණය කළේ කවු ද? ප්‍රශ්න රාශියක් ඉදිරිපත් කරන මෙම අති විශාල ක්‍රියාවලිය පාලනය කරන්නේ කවු ද?

6.      මෙම නිර්මාණයන්හි මැවීම් ක්‍රියාවලියට කිසිවකුටත් හිම්කම් කිව නොහැක. හේතුව කෙස් ගසක් වැනි ඉතා කුඩා මැවීමක් පවා  කිසිවකු විසින් බිහි කළ නොහැකි බැවිනි.

7.      මැවුම්කරු හා පාලකයා එකම දෙවියාය. ඔහු ය සැබෑ දෙවියා. එක් දෙවියකුට වඩා දෙවිවරු රාශියක් සිටීවි නම් අහස් හි හා මිහිතලයෙහි ගැටලු රාශියක් මතු වනු ඇත. එබැවින් සැබෑ දෙවියා වනුයේ එකීය අල්ලාහ්මය.

8.      එබැවින් මෙවැනි මූල ධර්මයන්ට අනුකූල ව අප ව මවා පරිපාලනය කරන්නා වු අල්ලාහ් ව පැසසිය යුතුය. ඔහු වෙනුවෙන් කැප විය යුතුය. මහිමයෙන් හා දයාවෙන් පිරුණු ඔහුගේ මඟ පෙන්වීම පිළිගත යුතුය.

9.      මනා අවබෝධය සඳහා අපට බුද්ධිය පිරිනැමූ මැවුම්කරු යහමඟ තෝරා ගැනීමේ නිදහස ද ලබා දුන්නේය.

10. තම දූත වරු මගින් ද දේව ග්‍රන්ථ මගින් ද මැවුම්කරු අල්ලාහ් අපට මඟ පෙන්වීය. ඔවුනට පසු මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා විසින් දූත මෙහෙවර පූර්ණවත් කළ අතර අල් කුර්ආනය පහළ කිරීමත් සමඟම දේව ග්‍රන්ථ පහළ වීම ද අල්ලාහ් නතර කළේය. 

11.  ජීවිතයෙහි වෙන වෙනම මාර්ග දෙකක් ඇත. එකක් මෙලොව ජීවිතයේ හා මතු ලොව ජීවිතයේ සුවයත් සතුටත් ගෙන දෙයි. එය ඉස්ලාම් හෙවත් එකම දෙවියාට අවනත වන මාර්ගය වේ. අනෙක මෙලොව දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නට ඉඩ සලසන අතරම මතු ලොව දඬුවම ද ගෙන දෙනු ඇත.  

12. (ඉස්ලාම්) දහම තුළ කිසිදු බල කිරීමක් නොමැත. අයහමගින් යහමඟ පැහැදිලි විය. එබැවින් කවරෙක් නපුරු බලවේගයන් ප්‍රතික්ෂේප කොට අල්ලාහ් ව විශ්වාස කරන්නේ ද එවිට ඔහු කැඩී නොයන ශක්තිමත් රැහැනක් අල්ලා ගන්නේය. තව ද අල්ලාහ් සර්ව ශ්‍රාවක ය. සර්ව ඥානී ය. (අල් කුර්ආන් 2:256)

තේරීම අප අතෙහිය. ඔබ තෝරන්නට යන්නේ කුමක් ද?

අල්ලාහ් අප ව ඍජු මාර්ගය වෙත යොමු කරත්වා ! ආමීන්

ඉස්ලාමය (ඒකීය ප්‍රතිපත්තිය) කුමක් සඳහා ද?

1.      මිනිස් සංහතිය වෙනුවෙන් අල්ලාහ් පිළිගත් දහම ඉස්ලාමය වන බැවින් ද;

2.      ආදම් (අලයිහිස් සලාම්) සිට මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා දක්වා පැමිණි සියලුම නබිවරුන්ගේ එකම දහම ඉස්ලාමය වන බැවින් ද;

3.      දෙවියාගේ අවසන් දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඇතුළු ව සෙසු සියලුම නබිවරුන් තම ජනයාට ඇරයුම් කළ දහම ඉස්ලාමය වන බැවින් ද;

4.      අල්ලාහ්ගේ වදන් ඇතුළත් වූ අවසන් දේව ග්‍රන්ථය වූ අල් කුර්ආන් සහ සෙසු දේව ග්‍රන්ථ මගින් පිළි ගනු ලැබූ එකම දහම ඉස්ලාම් වන බැවින් ද;

5.      තවද පුද්ගලික ජීවිතය, පවුල් ජීවිතය, සමාජ ජීවිතය, දේශපාලනය, ආර්ථිකය වැනි සියලුම අංශ සඳහා වූ විධිමත් ජීව පාඨමාලාවක් මෙමගින් උගන්වා දෙන අතර සියලුම ගැටලු වලට සුදුසු නිවැරදි විසදුම් පිරිනමන උත්තරීතර දහම ඉස්ලාම් වන බැවින් ද;

6.      කිසිදු පක්ෂපාතීත්වයකින් තොරව කුමන තරාතිරමකට අයත් වූවත් කුමන කුලයකට අයත් වූවත් සියලු දෙනාටම සියලුම අවස්ථාවන්ට සරිලන අයුරින් සාධාරණ නීතිරීති හා තීන්දු තීරණ ලබා දෙමින් ජාත්‍යන්තර ස්වභාවයකින් වැජඹෙන එකම දහම ඉස්ලාම් වන බැවින් ද;

7.      අල්ලාහ්ගේ දහම හැර ඔවුන් සොයන වෙනත් යමක් තිබේ ද? අහස් හා මහපොළොව තුළ ඇති (සියලු) දෑ කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ ඔහුටම යටහත් වෙති. තවද (ඒවා) ඔහු වෙතම නැවත යොමු කරනු ලබන්නෝය;

8.      කවරෙකු ඉස්ලාමයෙන් (එකම දෙවියාට අවනත වීමෙන්) තොර ව වෙනත් දහමක් සොයන්නේ ද එවිට ඔහුගෙන් (කිසිදු දහමක්) පිළිගනු නොලබන්නේ ම ය. තවද ඔහු මතු ලොවෙහි අලාභවන්තයින් අතුරින් කෙනකු වනු ඇත. (අල් කුර්ආන් 3:85);

9.      නියත වශයෙන් ම අල්ලාහ් අබියස වූ දහම ඉස්ලාමය (ඒකීය දෙවියාට අවනත වීම) වේ. දේව ග්‍රන්ථය පිරිනමනු ලැබූ අය ඔවුන් වෙත ඥානය පැමිණි පසු ව ඔවුන් අතර තිබූ ඊර්ෂ්‍යාව හේතුවෙන් මිස ඔවුහු භේද නොවූහ. තවද කවරෙකු අල්ලාහ්ගේ වැකි ප්‍රතික්ෂේප කරන්නේ ද එවිට සැබැවින් ම අල්ලාහ් විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත් ය. (අල් කුර්ආන් 3:19) යනුවෙන් අල්ලාහ් අල් කුර්ආනයේ පවසා ඇති බැවින් ද. 

ඉස්ලාමය අපගේ එකම දහම ලෙස තෝරා ගතිමු.

ඉස්ලාමය හෙවත් ඒකීය ප්‍රතිපත්තිය

කවුරුන් සඳහා ද?

1.      මෙලොව ජීවිතයේ අරමුණ වටහා ගෙන සැබෑ ඉලක්කය වෙත ගමන් කරන සියල්ලන් සඳහා ය.

2.      දෙවියා විසින් පිරිනැමූ බුද්ධිය භාවිත කරමින් එම දෙවියා අවබෝධ කර ගත් සියල්ලන් සඳහා ය.

3.      දෙවියාට අවනත වී ඔහුගේ ආශිර්වාදය දකින්නට ප්‍රිය කරන සියල්ලන් සඳහා ය.

4.      දේව වාක්‍ය වටහා ගෙන ඒ අනුව කටයුතු කිරීමට ප්‍රිය කරන සියල්ලන් සඳහා ය.

5.      දෙවියා පිරිනැමූ දායාදයන් වටහා ගෙන ඒ වෙනුවෙන් කෘතවේදී හැඟීම් හා දේව ආදරය සිතෙහි ඇති කර ගන්නවුන් සඳහා ය.

6.      මවා පරිපාලනය කරන දෙවියන්ට තම ක්‍රියාවන් සියල්ලම කැප කරන්නට කැමති සියල්ලන් සඳහා ය.

7.      දේව ග්‍රන්ථ හා දේව දූතයින් පිළි ගත් අය සඳහා ය. 

8.      ජීවන ගමන ඉදිරියට ගෙන යෑමෙහි දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් ඒ සඳහා විසදුම් සොයන්නන් සඳහාය.

9.      මා හා ඔබ ඇතුළු මෙලොව හා මතු ලොව යහපත් ජීවිතය හා දෙවියා විසින් විචිත්‍රවත් කර ඇති සැප සම්පත් ලබන්නට ප්‍රිය කරන සියල්ලන් සඳහා ය.

10. එබැවින් ඔබේ දෙවියා එකම දෙවියාය. එබැවින් ඔහුට පමණක් නුඹලා මුළුමණින්ම අවනත වන්න. (නබිවරය!) දේව බිය හැඟීම් ඇත්තවුනට ඔබ ශුභාරංචි දන්වා සිටින්න. (අල් කුර්ආන් 22:34)

11. පිරිමියකු හෝ වේවා කාන්තාවක හෝ වේවා විශ්වාසවන්තයකු ලෙස සිට කවරෙකු (දහමට ආවේණික වූ) යහකම් කළේද ඔහුට (මෙලොව) සැපවත් ජීවිතයක් ප්‍රදානය කරන්නෙමු. ඔවුන් කරමින් සිටි දෑ හි යහපත හේතුවෙන් අපි ඔවුනට ඔවුන්ගේ වේතනය (මතු ලොවෙහි) පිරිනමන්නෙමු.  (අල් කුර්ආන් 16:97)

 මිනිස් සංහතියේ ස්වභා දහම ඉස්ලාමයයි.

1.       දෙවිඳුන් මෙම විශ්වය මවා එහි මිනිසා හා ජින්නුන් ඔහු ව නැමදීම පිණිස මැවීය.

2.       එම අරමුණ ඉටු කිරීම උදෙසා අවශ්‍ය සියලුම සම්පත් හා පහසුකම් ද සලසා දුන්නේය.

3.       තවද ජින් වර්ගයා හා මිනිස් වර්ගයා මා නැමදීමට මිස නොමැව්වෙමි. ඔවුන්ගෙන් කිසිදු වස්තුවක් අපේක්ෂා නොකරමි. මට ආහාර සැපයිය යුතු යැයි මම අපේක්ෂා නොකරමි. සැබැවින්ම පෝෂණය ලබා දෙන්නා අල්ලාහ්මය. ඔහු ස්ථාවර බලාධිකාරයෙන් යුක්තය.  (අල් කුර්ආන් 51:56-58)

4.       ඔහු කවරෙකුද යත් ලොවෙහි ඇති සියල්ල ඔබ වෙනුවෙන් මැවීය. (අල් කුර්ආන් 2:29)

5.       මෙලෙස මවනු ලැබූ මිනිසාගේ හදවතෙහි ද දේව විශ්වාසයත් දේව සෙනෙහසත් දෙවිඳුන් ස්වභාවයෙන්ම තැන්පත් කළේය.

6.       මිනිසා තමන් මැවූ ස්වාභාවයෙන්ම අත හැර දමනු ලැබුවේ නම් දෙවිඳුන් ව ස්වභාවයෙන්ම විශ්වාස කරයි. ඔහුට අවනත වෙයි. ඔහුටම ආදරය දක්වයි. ඔහුට කිසිවක් ආදේශ නොකරයි.

7.       එබැවින්, ඔබ ඔබගේ මුහුණ අවංක භාවයෙන් යුතු ව දහම කෙරෙහි ස්ථාපිත කරවු. කවර දහමක් මත මිනිසා ව මැව්වේද එය අල්ලාහ්ගේ ස්වභා ධර්මයයි. අල්ලාහ්ගේ මැවීමට වෙනස් කිරීමක් නොමැත. එයයි ඍජු දහම වනුයේ. නමුත් මිනිසුන්ගෙන් බොහෝ දෙනා (ඒ බව) නොදනිති. ඔබ ඔහු වෙතටම නැඹුරුවන්නන් ලෙසින් ඔහුට බිය හැඟීමෙන් කටයුතු කරනු. සලාතය ස්ථාපිත කරනු. තවද ඔබ ආදේශ තබන්නන් අතුරින් නොවනු. (අල් කුර්ආන් 30:30,31)

8.       සෑම ළදරුවකු ම ස්වභා ධර්මය මත ම උපත ලබයි. එම දරුවන් වෙනතකට හරවා පිළිම වන්දනාව කෙරෙහි හා අදේශ තබන්නන් ලෙස වෙනස් කරනුයේ ඔවුන් අවට සිටින ඔවුන්ගේ දෙමාපියන් හා භාරකරුවන්ය.

9.       මිනිසා මෙලොවෙහි මවනු ලබන විට ආරම්භයේ සියලු දෙනා පිවිතුරු ධර්මයෙහි සිටියහ. සියලු දෙනා ඒකීය දේව සංකල්පය පිළිපැද්දාහ. නමුත් කාලයේ ඇවෑමෙන් භේද භින්න වී වෙන් වී ගොස් විවිධ ප්‍රතිපත්ති පිළිපදින්නට පටන් ගත්හ. එවිට නිවැරදි දහම පැහැදිලි කිරීම පිණිස දෙවිඳුන් මෙලොවට තම දූත වරුන් පහළ කළේය. එලෙස එවනු ලැබූ මුල්ම දූතයාණන් වූයේ දේව දූත නූහ් (අලයිහිස් සලාම්) තුමාය.

10.   මිනිසුන් සියල්ල එකම සමහූයක් මිස නැත. ඉන් පසුව ඔවුහු භේදභින්න වූහ. (අල් කුර්ආන්  10:19)

11.   ජනයා එකම සමූහයක් ලෙස සිටියේය. පසුව අල්ලාහ් ශුභාරංචි පවසන්නන් ලෙස ද අවවාද කරන්නන් ලෙස ද නබිවරුන් ව එවීය. තවද කවර දෙයක් මත මතභේද ඇති කර ගත්තේ ද ඒ ගැන ජනයා අතර තීන්දු කිරීම පිණිස ඔවුන් සමඟ දේව ග්‍රන්ථ ද පහළ කළේය. තමන් වෙත පැහැදිලි සාධක පැමිණි පසුව ඔවුන් අතර තිබූ ඊර්ෂ්‍යාව හේතුවෙන් දේව ග්‍රන්ථය ලත් ජනයා හැර (වෙනත් කිසිවෙක්) ඒ ගැන මතභේද ඇති කර නොගත්හ. පසුව සත්‍යයෙන් යුත් කවර දෙයක් තුළ ඔවුන් මතභේද ඇති කර ගත්තේ ද ඒ ගැන අල්ලාහ් තම අනුභාවයෙන් විශ්වාස කළවුනට මඟ පෙන්වීය. තවද අල්ලාහ් තමන් අභිමත කරන අයට ඍජු මඟ පෙන්වන්නේය. (අල් කුර්ආන් 2:213)

 ඉස්ලාම් යනු කුමක් ද?

ඇතැමුන් සිතනවාක් මෙන් ඉස්ලාමය සියවස් 14කට පෙර මුහම්මද් නමැති අය විසින් බිහි කරන ලද දහමක් නොවේ. මිනිස් සංහතිය මැවූ දෙවිඳුන් විසින් ඔවුන්ගේ ජීවිතය යහපත් වනු පිණිස ඔවුන් මවනු ලැබූ දින සිට දෙනු ලැබූ පූර්ණවත් ජීවන ගමන ඉස්ලාම් වේ. ඉස්ලාම් නමැති අරාබි පදය යටහත් වීම අවනත වීම කීකරු වීම යන අර්ථය සමඟ ම ශාන්තිය සමාදානය යන තේරුම ද අන්තර්ගත වේ. එබැවින් කවරෙකු දේව නියමයන්ට මුළුමණින්ම යටහත් වී කටයුතු කරන්නේ ද ඔහු දෙලොවෙහි සැනසුම හා ශාන්තිය ලබනු ඇත. කෙනෙකු මුස්ලිම්වරයකු යැයි සලකන්නට මුස්ලිම් දෙමව්පියන්ට උපත ලැබිය යුතුය නැතහොත් මුස්ලිම්වරුන් අතර දැන හඳුනන මුස්ලිම් නමක් තිබිය යුතුය යනාදියෙන් කිසිදු කොන්දේසියක් නොමැත. මුස්ලිම් යනු තමන් ව මැවූ දෙවිඳුන්ට යටහත් වන්නා යන අර්ථයයි. එබැවින් තමන් මැවූ දෙවිඳුන්ට මුළුමණින්ම යටහත් වී ඔහු තම පණිවිඩ පවසා සිටීම සඳහා එවා සිටි දූත වරුන් හා ඔවුන් අතුරින් අවසාන වශයෙන් එවූ මුහම්මද් (ඔවුන් සියලු දෙනාටම අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය හිමි වේවා) පිළිගෙන ඔවුන්ගේ ඉගැන්වීම් තම ජීවිතයට ගෙන ක්‍රියා කරන විට ඔහු මුස්ලිම්වරයකු බවට පත් වෙයි.

ඉස්ලාමයේ මූලික වගකීම් හා විශ්වාස කළ යුතු කරුණ කෙටියෙන් පහත සඳහන් අයුරින් පිහිටා ඇත.

 ඉස්ලාමයේ වගකීම්

1.      විශ්වාසය ප්‍රකාශ කිරීම (ප්‍රතිපත්තිමය ප්‍රකාශය)

අෂ්හදු අල්ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහූ වරසූලුහු

තේරුම :

නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවකු නොමැති බවට මම සාක්ෂි දරමි. එමෙන්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔහුගේ ගැත්තා හා දූතයා බවටත් මම සාක්ෂි දරමි.

යමෙකු ඉහත සඳහන් පාඨ හදවතින්ම පිළිගෙන මුවින් ප්‍රකාශ කළ විට ඔහු මුස්ලිම්වරයකු බවට පත් වේ.

ඒ සමඟම ඉස්ලාමයේ මූලික ක්‍රියාකාරී කරුණු වනුයේ

2.      නැමදුම හෙවත් සලාතය (සලාත්)

3.      උපවාසය (සව්ම්)

4.      ශුද්ධකාරක බද්ධ (zසකාත්)

5.      ශුද්ධ වූ මක්කා ගමන (හජ්)

 විශ්වාසයේ කරුණු

ඉස්ලාමීය විශ්වාසයෙහි උදාව හා බිහිවීම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් පසු සිදු වූවක් නොවේ. එය කලින් පහළ කළ දේව ග්‍රන්ථ වල සඳහන් වී තිබූ අතර ම දේව දූතවරු පැවසූ දූත මෙහෙවරය එතුමාණන් ද පවත්වා ගෙන ගියහ. ඉස්ලාමීය විශ්වාස ප්‍රතිපත්තිය කිසිවිටකත් කිසිදු වෙනස් වීමකින් තොර ව විනාශ නොවී ස්ථාවර ව පවතින සත්‍යයකි. එය දෙවිඳුන් පිළිබඳ සත්‍යයත් ඔහුගේ මැවීම් සමඟ පවතින සම්බන්ධතාවත් අපට උගන්වයි. මෙලොව ජීවිතයේ සත්‍යය මෙහි අන්තර්ගත ව ඇත. එහි මිනිසාගේ කොටස කුමක් ද? මතු ලොවෙහි ඔහුගේ තත්ත්වය කුමක් විය හැකි ද? ඔහු මවනු ලැබූ අරමුණ කුමක් ද? යන්න ගැන ඉතා පැහැදිලි ව ගෙන හැර දක්වයි.

ඉස්ලාමීය විශ්වාස ප්‍රතිපත්ති පහත සඳහන් කරුණු හය මුල් කර ගෙන පැහැදිලි වෙයි. එනම්

1.       අල්ලාහ්

2.       මලක්වරු

3.       දේව ග්‍රන්ථ

4.       දේව දූතයින්

5.       අවසන් දිනය

6.       දෛවය යන්න ගැන විශ්වාස කිරීමය.

 ඉස්ලාමයේ දේව සංකල්පය

1.       අල්ලාහ් ඒකීයය යන වගත්, ඔහුගේ දේවත්වයේ හා මවා පරිපාලනය කිරීමෙහි ද ඔහුට සමාන කිසිවකු නැති බවත් විශ්වාස කිරීම. අල්ලාහ් එකම දෙවිඳුන්ය. ඔහුගේ අධිකාරත්වයෙහි කිසිවකුට හවුලක් නොමැත.

2.       සියල්ල මැව්වේ අල්ලාහ්ය. ඔහු හැර පවතින සියල්ල ඔහු විසින් මවන ලද දෑය. මැවීමෙහි ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැත.

3.       අල්ලාහ් නොතිබුණු දෙයක් මවන්නට ශක්තිය ඇත්තාය. ඔහුගේ මැවීම් වලට උපකාර කරන්නාය. ජීවන පහසුකම් සපයන්නාය. ඒ සියල්ලෙහි සියලුම ක්‍රියාකාරකම් දැන සිටින්නාය. ඔවුන්ගේ ක්‍රියාවන්ට අනුකූල ව කුසල් ලබා දෙන්නාය.

4.       නැමදුම් කර, යටහත් වන්නට සුදුසු දෙවිඳුන් අල්ලාහ් හැර වෙන කිසිවකු නොමැති බව විශ්වාස කළ යුතුය, ඔහු හැර වෙන කිසිවකු නොනැමදිය යුතුය.

5.       මලක්වරු හා ධර්ම දූතවරු අල්ලාහ්ට සේවය කිරීමටත් අවනත වීමටත් පමණක් මවනු ලැබ ඇත.

6.       ඔහු මිනිස් සංහතියට ඔවුන්ගේ ජීවන ක්‍රමය, ඔහුගේ ධර්ම දූත වරු මගින් ද ධර්ම ග්‍රන්ථ මගින් ද දන්වා සිටියේය.

7.       අල්ලාහ් සදා සිටින්නාය. ඔහුට දෙමව්පියන් නොමැත. දරුවන් නොමැත. ආරම්භයක් හෝ අවසානයක් නොමැත. කිසිවකුගේ කිසිදු අවශ්‍යතාවක් ඔහුට නොමැත. ඔහු ආරම්භයට ආරම්භකයාය. අවසානයට අවසානයාය.

8.       ඔහු අසමසම කරුණාවන්ත අතිමහත් කරුණා ගුණයෙන් යුක්තය. ඔහුට ආදේශ තැබීමේ වරදට මිස සෙසු සියලු වැරදි වලට සමාව දෙන්නාය.

9.       ඔහුට අලංකාර නාමයන් ද පරිපූර්ණ වූ ගුණාංගයන්ද ඇත. ඒවායෙහි ඔහුට සමාන කිසිවකු නොමැත.

10.   ඔහු අප ව කිසිවක් නොමැති ව තිබිය දී සියලු පහසුකම් සහිත ව අලංකාර හැඩරුවකින් මවා නිමක් නැති දායාදයන් පිරිනැමුවේය.

11.   කිසිවකු හෝ සලාතය, සෙසු නැමදුම් හා පිළිවෙත් අල්ලාහ් හැර වෙනත් කිසිවකුට හෝ (මලක්වරයකුට හෝ තෝරා ගත් නබිවරයකුට හෝ වේවා) ඉටු කළේ නම්, තමන් මුස්ලිම්වරයකු යැයි උරුමකම් පෑවත් ඔහු මුස්ලිම්වරයකු නොවෙයි.

12.   ඇත්තෙන්ම මාගේ සලාතයත් මාගේ නැමදුමත් මාගේ ජීවිතයත් මාගේ මරණයත් ලෝකයන්හි පරමාධිපති අල්ලාහ්ටම සතු වූවකි යැයි (නබිවරය!) ඔබ පවසන්න. (අල් කුර්ආන් 6:162)

13.    (නබි මුහම්මද්!) පවසන්න. ඔහු, එනම් අල්ලාහ් ඒකීයය. අල්ලාහ් ස්වාධීනය. ඔහු ජනිත නොකළේය. තවද ජනිත කරනු නොලැබුවේය. තවද ඔහුට සමාන කිසිවෙකු නොවීය. (අල් කුර්ආන් 112:1-4)

 මුස්ලිම්වරයකුගේ ගුණාංග

1.      මුස්ලිම්වරයකු තම ජීවිතය මුළුමණින්ම දෙවියා වෙනුවෙන් කැප කොට තමන්ගේ සියලු කටයුතු දේව තෘප්තිය බලාපොරොත්තුවෙන්ම සිදු කළ යුතුය.

2.      ඔහු තමන් මැවූ දෙවියා හැර වෙන කිසිවකු නැමදුමට ලක් නොකළ යුතුය. තම දෙමාපියන්ට උපකාර කළ යුතුය. එමෙන්ම ඥාතී සබඳතා සුරැකිමින් ක්‍රියා කොට අසල් වැසියන් හා ආගන්තුකයින්ට ගරු කොට ජීවත් වන අතර ම හැකි පමණින් ඔවුනට උදව් උපකාර කළ යුතුය.

3.      මුස්ලිම්වරයකු දෙවියා විසින් තහනම් කළා වූ මිනිමැරුම්, ඝාතන, සොරකම, අනාචාරය, අල්ලස, සූදුව, පොලිය, මත්පැන්, මත් ද්‍රව්‍ය භාවිතය, වංචා ව, ද්‍රෝහිකම වැනි බරපතළ පාපයන්හි කිසිවිටකත් නිරත නොවිය යුතුය.

4.      මුස්ලිම්වරයකු කිසි විටකත් බොරු නොපැවසිය යුතු අතර ම සත්‍යයම කතා කළ යුතුය.

5.      මුස්ලිම්වරයකු යම් කිසි පොරොන්දුවක් දුන් විට එයට ද්‍රෝහි නොවිය යුතුය. ඔහු විශ්වාසයෙන් යුතුව කටයුතු කළ යුතුය.

6.      මුස්ලිම්වරයෙක් කෙනෙකු පිළිබඳ කේළාම් කීම හෝ තවත්  කෙනකුගේ වැරදි විපරම් කිරීම හෝ කෙනකු ව අවමානයට ලක් කිරීම හෝ නොකළ යුත්තකි.

7.      මුස්ලිම්වරයකු ධෛර්ය වන්තයකු විය යුතුය. පසුබසින බියගුල්ලෙකු නොවිය යුතුය.

8.      මුස්ලිම්වරයකු සත්‍යය ප්‍රිය කිරීමෙහි ස්ථාවර ව සිටිය යුතු අතර සත්‍යය පැවසීමෙහි ධෛර්යවන්තයකු ලෙස සිටිය යුතුය.

9.      කෙනෙකු තමන්ට එරෙහි වූ විටක මුස්ලිම්වරයකු ඔහු සමඟ යුක්ති ගරුක ව කටයුතු කළ යුතුය. තවකෙකුගේ අයිතීන් උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙසින් සීමාව ඉක්මවා කටයුතු නොකළ යුතුය. තමන් තවකෙකු විසින් යම් අසාධාරණයකට ලක්වීම ද අනුමත නොකළ යුතුය. ඔහු ශක්තිය ඇත්තෙකු ලෙසින් සිටිය යුතු අතර තමන්ගේ ආත්ම ගෞරවය තව කෙනෙකු ඉදිරියේ අහිමි නොකර ගත යුතුය.

10. මුස්ලිම්වරයකු සාමය, සමාදානය හා එකමුතුකම ප්‍රිය කළ යුතුය. කටකතා පතුරුවන්නෙකු ලෙස හෝ කලහකම් හා අර්බුද ඇති කරන්නෙකු ලෙස හෝ නොසිටිය යුතුය. 

11. මුස්ලිම්වරයකු තම ක්‍රියාදාමයන් හැකි පමණින් විධිමත් ලෙස කළ යුතුය.

12. මුස්ලිම්වරයකු අහංකාරයකු ලෙස නොසිටිය යුතු අතර යහ ගතිගුණ වලින් හෙබි පුද්ගලයකු විය යුතුය.

13. මුස්ලිම්වරයකු කුඩා අයට සෙනෙහස දක්වන්නෙකු ලෙසත් වැඩිහිටියන්ට ගරු කරමින් දෙවිඳුන්ගේ සියලුම මැවීම් කෙරෙහි කරුණාවන්ත ලෙසින් කටයුතු කළ යුතුය.

14. ඔහු යහපත ඉටු කරනවාත් සමඟම අන් අය යහපත කිරීමට දිරි ගැන්විය යුතුය. ඔහු අයහපත කිරීමෙන් වැළකෙනවාක් මෙන්ම සෙසු අයව ද එයින් වැළකිය යුතුය.

15. මුස්ලිම්වරයකු අල්ලාහ්ගේ දහම ස්ථාවරව පවතින්නටත් ලොව පුරා පැතිරෙන්නටත් කැප විය යුතු අතර ඒ වෙනුවෙන් බලවත් පරිශ්‍රම දැරිය යුතුය. ඉස්ලාමයේ සීමාවන් ඉක්මවා නොයමින් සියලු කාර්යයන් ක්‍රියාත්මක කළ යුතුය. ඉස්ලාමයේ ජයග්‍රහණය යන නාමයෙන් නීති විරෝධි ක්‍රියාවන් කිසිවක් නොකළ යුතුය.