සත්යaය" ගවේෂණයකට ආරාධනා ()

 

|

 සත්‍යය" ගවේෂණයකට ආරාධනා

කර්තෘ

මුහම්මද් මන්සූර් දහ්ලාන්

 "සත්‍යය" ගවේෂණයකට ආරාධනා (1)

සත්‍යයෙන් තොර වූ ජීවිතයක් මිනිසාට තිබිය හැකි ද? මිනිසාගේ භෞතික හා ආධ්‍යාත්මික අවශ්‍යතාවන්ගෙන් ප්‍රමුඛත්වය ගන්නේ සත්‍යය මත පදනම් වූ ජීවිතයක් යැයි පැවසීම නිවැරදි ද? සත්‍යය හා අසත්‍යය අතර මතවාදයේ ඉතිහාසය මිහිතලය මත මිනිසාගේ ඉතිහාසය ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් ද? සත්‍යය යනු කුමක් ද? සත්‍යය හා අසත්‍යය අතර නිර්ණායකය කුමක් ද? භෞතික හා පාරභෞතික සත්‍යයන් අවබෝධ කර ගැනීමේ මඟපෙන්වීම මිනිසා ලබා ගනුයේ කුමන මූලාශ්‍රයෙන් ද? මා කවරෙක් ද? මා කොහි සිට පැමිණියේ ද? මිහිතලය ඇතුළු මුළුමහත් විශ්වය බිහි වූයේ කෙලෙස ද? ජීවිතයේ හා මරණයේ යථාර්ථය කුමක් ද? මිහිතලය මත වූ ජීවිතය අවසන් වීමෙන් පසු මා යන්නේ කොතැනකට ද? මෙවන් නිමක් නැති ප්‍රශ්නයන්ට සත්‍යය මත පදනම් වූ පිළිතුරු මිනිසාට අවශ්‍ය වී ඇත. විවෘත මනසකින් හා පූර්ව නිගමනයන්ගෙන් තොරව විචාර බුද්ධිය මෙහෙයවා කරන විමසුමකට අප හා එක්වන්න. වැඩි විස්තර මෙම මාතෘකාව යටතේ සකස් කෙරෙන ලිපි මගින් බලාපොරොත්තු වන්න.

"සත්‍යය" ගවේෂණයකට ආරාධනා............

සත්‍යය ගවේෂණයකට විවෘත මනසකින් එක්වන්නට ආරාධනා කරමින් පළමුව සත්‍යය පිළිබඳව වූ මතවාදයන් කිහිපයක් සාකච්ඡා කරන්නට අපේක්ෂා කරන්නෙමු.

සත්‍ය දැන ගැනීමටත් එයට අනුකූලව ක්‍රියා කිරීමටත් අවශ්‍ය නම් සැබැවින්ම සත්‍යයේ ස්වභාවය කුමක්ද? කියා දැන ගැනීම වැදගත් යැයි සිතන්නෙමු. යම් දෙයක ඇත්ත නැත්ත සෙවීමට අපි නොයෙක් ලෙසින් සිතන්නට පුරුදු වී සිටිමු. එදිනෙදා ජීවිතයේ නොයෙකුත් අවස්ථාවල දී දකින, අසන, කියන සෑම දෙයකම ඇත්ත දැන ගැනීමට අපි පෙළඹෙන්නෙමු. ඇත්ත දැන ගැනීමට අප සිතන්නේ, සොයන්නේ මොනවාද? යම් කිසි දෙයක් ගැන තොරතුරක් අපට ලැබුණා යැයි සිතමු. එවිට ‘ඇත්තද? හැබෑද? වෙන්න බෑ...’ වැනි ප්‍රකාශන කිරීම මගින් ප්‍රශ්න මතු කිරීම අපගේ සිරිතය. අපගේ ප්‍රශ්නයන්ට ලැබෙන පිළිතුරු එකිනෙකට සම්බන්ධ නම් ගැළපෙන්නේ නම්, පරස්පර නොවේ නම් හා සිතට එකඟ විය හැකි නම් එම තොරතුරු සත්‍යයක් ලෙස අපි පිළිගනිමු. සිතට වැටුන මුල් අදහසට එකතු වන සෙසු අදහස් එකිනෙකට නොගැලපේ නම් එය සත්‍යයක් යැයි අප සලකන්නේ නැත . මේ අනුව අදහසක් සත්‍ය හෝ අසත්‍යය යැයි තීරණය කිරීමේ දී ඒ හා සම්බන්ධ අදහස් වල ගැළපීම ගැන සැලකීමට අප හුරු වී සිටින බව පෙනේ. සත්‍යය දැන ගැනීම වස් අනුගමනය කරන මෙම අදහස් ගැළපීමට ‘අනුසන්ධානය’ නමින් දාර්ශනිකයින් හඳුන්වා ඇත.

සත්‍යයේ ස්වභාවය විග්‍රහ කිරීමේ දී අනුසන්ධානය වැදගත් කොට සලකන වාදය ‘අනුසන්ධානවාදය’ නමින් සමකාලීන දර්ශන ක්ෂේත්‍රයන් හි හැඳින්වේ. සත්‍යය තීරණය කිරීමේදී මුල් මාතෘකාවට අදාළ සෙසු මාතෘකා හා එය ගැළපී සිටී දැයි සොයා බැලීම මෙහි දී සිදු වෙයි. මුල් මාතෘකාව වූ ප්‍රධාන සංකල්පය ගොඩ නැගී ඇති අනු මාතෘකාවන් සියල්ල එකට ගැළපීම හා සත්‍යය වීම මුල් මාතෘකාව පිළිගැනීමට හේතු වන අතර අනුමාතෘකාවන්ගෙන් එකක් හෝ බිඳ වැටේ නම් මුල් මාතෘකාව ද ප්‍රතික්ෂේප වන තත්ත්වයක් මෙයින් උදා වේ.

‘නිල් පාට හා කහ පාට එකතු වීමෙන් කොළ පාට සෑදේ’. මෙම මතය සත්‍යයකි. එය එසේ සත්‍යය වන්නේ මක් නිසාද? බාහිර ලෝකයේ සැබැවින්ම එය එසේ වන නිසාය. ඉදිරිපත් කරන මාතෘකාව බාහිර ලෝකයේ කරුණු හා සිද්ධීන් සමඟ ගැළපී සිටී නම් එම මාතෘකාව සත්‍යයක් වශයෙන් නිගමනය කරනු ඇත. ‘අනුරූප්‍යතා වාදය’ යනුවෙන් මෙය සමකාලීන දර්ශනවාදයේ දක්වා ඇත. මාතෘකාව බාහිර ලෝකය හා ගැළපී ඇත්ද යන්න සෙවිය හැක්කේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙනි. නවීන විද්‍යාවේ මතය අනුවද පිළිගැනීමට නැඹුරු වන්නේ මෙබඳු අනුරූප්‍යතා වාදී මතයකි. විද්‍යාඥයා තම සිතට ගත් අදහස සත්‍යයක් සේ අවධාරණය කරන්නේ එය පර්යේෂණයට භාජනය කිරීමෙන් පසුවය. නැතහොත් සත්‍යය වශයෙන් එය බාහිර ලෝකයේ පවතී ද කියා සෙවීමෙන් පසුවය. සාමාන්‍ය ජනයා වුවද සත්‍යයක් නිශ්චය වශයෙන් දැන ගන්නේ එහි අනුරූප්‍යතාව සලකා ගෙනය. මෙම මතයේ අඩු පාඩු නැතුවා නොවේ. මිරිඟුව ඉන්ද්‍රියට ගෝචර වන අයුරින් ජල කඳක් ලෙස පිළිගැනීම සත්‍යය නොවේ. සත්‍යය අවබෝධයේ දී මිනිසාගේ විචාර බුද්ධියට අති විශාල කාර්ය භාරයක් පැවරී ඇති බව මෙයින් ඔප්පු වන්නේය.

‘හිසරදයට පැනඩෝල් බීමෙන් සහනයක් ඇති වේ’ යැයි මතයකි. මෙම කියමන සත්‍යය වන්නේ සැබැවින්ම එය බීමෙන් සහනයක් ඇති වූවා නම් පමණය. යම් කිසි මතයක් ප්‍රායෝගිකව අත් දැකිය හැකි නම් එය සත්‍යයක් සේ සැලකීම අපගේ සිරිතය. ‘උපයෝගිතා වාදය’ යනුවෙන් දාර්ශනිකයන් විග්‍රහ කොට ඇත්තේ සත්‍යයේ මෙම ස්වභාවයයි.

මෙතෙක් දැක්වූයේ සත්‍යයේ ස්වභාවය විග්‍රහ කිරීම සඳහා සමකාලීන දර්ශන ක්ෂේත්‍රයන් හි ඉදිරිපත් කොට ඇති මතයන් කිහිපයකි. මීළඟට සත්‍යය පිළිබඳව මිනිසාගේ ක්‍රියාකාරකම් ගැන විමසා බලමු. නූතනයෙහි අප කරමින් සිටින්නේ පාරම්පරිකව අප ලබා ගත් කරුණු හා පුරුදු විචාරයකින් තොරව සත්‍යය ලෙස පිළි ගෙන කටයුතු කිරීමය. සත්ව ලෝකයේ විචාර බුද්ධියට උරුමකම් කියන එකම සත්වයා වූ මිනිසා විචාරයෙන් තොරව අන්ධ භක්තියෙන් යමක් පිළි ගැනීමට ඉදිරිපත් වන්නේ නම් එය සැබැවින්ම විචාර බුද්ධිය අහිමි අනෙක් සතුන්ගේ තත්ත්වයට තමාව සමකර ගැනීමක් නොවේද?

අපගේ කාරුණික ආරාධනාව ඔබගේ විචාර බුද්ධිය අවදිකොට සත්‍යය පිළිබඳ ගවේෂණයක යෙදෙන ලෙසය. ඉහත නූතන දර්ශනවාදයේ පදනම මත ඉදිරිපත් කර ඇති කරුණු ‍භෞතික හා ලෞකික සාධකයන් හි සත්‍යය අසත්‍යතාව දැන ගැනීමට ප්‍රමාණවත් විය හැක. නමුත් මිනිසාට ඉන් ඔබ්බට ඇති පාරභෞතික කරුණු පිළිබඳ සත්‍යය දැන ගැනීමේ පිපාසාවක් නියත වශයෙන්ම ඇත. අනාදිමත් කාලයේ සිට මිනිසා මෙම පරම සත්‍යය දැන ගැනීමේ ආශාවෙන් විවිධ ගවේශනයන් හි යෙදුණු බව ඉතිහාසය අපට පවසයි.

මා කවරෙක් ද? මා කොහි සිට පැමිණියේ ද? මිහිතලය ඇතුළු මුළු මහත් විශ්වය බිහි වූයේ කෙලෙසද? මිහිතලය මත මා කරමින් සිටින්නේ කුමක් ද? මට අවශ්‍ය දේ මට අවශ්‍ය පරිදි මට අවශ්‍ය විටෙක මිහිතලය මත මට කළ හැකිද? ජීවිතයේ හා මරණයේ යථාර්ථය කුමක් ද? මිහිතලය මත වූ ජීවිතය අවසන් වීමෙන් පසු මා යන්නේ කොතැනකට ද? මෙවන් ප්‍රශ්නයන් සඳහා නිවැරදි අර්ථවත් හා සත්‍යය මත පදනම් වූ පිළිතුරු සොයමින් මිනිසාගේ චින්තනය නිමක් නොපෙනෙන ව්‍යායාමයක නිරන්තරයෙන් නියැළී ඇත.

දැකීමට මූලික වශයෙන් සාධක දෙකක් අවශ්‍ය වෙයි. එය දෑස හා ආලෝකයයි. දෑස ඇති සියල්ලන්ටම ආලෝකය නොමැතිව දැකිය නොහැකි බව අපි දන්නෙමු. තෙවැනි ඇස, එනම් බුද්ධියේ ඇසට දැකීමට හැකි වන්නේ කුමන ආලෝකයකින් ද ? එය නියත වශයෙන්ම විචාර බුද්ධියේ ආලෝකය විය යුතුය. එය එසේ වුවද පසිඳුරන්ට ගෝචර නොවූ කරුණු පිළිබඳව නිවැරදිව දැන ගැනීමට සත්ව ලෝකයේ මිනිසාට පමණක් උරුමවූ විචාර බුද්ධියේ මැදිහත් වීම හා පාර භෞතික ආලෝකය මිනිසාට අවශ්‍ය වන්නේය. මිනිසාට සත්‍යය දැකීමේ හා පිළි ගැනීමේ විචාර බුද්ධිය ඇතිමුත් ඔහුට පාරභෞතික කරුණු සත්‍යය ලෙස අවබෝධ කර ගැනීමට පාරභෞතික ආලෝකයක් ලෙස කටයුතු කරන පාරභෞතික මඟ පෙන්වීමක අවශ්‍යතාවක් ඇති බව අපට නොසිතෙන්නේ ද?

නූතන විද්‍යාව මගින් මිනිසාගේ සියලු ප්‍රශ්නයන්ට පිළිතුරු හා විසඳුම් ලබා ගත හැකිය යන විශ්වාසයක් ද මිනිසාගේ සිත තුළ පවතී. නූතන විද්‍යාව අපි ප්‍රතික්ෂේප නොකරන්නෙමු. එය පරම සත්‍යය අවබෝධ කර ගැනීමට උපකාරී වන සීමිත සාධකයක් ලෙස පමණක් අපි සලකන්නෙමු. නූතන විද්‍යාවට පරම සත්‍යය ලෙස පෙනී සිටීමට හෝ එයට ආදේශකයක් බවට පත්වන්නට හෝ නොහැකි බව දැනට දිග හැරෙමින් පවතින කරුණු වලින් මනාව ඔප්පු වී හමාරය.

2011 සැප්තැම්බර් මස 21 වැනි දින ලොව දැනට ඇති විශාලතම භෞතික විද්‍යාගාරය ලෙස සැලකෙන ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයට ආසන්නව පිහිටා ඇති සර්න් (Cern) විද්‍යාගාරයේ සුවිශේෂි පරීක්ෂණයක් පවත්වන ලදී. 20 වන සියවසේ ජීවත් වූ අති ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා හා බුද්ධිමතා ලෙස සැලකෙන ඇල්බට් අයින්ස්ටයින් විසින් 1905 දී ඉදිරිපත් කරන ලද සාපේක්ෂතාවාදය (Theory of Special Relativity)  අනුව අලෝකයේ වේගය (තත්පරයට සැතපුම්186282 / කි.මී  299792)  විද්‍යාත්මක නියතයක් ලෙසත් විශ්වයේ කිසිම වේගයක් මෙය අබිබවා යා නොහැකි බවත් දක්වා තිබිණි. සර්න් විද්‍යාගාරයේ පවත්වන ලද පරීක්ෂණයට අනුව පරමාණුවේ අනුකොටසක් වූ නියුට්රිනෝස් (Neutrinos) ආලෝකයේ වේගය අබිබවා ගමන් කරන බව සොයා ගන්නා ලදී. භෞතික විද්‍යාඥයින් දැනට ප්‍රකාශිත විද්‍යා ග්‍රන්ථ මෙම නව සොයා ගැනීම අනුව වෙනස් කරන්නට කටයුතු කරමින් සිටිති.

මෙයින් ඔප්පු වන්නේ නූතන විද්‍යාව පරම සත්‍යය නොවන බවත් මිනිසාගේ දැනුමේ සීමිත භාවයත් නොවේද? එමනිසා පරම සත්‍යය කුමක්ද කියා සොයන්නට, දැනගන්නට, පිළි ගැනීමට හා ඒ අනුව ක්‍රියා කරන්නට උපකාරී වන ගවේෂණයක යෙදෙන්නට ඉතා කාරුණිකව හා ගෞරවයෙන් ආරාධනා කරන්නෙමු.

සත්‍යය හා අසත්‍යය පිළිබඳව ලොව ප්‍රධාන දහම් දක්වන අදහස් ද ඔබගේ අවධානය පිණිස ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු.

මේ පිළිබඳව කරුණු දක්වන අල්-කුර්ආනය අදහස් රාශියක් ඉදිරිපත් කොට ඇති අතර එයින් එක් වැකියක් පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

‘නුඹලා දැනගෙන සිටින තත්වයේ අසත්‍යය සමඟ සත්‍යය නුඹලා නොපටලවවු. තවද නුඹලා සත්‍යය නොසඟවවු. (අල්-කුර්ආන් 2:42)

බුහාරි හා මුස්ලිම් යන හදීස් ග්‍රන්ථයන් හි සඳහන් නබි වදන පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

‘සත්‍යය නියත වශයෙන්ම යහපත කරා මඟ පෙන්වයි. යහපත ස්වර්ගය කරා මඟ පෙන්වයි. නියත වශයෙන්ම සත්‍යයවාදියෙක් ලෙස අල්ලාහ් විසින් මිනිසෙකු ලියා ගනු ලබන තෙක් ඔහු සත්‍යය ප්‍රකාශ කරමින්ම සිටියි. නියත වශයෙන්ම අසත්‍යය අයහපත කරා මඟ පෙන්වයි. අයහපත නිරය කරා මඟ පෙන්වයි. නියත වශයෙන්ම මිනිසෙකු බොරුකාරයෙකු ලෙස අල්ලාහ් විසින් ලියාගනු ලබන තෙක් ඔහු අසත්‍යය ප්‍රකාශ කරමින්ම සිටියි.’

මීළඟට බුදු දහමේ ඉගැන්වීම් කෙරෙහි අවධානය යොමු කරමු.

වචීපකොපං රක්ඛෙය්ය

වාචාය සංවුතෝ සියා

වචී දුච්චරිතං හිත්වා

වාචාය සුචරිතං චරේ

 (ධම්ම පදය - කොධ වග්ග - 232)

අර්ථය: වචනයෙන් සිදු වෙන බොරු කීම ආදී පවින් වැළකෙන්නේය. වචනයෙන් සංවරයට පැමිණෙන්නේය. වාග් දුශ්චරිතය දුරුකොට බොරු නොකීම ආදී වාග් සුචරිතයෙහි හැසිරෙන්නේය.

ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ‘සම්මාවාචා’ හි අර්ථය විග්‍රහ කරන මහා සති පට්ඨාන සූත්‍රය, අසත්‍යයෙන් දුරුවීම, කේලාම් කිමෙන් දුරුවීම, පරුෂ වචනයෙන් දුරුවීම හා හිස් වචනයෙන් දුරුවීම යන සිව් වැදෑරුම් වාග් දුසිරිතෙන් ඉවත් වීම මෙයට අඩංගු බව පෙන්වා දෙයි.

පහත සඳහන් ශුද්ධ වූ බයිබල් වාක්‍යය ද අපට පවසන්නේ සත්‍යයේ වැදගත් කමය.

‘ඔබ සත්‍යය අවබෝධ කරගන්නෙහිය. සත්‍යය ඔබ නිදහස් කරන්නේය.’

(ශුද්ධවර ජොහන් 8:32)

හින්දු දහමේ උගන්වන්නේ ද සත්‍යය එකක් බවය.

‘ඒකම් සත්ත්’ (රිග්වේදය)                 

අර්ථය: සත්‍යය එකකි.

පූර්ව නිගමනයන්, පාරම්පරික විශ්වාසයන්, විචාරයෙන් තොර වූ පක්ෂපාතිත්වය ආදියෙන් මිදී විවෘත මනසකින් යුක්තව සත්‍යය ගවේෂණයකට අවංක සිතින් අත්වැල් බැඳ ගනිමු. ඉදිරි ලිපි මගින් බුද්ධිමය සංවාදයකට අවතීර්ණ වෙමු.

 "සත්‍යය" ගවේෂණයට ආරාධනා(2)

ලොව සියලු දෑ මූලික වශයෙන් මිනිසා ගේ ප්‍රයෝජනය සඳහාමද? පරිසරය ඉමහත් ලෙස වෙනස් කළ හැක්කේ මිනිසාට පමණක්ද? ඔහුට මෙම සුවිශේෂී හැකියාව ලැබී තිබෙන්නේ කුමක් නිසාද? මිනිසා පරපුරෙන් පරපුරට මිහිතලයේ පාලකයා ලෙස  ක්‍රියා කරන බව සත්‍යක් සේ පිළිගැනීමට අපට දුෂ්කරතාවක් තිබේද? පාලකයෙකුට යහ පාලනයක් සඳහා මඟ පෙන්වීමක් හා නීති පද්ධතියක් අවශ්‍ය නොවන්නේද? මෙම මඟ පෙන්වීම හා නීති ක්‍රමය ඔහුටම සාදා ගත හැකි එකක්ද? මේ සියල්ල හැසිරවීමට ඔහුටම  සුවිශේෂී වූ ඥානයක් අවශ්‍ය නොවන්නේද?

මිනිසා මිහිතලයේ පාලකයා හා භාරකරුය

මිනිසා මිහිතලයේ භාරකාරයෙකු ලෙස හා පාලකයෙකු ලෙස ක්‍රියා කරන බව අප අවට සිදු වන දෑ නිරීක්ෂණය කිරීමෙන් පමණක්ම නිගමනය කළ හැකි සත්‍යයක් බවට පත්ව ඇත. අන් කිසිම ජීවියෙකුට මෙම සුවිශේෂී හැකියාව ඇති බව දකින්නට නොමැත. මිනිසා අන් සියලු ජීවීන්, පරිසරය, හා එහි අඩංගු දෑ පාලනය කරන, වෙනස් කරන, හා පරිහරණය කරන අයෙකු ලෙස දැක්වීම ඉතාමත්ම නිවැරදි මතයක් යැයි අපි සිතන්නෙමු. උදාහරණයක්‌ ගෙන සාකච්ඡා කළහොත් මෙය වඩාත් පැහැදිලි වනු ඇතැයි අපගේ අදහසයි. සත්ව වර්ගයාගෙන් 500 ක් හා මිනිසුන්ගෙන් 500 ක් තෝරා ගෙන මෙයට පෙර ජනාවාස නොවූ ප්‍රදේශ දෙකක වෙන් වශයෙන් පදිංචි කොට ඉන් අවුරුදු 5 ක් හෝ 10 ක් වැනි කාලසීමාවකට පසු එම ප්‍රදේශ දෙක නිරීක්ෂණය කිරීමට ගියහොත් දැකිය හැකි තත්වය ගැන ඔබට සිතා බැලිය හැකි වන්නේද? සතුන් ගෙන ගොස් හැර දැමු ප්‍රදේශයේ දැනෙන ආකාරයේ කිසිම වෙනසක් දැකිය නොහැකි වනු ඇතැයි අමුතුවෙන් කිව යුතු වන්නේ නැත. තම ජීවිතය ගෙන යෑමට පමණක් අවශ්‍ය වන ප්‍රමාණයේ අවම පරිහරණයකින් යුක්තව පරිසරය උපයෝගී කර ගෙන තිබෙන ආකාරය අපට දකින්නට හැකි වනු ඇත. සතුන්ගේ හැකියාව හා පරිසරය පිළිබඳව කටයුතු කළ හැකි ප්‍රමාණයේ සීමාව එයයි. නමුත් මිනිසුන් පදිංචි කල ප්‍රදේශය නිරීක්ෂණය කරන්නට පෙරම ඔබගේ මනස තුළ මතු වන්නේ කුමන ආකාරයේ චිත්ත රූපද? සැබැවින්ම ආරම්භයේ එම ප්‍රදේශය දුටුවෙකු මවිතයට පත් කළ හැකි  අයුරින් හා මිනිසුන් පදිංචි කළේ මෙම ප්‍රදේශයේද කියා සිතෙන තරමට අදහාගත නොහැකි අයුරින් එම ප්‍රදේශය සහමුලින්ම වෙනස් කොට ඇති ආකාරය නියත වශයෙන්ම ඔබට දැකිය හැකි වනු ඇත. මෙයින් පැහැදිලි වන්නේ සත්ව වර්ගයා තම පැවැත්ම සඳහා පමණක් මිහිතලය හා එහි පරිසරය සීමිත අයුරින් ප්‍රයෝජනයට ගන්නා අතර මිනිසාගේ තත්වය මෙයට හාත්පසින්ම වෙනස් වූ එකක් බවය.

මිහිතලය හා එහි අඩංගු සියලු දෑ මිනිසාගේ ප්‍රයෝජනය සඳහා නිර්මාණය කර ඇති බව හා එහි පාලකයා හා භාරකාරයා ලෙස ඔහු ක්‍රියා කරන බව මෙයින් ඉතා පැහැදිලිව පෙනෙන්නට ඇති සත්‍යයකි. මෙම සුවිශේෂී හැකියාව මිනිසාට නොලැබී තිබුණා නම් මිහිතලය මත සිදු වී හා සිදුවෙමින් පවතින අදහාගත නොහැකි වෙනස් වීම් දකින්නට අපට අවස්ථාව නොලැබී යන්නට ඉඩ තිබුණි. අල් කුරානය මෙම අදහස ඉතා අලංකාර ලෙස පැහැදිලි කර තිබෙන අයුරු බලමු.

“ඔහුමය (අල්ලාමය) ඔබව මිහිතලය මත (පරපුරෙන් පරපුරට) උරුමක්කාරයින් බවට පත් කෙරුවේ.” (35:39)

මිහිතලයේ පාලකයා හා භාරකරු ලෙස මිනිසා ක්‍රියා කරන බව ඉහත විග්‍රහයෙන් හෙළිදරවු වන සත්‍යයක් බව පිළිගැනීමට කිසිවෙකුට අපහසුතාවක් ඇතැයි අපි නොසිතන්නෙමු. මිනිසා හැර අනෙකුත් සතුන්ට මෙම වගකීම පැවරී නොමැති බවද පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණකි. මිනිසාට පැවරී ඇති මෙම භාරධුර වගකීම නිසි ලෙස ඉටු කිරීමට නම් ඔහුට නිවැරදි මෙන්ම සාධාරණය හා යුක්තිය මත පදනම් වූ යථාර්ථවාදී මගපෙන්වීමක අවශ්‍යතාව මතු වෙනවා නොවේද? මෙම මගපෙන්වීම ඔහු විසින්ම සකසා ගත හැක්කක් ද? එම මග පෙන්වීම හා මග පෙන්වීම ලබා දෙන්නා සතු විය යුතු ගුණාංග කුමක් ද කියා විමසා බලමු. වැරදි මග පෙන්වීම මගින් අප මංමුළා වීමට ඇති හැකියාව පිළිබඳව අමුතුවෙන් පැවසිය යුතු නැතැයි විශ්වාස කරන්නෙමු.   

අපේක්ෂිත ගමනාන්තය කරා සාර්ථකව ලඟාවීමට නම් නිවැරදි මඟ හා එහි මං සලකුණු හරිහැටි දැන සිටීම ඉතා වැදගත් වෙයි. බොහෝ විට මං සලකුණු හරිහැටි නොදන්නා අයෙක් වැරදි මඟක ගොස් අපේක්ෂා භංගත්වයට පත් වී විනාශය කරාද ළඟා විය හැකි බව අප ඉතා හොඳින් දන්නා කරුණකි. තවත් උදාහරණයක් වශයෙන් දක්වන්නේ නම් සැබෑ හා ව්‍යාජ රත්තරන් වෙන් කර හඳුනා ගැනීම සඳහා අපට උරගලක් අවශ්‍ය වන බව ප‍්‍රායෝගිකව දන්නා කරුණකි. උරගලක් මෙන්ම නිවැරදි මං සලකුණු ලෙස සත්‍ය හා නිවැරදි මග පෙන්වීමක්  ව්‍යාජත්වයෙන් වෙන් කර හඳුනා ගැනීම සඳහා භාවිත කළ හැකි සාධක මොනවාද යන්න අප විසින් සොයා බැලීම වැදගත් වෙයි. අපට දෙමව්පියන්ගෙන් උරුම වූ දහම පිළිබඳව අප කිසි දිනක විචාරශීලී බුද්ධියෙන් විමසා බලා ඇත්ද? අද අප කරමින් සිටින්නේ දෙමව්පියන්ගෙන් කිසිම වැරදි දෙයක් අපට ලැබිය නොහැකිය යන මතය මත පිහිටා ඇස් කන් වසා ගෙන කිසිම විචාරයකින් තොරව පාරම්පරික දහම අනුගමනය කිරීම නොවේද? යථාර්ථයෙන් හා විචාරයෙන් සිතා බලා දහමක් පිළිබඳව නිවැරදි නිගමනයකට නොපැමිණීමේ ඵල විපාක අන් සියලු කරුණු වලට වඩා භයානක විය හැකි බව, එනම් විශේෂයෙන්ම මරණින් මතු ජීවිතයේ ඉතා අභාග්‍ය සම්පන්න තත්ත්වයකට අප පත්විය හැකි බව සිතන විට මේ ගැන නිහඬව අන්ධ භක්තියෙන් කටයුතු නොකළ යුතුය යන මතය සමඟ ඔබ එකඟ වනු ඇතැයි දැඩිව විශ්වාස කරන්නෙමු. ඒ නිසා සත්‍ය දහමක් තෝරා ගැනීමේදී දැන ගත යුතු මං සලකුණු මෙන්ම සත්‍යය හා අසත්‍යය වෙන් කර ගැනීමට භාවිත කළ හැකි උරගල මෙන් වූ සාධක ගැනද පූර්ව නිගමනයන්ගෙන් හා බැඳීම් වලින් බැහැර වී විවෘත මනසකින් හා විචාරශීලී බුද්ධිය මෙහෙයවා කරන්නා වූ විමසුමකට සහභාගි වන ලෙස ඔබට ආරාධනා කරන්නෙමු.

ඌන දැනුමක් ඇති අයෙකුට එනම් මිනිස් දැනුමේ සීමාවන්ගෙන් ඔබ්බට දිව යන ගැඹුරු, පළල් හා අසීමිත දැනුමක් නොමැති අයෙකුට මිනිසාගේ මෙලොව හා මරණින් මතු ජීවිතයේ ජය මාවත විග‍්‍රහ කොට නිවැරදි මඟ පෙන්වීමක් කිරීමට හැකිවේ යැයි සිතීම අනුවණකමක් බව අප සැම ඉතා හොඳින් අවබෝධ කර ගත් කරුණකි. එනිසා දහම ලබා දෙන්නා කෙරෙහි සර්ව සම්පූර්ණ ඥානයක් තිබිය යුතු බව සැවොම අවිවාදයෙන් පිළිගනු ඇතැයි කිසිම සැකයක් තිබිය නොහැක. එනම් දහම ලබා දෙන්නා සර්වඥ විය යුතුය. මෙය පළමුවැනි කොන්දේසිය ලෙස පිළිගැනීමට ඔබට අපහසුතාවක් නැතැයි විශ්වාස කරන්නෙමු. දැනට ඇති දහම් සියල්ලම සර්වඥයෙකු විසින් ලබා දුන්නු ඒවා නම් මෙම දහම් අතරේ වෙනස්කම් ඇතිවන්නට ඉඩකඩ තිබිය නොහැක. එසේ විය හැක්කේ සියලු දහම් සර්වඥයෙකු විසින් ලබා දුන් ඒවා නොවන තත්වයේ හෝ සර්වඥයෙකු විසින් ලබා දුන් දහම අතර මැදි කාලයේදී මිනිස් හස්තයෙන් හා චින්තනයෙන් වෙනස් කර ඇති තත්වයේ පමණි. මේ ගැනද මත ගැටුමක් ඇතැයි අපි නොසිතන්නෙමු.

දැනට ඇති දහම් සියල්ල පැරණි ඒවා වන අතර එම දහම් සර්වඥයෙකු විසින් ලබා දී ඇත්නම්, අද අප අතට පත් වී ඇති එම දහමේ ලේඛන සර්වඥගේ වචනයෙන්ම, ඔහුගේම අදහස් කිසිම වෙනස් කිරීමකින් තොරව එලෙසින්ම සුරක්ෂිත වූවක් විය යුතුය. නැතිනම් ආරම්භයේ දහම දුන්නේ සර්වඥ වූවත් අතරමැදි කාලයේදී මිනිසුන් විසින් තමන්ගේ සාමාන්‍ය බුද්ධියෙන් ඒවා වෙනස් කර ඇත්නම්, අද අප අතර ඇති දහම සර්වඥ විසින්ම දුන් දහම යැයි කෙලෙසකින්වත් පිළි ගත නොහැකි තත්වයක් අනිවාර්යයෙන්ම ඇති වෙයි. ඒ නිසා දෙවැනි කොන්දේසිය ලෙස සර්වඥ විසින් දෙන ලද දහම එලෙසින්ම සුරක්ෂිතව ඇති බවට පිළි ගත හැකි සාක්ෂි තිබිය යුතුය. සත්‍ය අසත්‍යයෙන් වෙන් කර දක්වන මෙම කොන්දේසි දෙක පදනම් කර ගෙන අනිකුත් මං සලකුණු ඉදිරියට සාකච්ඡා කරමු. මිනිස් චින්තනයේ පරස්පරතාවන් ඇති වීම වැළැක්විය නොහැකි කරුණක් බව අප සැවොම ප‍්‍රායෝගිකව දන්නා කරුණකි. විශේෂයෙන්ම එක් විෂයයක් සම්බන්ධව ප‍්‍රකාශිත අදහස් වල වෙනස්කම් කාලයේ පරතරය දිගු වන විට බොහෝ විට සිදු විය හැක්කක් බව අප අත් දුටු සත්‍යයකි.  ඕනෑම විද්වතෙක් එක් විෂයයක් සම්බන්ධව පස් අවුරුද්දකට පෙර දැරූ මතය හා පස් අවුරුද්දකට පසුව එම විෂය සම්බන්ධයෙන් දරන මතයේ බොහෝ දුරට වෙනස්කම් ඇති විය හැකි බව විශාරදයින්ගේ මතයයි. මෙම පරස්පරයන් ඇති වීමට බොහෝ දුරට පහත සඳහන් කරුණු සාධක විය හැකිය.

1. එක් විෂයයක් සම්බන්ධව පෙර පැවසූ අදහස් අමතක වී යෑම.

2. පෙර වැරදි ලෙසට අවබෝධ කර ගත් කරුණු පසුව නිවැරදිව අවබෝධ කර ගැනීම.

3. මානසික හා ශාරීරික පීඩනයන්ට භාජනය වී ඇති අවස්ථාවන්හි දී නිවැරදිව කරුණු අවබෝධ කර ගැනීමට මෙන්ම ඉදිරිපත් කිරීමට ද ඇති වගකීම ගැන වැඩි අවධානයක් යොමු නොකිරීම.

4. අප අදහස් ඉදිරිපත් කරනු ලබන අයගේ සිත් නොරිදවා කටයුතු කිරීමේ අවශ්‍යතාව මත හෝ පුද්ගලික ලාභ ප‍්‍රයෝජන උදෙසා සත්‍යයෙන් බැහැර වූ අදහස් ප‍්‍රකාශ කිරීම.

5. වයෝවෘද්ධ භාවය සමඟ ඇතිවන්නා වූ සිතීමේ හැකියාවේ ඌනතාවයන්.

6. තර්ජන හා අලාභයක් ඇති වේදෝයි බියෙන් අදහස් ප‍්‍රකාශ කිරීමේදී දෙබිඩි පිළිවෙතක් අනුගමනය කිරීම.

මෙයට අමතරව තවත් බොහෝ අඩුපාඩු හා දුර්වලතාවන්ගෙන් මිනිස් ස්වභාවය පිරී පවතින හෙයින් පරස්පරතාවන්ගෙන් තොර වූ එක් අයෙක් හෝ සොයා ගැනීම ඉතා දුලබ කාර්යයකි. මෙම අදහස් පදනම් කර ගෙන සත්‍ය ආගමික ප‍්‍රකාශනයක තිබිය යුතු අංග ලක්ෂණ වශයෙන් පහත සඳහන් කරුණු ගෙන හැර දැක්විය හැකිය.

1. අසත්‍යයෙන් තොර වීම

2. පරස්පරතාවන්ගෙන් තොර වීම.

3. අතිශයෝක්තියෙන් තොර වීම.

4. අධම හා පහත් අදහස් වලින් තොර වීම.

5. අනුමාන කිරීම් වලින් හා මනඃකල්පිත අදහස් වලින් තොර වීම.

6. රජවරු, පාලකයින් හා බලසම්පන්නයින් පිළිබඳව අනවශ්‍ය ප‍්‍රශංසාවන්ගෙන් තොර වීම.

7. තමා ජීවත් වූ යුගයේ පැවති අවිද්‍යාත්මක සංකල්පයන් සත්‍ය කරුණු ලෙස ඉදිරිපත් නොකිරීම.

8. උසස් සදාචාරයන් උගන්වන එකක් වීම.

9. පුද්ගලික ලාභ ප‍්‍රයෝජන අපේක්ෂාවන්ගෙන් තොර වීම.

10.මිනිස් ජීවිතයේ සියලුම අවස්ථා හා තත්වයන්ට සුදුසු හා නිවැරදි මඟපෙන්වීමකින් යුක්ත වීම.

ආගමික ඉගැන්වීම් අඩංගු ලිඛිත භාෂාව ජීවමානව මෙන්ම සැමටම තේරුම් ගත හැකි ආකාරයේ ශෛලියකින් යුක්ත විය යුතු වෙයි. එසේ නොවුවහොත් එය විශාරදයන්ට පමණක් සීමා වූ දහමක් බවට පත්වනු නොඅනුමානය. සකල මනුෂ්‍ය වර්ගයාගේම යහපත එවැනි දහමකින් ඉටු විය හැකි යැ’යි සිතීම අසීරුය. දහමේ ඉගැන්වීම් පුජක පක්ෂයට පමණක් සීමා නොවිය යුතුය. පුජක පක්ෂයක් ඉන්නා දහම් තුළ (එනම් පුජක පක්ෂයක් නොමැති දහම් ද ලොව ඇති බව මෙමගින් මතක් කරන්නට කැමැත්තෙමු) ඔවුන්ගේ මග පෙන්වීම උදෙසා ඉගැන්වීම් අවශ්‍ය බව පිළිගන්නෙමු. නමුත් දහමේ මාර්ගොපදේශනයෙන් 99% ක් පමණ වෙන් කර ඇත්තේ ඔවුන්ගේ අධ්‍යාපනය උදෙසා නම් එහි සත්‍යය වශයෙන්ම අඩුපාඩුවක් ඇති බව අපට පිළිගන්නට සිදු වෙනවා නොවේද? දහමේ ඉගැන්වීම් වලින් 99% ක් පමණ 1% කට වඩා අඩු පුජක පක්ෂයට වෙන් කර ඇත්නම් අති බහුතරයක් වූ එනම් 99% තරම් වූ පුජක පක්ෂයට අයත් නැති ගිහි ජනයාට විශාල අසාධාරණයක් මෙමගින් සිදු වන බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන සත්‍යයකි. මිහිතලයේ පාලකයා හා භාරකාරය ලෙස වගකීම් භාර ගෙන කටයුතු කරන්නේ ගිහි ජනයායි. පුජක පක්ෂයේ වැඩි අවධානය යොමු වී ඇත්තේ ලෞකික නොවන ලෝකෝත්තර දිසාවකටය. ජන සංයුතියේ ව්‍යුහය පිළිබඳව අවධානය යොමු නොකොට මග පෙන්වීම් සකස් වුවහොත් එය සාර්ථක මග පෙන්වීමක් ලෙස පිළිගැනීමට දුෂ්කරතාවන්  මතු වෙයි. එහෙයින් මිනිසාට අවශ්‍ය වන්නේ පරිපුර්ණත්වයෙන් සපිරි විශ්වීය මගපෙන්වීමකි (Complete Universal Guidance). මිනිසාගේ උපතේ සිට මරණය දක්වා වූ ඇති මනුෂ්‍ය ජීවිතයේ සියලුම පැති කඩයන් පිළිබඳව ඉගැන්වීම් මෙම මග පෙන්වීමෙහි අඩංගු විය යුතුය. ආධ්‍යාත්මික වර්ධනය, අධ්‍යාපනය හා දැනුම, සෞඛ්‍යය, පවුල් ජීවිතය, ආර්ථිකය, දේශපාලනය, සමාජ ප්‍රශ්න, සමාජ සම්බන්ධතාවන්, රාජ්‍ය පාලනය, යුද්ධ, සිවිල් හා අපරාධ නීති ක්‍රම, නීතිය හා යුක්තිය පසිඳලීමේ ව්‍යුහයන්, ඇතළු මනුෂ්‍ය ජීවිතයේ සියලුම පැති කඩයන් මෙම මග පෙන්වීමට ඇතුළත් විය යුතුය යන්න අපගේ නිහතමානී මතයයි. එය හුදෙක් ලෝකෝත්තර අපේක්ෂාවන් පමණක් ඉලක්ක කර ගත් ඉගැන්වීමක් නොවිය යුතුය. මිනිසාගේ අවසාන ඉලක්කය ලෝකෝත්තර ජයග්‍රහණය බව සැබෑවකි. නමුත් අති මහත් බහුතරයක් වූ ගිහි පිරිසගේ ලෞකික ජීවිතයේ සම්මා මග පෙන්වීමකින් තොරව මනුෂ්‍ය වර්ගයාව කෙසේ නම් ලෝකෝත්තර ජයග්‍රහණයක් කරා යොමු කරන්නටද යන ප්‍රශ්නය මතු වෙනවා නොවේද?       

අප අදහස් කරන්නේ ඉහත සඳහන් කරුණු පදනම් කර ගෙන අප රටේ ඇති ප‍්‍රධාන දහම් පිළිබඳව විචාරශීලීව ගවේෂණයක යෙදීමටය. මෙම ප‍්‍රයත්නයේදී උද්වේගයන්ට ඉඩකඩ කොහෙත්ම ලබා නොදී ඔබගේ බුද්ධිමත් හා විචාරශීලී සහභාගිත්වය ඉතා අගේ කොට සලකන්නෙමු. මෙම ප්‍රයත්නය යහ අයුරින් සාක්ෂාත් කර ගැනීම පිණිස මිනිසාගේ ස්වභාවය පිළිබඳව පළමුව සාකච්ඡාවකට අවතීර්ණය වෙමු. මිනිසාගේ ස්වභාවය අවබෝධ කර ගැනීම පහසු වීම පිණිස මිනිසාගේ හා සත්ව ලෝකයේ අනෙකුත් සාමාජිකයින් අතර ඇති මුලික වෙනස්කම් කිහිපයක් පිළිබඳව පළමුව විමසා බලමු. මිනිසාගේ ස්වභාවය පිළිබඳව මුලික දැනුමකින් තොරව ඔහුට සුදුසු වන්නේ කුමන ආකාරයේ මග පෙන්වීමක් ද යන්න පිළිබඳව නිගමනයකට එළඹීම පහසු නොවන්නකි. එසේ කටයුතු කිරීම බුද්ධිමත් හා යථාර්ථවාදී ප්‍රවේශයක් ද නොවනු ඇත. සිංහයාට ආහාරය සඳහා අවශ්‍ය වන්නේ මාංශ වර්ගයි. මෙම මුලික ස්වභාවය හඳුනා නොගෙන සිංහයාට තෘණ වර්ග කවන්නට ලැහැස්ති වුවහොත් සිදු වන්නේ කුමන තත්වයක් ද යන්න පැහැදිලි කිරීම අවශ්‍ය නොවන බව සිතන්නෙමු. එලෙසම ගව මහීෂාදීන්ගේ ආහාර තෘණ වර්ග වන අතර මේ පිළිබඳව අවබෝධයකින් තොරව උන්ට මාංශ කවන්නට උත්සාහ කළහොත් සිදු වන්නේ කුමන තත්වයක් ද යන්න ඔබට පැහැදිලි කිරීම අවශ්‍ය නොවනු ඇත. මිනිසාගේ මුලික ස්වභාවය හඳුනා ගත් විට ඔහුට සුදුසු වන්නේ කුමන ආකාරයේ මග පෙන්වීමක් ද යන්න පිළිබඳව අපට සාමුහික එකඟතාවකින් නිගමනයකට එන්නට හැකි වේ යැයි අපේක්ෂා කරන්නෙමු. එහෙයින් මෙම කරුණු හැකි පමණ සරලව හා තර්කානුකුලව මීළඟ ලිපියෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නෙමු.

 "සත්‍යය" ගවේෂණයකට ආරාධනා (3)

මිනිසාව අවබෝධ කර ගැනීම පිණිස මිනිසාගේ හා සත්ව ලෝකයේ අනෙකුත් සාමාජිකයින් අතර ඇති මුලික වෙනස්කම් කිහිපයක් පිළිබඳව පළමුව විමසා බලමු. එළදෙනක් තම පැටියා ලොවට බිහි කළ විගස මිහිතලයට එකතු වන මෙම නව ජීවියාගේ ක්‍ෂණික අවශ්‍යතාව වන්නේ කුසගින්න හා පිපාසය සංසිඳුවා ගැනීමය. මෙම අවශ්‍යතාව ඉටු කර ගන්නා ආකාරය හෝ ඉටු කර ගත හැකි ස්ථානය පිළිබඳව දැනුවත් කිරීමක් එළදෙන විසින් තම පැටියාට ලබා දෙන්නේ නැත. මිනිත්තු කිහිපයකට පෙර දක්වා එළදෙන ගේ ගර්භාෂයේ සිටි මෙම පැටියා ඉන් පිට ව ආ පසු තම ජීවිතයේ නව පරිසරයට අනුව ජීවිතය සකස් කර ගන්නට දැනුම ලබා ගන්නේ කුමන මාර්ගයෙන්ද? කිසිවෙකුගේ මග පෙන්වීමකින් තොරව තම ආහාරය තිබෙන තැන හොඳින් දන්නෙකු ලෙස වැස්සිගෙන් කිරි උරා බොන්නට මෙම නව ජීවියා කටයුතු කිරීම සැබැවින්ම මවිත කර නොවන්නේද? කරුණාකර සිතා බලන්න. මනුෂ්‍ය දරුවෙකු ලොවට බිහි වූ විට මෙලෙස ක්‍රියා කිරීමේ හැකියාව එම දරුවාට තිබේද? අලුත උපන් දරුවෙකු ගේ අසරණ භාවය අප සැම හොඳින් දන්නා කරුණකි. මවගේ ආදරය, සෙනෙහස, කරුණාව නොලැබුණා නම් දින දෙකකට වඩා ජීවත් වීමේ වාසනාව මෙම දරුවාට නොලැබී යනු ඇත. මෙම සාධක නිරීක්ෂණය කිරීම මත අපට එළඹිය හැකි නිගමනයන් කුමක්ද? සත්ව ලෝකයේ සාමාජිකයින් ලොවට බිහි වන්නේ ජීවත් වීම සඳහා වූ පුර්ව ජන්ම සැලැස්මක් සහිත බව අපට එළඹිය හැකි පළමු නිගමනයයි. මේ හේතුව නිසාම සත්වයින්ට මග පෙන්වීමක අවශ්‍යතාවක් මතු වන්නේ නැත. එනිසා උන්ට දහමක හෝ පාලකයින්ගේ අවශ්‍යතාව අදාළ නොවන තත්වයක් පැහැදිලිව දක්නට ඇත. මනුෂ්‍ය දරුවාගේ තත්වය මෙයට හාත්පසින්ම වෙනස් ය.

මනුෂ්‍ය දරුවාට අනිවාර්යයෙන්ම උපන් පළමු දවසේ සිට මිහිතලයෙන් සමු ගන්නා දිනය දක්වා මග පෙන්වීමක හා පාලනයක අවශ්‍යතාව සහතික වශයෙන්ම අවශ්‍ය ව ඇත. මිනිස් දරුවාගේ පළමු පාලිකාව මව වන අතර ක්‍රමයෙන් මෙම ලැයිස්තුවට පියා, ගුරුවරුන්, තම සේවා ස්ථානයේ, පොලිසියේ, උසාවියේ, රාජ්‍ය අංශයේ, බන්ධනාගාර ආදියේ නිලධාරීන් එකතු වනු පෙනෙන්නට ඇත. මිනිසා කැමති වුවත් අකමැති වුවත් ඔහුට ජීවත් වන්නට සිදු වී ඇත්තේ මෙවන් වාතාවරණයක ය. මෙයට පෙර ලිපියෙන් අප සාකච්ඡා කළ කරුණු අනුව මිනිසා මිහිතලයේ පාලකයා හා භාරකාරයා යන නිගමනයට එළඹුනෙමු. එහිදීත් අප තවත් එක් වැදගත් කරුණක් පිළිබඳව එකඟතාවක් ඇති කර ගත්තෙමු. එනම් මිහිතලයේ පාලකයා හා භාරකාරයා ලෙස ඔහුට නිවැරදිව කටයුතු කරන්නට නම් අවශ්‍ය වන්නේ පරිපුර්ණත්වයෙන් සපිරි විශ්වීය මග පෙන්වීමක් (Complete Universal Guidance) බව පිළිගත්තෙමු. මිනිසාගේ උපතේ සිට මරණය දක්වා වූ ඇති මනුෂ්‍ය ජීවිතයේ සියලුම පැති කඩයන් පිළිබඳව ඉගැන්වීම් මෙම මග පෙන්වීමෙහි අඩංගු විය යුතුය. ආධ්‍යාත්මික වර්ධනය, අධ්‍යාපනය හා දැනුම, සෞඛ්‍යය, පවුල් ජීවිතය, ආර්ථිකය, දේශපාලනය, සමාජ ප්‍රශ්න, සමාජ සම්බන්ධතාවන්, රාජ්‍ය පාලනය, යුද්ධ, සිවිල් හා අපරාධ නීති ක්‍රම, නීතිය හා යුක්තිය පසිඳලීමේ ව්‍යුහයන් ඇතළු මනුෂ්‍ය ජීවිතයේ සියලුම පැති කඩයන් මෙම මග පෙන්වීමට ඇතුළත් විය යුතුය යන්න අපගේ මතයයි. එය හුදෙක් ලෝකෝත්තර අපේක්ෂාවන් පමණක් ඉලක්ක කර ගත් ඉගැන්වීමක් නොවිය යුතුය. මිනිසාගේ අවසාන ඉලක්කය ලෝකෝත්තර ජයග්‍රහණය බව සැබෑවකි. නමුත් අති මහත් බහුතරයක් වූ ගිහි පිරිසගේ ලෞකික ජීවිතයේ සම්මා මග පෙන්වීමකින් තොරව මනුෂ්‍ය වර්ගයාව කෙසේ නම් ලෝකෝත්තර ජයග්‍රහණයක් කරා යොමු කරන්නේද යන ප්‍රශ්නය මතු වෙනවා නොවේද? මිනිස් දරුවාගේ උපතේ සහ ජීවිතයේ ස්වභාවය අනුව ද අපට සැකයෙන් තොරව ඔප්පු වන්නේ ඔහුට මෙවන් පරිපුර්ණ විශ්වීය මග පෙන්වීමක අවශ්‍යතාව නොවේද?.

මිනිසාට උපතේ සිට මරණය දක්වා පාලකයින් සිටින බව ඉහත කරුණු සලකා බැලීමෙන් අපහට පෙනෙන්නට ඇති සත්‍යයකි. මෙම සියලු භෞතික පාලකයින් මගින් කරන්නට හැකි වන්නේ මිනිසාගේ බාහිර ක්‍රියාකාරකම් පාලනය කිරීමට කටයුතු කිරීම පමණි. මෙය මිනිසාගේ ක්‍රියාකාරකම් පාලනය කිරීමට ඇති වඩාත් යෝග්‍යය පිළිවෙත නොවන බව මිහිතලය මත සිදු වෙමින් පවතින්නා වූ දෑ කෙරෙහි අවධානය යොමු කරන විට පැහැදිලිව පෙනෙන්නට ඇති සත්‍යයකි. මිහිතලය මත වසංගතයක් ලෙසින් වර්ධනය වෙමින් පවතින අපරාධ රැල්ල අපට හඬ නගා පවසන්නේ කුමක් ද? මිනිසාගේ ක්‍රියාවන් පාලනය කිරීම සඳහා සිටින්නා වූ සියලු භෞතික පාලකයින්ගේ අසාර්ථකත්වය නොවේද?                 

මෙම සියලු භෞතික පාලකයින්ට කළ හැකිව ඇත්තේ මිනිසාගේ ක්‍රියාවන් එක්තරා ප්‍රමාණයකට පාලනය කිරීමයි. නමුත් ක්‍රියාවට මුල් වන්නේ ඔහුගේ සිතයි. මිනිස් සිත බාහිර සියලු පාලකයින්ගෙන් බැහැර වුවකි. මිනිස් සිත පාලනය නොකර ඔහුගේ ක්‍රියාකාරකම් පමණක් පාලනය කිරීමෙන් සිදුවෙන්නේ ඔහු බහු චරිත ඇත්තෙකු බවට පත්වීමයි. පාලකයාගේ පාලනයේ බලපෑම ඇති විට යහකම සුරකින්නටත් එයින් බැහැර වූ විගස තමාගේ සුපුරුදු චරිතය වෙත යොමු වන්නටත් කටයුතු කිරීම බොහෝ විට සිදු වන්නක් බවට පත් ව ඇත. මෙ මගින් ඔහු යොමු වන්නේ බහු චරිත රංගනයකටය.   නිවැරදි මග පෙන්වීමකින් මිනිසාගේ සිත යහ මගට යොමු කර එය පාලනය කිරීම සඳහා වූ වඩාත් යෝග්‍ය පිළිවෙතකින් තොරව ඔහුගේ ක්‍රියාකාරකම් පමණක් භෞතික පාලකයින් මගින් පාලනය කරන්නට කටයුතු යෙදු විට මිනිසා විකල්ප මාර්ග යොදා ගනිමින් තම සිතේ උත්පාදනය වන වැරදි චින්තනයන් පදනම් කර ගෙන නුසුදුසු ක්‍රියා වෙත යොමු වීම වැළක්විය හැක්කක් නොවේ. ඔහුගේ සිත ඔහුටම පාලනය කර ගත හැකිද? මේ සඳහා වූ විශ්වීය උපයෝගීතාවකින් යුත් මග කුමක්ද? මිනිසාගේ සිත පාලනය කළ හැකි පාලකයෙක් සිටින්නේ ද? එම පාලකයාගේ ස්වභාවය කුමක් විය යුතුද? එවන් පාලකයෙකුට අවනත වීමෙන් සත්‍යය වශයෙන්ම මිනිසාට තම සිත පාලනය කොට සම්මා ජීවිතයකට යොමු වීමේ හැකියාවන් පිළිබඳ ප්‍රායෝගිකත්වය සමාජ සිදුවීම් තුළින් සනාථ වී තිබේද?  මේ සියල්ල සවිස්තරාත්මකව පසුව සාකච්ඡා කරමු. මීළඟට මිනිසා හා සත්ව ලෝකයේ සාමාජිකයින් අතර ඇති සමානකම් දෙස අපගේ අවධානය යොමු කරමු.    

මිනිසා සහ සත්වයින් අතර ඇති සමානකම්                                   

පහත සඳහන් කරුණු මිනිසා හා සත්ව ලෝකයේ අනෙකුත් සාමාජිකයින් අතර පොදුවේ දකින්නට ඇති ප්‍රධාන සමානකම් ලෙස විස්තර කළ හැක. 

1.     කුසගින්න

2.     පිපාසය

3.     ලිංගික උත්තේජනය

4.     ප්‍රජනනය

5.     නින්ද

6.     ආරක්ෂණය පිළිබඳ හැඟීම

මෙම සමානකම් පිළිබඳව වුවද මිනිසාට සතුන් ක්‍රියාකරන අයුරින් කටයුතු කරන්නට හැකියාවක් නොමැත. මෙම සාධකයන් මිනිසා තුළ පිහිටි සත්ව ලක්ෂණයන් ලෙසත් ඒවා පාදක කර ගෙන විවිධ චිත්ත ආවේගයන්  මිනිසාගේ චෛතසිකයේ උත්පාදනය විය හැකි බවත් අපි දනිමු. එම චිත්ත ආවේගයන් පාලනය කර ගනිමින් මිනිසා ඉහත සඳහන් කරුණු වෙත යොමු විය යුතු වෙයි. විශේෂයෙන්ම කුසගින්න පිපාසය හා ලිංගික උත්තේජනය වැනි කටයුතු වලදී මිනිසා අනිවාර්යයෙන්ම සම්මා මග පෙන්වීමක් අනුව කටයුතු කළ යුතු වෙයි. එසේ නොවුවහොත් එය විශාල සමාජ ප්‍රශ්නයක් බවට පත්වීම වැළැක්විය විය හැකි කරුණක් නොවනු ඇත. මෙහිදීත් අප අවධාරණය කරන්නේ මිනිසා අනිවාර්යයෙන්ම මග පෙන්වීමක අවශ්‍යතාව ඇති අයෙකු ලෙසය.

මිනිසා සත්ව ලෝකයේ උසස්ම සත්වයා වන්නට නම් අනිවාර්යයෙන්ම එම උසස් භාවය සාධාරණීය කරවන මිනිසාට පමණක් සුවිශේෂී වු ලක්ෂණ මිනිසාට තිබිය යුතුය. මෙම කරුණු විග්‍රහ කර ඇති අයුරු  විමසා බලමු.

මිනිසා සහ සත්වයා අතර අසමානකම් මොනවාද?

1.     විචාර බුද්ධිය,

2.     තෝරා ගැනීමේ නිදහස,

3.     හෘද සාක්ෂිය මත පදනම් වූ හරි වැරදි (සම්මා හා අසම්මා) ක්‍රියා පිළිබඳ හැඟීම,

4.     (ලැජ්ජාභය මත පදනම් වු) සදාචාරය,

5.     මිහිතලය ඇතුළුව මුළුමහත් විශ්වයෙහිම ගුප්ත හා පාලන අධිකාරී බලයක් ඇත යන කරුණු මිනිසාට පමණක් සුවිශේෂීය.

මෙම හේතු නිසාම මිනිසාට ඉතා පළල් පරාසයක් තුළ සුදනන් හෝ දුදනන් වීමට හැකියාවක් ඇත.  තෝරා ගැනීමේ නිදහස වැනි කරුණු සත්ව ලෝකයේ සාමාජිකයින්ට අදාළ නොවන්නක් වන අතර උන්ගේ ජීවිතය සකස් වී ඇත්තේ පුර්ව ජන්ම සැලැස්මක් අනුවය. මෙම සියලු කරුණු අපට නැවත නැවත අවධාරණය කර සිටින්නේ මිනිසාගේ විශේෂ ස්වභාවය අනුව ඔහුට පරිපුර්ණත්වයෙන් සපිරි සම්මා විශ්වීය මග පෙන්වීමක් හා ඔහුගේ සිත පාලනය කිරීමේ හැකියාව ඔහුට ලබා දෙන පාලකයෙකුගේ අවශ්‍යතාව නොවේද?  ඉහත කරුණු වලින් මිනිසාගේ ජීවිතයට සෘජුවම බලපාන සාධකය වන්නේ ඔහුටම සුවිශේෂී වූ සදාචාරයයි. මිනිසාට පමණක් උරුම අනෙකුත් සාධක ඔහුගේ සදාචාරාත්මක ජීවිතය පෝෂණය කරන්නට අනුබල දෙන ප්‍රධාන මාර්ගයන්ය. දහමක ප්‍රධාන අරමුණ හා ඉලක්කය විය යුත්තේ සත්ව ලක්ෂණයන්ගෙන් උපලක්ෂිත වූ මිනිසාව සදාචාර සම්පන්න ශ්‍රේෂ්ඨත්වය කරා යොමු කරවන නිවැරදි මග පෙන්වීමක් ලබා දීම බව අපගේ මතයයි.

මිනිසා සහ සත්ව ලෝකයේ අනෙකුත් සාමාජිකයින්ට පොදු වූ තවත් වැදගත් සාධකයක් ඇත. එම කරුණ වෙනමම සාකච්ඡා කරන්නට අදහස් කළේ එහි ඇති සුවිශේෂත්වය හේතුවෙනි. ආශාව, තෘෂ්ණාව යන පදයන්ගෙන් විග්‍රහ වන ස්වභාවය මිනිසාටත් අනෙකුත් සත්වයින්ටත් පොදු වුවත් සත්වයින් ගේ තෘෂ්ණාවේ සීමාවක් ඇති බව ඔවුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කිරීමෙන් අපට පැහැදිලිව දැක ගත හැක. නමුත් පාලනයකින් තොරව මුදා හැරිය විට මිනිසාගේ තෘෂ්ණාවේ සීමාව කොතනදැයි දැනගැනීම ඉතාමත්ම අපහසු කාර්යයකි.

“සැබැවින්ම ඔහු (මිනිසා) සම්පත් කෙරෙහි ඉතා දැඩි වූ ආශාවකින් (තෘෂ්නාවකින්) යුක්ත වූ වෙකි.” (අල් කුර්ආනය 100 : 8)

මිනිසාගේ මුලික ස්වභාවය මෙම අල් කුර්ආන් වාක්‍ය අපට පැහැදිලි කර දෙයි. තෘෂ්ණාව සහමුලින්ම ඉවත් කර ගැනීමක් පිළිබඳව අපට කරුණු ඉදිරිපත් කිරීමක් අල් කුර්ආනයේ දක්නට නොමැති බවයි අපගේ මතය වන්නේ. නමුත් අකුසලයට නැඹුරු වූ අයහ ආසාවන් පාලනය කර ගැනීම පිණිස ඉස්ලාමය තුළ අති විශාල ඉගැන්වීම් සම්භාරයක් ඇත.

මෙම අති වැදගත් මාතෘකාව පිළිබඳව කිතුනු හා බුදු දහමේ ඉගැන්වීම් කෙරෙහි ද අපගේ අවධානය යොමු කරමු.

“තවද, සියලු ආකාර තණ්හාවලින් පරෙස්සම් වෙන්නට බලාගන්න; මනුෂ්‍යයෙකුට කොතරම් දේපළ තිබුණත් ඔහුගේ ජීවිතය ඒ පිට රඳා නැතැයි ඔවුන්ට වදාළ සේක” (ශුද්ධ බයිබලය - ශුද්ධවර ලූක් 12 : 15)

මිනිසාගේ යහ පැවැත්ම උදෙසා වූ ඉතා වැදගත් උපදේශයක්  ලෙස මෙය අපට පිළි ගත හැකි ය. මෙහි තෘෂ්ණාවෙන් පරෙස්සම් වන ලෙස උපදෙස් දී ඇති අතර එය සහමුලින්ම නැති කර ගැනීම පිළිබඳ ව අදහසක් අන්තර්ගත වී නොමැත. 

බුදු දහමේ මතය ද විමසා බලමු. බුදු දහමේ පදනම ලෙස සැලකෙන චතුරාර්ය සත්‍යයේ තෘෂ්ණාව සහමුලින්ම ඉවත්කර ගැනීම නිර්වාන මාර්ගය ට අවතීර්ණ වීමට අත්‍යවශ්‍ය සාධකයක් ලෙස දක්වා ඇත.

“චතුරාර්ය සත්‍යය අවබෝධයට අසමත් වීම නිසා අපි ඉපදීම හා මරණ සංඛ්‍යාත සංසාර චක්‍රයෙහි ගැලී නො නැවතී ඒ වටා යමින් සිටින බැව් බුදු රදුන් වදාරා ඇත. පළමුවන ධර්ම දේශනාව වූ ධම්මචක්කප්පවත්තන සුත්‍රයේ බරණැස මිගදායේ පස් වග මහණුනට චතුරාර්ය සත්‍යය හා ආර්ය අෂ්ටාංගික මාර්ගය දෙසු සේක.” (ආචාර්ය කිරින්දේ ධම්මානන්ද මහානාහිමි - “බෞද්ධ විශ්වාස විමර්ශනය” – 88 වැනි පිටුව)

“සිතෙන් තෘෂ්ණාව මුලිනුපුටා දැමිය යුතුය. මෙය තුන් වන ආර්ය සත්‍යය යි. තෘෂ්ණාව නැති කළ තත්වය නිර්වාණය නම් වේ. නිබ්බාණ යන පදය සැදී ඇත්තේ නි + වාණ සන්ධි වීමෙනි. මෙහි අරුත තණ්හාවෙන් නික්මීම හෝ තෘෂ්ණාවේ අවසානය යනුයි. මෙය දුකින් මිදුණු යළි ඉපදීමෙන් තොර තත්ත්වයකි, ඉපදීම, ජරාව, මරණය, යන නීති වලට යටත් නොවන තත්ත්වයකි.” (ආචාර්ය කිරින්දේ ධම්මානන්ද මහානාහිමි - “බෞද්ධ විශ්වාස විමර්ශනය” – 91 වැනි පිටුව)   

 “ඉඳුරන් හා ගැටීම නිසා අරමුණු වලට අනුව තමා කෙරෙහි තෘෂ්ණාව ඇතිවෙනවා. මෙසේ භවයට බැඳෙනවා. කර්ම කරනවා. ඒ හේතුවෙන් ඊළඟ අත්භවේදීත් උපදිනවා. එසේ උපන් විටද අවිද්‍යාව දුරු නොකළහොත් තණ්හාව ඇති වෙනවා. එවිට කර්ම කරනවා. එහි ඵල වශයෙන් ඊළඟ ආත්මයේදී ද උපදිනවා.” (බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමි - බුදුසරණ - අන්තර්ජාල කලාපය - 2013 මැයි 9 වැනිදා)

ඉහත මතයන් පිළිබඳව විමසීමක යෙදෙන්නට අපි ඔබට ආරාධනා කරන්නෙමු. සංක්ෂිප්ත වශයෙන් මෙම අදහස් පහතින් දක්වා ඇත්තෙමු.

1.     චතුරාර්ය සත්‍යයේ තුන් වන ආර්ය සත්‍යය සිතින් තෘෂ්ණාව  මුලිනුපුටා දැමීමය.

2.     තෘෂ්ණාව මුලිනුපුටා දැමීමකින් තොරව නිර්වානගාමී විය නොහැක.

3.     නිර්වාණගාමී නොවන තත්වයේ භවයෙන් නොමිදී සංසාර චක්‍රයේ යළි යළිත් ඉපදීම සිදු වෙයි.

මෙම මතය අනුව සිතින් තෘෂ්ණාව මුලිනුපුටා දැමීම බුදු දහමේ ඉතාමත්ම වැදගත් ඉගැන්වීමක් බව දැක්වේ. වර්තමාන කායික විද්‍යාඥයින්ගේ හා මනෝ විශ්ලේෂකයින්ගේ මතය වී ඇත්තේ තෘෂ්ණාව මුලිනුපුටා දැමීම සාක්ෂාත් කර ගැනීම මිනිස් හැකියාවන්ගෙන් පරිබාහිර වූ කාර්යයක් ලෙසය. මිනිසා කළ යුතු මෙන්ම ඔහුට කළ හැකි ක්‍රියාව වන්නේ  තෘෂ්ණාව පාලනය කර කුසල් හා යහකම පදනම් කර ගෙන කටයුතු කිරීම දෙසට නැඹුරු වීමය. තෘෂ්ණාව පුනර්භවයට හේතු වන බව ඉහතින් දක්වා ඇති හෙයින් මේ පිළිබඳව “මිත්‍යා ප්‍රාතිහාර්ය නැති බුදු දහම” නමැති ග්‍රන්ථයෙන් කොටසක් උපුටා දක්වන්නට කැමැත්තෙමු. දහම් විවේචනය කිරීම, කිසිසේත්ම අපගේ අරමුණ නොවුවද, දහමක එක් ඉගැන්වීමක් පිළිබඳව එම දහම තුළම ඇති මතවාදයන් ගෙන හැර දැක්වීම තුළින් නිවැරදි මතයකට එළඹෙන්නට අපට පහසු වේ යැයි විශ්වාස කරන හෙයින් මෙම අදහස් ඉදිරිපත් කරන්නෙමු.

“බ්‍රහ්මාගම ඇදහු පවුල් වලින් බුද්ධාගම වැලඳ ගත් ඉන්දීය ජනයා ට ‘ආත්මය’ හා ඊට පසු පස එන පුනරුත්පත්තිය අත්හළ නොහැකි විය. බුදුන් වහන්සේ ‘ආත්මය’ ප්‍රතික්ෂේප කළ විට මේ බෞද්ධයින්ට එය තවදුරටත් දේශනා කිරීමට නොහැකි විය. එහෙත් පුනරුත්පත්තිය අත හැරීමට නුපුළුවන් වූ බැවින් මරණින් මතු උපදින ‘ආත්මය’ වෙනුවට ‘චුති සිත’ ආදේශ කළ බව පෙනේ. ‘චුති සිත’ යනු මැරුණ අයගේ අවසාන සිත ඔහුගේ ශරීරයෙන් වෙන් වී පිටවී යන සිතය. එය නැවත සත්ව කුසක හෝ වෙනත් ලෝකයක උපත ලබයි. එසේ වන්නේ මළගිය ඇත්තාගේ පින හෝ පව අනුව බව පවසති. චුති සිත ඔහුගේ පින් පව් අනුව සුදුසු තැනක් සොයා ගොස් ඊට සුදුසු මව් කුසක පිළිසිඳ ගනියි. එය සතර අපායේ, දෙව්ලොව, හෝ මිනිස් ලොව විය හැකිය. දෙව්ලොව නම් මව් කුසේ පිළිසිඳ ගැනීමක් නැත. එහි සිදු වන්නේ ‘ඕපපාතික’ උපතකි. එනම් පහළ වීමකි. මේ ‘චුති සිත’ නැවත පිළිසිඳ ගන්නේ මැරුණ මොහොතේ ම බව ගරු නාරද හිමියෝ පවසා තිබේ.

(ආචාර්ය කිරින්දේ ධම්මානන්ද - සිංගප්පුරුවේ හා මැලේසියාවේ හිටපු සංඝ නායක හිමිපාණන් විසින් රචිත ‘බෞද්ධ විශ්වාස විමර්ශනය’ නම් ග්‍රන්ථය “පුනර්භවය පිළිබඳ තේරුම් ගැනීමට අපහසු තවත් කරුණක් නම් පුනර්භවය සිදුවීම එක් වරම සිදු වන්නක්ද? නැද්ද? යන්නයි. බෞද්ධ ආචාර්යවරයන් අතර පවා මත භේදයට ලක් වී ඇති කරුණකි මෙය. අභිධර්මයේ සඳහන් වන්නේ ප්‍රතිසන්ධිය සත්වයෙකුගේ මරණය සිදුවීමත් සමගම අතර මැදි තත්වයක් නොමැතිව සිදුවන්නක් බවයි.” - 119 වැනි පිටුව)

තවත් විද්වතුන් පවසන්නේ එය සුදුසු ස්ථානයක් ලැබෙන තෙක් ‘ගන්ධබ්බයා’ වශයෙන් කල් ගත කරන බවය. බුදුන් වහන්සේ මේ ගැන යමක් දෙසා තිබුණා නම් අද අප අතර වසන පඬිවරුන්ට මත දෙකක් තිබිය නොහැකිය. ‘ගන්ධබ්බ’ මතය මුලින් දහමට ඇතුළත් වුයේ ‘සර්වස්තවාදීන්’ගේ දර්ශනයක් ලෙස බව ධර්මය පිළිබඳ ඉතිහාසඥයෝ පවසති. පුනරුත්පත්තිය ගැන දේශනා නොකළ බුදුහු ‘ගන්ධබ්බයා’ ගැන හෝ ‘චුති සිත’ ගැන හෝ දේශනා කරයි ද යන සැකය මතු වේ.  මේ හැර තවත් ප්‍රශ්නයක් මතු වේ. ජීවත් ව සිටින මිනිසාට තම සිත ක්‍ෂණිකව ඕනෑම තැනකට යැවිය හැකිය. ළඟපාතට හෝ ඇමෙරිකාව වැනි රටකට හෝ ඉරට හඳට හෝ ඇන්ඩ්රොමිඩා තාරකා මණ්ඩලයට හෝ යැවිය හැකිය. මරණින් පසු ‘චුති සිත’ යවන්නේ කවුද? ඊට සුදුසු තැන සොයා ගන්නේ පින් පව් අනුව යැයි අප සඟරුවන පවසන විට අප ද ප්‍රශ්න කිරීමෙන් තොරව පිළිගනිමු. මෙය පිළිගන්නේ අන්ධ විශ්වාසයෙන් නොවේද? මෙය විශ්වාස කිරීමට අපට සාධක තිබේද?

තවද ‘චුති සිත’ යනු සිතකි. කයක් නැති කළ සිත  පවතින්නේ කෙසේද යන ප්‍රශ්නය ද මතු වේ. බුද්ධ දේශනාව අනුව හා වර්තමාන විද්‍යාව අනුව සිතක් ඇති වන්නේ කයක් මතය. ‘නාමරූප පච්චයා විඤ්ඤාණ’ විය යුතුය. එහෙත් වත්මන් පටිච්ච සමුප්පාදයේ (බෞද්ධ හේතු ඵල වාදයේ) දැක්වෙන්නේ  ‘විඤ්ඤාණ පච්චයා නාමරූප’ වශයෙනි. මෙහි සත්‍යතාවක් තිබේද? යන්න ගැනද සලකා බැලිය යුතු ය. මහා නිදාන සුත්‍රයේ (දීඝ නිකාය) දැක්වෙන්නේ මෙසේ ය. ‘ආනන්ද, ඔබගෙන් යමෙකු  විඤ්ඤාණයට හේතු වන්නේ කුමක්දැයි විමසුවහොත් ඔබ පිළිතුරු දිය යුත්තේ ඊට හේතුව වන්නේ ද, මුල් වන්නේ ද, උපත වශයෙන් සැලකෙන්නේ ද නාම රූප බවයි’. මහා සුදස්සන සුත්‍රයේ හා මහා පුන්නව සුත්‍රයෙහි ද මෙසේ ම පැවසේ. සාමාන්‍ය බුද්ධිය අනුව වුවද කයක් නැති තැන සිත තිබෙන්නේ කෙසේ ද කොතැන ද යන ප්‍රශ්නය මතු වේ. වත්මන් පටිච්ච සමුප්පාදය උගන්වන්නේ මීට හාත්පසින් විරුද්ධ දෙයකි.” (“මිත්‍යා ප්‍රාතිහාර්ය නැති බුදු දහම” - කේ. එස්. පලිහක්කාර - විශ්‍රාම ලත් අධ්‍යාපන අධ්‍යක්ෂක - 147/148 වැනි පිටු.)

අපට ඉහත අදහස් දැක්වීම සිදු කරන්නට වුයේ තෘෂ්ණාව පිළිබඳව දහම් හි දක්වා ඇති මතයන් පිළිබඳව සාකච්ඡා කිරීමට අවතීර්ණ වීම හේතුවෙනි. මිනිසාගේ තෘෂ්ණාව පාලනය කිරීමට ඔහුට නිවැරදි මග පෙන්වීමක් හා ඔහුගේ සිත ඔහුටම පාලනය කර ගත හැකි ආකාරයට උපකාරී විය හැකි පාලකයෙකු ගේ අවශ්‍යතාව නැවතත් මතු වෙයි. එහෙයින් ඔහුගේ පාලකයා පිළිබඳ අදහස් කිහිපයක් විමසා බලමු.        

භෞතික බලගතු පාලකයෙකුගෙන් සිදුවන්නේ ඔහුට උරුම තෝරා ගැනීමේ නිදහස හා අනෙකුත් සුවිශේෂී ලක්ෂණ අර්ථ විරහිත වී ගොස් ඔහු යාන්ත්‍රික තත්වයකට පත් වීම පමණි. භෞතික පාලකයෙකුට මිනිසාගේ ක්‍රියාවන්ගේ උල්පත වූ මනස පාලනය කළ නොහැක.

ඔහුගේ පාලකයා කෙසේ විය යුතු ද යත්:

ඔහු පාර භෞතික විය යුතුයි, සර්වඥ විය යුතුයි, සර්ව බලධාරී විය යුතුයි, විශ්වයේම පරමාධිපති විය යුතුයි, පරම කරුණාභරිත විය යුතුයි, සර්ව ශ්‍රාවක හා සර්ව දෘෂ්ටික විය යුතයි, මිනිසාට නිවැරදි මග පෙන්වීම ලබා දෙන්නා විය යුතුයි, මරණින් මතු ලෝකයේ මිනිසාට විපාක දීමේ පුර්ණ බලය ඇත්තා විය යුතුයි. මෙවන් ගුණාංග නොමැති පාලකයෙකු පිළිබඳ විස්වාශයෙන් මිනිසාට ලැබිය හැකි කිසිම යහපතක් තිබිය නොහැක.  

මෙවන් විශ්වාසයකින් ඇති යහපත:

මිනිස් නිර්මාණයේ මුලික පරමාර්ථය සාක්ෂාත් කර ගැනීමක්. 

මෙම අවනත භාවය, කීකරුවීම, වහල්භාවය නිසා ලොව ඇති බලය, නිලය, ධනය වැනි කිසිම අධිකාරි සාධකයන් ඉදිරියේ වහල් නොවී මිනිස්කමේ අභිමානය රැක ගෙන නිහතමානීව ජීවත් වීමට ඇති හැකියාව.

ජීවිතයේ අභාග්‍ය දෑ සිදු වූ විට සිත තැන්පත්ව තබා ගැනීමේ හැකියාව. සිය දිවි නසා ගැනීමේ තත්වයට නොයෑම.

තම අධිපතිට පමණක් වහල්භාවය ඇති කර ගෙන තිබෙන හෙයින් ඔහුගේ නියමයන්ට හා මග පෙන්වීමට අනුකුලව ජීවිතය සකස් කර ගැනීමට නිරන්තරව වෙර දැරීම. 

වහලාගේ වගකීම තම පරමාධිපතිගේ අණට අනුකුල වීම, ඔහුට ගෞරව කිරීම, අසීමිත ආදරයක් හා ඇල්මක් ඇති කර ගැනීම, නිරතුරුව තුති පිදීම.

තම ස්වාමියාට රහසින් කිසිවක් කරන්නට නොහැකි බව අවබෝධ කර ගන්නා හෙයින් බහු චරිතයෙන් මිදී ඒකීය යහ චරිතයක් ගොඩ නඟා ගැනීමට නිරතුරුව වෙහෙසීම.  

එවන් පාලකයෙකු පිළිබඳ විශ්වාසය තහවුරු කර ගත් අයෙකු නොමග යා හැකිද?

මෙම පාලකයා සත්‍යයක්ද නැතිනම් මිත්‍යාවක්ද? මෙම මාතෘකාවද අපි, විශ්වාසය පමණක් නොව, යථාර්තය, බුද්ධිය, විචාරය හා නුතන විද්‍යාව ද පදනම් කරගෙන   සාකච්ඡා  කරමු.

“තම තෘෂ්ණාව තමන්ගේ දෙවිඳුන් වශයෙන් පත්කර ගත්තන් ව ඔබ දැක තිබේ ද? (නබිවරය) ඔබ ඔහුට ආරක්ෂකයෙකු වශයෙන් සිටින්නෙහි ද? ඔවුන්ගෙන් බහුතරය සවන් දෙන්නන් හෝ සිතන්නන් වශයෙන් සිටින බව ඔබ සිතන්නෙහි ද?  ඔවුන් තිරිසනුන් මිස අන් කිසිවක් නැත. සැබවින්ම ඔවුන් (තිරිසනුන්ට වඩා) ඉතාමත් නොමග ගියවුන් වශයෙන් සිටින්නෝය.” (අල් කුර්ආන් 25:43-44)

“කව්රුන් තමන්ව (තම චෛතසිකය) පාරිශුද්ධ කර ගත්තේද ඔහු නියත වශයෙන්ම ජයග්‍රහණය කළේය. කව්රුන් එය අපිරිසිදු කර ගත්තේද ඔහු නියත වශයෙන්ම අලාභ කර ගත්තේය” (අල් කුර්ආන් 91:9-10)

“කවුරුන් දෙවිඳුන් අභියස පෙනී සිටීම ගැන බිය වී ඉතාමත් පහත් ආශාවන්ගෙන් ඈත්වී තමන්ව වළක්වා ගන්නේද ඔහු ළඟාකර ගන්නා ස්ථානය නියත වශයෙන්ම ස්වර්ගයයි.” (අල් කුර්ආන් 79: 40-41).

 "සත්‍යය" ගවේෂණයකට ආරාධනා (4)

ජීවිතය යනු ක්‍රියාකාරකම්ය. සියලු ක්‍රියාකාරකම් සමග එක්තරා ප්‍රමාණයක ගැටලු හා ප්‍රශ්න ඈඳී ඇත. මිනිස් ජීවිතයේ සාර්ථකත්වය අත්පත් කර ගැනීම උදෙසා මෙම ගැටලු හා ප්‍රශ්න සාර්ථක අයුරින් විසඳීමට මිනිසා වෙහෙසෙමින් සිටියි. මිනිස් ජීවිතයේ ප්‍රශ්න පිළිබඳව ඉතා පළල් කෝණයකින් විමසන විට ඒවා කොටස් දෙකකට වර්ග කළ හැක. මෙම පළල් වර්ගීකරණය අනුව මිනිසාගේ ප්‍රශ්න ලෞකික ජීවිතයේ ප්‍රශ්න හා ලෝකෝත්තර ජීවිතයේ ප්‍රශ්න වශයෙන් බෙදා වෙන් කළ හැක.

ලෞකික ජීවිතයේ මිනිසා මුහුණ පාන ප්‍රශ්න අතුරින්, සෞඛ්‍යය, අධ්‍යාපනය, ජීවනෝපාය, පවුල් ජීවිතය, සමාජ සම්බන්ධතාවන්, පරිපාලනය, රාජ්‍යය පාලනය, නීතිය හා අධිකරණමය කටයුතු මෙන්ම ජාත්‍යන්තර සම්බන්ධතාවන් ආදී ක්ෂේත්‍රයන්ගෙන් මතු වන කරුණු වැදගත් ස්ථානයක් ගනියි. මිහිතලය මත ජීවත් වන සෑම මිනිසෙකුටම කුමන අයුරකින් හෝ මෙවන් ප්‍රශ්නයන්ට මුහුණ දීමට සිදුවීම වැළැක්විය විය හැකි කරුණක් නොවේ. මෙවන් ප්‍රශ්නයන් පිළිබඳව විසඳුම් සෙවීමේදී මිනිසා දක්වන ප්‍රායෝගිකත්වය, කාර්යක්ෂමතාව හා බුද්ධි ගෝචර භාවය මත මිනිසාගේ සාර්ථකත්වයේ මිනුම් දණ්ඩ සැකසී ඇත.

ලෝකෝත්තර ජීවිතය පිළිබඳව මිනිස් සිතේ ප්‍රශ්න මතු වන්නට ආරම්භ වන්නේ වයසින් එක්තරා ප්‍රමාණයකට මුහුකුරා යෑමෙන් පසුව ලබන බුද්ධියේ පරිණතයත් සමගය. මෙම අති වැදගත් ප්‍රශ්නය පිළිබඳව අවාසනාවට බහුතරයකින් අප දැක ඇත්තේ කිසිඳු බුද්ධිමය ව්‍යායාමයකින් තොරව දෙමව්පියන්ගේ පිළිවෙත් අන්ධානුකරණය කිරීමකි. අපට අවශ්‍යතාව තිබේ නම් ලෞකික ජීවිතයේ සිදු වන වැරදි නිවැරදි කරගන්නටත්, එලෙසම අකුසලයන්ට ප්‍රතිකර්ම යොදා ගන්නටත් අවස්ථාවන් විවෘතව ඇත. මෙවන් අවස්ථාවක් ලෝකෝත්තර ජීවිතයේ තිබේ යැයි කිසිම දහමක් උගන්වන්නේ නැත. ලෝකෝත්තර ජීවිතය අපගේ ලෞකික ජීවිතයේ ඵල නෙළාගන්නා ස්ථානය ලෙසයි අප දකින්නේ. ලෝකෝත්තර නැතිනම් මරණින් මතු ජීවිතයක් සැබැවින්ම තිබේ ද? මරණින් මතු ජීවිතයක අවශ්‍යතාව කුමක් ද?  අප මෙම කරුණු කෙරෙහි ද අවධානය යොමු කළ යුතු ව ඇත.

සෑම දහමක්ම මරණින් මතු ජිවිතයක් ගැන විශ්වාස කරයි. මරණින් මතු ජිවිතය සත්‍යය බව පිළිගැනිමට අවශ්‍ය වන සහේතුක සාධක  කිහිපයක්  ඇත. අප මෙම ලිපි පෙළේ  ආරම්භයේදි  සාකච්ඡා කළ පරිදි සදාචාරය මිනිසාට පමණක් උරුම වු සුවිශේෂි වු ලක්ෂණයකි. සදාචාරාත්මක ජීවිතයක් ගත කිරීම සදහා මිනිසා විසින් විවිධ ආකාරයේ දුරාචාරාත්මක ක්‍රියාවන්ගෙන් ඉවත් විය යුතු වෙයි. නමුත් මෙම දුරාචාරයන්  තුළ ක්ෂණික හා තාවකාලික වින්දනයක් හා තෘප්තියක් ඇති බව  අපි දනිමු. මිනිසා වින්දනයට හා තෘප්තියට  ආශා කරයි. මෙම ආශාවන් විසින් මතු කරන්නා වු දිරිගැන්විම් වලට වහල් නොවි සාරධර්ම රකිමින් කටයුතු කිරිම සදහා  විශේෂිත වු ප්‍රයත්නයක මිනිසාට නියැළෙන්නට සිදු වේ. අනිවාර්යෙන්ම මෙම අධිෂ්ඨානශීලි ප්‍රයත්නය සඳහා යහ විපාක ප්‍රදානය කිරිමක් මිනිසාට සිදු විය යුතුය. එසේ නිරන්තර යහ විපාක ප්‍රදානය කිරිමක් කෙරෙහි විශ්වාසය තැබිමෙන්  මිනිසාගේ යහ ක්‍රියාවන් සදහා වු නැඹුරුව  වඩා ශක්තිමත් වනු ඇත. මෙම යහ  විපාක ප්‍රදානය කිරිම මිනිසාගේ මිහිතලය මත වු ජිවිතයේ දි සිදුවන්නක් නොවේ. එලෙසින්ම දුරාචාරයෙ හි නියැළෙමින් තම හැගිම් වලට වහල් වි කටයුතු කරන්නාට ද විපාක අත්කර දිමක් සිදු විය යුතුය. මෙයද මිහිතලය මත වු මිනිසාගේ ජිවිතයේ දි නිසි පරිදි සිදුවන්නක් නොවේ. ඇතැම් දුරාචාර කටයුතු වැළැක්විම සඳහා මිනිසා විසින් නීති සකස් කර තිබුණද මේවා නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවද අපි ඉතා හොදින් දන්නෙමු. එහෙයින් මිනිසාගේ සදාචාරාත්මක ජිවිතයට දිරිදෙන ඔහුට ඒ සඳහා මානසිකව හා කායිකව උනන්දු කරවන හා පොලඹවන ආකාරයේ නිශ්චිත ව තම යහ ජිවිතය සඳහා යහ විපාක ලබා දෙන තැනක් අනිවාර්යයෙන්ම තිබිය  යුතුය. මෙය නිසි ලෙස මිහිතලය මත වු ජිවිතයේ දි  සිදු නොවන නිසා මරණින් මතු ජිවිතයේදි පරම සාධාරණිය විනිශ්චයකින් පසු මිනිසාට යහ විපාක ප්‍රදානය කිරිමක් පිළිබදව ඔහු විශ්වාස කරයි. මෙම විශ්වාසය නොමැති නම් මිනිසාගේ මිහිතලය මත වු  සදාචාරාත්මක ජිවන සංකල්පය සහමුලින්ම බිඳී යන්නට ඉඩ තිබේ. එලෙසින්ම දුරාචාරයෙ හි යෙදෙන්නන්ට ද ඔවුන්ව එයින් වළක්වාලන ආකාරයේ විපාක දිමක් සිදු නොවුවහොත් දුරාචාරය රජයන මිනිස් සමාජයක් බවට අප පත් වනු නියතය. අද ලොව සිදුවෙමින් පවතින්නේ මිනිසා මරණින් මතු විපාක අත් විඳින්නට සිදු වන තත්ත්වය අමතක  කොට තාවකාලික ආස්වාදය හා තෘප්තිය පසුපස දිව යමින් මුළු මහත්  මිනිස්  සමාජයම තිරිසන් පිරිසක් බවට පත් කරන්නට කටයුතු කරමින් සිටීමයි.

(නබිවරයාණෙනි) තම ආශාවන් (තෘෂ්ණාවන්) තමන්ගේ දෙවිදුන් වශයෙන් කව්රුන් පත්කර ගත්තේද ඔහුව නුඹ දුටුවෙහිද? නුඹ ඔහුට ආරක්ෂකයෙකු ලෙස සිටින්නෙහිද? ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (නුඹගේ මග පෙන්විම් වලට) සවන් දෙන්නේ යැයි ද  නැත හොත් එය වටහා ගන්නේ යැයි ද නුඹ සිතන්නෙහිද? ඔවුන් තිරිසනුන් ලෙස මිස වෙන කිසිවක් නොමැත. නැත, ඔවුන් (තිරිසනුන්ට වඩා) ඉතාමත් නොමග ගිය වුන් ලෙස සිටින්නන් ය”. (අල් කුර්ආන් 25 වන  පරිච්ඡේදය -43/44 වාක්‍යයන්)

මෙයින් අදහස් වන්නේ තම සිතෙ හි උත්පාදනය වන්නා වු පහත් හා දුරාචාර හැඟීම් වලට යටත් වන්නා නියත වශයෙන්ම තිරිසනුන්ට වඩා පහත් තත්ත්වයකට පත් වන බවය. මෙම තත්ත්වය වෙනස් කරන්නට නම් මිනිසාගේ සිත් සතන්හි මරණින් මතු ජිවිතයක් ඇති බවත් එහිදි තමන්ගේ මිහිතලය මත වු ජිවිතයේ සියලු ක්‍රියාවන් සදහා විපාක  විඳින්නට  සිදු වන බවත් ඔහුට ඒත්තු ගැන්විය යුතුය. මරණින් මතු ජිවිතය පිළිබඳව විශ්වාසය නිශ්චිත වශයෙන්ම මිනිසාව නිවැරදි විශ්වාසයකින් හා යහ ක්‍රියාවන්ගෙන් පරිපුර්ණ වු අයෙකු බවට පත් කරන්නට මග සලස්වයි.

අනිත් අතින් අපරාධය හා දඬුවම පිළිබඳ නීති රීති මිහිතලය මත ඇත. එක් අයෙකු මරා දැමුවෙකුටත් මිනිසුන් හැට ලක්ෂයකට වඩා මරා දැමු හිට්ලර්ටත් උපරිමයෙන් දිය හැකි වන්නේ එක හා සමාන මරණ දඬුවමක් පමණි. තමන් කළ වරදේ ප්‍රමාණය අනුව මෙම දඬුවමේ සාධාරණිත්වයක් නොමැති බව ඕනෑම අයෙකුට වැටහෙනු ඇත. එහෙයින් තම වරදේ ප්‍රමාණය අනුව දඬුවම් ලබා දෙන තැනක් තිබිය යුතු බවට පිළිගැනිමට මිනිසාට අපහසුතාවක් තිබිය නොහැක. එයද සිදු විය හැක්කේ මරණින් මතු ජිවිතයේ පමණක් බව අපට පිළිගන්නට සිදු වේ. එයට ප්‍රධාන හේතුව පරම සාධාරණීය යුක්තිය පසිඳලීමේ පිළිවෙතක් සකස් කිරීමේ හැකියාව මිනිසාගේ ශක්තියට පරිබාහිර වුවක් වන අතර පවතින  පිළිවෙත් ක්‍රියාත්මක කිරීමේදී වුවද මිනිසාටම ආවේණික වූ බොහෝ දුර්වලතාවන් හේතුවෙන්ම  එහි සර්ව පරිපුර්ණ සාර්ථකත්වයක් සහතික කළ නොහැකි තත්වයක් උදා වී ඇති බව සක්සුදක් සේ පැහැදිලිය.

මෙම දඬුවම් දිම සඳහා සියලුම දහම් අපායක් පිළිබඳ සංකල්පයක් ඉදිරිපත් කොට ඇත. මෙය පාරභෞතික සංකල්පයකි. අවාසනාවට ඇතැම් දහම් මෙම පාරභෞතික සංකල්පය භෞතික එකක් බවට පත් කොට ඇත. අපාය පිහිටා ඇත්තේ පොළොව යට මෙතරම් ගැඹුරකින් බව පවසන විට  එය භෞතික තත්ත්වයට පත් වෙයි. මේ හේතුවෙන් ම මිනිසාගේ සදාචාර සම්පන්න ජීවිතයට බෙහෙවින් උපකාරී වන සාධකයක් වූ මරණින් මතු ජීවිතය අර්ථ ශුන්‍ය දෙයක් බවට පත් ව ඇත.

“සත්ව ඝාතනාදී අකුසල කර්ම පථයන් කළා වු සත්වයන්ට ප්‍රති සන්ධිය ලබා දෙන නිරය සංජිවයයි. මේ නිරය මහ පොළොවෙහි සිට යොදුන්  75000 ක් යටින් පිහිටියේය. (කර්මය හා විපාකය -අභිධර්ම විශාරද ලසන්ත රත්න ගොඩ- 19 වැනි පිටුව)

“කාම ධාතුවේ යට සිමාව අවීචි මහා නරකය සැටියටත් උඩ සීමාව පරනිර්මිත වසවර්ති දිව්‍යලෝකය සැටියටත් දක්වා තිබිමෙන්  පෙනෙන්නේ නරකයන් මිනිස් ලොවින් යට තිබෙන ඒවා බවය. බෞද්ධාචාර්යවරයන් විසින් පිළිගන්නේත් නරකයන් මිනිස් ලොවින් යට පොළොව තුළ ඇති සැටියටය. ලෝ තතු විස්තර කරන බෞද්ධ ග්‍රන්ථ වල සංජිවාදි නරකයන් එකිනෙකට යටින් පොළොව තුළ පිහිටා ඇති බව දක්වා තිබේ. (ධර්ම විනිශ්චය -මහාචාර්ය රේරුකානේ චන්ද්‍රවිමල මහා නාහිමි 171 වැනි පිටුව)

පොළොව යට යොදුන් 75000ක් යන්න පළමුව මෙම මතයේ විද්‍යාත්මක පදනම පිළිබඳව  විමසා බලමු. යොදුනකට ගව් හතරක් ඇති බවත් ගව්වකට සැතපුම් 4ක් ඇති බවත් දැක් වේ. එහි විස්තර මුලාශ්‍ර සහිතව පහතින් සඳහන් කොට ඇත්තෙමු.

ගව් 4                      =          යොදුන් 1

ගව් 1                      =          සැතපුම් 4

සැතපුම් 16              =          යොදුන් 1

යොදුන් 75000        =         සැතපුම් 1,200,000

(මුලාශ්‍රය: “ගවුව - ගව්ව - දුර මැනීමේ පැරණි මිම්මක්, යොදුනෙත් හතරෙන් පංගුව - සැතපුම් හතරක ප‍්‍රමාණය” - නිරුත්ති සහිත සිංහල ශබ්ද කෝෂය - ගොඩගේ ප‍්‍රකාශකයෝ - 396 වැනි පිටුව.)

මේ අනුව පෙනී යන්නේ සංජිවය නමැති නරකය පිහිටා ඇත්තේ පොළොව යට සැතපුම් දොළොස් ලක්ෂයක් ගැඹුරිනි. නමුත් නුතන විද්‍යාත්මක දත්ත අනුව පොළොව යට සැතපුම් 8000ක් ගිය විට නැවතත් අනිත් පැත්තෙන් පොළොව මතු පිටට එන්නට හැකි වෙයි. මෙම හේතුන් නිසා අපාය මිත්‍යා සංකල්පයක් යන නිගමනයට එන්නට අප මිනිසාට උපකාර කරනවා නොවේද? විද්‍යාත්මක  සොයා ගැනිම්වලට අනුව ඉහත විග්‍රහ කර ඇති ආකාරයේ අපායක් නිශ්චිත ගැඹුරක පොළොව යට පිහිටා නොමැති බව  අපට මැනැවින් අවබෝධ කර ගත හැකි කාරණයක් වෙයි.  

මරණින් මතු විපාක විඳින්නට සිදු වන බව නිශ්චිතව විශ්වාස කරන්නා දුරාචාරයෙන් හා අපරාධයන්ගෙන් වැළකි සිටිමට ප්‍රයත්නයක යෙදීම යථාර්ථයකි. නමුත් මරණින් මතු ජිවිතයක් ඇති බව පවසන අතර එය මිත්‍යාවක් හා අවිද්‍යාත්මක එකක් බවට පත් කොට තිබේ නම් වින්දනය හා තෘප්තිය සොයන මිනිසා තිරිංග නොමැතිව දුරාචාරයට හා අපරාධයන්ට යොමු විම වැළැක්විය හැකි කරුණක් වන්නේ කෙලෙසද?

අනිත් අතින් තම මරණින් පසු උපදින්නේ තමාම නොවන බවත් තමන්ගේ කුසල් හා අකුසල් හි විපාක විඳින පුද්ගලයා තමා නොවන බවත් උගන්වන්නේ නම් එය කෙසේ නම් මිනිසාගේ මිහිතලය මත වු ජිවිතයේදි ඔහුව සදාචාර සම්පන්න යහ අයෙකු බවට පත් කර වන්නට උපකාරි වන්නේ දැයි විමසන්නට කැමැත්තෙමු. තමාගේ සියල්ල අනිත්‍ය බවත්  තම මරණින් පසු සිදු වන්නේ  අනිත්‍ය වු තමා විනාශ වි ගොස් තමන්ගේ යහ හා අයහ ක්‍රියාවන්ගේ විපාක විඳින සහමුලින්ම වෙන අයෙකු බිහි විම පමණක් යැයි උගන් වන විට අප ඇදී යන්නේ කුමන දිශාවකටද? තම මරණින් පසු උපදින්නේ තමාම නොවේ නම් වින්දනය හා තෘප්තිය සොයන මිනිසාට තම සිතේ උපදින සියලු ආශාවන්ට වහල් වි සිමාවකින් තොරව දුරාචාරයේ පසුපස දුව යන්නට දිරි දීමක් මෙයින් සිදුවෙනවා නොවේද?

“මිනිසෙකු මැරි දෙවියෙක්ව උපන්නේ යැයි කියන කල්හි මනුෂ්‍ය ශරිරයෙන් කිසිවක් නොගොස් දෙව් ලොව උපන් දෙවියා ඒ මිනිසාමද? නැතහොත් අනෙකෙක්ද? යනු මෙහිදි  නැගිය හැකි  ප්‍රශ්නයකි. මිනිසාගේ ශරිරයෙන් පැමිණි  කිසිවක් ඒ දෙවියාගේ සන්තානයෙහි නැති බැවින් දෙවියා මිනිසාද නොවේ. දෙවියාගේ ශරිරය ඇසුරු කරමින් පවත්නේ මිනිසාගේ ශරිරය ඇසුරු කරමින් පෙර පැවැති සිත් පරම්පරාවම බැවින් දෙවියා ඒ මිනිසාගෙන් අනෙකක්ද නොවේ”.(පටිච්ච සමුප්පාද විවරණය-මහාචාර්ය රේරුකානේ චන්ද්‍රවිමල මහා නාහිමි 43 පිටුව)

ඉහත විග්‍රහය ඉතා පැහැදිලිය. තමා මිය ගොස් උපදින නව සත්ත්වයාට තමන්ගෙන්  ලැබෙන්නේ තමන්ගේ සිත් පරම්පරාව හෙවත් තමන්ගේ කුසල් අකුසල් පමණි. අන් කිසිම ආකාරයකින් එම නව සත්වයා තමා නොවන බව පැහැදිලි කොට ඇත.

කිතුනු දහමේ ඉගැන්විම් අනුව තමන්ගේ පාපයන්ට ජේසු තුමා කුරුසියේ ඇණ ගැසිමෙන් කරන ලද ජිවිත පුජාවෙන් වන්දි ගෙවා ඇති බවත් මරණින් මතු ජය ලබන්නට අවශ්‍ය වන්නේ ජේසු තුමාගේ පරිශුද්ධ වන්දි ගෙවිම විශ්වාස කිරිම පමණක් යැයි උගන්වන්නේ නම් එයත් කෙසේ නම් මිනිසාව සාරධර්ම වලින් පිරි ජිවිතයක් ගෙවන්නට දිරිදෙන්නේද කියා විමසා  බලන්නට ඔබට ආරාධනා කරන්නට කැමැත්තෙමු. විවිධ දහම් හි ඇති කරුණු අප උපුටා දක්වන්නේ දහම් අපහාසයට ලක් කිරීමේ චේතනාවෙන් නොවන බව ඉතා දැඩි ලෙස අවධාරණය කළ යුතු ව ඇත. ‘සත්‍යය’ පිළිබඳ ගවේෂණයක යෙදෙන විට අවශ්‍ය වන්නේ පටු සීමාවන් තුළ රැඳී චිත්ත ආවේගයන්ට මුල් තැනක් දී කටයුතු කරනවාට වඩා ඉදිරිපත් කොට ඇති සාධක පිළිබඳව බුද්ධිමය විමසුමක යෙදීම බව අපගේ නිහතමානී මතයයි.  

“එසේ නම්, ජීවමාන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස ඔබගේ හෘදය සාක්ෂිය නිෂ්ඵල ක්‍රියා වලින් පිරිසිදු කරනු ලැබීම, සදාතන ආත්මයාණන් මඟින් තමන් ම කැළලක් නැතිව දෙවියන් වහන්සේට පුජා වූ ක්‍රිස්තුන් වහන්සේගේ ලේ කරණකොටගෙන ඊටත් ඉතා වැඩියෙන් පිරිසිදු නොවන්නේද? මේ කාරණය නිසා කැඳවනු ලැබුවන්ට සදාතන උරුමයේ පොරොන්දුව ලැබෙන පිණිස උන් වහන්සේ අලුත් ගිවිසුමක මැදහත් කාරයාණෝ වන සේක. එසේ වන්නේ පළමු වන ගිවිසුමේ කාලයේ දී කළ පාප ක්‍රියා වලින් මුදනු ලැබීම පිණිස මරණයක් සිදු වූ බැවිනි.” (ශුද්ධවූ බයිබලය - හෙබ්‍රෙව් 9:14-15).

“ක්‍රිස්තුන් වහන්සේගේ දිවි පිදීම කරණකොටගෙන දෙවියන් වහන්සේගේ වරප්‍රසාද සම්පතේ ප්‍රකාරයට අපට මිදීමත්, පව් කමාවත් ලැබී ඇත.” (ශුද්ධවූ බයිබලය - එපීසවරුන් 1:7).    

ඉස්ලාමය මෙයට හාත්පසින්ම වෙනස් වු ආකාරයකින් මෙම සංකල්පය ඉදිරිපත් කරයි. එය මිනිසාගේ විචාර බුද්ධියට එකඟ විය හැකි මෙන්ම නුතන විද්‍යාත්මක සාධක පදනම් කර ගෙන කරන්නාවු ඉදිරිපත් කිරීමක් ලෙස ඔබට දැකිය හැකිද යන්න පිළිබඳ ව කරුණාකර විමසුමක යෙදෙන ලෙස ඉල්ලා සිටින්නට කැමැත්තෙමු. නිවැරදි විශ්වාසය මෙන්ම සදාචාර සම්පන්න ජිවිතයකට ඉස්ලාමීය මරණින් මතු ජිවිතය පිළිබඳව වු සංකල්පය දිරිගැන්විමක් කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව නිගමනය කළ යුතුව ඇත්තේ ඔබමය. පළමුව මරණින් මතු ජිවිතයක් සහතික වශයෙන් ම ඇති බවත් එහි දී මිහිතලය මත කළ ක්‍රියාවන්ට විපාක විඳින්නට සිදුවන්නේ ඔබටමය යන අදහස අල් කුර්ආනය අවුරුදු 1400කට පෙර ඉදිරිපත් කර ඇති  ආකාරය විමසා බලමු.

(මිය ගොස් දිරාපත් වි පස් බවට පත් වුණු පසු) ඔහුගේ ඇට සැකිල්ල  අපි එක් රැස් (කොට ඔහුව පුනර්නිර්මාණය) නොකරන්නෙමු යැයි මිනිසා සිතන්නෙහිද? නොඑසේය, ඔහුගේ ඇඟිලි තුඩ පවා (පෙර තිබු ආකාරයෙන්ම) තැබිමට තරම් අපි බලසම්පන්න වන්නෙමු”. (අල්කුර්ආන් 75 පරිච්ඡේදය 2-4 වගන්ති)

මිනිසාගේ සිත් තුළ නළියන නිරන්තර සැකයක්, එනම් තමා මියගොස් දිරාපත් වී පස් බවට පත් වුවායින් පසුව කෙසේ නම් ඔහුව නැවතත් පුනර්නිර්මාණය කරන්නේද යන ප්‍රශ්නය මතු කරමින්  මිනිසාට  ප්‍රතික්ෂේප කළ නොහැකි ආකාරයේ විද්‍යාත්මක සාක්ෂියක් සහිතව අල් කුර්ආනය පිළිතුරු සපයන ආකාරය සැබැවින්ම සෑම මිනිසෙකුගේම අවධානයට ලක් විය යුතු කරුණක් බව අපි දකින්නෙමු. මිනිසාගේ ඇඟිලි තුඩ එකිනෙකට වෙනස් බව එනම් එක් අයෙකුගේ ඇඟිලි තුඩ තවත් අයෙකුගේ ඇඟිලි තුඩට සමාන නොවන බව පළමු වරට සොයා ගනු ලැබුවේ 1880දී බ්‍රිතාන්‍ය ජාතික ප්‍රැන්සිස් ගෝල්ඩ් විසිනි. ඇඟිලි තුඩෙහි ඇති මෙම සුවිශේෂත්වය කෙසේ නම්  අවුරුදු 1400 කට පෙර පහළ වු අල් කුර්ආනය අපට දක්වන්නේද යන්න සිතා බැලිය යුතු වැදගත් කරුණක් නොවන්නේද? අපට උපතින්ම ලැබෙන හැඳුනුම් පත ඇඟිලි තුඩයි. එය තමාම බව සනාථ කරන වෙනස් කළ නොහැකි ප්‍රබලතම සාක්ෂියයි.මෙම ප්‍රාතිහාර්යජනක සත්‍යය සමග දෙවිඳුන් මරණින් මතු ජිවිතය පිළිබඳව අපට දන්වන්නේ නම් එම ජිවිතය ප්‍රතික්ෂේප කරන්නට අපට හැකියාවක් තිබේද? අනිත් අතින් පුනර්නිර්මාණය කරනු ලබන්නේ  මියගිය මිනිසාම  බව සහතික කරන පණිවිඩයත් මෙම කුර්ආන් වැකිය තුළ  ගැබ් වි තිබෙනවා නොවේද? එසේ නම් මිහිතලය මත වු තමාගේ ජිවිතය සම්බන්ධ ව කෙතරම් දුරට ප්‍රවේශම් විය යුතුද යන්න ගැන අවවාදාත්මක පණිවිඩයක් මෙම කුර්ආන් වැකියෙහි අඩංගු වි තිබේද යන්න ගැන අප අනිවාර්යයෙන්ම සිතා බැලිය යුතු නොවන්නේද? සදාචාරය සම්බන්ධව අසාර්ථක රටක් යන තත්වය කරා වේගයෙන් ගමන් කරමින් සිටින්නා වූ අපගේ මාතෘ භුමිය අපට හඬ නගා පවසන්නේ කුමක් ද? මත්පැන් පරිභෝජනය, ස්ත්‍රී දුෂණ, ළමා අපචාර, මිනිස් ඝාතන හා සිය දිවි නසා ගැනීම් වැනි දුරාචාරී ක්‍රියා පිළිබඳව ලෝක වාර්තා පිහිටු වන තත්වයට ආසන්න ව ඇත්තේ කුමක් නිසාද යන්න අප සැවොම සිතා බැලිය යුතු ව තිබෙනවා නොවේද? අප මෙතෙක් අනුගමනය කළ පිළිවෙත් හි අඩුපාඩුවක් පිළිබඳ පැහැදිලි මග සලකුණක් මෙයින් හෙළිදරවු නොවන්නේ ද?    

අපාය පිහිටා ඇති ස්ථානය ගැන නිශ්චිත ස්ථානයක් ‍නොකියන අල් කුර්ආනය එය පාරභෞතික වුවත් මිනිසාට අපහසුතාවකින් තොරව විශ්වාස කළ හැකි අයුරින් විද්‍යාත්මක සාධකයන් අපාය පිළිබදව සඳහන් වැකියන් හි අඩංගු කොට ඇත.

“කවුරුන් අපගේ සංඥාවන් (අල්කුර්ආනයේ ඉගැන්විම්) ප්‍රතික්ෂේප  කරන්නේද ඇත්තෙන්ම (විනිශ්චය දිනයේදි)අපි ඔවුන්ව නිරයේ ගින්නට යවන්නෙමු. ඔවුන්ගේ  සම (එම ගින්නෙන්) දැවි විනාශ වි යන සෑම විටම පිලිස්සීමේ වේදනාව (නිරන්තරයෙන්) දැනීම සඳහා ඒ වෙනුවට අලුත් සමක් මාරු කරමින් සිටින්නෙමු. අල්ලාහ් අති බල සම්පන්නය. ප්‍රඥාවන්තය.” (4:56)

ඉහත අල් කුර්ආන් වැකිය දැනුම් දෙන්නේ පිළිස්සිමේ වේදනාව දැනෙන්නේ සමෙන් බවය. ඉතා නුතන ශරිර ව්‍යුහ විද්‍යාත්මක  (ANATOMY) සොයා ගැනිමක් නම් සමෙ හි වේදනා ග්‍රාහකයන්  (Pain Receptors) ඇති බවත් සම සහමුලින්ම විනාශ වි ගියායින් පසු වේදනාව නොදැනෙන බවත්ය. ලෝක ප්‍රසිද්ධ ව්‍යුහ විද්‍යාඥයෙකු වු තායිලන්තයේ චියෑංමායි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තගතත් තෙජසන් හට (Prof. Tagatat Tejesen) මෙම අල් කුර්ආන් වැකිය මුස්ලිම් විද්‍යාඥයින් විසින් පෙන් වු අවස්ථාවේදි අල් කුර්ආනය අවුරුදු 1400 ක් පැරණි යැයි දැන ගත් විට මවිතයෙනුත් මවිතයට පත් විය. ඉතා නුතන විද්‍යාත්මක සොයා ගැනීමක් කෙසේ නම් අවුරුදු 1400කට පෙර අල් කුර්ආනයට ඇතුළු විය හැකි වන්නේ දැයි ඔහු විසින් විමසා සිටින ලදී. අල් කුර්ආනයේ ‍ඓතිහාසික පසුබිම පැහැදිලි කිරිමෙන් පසු එහි ඉංග්‍රිසි පිටපතක් ලබා ගත් මෙම මහාචාර්ය වරයා අවුරුද්දක් මුළුල්ලේ  අල් කුර්ආනය හදාරා සෞදි අරාබියේ රියාද්  නුවර පවත්වනු ලැබු අට වැනි වෛද්‍ය  සම්මන්ත්‍රණයේදි ප්‍රසිද්ධියේම ඉස්ලාමය වැලඳ ගත්තේය. ඉස්ලාමය වැළද ගනිමින්  එතුමා ප්‍රකාශ කළේ පාර භෞතික සාධක මෙවන් නුතන විද්‍යාත්මක සත්‍යයන් සමග මිනිසාගේ අවධානයට  ඉදිරිපත් කිරිමෙන් එය විශ්වාස කිරිමට හා පිළිගැනීම ට   මිනිසා ට පහසුවක් ඇති වන බවයි. එතුමා මෙම සම්මන්ත්‍රණයේදි කළ කථාව අදත් youtube.com වෙබ් අඩවියෙන් සැමට  අසා ගන්නට හැකියාව ඇත. අප මෙම ලිපියෙන් සාකච්ඡා කළේ තර්කයට නුතන විද්‍යාවට බුද්ධියට හා විචාරයට පිළිගත හැකි අයුරින් මිනිසාගේ මරණින් මතු ජීවිතය පිළිබඳව විශ්වාස කිරීමට පාදක වන්නා වූ කරුණු ඔබගේ බුද්ධිමය අවධානය පිණිස ඉදිරිපත් කිරිමය. ඉන්ෂා අල්ලාහ්, තවත් කොටසක් ඉදිරි ලිපියකින් සාකච්ඡා කරන්නට අපේක්ෂා කරන්නෙමු.

 “සත්‍යය” ගවේෂණයකට ආරාධනා (5)

මිනිසාගේ මරණින් මතු ජීවිතය පිළිබඳ සංක්‍ෂිප්ත කරුණු ඉදිරිපත් කිරීමක් මෙයට පෙර ලිපිය  මගින්  කළෙමු. මරණින් මතු ජීවිතයේ ප්‍රතිඵල කුමන කාරණා මත නිගමනය වන්නේ ද යන්න පිළිබඳ ව මතභේදයක් තිබිය නොහැකි බව අපි විශ්වාස කරන්නෙමු. මිහිතලය මත වූ මිනිසාගේ ජීවිතයේ ක්‍රියාකාරකම් මත එය රැඳී ඇත යන්න සම්මත පිළිගැනීමයි.

මිනිසා ව මෙහෙයවන ශක්තීන් කිහිපයක් ඔහු තුළම අන්තර්ගත බව පැහැදිලි ව දක්නට ඇත. සතුන්ගේ ජීවිත සැකසී ඇත්තේ ජන්ම සැලැස්මක් මත බව පෙර ලිපි මගින් විස්තර කළෙමු. යහ අයහ අතර වෙනස හඳුනාගෙන යහකම වර්ධනය කර ගැනීමේ මග පෙන්වීමක අවශ්‍යතාව සතුන්ට නොමැත. මිනිසාගේ තත්ත්වය මෙයට හාත්පසින්ම වෙනස්ය. මිනිස් ජීවිතයේ හරය වන්නේ ස්වභාවයෙන් ම ඔහුට ලැබී ඇති සහජ හැඟීම් (instinct) සම්මා නීතීන් හා ප්‍රතිපත්තීන් අනුගමනය කරමින් පාලනය කර ගැනීමට කටයුතු කොට සාරධර්ම සපිරි චරිතයක් ගොඩ නගා ගැනීමට කටයුතු කිරීමය. එසේ නොවුවහොත් එම සහජ හැඟීම් විසින් මිනිසා ව පාලනය කිරීමේ තත්ත්වයක් උදාවීම වැළැක්විය නොහැකි කරුණක් බවට පත්වනු ඇත. සත්ව ලෝකය හා මිනිසා අතර ඇති වෙනස්කම් අතුරින් ප්‍රධාන වන්නේ මෙම සාධකයයි. සත්වයින් තම සහජ හැඟීම් හා උත්තේජනයන්ට අවනතව කටයුතු කරන අතර මිනිසා සම්මත නීති රාමුවක් හා ප්‍රතිපත්ති අනුගමනය කරමින් එම තත්ත්වයන් පාලනය කරගන්නට හා නිසි අයුරින් උපයෝගී කර ගන්නට කටයුතු කරයි. එසේ නොකරන මිනිසා සතුන්ට වඩා පහත් තත්ත්වයකට ඇද වැටීම වැළක්විය හැකි කරුණක් නොවේ. සහජ හැඟීම් සහමුලින්ම ඉවත්කර ගැනීමේ වෑයමක නිරත වන ලෙස ඉස්ලාමය උගන්වන්නේ නැත. සහජ හැඟීම් මිනිසාගේ පැවැත්මට අවශ්‍යය. මිහිතලය මත වූ  ජීවිතය මතු ජීවිතයේ උසස් ප්‍රතිඵල ලබා ගැනීම අරමුණු කොට ගත් පරීක්ෂණයක් ලෙස උගන්වන ඉස්ලාමය මෙම පරීක්ෂණයේ පදනම ලෙස දක්වා ඇත්තේ මිනිසා ඔහුගේ සහජ හැඟීම් පාලනය කොට සම්මා දිවියක් ගත කිරීමට වෑයම් දරන්නේ ද නැතිනම් ඔහු තම සහජ හැඟීම් වල වහලෙක් බවට පත් වී සතුන්ට වඩා පහත් තත්ත්වයකට ඇද වැටෙන්නේ ද යන නිර්ණායකයයි. ඉංග්‍රීසි බසින් ‘instinct’ ලෙසද අරාබි බසින් ‘al fitrah’ ලෙස ද හැඳින් වෙන මිනිස් ස්වභාවය සිංහල බසින් ඉදිරිපත් කිරීමට සුදුසු වචනයක් සොයා විවිධ ශබ්ද කෝෂ පරිශීලනය කර බැලු විට ‘ප්‍රේරණය’ ‘සහජාශය’ වැනි වදන් දක්නට ලැබුණ ද ‘සහජ හැඟීම්’ යන වදන යොදා ගැනීම වඩාත් සුදුසු බව අපට හැඟී ගියේය.        

අප ජීවත් වන ලොව දෙස විමසුම් ඇසින් බලන විට අපරාධ, මානසික විශාදය, ලෙඩ දුක් හා අනෙකුත් සමාජ ගැටලු වලට මිනිසා මැදි වී සිටින බව දක්නට ඇත. ඉතා ගැඹුරින් විමසුමක යෙදුණු විට මෙවන් අවාසනාවන්ත තත්ත්වයකට ප්‍රධාන හේතුව බව දැකිය හැකි වන්නේ තම සහජ හැඟීම් අනිසි පරිහරණය මෙන්ම දුෂ්පරිහරණය බව පැහැදිලි ව පෙනෙන්නට තිබෙන කරුණකි. අල් කුර්ආනයේ මෙයට අදාළ වැකියක් දෙස අවධානය යොමු කරමු.

“සැබැවින්ම අලංකාර ස්වරූපයකින් අපි මිනිසා ව නිර්මාණය කළෙමු. පසුව ඉතා පහත් වුවන්ගෙනුත් ඉතා පහත් වුවෙකු බවට පත් කළෙමු. (නමුත්) විශ්වාස කර යහකම් කළවුන් හැර. ඔවුනට සීමා රහිත ශුභ ඵලයන් ඇත.” (අල් කුර්ආනය 95 : 4 – 6)

මිනිසාගේ භෞතික හා චෛතසික සංයුතියෙහි අලංකාරය මෙන්ම යහකම අන්තර්ගත බව මෙමගින් පැහැදිලි කෙරේ. එය ඉස්මතු කර ගත හැක්කේ විශ්වාසය හා යහකම නිසි අයුරින් අනුගමනය කිරීමෙන් බව ද පැහැදිලි කොට ඇත. එසේ ක්‍රියා කළවුන් ව මිනිස් ජීවිතයේ හරය වූ පරීක්ෂණයෙන් සමත් වුවන් හැටියට සලකා සීමා රහිත ශුභ ඵලයන් බුක්ති විඳින්නට අවස්ථාව සහතික කොට ඇත. එලෙසම මිනිසාට පහත් වුවන්ගෙනුත් ඉතා පහත් වුවෙකු බවට පත් වීමට ද හැකියාව නොමදව ඇති බව පෙන්වා දී ඇත. මෙයට හේතු ද අල් කුර්ආනය පැහැදිලි කරයි.

“තම තෘෂ්ණාව තමන්ගේ දෙවිඳුන් වශයෙන් පත්කරගත්තන් ව ඔබ දැක ඇතිද? ඔබ ඔහුට ආරක්ෂකයෙකු වශයෙන් සිටින්නෙහි ද? ඔවුන්ගෙන් බහුතරය සවන්දෙන්නන් හෝ සිතන්නන් වශයෙන් ඉන්නා බව ඔබ සිතන්නෙහි ද?  ඔවුන් තිරිසනුන් මිස අන් කිසිවක් නැත. සැබවින්ම ඔවුන් (තිරිසනුන්ට වඩා) ඉතාමත් නොමග ගියවුන් වශයෙන් සිටින්නෝය. ” (අල් කුර්ආනය  25 : 43 - 44)

“සැබැවින්ම ඔහු (මිනිසා) සම්පත් කෙරෙහි ඉතා දැඩි වූ ආශාවකින් (තෘෂ්ණාවකින්) යුක්ත වූ වෙකි.” (අල් කුර්ආනය 100 : 8)

තෘෂ්ණාව නොහොත් ආශාව මිනිසාගේ සහජ හැඟීම් වලින් එකකි. තෘෂ්ණාවෙන් තොරව මිනිස් පරපුරක් මිහිතලය මත පැවතිය හැකි දැයි ඔබම සිතා බලන්න. එහෙයින් තෘෂ්ණාව සහමුලින් ම පිටු දැකීම ඉස්ලාමීය පිළිවෙත නොවේ. තෘෂ්ණාව සහමුලින් ම පිටු දැකීමේ සංකල්පය නිවැරදි යැයි සිතා මිහිතලය මත සැවොම එම මග අනුගමනය කරන්නට තීරණය කළහොත් සිදු විය හැකි සිතා ගැනීමට පවා අසීරු ව්‍යාකුලත්වය හා නොසන්සුන් තාව ගැන කරුණාකර මොහොතකට විමර්ශනයක යෙදී විචාරශීලී ව සිතා බලන්න. එවිට මෙම පිළිවෙතේ හරයෙහි අඩංගු අවිද්‍යාත්මක හා අදුරදර්ශී භාවය පැහැදිලි වනු ඇත.

තෘෂ්ණාව තම දෙවිඳුන් බවට පත්කර ගත්තන් පිළිබඳව ඉහත අල් කුර්ආන වැකිය ප්‍රශ්න කරයි. දෙවිඳුන් පිළිබඳව අප කටයුතු කරන ආකාරය ගැන පළමුව විමසා බලමු. දෙවිඳුන් හට අපි නැමදුම් කරන්නෙමු, අවනත වන්නෙමු, දෙවිඳුන් ලබා දෙන මග පෙන්වීම අනුගමනය කරන්නට නිරතුරු ව වෙහෙසී ප්‍රයත්නයක යෙදෙන්නෙමු. එම දෙවිඳුන් ලෙස තම තෘෂ්ණාව පත් කර ගත් විට සිදුවිය හැකි තත්ත්වය පිළබඳ ව මොහොතකට සිතා බලන්න. තිරිසනුන් ජන්මයෙන් ලැබුණු සැලැස්මට අනුකුල ව ජීවත් ව මිය යති. තිරිසනුන්ට එයට වඩා පහත් තත්ත්වයකට ඇද වැටෙන්නට නොහැක. නමුත් මිනිසා තම චෛතසිකයේ උත්පාදනය වන සියලු ආශාවන්ට වහල් වී කටයුතු කරන විට ඔහු සැබැවින්ම තිරිසනාට වඩා පහත් තත්ත්වයකට ඇද වැටීම වැළැක්විය හැකි කරුණක් නොවේ.

“කවුරුන් දෙවිඳුන් අබියස පෙනී සිටීම ගැන බිය වී ඉතාමත් පහත් ආශාවන්ගෙන් ඈත්වී තමන් ව වළක්වා ගන්නේද ඔහු ළඟාකර ගන්නා ස්ථානය නියත වශයෙන්ම ස්වර්ගයයි.”  (අල් කුර්ආනය  79 : 40 - 41)

 “කවුරුන් තමන්ව (තම චෛතසිකය) පාරිශුද්ධ කර ගත්තේද ඔහු නියත වශයෙන්ම ජයග්‍රහණය කළේය. කවුරුන් එය අපිරිසිදු කර ගත්තේද ඔහු නියත වශයෙන්ම අලාභ කර ගත්තේය” (අල් කුර්ආනය 91: 9 - 10)

මිනිසා තම තෘෂ්ණාව දෙවිඳුන් බවට පත් කර ගන්නේ නැති ව  විශ්වයේ අධිපති සත්‍ය වූ එකම දෙවිඳුන් කෙරෙහි විශ්වාසය ඇති කර ගෙන එම දෙවිඳුන්ට අවනත වී කටයුතු කරන ලෙස ඉස්ලාමය උගන්වයි. දේව ‘විශ්වාසය’ පිළිබඳව සඳහන් කරන විට බොහෝ පිරිස් එය අන්ධ භක්තියක්  හා මිත්‍යා දෘෂ්ටියක්  ලෙස සලකා උපහාසයෙන් මෙන්ම හාස්‍යයෙන් පිටු දකින්නට ඉදිරිපත් වන අයුරු අපි දැක ඇත්තෙමු. එසේ කටයුතු කරන්නන් නිශ්චිත දැනුමකින් යුක්ත ව එසේ කරන්නේ දැයි විමසු විට ඔවුන් සෘජු පිළිතුරක් ලබා නොදී ‘විශ්වාසය’ මනඃකල්පිත දෙයක් බව පවසමින් තමන් යථාර්ථය මෙන්ම හේතුඵල වාදයක් මත පදනම් වූ විද්‍යාත්මක දෘෂ්ටියක පිහිටා කටයුතු කරන බව පවසා සිටිති.

‘ගසකට’ පුජෝපහාර දක්වමින් තමන් හට යහපත අපේක්ෂා කරන විට එය ‘විශ්වාසය’ පදනම් කර ගත් ක්‍රියාවක් ලෙස පිළිගැනීමට මැළි වෙති. එය අවිද්‍යාත්මක ක්‍රියාවක් බව පිළිගැනීම ප්‍රතික්ෂේප කරති. මුර්ති ශිල්පියෙකුගේ නිර්මාණයක් වූ  ‘පිළිරුවකට’ පුජෝපහාර දක්වමින් කුසල් අපේක්ෂා කරන විට එයද ‘විශ්වාසය’ පදනම් කර ගත් එකක් යයි පිළිගැනීමට අදිමදි කරති. ශුන්‍යත්වයකට පත් වූ බව විශ්වාස කරනු ලබන උත්තමයෙකුගෙන් සරණ පැතීම යථාර්ථවාදී දැයි විමසන විට නිසි පිළිතුරක් නොලැබේ. තමන්ට ආපදාවක් හදිසි අනතුරක් හෝ අනපේක්ෂිත යමක් සිදු වූ විට මිනිසා යම් විශ්ව බලයක උපකාරය පතයි. නැතිනම් එවන් විශ්ව බලයකට යාච්ඥා කරයි. යථාර්ථය හා හේතුඵල වාදය තම මාර්ගෝපදේශකයා බවට පත් කර ගත්තා යැයි පවසන පිරිස මෙවන් තත්ත්වයක දී උපකාර පතන්නේ කාගෙන්දැයි හෝ යාච්ඥා කරන්නේ කාටදැයි විමසු විට අර්ථවත් පිළිතුරක් ලැබෙන්නේ නැත.

ජීවිතයේ අභාග්‍ය දෑ සිදු වූ විට සිත තැන්පත් ව තබා ගැනීමේ හැකියාව බොහෝ අයට කළ හැක්කක් නොවන බව සත්‍යයකි. මෙවන් අවස්ථාවන්හි දී සිය දිවි නසා ගැනීමේ තත්ත්වයකට පවා මිනිසා ඉදිරිපත් වෙයි. නමුත් දේව ‘විශ්වාසය’ පදනම් කර ගත් දහම් අදහන්නන් අතරේ සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාව ඉතාමත්ම අවම මට්ටමක පවතී. පහතින් ඉදිරිපත් කොට ඇති අප රටේ සිය දිවි නසා ගැනීම් පිළිබඳ පුවත්පත් වාර්තාව දෙස අපගේ අවධානය යොමු කරමු.

‘මව්බිම’ සැප්තැම්බර් 11, 2013.

සිය දිවි නසා ගැනීම

“ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ ලෝකයේ සියදිවි නසා ගැනීම් අතින් ඉහළ තැනකය. කෙසේ වුවද සියදිවි නසා ගැනීමට තැත්කරන අයගේ සංඛ්‍යාව දිවි නසා ගන්නා ගණනට වඩා දස ගුණයකින් ඉහළ ගොස් තිබේ. දළ වශයෙන් ගත් විට මෙරට පුද්ගලයන් සියදෙනකු සියදිවි නසා ගැනීමට සිතන අතර, ඉන් දහදෙනෙක් දිවි නසා ගැනීමට තැත් කරති. ඒ අතරින් එක් අයෙක් දිවි නසා ගනී”.

ඉස්ලාමිකයින් අතරේ සිය දිවි නසා ගැනීම් පිළිබඳ තත්ත්වය ඉතාම අවම මට්ටමක පවතී. එවන් තත්ත්වයක් වාර්තා නොවන තරමට විරලය. මෙයට ප්‍රධාන හේතුව දේව විශ්වාසයෙන් ලබා ගන්නා ආත්ම ශක්තිය බවට කිසිම සැකයක් නොමැත. තමන්ට අභාග්‍යයක් සිදු වූ විට බලගතු විශ්ව ශක්තියක උපකාරය පැතීමට නිරන්තර ව ක්‍රියා කිරීමෙන් පැහැදිලි වන්නේ  ‘විශ්වාසය’ මිනිසාගේ සහජ හැඟීම් වලින් එකක් බවය. මෙම ‘විශ්වාසය’ මිනිසාගේ සාරධර්ම පිරි ජීවිතයක් සකසා ගැනීමේ කාර්යයට ද අත්‍යාවශ්‍ය සාධකයක් ලෙස අපි දකින්නෙමු. මිනිසාගේ ක්‍රියාව පාලනය කොට ඔහුව නිවැරදි මගට යොමු කරන්නට විවිධ ආකාරයේ භෞතික පාලකයින් අපි දකින්නෙමු. පොලිසිය, නීති පද්ධතිය, අධිකරණය ආදී භෞතික පාලන යාන්ත්‍රණ මගින් කළ හැක්කේ මිනිසාගේ ක්‍රියාව එක්තරා ප්‍රමාණයකට පාලනය කිරීම පමණි. මෙම භෞතික පාලනය සාර්ථක නම් ලොව අපරාධ අඩු වී තිබිය යුතුය. සත්‍යය වශයෙන්ම අප රටේත් ලොව අන් දේශයන්හිත් මතු වී ඇති අපරාධ රැල්ල දෙස බලන විට මෙම භෞතික පාලකයින්ගේ අසාර්ථකත්වය මැනවින් අවබෝධ කර ගත හැකිය. භෞතික බලගතු පාලකයෙකුගෙන් සිදු වන්නේ මිනිසාට උරුම තෝරා ගැනීමේ නිදහස හා අනෙකුත් සුවිශේෂී ලක්ෂණ අර්ථ විරහිත වී ගොස් ඔහු යාන්ත්‍රික තත්ත්වයකට පත් වීම පමණි. භෞතික පාලකයෙකුට මිනිසාගේ ක්‍රියාවන්ගේ උල්පත වූ මනස පාලනය කිරීමේ හැකියාවක් කිසිසේත්ම  නොමැත.

මිනිසාගේ සාරධර්ම වර්ධනය සඳහා ඔහුට ඔහුගේ සිත පාලනය කළ හැකි පාලකයෙකුගේ අවශ්‍යතාව මෙම කරුණු විමසා බැලීමේ දී පැහැදිලි ව පෙනෙන්නට ඇත. සිත පාලනය කිරීමේ එම පාලකයා පත්කර ගත හැකි වන්නේ මෙම ‘විශ්වාසය’ පදනම් කර ගෙනය.  

ඔහුගේ පාලකයා කෙසේ විය යුතු ද යත්:

ඔහු පාර භෞතික විය යුතුයි. සර්වඥ විය යුතුයි. සර්ව බලධාරී විය යුතුයි. විශ්වයේම පරමාධිපති විය යුතුයි. පරම කරුණාභරිත විය යුතුයි. සර්ව ශ්‍රාවක හා සර්ව දෘෂ්ටික විය යුතයි. මිනිසාට නිවැරදි මග පෙන්වීම ලබා දෙන්නා විය යුතුයි. මරණින් මතු ලෝකයේ මිනිසාට විපාක දීමේ පුර්ණ බලය ඇත්තා විය යුතුයි. මෙවන් ගුණාංග නොමැති පාලකයෙකු පිළිබඳ ‘විශ්වාසයෙන්’ මිනිසාට ලැබිය හැකි කිසිම යහපතක් තිබිය නොහැක.  

අපගේ සියලු සමාජ විරෝධී මෙන්ම අසංවර ක්‍රියාවන් සිදු කරන්නේ රහසිගතවය. එනම් අපට රහසිගත පාපී චරිතයක් මෙන්ම සමාජයට පෙන්වන යහකම සපිරි ප්‍රසිද්ධ චරිතයක් බොහෝ විට ඇත. ඉහත සඳහන් අයුරු පාලකයෙකු තම චෛතසිකයට පත් කර ගත් විට තම ස්වාමියාට රහසින් කිසිවක් කරන්නට නොහැකි බව අවබෝධ කර ගන්නා මිනිසා බහු චරිතයෙන් මිදී ඒකීය යහ චරිතයක් ගොඩ නඟා ගැනීමට නිරතුරුව වෙහෙසෙයි. එවන් පාලකයෙකු පිළිබඳ ‘විශ්වාසය’ තහවුරු කර ගත් අයෙකු නොමග යා හැකිද? කරුණාකර සිතා බලන්න.

මෙම පාලකයා සත්‍යයක් ද නැතිනම් මිත්‍යාවක් ද? මෙම මාතෘකාව ‘විශ්වාසය’ පමණක් නොව, යථාර්ථය, බුද්ධිය, විචාරය හා නුතන විද්‍යාව ද පදනම් කරගෙන   ඉදිරි ලිපි මගින් සාකච්ඡා  කරන්නට අදහස් කරන්නෙමු. මිනිසාගේ සහජ හැඟීම් පිළිබඳ මාතෘකාව අවසාන වනවාත් සමග එම මාතෘකාවට අවතීර්ණ වන්නට අපේක්ෂා කරන්නෙමු, ‘ඉන්ෂා අල්ලාහ්’. මෙම ‘විශ්වාසය’ පෙර සඳහන් කළ පරිදි මිනිසාගේ සහජ හැඟීම් වලින් එකක් බව ඉස්ලාමය උගන්වයි.

(නබි මුහම්මද්) නුඹේ පරමාධිපති ආදම්ගේ දරුවන්ගේ කොඳු ඇට පෙළෙන් ඔවුන්ගේ පරපුර ගෙන ඔවුන් තමන් කෙරෙහිම සාක්ෂි දැරීමට සලස්වමින් ‘මා නුඹලාගේ පරමාධිපති නොවේදැ’? (යි විමසුවේය.) එවිට ඔවුහු ‘එසේය (ඔබමය අපගේ පරමාධිපති වන්නේ යැයි) අපි සාක්ෂි දරන්නෙමු’යි පැවසුහ. ‘සැබවින්ම මේ පිළබඳ ව අපි නොදැන සිටියෙමු’ යැයි (මළවුන් කෙරෙන්) නැගිටුවනු ලබන දිනයේ නුඹලා පැවසිය හැකි හෙයින් (මෙලෙස අපි නුඹලාගෙන් ප්‍රතිඥා ගත්තෙමු). (අල් කුර්ආනය 7 : 72) 

සෑම මිනිසෙකුගේම චෛතසිකයේ අභ්‍යන්තරයේ මුළු මහත් විශ්වයට අධිපති ගුප්ත පාලන ශක්තියක් තිබේ යන්න පිළිබඳ හැඟීමක් ඇත. මුහම්මද් ධර්මදුතයාණන් වරෙක පවසා සිටියේ සෑම දරුවෙක් ම මෙම පිවිතුරු සහජ හැඟීම (ෆිත්රා) සමග බිහි වන අතර එම දරුවාගේ දෙමව්පියන් විසින් විවිධ විශ්වාසයන් කරා ඔහුව යොමු කරවන බවය. මෙම සත්‍යය ස්වභාවයෙන් බැහැර ව එම සත්‍යය විශ්වාසයට පටහැණි ආදේශකයන් තබා ගැනීමයි අද සිදුවෙමින් පවතින්නේ. නමුත් හදිසි ආපදාවක් අනතුරක් ඇති වූ විට මිනිසා විසින් විශ්වයේ සත්‍ය වූ ශක්තිය වෙනුවෙන් ඇති කර ගනු ලැබූ ආදේශකයන් අමතක වී ගොස් ඔහුගේ සිත අභ්‍යන්තරයෙන් මතු වී එන්නේ සත්‍යයේ හඬයි. ගසකට පිළිරුවකට මිනිසෙකුට තැබූ ආදේශය අමතක වී ගොස් ඔහුගේ සිත අභ්‍යන්තරයෙන් විශ්වයේ සැබෑ ශක්තියට ආමන්ත්‍රණය කිරීමේ හඬ ඉස්මතු වී එන හැටි අපි විවිධ අවස්ථාවන් හි දැක ඇත්තෙමු. අදේවත්වයේ මග අනුගමනය කරන්නන් පවා මෙලෙස අසරණ වූ අවස්ථාවන් හි සරණ පතා හඬ නගන හැටි අපි දැක ඇත්තෙමු. ඉස්ලාමය මෙම ලෝක සත්‍ය යථාර්ථය අනුගමනය කරමින් කටයුතු කරයි.

‘එමිල් ඩර්ක්හයිම්’ නමැති සමාජ විද්‍යාඥයා විසින් බාහිර ලෝකය සමග කිසිඳු සබඳතාවකින් තොරව වර්ෂ දහස් ගණනක් තිස්සේ ඕස්ට්‍රේලියාවේ ප්‍රාථමික සමාජ සංස්ථාවන් සහිත ව ජීවත් වූ ආදිවාසී ජන සමුහයක් පිළිබඳ ව පවත්වන ලද පර්යේෂණයක කරුණු අන්තර්ගත කොට ඩබ්ලිව්. එස්. එෆ්. පිකරින්ග් විසින් සකස් කරන ලද “Durkheim on Religion” නමැති ග්‍රන්ථයේ පහත සඳහන් අයුරු කරුණු විග්‍රහ කොට ඇත.

“මෙම ආදිවාසී පිරිසගේ දෙවිඳුන් සදා ජීවමාන සදාතනිකයෙකි. ඔහුගේ ආරම්භය අන් කිසිවක් මත නොමැත. විශ්වයේ සියල්ල කෙරෙහි බලය ඇත්තෙකි. හිරු සඳු ආදී සියලු තාරකාවන් පාලනය කරන්නේ ඔහුය. සියල්ලෙ හි නිර්මාතෘ ඔහුය. විදුලි කෙටීම් හා අකුණු සැර ඔහුගේ අණ පරිදි සිදු වේ.” (W. S. F. Pickering – “Durkheim on Religion” Routledge and Kagan Paul, London 1975).

මෙම ආදිවාසී ජන සමුහයේ දේව විශ්වාසය හා ඉස්ලාමයේ දේව විශ්වාසය අතරේ කිසිඳු පරස්පරතාවක් නොමැත. බාහිර සමාජ බලපෑම් කිසිවක් නොමැති ව තම ජන්මතාවට අනුකුලව  ‘විශ්වාසය’ සකස් කර ගන්නට යමෙකුට අවස්ථාවක් ලැබෙන්නේ නම් ඔහුගේ තත්ත්වය සත්‍යය වශයෙන්ම සැකසෙන්නේ මේ අයුරු බව කිසිම සැකයක් නොමැත. මෙම කරුණු මගින් සනාථ වන්නේ ‘විශ්වාසය’ මිනිසාගේ සහජ හැඟීම් වලින් එකක් බව නොවේද?          

“අල්ලාහ් පහළ කළ (අල් කුර්ආනය) වෙතද රසුල්වරයා වෙතද පැමිණෙනු යැයි ඔවුනට කියනු ලැබුවහොත් අපගේ පියවරුන් කුමක් කෙරෙහි (අනුගමනය කරමින්) සිටියේදැයි අප දැක්කෙමු ද, එයම (අනුගමනය කිරීම) අපට ප්‍රමාණවත් ව‍න්නේ යැයි කියන්නෝය. ඔවුන්ගේ පියවරුන් කිසිවක් නොදැනුවත් ව ද සෘජු මාර්ගයෙහි නොවි සිටියදි ද (ඔවුන් තමන්ගේ පියවරුන් අනුගමනය කරන්නේ?). (අල් කුර්ආනය 5 - 104)

පූර්ව නිගමනයන්, පාරම්පරික විශ්වාසයන්, විචාරයෙන් තොර වූ පක්ෂපාතිත්වය ආදියෙන් මිදී විවෘත මනසකින් යුක්තව යථාර්ථය, විචාරය, බුද්ධිය හා විද්‍යාව පදනම් කරගෙන සත්‍ය ගවේෂණයකට අවංක සිතින් අත්වැල් බැඳ ගන්නා ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. ඉදිරි ලිපි මගින් මෙම බුද්ධිමය සංවාදය අඛණ්ඩ ව පවත්වාගෙන යමු. (ඉන්ෂා අල්ලාහ්!)

 සංස්කෘතිය හා සමාජ ඝර්ෂණ

වර්තමාන ලාංකේය සමාජ චින්තාව තුළ ‘සංස්කෘතිය’ උණුසුම් මාතෘකාවක් බවට පත්වෙමින් තිබෙන අයුරු දකින්නට ඇත. මේ පිළිබඳ විවිධ මතවාදයන් ඉදිරිපත් කරන්නන් ‘සංස්කෘතිය’ යන්නෙන් අදහස් වන්නේ කුමක් ද යන්න ගැන නිසි ලෙස අවබෝධ කර ගෙන නොමැති බව අපි දකින්නෙමු. අප සමාජය බහු සංස්කෘතික එකක් බව පිළිගැනීම ප්‍රතික්ෂේප කරන්නන් ඉදිරිපත් කරන මතය වී ඇත්තේ ශ්‍රී ලංකාව තුළ තිබිය යුත්තේ ‘සිංහල බෞද්ධ සංස්කෘතිය’ පමණක් බව ය. අනෙකුත් වාර්ගිකයින් මෙම ‘සිංහල බෞද්ධ සංස්කෘතිය’ තුළ සිට  කටයුතු කළ යුතු බව ඔවුන් එක්තරා ප්‍රමාණයක දැඩි ස්ථාවරයක් පෙන්නුම් කරති. මෙම අධිපතිවාදී මත වාදය පිළිබඳ ව විමසීමක් සිදුකිරීමෙන් පසු ‘සංස්කෘතිය’ පිළිබඳ ව පොදුවේ හා  ‘සිංහල බෞද්ධ සංස්කෘතිය’ පිළිබඳ ව විශේෂයෙන් ම හා අනෙකුත් වාර්ගිකයින්ගේ සංස්කෘතීන් පිළිබඳ ව ද කරුණු විමසා බැලීමක යෙදීම සුදුසු බව අපි දකින්නෙමු.

 ගෝලීය සංස්කෘතික ගැටුම්

මානව සංස්කෘතික ඇගයුම් ගැටෙන විට සමාජ ගැටුම් ද ඒ සමඟම ඇති විය හැකිය. පසුගිය අවුරුදු 20 තුළ සංස්කෘතීන් හරහා සමාන ආකාරයකින් ඇගයුම් සංකල්ප අර්ථ දැක්වීමෙහි අභියෝගයන් හඳුනා ගනිමින් විවිධ රටවල ඇගයුම් සමාන කිරීම ට ප්‍රයත්නයන් දරා තිබුණි. පොදු අගයන් පිළිබඳ ව මෙම උත්සාහයන් නොතකමින් ඇතැම් වියතුන් 21 වන සියවස මුල් කාලයේ ත්‍රස්තවාදය මිනිස් සංහාර යුද්ධ සහ මිලිටරි ආක්‍රමණ ‘ශිෂ්ටාචාර වල ඝට්ටනයක්’ ලෙස අර්ථ නිරූපණය කළහ. මෙම ප්‍රත්‍යය ට අනුව ජාතික හෝ දේශපාලන පක්ෂපාතිත්වයන් ට වඩා සංස්කෘතික සහ ආගමික අනන්‍යතාවන් ජාත්‍යන්තර ගැටුමේ ප්‍රධාන මුලාශ්‍රය බවට පත් වේ. මෙම ප්‍රත්‍යයේ විවේචකයන් ඇගයුම් මත ගැටුම් අලුත් දෙයක් නොවන බව පෙන්වා දෙති. එපමණක් නොව ‘ශිෂ්ටාචාරයන්ගේ’ ගැටුමක් ගැන කතා කරමින් විශාල කණ්ඩායම් තුළ පවතින තියුණු බෙදීම් වසන් කරන බව ද ඔවුන් පෙන්වා දෙති.

1993 දී හාවඩ් විශ්ව විද්‍යාලයීය මහාචාර්ය සැමුවෙල් පී. හන්ටින්ටන් විසින් “The Clash of Civilizations” (ශිෂ්ටාරයන් අතර ගැටුම) නමින් ග්‍රන්ථයක් එළිදක්වමින් අනාගතයේ දී රාජ්‍යයන් අතර ගැටුම් වෙනුවට ශිෂ්ටාචාරයන් අතර බෙදුම් රේඛාවන් ගැටුම් රේඛාවන් බවට පත් විය හැකි බව යන මත වාදය ඉදිරිපත් කරන ලදී. ඈත ඉතිහාසයේ යටත්විජිත වාදය මුල් කර ගත් රාජ්‍ය ව්‍යාප්තිය හා ජාත්‍යන්තර විශේෂයෙන් ම නාවික වෙළඳ කටයුතු මුල් කර ගෙන යුද්ධ හා ගැටුම් ඇති විය. පසු කාලීන ව ගැටුම් වලට මුල් වුයේ දේශපාලන හා ආර්ථික හෙතුන් ය. සෝවියට් දේශය බිඳ වැටීමත් සමග බටහිර බලවතුන් සමග තිබු සීතල යුද්ධයේ නිමාව ඇති විය. මහාචාර්ය හන්ටින්ටන් අනාවැකි පළ කළේ ද්විඝටනාත්මක භෞතිකවාදී (මාක්ස්වාදී) කඳවුර හා විවෘත ආර්ථික හා නිදහස් චින්තන ප්‍රවාහය නියෝජනය කරන බටහිර ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර අතර තිබු මෙම සීතල යුද්ධයේ නිමාව සමග රටවල් අතරේ ගැටුම් ඇතිවෙනවා ට වඩා වැඩි ප්‍රවණතාවක් ඇත්තේ ශිෂ්ටාචාරයන් අතරේ ගැටුම් ඇතිවීමට බවය. ශිෂ්ටාචාරය පදනම් වී ඇත්තේ එය ට ආවේණික වූ සංස්කෘතිය මතය. එහෙයින් ඉදිරි කාල වකවානුව සංස්කෘතීන් අතරේ ගැටුමක් ලෙස හුවා දක්වන්න ට ප්‍රයත්නයක් මෙමගින් දරා ඇත.

පහත සඳහන් කොටස “සමාජ විද්‍යාත්මක දැනුම - න්‍යාය සහ ව්‍යවහාරය - Sociology Matters by Richard T. Schaefer” යන ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී.

 සංස්කෘතිය හා සමාජානුයෝජනය

සමාජානුයෝජනය (Socialization) ලෙස හඳුන්වන ක්‍රියාදාමයක් මගින් දරුවන් දැන ගන්නා ප්‍රධාන ආකල්පයන්ට ඇගයුම් වලට සහ චර්යාවන්ට ද සංස්කෘතිය බලපායි. දරුවෙකුගේ පෞරුෂත්වයට ද එක් පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුගෙන් වෙනස් කෙරෙන පුද්ගල ගතිලක්ෂණ ආකල්ප අවශ්‍යතා සහ චර්යාවන් කෙරෙහි ද  එය බලපෑ හැකිය. ජීවිත කාලය පුරා මිනිසුන් ගන්නා භූමිකාවන් සහ ඔවුන් එක් ජීවිත අවධියකින් තවත් අවධියක ට යාමේ දී සහභාගී වන උත්සවයන් සංස්කෘතිය නියම කරයි. එය පවුලේ පාසලේ සහ සම මත කණ්ඩායම් වල සිට ජනමාධ්‍යය සේවා ස්ථානය සහ රාජ්‍යය තෙක් ඉතාම මුලික සමාජ ස්ථාපනයන් හැඩගස්වයි. වෙනත් ලෙසකින් පවසන්නේ නම් සංස්කෘතිය ‘සියල්ල වසා පැතිරේ’.

 සංස්කෘතිය සහ සමාජය

සංස්කෘතිය යනු සමාජමය ලෙස විකාශනය වී ඇති චාරිත්‍ර වල, දැනුමේ, භෞතික වස්තු වල, සහ චර්යාවේ සමස්තයයි. ජන කණ්ඩායම් වල සංකල්පයන් ඇගයුම් චාරිත්‍ර සහ මානව කෘති එයට අයත් වේ. සෑම ජන කොට්ඨාසයකටම ආහාර එක් රැස් කිරීමේ සහ පිළියෙල කිරීමේ නිවාස ඉදි කිරීමේ පවුල නිර්මිත කිරීමේ සහ හරි වැරැද්දේ ප්‍රමාණිකයන් ට අනුබල දීමේ ස්වකීය ආකාරයන් සහිත ආවේණික සංස්කෘතියක් තිබේ. එකම සංස්කෘතියක් අනෙක් අය සමග බෙදා ගැනීමේ සාධකය මත ඔබ අයත් වන කණ්ඩායම හෝ සමාජය නිශ්චය කිරීමට ආධාරකයක් වෙයි. සමාජයක් යනු මානව කණ්ඩායමේ විශාලතම ස්වරූපයයි. පොදු උරුමයක් සහ සංස්කෘතියක් බෙදා ගන්නා මිනිසුන්ගෙන් එය සමන්චිත වෙයි. සමාජයේ සාමාජිකයන් මෙම සංස්කෘතිය දැන ගන්නා අතර එය එක් පරම්පරාවකින් තවත් පරම්පරාවක ට විකාශනය කෙරෙයි.

 සංස්කෘතික පොදුතාවන්

සියලු සමාජයන් ඒවායේ වෙනස්කම් නොතකමින් සංස්කෘතික පොදුතාවන් යනුවෙන් ප්‍රකට නිශ්චිත පොදු භාවිතයන් වර්ධනය කර ගෙන තිබේ. බොහෝ සංස්කෘතික පොදුතාවන් මිනිසුන්ගේ ආහාර, ඇඳුම්  සහ නිවාස වැනි පොදු වැනි මුලික මිනිස් අවශ්‍යතාවන් සපුරා ගැනීමෙහිලා අනුවර්තනය වී ඇත. ජාතික දිනය ජාතික ගීතය ජාතික වීරයින්ගේ දිනය නිදහස් දිනය ආදී පොදු කර්තව්‍යයන් මෙන් ම එයට බැඳුනු උත්සවයන් ද පොදු සංස්කෘතියේ අංග ලෙස දැක්විය හැක.

ගෝලීය සංස්කෘතික යුද්ධය

“ෂාලම් ෂ්වාට්ස් නමැති මනෝ විද්‍යාඥයා විසින් රටවල් 60 කට වැඩි සංඛ්‍යාවක ඇගයුම් තක්සේරු කර තිබේ. “සමාව දීම සහ රිස්සීම” වැනි යහ ලක්ෂණ ‘කෘත්‍යවාදී’ සංස්කෘතියේ අංග ලෙස සැලකේ. ඊට ප්‍රතිවිරුද්ධ ව මිනිසුන් සහ සම්පත් මත පාලනය හෝ අධිපතිභාවය සංඝට්ටනවාදී නොහොත් අධිපතිවාදී සංස්කෘතියේ ලක්ෂණ ලෙස දැක්වේ”. (“සමාජ විද්‍යාත්මක දැනුම - න්‍යාය සහ ව්‍යවහාරය - Sociology Matters by Richard T. Schaefer”

 සංස්කෘතිය සහ අධිපතිවාදී මතවාදය

සංස්කෘතිය සහ සමාජය අන්‍යෝන්‍ය ලෙස ආධාරක බවට කෘත්‍යවාදී හා සංඝට්ටනවාදී න්‍යායිකයන් එකඟ වෙති. සමාජ ස්ථාවරත්වය ට සමාහිතයක් සහ සමාජයේ සාමාජිකයින්ගේ සහය අවශ්‍ය වන බව කෘත්‍යවාදීන්ගේ මතය වේ. ප්‍රබල කේන්ද්‍රීය ඇගයුම් සහ පොදු ප්‍රතිමානයන් එම සහය සපයයි. එය සංස්කෘතියක ගති ලක්ෂණ සංස්කෘතියක් තුළ ස්ථායී කරන මුලාංගයක් වෙයි. කෘත්‍යවාදී පර්යාලෝකය ට අනුව සමස්ත සමාජ ස්ථාවරත්වය ට සහ සමාහිතය ට අවශ්‍ය හෝ දායක වන බවට සමාජය ට පෙනී යන කෘත්‍යයන් එය ඉටු කරන්නේ නම් සංස්කෘතික ගති ලක්ෂණයන් හා භාවිතයන් දිගට ම පවතිනු ඇත.

පොදු සංස්කෘතියක් පැවතිය හැකි බවට සංඝට්ටනවාදීන් එකඟ වෙති. එහෙත් එය නිශ්චිත කණ්ඩායම් වල වරප්‍රසාද පවත්වා ගෙන යාමට මෙහෙයක් කළ යුතු බවට ඔවුහු තර්ක කරති. එපමණක් නොව ඔවුන්ගේ ස්ව අභිමතාර්ථය ආරක්ෂා කර ගැනීම තුළ බලගතු කණ්ඩායම් අනෙකුත් සුළු හා දුබල කණ්ඩායම් තමා ට යටහත් තත්ත්වයක තබා ගැනීමේ අරමුණ මේ තුළ අන්තර්ගතය. සංඝට්ටන පර්යාලෝකය ට අනුව අධිපතිවාදී මතවාදය ට සමාජ වැදගත්කමක් තිබේ. සමාජයක ඉතාම බලගතු කණ්ඩායම් සහ ස්ථාපනයන් ධනය සහ දේපළ පාලනය කරන අතර ඊටත් වඩා වැදගත් වන්නේ ඒවා ආගම් අධ්‍යාපනය සහ ජනමාධ්‍ය මගින් සාධාරණීය කරන මතයන් ඇති කිරීමේ ක්‍රමයන් ද පාලනය කිරීම ය. ශ්‍රී ලාංකේය අන්තවාදී ආගමික සංවිධාන ඉදිරිපත් කරනුයේ මෙවන් මතවාදයක් ය. රටේ පැවතිය හැක්කේ එක් සංස්කෘතියක් පමණක් වන අතර එය සිංහල බෞද්ධ සංස්කෘතිය විය යුතු බව ඔවුන්ගේ මතයයි. අනෙකුත් වාර්ගිකයින්ගේ හා ආගමිකයින්ගේ අයිතිවාසිකම් මෙන් ම වත් පිළිවෙත් වලට මෙමගින් සිදු වනුයේ අති විශාල අනර්ථකාරී බලපෑමකි. මෙම අධිපතිවාදී සංඝට්ටන සංස්කෘතිය සමාජ යහ පැවැත්ම ට කිසිසේත්ම සුදුසු පිළිවෙතක් නොවන හෙයින් මෙම විනාශකාරී ව්‍යායාම ය පරාජය ට පත් කිරීම ශ්‍රී ලංකා වාසී සැමගේ වගකීමක් ලෙස අපි දකින්නෙමු. බෞද්ධ භික්ෂුණ් පිරිසකගේ මූලිකත්වයෙන් සමාජගත කරන්න ට වෙර දරන මෙම පිළිවෙත බුදුන් වහන්සේගේ පිළිවෙත ට හා ඉගැන්වීම් වලට සහමුලින්ම පටහැණි එකකි.

 බුදු දහම අධිපතිවාදී සංඝට්ටන සංස්කෘතිය අනුමත කරන්නේද?

සාමයික සහජීවනය යනු අන්තර් ආගමිකයින් හා අන්තර් ජනවාර්ගිකයින් අතර පවත්වා ගෙන යා යුතු යහ සම්බන්ධතාවයි. බුදු දහම බිහි වූ යුගයේ භාරත දේශයේ පැවතියේ බහු ආගමික හා බහු ජනවාර්ගික සමාජයකි. විවිධ ආගමික ඇදහිලි හා විශ්වාස එහි විය. ඒ අවස්ථාව වන විට භාරත දේශයේ මහා පරිමාණ ලෙස ව්‍යාප්ත වී තිබුණේ බ්‍රාහ්මණ දහමයි. ඒ අතර විවිධ ආගමික දෘෂ්ටි ගරු කළ ශ්‍රමණ කණ්ඩායම්, ආජීවකයන්, පරිබ්‍රාජකයන්, ජටිලයන්, සහ වෙනත් තාපස යෝගී නිකායයන් එහි ක්‍රියාත්මක විය. මේ අතර ෂට් ශාස්තෘ දර්ශනයන් ද විය. මේ හැම ආගමික සම්ප්‍රදායක් ම විවිධ මතිමතාන්තර ඉදිරිපත් කළහ. මොවුන් ඉදිරිපත් කළ දෘෂ්ටි අතර බ්‍රාහ්මණ වාදය, ඊශ්වර නිර්මාණ වාදය, දේව වාදය, අධිච්ච සමුත්පත්ත වාදය, අහේතු අප්‍රත්ය වාදය, නියතිසංගතික වාදය, අකිරිය වාදය, සංසාර සුද්ධික වාදය, ශාස්වත වාදය, උච්ඡේද වාදය, දිට්ඨධර්මනිර්මාණ වාදය, මේ ආදී මත වාදයෝ එහි ප්‍රචලිත ව තිබිණ.

මේ කාලයේ බුදුන් වහන්සේ සමග ද වාද කිරීමට ඇතැම් බ්‍රාහ්මණ පඬිවරු පැමිණියහ. එවැනි මහා තාර්කිකයෙකි සච්චක බ්‍රාහ්මණයා. බුදුන් වහන්සේ මෙම සංකීර්ණ ආගමික රටාවේ දී ක්‍රියා කළේ සාමයික සහජීවනය තහවුරු කරන ආකාරයට ය. බුදුන් වහන්සේ මෙහි දී ප්‍රකාශ කර සිටියේ සෑම දෙයක ම යථා භුතය හෙවත් යථාර්ථය මැනවින් ප්‍රත්‍යක්‍ෂ කර ගත යුතු බව ය. බ්‍රහ්මජාල සුත්‍රයෙහි සඳහන් වන පරිදි බුද්ධ කාලීන භාරත දේශයේ දෘෂ්ටි දෙසැටක් ව්‍යාප්ත වී පැවත ඇත. බුදුන් වහන්සේ අන්‍යාගමික පැවිද්දන් හා ඔවුන්ගේ ඉගැන්වීම් හෙළා දැකීමට ඉදිරිපත් නොවුහ. එසේ ම ඕනෑම ආගමික ගුරුවරයෙකුගේ ඉගැන්වීම් වල ඇති යහපත් ගුණාංග බුදුන් වහන්සේ අගය කළහ. උන්වහන්සේ නොයෙක් ආගමික ගුරුවරුන් වෙත ගියහ. ඔවුන් සමග සතුටු සාමීචියෙහි යෙදී සිටියහ. ඇතැම් ආරාම වලට බුදු රදුන් වැඩම කර වූ අවස්ථාවේ ඒ ආගමික ගුරුවරු තම ශිෂ්‍යයන් නිහඬ කරවා උන්වහන්සේ ව ගෞරවයෙන් පිළිගත්හ.

චුල සකුළුදායි පරිබ්‍රාජක ගුරුවරයා බුදුන් වහන්සේ තම ආරාමය ට වැඩම කරනවා දැක සිය ශිෂ්‍ය පිරිස නිශ්ශබ්ද කරවීය. එසේ ම බුදුන් වහන්සේ වච්ඡගොත්ත පරිබ්‍රාජකයාගේ ආරාමයට ද වරින් වර වැඩම කළහ. කලක ට පසුව තම ආරාමය ට බුදුන් වඩිනු දුටු වච්ඡගොත්ත පරිබ්‍රාජකයා ඉදිරියට ගොස් උන්වහන්සේ ව පිළිගෙන ‘එන්න ස්වාමීනි, බොහෝ කාලයකින් මෙහි වැඩියේ, මෙන්න ආසනය, ඉදිගන්නැ’යි ගෞරවාන්චිත ව ප්‍රකාශ කර සිටියේය (තේවිජ්ජ වච්ඡගොත්ත සුත්ත - මජ්ජිම නිකාය). ආගමික මත භේද මත විරසක වී සිටි මේ යුගයේ බුදුරදුන් අනුගමනය කළ ආගමික සහනශීලිතාව කුමක්ද යන්න මෙයින් පැහැදිලි කර ගැනීම අපහසු කාර්යයක් නොවේ. එයින් පැහැදිලි වන්නේ බුදුරදුන් කිසිම ආගමික සම්ප්‍රදායක් හෙළා නොදුටු බවය.

ආගමික නිකායයන් අතර බොහෝ විට මත ගැටුම් ඇති වන්නේ එක් ආගමක් අත හැර අනිත් ආගම වැලඳ ගැනීමේදී ය. බුදුන් වහන්සේ වෙත පැමිණ ධර්මය අසා ප්‍රසාදයට පත් ප්‍රධාන පෙළේ ජෛන ශ්‍රාවකයන්  දෙදෙනෙකු වූ උපාලි ගෘහපතියා සහ සීහ සේනාපතියා බුදුන් සරණ යාමට ඉල්ලා සිටි විට උන්වහන්සේ ප්‍රකාශ කළේ ඉක්මන් නොවන ලෙසය. එහෙත් බුදුන් සරණ යාමට අවශ්‍ය බව ඔවුහු දැඩි ලෙස කියා සිටියහ. මෙහි දී බුදුන් වහන්සේ ඒ දෙදෙනා ට කොන්දේසියක් ඉදිරිපත් කළහ. එම කොන්දේසිය නම් තමන් බුදුන් සරණ ගියත් ජෛන ශාස්තෘවරයා ට කළ සැලකිලි සංග්‍රහ ආදිය එසේ ම පවත්වා ගෙන යාමට ක්‍රියා කළ යුතු බව ය. ඔවුහු එය පිළිගත්හ.

ඕනෑම කෙනෙකු ට ඕනෑම ආගමිකයෙකු ට කවර වූ හෝ කාරණයක් උන්වහන්සේ පැහැදිලි කර දුන්නේ කාරුණිකත්වයෙන් හා මුදු මොලොක්භාවයෙන් යුක්තව ය. උන්වහන්සේ කිසි විටෙකත් තම දේශනයෙන් අන්‍යයන් ප්‍රකෝපය ට පත් නොකළහ. බුදුන් වහන්සේගේ ආගමික සහනශීලිතාවන් පැහැදිලි වන්නේ සියලුම ආගමික දෘෂ්ටීන් කෙරෙහි දැක්වුයේ මිත්‍රශීලී සුහද ආකල්පයක් බවයි.

දීර්ඝ වශයෙන් බුදු දහමේ සාමයික සහජීවනය පිළිබඳ ව කරුණු සාකච්ඡා කරන්න ට අදහස් කරනු ලැබුවේ  බුදුන් වහන්සේ හා උන්වහන්සේ විසින් පන් සාලිස් වසරක් තිස්සේ දෙසු දහම විකෘති කරමින් සමාජයේ වෛරය හා ද්වේෂය වපුරන්න ට වර්තමානයේ පිරිසක් ඉදිරිපත් වී ඇති හෙයිනි. අපට කොටි ත්‍රස්තවාදය පරාජය කරන්න ට යුද කරන්න ට සිදු වුයේ ද්‍රවිඩ ජනයා සමග තිබු වෛරයක් නිසා නොවන බව සැවොම ඉතා හොඳින් දන්නා සත්‍යයකි. එහෙයින් මෙම කරුණු මගින් සනාථ වන්නේ බුදු දහම අධිපතිවාදී සංඝට්ටන සංස්කෘතිය අනුමත නොකරන බව ය.

 දේශීය මුලාශ්‍ර

සංස්කෘතිය පිළිබඳ ව ඇති දේශීය මුලාශ්‍ර විමසා බලමු. පළමු ව ‘සංස්කෘතිය’ අර්ථවත් කර ඇත්තේ කෙසේ ද යන්න පිළිබඳ ව රාජකීය පණ්ඩිත බද්දේගම විමලවංශ නාහිමියන් විසින් රචිත ‘අපේ සංස්කෘතිය’ ග්‍රන්ථය වෙත යොමු වෙමු.

“කවර සංස්කෘතියක් ගැන හෝ කරුණු දැන ගන්න ට පෙරාතුව සංස්කෘතිය නම් කුමක්දැ’යි තේරුම් ගත යුතු ව තිබේ. සංස්කෘතිය යන වචනය ට උගත්තු නොයෙක් අර්ථ විවරණයන් දෙති. ඒ පිළිබඳ උගතුන්ගේ ඇති අදහස් විවිධ ය.

  1. මනුෂ්‍යයා විසින් මෙතෙක් කල් එක් රැස් කොට දායාදයක් වශයෙන් අපට තබා ගිය ආධ්‍යාත්මික වූ ද බාහිර වූ ද සියල්ල ම අප විසින් සංස්කෘතිය යැයි කියනු ලැබේ.
  2. සංස්කෘතිය නම් ජීවත් වන සමාජය හැඩ ගස්සා ගන්නා ආයුධයකි.
  3. සංස්කෘතිය නම් දැනුමයි.
  4. සංස්කෘතිය නම් මිනිසුන්ගේ ජීවිතය පිළිබඳ ක්‍රමයකි.
  5. ලෞකික ජීවිතයේ අභිවෘද්ධිය උදෙසා නිරායාසයෙන් ම පහළ වන මනඃ ප්‍රයත්නයන්ගේ ප්‍රතිඵලය වශයෙන් ද ආධ්‍යාත්මික සහ සදාචාර ජීවිතයේ බාහිර පෙනුමක් වශයෙන් ද සංස්කෘතිය විස්තර කළ හැක.
  6. සංස්කෘතිය මානව විද්‍යාවේ ශාඛාවකි.

සංස්කෘතිය යන වචනයෙන් අදහස් කරන දෙය තේරුම් ගැනීම ඉතා අපහසුයි. එහෙත් ඒ වචනය තේරුම් ගැනීම එතරම් අමාරු නොවේ. පොත පතේත් කතා ව්‍යවහාරයේත් මේ වචනය නිතර භාවිත වෙයි. එහෙත් එහි නියම තේරුම දන්නෝ එතරම් බහුල නොවෙති. සංස්කෘතිය නම් සකස් කොට ගත් දෙයයි. වෙන වචන වලින් පැහැදිලි කරතොත් එහි තේරුම හැඩගැස්ම යනුයි.  මේ වචනය පැහැදිලි නොවීමට එක් හේතුවක් නම් සභ්‍යත්වය යන තේරුම දීම සඳහා සමහර උගතුන් මෙය පාවිච්චි කිරීමයි. සංස්කෘතිය එකකි. සභ්‍යත්වය අනිකකි. සභ්‍යත්වය නම් සමාජය ට සුදුසු පරිද්දෙන් ජීවත් වන ආකාරයයි. එය ශිෂ්ටාචාරය නමින් ද හැඳින් වේ. ආධ්‍යාත්මික වූත් බාහිර වූත් යම් හැඩගැස්මක් ඇත්නම් එය සංස්කෘතියයි. සමාජයක පවත්නා පොදු සිතුම් පැතුම් හා බාහිර ක්‍රියා පරම්පරාවේ විශේෂ ලක්ෂණ ඇත්නම් එබඳු ලක්ෂණ සංස්කෘතිය නමින් හැඳින් විය හැක.

විශ්වයෙ හි ජීවත් වන සත්ත් ව ගණයා අතුරින් සංස්කෘතියක් ඇත්තේ මනුෂ්‍යයා ට පමණකි. සමාජයක ඇති දේ කරන දේ සිතන දේ යන මේවා සියල්ල සංස්කෘතියක් විග්‍රහ කර බැලීමෙන් සොයා ගත හැකි ය. එසේම සෑම සංස්කෘතියක් ම අඩු වශයෙන් හෝ වැඩි වශයෙන් වෙනත් සංස්කෘති වල ආභාසය ලබා ඇත. අමිශ්‍ර සංස්කෘතියක් ලෝකයේ කිසි රටක නැත. සංස්කෘතිය වෙනස් වී යයි. එහෙත් බලයෙන් හෝ උපක්‍රමයෙන් හෝ සංස්කෘතියක් වෙනස් කිරීම ට උත්සාහ දැරීම මහ අපරාධයකි. ලෙහෙසියෙන් කළ නොහැක්කකි.” (පිටු 1 – 4)

සංස්කෘතිය යන සංකල්පය සමාජ විද්‍යාව තුළ මෙන් ම මානව විද්‍යාව තුළ ද ඉහළ වටිනාකමක් උසුලන හා සාකච්ඡාවට ලක් වෙන වැදගත් සංකල්පයක් ලෙස හැදින්විය හැකිය. සෑම සමාජයකට ම ආවේණික වූත් අනන්‍ය‍ වූත් සංස්කෘතියක් ඇති අතර එය අවියෝජනීය සාධකයක් වේ. මිනිසා සමාජීය සත්වයෙකු වන අතර සෑම මිනිසෙකු ම තම සංස්කෘතිය නියෝජනය කරනු ලබන නියෝජිතයෙකු ලෙස සැලකේ.

මිනිසා ට සංස්කෘතිය විශ්වීය වටිනාකමකින් යුතු ප්‍රපංචයක් වන අතර එය මිනිසාත් තිරිසන් සතුන් අතරත් ඇති පරතරය පෙන්වා දෙන සාධකයකි. එබැවින් “මිනිසා සංස්කෘතික පරිසරයක් තුළ ඉපදී හැදී වැඩී මිය යන සත්වයෙක් ලෙස හැදින්විය හැකිය.”

 සංස්කෘතිය යනු කුමක්ද?         

"මානව විද්‍යාවේ පියා" ලෙස හදුන්වන ඉංග්‍රීසි ජාතික එඩ්වඩ් ටේලර් විසින් 1873 දී සංස්කෘතිය යන්න නිර්වචනය කරන ලද්දේ "මානව සමාජයන් අතර ඇති වෙනස්කම්" ලෙසයි. එඩ්වඩ් ටේලර් ගේ නිර්වචනය ට අනුව "සංස්කෘතිය යනු දැනුම විශ්වාස ඇදහිලි කලාව නීතිය ආචාර ධර්ම සිරිත් විරිත් සහ මිනිසා විසින් සමාජ සත්වයෙකු ලෙස අත් කර ගන්නා ලද අනෙකුත් හැකියාවන් සහ උපාංග පිළිබ‍ඳ හදාරනු ලබන සංකීර්ණ ඒකකයකි".  මෙම සියලු උපාංග මිනිසා විසින් නිර්මාණය කරනු ලැබූ ඉතිහාසය පුරාව ට නොනවතින  ක්‍රියාදාමයක් තුළ නිරන්තර සංවර්ධනය ට ලක් වූ ඒවා වේ.

මේ අනුව සංස්කෘතිය සංකීර්ණ ප්‍රපංචයක් ලෙස හැදින්විය හැකි ය.එබැවින් එය කොටස් වශයෙන් අධ්‍යයනය කළ නොහැකි අතර සමස්තයක් ලෙස අධ්‍යයනය කළ යුතු වේ. තව ද සංස්කෘතිය විසින් මානව හැසිරීම් සඳහා මග පෙන්වන අතර  එය හුදෙක් නිරන්තරයෙන්ම පුරුදු පුහුණු කරන ලද චර්යාවිධි සමුදායක් ලෙස හැදින්විය හැකි ය.

01. සංස්කෘතිය ඉගෙන ගත් දෙයකි.                                                                                                                                                                                              

සංස්කෘතිය යනු මිනිසා ට ජීව විද්‍යාත්මක ව උරුම වූවක් නොව සමාජීය සත්වයෙකු ලෙස ඉගෙන ගත් දෙයකි.එබැවින් සංස්කෘතිය යනු ඉගෙන ගන්නා ලද චර්යාවන් රාශියකි යනුවෙන් ද හැඳින්විය හැකිය. සමාජය තුළ අන්තර්ගත සියලු සංකේත මෙන් ම චර්යාවන් ලෙස හැඳින්විය හැකි පිළිගැනීමේ ක්‍රම ඇඳුම් පැලඳුම් ආහාර රටා ආදි මෙම සියලු දේ මිනිසා විසින් සංස්කෘතිම ය ලෙස ඉගෙන ගන්නා ලද දෑ ලෙස හැදින්විය හැකි ය.   

02. සංස්කෘතිය යනු සමාජීය ව්‍යුහයකි. 

සංස්කෘතිය යනු හුදකලා ව පවතින්නක් නොවේ.එසේ ම තනි ප්‍රපංචයක් ද නොවේ. එය සමාජයේ නිර්මාණයකි. එය සමාජ අන්තර්ක්‍රියාවන් හි ප්‍රතිඵලයක් ලෙස සම්භවය ලබා සංවර්ධනය වී ඇත. එය සමාජ සත්වයන් සියලු දෙනා විසින් හුවමාරු කර ගනු ලැබේ.සංස්කෘතිය මගින් හික්මීම ලබන මිනිසා මිනිසෙකු ලෙස සමාජය තුළ හැසිරේ. මානව පරිසරයක මිනිස් ගති වර්ධනය කර ගැනීම ට සංස්කෘතිය ඉවහල් වේ.

03. සංස්කෘතිය සම්ප්‍රේෂණය වන්නකි.

සංස්කෘතිය හුදෙක් පරම්පරාවෙන් පරම්පරාව ට උරුම වන්නකි. දෙමාපියන් තම දරුවන් මත ආරෝපණය කරනු ලබන සංස්කෘතික අංගයන් ඔවුන් තම දරුවන් වෙත ආරෝපණය කරනු ලැබීමෙන් සම්ප්‍රේෂණය වේ. එම කාර්යය භාෂාව මාධ්‍යය කර ගනිමින් සිදු වේ. මෙය සමාජ උරුමයක් ලෙස හැදින්විය හැකි ය.

04. සංස්කෘතිය පොදු දෙයකි.

සමාජ විද්‍යාත්මක අර්ථයෙන් ගත් කළ සංස්කෘතිය යනු පොදු දෙයකි. මිනිසා ට තනි තනි ව එහි කිසිවක් අත් කර ගත නොහැකි ය. සංස්කෘතියක අඩංගු සියලුම අංගයන් එහි සියලු සාමාජිකයන් විසින් බෙදා ගනු ලැබේ.

සෑම සමාජයකට ම සංස්කෘතියක් හිමි වේ.ඵම සෑම සංස්කෘතියක් ම ඵකිනෙකින් වෙනස් වන අතර ම ඵකිනෙක ට අසමාන වේ.කෙසේ නමුත් මේ සියලු අසමානතා අතර පොදු සමානතාවන් ද ඇති බව ඵ් පිළිබද සමීප අධ්‍යයනයක දී පෙනේ.

සෑම සංස්කෘතියක් තුළ ම මිනිසා වැඳුම් පිදුම් කරමින් තමා ට අනන්‍ය වූ ආගමක් අදහයි. ඵම ආගම ඵකිනෙකාගෙන් වෙනස් වන බව සත්‍යයකි. නමුත් ඔවුන් සියලුදෙනාට ම ආගම නැමැති පොදු සංකල්පයක් ඇත.

තව ද සෑම සංස්කෘතියක් තුළ ම ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙයි. තම ජීවනෝපාය සරි කර ගැනීම උදෙසා මිනිසා නොයෙකුත් ජීවනෝපායන් හි නිරත වන අතර ඵම මාර්ගයන් සංස්කෘතියෙන් සංස්කෘතිය ට වෙනස් වන නමුත් ඵය සෑම සංස්කෘතියකට ම පොදු දෙයක් වේ.

ඵසේ ම සෑම සංස්කෘතියක් තුළ ම ඵ්වා ට ආවේණික වූ සිරිත් විරිත් සම්ප්‍රදායන් උත්සව වැනි අංගයන් ඇති අතර ඵ්වා සංස්කෘතියෙන් සංස්කෘතිය ට වෙනස් ලක්ෂණ පෙන්නුම් කළ ද පොදුවේ සියලුම සංස්කෘතීන් ට මෙය උරුම වේ.

05.සංස්කෘතික විචලනය

සංස්කෘතිය සමාජයේ නිර්මාණයක් වන අතර මිනිසාගේ අවශ්‍යතා මත සංස්කෘතිය ද නිරන්තරයෙන් වෙනස්වීම් වලට භාජනය වේ. එය සංස්කෘතික පරිණාම ය වශයෙන් හැඳින්විය හැකි ය. සෑම සමාජයක ම සංස්කෘතිය කාලයෙන් කාලය ට සෑහෙන වෙනස්වීම් වලට භාජනය වී ඇත. සංස්කෘතිය තුළ ඇති වන්නේ ඉතා සුළු වෙනසක් වූවද එයින් විශාල ප්‍රතිඵලයක් ඇති කළ හැකි ය.

සංස්කෘතිය වෙනස් වන බව අප කවුරුත් දන්නා කාරණයකි. අපගේ කුඩා කාලයට වඩා අද ලංකාවේ සංස්කෘතිය වෙනස් ය. එය ඉදිරියේ දී තව දුරටත් වෙනස් වනු ඇත. මේ කාරණය ගැන උගතුන් අප ට කියන්නේ සංස්කෘතිය වෙනස්වීම ‘ස්වභාවික‘ බව ය. සියලු සංස්කාර ධර්මයෝම අනිත්‍ය වෙද්දී සංස්කෘතිය පමණක් නිත්‍ය විය හැකිදැයි සමහර පිරිස් අපගෙන් අසති. අනිත්‍ය ගැන දන්නා බෞද්ධයන් ට සංස්කෘතියේ මේ වෙනස් වීමවත් දරා ගත නොහැකි ද කියා ඔවුහු අපගෙන් අසති.

අද සංස්කෘතිය ලෙස හදුනා ගන්නා යම් දෙයක් ඇතැයි සිතමු. මෙය තව අවුරුදු දහයකින් වෙනස් වන්නේ කෙසේ ද? ඇත්ත වශයෙන් ම සංස්කෘතිය වැනි අතිශය සංකීර්ණ ප්‍රපංචයක් වෙනස් විය හැකි ආකාර බොහෝ ඇත.

සංස්කෘතිය වෙනස් වීම හුදු ස්වභාවික ක්‍රියාවලියක් ද? එසේත් නැතිනම් එය මධ්‍යගත ව ක්‍රමානුකූල ව සැලසුම් සහගත ව වෙනස් කළ හැකි ද? මේ දෙයාකාරයට ම සංස්කෘතිය වෙනස් වෙන බව සිතන්නෙමු. එනම් පහළ සිට ඉහළ ට සහ ඉහළ සිට පහළට ය. පහළ සිට ඉහළ ට සංස්කෘතිය වෙනස් වන විට මෙන් නොව ඉහළ සිට පහළ ට සංස්කෘතියෙ වෙනස් වීමේ දී වන්නේ සංස්කෘතිය මධ්‍යගත ව වෙනස් කිරීමකි.

වර්තමානයේ ලංකාව වැනි රටවල වැඩි පුර සිදු වන්නේ මධ්‍යගත ව සංස්කෘතිය වෙනස් කිරීමකි. එහි දිශානතිය අපට කලින් ම සිතා ගත හැකි වී ඇත්තේ එබැවිනි. මේ වෙනස් කිරීම වැඩිපුර ම සිදු වන්නේ මධ්‍යගත අධ්‍යාපනය සහ ජනමාධ්‍ය මගිනි. මේ ආයතන දෙකේ ම තීරණ ගන්නේ ඉතා සුළු පිරිසකි. ඔවුන් බොහෝ විට උපදෙස් ගන්නේ හෝ අනුකරණය කරන්නේ බටහිර රටවල අධ්‍යාපන ආයතන හෝ ජනමාධ්‍ය ආයතන වලිනි. ජනමාධ්‍ය නම් ඇතැම් විට ඉන්දියාව ද අනුකරණය කරයි. කෙසේ හෝ වේවා එසේ සිදු වන සංස්කෘතික වෙනස් කිරීම මහජනතාව තුළින් බිම් මට්ටමින් ඇති වන ස්වභාවික සංස්කෘතික පරිණාමයක් නොවේ. ඊට වඩා මධ්‍යගත ව කෘතිම ව කෙරෙන සංස්කෘතික වෙනස් කිරීමකි.

මෙසේ මධ්‍යගත ව සංස්කෘතිය වෙනස් කිරිම ට උදාහරණයක් ගනිමු. මෑතක දී ලංකාවේ සංස්කෘතිය ට එක්වූ අංගයක් ලෙස ‘සුපර් ස්ටාර්’ සංකල්පය ගත හැකි ය. මේ තුළින් ලංකාවේ සංස්කෘතිය වෙනස් කෙරිණි. නැතිනම් එවැනි වෙනසක් කිරීම ට උත්හාසයක් දැරිණි. මේ වෙනස මිනිසුන් විසින් ඉල්ලා සිටි වෙනසක් ද? නැත. පිටරට ජීවත් වූ අය හැරෙන්න ට බොහෝ දෙනා මෙවැන්නක් ගැන දැන සිටින්නටවත් නැත. මෙම වෙනස ඇති කළ යුතු බව තීරණය කළේ එක් රුපවාහිනි නාලිකාවක ප්‍රධානීන් කිහිප දෙනෙක් විසින් විය හැකි ය. ඔවුහු බටහිර රටක වැඩසටහනක් අනුකරණය කළහ. අනිකුත් නාළිකා විසින් එය අනුකරණය කරන ලදී.  ඒ අනුව ඔවුහු රටේ ම සංස්කෘතිය වෙනස් කළහ. මෙහි දී නූතන තාක්ෂණයෙන් ද සංස්කෘතිය වෙනස් කිරීමට දෙන ආධාරය නොතකා සිටිය නොහැකි ය. වඩා ඉහළ තාක්ෂණයක් ඇති අය ට වඩා සාර්ථක ව සංස්කෘතිය වෙනස් කළ හැකි ය. ප්‍රාග්ධනය ද එහිදී වැදගත් වෙයි. බටහිර තාක්ෂණයෙන් ලෝකයේ ම මධ්‍යගතභාවය ඉහළ දමා ඇත. අද ලෝකයේ සිටින බොහෝ මනුෂ්‍යයන් සිතන්නේ කුමක් ද? ඔවුන්ගේ ජීවන ක්‍රම මොනවා ද? යන්න එක්සත් ජනපදයේ ලියාපදිංචි සමාගම් වන ගුගල් සමාගම සහ ෆේස්බුක් සමාගම දනී. ඒ දැනුම අනෙක් අත ට මිනිසුන්ගේ සංස්කෘතිය හැසිරවීම ට යොදා ගත හැකි ය. මෙවන් සංස්කෘතික මධ්‍යගතභාවයක් ලෝකයේ කවරදාකවත් තිබුණේ යැයි සිතිය නොහැකි ය. ඊට බටහිර තාක්ෂණයෙන් දක්වා ඇති දායකත්වය ඉමහත් ය. තාක්ෂණය වර්ධනයවත්ම වඩ වඩාත් මධ්‍යගත ව සංස්කෘතිය හැසිරවීම ට ඉඩ කඩ සැලසෙයි. මුළු ලෝකය ම එක ම සංස්කෘතියක ට නතු කිරීම ට අවස්ථාව සැලසෙයි.

මධ්‍යගත ව සංස්කෘතිය වෙනස් කිරීමේ දී අධ්‍යාපනය ද වැදගත් වෙයි. ලංකාවේ මෙන් ම ලොව බොහෝ රටවල ඇත්තේ මධ්‍යගත අධ්‍යාපන ක්‍රමයකි. පසුගිය අවුරුදු 150 පමණ කාලයේ ලංකාවේ ලබා දුන් අධ්‍යාපනයෙන් පැහැදිලිව ම රටේ සංස්කෘතිය වෙනස් කෙරී ඇත. විශේෂයෙන් ම නිදහස් අධ්‍යාපනය ලබා දීමෙන් පසු ව රටේ සංස්කෘතිය වෙනස් විය. මෙම නව සංස්කෘතිය මගින් රටේ එතෙක් පාරම්පරික ව පැවති හර පද්ධතිය ට හානියක් සිදු විය. වංචාව දූෂණය ඉහවහා යාම අපරාධ වැඩි වීම ආදී ප්‍රශ්න රාශියක ට හේතුව සමාජයේ හර පද්ධතියක් නැති වීම ය. අපට බටහිර හර පද්ධතිය ද ලැබුණේ නැත. ලැබුණත් අපට එය ගෝචර වන්නේ ද නැත. එය ට පදනම් වන සංස්කෘතිය සහ චින්තනය අප සතු ව නැති බැවිනි. මේ නිසා අපි සමාජයක් වශයෙන් කිසිදු හර පද්ධතියක් නැති අන්ත ස්වභාවයක ට පත් ව සිටිමු.

සංස්කෘතිය වෙනස් වෙන අනිත් ආකාරය නම් පහළ සිට ඉහළ ට වෙනස් වීම ය. එය විමධ්‍යගත සංස්කෘතික පරිණාමයකි. මෙය ට උදාහරණයක් ලෙස ජන ගී සැලකිය හැක. මේවා කිසිසේත් ම මධ්‍යගත ආයතන වලින් කෙරුණු නිර්මාණ නොවන අතර හුදෙක් තනි පුද්ගලයන් සහ කණ්ඩායම් වලින් කෙරුණු නිර්මාණ වෙයි. ඒ තුළින් වෙන ම සංස්කෘතියක් ගොඩ නැගිනි. විමධ්‍යගත සංස්කෘතික පරිණාමය හැමවිටම ඊට පදනම් වන චින්තනය ට පටහැණිව නොයයි. ඊට අනුකූල වෙයි. ඒ නිසා එකී සංස්කෘතික පරිණාමය වඩා ‘ස්වභාවික‘ වෙයි. ස්ථාවර වෙයි. අද ද සිංහල මිනිස්සු ‘ට්‍රිප්‘ ගිය විට සින්දු කියති. බොහෝ විට සිංහල මිනිසුන් කාලයක් පවතින සින්දු ලෙස පිළිගන්නේ තමන්ට ද ගායනා කළ හැකි (කවි?) සින්දු ය. මෙය අද සිංහල ජනයාගේ සංස්කෘතියේ කොටසකි. කිසිදු පෙලඹවීමක් නොමැතිව මෙවැන්නක් සිදු වූයේ කෙසේ ද? එය විමධ්‍යගත සංස්කෘතික වෙනසක ප්‍රතිඵලයක් ද? ගීත කලාව කවිය ට අවශෝෂණය කිරීමක් එහි දී සිදු වී ඇතැයි සිතිය හැකි ය.

මධ්‍යගත සංස්කෘතික වෙනස් වීම් කෙරෙහි නුතනයේ දී බලපෑම් කරනු ලබන තවත් මාධ්‍යයක් ඇතත් සංස්කෘතික හුවමාරුව ද අංගයකි. විශේෂයෙන් කිසියම් රටක සංස්කෘතික ලක්ෂණයක් තවත් රටක මණ්ඩපයක එළි දක්වන විට හෝ තිරගත වන විට හෝ බොහෝ විට කිසියම් රටක සංස්කෘතික සෝදාපාළුවකට හෝ සංස්කෘතික සමූල ඝාතනයකට මං විවර කිරීමක් විය හැකිය. එකී රටේ සංස්කෘතියේ මළගම ද එය විය හැකිය.

එසේම ‘සුද්දාගේ ක්‍රීඩාව ද’ මධ්‍යගත සංස්කෘතික බිඳ වැටීමට හේතු පාදක විය හැකිය. අපගේ රටේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාවට අත් වී ඇති ඉරණම සහ ‘සුද්දාගේ ක්‍රිකට් ක්‍රීඩාව’ අතර ඇති පරතරය කෙසේදැ’යි අවබෝධ කර ගත හැකිය.

පිටිසර ගැමියාට හෝ ගෙවිලියට ‘සුද්දාගේ ක්‍රිකට් ක්‍රීඩාවේ’ නීති රීති ගැන දන්නවාට වඩා ජාතික ක්‍රීඩාව වූ වොලිබෝල් ක්‍රීඩාවේ නීති රීති ගැන ඇති අවබෝධය ගැන නැවත වරක් සිතා බැලිය යුතුය. සුද්දා අපට ක්‍රිකට් ක්‍රීඩාව අතික්‍රමණය කරනු ලැබුවේ තුවක්කුව මාන කරමින් හෝ මරණ තර්ජන කරමින් හෝ නොවේ. ක්‍රමානුකූලව ගමේගොඩේ සිදාදියේ කොතැනක හෝ පාහේ කොලු කුරුට්ටන්ගේ සිට වැඩිමහල් පිරිසගේ සංස්කෘතියේ කොටසක් ලෙසට ‘ක්‍රිකට්’ අතික්‍රමණය කිරීම  මධ්‍යගත සංස්කෘතික වෙනස් වීමේ සුලක්ෂණයක් ලෙස දැක්විය හැක.    

මධ්‍යගත සංස්කෘතික පරිවර්තනය ට යම් සමාජයක ඇති චින්තනය ට අනුකූල ව සිදු විය හැකි ය. එවි ට එය වඩා ‘ස්ථාවර‘ වෙයි. අද සුපර් ස්ටාර් සංස්කෘතිය බිම වැටී පණ අදිමින් සිටී. පුද්ගලිකත්වය ම හුවා දක්වන සුපර් ස්ටාර් ලා දේශීය චින්තනය ට පටහැණි වීම එය ට හේතුව ද? මධ්‍යගත ව කෙරෙන සංස්කෘතිය වෙනස් කිරීම හැම විටම සාර්ථක නොවන බව මෙයින් පැහැදිලි වෙයි. එය එකී වෙනස ට භාජනය කරන සමාජයේ චින්තනය ට එකඟ ද නැද්ද යන්න එහි දී වැදගත් වෙයි. එහෙත් එවැනි කෘතිම සංස්කෘතික වෙනස් කිරීමකින් වුව ද සෑහෙන පිරිසක් නන්නත්තාර වීම ට ඉඩ ඇත. එසේ ම එයින් රටේ ප්‍රධාන සංස්කෘතිය වඩාත් දුර්වල වෙයි.

සංස්කෘතිය වෙනස් විය යුතු ය. සියලු සංස්කාර ධර්මයන් සේ ම එය ද වෙනස් වනු ඇත. ඒ ගැන විවාදයක් නැත. ප්‍රශ්නය එය වෙනස් විය යුතු ආකාරය තීරණය කරන්නේ කවු ද යන්න ය. ඊටත් වඩා මූලික වූ ප්‍රශ්නය නම් එකී වෙනස සිදු වූ ආකාරය කවුරුන් හෝ මධ්‍යගත ව තීරණය කළ යුතු ද යන්න ය. ඇතැම් විට එසේ කළ යුතු අවස්ථා ද තිබීම ට පුළුවන. සංස්කෘතිය යනු ගෙයක් නම් චින්තනය එහි අඩිතාලම වැනි ය (දැනුම ද සංස්කෘතියේ ම කොටසකි). අඩිතාලම මත ගෙය රඳා පවතින අතර ගෙයක් නැති අඩිතාලමක් ටික කලකින් කැලෑවට යනු ඇත. කාලානුරූප ව ගෙයක විවිධ වෙනස්කම් කිරීම සිදු විය යුතු දෙයකි. එහෙත් අඩිතාලම ට පටහැණි ලෙස එකී වෙනස්කම් සිදු කළහොත් මුළු ගෙය ම අස්ථාවර වී කඩා වැටීම වැළැක්විය නොහැකි ය.

06. සංස්කෘතිය කොටස් වලට බෙදා වෙන් කළ නොහැකිය.                                                        

සංස්කෘතිය තුළ අන්තර්ගත කරුණු රාශියක් ඇත. භාෂාව ආගම සිරිත් විරිත් නීතිය ආදී සියලු දේ සංස්කෘතියේ අංග වන අතර ඒවා එකිනෙකින් බෙදා වෙන් කළ නොහැකිය.  සියලුම කොටස් එකිනෙක ට බද්ධ වී ඇත.              

 භෞතික සංස්කෘතිය

භෞතික සංස්කෘතිය මිනිසාගේ නිපැයුම් වලින් සමන්විත වේ. මිනිසා විසින් නිර්මිත පරිසරය මෙයට අන්තර්ගතය. උපකරණ ගොඩනැගිලි ආයුධ වාරිමාර්ග මහා මාර්ග මුදල් ආදී සියලු දේ මෙයට අයත් වේ.

 අභෞතික සංස්කෘතිය

මෙය හුදෙක් මිනිසාගේ ආධ්‍යාත්මික පැතිකඩ විවරණය කරන්නකි. මිනිසා භාවිත කරනු ලබන භාෂාව, ඔවුන් දරන්නා වූ ඇදහිලි හා විශ්වාසයන් අනුගමනය කරන්නා වූ පුරුදු හා වර්ධනය කරනු ලබන සාර ධර්ම වැනි සියලු දේ මේ ගණයේ ලා සැලකේ. ඵසේම මිනිසා ප්‍රිය කරනු ලබන දේ ඔවුන්ගේ චාරිත්‍ර විධි ආකල්ප සිතන පතන ආකාරය හා හැසිරෙන ආකාරය යන සියලු දේ මෙහි අන්තර්ගත වේ.

 සංස්කෘතිය දැනුම් සම්භාරයක් ලබා දෙයි

සංස්කෘතිය මිනිසා ට සමාජීය මෙන් ම ශාරීරික පැවැත් ම පිළිබඳ ව දැනුම ලබා දේ. මිනිසුන් ට විශාල බුද්ධිම ය ධරිතාවක් හිමි වන අතර ඔහු නිරන්තරයෙන් ම තම අවශ්‍යතා හා හැකියාවන් ට අනුව තමා ජීවත් වන පරිසරය නිර්මාණය කරන අතර ම ඵයට අනුගත වීම ද සිදු කරයි.මේ සදහා සංස්කෘතිය මිනිසා ට නිරන්තරයෙන් ම අවශ්‍ය දැනුම හා හැකියාවන් ලබා දීම සිදු කරයි. සංස්කෘතිය විසින් සුරැකිව මිනිසා ට ලබා දෙන දැනුම ඔහු තම මතු පරම්පරාව ට භාෂාව මාධ්‍ය කර ගනිමින් ලබා දේ.

 සංස්කෘතිය විසින් අවස්ථා නිර්ණය කිරීම සිදු කරයි

සංස්කෘතිය විසින් අප මුහුණ දෙනු ලබන අවස්ථාවන් නිර්ණය කිරීම සිදු කරනු ලබයි. නිර්ණය කිරීම පමණක් නොව යම් යම් කොන්දේසි හා තහනම් පැනවීම් ද සිදු කරනු ලබයි. අප විවිධ අවස්ථාවන් සඳහා අඳින පලඳින ආකාරය සිනාසෙන ආකාරය කෑම බීම ගන්නා ආකාරය ආගමික වතාවත් වල යෙදෙන ආකාරය යන සියලු දේ සංස්කෘතිය මගින් තීරණය කරනු ලබයි.

 මුස්ලිම් සංස්කෘතික ආක්‍රමණයක්

රට තුළ “මුස්ලිම් භීතිකාවක්‌” හා “මුස්ලිම් පිළිකුලක්” දියත් කරන්න ට වෙර දරණ වෛරය හා ක්‍රෝධය වපුරන පිරිස ඉදිරිපත් කොට අති  නවතම සටන් පාඨය වී ඇත්තේ මුස්ලිම් සංස්කෘතික ආක්‍රමණයක ට සිංහල බෞද්ධ ජනයා ලක් වී ඇති බවය. සිංහල බෞද්ධ ජනයාගෙන් මධ්‍යස්ථ අති බහුතරය සැබැවින් ම මෙවන් පදනම් විරහිත බොළඳ හා මනඃකල්පිත මත වාදයන් මිලට ගැනීම ට සුදානම් නොමැති බව අපි ඉතා හොඳින් දනිමු.

වෛර වැපිරීම් කරුවන් ශ්‍රී ලාංකේය මුස්ලිම් වරුන් ව ප්‍රධාන වශයෙන් කොටස් දෙකක ට බෙදන බව දකින්න ට ඇත. සාම්ප්‍රදායික හා අන්තවාදී (නුතන) වශයෙන් මෙම බෙදීම සිදු කර ඇති අතර සාම්ප්‍රදායික මුස්ලිම් වරුන් සමග ඔවුන් ට ගැටලු නොමැති බවත් ප්‍රකාශ වී ඇත. මේ අදහස් දෙස බලන විට මගේ මතකය ට එන්නේ කුඩා කල පාසැලේ ඉගෙන ගත් “වෘකයා හා බැටළු පැටියා” පිළිබඳ ව වූ උපදේශාත්මක කතා පුවතයි. එම කතාව දෙස පළමු ව අවධානය යොමු කරමු.

“එකමත් එක රටක දිය පහරක ජලය බොමින් සිටි වෘකයෙක් තමන් ට පහළින් දිය බොන බැටළු පැටියෙක් දැක, අහෝ! මෙම බැටළු පැටියා ඩැහැ ගන්න ට යම් හේතුවක් ඇති කර ගන්න ට හැකි නම් මට අනර්ඝ  රාත්‍රී භෝජනයක් බුක්ති විඳින්න ට හැකි වේ යැයි සිතා බැටළු පැටියා අමතා මෙසේ පවසන්න ට විය.

වෘකයා: ඔබ මා බොන ජලය කලතා අපිරිසිදු කරන්නේය. ඔබ මාව ප්‍රකෝප කර වන්නේ ය. 

බැටළු පැටියා: නැත ස්වාමීනි, මා ජලය පානය කරන්නේ ඔබ ට පහතින් ය. ඔබ ට ඉහළින් එන ජලය කැලතී අපිරිසිදු වන්නේ නම් එය කොහෙත් ම මා කළ දෙයක් නොවන්නේ ය.

වෘකය: එසේ නම් ඔබ ඇයි මට මෙයට වර්ෂයක ට පෙර නරක නම් පටබැඳ මා අපහාසය ට ලක් කළේ?

බැටළු පැටියා: එය කොහෙත් ම සිදු විය හැක්කක් නොවන්නේ ය ස්වාමීනි! මගේ වයස දැන ට මාස හයක් පමණක් ම වන්නේය. කෙසේ නම් මා මෙය ට වර්ෂයක ට පෙර ඔබ අපහාසයක ට ලක් කරන්න ද?

වෘකයා: මේ කිසිවකින් මට කම් නැත. එය ඔබ නොවන්නේ නම් ඔබේ පියා මට එසේ කළා විය හැක.

මෙසේ පවසා වෘකයා අහිංසක බැටළු පැටියා ව ඩැහැ ගෙන තම අපේක්ෂාව ඉටු කර ගත්තේ ය.

මුස්ලිම් භීතිකාව හා මුස්ලිම් පිළිකුල ඇති කරන්න ට වෙර දරමින් කටයුතු කරන වෛර වැපුරුම් කරුවන් හැසිරෙන්නේ ඉහත උපදේශාත්මක කථාන්තරයේ වෘකයා හැසිරුණු ආකාරය ට බව අප සැම ට පැහැදිලි ව අවබෝධ කර ගත හැකි කරුණක් බව ට පත් වී ඇත.

සාම්ප්‍රදායික හා අන්තවාදී  යනුවෙන් මුස්ලිම් වරුන් අතර වෙනසක් පෙන්වමින් අපට ගැටලු ව ඇත්තේ සංස්කෘතික ආක්‍රමණයක යෙදී සිටින අන්තවාදී මුස්ලිම් වරුන් සමග බව කරුණු ඉදිරිපත් කරති. සාම්ප්‍රදායික මුස්ලිම් වරුන්, එනම් පැරැන්නන්ගෙන් බහුතරයක ට පැහැදිලි ආගමික දැනුමක් තිබුණේ නැති බව අප සැවොම දන්නා කරුණකි. නිවැරදි ආගමික දැනුමක් ලබා ගැනීම ට අවශ්‍යය පහසුකම් එම යුගයේ නොතිබූ බව සත්‍යයකි. එම යුගයේ ඉතා ගැඹුරු ආගමික දැනුමක් ඇති විද්වතුන් සිටියද එම දැනුම බෙදාහදා ගැනීමේ ක්‍රම ඉතා සීමිතව පැවති බව අප සැවොම දන්නා කරුණකි.  

නුතන ලෝකයේ අප සැවොම අත් විඳින තාක්ෂණ හා අනෙකුත් දියුණු ව සමග ඉස්ලාමයේ සත්‍යය ඉගැන්වීම් බහුතරයක ට දැන ගැනීමේ අවස්ථාව උදා වී ඇත. එම දැනුම අනුව තම ජීවිතය නිවැරදි ආචාර ධර්ම හැදියාව සදාචාරය ආධ්‍යාත්මික ගුණ වගාව හා සාර ධර්ම අනුව සකස් කර ගන්න ට බහුතරයක් පෙලඹී සිටිති. මෙම ව්‍යායාමය අන් කිසි දහමක ට හෝ පිරිසක ට හෝ වාර්ගික කොටසක ට හෝ පීඩනයක් ඇති කරවන්න ට හේතු සාධක නොවන්නකි. සැබැවින් ම අන් දහම් හි නායකයින් විසින් කළ යුතු ව තිබෙන්නේ මුස්ලිම් වරුන්ගේ ආධ්‍යාත්මික නැඹුරුවෙන් ආදර්ශයක් ගෙන තම අනුගාමිකයින්වත් එවැනි සාර ධර්ම පිරි සදාචාර සම්පන්න පිරිසක් බව ට පත් කරවන්න ට කටයුතු කිරීම නොවේද? සදාචාර සෝදාපාළුවක ට ලක් වී ඇති වත්මන් සමාජය යහ මග ට යොමු කළ හැකි වන්නේ මුස්ලිම් වරුන් ට අවලාද නගමින් කටයුතු කිරීමෙන් නොව, තම පිරිස හා  අනුගාමිකයින් ව මනුෂ්‍යත්වයේ උසස් ම තලයට යොමු කරවන වැඩ පිළිවෙළක් තමන් විසින් වගකීමෙන් යුක්ත ව ක්‍රියාත්මක කිරීමෙන් නොවේ ද? 

පියා තම දියණිය දුෂණය කරයි, සහෝදරයා තම සොයුරිය දුෂණය කරයි, සීයා තම මිනිබිරිය දුෂණය කරයි, පුජකයා අවුරුදු දොළහක දැරිවිය ලිංගික අපයෝජනය ට ලක් කරයි, අවුරුදු 42 ක කාන්තාව සමුහ දුෂණයක ට ලක් වේ, මත් පැන් බී වෙරිවූ පුජක වරයා පාන් ලොරියක් කොල්ල කයි, මෙවන් නිමක් නොමැති පුවත් දෛනික ව පුවත්පත් මගින් කියවන්නෙමු. පාරම්පරික හා වර්තමාන මුස්ලිම් වරුන් පිළිබඳ ව කතා කරන සැවොම මෙවන් අති භයානක සමාජ පිරිහීම පිළිබඳ ව ගොළුවත රකිති. මෙය ඉතාමත් ම අභාග්‍ය සම්පන්න තත්වයකි. මුස්ලිම් කාන්තාව තම සිරුර සම්පුර්ණයෙන් වැසෙන පරිදි ඇඳුම් අඳින විට ඔවුන් එය සංස්කෘතික ආක්‍රමණයක් ලෙස දකිති. බහුතරයක් තරුණ පිරිස විශේෂයෙන් තරුණියන් බටහිර සංස්කෘතිය ට වහල්වී තම ලිංගේන්ද්‍රියේ හැඩය තම ඇඟ ට ඇලෙන පරිදි ඇඳ ඇති කලිසමින් ඉස්මතු වී පෙනෙන එක පිළිබඳ ව මෙම නායකයින් මුනිවත රකිති. මෙවන් තත්වයක් දකින තරුණයින්ගේ සිත් හි ඇති වන කැලඹිලි සහගත හැඟීම ඔවුන් ව ලිංගික අපචාරයන් ට දිරිගන්වන්නක් බව ඔවුන් නොදැන සිටින්නේ ද කියා අසන්නට කැමැත්තෙමු.

 ජනප්‍රිය සංස්කෘතිය හා ශ්‍රී ලාංකේය සමාජය

වර්තමාන සැමගේ ආකර්ෂණය ට ලක් වී ඇති එමෙන් ම සංස්කෘතිය පදනම් කර ගෙන මුස්ලිම් වරුන් ට අවලාද නගමින් මුස්ලිම් භීතිකාවක් ගොඩ නගන්න ට වෙර දරන්නන්ගේ අවධානය ට ලක් නොවන බටහිර අනුකරණයෙන් ගොඩ නැගුණු ‘ජනප්‍රිය සංස්කෘතිය’ පිළිබඳ ව අදහස් දැක්වීම මෙම මාතෘකාව ට අදාළ යැයි සිතන්නෙමු. මේ පිළිබඳ ව ගුණසිරි වීරසුරිය මහතා විසින් රචිත “සිංහල සමාජය හා සංස්කෘතිය” යන ග්‍රන්ථයෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්න ට කැමැත්තෙමු.

“අපේ සිංහල සාහිත්‍යාවලියේ පුරාණතම ග්‍රන්ථය වශයෙන් අද දින ඉතිරි ව ඇත්තේ ‘සියබස්ලකර’යි. මීට පෙර ලියවුනු කිසිම සිංහල සාහිත්‍ය කෘතියක් අපට හමු නොවේ. මෙම කෘතිය ලියැවී ඇත්තේ නව වැනි සිය වසේ දී පමණ ය. මෙම කෘතියේ ඉතා වැදගත් වන්නා වූ පද්‍යයක් එයි. එය මෙසේ ය.

‘විදු නොසෙවියනු දු           -        පිළි නොසසගින් සජාණන්

නො ඉඳුරන් විසිනු දු          -        වසන් දෙනෙ මිනිස්නට’

මෙහි සාමාන්‍ය අර්ථය වන්නේ විද්‍යාභාස නොකිරීමෙන් ද සුදණන් ඇසුරු නොකිරීමෙන් ද ඉඳුරන් දමනය කර නොගැනීමෙන් ද මිනිසුන් හට ව්‍යසන පැමිණෙන බවයි. මෙම අගනා අදහස අද දිනට නම් ඉතාමත් කාලෝචිතය. විද්‍යාභාස නොකිරීමෙන් ව්‍යසන පැමිණෙන්නේය යන අදහසට කවුරුත් එකඟ වනු ඇත. ඒ අනුව දැනුම් තෙරුම්කම් උගත්කම් ඇතිකරගත නොහැකි වුවහොත් වෙන දේ කවුරුත් දනිති. මන්ද නුගතාට රැකියාවක් කිරීමේ අවස්ථාව නොලැබෙයි. සමාජය තුළ දැනුම් හැඳුනුම්කම් ඇතිකර ගැනීමේ භාග්‍යය නොලැබෙයි. උගත් සමාජයට අඩියක්වත් තබන්නට අවස්ථාවක් නොලැබෙයි. සමාජය තුළින් කොන්වීමට ලක් වෙයි. නුතන වෛචාරණ සමාජ හුරු පුරුදු අතරට කැටි වන්නට නොලැබෙයි. නුතන සමාජය තුළ ආකර්ශනීය වශීකරණයන් එමටය. එයට කියන්නේ ජනප්‍රිය සංස්කෘතිය කියාය. ප්‍රිය සම්භාෂණ වැනි උත්සව මහෝගයන් සමාජය තුළට මෝදු වෙයි. සමාජ සංස්ථාවන් කිති කවන්නට සමත් වෙයි. සංගීත සැඳෑවන් සමාජය තුළ වැහි වැහැලාය. බර්ත්ඩේ පාටි ද විශ්‍රාම යෑමේ පාටි ද අර පාටි ද මේ පාටි ද සුපිරි හෝටල් අංගනයන් තුළ මුලු දෙයි. සමාජ ඇවැතුම් පැවැතුම් උඩු යටිකුරු වෙමින් පවතියි. විප්ලවකාරී වෙනස්වීම් සමාජය තුළට කැන්දන්නට ජනප්‍රිය සංස්කෘතිය ප්‍රාදුර්භූත වෙයි. සමාජ මිමි විප්ලවකාරී වෙනස්වීම් වලින් ආකර්ෂිත වෙයි. හණමිටි ඉවත දැමෙයි. ඒ වෙනුවට මොකක් හෝ අතට අහුවෙන දෙයක් සමාජය තුළ රුවන්නට කැස කැවෙයි. ඒ දෙය විෂම වුවද කම් නැත. සමාජය නිමක් නැති ලෙස දුවන්නට, හති වැටෙන තුරු දුවන්නට ඒ අරුම දෙය උදව් වේ නම් එහි අග මුල සොයන්නේ කුමට ද?

රෑට හෝටලයෙන් කෑම මිනිසුන්ට අභිමත වෙයි. සුමානයකට දවස් දෙක තුනක් ප්‍රිය සම්භාෂණයකට එකතු වූ විට සියල්ල ඇඟට නොදැනී ඉටු වෙයි. නැටුම් ගැයුම් සමග කෑම බීම ද ලැබෙයි. මෙහිදී පුරසාරම් දෙඩුමට අවස්ථාව ද ලැබෙයි. උජාරුකම් කියන්නට ද අවස්ථාව ලැබෙයි. ඇඳගත් ඇඳුම් පැලඳුම් ප්‍රදර්ශනය කිරීමට ද ඉඩප්‍රස්ථා ලැබෙයි. ඇඳුම් ඇඳ ගත්තත් හෙලුවැල්ලෙන් ඉන්නා ලෙස පෙනෙන ජනප්‍රිය සංස්කෘතියේ යුවතියන්ගේ අඟ පසඟ ප්‍රදර්ශනය කිරීමෙන් පස්වනක් ප්‍රීතියෙන් පිනා යන්නට ඔවුන්ට අවස්ථා උදාවෙයි. ඇත්තෙන් බැලු විට මෙය ජනප්‍රිය සන්ස්කෘතියක්මත් නොව සොසේජස් සංස්කෘතියකි. එසේ නොවේ නම් හෙලුවැලි සංස්කෘතියකි.  

උගත් යැයි සම්මත දෙමාපියන් ම තම දුවරුන් ට හෙලුවැල්ලෙන් ඉන්නා ලෙස පෙනෙන ඇඳුම් පැලඳුම් අඳින්න ට අවස්ථාව දෙයි. මේ හෙලුවැලි ඇඳුම් ඇඳගෙන ඔවුන් සමාජගත වන විට කාමාතුර නෙත් දහස් ගණනක් මොවුන් දෙස ඔරවා ඔජවඩමින් ලිංගික උත්තේජනයට පත්වී බලන විට එය නොදකින දෙමාපියන් ආගමික නායකයින් සමාජ ශෝධකයින් ඇත්නම් සත්‍යය වශයෙන්ම එය මානසික ව්‍යාධියමය තත්ත්වයකි. මේ හෙලුවැලි දසුන පළමුවෙන්ම දකින්නේ දෙමාපියන්මය. තම දු සිඟිත්තන්ගේ අඟපසඟ ඔවුන්ටද යම් සුන්දර දසුනක් වනවා විය යුතුය. එය ඔවුන්ට අසුන්දර දසුනක් වේ නම් එය නවත්වන්නට ඔවුන් පෙලඹෙනු ඇත. එහෙත් සමාජයේ බහුතරයක් දෙමාපියන් මේ හෙලුවැලි රුප තම ගෙදර ඉදිරි දොරෙන් එළියට දමයි. එය මහා ගෞරවයක් යැයි ඔවුන් සිතති. සමාජය යන දිසාවට අපිත් යනවා යැයි ඔවූහු නොකියා කියති.

බටහිර ප්‍රජාතන්ත්‍රවාදය ඉහ මුදුණින් ගත් උගත් (නුගත්) දේශපාලකයා අද සමාජය තුළ කේන්ද්‍රීය මිනිසෙකි. බොහෝ දේශපාලකයන් අද සිංහල සමාජය තුළ බටහිර නියෝජනය කරන පිටපත්ය. මොවුන්ගේ ඇවතුම් පැවතුම් බටහිරට ගැතිය. පොදු සිංහලයාට කොකා පෙන්වන මොවුන් කන්නේ බොන්නේ බටහිර පන්නයටය. කුරුඳුවත්ත සංස්කෘතිය උකහා ගන්නට මොවුන් කරන්නේ පුදුම තරමේ අරගලයකි. සිංහල සමාජයේ කේන්ද්‍රීය මිනිසුන් කොටසක් වන මොවුන් දෙවිවරුන් පිරිසක් මෙන් මවා පාන්නට යන්නේ ජනතාවගේ ඉහට උඩිනි. ඔවුහු මහා පාරවල්වල ඉගිල යති. දැසි දසුන් වටකොට මංමාවත් වල යානා පෙරහැරවල් වල ගමන් ගනිති. ඔවුන් අජටාකාශයෙන් එනවුන් මෙනි. හරියට දෙවි දේවතාවුන් පිරිසක් මෙනි. මෙහි අදහස කුමක් ද? තමා ජනතාවට වඩා ඉහළින් සිටින බවකි. තමාගේ ඇවතුම් පැවතුම් ජනතාවට වඩා වෙනස් බවකි. ඔවුන්ගේ සිරිත් විරිත් දිව්‍යමය සුජාත භාවයකින් යුතු බවකි. ජනතාව ඔවුන්ට වන්දනා මාන කළ යුතු බවකි. ඔවුන් ලෙයින් මසින් සැදී සිටියත් ඒවා ජනතාවට ඇති ඒවාට වඩා උසස් පුජනීය තත්ත්වයක ඒවා බවකි.

ඉතිහාසයෙන් සාහිත්‍යයෙන් ඔවුන්ට වැඩක් නැත. මින් පෙර කාලයක දී අපේ මිනිසුන් අත් කරගත් උසස් තත්ත්වය අගනා සභ්‍යත්වය උතුම් උදාරත්වය ඔවුන් නොදකින්නේය. ඒ ගැන වචනයක්වත් දෙඩීමට ඔවුන් නොදන්නේය. අපේ දැය උසස් ශිෂ්ටාචාරයක් වෙත ගෙන ගිය අපේ නිර්මාණයෝ ඔවුහු නොදකින්නෝය. ඒවා නෂ්ටප්‍රාය වී මේ මිහිමතින් නොපෙනී ගියත් ඔවුන්ට ගානක් නැත. ඒ ගැන ඔවුන්ට දුකකුත් නැත. ඔවුන්ගේ හදවත් මේ වැඩක් නැති දෑ ගැන සැලෙන්නේ නැත. කම්පාවන්නේ නැත.

ඉතින් මේ උත්තම සමාජ ව්‍යවහාරය ජනතාවට නම් පුදුම තරමේ උත්තේජනයකි. මහා මිනිසුන්ගේ කියුම් කෙරුම් ගැන සැබැවින්ම ඔවුන්ට හිත වැටිලාය. මෙම සියලු ව්‍යවහාරයන් අනුමත කරන්නට ද ජනතාව පෙලඹී ඇත.

ඉතින් සභ්‍යත්වය සදාචාරය ගැන දේශපාලකයන් කතා නොකරන නිසා ජනතාව ද ඒ ගැන කතා නොකරයි. සාමාන්‍ය පොදු මිනිසුන් මේවා ගැන කතා කරන්නට ගියහොත් කුමක් ද වන්නේ. එවිට වැඩේ වකුරු වී යන්නේය. පොදු මිනිසුන් දියුණුව ගැන ඉතිහාසය ගැන සාහිත්‍යය ගැන සභ්‍යත්වය සදාචාරය ගැන කතා කරන්නට ගියහොත් සියල්ල වෙනස් වන්නේය. එවිට පුරාණ සභ්‍යත්වයේ ගුණාංග මත පිහිටා නවමු සභ්‍යත්වයක් ගොඩ නගන්නට මිනිසුන් උත්සාහ කරනු ඇත. එසේ වුවහොත් මේ සමාජය පරිහානිය වෙතම ඇදගෙන යන මිනිසුන්ගේ වෑයම නිෂ්ඵල වන්නේය. ඔවුන්ට තම බඩගෝස්තර වාදය අත්හැර දමන්නට සිදුවනු ඇත.

එහෙත් සිදුව ඇත්තේ අනෙකකි. අපේ මිනිසුන් තම නිසග සභ්‍යත්වය සදාචාරය අත්හැර දමන්නට සුදානම් වූ සෙයකි. මේ රට කරනා ඔලමොට්ටලයින්ගේ ගොදුරු බවට ජනතාව පත්ව ඇත්තේය. ජනතාවට හිත සුව දෙන ඇවතුම් පැවතුම් ඔවුන් වෙතින් දූරිභූත වන තත්ත්වයක් පෙනී යයි. ජනප්‍රිය සංස්කෘතියෙන්, සොසේජස් සංස්කෘතියෙන් සංකේත වන්නේ මෙයයි.

බොහෝ මාධ්‍යයන් මගින් අවධාරණය කෙරෙන්නේ යම් ජාත්‍යන්තරකරණයක් අවශ්‍යව ඇතැයි යන්නයි. අපේ විලාසිතාවන් ජාත්‍යන්තරකරණය විය යුතුයි. සරම කමිසය ඇඳ එසේ විය නොහැක. නව ඉසවු සොයා යා යුතුය. රෙද්ද හැට්ටෙ ඇඳ ජාත්‍යන්තරකරණය විය නොහැක. ඒවා අවශ්‍ය නම් යම් හෙලුවැලි ස්වරූපයක් ඒවාට ආදේශ කළ යුතු වෙයි. ස්ත්‍රී ස්වරුපයේ බොහෝ තැන් පෙනෙන ලෙස ඇඳීම ජාත්‍යන්තරකරණය වෙත නැගීමට ඇති පියගැට පෙළෙහි යම් පඩි කිහිපයක් නැග්ගා හා සමාන වෙයි. දැනුම ජාත්‍යන්තරකරණය විය යුතුය. මාධ්‍ය ක්‍රමවේදයන් ජාත්‍යන්තරකරණය විය යුතුයි. එහෙයින් බෞද්ධ ගීතයකට වූවත් රුපවාහිනී පෙට්ටියේ පස්ස ගස්සමින් උඩ දමමින් නටන ගැහැනුන්ගේ භාව ප්‍රකෝපිත නැටුම් ජනතාවට පෙන්වීම ඇතැම් අඥානයෝ මහා කෙරුවාවක් යැයි සිතති. මෙවැනි විසුක දස්සන දකින ජනතාව ඉඳුරන් සන්සුන් කර ගන්නේ කෙලෙසදැ’යි පැණයකි. රුපවාහිනී තීරයන් මත වැටෙන ගෝලීයකරණ උන්මාදය ඇතැම් විට ව්‍යාධිත ස්වරූපයක් බව විවරණය කළ හැකි වෙයි.

හැම තැනම ඇත්තේ ඉඳුරන් අවුස්සන, පීඩනයට පත්කරන වශීකරණයන් ය. මෙය හොඳ දෙයක් නම් නොවන්නේය. එය ව්‍යසනයටම හේතුවකි. සිංහල සොසේජස් සංස්කෘතිය අනුව ඔහුගේ පුරුෂාර්ථයන් ආරක්ෂා කර ගැනීම යම් අර්බුදකාරී දෙයක් වුවත් ඒ දෙය ඔහු කළ යුතු වෙයි. එසේ නොවූවහොත් ජාත්‍යන්තරකරණය පස්සේ ගොස් සිංහල සමාජය ව්‍යනුකලනයට පත්වීම සහතික වෙයි.

සිංහල සමාජය සරල අල්පේච්ඡ ජීවිතයකට හුරුව ලබා තිබුණකි. සිංහල ජීවන ක්‍රමයේ මේ සරල සුන්දරකම දූරිභූත වන බවක් දැන් පෙනී යයි. අප සමෘධිමත් විය යුත්තේ ආර්ථික වශයෙන් පමණක් නොව ආධ්‍යාත්මික වශයෙන් මෙන්ම සංස්කෘතික වශයෙන් ද අප සමෘධිමත් විය යුතුයි. ආත්මීය සමෘධියට සරල සිංහල ජීවන ක්‍රමය අතිශයින් ම අත්වැලක් වූයේය. විස්තීර්ණ භාවයට පත් කාමභෝගී බහු භාණ්ඩික ජීවන ක්‍රමය ආධ්‍යාත්මික සමෘධියට මෙන්ම සංස්කෘතික සමෘධියට හේතු නොවන්නේය. එයින් අත් වන්නේ විපරීත භාව ප්‍රකෝපනයක් පමණි. භාව විශෝධනයකට ආත්මීය හර පද්ධතීන් හා පුරුෂාර්ථයන් අවශ්‍ය වෙයි. ආගම් ඇසුරු කිරීම, සෞන්දර්යාත්මක කලාවන් හා මානව ශාස්ත්‍රයන් ඇසුරු කිරීම භාව විශෝධනයකට හේතු වෙයි. ජීවිතයේ දැකිය යුත්තේ එවන් හරවත් දෙයකි”. (පිටු 403 සිට 414 දක්වා ඇති කොටසින් උපුටා ගන්නා ලදී)           

ඉහතින් උපුටා දැක් වූ කොටස පිළිබඳ ව අමුතුවෙන් අටුවා ලිවීමේ අවශ්‍යතාවක් ඇතැයි අපි නොසිතන්නෙමු. මෙම අති භයානක සංස්කෘතික ආක්‍රමණය හා ඉන් මතු වෙන සදාචාර සෝදා පාළුව පිළිබඳ ව ආගමික හා සමාජයීය නායකයින්ගේ නිහැඬියා ව සැබැවින්ම කන් බිහිරි කරවන තරම් ය. නමුත් ඔවුන් ඉස්ලාමීය කාන්තාවගේ තම සිරුර වැසෙන ඇඳුම දකින්නේ අන්තවාදී මුස්ලිමයාගේ සංස්කෘතික ආක්‍රමණයක් සිදු කරන්නක් ලෙස ය. පසළොස් වන සිය වසේ ජීවත් වූ වෑත්තෑවේ මාහිමිපාණන් රචිත ගුත්තිල කාව්‍යයේ එන කවි දෙකක් මෙ යට උපමා ලෙස දකින්නෙමි.

දුරු කර හිරි                                ඔතප්

පෙන්විය දුදන ගුණ                     ගප්

මොහුට අප දුන්                          සිප්

පෙවූ කිරි වැන්න විස ගොර          සප් 

කොපමණ ගුණ                          කළත්

දුදනෝ නොවෙති                        යහපත්

කිරි දියෙහි                                 දෙවියත්

අඟුරු සුදු වන කලෙක් නම්           නැත්

අද අප පත් වී ඇත්තේ “වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමු ද ඒ අමාරුව” යන තත්වය ට නොවේ ද? අහිංසක බැටළු පැටියා භෝජනය ට ගන්න ට ක්‍රියා කළ කපටි වෘකයා මෙන් අද මුස්ලිම් විරෝධීන් විවිධ හේතු ඉදිරිපත් කරමින් සිංහල බෞද්ධ සමාජය නොමග යවන්න ට කටයුතු කරමින් සිටිත්. නමුත් මෙවන් කුටෝපක්‍රම හඳුනා ගැනීම ට බුද්ධිමත් සිංහල බෞද්ධ සමාජය ට සහතික වශයෙන් ම හැකි බව අපි ඉතා හොඳින් දන්නෙමු. නමුත් දුදනන් පිළිබඳ ව අලගියවන්න මුකවැටි පඬිවරයා 1611 දී පමණ රචිත “සුභාෂිත”යේ එන කවියක් පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු.

කුරිරු ගොර සපුන්ගේ දළගෙහි              විසය

මදුරු මැසි කැලන්ගේ තුඩගෙහි              විසය

රුදුරු නුහුසුවන්ගේ වලගෙහි                  විසය

නපුරු දුදනන්ගේ සියොලඟෙහි ම විසය   

 සංස්කෘතිය හා කාන්තා ඇඳුම

මෙය ට කලකට පෙර මුස්ලිම් කාන්තා ව තම ශරීරය වැසෙන්නට ඇඳුම් අඳින විට මුස්ලිම් විරෝධී පාර්ශවයෙන් නැගුනු චෝදනා ව නම් පිරිමින්ගේ බල කිරීම මත ස්ත්‍රීන් ට මෙවැන්නක් කරන්න ට සිදු වී ඇති බව ය. මෙය කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස හුවා දක්වා කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ව සටන් කරන කාන්තා සංවිධාන ද ඔවුන් සමග අත්වැල් බැඳ ගත්හ. මෙහි සැඟවුණු අර්ථය නම් කාන්තා අයිතිවාසිකම් ලෙස ඔවුන් දුටුවේ ස්ත්‍රිය නග්න ව හෝ අර්ධ නග්න භාවයෙන් සිටීම බව නොරහසකි. බටහිර සොසේජස් සංස්කෘතිය වැලඳ ගත් උදවිය සමග අත්වැල් බැඳ ගෙන බෞද්ධ පුත්‍රයන් වහන්සේලා පිරිසක් ස්ත්‍රියගේ නිරුවත පෙන්වමින් මහ මග ගමන් කරන කාන්තා ව පිළිබඳ ව මුනිවත රකිමින් සංවර ශීලී ව තම ශරීරය වසා ගෙන යන කාන්තාව ට අවලාද නැගීම කොතරම් භයානක සමාජ පිරිහීමක් පෙන්වන්නේ ද යන්න පිළිබඳ ව සිතා බැලිය යුතුව තිබෙනවා නොවේ ද? වරෙක කාන්තා ව තම ශරීරය වසා ගැනීම පිරිමින්ගේ බල කිරීමක් ලෙස මොර දුන්නු පිරිස ම කාන්තාව නිරුවත් කිරීමට ඝෝෂා කිරීම කෙතරම් බරපතළ විගඩමක් ද කියා අසන්නට කැමැත්තෙමු. මුස්ලිම් කාන්තාව තම ශරීරය හොඳින් වැසෙන පරිදි ඇඳුම් අඳින්නේ පිරිමින්ගේ “බලපෑම්” නිසා බව ට ඇති මතය  පැහැදිලි කිරීමක් අවශ්‍ය නොවන ඉතාමත් ම  අර්ථ විරහිත අදහසකි. සදාචාර සම්පන්න ස්ත්‍රිය නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ ලැජ්ජ  බය ඇති ව යහ අයුරින් ඇඳුම් අඳින්නට ය. තම ශරීරය හොඳින් වැසෙන්න ට ඇඳුම් අඳින ස්ත්‍රියගේ මනස තුළත් ඇති වන්නේ ලැජ්ජ බය මුසු වූ  තමාගේ චරිතයේ පිරිසිදුභාවය පිළිබඳ හැඟීම් ය. තම ශරීරය හැකි තරම් විවෘත ව තබා ගන්න ට වෙර දරන අයගේ මනසේ ඇත්තේ මෙය ට හාත්පසින් ම වෙනස් වූ තත්ත්වයකි. තම ශරීරය විවෘත ව තබා ගැනීමෙන් දන්නා හා නොදන්නා පිටස්තර පිරිමින්ගේ අනවශ්‍ය අවධානය ට තමා ලක් වන අතර ඔවුන්ගේ ලිංගික අභිලාෂයන්ගේ ඉලක්කයක් බවට ද පත් වීම වළක්වා ගත නොහැකි කරුණක් වනු ඇත. මහ මග පිරිමින්ගේ ආශාව පිරුණු තමා වෙත යොමු වන දෙනෙතින් යහ ස්ත්‍රීන් පත් වන්නේ ඉතාමත් අසීරු තත්ත්වයකට ය. මෙවන් අනවශ්‍ය අවධානයක ට වැඩි පුරම ලක් වන්නේ ශරීරය හොඳින් වසා ගත් ස්ත්‍රීන් ද නැතිනම් අඩනිරුවතින් හා ශරීරයට ම ඇලෙන පරිදි ඇඳුම් ඇඳ මහ මග සැරිසරන ස්ත්‍රීන් ද කියා අසන්න ට කැමැත්තෙමු. වැඩි අවධානය යොමු වන්නේ අඩනිරුවත් ස්ත්‍රීන් කෙරෙහි බව කිසිම සැකයක් නොමැත. මෙවැනි තත්වයන් නිසා ස්වභාවයෙන් ම ශාරීරික ව දුබල ස්ත්‍රිය බොහෝ විට ලිංගික බලහත්කාරකම් හා අතවර වලට ලක් විය හැකි ඉඩකඩ ඉතාමත් ම අධික ය. අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වසා තැබීමෙන් ඇති ඵලය කුමක් ද? හානියක් වන්න ට පෙර නිසි පියවර ගැනීම වැදගත් බව මෙයින් පැහැදිලි නොවන්නේ ද?

පාරම්පරිකත්වය හා නුතනත්වය

නුතන සිංහල සමාජයේ කාන්තාවන් බහුතරයක් බටහිර සොසේජස් සංස්කෘතිය ට වහල් වී ඇති බව නොරහසකි. යහ සිංහල කාන්තාවන් බහුතරයක් ද සිටින බව අප නිහතමානී ව පිළිගන්නෙමු. එලෙස ම මුස්ලිම් කාන්තාවන්ගෙන් කොටසක් ද මෙම බටහිර සංස්කෘතික ආක්‍රමණය ට නතු වී සිටින බව ද නොරහසකි. නුතන මුස්ලිමයා වැරදිය. පාරම්පරික මුස්ලිමයා හොඳය කියන තත්ත්වයේ මුස්ලිම් වරුන් හැටිය ට නුතන සිංහල සමාජය ක්‍රමක්‍රමයෙන් සාරධර්ම පිරිහිණු බටහිර සංස්කෘතිය විසින් ගිල ගෙන ඇති නිසා පාරම්පරික සිංහල සංස්කෘතිය තුළ කාන්තාවගේ ඇඳුම පිළිබඳ ව සොයා බැලීම යුක්ති සහගත යැයි සිතුවෙමු. ඉස්ලාම් දහමේ ඉගැන්වීම් වල ට අනුකූලව සැකසුණු මුස්ලිම් කාන්තා ඇඳුම පිළිබඳ ව අවලාද නගන්නන් සතුටු කිරීම පිණිස අඩු වශයෙන් අපට එවැනි සම්ප්‍රදායක්වත් පිළිපැදිය හැකි ද කියා සොයා බැලීම පිණිස පුරාණ සිංහල කාන්තා ඇඳුම ගැන සොයා බැලීම ට අපට අවශ්‍ය විය. පුරාණ සිංහල කාන්තා ඇඳුම නුතන අසංවර බටහිර සොසේජස් සංස්කෘතියෙන් දුෂණය නොවුවක් බව නොරහසකි. එය පදනම් කර ගෙන හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ වියතාණන් විසින් රචිත “පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම” යන ග්‍රන්ථයෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්න ට කැමැත්තෙමු.

“හැට්ටය ඔසරිය පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම වී යැයි බොහෝ දෙනා අදහති. පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම කුමක් වීදැයි ඇසීම, විහිළුවකයි සමහරු කල්පනා කරති. ලොව පහළ වූ දා සිට ‘සිංහල ස්ත්‍රිය හැට්ටයත් ඔසරියත් හැන්දාය’ යනු ඔවුන්ගේ මතය බැවිනි.

මෑතක දී කරන ලද විහාර බිත්ති සිතුවම් හිත්, සැරසිලි සඳහා කළ වෙනත් සිතුවම් හිත් පුරාණ ස්ත්‍රිය, දැන් අප රට ස්ත්‍රීන් හඳින හැට්ටය,  සාරිය සහ ඇතැම් විට පාවහන්ද හැඳ පැලඳ සිටියි. වර්තමාන සිත්තරුන් ගේ ඒ සිතුවම්හි දක්නා ලැබෙන ඇඳුම් පැලඳුම්, පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම් පැලඳුම් වී යැයි, ඇතැම් විට ඉතිහාසඥයෝ ද පිළි ගනිති. සීගිරි සිතුවම් අනුව යෙමින්, නොවැසූ උඩු කය ඇති ස්ත්‍රියකගේ ස්වරුපයෙන්, මෙකල සිත්තරෙකු විසින් කළ විශාඛා උපාසිකාවගේ සිතුවම දුටු නුගතුන් පමණක් නොව, ඇතැම් උගත්තුද, සිත්තරු ද, දොස් කියන්නට වුහ. ‘විශාඛාව බුදුන් වඳින්නට ගියේ පයෝධර එළියේ දමාගෙනය’යි ඔවුහු පරිහාස බිණුහ.

මෙකල කලිසම් හඳින තැනැත්තේ, හැම තැනදීම ‘මහත්මයා’ යි ගරු නමක් ලබයි. එහෙයින් බොහෝ දෙන, කලිසම සභ්‍ය ජනයාගේ ඇඳුම ලෙස සලකති. ‘යටි කය මෙන් උඩු කය ද වැසෙන සේ හැඳ පැලඳගෙන, මිටි රියනක් විචරත් උස් වූ ශයනයක නොනිඳන තැනැත්තා, සභ්‍යයන් සඞ්ඛ්‍යායෙහි ලා නොගැනේ’ යි වරක් කීයේ යුරෝපීය සිරිත් විරිත් අගය කළ උගත් සිංහලයෙකි.

මෙවැනි මෝඩ මතයන් දැඩිව ගෙන පුරාණ සිංහල ජනයාගේ ඇඳුම් පැලඳුම් විනිශ්චය කරන සමහරු, උඩු කය වැසෙන සේ රෙදි හැට්ට නොහැඳීම, මහා මදිකමකැයි කල්පනා කරති. එහෙයින් ඔවුහු, පුරාණ සිංහල ස්ත්‍රීහු ද පුරුෂයෝ ද ශීත රටින් එන යුරෝපීයයන් මෙන්, ඇඟිලි තුඩු පවා වැසෙන සේ ඇඳුම් ඇන්දෝ යැයි සිතති. මෑතදී කලිසම් කෝට් හඳින්ට පටන් ගත් ඉංග්‍රීසි උගත් තරුණයා, උඩුකය නොවැසෙන සේ හඳින තම පියා අන්‍යන්ට පෙන්වීමට ලැජ්ජිත වෙයි. කලිසන් කෝට් හඳින්නට පුරුදු වූ අපිදු, අපගේ මුතුන් මිත්තන් ට බෙල්ලේ සිට ගොප් ඇටය දක්වාත්, අත් ගොබ කෙළවර දක්වාත්, ඇන්ද වීමට කැමැත්තෙමු. කලිසමින් ‘මහත්තයා’ මනින්නාක් මෙන් මෙකල අපට පුරුදු වූ ඇඳුම් පැලඳුම් අනුව, පුරාණ සිංහලයන්ගේ සභ්‍යත්වය මනින්නට යාම, ඔවුන්ට කරන මහා නින්දාවකි.

අප පැරැණියෝ කලා ශිල්පයෙන් ද දියුණු වුහ. එහෙයින් එකිනෙකට කැපෙන ඇඳුම් සහ ආභරණ හැඳ පැලඳ ගැනීමෙන්, ස්ත්‍රියකගේ හෝ පුරුෂයෙකුගේ හෝ සුන්දර දේහ විලාසයට තුඩු දිය හැකි සැටි ඔවුහු දත්හ. කාලය, දේශය, රස භාවය යන කරුණු නොතකා, ඔවුහු, අප මෙන් අනුන්ගේ ඇඳුම් පැලඳුම් අනුකරණයට ඉක්මන් නොවුහ. ඔවුන්ගේ ඇඳුම් පැලඳුම් විනිශ්චය කළ යුත්තේ වර්තමාන සභ්‍යත්වය හෝ ඇඳුම් පැලඳුම් හෝ අනුව නොවේ, ඔවුන් විසු කාලය, දේශය සහ ඔවුන්ගේ කාලයෙහි සම්භාවිත කලාවන් අනුවය.

මා මේ නිබන්ධය ලියන්නේ, පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම කුමක් වීදැයි පුරාවෘත්තානුසාරයෙන් සෙවීම පිණිසය. පුරාණ කාන්තාවන්ගේ ඇඳුම් පැලඳුම් නිශ්චය කරන්නට, 1. පොතපත, 2. පුරාණ චිත්‍ර, 3. ගල් රුප, 4. ලෝකඩ රුප, 5. ශිලා ලිපි, යන මොවුන්ගෙන් සාක්ෂ්‍ය ලැබිය හැකිය.

ඇඳුම්, පැලඳුම්, විශේෂයෙන් ස්ත්‍රීන්ගේ ඇඳුම් පැලඳුම් කලින් කල වෙනස් වෙයි. මෙකල මෙන් මසින් දෙමසින් නොවුව ද, පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම් පැලඳුම් කලින් කල වෙනස් වී යැයි කියන නිදසුන්, පුරාණ පොතපතින් මෙන් සිතුවම් ආදියෙන් ද දක්නට ලැබේ. ඒ නිදසුන් අනුව පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම් පැලඳුම් පරපුරෙහි දසා පහක් දක්නා ලැබේ.

1.       උඩු කය නොවැසීම

2.       සළුවකින් යටි කය වසාගෙන තවත් රෙදි කඩකින් උඩු කය වැසීම

3.       තනපට බැඳීම, තනපට බැඳ රෙදි කඩකින් උඩු කය වැසීම

4.       හැට්ටයෙන් උඩු කය වැසීම

5.       හැට්ටය හැඳ සාරි පොටින් උඩු කය වැසීම.

මෙයින් එක් දසාවක් අසවල් කාලයේ සිට අසවල් කාලය දක්වා යැයි නිශ්චය කළ හැකි සාක්ෂ්‍ය නොලැබේ. පොත පත කියන කථා වස්තුව කෙතරම් පුරාණ වුව ද, එයින් ලැබෙන සාධක ගත හැක්කේ, ඒ කථා වස්තුව පුස්තකාරුඪ වූ කාලයට අයත් සාක්ෂ්‍ය වශයෙනි. පොත පතින් ලැබෙන සාක්ෂ්‍ය, සමහර කාන්තාවන් උඩු කය නොවැසූ කාලයේ සමහර කාන්තාවන් රෙදි කඩින් උඩු කය වැසූ බව කියයි. පුරාණ හැම සිංහල කාව්‍යයක්ම, තන පට සහ උතුරු සළුව (රෙදි කඩ) ගැන කියයි. එහෙයින්, පොත පතින් ලැබෙන සාක්ෂ්‍ය අනුව, උඩු කය නොවැසීම, රෙදි කඩින් උඩු කය වැසීම සහ තන පට බැඳීම එකම කාලයෙහි ප්‍රචාරිත ඇඳුම් බව නිශ්චය කළ යුතු වේ. හැට්ටය හැඳ සාරි පටින් උඩු කය වැසීම මෑත කාලයෙහි පුරුදු වුණු ඇඳුමකි. පුරාණ පොත පත කියන ස්ත්‍රීන්ගේ උතුරු සළුව, එකස් කොට ළය වසා පෙරවුවක් නොව, දෙවුරය වසා දාගත් රෙදි කඩකි”. (“පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම” - මාර්ටින් වික්‍රමසිංහ - 15-17 පිටු).

මුස්ලිම් විරෝධී ජාත්‍යන්තර වෙබ් අඩවි මගින් කලකට පෙර මතු කරන ලද අදහසක් වූ සාම්ප්‍රදායික හා අන්තවාදී මුස්ලිම් වරුන් ලෙස බෙදීමේ පිළිවෙත ශ්‍රී ලාංකේය මුස්ලිම් විරෝධීන් විසින් අහුලා ගෙන ඇති බව පෙනෙන්නට ඇත. මෙම මතය තම සටන් පාඨය බවට පත් කර ගත්තු ශ්‍රී ලාංකේය මුස්ලිම් විරෝධීන් සාම්ප්‍රදායික මුස්ලිම් වරුන් හොඳය, නුතන මුස්ලිම් වරුන් ත්‍රස්තවාදීන් හා ශ්‍රී ලාංකේය බහුතර සිංහල බෞද්ධ සංස්කෘතිය ආක්‍රමණය කරන්න ට වෙර දරන්නන් ලෙස හඳුන්වා දෙති. මෙම මතය අලෙවි කිරීම සඳහා ඉස්ලාමීය කාන්තා ඇඳුම පළමුවෙන් විවේචනය කළ මෙම උදවිය මුස්ලිම් පිරිමි පාර්ශවයේ රැවුල මෙන්ම ඇඳුම ද විවේචනය කරන්න ට පෙලඹී සිටින බවක් පෙනෙන්නට ඇත. සිංහල රජදරුවන් කිහිප දෙනෙක් ද යටි රැවුල ඇති ව සිටිය බව මෙම පිරිස ට අමතක වී ඇති බවක් පෙනෙන්න ට ඇත. ඉස්ලාමීය දේව නිර්මාණ සංකල්පය විවේචනය කරන මෙම බහුශ්‍රැතයන් පිරිමි ලිංගාග්‍ර චර්මච්චේදනය විවේචනය කරමින් දෙවිඳුන් මෙම අනවශ්‍ය චර්ම කොටස නොමැතිව මිනිසා මැව්වේ නැත්තේ ඇයි දැයි ප්‍රශ්න කරති. එම කොටස මිනිසාගේ ස්වභාවිකත්වයේ කොටසක් බව පවසමින් මෙම චර්මච්චේදනය ප්‍රතික්ෂේප කරති. මෙම තර්කයට ම අනුකුල වන පරිදි පිරිමියා ගේ රැවුල ද මිනිසාගේ ස්වභාවිකත්වයේ කොටසක් ලෙස නොසලකා එය සම්පුර්ණයෙන් ම හෝ උඩුරැවුලේ ඉතා සුළු කොටසක් පමණක් ඉතිරි කර ඉතිරි ය සම්පුර්ණයෙන් ම ඉවත් කර දමති. ස්වාභාවිකත්වයේ තවත් කොටසක් වූ නියපොතු ද තමන්ට අවශ්‍ය පරිදි කපා ඉවත් කරති. ස්වාභාවිකත්වයේ කොටසක් ලෙස එය නොකපා තබා ගැනීම ට ඔවුහු කටයුතු නොකරති. මෙය තමන්ගේ වාසියට හා තම මත වාදය ට සරිලන පරිදි සත්‍යය විකෘත කරමින් කටයුතු කිරීමක් විනා අන් කිසිවක් නොවේ. ‘කන්ඩ හිතුනා ම කබරගොයාත් තලගොයා කර ගැනීම’ වැනි යැයි පැරැන්නන් පැවැසුවේ මෙවැනි ක්‍රියාකාරකම් වලට විය හැක.

සාම්ප්‍රදායික මුස්ලිම් කාන්තාව  නොඇන්ද ඇඳුම් නුතන මුස්ලිම් කාන්තාව ඇඳීම සංස්කෘතික ආක්‍රමණයක් ලෙසත් අරාබි සංස්කෘතිය මෙරට ප්‍රචලිත කිරීමට දරණ උත්සාහයක් ලෙසත් විවේචන මතු වී ඇත. එහෙයින් සාම්ප්‍රදායික සිංහල කාන්තාවගේ ඇඳුම් පිළිබඳ ව විමසුමක යෙදෙන්නට අදහස් කළේ මෙම විවේචකයන් ට වර්තමාන සිංහල කාන්තාව ට සාම්ප්‍රදායික සිංහල කාන්තාවගේ ඇඳුම  හඳුන්වා දීමට හැකියාවක් තිබේ ද යන්න පිළිබඳව සිතා බැලීම ට අවස්ථාවක් ලබා දීම පිණිස ය. වර්තමාන බහුතර කාන්තාවන්ගේ ඇඳුම් පිළිබඳ ව මුනිවත රකිමින් කටයුතු කරන මෙම විවේචකයින්ගේ සැඟවුණු අරමුණු පිළිබඳ ව පාඨකයාට අදහසක් ලබා දීමත් මෙම ලිපියේ අරමුණයි. “ඇඳුම්, පැලඳුම්, විශේෂයෙන් ස්ත්‍රීන්ගේ ඇඳුම් පැළඳුම් කලින් කල වෙනස් වෙයි”, මෙය මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ මතයයි. මෙම වෙනස්වීම නොහොත් ඇඳුමේ පරිණාමය සිදු විය යුත්තේ ස්ත්‍රිය ව වඩාත් නිරුවත් කිරීමේ තත්ත්වයකට ද නැතිනම් ඇය ව වඩාත් සංවර ශීලී තත්ත්වයකට හා ගෞරවයක ට පත් කිරීම ට සුදුසු ඇඳුම් කෙරෙහි ද යන්න අප විසින් සිතා බැලිය යුත්තක් බවට පත් ව ඇත. බටහිර සංස්කෘතිය ට ආවේණික අසංවර කාන්තා ඇඳුම් පිළිබඳ ව නිහැඬියාව හා මුනිවත රකින අපගේ ආගමික හා සමාජ නායකයින් කාන්තාවගේ සංවර ශීලී ඇඳුම් පිළිබඳ ව අවලාද නගන තත්ත්වය ට පත් ව ඇත.      

පිරිමියෙකු ට තම පෙකණියේ සිට දණහිස වැසෙන පරිදි ඇඳුමක් ඇඳීම සදාචාර විරෝධී ක්‍රියාවක් ලෙස කිසිවෙක් දකීවී යැයි අපි නොසිතන්නෙමු. නමුත් එම ඇඳුම ස්ත්‍රියක ට කෙසේ නම් සුදුසු විය හැකි ද? පෙකණියේ සිට දණහිස දක්වා ඇඳුමක් ඇඳ ගත් පිරිමියෙකු තම ගෙවත්තේ වැඩ කරන විට එය අසලින් යන පිටස්තර ස්ත්‍රීන් ට ඔහු කෙරෙහි ලිංගික ආකර්ෂණයක් සිදු නොවන බව අපි ඉතාම හොඳින් දනිමු. නමුත් එම ඇඳුම ම ඇඳ ගෙන ස්ත්‍රියක් එම කාර්යයේ ම නියැළුනහොත් සිදු විය හැකි  කලබගෑනිය පිළිබඳ ව අමුතුවෙන් කිව යුතු වන්නේ ද? මෙයින් පෙනෙන්නේ ස්ත්‍රී පිරිමි දෙකොටසේ ම  ඇඳුම් සම විය නොහැකි බව නොවේ ද?

නුතන මනෝ විද්‍යාව අපට උගන්වන්නේ පුරුෂයින් ට හා ස්ත්‍රීන් ට ලිංගික උත්තේජනය සිදු වන ආකාරයේ වෙනසක් ඇති බව ය. අඩු ඇඳුමින් සැරසුණු පිරිමියෙකු  දැකීමෙන් ස්ත්‍රියකගේ මනසේ ලිංගික පිබිදීමක් ඇති වන්නේ ඉතාමත් ම අල්ප වශයෙන් බවත් ස්පර්ශය තුළින් ඇගේ හැඟීම් අවදිවීම ඉතා අධික ව සිදුවන්නක් බවත් මනෝ විද්‍යා සොයා ගැනීමෙන් තොරව වුවත් අප අත්දකිනා සත්‍ය කරුණකි. අනිත් අතින් අඩු ඇඳුමින් සැරසුණු ස්ත්‍රියකගේ ශරීරය දැකීමෙන් පිරිමියෙකුගේ සිත තුළ ඇති වන රාගික හැඟීම් ඉතාමත් ම අධික බවත් අප දන්නා සත්‍යයකි. නැවත වරක් අප පැවසිය යුතු ව ඇත්තේ තමන්ගේ මව බිරිය දියණිය හෝ සොයුරිය මහ මග බහුතරයකගේ රාගික හැඟීම් ඇවිස්සීමේ ආධාරකයක් බවට පත් වීම සදාචාර සම්පන්න කිසිම පිරිමියෙක් අනුමත කරන ක්‍රියාවක් නොවන බව ය. නමුත් පිටස්තර ස්ත්‍රීන් එසේ තමන්ගේ රාගය ඇති කරවන භාණ්ඩයක් බව ට පත් වීම අපේක්ෂා කරන පිරිමින් ද අප සමාජයේ දක්නට ලැබෙන පොදු ලක්ෂණයක් බව පැවසිය යුතු ව ඇත. මෙවන් ‘රෑ දනියෙල් දවල් මිගෙල්’ චරිත නිසා සිදු වී ඇති හානිය ඉමහත් ය. මනසේ මවා ගත් හරයක් නැති මතවාදයන් ඉදිරිපත් කරමින් සමාජය නොමඟ යවන්න ට යමෙක් කටයුතු කරයි නම් එය ඉතාමත් ම පහත් ක්‍රියාවකි.

මෙම මාතෘකාව ට අදාළ ව නැවත වරක් හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ වියතාණන් විසින් රචිත “පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම” යන ග්‍රන්ථයෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.

“දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ භාෂා ප්‍රභාෂණ ශක්තියෙන් වැඩුනේ ආර්ය භාෂාවන්ගෙන් ලත් පෝෂණයෙනි. එහි ජනයාගේ ආගම ධර්මය, ආර්යයන්ගේ ආගම ධර්මයෙන්ද ආශ්‍රයෙන්ද, සමාජ චාරිත්‍ර ආර්යයන්ගේ සමාජ චාරිත්‍ර  ආශ්‍රයෙන්ද වැඩිණි. සිංහලයන්ගේ බොහෝ සමාජ චාරිත්‍ර හා ඇඳුම් පැලඳුම් ආදිය, කෙළින් ම උතුරු ඉන්දියාවේ ආර්යයන්ගෙන් නොව දකුණු ඉන්දියාවේ ජනයා අතින් දුෂණය වීමෙන් පසු ලැබිණැයි අප අතර මෙකල පවත්නා ඇතැම් ආවාහ විවාහ චාරිත්‍රයන්ගේත් ඇතැම් ආගමික චාරිත්‍රයන්ගේත් අනුසාරයෙන් අනුමාන කළ හැකිය.

පුරාණ සිංහලයන්ගේ ඇඳුම උතුරු ඉන්දියාවේ ජනයාගේ ඇඳුමෙ හි කාලානුරූප විකාශයෙකයි සමහරු කල්පනා කෙරෙති. දේශගුණයෙන් ලංකාව, දකුණු ඉන්දියාව වැන්න. අතීතයේ ඇතැම් වකවානුවක නියංසායෙන් සහ දුර්භික්ෂයෙන් ලංකාව පීඩා ලබන කළ දකුණු ඉන්දියාව ද ඒ උවදුරු දෙකින්  පීඩා වින්දේය. එකනාලික දුර්භික්ෂය වැනි දුර්භික්ෂයක් දකුණු ඉන්දියා ඉතිහාසය ද කියයි (Dr. S.K. Aiyanagar: Contribution of South India, III, 95). චාරිත්‍ර වාරිත්‍ර මෙන් දේශගුණය ද ඇඳුම් සකස් කරවයි. මේ කරුණු අනුව මෙන්ම, පොත පතින් පුරාණ ගල් රූපයෙන් සහ සිතුවම් වලින් ලැබෙන සාක්ෂ්‍යය අනුව ද පුරාණ සිංහලයන්ගේ ඇඳුම් පැලඳුම් දකුණු ඉන්දියාවේ ජනයාගේ ඇඳුම් පැලඳුම් ව්‍යවහාරය ට අනුගුණව සකස් කරනු ලැබියයි කල්පනා කළ හැකි ය. එළාර - දුටුගැමුණු යුද්ධයේ දී ගැමුණු සේනාව දෙමළ සේනාව හැඳින ගත නොහැකිව උනුන් මරා ගත්හයි මහාවංශය කියයි. ගැමුණු කුමාරයා සිය සේනාවට විශේෂ සලකුණු සහිත ඇඳුම් සැපයුයේ මෙයින් පසුවය. දෙමළුන්ගේ ඇඳුම එතරම් වෙනස් නොවී යැයි සිතීමට, මේ කරුණු ද අනුබල දෙයි.

නව වැනි ශත වර්ෂය පමණ වන තුරු කුලීන සිංහල ස්ත්‍රීහු පවා උඩුකය නොවැසුහයි නිශ්චය කළ හැකි සාක්ෂ්‍ය, පුරාණ සිතුවම් වලින් මෙන් පොත පතින් ද ලැබේ. පුරාණ ගල් රූපයන්ගෙන් සහ සිතුවම් වලින් ලැබෙන සාක්ෂ්‍ය, බොහෝ දෙන නොපිළිගනිත්. පුරාණ ශිල්ප සම්ප්‍රදායයන් අනුගමනය කළ බැවින්, ශිල්පීහු උඩුකය නොවැසෙන ඇඳුම් ඇති ව ස්ත්‍රීන්ගේ රූප නෙළුහ; සිත්තම් කළහ. මෙය ගල් රූප සහ පුරාණ සිතුවම් කියන සාක්ෂ්‍ය බැහැර කරන්නවුන්ගේ තර්කයෙකි. ගල් රූපයන්ගෙන් සහ සිතුවමින් ලැබෙන සාක්ෂ්‍ය මෙසේ බැහැර කරතත්, පොත පතින් ලැබෙන සාක්ෂ්‍ය නිසා, ගල් රූපයන් හි පෙනෙන්නේ තත්කාලයෙ හි මිනිසුන්ගේ ඇඳුම් පැලඳුම් බව ඔප්පු වෙයි.

පුරාණ සිංහල කුල ස්ත්‍රිය උඩුකය නොවැසූ බැව් ධම්මපද අට්ඨ කතායෙහි රෝහිණි වස්තුව කියයි. අනුරුද්ධ මහ තෙරණුවෝ කිඹුල්වත් නුවරට වැඩියහ. රෝහිණී නම් උපාසිකාව, ශරීරයෙහි කුෂ්ට රෝගයක් ඇති ව ගත් හෙයින් ලජ්ජායෙන් එහි නොපැමිණ ගෙහි සිටිනු ඇසු අනුරුද්ධ ස්ථවිරයෝ, ‘ඇය කැඳවා ගෙන්ව’ යි වදාළෝය. මහා ස්ථවිරයන් මෙසේ කැඳවා යැවුයෙන් රෝහිණී, තමාගේ  ඇඟ පුරාවූ කුෂ්ට වසා ගැනීමට ඇඟ ලා ගෙන සිටි කඩ කඤ්චුකය (සැට්ටය) ගලවා තබා ස්ථවිරයන් වෙත පැමිණියාය. (ධම්මපද අට්ඨ කථා 479 වැනි පිට: “ථෙරො පක්කො ස්ථානං ඳානිති පක්කො සාපෙත්වා කට කඤ්චුකං පටිමුඤචිත්වා ආගතං එවමාහ-රෝහිණී කස්මා නාගත්රුසීති”

ධම්මපද අට්ඨ කථාවේ එන මේ වාක්‍ය ඛණ්ඩයටත් වඩා, රෝහිණී කථා වස්තුව සිංහලය ට නැඟීමෙහි දී කලින් කල සිදු වූ වෙනස, පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුමෙහි පරිණාමය කියන සාධකයක් මෙන් ගත හැකි ය. ධම්මපද අට්ඨ කථාව පස්වැනි ශත වර්ෂයෙහි පමණ ලියුවකි. ‘ධම්පියා අටුවා ගැට පදය’ දහ වැනි ශත වර්ෂය මුල භාගයෙහි (ක්‍රි.ව. 918 හෝ 929 වැන්නෙහි) ලක් රජය කළ පස්වැනි කාෂ්‍යප රජුන්ගේ කෘතියෙකයි සලකනු ලැබේ. ‘කට කඤ්චුකං පටි මුඤ්චිත්වා ආගතං’ යන ධම්මපද අට්ඨ කථා පාඨය ‘පට්ට කඤ්චුකං පටි මුඤ්චිත්වා ආගතං’ යි ධම්පියා අටුවා ගැටපදයෙහි දක්නා ලැබේ. මේ පාඨය ට ධම්පියා අටුවා ගැටපදය මෙසේ කියයි. “සිව්රොවූ පිලිසෙයනුවට පෙරවී පට කස්ස තුමන් කෙරෙහි ගැවුරින් මුද්‍රා තබා ඇයි යැ” (සර් ඩී.බී. ජයතිලක, ධම්පියා අටුවා ගැටපදය). මෙකල ව්‍යවහාර භාෂාවෙන් කියතොත් ධම්පියා අටුවා ගැටපද පාඨයෙහි අර්ථය මෙසේය. ‘රෝහිණී, තම ඡවි රෝගය වසා ගැනීමට පෙරවී පට සැට්ටය තෙරුන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් උනා තබා උන්වහන්සේ වෙත ට පැමිණියාය’ යනුයි. , රෝහිණී, සැට්ටය උනා තබා ආයේ ‘තෙරුන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන’යි ධම්පියා අටුවාව නොකියයි. ඇය සැට්ටය උනා තබා ආයේ තෙරුන් වහන්සේ කෙරෙහි ගෞරවයෙනයි කියන්නේ, ධම්පියා අටුවාවට අවුරුදු පන්සියයක් පමණ මෙපිටදී කළ ධම්පියා අටුවා ගැට පදයයි. තවත් අවුරුදු දෙතුන් සියයකට පසු මේ පුවත සද්ධර්ම රත්නාවලියෙහි ආරුඪ වන්නේ යළිත් වෙනස් වීමෙනි. “මහ තෙරුන් වහන්සේ ද ‘කැඳවා ගෙන්ව’යි වදාරලා පට කඩ සැට්ටයක් ඇඟ වසා ලා ගෙන ආවවුන්ට ‘හැයි, රෝහිණි, මෙතෙක් දෙන අප විචාරන්ට එන ගමනේ තොපි නාවනැ’යි වදාළ සේක. ‘ස්වාමීනි, හෙළිබසින්ට ලැජ්ජා වන තරම් කුෂ්ට රෝගයෙක් සියල් සිරුරු වසා ඇති විය. ඒ නිසා ලැජ්ජායෙන් නො ආබව මුත්, නිහර සරව නොවෙ යි’ කීහ.”

සද්ධර්ම රත්නාවලිය 13 වැනි ශත වර්ෂයෙහි කරන ලදැයි අනුමාන කරති (ආචාර්ය ගයිගර් සහ සර් ඩී. බී. ජයතිලක). ධම්පියා අටුවා ගැටපදයට අවුරුදු තුන් හාර සියයකින් පසු සද්ධර්ම රත්නාවලිය ලියන කාලයෙහි, කුලීන කාන්තාවන් උඩුකය නොවැසීම, ක්‍රමයෙන් වෙනස් වී ගෙන ගිය විධියක් වුයෙන් සද්ධර්ම රත්නාවලිය කර්තෘහු ගැටපදයෙහි ආ විස්තරය නොතැකුහ යි සිතමි.

කුලීන කාන්තාවන් කෙසේ වෙතත් පොදු සිංහල ස්ත්‍රීහු, ඉතා මෑත කාලය වන තුරු උඩුකය නොවැසුහ. සිංහල කාව්‍යයන්ගෙන් එයට සාධක ලැබේ. 14 වැනි ශත වර්ෂයෙහි ගොපලු ගැහැනුන්ගේ ඇඳුම දනින් උඩ වැසෙන සේ හැඳගත් රෙදි කඩක් පමණි. තිසර සංදේශයේ පද්‍යයක් මෙසේ කියයි.

‘ලෙලවා තන බර ගන රන් කුඹු වැනි දන නෙත්                     වෙළියේ

දුහුලැඳ උඩු දණ මඬල ද සිරිසර පාමින්                                 එළියේ

ගෙරි නවතා යනෙන ගොපලු අඟනන් දැක තුනු                     හෙළියේ

නෙතු සිත සනසමින් සබඳ නොලඟව මොරටුව                      එළියේ.

මොරටු එළියේ ගොපලු ගැහැනුන් ලීලොපෙත පයෝධරයන් එළියට පෙනෙන සේ ද, දනින් උඩ පමණක් වැසෙන සේ දුහුල් හැඳගත්තවුන් බැව් මේ පද්‍ය කියයි.” (“පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම” - මාර්ටින් වික්‍රමසිංහ - 38-42 පිටු).

මෙම කරුණු ගෙන හැර දැක්වුයේ මුස්ලිම් සංස්කෘතික ආක්‍රමණයක් ඇති බව පවසමින් මුස්ලිම් විරෝධී හඬ ඉස්මතු කරන්න ට වෙර දරන්නන් හට කෙසේ නම් තමන්ගේ පාරම්පරික සංස්කෘතිය වෙත ආපසු ගමන් කළ හැක්කේ ද කියා විමසීමට ය. ඉස්ලාමීය සංස්කෘතිය වර්ෂ 1400 කට පමණ පෙර සදාචාර සම්පන්න හා සාරධර්ම සපිරි සමාජයක් ගොඩ නැගීම් අරමුණු කර ගෙන දෙවිඳුන් විසින් පහළ කරන ලද අල් කුර්ආනයේ හා මුහම්මද් ධර්ම දුතයාණන් ගේ අලංකාර පුර්වාදර්ශය පදනම් කර ගෙන ගොඩ නැගුන කි. ඉතිහාසයේ විවිධ සංස්කෘතීන් අතරින් ආ ගමන් මඟ තුළ අන් සංස්කෘතීන්ගෙන් සිදු වූ බලපෑම් මත තම අලංකාර සංස්කෘතිය යම් වෙනස්කම් වලට භාජනය වන්න ට ඇතැයි යන්න මුස්ලිම් වරුන් පිළිගන්නා සත්‍යයකි. එලෙස වෙනස් වූ දුෂිත සංස්කෘතිය සාම්ප්‍රදායික මුස්ලිම් සංස්කෘතිය ලෙස හඳුන් වන්නට ඉස්ලාම් විරෝධීන් උත්සාහ දරති. මුස්ලිම් ජනයා තමන්ගේ සදාචාර සම්පන්න අලංකාර සාම්ප්‍රදායික සංස්කෘතිය වෙත සැබැවින් ම වර්තමානයේ නැඹුරු වෙමින් සිටින බව අප දකිනා කරුණකි. කාන්තා ඇඳුම ස්ත්‍රියගේ ගෞරවය රැකෙන පරිදි සකස් කර ගෙන තිබීම, මස්ජිදය හා ඇති බැඳියාවෙ හි වර්ධනයක් මෙන් ම තරුණ පිරිස අතර සාරධර්ම සපිරි ජීවිත නැඹුරුවක් ඇති වී තිබීම අප අපගේ සාම්ප්‍රදායික ඉස්ලාමීය සංස්කෘතිය වෙත ගමන් කිරීමකි. මෙය අන්තවාදයක් හෝ සංස්කෘතික ආක්‍රමණයක් ලෙස වපර ඇසින් නොබලා මෙම වෙනස් වීම සමාජය සදාචාර සම්පන්න එකක් බවට පරිවර්තනය කරන්න ට කෙතරම් උපකාරී වී ඇති දැයි කරුණාකර මධ්‍යස්ථ මනසකින් යුතු ව විමසා බලා තීරණයක ට එන ලෙස කාරුණික ව ආරාධනා කරන්නෙමු.         

 දැන්වීම්කරණය තුළ කාන්තාව

දැන්වීම්කරණය තුළ කාන්තාව යනු ගස ට පොත්තත්, පොත්ත ට ගසත් මෙනි. ඒ තරමට ම කාන්තාව නොමැති ව දැන්වීමක් ප්‍රචාරණය වනවා දැක ගත නොහැක. ස්ත්‍රී ලාලිත්‍ය සමඟ කිසිදු සම්බන්ධතාවක් නොමැති භාණ්ඩ විකිණීම ට පවා කාන්තා ව යොදා ගන්නේ එබැවිනි. වර්තමානය වන විට වෙළඳ දැන්වීම් අපේ ජීවිත වල අංගයක් බව ට පත් ව ඇත. කාන්තාවගේ හිසේ සිට දෙපතුල දක්වා වර්ණනා කරමින් නිර්මාණය කරන්නා වූ වෙළඳ දැන්වීම් හරහා බොහෝ විට උත්සාහ කරන්නේ වාහනයක ටයරයක් එසේත් නැතිනම් තේ කොළ පැකට් එකක් නැත්නම් බෙහෙත් වර්ගයක් විකිණීමට ය. වර්තමානයේ කාන්තා ව හරහා මෙම නිෂ්පාදන අලෙවි කර ගැනීම ට පෙලඹී ඇත. කාන්තා ව ප්‍රචාරණය ට යොදා ගැනීම තුළින් එය කාන්තාවගේ සමාජයීය ප්‍රතිරූපය ගොඩ නැංවීම ට උත්සාහ දරයි. කාන්තා ව වෙළඳ දැන්වීම් තුළ මවක් බිරිඳක් සහෝදරියක් පෙම්වතියක් යනාදී භූමිකා රඟ දක්වයි.

මේ දින වල රූපවාහිනියෙ හි විකාශනය වන වෙළඳ දැන්වීමක් මීට කදිම නිදසුනක් සපයයි. එහි විස්තර වන්නේ නිවසක අම්මා අසනීප වීම (ඇයට කොන්දේ අමාරුව සෑදීම) නිසා ඉස්කෝලේ යන්නට සැරසී සිටින කුඩා දියණිය ට තම කොණ්ඩය නිසි ලෙස ගොතා ගැනීම ට නොහැකි වීමත් පුංචි පිරිමි දරුවා අත් වැඩට සාදන පුංචි නිවස නිර්මාණය කර ගැනීම ට නොහැකි ව කරදර වීමත් ඒ සමඟම කුස්සියට වී බිත්තර ඔම්ලට් එකක් සාදා ගැනීම ට වෙර දරන පියාගේ එම බිත්තරය බඳුනෙන් බිමට වැටී ගෙදර සිටින බලු පැටියා එය කටින් ඩැහැ ගෙන යන ආකාරයේ සිද්ධි මාලාවකි. මේ සියලුම සිද්ධීන් වැලක් මෙන් ගෙතී ඇත්තේ ගෙදර මවට කොන්දේ අමාරු ව සැදී වැඩ පළ කර ගැනීම ට නොහැකි වීම යන්න මුල් කර ගනිමිනි.

නමුත් මෙහි අවසානයේ කොන්දේ වේදනාව ට අදාළ බෙහෙත් වර්ගය නිසා කොන්දේ අමාරු ව සුව වෙයි. මේ ප්‍රචාරණය හරහා කාන්තා ව යනුවෙන් සමාජය අර්ථ දක්වන ස්ත්‍රිය මෙවැන්නියක් ද යන්න විමසා බැලිය යුතුය. එනම් කාන්තා ව යනු මෙහෙකාරියක් ද? නැතිනම් ඇයද පිරිමින් හා සම ව වැඩෙ හි නිරත වන්නියක් ද යන්න අප පැහැදිලි කර ගත යුතුය. කාන්තා ව නිවසේ නොමැති විට හෝ ඇය අසනීප වූ විට තම කාර්යයන් නිසි පරිදි ඉටු කර ගැනීම ට නොහැකි පිරිමින් මේ සමාජයේ කොතෙකුත් සිටිත් ද? ඒ අය මේ රූප රාමුවෙ හි වෙනසක් නොදකිති. නමුත් ස්ත්‍රිය පිළිබඳ සංවේදී, ස්ත්‍රි පුරුෂ සමාජභාවය පිළිබඳ අවබෝධය ඇත්තෙකු ට නම් මෙහි ඇති ආකල්පම ය අරුත වටහා ගත හැකිය. මෙවන් ප්‍රචාරණයන් හරහා සමාජගත කිරීමට උත්සාහ දරන වැරදි අර්ථ කතනයන් නිසා නිවසේ සිට රූපවාහිනිය නරඹන පුංචි දරුවාගේ මනස ට ඇතුළු වන්නේ ද ගෙදර මව නිවසේ සියලු කටයුතු ඇගේ අත් දෙකින් ම කළ යුතු බවයි. නමුත් අප දැන් එම ආකල්ප වෙනස් කළ යුතුය. පිරිමියා ද නිවසේ කාර්යයන් සඳහා සහය දිය යුතුය යන ආකල්පය සමාජ ගත කළ යුතුය. නමුත් ඉහත විස්තර කරන ලද සිද්ධි මාලාව ට කාන්තාව වෙනුව ට පිරිමියකු ආදේශ කළේ නම් එය සියල්ලන්ගේම හාස්‍යයට ලක් වෙනු ඇත. මේ මිනිහ ට පිස්සු යැයි කෙනෙකු කියන්න ට වුව ද පුළුවන.

අනෙක් අතට අඩ නිරුවත් කාන්තාව පැද්දි පැද්දී යන්නේ ටයරයෙ හි ඇති වටිනාකම පෙන්වීමට ය. තවත් අවස්ථාවක මෙට්ටයක් උඩ තරුණියක අඩ නිරුවතින් වැතිරී සිටින්නේ මෙට්ටයේ පවතින සිනිඳු පහස ඉස්මතු කිරීමට ය. පිරිමියාගේ සුවඳ විලවුන් වර්ගයේ සුවඳ ට ඇදී එන තරුණිය පිරිමියාගේ සුවඳ ට වශී වී ඔහු ව ස්පර්ශ කරන්නේ ඉතා සරාගී ආකාරයෙනි. මෙවැනි වෙළඳ දැන්වීම් හරහා පාඨකයන් ට විඳින්න ලැබෙන්නේ ලිංගික තෘප්තිය මිස වෙන කුමක් ද? ඉහත ප්‍රචාරණයන් හරහා සමාජය ට දෙනු ලබන්නේ කාන්තා ව ළඳ බොළඳ මට සිලුටු මෘදු සමාජය පිළිබඳ නිසි අවබොධයක් නොමැති තැනැත්තියක් බවයි. කාන්තා ව එබඳු ද? නැතිනම් ඇයත් පිරිමියා මෙන් ම සමාන හැකියාවන් ඇති කුසලතාවන්ගෙන් පිරිපුන් තැනැත්තියක් නොවන්නේ ද? මේ පිළිබඳ අප විමසිය යුත්තේ මෙවන් අදහස් සමාජය වෙත පොම්ප කරන වෙළඳ දැන්වීම් කරුවාගෙන් ය. සමාජය කාන්තා ව දකින්නේ එබඳු ඇසකින්නම් අප කුමක් කරන්න ද යන්න ඔහුගේ පිළිතුරයි. නමුත් එය වෙනස් කිරීමේ භාරදූර වගකීමෙන් වැඩි කොටසක් පැටවෙන්නේ ද ඔහුටම ය. මන්ද යත් විද්‍යුත් මාධ්‍යය වර්තමානයේ මිනිස් ජීවිත වලට සමීප වී ඇත්තේ ප්‍රධාන අහාර වේල් තුන හා සමානව ය.

කාන්තාව භාණ්ඩයක් ලෙස වෙළඳපළ තුළට ඉදිරිපත් කිරීම පුරුෂයා ට සාපේක්ෂ ව බහුල ව දැකිය හැකිය. පිරිමින් සම්බන්ධිත රූප රාමු වල දී ඔවුන් ඉතා කඩිසර නිර්භීත උසස් චරිත ලක්ෂණ වලින් හෙබි අය ලෙස පෙන්වීමට උත්සාහ දරන අතර ගැහැනියගේ මෘදු මොළොක් බව සියුමැලි කම රූමත්කම හා එයින් මතු වන ලිංගික ආකර්ෂණය පමණක් ඉස්මතු කිරීමට උත්සාහ දරයි. පුරුෂයා තුළ පවතින කඩිසරකම පෙන්වීම ට වේගවත් සංගීත රිද්මයක් යොදා ගැනීමත් කාන්තාවගේ මන්දගාමී බව පෙන්වීමට ඒ හා සමාන සංගීත රටාවක් උපකාර කර ගනිති. මේ ක්‍රමය තුළින් වෙළඳ භාණ්ඩ ය විකුණා ගැනීම ට පාරිභෝගිකයා තුළ උනන්දුවක් ඇති කරනවා මෙන් ම කාන්තා ව කෙරෙහි ඇති සමාජ මතය තහවුරු කිරීම ද සිදු වේ.

තරඟකාරී වෙළඳ පොළ තුළ ලාභය පසු පස හඹා යෑමේ තරගයෙන් ජය ගැනීම ට ස්ත්‍රීත්වය පාවිච්චි කිරීම අද යුහුසුලුව සිදු වන්නකි. ස්වභාවයෙන් ම ස්ත්‍රීය ට හිමි ලාලිත්‍ය අද සුලභ අලෙවි භාණ්ඩයකි. අද සමාජය තුළ ස්ත්‍රිය පිළිබඳ ආකල්පය ඉතා පහත් මට්ටමක ට ඇද දැමීමට මෙය හේතුවකි. ලොව සුන්දර ම වස්තුවක් වන ගැහැනිය ඇය පිළිබඳ වන සමාජ ආකල්පය හරහා මෙවන් පහත් අඩියක ට ඇද දැමීම ට වර්තමාන වෙළඳ දැන්වීම්කරුවා උත්සාහ ගැනීම සමස්ත සමාජයේ ම පිරිහීම සනිටුහන් කරන්නකි.

 ඓහිකත්වය හෙවත් සෙකියුලැරිසම් (secularism) යනු කුමක් ද?

 සමාප්තිය

සංස්කෘතිය හා සමාජ ඝර්ෂණ යන මාතෘකාව යටතේ අපට ප්‍රයෝජනවත් හා අදාළ යැයි හැඟෙන විවිධ කරුණු පදනම් කර ගෙන මෙම ලිපිය සකස් කිරීමට කටයුතු කළේ සැබැවින් ම මූලික හරය පිළිබඳ දැනුවත් වීමක ට මෙම අනුබද්ධිත මාතෘකාවන් ආධාරකයක් බවට පත් වේවි යන අදහසිනි.