අවසාන නබිවරයා මුහම්මද් (සල්) තුමාණෝ ()

ජාසිම් බි දඉයාන්

මුහම්මද් (සල්) තුමාණන්ගේ ජීවිත කථාව නොයෙක් ග්රින්ථයන් ගෙන් රැස් කරගත් විස්තර තුළින් ඉදිරි පත් කෙරේ.

|

 අවසාන නබිවරයා මුහම්මද් (සල්) තුමාණෝ

محمد ﷺ خاتم الأنبياء والمرسلين

විෂය සටහන

1.   පෙරවදන

2.  අන්ධකාර යුගය

3.  නබිත්වය ලබන්නට පෙර

4.  නබිත්වය ලැබීමෙන් පසුව

5.  මදීනා නුවරෙහි

6.  බද්ර් හී තීරණාත්මක සටන             

7.  උහුද් සටන

8.  හඃන්දක් යුද්ධය

9.  බනු කුරෙයිසාzවරු වෙතට යෑම

10.  හුදෙයිබියා සාම ගිවිසුම

11.   කඃයිබර් කරා ගිය ගමන

12.  රජවරු සහ පාලකවරුන්ට ආරාධනා

13.  මක්කාව ජය ගැනීම

14.  හුනෙයින් සටන

15.  තායිෆ් වැටලීම

16.  තබූක් සටන

17.  නියෝජිතයින්ගේ වසර

18.  සමු ගැනීමේ හජ් වන්දනාව

19.  නබි (සල්) තුමාගේ චරිතය සහ ගති පැවතුම්

20.  රසූල් (සල්) තුමාගේ මරණය


 පෙරවදන

        අවසාන රසූල් මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි ව සල්ලම්) තුමාණන්ගේ ජීවිත කථාවෙන් ඉස්ලාමයේ ඉතිහාසය ආරම්භවිය. ඉස්ලාමිය ඇරයුම පටන් ගත් ආරම්භක යුගයේ තිබු ඓතිහාසික පසුබිම, ආගමක් හෝ දහමක් නොමැතිව නොමග ගොස් පාපයේ ගිලී අශීලාචාරව ජීවත් වූ පැරණි සමාජය, ඔවුන්ට අල්ලාහ් අනුමත කළ ආලෝකමත් මාර්ගය ඔස්සේ රැගෙන යනු පිණිස මුහම්මද් (සල්) වරයා සමඟ සහාබාවරු දැරූ වේදනා සහ ඔවුන් කළ පරිත්‍යාග යන විස්තර සමහරක් මෙහි සඳහන් කෙරේ.

        ආරම්භක මුස්ලිම්වරුන්ගේ කඳුළු, ආර්ථික, කායික සහ ජීවිත පරිත්‍යාග මත ගොඩ නැගු අල්ලාහ්ගේ දහම පිළිබඳ දැනුම ලැබීමෙන්, අපට ලැබු අගනා දායාදය ගැන පහදා ගන්නා අතර එය අගය කිරීමෙන් අපේ ඊමානයද ඉන්ෂා අල්ලාහ් තර කර ගත හැකිවනු ඇත.

        සමාජයේ පැන නගින සෑම ප‍්‍රශ්නයටම මුහම්මද් (සල්) වරයාගේ ජීවිත කථාවෙහි අලංකාරවත් ආදර්ශ තිබේ. ඒවා ගැන ඉගෙන ගන්නා මුස්ලිම්වරු, අල්ලාහ්ගේ දහම නිසියාකාරව අවබෝධ කර ගත් අතර, ඒ තුළින් නොයෙකුත් ප‍්‍රශ්න වලට විසඳුම් ලබා ගත්හ. පරාජයක් දුටු විට ක්ෂණික කෝපයට සහ සිත් තැවිල්ලට පත්වන වර්තමාන ජනතාව, ඉවසීමේ සීමාව දක්වා ගමන් කළ රසූල් (සල්) තුමාගේ ජීවිතයෙන් අගනා පාඩමක් ලබන බවද නිසැකයි.

        ෂෙය්ක්ඃ සෙයියද් අබුල් හසන් අලි නද්වි ගේ පොත සිංහලයට පරිවර්තන කළ නමුත්  මුහම්මද් (සල්) වරයාගේ ජීවිත කථාවේ සහ ඉස්ලාමිය ඉතිහාසයේ වැදගත් කරුණු කිහිපයක් එහි අඩංගු නොවූ හේතුවෙන්, ඒවා සවිස්තරව ලිවීමට තවත් ග‍්‍රන්ථ කිහිපයකින් තොරතුරු උපුටා ගත්තෙමි. ලාංකික මුස්ලිම්වරුන්ට ඉස්ලාමය පිළිබඳ නිවැරදි දැනුම ලබා දෙනු පිණිස මෙම කුඩා පොත පහසු භාෂා ශෛලියෙන් ලියන ලදී. මුහම්මද් (සල්) තුමා ගැන ඉස්ලාමයට එරෙහි මාධ්‍ය විසින් පතුරුවන බොරු ප‍්‍රචාර සහ වැරදි මත තුරන් කර මෙම කුඩා පොත් පිංචයෙන් සත්‍යය තොරතුරු ඉදිරිපත් කළ හැකිවේ යයි සිතමි.

        මෙම පොත පරිවර්තනය කිරීමට සහාය වූ සෑම කෙනෙකුටම අල්ලාහ් ගේ ආශීර්වාදය පතමි. සියලු විශ්ව මවා ආරක්ෂා හා පෝෂණය කරන්නා වූ අල්ලාහ්ට සියලු ප‍්‍රශංසා හිමි වේවා. අවසාන නබි මුහම්මද් (සල්) තුමාට එතුමාගේ පවුලේ අයට සහ එතුමාව අනුගමනය කළ සියලු දෙනාට සාමය සහ සහනය හිමිවේවා.

                                                  ජාසිම් ඉබ්න් දඉයාන්

 අන්ධකාර යුගය

පැරණි ආගම්

ආගමෙහි අරමුණ මිනිසාට යහ මඟ පෙන්වීමයි. තමා මැවු දෙවියන් වහන්සේට නැමදුම් කර ඔහුගේ අණට එකඟව සමාජයේ සාමයෙන් ජීවත් වීමට මඟ පෙන්වනු පිණිස සෑම ජාතීන්ට ඔවුනතරින්ම යහපත් පුද්ගලයෝ බිහි කරනු ලැබුවෝය. මෙවැනි යහපත් පුද්ගලයෝ  නබිවරු, රසූල්වරු, අනාගත වකතෘවරු හෝ දිවැසිවරු යනුවෙන් හඳුන්වන ලදී. නබිවරයෙකුගේ මරණයෙන් පසු ජනතාව නොමඟ යන විට ඔවුනට යළි මඟ පෙන්වනු පිණිස තවත් නබිවරයෙක් යවනු ලබයි. මෙය අල්ලාහ්ගේ කරුණාවෙන් නිතර සිදුවු දැයකි. මේ අයුරින් ආදම් (අලෙ) තුමා පටන් ලක්ෂයකට අධික නබිවරු සහ රසූල්වරු ලොවට එවනු ලැබුවෝය. මේ උතුම් ගුරුවරු කිසිවෙක් තමාට වැඳ පුදන ලෙස කිසිවිටක අණ කළේ නැත.

අල්ලාහ්ගේ නබිවරයෙකු වූ මරියම් තුමියගේ පුත‍්‍රයා ඊසා (අලෙයි) තුමාට පසුව දිගු කාලයක් ලොවට නබිවරයෙක් පැමිණියේ නැත. පූජක පක්ෂයේ වෙනස් කිරීම්වලටද විවිධ අය තමන්ට කැමති ආකාරයට අර්ථ කථනය දීමටද ලක්වීමෙන් ජේසු තුමා ගෙන ආ දහම සීයකටත් අධික නිකාය වශයෙන් වෙන්විය. ක්‍රිස්තු තුමාගේ පැහැදිලි  ඉගැන්වීම් පවා  නිහඬ වුණි.

එක්තරා ගෝත‍්‍රිකයට පමණක් සීමා වු ජුදා ආගම ලොවේ අන් ජාතීන් කිසිවකට මෛත‍්‍රිය පවා දැක්වුයේ නැත. චාරිත‍්‍ර සහ රෙගුලාසි පමණක් සඳහන් කරන, කරුණාව හෝ ප‍්‍රාණයක් විරහිත සමාජයක් බවට යුදෙව් ජාතින්ද පත් වූහ.

පර්සියාවේ මාජියන් ආගමිකයෝ ගින්නට වැඳුම්  පිදුම් කළහ. ඔවුන් ගින්නට පූජා ස්ථාන සහ චෛත්‍ය ඉදි කළ නමුත් එයින් පිටත තමන්ට කැමති ආකාරයට ජීවත් වූහ. අවනාසයේ මාජියන් ආගමිකයෝ හා ආගමක් හෝ දහමක් නොමැති සමාජයක් අතර කිසි දු වෙනසක් දකින්නට නොතිබුණි.

ඉන්දියාවෙන් ආරම්භ වී ආසියාවේ විශාලව පැතිරී ගිය බෞද්ධාගම පවා, මිථ්‍යා දෘෂ්ටික හින්දු දෙව් වරුන් ඇදහීම ඇතුළත් කරමින් වෙනස් වුණි.

ඉන්දියාවේ පැරණි ආගම වන හින්දු ආගම, කෝටි ගණන් දෙව්වරු හා පිළිමයන්ගෙන්ද, ආගම අනුමත කළ අසාධාරණ කුල භේදයෙන්ද හැඳින්වුණි.  කුල භේදයේ නාමයෙන් සමාජයේ ආසාධාරණකම්ද ගසාකෑමද දිනපතා සිදු විය. උසස් කුලයට අයත් 2% පිරිස ආගමික හා පාලන බලය අත්පත් කර ගෙන රටේ ඉතිරි ජන කොටසට කිසිදු අනුකම්පාවක් දැක්වුයේ නැත.

මෙම පැරණි ආගම් හි පොදුවේ දක්නට තිබුණු විශේෂ ලක්ෂණය වුයේ එම ආගම් පැතිරුණු ප‍්‍රදේශයන්හී තම ආගමේ ප‍්‍රථම ගුරුවරයාගේ පිළිම ඉදිවීමයි. එයට අමතරව සමාජයේ යහපත් සේවයක් කළ පුද්ගලයින් මරණයෙන් පසුව දෙවිවරු බව පත් වූ බව විශ්වාස කර ඔවුන්ටද පිළිම ඉදිකර පූජා කරති.

මැද පෙරදිග අරාබි වරුන්ද, මිථ්‍යා දෘෂ්ටික දේවතාවන් ඇදහීමේද පිළිම වන්දනාවෙහි ද යෙදුනු අතර පැරණි ඉන්දියාවේ මිථ්‍යා දෘෂ්ටිකයන් අතර පවා මෙවැන්නක් දකින්නට නොතිබුණි. අල්ලාහ්ට අමතරව අනිත් අයට වැඳ පුදමින් අල්ලාහ්ට සමානයක් තැබීමේ ෂිර්ක් නම් පාපයේ අරාබි වරුද නිරතවුහ. සෑම ගෝත‍්‍රයකටම, ගමකටම සහ පළාතකටම එක් එක් පිළිමයක් තිබුණි. සෑම ගෙයක් පාසා පෞද්ගලිකව පූජා කිරීමට පිළිමයක් බැගින් තිබුණි. ඒක දේව නැමදුම සඳහා ඉබ්රාහීම් (අලෙ) තුමා මක්කාවේ ඉදි කළ කඅබාව තුළ පවා නොයෙකුත් පිළිම තිබුණු අතර, කඅබාව වටා පිළිම තුන් සීය හැටක් පිහිටුවා තිබුණි. ඔවුන් වෙළඳ ගමනේ යන විට පිටිවලින් පිළිම සාදා රැගෙන යති. ඔවුන් ගෙන ගිය ආහාරය මගදී අවසන් වුවහොත් තමා ගෙන ගිය පිළිමය කෑමට ගති.

අරාබි දේශය

අරාබි වරුන්ගේ පැවැත්මද මිලේච්ඡ භාවයට පත්වී සූරා සහ සූදු වැනි පාපයන්හට ඔවුන් ප‍්‍රධාන තැන දුන්හ. තමාට දාව උපන් ගැහැනු දරුවන් පණ පිටින් වැළලීමේ අධම ක්‍රියාවන් තුළින් ඔවුන්ගේ කෲරකමේ සීමාව වටහා ගත හැක. මංකොල්ල සහ මහමග සොරකම් එහි සුලබව පැතිර තිබුණි. දේපොළ හා සිව්පාවුන් මෙන් කැමති කෙනෙකුට හිමි කර ගත හැකි භාණ්ඩයක් බවට කාන්තාවන්ගේ තත්ත්වය පිරිහී තිබුණි. පිරිමියෙකුට හිමි කර ගත හැකි බිරියන් ප්‍රමාණයට සීමාවක් නොතිබුණි.

දූෂණය

කෙටියෙන් පැවසුවහොත් මුළු මිනිස් සමාජයම විනාශය කරා ගමන් කරමින් සිටි අවධියකි. ඔවුන් තම මැවුම්කරු ගැන අමතක කර තමන් ගැන, තම අනාගතය ගැන හෝ තම ඉරණම ගැන කිසිදු තැකීමකින් තොරව ජීවත් වූහ. හොඳ හා නරක අතරද අලංකාරය හා අවලක්ෂනය අතරද ඇති වෙනස හඳුනා ගැනීමට පවා ඔවුන්ට නොහැකි විය. ලොව සෑම තැනකම පාහේ ආගම ගැන කිසිඳු තැකීමක් නොතිබුණා මෙන්ම නැමදුමෙහිදී දෙවියන් වහන්සේට යමක් ආදේශ නොකළ කිසිවෙක් නොවීය. මෙම තත්ත්වය ගැන අල්ලාහ් අල් කුර්ආනයේ සඳහන් කළේ මෙසේය. “මිනිසුන් සැපයු දැය කරුණකොට, දියෙහිද, ගොඩෙහි ද පීඩා ඇති විය. ඔවුන් කළ ක්‍රියාවෙන් කොටසක් ඔවුන්ට අගු බලවනු පිණිසත් ඔවුන් පසුතැවිලිවී හැරෙනු පිණිසත්.“ (දුන්නෙමු) අල් කුර්ආන් 30 : 41

අරාබිකරයට නබිවරයෙක් එවනු ලබයි

ඉස්ලාමයේ ඇරයුම ලබන්නද, ලොවේ සෑම තැනකටම එම නිවේදනය ගෙන යන්නටද, අල්ලාහ් අරාබි ජාතිය තෝරා ගත්තේය. අරාබි වරු ඉතා සාමාන්‍ය සිතුවිලි සහිත ජනතාව වූ අතර, ඉවත් කළ නොහැකි අවුල් සහගත තර්ක කිසිවක් ඔවුන් තුළ නොතිබුණි. එවකට දියුණුවු ග‍්‍රීක්, පාර්සි සහ ඉන්දියානු  ජාතීන් තම විද්‍යාව හා සාහිත්‍ය පිළිබඳ දැනුම සහ ශිෂ්ටාචාර ගැන උඩඟුවෙන් ජීවත් වු කලෙක, කාන්තාරයේ වාසය කිරීමට අවශ්‍ය සාමාන්‍ය සම්ප‍්‍රදාය පමණක් සහිතව අරාබිවරු ජීවත් වුහ. මේවා සම්පූර්ණයෙන් ඉවත් කර, අරාබිවරුන්ට නව දර්ශනක් දීම අපහසු කාර්යයක් නොවුණි.

අරාබිවරු ස්වාභාවික ජීවිතයට හුරු වූ සමාජයකි. යම් කරුණක සත්‍යතාව පැහැදිලි නොවූවිට, එයට විරුද්ධව උග‍්‍රව සටන් කරති. එහෙත් ඔවුන්ගේ සැක හා වැරදි මත දුරු වූ පසු නව ආරම්භය සතුටින් පිළි ගත් අතර එය වෙනුවෙන් තම ජීවිතය පවා පරිත්‍යාග කරන්නට පසුබට නොවුහ. ඔවුන් අවංක හා විශ්වාසවන්ත ගති සහිත වූ ශක්තිමත් සහ ධෛර්යමත් වූවන් මෙන්ම අශ්වාරෝහක ශිලපයේ දක්ෂයෝද වුහ. මේවා සියල්ලට අමතරව තමා භාර ගත් දැයක් ඉටු කිරීමේදී දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කළහ.

අරාබියේ මක්කා නගරයේ ඉබ‍්‍රාහීම් (අලෙහිස් සලාම්) තුමා, ඉස්මායිල් (අලෙ) තුමා සමග නිර්මාණය කළ කඅබාව පිහිටා තිබේ. එහිදී අල්ලාහ්ට පමණක් වැඳුම් පිදුම් කළ යුතු අතර, ඒක දේවවාදය කරා ඇරයුම කරන මධ්‍ය ස්ථානයක් බවට එම නගරය සදා කල් පවති. ඒකදේවවාදය නම් තව්හීදය පිළිම වන්දනාව සහ බහු දේව නැමදුම් ක‍්‍රමයට හාත්පසින් වෙනස්ය. (අල්ලාහ් යනු අරාබි වචනයකි). එහි තේරුම, මුළු විශ්වය මවා ආරක්ෂා කරන්නා වූ එකම දෙවියන් වහන්සේ යන්නයි. දෙවියන් වහන්සේට පිළිමයක් නැත. ඔහුව දුටු කිසිවෙක් නැත.)

“ඇත්තෙන්ම, මිනිසුන්ට (නැමදුමට) තනනු ලැබූ පළමුවන නිවස මක්කාවෙහිය. ඒ ගෙය (යහපත් දැයින්) සම්පූර්ණවූද, ලෝ වැසියන්ට යහ මඟ පෙන්වන්නා වූද අධි ආශීර්වාදයද සහිතයි.“ අල් කුර්ආන් 3 : 96..

 නබිත්වය ලබන්නට පෙර

මක්කාව සහ කුරෙයිෂිවරු

දීර්ඝ ගමනක අවසානයේ ගසක් කොලයක් නොමැති වියළි, ගල්කඳු දෙකක් අතරවු මක්කා නම් මිටියාවතට ඉබ‍්‍රාහීම් (අලෙ) තුමා පැමිණියේය. එහි ජලය නොමැති නිසා ගසක් කොළයක් වුවත් නොවැඩුණු හේතුවෙන් මිනිස් වාසයට සුදුසු තැනත් නොවිය. ලොවේ සෑම තැනම පැතිරී පැවතුනු පිළිම වන්දනා ක‍්‍රමයෙන් ඉවත්ව තම බිරිඳ හාජර්ද පුත‍්‍රයා ඉස්මායිල්ද රැගෙන, ඉබ‍්‍රාහීම් (අලෙ) තුමා යන ගමන එය වේ. අල්ලාහ්ට පමණක් නැමදුම් කරන ඒක දේවවාදය කෙරෙහි ආරාධනා කරන මධ්‍ය ස්ථානයක් පිහිටුවීම එතුමාගේ අරමුණවිය. යහමග පෙන්වන ප‍්‍රදීපයක් හා සාමය දෙන ආරක්ෂා සහිත ස්ථානයක් වන මෙම නගරය සැබෑ බැතිමත්කම සහ යහපත්කම සහිතව අනාගතයේ බැබළෙන්නේය.

ඉබ‍්‍රාහීම් (අලෙ) තුමාගේ මෙම අරමුණ අල්ලාහ් පිළිගෙන එම ස්ථානයට ආශීර්වාද කරනු ලැබීය. ජීවත් වීමට නුසුදුසු මෙම පෙදෙස අතහැර ඉබ‍්‍රාහීම් (අලෙ) තුමා ඉවත්ව ගියපසු, එතුමාගේ කුඩා පවුලට, දිය උල්පතකින් ජීවිතයට අවශ්‍ය ජලය ලැබුණි. ඉබ්‍රාහීම් (අලෙ) තුමාගේ බිරිය හාජර් තුමිය සහ පුත්‍රයා ඉස්මායිල් මිනිස් සමාජයෙන් ඈත්ව මෙම වියළි ස්ථානයේ අසරණ ලෙස ජීවත් වුහ. සzම් සzම් නැමැති එම උල්පතින්, අල්ලාහ්ගේ ආශීර්වාදයෙන් අද පවා විශාල ජන සංඛ්‍යාවක් එම ජලය පානය කිරීමටත්, ලොවේ සෑම රටකටම රැගෙන යැමටත් හැකිවී තිබේ.

මෙසේ ඉස්මායිල් හැදී වැඩී එන කාලයේ, ඉබ‍්‍රාහීම් (අලෙ) තුමා ඔවුන් බැලීමට පැමිණියේය. එතුමාට සිහිනයකින් අල්ලාහ් පෙන්නුම් කළ පරිදි තම පුත‍්‍රයා කෙරෙහි තිබෙන ආදරයට වඩා අල්ලාහ් කෙරෙහි ඇති ආදරය උසස් බව පෙන්වනු පිණිස තම එකම පුත‍්‍රයා වන ඉස්මායිල්ව අල්ලාහ්ට පරිත්‍යාග කිරීමට සැරසුණි. අල්ලාහ්ගේ අණ ඉටු කළ යුතු බවට ඉස්මායිල්ද එකඟ විය. එහෙත් ඔහු වෙනුවට ස්වර්ගයෙන් බැටළුවෙක් සපයා, එය කපා පරිත්‍යාග කරන්නට සලසා, අල්ලාහ් ඔහු ආරක්ෂා කළේය. ඉස්මායිල්ගේ ජීවිතය රැක ගැනීමෙන් අල්ලාහ් කෙරෙහි ආරාධනා කිරීමට තම පියාට සහය වීමටද, ලොවට අවසානව පැමිණි උතුම් නබි මුහම්මද් (සල්) වරයා බිහි වූ පරම්පරාවට ආරම්භ කරුවෙකු වීමටද, අවස්ථාව ලැබුණි. කලකට පසුව, ඉබ‍්‍රාහීම් (අලෙ) තවත් වරක් මක්කාවට පැමිණ, තම පුතනුවන් සමඟ එක්ව අල්ලාහ්ගේ නිවස වන කඅබාව ගොඩ නැගුවේය. එම නිවස භාරගන්නා ලෙසද, එම ක්‍රියාව පිළිගන්නා ලෙසද, අල්ලාහ්ගෙන් දෙදෙනාම ප‍්‍රාර්ථනා කළහ. තවද, ඉස්ලාමය තුළ ජීවත් වී, ඉස්ලාමය තුළ මිය යෑමේ අවස්ථාව දෙන ලෙසද, තම මරණයෙන් පසුව ඉස්ලාමය අඛන්ඩව පවතින්නටද අල්ලාහ්ගෙන් ප‍්‍රාර්ථනා කළහ. ඉබ‍්‍රාහීම් (අලෙ) තුමා දුන් ඇරයුම නැවත සිහි කර, එතුමා පටන්ගත් කටයුත්ත අවසන් කරනු පිණිස, එම පරපුර තුළින් නබිවරයෙක බිහි කරන ලෙසද අල්ලාහ් ගෙන් යාච්ඤා කළහ.

අල් කුර්ආනයේ අල්ලාහ් මෙසේ පවසයි. “මගේ පරමාධිපතියානනි, මෙම නගරය (මක්කාව) ආරක්ෂා සහිත ස්ථානයක් බවට හා එහි වැසියන් අතරින් අල්ලාහ් ගැනද, අවසාන දිනය ගැනද විශ්වාස කරන අයට පලාඵල දෙන ලෙස (ඉබ‍්‍රාහීම්) කී කල්හී, යමෙක් විශ්වාස නොකරේද ඔහුටත් සුළු කලක් මම සංග‍්‍රහ කරන්නෙමි. පසුව ඔහු අපාය ගින්නෙහි වේදනාවට පත් කරන්නෙමි. ඉතා නපුරුය එම නවාතැන. යයි ඔහුට (අල්ලාහ්) කීවේය.“

“ඉබ‍්‍රාහීම් සහ ඉස්මායිල් කඅබාවේ අත්තිවාරම තනා, ‘අප පරමාධිපතියානනි, මෙම යහකම අපෙන් පිළිගනු මැනවි. සියල්ල අසන්නා හා සියල්ල දන්නේ ඔබමය.‘ (ලෙස පැතුවෝය.) “අපගේ පරමාධිපත්යානනි, අප දෙදෙනා ඔබට කීකරුවුවන් කරනු මැනවි. අපගෙන් පැවත එන්නවුන්ද ඔබට කීකරු වූ ජාතියක් කරනු මැනවි. ඇත්තෙන්ම, ඔබ අධික සමාව දෙන්නේය. දයාලුය.“

“අප පරමාධිපත්යානනි, ඔබගේ සංඥාවන් ඔවුන්ට ප‍්‍රකාශ කරන්නාවූද, ඔබේ ග‍්‍රන්ථයද, අණ පනත්ද හදාරන්නාවුන් ඔවුන් පිරිසිදු කරන්නාවූද, රසූල්වරයෙක් ඔවුන් අතරින් පහළ කරනු මැනවි. බලසම්පන්නයෙන් හා ඥානයෙන් අති උසස් ඔබ පමණි.“ අල් කුර්ආන් 2: 126 සිට 129 දක්වා.

එම පරපුරේ බිහි වූ අයට අල්ලාහ් ආශීර්වාද කිරීමෙන් ඒ පවුල එම නිසරු නිම්න භූමියෙහි වර්ධනය වුහ. ඉස්මායිල් (අලෙ) තුමාට පසුව පැමිණි අද්නාන් නම් කෙනෙකුට දරුවෝ බොහෝ දෙනෙක් සිටියෝය. එම දරුවන් අතර ෆිහ්ර් ඉබ්න් මාලික් නම් කෙනෙක් එම ගෝත‍්‍රයේ ගෞරවය ලත් නායකයෙක් විය. ෆිහ්ර්ගේ පරපුරෙන් පැමිණි කුසෙයි ඉබ්න් කිලාබ් මක්කාවේ පාලනය සහ කඅබාවේ යතුර භාරව සිටියෙකි. මක්කාවට පැමිණෙන වන්දනාකරුවන්ට ආහාර හා zසම් zසම් ජලය නොමිලේ සපයන කටයුතු භාරව සිටි ඔහුට, ඔහුගේ ගෝත‍්‍රයේ අය කීකරුව ක්‍රියා කළහ. මක්කාවේ සිටි රදල පිරිස සාකච්ඡා සඳහා රැස් වන විට සභාපති වශයෙන් කටයුතු කළ කුසෙයි යුද්ධයට ගමන් කරන සේනාවේ ධජය භාරව සිටි අතර මක්කාවේ සියලු කටයුතු පාලනය කළේය.

කුසෙයිගේ පුත‍්‍රයෝ අතර අබ්ද් මනාෆ් මහත් කීර්තියක් දැරූ අතර වැඩිමහල් පුතු වන හාෂිම් තම ජනතාව අතර උසස් ස්ථානයක් ලැබුවේය. මක්කාවට පැමිණෙන වන්දනාකරුවන්ට ආහාර හා ජලය සැපයීමේ කාර්ය භාරව ඔහු සිටියේය. හාෂිම්ගේ පුත‍්‍රයා අබ්දුල් මුත්තලිබ් අල්ලාහ්ගේ අවසාන රසූල්වරයාගේ සීයා වේ. අබ්දුල් මුත්තලිබ්ගේ ජනයා ඔහුට මහත් ගෞරවය හා විශේෂ ආදරයක් දැක්වූහ. තම පැරණි මුතුන් මිත්තන්ට වඩා ඔවුනතර ඔහු ජනප‍්‍රිය විය.

ෆිහ්ර් ඉබ්න් මාලික් ගෙන් පැවති අය කුරෙයිෂිවරු ලෙස හැඳින්වනු ලැබුහ. එම නාමය පළාත් වාසීන් අතර ප‍්‍රබල වීමෙන්, එය තම ගෝත‍්‍රයේ නම වශයෙන් ඔවුන් යොදා ගත්හ. අරාබිවරු සියලු දෙනාම කුරෙයිෂිවරුන්ගේ උසස් පෙළපත ගැන හොඳ අවබෝධයකින් සිටියහ. ඔවුන්ගේ කථිකත්වය, කරුණාවන්තභාවය සහ නිර්භීතකම ගැන කවුරුත් දනීවි.

මක්කාවේ පිළිම වන්දනාව

කුරෙයිෂි ජනයා අතර අම්ර් ඉබ්න් ලූහෙයි නම් තැනැත්තා නායකයා වශයෙන් පත් වන තුරු, ඉබ්රාහීම් (අලෙ) සහ ඉස්මායීල් (අලෙ) තුමන් දේශනා කළ ඒක දේවවාදය පිළිගෙන අල්ලාහ්ට පමණක් වැඳුම් පිදුම් කරමින් කුරෙයිෂිවරු ජීවත්වූහ. ඉබ්රාහීම් (අලෙ) තුමාගේ දහමෙන් බැහැරව ගිය අම්ර් ඉබ්න් ලූහෙයි පිළිම තනා ඒවාට වැඳුම් පිදුම් කළේය. වරක් මක්කාවේ සිට සිරියා දේශයට වෙළඳාම සඳහා ගිය ඔහු එම රටවැසියෝ පිළිම වලට වැඳුම් පිදුම් කරනු දැක විස්මයට පත් වී ඒවායින් පිළිම සමහරක් රැගෙනවිත් මක්කාවේ තබා ඒවාට පුද පූජා කරන ලෙස තම ජනතාවට අණ කළේය. සමහර කුරෙයිෂිවරු මක්කාවෙන් පිටතට යන විට හරම් ලෙස හැඳින්වන කඅබා අවට ප‍්‍රදේශයෙන් එම ස්ථානයට දක්වන ගෞරවය හේතුකොට ගෙන කුඩා ගල් කැබැල්ලක් දෙකක් රැගෙන යෑම සිරිතකි. ඉන් අනතුරුව ඕනෑම ගලකට වැඳුම් පිදුම් කරන්නට මාර්ගය විවෘත ව්ය. ඔවුන්ට පසුව පැමිණි පරපුර කුරෙයිෂිවරු ගල් කැබලි වලට ගෞරවය දක්වන හේතු කිසිවක් නොදැන තම අවට ප‍්‍රදේශයේ ජනයා මෙන් පිළිම වන්දනාවේ යෙදෙන්නට පටන් ගත්හ.

ඇතාගේ සිද්ධිය

මෙම කාලයේ සිදු වූ වැදගත් කරුණක් එයට වඩා ඉතා වැදගත් දෙයක් සිදුවීමට පෙරනිමිත්තක් පෙන්නුම් කළේය.  අරාබිවරුන්ට උසස් අනාගතයක්ද අන් කිසිම පූජා ස්ථානයකට නොලැබු වැදගක් තැනක් කඅබාවට දීමටද අල්ලාහ් මාර්ගය සලස්වන බව එයින් පෙනී ගියේය.

අබිසීනියාවේ නේගස් රජතුමාගේ නියෝජිත අබ්රාහා අල් අශ්රම් යෙමන් පෙදෙස පාලනය කළ අතර එහිදී කිතුනු දේව ස්ථානයක් නිර්මාණය කර එයට අල් කුල්ලායිස් යයි නම් කළේය. අරාබි වන්දනාකරුවන් යෙමන් රටේ සනආ නුවරට ගෙන්වා ගැනීම ඔහුගේ අරමුණ විය. වන්දනාකරුවෝ මක්කාවේ කඅබාව වෙත යෑම ක්‍රිස්තු බැතිමතෙකු වූ ඔහුගේ ඊර්ෂ්‍යාවට හේතුවීමෙන් එම ගෞරවය ක්‍රිස්තියානු දෙව් මැදුරට ලැබිය යුතු බව ඔහු බලාපොරොත්තු විය.

අරාබිවරුන්ට මෙම පුවත අසාධාරණ එකක් විය. කඅබාවට ඔවුන් දක්වන ආදරයට හා ගෞරවයට තවත් ස්ථානයක් සමාන කළ නොහැක. ඒ ගැන සිතීම පවා ඔවුන්ට අපහසුයි. මෙම පුවත ගැන තමන් අතර දිගින් දිගට සාකච්ඡා කළහ. මේ අතර, කිනානා ගෝත‍්‍රයට අයත් කෙනෙක්, එම දේව ස්ථානයට හොර රහසේ ඇතුළු වී එය අපවිත‍්‍ර කළේය. මේ ගැන ආරංචිවී මහත් කෝපයට පත් වූ අබ්රාහා කඅබාව සම්පූර්ණයෙන් විනාශ කරන තුරු නිදා නොගන්නා බවට තරයේ ප‍්‍රකාශ කළේය.

අලි ඇතුන් සහිත විශාල සේනාවක් රැගෙන ඔහු මක්කාව කරා ගමන ඇරඹීය. යෙමන් හා මක්කාව අතර තිබෙන සුළු රාජ්‍ය සියල්ල පරාජයට පත් කළ ඔහු මක්කා අවට තාවකාලිකව ලැඟුම් ගත්තේය. අලියෙක් දැක නැති නමුත් ඔවුන් ගැන තොරතුරු අසා ඇති මක්කාවාසීන් බියට හා අසහනයට පත් වුහ. අබ්රාහාගේ සේනාවේ ගමනට බාධා කිරීම ඔවුන්ට අවශ්‍ය වුවත් එම සේනාව හා සටන් කිරීමට නොහැකි බව ඔවුන් වටහා ගත්හ. කඅබාවේ අධිපති වන අල්ලාහ් එය රැකගන්නා බව තරයේ විශ්වාස කළ ඔවුන් සියලු කරුණු අල්ලාහ්ට භාර කළෝය. නබිතුමාගේ සීයා වන අබ්දුල් මුත්තලිබ් අබ්රාහා සමග කළ සාකච්ඡාවෙන් මෙම විශ්වාසය පැහැදිලිව දැක ගත හැක. අබ‍්‍රාහාගේ සේනාවට අයත් පිරිසක් අබ්දුල් මුත්තාලිබ්ගේ ඔටුවෝ දෙසීයක් අල්ලා ගැනීමෙන් අබ්රාහා සමඟ කථා කරන්නට අබ්දුල් මුත්තලිබ් අනුමැතිය ඉල්ලූවේය. ඔහුට ගෞරවයෙන් සැලකු අබ්රාහා තම රාජාසනයෙන් බැසවිත් අමුත්තා අසල වාඩි වී තමා දැක ගන්නට ආ හේතුව කුමක්දැයි විමසු විට “මාගේ ඔටුවෝ දෙසීය ආපසු දෙන ලෙස ඉල්ලීමට ආවෙමි.“ යයි අබ්දුල් මුත්තලිබ් පිළිතුරු දුන්නේය.

මෙම කථාව ඇසු අබ‍්‍රාහා පුදුමයට පත් විය. “ඔබ සහ ඔබේ මුතුන් මිත්තන්ගේ ආගම රැඳී පවතින දෙව් මැදුර ගැන කිසිවක් කථා නොකර, ඔබේ ඔටුවන් දෙසීයක් ගැන පමණක් කථා කිරීමට ඔබ අදහස් කරන්නේද? ඒ මැදුර විනාශ කිරීමට මම පැමිණ සිටින නමුත් ඔබ ඒ ගැන කිසිවක් කථා කරන්නේ නැද්දැ?“යි අබ්රාහා විමසුවේය. “ඔටුවන්ගේ හිමිකරු මමයි. එම දෙව් මැදුරට හිමිකරුවෙක් සිටියි. ඔහු එය රැක ගන්නේය.“ යනුවෙන් අබ්දුල් මුත්තලිබ් පිළිතුරු දුන්නේය.

“මට එරෙහිව එය රැකගන්නට කිසිවෙකුට නොහැක.“ යනුවෙන් අබ‍්‍රාහා තරයෙන් පැවසු විට “එය බලා ගත හැකි වේ“ යයි අබ්දුල් මුත්තලිබ් පිළිතුරු දී ඉවත ගියේය.

අබ්රාහාගේ සේනාව මක්කාවට ලඟාවීමත් සමගම බියට පත් වූ කුරෙයිෂිවරු මක්කා නගරය අතහැර කඳු මුදුන් හා අවට ප්‍රදේශ වලට ගොස් සැඟවුණෝය. දේව් මැදුර අල්ලාහ් රැක ගන්නේ කෙසේදැයි දැන ගන්නට, බියෙන් හා ඉතා උනන්දුවෙන් බලා සිටියෝය. කුරෙයිෂිවරු පිරිසක් සමග අබ්දුල් මුත්තලිබ් කඅබා දොර මත අත තබා අබ‍්‍රාහාගෙන් සහ ඔහුගේ බලවත් සේනාවෙන් රැකවරණය දෙන ලෙස බැගෑපත්ව යාචිඤා කළේය.

මක්කාවට ඇතුලු වන අදහසින් අබ්රාහා තම සේනාව සූදානම් කළේය. ඔහුගේ මහ්මූද් නම් ඇතා ඉදිරියට ගෙනෙන ලදී. එහෙත් පාර මැද වාඩි වූ ඇතා එතැනින් සෙලවුණේ නැත. සේනාව නොයෙකුත් උපක‍්‍රම යෙදු නමුත් ඉදිරියට අඩියක්වත් නොතැබු ඇතා යෙමන් දෙසට හැර වු විගස ගමන් කරන්නට විය. එදින අල්ලාහ් කුරුලු රෑනක් මුහුදෙන් එව්වේය. සෑම කුරුල්ලෙකුම කකුලේ කුඩා ගල් කැටයක් රැගෙන පියඹා ආවෝය. ඒ කුඩා ගල් කැටය අබ‍්‍රාහාගේ සෙබළුන්ගේ සිරුරේ වැදුනු විගස ඔවුන් ජීවිතක්ෂයට පත් වුහ. මහත් බියට පත් වූ අබිසීනියා සේනාව හැරී දුවන්නට වූ නමුත් ගල් ප‍්‍රහාරය දිගින් දිගට වැදුනි. අබ‍්‍රාහාද බරපතළ ලෙස තුවාල විය. ඔහුගේ එක් එක් අවයවන් සිරුරෙන් වෙන්වී බිම වැටුණි. යෙමන් රටේ සනආ නුවරට ගෙන ගිය පසු, මහත් වේදනා සහිත මරණයට ඔහු ලක්විය.

මේ වැදගත් සිද්ධිය පිළිබඳව අල් කුර්ආන් මෙසේ පවසයි. “ඔබේ පරමාධිපති, ඇතාගේ සහායකයන්හට කුමක් කළේදැයි ඔබ නොදුටුවේද? ඔහු ඔවුන්ගේ කුමන්ත‍්‍රණය නොමඟ යැව්වේ නැත්ද? ඔහු අබාබීල්  කුරුල්ලන් රංචුවක් එව්වේය. උණු කළ මැටි කැට ගල් ඔවුන් මත හෙළමින්, ඔහු ගවයන් කෑ ගොයමක් ලෙස ඔවුන් පත් කළේය.“ අල් කුර්ආන් 105: 1 සිට 5 දක්වා.

අබිසීනියාවෙන් පැමිණි සේනාව අල්ලාහ් පලවා හැරීමෙන්, අරාබිවරු අතර කුරෙයිෂිවරුන්ගේ ගෞරවය තවත් වැඩි විය. “මේ අල්ලාහ්ගේ ජනයාවෙති. අල්ලාහ් ඔවුන්ට පක්ෂව යුද්ධ කර ඔවුන්ගේ සතුරන් පරාජයට පත් කළේය.“ යි අරාබිවරු කීහ.

මේ සිද්ධිය ඉතාමත් වැදගත් ලෙස අරාබිවරු සැලකු අතර එයට හේතුවක්ද ඇත. මාස හෝ දිනය දන්නා ඔවුන් තම වසර ගණනය කිරීම එතැනින් පටන් ගත්හ. යම් කරුණක් සිදු වූ විට, ‘මෙය ඇත් වසරේ සිදුවුණි.‘ හෝ ‘කෙනෙක් ඇත් වසරේ ඉපදුණේය.‘ හෝ ‘ඇත් වසරෙන් බොහෝ කලකට පසුව මෙය සිදුවුණි.‘ යනුවෙන් සඳහන් කරන්නට පුරුදු වුහ. ක්‍රිස්තු වසර 570 ඇත් වසර බව සලකන්න.

අබ්දුල්ලාහ් සහ ආමිනා

කුරෙයිෂි නායක අබ්දුල් මුත්තලිබ්ට පුත‍්‍රයෝ දස දෙනෙකි. අවසාන පුත‍්‍රයා වන අබ්දුල්ලාහ් යහපත් ගුණාංගයන් ගෙන් යුත් කෙනෙකු වූ අතර ඔහුගේ පියා ඔහුට බනු zසුහ්රා ගෝත‍්‍රයේ නායක වහ්බ්ගේ දියණිය වන අමීනා සමඟ විවාහ කර දුන්නේය. එම කාලයේ පෙළපතින් සහ පැවැත්මෙන් කුරෙයිෂිවරු අතර ඇය උසස්තම තරුණියකි.

දිගු කාලයක් යන්නට පෙර ගැබ්ගත් ආමිනා තනි කර දමා අබ්දුල්ලාහ් මිය ගියේය. ආමිනා ගැබ් ගෙන සිටියේ අල්ලාහ්ගේ රසූල් වරයාවේ. එම පුත‍්‍රයා වැදගත් පුද්ගලයෙකු වන බවට සලකුණු කිහිපයක් එතුමිය දුටුවාය.

උසස් පෙළපතේ වංශවත් උපත

අල්ලාහ්ගේ රසූල්වරයා ඇත් වසරේ (ක්‍රිස්තු වසර 570) රබි උල් අව්වල් මස 12 වන දින සඳුදා ජනිත විය. එය ප‍්‍රීතිමත් දිනයකි. එතුමාගේ පෙළපතේ මුතුන් මිත්තන් නබි ඉබ්රාහීම් (අලෙ) දක්වා සොයා ගත හැක. එතුමාගේ පෙළපතේ සම්පූර්ණ නාමය මෙසේය. මුහම්මද් ඉබ්න් අබ්දුල්ලාහ්, ඉබ්න් අබ්දුල් මුත්තලිබ්, ඉබ්න් හාෂිම්, ඉබ්න් මනාෆ්, ඉබ්න් කුසෙයි, ඉබ්න් කිලාබ්, ඉබ්න් මුර්රාහ්, ඉබ්න් අකබ්, ඉබ්න් ලූඅයි, ඉබ්න් ගාලිබ්, ඉබ්න් ෆිහ්ර්, ඉබ්න් මාලික්, ඉබ්න් අන් නද්ර්, ඉබ්න් කිනානාහ්, ඉබ්න් කුසෙයිමාහ්, ඉබ්න් මුද්‍රිකා, ඉබ්න් ඉල්යාස්, ඉබ්න් මුදාර්, ඉබ්න් නිzසා, ඉබ්න් මආද්, ඉබ්න් අද්නාන් යන්නයි. අද්නාන්ගේ පරපුර ඉබ්රාහීම් (අලෙ) තුමාගේ පුත‍්‍රයා වන ඉස්මායිල් (අලෙ) තුමාගෙන් පැවැති පිරිස වේ. ඉබ්න් යන වචනයේ තේරුම පුත‍්‍රයාවේ. එනම් අබ්දුල්ලාහ්ගේ පුත‍්‍රයා වන මුහම්මද් බව සලකන්න. තම පැළපත් නාමයේ ඉතිහාසය අරාබිවරු ඉතා ආඩම්බරයෙන් පවසති.

මුහම්මද් තුමාගේ මව දරුවාගේ උපත ගැන දන්වා සීයා වන අබ්දුල් මුත්තලිබ්ට  පණිවුඩයක් එව්වාය. එතුමා පැමිණ ළදරුවා බොහෝ ආදරයෙන් වඩාගෙන කඅබාව අසලට ගියේය. අල්ලාහ්ට මහත්සේ ප‍්‍රශංසා කර එම ළදරුවා සඳහා යාච්ඤා කර ඔහුට මුහම්මද් යයි නම් කළේය. මේ නම එයට පෙර අසා නැති අරාබිවරු එයින් පුදුමයට පත් වුහ.

ළදරු කාලය

එම කාලයේ කුඩා දරුවෝ නගරයෙන් ඔබ්බෙහි ස්වාභාවික පරිසරයේ හැදී වැඩෙනු පිණිස කිරි දෙන මව්වරුනන්ට භාර දීම මක්කා නගර වාසීන්ගේ සිරිතකි. සියලු දරුවන්ට වඩා තමා ආදරය දක්වන පියා අහිමි වූ මුනුබුරාට කිරි දී හදා  වඩා ගනු පිණිස කිරි දෙන මවක් අබ්දුල් මුත්තලිබ් සෙව්වේය. මෙම වාසනාව හිමි වූ හලීමා අස් සාදියා නම් කාන්තාවද අනෙක් කාන්තාවන් මෙන් දරුවෙක් සොයා නිවසෙන් පිටත් වුවාය. එම වසරෙහි බලවත් ඉඩෝරයක් පැවැති නිසා, ඇගේ අය මහත් දුෂ්කරතාවට පත්වීමෙන් ඔවුන්ට ආදායම් මාර්ගයක් අවශ්‍යවිය. පියෙක් නැති අනාථ දරුවෙකුට කිරි පෙවීමෙන් වැඩි ආදායමක් ලබා ගත නොහැකි නිසා කිරි මව්වරු කිහිප දෙනෙක් මෙම ළදරුවා දෙස බලා ඉවත ගියෝය. ‘අනාථ දරුවෙක්ද? ඔහුගේ මවටයි, සීයාටයි තුමක් කළ හැකිද?‘ යනුවෙන් ඔවුන් කථා කර ගත්හ.

හලීමා තුමියද මුලදී මෙම දරුවා අතහැර ඉවත ගිය නමුත් ඇගේ හදවත ඔහු වෙත ඇදී ගියේය. ඇගේ සිත් තුළ මේ දරුවා කෙරෙහි ආදරයක් අල්ලාහ් බිහි කිරීමෙන් ඇය ආපසු පැමිණ දරුවා වඩා ගත්තාය. ඒ මොහොත දක්වා ඇය ඉතා අවාසනාවන්ත තත්ත්වයක සිටියද දැන් අල්ලාහ්ගේ ආශීර්වාද කිහිපයක් ඈ දුටුවාය. ඇගේ ගවයන්ගේ තන බුරුල්ලෙන්ද ඇගෙන්ද, කිරි වැරීමට පටන් ගත්තේය. ඇගේ මහලු කොටළුවාද කොරවී සිටි බූරුවාද යළි ශක්තිමත්වුණි. ‘හලීමා, ඔබ වාසනාවන්ත ළදරුවෙක් තෝරා ගත්තේය.‘ යි සැවෝම පැවසු අතර, ඇතැම් මිතුරියෝ ඇයට ඊර්ෂ්‍යයාද කළහ.

ඒ ළදරුවා බනු සඅද් ගෝත‍්‍රය අතර හැදී වැඩී කිරි වැරීම සිදු වූ දෙවසර මුළුල්ලේම ඇයට මෙම සෞභාග්‍ය අඩු නොවී තිබුණි. මේ ළදරුවා අනෙක් ළමයින්ට වඩා වෙනත් ආකාරයට හැදී වැඩුණේය. දෙවසර අවසානයේ හලීමා ඒ ළදරුවා රැගෙන ආමිනා වෙතට ගොස් තව ටික කලකට තමා ළඟ තබා ගැනීමට හැකිදැයි විමසු විට ආමිනාද එකඟ වුවාය.

අනාගතයේ රසූල්වරයෙකු වූ ඒ දරුවා බනු සඅද් ජනයා අතර සිටින කළ මලාඉකාවරු (දේවදූත) දෙදෙනෙක් පැමිණ ඔහුගේ පපුව විවෘත කොට ඔහුගේ හදවතෙන් කළු පැහැති කොටසක් ඉවත් කර හදවත නැවත තබා ආපසු පපුව වසා දැමුහ. මෙය ෂක් අල් සද්ර් ලෙස හැඳින් වේ.

මුහම්මද් කුඩා කාලයේ එම නිවසේ සිටිනා අනෙකුත් දරුවන් සමඟ එළුවන් බලාගනිමින් අවුල් හෝ පැටලිලි නොමැති ස්වාභාවික පරිසරයක හැදී වැඩුණේය. පිරිසිදු අරාබි බස කථා කිරීමට දක්ෂ බව ප‍්‍රසිද්ධ වූ බනු සඅද් ඉබ්න් බක්ර් ජනයා අතර වැඩුණු මුහම්මද් ඒ භාෂාව කථා කරමින් කාන්තාරයේ ස්වභාවික පරිසරයට හිත කර ලෙස ජීවත්විය. ඔහු සෑම කෙනෙක් සමඟ සුහදව ජීවත්වීමෙන්, ඔවුන් අතර ජනප‍්‍රියවිය. එම නිවසෙහි සිටි අනෙකුත් සොයුරු සොයුරියන්ද ඔහුට පි‍්‍රය කළ අතර ඔහුද ඒ අයට ආදරය කළේය.

අවසානයේ, මක්කාවට පැමිණ තම මව සහ සීයා සමඟ අල්ලාහ්ගේ රැකවරණය යටතේ මනා සෞඛ්‍ය ශක්තිය සහිතව ඔහු වැඩු‍ණේය.

ආමිනා සහ අබ්දුල් මුත්තලිබ්

මුහම්මද් නම් මේ දරුවා හයවන වයස පසු වන විට ඔහුගේ මව ආමිනා තම පුතා රැගෙන ඥාතීන් බැලීමට යාත්රිබ් නුවරට ගොස් ආපසු හැරී එන ගමනේ මක්කාව හා යාත්රිබ් අතර අල් අබ්වා නම් ස්ථානයේ මවගේ මරණය සිදුවුණි. කුඩා කාලයේදීම දෙමාපියෝ අහිමි වීමෙන් අනාථ බවට පත්ව දෑසින් කඳුළු සැලූ කුඩා මුහම්මද්ගේ ශෝකය දන්නේ සර්ව ඥානය හිමි අල්ලාහ් පමණි. කුඩා මුහම්මද් මක්කාවේ තම සීයා සමඟ ජීවත් වන්නට ගියේය.  සීයාද ඔහු බොහෝ ආදරයෙන් බලා ගත්තේය. ඔහු කඅබාව සෙවනැල්ලේ තමා ඉතා ප‍්‍රිය කරන ආසනය මත මුහම්මද්ව වාඩි කර, ඔහුගේ හිස ආදරයෙන් පිරිමදිමින්, දරුවාගේ තනිකම මඟ හැරියේය. කුඩා දරුවා වන මුහම්මද්ට අටවන වයස පිරුණු විට, අබ්දුල් මුත්තලිබ් මිය යෑමෙන්, මුහම්මද් නැවත වරක් අනාථ බව පත්වී ඔහුගේ අසරණකම තවත් අධික විය.

මුහම්මද්ගේ මහප්පා අබු තාලිබ්

ඉන් අනතුරුව, මුහම්මද් තම පියාගේ වැඩිමහල් සොයුරෙකු වන අබු තාලිබ් සමඟ ජීවත් විය. අබ්දුල් මුත්තලිබ් තම මරණයට පෙර, මුහම්මද් ගැන හොඳාකාරව බලාගන්නා ලෙස අබු තාලිබ්ට පැවසීමෙන් අලි, ජාෆර් සහ අකිල් යන තම දරුවන්ට වඩා, මුහම්මද් කෙරෙහි අබු තාලිබ් විශේෂ සැලකිලි දැක්විය.

දිව්‍යමය පුහුණුව

පුංචි දරුවා මුහම්මද් හැදී වැඩීගෙන ආ කාලයේදී, අල්ලාහ් ඒ දරුවාට නොයෙක් රැකවරණය දුන්නේය. ජාහිලියියා නම් නුගත් යුගයට අයත් සියලු අසභ්‍ය හා අකුසල් ක්‍රියාවන් ගෙන් මුහම්මද් තුමා තරුණ වියෙහිම ඉවත්වී ජීවත් විය. පුරුෂ ලක්ෂණයෙන්, උසස් චරිතයෙන්, විනීතභාවයෙන් සහ විශ්වාසවන්තකමින් අන් අයට වඩා එතුමා කැපී පැනුනු නිසා, සියලු දෙනාගේ ගෞරවයද, අල් අමීන් (විශ්වාසවන්තයා) යන ගෞරව නාමයද හිමිකර ගත්තේය. ඥාතීන්ගේ සම්බන්ධකම අගය කළ අතර, අල්ලාහ් කෙරෙහි බියබැතිමත්කමද දැක්විය. තම ආහාරය තමන්ම උපයා ගත් එතුමා, ඉතා සාමාන්‍ය ආහාරයෙන් සෑහීමට පත් විය.

එතුමාට වයස අවුරුදු දහහතර පසු වන විට, කුරෙයිෂි හා කයිස් ගෝත‍්‍රය අතර ෆිජාර් යුද්ධය හටගත්තේය. එම සටන් බිමේ ඇතැම් අවස්ථාවන්හී මුහම්මද් තුමාද තම මහප්පලාට දුනු විදින්නට හී සපයන ක්‍රියාවෙහි යෙදුණේය. මෙම සටනින් යුද්ධ ශිල්පය, අශ්වාරෝහක ශිල්පය සහ වීරෝධාර භාවය පිළිබඳව පුහුණුව ලැබීය.

කදීජා තුමිය සමඟ විවාහය

මුහම්මද් තුමා විසිපස් වයසෙහිදී, කදීජා බින්ත් කුවෙයිලිද් නම් උසස් ගති පැවතුම් සහිත, හතළිස් හැවිරිදි කුරෙයිෂි කාන්තාවක් සමඟ විවාහ විය. එතුමිය බුද්ධිමත්, උදාර ගුණාංගයන් සහිත වූ ධනවත් කාන්තාවකි. ඇගේ ස්වාමි පුරුෂයා අබු හලාගේ මරණයෙන් පසු ඇය වැන්දඹු බවට පත් ව සිටියාය.

වෙළඳ ව්‍යාපාර හිමි කදීජා තුමිය තම වෙළඳ භාණ්ඩ රැගෙන ගොස් වෙළඳාම් කරනු පිණිස මිනිසුන් යොදා, ලැබෙන ලාභයෙන් ඔවුන්ට කොටසක් දෙයි. පොදුවේ කුරෙයිෂිවරු වෙළඳුන්ය. මුහම්මද් තුමා වරක් එතුමියගේ වෙළඳ භාණ්ඩ තවලම රැගෙන සිරියාවට ගිය විට, එතුමාගේ සත්‍යතාවද, උදාර ගතියද, අවංකභාවයද  එතුමිය පරීක්ෂා කළාය. එම ගමනෙහි එතුමා දැක් වූ දක්ෂතාව ගැන ඇසීමෙන් පසු, කුරෙයිෂි උසස් පැලැන්තියේ කිහිප දෙනෙකෙගේ විවාහ යෝජනා ඉවත දැමු කදීජා, මුහම්මද් තුමා සමඟ විවාහවීමට කැමැත්ත දැක් වූ වාය. එතුමාගේ පියාගේ සොයුරෙක් වන හම්සා, විවාහ යෝජනාව ඉදිරිපත් කළවිට, ඇගේ ඥතීන්ද එය සතුටින් පිළිගත්හ. විවාහය සිදු වූ විට, කුත්බා දේශනාව පැවැත්වුයේ අබු තාලිබ්ය. මුහම්මද් තුමා විවාහ වූ ප‍්‍රථම කාන්තාව කදීජා තුමියවේ. ඉබ්රාහීම් නම් පුතා හැර, එතුමාගේ සියලු දරුවන්ගේ මව එතුමිය වේ.

මේ කාලයේ, කඅබාවේ වහල දිරාපත් වී, මැටි කඩා වැටී, එහි බිත්ති අබලන් තත්ත්වයට පත් වූ හේතුවෙන්, කඅබාව සම්පූර්ණයෙන් කඩා යළි නිර්මාණය   කරන්නට මක්කාවේ කුරෙයිෂිවරු තීරණය කළහ. මෙය සිදුවුයේ මුහම්මද් තුමාගේ විසි පස් වන වයසේය.

ගොඩනැගිලි වැඩ ආරම්භ කර, හජර් අල් අස්වද් නම් කළු පැහැති ගල තැන්පත් කිරීමේ කටයුත්තේදී, ඔවුන් අතර මත භේද පැන නැගුණි. හජර් අල් අස්වද් ගල නියමිත ස්ථානයේ තැබීමේ ගෞරවය සෑම ගෝත‍්‍රයකටම අව්‍ශ්‍ය වූ හෙයින් වාද විවාද හටගත්තේය. එම නුගත් ජාහිලිය්යා සමාජයේ මෙයට වඩා සුළු මත භේදයකට පවා ඔවුනතර විශාල යුද්ධයන් ඇතිවීම අමුතු දෙයක් නොවේ.

මෙම අවස්ථාවේදීද ඔවුන් යුද්ධයට සූදානම් වූහ. බනු අබුද් දර් ගෝත‍්‍රයේ පිරිසක් ලේ පිරුණු භාජනයක් ගෙන ආවෝය. ඔවුන් සහ බනු ආදි ගෝත‍්‍රික පිරිසක් එම භාජනය තුළට අත දමා අවසානයක් දකින තුරු සටන් වදින බවට දිවුරා කීහ.

එම ක්‍රියාව මරණය සහ විනාශයේ සලකුණකි. මෙවැනි තීරණාත්මක තත්ත්වය දින කිහිපයක් පසුකළ කුරෙයිෂිවරු අවසානයේ තීරණයක් ගත්හ. එනම් පසු දින මස්ජිදයට ඇතුළු වන පළමු වන තැනැත්තා හජර් අල් අස්වද් තැන්පත් කිරීම පිළිබඳව දෙන තීරණය පිළිගන්නා බව ඔවුන් එකඟ වුහ. මෙම තීරණයෙන් පසුව අල්ලාහ්ගේ අනුමැතියෙන් එතැනට මුලින්ම ඇතුළු වුයේ මුහම්මද් තුමා වේ. එතුමාගේ සාධාරණත්වය පිළිබඳව දන්නා ඔවුන් සියලු දෙනාම “දැන් අපට බොහෝ සතුටුයි“ යනුවෙන් එක හඬින් පැවසුහ.

මුහම්මද් තුමා රෙදි කෑල්ලක් ගෙනෙන ලෙස පවසා, හජර් අල් අස්වද් ගල එම රෙදි කෑල්ල මත තැබුවේය. සෑම ගෝත‍්‍රයෙන්ම කෙනෙකු රෙද්ද කොනකින් අල්ලා, ගල තැන්පත් කිරීමට නියමිත ස්ථානය දක්වා ඔසවා ගෙන යන ලෙස කීවේය. ඔවුන් එසේ කිරීමෙන්, මුහම්මද් තුමා කළු ගල තම දෑතෙන් රැගෙන නියමිත ස්ථානයේ තැන්පත් කළේය. ඉන් අනතුරුව ගොඩනැගිලේ ඉතිරි වැඩ කොටස කිසිඳු ප‍්‍රශ්නයක් නොමැතිව සිදු වී අවසන් විය.

කුරෙයිෂිවරු අතර භයානක යුද්ධයක් හට ගැනීම, අල්ලාහ්ගේ  අනාගත රසූල් තුමා මෙලෙස වලක්වා හැරියේ, තම තියුණු බුද්ධිය උපයෝගි කරමින්ය.

හිල්ෆ් අල් ෆුදුල්

මක්කාවේ හිල්ෆ් අල් ෆුදුල් රැස්වීම සිදු වූ විට මුහම්මද් තුමාද එයට සහභාගි විය. අරාබියේ සිදු වූ ඉතා වැදගත් සමගි වීමේ අවස්ථාව එයයි. මෙම සමගිය සිදුවීමට හේතුව මෙයයි. zසාබිද් පළාතේ සිට කෙනෙක් මක්කාවට වෙළඳ භාණ්ඩ රැගෙන පැමිණියේය. අල් ආස් ඉබ්න් වායිල් නම් රදල පෙළපතේ කුරෙයිෂි කෙනෙක් ඔහුගෙන් භාණ්ඩ ගත් නමුත් ඒවාට අදාළ මුදල් ගෙව්වේ නැත. එම මුදල ලබා ගන්නට තමාට උපකාර කරන ලෙස කුරෙයිෂි වංශයට අයත් කිහිප දෙනෙකු ගෙන් ඔහු ඉල්ලීම් කළ නමුත්, අල් ආස් ඉබ්න් අල් වායිල්ගේ උසස් තත්ත්වය නිසා, මැදිහත් විය නොහැකි බව පවසා ඔවුන් මග හැරියහ. අවසානයේ, තමාට උදව් කරන ලෙස මක්කාවේ වෙසෙන සියලු ජනතාවගෙන් ඒ වෙළෙඳා ඉල්ලීම් කළේය.

සාධාරණකමට නැඹුරු වූ සියලු තරුණයෝ මෙය නිවැරදි කිරීමට සතුටින් ඉදිරි පත් වූහ. අබ්දුල්ලාහ් ඉබ්න් ජුදාන්ගේ නිවෙසෙහි රැස් වූ ඔවුන්ට, ඔහු ආහාර පිළියෙල කළේය. වැරැද්දක් දුටුවිට එය නිවැරදි කරන තුරු අපරාධකරුවාට එරෙහිව, අපරාධයට ලක් වූ තැනැත්තා සමඟ එක්සත් වන බව අල්ලාහ්ගේ නාමයෙන් ඔවුන් එකමකිතව තීරණය කළහ. මෙම පියවර ‘ශ්‍රේෂ්ඨත්වයේ සමගිය‘ යනුවෙන් අරාබි වරුන් හැඳින් වූහ. ‘මේ පිරිස ශ්‍රේෂ්ඨ තත්ත්වයට පැමිණ සිටිති.‘ යනුවෙන්ද කීහ. මේ තරුණ පිරිස, අල් ආස් ඉබ්න් වායිල් වෙතට ගොස් ඔහු ගෙන් ලැබිය යුතු මුදල අය කර, වෙළෙන්ඳාට ගෙවා අවසන් කළහ.

සෑම කෙනෙකුගේම අයිවාසිකම් ලබා දෙන බවද, දුබල කෙනෙකුට හිංසා කරන්නට බලවතෙකුට ඉඩ නොදෙන බවද, මෙම කුරෙයිෂි තරුණ පිරිස එහිදී තීරණයක් ගත්හ. මුහම්මද් තුමා මෙම සමගිය ගැන බොහෝ සතුටු විය. ඉස්ලාමිය නිවේදනය ලැබු පසුවද එම අවස්ථාව ගැන ඉතා සතුටින් එතුමා පැවසුවේ මෙසේය. ‘අබ්දුල්ලාහ් ජුදාන්ගේ නිවසෙහි රැස් වූ අවස්ථාවෙහි මමද සහභාගි වුයෙමි. එම අවස්ථාව කෙතරම් වැදගත්ද යත්, ඉස්ලාමයේ එවැනි හේතුවක් සඳහා ආරාධනාවක් ලැබුවේ නම්, මම එයට නැවත සහභාගි වන්නෙමි.‘

තම රසූල් වරයා නුගත් කෙනෙක් ලෙස හැදී වැඩෙන්නට අල්ලාහ් කරුණු සැලසුවේ අල්ලාහ්ගේ සර්ව ඥානයෙන්ය. නබිතුමාට ලිවීමට හෝ කියවීමට හෝ නොහැක. මේ හේතුවෙන්, එතුමා අන් අයගේ දහම අධ්‍යයන කර, තමාට අවශ්‍ය පරිදි වෙනස් කර, ඒවා උපුටා ගත් බවට එතුමාගේ සතුරෝ චෝදනා නගන්නට අල්ලාහ් ඉඩ තැබුවේ නැත. “මෙයට (අල් කුර්ආනයට) පෙර ඔබ කිසිම පොතක් නොහැදෑරුවේය. තවද, ඔබ දකුණතින් එය නොලීවේය. එසේ නම්, විශ්වාස නොකරන අය අනුමානය කරන්නෝය.,“ අල් කුර්ආන් 29 : 48

එතුමාට නුගත් කෙනෙක් ලෙස අමතන අල් කුර්ආනය, “ලියන්නට හෝ කියවන්නට නොදත් (උම්මි) නබිවරයාව අනුගමනය කරන අය, ඔවුහු තව්රාත් (ක්‍රිස්කියානුවන්ගේ ග්‍රන්ථයෙ)හීද, ඉන්ජීල් (යුදෙව්වරුන්ගේ ග්‍රන්ථ‍යෙ)හීද සඳහන්වී ඇති බව දකී.“ 7:157 වාක්‍යයෙන් තව දුරටත් සනාථ කරයි.

 නබිත්වය ලැබීමෙන් පසුව

නබිත්වය පිළිබඳ සලකුණු

එම යුගයේ, ආගමික පොත් පත් කිසිවක් අරාබි භාෂාවෙන් නොතිබුණි. බයිබලය පවා අරාබි බසට පරිවර්තනය කරනු ලැබුවේ එයට වසර 400කට පමණ පසුව බව අපි මතකයේ තබා ගත යුතුයි.

මුහම්මද් තුමාට හතළිස් හැවිරිදි වූ විට, එතුමාගේ ආලෝකය සහ සතුට පිළිබඳ සලකුණු පෙනුණි. එතුමාගේ දහම් ප‍්‍රචාරයේ කාලය ළඟා විය. ලොවේ ආධ්‍යාත්මික අන්ධකාරය පැතිරී, පාපයන් අධික වී, අසරණ ජනයා ආගමේ නමින් ගසා කෑමට ගොදුරු වීම විශාලව පැතිර පවතින යුගයේ, සමාජයට රසූල් වරයෙකු එවීම අල්ලාහ්ගෙන් නිතර සිදු වන්නේ ඔහුගේ අසීමිත කරුණාව හේතුකොට ගෙනයි. ඕනෑම ආගමික ගුරුවරයෙකුගේ පැමිණීම සිදු වුයේ මෙවැනි අයහපත් සමාජ තත්ත්වයකදීය.

තමා දකින අකුසල් දේ ගැන පිළිකුල් කිරීම, රසූල් (සල්) තුමාගේ සිත් තුළ අධික විය. එක්තරා ධාර්මික ඉරණමක් කරා තමා රැගෙන යන්නා සේ එතුමාට කරුණු සිදු වුණි. හුදකලාවේ වැඩි කාලයක් ගෙවන්නට එතුමා තුළ ආශාව අධික විය. මක්කා නුවරෙන් පිට වී, එහි නිවෙස් කිසිවක් නොපෙනෙන දුර දක්වා ඇවිද යන්නට එතුමා පුරුදු විය. මක්කාවේ සියලු පාරවල්, මිටියාවත් එතුමා දැන සිටියේය. එතුමා පසු කර ගෙන යන සෑම ගලකින් හෝ ගසකින් සලාම් අලෙයික යා රසූලල්ලාහ්, (අල්ලාහ්ගේ සංදේශක තුමනි, ඔබට සාමය හිමිවේවා) යනුවෙන් පැතීමක් ඇසුණි. එහෙත්, තමා අවට සෑම දෙසට හැරී බැලුවත්, ගසක් හෝ ගලක් හැර වෙන කිසිවක්  ඇසට පෙනෙන්නට නොතිබුණි.

අනාගතය පිළිබඳ ප‍්‍රථම සංඥාව එතුමාට පැමිණියේ සිහිනයක් මගින් වන අතර ඒවා සැබැවින් සිදුවන්නා සේ ඉතාමත් පැහැදිලිව පෙනුණි.

හිරා කන්දෙහි ගල් ලෙන

මුහම්මද් (සල්) තුමා මක්කා අසල තිබෙන ජබල් ඊ නූර් කන්දෙහි තිබෙන හීරා නම් ගල් ලෙනට යෑමට පුරුදුවී සිටීය. ඇතැම් අවස්ථාවන් හී අවශ්‍ය ආහාර පානාදිය රැගෙන ගොස්, දින කිහිපයක් එක දිගට එහි නැවතී සිටීය. එහිදී අල්ලාහ් වෙතට යළි හැරෙන්නට මිනිසාට තිබෙන පිරිසිදු අවශ්‍යතාව අනුගමනය කරමින්, එකම දෙවියෙකුට පමණක් වැඳුම් පිදුම් කළ හනීෆිය්යා ලෙස හැඳින්වන එතුමාගේ මුතුන් මිත්තා ඉබ‍්‍රාහීම් (අලෛ) කළ ආකාරයට වැඳුම් පිදුම් කළේය.

දහම් ප‍්‍රචාරය ආරම්භ වේ

නබිත්වයේ දූත මෙහෙය ආරම්භ කිරීමට නියමිත දින, අල්ලාහ්ගේ රසූල් වරයා හීරා ගල් ලෙනේ තනිවම සිටීය. රමදාන් මස 17 වන දින, එතුමාගේ වයස වසර හතළිස් එකක් වූ අතර, ක්‍රිස්තු වසර අගෝස්තු මස 6 වන දිනයයි.

එකවරටම මලාඉකාවරයෙක් එතුමා ඉදිරියට පැමිණ “කියවනු“ යනුවෙන් අණ කළේය. “මට කියවිය නොහැක.“ යනුවෙන් එතුමා පිළිතුරු දුනී.

එම සිද්ධිය මතක් කරමින්, රසූල් (සල්) තුමා කාලයකට පසුව මෙසේ කීය. “ඔහු (මලාඉකාවරයා) මා අල්ලා මට උසුලන්නට නොහැකි තරම් තද කර, මා අත හැර, ‘කියවනු‘ යයි අණ කළේය. ‘මට කියවිය නොහැක.‘ යනුවෙන් පිළිතුරු දුන්නෙමි.“

“ඔහු (මලාඉකාවරයා) මට උසුලන්නට නොහැකි තරම් මා නැවත පපුවට තද කර, මා අතහැර ‘කියවනු.‘ යයි අණ කළේය.‘ ‘මට කියවිය නොහැක.‘ යනුවෙන් පිළිතුරු දුනිමි.“

“ඔහු (මලාඉකාවරයා) මට උසුලන්නට නොහැකි තරම් තෙවන වරටත්  අල්ලා, තද කර, මා අත හැර ‘ඔබ මැවු අල්ලාහ්ගේ නාමයෙන් කියවනු. මිනිසාව ලේ කැටියෙන් ඔහු මැවුවේය. ඔබගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු. ඔහු උදාරය. පෑනෙන් ලියන්නට ඉගැන්වුයේ ඔහුය. නොදන්නාදේ මිනිසාට ඔහු ඉගැන් වුයේය.“ (අල් කුර්ආන් 96, වාක්‍ය 1 සිට 5 දක්වා) යනුවෙන් කීවේය.“

කදීජා තුමියගේ උදාරවත් හැසිරීම

රසූල් (සල්) තුමා පමණක් නොව ඕනෑම කෙනෙක්, මෙම සිද්ධියෙන් කලබල වීම ස්වාභාවික කරුණකි. සිදු වුයේ කුමක්දැයි එතුමා නොදනී. දීර්ඝ කාලයකින් අරාබි සමාජයට නබිවරයෙක් පැමිණියේ නැති අතර, මෙවැනි දෙයක් ගැන ආරංචිද නැත. කෙසේ වෙතත් අරාබි වරු හා නබිත්වය අතර මෙවැනි සම්බන්ධකමක් තිබුණේ නැත. අධික ලෙස බියට පත් රසූල් (සල්) තුමා වෙවුලමින් සිය නිවසට ආපසු පැමිණීය.

“මාව රෙද්දකින් පොරවන්න. මාව රෙද්දකින් පොරවන්න. මට භයයි.“ යනුවෙන් එතුමා කීවේය.

රසූල් (සල්) තුමාගෙන් විස්තර ඇසු විට, එතුමා සිදු වූ සියලු තොරතුරු කදීජා තුමියට කීය. කදීජා බුද්ධිමත් කාන්තාවකි. ක්‍රිස්තියානු ආගමට පිවිසුනු වරකා ඉබ්න් නව්ෆල් නම් ඥාතියෙකු හමුවන්නට නිතරම යන එතුමිය, නබිත්වය, නබි වරු සහ මලාඉකාවරු වැනි කරුණු ගැන දැන සිටියාය.

අන් කිසිවෙකුට වඩා, රසූල් (සල්) තුමා ගැන විස්තර සියල්ල බිරියක් වශයෙන් කදීජා තුමිය දැන සිටියාය. එතුමාගේ සිතුම් පැතුම්, එතුමාගේ උසස් ගති පැවතුම්, උදාර ගුණාංගය, යන සියලු කරුණු එතුමිය දැන සිටියාය. රසූල් (සල්) තුමාට අල්ලාහ් ගෙන් නිතර මෙන් සහාය සහ ජය ලැබෙන බවද, එතුමා අල්ලාහ්ගේ මැවීම් අතරින් තෝරා ගනු ලැබු ශ්‍රේෂ්ඨ කෙනෙක් බවද, එතුමාගේ කල් ක්‍රියා සහ ජීවන ක‍්‍රමය ගැන අල්ලාහ් සතුටු වන බවද කදීජා තුමිය අවබෝධ කර ගෙන සිටියාය.

එතුමා වැනි උසස් ගති පැවතුම් සහිත කෙනෙකු ශෛතාන්ට බිය වීමට හෝ ජින් වරුන්ගේ උවදුරට ලක් වීම හෝ කිසිසේත්ම සුදුසු නැත. එවැනි  දෙයක් සිදු වීම අල්ලාහ්ගේ කරුණාවට හා මෛත‍්‍රියටද, තම මැවීම් පිළිබඳ අල්ලාහ් ක්‍රියා කරන ආකාරයටද නොගැලපෙන බව කදීජා තුමිය තරයේ විශ්වාස කළාය. තම විශ්වාසය හා පිළිගැනීම එතුමිය පැහැදිලිව ප‍්‍රකාශ කළේ මෙසේය.

“අල්ලාහ් කිසි දවසක ඔබ අපකීර්තියට ලක් කරන්නේ නැත. ඔබ නෑ සබඳකම් හොඳාකාරව පවත්වයි. ඔබ අනුන්හට පිහිට වන අතර, අන් අයගේ ඉල්ලීම් වලට ඉඩ දෙයි. ඔබ අමුත්තන්හට සංග‍්‍රහ කරනවාක් මෙන්, නීත්‍යානු කූල අයිතියක් ඇති කෙනෙකුගේ අයිතීන් ලබා දෙන්නට උපකාර වෙයි.“

වරකා ඉබ්න් නව්ෆල්

ආගමික විද්වතෙක් වන වරකා ඉබ්න් නව්ෆල්, පොත්පත් බොහෝමයක් කියවා, තව්රාත් සහ ඉන්ජීල් ග‍්‍රන්ථයන් අනුගමනය කරන යුදෙව් සහ ක්‍රිස්තු යහපත් බැතිමතුන් ගෙන්ද බොහේ විස්තර දැන සිටියේය. ඥාතියෙකු වන ඔහුගෙන් සිද්ධිය පිළිබඳව විමසීම උචිතයයි සිතු කදීජා තුමිය, රසූල් (සල්) තුමා සමඟ ඔහු වෙතට ගියාය. රසූල් (සල්) දුටු සියලු දේට සවන් දුන් වරකා තුමා, “ඔබ වෙතට පැමිණියේ මූසා තුමා වෙතට පැමිණි උත්තම ආත්මයයි. නමුත් ඔබේ ජනතාව ඔබව ප‍්‍රතික්ෂේප කර, ඔබට නින්දා කර, ඔබව මේ ගමෙන් පලවා හැර, ඔබට එරෙහිව සටන් වදිති.“ යනුවෙන් පැවසීය.

කුරෙයිෂිවරු අතර තමා දරන උසස් ස්ථානය හොඳාකාරව දැන සිටි රසූල් (සල්) තුමා, විශේෂයෙන් ඒ ජනයා තමාව පලවා හරින බව වරකා පැවසීමෙන් විමතියට පත් විය. ඒ ජනයා එතුමාට, “සත්‍යවන්තයා“, “විශ්වාසවන්තයා“ යනුවෙන් නිතර අමතනු අසා පුරුදු වූ රසූල් (සල්) තුමා, “මගේ ජනයා මා ගමෙන් පලවා හරින්නෝද?“ යි පුදුම වී ප‍්‍රශ්න කළේය.

“ඔව්. ඔබ දැන් ගෙනැවිත් තිබෙන දැයක් මෙන් ගෙන ආ කිසි කෙනෙක් තම ජනතාවගේ විරෝධය හා සටන හැර වෙන කිසිවක් ලැබුවේ නැත. මම බොහෝ කාලයක් ජීවත් වී අවසානයි. එදින මම ජීවතුන් අතර සිටින්නේ නම්, ඔබට උපරිම සහාය දෙන්නෙමි.“ යනුවෙන් වරකා කීය. ටික කලකින් වරකා තුමාද මිය ගියේය.

මෙම ආරම්භක නිවේදනයෙන් පසු දිගු කලකට කුර්ආනයෙන් කිසිවක් පහළ වුයේ නැත. ඉන් අනතුරුව, කාලයෙන් කාලයට, අවශ්‍යතාවය අනුව වසර විසි තුනක් මුළුල්ලේ අල් කුර්ආනය පහළ විය.

කදීජා තුමිය ඉස්ලාමය පිළි ගනී

කල්පනා කිරීමේ හැකියාව සහිත ඕනෑම කෙනෙකු මක්කා වාසීන් කරන පාප ක්‍රියාවන් පිළිකුල් කරනවාක් මෙන්, කදීජා තුමියද පිළිකුල් කළාය. අල්ලාහ් කෙරෙහි සහ ඔහුගේ රසූල් වරයා කෙරෙහි පළමුව විශ්වාසය තැබුවේ එතුමි යයි. තම ස්වාමි පුරුෂසා සමඟ උරෙන් උර ගැටී, සියලු කරදර වලට මුහුණ දෙන්නට උදව් කළේ එතුමියයි. එතුමාගේ නිවේදන කෙරෙහි විශ්වාසය තබා, එතුමාගේ ක්‍රියාවන්ට සහාය දී කදීජා තුමිය රසූල් වරයාට සහන සැලසුවාය.

අලි ඉබ්න් අබි තාලිබ් සහ සෙzයිද් ඉබ්න් හාරිත් ඉස්ලාමය පිළි ගනිති

කදීජා තුමියට පසුව අලි ඉබ්න් අබි තාලිබ් (රලි) ඉස්ලාමය පිළි ගත්තේය. රසූල් (සල්) තුමාගේ නිවසේ වාසය කළ අලිගේ වයස එවිට දහයයි. මක්කාවේ ආහාර හිඟයක් පැවති කාලයේදී, අබි තාලිබ්ගේ පුත‍්‍රයා වන අලි ව තම නිවසට කැඳවා ගත් රසූල් (සල්) ඔහුව හදා වඩා ගත්තේය.

රසූල් (සල්)තුමා නිදහස් කර, පුතෙක් වශයෙන් හදා ගත් එතුමාගේ වහල් සේවක සෙzයිද් ඉබ්න් හාරිත් ද මුස්ලිම්වරයෙකු විය. මෙම පිරිස ඉස්ලාමය පිළිගත්තේ, රසූල් (සල්) තුමා ගැන තිබෙන විශ්වාසයේ හා අවබෝධයේ ප‍්‍රතිඵලයක් වශයෙනි. එතුමාගේ සත්‍යතාවය, අවංකභාවය සහ යහපත් හැසිරීම් ගැන මේ පිරිස හොඳාකාරව දනී. එක වහල යට ජීවත් වන අය, එහි තිබෙන සියල්ල ගැන හොඳ හැටියෙන් දැන සිටීම ස්වාභාවික දෙයකි.

අබු බකර් ඉබ්න් කුහාෆා ඉස්ලාමය පිළිගනී

අබු බකර් ඉබ්න් කුහාෆා (රලි) ද ඉස්ලාමය පිළිත්තේය. ඔහුගේ බුද්ධිය, බලය සහ සාධාරණත්වය හේතු කොටගෙන කුරෙයිෂිවරු අතර උසස් ස්ථානයක් දැරු ඔහු ඉස්ලාමය ගැන ප‍්‍රසිද්ධියේ කථා කළේය. කාගේත් ආදරයට ලක් වන, නිහතමානි කෙනෙකු වූ ඔහු, කුරෙයිෂිවරුන්ගේ සම්පූර්ණ ඉතිහාසය පිළිබඳව හොඳාකාරව දැන සිටීය. වෙළඳ ව්‍යාපාරිකයෙකු වූ අබු බකර්, උසස් ගති පැවතුම් සහිත කෙනෙකි. ගනු දෙනු කිරීමේදී සාධාරණව ක්‍රියා කරයි. ඔහු අන් අයටද ඉස්ලාමය කරා ආරාධනා කළ අතර, ඔහුගේ විශ්වාසවන්ත මිතුරෝ කිහිප දෙනෙක්, මෙම අලුත් අදහස් ගැන සාකච්ඡා කිරීමට ඔහු වෙතට පැමිණියහ.

උසස් පෙළපතේ කුරෙයිෂිවරු ද ඉස්ලාමය පිළිගනිති

අබු බකර් (රලි) තුමාගේ මාර්ගයෙන් කුරෙයිෂිවරු අතරින් බලවත් කිහිප දෙනෙක්  මුස්ලිම් බවට පත් වූහ. උත්මාන් ඉබ්න් අෆ්ෆාන්, සු(z)බෙයිර් ඉබ්න් අල් අව්වාම්, අබ්දුල් රහ්මාන් ඉබ්න් අව්ෆ්, සඅද් ඉබ්න් අබි වක්කාස් සහ තල්හා ඉබ්න් උබෙයිදුල්ලාහ් යන උසස් පෙළේ කුරෙයිෂි වරු, අබු බකර් (රලි) තුමා සමග, රසූල් (සල්) තුමා වෙතට පැමිණි අයගෙන් කිහිප දෙනෙකු වෙති.

අබු උබෙයිදා ඉබ්න් ජර්රා, අල් අර්කාම් ඉබ්න් අබිල් අර්කාම්, උත්මාන් ඉබ්න් මාzසුම්, උබෙයිදා ඉබ්න් අල් හාරිත් ඉබ්න් අල් මුත්තලිබ්, සඊද් ඉබ්න් සෙ(z)යිද්, ක:බ්බාබ් ඉබ්න් අල් අරත්, අබ්දුල්ලාහ් ඉබ්න් මස්ඌද්, අම්මාර් ඉබ්න් යාසිර් සහ සුහෙයිබ් (රලි) යන වැදගත් කුරෙයිෂි වරුන්ද, ඉන් පසුව තවත් පිරිමි සහ කාන්තාවන් කිහිප දෙනෙක්ද ඉස්ලාමය තුළට පිවිසීමෙන්, මක්කාවේ සෑම කෙනෙකුම මෙම අලුත් දහම ගැන කථා කරන්නට වූහ.

සෆා කන්ද මත ඉස්ලාමය කරා ඇරයුම

අල්ලාහ්ගේ රසූල් (සල්) තුමා, තම දහම් ප‍්‍රචාරය වසර තුනක් රහසිගතව කර ගෙන ගියේය. පසුව එම දහමය ගැන ප‍්‍රසිද්ධියේ දන්වන ලෙස අල්ලාහ් එතුමාට අණ කළේ මෙසේය. “ඔබට අණ කරන ලද දැය ප‍්‍රකාශ කරනු. (අල්ලාහ්ට) සමාන තබන්නන්(ගේ) කියමන් ගැන සොලකා ඔවුන් ගෙන් වැළකෙනු.“ අල් කුර්ආන් 15 : 94. තවද, “ඔබේ කිට්ටුම නෑයින්ටද අවවාද කරනු. තවද ඔබ අනුගමනය කරන විශ්වාසයින්ට ඔබ කරුණාවන්ත වනු.“ අල් කුර්ආන් 26: 214 සහ 215 යනුවෙන්ද, “මම ඇත්තෙන්ම පැහැදිලි අනුශාසකයෙක් වෙමි යයි කියනු“ අල් කුර්ආන් 15: 89.

නබි (සල්) තුමා දිනක් (කඅබාව අසල ඇති) සෆා නම් කන්ද මත නැඟ, “යා සබාහා“ යයි ශබ්ද නැගුවේය. හදිසි අවස්ථාවකදී සමාජය රැස් කිරීමට මේ ආකාරයට හඬ නැගීම මක්කාවේ සිරිතකි. සතුරන්ගෙන් ගමට හෝ ගම්වැසි යන්හට පහර දෙන අනතුරකදී ‘යා සබාහා‘ යන හඬ සෑම තැනකින්ම ඇසෙයි. කුරෙයිෂි වරුන්ද මෙම ඇමතුමට වහාම ප‍්‍රතිචාර දක්වති. මෙම අවස්ථාවේද කුරෙයිෂිවරු අල්ලාහ්ගේ රසූල් (සල්) තුමා ඉදිරියේ රැස්වුහ. එතුමා, “ඕ බනු අබ්දුල්ලාහ්,  ඕ බනු ෆිහ්ර්,  ඕ බනු කාබ්, ඔබට පහර දීමට සූදානම්ව අශ්වාරෝහක සේනාවක් කන්ද පිටු පස පැමිණ සිටිනා බව මම පැවසුවහොත් ඔබ මාගේ වචන විශ්වාස කරන්නේද?“ යනුවෙන් ප‍්‍රශ්න කළේය.

ඕනෑම අවස්ථාවක එළඹෙන සැබෑ තත්ත්වය අනුව මක්කා වාසීන් එඩිතරව ක්‍රියා කරති. සත්‍යතාවය, විශ්වාසවන්ත භාවය සහ අවංකභාවයට නම ගත් උදාර පුරුෂයෙක් ඔවුන් ඉදිරියෙහි කන්ද මත සිටියි. එතුමාට කන්දේ දෙපැත්තම පෙනෙන අතර ඔවුන්ට එලෙස නොපෙනේ. සැබෑ තත්ත්වය වටහා ගත් ඔවුන්, “ඔව්“ යනුවෙන් රසූල් (සල්) තුමාට පිළිතුරු දුන්හ.

එවිට අල්ලාහ්ගේ රසූල් (සල්) තුමා, “බරපතළ දඬුවමක් ගැන මම ඔබට අවවාද කරමි.“ යයි පැවසීය. සියලු දෙනාම නිශ්හබ්දව සිටියදී අබු ජහල් පමණක්, “නුඹට විනාශය හිමිවේවා. මේ දැය පවසන්නටද අපව මෙතැනට රැස් කළේ?“ යනුවෙන් එතුමාට  බැණ වැදීය.

අබු තාලිබ්ගේ සිත් තැවිල්ල

අල්ලාහ්ගේ අණ පරිදි රසූල් (සල්) වරයා සත්‍ය කරා ප‍්‍රසිද්ධියේ ආරාධනා කළ විට මක්කා වැසියෝ එතුමාගෙන් ඈත්ව ඉවත් වීමට හෝ පවසන දේ ප‍්‍රතික්ෂේප කිරීමට නොයෙදුනු නමුත්, ඔවුන් වැඳුම් පිදුම් කරන දෙවිවරු සහ පිළිම ගැන එතුමා ප‍්‍රශ්න කරන්නට පටන් ගත් විට, එය මහත් තර්ජනයක් ලෙස සලකා එතුමාට එරෙහිව එක්සත් වුහ.

රසූල් (සල්) වරයාගේ මහප්පා වන අබු තාලිබ් මේ ගැන කනස්සලට පත් වුවත් එතුමාව ආරක්ෂා කිරීමට ඉදිරිපත් විය. නබි (සල්) තුමාද සත්‍ය නිවේදනය ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරගෙන ගියේය. එතුමාගේ ක්‍රියාමාර්ගය නවත් වන්නට කිසිවෙකුට නොහැකිවුණු අතර අබු තාලිබ්ද එතුමාට පක්ෂව ඉදිරිපත් වී කථා කරමින් රැකවරණය දුනි.

අවසානයේදී, කුරෙයිෂි වරුන්ගෙන් පිරිසක් අබු තාලිබ් හමු වී, “අබු තාලිබ්, ඔබේ සහෝදරයාගේ පුත‍්‍රයා අපි නැමදුම් කරන දෙවිවරුන්ට ශාප කර අපි අදහන ආගම විවේචන කරයි. අපේ චාරිත‍්‍ර හා සම්ප‍්‍රදායන්ට සමච්චල්  කර අපේ මුතුන් මිත්තෝ නොමඟ ගියවුන් බවද පවසයි. ඔහුව අපට භාර දෙනු මැනවි, නැත්නම් ඔබ හා අප අතර ප‍්‍රශ්නයක් මතු වෙයි. ඔබද අපේ ආගම හා දහම අනුගමනය කරන කෙනෙකි.“ යයි තර්ජන කළහ.

අබු තාලිබ් එම පිරිස සමග සාමකාමිව කථා කළායින් පසු, ඔවුන් සන්සුන් ව් හැරී ගියහ. කුරෙයිෂිවරු නිරන්තරයෙන්ම අල්ලාහ්ගේ රසූල් (සල්) වරයා ගැන සාකච්ඡා කර, එතුමාට එරෙහිව මත භේද පැතිරූහ. ඔවුන් නැවත වරක් අබු තාලිබ් වෙතට ගොස්, “අබු තාලිබ්, අප අතර ඔබ වයසෙන්ද, ගෞරවයෙන්ද, තත්ත්වයෙන්ද උසස් කෙනෙකි. ඔබේ සහෝදරයාගේ පුත‍්‍රයාව ඔබ වළකා ගනී යයි අපි සිතු නමුත් ඔබ තවම එය ඉටු කර නැත. අල්ලාහ්ගේ නාමයෙන් දිවුරමු. අපේ මුතුන් මිත්තන්ට ඔහු ශාප කිරීමත්, අපේ චාරිත‍්‍ර හා සම්ප‍්‍රදායන්ට සමච්චල් කිරීමත් අපි වඳින පිළිමවලට අපහාස කිරීමත් අපට තව තවත් ඉවසිය නොහැක. ඔහුව දැන් අපහට භාර දෙනු මැනවි. එසේ නැත්නම් ඔහුගේ හා ඔබේ හේතුවෙන්  ඔබේ හා අපේ විනාශය සිදුවෙයි.“ යනුවෙන් අසත්‍ය චෝදනා නගා තර්ජන කළහ.

තම ජනයාගේ අසහනය සහ ඔවුන් සතුරන් බවට පත් වීම අබු තාලිබ්ට දරා ගත නොහැකි ප‍්‍රශ්නයක් වූ නමුත් තම සොහොයුරාගේ පුත්‍රයා පාවා දීම ඔහුට කිසිසේත්ම කළ නොහැක. එනිසා “පුතේ, ඔබේ අය මට තර්ජන කර තිබෙන නිසා මට දරා ගත නොහැකි තරම් බර නොපටවා ඔබ හා මා බේරාගන්න“. යනුවෙන් රසූල් (සල්) තුමාට පැවසීය.

ඉර මගේ දකුණතේද සඳ මගේ වමතේද

අබු තාලිබ් මහත් සිත්තැවිල්ලට පත්ව සිටිනා බවද, තමාට දිගින් දිගට සහාය දීම ඔහුට දුෂ්කර බවද රසූල් (සල්) තුමා දනී. එතුමා, “මහප්පේ, ඉර මගේ දකුණතේද සඳ මගේ වමතේද තබා මම දැන් කරගෙන යන මේ ක්‍රියාව අතහරින ලෙස කීවත් අල්ලාහ් මට ජය ලබා දෙන තුරු හෝ එම ක්‍රියාවෙන් මම මිය යනතුරු හෝ එය අත නොහරිමි.“ යයි කීය. දෑසින් කඳුළු සලමින්  එතුමා එතැනින් ඉවත් වීමට සූදානම් වූ විට අබු තාලිබ්, “පුතේ, මා දෙසට හැරෙන්න“ යයි කීවේය.  අල්ලාහ්ගේ රසූල් (සල්) ඔහු දෙසට හැරුණු විට “පුතේ ඔබ ගොස් කැමති ඕනෑම දැයක් පවසන්න. අල්ලාහ්ගේ නාමයෙන්  දිවුරා කියමි. කිසි දිනක ඔවුන්ට ඔබව භාර නොදෙමි.“ යයි අබු තාලිබ් කීවේය. (මුස්ලිම් නොවුවත් පවා, දෙවියන්ගේ නාමයෙන් දිවුරුම් කිරීම අරාබි වරුන්ගේ භාෂා ශෛලයකී)

කුරෙයිෂිවරු මුස්ලිම්වරුන්ට  හිංසා කරති

අල්ලාහ්ගේ රසූල් (සල්) තුමා මක්කා වැසියන්ට නොකඩවා අල්ලාහ් වෙතට ආරාධනා කිරීමෙන් කුරෙයිෂිවරු එතුමා සහ අබි තාලිබ් ගැන තැබූ බලා පොරොත්තුව අත හැර දැමුහ. තම ගෝත‍්‍රය තුළ මුස්ලිම් බවට පත් වූ අසරණ පිරිස දෙසට ඔවුන්ගේ කෝපය සහ වෛරය යොමු කළහ.

සෑම ගෝත‍්‍රයක්ම තමන් අතර මුස්ලිම් බවට පත් වූ සේවකයෝ සහ වහලුන් කෙරෙහි අවදානය යොමු කළහ. තමන් අතර ජීවත් වන මෙවැනි අසරණ මුස්ලිම්වරුන් සිර භාරයේ දමා අමානුෂික ලෙස පහර දී ආහාර පානාදිය කිසිවක් නොදෙන්නටත් තද හිරු රශ්මිය පවතින දහවල් කාලයේ ගිනියම් වැල්ලේ දමා නොයෙකුත් ආකාරයට වද හිංසා කරන්නටත් පටන් ගත්හ.

මුස්ලිම් බවට පත් වූ බිලාල් නම් අබිසීනියානු කළු ජාතිකයා, උමෙයියා ඉබ්න් හඃලෆ් නම් ඔහුගේ අයිතිකරු විසින් මධ්‍යහ්න වෙලාවේ කාන්තාර වැල්ලේ තබනු ලැබීය. ඔහුගේ පපුව මත විශාල කළු ගලක් තබා “අල්ලාහ්ගේ නාමයෙන් දිවුරමි. ඔබ මරණයට පත්වන තුරු හෝ මුහම්මද්ව ප‍්‍රතික්ෂේප කර ලාත් සහ උzස්zසා (නම් පිළිම වල)ට වඳින තුරු එම කළු ගල ඉවත් නොකරන්නෙමි.“ යයි තර්ජන කළේය. බිලාල් (රලි) තුමාගේ පාදෙක ලණුවකින් බැඳ ගමේ කොල්ලන්ට වැල්ලේ ඇද ගෙන යන ලෙස කීය. මෙලෙස වද හිංසාවට ලක්වූ මොහොතේ පවා, එතුමා “අහද්“ “අහද්“ (“එකම දෙවියෙකි“, “එකම දෙවියෙකි“) යයි පවසමින් සිටීයි.

බිලාල් (රලි) තුමා මෙලෙස හිංසාවට ලක් වෙමින් සිටියදී එම ස්ථානය පසු කර ගෙන ගිය අබු බකර් අස් සිද්දීක් (රලි) එය දැක බිලාල් (රලි)ට වඩා ශක්තිමත් සේවකයෙක් උමයියාට සපයා බිලාල් (රලි) තුමාට නිදහස ලබා දුනි.

බනු මක්තූම් පිරිසෙන් මුස්ලිම් බවට පත් වූ අම්මාර් ඉබ්න් යාසීර් සහ ඔහුගේ දෙමාපියෝ රැගෙන ගොස් මධ්‍යාහ්න අව් රශ්මියේ දමා අමානුෂික ලෙස හිංසා කළහ. එම ස්ථානය පසු කර ගෙන ගිය නබි (සල්) තුමා, “යාසීර්ගේ පවුලේ සාමාජිකයිනි, ධෛර්යමත්වන්න. ඔබට ස්වර්ගය පිළිබඳ පොරොන්දුව ඇත.“ යයි කීය.

මෙලෙස නොයෙකුත් වද හිංසාවට භාජනය වුවත්, ඔවුන් ඉවසීමෙන් සිටී අතර ඉස්ලාමය අත නොහරින බව අම්මාර්ගේ මව සුමෙයියා (රලි) තුමිය ප‍්‍රකාශ කිරීමෙන් මහත් කෝපයට පත් වු කාෆිර්වරු එතුමිය හෙල්ලයකින් ඇන මරා දැමුහ. ඉස්ලාමය සඳහා දිවි පිදු ප‍්‍රථම කාන්තාව එතුමිය වේ. (z)සනීරා (රලි) තුමියට අබු ජහල් අමානුෂික ලෙස පහර දීමෙන් එතුමිය අන්ධ වුවාය. ප‍්‍රසිද්ධියේ කුර්ආන් වැකි පාරායන කළ අබු දර් ගිෆ්ෆාරි (රලි) තුමාට. සිහි මුර්ච්ජා වන තුරු පහර දුන්හ. අබ්දුල්ලාහ් බින් මසූද් (රලි) තුමාටද මෙම ඉරණම හිමි විය. කබ්බාබ් බින් අරාත් (රලි) තුමාව දැවෙන ගිනි අඟුරු මත තබා ඔහු නොසෙලවන සේ, ඔහුගේ පපුව මත කාෆිර්වරයෙක් වාඩිවී සිටීමෙන් ඔහුගේ පිටේ සහ ඉණේ සම පිලිස්සුණි. අසරණ මුස්ලිම් වහල් සේවකයෝ හා දුබල ජනතාවට කාෆිර්වරු දුන් වද හිංසාවට සීමාවක් නොවු නමුත් ඒ සියලු වද වේදනාවන්ට පමණක් නොව මරණයට පවා මුස්ලිම්වරු නිර්භීතව මුහුණ දුන්හ. තමා තෝරා ගත් ආගම කිසිවෙක් වෙනස් කළේ නැත. ඔවුන්ගේ සිත් තුළ ඉස්ලාමය ස්ථාවර වී අවසානයි. තමා මුහුණ දුන් දුෂ්කරතාව යෙන් ඔවුන්ගේ ඊමානය නම්, ඒකදේව විශ්වාසය තව තවත් ශක්තිමත් විය.

මුසාබී ඉබ්න් උමෙයිර් නම් කඩවසම් පෙනුම සහිත තරුණයෙකුගේ මව ධනවත් කාන්තාවකි. තම පුත‍්‍රයාට අලංකාරවත් ඇඳුම් ඇය ලබා දෙයි. රසූල් (සල්) තුමා අර්කාම් ඉබ්න් අබිල් අර්කාම්ගේ නිවසෙහි දේශනා කරන බව ආරංචි වී එම ස්ථානයට ගිය ඔහු ඉස්ලාමයේ නිවේදනයට සවන් දුන් විගස මුස්ලිම් බවට පත් විය. සිය ආගම වෙනස් කර ගැනීම ගැන මව හෝ ඥාතීන් දැන ගත්තේ නම්  කරදර සිදු වෙයි යන බියෙන් ඔහු හොර රහසේ රසූල් (සල්) හමුවීමට යයි.

දිනක් ඔහු නැමදුම් කරනු දුටු උත්මාන් ඉබ්න් තල්හා නම් කෙනෙක් මුසාබ්ගේ පවුලේ අයට දැනුම් දීමෙන් මුසාබ්ගේ පවුලේ අය ඔහුව නිවසේ කාමරයක දමා වසා තැබීමෙන් ඔහුට එම නිදහස අහිමිවිය. මුස්ලිම්වරු පිරිසක් මක්කාවෙන් ඉවත් වී අබිසීනියාවට ගිය ප‍්‍රථම හිජ්රා ගමනට ඔහුද නිවසින් පැන ගොස් එකතු විය. කලකට පසු මක්කාවට ඔහු පැමිණියේ සම්පූර්ණයෙන් වෙනස් වූ කෙනෙකු ලෙසයි. ඔහුගේ දේව භක්තිය හා අසරණ භාවය දුටු ඔහුගේ මව ඔහුට හිරිහැර කිරීමෙන් වැළකී සිටියාය.

මෙම දුෂ්කර කාලයේදී කුරෙයිෂි පෙළපතට අයත් පිළිම වන්දනා කරු වන්ගේ ආරක්ෂාව යටතේ ජීවත් වූ ඇතැම් මුස්ලිම්වරු තම ක්‍රියාව ගැන ලැජ්ජාවට පත් වී අල්ලාහ්ගෙන් හැර අන් කිසිවෙකුගෙන් ආරක්ෂාව නොපතන බව පවසා පිළිම වන්දනාකරුවන්ගේ ආරක්ෂාව ප‍්‍රතික්ෂේප කළහ. ආරක්ෂක වරයෙකු නොමැති මෙම මුස්ලිම්වරු, ඇතැම් අවස්ථාවන්හී කාෆිර්වරුන්ගේ පහර දීමට ලක් වූ නමුත් අල්ලාහ්ගේ ආරක්ෂාව පමණක් පැතූ මේ අසරණ මුස්ලිම්වරුන් ගේ දේව විශ්වාසය අබමල් රේණුවක් තරම් වුවද අඩුවුයේ නැත.

කුරෙයිෂිවරු රසූල් (සල්) තුමාට හිරිහැර කරති

නවක මුස්ලිම්වරු යළි තම පැරණි ආගමට හරවා ගැනීමට කුරෙයිෂිවරුන්ට කිසිසේත්ම නොහැකි විය. රසූල් (සල්) තුමාද ඔවුන්ගේ විරෝධය නොතකා තම දූත මෙහෙය නොකඩවා කරගෙන ගියේය. මේනිසා කුරෙයිෂිවරු තවත් උරණ වීමෙන්, ඔවුනතර සිටිනා ඇතැම් අනුවණ පිරිසක් ලවා රසූල් (සල්) තුමාට එරෙහිව ක්‍රියා කරන්නට පටන් ගත්හ. ඔවුන් රසූල් (සල්) තුමාට “සූනියම් කරුවා, මන්ත‍්‍ර කරුවා, පිස්සා“ යනුවෙන් අපහාස කර එතුමාට හිරිහැර කරනු පිණිස සෑම උපක‍්‍රමයක්ම යෙදූහ.

දිනක් කුරෙයිෂි පිරිසක් කඅබාව අසල හිජ්ර් නම් ස්ථානයක වාඩි වී සිටියදී රසූල් (සල්) තුමා කඅබාව වටා තවාෆ් කරමින් ඔවුන් පසු කර ගෙන ගියේය. ඒ පිරිස ඉතාමත් පහත් අයුරින් තුන් වරක් එතුමාට ඇමතූහ. අවසානයේ එතුමා “කුරෙයිෂවරුණි, මම පවසන දැයට ඔබ සවන් දෙනවාද? මාගේ ප‍්‍රාණය කා අතේ තිබේද ඔහුගේ නාමයෙන් දිවුරා කියමි. ඔබට කුර්බාන් රැගෙන මම ආවෙමි.“ යයි කීය. රසූල් (සල්) තුමාගේ මේ කථාවෙන් තිගැස්සුනු ඔවුන් නිශ්ශබ්ද වුහ. තමන් සීමාව ඉක්ම වූ බව දැන ගත් එම පිරිස, ඉන් පසුව නබිවරයාට විනීතව කථා කළහ.

තවත් දිනක රසූල් (සල්) තුමා කඅබා අසල නැමදුම් කරමින් සිටින විට කාෆිර් වරයෙක් එතුමාගේ ලෝගුවෙන් ගෙල තද කිරීමෙන් එතුමාට හුස්ම ගැනීම පවා අපහසු වුණි. එතැනට දිවගෙන ආ අබු බකර් (රලි) තුමා, “මාගේ පරමාධිපති අල්ලාහ් යයි කෙනෙක් පවසන එකම හේතුවට ඔහුව මරන්නට නුඹ සූදානම් වන්නේද?“ යනුවෙන් ශබ්ද නගා පැවසීමෙන් එම සිද්ධිය සමථයට පත්වුණි. (වර්තමාන මුස්ලිම්වරු මුහුණ දෙන ප්‍රශ්නය මෙය මත නොවේද?)

එහෙත් අබු බකර් (රලි) තුමා පසු වෙලාවක දී එතැනට තනියම පැමිණි විට එම  සෙනඟ එතුමාට පහර දී, එතුමාගේ කෙස් සහ රැවුලෙන්ද ඇද්දහ.

රසූල් (සල්) තුමා ගමන් කරන අවස්ථාවලදී, කාෆිර්වරු - නිදහස් අය හා වහල් සේවකයෝ හෝ වේවා, ඉවත බලා ගෙන ගියහ. නැතහොත් එතුමාට හිරිහැර කරන්නට තැත් කළහ. එතුමාට කෙළින්ම පහර දෙන්නට පසුබට වූ ඔවුන් එතුමා රාත‍්‍රියේ ඇවිද යන මාර්ගයේ කටු හා කසල දමීමෙන් එතුමාගේ දෙපා තුවාල විය. අල්ලාහ්ගේ රසූල් (සල්) තුමා, නිවසට ගොස් ලෝගුවකින්  සිරුර දවටා ගෙන, තමාට සිදුවු දේ ගැන මහත් දුකට පත්ව කල්පනා කරමින් සිටිය දී අල්ලාහ්ගේ මෙම වාක්‍ය පහළ විය. “අහෝ (ලෝගුවකින්) පොරවාගෙන සිටිනා තැනැත්තා, නැගිටිනු. ගොස් අන් අයට අනුශාසනය කරනු.“ අල් කුර්ආන් වාක්‍ය 74: 1 සහ 2.

කුරෙයිෂිවරු අබු බකර් (රලි) තුමාට පහර දෙති

දිනක් අබු බකර් (රලි) තුමා පිළිම වන්දනාකරුවන්ට අල්ලාහ් සහ ඔහුගේ රසූල් (සල්) තුමා වෙතට පැමිණෙන ලෙස ආරාධනා කළේය. මෙයින් කෝපයට පත් ඔවුන් එතුමාට අතින් හා පයින් පහර දුන්හ. උත්බා බින් රබියියා නම් කාෆිර් වරයෙක්, එතුමාගේ මුහුණට පාවහනින් දිගින් දිගට පහර දීමෙන් එතුමාගේ නාසය හා කම්මුල් දෙක කිව නොහැකි තරමට මුහුණ ඉදිමුණි.

බනු තයිම් ගෝත‍්‍රික පිරිසක්, සිහි නැති වූ අබු බකර් (රලි) තුමාව නිවසට ඔසවා ගෙන ගියහ. එතුමා එදින මිය යන බව ඔවුන් සිතූහ. රෑ යාමයේ සිහිය ලැබුනු අබු බකර් (රලි) තුමා, නැගිට ‘අල්ලාහ්ගේ රසූල් (සල්) තුමාගේ තත්ත්වය කෙසේද?‘ යනුවෙන් ප‍්‍රශ්න කළේය.

එතුමා පහර ලබන්නට හේතු වූ තැනැත්තා පිළිබඳව මෙලෙස විමසීම ගැන එතුමාගේ නෑ පිරිස එතුමාට බැන වැදී, එතුමාගේ මව උම් හඃයිර්ට භාර දී ඉවත ගියහ. ඒ වන විටත් එතුමාගේ මව මුස්ලීම් බවට පත් වී නැත. මුස්ලිම් කාන්තාවක් වන උම් ජමීල් බින්ත් කබ්බාබ් එතැනට පැමිණි විට, රසූල්වරයා ගැන එතුමියගෙන් විමසීය. එතුමා ආරක්ෂා සහිතව සිටින බව ඇය පිළිතුරු දුන්නාය.

“අල්ලාහ්ගේ නාමයෙන් දිවුරමි. රසූල් (සල්) තුමා දෑසින් දකින තුරු ආහාර, පාන කිසිවක් නොගනිමි.“ යයි අබු බකර් (රලි) කීය.

එදා රාත‍්‍රියේ සියලු දේ සන්සුන් වූ පසු, උම් ජමීල් සහ උම් හඃයිර් එතුමාව රසූල් (සල්) තුමා වෙතට රැගෙන ගිය විට, එතුමා අබු බකර්ට බොහෝ කාරුණිකව සැලකුවේය. අබු බකර් (රලි) තුමාගේ මව වෙනුවෙන් දුආ කළ රසූල් (සල්) තුමා එතුමියට ඉස්ලාමයට පිවිසෙන ලෙස ආරාධනා කළ විට, මවද සතුටින් මුස්ලිම් බවට පත් වූ වාය.

කුරෙයිෂිවරු කැළඹීමට පත් වෙති

අල්ලාහ්ගේ රසූල්වරයා නිසා මක්කාවේ කුරෙයිෂිවරු මහත් කැලඹීමට පත් වූහ. ඈත පළාත් සිට මක්කාවට පැමිණෙන්නන් එතුමාට සවන් දීම ඔවුන්ට විශාල ප‍්‍රශ්නයක් වූ නිසා, අල් වලීද් අල් මුගීරා නම් මහලු මිනිසෙකුගෙන් උපදෙස් පැතුහ. මිනිසුන් කඅබාවට වන්දනා ගමනේ එන කාලය එයයි. “කුරෙයිෂිවරුණි, මෙය උත්සව කාලය නිසා, අරාබියේ සෑම පළාතෙන්ම නියෝජිතයෝ මෙහි පැමිණෙති. ඒ අය බොහෝ දෙනෙකුට ඔබේ මේ මිත‍්‍රයා ගැන ආරංචි වී අවසානයි. එනිසා ඔහු ගැන කුමක් පවසන්නේදැයි තීරණයක් ගන්න. පසුව අප අතර පරස්පරව කථා නොකරන්න.“ යයි අල් වලීද් උපදෙස් දුන්නේය.

දීර්ඝ සාකච්ඡාවෙන් පසුව අවසානව ඔවුන් ගත් තීරණයට එකඟ නොවු අල් වලීද්, ඔවුන්ව විවේචන කළේය. “එසේ නම් අබු අබ්ද් ශම්ස්, ඔබ කුමක් පවසන්නේද?“ යයි ඔවුන් විමසුහ.

“ඔහු විජ්ජාකාරයෙකි. කෙනෙකු ඔහුගේ පියාගෙන්ද සොයුරන්ගෙන්ද බිරියන් ගෙන්ද ගෝත‍්‍රයෙන්ද වෙන් කරන විජ්ජාව ඔහු ගෙන ආ බව පැවසීම සැබෑ දෙයට බොහේ සමීප වේ.“ යයි අල් වලීද් ඔවුන්ට උපදෙස් දුනී.

එම යෝජනාව පිළ ගත් කුරෙයිෂිවරු උත්සවයට වන්දනාකරුවෝ පැමිණෙන සෑම මාර්ගයන් හී රැස් වී අල්ලාහ්ගේ රසූල් (සල්) තුමාගෙන් හැකි පමණ ඈත් වන ලෙස අවවාද කළ අතර එයට ඉහත සඳහන් හේතුවද කීහ.

කුරෙයිෂිවරු සතුරු ක්‍රියාව වැඩි කරති

රසූල් (සල්) තුමා ඥාතියෙකු වශයෙන් ඔවුන්ගේ ගෞරවයට හිමි කෙනෙක් බව පවා නොසලකා කුරෙයිෂිවරු එතුමාට ඉතා පහත් ලෙස සැලකුහ.

දිනක් කඅබා අසල කුරෙයිෂිවරු පිරිසක් වාඩි වී සිටින විට රසූල් (සල්) තුමා සජදාවෙහි යෙදු අවස්ථාවක උක්බා ඉබ්න් අබි මුඅයිත් නම් කාෆිර්වරයෙක් ඔටුවෙකුගේ කුස තුළ තිබෙන (බොකුවැල් ඇතුළු) අපද්‍රව්‍ය ගෙනැවිත් එතුමාගේ පිට මත දැමු නමුත් එතුමා හිස ඔසවා බැලූවේද නැත. එතුමාගේ දියණිය ෆාත්මා (රලි) තුමිය පැමිණ ඒවා ඉවත් කර එම පහත් ක්‍රියාව කළ අයට බැණ වැදුණු අතර නබි (සල්) තුමා ඒ අයට ශාප කළේය.

උත්බාහ් සහ රසූල් (සල්) තුමා

රසූල් (සල්) තුමාගේ අනුගාමිකයෝ දිනෙන් දින වැඩි වීම නිසා එතුමා සමඟ සාකච්ඡා කර මත භේදය නිරාවුල් කර ගත යුතුයයි උත්බා ඉබ්න් රබිය්යාහ් සෙසු කුරෙයිෂිවරුන්ට යෝජනා කළේය. එතුමාට නොයෙකුත් වරප‍්‍රසාද සලසන්නේ නම් එතුමා දේශනා කිරීම අත හැර දැමිය හැකි බව ඔහු විශ්වාස කළේය. කුරෙයිෂිවරුන්ද තමන් වෙනුවෙන් කථා කිරීමට ඔහුට අනුමැතිය ලබා දුන් අතර, රසූල් (සල්) වෙතට ගොස් උත්බා වාඩි වී සාකච්ඡා කළේය. “පුතේ, උසස් පවුලක උපත ලැබු ඔබ වංශවත් කෙනෙකි. අප සමාජයේ ඔබට තිබෙන ගෞරවය ගැන ඔබ දනී. එහෙත් ඔබේ ජනතාව කැලඹීමට හේතු වන කරුණක් ඔබ දැන් ගෙනැවිත් ඇත. අප සමාජයේ සමගිය ඔබ බිඳ දමා ඇති අතර, ඔවුන්ගේ සම්ප‍්‍රදායන් සියල්ල විහිළුවට භාජනය කර ඇත. ඔවුන්ගේ දෙව්වරුන්  සහ ආගම විවේචනයට ලක් කර, ඔවුන්ගේ මුතුන් මිත්තෝ දේව විශ්වාස නොමැති අය (කාෆිර්) බව ඔබ ප‍්‍රකාශ කරයි. ඔබ සලකා බලනු පිණිස යෝජනා කිහිපයක් මම ඉදිරිපත් කරන්නට කැමැත්තෙමි. සමහර විට ඔබ ඒවා පිළිගන්නවා ඇත.“ යයි උත්බා කීවේය.

“කථා කරන්න අබුල් වලීද්“ (උත්බාගේ කුන්යා නාමය) මම සවන් දෙන්නෙමි.“ යයි රසූල් (සල්) තුමා පැවසීය.

“පුතේ, ඔබේ මේ ක්‍රියා මාර්ගයෙන් ඔබ මුදල් උපයන්නට බලාපොරොත්තු වන්නේ නම් අපේ සියලු දේපළ එකතු කර ඔබව අපි අතර ධනවත් කෙනෙක් කරන්නෙමු. ඔබ ගෞරවය පතන්නේ නම් ඔබව අපේ නායකයා ලෙස පත් කර සියලු තීරණ ගැනීම ඔබට භාර කරන්නෙමු. ඔබට අවශ්‍ය වන්නේ රජකම නම් ඔබව අපේ රජු බවට පත් කර ගන්නෙමු. ඔබට යක්ෂ හෝ ජින්වරුන්ගෙන් උවදුරක් සිදු වී සුව කර ගත නොහැකිව තිබේ නම් දක්ෂ මන්ත‍්‍රකාරයෝ ගෙන්වා ඔබව සුව කරන්නෙමු. ඔබට සුවය ලැබෙන තුරු අපේ සියලු ධනය වියදම් කරන්නෙමු.“ යනුවෙන් උත්බා පැවසීය.

උක්බාගේ කථාව අවසන් කළායින් පසු රසූල් (සල්) තුමා “ඔබේ කථාව අවසානද අබුල් වලීද්?“ යනුවෙන් විමසුවේය.

“ඔව්“ යයි පිළිතුරු ලැබුණි. “එසේ නම් මට දැන් සවන් දෙන්න.“ ලෙස රසූල් (සල්)  පැවසු විට, උත්බා ද එකඟ විය.

අල් කුර්ආනයේ ෆුස්සිලාත් සූරාවෙන් වැකි කිහිපයක් රසූල් (සල්) තුමා පාරායන කළ විට උත්බා දෑත් පිටුපස දමා ඉතා  ඕනෑකමින් ඒවාට සවන් දුනී. රසූල් (සල්) තුමා කුර්ආන් වැකි පාරායන කර සජදා කිරීම ගැන සඳහන් වාක්‍ය කිය වූ විට සජදා කර, “අබුල් වලීද්, ඔබ සවන් දුන්නා. දැන් (ඉතිරිය) ඔබට භාරයි.“ යනුවෙන් පැවසීය.

සිය මිතුරන් වෙතට උත්බා පැමිණි විට, “අබුල් වලීද් ආපසු පැමිණ සිටින්නේ වෙනස් වූ  මුහුණුවරකින්ය.“ යි කථා වූ ඔවුන් ඔහු වාඩිවූ විගස සිදුවුණේ කුමක් දැයි ප‍්‍රශ්න කළහ.

“අල්ලාහ්ගේ නාමයෙන් දිවුරමි. මීට පෙර නොඇසු වචනයන්ට මම සවන් දුන්නෙමි. අල්ලාහ්ගේ නාමයෙන් දිවුරමි. මේවා කවි හෝ විජ්ජාවක් හෝ ශාස්ත‍්‍ර කියන්නෙකුගේ  කථාවක් හෝ නොවේ. කුරෙයිෂිවරුණී, මගේ කථාවට සවන් දෙන්න. මේ මිනිසා ළඟ තිබෙන දේ සමඟ ඔහුට පාඩුවේ ඉන්නට ඉඩ දෙන්න. ඔහු ගැන සැලකිලිමත්වන්න. ඔහුට හිරිහැර නොකරන්න.“ යනුවෙන් උපදෙස් දුනී. එහෙත් ඒ පිරිස, “අබුල් වලීද්, ඔහුගේ වදනින් ඔබත් වශී වුණා වගේය.“යි විහිළු කළහ.

“මෙය ඔහු ගැන මගේ මතය පමණයි. ඔබ කැමති දෙයක් කරන්න.“ යනුවෙන් උත්බා ඔවුන්ට පිළිතුරු දුනී.

අබිසීනියා හිජ්රාව (දේශාන්තරය)

දිගින් දිගටම වද හිංසාවට භාජණය වන අනුගාමිකයන්ට ආරක්ෂාව සැපයීම අපහසු බව දුටු රසූල් (සල්) තුමා, ඒ අයට “අබිසීනියාවට ඔබ යන්නේ නම් කිසිවෙකුට අසාධාරණකම් නොකරන රජ කෙනෙක් එහිදී ඔබ දැක ගනී. එය යහපත් රටකි. අල්ලාහ් අපට සහන සලසන තුරු ඔබ එහි ජීවත් විය හැක.“ යයි යෝජනා කළේය.

ඉස්ලාමයේ ප‍්‍රථම හිජ්රාව ලෙස හැඳින්වන මෙම ගමනෙහි මුස්ලිම්වරු පිරිසක් අබිසීනියාවට පිටත්ව ගියහ. උත්මාන් ඉබ්න් මාzසූන් (රලි) ගේ නායකත්වය යටතේ පිරිමින් දහ දෙනෙක් මෙම කණ්ඩායමේ ගියහ. ඉන් පසුව ජාෆර් ඉබ්න් අබි තාලිබ් (රලි) ගේ නායකත්වය යටතේ තවත් මුස්ලිම් පිරිසක් ගොස් එකතු වුහ. සමහර මුස්ලිම්වරු සිය පවුලේ අයද රැගෙන ගියහ. තම දේව විශ්වාසය සඳහා මෙලෙස අබිසීනියාවට හිජ්රා කළ මුල් සංඛ්‍යාව අසු තුනකි.

කුරෙයිෂිවරු ලුහු බඳිති

මුස්ලිම්වරු අබිසීනියාවේ ආරක්ෂා සහිතව ජීවත් වීම කුරෙයිෂි වරුන්ගේ කෝපය තවත් වැඩි කරන ලදී. ඔවුන් අබිසීනියාවේ නේගුස් රජතුමාට සහ රජ වාසල නිලධාරීන්ට වටිනා තෑගි බෝග සූදානම් කර අබ්දුල්ලාහ් ඉබ්න් අල් රබිය්යා සහ අම්ර් ඉබ්න් අල් ආස් ඉබ්න් වායිල් සමඟ අබිසීනියාවට යැවූහ. එම තෑගි බෝග මගින් අබිසීනියාවේ නිලධාරීන්ගේ සිත් දිනා ගත් කුරෙයිෂි නියෝජිත පිරිස රජතුමා සමඟ කථා කරන්නට අවස්ථාවක් ලබා ගත්හ.

ඔවුන් නේගුස් රජතුමා ඉදිරියේ, “අපේ සමාජයේ අනුවණ පිරිසක් ඔබ තුමාගේ රටේ සැඟ වී ආරක්ෂාව ලබති. ඔවුන් තමන්ගේ ආගම අත හැර දමා ආ නමුත් ඔබ තුමන්ගේ ආගමට පිවිසී නැත. අපි හෝ ඔබ තුමා නොදන්නා අලුත් ආගමක් ඔවුන් රැගෙනවිත් ඇත. මේ අයගේ ඥාතීන් වන සමාජයේ උසස් පෙළේ නායකයෝ මේ පිරිස ආපසු දෙන ලෙස ඔබ තුමාගෙන් ඉල්ලනු පිණිස අප එවා ඇත. මොවුන් මේ අයගේ ළඟම ඥාතීන් හෙයින්, ඔවුන් ගැන හොඳාකාරව හඳුනති.“ යනුවෙන් කථා කළහ.

රජ ගෙදර නිලධාරීන්ද ඔවුන්ට පක්ෂව “රජතුමණි, මේ අය පවසන්නේ සත්‍ය කථාවකි. එනිසා ඒ පිරිස ඔවුන්ට භාර දෙන්න.“ යනුවෙන් නිර්දේශ කළහ.

රැකවරණය පතා තම රට තුළට පැමිණි කිසිවෙකු නේගුස් රජතුමා පාවා නොදෙයි. කෝපයට පත් වූ ඔහු තම නිලධාරීන්ගේ යෝජනාවට එකඟ වුයේ නැත. මේ බවට දෙවියන්ගේ නාමයෙන් ප්‍රකාශ කර, මුස්ලිම්වරුන් කැඳවන ලෙස අණ කළ රජතුමා තම ආගමික නායක වන බිෂප් වරයාටද රජවාසලට කැඳවීය. “ඔබේ සමාජයේ ආගම අත හැර දැමූ නමුත් මගේ ආගමට තවමත් නොපිවිසීමට හේතුව කුමක්ද?“ යනුවෙන් මුස්ලිම්වරුන්ගෙන් රජතුමා ප‍්‍රශ්න කළේය.

ජාෆර් අබ්න් අබි තාලිබ් ඉස්ලාමය ගැන විස්තර කරයි

රසූල් (සල්) තුමාගේ ඥාති සොයුරෙක් වන ජාෆර් බින් අබි තාලිබ් (රලි), රජතුමාගේ ඉදිරියට පැමිණ මෙසේ කීය. “රජතුමනි, අපි නුගත් සමාජයක් ලෙස පිළිම වලට වැඳපුදමින් මළ සතුන්ගේ මස් ආහාරයට ගනිමින් පිළිකුල් සහගත ක්‍රියාවන්හී යෙදෙමින් අසල් වැසියන්ට හිරිහර කරමින් අපේ බලවතුන් අසරණ ජනතාව ගසාකමින් දිගු කලක් ජීවත් වූයෙමු. අල්ලාහ් අපට රසූල් වරයෙකු එවන තුරු, අපි මේ ආකාරයෙන් සිටියෙමු. අපට පැමිණි රසූල් වරයා ගේ උසස් පෙළපත, අවංකභාවය, විශ්වාසවන්තභාවය සහ විනීතභාවය ගැන අපි හොඳාකාරව දනිමු. අල්ලාහ්ගේ ඒකීයභාවය පිළිගෙන අල්ලාහ්ට පමණක් නමදින ලෙසද අපේ මුතුන් මිත්තන් සහ අපි වැඳුම් පිදුම් කළ ගල් සහ පිළිමවල් ඉවත දමන ලෙසද එතුමා අපට උපදෙස් දුන්නේය. සත්‍ය පවසන ලෙසද අවංකව කටයුතු කරන ලෙසද දුන් පොරොන්දුව ඉෂ්ට කරන ලෙසද නෑ සම්බන්ධකම් රැකගෙන අසල් වැසියන් සමඟ යහපත් ලෙස ජීවත්වන ලෙසද අපරාධ ක්‍රියාවන් සහ ලේ සැලීමෙන් වැළකෙන ලෙසද අපට එතුමා අණ කළේය. පිළිකුල් සහිත ක්‍රියාවන්, අසත්‍ය දේ, අනාථයන්ගේ දේපළ උදුරා ගැනීම සහ යහපත් කාන්තාවන්ට චරිත ඝාතන කිරීමද තහනම් කළේය. අල්ලාහ්ට කිසිවෙක් හෝ කිසිවක් සමාන නොකර අල්ලාහ්ට පමණක් වැඳ පුදන ලෙස එතුමා අපට අණ කළේය.“

“අපි එතුමා කෙරෙහි විශ්වාසය තබා, එතුමා රැගෙන ආ සියල්ල අනුගමනය කළෙමු. අල්ලාහ්ට කිසිවෙක් සමාන නොකර අල්ලාහ්ට පමණක් නමදිමු. එතුමා අනුමත කළ සෑම දෙයක්ම අනුමත බවද එතුමා තහනම් කළ සෑම දෙයක්ම තහනම් බවද අපි සලකමු. මේ හේතුවෙන් අපේ සමාජය අපට පහර දී අපට හිංසා කර අපේ ආගමෙන් අපව ඉවත් කරන්නට යෙදෙති. අති උතුම් අල්ලාහ්ට වැඳුම් පිදුම් නොකර යළි පිළිම වලට වඳින ලෙස අපට බල කරති. අනුමත යයි අපි කලින් සැලකු අයහපත් ක්‍රියාවන්හී යළි යෙදෙන ලෙස ඔවුන් අපට කියති.“

“ඔවුන් අපට වද හිංසා කර නොයෙකුත් අපහසුතාවන්ට පත් කර අප සහ අපේ ආගම අතර මැදිහත් වූ විට ඔබ තුමාගේ රැකවරණය අපේක්ෂාවෙන් ඔබ තුමාගේ රටට පැමිණියෙමු. රජ තුමනි, ඔබ තුමා අපට සාධාරණව සලකනු ඇතැයි බලාපොරොත්තු වෙමු.“

නේගුස් රජතුමා මේ සියල්ලට ඉතා ඕනෑකමින් සවන් දුන්නේය. පසුව “ඔබේ මිත‍්‍රයා අල්ලාහ් ගෙන් රැගෙන ආ කිසිවක් ඔබ වෙත තිබේදැ?“යි විමසුවේය. “ඔව්“ යනුවෙන් ජාෆර් (රලි) පිළිතුරු දුන් විට, “එය මට කියවනු.“ ලෙස අණ කළේය.

සූරා මරියම් හි ආරම්භක කොටස ජාෆර් (රලි) පාරායනය කළේය. එයට සවන් දුන් නේගුස් රජතුමාගේ දෑසින් කඳුළු සැලී එතුමාගේ රැවුල තෙත් වුණේය. බිෂොප් වරුන් ගේද නෙත් වලින් කඳුළු සැලී ඔවුන්ගේ අතේ තිබු  ආගමික ග‍්‍රන්ථ පවා තෙත් වුණේය.

කුරෙයිෂිවරුන්ගේ අරමුණ අසාර්ථකවිය

“මෙය සහ ඊසා (අලෙ) තුමා ගෙන ආවේ එකම උල්පතකින්ය.“ යි පැවසු නේගස් රජතුමා, කුරෙයිෂි නියෝජිත පිරිස දෙස බලා, “මා ඉදිරියෙන් ඉවත යන්න. අල්ලාහ්ගේ නාමයෙන් පවසමි. මේ පිරිස කිසි දවසක ඔබට භාර නොදෙන්නෙමි.“ යයි තරයේ ප‍්‍රකාශ කළේය.

පසු දින මුස්ලිම්වරුන්ට විරුද්ධව කපටි අරමුණකින් අම්ර් අල් ආස් නම් කුරෙයිෂි නියෝජිතයෙක් නේගුස් රජ වෙත ගොස් “රජතුමනි මර්යම්ගේ පුත‍්‍රයා ඊසා ගැන ඔවුන් නොයෙකුත් පහත් අන්දමේ කරුණු පවසති.“ යයි චෝදනා කළේය.

“මර්යම්ගේ පුත‍්‍රයා ඊසා ගැන ඔබ කුමක් පවසන්නේදැ?“ යි මුස්ලිම්වරුගෙන් රජතුමා ප‍්‍රශ්න කළේය.

“අපේ නබි (සල්) තුමා රැගෙන ආ දැය අපිද පවසමු. එනම් එතුමා අල්ලාහ්ගේ සේවකයෙකු බවද, ඔහුගේ රසූල්වරයෙකු බවද, ඔහුගේ ආත්මය බවද ශුද්ධ වූ කන්‍යාව වන මරියම් තුමිය වෙතට යොමු කළ ඔහුගේ වචනය බවද අපි පවසමු.“ යයි ජාෆර් ඉබ්න් අබි තාලිබ් (රලි) පිළිතුරු දුන්නේය.

පොළොව මත තිබු කෝටු කෑල්ලක් අතට ගත් නේගුස් රජතුමා, “අල්ලාහ්ගේ නාමයෙන් පවසමි. ඔබ දැන් පැවසු දැයට මේ කෝටු කෑල්ලක ප‍්‍රමාණයක් පවා වැඩියෙන් මරියම්ගේ පුත‍්‍රයා ඊසා (අලෙ) තුමා පවසා නැත.“ යයි කීවේය.

මුස්ලිම්වරුන්ට ගෞරවයෙන් සැලකු රජතුමා රැකවරණයද දුන් අතර කුරෙයිෂි වරුන්ගේ නියෝජිතයින් දෙදෙනාට ලැජ්ජාවෙන් හැරී යන්නට සිදුවුණි.

හම්සා ඉබ්න් අබ්දුල් මුත්තලිබ් ඉස්ලාමය පිළිගනී

දිනක් සෆා කන්ද අසලදී රසූල් (සල්) තුමා පසුකර ගෙන ගිය අබු ජහල් එතුමාට ඉතා පහත් ලෙස බැණ වැදී ශාප කළේය. එහෙත් රසූල් (සල්) තුමා කිසිඳු පිළිතුරක් නුදුන් හෙයින් ඔහු ඉවතට ගියේය.

දඩයම සඳහා ගිය හම්සා ඉබ්න් අබ්දුල් මුත්තලිබ්, මොහොතකින් දුනු, ඊතල සහිතව එතැනට පැමිණියේය. කුරෙයිෂිවරු අතර හම්සා අති පරාක‍්‍රමාන්විත වීරයෙකි. අබ්දුල්ලාහ් ඉබ්න් ජුදාන්ගේ වහල් සේවිකාවක් රසූල් (සල්) තුමාට සිදු වූ අපහාසය ගැන ඔහුට පැවසීමෙන් මහත් කෝපයට පත් හම්සා (රලි), මස්ජිදයට ඇතුළු විය. අබු ජහල් ඔහුගේ මිතුරන් සමඟ වාඩි වී සිටිනු දැක අබු ජහල් වෙත වේගයෙන් ගොස් අබු ජහල්ගේ හිසට දුන්නෙන් පහර දීමෙන් අබු ජහල්ගේ හිස තුවාල වුණි. “මම මුහම්මද්ගේ අනුගාමිකයෙකු ලෙස සිටියදී නුඹ අපහාස කරන්නේ කෙසේද? ඔහු පවසන දැයම යි මමත් පවසමි.“ යයි හම්සා හඬ නගා පැවසු විට අබු ජහ්ල් කිසිවක් කථා නොකර නිහඬව සිටියේය.

ඒ මොහොතේදීම හම්සා (රලි) මුස්ලිම් බවට පත්විය. හම්සාට සැවෝම ගරු කළ අතර ඔහුගේ පරාක‍්‍රමය ගැනද කවුරුත් දනති. මෙම සිද්ධිය කුරෙයිෂිවරුන්ට විශාල පහරක් වුණී.

උමර් ඉබ්න් අල් කඃත්තාබ් ඉස්ලාමය පිළි ගනී

උමර් ඉබ්න් අල් කඃත්තාබ් අල් අදවි අල් කුරෙයිෂි උස තේජානුබාව පෙනුමෙන් යුත් නිර්භීත කෙනෙකි. මුස්ලිම්වරුන් පැරණි ආගමට යළි හරවා ගනු පිණිස ඔහු මහත් වෙහෙස දැරූ නමුත් එය සාර්ථක වුයේ නැත. මේ අතර උමර් මුස්ලිම් බවට පත් විය යුතුය යි රසූල් (සල්) තුමා අල්ලාහ්ගෙන් ප‍්‍රාර්ථනා කළේය.

උමර්ගේ සොයුරියවන ෆාතිමා බින්ත් අල් කඃත්තාබ් සහ එතුමියගේ සැමියා සඊද් ඉබ්න් සෙzයිද් ඉස්ලාමයට එවිටත් පිවිසු නමුත්, උමර්ගේ කෝපයට බියෙන් ඒ දෙදෙනාම තම ආගම රහසිගතව ඇදහීය.  ඔහු ඉස්ලාමයේ හා මුස්ලීම්වරුන්ගේ සතුරෙක් බව ඔවුන් දෙදෙනාම දනිති. කබ්බාබ් අල් අරාත් නම් සහාබාවරයෙක් මේ දෙදෙනාට අල් කුර්ආන් වැකි උගන්වයි.

දිනක් උමර් දැඩි කෝපයෙන්, තම කඩුවද රැගෙන රසූල් (සල්) තුමා සහ එතුමාගේ මිතුරන් සිටින තැන් සොයා ගෙන ගියේය. සෆා පෙදෙසෙහි නිවසක ඒ පිරිස සිටින බව ඔහුට ආරංචි වුණී. අතර මගදී උමර්ගේ ගෝත‍්‍රයට අයත් ඥතියෙකු වන නුඅයිම් ඉබ්න් අබ්දුල්ලාහ් හමු විය. ඔහු මුස්ලිම්වරයෙකි.

“ඔබ යන්නේ කොහේද යා උමර්?“ යයි ඔහු විමසුවේය.

“මම යන්නේ මුහම්මද් සොයා ගෙනයි. මක්කාවාසීන් අතර අසමගිය පැන නගින්නට ඔහු මඟ පාදා ඇත. ඔහුව මරන්නයි මම මේ යන්නේ.“ යනුවෙන් උමර් කෝපයෙන් පිළිතුරු දුන්නේය.

“ඔබ කරන්නේ මුළාවකි උමර්. ඔබේ නැගණිය ෆාතිමා බින්ත් කඃත්තාබ් සහ ඔබේ මස්සිනා සඊද් ඉබ්න් සෙzයිද් දෙදෙනාම මුස්ලිම් බවට පත් ව මුහම්මද් ගේ ආගම අනුගමනය කරති. ඒ අය ගැන මුලින් සොයා බලන්න.“ යයි නුඅයිම් කීවේය.

මෙයින් තවත් කිපුනු උමර් සිය නැගණියගේ නිවසට වේගයෙන් හැරී ගිය මොහොතේදී කබ්බාබ් ඉබ්න් අල් අරාත් ඒ දෙදෙනාට සූරා තාහා වෙහි පිටුවකින් වාක්‍ය කිහිපයක් කියා දෙමින් සිටියේය. උමර්ගේ අඩි ශබ්දය ඇසුණු විගස එහි කුඩා කාමරයක කඃබ්බාබ් සැඟ වූ අතර ෆාතිමා තම ඇඳුමෙහි කුර්ආන් වැකි සහිත කඩදාසිය සඟවා ගත්තාය. නිවසට ළඟා වන විටම කුර්ආන් පාරායනය කරන කඃබ්බාබ්ගේ හඬට සවන් දුන් උමර්, “මොනවද මේ දොඩවන්නේ?“ යයි ප‍්‍රශ්න කළේය.

“කිසිවක් නැත. ඔබට ඇසුණේ මොනවදැ?“ යි ඔවුන් ඇසුවෝය.

“අල්ලාහ්ගේ නාමයෙන්. නුඹලා මුහම්මද්ගේ ආගම අනුගමනය කරන බව මට ආරංචි වුනා.“ යයි කෑ ගැසු උමර්, තම මස්සිනා සඊද් බින් සෙzයිද්ට පහර දෙන්නට පටන් ගත්තේය. තම සැමියා බේරා ගන්නට ගිය ෆාතිමාටද වැරෙන් පහරක් වැදීමෙන් ඇය තුවාල ලැබුවාය.

මෙලෙස පහර ලත් ඔවුන් දෙදෙනාම, “ඔව්. අපි දෙදෙනාම මුස්ලිම් බවට පත් වී අල්ලාහ් සහ ඔහුගේ රසූල් (සල්) කෙරෙහි විශ්වාසය තබා ඇත්තෙමු. ඔබ කැමති දෙයක් කරන්න.“ යි කීය. මෙවැනි පිළිතුරක් උමර් බලාපොරොත්තු වුයේ නැත.

නැගණියගේ ලේ ගැලීම දුටු උමර් තම ක්‍රියාව ගැන පසුතැවිලි විය. අනෙක් අතට ඇගේ නිර්භීතකම ගැන සතුටු වුණේය. “කඃබ්බාබ් පාරායනය කළ කඩදාසිය මට පෙන්වන්න. මුහම්මද් ගෙන ආවේ කුමක්දැයි බලමු.“ යයි ඔහු ඉල්ලීය.

කුරෙයිෂිවරු අතර අකුරු ලිවීමට හා කියවීමට හැකි සුළු පිරිසක් අතර උමර්ද කෙනෙකි. එහෙත් ඔහුගේ ඉල්ලීම ඇසු නැගණිය “ඔබට එය දෙන්නට අපි බිය වෙමු.“ යයි කීවාය.

“බිය නොවන්න.“ යි පැවසු උමර්, එය විනාශ නොකරන බව පොරොන්දු විය. මෙය ඇසු ෆාතිමා උමර්ද මුස්ලිම් බවට පත් විය යුතුයයි ඒ මොහොතේ පැතුවාය. “අයියේ, ඔබ පිළිම වන්දනා කරන්නෙක් නිසා අපවිත‍්‍ර කෙනෙකි. පවිත‍්‍ර කෙනෙකුට පමණක් එය අල්ලන්න පුළුවනි.“ යයි කීවාය.

උමර් ගොස් ශුද්ධ පවිත‍්‍රවී පැමිණි විට සූරා තාහාවෙන් කොටසක් තිබු පිටුව ඔහුට දුන්නාය. වාක්‍යයන් කිහිපයක් පමණක් කියවා බලා, “මෙම වැකි කෙතරම් උදාරද? කෙතරම් උතුම්ද?“ යනුවෙන් උමර් පුදුමයෙන් පැවසුවේය.

මෙය ඇසු කඃබ්බාබ් සැඟ වී සිටි තැනින් එළියට පැමිණ, “යා උමර්, අල්ලාහ්ගේ නාමයෙන් පවසමි. නබි (සල්) තුමා කළ යාච්ඤාව නිසා අල්ලාහ් ඔබව තෝරා ගත් බව මම විශ්වාස කරමි. ඊයේ රාත‍්‍රි එතුමා, “යා අල්ලාහ්, අබුල් හකම් ඉබ්න් හිෂාම් (අබු ජහල්) ගෙන් හෝ උමර් ඉබ්න් අල් කඃත්තාබ් ගෙන් ඉස්ලාමය ශක්තිමත් කරනු මැනවි.“ යයි යාච්ඤා කරනු මම ඇසුවෙමි. යා උමර්, අල්ලාහ් වෙතට එන්න. අල්ලාහ් වෙතට එන්න.“ යනුවෙන් කථා කළේය.

“කඃබ්බාබ්, මම මුස්ලිම් කෙනෙක් වනු පිණිස, මුහම්මද් තුමා වෙතට මා රැගෙන යන්න.“ යි කඃබ්බාබ් (රලි) ට උමර් කීවේය.

එතුමා මිතුරන් කිහිප දෙනෙක් සමඟ සෆා පළාතේ නිවසක සිටිනා බව කඃබ්බාබ් පැවසීය.

රසූල් (සල්) තුමා සිටින නිවස උමර් සොයා ගෙන ගොස් දොරට තට්ටු කළේය. ඔහුගේ කට හඬ අසා දොරෙන් එබී බැලූ සහාබාවරයෙක් උමර් අතේ කඩුවක් සහිතව පැමිණ සිටින බව දැක, “රසූල් (සල්) තුමනි, උමර් කඩුවක් රැගෙන පැමිණ ඇත.“ යයි දැනුම් දුන්නේය.

“ඔහුට ඇතුළු වන්නට දෙන්න.“ යයි පැවසු රසූල් (සල්) තුමා, උමර් නිවස තුළට පැමිණි විට, ඔහුට මුහුණ දීමට ඉදිරියට ගියේය. උමර්ගේ ලෝගුව තදින් අල්ලා ගත් එතුමා “ඔබ මෙතැනට රැගෙන ආවේ කුමක්ද ඉබ්න් අල් කඃත්තාබ්? අල්ලාහ්ගේ නාමයෙන් කියමි අල්ලාහ් ඔබට මහත් විපතක් සිදුකරන තුරු ඔබ නවතින්නේ නැතැයි මම සිතමි.“ යනුවෙන් ඔහුට කීවේය.

“අල්ලාහ්ගේ රසූල් (සල්) තුමනි, අල්ලාහ් කෙරෙහිද අල්ලාහ්ගේ රසූල් තුමා කෙරෙහිද අල්ලාහ්ගෙන් පැමිණි දේ කෙරෙහිද විශ්වාස කරන බව ඔබ තුමාට පවසන්නයි මම ආවේ.“ යයි සිත් වෙනස් වූ උමර් පිළිතුරු දුන්නේය.

රසූල් (සල්) තුමා “අල්ලාහු අක්බර්! යයි ශබ්ද නගා කියනු ඇසු සහාබාවරු උමර්ද මුස්ලිම් වූ බව දැන ගත්තෝය.

ඉස්ලාම් පිළිබඳ අනවභෝධය නිසා උමර් මෙන් විශාල පිරිසක් සෑම රටකම ඉස්ලාමයට එරෙහිව ක්‍රියා කරති. ඔවුන්ට ඉස්ලාමය පිළිබඳ දැනුවත් කිරීම මුස්ලිම් වරුන්ගේ යුතුකමකි.

උමර් ඉස්ලාමය පිළිගැනීමෙන් අල්ලාහ් මුස්ලිම් වරුන්ට සහන සැලසුවේය. හම්සා (රලි) තුමා මුස්ලිම් වූ විට, මුස්ලිම්රුන්ගේ ආත්ම ශක්තිය වැඩිවුණාක් මෙන් උමර් (රලි) මුස්ලිම් වු විට ඔවුන් තවත් ධෛර්ය සම්පන්න වූහ.

උමර් (රලි) මුස්ලිම්වරයෙක් වූ ආරංචිය කුරෙයිෂිවරුන් අතර වේගයෙන් පැතිරීමෙන් ඔවුන් මහත් සංවේගයට පත්වූහ. එතුමාට විරුද්ධව කුරෙයිෂිවරු ආයුධ ගන්නට සූදානම් වූ නමුත් තම දේව විශ්වාසය වෙනුවෙන් උමර් නිර්භීතව සටන් කරන බව දන්නා ඔවුන් උමර් සමඟ දබරවීමට වඩා තම ප‍්‍රාණයට ආදර කළ නිසා අවසානයේ එතුමාට විරුද්ධව කිසිවක් සිදු නොකළහ. උමර් (රලි) ඉස්ලාමයට පිවිසීමෙන් පසු මුස්ලිම්වරු කඅබාව අසල ප‍්‍රසිද්ධියේ සලාහ් කරන්නට පටන් ගැනීම කුරෙයිෂිවරුන්ගේ කෝපය තවත් වැඩි කළත් ඔවුන්ට කිසිවක් කළ නොහැකි විය.

කුරෙයිෂිවරුන් බනු හාෂිම් ගෝත‍්‍රය වර්ජන කරති

ගම්බද අරාබි ගෝත‍්‍රිකයන් අතරද ඉස්ලාමය පැතිරීමට පටන් ගත්තේය. මුස්ලිම්වරුන්ට එරෙහිව කිසිවක් කළ නොහැකිව අසහනයට පත් වූ කුරෙයිෂිවරු බනු හාෂිම් සහ බනු අල් මුත්තලිබ් පවුලේ සියලු සාමාජිකයන්ව වර්ජන කරන ලෙස නිවේදනයක් නිකුත් කිරීමට තීරණය කළහ. එම නිවේදනය මගින් මේ පවුල් දෙකේම සාමාජිකයින් කිසිවෙකු සමඟ විවාහ සම්බන්ධකම් සිදු නොකරන ලෙසද ඔවුන්ට භාණ්ඩ අලෙවි කිරීම හෝ ඔවුන්ගෙන් භාණ්ඩ මිල දී ගැනීම හෝ නොකරන ලෙසද සැවෝටම දැනුම් දෙන ලදී. එම නිවේදනයට වැඩි ප‍්‍රසිද්ධියක් දෙනු පිණිස නිවේදනය අඩංගු පුවරුව කඅබාව තුළ බිත්තියේ එල්ලා තැබූහ.

ෂිබ් අබු තාලිබ් මිටියාවත

කුරෙයිෂිවරුන් මෙම පියවර ගත්විට බනු හාෂිම් සහ බනු අල් මුත්තලිබ් ගෝත‍්‍රයට අයත් මුස්ලිම් සහ මුස්ලිම් නොවූ සියලු ජනයා තම ගෙවල් දොරවල් අතහැර දමා අබු තාලිබ් සිටිනා පටු මිටියාවතෙහි රොක් වූහ. කෙසේ වෙතත් අබු ලහබ් ඉබ්න් අබ්දුල් මුත්තලිබ් තම බනු හාෂිම් සමාජය අතහැර දමා කුරෙයිෂිවරුන් සමඟ එක් විය. එවිට මුහම්මද් (සල්) තුමාට නබිත්වය ලැබී වසර හතරකි.

ඔවුන් රැගෙන ආ ආහාර සුළු කාලයකින් අවසන් වීමෙන් බනු හාෂිම් සහ බනු අල් මුත්තලිබ්ගේ පිරිස මහත් දුෂ්කර තත්ත්වයට පත් වූහ. වර්ජනය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමෙන් ආහාර ලබාගන්නා මාර්ග ද අවහිර වී ගස්වල කොළ අතු පවා කෑමට ඔවුන්ට සිදුවුණි. වසරකට වරක් හජ් වන්දනා කාලයේ පැමිණෙන අයගෙන් අවශ්‍ය ආහාර සහ වෙනත් දේ ඔවුන් මිල දී ගනිති. මුස්ලිම් වරුන්ට කිසිම දැයක් අලෙවි නොකරන ලෙස වෙ‍ළෙඳුන්ට අණ කළ කුරෙයිෂිවරු අත්‍යවශ්‍ය භාණ්ඩයන් හී මිලද  අසාධාරණ ලෙස ඉහළ නැංවූහ.

මුස්ලිම් බවට පත් නොවූ කාරුණික කුරෙයිෂිවරු කිහිප දෙනෙක් මුස්ලිම් වරුන්ට හොර රහසේ ආහාර පාන ස්වල්පයක් සැපයු අවස්ථාවන් හැර මෙම සමාජය සම්පූර්ණයෙන් අතහැර දමන ලදී. රසූල් (සල්) තුමාද මෙම අසරණ තත්ත්වයේ පසු වූ අතර සියලු අපහසුතා මැද බනු හාෂිම් සහ බනු අල් මුත්තලිබ් පිරිස ඉවසීමෙන් කාලය ගෙවූහ. මෙම පරීක්ෂණය හේතු කොටගෙන මුස්ලිම්වරුන්ගේ සිත් තුළ සමගිය සහ දේව විශ්වාසය දුබල වීම වෙනුවට එය තව තවත් තහවුරු වුණි.

වර්ජනය අවසන් වේ

කුසගින්නෙන් සිටින මව්වරු ඉදිරියේ ඔවුන්ගේ කුඩා දරුවෝ කිරි ඉල්ලා අඬන ශබ්දය නිසංසල රාත‍්‍රියේ සෑම තැනම ඇසීමෙන් කුරෙයිෂිවරුන්ගේ සිත් පවා සෙලවුණි. සාධාරණව කල්පනා කරන කුරෙයිෂිවරු පිරිසක් මෙම අසාධාරණකම පිළිකුල් කළහ. ජනයා අතර ගෞරවය ලත් හිශාම් ඉබ්න් අම්ර් ඉබ්න් රබියියා නම් කෙනෙක් තමන් අතර යුක්ති සහගතව කටයුතු කරන බව දන්නා කුරෙයිෂිවරු තවත් කිහිප දෙනෙක් සමඟ සාකච්ඡා කර මෙම කෲරතම පියවර දිගින් දිගට කරගෙන යෑමට ඉඩ දීම ගෝත‍්‍රයට සිදු කරන නින්දාවක් බව පැවසීය. මේ ගැන තීරණයක් ගනු පිණිස ඔහු ඇතුළු කුරෙයිෂිවරු පස් දෙනෙක් රැස්වුහ. අබි තාලිබ්ගේ සොයුරිය අතිකාගේ පුත‍්‍රයා වන සුzහෙයිර් ඉබ්න් අබි උමයියා එහි රැස් වූ කුරෙයිෂිවරුන් අමතා “බනු හාෂිම් ජනතාව කිසිදු ගනුදෙනුවක් කරගත නොහැකිව විනාශයට පත් වන මේ මොහොතේ අපි පමණක් ආහාර පානය ගෙන සතුටින් ජීවත් වන්නේ කෙසේද? අල්ලාහ්ගේ නාමයෙන් පවසමි. එම අසාධාරණ ලිපිය ඉරා දමන තුරු මම වාඩි නොවන්නෙමි.“ යයි කීය.

එම මොහොතේ සාකච්ඡාවට මැදිහත් වූ අබු ජහල් එයට විරුද්ධව හඬ නැගු නමුත් කිසිවෙක් ඔහුට සවන් දුන්නේ නැත. අල් මුතිම් ඉබ්න් අදී එම නිවේදනය ඉරා දමන්නට කඅබාව වෙතට ගිය විට එම කඩදාසියේ “අල්ලාහ්” යන වචනය හැර අන් සියල්ල වේයන් විසින් විනාශ කර තිබුනු බව දුටුවේය. “අල්ලාහ් එම කඩදාසිය පිළිබඳව වේයන්ට නියෝග කර අවසානය.” යි රසූල් (සල්) තුමා මෙය සිදුවන්නට පෙර අබි තාලිබ්ට දැන්විය. දැන් එම නිවේදනය අහෝසි වූ බව සියලු දෙනාටම දන්වන ලදී. මෙම අසාධාරණ වර්ජනය වසර තුනක පමණ කාලයක් පැවතුණි.

කදීජා සහ අබි තාලිබ්ගේ මරණය සිදු වේ

නබිත්වය ලැබී දහවන වසරේදී වර්ජනය අවසන් වී මාස කිහිපයක් තුළ අබි තාලිබ් සහ කඃදීජා (රලි) තුමියගේ මරණය සිදු විය. ඒ දෙදෙනාම රසූල් (සල්) තුමාට ඉතාමත් හිතවත් විශ්වාසවන්ත සහ විශාල පරිත්‍යාග කළ අය වෙති. අබි තාලිබ් මුස්ලිම් වරයෙකු බවට පත් නොවූ නමුත් මක්කාවාසීන් අතර ගෞරවය ලත් කෙනෙකි. ඔහුගේ මරණයෙන් පසු කාෆිර්වරු රසූල් (සල්) තුමාට කිසිදු පැකිලීමකින් තොරව නොයෙකුත් කරදර සිදු කරන්නට පටන් ගත්හ.

අබි තාලිබ් ජීවතුන් අතර සිටිය දී සීමාව ඉක්මවන්නට මැළි වූ කුරෙයිෂිවරු දැන් රසූල් (සල්) තුමාට විවෘතව හිරිහැර කරන්නට පටන් ගත්හ. දිනක් කාෆිර්වරයෙක් එතුමාගේ හිස මත දූවිලි සහිත පස් දැමීය. ඉස්ලාමය ගැන කිසිදු සැලකිල්ලක් නොදැක් වු කුරෙයිෂිවරුන්ගේ හිරිහැර සීමාව ඉක්මවා ගිය විට “ලාත්” නම් පිළිමයට වැඳුම් පිදුම් කරන කාෆිර් ගෝත‍්‍රයට ඉස්ලාමය කරා ආරාධනා කරන අදහසින් රසූල් (සල්) තුමා තාඉෆ් නුවරට සෙzයිද් බින් හාරිත් (රලි) තුමා සමඟ ගියේය.

තාඉෆ් නුවරට යන මාර්ගයේ බනු බක්ර් ගෝත‍්‍රයටද කහ්තාන් ගෝත‍්‍රයටද රසූල් (සල්) තුමා කථා කළ නමුත් ඔවුන්ද මක්කාවාසීන් මෙන් හැසිරුණෝය. තාඉෆ් නුවරට පැමිණි එතුමා එහි නායකයින් සහ සමාජයේ උසස් පෙළේ අයට ඉස්ලාමය ගැන පවසා අල්ලාහ් කෙරෙහි ආරාධනා කළේය. උඩඟුවෙන් මත්වී එතුමාට අගෞරවය දැක් වූ ඔවුන් එතුමාට අපහාස කරන්නට නගරයේ ගැවසෙන කුඩා ළමයි සහ සේවකයින් යෙදූහ. ඔවුන් අසභ්‍ය වචන කියා කෑ කෝ ගසමින් ගල් මුල් වලින් ගසා එතුමාගේ පිටුපසින් තාඉෆ් නුවර මායිම දක්වා ගියහ. ගල් වැදීමෙන් එතුමාගේ දෙපයින් ලේ සැලුනි. තාඉෆ් පිළිම වන්දනා කරුවන්ගෙන් ලැබු සැලකිලි මෙන් අන් කිසිම ස්ථානයක එතුමා ලක් වුයේ නැත.

සිත් කලකිරීමට පත් ව ඉඳි වත්තේ ගසක සෙවණේ වාඩි වී විවේක ගත් රසූල් (සල්) තුමා තම අසීරු හා අසරණ තත්ත්වය ගැන අල්ලාහ්ට පැමිණිලි කර අල්ලාහ් වෙත මේ ආකාරයට සහාය පැතුහ.

“යා අල්ලාහ්, දුබල හා අසරණ අයගේ ආරක්ෂකවරයා සහ භාරකරු ඔබමයි. මම ඔබේ ආරක්ෂාව පතමි.“

කඳුවැටි භාර ව සිටින මලක්වරයා ඒ අවස්ථාවේ දී පැමිණ තාඉෆ් නගරයේ දෙපස ඇති කඳු දෙක යා (කර එහි වැසියන් විනාශ) කරන්නදැයි නබි තුමාගෙන් විමසීය. එහෙත් රසූල් (සල්) තුමා “එපා. අල්ලාහ්ට කිසිවක් ආදේශ නොකර අල්ලාහ්ට පමණක් වැඳ පුදන සමාජයක් ඔවුන්ගේ අනාගත පරපුරෙන් බිහි වන බව විශ්වාස කරමි.” යනුවෙන් පිළිතුරු දුන්හ.

ඉඳි වත්තේ හිමිකරු වන උත්බා ඉබ්න් රබියියා සහ ශෙයිබා ඉබ්න් රබියියා නම් වංශවත් තරුණයෝ දෙදෙනෙක් රසූල් (සල්) වරයාගේ අසරණ තත්ත්වය දැක මහත් කම්පනයට පත් ව අද්දාස් නම් ක්‍රිස්තියානි වහලෙකු කැඳවා මිදි පොකුරක් ගෙන ගොස් දෙන ලෙස අණ කළහ. එම ක්‍රියාව ඉටු කරන අවස්ථාවේ රසූල් (සල්) වරයාගේ කරුණාව දැක සිත පෑදී අද්දාස් මුස්ලිම් බවට පත්විය.

රසූල් (සල්) වරයා මක්කාවට හැරී ආ පසු මක්කා නගර වාසීන් එතුමාට තවත් වැඩියෙන් සතුරුකම් කළහ.

ස්වර්ගය කරා රැගෙන යනු ලැබීම (මිහ්රාජ් ගමන)

මෙම කාලයේදී මක්කාවේ මස්ජිද් අල් හරම් සිට ජෙරූසලම් හී මස්ජිද් අල් අක්සා වෙතට එක රැයක දී ගමන් කිරීමට අල්ලාහ් මඟ සැලසුවේය. එතැන් සිට එතුමා දැන ගත යුතු යැයි අල්ලාහ් සිතූ ප‍්‍රමාණයට අල්ලාහ් අබියස ප‍්‍රවාහනය කරනු ලැබීය. රසූල් (සල්) තුමා අහසෙහි ගමන් කර අල්ලාහ්ගේ සංඥාවන් දැක ගනිමින් පෙර ආ නබිවරුන් ද මුණ ගැසීය.

“ඔහුගේ දර්ශනය අහක් නොවිය. වැරැද්ද නොගියේය. ඔහු  පරමාධිපතිගේ සංඥාවන් (සමහරක්) දැක ගත්තේය.” යි අල් කුර්ආන් මේ ගැන පවසයි. 53 : 17 හා 18.

එතුමා තාඉෆ් නුවර දී දරා ගත් වේදනාව වෙනුවෙන් අල්ලාහ්ගේ උදාර ආගන්තුක සත්කාරය ද සැනසීම ද වන්දිය ද අන් කිසිවෙක් නොලැබු ගෞරව ද ලැබීය. පසු දින උදය තමාට සිදු වූ දේ ගැන කුරෙයිෂිවරුන්ට පැවසු විට ඔවුන් එතුමාගේ මනස විකෘති වුණා යැයි සිතා මේවා කිසිවක් පිළිනොගෙන බොරුකාරයෙක් යයි එතුමාට සමච්චල් කළහ. එහෙත් අබු බකර් (රලි) තුමා “අල්ලාහ්ගේ නාමයෙන් කියමි. එතුමා එසේ කීවේ නම් එතුමා සත්‍ය පැවසීය. නුඹලා පුදුම වන්නට තිබෙන හේතුව කුමක්ද? දිවා රාත‍්‍රි  ඕනෑම වේලාවක අහසේ සිට තමාට නිවේදන පහළවන බව එතුමා පවසන විට මම එය විශ්වාස කරමි. එයට වඩා ඔබ දැන් පවසන කථා පුදුම දෙයක් වන්නේ කෙසේද?” යනුවෙන් ප‍්‍රකාශ කළේය.

ස්වර්ගය කරා රැගෙන යනු ලැබු අවස්ථවේදී එතුමාගේ උම්මාවට (අනුගාමිකයන්ට) පනස් වාරයක් සලාහ් අල්ලාහ් නියම කළේය. රසූල් (සල්) තුමා නැවත නැවත අඩු කරන ලෙස අල්ලාහ්ගෙන් ඉල්ලීම් කිරීමෙන් අනතුරුව එය දිනකට පස් වතාවක් දක්වා අඩු කරනු ලැබීය. අවංකව හා අල්ලාහ්ගෙන් ත්‍යාග බලාපොරොත්තුවෙන් දිනකට පස් වතාවක් සලාහ් ඉටු කරන සෑම කෙනෙකුටම පනස් වාරයක් සලාහ් ඉටු කළ ත්‍යාග ලැබෙන බව අල්ලාහ් පවසයි.

ඉස්ලාමයේ අඛණ්ඩ පැතිරීම

අත් තුෆෙයිල් ඉබ්න් අම්ර් නම් දව්සි ගෝත‍්‍ර නායකයෙක් දිනක් මක්කාවට පැමිණීය. ඔහු හොඳ නුවණැති දක්ෂ කවියෙකි. මක්කාවේදී ඔහුව ගරු සරුව පිළි ගත් කුරෙයිෂිවරු සමාජය හා පවුල් සමගිය බිඳින්නට ක්‍රියා කරන පුද්ගලයෙකු බව රසූල් (සල්) තුමා ගැන අවවාද කළ නිසා එතුමාට ළඟාවීමට හෝ එතුමා පවසන දැයට සවන් දීමට හෝ ඔහු මැළි විය.

මෙම සිද්ධිය පිළිබඳව අත් තුෆෙයිල් මෙසේ පවසයි. “අල්ලාහ්ගේ නාමයෙන් කියමි. ඒ අය පැවසු ආකාරයට එතුමා සමඟ කථා නොකිරීමටද එතුමා පවසන දේවලට සවන් නොදීමටද තීරණය කර ගත් මම කන් දෙකේම පුලුන් දමා වසා ගන්නා තරමට දැඩියෙන් සිටියෙමි. දිනක් අලුයම මස්ජිදයට මම ගිය විට රසූල් (සල්) තුමා කඅබාව අසල සලාහ් කරමින් සිටීය. එතුමා සලාහ් කළ ආකාරය දැක සිත් ඇදී එතුමා අසල මා සිට ගෙන හුන් එම මොහොතේ එතුමා පාරායනය කළ අල් කුර්ආන් වැකි කිහිපයකට සවන් දෙන්නට මට අල්ලාහ් අවස්ථාවක් සැලසීය. එතුමාගේ මුවින් පිට වූ යහපත් වචන කිහිපයකට සවන් දුන් මම “අල්ලාහ්ගේ නාමයෙන් දිවුරමි. මම හොඳ නුවණැති කවියෙකි. හොඳ හා නරක අතර වෙනස මගෙන් සැඟ වී නැත. මේ මිනිසා පවසන දේවලට මම සවන් නොදෙන්නේ කුමක් නිසාද? ඔහු පවසන්නේ යහපත් දෙයක් නම් ඒවා පිළිගන්නෙමි. අසභ්‍ය දෙයක් නම් අතහැර දමන්නෙමි.” යයි සිතුවෙමි.

පසු අවස්ථාවක රසූල් (සල්) තුමාගේ නිවසට අත් තුෆෙයිල් ගොස් එතුමා හමු වී සියලු විස්තර පැවසීය. රසූල් (සල්) තුමා ඔහුට ඉස්ලාම් යනු කුමක්දැයි විස්තර කර අල් කුර්ආනයද පාරායනය කර පෙන්වීය. අත් තුෆෙයිල් මුස්ලිම්වරයෙකු බවට පත්ව තම ජනයා වෙතට ගොස් ඒ අයටද ඉස්ලාමය කරා ආරාධනා කළේය. සිය පවුලේ සියලු දෙනාම මුස්ලිම්වරු බවට පත් වනතුරු ඔවුන් සමඟ ජීවත් නොවන බවද පැවසීය. අවසානයේදී දව්ස් ගෝත‍්‍රයට අයත් සියලු සාමාජිකයෝ මුස්ලිම් බවට පත් වූහ.

රසූල් (සල්) තුමා අනිකුත් ගෝත‍්‍ර වලට ආරාධනා කරයි

උත්සව කාලයේ දී මක්කාවට පැමිණෙන විවිධ ගෝත‍්‍රිකයන් හමු වී ඉස්ලාමය සහ දේව විශ්වාසය කුමක්දැයි පහදා දී සතුරන්ගෙන් රැකවරණය සලසා දිය හැකි දැයි ඔවුන්ගෙන් රසූල් (සල්) තුමා විමසීය. “ජනයිනි, මම ඔබ වෙතට පැමිණි අල්ලාහ්ගේ රසූල්වරයා වෙමි. ඔහුට සමානයක් නොතබා ඔහුට පමණක් නැමදුම් කරන ලෙස ද ඔහු හා සමානයැයි ඔබ සිතන දේවලට නැමදුම් කිරීම අත්හරින ලෙස ද ඔහු අණ කරයි. ඔහු කෙරෙහි විශ්වාසය තබන ලෙස ද එය ස්ථීර කරන ලෙස ද මා වෙත අල්ලාහ් එවූ දේ පැහැදිලි කර දෙනු පිණිස මාහට රැකවරණ දෙන ලෙස ද අල්ලාහ් ඔබට අණ කරයි.” යනුවෙන් පැවසීය.

රසූල් (සල්) තුමා කථාව අවසන් කළායින් පසු අබු ජහල් නැගිට “ජනයිනි, මේ මිනිසා රැගෙන ආ අලුත් දැය සහ වැරදි මාර්ගය වෙනුවෙන් ඔබගේ අල්-ලාත් සහ අල් උzස්zසා (පිළිම) සහ ජින්වරු අතර සිටිනා ඔබේ මිත‍්‍රයන් අත්හැර දමන ලෙස ඔබට පවසයි. ඔහුට සවන් නොදෙනු. ඔහු අනුගමනය නොකරනු.” යනුවෙන් පවසා ගෝති‍්‍රකයන්ගේ සිත් නිරන්තරයෙන්ම අවුල් කරමින් සිටීය.

වාසනාව ලත් යාත්රිබ් වැසියෝ හය දෙනෙක්

යාත්රිබ් නගරයේ අව්ස් සහ හඃස්රජ් යන ශක්තිමත් කාෆිර් අරාබි ගෝත‍්‍ර දෙක අතර  එවකට සිදු වූ මහා ගැටුමකින් දෙපාර්ශවයට අයත් වැදගත් නායකයෝ කිහිප දෙනෙකු ඇතුළු විශාල පිරිසකගේ ජීවිත හානි සිදු වී තිබුණි. මේ ගෝත‍්‍ර දෙකට අමතරව යුදෙව් ජාතීන්ද යාත්රිබ් නගරයේ වාසය කළහ.

තමා පිටුපසින් ලුහු බඳින අබු ජහල්, අබු ලහබ් වැනි මක්කාවේ සතුරු නායකයන්ගේ උවදුරෙන් ඉවත් වනු පිණිස රෑ අන්ධකාරයේ කඅබාව සිට ඈත්ව ඇවිද ගොස් වන්දනාකරුවන් හමු වී ඉස්ලාමය ගැන රසූල් (සල්) තුමා පවසයි. වරක් හජ් වන්දනාව සඳහා යාත්රිබ් නගරයේ සිට පැමිණි කඃස්රජ් ගෝත‍්‍රයට අයත් හය දෙනෙක් මක්කාව සිට සැතපුම් කිහිපයක දුරක ලැඟුම් ගෙන සිටිනු දුටු රසූල් (සල්) තුමා ඔවුන්ට ඉස්ලාමය දේශනා කර, අති උතුම් අල්ලාහ් වෙතට පැමිණෙන ලෙස ආරාධනා කළේය. කුර්ආන් වාක්‍යයන්ද පාරායනය කළේය.

අලුත් නබිවරයෙකුගේ පැමිණීම පිළිබඳ සුබාරංචිය යාත්රිබ් නගරයේ වාසය කරන යුදෙව් වරුන්ගෙන් මදීනා අරාබිවරු දැන සිටියහ. සැබැවින්ම එවකට ඒක දේව විශ්වාසය කළ ජනතාව යුදෙව්වරු පමණයි. ජේසු තුමා සහ මරියම් තුමිය පිළිනොගත් හේතුවෙන් ක්‍රිස්තු බැතිමතුන්ගේ අතවරයට ලක් වූ යුදෙව්වරු ජීවිතය රැකගනු පිණිස අරාබි දේශය තුළට පලා ගොස් එහි දී ආරක්ෂා සහිතව ජීවත් වූහ. සැබැවින්ම තම ආගමික ග‍්‍රන්ථයේ සඳහන් අලුත් නබිවරයාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියේ යුදෙව්වරුන්ය. “ජනයිනි, අල්ලාහ්ගේ නාමයෙන් යුදෙව්වරු බලාපොරොත්තු වන නබි වරයා ඔහු විය යුතුයි. එනිසා ඔවුන්ට පෙර අපි එතුමා වෙතට ළඟා විය යුතුය.” යි ඔවුන් තමන් අතර කථා කර ගත්හ.

හය දෙනෙකුගෙන් යුත් මේ පිරිස ඉස්ලාමය අවබෝධ කර ගත් විගස මුස්ලිම් බවට පත් වූහ. “අපට වෙනත් කිසිම ජාතියක් නොකරන සතුරුකම් හා නපුරුකම් කරන අපේ ඥාතීන් අපි අත් හැරියෙමු. ඇතැම් විට ඔබ තුමාගේ මාර්ගයෙන් අල්ලාහ් අපගේ සමාජය සමගි කරනු ඇත. අපගේ ජනයා වෙත ගොස් ඔබ තුමාගෙන් අපි ලබා ගත් මේ ආගම කරා ආරාධනා කරන්නෙමු. අල්ලාහ් ඒ අයද ඔබ තුමා සමඟ එකතු කළේ නම් ඔබ තුමා වඩා බලවත් කෙනෙකු වන්නේය.” යනුවෙන් පැවසුහ.

ඔවුන් තම නගරයට ගොස් තම සොයුරන්ට ද රසූල් (සල්) තුමා ගැන විස්තර දන්වා ඉස්ලාමය කරා ආරාධනා කළහ. මෙම තොරතුරු සෑම තැනම පැතිරීමෙන් කෙටි කාලයකින් රසූල් (සල්) වරයා ගැන සාකච්ඡා නොකළ නිවසක් යාත්රිබ් නුවර නොතිබුණී.

පළමු වන අකබා දිවුරුම් දීම

මුස්ලිම් බවට පත් වූ මේ අය ගැන දිගු කලක් කිසිදු තොරතුරක් රසූල් (සල්) තුමාට නොලැබුණි. පසු වසරේ මක්කා උත්සව කාලයේ යාත්රිබ් නගරයේ පිරිස හමු වූ එම ස්ථානයට රාත‍්‍රියෙහි රසූල් (සල්) තුමා ගියේය. එහිදී අන්ධකාරයේ හඃස්රජ් ගෝත‍්‍රිකයින් දස දෙනෙක්ද අව්ස් ගෝත‍්‍රිකයින් දෙදෙනෙක්ද රසූල් (සල්) තුමා හමු වී තම විශ්වාසය ප‍්‍රකාශ කළහ. තවද සැබෑ එකම දෙවියෙක් කෙරෙහි විශ්වාස කරන බවද සොරකම්, දුරාචාරයේ යෙදීම, ළදරුවන් ඝාතන කිරීම, චරිත ඝාතන සහ කේලාම් හා මුසා වැනි පාපයන්ගෙන් වැළකෙන බවද නිවැරදි කරුණු වලදී රසූල් (සල්) තුමාගේ උපදෙස් අනුගමනය කරන බවද දිවුරුම් දුන්හ. මෙය පළමුවන අකබා දිවුරුම් ලෙස හැඳින් වේ.

ඔවුන්ට කුර්ආනය සහ ඉස්ලාමය උගන්වන්නට මුසාබ් ඉබ්න් උමෙයිර් නමැති සහාබිවරයා ඒ පිරිස සමඟ රසූල් (සල්) යැවීය. අසද් ඉබ්න් zසුරාරාගේ  නිවසෙහි නවාතැන් ගත් ඔහු එම ජනතාවට සලාහ් මෙහෙයෙ වූ අතර “කාරි“ නම් කියවන්නා ලෙස යාත්රිබ් නුවරෙහි හැඳින්වනු ලැබීය.

යාත්රිබ් නගරය පුරා ඉස්ලාමය පැතිරේ

යාත්රිබ් නුවර අව්ස් සහ හඃzස්රජ් ජනයා අතර ඉස්ලාමය පැතිරිණි. අව්ස් ගෝත‍්‍රයේ බනු අබ්දුල් අස්හල් ජනතාවගේ නායකයින් වන සඅද් ඉබ්න් මුආද්  සහ උසෙයිද් ඉබ්න් හුදෙයිර් මුස්ලිම් බවට පත්වූහ. තමන්ට පෙර ඉස්ලාමයට පිවිසු තම පිරිසගේ නිහතමානීභාවය සහ කරුණාව ගැන පැහැදීමෙන් ද විශේෂයෙන් මුසාබ් ඉබ්න් උමෙයිර් ඉස්ලාමයේ කරුණු ඉදිරිපත් කළ උසස් ආකාරයද මෙම නායකයින් තුළ දැඩි විශ්වාසයක් ඇති වීමට හේතු විය.  කෙටි කලකින් බනු අබ්දුල්  අස්හල් ගෝත්‍රයේ සියලු දෙනාම ඉස්ලාමයට පිවිසු අතර යාත්රිබ් නුවර සෑම නිවසකම පිරිමින් හෝ කාන්තාවන් කිහිප දෙනෙක් මුස්ලිම් බවට පත් වූහ.

දෙවන අකබා දිවුරුම් දීම

ඉන් පසු වසරේදී මුසාබ් ඉබ්න් උමෙයිර් යාත්රිබ් සිට පිරිසක් සමඟ මක්කාවට පැමිණියේය. පිරිමින් 72 ක්ද කාන්තාවන් දෙදෙනෙක්ද අඩංගු කණ්ඩායමේ පිළිම වන්දනා කරුවෝ කිහිප දෙනෙක්ද සිටියහ. රසූල් (සල්) තුමාව හමුවීමටද යාත්රිබ් නුවරට ආරාධනා කිරීමටද ඔවුන් අකබා නම් ස්ථානයෙහි රාත‍්‍රි අන්ධකාරයේ බලා සිටියහ. රසූල් (සල්) තුමා තම මහප්පා වන අල් අබ්බාස් සමඟ එතැනට පැමිණීය. ඒ වන විටත් අල් අබ්බාස් මුස්ලිම් බවට පත් වී සිටි‍යේ නැත.

රසූල් (සල්) තුමා ඒ පිරිස සමඟ සාකච්ඡා කර, අල් කුර්ආනයද පාරායනය කර පෙන්වූ පසු අල්ලාහ්ගෙන් යාච්ඤා කර මුස්ලිම් බවට පත්වන ලෙස ආරාධනා කළේය. “ඔබේ බිරිය සහ දරුවන් රැක බලා ගන්නා සේ මාහට ද රැකවරණය දෙන ලෙස ඔබෙන් දිවුරුම් ප‍්‍රකාශනයක් ඉල්ලමි.“ යයි එතුමා පැවසීය.

ඒ ආකාරයෙන්ම දිවුරුම් දුන් ඒ පිරිස එතුමා කිසි දිනක යාත්රිබ් ජනයාව අත හැර දමා මක්කා ජනයා වෙතට හැරී නොයන බවට පොරොන්දු වන ලෙස එතුමාගෙන් ඉල්ලූහ. “මම ඔබ සමඟ ජීවත් වී ඔබ අතරම මරණයට පත්වන්නෙමි.“ යයි රසූල් (සල්) තුමා ප‍්‍රකාශ කළේය.

එම පිරිස අතරින් හzස්රජ්  ගෝත්‍රයෙන් නව දෙනෙක් ද අව්ස් ගෝත්‍රයෙන් තුන් දෙනෙක් ද ඉස්ලාමය ප්‍රචාර කිරීමේ කටයුතු භාරව රසූල් (සල්) තුමා පත් කළේය.

මදීනාවට හිජ්රා (දේශාන්තර) කිරීම ආරම්භවේ

රසූල් (සල්) වරයා සහ මේ පිරිස අතර සිදු වූ වාචික ගිවිසුමෙන් අනතුරුව මුස්ලිම්වරුන්ට ආරක්ෂා මාර්ගයක් විවෘත විය. මක්කා කාෆිර් වරුන්ගේ උවදුරු සීමාව ඉක්මවා මුස්ලිම්වරුගේ ජීවිතයට පවා තර්ජනය එල්ල වූ අවස්ථාවෙහි රැකවරණ පතා යාත්රිබ් නුවරට රහසිගතව දේශාන්තර කරන ලෙස රසූල් (සල්) තුමා අණ කළේය. “අල්ලාහ් ඔබට ආරක්ෂා සහිත ස්ථානයක්ද සහෝදරයන්ද සලසා ඇත.” යයි රසූල් (සල්) තුමා පැවසීමෙන් මුස්ලිම්වරු මක්කාව හැර දමා යාත්රිබ් නුවරට දේශාන්තර කිරීමට පටන් ගත්හ. රසූල් (සල්) වරයාද මදීනාවට යෑමට අල්ලාහ්ගෙන් අනුමැතිය ලැබෙන තුරු මක්කාවෙ රැඳී සිටීය.

මක්කාවෙහි ජීවත් වීම දුෂ්කර වීමෙන් තව දුරටත් එහි රැඳී සිටීමට නොහැකි මුස්ලිම්වරුන්ට මක්කාව හැර දමා යෑමද පහසු ක්‍රියාවක් නොවුණි. මක්කාව හැර දමා යන මුස්ලිම්වරුන්ට කුරෙයිෂිවරු නොයෙකුත් බාධක හා කරදර පැනවූ නමුත් තම අධිෂ්ඨානයෙහි මුස්ලිම්වරු කළ පරිත්‍යාග අප‍්‍රමාණය. ෂුහෙයිබ් (රලි) වැනි ඇතැම් වෙළඳුන්ට ජීවිත කාලය මුළුල්ලේ ඉපැයූ සියලු ධනය හා දේපළ අත හැර දමා හිස් අතින් යෑමට සිදු විය. අබු සලමා (රලි) තුමාට තම බිරිය හා දරුවන් පවා මක්කාවේ හැර යන්නට සිදු වුණී. තවත් සමහරුන් මග රැක සිටි කුරෙයිෂිවරුන් විසින් බොරු චෝදනා මත හිර භාරයට ගෙන නැවත මක්කාවට රැගෙන යනු ලැබුහ.

උමර් ඉබ්න් අල් හඃත්තාබ්, තල්හා, හම්zසා, zසෙයිද් ඉබ්න් හාරිත්, අබ්දුර් රහ්මාන් ඉබ්න් අව්ෆ්, zසුබෙයිර් ඉබ්න් අල් අව්වාම්, අබු හුදෙයිෆා, උත්මාන් ඉබ්න් අෆ්ෆාන් (රලි) වැනි සහාබාවරු බොහෝ දෙනෙක් මෙලෙස මක්කාව හැර දමා ගිය අතර හිජ්රා ගමන අඛණ්ඩව සිදු වුණි. රසූල් (සල්) වරයා සමඟ අලි ඉබ්න් අබි තාලිබ් (රලි) සහ අබු බකර් (රලි) යන දෙදෙනාට අමතරව බොරු චෝදනා මත සිර භාරයට ගනු ලැබු අය සහ නඩු විසඳීම සඳහා රඳවා ගත් අය හැර මුස්ලිම්වරු කිසිවෙක් මක්කාවේ ඉතිරිව සිටියේ නැත.

කුරෙයිෂිවරුන්ගේ අවසාන කුමන්ත‍්‍රණයද පරාජය වේ

රසූල් (සල්) වරයාට සහාය දීමට යාත්රිබ් නුවරෙහි මිතුරන් සිටිනා බවද එම පිරිසට කිසිදු බලපෑමක් කළ නොහැකි බවද රසූල් (සල්) තුමා මක්කාවෙන් බැහැර ගියේ නම් එතුමාව තම පාලනය යටතේ කිසිසේත්ම තබා ගත නොහැකි වන බවද දැන ගත් කුරෙයිෂිවරු මහත් අසහනයට පත් වූහ. මේ හේතුන් මත කුසෙයි ඉබ්න් කිලාබ්ගේ නිවසෙහි රැස් වූ කුරෙයිෂි නායකයෝ රසූල් (සල්) වරයා ගැන කුමක් කරමුදැයි  සාකච්ඡා කළහ. වැදගත් තීරණයක් ගන්නට අවශ්‍ය වන අවස්ථාවන්හී ඔවුන් රැස් වන මෙම ස්ථානය දාර් අන් නද්වා ලෙස හැඳින්වේ.

සෑම ගෝත‍්‍රයක්ම එක් තරුණයෙකු බැගින් සැපයිය යුතු බවද ඔවුන් සියලු දෙනාම එකම මොහොතේ රසූල් (සල්) වරයාට පහර දිය යුතු බවද අවසානයේ එහිදී තීරණය විය. මෙමගින් රසූල් (සල්) වරයාගේ ඝාතනයට වගකීම සියලු ගෝත‍්‍ර අතර බෙදී යන බවද බනු අබ්ද් මනාෆ්ගේ ජනයාට මක්කාවේ ඉතිරි සියලු ජනතාවට එරෙහිව තනිව සටන් කිරීමට නොහැකි වන බවද ඔවුන් නිගමනය කළහ.

මෙම කුමන්ත‍්‍රණය ගැන රසූල් (සල්) තුමාට අල්ලාහ් විසින් දන්වනු ලදු ව එතුමා අලි ඉබ්න් අබි තාලිබ් (රලි) ට තම ලෝගුව පොරොවා තම ඇඳේ නිදා ගන්නට සලස්වා “ඔබට කිසිදු හානියක් සිදු නොවේය.” යි පැවසීය.

රසූල් (සල්) වරයාව ඝාතනය කිරීමේ අරමුණින් පැමිණි මැරයන් එතුමාගේ නිවසේ  දොර අසල සිට ගත්හ. එවිට රසූල් (සල්) වරයා නිවසින් පිටතට පැමිණ වැලි අහුරක් අතට ගත් විට අල්ලාහ් ඔවුන්ගේ දෑසට කිසිවක් හසුකර ගැනීමේ හැකියාව ඉවත් කළායින් “අපි මොවුන් පටලයෙන් වැසුවෙමු. එහෙයින් ඔවුන් නොදකිති.“ යන 36-9 අල් කුර්ආන් වාක්‍ය පාරායනය කරමින් එතුමා ඔවුන්ගේ හිසට ඉහළින් වැලි වීසි කළේය.

පසුව රසූල් (සල්) වරයාගේ හිතවතෙක් පැමිණ “නුඹලා මෙතැන සිටින්නේ කුමක් නිසාදැ“ යි විමසු විට “මුහම්මද් වෙනුවෙනි.“ යයි ඔවුන් පිළිතුරු දුන්හ.

“අල්ලාහ් ඔබේ බලාපොරොත්තුව ඉටු නොකෙරේවා. අල්ලාහ්ගේ නාමයෙන්   එතුමාගේ වැඩ කටයුතු සඳහා නිවසින් බැහැර ගොස් අවසානයි.“ යනුවෙන් ඔහු කීය.

ඒ පිරිස ගේතුළ එබී බලා ඇඳ මත කෙනෙක් නිදා සිටිනු දැක එය රසූල් (සල්) තුමා යැයි විශ්වාස කර තව දුරටත් එහි රැඳී සිටි නමුත් අලුයම අලි (රලි) එහි සිටිනු දුටු ඔවුන් නිහඬව ඉවත ගියහ.

රසූල් (සල්) වරයා හිජ්රා කරයි

රසූල් (සල්) වරයා අබු බකර් (රලි) තුමා වෙතට ගොස් “අල්ලාහ් අපට හිජ්රා කිරීමට අවසර දී ඇත.” යැයි කීය.

“සහකරුවෙක් සමඟද අල්ලාහ්ගේ රසූල් (සල්) තුමනි?” යයි  අබු  බකර් විමසීය.

“සහකරුවෙක් සමගය” යි පිළිතුරු ඇසු අබු බකර් (රලි) සතුටු කඳුළු සැලීය.

ගමනට සූදානම් කර ගත් ඔටුවන් දෙදෙනා රැගෙන පැමිණි අබු බකර්, මග පෙන්වනු පිණිස අබ්දුල්ලාහ් ඉබ්න් උරෙයිකිත් නම් තැනැත්තා යොදා ගත්තේය. අවංකභාවය, නිතමානිකම සහ විශ්වාසවන්තකම සඳහා උසස් ගෞරවයක් වසර ගණනාවක් රසූල් (සල්) තුමාට හිමිවී තිබුණි. එතුමාගේ දහම පිළිනොගත් කුරෙයිෂිවරු පවා තම වටිනා වස්තුන් ආරක්ෂා සහිතව තබා ගනු පිණිස එතුමා වෙත භාර දී තිබිණි. රසූල් (සල්) වරයා හිමිකරුවන්ට ඒවා ආපසු භාරදෙන ලෙස එදිනම අලි (රලි) තුමාට පැවරුවේය.

තව්ර් කන්දෙහි ගල් ලෙන

අබු බකර් (රලි) සමඟ රසූල් (සල්) තුමා රහසිගතව මක්කාවෙන් පිටත් වී තව්ර් නම් ගල් ලෙනට ගියේය. මක්කාවාසීන් තමන් ගැන කුමක් පවසන්නේ දැයි තොරතුරු දැන ගන්නා ලෙස තම පුත‍්‍රයා අබ්දුල්ලාට, අබු බකර් (රලි) අණ කළේය. සෑම රාත‍්‍රියකදීම  බැටළුදෙනක් තමන් වෙත ගෙනෙන ලෙස අම්ර් ඉබ්න් ෆුහෙයිරා නම් නිදහස ලැබු තම සේවකයාටද අබු බකර් (රලි) උපදෙස් දුන්නේය. අබු බකර්ගේ දියණිය අස්මා මේ දෙදෙනාට ආහාර ගෙනැවිත් දුන්නාය.

අබු බකර් (රලි) ගල් ලෙන තුළට ගොස් එය පිරිසිදු කර රසූල් (සල්) තුමාට එහි දී කිසිදු හානියක් සිදු නොවන බවට ස්ථීර කර ගත් පසු රසූල් (සල්) තුමාට එය තුළට පැමිණෙන ලෙස කීය.

දෙදෙනාම ගල් ලෙන තුළට ගිය පසු එයට ඇතුළු වන ස්ථානයේ ගස් පඳුරු හරහා දැල් බඳින ලෙස අල්ලාහ් මකුළුවෙකු එවීය. එම ක්‍රියාවෙන් රසූල් (සල්) තුමා සහ අබූ බකර් (රලි) එහි ගොස් සිටිනා බව සඟවන ලදී. තවද පරවියන් දෙදෙනෙකු මකුළු දැල් සහ ගස් අතර පොළොවෙහි කූඩුවක් තනා එහි බිත්තර ද දැමුවෝය. “අහස්හිද පොළොවෙහිද සේනා අල්ලාහ්ට හිමිය.” බව අල් කුර්ආන් 48:4 වාක්‍ය පවසයි.

රසූල් (සල්) තුමාගේ ගමන් මාර්ගය සොයා ගෙන ගිය කාෆිර්වරු කඳු පෙදෙසට ගිය විට අවුලකට පත්වුහ. කන්ද මත නැග ගල් ලෙන අසලින් පසු කර ගෙන ගිය නමුත් මකුළු දැල දැක “කවරෙකු හෝ ගල් ලෙන තුළට ගොස් තිබේ නම් මකුළු දැලක් ඉතිරිවන්නේ කෙසේ දැ?” යි කථාකර ගත් ඔවුන් ඒ ගැන වැඩි සැලකිල්ලක් නොදක්වා ඉවත ගියහ. කාෆිර්වරු දුටු අබු බකර් (රලි) “රසූල් (සල්) තුමනි, ඔවුන් ගෙන් කෙනෙක් එක අඩියක් ඉදිරියට තැබුවේ නම් අපිව දකිනවා ඇත.“ යයි කීය.

“දෙදෙනෙකු ගැන ලත වන්නේ ඇයි? තුන්වැන්නා ලෙස අල්ලාහ් අප සමඟ සිටියි.” යනුවෙන් රසූල් (සල්) තුමා ඔහුට කීය.

මෙ ගැන අල්ලාහ් කුර්ආනයේ මෙසේ පවසයි. “ගුහාවෙහි දෙදෙනෙක් සිටින විට, බිය නොවනු. ඇත්තෙන්ම අල්ලාහ් අප සමගය ලෙස ඔහු තම සගයාට කීවේය.” අල් කුර්ආන් 9 - 40

දින තුනක් ගල් ලෙනේ සිටි රසූල් (සල්) තුමා සහ අබු බකර් (රලි), අම්ර් ඉබ්න්  ෆුහෙයිරා නම් මඟ පෙන්වන්නෙක් සමග මුහුදු වෙරළ ඔස්සේ ගමන් කළහ.

ආශීර්වාද ලැබු තැනැත්තෙක්

මෙම ගමනේදී උම් මාබාද් අල් කුzසෙයියා නම් කාන්තාවකගේ කූඩාරම පසු කර ගෙන රසූල් (සල්) තුමා ගියේය. ඉඩෝරය නිසා කිරි වැහැරුණු බැටළුවන් ඇයට ඇත. බැටළුවාගේ තන බුරුල්ල අත ගෑ රසූල් (සල්) තුමා අල්ලාහ්ගේ නාමය පවසා යාච්ඤා කළ පසු කිරි එරෙන්නට පටන් ගත්තේය. එතුමා උම් මාබාද්ටද තම සගයාටද කිරි බීමට දී අවසානව තමා ද කිරි බීවේය. දෙවන වරට කිරි දොවන විට පළමු වරට වඩා වැඩි ප‍්‍රමාණයක් කිරි ලැබුණි.  අබු මාබාද් (ඇගේ සැමියා) නිවසට පැමිණි විට එම කාන්තාව සිදු වූ සියල්ල ඔහුට දන්වා “අල්ලාහ්ගේ නාමයෙන්. අපි  පසු කර ගෙන ගිය තැනැත්තා සැබැවින්ම ආශීර්වාද ලැබු කෙනෙකි.” යයි කියා පුදුම වුණාය. එතුමාගේ හැඩ රුව ගැන විස්තර ඇසු අබු මාබාද් “අල්ලාහ්ගේ නාමයෙන් පවසමි. කුරෙයිෂිවරු සොයමින් සිටින මිනිසා මොහු විය හැක.” යයි කීය.

සුරාකාගේ අත්දැකීම

රසූල් (සල්) තුමා මක්කාවෙන් ඉවත ගිය බව දැන ගත් විගස එතුමා මරා දමන හෝ අත් අඩංගුවට ගන්නා කෙනෙකුට ඔටුවන් සීයයක් ත්‍යාග වශයෙන් දෙන බව කුරෙයිෂිවරු දැනුම් දුන්හ. කුරෙයිෂිවරුන් ගෙවන ත්‍යාග දිනා ගන්නට අන් අය මෙන් සුරාකා ඉබ්න් මාලික් ඉබ්න් ජුශාම් ද ආශා කළේය. රසූල් (සල්) තුමා  සොයා ගෙන ගිය සියලු දෙනා තම අරමුණ ඉෂ්ට නොවී ආපසු පැමිණි නමුත් සුරාකා එතුමාගේ ගමන් මාර්ගය ඔස්සේ වේගයෙන් ලුහු බැඳගෙන ගොස් තමා සොයා ගෙන යන දෙදෙනා දිටීය. එහෙත් ඔහුගේ අශ්වයා හදිසියේ වැටීමෙන් ඔහු ද වීසි වී වැටුණේය. ඔහු නැවත අශ්වසා පිට නැග වේගයෙන් ගොස් ඔවුන්ට ළඟා වූ විගස නැවත වරක් අශ්වයා වැටීමෙන් ඔහු ද වීසි වී ගියේය. තම අරමුණ කෙසේ හෝ ඉටු කර ගන්නා අදහසින් ඔහු නැවත වරක් අශ්වයා පිට නැග වේගයෙන් රසූල් (සල්) තුමාට ළඟා වූ නමුත් තෙවන වරටත් ඔහුගේ අශ්වයා වැටුණේය. අශ්වායගේ පා වැල්ලේ එරී සුරාකා ද බිම වැටුණේය. එ සමගම ඔහු ඉදිරියෙහි දුමාරයක් මෙන් දූවිලි ඉහළ නැගීය.

මේ සියල්ල දුටු සුරාකා, රසූල් (සල්) තුමා අල්ලාහ්ගේ රැකවරණයේ සිටින බව දැන ගත්තේය. ඒ සමගම රසූල් (සල්) තුමා තම සතුරන් පරදවා ජයගන්නා බව ද ඔහු අවබෝධ කර ගත්තේය. “මම සුරාකා ඉබ්න් ජුශාම්ය. ඔබට කථා කරන්නට මම කැමතියි. ටිකක් ඉවසන්න. අල්ලාහ්ගේ නාමයෙන් මම ඔබට කිසිදු හානියක් නොකරන්නෙමි.” යයි ඔහු කීවේය.

“ඔහු ඉල්ලන්නේ කුමක්දැයි විමසන්න.” යනු රසූල් (සල්) තුමා අබු බකර් (රලි)ට කීවේය. “ඔබතුමා සිරභාරයට ගන්නට පැමිණි වැරදි ක්‍රියාවට සමාව පතමි. මට ආරක්ෂාව සපයන බවට සහතික කරන ලිපියක් ලියා දෙන මෙන් ඉල්ලමි.” යයි ඔහු කීය.

ලිපියක් සකස් කර දෙන ලෙස රසූල් (සල්) තුමා අම්ර් ඉබ්න් ෆුහෙයිරාට කීවේය. එම ලියවිල්ල (හෝ කට්ට) සුරාකා වසර ගණනාවක් ආරක්ෂා කරගෙන සිටියේය. අනාගතයේ පර්සියාවේ අධිරාජ්‍ය බිඳ වැටෙන බව දන්නා රසූල් (සල්) තුමා, “පර්සියාවේ කොස්රොස් රජතුමාගේ රන් වළලූ පැලඳ ගැනීම ගැන ඔබේ අදහස කුමක්දැ?” යි ඔහුගෙන් විමසුවේය.

මුස්ලිම්වරු පර්සියාව ජයගත්විට කොස්රොස් රජුගේ ආභරණ සහ ඔටුන්න උමර් (රලි) වෙතට ගෙනෙන ලදුව එතුමා සුරාකා ඉබ්න් මාලික් ගෙන්වා රාජකීය නිලයට අයත් ආභරණ ඔහුට පැළඳුවේය. ඉතිරි ගමන සඳහා සුරාකා තම ආහාරය රසූල් (සල්) තුමාට දුන් නමුත්, එය භාර නොගෙන, “අපිව දුටු බව කිසිවෙකුට නොකියනු.” යයි රසූල් (සල්) තුමා සුරාකාට පැවසුවේය. යාත්රිබ් නගරය ඉස්ලාමිය යුගයේ මදීනා මුනව්වරා (ආලෝකමත් නගරය) ලෙස හැඳින්වනු ලැබුවේය.

 මදීනාවෙහි

මදීනා නුවර රසූල් (සල්) තුමාව පිළි ගනී

 රසූල් (සල්) තුමා සහ සගයා දින අටක ගමන අවසානයේ මදීනා නුවර මායිමට අයත් කූබා නම් ස්ථානයට පා තැබුවේ රබි අල් අව්වල් මස අට වන දින සඳුදාය. මුස්ලිම්වරුන්ගේ දින දර්ශනය ආරම්භ වුයේ ඒ දිනය සිටයි.

රසූල් (සල්) තුමා මක්කාවෙන් පිටත් වූ බව ආරංචි වූ මොහොත පටන් මදීනා වාසීන් ඉතාමත් ආශාවෙන් එතුමාගේ පැමිණීම බලා සිටියහ. ඔවුන් දිනපතා අලුයම සලාහ්වෙන් පසු මදීනා නුවර මායිම අසල හාරා නම් ස්ථානය දක්වා ගොස් එතුමා පැමිණියේ දැයි බලා සිටියෝය. දහවල් හිරු රැස් ඉවසිය නොහැකි වන විට තම නිවෙස් කරා ඔවුන් ආපසු පා තබන්නේ මහත් කලකිරීමට පත්වෙමින්ය.

රසූල් (සල්) තුමා මදීනාවට පාතැ බු දිනයේද ඔවුන් තම නිවෙස් වලට හැරී ගොස් පසු වූයේ සුළු මොහොතකි යුදෙව්වරුන්ද නගරයේ සිදු වන සියලු දේ ගැන සෙවිල්ලෙන් සිටි අතර ඔටුවන් දෙදෙනා මත පැමිණෙන රසූල් (සල්) තුමාව හා අබු බකර් (රලි) මුලින්ම දුටුවේ යුදෙව්වරයෙකි.

ඔහු හඬ නගා එහි වැසියන්ට රසූල් (සල්) තුමාගේ පැමිණීම ගැන දැන් වූ විගස සෑම මුස්ලිම්වරයෙකුම එතුමාව පිළිගැනීමට පැමිණියහ. එක හා සමාන වයසැති එතුමා සහ අබු බකර්, දෙදෙනාම ඉඳි ගසක සෙවණෙල්ලේ ලැගුම් ගැන සිටියහ. මදීනා වාසීන් කිහිප දෙනෙක් පමණක් රසූල් (සල්) තුමාව මෙයට පෙර දැක ඇති නිසා මේ දෙදෙනා ගෙන් රසූල් (සල්) තුමා කවුදැයි  හඳුනා ගැනීම ඔවුන් බොහෝ දෙනෙකුට අපහසු විය. මොවුන් මුහුණු දෙන ප‍්‍රශ්නය වටහා ගත් අබු බකර් (රලි) නැගිට තම ලෝගුවෙන් එතුමාට හිරු රශ්මිය වැටීමෙන් ආරක්ෂා කළායින් අල්ලාහ්ගේ රසූල් (සල්) කවුදැයි සියලු දෙනාම හඳුනා ගත්තෝය.

රසූල් (සල්) තුමාගේ පැමිණීම මුස්ලිම් වරුන්ට ඉමහත් සතුට ගෙන දුන් අතර ඔවුන්ගේ ප‍්‍රීතිමත් මොහොත එය වේ. කාන්තාවන් සහ කුඩා ළමයි “මෙහි පැමිණ සටින්නේ අල්ලාහ්ගේ රසූල් තුමාය. මෙහි පැමිණ සටින්නේ අල්ලාහ්ගේ රසූල් තුමාය.”යනුවෙන් හඬ නැඟුහ. තම සතුට පළ කළ කුඩා ගැහැනු ළමයි මෙලෙස ගී ගැයුහ.

“තානියාත් අල් වදා සිට පුන් සඳ දහවල් කාලයේ අප වෙත දීප්තිය දක්වයි. අපි සියලු දෙනාම සෑම විටම අල්ලාහ්ට ප‍්‍රශංසා කරමින් ස්තූතිය පළ කළ යුතුයි. අල්ලාහ් අප වෙතට එවූ ඔබ තුමා පවසන සෑම දෙයකටම අපි අවනත වෙමු. ඔබ තුමා මදීනා නුවර උතුම් ස්ථානයක් බවට පත් කළේය. ඔබ තුමා සතුටින් අපි පිළි ගනිමු. ඔබ (අල්ලාහ්)ගේ මාර්ගයේ අප රැගෙන යනු මැනවි.”

ඒ කාලයේ කුඩා ළමයෙකු වූ අනස් ඉබ්න් මාලික් අල් අන්සාරි (රලි) තුමා, “මදීනා නුවරට අල්ලාහ්ගේ රසූල් (සල්) තුමා පැමිණි දිනයේ මා එතුමා දුටුවෙමි. එතුමා මදීනාවට පැමිණි දිනය මෙන් ආලෝකමත් හා උතුම් දිනයක් මම දැක නැත.” යනුවෙන් පැවසුවේය.

දින කිහිපයකට පසුව අලි (රලි) තුමාද තම වගකීම අවසන් කර මදීනා නුවරට පැමිණ මුස්ලිම් වරු සමඟ එකතු විය.

අල්ලාහ්ගේ රසූල් (සල්) වරයා, කුබා නම් ස්ථානයෙහි දින හතරක් නැවතී ඉස්ලාමිය යුගයේ ප‍්‍රථම මස්ජිදය ඉදි කළේය. සිකුරාදා දින එතුමා නැවත පිටත් වී දහවල් කාලයේ බනු සාලිම් ඉබ්න් අව්ෆ් ජනතාව අතර නැවතී ජුම්ආ සලාහ් ඉටු කළේය. මදීනාවේ සිදු වූ පළමු වන ජුම්ආ සලාහ් මෙයවේ.

අබු අයියූබ් අල් අන්සාරිගේ නිවස

මදීනා නුවරෙහි රසූල් (සල්) තුමාට ආචාර කළ සියලු දෙනාම තමන්ගේ නිවසෙහි නවාතැන් ගන්නා ලෙස ආරාධනා කළහ. එතුමාගේ ඔටුවාගේ ලණුවෙන් ඔවුන් ඇද ගත් නමුත් රසූල් (සල්) තුමා “ඔහුට නිදහසේ යන්නට ඉඩ දෙන්න. ඔහුට අණ ලැබී ඇත” යයි පැවසීය. මෙය කිහිප වතාවක් සිදු වූ අතර අවසානයේ බනු මාලික් ඉබ්න් අන් නජ්ජාර් ජනයාට අයත් පාළු ඉඩමක ඔටුවා නැවතුණි. සියලු දෙනාම ඔටුවාගේ ගමන ඉතා ඕනෑකමින් බලා සිටියහ.  එහි බිම වාඩි වු ඔටුවා, ගෙල පොළොව මත තබා වලිගය වනමින් විවේක ගත්තේය. රසූල් (සල්) තුමාගේ වර්තමාන මස්ජිදයේ දොරක් එම ස්ථානයේ පිහිටා තිබේ. එතුමාගේ මවගේ සහෝදරයන් වන බනු අන් නජ්ජාර් පවුලේ අනාථ පිරිමි ළමයි දෙදෙනෙකුට අයත් එම ඉඩම ඒ කාලයේ රට ඉඳි වියළන ස්ථානයකි.

රසූල් (සල්) තුමා ඔටුවා ගෙන්  බැස ගත් විගස එතුමාගේ වඩු බාහිරාදිය අබු අයියූබ් කාඃලිද් ඉබ්න් සෙzයිද් ලහිලහියේ තම නිවස තුළට රැගෙන යාමෙන් රසූල් (සල්) තුමා ඔහුගේ නිවසෙහි නවාතැන් ගත්තේය. අබු අයියූබ් මහත් ගෞරවයෙන් එතුමාට සංග‍්‍රහ කර සැලකීය. රසූල් (සල්) තුමා තම නිවසේ බිම් මහලේ නැවතී සිටිනා විට තමා උඩ මහලේ ජීවත් වීම එතුමාට අගෞරවය දැක්වීමක් යයි අබු අයියූබ් පැවසු නමුත් “අබු අයියූබ්, මම බිම් මහලේ සිටීම මට මෙන්ම මා හමු වීමට පැමිණෙන සෑම අයෙකුටම පහසුය.” යි රසූල් (සල්) තුමා ඔහුට පහදා දුන්නේය.

රසූල් (සල්) තුමාගේ මස්ජිදය

ඉඳි වියළන ඉඩමේ හිමි කරුවන් වන අනාථ දරුවෝ දෙදෙනා කැඳවා එහි මස්ජිදයක් ඉදි කිරීමට අවශ්‍ය හෙයින් එම ඉඩමට මිල පවසන ලෙස රසූල් (සල්) තුමා යෝජනා කළ විට ඒ ළමයින් දෙදෙනාම “අපි ඔබ තුමාට එය පරිත්‍යාග කළෙමු රසූල් (සල්) තුමනි,“ යයි එක හඬින් පැවසු නමුත් එසේ ලබා ගන්නට කිසිසේත්ම එතුමා එකඟ නොවී එහි වටිනාකම ගෙවා මිලයට ගත්හ.

එම ස්ථානයේ මස්ජිදයක් ඉදි කිරීමේ කටයුතුවලට මුස්ලිම්වරු සමඟ රසූල් (සල්) තුමාද ගඩොල් ඔසවා ගෙන ගොස් සහභාගි විය.

මෙලෙස මස්ජිදය ඉදි කරන අවස්ථාවේදී “යා අල්ලාහ් සැබෑ ත්‍යාගය අනිත් ලෝවේ ලැබෙන ත්‍යාගය වේ. එනිසා අන්සාර් වරුන්ට (මදීනාවාසීන්) සහ මුහාජිර්වරුන්ට (මක්කාවෙන් දේශාන්තර කළ මුස්ලිම්වරු) ඔබේ කරුණාව දක්වනු මැනවි” යයි රසූල් (සල්) තුමා යාච්ඤා කළේය.

මුස්ලිම්වරු බොහෝ සතුටින් අල්ලාහ්ට ප‍්‍රශංසා කර කවි කියමින් මස්ජිදය ඉදි කිරීමේ කටයුත්තෙහි යෙදුණහ. මස්ජිදය සහ තම පවුලේ අයට කුඩා නිවසක් ඉදිකර අවසන් කරන තුරු අබු අයියූබ් (රලි)ගේ නිවසෙහි රසූල් (සල්) තුමා නැවතී සිටීය.

මේ වන විට සිරභාරව හෝ නඩු පවරන ලදු ව එය අවසන්වන තුරු බලා සිටිනා අය හැර අන් කිසිම මුස්ලිම් වරයෙක් මක්කාවේ ඉතිරි ව නොසිටි අතර මදීනාවෙහි සෑම අන්සාර් වරුන්ගේ නිවසක්ම මුස්ලිම් බවට පත්විය.

ඉස්ලාමයේ සහෝදරත්වය

නීතිය, සමගිය සහ සුහදතාව සුරකින සමාජයක් ගොඩ නැගීම රසූල් (සල්) තුමාගේ ප‍්‍රථම අරමුණ විය. මදීනාවට පැමිණි මක්කාවේ මුහාජිර්වරු මදීනාවේ අන්සාර්වරුන්ට ආර්ථික බරක් නොවිය යුතුයි. එමෙන්ම තම දේව විශ්වාසයේ එකම හේතුවෙන් මුදල්, දේපොළ වෙළඳ ව්‍යාපාරය, බඩු බාහිරාදිය සහ නෑදෑයෝ, පවුලේ සාමාජිකයෝ යන සියල්ල පරිත්‍යාගි කර හිස් අතින් අනාථයන් මෙන් පැමිණි මුහාජිර්වරු කලකිරීමට හෝ සිත්තැවිල්ලට පත් නොවන අයුරින් සැලකිලි ලැබිය යුතුයි. සියලු දෙනා සාකච්ඡාවට කැඳවා ඉස්ලාමිය සහෝදරත්වය ගැන රසූල් (සල්) තුමා පහදා දුනී.

මුහාජිර්වරු සහ අන්සාර්වරු අතර සහෝදරත්වය ස්ථාපනය කිරීමෙන් තමන් අතර එකිනෙකාට උදව් කිරීමේ වගකීමද ඔවුන්ට පැවරුණි. මුහාජිර්වරු සමඟ සහෝදරත්වය ස්ථාපනය කරගැනීමට අන්සාර්වරුන්ද මහත් උනන්දු වක් දැක් වූහ. අන්සාර්වරු තම නිවෙස් බඩුබාහිරාදිය දේපළ සහ සත්වයන් ආදී සියලු දෙයෙහිම තමන්ට පෙර මුහාජිර්වරුන්ට සෑම විටම ප්‍රමුඛ ස්ථානය දීමට සූදානම් වුහ.

අන්සාර්වරයෙක් තම සියලු දේ කොටස් දෙකට බෙදා “මගේ දේපළෙන් ඔබ කැමති කොටසක් ගන්න.” යි මුහාජිර්වරයාට පැවසුවිට “ඔබේ පවුලේ අයටද, දේපළටද අල්ලාහ් ආශීර්වාද කෙරෙත්වා. මට වෙළඳපොළ පමණක් පෙන්වන්න.” යි මුහාජිර්වරයා පවසයි. අන්සාර්වරු තම උදාරභාවය මුස්ලිම් සහෝදරයාට දැක් වූ විට, එයින් අයුතු ප‍්‍රයෝජන නොගත් මුහාජිර්වරු තම ආත්මාභිමානය රැකගෙන සිය වෙහෙසෙන් හා සැබෑ සහෝදරත්වයෙන් ජීවත් වුහ. මෙවැනි ස්වෙච්ඡා සහෝදරත්වයක් මෙයට පෙර හෝ පසු කාලයක ඉතිහාසයේ කිසිවෙක් දැක නැත.

 පළමු වන හිජ්රි වසර

පළමු වන හිජ්රි වසරේදී වැදගත් කරුණු දෙකක් සිදු විය. අබු උමාමා අසද් බින් zසුරාරාහ් නම් නජ්ජාර් ගෝත‍්‍ර නායකයාගේ හදිසි මරණය සිදුවුණි. එයට පෙර ඔහුට කිසිදු අසනීපයක් නොතිබුණි. සමහර කාෆිර්වරු මෙය ගැන නොයෙකුත් කට කථා පතුරුවන්නට පටන් ගත්හ. “නබි වරයෙකුගේ අනුගාමික යෙක් හිටි හැටියේ මරණයට පත් වන්නේ කෙසේදැ?”යි ඔවුන් ප‍්‍රශ්න කළහ. ඔහුගේ මරණයෙන් පසුව බනු නජ්ජාර් ගෝත‍්‍රයට අයත් පිරිසක් පැමිණ “රසූල් (සල්) තුමණි, අපට නායකයෙක් තෝරා දෙන්න.” යයි ඉල්ලීමක් කළහ. එවිට “බනු නජ්ජාර් සියලු දෙනාම මගේ මවගේ පක්ෂයේ ඥාතීන්ය. එනිසා ඔබේ ගෝත‍්‍රයට මම නායකයා වශයෙන් පත් වන්නෙමි.” යයි රසූල් (සල්) තුමා පැවසීමෙන් ඔවුන් මහත් සතුටු වූහ. මෙම පියවර මගින් ඔවුනතර නායකත් වයට සිදු විය හැකි තරඟය වැලකුණු අතර ඔවුන්ගේ අධිෂ්ඨානයද සිත් ධෛර්ය යද අධික විය.

රසූල් (සල්) වරයා යුදෙව් ජාතීන් සමඟද ගිවිසුමක් කළේය. ඊශ‍්‍රායලයේ ක්‍රිස්තු බැතිමතුන් විසින් පලවා හරිනු ලැබු යුදෙව්වරුන්ට ඔවුන්ගේ ආගම අනුගමනය කිරීමේ සහ දේපළ පාලනය කිරීමේ නිදහස තහවුරු කෙරුණි. ඔවුන්ට කොන්දේසි කිහිපයක් පැන වූ අතර ඔවුන් ඉදිරිපත් කළ කොන්දේසීන් ද පිළි ගනු ලැබීය.

සලාහ් සඳහා අදාන් කීම ( ඇරයුම් කිරීම)

රසූල් (සල්) වරයා මදීනා වෙහි ආරක්ෂා සහිතව නවාතැන් ගෙන ඉස්ලාමය ශක්තිමත් වූ විට ඕනෑම කෙනෙක් එතුමා සමඟ සලාවෙහි එකතු වූ අතර එයට ඇරයුම් ක‍්‍රමයක් නොතිබුණී. යුදෙව්වරු සහ ක්‍රිස්තු බැතිමතුන් පූජාවට ආරාධනා කරන්නට උපයෝගී කරන නළාව හෝ ගන්ටාර ශබ්දයට රසූල් (සල්) තුමා ප‍්‍රිය කළේ නැත. මෙහිදී අදාන් ක‍්‍රමය දීමෙන් අල්ලාහ් මුස්ලිම්වරුන්ට ගෞරවය දුන්නේය. මුස්ලිම් වරු අතරින් සහාබාවරු කිහිප දෙනෙක් අදාන් ක‍්‍රමය සිහිනයෙන් දැක ඒ ගැන රසූල් (සල්) තුමාට දැන්වූ විට එතුමා ද එය සනාථ කර එම ක‍්‍රමය මුස්ලිම් වරුන්ට අනුමත කළේය. මෙම කටයුතු සඳහා බිලාල් රබාහ් අල් හබෂි (රලි) තෝරා ගනු ලැබුණි. එතුමා රසූල් (සල්) තුමාගේ මුඅද්දින් වරයා වීමෙන් මුඅද්දින් වරුන්ගේ පළමු වැන්නා බවට පත් විය.

කුහකයෝ (මුනාෆික්වරු)

මදීනාවේ සෑම තැනම ඉස්ලාම් පැතිරීමත් සමඟ ඇතැම් යුදෙව් පූජකයන්ද කිතුනු ආගමික විද්වතුන්ද මුස්ලිම් බවට පත් වූහ. මේ නවක පිරිස අතර අබ්දුල්ලාහ් ඉබ්න් සලාම් වැනි පූජකයෙක් වූ අතර ඔහුගේ වෙනස් වීම යුදෙව් වරුන්ගේ කෝපයට හේතු විය. ඒ යුගයේ යුදෙව්වරු මහත් අසහනයට පත් ව සිටියහ. ඉස්ලාම් දහමට ඔවුන් ඊර්ෂ්‍යා කළ නමුත් ඔවුන් තුළ ඉස්ලාමය ගැන මහත් බියක්ද තිබුණි. මේ හේතුවෙන් ආත්ම වංචනික (මුනාෆික්වරු) පිරිසක් මදීනාවේ බිහි විය. ඔවුන්ගේ නායකයා අබ්දුල්ලාහ් ඉබ්න් උබෙයිද් ඉබ්න් සලූල් නමැති යුදෙව් ජාතිකයෙකි. ඉස්ලාමයට පෙර ඔහුගේ බලය ගැන ප‍්‍රශ්න කිරීමට මදීනාවෙහි කිසිවෙක් නොසිටි නමුත් දැන් සෑම කෙනෙකුම අලුත් ආගම වටා රොක් වෙති. ඔහුද, ඔහු මෙන් බල ලෝභ තවත් කිහිප දෙනෙක්ද ඉස්ලාමයට විරුද්ධව එක හෙළාම ක්‍රියා කළ අතර තවත් බොහෝ දෙනෙක් මුනාෆික්වරු නම් ආත්ම වංචනිකයෝ බවට පත් වුහ. මේ පිරිස බාහිරව මුස්ලිම් බවට පෙනී සිටී නමුත් අභ්‍යන්තරව ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන මහත් කෝපයෙන් සහ ඊර්ෂ්‍යාවෙන් පසු වුහ.

මුනාෆික් වරුගේ සතුරුකම් නොඅඩුව පවතී

මදීනා නුවරෙහි ඉස්ලාමය ස්ථාපනය වී සෑම තැනම පැතිරෙන බවද මුස්ලිම් වරුන්ගේ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වන බවද දැන ගත් කුරෙයිෂිවරුන්ගේ සතුරුකම තවත් වැඩිවූ නමුත්, “ඔබේ අත මැඩපවත්වා ගෙන සලාහ් ඉටු කරනු“ යන 4:77 අල් කුර්ආන් වැකියෙන් ඉවසිලි මත්ව සිටින ලෙස මුස්ලිම් වරුන්ට අල්ලාහ් අණ කරයි.

මුස්ලිම් වරුන්ව මදීනාවෙන් පලවා හරින ලෙසද, එසේ නොකළේ නම් මදීනා නගරය තුළට පැමිණ ඔවුන්ගේ තරුණයන් මරා දමා කාන්තාවන් පැහැර ගෙන යන බවද මදීනාවේ කාෆිර්වරුන්ට සහ අබ්දුල්ලාහ් බින් උබෙයිට කුරෙයිෂි වරු ලිපියක් එවූහ. ඉන් අනතුරුව අබ්දුල්ලාහ් බින් උබෙයි මදීනාවේ සියලු මුස්ලිම් නොවන ජනතාව රැස්කර ඔවුන්ගේ සිත් තුළ මුස්ලිම්වරුන්ට එරෙහිව ද්වේෂය  වැඩි කරන්නට වෑයම් කළේය. මේ ගැන දැන ගත් රසූල් (සල්) තුමා වහාම එතැනට ගොස්, “මක්කාවේ කුරෙයිෂිවරු ඔබව මුළා කරන්නට වෑයම් කරති. ඔබ එය විශ්වාස කළේ නම්, ඔබට මහත් පරාජයත් සිදු වෙයි. ඔවුන්ගේ බොරුවට මුලා නොවී අප අතර වූ ගිවිසුම රැක ගැනීම සුදුසුය. කුරෙයිෂිවරු මදීනාවට පැමිණියේ නම්, අපි එක්සත්ව ඔවුන්ට පහර දිය හැකිවේ. එහෙත් මුස්ලිම් වරුන්ට එරෙහිව සටන් කරන්නට ඔබ අදහස් කරන්නේ නම් ඔබේම දරුවන් සහ ඥාතීන්ව මරන්නට ඔබට සිදු වන බව මතකයේ තබා ගන්න.” යයි පැවසීය. එතුමාගේ ඥානවත් කථාවට සවන් දුන් සියලු දෙනාම රැස්වී මෙන් ඉවත යෑමෙන් අබ්දුල්ලාහ් බින් උබෙයි මහත් ලැජ්ජාවට පත් විය.

කිබ්ලා දිසාව වෙනස් කිරීම

රසූල් (සල්) තුමා සහ මුස්ලිම්වරු මේ දක්වාම ජෙරුසලම් දිශාව බලා මාස දහසයක් පමණ සලාහ් ඉටු කළ නමුත් කඅබාව පිහිටි දෙසට හැරෙන්නට එතුමාට අවශ්‍ය වුණි. අරාබිවරු, විශේෂයෙන් මුස්ලිම්වරු කඅබාවට බලවත් ආදරයක් දක්වමින් එයට උසස් ස්ථානයක් දී ගරු කළහ. ඉබ්රාහීම් (අලෙ) තුමා සහ ඉස්මායිල් (අලෙ) තුමාගේ කිබ්ලාව හා සමානව තවත් කිබ්ලාවක්ද කඅබාව හා සමානව වෙනත් දෙව් මැදුරක්ද ඔවුන් පිළිගත්තේ නැත. ජෙරුසලම් දෙසට කිබ්ලාව තිබීම ඔවුන් නොරිස්සු නමුත්, “අපි සවන් දී කීකරු වෙමු.” යයි ද “අපි එය විශ්වාස කරමු. සියලු දේ දෙවියන් වහන්සේ ගෙන්ය” යනුවේන්ද ඉවසිලිමත්ව ප‍්‍රකාශ කළහ. මුස්ලිම්වරු රසූල් (සල්) තුමාට නිතර කීකරු වූ අතර තමා පැතු දෙයක් වූවද නොපැතු දේ වූවද අල්ලාහ්ගේ නියෝගට අවනත වූහ.

පළමුව ඔවුන්ගේ සිත්හි දේව භක්තියද අල්ලාහ්ගේ අණට අවනත වන ස්වභාවයද අල්ලාහ් පරීක්ෂා කළේය. පසුව ඔහුගේ රසූල් (සල්) තුමා සහ මුස්ලිම් වරුන් කඅබා දිශාවට යොමු කළේය. අල් කුර්ආනය පවසන්නේ මෙසේය. “මනුෂ්‍යයන් කෙරෙහි ඔබ සාක්ෂිවනු පිණිසද රසූල් වරයා ඔබ කෙරෙහි සාක්ෂි වනු පිණිසද, ඔබ මධ්‍යස්ථ පිරිසක් කෙළෙමු. කවරෙක් රසූල් වරයා අනුගමනය කරන්නේද ඔහු කෙරෙන් කවරෙක් තමාගේ කැමැත්ත වෙත ආපසු හැරී යන්නේ දැයි දැක ගනු පිණිස, ඔබට පෙර පිළිපැදු කිබ්ලාව නියම නොකළෙමු. ඇත්තන්ම අල්ලාහ් මග පෙන් වූ අයට මිස අන් අයට මෙය බරක්ය. අල්ලාහ් ඔබගේ විශ්වාසය නිශ්ඵල නොකරන්නේය. අල්ලාහ් මනුෂ්‍ය යන්ට සානුකම්පිතය. අති දයාලූය.” අල් කුර්ආන් 2:143.

අල්ලාහ් සහ රසූල් (සල්) තුමාගේ අණට එකඟ ව මුස්ලිම්වරු තම කිබ්ලාව මක්කාවේ පිහිටි කඅබාව දිශාවට හැරවීමෙන් පසු එය මුස්ලිම් වරුන්ගේ කිබ්ලාව ලෙස සදා පවතී. මුස්ලිම්වරු අද ලොවේ කුමන ස්ථානයක සිටියත් කඅබාව දිශාවට මුහුණ හරවා සලාහ් ඉටු කරති.

මුස්ලිම්වරු ශක්තිමත් වී ආරක්ෂා සහිතව ජීවත් විය හැකි පරිසරයක් උදාවීමෙන් පසු සතුරන්ට එරෙහිව සටන් කිරීමට ඔවුන්ට අවසර දෙනු ලැබු නමුත් එය අත්‍යවශ්‍ය පියවරක් බවට සඳහන් නොවුණි. අල්ලාහ් මෙසේ පවසයි. “සටන් කරනු ලැබුවන්ට අපරාධ කරන ලද හෙයින් (ආපසු හැරී සටන් කරන්නට) අනුමත දෙන ලදී. ඇත්තෙන්ම අල්ලාහ් ඔවුන්ට උදව් කිරීමෙහි බල සම්පන්නය.”  අල් කුර්ආන් 22:39.

රසූල් (සල්) තුමා මදීනා අවට පෙදෙස් හී වෙසෙන ගෝත‍්‍රයන්ට නියෝජිතයෝ යැවීමට කටයුතු සැලැස් වීය. ඇතැම් අවස්ථාවන් හි සුළු සුළු ගැටුම් පමණක් සුදු වූ නමුත් විශාල සටනක් සිදු නොවුණි.

රමදාන් මස උපවාසය

හිජ්රි දෙවන වසරේදී රමදාන් මස උපවාසය ඉස්ලාමයේ අනිවාර්ය කුලුනක් බවට පත්වුණි. අල් කුර්ආනයේ අල්ලාහ් මෙසේ පවසයි. “විශ්වාසවන්තයිනි, ඔබට පෙර වු අය කෙරෙහි උපවාසය පවරනු ලැබුවාක් මෙන්, ඔබ පාපයෙන් වැළකෙනු පිණිස ඔබ කෙරෙහිද උපවාසය පවරන ලදී.“ අල් කුර්ආන් 2:183.

තවද, අල්ලාහ් මෙසේ කියයි. “රමදාන් මස මිනිසුන්ට යහමඟ පෙන්වන්නාවූද සත්‍යයෙන් අසත්‍ය වෙන් කර පැහැදිලි කරන්නාවූද අල් කුර්අනාය පහළ කරන ලද්දේ එහිදීය. ඔබගෙන් කවරෙක් හෝ ඒ මාසයෙහි නිවෙසෙහි නම් ඔහු ඒ මාසයෙහි උපවාස යෙහි යෙදිය යුතුය......‘‘ අල් කුර්ආන් 2:185.

බද්ර් හී හටගත් තීරණාත්මක සටන

මක්කාවේ කුර්zස් බින් ජාබිර් නම් නායකයෙක් විසින් කාෆිර්වරු පිරිසක් සමඟ මදීනා මායිම අසලට පැමිණ, එහි සිටි මුස්ලිම් වරුන්ට පහර දී ඔවුන්ගේ ඔටුවන් විශාල ප‍්‍රමාණයක් සොරකම් කර ගෙන යන ලදී. මේ බව ආරංචි වූ මුස්ලිම්වරු ඔවුන් පිටු පස ලුහු බැඳගෙන ගිය නමුත් එයින් පලක් නොවුණි. මදීනා මුස්ලිම් වරුන්ගේ සංඛ්‍යාව තුන් සීයක් හෝ හාර සීයක් පමණි. සැතපුම් තුන් සීයක් පමණ දුර සිට මක්කා වාසීන් මදීනාවට පැමිණ ගම් වැසියන්ට පහර දීම, ඔටුවන් හා ගවයන් සොරකම් කර ගෙන යෑම වැනි මැරවරකම සමාජයේ නායකයෙකුට ශුභ ආරංචියක් නොවේ. ඒ සමඟ මක්කා කාෆිර්වරු මදීනාවේ අබ්දුල්ලාහ් බින් උබෙයි සහ යුදෙව්වරු සමඟ මුස්ලිම් වරුන්ට එරෙහිව නොයෙකුත් කුමන්ත‍්‍රණයේ යෙදී සිටියහ.

මේ අතර ඉස්ලාමයට බලවත් සතුරුකම් කළ අබු සුෆියාන් ඉබ්න් අල් හර්බි, කුරෙයිෂි වරුන්ට අයත් වෙළඳ භාණ්ඩ තොගයක් රැගෙන සිරියාව සිට මදීනා අසලින් මාක්කාව කරා යන බව රසූල් (සල්) තුමාට දැන ගන්නට ලැබුණි. මුස්ලිම් වරුන්ට එරෙහිව යුද්ධ ප‍්‍රකාශ කළ පිළිම වන්දනා කරුවන් සහ කුරෙයිෂිවරු, මුස්ලිම් වරුන් වනසනු පිණිස විශාල මුදලක්ද වැය කළහ.

බින් ජාබිර් වැනි අයගේ සොරකමට පිළිතුරක් වශයෙන්ද, මදීනා වාසීන් හා ගැටීම මක්කා වාසීන්ගේ සිරියා වෙළඳ ගමනට බාධාවක් විය හැකි බව පෙන්වා දීමටද, කාෆිර් වරුන්ගේ සිත් තුළ බිය උපදවන්නටද අදහස් කළ රසූල් (සල්) තුමා අබු සුෆියාන්ගේ වෙළඳ කණ්ඩායමට බලපෑමක් කිරීම පිණිස මුස්ලිම් පිරිසක් එවීය. එහෙත් ඔවුන් සමඟ ගැටීමට වැඩි උනන්දුවක් නොදැක් වූ එතුමා ඔවුන් හා සටන් කරන ලෙස පවා අණ කළේ නැත.

මුස්ලිම්වරු තමා දෙසට එන බව දැන ගත් අබු සුෆියාන්, මක්කා කුරෙයිෂි වරුන්ට හදිසි පණිවුඩයක් එවීය. ඒ පණිවුඩකරු පැවසු ආකාරයට තත්ත්වය මහත් බරපතළ බව සිතු මක්කා වාසීන්, වහාම සේනාවක් පිළියෙල කර පිටත් කළහ. අබු සුෆියාන්ගේ සහායට ගිය සේනාවට මක්කාවේ පොහොසත් අයද, උසස් පෙළපතේ වැදගත් අයද එකතු වුහ. මෙම සේනාව සමඟ නොගිය අබු ලහබ් තමා වෙනුවෙන් කෙනෙක් පත් කළේය.

අන්සාර් වරුන්ගේ පොරොන්දුව

කුරෙයිෂිවරු විශාල සේනාවක් එවා ඇති බව ආරංචි වූ රසූල් (සල්) වරයා, සහාබාවරු සමඟ සාකච්ඡා කළේය. රසූල් (සල්) තුමාට මදීනා නගරය තුළ රැකවරණය දෙන බව අන්සාර්වරු ආරම්භයේ පොරොන්දු වූ නමුත්, දැන් කාෆිර් වරුන්ට  මුහුණ දීමට නගර මායිමෙන් බැහැරව යන්නට සිදු වන නිසා, මේ ගැන අන්සාර් වරුන්ගේ අදහස කුමක්දැයි විමසීමට එතුමාට අවශ්‍ය වුණි. රසූල් (සල්) තුමාට සහාය දෙන බව මුහාජිර්වරු තරයේ ප‍්‍රකාශ කළ නමුත්, එතුමා දෙතුන් වරක් ඔවුන්ගේ අදහස විමසීය. එතුමා මෙලෙස නැවත නැවත විමසන්නේ කුමක් නිසාදැයි අන්සාර් වරුන්ට වැටහී ගියේය.

සඅද් ඉබ්න් මුආද් (රලි), “රසූල් (සල්) තුමනි, ඔබ තුමා අපි ගැන සඳහන් කරන බවද, අපගෙන් පිළිතුරක් බලාපොරොත්තු වන බවද පෙනේ.“ යයි පැවසීය. “ඔව්“ යනුවෙන් රසූල් (සල්) තුමා පැවසීමෙන් ඔහු මෙසේ කථා කළේය. “අන්සාර්වරු සියලු දෙනා වෙනුවෙන් කථා කරමි. සියලු දෙනා වෙනුවෙන් පිළිතුරු දෙමි. ඔබ තුමා අල්ලාහ්ගේ රසූල්වරයෙක් බව සම්පූර්ණව විශ්වාස කරමු. ඔබ කැමති ස්ථානයට යන්න. කැමති කෙනෙක් සමඟ එක්සත් වන්න. කැමති කෙනෙක් මඟ හරින්න. අපේ දේපළ වලින් කැමති දෙයක් ගන්න. ඔබ කැමති දෙයක් අපට දෙන්න. ඔබ තුමා අපෙන් ගන්නා දෙය, අපට ඉතිරි කරන දෙයට වඩා අපි අගේ කොට සලකමු. ඔබ තුමා අණ කරන සියලු දේ අපි ඉටු කරන්නෙමු. අල්ලාහ්ගේ නාමයෙන් දිවුරා කියමි. ඔබ තුමා බර්ක් අල් හිමාද් දක්වා ගමන් කළ ද, අපි ඔබ තුමා සමඟ එක් ව යන්නෙමු. ඔබ තුමා සාගරය පසු කර ගෙන යන්නේද, අපිද ඔබ තුමා සමඟ එක් වන්නෙමු.“ (බර්ක් අල් හිමාද් යනු යෙමන් රටේ දකුණු කෙළවරේ අවසාන ස්ථානයකි. ප‍්‍රවාහන පහසුකම් නොමැති එම පැරණි යුගයේ එතැනට යෑම මහත් දුෂ්කරයි.

එවිට, අල් මික්දාද් (රලි), “නබි තුමනි, මූසාගේ පිරිස එතුමාට, ‘ඔබද ඔබේ පරමාධිපතිද ගොස් සටන් කරනු. අපි මෙහි නැවතී බලා සිටින්නෙමු.‘ යයි පැවසු අයුරින් අපි නොපවසන්නෙමු. ඔබ තුමාගේ දකුණු පැත්තෙන්, වම් පැත්තෙන්, ඉදිරියෙන් හා පසු පසෙන් සිට ගෙන අපිද සටන් කරන්නෙමු“ යයි ප‍්‍රකාශ කළේය. මේ කථාවන්ට සවන් දුන් රසූල් (සල්) තුමාගේ මුහුණ සතුටින් පිනා ගොස්, සහාබාවරුන්ට, “නොසැලී ස්ථීරව සිටින්න.“ යි කීය.

ජිහාද් සහ ජීවිත පරිත්‍යාගය

මුස්ලිම්වරු බද්ර් කරා යන අවස්ථාවේ වසර දහසය වියේ උමෙයිර් ඉබ්න් අබි වක්කාස් නම් තරුණයෙක්ද ඔවුන් සමඟ එකතු විය. තමා ළා බාලයෙකු නිසා, රසූල් (සල්) තුමා එයට අකැමැති වේ යයි සැක කළ ඔහු, මුස්ලිම්වරු අතර සැඟ වී ගමන් කළ නමුත්, ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන සාද් ඉබ්න් අබි වක්කාස් ඔහුව දැක, “ඔබ මෙහි කුමක් කරන්නේදැ?“ යි ඇසු විට, “රසූල් (සල්) තුමා දුටුවේ නම්, මාව ගෙදර යවයි යන බියෙන් සැඟවී යමි. ජීවිතය පරිත්‍යාග කළ ෂහීද් කෙනෙකු වීමට සමහර විට අල්ලාහ් මට අවස්ථාවක් දෙනු ඇත.“ යි ඔහු කීය.

ඔහුගේ කුඩා වයස හේතුවෙන් රසූල් (සල්) තුමා ඔහුට හැරී යන ලෙස පැවසු නමුත්, ඔහු කඳුළු සලන්නට වූයෙන් අනුකම්පා සිතු එතුමා, ගමනට සහභාගි වීමට ඉඩ දුනි. බද්ර් සටනට සහභාගි වූ උමෙයිර් එහිදී මරණයට ලක් ව ෂහීද් විය.

සෙබළු සංඛ්‍යාවේ පරතරය

අශ්වයින් දෙදෙනෙක්ද, ඔටුවන් හැත්තෑවක්ද සමඟ සෙබළු 313 දෙනෙකු සමඟ රසූල් (සල්) තුමා බද්ර් කරා වේගයෙන් ගමන් කළේය. එක් ඔටුවෙකුට දෙදෙනෙක්  හෝ තිදෙනෙක් බැගින් මාරුවෙන් මාරුවට ගමන් කළ ඔවුනතර, සෙබළු හා සෙන්පති යනුවෙන් තරාතිරමේ වෙනසක් නොතිබුණි. රසූල් (සල්) තුමාද, අබු බකර්, උමර් යන ශ්‍යෙෂ්ඨ සහාබා වරුන්ද මේ ආකාරයෙන් ගමන් කළහ. මුස්ලිම් සේනාව කුසගින්න නිසා දුබල වූ, මහලු අයගෙන් සමන්විතවිය. ඔවුන් සතුව යුද්ධයට අවශ්‍ය ඉතාමත් සාමාන්‍ය ආයුධ පවා නොතිබුණු නමුත්, දේව විශ්වාස සහ දැඩි අධිෂ්ඨානය ඔවුන්ගේ ශක්තිමත් ආයුධ විය.

මේ අතර, තම දිශාවට මුස්ලිම්වරු පැමිණෙන බව දැන ගත් අබු සුෆියාන්, වෙළඳ භාණ්ඩ පටවා ගත් ඔටුවන් මුහුදු වෙරළ දෙසට හරවා ගෙන ගොස්, බාධකයෙන් ඉවත් විය. වෙළඳ පිරිස ආරක්ෂා සහිතව ගමන් කරන හෙයින්  හැරී යන ලෙස කුරෙයිෂි වරුන්ට ඔහු පණිවුඩයක් එවීමෙන් අනතුරුව කුරෙයිෂි සේනාව හැරී මක්කාවට යෑමට සූදානම් වූ නමුත් මුස්ලිම් වරුන්ට පහර දෙන ලෙස අබු ජහල් බල කර සිටියි. කුරෙයිෂි සේනාවේ ඔටුවන් සහ අශ්වයන් මත නවීන ආයුධ රැගෙන යුද්ධ ආවරණය පැලඳ ගත්, එක් දහසකට අධික සෙබළුන්ද, රණ ශූරයෝද, නායකයින්ද සිටියහ. මේ සේනාව ගැන “මක්කාව, තම ආදරවන්තයන්ද වටිනා වස්තුන්ද ඔබ වෙත එවා ඇත.“ යයි රසූල් (සල්) තුමා කීය.

බද්ර් පිටියට පැමිණි රසූල් (සල්) තුමා සමග සහාබාවරු පහත් බිමේ ලැගුම් ගත් අතර එහි ළිං මුස්ලිම්වරු යටතේ තිබුණි. ඔවුන් වතුර භාජන තනා, ජලය පුරවා ගත්හ. ජලය ඉල්ලා පැමිණෙන සතුරු සේනාවේ කාෆිර් වරුන්ට තහනම් නොකරන ලෙස රසූල් (සල්) තුමා අණ කළේය.

එදින රාත‍්‍රි අල්ලාහ් එවු තද වර්ෂාව නිසා විවිධ ආයුධ රැගෙන, බර ආවරණ පැලඳ ගත් කාෆිර් වරුන්ගේ ගමනට බාධක සිදු වූ නමුත්, එම වර්ෂාව මුස්ලිම් වරුන්ට මහත් සහනයක් විය. වර්ෂාව නිසා කාන්තාරයේ වැලි තදවීමෙන්, සැහැල්ලූ ආයුධ ගත් මුස්ලිම් වරුන්ට ගමන් කිරීම පහසු විය. මෙම ආශීර්වාදය නිසා මුස්ලිම් වරුන්ගේ බලාපොරොත්තු තවත් ස්ථීර විය. මේ ගැන අල්ලාහ් මෙසේ පවසයි. “ඔබගේ සිත් ශක්තිමත් කරනු පිණිසද, ඔබගේ පා තරසර කරනු පිණිසද, ඔබ වෙත අහසින් වැසි වැස්සුවේය.“ අල් කුර්ආන් 8:11.

හිජ්රි දෙවන වසර රමදාන් මස සිදු වූ මෙම සටනට “වෙන් කර පෙන් වන දිනය.“ යනුවෙන් අල්ලාහ් සඳහන් කරන්නේ මෙසේය. “දෙසේනාංක හමු වූ දිනයෙහි. සත්‍ය හා අසත්‍ය විභාග කරන දිනය අල්ලාහ් කෙරෙහිද අප සේවකයා කෙරෙහි අපි පහළ කළ දේද විශ්වාස කළහොත්..“ අල් කුර්ආන් 8:41

සටනට සූදානම් වීම

සටන් බිමට ඉහළින් කුඩා කඳු වැටියක් මත රසූල් (සල්) තුමාට කුටියක් ඉදි කරන ලදී. එතුමා සටන් බිමට පැමිණ, “ඉන්ෂා අල්ලාහ්, මේ තැන්හී මොවුන් මිය යනු ඇත.“ යයි කාෆිර් වරුන්ගේ නම් සඳහන් කරමින් ස්ථාන කිහිපයක් පෙන් වීය. එතුමා පැවසු ආකාරයෙන්ම ඔවුන් ඒ ඒ තැන් හී සටනේ මිය ගොස් සිටියහ.

යුද්ධ පිටියේදී දෙපිරිසම මුහුණ දුන් අවස්ථාවේ, “යා අල්ලාහ්, උඩඟුවෙන් සහ ආඩම්බරයෙන් මෙතැනට පැමිණ සිටින මේ පිරිස කුරෙයිෂි වරුන්ය. ඔවුන් මෙතැනට පැමිණ සිටින්නේ නුඹ සමග සටන් කර, නුඹේ රසූල්වරයාද ප‍්‍රතික්ෂේප කරනු පිණිසය.“ යනුවෙන් රසූල් (සල්) තුමා පැවසීය.

එය රමදාන් මස 17වන රාත‍්‍රයයි. පසු දින උදයේ කුරෙයිෂිවරු සටන් බිමට බැසීමෙන් සේනා දෙකම සටනට සූදානම්ව තම තමන්ගේ ස්ථානයන් හී සිට ගත්හ.

යාච්ඤාව හා ආයාචනය

තම පිරිස නියමිත ස්ථානයන් හී සීරුවෙන් පෙළ ගැසී නවත්වා තැබූ රසූල් (සල්) තුමා, අබු බකර් (රලි)තුමා සමඟ තම කුටියට පැමිණීය. එහිදී කිසිවෙකුට වෙනස් කළ නොහැකි අධිකරණයටද, කිසිවෙකුට මඟහැරිය නොහැකි අණටද හිමිකරු වන අල්ලාහ්ට නැමදුම් කර, අල්ලාහ්ගේ සහාය පැතීය. මන්ද, අල්ලාහ් හැර අන් කිසිදු සහායකරුවෙක් හෝ බලයක් නොමැත.

“යා අල්ලාහ්, මේ පිරිස අද දින මිය යෑමට ඔබ ඉඩ හැරියේ නම්, මේ මහ පොළොව මත ඔබට නැමදුම් කරන්නට කිසිවෙක් ඉතිරි වන්නේ නැත.“ යයි පැවසු එතුමා, “යා අල්ලාහ්, ඔබ පොරොන්දු වූ සහාය දැන් අපට දෙනු මැනවි.“ යනුවෙන් තම පරමාධිපතිට හඬ නගා ආයාචනා කළේය. තම සිරුරේ තිබු සළුව පොළොව මත වැටෙන තරම් දෑත් ඔසවා ගෙන අල්ලාහ් ගෙන් සහාය පැතු එතුමාව අබු බකර් (රලි) තුමා සැනසීය.

සියලු දේ පරිත්‍යාග කර අල්ලාහ්ගේ මාර්ගයේ ජීවත් වීමට මාර්ග සොයා දේශාන්තර කළ අසරණ මුස්ලිම් වරුන්ට එරෙහිව ඔවුන් තම ලේ ඥාතීන් හා මිතුරන් වන බව පවා නොසලකා ඔවුන්ව සම්පූර්ණයෙන් වනසා දමන්නට අධිෂ්ඨාන කර ගත් බලයෙන්, ධනයෙන් හා තම බහුතර සංඛ්‍යාවෙන් උන්මත් වූ දුෂ්ඨ සමාජය සිදු කළ සටන් කිහිපයක ඇරඹුමයි මේ සටන.

සතුරන්ට පහර දීම

මුස්ලිම් වරුන්ට සටනට පිවිසෙන ලෙස දිරි ගන්වනු පිණිස රසූල් (සල්) තුමා, තම කුටියෙන් එළියට පැමිණීය. කුරෙයිෂිවරු අතරින් උත්බා ඉබ්න් රබියියා, ඔහුගේ සහෝදරයා ශෙයිබා සහ පුත‍්‍රයා අල් වලීද් යන තිදෙනා ඉදිරියට පැමිණ, එවකට පැවති සාම්ප‍්‍රදායට එකඟ ව, විරුද්ධ සේනාවෙන්ද තිදෙනෙක්  ඉදිරියට එන ලෙස අභියෝග කළහ. අන්සාර්වරුන් ගෙන් තරුණයෝ තිදෙනෙක් ඉදිරියට පැමිණි විට, “නුඹලා කවුදැ?“ යි ඔවුන්ගෙන් විමසුහ.

“අපි අන්සාර් වරුන් ගෙන්ය.“ යි ඔවුන් පිළිතුරු දුන් විට “නුඹලා සමඟ අපට සටනක් නැත. යා මුහම්මද්, අප ගෝත‍්‍රයට අයත් අප හා සමාන පිරිසක් එවනු මැනවි.“ යනුවෙන් ඔවුන් උඩඟූවෙන් අභියෝග කළහ.

එවිට රසූල් (සල්) තුමා, “උබෙයිදා ඉබ්න් අල් හාරිත් ඉබි අල් මුත්තලිබ්, හම්සා සහ අලි ඉදිරියට යන්න.“ යි පැවසීය.

“මේ අය පෙළෙපතෙන් අප හා සමාන අයවෙති.“ යයි කුරෙයිෂිවරු කීහ.

මහලු කෙනෙක් වන උබෙයිදා (රලි) තුමා උත්බාට විරුද්ධවද හම්සා (රලි) තුමා ෂෙයිබාට විරුද්ධවද, අලි (රලි) තුමා වලීද් ඉබ්න් උත්බාට එරෙහිවද සටනට පැමිණියහ. හම්සා (රලි) සහ අලි (රලි) තුමන් තම සතුරන් වේගයෙන් මරා දැමුහ. එහෙත් උබෙයිදා (රලි) සහ උත්බා අතර සටනේදී දෙදෙනාම තුවාල ලැබුහ. හම්සා (රලි) සහ අලි (රලි) දෙදෙනාම එක්ව උත්බාට පහර දී ඔහුව මරා දමා, තුවාල ලත් උබෙයිදා (රලි) ව ඔසවා ගෙන ගිය නමුත්, එතුමා පසුව ෂහීද් නම් මරණය ලැබීය.

යුද්ධය ආරම්භ විය

ඉන් අනතුරුව සේනා දෙකම සටන් කරනු පිණිස තව තවත් ළං වුහ. “නැගිටින්න. අහස පොළොව තරම් පළල් ඇති ස්වර්ගය කරා නැගිටින්න.“ යයි රසූල් (සල්) තුමා ශබ්ද නගා කීය.

උමෙයිර් ඉබ්න් අල් හුමාම් අල් අන්සාරි (රලි) නැගිට, “අල්ලාහ්ගේ රසූල් (සල්) තුමනි, අහස හා පොළොව තරම් පළල් ඇති ස්වර්ගය කරාද?“ යයි විමසුවේය. “ඔව්“ යනුවෙන් එතුමා පැවසූ විට, “කදිමයි, කදිමයි,. අල්ලාහ්ගේ රසූල් (සල්) තුමනි.“ යයි ඔහු කීවේය. “කදිමයි, කදිමයි ලෙස ඔබ කියන්නට හේතුව කුමක්දැ?“යි  රසූල් (සල්) තුමා ඔහුගෙන් විමසුවිට, “මමද එහි කෙනෙක් බවට පත්වීමට බලාපොරොත්තුවෙනුයි, අල්ලාහ්ගේ රසූල් (සල්) තුමනි, “ යයි ඔහු පිළිතුරු දුනී. “ඔබද එහි කෙනෙකි“ යයි රසූල් (සල්) තුමා ඔහුට පැවසීය.

තම පසුම්බියෙන් ඉඳි ගෙඩි කිහිපයක් ගෙන කන්නට පටන් ගත් නමුත්, “මේ ඉඳි ටික කන්නට මම ජීවත් වූයේ නම්, එම ජීවිතය දීර්ඝ වැඩියි.“ පැවසු උමෙයිර්, ඉඳි ටික ඉවත දමා සටන් බිම කරා වේගයෙන් ගියේය. එහිදී සතුරන් සමඟ සටන් කළ ඔහු අවසානයේ මරණයට පත් විය. එදා දින සටනේදී ෂහීද් වූ පළමු වන මුස්ලිම් වරයා ඔහුය.

මුස්ලිම්වරු සියලු දෙනාම, නිරතුරුව අල්ලාහ් සිහිපත් කරමින් සටනේ ස්ථීරව යෙදුනහ. රසූල් (සල්) තුමාද නිර්භීතව යුද්ධ කළේය. එදා දින එතුමා මෙන් නිර්භීතව සටන් කළ තවත් කෙනෙක් නොමැත. මලාඉකාවරුන්ද අල්ලාහ්ගෙන් ආශීර්වාදය හා කරුණාව රැගෙනවිත් මක්කාවෙන් පැමිණි සතුරන් පරාජයට පත් කර ඔවුන් පළවා හැරියහ.

සොයුරන් ජිහාද් කිරීමෙහි තරඟ කරති

තරුණ මුස්ලිම් පිරිස ඉස්ලාම් වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කර, ෂහීද් බවට පත්වීමට තරඟ කළහ. මිතුරන් අතර ද, සගයන් අතර ද, සොයුරන් අතර ද මේ අරමුණ සඳහා තියුණු තරඟයක් හට ගන්නා ලදී.

අබ්දුල් රහ්මාන් ඉබ්න් අව්ෆ් (රලි) මෙසේ පැවසීය. “බද්ර් සටන් දිනයේ මම ද ඒ අය සමඟ සිටියෙමි. මගේ දෙපැත්තෙන් තරුණයෝ දෙදෙනෙක්  සිටියහ. ඒ අය සිටි ආකාරය ගැන මම සතුටු වුනේ නැත. එයින් එක් තරුණයෙක් මට ළංවී, ‘මහප්පේ, මට අබු ජහල්ව පෙන්වන්න.‘යයි අනෙක් තරුණයාට නොඇසෙනසේ සෙමින් කීය. ‘පුතේ, ඔහුට ඔබ කුමක් කරන්නදැ? යි මම ප‍්‍රශ්න කළෙමි.

‘ඔහුව දුටුවේ නම්, ඔහුව මම මරණවා, නැත්නම් ඔහුට පෙර මම මරණයට පත්වනවායි අල්ලාහ් සමඟ පොරොන්දු වුයෙමි.‘ යනුවෙන් ඔහු පැවසීය. අනික් තරුණයාද ඔහුගේ මිත‍්‍රයාට නොඇසෙනසේ, රහසින් එලෙසම කීවේය. එවැනි තරුණයින් දෙදෙනෙක් අතර සිටීම මට මහත් සතුටක් විය. මම ඔවුන්ට අබු ජහල්ව පෙන් වූ විගස, ඔවුන් ලිහිණියන් මෙන් වේගයෙන් පැන ගොස් ඔහු බිම වැටෙන තුරු පහර දුන්හ.“

අබු ජහල් මරණයට පත් වූ විට, “මේ අබු ජහල් ඔහුගේ සමාජයේ ෆිර්අවුන් වේ.“ යයි අල්ලාහ්ගේ රසූල් (සල්) තුමා පැවසීය. මූසා (අලෙ) තුමාට හිරිහැර කළ ෆිර්අව්න් කාෆිර් වරුන්ගේ නායකයා බව ඔබට මතක ඇත.

පැහැදිලි ජයග‍්‍රහණය

මුස්ලිම් වරුන්ගේ විශිෂ්ට ජයග‍්‍රහණයද කාෆිර් වරුන්ගේ අන්ත පරාජයද පැහැදිලි වූ විට, රසූල් (සල්) තුමා, “අල්ලාහු අක්බර්. (අල්ලාහ් අති ශ්‍රේෂ්ඨයයි) තම පොරොන්දුව සැබැවින් ඉටු කර, තම වහලාට උපකාර කර, එම පිරිස පරාජයට පත් කළ අල්ලාහ්ට සියලු ප‍්‍රශංසා හිමිවේවා.“ යනුවෙන් තම පරමාධිපතිට ප‍්‍රශංසා කළේය.

“බද්ර්හි ඔබ (විරෝධින්ට වඩා ආයුධ වලින්ද, සේනාවෙන්ද) දුබලව සිටියදී, අල්ලාහ් ඔබට උදවී කෙළේය. ඔබ ස්තූති කරනු පිණිස අල්ලාහ්ට බිය බැතිමත් වන්න.“ යනුවෙන් අල් කුර්ආන්හි 3:123 වාක්‍ය පැහැදිලිව අල්ලාහ් සත්‍යම ප‍්‍රකාශ කෙළේය.

එහි අසල තිබු පාළු ළිඳකට කුරෙයිෂි වරුන්ගේ මළ සිරුරු දමන ලෙස රසූල් (සල්) තුමා අණ කළේය. ළිඳ අසල සිට ගත් එතුමා, “අහෝ ළිඳ තුළ සිටින්නනි, ඔබට අල්ලාහ් පොරොන්දු වූ දේ සත්‍ය බව ඔබ දුටුවාද? මාගේ පරමාධිපති පොරොන්දු වූ සියල්ල සත්‍ය බව මම දැක ගත්තෙමි.“ යනුවෙන්  ශබ්ද නගා කීය.

කාෆිර්වරුන්ගේ නායකයින් හැත්තෑ දෙනෙක් මරණයට පත් වී, තවත් හැත්තෑ දෙනෙක් සිරභාරයට ගනු ලැබුහ. ප‍්‍රාණය බේරා ගත් කාෆිර්වරු, සේනාවේ ඉතිරි අය ගැන සොයා නොබලා, මක්කාවට පලා ගියහ. මුස්ලිම් සේනාවෙන් මුහාජිර්වරු හය දෙනෙක්ද, අන්සාර්වරු අට දෙනෙක්ද ෂහීද් බවට පත් වුහ.

යුද්ධයට සහභාගි වූ සහාබාවරු අතර සිරභාරයට ගත් කාෆිර් පිරිස බෙදා දුන් රසූල් (සල්) තුමා, ඔවුන්ට කරුණාවෙන් සලකන ලෙස උපදෙස් දුනි.

ජයග‍්‍රහණය තහවුරු කර ගත් රසූල් (සල්) තුමා මදීනා නුවරට හැරී ආ පසු, එහි අවට පෙදෙස් වල ජීවත්වන සතුරන්ගේ සිත් තුළ දැඩි බියක් හට ගත්තේය. ඒ සමගම, මෙතෙක් කාලයක් කාෆිර් වරුන්ට බියෙන් ජීවත් වූ අසරණ ජනතාවද මදීනාවෙහි සිටිනා බොහෝ දෙනෙක්ද කිසිදු බියෙන් තොරව මුස්ලිම් බවට පත් වන්නට ඉදිරිපත් වූහ.

බලගතු කුරෙයිෂි සේනාවේ පරාජය ගැන ආරංචිය ලැබු මක්කාවේ කුරෙයිෂි වරු මහත් ශෝකයට පත්වු අතර, ඔවුන්ගේ සිත් තුළ දැඩි අසහනයක් හට ගැණුනි. පරාජයේ අඳුරු සේයාව නොවැටුනු කිසිදු නිවසක් මක්කාවේ නොවු නමුත්, මක්කා කාෆිර් වරුන්ගේ උවදුරු වලට තවමත් ලක්වෙමින් සිටින මුස්ලිම් වරුන්ට මදීනාවේ ජය නාදය මිහිරි ගීයක් මෙන් ඇසුණි. යුද්ධයට සහභාගි නොවූ අබු ලහබ් දින කිහිපයකට පසු සිත් තැවිල්ලෙන් මරණයට පත් විය.

සිරභාරයට පත් වුවන්

සිරභාරයට ගත් අයගෙන් දඩ මුදලක් අය කර ඔවුන්ට සමාව දී නිදහස් කිරීමට තීරණය කරන ලදී. සමහර අයගේ දඩ මුදල කුරෙයිෂිවරු එවීමෙන් ඔවුන් නිදහස් ලැබුහ. වන්දි ගෙවා ගන්නට කිසිවක් නොමැති පිරිසක්ද සිරකරුවන් අතර සිටියහ. ඒ අයට අන්සාර් වරුන්ගේ දරුවන්ට අකුරු කියවීමට හා ලිවීමට උගන්වා, නිදහස ලබා ගන්නා ලෙස රසූල් (සල්) තුමා පැවසු අතර, සෑම සිරකරුවෙකුම මුස්ලිම් දරුවන් දහ දෙනෙකුට අකුරු උගන්වා තම නිදහස ලබා ගත්හ. සෙzයිද් බින් තාබිත් (රලි) ද, මේ ආකාරයෙන් බද්ර් සිරකරුවන් ගෙන් උගත ලැබු කෙනෙකි. මේ කිසිවක්  කළ නොහැකි කුරෙයිෂි සිරකරුවන් කෙරෙහි කරුණාව දැක් වූ රසූල් (සල්) තුමා ඔවුන්ටද නිදහස ලබා දුන්නේය.

කුරෙයිෂිවරුන්ට පක්ෂව සටන් කර සිර භාරයට පත් වූ අය අතර රසූල් (සල්) තුමාගේ දියණිය සෙයිනබ් (රලි) තුමියගේ සැමියා වන අබුල් ආස් ද විය. ඔහුව නිදහස් කර ගනු පිණිස එතුමිය මාලයක් එව්වාය. එය දුටු රසූල් (සල්) තුමා, “සෙයිනබ්ගේ මව කදීජා (රලි) තුමිය දියණියට දුන් ඒ මාලයයි. ඔබ කැමති නම් හරවා එවන්න.“ යි සහාබා වරුන්ට පැවසු විට මාලය හරවා දෙන ලදී. මක්කාවට හැරී ගිය විගස, තම බිරිය මදීනාවේ ඇගේ පියා වෙතට එවු අබුල් ආස්, වසර කිහිපයකට පසුව මදීනාවට පැමිණ මුස්ලිම් බවට පත් විය.

කාෆිර්වරුන්ගේ තවත් කුමන්ත‍්‍රණයක්

පරාජයට පත් වූ මක්කා වාසීන්, තම මළවුන් සඳහා ශබ්ද නගා විලාප නුදුන්නේ, එසේ කිරීම මුස්ලිම් වරුන්ගේ ජයග‍්‍රහණය තහවුරු කිරීමක් යයි සැලකු හේතුවෙන්ය. එහෙත් ඔවුන් තුළ, පලි ගැනීමේ පිපාසය තව තවත් අධික විය. බද්ර් යුද්ධයේ පියා උමෙයියා සහ පුත‍්‍රයා අලි යන දෙදෙනාගේ ජීවිත හානි සිදුවීමෙන්  මහත් කෝපයට පත් සෆ්වාන් ඉබ්න් උමෙයියා විසින් මදීනාවට ගොස් රසූල් (සල්) තුමාව ඝාතනය කරනු පිණිස, උමෙයිර් බින් වහ්බි නම් කෙනෙක්ව මුදල් ගෙවා සූදානම් කරන ලදි.

වස පොවා ගත් කඩුවක් රැගෙන උමෙයිර් මදීනාවට පැමිණි විගස, ඔහු ගැන සැක කළ උමර් බින් අල් කත්තාබ් (රලි), ඔහු කඩුව සමඟ අත්පත් කර, රසූල් (සල්) තුමා වෙතට ගෙන යන ලදි. ඔහු පැමිණි හේතුව කුමක්දැයි රසූල් (සල්) තුමා ඔහුගෙන් ප‍්‍රශ්න කළ විට, “බද්ර් යුද්ධයේ සිර භාරයට ගත් මගේ පූතාගේ නිදහස පතා පැමිණියෙමි. ඔහුට කාරුණික වන ලෙස ඉල්ලමි.“ යයි උමෙයිර් පිළිතුරු දුන්නේය. “මාව ඝාතනය කරනු පිණිස ඔබ පැමිණි බවට සත්‍ය නොපවසන්නේ ඇයිද?“ යනුවෙන් රසූල් (සල්) තුමා ඔහුගෙන් විමසීය.

සෆ්වාන් සහ උමෙයිර් අතර සිදුවු සාකච්ඡාව පිළිබඳ සම්පූර්ණ විස්තර එතුමා ඔහුට දැන්වූ විට, “අපේ සාකච්ඡාවේ රහස මා සහ සෆ්වාන් හැර අන් කිසිවෙක් නොදනී. ඔබ තුමා සැබැවින්ම අල්ලාහ්ගේ රසූල්වරයෙකු බව විශ්වාස කර, මුස්ලිම් බවට පත් වෙමි.“ යයි උමෙයිර් ඒ මොහොතේ ප‍්‍රකාශ කළේය.

බද්ර් සටන අවසාන වී මාස දෙකක් පමණ ගත වීමෙන් පසුව, අශ්වාරෝහක සෙබළු දෙසීයක් සමඟ අබු සූෆියාන් මදීනාවට පහර දෙනු පිණිස ගියේය. මේ ගැන දැන ගත් විගස, රසූල් (සල්) තුමා ඔහුට එරෙහිව මුස්ලිම්වරු පිරිසක් එවු නමුත්, මදීනා අසල කෘෂිකර්මයේ යෙදී සිටි අන්සාර්වරු දෙදෙනෙකු ඝාතනය කර, ඔවුන්ගේ ඉඳි වත්තටද ගිනි තබා, කාෆිර් සේනාව පලා ගියහ.  මුස්ලිම්වරු ඔවුන් පසු පස ලූහු බැඳු නමුත්, කාෆිර්වරු මක්කාවට පලා ගොස් බේරුණහ.

මදීනාවෙ හි යුදෙව් සතුරෝ

ධනවත් පිරිසක් වන යුදෙව්වරු පොලියට ණය දුන් අතර, අරාබි වරුන් ගැන පහත් ලෙස සලකති. “ඔබ් ආගමික ග‍්‍රන්ථයෙහී මා ගැන සඳහන් වී ඇති හෙයින්, මම අල්ලාහ්ගේ නබිවරයෙකු බව අන් අයට පෙර ඔබ මා කෙරෙහි සැබැවින්ම විහ්වාසය තැබිය යුතුය. එසේ නොකරන්නේ නම්, අබු ජහල්, උත්බා වැනි අයට බද්ර් හී සිදු වූ විනාශය ඔබ වෙතටද පහළ වේ.“ යයි  රසූල් (සල්) තුමා ඔවුන්ට අවවාද කළ විට, “යුද්ධ ශිල්පය නොදන්නා මක්කා වාසීන් ලෙස අප ගැන නොසිතනු. අප සමඟ ගැටුණේ නම්, හොඳ පාඩමක් ඔබට උගන්වමු.“ යයි උඩඟුවෙන් මත් වූ යුදෙව්වරු එතුමාට පිළිතුරු දුන්හ.

දිනක් කිරි අලෙවි කරන අන්සාර් කාන්තාවකට, යුදෙව් රන් ආභරණ වෙළෙන්ඳෙක් අතවරය කරනු දැක, ඇයට සහායට අන්සාර් වරයෙක් ගිය විට, යුදෙව් පිරිසක් විසින් ඔහු මරණයට පත් කරන ලදී. යුදෙව් ජාතිකයෙක්ද, මෙහිදී මරණයට පත් විය. මේ ගැන ආරංචි වූ මුස්ලිම්වරු එතැනට ගිය නමුත්, අවි රැගත් යුදෙව්වරු ඔවුන්ට පහර දී, පලවා හැරියහ. ප‍්‍රශ්න විසඳන්නට සගයින් කිහිප දෙනෙක් සමඟ රසූල් (සල්) තුමා එතැනට ගිය විට, යුදෙව්වරු සටනට සූදානම් ව සිටින බව දුටිය. එහිදී සුළු ගැටුමක් සිදුවීමෙන්, ආයුධ සන්නද්ධ යුදෙව් සෙබළු හත් සීය දෙනෙක් තම බල කොටුව තුළට දුව ගොස් සැඟවුණහ.

රසූල් (සල්) තුමා සමඟ ගිවිසගත් ගිවිසුම මෙලෙස කඩ කළ පලමු වන පිරිස බනු කයිනුකා ගෝත‍්‍රය වන නමුත්, ඔවුන්ගේ නායක අබ්දුල්ලාහ් බින් සලාම් (රලි) මුස්ලිම් බවට පත් වී අවසානයි. රසූල් (සල්) තුමා දින පහක් ඔවුන්ව වැටලීමෙන් පසු, කොන්දේසි කිසිවක් රහිතව ඔවුන් සියලු දෙනා යටත් විය. ඉන් අනතුරුව මුස්ලිම්වරු ඔවුන්ගේ බලකොටුව අත් පත් කර ගත්හ. අරාබි දේශයේ එම යුගයේ පැවති යුද්ධ සම්ප‍්‍රදායට එකඟව ඔවුන් සියලු දෙනාම මරණයට පත් කළ යුතු නමුත්, ඔවුන්ගේ හිතවතා හා ආත්ම වංචනිකයන්ගේ නායකයා අබ්දුල්ලාහ් ඉබ්න් උබෙයි ඔවුන් වෙනුවෙන් මැදිහත් වීමෙන් අනතුරුව, රසූල් (සල්) තුමා ඔවුන් සියලු දෙනාට සමාව දී නිදහස් කළේය.

 උහුද් සටන

කුරෙයිෂි වරුන්ගේ පළි ගැනීමේ පිපාසය

බද්ර් සටනේ දී කුරෙයිෂි වීරයෝ බොහෝ දෙනෙකුගේ මරණය සිදු වී, අන්ත පරාජයට පත් වූ සේනාව මක්කාවට පැමිණීම කුරෙයිෂි වරුන්ට දරාගත නොහැකි නින්දාවකි. යුදෙව් වරුන් සහ මදීනාවේ මුනාෆික් වරුන්ද මුස්ලිම් වරුන් ගෙන් පළිගන්නා ලෙස නිතරමෙන් කුරෙයිෂි වරුන්ට මතක් කළහ. සටනේ දී පියවරුන්, පුතුන් සහ සොයුරන් අහිමි වූ අය අබු සුෆියාන් සහ අනෙකුත් වෙළඳුන් වෙතට ගොස් බද්ර් දින බේරා ගත් වෙළඳ භාණ්ඩයෙන් ලැබු ලාභය, මුස්ලිම් වරුන්ට එරෙහිව යුද්ධයට යොදා ගන්නා ලෙස ඉල්ලා සිටියහ. වෙළඳුන්ද මෙයට එකඟ වීමෙන්, නැවත යුද්ධයකට සූදානම් වීමට කුරෙයිෂිවරු තීරණය කළහ. ඔවුන්ගේ කවි කාරයන්ද සටනට සිත් පොලොඹ වන කවි පද බොහෝමයක් කියවා යුද්ධය සඳහා ඔවුන් ධෛර්යමත් කළහ.

නවීන ආයුධ රාශියක් රැගත් කුරෙයිෂි සේනාවක් හිජ්රි 3 වන වසර ෂව්වාල් මස මක්කා සිට මදීනා බලා පිටත් විය. මෙම ගමනේදී කාෆිර් වරුන්ගේ කාන්තා පිරිසක්ද, අවට ජීවත් වන තවත් ගෝත‍්‍ර කිහිපයක්ද එක් වුහ. තූන් දහසකින් සමන්විත කුරෙයිෂි වරුන්ගේ සේනාව මදීනා මායිමටම ගොස්  කූඩාරම් තැනූහ.

මදීනා නුවර සීමාව තුළ රැඳී සිට සතුරන් නගර සීමාව තුළට ඇතුළු වුවහොත් පමණක්  ඔවුන් සමඟ සටන් කරන බවට රසූල් (සල්) මුලදී අදහස් කළේය. මුනාෆික් වන අබ්දුල්ලාහ් ඉබ්න් උබෙයිගේ අදහසද එය වූ නමුත්, බද්ර් සටනට සහභාගි වීමට අවස්ථාව නොලැබු ඇතැම් තරුණ මුස්ලිම්වරු, “අල්ලාහ්ගේ රසූල් (සල්) තුමනි, අපි දුබල අය ලෙසද, බිය ගුල්ලන් ලෙසද ඔවුන් නොසිතනු පිණිස, සතුරන් වෙතට අපව රැගෙන යන්න.“ යි ඉල්ලීම් කළහ.

ඔවුන් දැක් වූ මහත් ආශාවේ හේතුවෙන් රසූල් (සල්) තුමා තම නිවස තුළට ගොස්  යුද්ධ ආවරණය පැලඳ ගෙන පැමිණියේය. මේ අතර, එතුමාට කරදර කිරීම ගැන ඔවුන් දුක් වී “රසූල් (සල්) තුමනි, අපට අයිතියක් නැති කරුණක් ගැන අපි ඔබ තුමාට කරදර කෙළෙමු. ඔබ තුමා කැමති පරිදී (නගරය තුළ) රැඳී සිටින්න. අල්ලාහ්ගේ ආශීර්වාදය ඔබ තුමාට හිමිවේවා.“ යයි කීහ.

එවිට, “යුද්ධය සඳහා ආවරණය පැලඳ ගත් නබිවරයෙක්, සටනේ යෙදෙන තුරු එය ගලවා දැමීම කොහෙත්ම සුදුසු නැත.“ යි රසූල් (සල්) ඔවුන්ට කීහ.

එක් දහස් දෙනෙක් පමණ අඩංගු සේනාවක් සමඟ රසූල් (සල්) තුමා සතුරු සේනාව සිටින ස්ථානයට පිටත් විය. මදීනා සහ උහුද් කන්ද අතර, අශ් ශව්ත් නම් ස්ථානයේදී, “රසූල් (සල්) තුමා ඔවුන්ගේ කථාව පිළිගෙන, මගේ කථාව ප‍්‍රත්ක්ෂේප කළේය.“ යි පැවසු මුනාෆික් වරුගේ නායක අබ්දුල්ලාහ් ඉබ්න් උබෙයි, සේනාවෙන් ඔහුගේ සගයෝ තුන් සීය දෙනෙක් පමණ පිරිසක් රැගෙන, රසූල් (සල්) තුමාව අත හැර දමා මදීනාවට හැරී ගියේය. ඔහුගේ සැබෑ අරමුණ එම ක්‍රියාවෙන් මුස්ලිම්වරු අතර අසහනය සහ අසමගිය ඇති කිරීමයි. එහෙත්, මුස්ලිම්වරු කිසිවෙක් ඔහු සමඟ ආපසු හැරී ගියේ නැති හේතුවෙන් ඔහුගේ අරමුණ සාර්ථක නොවිය.

යුද්ධ පිටියේ තත්ත්වය

සේනාවේ ඉතිරි හත් සීයයක් පමණ සෙබළු සමඟ මදීනා සිට කිලෝ මීටර් තුනක් පමණ දුර පිහිටි උහුද් නම් ස්ථානයට පැමිණි රසූල් (සල්) වරයා, “අපි අණ දෙනතුරු කිසිවෙක් සටනට බැසිය නොයුතුය.“ යි පවසා සටනට සූදානම් විය.

අබ්දුල්ලාහ් ඉබ්න් ජුබෙයිර් (රලි) යටතේ දුනු ශිල්පීන් පනස් දෙනෙක් භාර කළ එතුමා, “සටන අපට සාර්ථක වුවත් සාර්ථක නොවුවත්, ඔවුන්ගේ අශ්වාරෝහක සේනාව අපට පිටුපසින් ළඟා නොවනසේ දුනු හී විදිමින් අපට ආරක්ෂා සැපයීම ඔබලා සතු වගකීමය.“ යි අණ කළේය. මුස්ලිම් හමුදාව කුරුල්ලන්  ඩැහැගෙන යනු දුටුවත්, ඔවුන්ට භාර දුන් ස්ථානයෙන් සෙලවිය නොයුතුය, යි රසූල් (සල්) තුමා ඔවුන්ට පැහැදිලිව අවවාද කළේය. යුද්ධ ආවරණ දෙකක්  පැලඳ ගත් එතුමා, මුසෙයිබ් ඉබ්න් උමෙයිර් (රලි) ට ධජය භාර දුන්නේය.

සටන ආරම්භවේ

සේනා දෙකම මුහුණට මුහුණ හමුවිය. කාෆිර් පිරිමින්ගේ පිටපසින් සිට ගෙන යුද බෙරය නාද කරමින්, ඔවුන්ට සටන් කරන්නට පෙලඹවු කාන්තාවන් අතර, හින්ද් බින්ති උත්බා ද සිටියාය. සුළු මොහොතකින් සටන උග‍්‍ර විය. රසූල් (සල්) තුමාගේ අසිපත රැගෙන සතුරු සේනාව මැදට කඩා වැදී සටන් කළ අබු දුජානා (රලි) තම මාර්ගය හරස් කළ සෑම කෙනෙකුම මරා දැමීය.

හම්සා ඉබ්න් අබ්දුල් මුත්ලිබ් (රලි) දක්ෂ ලෙස සටන් කර කුරෙයිෂි වරුගේ වීරයන් විශාල පිරිසක් මරා දැමීය. එදා දින ඔහුට මුහුණ දීමට කිසිවෙකුට නොහැකිවුණි. මේ අතර හෙල්ල වීසි කිරීමට දක්ෂ වහ්ෂි නම් කළු ජාතික වහලෙක් කාෆිර් වරුන්ගේ සේනාවේ සිටීය. හම්සා (රලි) තුමාව ඝාතනය කළේ නම්, ඔහුට නිදහස ලබා දෙන බව ඔහුගේ හිමිකරු ජුබෙයිර් ඉබ්න් මුතිම් පොරොන්දු වී තිබුණි. බද්ර් හී මුතිම්ගේ ඥාතියෙකුගේ මරණය සිදුවුයේ හම්සා(රලි) ගේ අතින්ය. හම්සා (රලි) තුමාව මරා දමන ලෙස, පළි ගැනීමේ පිපාසයෙන් සිටි හින්දා, වහ්ෂිව පෙලඹුවාය. මෙම සටන් බිමේ වහ්ෂිට පවරා තිබු එකම රාජකාරිය හම්සා (රලි) තුමාව ඝාතනය කිරීමයි. අන් කිසිදු රාජකාරියක් නොමැති වහ්ෂි ද සැඟවී සිට, හම්සා (රලි) තුමාට වේගයෙන් හෙල්ලෙන් පහර දුන් විට, එය එතුමාගේ සිරුර පසාරු කර යෑමෙන්, හම්සා (රලි) ෂහීද් නම් වීර මරණය ලැබීය. මේ අතර රසූල් (සල්) තුමා ඉදිරියේ සිට ගෙන එතුමාට ආරක්ෂාව සැපයු මුසාබ් ඉබ්න් උමෙයිර් (රලි) මිය යන තුරු සටන් කළේය.

මුස්ලිම් වරුන්ගේ ජයග‍්‍රහණය

මුස්ලිම් වරුන්ට සහය සලසා කාෆිර් වරුන්ව අන්ත පරාජයයට පත් කර මුස්ලිම් වරුන්ට දුන් පොරොන්දුව අල්ලාහ් ඉටු කළේය. කාෆිර් සේනාවේ ධජය ඔසවා ගත් දොළොස් දෙනෙක් එකි නෙකා මරණයට පත්වී මෙන්, ධජය අතට ගන්නට පවා කිසිවෙක් ඉදිරිපත් වූයේ නැත. පරාජයට පත් වී, සෙමින් පසු බසින්නට පටන් ගත් කාෆිර් සේනාව, මොහොතකින් ඔවුන්ගේ කාන්තාවන්ගේ ආරක්ෂාව ගැන අමතක කර, ඔවුන් පවා හැර දමා දුවන බවද, මුස්ලිම් සේනාව ඔවුන් පසුපස ලූහු බඳින බවද දුටු දුනු  ශිල්පීන්, සතුරු සේනාව දමා යන වස්තූන් රැස් කරන ගන්නා අදහසින් ඝෝෂා කරමින්, තම නියමිත ස්ථානයෙන් බැහැර වී, යුද පිටිය කරා යන්නට පටන් ගත්හ.

රසූල් (සල්) තුමා ඔවුන්ට නියමිත ස්ථානයෙන් ඉවත් නොවන ලෙස දුන් අණ පිළිබඳව, ඔවුන් භාර ව සිටි නායකයා මතක් කළ නමුත්, කිසිවෙක් ඔහුට සවන් නුදුන්හ. පලා යන කාෆිර්වරු නැවත හැරී නොඑන බව සිතු ඔවුන්, මුස්ලිම් සේනාවේ ආරක්ෂාව ගැනද අමතක කළහ. මෙම අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත් කාලිද් බින් අල් වලීද්ගේ අශ්වාරෝහක සෙබළු පිරිසක් ආපසු හැරී පැමිණ, මුස්ලිම් වරුන්ට ඉනික්බිතිව පහර දෙන්නට පටන් ගත්හ. ඔවුන්ගේ පැමිණීම වැළකීමට හෝ ඔවුන්ට මුහුණ දෙන්නට දුනු ශිල්පීන් කෙනෙකු වුවද තම ස්ථානයේ සිටියේ නැත. එවකට කාලිද් බින් වලීද් ඉස්ලාමය පිළිගෙන සිටියේ නැත. බලාපොරොත්තු නොවු පහර දීමත් සමඟම  “මුහම්මද් ඝාතනයට ලක්වුණා.“ යන හඬක් ද ඇසුනි. කාෆිර්වරු පසු පස ලූහු බැඳගෙන ගිය මුස්ලිම්වරු, ආපසු හැරී ඇවිත් යළි සටන් කළ නමුත්, මෙම අවුල් සහගත තත්ත්වයේදී මුස්ලිම් වරුන්ට විශාල හානියක් සිදුවි අවසන් වී තිබුණි.

එදා දින මුස්ලිම්වරු දැඩි පරීන්ෂණයට ලක් වූහ. සතුරු සේනාව ආපසු හැරී පැමිණ දක්ෂ ලෙස සටන් කරමින්, රසූල් (සල්) තුමා වෙතට ළඟා වූ අතර, ගලකින් පහරක් වැදීමෙන් එතුම බිම වැටුණි. එතුමාගේ ඉදිරිපස දත් කැඩුණි. මුහුණට තුවාල සිදුවී මුහුණෙන් ලේ වැගුරුණි. එය පිස දැමු එතුමා, “ඔවුන්ගේ දෙවියන් කෙරෙහි ආරාධනා කළ ඔවුන්ගේ නබිවරයාගේ මුහුණේ ලේ සෙලවීමට ක්‍රියා කරන ජනතාවක් දියුණු වෙන්නේ කෙසේද?“ යි කීය. සතුරු සේනාව මුස්ලිම් වරුන්ගේ සේනාව මැදට කඩා වැදී, ඝෝෂා කරමින් සටන් කළ මෙම අවුල් සහගත අවස්ථාවේදී රසූල් (සල්) තුමා කොතැනක සිටිනාවාදැයි බොහෝ දෙනෙක් නොදැන සිටියහ. රසූල් (සල්) තුමාගේ දෑතින් අලි ඉබ්න් අබි තාලිබ් (රලි) අල්ලා ගත් විට, තල්හා බින් උබෙයිදුල්ලාහ් එතුමාට සිට ගන්නට උදව් කළේය. මාලික් බින් සිනාන් එතුමාගේ මුහුණේ තිබු ලේ පැල්ලම් තම දිවෙන් පිස දැමීය.

බලවත් අපහසු තත්ත්වයට පත් වූවත්, මුස්ලිම්වරු මෙම අවස්ථාවේදී පලා නොගොස් නිර්භීතව යළි සටනේ යෙදුනු නමුත්, මෙම අවාසනාවන්ත සිද්ධියෙන් මුස්ලිම් වරුන්ට විශාල හානියක් සිදු වී ඔවුන්ගේ කුඩා සමාජයේ බොහෝ දෙනෙක් ෂහිද් බවට පත් වූහ.

රසූල් (සල්) තුමාගේ අණට දුනු ශිල්පීන් අකීකරු වී නියමිත ස්ථානයෙන් බැහැර යෑම ගැන අල්ලාහ් මෙසේ පවසයි. “අල්ලාහ් ඇත්තෙන්ම ඔබට දුන් පොරොන්දුව ඉටු කර, සතුරන් විනාශ කරන්නට යෙදුනු නමුත්, (ඔබ පි‍්‍රය කරන) ජයග‍්‍රහණය හා වස්තූන් දැක, ඔබ අකීකරු වුනෝය. ඔබ අතර මෙලොව දැයට කැමති වන අයද සිටිති. අන්තිම දිනයට කැමති අයද සිටිති. එහෙයින් ඔබ පිරික්සීම පිණිස ඔවුන්ගෙන් (කාෆිර්වරුන් ගෙන්) ඔබ හැරෙව්වේය. ඇත්තෙන්ම ඔහු ඔබට ක්ෂමා කළේය. අල්ලාහ් විශ්වාස කරන්නන් කෙරෙහි වරප‍්‍රසාද හිමිය.“ අල් කුර්ආන් 3:152

ආදරය සහ පරිත්‍යාගශීලී ක්‍රියා සමහරක්

උහුද් සටනේදී රසූල් (සල්) තුමාගේ මුහුණට පහරක් වැදී, එතුමා පැලඳ සිටි යකඩ හිස් වැස්මෙහි දම්වැලේ පුරුක් දෙකක් එතුමාගේ මුහුණේ කා වැදී තිබුණි. අබු උබෙයිදා ඉබ්න් අල් ජර්රා (රලි) ඒවා එකින් එක දතින් ඇද ගැල වූ විට, ඔහුගේ දත් දෙකක් ගැල වී වැටුණි. රසූල් (සල්) තුමාට සතුරන්ගේ පහර වැදීමෙන් රැක ගනු පිණිස තම සිරුර පලිහයක් ලෙස උපයෝගි කළ අබු දුජානා (රලි) ගේ පිටේ ඊතල කිහිපයක් වැදීමෙන් ඔහු බරපතළ ලෙස තුවාල විය. රසූල් (සල්) තුමා රැක ගනු පිණිස සඅද් ඉබ්න් අබි වක්කාස් (රලි) සතුරන්ට දුන්නෙන් විදින විට, “විදින්න. මගේ මව සහ පියා ඔබට කැප කරමි.“ යයි පවසමින්, රසූල් (සල්) ඔහුට හී සැපයුවේය.

කතාදා ඉබ්න් නුඋමාන් (රලි) වෙත එල්ල කළ පහරකින් ඔහුගේ එක ඇසක් එළියට වීසි වූ අතර, රසූල් (සල්) එය පිහිට් ආකාරයෙන්ම නැවත තැන්පත් කළායින් පසු, ඒ ඇස තුවාල නොවු ඇසට වඩා හොඳින් පෙනීමේ ශක්තිය ලැබීය. කොපාවේශයට පත් වූ කාෆිර්වරු අල්ලාහ් අනුමත නොකළ දැයක් සිදු කරන අදහසින්, රසූල් (සල්) තුමා දෙසට වේගයෙන් දුවගෙන ආවිට, සතුරන්ගේ මාර්ගයේ සිට ගෙන එතුමාට රැකවරණය දුන් සහාබාවරු දහ දෙනක් ෂහීද් වූහ. රසූල් (සල්) තුමා දෙසට එල්ල කරන ලද හී පහරවල් තම දෑතින් වැළැක් වූ තල්හා ඉබ්න් උබෙයිදුල්ලාහ් (රලි) ගේ සෑම ඇඟිල්ලෙන්ම ලේ ගැලීමෙන් ඔහුගේ එක් අතක් අප්‍රාණික විය. රසූල් (සල්) තුමා ගලක් උඩට නගින්නට තැත් කළ නමුත් එය අපහසු වූ විට, තල්හා (රලි) බිම වාඩි වී, තම සිරුර මත පා තබා, ගල උඩට නගින්නට එතුමාට පහසු කළේය. දහවල් සලාහ් වෙලාව පැමිණි විට, රසූල් (සල්) තුමාට සිදු වූ තුවාල නිසා බිම වාඩි වී සලාහ් මෙහෙයුවේය.

පහර වැදීමෙන් මුස්ලිම්වරු විසිරී ගිය ආරම්භක මොහොතේ පවා රසූල් (සල්) තුමාගේ සේවක අනස් ඉබ්න් මාලික් (රලි)ගේ ඥාතියෙකු වන අනස් ඉබ්න් අල් නදර් (රලි) නොනැවතී සටන් කර ගෙන ගියේය. “අබු උමර්, ඔබ යන්නේ කොහේදැ?“ යි සඅද් ඉබ්න් මුආද් (රලි) ඔහුගෙන් විමසූ විට, “ස්වර්ගයේ සුවඳ කරා යමි සඅද්. උහුද් අසල එය මට දැනේ.“ යයි පිළිතුරු දෙමින් ඔහු ඉදිරියට ගියේය. සමහර මුස්ලිම්වරු දුක් මුසු මුහුණින් සිටිනු දුටු ඔහු, “ඔබලා වාඩිවී සිටින්නේ කුමක් නිසාදැ?“ යි විමසුවේය. “අල්ලාහ්ගේ රසූ (සල්) තුමා මිය ගොස් අවසානයි.“ යනුවෙන් ඔවුන් පිළිතුරු දුන්හ.

“එසේ නම් එතුමාගෙන් පසුව ජීවත් වීමෙන් ඇති තේරුම කුමක්ද? මෙතැනින් නැගිට ගොස් අල්ලාහ්ගේ රසූල් (සල්) තුමා මිය ගිය ආකාරයට ඔබත් මිය යන්න.“ යයි පවසමින් ඉදිරියට ගිය ඔහු, මිය යන තුරු සටන් කළේය.

“එතුමාගේ (අනස් ඉබ්න් නදර්ගේ) සිරුරෙහි කැපීම් තුවාල හැත්තෑවක් දුටුවෙමු. එතුමාගේ සොයුරියට එතුමාව හඳුනා ගන්නට හැකි වූයේ, එතුමාගේ ඇඟිලි තුඩෙන් පමණි.“ යයි අනස් (රලි) වාර්තා කළේය.

සෙzයිද් ඉ‍බ්න් සකන් නම් සහාබිවරයා අන්සාර්වරු පස් දෙනෙකු සමඟ රසූල් (සල්) තුමා ඉදිරිපසින් සිට ගෙන සතුරන් සමඟ සටන් කළ අතර, ඔවුන් සියලු දෙනාම තම අරමුණෙහි මරණයට පත් වූහ. සෙzයිද් (රලි) තුමාද බරපතල ලෙස තුවාල ලැබීය. “ඔහුව මා වෙතට ගෙන එන්න.“ යයි රසූල් (සල්) තුමා පැවසී මෙන්, ඔහුව ගැනැවිත් එතුමාගේ පාමත තැබුවෝය. ඔහුගේ මුහුණ රසූල් (සල්) තුමාගේ පා මත තිබියදී, සෙzයිද් (රලි) තුමා මෙලොව හැර දමා ගියේය.

අම්ර් ඉබ්න් අල් ජමූහ් නම් සහාබිවරුයා අබාධිත මහල්ලෙකි. ඔහුගේ පුත‍්‍රයින් හතර දෙනෙක් රසූල් (සල්) තුමා සමඟ එක්ව යුද බිමට ගියහ. උහුද් සටනටද ඔවුන් ගිය අවස්ථාවේදී, අම්ර් (රලි) ද ඔවුන් සමඟ යෑමට බලවත් කැමැත්තක් දැක් විය. “අල්ලාහ් ඔබට අපහසුකමක් දී ඇති හෙයින්, ජිහාද් කිරීමට යෑම ඔබට අල්ලාහ් අනිවාර්යය කර නැත. ඔබ වෙනුවෙන් අපි ගොස් ජිහාද්හී යෙදෙන්නෙමු.“ යයි දරුවෝ ඔහුට පැවසුහ.

“මාගේ මේ දරුවෝ ඔබ තුමා සමඟ ජිහාද් හී යෑමට මට ඉඩ නොදෙති. අල්ලාහ්ගේ නාමයෙන් පවසමි. සටනේදී මම ෂහීද් බවට පත් වී, මේ අබාධිත දෙපයෙන් ස්වර්ගයේ උයනේ ඇවිදින්නට අපේක්ෂා කරමි.“ යි රසූල් (සල්) තුමා වෙත අම්ර් (රලි) පැමිණිලි කළේය.

“ජිහාද් හී යෑමේ අවශ්‍යතාවය ඔබට අල්ලාහ් ඉවත් කර ඇත.“ යයි ඔහුට පැවසු රසූල් (සල්) තුමා, පුත‍්‍රයන් දෙස බලා, “මොහුට සටනට යෑමට ඉඩ දීමෙන් ඇති ප‍්‍රශ්නය කුමක්දැ?“ යි ඇසීය. සේනාව සමඟ යුද පිටියට ගිය අම්ර්(රලි) උහුද් සටනේ ෂහීද් විය.

සෙzයිද් ඉ‍බ්න් තාබිත් (රලි) මෙසේ වාර්තා කරයි. “උහුද් සටනේදී, සඅද් ඉබ්න් අර් රබී (රලි) තුමාව සොයා බලන ලෙස රසූල් (සල්) තුමා මට අණ කර, ඔහු දුටුවේ නම්, “මා වෙනුවෙන් ඔහුට සලාම් කියා ආචාර කර, ‘අල්ලාහ්ගේ රසූල් වරයා ඔබගේ තත්ත්වය කෙසේදැ?‘ යි විමසු බව දන්වන්න“ යි කීවේය.

සටන් බිමේ මළවුන්  අතර සොයන්නට පටන් ගත් මම, අවසාන හුස්ම සලමින්  සිටින ඔහු  (සඅද්) වෙතට පැමිණියෙමි. ඔහුගේ සිරුරෙහි හෙල්ල, කඩු පහර සහ හීය ආදී ආයුධවලින් ලැබු තුවාල හැත්තෑවක් පමණ තිබුණි. “අසද්, ‘අල්ලාහ්ගේ රසූල් (සල්) තුමා ඔබට සලාම් පවසා, ඔබේ තත්ත්වය කෙසේදැ?‘ යි විමසීය“ යි කීවෙමි. එවිට ඔහු, “රසූල් (සල්) තුමාට අල්ලාහ්ගේ සාමය හිමිවේවා. රසූල් (සල්) තුමනි, උයනේ සවඳ මට දැනෙනවා. යි එතුමාට කියන්න. මගේ අන්සාර් ජනතාවට, “ඔබ ජීවතුන් අතර සිටියදී, රසූල් (සල්) තුමාට හානියක් සිදු වූයේ නම්, ඔබට අල්ලාහ්ගෙන් කිසිදු සමාවක් නැත‘ යයි පවසන්න.“ යි කියමන් ඔහු ෂහීද් නම් මරණයට පත් විය.

සටනෙන් පසුව ඇතැම් සිදුවීම්

රසූල් (සල්) තුමා ජීවතුන් අතර සිටින බව දැනගත් විගස, එතුමා සිටින තැනට මුස්ලිම්වරු වහාම රොක්වන්නට පටන් ගත්හ. උබෙයි ඉබ්න් කඃලෆ් නම් කාෆිර් වරයා, “මුහම්මද්, නුඹ ඉතිරි වුයේ නම්, මම නුඹට විසීමට ඉඩ නොදෙමි.“ යයි පවසමින් රසූල් (සල්) තුමා දෙසට ආයුධයක් ඔසවා ගෙන වේගයෙන් අශ්වයා මත පැමිණියේය. “ඔහුට එන්න ඉඩ හරින්න.“ යි සහාබා වරුන්ට පැවසු රසූල් (සල්) තුමා, ඔහු ළඟාවූ පසු, සාහාබා වරයෙකුගෙන්, හෙල්ලක් රැගෙන, උබෙයිට නිර්භීතව මුහුණ දී, ඔහුගේ ගෙලට පහර දුන් විට, ඔහු අශ්වයා පිටින් විසි වී බිමට වැටුණේය.

අලි ඉබ්න් අබි තාලිබ් (රලි) යුද්ධයට උපයෝගී කළ තම පලිහයේ, ජලය පුරවා ගෙන පැමිණි විට, රසූල් (සල්) තුමාගේ දියණිය වන ෆාතිමා (රලි) තම පියාගේ මුහුණේ ලේ සෝදා පිරිසිදු කළාය. එහෙත් ජලය නිසා ලේ ගැලීම අධිකවනු දුටු ෆාත්මා, ඉඳි කොල පැදුරු කැබැල්ලක් පුලුස්සා, එහි අළු තුවාලවී තිබුනු තැන්වලට දැමූ විට ලේ ගැලීම නැවතුණි.

උම් සුලෙයිම් (රලි) තුමිය ළිඳෙන් ජලය ගෙන හම් මලු වල පුරවා දුන් අතර, අයිෂා බින්ත් අබි බකර් (රලි) සහ උම් සුලෙයිම් තුමිය, බොහෝ වාරයක් ඒවා ඔසවා ගෙන ගොස් තුවාල ලත් අයට බීමට දුන්හ.

මේ අතර හින්දා බින්ත් උත්බාහ් සහ ඇය සමඟ සිටි කුරෙයිෂි කාන්තාවෝ මුස්ලිම් වරුන්ගේ මළ සිරුරු වල නාස්, කන් සහ අනිත් අවයවන් කපා දමා මළ සිරුරු විකෘති කරන්ට යෙදුනහ. හම්සා (රලි) තුමාගේ සිරුර විකෘති කොට, එතුමාගේ කැවුත්ත පවා කපා ගත් හින්දා, එය විකා කන්නට තැත් කළ නමුත්, එය ගිල ගන්නට නොහැකිව කෙළ ගැසුවාය.

මක්කාවට හැරී යන්නට පෙර අබු සුෆියාන් කන්දක් මත නැග, “යුද්ධයක වාසනාව වෙනස් වන සුළුයි. අද එක් අයෙක් ජය ලබයි. හෙට තවත් කෙනෙක් ජය ලබයි. හුබාල් (කාෆිර්වරුන්ගේ දෙව් පිළිමයක්) ඔබේ උසස් භාවය පෙන්වනු මැනවි.“ යයි හඬ නගා ප‍්‍රකාශ කළේය.

“උමර්! ‘අල්ලාහ් අති උත්තමයා සහ මහානුභාව සම්පන්නය. අපි දෙපිරිස එක හා සමාන නොවෙමු. අපේ මළවුන් ස්වර්ගයේ උයනේ සිටින අතර, තොපගේ මළවුන් අපාය ගින්නෙහිය.‘යි ඔහුට පවසන්න.“ යනුවෙන් රසූල් (සල්) තුමා කීය.

“අපට උzස්zසා (පරමාධිපති) සිටින නමුත්, නුඹලාට උzස්zසා නැත.“ යයි අබු සුෆියාන් කෑ ගැසීය.

“කියන්න උමර්, අල්ලාහ් අපේ ආරක්ෂකයා වේ. නුඹලාට ආරක්ෂකයෙක් නැත.“ යයි රසූල්  (සල්) තුමා පැවසීය.

එතැනින් පිටත්වන්නට පෙර, “අපේ යළි හමුවීම ලබන වසර බද්ර් පිටියේදීය.“ යි අවසානයේ අබු සුෆියාන් කීය.

“ඔව්. අප අතර එය පොරොන්දුවකි.“ යනුවෙන් පිළිතුරු දෙන ලෙස රසූල් (සල්) තුමා පැවසීය.

එඩිතර මුස්ලිම් කාන්තාවක්

හම්සා (රලි) තුමාගේ මළ සිරුර බැලීමට එතුමාගේ සොහොයුරිය වන සෆියා බින්ත් අබ්දුල් මුත්තලිබ් පැමිණි විට, ඇගේ සහෝදරයට සිදු වූ දේ ඇය දැන ගත නොයුතුය යි රසූල් (සල්) තුමා ඇගේ පුත‍්‍රයා අස් zසුබෙයිර්ට කීය.

“අම්මේ, ඔබට හැරී යන ලෙස රසූල් (සල්) තුමා අණ කරයි.“ යනුවෙන් අස් zසුබෙයිර් ඇයට කීය.

“ඇයි? මගේ සහෝදරයාගේ සිරුර කපා, කොටා විකෘති කර ඇති බව මට දැන ගන්නට ලැබුණි. එයද සිදු වූයේ අල්ලාහ් වෙනුවෙන්ය. අල්ලාහ් ඔහුට සුදුසු ලෙස ත්‍යාග දෙන බව සිතමි. අල්ලාහ්ගේ අනුමැතියෙන් මමද ඉවසීමෙන් සිටින්නෙමි.“ යයි පැවසු එතුමිය, තම සොයුරාගේ මළ සිරුර බැලීමට ගියාය.

“අපි අල්ලාහ්ට හිමිය. යළි හැරී යන්නේද ඔහු වෙතටය. (ඉන්නා ලිල්ලාහි ව ඉන්නා ඉලෙයිහි රාජිඌන්) යනුවෙන් පවසා, ඔහුට සමාව පතා බැගෑපත්ව අල්ලාහ්ගෙන් ප‍්‍රාර්ථනා කළාය. ඉන් අනතුරුව, හම්සා (රලි) තුමාගේ දේහය උහුද් හී සොහොන් කරන ලෙස රසූල් (සල්) තුමා අණ කළේය. තමාට සෑම අතින්ම ඉමහත් සහාය දුන් මහප්පා වන හම්සා (රලි) තුමාගේ මරණය ගැන රසූල් (සල්) තුමා බොහෝ සේ දුක් විය.

ෂහීද්වරු භූමදාන කරනු ලබති

රසූල් (සල්) තුමාගේ ධජය රැගෙන ඉදිරියට ගමන් කළ මුසාබ් ඉබ්න් උමෙයිර් (රලි), මුස්ලීම් බවට පත් වීමට පෙර, ධනවත් කුරෙයිෂි තරුණයෙකි. සටනේදී මරණයට පත් වූ එතුමාගේ සිරුර ආවරණය කිරීමට තිබුණේ කුඩා රෙදි කෑල්ලක් පමණි. ඔහුගේ හිස වසන විට පා දෙක නොවැසෙන අතර, පා දෙක ආවරණය කරණ විට හිස නොවැසෙයි. එය දුටු රසූල් (සල්) තුමා රෙද්දෙන් හිස වසා, ඉද්කීර් නම් පඳුරු වලින් පා දෙක වසා සොහොන් කරන ලෙස කීය.

තවත් දෙදෙනෙක් එකම රෙදි කෑල්ලකින් ආවරණය කරනු ලැබු අතර, ඔවුන් දෙදෙනාගෙන් කුර්ආනය හොඳාකාරව දන්නේ කවුදැයි රසූල් (සල්) විමසීය. ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකු පෙන්වු විට, ඔහු පළමුවෙන් වළ දමනු ලදුව, “යළි නැගිටින දිනයේදී, මම ඔවුන්ට සාක්ෂි දරන්නෙමි.“ යනුවෙන් රසූල් (සල්) තුමා ප‍්‍රකාශ කළේය.

මිය ගිය අයගේ ලේ පිස නොදමා, සිරුර නොසෝදා, මරණයට ලක් වූ ආකාර යෙන්ම භූමිදානය කරන ලෙස එතුමා අණ කළේය. ෂහීද් වූ අයගේ මළ සිරුරු සෝදනු නොලැබු අතර, ඔවුන් වෙනුවෙන් ජනාzසා සලාහ් ඉටු කළේ ද නැත.

කාන්තාවකගේ සතුට

උහුද් සටන් බිමේ සිට මුස්ලිම්වරු හැරි එන විට, බනු අන් නද්ර් ගෝත‍්‍රයට අයත් කාන්තාවක් පසු කර ගෙන ගියහ. ඇගේ සැමියාද, සොයුරෙක්ද, පියාද, පුතෙක්ද එම සටනේදී මරණයට පත් ව සිටි අතර, ඒ බව දැන් වූ විට ඇගේ මුවෙන් පිට වූ එකම ප‍්‍රශ්නය, “රසූල් (සල්) තුමාට සිදු වුයේ කුමක්ද?“ යනුවෙන් පමණි.

“එතුමා ආරක්ෂා සහිතව සුවෙන් සිටිනවා අම්මේ.“ යනුවෙන් මුස්ලිම්වරු ඇයට පිළිතුරු දුන්හ. එය අසා අල්ලාහ්ට සියලු ප‍්‍රශංසා සහ ස්තූතිය පල කළ ඇය, “මට එතුමාව දැක ගන්න ඕන.“ යයි කීවාය. ඒ අසල සිටි රසූල් (සල්) තුමාව ඇයට පෙන්වනු ලැබු විට, “ඔබ තුමා ආරක්ෂා සහිතව පසු වන නිසා, අපට සිදු වූ සියලු පාඩුවක්ම ඉවත් වුණා.“ යයි පැවසුවාය.

මුස්ලිම්වරුන්ගේ තවත් වෑයමක්

උහුද් සටනෙන් පසු දින කාෆිර්වරු පසුපස ලුහු බඳින්නට යා යුතු බවද උහද් සටනේ සහභාගි වූ අය පමණක් හැර අන් කිසිවෙක් පැමිණිය නොයුතු බවද රසූල් (සල්) තුමා දැන් විය. මුස්ලිම්වරු බොහෝ දෙනෙක් උහුද් සටනේ තුවාල ලැබ, සැවෝම අධික වෙහෙසට පත්ව සිටි නමුත් සියලු දෙනාම රසූල් (සල්) තුමාගේ ඇරයුමට සවන් දී එතුමා සමඟ පිටත් වී මදීනා නුවර සිට සැතපුම් අටක් පමණ දුර පිහිටි හම්රා අල් අසද් නම් ස්ථානයට ගොස්, එහිදී සඳුදා සිට බදාදා දක්වා දින තුනක් නැවතී සිටියහ.

කුරෙයිෂිවරුන්ගේ වැදගත් නායකයි කිහිප දෙනෙක් උහුද් සටනේ මරණයට පත් වූ අතර, යුද්ධයේ තම සේනාව ජය නොගත් බව මක්කාවට හැරී යන කාෆිර්වරුන්ට අවබෝධ විය. “නුඹලා කිසි දැයක් කළේ නෑ. එක මුස්ලිම්වර යෙකු වූවද සිර භාරයට අල්ලා ගත්තේ නෑ. ජනතාවට අප නායකයන්ගේ මරණය ගැන පවසන්නේ කුමක්ද?“ යනුවෙන් එකිනෙකාටද, සේනා නායක යන්ටද නොයෙකුත් ආකාරයෙන් දොස් පවරා විවේචන කළහ. මෙවැනි කථා ඉසිලිය නොහැකිව, මදීනාවට හැරී ගොස් යළි පහර දීම ගෙන අබු සුෆියාන් කල්පනා කළේය.

මේ අතර මුස්ලිම් සේනාව කාෆිර්වරු පිටුපසින් ලුහු බඳින බවද, ඔවුන් මදීනා නගරයෙන් බැහැර පැමිණ දැනටමත් හම්රා අල් අසද් නම් ස්ථානයේ ලැගුම් ගෙන සිටිනා බවද ආරංචියක් ලැබුණි. මෙම ආරංචියෙන් මහත් කලබලයට හා බියට පත් වූ කාෆිර්වරු ප්‍රාණය බේරා ගනු පිණිස මක්කාවට ලහිලහියේ පලා ගියහ. සතුරු සේනාවේ පලා යෑම ගැන මෙම තොරතුරු ලැබීමෙන් පසු රසූල් (සල්) තුමා සහ මුස්ලිම් සේනාව මදීනාවට හැරී ගියහ.

මුස්ලිම්වරු හැත්තෑ දෙනෙක් උහුද් සටනේදී මරණයට පත්වී ෂහීද් වූහ. එයින් බහුතරයක් අන්සාර් වරුන් වේ. අල්ලාහ් ඔවුන් සියලු දෙනාගේ පරිත්‍යාගය පිළිගනිත්වා. කාෆර්වරු විසි දෙදෙනෙක් මරුමුවට පත්වුහ.

උහුද් සටන උගන් වන පාඩම

මෙම සටනේදී මුස්ලිම්වරු පරාජයට පත් වූ බව පැවසිය නොහැක. සටන ආරම්භයේ මුස්ලිම්වරු ජය ගත් අතර, දුනු ශිල්පීන් අකීකරු වීම නිසා තාවකාලික අනර්ථයක් සිදු වුණි. එනම්, මුස්ලිම්වරු රසූල් (සල්) තුමාගේ අණට එකඟව කටයුතු කරන තුරු ඔවුන්ට අල්ලාහ්ගෙන් ජය ලැබෙන්නේය. ලෞකික සතුට පතා අල්ලාහ්ගේ හා රසූල් (සල්) වරයාගේ නියෝගයෙන් බැහැර යන්නේ නම් පාඩු විඳීමට සිදු වන බව නිසැකයි.

දෙවනුව, සෑම සටනකදීම මුස්ලිම්වරු නොකඩවා ජය ලබන්නේ නම්, ඒවායින් වාසිය හා ප‍්‍රයෝජනය ලබා ගන්නා අරමුණින් ව්‍යාජ පිරිස් බොහෝමයක් ආගම තුළට පිවිසීමන්, සැබෑ බැතිමතුන් හා මුනාෆික්වරු අතර වෙනස සෙවීම අපහසු වනු ඇත. මෙම සටනේදී මුනාෆික් වරුන්ගේ සැබෑ ස්වරූපය මුස්ලිම් වරු පමණක් නොව සෙවෝම දැක ගත්හ.

තුන්වනුව, දිගින් දිගට ජය ලබන විට මුස්ලිම් වරුන්ගේ සිත් තුළ මතු වන උඩංගුව වැළැක් වීම ඉතාමත් අවශ්‍ය දෙයකි. එමෙන්ම මුස්ලිම්වරු නොකඩවා පරාජයට පත්වන්නේ නම්, අල්ලාහ්ගේ මාර්ගයට පිවිසීමට ජනතාව පසුබට වෙති. මෙනිසා ජය හා පරාජය අල්ලාහ් එක හා සමානව බෙදා දෙන්නේය. මුස්ලිම්වරු යළි හැරී සටන් කිරීමෙන් අවසානයේ කාෆිර්වරු තම මළවුන් පවා අතහැර දමා සටන් බිමෙන් පලා ගියහ.

වංචාව

උහුද් සටනේදී ද මුස්ලිම්වරු පරාජයට පත් කිරීමට නොහැකි වූ බව අවබෝධ කර ගත් කාෆිර්වරු, මුස්ලිම් වරුන්ව වංචනික ලෙස විනාශ කරන අරමුනින් නොයෙකුත් කුමන්ත‍්‍රණයේ යෙදුණහ. මෙයට ඔවුන් යොදා ගත් ක්‍රමය සාමදාන මුහුණුවරයයි. හතර වන හිජ්රි වසර සෆර් මස අදල් සහ අල් කාරාහ් ගෝත‍්‍රිකයින් තම ජනතාවට ඊමාන් නම් දේව විශ්වාසය පහදා දෙන ලෙස ඉල්ලීමක් කළහ. රසූල් (සල්) තුමා මේ සඳහා ආසිම් ඉබ්න් තාබිත්, හුඃබෙයිබ් ඉබ්න් ආදි සහ සෙzයිද් ඉබ්න් දතිනා ඇතුළු හය දෙනෙක් යැවීය. රාජි නම් ස්ථානයේදී, එම ගෝත‍්‍රිකයින් තවත් දෙසීය දෙනෙක් පමණ රැස් කර ගෙන මුස්ලිම් වරුන්ව සිර භාරයට ගන්නට තැත් කළ විට, මුස්ලිම්වරු කන්දක් මත නැග සටන් කළහ. අවසානයේ මුස්ලිම් වරුන් ගෙන් හතර දෙනෙකු මරා දැමු ඔවුන්, ඉතිරි දෙදෙනා වංචනික ලෙස අල්ලා ගෙන, මක්කාවට රැගෙන ගොස් ආහාර පාන කිසිවක් නොදී දින කිහිපයක් සිර භාරයේ තැබූහ.

සිර භාරයේ සිටී සෙzයිද් (රලි) තුමාව ඝාතනය කරනු පිණිස රැගෙන යන විට, එය නරඹන්නට රැස් වූ මක්කා වාසීන් අතර, අබු සුෆියාන්ද සිටීය. “සෙzයිද්, අල්ලාහ්ගේ නාමයෙන් විමසමි. කුසගින්න හා පිපාසය සහිතව මරණයට මුහුණ දෙන මේ මොහොතේ, පවුලේ අය සමඟ ඔබ සතුටින් සිටීමටද, ඔබ වෙනුවෙන් මුහම්මද්ගේ හිස කපා දමන්නටද සිදු වූයේ නම් හොඳයි කියා ඔබ පතන්නේ නැද්ද?‘ යනුවෙන් අබු සුෆියාන් සිර කරුගෙන් ප‍්‍රශ්න කළේය.

එවිට සෙzයිද් (රලි) තුමා, “අල්ලාහ්ගේ නාමයෙන් කියමි. මුහම්මද් (සල්) තුමාට කටුවකින් හෝ තුවාල වන්නේ නම්, මම මගේ පවුලේ අය අතර සතුටින් සිටීමට කිසිසේත්ම කැමති නොවෙමි.“ යනුවෙන් තරයේ පිළිතුරු දුන්හ.

මෙයට සවන් දුන් අබු සුෆියාන, “මුහම්මද්ගේ මිත‍්‍රයෝ එතුමාට ආදරය දක්වන තරමට, අන් කිසි කෙනෙක් ආදරය කරනු නුදුටුවෙමි.“ යයි කීවේය. අවසානයේ සෙzයිද් (රලි) තුමා ඝාතනය කරනු ලැබීය.

හුබෙයිබ් (රලි) තුමාව ඝාතනය කිරීමට කාෆිර්වරු සූදානම් වූ විට, “මට රකඅත් දෙකක් සලාහ් කරන්නට අනුමත දෙන්නේදැ?“ යි එතුමා විමසීය. මැරවර පිරිස එයට එකඟ වූහ. ඉතා ශාන්තව හා සිත් සහනව රකාඅත් දෙක අවසන් කළ එතුමා, “මගේ ප‍්‍රාණයට ඇති බය නිසා මම දීර්ඝව සලාහ් කළ බව ඔබ නොසිතන්නේ නම් තව දුරටත් සලාත් කරන්නෙමි.“ යයි පවසා, “මුස්ලිම් වරයෙකු ලෙස ඝාතන කරනු ලැබීම ගැන කිසිවක් නොතකමි. මා භාජන වන  ඕනෑම මරණයක්  අල්ලාහ්ගේ මාර්ගය වෙනුවෙන්ය. අල්ලාහ් වෙනුවෙන් කැඩී බිඳී යන මාගේ සිරුර ඔහු කැමති නම් ආශීර්වාද කරන්නේය.“ යනුවෙන් කවි පද දෙකක්ද කීය. අවසානයේ මැරවරයෝ ඔහුවද ඝාතන කළහ.

සැඟ වී සිට පහර දෙති

අම්ර් ඉබ්න් මාලික් නම් ගෝත‍්‍රයට ඉස්ලාම් යනු කුමක්දැයි කියා දීමට පිරිසක් එවන ලෙස රසූල් (සල්) තුමාගෙන් ඉල්ලීමක් කළ විට, මුස්ලිම්වරු අතරින් ශ්‍රේෂ්ඨ සහාබාවරු හැත්තෑ දෙනෙක් යවනු ලැබීය. බිර් මාඌනා නම් ස්ථානයේදී බනු සුලෙයිම් ගෝත‍්‍රයට අයත් උසෙයියාහ්, රිල් සහ සzක්වාන් යන ගෝත‍්‍රිකයෝ මුස්ලිම් වරුන්ට පහර දෙනු අදහසින් ඔටුවන් මත පිරිසක් යොදා වැටලූහ. සිදු වන්නේ කුමක්දැයි දැන ගත් විගස, මුස්ලිම්වරු තම ආයුධ අතට ගෙන, නිර්භීතව සටන් කළහ. එහෙත්, ඔවුන් සියලු දෙනාම එකිනෙකා මරණයට පත් වූහ. මේ ගැන දැන ගත් රසූල් (සල්) තුමා මහත් කම්පනයට පත් විය.

සිත සැලෙන වදන්

හරම් ඉබ්න් මිල්හාන් (රලි) තුමාව, ජබ්බාර් ඉබ්න් සල්මා නම් කෙනෙක් මරා දැමීය. තම අවසාන මොහොතේ දී, හරම් (රලි) පැවසු වචනයක් ආසු ජබ්බාර් මුස්ලිම්වරුයෙකු බවට පත් විය. මේ ගැන ජබ්බාර් පැවසුවේ මෙසේය. “දිනක් ඔවුන් (මුස්ලිම්වරුන්) ගෙන් කෙනෙකුට සිරුරේ පිටුපසට මම හෙල්ලෙන් ඇන, එය ඔහුගේ පපුවෙන් මතු වී එනු දුටු ඔහු, ‘කඅබාවේ පරමාධිපතිගේ නාමයෙන් මම ජය ලැබුවෙමි‘ යයි ශබ්ද නගා කියනු ඇසුවෙමි. “ඔහුට හෙල්ලෙන් ඇන ඝාතනය කළේ මමයි. එසේ තිබියදී ඔහු ජය ගත්තේ කෙසේදැ?‘ යි කල්පනා කළෙමි. පසුව අවට සිටි කිහිප දෙනෙකුගෙන් ඔහුගේ කථාවේ තේරුම කුමක්දැ? යි විමසුවෙමි. ‘ඔහු එයින් අදහස් කළේ, ෂහීද් නම් උසස්තම මරණය හිමිකර ගත් බවයි. අල්ලාහ්ගේ නාමයෙන්, ඔහු සැබැවින්ම ජය ගත්තේය.‘ යි ඔවුන් මට පහදා දුන්හ.  මම මුස්ලිම් වරුයෙකු වීමට හේතුව එයයි.“

බනු නද්ර් පිරිසගේ කුමන්ත‍්‍රණය

මුස්ලිම් වරුන්ගේ රැකවරණය යටතේ සිටින බනු අම්ර් පිරිසගෙන් දෙදෙනකු ඝාතනය කරනු ලැබීමෙන්, ඔවුන් සඳහා වන්දි මුදල් ලබා දීම සම්බන්ධව, බනු නද්ර් නම් යුදෙව් ගෝත‍්‍රිකයින් සමඟ සාකච්ඡා කිරීමට රසූල් (සල්) තුමා ගියේය. බනු අම්ර් සහ බනු නද්ර් ගෝත‍්‍රය අතර සහයෝගිතා දැක්වීමේ ගිවිසුමක් අත්සන් කර තිබුණි. මෙම ගමනේ රසූල් (සල්) තුමා සමඟ අබු බකර්, උමර් සහ අලි (රලි) ඇතුළු සහාබාවරු කිහිප දෙනෙක් ද ගියහ.

වන්දි මුදලින් තම කොටස ගෙවීමට එකඟ වූ බනු නද්ර් ගෝත‍්‍ර නායකයෝ රසූල් (සල්) තුමා සහ පිරිස ඔවුන්ගේ බල කොටු බිත්තියේ සෙවණැල්ලේ වාඩි කළහ. තම ඉතිරි සෙනඟ කැන්දන් එන බව පවසා ඉවත ගොස්, තම පිරිස රැස්කර රසූල් (සල්) තුමාව ඝාතනය කිරීම ගැන සාකච්ඡා වේ යෙදුණහ. “මෙවැනි කදිම අවස්ථාවක් නුඹලාට කිසි විටක ලැබෙන්නේ නැත. එනිසා, වහල උඩට ගොස් ලොකු ගලක් ඔහු මත දමා, ඔහුගෙන් නිදහස් වන්නට ඉදිරි පත් වන්නේ කවුරුන්දැ?“ යි කෙනෙක් විමසීය.

ඔවුන්ගේ මෙම භයානක කුමන්ත‍්‍රණය රසූල් (සල්) තුමාට අල්ලාහ් හෙළි කිරීමෙන්, එතුමා වහාම තම පිරිස සමඟ එතැනින් ඉවත් වී මදීනාවට හැරී ගියේය. නව ගිවිසුමක් අත්සන් කරන ලෙස බනු අන් නද්ර් ගෝත‍්‍රිකයන්ට ලිපියක් එවු නමුත්, ඔවුන් එයට එකඟ නොවුහ. නව ගිවිසුමක් අත්සන් කරන ලෙසද, නැතහොත් පළාතෙන් ඉවත් විය යුතු බවද දන්වා ලිපියක් එවු නමුත්, ඔවුන් එයටද පිළිතුරක් නොදී, සටනට සූදානම් වූහ. හිජ්රි 4වන වසර රබි අල් අව්වල් මස රසූල් (සල්) තුමා, සේනාවක් රැගෙන සතුරන්ගේ බලකොටුව කරා ගියේය.

රසූල් (සල්) තුමා ඔවුන්ගේ බලකොටුව සති දෙකක් වැටලීමෙන්, ඔවුන්ගේ සිත් තුළ බිය හට ගැණින. අවසානයේ, තම ජීවිතයට හානි සිදු නොකර බඩු බාහිරාදිය සමඟ ගමෙන් පිටුවහල් වීමට එකඟ වන බව ඔවුන් රසූල් (සල්) තුමාට දැන් වූහ. මෙම යෝජනාවට රසූල් (සල්) තුමාද එකඟවී මෙන්, යුද්ධ උපකරණ හැර, ප‍්‍රයෝජනයට ගත හැකි සියලු භාණ්ඩ ඔටුවන් මත පටවා ගෙන, ඉතිරි සියල්ල ගෙවල් සමඟ ගිනි තබා විනාශ කර, ඔවුන් පිටත් ව ගියහ. ඔවුන් දමා ගිය දේපළ, පළමුව හිජ්රා ගමනේ පැමිණි මුහාජිර්වරු අතර බෙදා දෙන ලදී.

දාත් අර් රිකා සේනාවේ ගමන

මෙම කාලයේදී ගෆ්තාන් ගෝත‍්‍රයට අයත් බනු මුහාරිබ් සහ බනු තඅලබා වරුන්ගේ විශාල පිරිසක් මුස්ලිම් වරුන්ට පහර දෙනු පිණිස රැස්වන බව ආරංචියක් ලැබීමෙන්, හිජ්රි 4වන වසර සතුරන්ට මුහුණ දෙන්නට රසූල් (සල්) තුමා සහාබාවරු හාරසීය දෙනෙක් සමඟ, නජද් පළාතේ නහඃල් නම් ගම්මානයට ගියේය. ප‍්‍රවාහන හිඟ නිසා සේනාවේ හය දෙනෙකුට එක ඔටුවෙකු බැගින් පමණක් තිබුණු හේතුවෙන්, එක් අයෙක් ඔටුවා මත වාඩිවී ගමන් කරන අවස්ථාවේ, ඉතිරි අයට පයින් ඇවිද යන්නට සිදුවිය. මේ නිසා ඔවුන්ගේ දෙපා තුවාල වීමෙන්, තම ඇඳුම් කුඩා පටි වලට ඉරා, පාදෙකේ සහ පා ඇඟිලි වල ඔතා ගත්හ. මේ හේතුවෙන් මෙම සේනාව ගzස්වා දාත් අර් රිකා - කඩ මළු සේනාව යයි හැඳින් වුණි.

මුස්ලිම් සේනාවේ පැමිණිම ගැන ආරංචි වී, බියට පත් වූ කාෆිර්වරු සියල්ල හැර දමා පලා ගිය හේතුවෙන්, එහිදී කිසිදු සටනක් සිදු නොවුණි. මෙම අවස්ථාවෙහි රසූල් (සල්) තුමා, බියට පත් වන අවස්ථාවෙහි සිදු කරන සලාත් අල් හුඃෂු මෙහෙයු වේය.

දෙවැනි බද්ර් සටන

උහුද් සටන් බිමෙන් බැහැර වී යන විට ලබන වසර බද්ර් යුද්ධ පිටියේදී හමු වන බව අබු සූෆියාන් කළ අභියෝගය රසූල් (සල්) තුමා පිළිගත්තේය. මදීනා නුවර සිටින මුනාෆික්වරු මක්කාවේ කුරෙයිෂි වරුන්ට මෙය ගැන මතක් කිරීමට නුඅයිම් බින් මස්ඌද් නම් කෙනෙකු එවූහ. එම කාලයේ බලවත් නියඟයක් පැවතීමෙන් මක්කා වාසීන් නොයෙකුත් අපහසුතාවයට පත්ව සිටියහ. කුරෙයිෂිවරු යුද්ධය සඳහා විශාල සේනාවක් සූදානම් කරගෙන යන බව මදීනාවෙහි බොරු ප‍්‍රචාර පතුරන ලෙසද, එමගින් මුස්ලිම් වරුන්ගේ සිත් තුළ බියක් ඇති කරන ලෙසද එම බොරු ප්‍රචාරය සඳහා ඔටුවන් විසි දෙනෙක් ත්‍යාග වශයෙන් දෙන බවද මුනාෆික් වන නුඅයිම්ට, අබු සුෆියාන් කීය. අබු සුෆියාන්ගේ අරමුණ සටන ප‍්‍රමාද කිරීමයි. නුඅයිම්ද මදීනාවේ මුස්ලිම්වරු අතර මෙම බොරු ප‍්‍රචාරය සාර්ථකව ඉටු කර ගෙන ගියේය.

හිජ්රි 4වන වසර ෂඅබාන් මස සෙබළු එක් දහස් පන්සීයක් සහ අශ්වා රෝහක භටයෝ දහ දෙනෙක් සමඟ රසූල් (සල්) තුමා බද්ර් පිටියට ගොස් එහි රැඳී සිටීය. ධජය භාරව සිටියේ අලි ඉබ්න් අබි තාලිබ් (රලි) තුමාය.

සෙබළු දෙදාහසක්ද අශ්වාරෝහක භටයින් පනහක්ද සමඟ අබු සුෆියාන් මක්කාව සිට පිටත් වී මාර් අzස් zසහ්රාන් නම් ගමක මිජන්නාහ් නම් ක්ෂේම භූමියෙහි ලැගුම් ගත්තේය. මුස්ලිම් සේනාවට මුහුණ දීම ගැන මහත් බියට හා අසහනයට පත් ව සිටි අබු සුෆියාන්, තම සේනාව අමතා, සටනට නොයෑමට නොයෙක් හේතු පෙන්වා, සේනාව කලකිරීමට ලක් වන ආකාරයෙන් කථා කළේය. “කුරෙයිෂි ජනතාවනි, ඔබ දැන් සිටින තත්ත්වයෙන් මිදෙන්නට, සාර්ථක අස්වැන්න සහිත වසරක් මිස වෙනත් මාර්ගයක් නැත. එවැනි සාර්ථක වසරේ, ගවයන්ට වැඩි වැඩියෙන් ආහාරද, එ මගින් වැඩි කිරි ලැබීමද සිදු විය යුතුයි. එහෙත්, එවැනි දෙයක් මේ වසරේ සිදුවන සලකුණක් නොපෙනේ. ඒ නිසා, මම ආපසු හැරී යන්නට දැනටමත් තීරණය ගෙන සිටිනවාක් මෙන්, ඔබලාටද හැරී යන ලෙස උපදෙස් දෙමි.“ අබු සුෆියාන් මෙන්, ඔහුගේ සේනාවද මහත් කලකිරීමට පත් ව සිටි හෙයින්, ඔවුන් කිසිදු විරෝධතාවක් නොදක්වා ඔහුගේ යෝජනාවට එකඟ වූහ.

බද්ර්හි මුස්ලිම්වරු දින අටක් සතුරන් සඳහා බලාගෙන සිටිය නමුත් කිසිවෙක් පැමිණියේ නැත. මෙම කාලයේ මුස්ලිම්වරු, එහි වෙළඳාමේ යෙදීමෙන් විශාල ලාභයක් උපයා ගත්හ. කාෆිර්වරු සටනට නොපැමිණීමෙන් මුස්ලිම් වරුන්ගේ කීර්තිය අරාබි දේශයේ සෑම තැනම තහවුරු විය.

මෙම ගමනට නියම කළ බද්ර්, දෙවන බද්ර්, පසු වූ බද්ර් සහ කුඩා බද්ර් යනුවෙන් නොයෙකුත් නම් ඇත.

බනු අල් මුස්තලික් වෙත යෑම

5වන හිජ්රි වසර බනු අල් මුස්තලික් ගෝත‍්‍රයේ නායක  හාරිත් බින් අබු දිරාර්, ඉස්ලාමය සහ මුස්ලිම්වරු වනසන අදහසින් පෙරමුණක් රැස් කරන බව තොරතුරු ලැබීමෙන්, ඔහුට විරුද්ධ ව අබු බකර්, උමර් වැනි ප‍්‍රකට සහාබා වරු ඇතුළු 30 දෙනෙකුගෙන් යුත් පිරිසක් රැගෙන රසූල් (සල්) තුමා ගියේය. මුස්ලිම්වරු සටන් බිම්හී ජය ලබනු දුටු අබ්දුල්ලාහ් බින් උබෙයි වැනි මුනාෆික්වරු ප‍්‍රථම වරට මෙම සටනට මුස්ලිම්වරු සමඟ එක් වූහ. තමා මුස්ලිම්වරු බව මුනාෆික් වරුන්ද ප‍්‍රකාශ කළ හේතුවෙන්, ඔවුන් සටන් බිමට පැමිණීම වැළැක්විය නොහැක. ඔවුන්ගේ ප‍්‍රධාන අරමුණවුයේ මුස්ලිම් වරුන්ට සහාය දීම නොව, යුද්ධයේ පරාජයට පත්වූ පිරිස අත හැර දමා යන වස්තු වලින් ගෙන් කොටසක් ලබා ගැනීමයි.

පරාජයට පත් වූ බනු අල් මුස්තලික්වරු අත හැර දමා පලා ගිය විශාල ප‍්‍රමාණයේ  වස්තූ අත්පත් කර ගත් මුස්ලිම්වරු, ඔවුන්ගේ පිරිසක් සිරභාරයටද ගත්හ. මෙම සිරකරුවන් අතර, ඔවුන්ගේ නායක හාරිත්ගේ දියණිය ජුවෙයිරියාද වූවාය.

සිරුකරුවන් මදීනා නුවරට ගෙනෙන ලදුව, හාරිත් සහ දියණියගේ නිදහස ලබා ගනු පිණිස මුදල් රැගෙන ආ නමුත්, එතුමිය සඳහා මුදල් ගෙවු රසූල් (සල්) තුමා, එතුමිය නිදහස් කළේය. නිදහස ලැබු ජුවෙයිරියා තුමිය, පියා සමඟ යෑමට වඩා, රසූල් (සල්) තුමා සමඟ රැඳී සිට, එතුමාට සේවය කිරීමට කැමැත්ත දැක් වූ හෙයින්, හාරිත්ගේ අනුමැතිය සහිතව, රසූල් (සල්) තුමා ජුවෙයිරියා තුමිය හා විවාහ විය. මෙම නෑ සම්බන්ධකම නිසා, සිරභාරයට ගත් බනු අල් මුස්තලික් ගෝත‍්‍රික සියලු දෙනාම නිදහස් කළ මුස්ලිම්වරු, ඔවුන්ගේ වස්තු සියල්ල හරවා දුන්හ. මෙයින් සතුටු වූ හාරිත් සහ එම ගෝත‍්‍රයේ සියලු දෙනාම කැමැත්තෙන් ඉස්ලාමය පිළි ගෙන මුස්ලිම් බවට පත් වූහ.

හඃන්දක් සටන (අගල් යුද්ධය)

අගල් යුද්ධය හිජ්රි 5 වන වසර සිදු විය. තීරණාත්මකවූ එම එවස්ථාවේ, එයට පෙර සිදු නොවු නොයෙකුත් කරදරවලට මුහුණු දීමට මුස්ලිම් සමාජයට සිදුවුණි. මේ ගැන අල්ලාහ් අල් කුර්ආනයේ මෙසේ පවසයි. “ඔබට ඉහළින්ද, පහළින්ද ඔවුන් ඔබ වෙත පැමිණි කල්හිද, (දෑස්) අඳුරු වී, හදවත් උගුරු දණ්ඩ දක්වා නැග, ඔබ අල්ලාහ් ගැන විවිධ සිතුවිලි සිතු කල්හි, විශ්වාසීන් මහත් පරීක්ෂණ ලද්දෝය. ඔවුන් දැඩි කම්පනයකින් සොලවනු ලැබීය.“ අල් තුර්ආන් 32: 10 හා 11.

සැබැවින්ම මෙම යුද්ධයට හේතු වූයේ යුදෙව් වරුන්ය. මදීනා අසල ජීවත් වූ බනු නද්ර් සහ බනු වායිල් යන යුදෙව් දෙපිරිසේ නායකයින්, කුරෙයිෂිවරු වෙතට ගොස්, රසූල් (සල්) තුමාට එරෙහිව සටන් කරන ලෙස ඉල්ලීමක් කළහ. මුස්ලිම් වරුන්ට එරෙහිව නොයෙක් වර සටන් කර, අප‍්‍රසන්න අත්දැකීම් ලැබු කුරෙයිෂිවරු, නැවත වරක් ඔවුන් සමග ගැටීමට පසුබට වුහ. එහෙත් ඔවුන්ට ජය ලැබීම සිකුරු බව යුදෙව්වරු බොරු පොරොන්දු දීමෙන් තවත් වරක් මුස්ලිම් වරුන්ට එරෙහිව සටන් කිරීමට කුරෙයිෂිවරු එකඟ වූහ.

“මුස්ලිම් වරුන් සම්පූර්ණයෙන් වනසන තුරු, අපි ඔබට සහාය දක්වමු.“ යයි යුදෙව්වරු කුරෙයිෂි වරුන්ට පොරොන්දු වූහ.

මෙයින් සතුටු වූ කුරෙයිෂිවරු, යුදෙව් වරුන්ගේ යෝජනාවට එකඟ වී, විශාල සේනාවක් රැස් කර යුද්ධයට සැරසුනහ. ඉන් අනතුරුව යුදෙව්වරු, ගෆ්තාන් ගෝත‍්‍රය වෙත ගොස්, කුරෙයිෂිවරු සමඟ එකතුවන ලෙස ඇරයුම් කළහ. ගෆ්තාන් ගෝත‍්‍රයද මෙයට එකඟ වීමෙන් පසුව, අවට සිටින අනිකුත් සුළු ගෝත‍්‍රිකයින් වෙතට ගොස්, කුරෙයිෂි වරුන්ට පැවසූ අයුරින් බොරු පොරොන්දු දුන්හ. මේ ආකාරයෙන් කුරෙයිෂි, යුදෙව් සහ ගෆ්තාන් යන විවිධ පිරිස් අඩංගු විශාල සමගි පෙරමුණක් මුස්ලිම් වරුන්ට එරෙහිව රැස් වූහ.

මොවුන් අතර සිදු කළ ගිවිසුමෙහි කොන්දේසි වලට එකඟ ව, කුරෙයිෂිවරු සෙබළු හාර දහසක්ද, ගෆ්තාන්වරු සෙබළු හය දහසක්ද සැපයිය යුතුයි. මෙම සතුරු පෙරමුණේ මුළු සංඛ්‍යාව දස දහසක් විය යුතුයි. මෙම විශාල සේනාවට අබු සුෆියාන්  ඉබ්න් අල් හර්බි නායකත්වය දැරිය යුතුයි. මෙම යුද්ධය වෙනුවෙන් ගෆ්තාන්වරු වැය කරන මුදල් සඳහා, කඃයිබර් පළාතේ තිබෙන යුදෙව් වරුන්ට අයත් දේපළෙන් වසරක අස්වැන්නක් වන්දි ගෙවීමට යුදෙව්වරු පොරොන්දු වූහ.

සෙබළුන් දසදහසකින්ද, ඔටුවන් හාර දහස් පන්සීයකින්ද, අශ්වයින් තුන් සීයකින්ද සමන්විත මේ විශාල සේනාව, මදීනා නුවර මායිමට ලඟා විය.

මූමින්වරුගේ නුවණ

මදීනාවට පහර දීමට පැමිණෙන විශාල සතුරු සේනාව ගැන දැන ගත් විගස, රසූල් (සල්) තුමා, සහාබාවරු සමඟ සුදුසු පියවර ගැන සාකච්ඡා කළේය. මදීනා නුවර තුළ රැඳී සිට, නගරයට ආරක්ෂාව සපයා, එය රැක ගැනීම සුදුසු යයි මුස්ලිම්වරු තීරණය කළහ. ඔවුන්ගේ මුළු සංඛ්‍යාව තුන් දහසක් පමණි. එවිට පර්සියානු ජාතිකයෙකු වන සල්මාන් බින් ෆාරිස් (රලි) මෙසේ පැවසීය. ‘පර්සියාවෙහි සතුරන්ගේ පැමිණීම ගැන අපි බියවන්නේ නම්, ඔවුන් ළඟා වීම වළක්වනු පිණිස, අපි පළාත වටා අගලක් කැපුවෙමු.“ යයි පැවසූ සල්මාන් බින් ෆාරිස් (රලි), මදීනා නුවර වටා අගලක් කපන ලෙස යෝජනාවක් ඉදිරිපත් කළේය.

රසූල් (සල්) තුමාද එම යෝජනාවට එකඟ වීමෙන්, සතුරන් පැමිණෙන බව බලා පොරොත්තුවන දිශාවෙහි, අගලක් කපන ලදී. රසූල් (සල්) තුමා වැඩ ප‍්‍රමාණය ගැන සොයා බලා, දහ දෙනෙක් අඩංගු කණ්ඩායමට රියන් හතළිහක් බැගින් අගල කපන්නට බෙදා දුන්නේය. අගලේ සම්පූර්ණ දිග රියන් දාහක් පමණ වූ අතර, ගැඹුර රියන් හතක් හා දහයක් අතර විය. එහි සාමාන්‍ය පළල රියන් නවයක් වේ.

සමානතාව සහ සමගිය

මුස්ලිම්වරු අගල කපන්නට පටන් ගත් කල, රසූල් (සල්) තුමාද එයට සහභාගි විය. එම අවස්ථාවේ අධිත ශිතල කාලයක්ද, ආහාර හිඟයක්ද පැවතුණු නමුත්, වැඩ කොටස කිසිදු ආබාධයකින් තොරව කෙරී ගෙන යන ලදී. සියලු දෙනාම අල්ලාහ්ට ප‍්‍රශංසා කරමින්, සතුටින් කවි කියමින් වැඩ කළහ. අඩු පාඩු ගැන කිසිවෙක් පැමිණිලි කළේ නැත.

මෙම අවස්ථාව ගැන අනස් (රලි) මෙසේ වාර්තා කරයි. “හිමිදිරියේ, මුහාජිර්වරු සහ අන්සාර්වරු එකතුව අගල් කපන අවස්ථාවේ, රසූල් (සල්) තුමා එතැනට ගියේය. නවක ඉස්ලාමිය සමාජයේ සියලු දෙනාම සමාන තත්ත්වයන් දරන පුරවැසියන්ය. එහිදී සහාබා වරුන්ගේ වැඩ කොටස බෙදා ගන්නට හෝ සහාය වන්නට වහල් සේවකයින් කිසිවෙක් සිටියේ නැත. සහාබා වරුන්ගේ වෙහෙස සහ බඩ ගින්න දුටු රසූල් (සල්) තුමා, “යා අල්ලාහ්, සැබෑ ජීවිතය පරලොවෙහිය. එනිසා අන්සාර් වරුන්ට සහ මුහාජිර් වරුන්ට සමාව දෙනු මැනව.“ යයි ප‍්‍රාර්ථනා කළේය. එවිට ඒ පිරිස, “අපි ජීවතුන් අතර සිටිනතෙක් ජිහාද් සටන් කරනු පිණිස, මුහම්මද් (සල්) තුමාට පූජා සත්කාරය කළේ අපිමයි.“ යනුවෙන් පිළිතුරු දුන්හ.

නබිත්වයේ හාස්කම් සමහරක්

මෙම අසීරු අවස්ථවෙහි රසූල් (සල්) තුමාගේ හාස්කම් කිහිපයක් දැක ගන්නට සහාබා වරුන්ට හැකි විය. මුස්ලිම්වරු අගල කපා ගෙන යන විට, ඉවත් කළ නොහැකි ලොකු ගලත් හමු වුණි. මේ ගැන රසූල් (සල්) තුමාට දැන් වූ විට, එතුමා යකඩ ඉන්නක් අතට ගෙන, “බිස්මිල්ලාහ්“ (අල්ලාහ්ගේ නාමයෙන්) යයි පවසමින්  පහරක් දුන්නේය. එවිට ගිනි පුපුරු විහිදා ගලෙන් තුනෙන් කොටසක් කැඩී වැටුණි.

“අල්ලාහු අක්බර්. සිරියාවේ යතුරු මා හට භාර දී ඇත. අල්ලාහ්ගේ නාම යෙන්, එහි රතු පැහැති බලකොටුව මට පෙනේ. ඉන්ෂා අල්ලාහ්.“ යයි පවසමින් දෙවන වර පහර දුන් විට, ගලෙන් තවත් තුනෙන් කොටසක් බිඳ වැටුණි.

“අල්ලාහු අක්බර්. පර්සියාවේ යතුරු මා හට භාර දී ඇත. අල්ලාහ්ගේ නාමයෙන්,  මදායින් හී සුදු මාලිගාව මට පෙනේ.“ යයි පවසමින් තුන් වන වරට පහර දුන් විට, ගල සම්පූර්ණයෙන් බිඳ වැටුණි. එවිට එතුමා, “අල්ලාහු අක්බර්. අල්ලාහු අක්බර්. යෙමන්හී යතුර මා හට භාර දී ඇත. සනආ නගරයේ දොරටුව මට පෙනේ.“ යයි ශබ්ද නගා කීය. බලගතු සතුරු සේනාවක් නගර මායිම අසල සිටියදී, රෝමානු හා පාර්සියානු අධිරාජ්‍යයන් ජය ගන්නා බව සුභාබාංචිය දීමේ හැකියාව අල්ලාහ්ට පමණක් හිමිය.

අගල කපමින් සිටින විට, එක් ස්ථානයක තද පොළොවක් හමු විය. රසූල් (සල්) තුමා භාජනයකට ජලය ස්වල්පයක් ගෙන්වා, එය තුළට කෙළ ගසා, අල්ලාහ් අනුමත කළ යාච්ඤාවක් කළේය. එම ජලය පොළොව මත ඉසීමෙන් පසු, එය වැලි මෙන් ලිහිල් වුණේය. සේනාවට ආහාර සපයන අවස්ථවන් හි, සුළු ප‍්‍රමාණ ආහාරයෙන් පවා, තුන් දහසක් පමණ විශාල සංඛ්‍යාවක් වූ මුස්ලිම් වරන්ගේ කුස ගින්න නිවා ගන්නට හැකිවුණි.

සතුරන් ඉහළින් සහ පහළින් ආ විට

මුස්ලිම්වරු තම වැඩ කොටස අවසන් කරන්නටත් පෙර තුරෙයිෂිවරු සහ ගෆ්තාන්වරු දස දහසක සේනාවක් සමඟ මදීනා නුවර මායිම් අසලට පැමිණ කූඩාරම් තනා ලැගුම් ගත්හ. රසූල් (සල්) තුමාද තම තුන් දහසක සේනාව  ඔවුන්ට එරෙහිව සටනට සූදානම් කළේය.

මුස්ලිම්වරු සහ මදීනාවේ වාසය කරන බනු කුරෙයිසාz නම් යුදෙව් ජාතීන් අතර ගිවිසුමක් තිබුණි. මෙම ගිවිසුම අත හැර දමන ලෙස බනු අන් නද්ර් වරුගේ නායක හුසෙයි ඉබ්න් අහ්ඃතාබ් බල කිරීමෙන් අනතුරුව, බනු කුරෙයිසාzවරුද මුස්ලිම් වරුන්ට සතුරන් බවට පත්වුහ. මදීනා සීමාව තුළ වාසය කරන බනු කුරෙයිසාzවරු පිළිබඳ මෙම අසුබ ආරංචියෙන්, උදා වී තිබෙන භයානක තත්ත්වය රසූල් (සල්) තුමා වටහා ගත් අතර, සහාබා වරුන්ද එහි ප‍්‍රතිඵලය ගැන බිය වූහ. මෙම අවස්ථාව් ඇතැම් මුනාෆික්වරු තම සැබෑ ස්වරූපය ප‍්‍රසිද්ධව ප‍්‍රකාශ කළහ. සෑම සටනකටම මුහුණ දී හානියට ලක් වූ අන්සාර් වරුන්ගේ තත්ත්වය පහසු කරන අරමුණින්, මදීනාවේ ඉඳි අස්වැන්නෙන් තුනෙන් කොටසක්  වන්දි වශයෙන් ගෆ්තාන් වරුන්ට ගෙවා ඔවුන් සමඟ සාම ගිවිසුමක් අත්සන් කරන්නට පවා රසූල් (සල්) තුමා අදහස් කළේය.

එහෙත්, සතුරන් ඉදිරියේ නිර්භීතව හා නොසැලී සිටින ලෙසද, ඔවුන්ට කිසිම හේතුවකට වුවත් යටත් නොවන ලෙසද සඅද් ඉබ්න් මුආද් සහ සඅද් ඉබ්න් උබාදා (රලි) වරු උපදෙස් දීමෙන්, වන්දි ගෙවීමේ අදහස රසූල් (සල්) අත හැර දැමීය.

“අල්ලාහ්ගේ රසූල් (සල්) තුමනි, එක් කලක අපි සහ ඔවුන් සියලු දෙනාම අල්ලාහ් සමඟ විවිධ දේ ආදේශ කර, පිළිම වන්දනාවෙහි යෙදුනෙමු. අපි කිසිවෙක් අල්ලාහ් කවුදැයි නොදැන සිටි අතර, ඔහුට වැඳුම් පිදුම් කළේද නැත. ඔවුන් (කාෆිර්වරු) මිළ දී හෝ සංග‍්‍රහයකින් හැර එක ඉඳි ගෙඩියක් වූවද අපෙන් (කප්පම් වශයෙන්) කෑවේ නැත. අල්ලාහ් අපට දැන් ගෞරවය ලබා දී, ඉස්ලාමයට මාර්ගය පෙන්වා, අල්ලාහ් සහ ඔබ තුමාගෙන් අප ශක්තිමත් කර තිබිය දී, අපේ දේපළ ඔවුන්ට කප්පම් වශයෙන් ගෙවිය නොහැක. අල්ලාහ්ගේ නාමයෙන් දිවුරා කියමු. අප සහ ඔවුන් අතර අල්ලාහ් තීරණයක් දෙන තුරු, එසේ කප්පම් ගෙවීමට අවශ්‍යතාවක් නැත. අපි ඔවුන්ට අපේ ආයුධ හැර වෙන කිසි දෙයක් දෙන්නේද නැත.“ යනුවෙන් ඔවුන් රසූල් (සල්) තුමාට පැවසූහ.

කුරෙයිෂි වරුන්ගේ අශ්වාරෝහක බලකාය

අගල අසලට පැමිණි කුරෙයිෂි සේනාව අගල දැක විස්මයට පත් වුහ. “අල්ලාහ්ගේ නාමයෙන් දිවුරමු. මෙවැනි උපක‍්‍රමයක් මීට පෙර අරාබිවරු කිසි දවසක උපයෝගී කර නැත.“ යනුවෙන් කථා කර ගත්හ. මේ අවස්ථාවේ බනු හතා ජනතාවගේ බලකොටුව තුළ කාන්තාවන් හා කුඩා ළමයින්ගේ ආරක්ෂාව සඳහා ලැගුම් ලබා දෙන්නට මුස්ලිම්වරු සමත් වුහ. අගලෙන් එපිට බලවත් කාෆිර් සේනාවක් ලේ පිපාසයෙන් බලා සිටියි. මදීනා මායිම තුළ ජීවත් වන යුදෙව්වරු කුමන මොහොතක වුවත් මුස්ලිම් වරුන්ට පහර දිය හැක. ඔවුන් ගේ මිතුරන් වන මුනාෆික්වරු කුමන පියවරක් ගනීදැයි කිසිවෙක් නොදනී. මෙවැනි අසීරු තත්ත්වයකට මුහුණ දෙන්නට මුස්ලිම් වරුන්ට සිදු විය.

අගල හරහා පනින්නට කාෆිර්වරු කිහිප දෙනෙක් උත්සාහ කළ නමුත්, ඔවුන්ට එය අපහසු විය. අවසානයේ අගලෙහි පටු ස්ථානයක් දැක, තම අශ්වයන්ට වැරෙන් පහර දී අගල හරහා මදීනා දෙසට සමහර කාෆිර්වරු පැන ගත්හ. කුරෙයිෂිවරු අතර අම්ර් බින් වූද් නමැති දක්ෂ අශ්වාරෝහක වීරයෙක් සිටී. ඔහු අශ්වාරෝහක වීරයෝ දහ දෙනෙකුට සමාන බව කියැවේ. අගල හරහා මදීනා දෙසට පැන ගත් ඔහු, “මට මුහුණ දෙන්නේ කවුදැ?“ යි අභියෝග කළේය.

අලි බින් අබි තාලිබ් (රලි) ඔහු ඉදිරියට පැමිණ, “අම්ර්, කුරෙයිෂවරු අතරින්  කෙනෙක් ඔබට මාර්ග දෙකක් ඉදිරිපත් කළේ නම් එයින් එකක් තෝරා ගන්නා බව ඔබ අල්ලාහ්ගේ නාමයෙන් දිවුරා කීවේදැ?“ යි ඔහුගෙන් ප‍්‍රශ්න කළේය

“ඔව්. මම එසේ කීවෙමි.“ යයි අම්ර් පිළිතුරු දුන්නේය.

“අල්ලාහ් සහ ඔහුගේ රසූල් (සල්) තුමා සහ ඉස්ලාමය වෙතට මම ඔබට ආරාධනා කරමි.“ යනුවෙන් අලි (රලි) කීවේය.

“මට ඒවායේ අවශ්‍යතාවක් නැත.“ යයි අම්ර් පිළිතුරු දුන්නේය.

“එසේ නම් මට මුහුණ දෙන ලෙස මම අභියෝග කරමි.“යි අලි (රලි) ඔහුට කීය.

“අල්ලාහ්ගේ නාමයෙන් ඔබව මරන්නට මම කැමැති නෑ පුතේ.“ යයි අම්ර් කීය.

“එහෙත් අල්ලාහ්ගේ නාමයෙන්, මම ඔබව මරන්නට කැමතියි.“ යනු අලි (රලි) පැවසීමෙන් මහත් කෝපයට පත් වූ අම්ර් අශ්වයාගෙන් බිමට පැන, අලි (රලි) වෙතට වේගයෙන් පැමිණ, ඔහු සමඟ සටන් කළේය. දෙදෙනාම දක්ෂ ලෙස සටන් කළ අතර, අවසානයේ අලි (රලි) තුමා වේගවත් කඩු පහරකින් අම්ර්ගේ හිස ගසා දැමීය. මෙය දුටු ඉතිරි පිරිස අශ්වයන් මත නැග, වේගයෙන් අගල පසු කර, සිය ජීවිතය බේරා ගෙන පලා ගියහ.

ඉන් අනතුරුව, දෙපාර්ශවයම අගලේ දෙපැත්තේ සිට ගෙන දුනු හී විදිමින් සටන් කළහ. මෙම අවස්ථාවේ කාෆිර් වරන්ට විවිධ ගෝත‍්‍රිකයන්ගෙන් නොයෙකුත් සහාය සහ ආධාර ලැබුණු නමුත්, මුස්ලිම් වරුන්ට මෙවැනි කිසිවක් නොලැබුණි.

“අපි කුසගින්න ගැන රසූල් (සල්) තුමාට පැමිණිලි කර, සෘජුව සිට ගනු පිණිස, බඩේ බැඳ සිටි ගල එතුමාට පෙන්වුයෙමු. එවිට එතුමා, තම බඩේ බැඳ සිටි ගල් දෙකක් අපට පෙන් විය.“යනුවෙන් අබු තල්හා (රලි) වාර්තා කරයි. මුස්ලිම්වරු මෙවැනි අපහසු තත්ත්වයක පසු වන විට පවා වංශවත්, යහපත් හා වාසනාවන්ත පුද්ගලයින් ඉස්ලාමයට පිවිසීම නතර වුයේ නැත.

අහස් හා පොළොවේ සේනාවන් අල්ලාහ්ට හිමිය

මාසයක් පමණ මුස්ලිම් වරුන්ව වටලා ගෙන සිටි සතුරු සේනාව මදීනා අවට සෑම පළාතකටම කඩා වැදී, එහි ජීවත් වන අසරණ ජනතාවට හිරිහැර කළහ. මුනාෆික් වරුන්ද තම සැබෑ ස්වරූපය පෙන් වූහ. ඔවුන් ගෙන් සමහරක් රසූල් (සල්) තුමා වෙතට පැමිණ, තම ගෙවල් දොරවල් නිසියාකාරව වසා නොදැමූ හෙයින්, තම නිවෙස්වලට හැරී යෑමට අවසර පැතුහ. එහෙත්, ඔවුන්ගේ සැබෑ අරමුණ සටන් බිමෙන් ඉවත්ව යෑමයි.

මෙම අවස්ථාවෙහි ගෆ්තාන් ගෝත‍්‍රයට අයත් නුඅයිම් ඉබ්න් මස්ඌද් (රලි) නැමැත්තා හොර රහසේ පැමිණ, “රසූල් (සල්) තුමනි, මම මුස්ලිම් බවට පත් වී සිටින නමුත්, මගේ ජනතාව මේ ගැන කිසිවක් නොදනිති. මෙම අවස්ථාවේ මම කුමක් කළ යුතු දැයි ඔබ තුමා පවසන්නේද, එය මම ඉටු කරන්නෙමි.“ යයි කීවේය.

එයට රසූල් (සල්) තුමා, “එතැන සිටින එකම මුස්ලිම් වරයා ඔබ පමණි. එනිසා අපේ සතුරන් අතර රැඳී සිට ඔබට හැකි අයුරින් අපහට උදව් කරන්න. යුද්ධය යනු දක්ෂ උපායකි.“ යනුවෙන් ඔහුට උපදෙස් දුන්නේය.

බනු කුරෙයිzසා ගෝත‍්‍රිකයින් වෙතට ගිය නුඅයිම් ඉබ්න් මස්ඌද් (රලි) ඔවුන්ගේ තත්ත්වය ගැන සැක උපද වන්නට යෙදුණේය. ඔවුන්ගේ අසල්වැසියන් වන මුස්ලිම්වරු කෙරෙහි බොහෝ ඈත පළාතෙහි වාසය කරන කුරෙයිෂිවරු සහ ගෆ්තාන් ජනතාව දක්වන වෛරය ගැනද, මෙම කාෆිර් දෙපිරිස හා බනු කුරෙයිzසා ගෝත‍්‍රය කර ගත් ගිවිසුම ගැනද ඔහු සඳහන් කළේය. තවද කුරෙයිෂිවරු සහ ගෆ්තාන් වරුන්ගේ නායකයින් කිහිප දෙනෙක් ඇප වශයෙන් හිර භාරයට ගන්නා තුරු, ඔවුන් සමඟ එක් වී යුද්ධ නොකළ යුතු බවද ඔහු යෝජනා කළේය. ඔහුට සවන් දුන් බනු කුරෙයිzසා ගෝත‍්‍රයේ නායකයින්, “ඔබ දුන් උපදෙස් බොහෝම කදිමයි.“ යනුවෙන් ඔහුට කීහ.

කුරෙයිෂිවරු වෙතට ගිය නූඅයිම් යුදෙව්වරු තමන් කර ගත් ගිවිසුම ගැන සිත් තැවුලකින් සිටින බවද එම ගිවිසුම හරියාකාරව ක්‍රියාත්මක කරනවා දැයි බලා ගනු පිණිස ඇප වශයෙන් ඇතැම් නායකයින් සිරභාරයට ගන්නට අදහස් කරන බවද අවවාද කළේය. මෙම නායක පිරිස රසූල් (සල්) තුමාට සහ සහාබා වරුන්ට භාර දීමට ඔවුන් සූදානම් වන බව ද, එම නායක යන්ගේ හිස එහි දී කපා දමනු ලබන බවද ඔහු කීය.

කුරෙයිෂි වරුන්ට පැවසු ආකාරයෙන්ම තම ගෆ්තාන් ජනතා වෙතට ද ගොස් නුඅයිම් (රලි) කීවේය. මෙම ක්‍රියා මාර්ගයෙන් කාෆිර්වරු දෙපිරිසගේ සිත් තුළ, යුදෙව්වරු ගැන සැක උපදවන්නටද ඔවුන් කෙරෙහි කෝපය හටගන්වන්නට ද නුඅයිම් (රලි)ට හැකි විය. මෙනිසා සතුරු සේනාවේ සියලු පිරිස එකිනෙකා ගැන සැක කර, අසමගි වී තම පොදු පෙරමුණ ගැන බියට පත් වූහ. කාෆිර්වරු හා යුදෙව්වරු මෙම සටන සඳහා පොදු පෙරමුණ ගොඩ නැගුවේ  උසස් ප‍්‍රතිපත්තියක් සඳහා නොව පටු, විනාශකාරි හා ආත්මාර්ථකාමි අරමුණ පදනම් කොට ගෙනයි.

දින 27කට පසු මුස්ලිම් වරුන්ට එරෙහිව තීරණාත්මක සටනක යෙදෙන්නට අබු සුෆියාන් සහ ගෆ්තාන් ගෝත‍්‍ර නායකයින් සූදානම් වූ අවස්ථාවේදී, සටනට සහභාගි වන්නට පෙර දෙපිරිසගේ නායකයින් කිහිප දෙනෙක් ඇප වශයෙන් භාර දෙන ලෙස යුදෙව්වරු ඉල්ලා සිටියහ. මෙය ඇසු කුරෙයිෂිවරු සහ ගෆ්තාන්වරු තමන්ට නුඅයිම් (රලි) දුන් ඔත්තුව සත්‍යක් බව සැකයෙන් තොරව විශ්වාස කළ අතර, යුදෙව් වරුන්ගේ ඉල්ලීමට ඔවුන් එකඟ නොවුහ. එය දුටු යුදෙව් වරුන් ද නුඅයිම් තමන්ට සත්‍ය පැවසු බවට විශ්වාස කළහ. එකි නෙකා ගැන ඇති වූ සැක තහවුරු වීමෙන්, ඔවුන් භේද බින්න වුහ.

මෙම අධික ශීත කාලයේ රැයක තද කුණාටුවක් අල්ලාහ් එවා, රසූල් (සල්) තුමාට උදව් කළේය. සතුරන්ගේ කූඩාරම් කඩා වැටී, ඔවුන් ආහාර පිළියෙල කරන භාජන ද විනාශ වනු දුටු අබු සුෆියාන් ඇතුළු කාෆිර් සෙබළු සිත් කලකිරී, මෙය අශුභ නිමිත්තක් ලෙස සැලකුහ. අබු සූෆියාන් ඔවුන්ට මෙසේ කථා කළේය. “කුරෙයිෂිවරුණි, අල්ලාහ්ගේ නාමයෙන්, අපි දැන් සිටින්නේ ස්ථීර නවා තැනක නොවේ. අශ්වයින් සහ ඔටුවන් මැරී වැටෙනවා. බනු කුරෙයිzසා ජනතාව අපට දුන් පොරොන්දුව කඩ කළා පමණක් නොව, ඔවුන් ගැන අයහපත් හා අසුබ කථා කිහිපයක් අපට ආරං වී ඇත. මෙම කුණාටුව නිසා අපි මහත් කරදරයට පත් ව සිටින බව ඔබට පෙනේ. ආහාර පිළියෙල කිරීමට පවා භාජනයක් හෝ ගින්දර අපට නැත. අපේ කූඩාරම් එකක් වුවද ඉතිරිවී නැත. එනිසා දැන්ම පිටත් වනු මැනවි. මමද මෙතැනින් ඉවත් වෙමි.“

ඇවිදීමට නොහැකිව පොළොවේ වැතිරී සිටින ඔටුවා මත වාඩි වූ අබු සුෆියාන් ඔටුවා නැගිට සිට ගන්නා තුරු ඔහුට පහර දී, එතැනින් පලා ගියේය. කුරෙයිෂිවරු  පලා ගිය බව ආරංචි වූ විගස, ගෆ්තාන් වරුන්ද එම ස්ථානය හැර දමා ඉවත් වූහ.

රසූල් (සල්) තුමාට සටන් බිමේ තොරතුරු දැන්වීමේ කටයුතු භාරව සිටි හුදෙයිෆා ඉබ්න් යමන් (රලි), විස්තර දන්වනු පිණිස පැමිණි විට, එතුමා නැමදුමෙහී නිරත වී සිටිනු දිටීය. ඔහු සියලු විස්තර එතුමාට දැන්විය. පසු දින උදය රසූල් (සල්) තුමා අගල අසලින් ඉවත් වී තම අනුගාමිකයින් සමඟ මදීනා නුවරට යන ලදී. සියලු බලය හිමි අල්ලාහ් පැවසුවේ සත්‍ය කරුණකි.

“විශ්වාසවන්තයිනි, ඔබට විරුද්ධව සේනාව පැමිණි කල්හී, ඔබ වෙත අල්ලාහ්ගේ අනුග‍්‍රහය සිහි කරනු. අපි ඔවුන් වෙත සුළි සුළඟද, ඔබ නොදැක්කාවූ සේනාවද එවුවෙමු. අල්ලාහ් සියල්ල දන්නේය.“ අල් කුර්ආන් 33 : 25 සහ “අල්ලාහ් ප‍්‍රතික්ෂේප කළවුන් ඔවුන්ගේ කෝපයෙහිම පලවා හැරියේය. ඔවුන් විශ්වාසවන්තයින් ගෙන් කිසිදු යහපතක් නොලැබුහ. විශ්වාස වන්තයන්ට සටනේ අල්ලාහ් සෑහේ. අල්ලාහ් සදා ශක්ති සම්පන්නය. බල සම්පන්නය.“ බව අල් කුර්ආන් 33:22 වන වැකි පැහැදිලි කරයි. “මෙම වසරෙන් පසුව කුරෙයිෂිවරු ඔබ වෙතට සටනට එන්නේ නැත.“ යයි රසූල් (සල්) තුමා එම අවස්ථාවේ පැවසීය. යුද්ධය නිසා හට ගත් කරදර අවසන් වූ අතර, ඉන් පසුව මුස්ලිම් වරුන්ට එරෙහිව සටන් කිරීමට කුරෙයිෂිවරු මදීනාවට නැවත පැමිණියේ නැත.

අගල් යුද්ධයේදී මුස්ලිම්වරු හත් දෙනෙක් ෂහීද් බවට පත් වූ අතර, පිළිම වන්දනා කරුවෝ හතර දෙනෙක් මරණයට පත් වූහ.

බනු කුරෙයිzසා ගෝත‍්‍රය ගිවිසුම කඩකිරීම

රසූල් (සල්) තුමා මදීනාවට පැමිණි ආරම්භක අවස්ථාවේදී, මුහාජිර්වරු සහ අන්සාර්වරු අතර ගිවිසුමක් සිදු කළ විට, එහි වාසය කළ යුදෙව් ජාතිකයන්ද එයට හවුල්කරුවන් වූහ. ආගම අනුගමනය කිරීමේ නිදහසද, දේපළ හා ජීවිත රැකවරණ සහතිකයද ඔවුන්ට ලැබුණි. එමෙන්ම ඔවුන්ද මුස්ලිම් සමාජයට සමහර වගකීම් ඉටු කළ යුතුයි. ඒවා ගැන සඳහන් වුයේ මෙසේය. “කවරෙක් හෝ පහර දුන් විට ඔහුට එරෙහිව සෑම කෙනෙක්ම සහාය දිය යුතුයි. වැරදි කිරීමට නොව උපදෙස්, සාකච්ඡා, බැතිමත්කමින් සෑම කෙනෙකුම අන්‍යෝනය සහයෝගය දැක් විය යුතුයි. යාත්රිබ් නගරයට පහර එල්ල වූ විට එයට එරෙහිව ඔවුන් සියලු දෙනා එකිනෙකාට සහාය දැක් විය යුතුයි.“

මදීනා නගර මායිමෙන් පලවා හරිනු ලැබු බනු නද්ර් යුදෙව්වරු, මුස්ලිම් වරුන්ට එරෙහිව කළ සතුරුකම කිසි විටක නතර කළේ නැත. බනු නද්ර් ජනයාගේ හුයෙයි ඉබ්න් අහ්ඃතාබ් නම් නායකයෙක්, මුස්ලිම්වරු සමග කළ ගිවිසුම ඉවත දමා, කුරෙයිෂිවරු සමඟ එකතු වන ලෙස බනු කුරෙයිzසා ජනතාව පෙළඹ වූ නමුත්, බනු කුරෙයිzසා ගෝත‍්‍රයේ නායක වන කඅබ් ඉබ්න් අසද්, මුහම්මද් (සල්) වරයාගෙන් සත්‍යභාවය සහ විශ්වාස වන්තභාවය හැර වෙන කිසිවක් මම නුදුටුවෙමි.“ යයි පවසා ආරම්භයේ සිට එයට විරුද්ධ විය. එහෙත් අවසානයේ ඔහුද, රසූල් (සල්) තුමාට දුන් පොරොන්දුව කඩ කර, කඃන්දක් සටනේදී සතුරන්ට සහයෝගය දුනී. මේ බව දැන ගත් විගස, එහි සත්‍යතාව ගැන විමසනු පිණිස රසූල් (සල්) තුමා, ඔවුන්ගේ මිත‍්‍රයෙකු වන අව්ස් ගෝත‍්‍ර නායක සඅද් ඉබ්න් මුආද් (රලි) සහ කඃස්රජ් ගෝත‍්‍ර නායක සඅද් ඉබ්න් උබාදා (රලි) සමඟ අන්සාර්වරු පිරිසක් එවීය. එහි ගිය විගස තත්ත්වය ඉතාමත් භයානක බව ඔවුන්ට අවබෝධ විය.

“කව්ද මේ අල්ලාහ්ගේ රසූල්වරයා? මුහම්මද් සහ අපි අතර කිසිදු ගිවිසුමක් හෝ එකඟත්වයක් නැත.“ යනුවෙන් බනු කුරෙයිzසාවරු කීහ. එපමණක් නොව, අවස්ථාවක් ලැබුණු විට, මුස්ලිම් වරුන්ට සතුරුකම් කිරීමට සහ පහර දීමට පවා ඔවුන් සූදානම්ව සිටියහ. ප‍්‍රසිද්ධියේ සටනට පැමිණෙන සතුරාට වඩා මෙවැනි ක්‍රියාව මහත් බරපතළය. මෙවැනි අශුභ ආරංචි නිසා මුස්ලිම් වරු මහත් අසීරු තත්ත්වයට පත් ව සිටියහ. මේ ගැන අල් කුර්ආන් පවසන්නේ මෙසේය. “ඔබට ඉහළින්ද පහළින්ද ඔවුන් ඔබ වෙත පැමිණි කල්හි, දෘෂ්ටි (දෑස්) අඳුරු වී, හදවත් උගුර දණ්ඩ දක්වා නැග, ඔබ අල්ලාහ් ගැන විවිධ සිතුවිලි සිතු වෝය.“  33: 10

බනු කුරෙයිසාz වරු වෙතට යෑම

රසූල් (සල්) තුමා සහාබාවරු සමඟ අගල් සටන් බිමෙන් මදීනාවට පැමිණ, පැලඳ සිටි යුද්ධායුධ ඉවත දැමීය. එම මොහොතේ දී ජිබ්රීල් (අලෙ) පැමිණ, “ඔබ යුද්ධායුධ ඉවත තැබුවේද? රසූල් (සල්) තුමනි? “ යයි විමසීය. “ඔව්.“ යනුවෙන් එතුමා පිළිතුරු දුනී.

“මලාඉකාවරු තවම ආයුධ බිම තැබුවේ නැත. සර්ව බලධාරි හා උත්තමයා වන අල්ලාහ්, බනු කුරෙයිzසා වෙතට යන ලෙස ඔබට අණ කරයි. ඔවුන් සොලවනු පිණිස මමද එහි යමි.“ යනුවෙන් ජිබ්රීල් (අලෙ) තුමා පැවසීය.

“මෙයට සවන් දී අවනත වන කෙනෙක්, බනු කුරෙයිzසා වෙතට පැමිණෙන්නට පෙර අසර් සලාහ් ඉටු නොකළ යුතුය.“ යි වහාම දැනුම් දෙන ලෙස රසූල් (සල්) තුමා නියෝග කළේය.

බනු කුරෙයිzසා වරුන්ගේ බලකොටුව අසල කූඩාරම් තැනු රසූල් (සල්) තුමා ඔවුන්ගේ බලකොටුව දින විසි පහක් වැටලීමෙන්, ඔවුන් මහත් භීතියට පත් වූහ. අවසානයේ තමන් කළ වරදට, සඅද් ඉබ්න් මුආද් (රලි) තුමාගේ තීරණයට එකඟ ව දඬුවම් දෙන්නේ නම් පමණක් මුස්ලිම් සේනාවට යටත් වන බව ඔවුන් පණිවුඩයක් එවුහ. රසූල් (සල්) තුමාද එයට එකඟ විය.

බනු අව්ස් ගෝත‍්‍ර නායකයින් මෙම අවස්ථාවෙහි බනු කුරෙයිzසා ජනතාව වෙනුවෙන් මැදිහත් වුහ. බනු හඃස්රජ් ජනතාවට එරෙහිව සිදු වූ සටනේ දී බනු  කුරෙයිzසාවරු තමන්ට සහාය දුන් හේතුවෙන් ඔවුන් පිළිබඳව ගන්නා තීරණයෙහි අව්ස් ජනයාට අවස්ථාවක් දෙන ලෙස ඔවුන් ඉල්ලීම් කළහ. සඅද් ඉබ්න් මුආද් (රලි) තුමාව මේ සඳහා තෝරා ගෙන තිබෙන බව රසූල් (සල්) තුමා ඔවුන්ට දැන් වූ පසු ඔවුන් සතුටු වූහ.

අගල් සටනේ තුවාල වී ප‍්‍රතිකාර ලබමින් සිටින සඅද් ඉබ්න් මුආද් (රලි) තුමා එතැනට ගෙනෙන ලදුව එතුමාගේ අව්ස් ගෝත‍්‍රික අය “අබු අම්ර්, ඔබේ ගෝත‍්‍ර සමඟ හොඳාකාරව ක්‍රියා කරනු පිණිස, රසූල් (සල්) තුමා ඔබට අවස්ථාවක් දී ඇත. එනිසා, ඔවුන්ට සහන සලසනු මැනවි.“ යයි එතුමාට බලපෑම් කළහ.

තමා දෙන විනිශ්චයට එකඟ වන බව සියලු පාක්ෂිකයන්ගෙන් එකඟත්වය ලබා ගත් සඅද් ඉබ්න් මුආද් (රලි) අවසානයේ තම තීරණය ප‍්‍රකාශ කළේ මෙසේය. ‘කිසිවෙකුගේ ප‍්‍රශංසාව හෝ දෝෂාරෝපණය ගැන සඅද් ගණන් නොගන්නා වේලාවක් එළඹී ඇත. පිරිමින් මරණයට ලක් කර, ඔවුන්ගේ දේපළ බෙදා හැරිය යුතු බවද, කාන්තාවන් සහ ළමයි වහලුන් ලෙස ගත යුත බවද තීරණය කරමි.“

මෙයට සවන් දුන් රසූල් (සල්) තුමා, “ඔවුන් කෙරෙහි ඔබ දුන්නේ අල්ලාහ්ගේ තීරණය.“ යි සඅද් (රලි)  තුමාට කීවේය.

ඉස්රායිල් වරුන්ගේ ආගමික ග‍්‍රන්ථය වන තව්රාත්හි, යුද්ධ නීතිය යටතේ කුමන්ත‍්‍රණකරුවන්ට දෙනු ලබන දඬුවමට එකඟව සඅද් (රලි) තුමා විනිශ්චය දුන් බව මෙහිදී සැලකිය යුතු වැදගත් කරුණකි. මෙම තීරණයට එකඟව, බනු  කුරෙයිසා වරුන්ට දඬුවම් පනවනු ලැබීමෙන් අනතුරුව, අභ්‍යන්තර ද්‍රෝහී ක්‍රියාවන්ගෙන් වැළකී ආරක්ෂා සහිතව ජීවත් වීමට මුස්ලිම් වරුන්ට හැකි විය.

තුමාමා ඉබ්න් උතාල්

රසූල් (සල්) තුමා අහ්වාරෝහක සෙබළු පිරිසක් නජද් පෙදෙසට යැවීය. බනු හනීෆා ගෝත‍්‍රිකයන්ගේ නායක වන තුමාමා ඉබ්න් උතාල්ව සිරභාරයට ගත් ඔවුන් මදීනාවට ගෙන ගොස්, මස්ජිදයේ කණුවක බැඳ තැබුහ. රසූල් (සල්) තුමා ඔහුව පසු කර ගෙන යන අවස්ථාවේදී “ඔබ කුමක් බලාපොරොත්තු වන්නේද තුමාමා?“ යනුවෙන් ඔහුගෙන් විමසීය.

එවිට ඔහු, “මුහම්මද්, ඔබ මා මරන්නේ නම්, ඔබෙන් පළි ගැනීමට අවශ්‍ය වන කෙනෙකු මරන්නේය. ඔබ මට මෛති‍්‍රය දක්වන්නේ නම්, ඔබට සදා කැපව සිටිය හැකි කෙනෙකුට මෛති‍්‍රය දක්වන්නේය. ඔබට මුදල් අවශ්‍ය නම් ඔබ කැමති දේ මගෙන් ඉල්ලන්න. එය ඔබට ලැබේ.“ යනුවෙන් පිළිතුරු දුනී. රසූල් (සල්) තුමා කිසිවක් නොපවසා, ඔහු පසු කරගෙන ගියේය. පසු දිනයේද, ඔහු අසලින් ගිය රසූල් (සල්) තුමා නැවත වරක් ඒ ප‍්‍රශ්නය ඇසුවිට ඔහුද ඒ ආකාරයෙන්ම පිළිතුරු දුනී. තුන් වන අවස්ථාවේද එම කථාව සිදු වූ විට, “තුමාමාව නිදහස් කරනු.“ යි රසූල් (සල්) තුමා අණ කළේය.

නිදහස ලැබු තුමාමා, මස්ජිදය අසල ඉඳි වත්තට ගොස් එහි ජලයෙන් පිරිසිදු කර ගෙන මස්ජිදයට පැමිණ මුස්ලිම් බවට පත් විය. එම අවස්ථාවේ ඔහු ප‍්‍රකාශ කළේ මෙසේය. “අල්ලාහ්ගේ නාමයෙන් පවසමි. මෙයට පෙර මේ මිහිතලය මත ඔබ තුමාගේ මුහුණ තරම් මම පිළිකුල් කළ මුහුණක් නැත. දැන් ඔබ තුමාගේ මුහුණ මගේ සම්පූර්ණ ආදරයට ලක් ව ඇත. අල්ලාහ් මත දිවුරා පවසමි. ඔබේ ආගම තරම් මේ මහ පොළොව මත මම පිළිකුල් කළ ආගමක් තිබුණේ නැත. එහෙත් දැන් මම එයට තරම් ආදරය කරන වෙනත් අගමක් නැත. ඔබ තුමාගේ පිරිස මව සිරභාරයට ගත්තේ මම උම්රා කිරීමට යමින් සිටියදීය.“

තුමාමාට සුබ පැතු රසූල් (සල්) තුමා, උම්රා කරන ලෙස කියා සිටියේය. උම්රා කිරීමට තුමාමා මක්කාවට පැමිණි විට, “ඔබේ ආගම අත හැරියාද?“ යනුවෙන්  කුරෙයිෂිවරු ඔහුගෙන් ප‍්‍රශ්න කළහ.

“අල්ලාහ්ගේ නාමයෙන්, නැත. එහෙත් මුහම්මද් (සල්) තුමා සමඟ එකතුව මම මුස්ලිම් වරයෙකු බවට පත් වුයෙමි. අල්ලාහ්ගේ නාමයෙන් දිවුරා කියමි. අල්ලාහ්ගේ රසූල් (සල්) තුමා අනුමත කරන තුරු එක තිරිඟු බීජයක් වුවද ඔබට සපයන්නේ නැත.“ යනුවෙන් ඔහු කීය. සාරවක් පළාතක් වන යමාමා පෙදෙස, මක්කාවට අවශ්‍ය තිරිඟු සපයන ප‍්‍රධාන ස්ථානයකි.

තම පළාතට හැරී ගිය තුමාමා, මක්කාවට තිරිඟු ප‍්‍රවාහන කිරීම සම්පූර්ණ යෙන් තහනම් කළේය. මේ නිසා මහත් පීඩාවට පත් වූ කුරෙයිෂිවරු එම තහනම ඉවත් කරන්නයි තුමාමාට පවසන ලෙස නෑකමේ නාමයෙන් රසූල් (සල්) තුමා ගෙන් ඉල්ලීම් කළහ. එතුමාද එම ඉල්ලීම නිර්දේශ කිරීමෙන් අනතුරුව, මක්කා වාසීන්ට ධාන්‍ය ප‍්‍රවාහනය කිරීම යළි ආරම්භ විය.

 හුදෙයිබියා ගිවිසුම

රසූල් (සල්) තුමාගේ සිහිනය

සහාබාවරු සමඟ මක්කාවට ඇතුල් වී කඅබාව වටා තවාෆ් කරන බව රසූල් (සල්) තුමා සිහිනයක් දිටීය. මේ බව එතුමා පැවසූ විට සහාබාවරු ඉමහත් සතුටට පත් වුහ. ඔවුන් සියලු දෙනාම කඅබාව සහ මක්කාව ඉතා ගරු කොට සැලකු අතර, එහි ගොස් තවාෆ් කිරීමට මහත් ආශාවෙන් සිටියහ.

මක්කාවේ ඉපදී, හැදී වැඩුනු මුහාජිර්වරු එම ස්ථානයට විශේෂ ඇල්මක් දැක්වීම සාධාරණයකි. එම ශුද්ධ වූ නගරයට මහත් ආදරයක් දැක් වූ නමුත් ඔවුන් තම උපන් ගමෙන් හා නිවසින් පලවා හරිනු ලැබු පිරිසකි. තමා දුටු සිහිනය රසූල් (සල්) තුමා පැවසු විගස, ඔවුන් සියලු දෙනාම මක්කාවට වන්දනාව සඳහා යෑමට සූදානම් වූහ. කිසිවෙක් එම අවස්ථාව මඟ හැරීමට කැමති වුයේ නැත.

මුස්ලිම්වරු අවසානයේ මක්කා මායිමට පිවිසෙති

6 වන හිජ්රි වසර දුල් කඅදා මස සහාබාවරු එක් දහස් පන්සීය දෙනෙක් සමඟ රසූල් (සල්) තුමා උම්රා නම් සුළු වන්දනා ගමනේ පා තැබීය. උම්රා සඳහා සුදු රෙදි කැබැලි දෙක පමණක් පැලඳ ගෙන, කුර්බාන් සඳහා එළුවන් සහ ඔටුවන් රැගෙන මුස්ලිම්වරු ඉදිරියට ගියහ. සාමකාමි අදහසින් මක්කාවට පැමිණෙන බව ඔවුන් පැලඳ සිටි සුදු රෙදි කැබලි දෙක සියලු ජනයාට ප‍්‍රකාශ කරයි. වන්දනාව සඳහා ඕනෑම කෙනෙකුට මක්කාවට පැමිණිය හැකි අතර ඔවුන් තහනම් කිරීමට කිසිවෙකුට අනුමත නැත.

කුරෙයිෂි වරුන්ගේ ප‍්‍රතික්‍රියාව කුමක්දැයි ඔත්තු සොයනු පිණිස, රසූල් (සල්) තුමා කෙනෙකු යැවීය. වන්දනා කරුවෝ උස්ෆාන් නම් ස්ථානයේ සිටින විට, ඔහු පැමිණ ඔබ තුමා කඅබාවට ළඟා වීම වළක්වනු පිණිස ඔවුන් සේනාවක් සූදානම් කර ගෙන සිටිති.“ යයි දැන් විය.

රසූල් (සල්) තුමා තවත් ඉදිරියට ගමන් කර අල් හුදෙයිබියා පළාතෙහි අවසාන කෙළවර දක්වා ගොස් ළිඳක් අසල නැවතුණේය. එහි ජල හිඟය ගැන සෙනඟ පැමිණිලි කළායින් තම හී කොපුවෙන් (දුනු හී රැගෙන යන මල්ල) හීයක් ගෙන, එය ළිඳේ දමන ලෙස එතුමා කීය. එසේ කළ පසු, ළිඳෙන් ජලය ගලා එන්නට පටන් ගැනීමෙන්, ජල හිඟය අවසන් විය.

කුරෙයිෂි වරුන්ට පක්ෂව සිටිනා ගෝත‍්‍රිකයින් පිරිසක් හුදෙයිබියාවට පැමිණ මුස්ලිම් වරුන් ගේ සැබෑ අරමුණ ගැන විමසු විට, “අපි සුදු ඉහ්රාම් රෙදි පැලඳ සිටිනා බවද කුර්බාන් සඳහා සතුන් රැගෙන ආ බවද ඔබට පෙනෙන්නේ නැද්ද?“ යයි රසූල් (සල්) තුමා ඔවුන්ගෙන් විමසීය. එයින් සෑහීමට පත් වූ ඔවුන්, කුරෙයිෂිවරු වෙතට හැරී ගොස් මුස්ලිම්වරු උම්රා සඳහා පැමිණ සිටින බව තහවුරු කළහ. එහෙත්, කුරෙයිෂි වරුන්ගෙන් ඇතැම් අයහපත් පිරිසක්, “වන්දනා කිරීමට වුවත් මෙහි එන්නට ඔවුන්ට ඉඩ නොදෙමු.“ යයි තරයේ විරුද්ධ වූහ. එපමණක් නොව, ඔවුන්ගේ ඇතැම් තරුණයෝ, මුස්ලිම් වන්දනා කරුවන්ට පහර දීමට පවා සැරසුනහ. මේ අතර, කුරෙයිෂිවරු අතර සිටින බුද්ධිමත් පිරිසක්, සැබෑ තත්ත්වය ගැන නිහඬව කල්පනා කරන්නට පටන් ගත්හ.

මුස්ලිම්වරු ගැන බියට හා සැකයට පත් ව සිටින කුරෙයිෂිවරු වෙතට සංදේශකවරයෙකු එවීමට තීරණය කළ රසූල් (සල්) තුමා උත්මාන් ඉබ්න් අෆ්ෆාන් (රලි) තුමාව තෝරා ගත්තේය. මුස්ලිම්වරු සටන් කිරීමට නොව උම්රා වන්දනාව සඳහා පමණක් පැමිණ සිටින බව දැනුම් දීමේ කටයුතු ඔහුට පැවරුණි. මුස්ලිම් බවට පත් ව ඒ බව සඟවා කාෆිර්වරු අතර මක්කාවේ තවමත් ජීවත් වන අය හමුවී විශ්වාසීන්ට විශිෂ්ට ජයක් ලැබෙන බවද, අති උත්තමයාණන් හා උසස් ප‍්‍රශංසා සියල්ල හිමි අල්ලාහ් ඔහුගේ දහම මක්කාවේ ජයග‍්‍රාහී කරන බවද ශුභ ආරංචිය දන්වා ඉන් අනතුරුව ඔවුන් තම දේව විශ්වාසය කිසිවෙකුට සැඟවීමට අවශ්‍ය නොවන බවද පවසන ලෙස උත්මාන්ට (රලි) තුමාට උපදෙස් ලැබුණි.

උත්මාන් (රලි) මක්කාව තුළට ගොස් අබු සුෆියාන් සහ මක්කාවේ අනිකුත් නායක පිරිස හමු වී රසූල් (සල්) තුමාගේ සාම නිවේදනය දැන්විය. උත්මාන් (රලි) ගේ නිවේදනයට සවන් දුන් කුරෙයිෂිවරු, “ඔබ කඅබාව වටා තවාෆ් කරන්නට කැමති නම්, එය ඉටුකරන්න.“ යි ඔහුට ආරාධනා කළහ. එහෙත් උත්මාන් (රලි) “අල්ලාහ්ගේ රසූල් (සල්) තුමා තවාෆ් ඉටු කරන තුරු මම එය නොකරන්නෙමි.“ යනුවෙන් ඔවුන්ට පිළිතුරු දුනී.

අර් රිද්වාන් හී දිවුරුම් දීම

මක්කාවට නියෝජිතයෙක් වශයෙන් ගිය උත්මාන් (රලි) බලාපොරොත්තු වූවාට වඩා දින කිහිපයක් එහි රැඳී සිටීමෙන් එතුමා ඝාතනය කරනු ලැබු බව ප‍්‍රචාරයක් පැතිරුණි. එය ඇසු විගස, “උත්මාන්ගේ ඝාතනයට පළි ගන්නා තුරු, මෙතැනින් ඉවතට නොයමු.“ යනුවෙන් රසූල් (සල්) තුමා පැවසීය. එතුමා ගසක් යට වාඩි වී සිටියදී මුස්ලිම්වරු සෑම කෙනෙක්ම අවසානය දක්වා සටන් වදින බවද එතුමාට අවනත වන බවද දිවුරුම් දුන්හ. රසූල් (සල්) තුමාද, තම අතක් රැගෙන, “මෙය උත්මාන් සඳහාය.“ යි කීය. අවසානයේ, උත්මාන් (රලි) සුව සේ ආපසු පැමිණීමෙන් සියලු විස්තර දැන ගන්නට ලැබුණි.

අල් හුදෙයිබියා කාන්තාරයේ වැවෙන කටු ගසක් යට මුස්ලිම්වරු දිවුරුම් දීම ගැන අල් කුර්ආනය පවසන්නේ මෙසේය. “ගස යට විශ්වාසීන් ඔබට පක්ෂ භාවය දිවුරු කල්හී, අල්ලාහ් සතුටු වුණේය. ඔවුන්ගේ සිත්හී තිබුදේ ඔහු දනී. ශාන්තභාවය ඔවුන් වෙත පහළ කර, ඉක්මනින් විජයග‍්‍රහණයක් දුන්නේය.“ අල් කුර්ආන් 48 : 18.

මුස්ලිම්වරු සහ කුරෙයිෂිවරු අතර පවතින මත භේදයේ කිසිදු වෙනසක් සිදු නොවුවද, අවශ්‍ය වූ විට සටන් කිරීමට වූවද මුස්ලිම්වරු සූදානම්ව සිටින බව වටහා ගත් කුරෙයිෂිවරු, අවසානයේ නියෝජිත පිරිසක් එවීමට තීරණය කළහ. ඔවුන් සෑම  කෙනෙකුටම “අපි කිසිවෙකු හා සටන් කිරීමට පැමිණියේ නැත. අපේ අරමුණ උම්රා ඉටු කිරීම පමණය.“ යි රසූල් (සල්) තුමා පැවසු නමුත්, තම තීරණයේ දැඩිව සිටී කුරෙයිෂිවරු, මුස්ලිම් වරුන්ගේ උම්රා වන්දනා ගමනට කිසිසේත්ම අනුමැතිය නොදුන්හ.

කුරෙයිෂි නියෝජිත පිරිස අතරින් උර්වාහ් ඉබ්න් මස්ඌද් අත් තකාෆි නම් කෙනෙක්, රසූල් (සල්) තුමාගේ මුහුණ දෙසට විටින් විට ඇඟිල්ල දිගු කර කථා කළේය. එම ක්‍රියාව අප‍්‍රිය කළ සහාබා වරයෙක්, තම කඩු මිටෙන් ඔහුගේ අතට ගසා රසූල් (සල්) ඉදිරියේ හරියාකාරව හැසිරෙන ලෙස කීය. කුරෙයිෂිවරු වෙතට හැරී ගිය ඔහු, “කුරෙයිෂිවරුණි, කොස්රොස්, සීසර්,  නේගස් යන නායකයන් සහ තවත් රජ වරු කිහිප දෙනෙකු ඉදිරියට මම ගොස් ඇත්තෙමි. එහෙත් මුහම්මද්ගේ මිත‍්‍රයින් ඔහුට දක්වන ගෞරවය තරම් කිසිම ජනතාවක් තම රජ වරුන්ට පවා ගෞරව දක්වනු මම දුටුවේ නැත. මුහම්මද් කථා කරනවිට ඔවුන් සියලු දෙනාම එයට  ඕනෑ කමින් සවන් දෙති. ඔවුන් කිසිදවසක ඔහුව අත හැර දමන්නේ නැත.“ යයි පවසා තමා දුටු සියලු විස්තර ඔවුන්ට කීය.

ගිවිසුම හා සාමය, නුවණ හා ඉවසීම

සියලු විස්තරයන්ට සවන් දුන් කුරෙයිෂිවරුන් නියෝජිතයෙකු වශයෙන් සුහෙයිල් ඉබ්න් අම්ර් නම් කෙනෙකු එවූහ. සුහෙයිල් පැමිණෙනු දුටු රසූල් (සල්) තුමා “ඔවුන්ට දැන් සාමය අව්‍යශ බව පෙනේ.“ යයි පවසා, ගිවිසුමක් ලිවීමට සූදානම් කරන ලෙස සහාබා වරුන්ට කීය.

අලි ඉබ්න් අබි තාලිබ් (රලි) කැඳවා, “අති කාරුණික, අති දයාබර අල්ලාහ්ගේ නැමයෙන් (බිස්මිල්ලාහ් හිර් රහ්මාන් නිර් රහීම්) යනුවෙන් ලියන ලෙස රසූල් (සල්) තුමා කීය. එයට විරුද්ධ වූ සුහෙයිල්, “අල්ලාහ්ගේ නාමයෙන් දිවුරමි. අති කාරුණික, අති දයාබර යන්නේ කවුරුන්දැයි අපි නොදනිමු. පුරුදු පරිදි, අල්ලාහ්ගේ නාමයෙන් (අල්ලාහුම්ම බිස්මික) යනුවෙන් පමණක් ලියන්න.“ යි කීවේය. සහාබාවරු අකැමැත්ත දැක් වූ නමුත්, සුහෙයිල් පැවසු ආකාරයට ලිවීමට රසූල් (සල්) තුමා එකඟ විය.

දෙවනුව, “මුහම්මද් රසූලුල්ලාහ් සමඟ එකඟ වූ ගිවිසුම මෙයයි යනු ලියන්න.“ යයි රසූල් (සල් තුමා පැවසු විගස, එයටද තරයේ විරුද්ධ වූ සුහෙයිල්, “ඔබ අල්ලාහ්ගේ රසූල් වරයෙකු බව අපි පිළි ගත්තේ නම් ඔබ කඅබාවට යෑම තහනම් කිරීමට හෝ ඔබට විරුද්ධව සටන් කිරීමට හෝ අපි යෙදෙන්නේ නැත. එනිසා, මුහම්මද් ඉබ්න් අබ්දුල්ලාහ් (අබ්දුල්ලාගේ පුත‍්‍රයා වන මුහම්මද්) යයි පමණක් ලියන්න.“ යනුවෙන්  පැවසීය.

“ඔබ මා කෙරෙහි විශ්වාස නොකළත් මම අල්ලාහ්ගේ රසූල්වරයෙක් වෙමි.“ යයි ඔහුට පැවසු රසූල් (සල්) තුමා, එම කොටස මකා දමා මුහම්මද් ඉබ්න් අබ්දුල්ලාහ් යයි ලියන ලෙස අලි (රලි)ට කීය. එවිට අලි (රලි), “අල්ලාහ්ගේ නාමයෙන් දිවුරමි. මම එය වෙනස් නොකරමි.“ යයි කීවේය.

“ඔබ ලියාපු කොටස මට පෙන්වන්න.“ යයි පැවසු රසූල් (සල්) තුමා, එම වචනය තම අතින්ම කපා දැමීය. පසුව, “අපට කඅබාව වටා තවාෆ් කරන්නට අනුමැතිය දෙන්නේ නම්, අල්ලාහ්ගේ රසූල් මෙහි සඳහන් කරුණු වලට එකඟ වෙයි.“ යනුවෙන් කීවේය.

සුහෙයිල් වහාම, “අල්ලාහ්ගේ නාමයෙන් දිවුරමි. අපි බලපෑමට යටත් වුණායයි අරාබි වරු කථා කියන්නට ඉඩ නොදෙන්නෙමු. ඔබ ලබන  වසර උම්රා කළ යුතුය.“යි කීවේය. පහත සඳහන් කරුණුද ගිවිසුමට ඇතුළත් කරනු ලැබීය.

1. මුස්ලිම්වරුන්ට මේ වසර නොව ලබන වසරේදී උම්රා කළ හැක. එසේ පැමිණෙන මුස්ලිම්වරු, කොපුවෙහි දමා ගත් අසිපත හැර වෙනත් අවියක් රැගෙන ඒම තහනම්ය. එම වන්දනාකරුවෝ දින තුනකට වඩා මක්කාවේ රැඳී සිටිය නොහැක.

2. මෙම ගිවිසුම වසර දහයකට වලංගු වන අතර, එම කාලය තුළ දෙපාර්ශවයම සටන් කිරීමෙන් වැළකී සිටිය යුතුය.

3. අරාබියේ  ඕනෑම ගෝත‍්‍රයට තමා කැමති පිරිස සමඟ ගිවිසුම් කළ හැකි අතර, ඔවුන්ද මෙම ගිවිසුමට එකඟව ක්‍රියා කළ යුතුය.

4. භාරකරුගේ අනුමැතිය නොමැතිව මුස්ලිම්වරු වෙතට කුරෙයිෂි වරුන් ගෙන් කෙනෙක් පැමිණියහොත්, ඔහුගේ භාරකරුට ඔහුව ආපසු භාර දිය යුතුය. එහෙත්, මුස්ලිම් වරුන්ගෙන් කෙනෙක් කුරෙයිෂිවරු වෙතට පලා ගියහොත් ඔහු හරවා යවනු නොලැබේ.

මෙම හතරවන වගන්තිය මුස්ලිම්වරු කිසිසේත් ප‍්‍රිය කළේ නැත. “සුබ්හානල්ලාහ්, කෙනෙක් මුස්ලිම් බවට පත් වූවාට පසු, ඔහුව කාෆිර් වරුන්ට භාර දෙන්නේ කෙසේද?“ යනුවෙන් සහාබාවරු ප‍්‍රශ්න කළහ.

මේ ලෙස සාකච්ඡා කරමින් සිටියදී, සුහෙයිල්ගේ පුත‍්‍රයා වන අබු ජන්දල් දංවැලෙන් බැඳ, එතැනට ඇදගෙන එනු ලැබුවේය. මුස්ලිම් බවට පත්වූ හේතුවෙන් නොයෙකුත් වද හිංසාවට භාජන වූ ඔහුගේ සිරුරෙහි අලුත් තුවාල කිහිපයක්ද දක්නට තිබුණි. මුස්ලිම්වරු මැදට ඇද වැටුණු තම පුත‍්‍රයා දෙස බැලූ සුහෙයිල්, “මුහම්මද්, මෙම ගිවිසුම යටතේ ඔබ ආපසු දිය යුතු ප‍්‍රථම පුද්ගලයා මොහුය.“ යනු කීය.

“අපි තවම ගිවිසුම අත්සන් කර නැත.“ යයි රසූල් (සල්) සඳහන් කළවිට, සුහෙයිල්, “අල්ලාහ්ගේ නාමයෙන් දිවුරමි. එසේ නම් මම කිසිවකට එකඟ වන්නේ නැත.“ යනුවෙන් තරයේ කීවේය.

“ඔහුව රඳවාගන්නට මට ඉඩ දෙන්න.“ යි රසූල් (සල්) තුමා ඔහුගෙන් ඉල්ලීය.

“ඔහුව රඳවා ගන්නට මම ඔබට කිසිසේත් ඉඩ නොදෙමි.“ යි සුහෙයිල් කීවේය

“මා වෙනුවෙන් ඔහුට නිදහසේ යන්න දෙන්න.“ යි රසූල් (සල්) තුමා කළ ඉල්ලී මට, “නැහැ. මම එයට අනුමැතිය දෙන්නේ නෑ.“ යනුවෙන් පිළිතුරු ලැබුණි.

මෙම අවස්ථාවේ දී, “මුස්ලිම්වරුණි, මම මුස්ලිම් කෙනෙකු වශයෙන් ඔබ වෙතට පැමිණියායින් පසුව, පිළිම වන්දනා කරුවන්ට මාව ආපසු භාර දෙන්න යනවාද? මම විඳින වේදනාව හා දඬුවම ඔබට පෙනෙන්නේ නැද්ද?“ යනුවෙන් අබු ජන්දල් හඬ දුන්නේය. එහෙත් ඔහුගේ පියාගේ ඉල්ලීම පරිදි රසූල් (සල්) තුමා, ඔහුව සුහෙයිල්ට භාර දුන්  විට, ඔහු තම පුත‍්‍රයාට දිගින් දිගට පහර දෙමින් ඇද ගෙන ගියේය.

මුස්ලිම් වරුන්ගේ සංවේගය

ගිවිසුමෙහි සඳහන් කොන්දේසිද, රසූල් (සල්) තුමාට එවායින් සිදු වන පල විපාකයද දුටු සහාබාවරු මහත් සංවේගයට පත් වූහ. වේදනාව දරා ගත නොහැකි උමර් ඉබ්න් අල් කඃත්තාබ් (රලි) තුමා, “අපි කඅබාවට යන බවද, එහි තවාෆ් කරන බවද රසූල් (සල්) තුමා පැවසුවානේද?“ යයි අබු බකර් (රලි) ගෙන් විමසුවේය.

“ඔව්. නමුත් එය මේ වසරේ සිදුවන බව එතුමා පැවසුවාද?“ යයි අබු බකර් (රලි) තුමා විමසු විට “නැත.“ යයි උමර් (රලි) කීය.

“ඔබ එහි යන්නේය. එහි තවාෆ් කරන්නේමය.“ යි අබු බකර් (රලි) ඔහුව සැනසුවේය.

මුස්ලිම් වරුන්ගේ බලාපොරොත්තු සියල්ල සුනු විසුනු වීමෙන්, ඔවුන් මහත් කම්පනයට පත් ව සිටියහ. මදීනා සිට ඔවුන් පැමිණි යේ මක්කාවට ඇතුළු වී එහි තවාෆ් කිරීමේ එකම අරමුණකින්ය. දැන් බලාපොරොත්තු සියල්ල නිශ්ඵල වී, සිත් කලකිරී, විශාල බරක් උසුලන බව ඔවුන්ට දැනුණි. කෙසේ වෙතත්, ගිවිසුම ලියා අත්සන් කළායින් පසුව, රසූල් (සල්) තුමා ඔටුවෙක් කුර්බාන් කර, හිස බූ ගා, ඉහ්රාම් තත්ත්වයෙන් ඉවත්විය. එය දුටු සහාබා වරුන්ද එතුමාගේ ආදර්ශය පිළිපදිමින් ඉහ්රාම් කටයුතු අවසන් කළහ.

නින්දා සහිත ගිවිසුමක්ද පැහැදිලි ජයක්ද?

අල් හුදෙයිබියාව හැර දමා රසූල් (සල්) තුමා සහ පිරිස මදීනාවට හැරී ගියහ. එසේ යන ගමනේ, හුදෙයිබියා සාම ගිවිසුම පරාජයක් නොව, මුස්ලිම් වරුන්ට විශිෂ්ට ජයග‍්‍රහණයක් බව අල්ලාහ් තහවුරු කළේ මෙසේය. “ඇත්තෙන්ම අපි ඔබට පැහැදිලි ජයග‍්‍රහණයක් දුන්නෙමු. ඔබේ වැරදිත්, පෙර සිදු වූ දෙය හා සිදුවන දෙය ඔබට කමා කරනු පිණිසද, ඔහුගේ අනුග‍්‍රහය ඔබට සපුරාලනු පිණිසද, ඔබ සෘජු මාර්ගයට පමුණුවනු පිණිසද, අල්ලාහ් ඔබට බලසම්පන්න උදව්වක් කරනු පිණිසද.“ අල් කුර්ආන් 48: 1 සිට 3 දක්වා.

“එසේ නම් මෙය අපට විශිෂ්ට ජයක්ද අල්ලාහ්ගේ රසූල් (සල්) තුමනි?“ යයි උමර් (රලි) විමසුවේය. “ඔව්.“ යනුවෙන් එතුමා පිළිතුරු දුන්හ.

ගිවිසුමේ ප‍්‍රතිඵල

රසූල් (සල්) තුමා මදීනාවට ආපසු පැමිණ වැඩි කලක් ගතවීමට පෙර අබු බසීර් උත්බා ඉබ්න් උසෙයිද් නම් මක්කා වැසියෙක් මුස්ලිම් බවට පත් වී, රැකවරණය සොයා මදීනාවට පැමිණියේය. හුදෙයිබියා ගිවිසුමට එකඟව, ඔහුව මක්කාවට රැගෙන යන්නට කුරෙයිෂිවරු එවු දෙදෙනෙක් මදීනාවට පැමිණි විට, රසූල් (සල්) තුමා අබු බසීර්ව ඔවුන්ට භාර දුන් නමුත්, මක්කාවට හැරී යන මාර්ගයේ, අබු බසීර් ඔවුන්ගෙන් කෙනෙකුගේ හිස කඩු පහරකින් සිඳ දැමීය. බියට පත්වූ අනිත් කාෆිර්වරයා, මදීනාවේ රසූල්වරයාගේ මස්ජිදයට දුවගෙන ගියේය. සිදුවු කරුණු රසූල් (සල්) තුමාට ඔහු පවසමින් සිටියදී, අබු බසීර් එතැනට පැමිණියේය. තම ක්‍රියාවට රසූල් (සල්) තුමාගේ අනුමැතිය නොලැබෙන බව දැනගත් විගස, “රසූල් (සල්) තුමනි, කාෆිර් වරුන්ට මාව භාර දීමෙන් ඔබ තුමාගේ වගකීම ඉටුවුණේය. මාගේ නිදහස දැන් මට ලබා දුන්නේ සර්ව බලාධාරි අල්ලාහ්ය. ඔබතුමා කරගත් ගිවිසුමට එකඟව මාව නැවත කාෆිර් වරුන්ට ඔබතුමා භාර දෙන බව මම දනිමි. එනිසා මෙතැනින් ඉවත්වෙමි.“ යයි පැවසු අබු බසීර් වෙරළ දෙසට දිව ගොස් බේරුනේය. මේ බව දැනගත් අබු ජන්දල් ඉබ්න් සුහෙයිල්ද, මක්කා කාෆිර් වරුන් ගෙන් බේරී, අබු බසීර් සමඟ එකතු විය. මක්කා කුරෙයිෂි වරුගේ වද හිංසිවට ලක්ව නිදහසක් නොමැතිව ජීවත් වූ අනිකුත් මුස්ලිම් වරුද, පැන ගොස් මේ දෙදෙනා සමඟ එකතු වීමෙන්, ටික කලකින් ඔවුන්ගේ සංඛ්‍යාව හැත්තෑවක් පමණ විය. ඔවුන් කුරෙයිෂි වරුන්ගේ වෙළඳ ව්‍යාපාරික පිරිස් ගමන් කරන මාර්ගයන්හී සැඟ වී සිට, ඔවුන්ට පහරදී නොයෙකුත් අයුරින් අලාභ හානි සිදු කළහ.

මේ අතර, මුස්ලිම්වරු සමඟ ගනු දෙනු කරන්නටද, සමීපව ආශ‍්‍රය කරන්නටද, හුදෙයිබියා ගිවිසුමෙන් කාෆිර් වරුන්ට කදිම අවස්ථාවක් එළඹුනි. කිසිදු පදනමකින් තොරව මුස්ලිම් වරුන්ට වෛරය කළ කාෆිර්වරු වැඩි කාලයක් යන්නට පෙර, මුස්ලිම් වරුන්ගේ යහගූණ සහ ඉස්ලාමයේ සදාචාර සියල්ල ගැන අවබෝධ කර ගත් අතර, ඒවා ප‍්‍රිය කරන්නටද පටන් ගත්හ. වසරක් ගෙවී යන්නට පෙර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මුස්ලිම් බවට පත් වීමෙන්, මේ නවක මුස්ලිම් වරුන්ගේ බලපැවැත්ම ගැන කුරෙයිෂි නායක පිරිස මහත් කනස්සලට පත් වූහ.

මේ අතර, මක්කාවෙන් පලාගොස්, මදීනාවද ප‍්‍රතික්ෂේප කිරීමෙන්, කිසිවෙකුගේ පාලනයට යටත් නොවූ මක්කා මුස්ලිම් පිරිසගේ උවදුරු දරාගත නොහැකි තරමට වැඩි වීමෙන්, මක්කාවෙන් පලා යන මුස්ලිම්වරු මක්කාවට අපසු නොයවා, මදීනාවෙහි රඳවා ගන්නා ලෙස, අවසානයේ රසූල් (සල්) තුමාගෙන්, අල්ලාහ්ගේ නාමයෙන් සහ තම ලේ නෑකමේ නාමයෙන් මක්කා වාසීන් ඉල්ලීම් කළෝය.

එයට එකඟ වූ රසූල් (සල්) තුමා, අබු බසීර් (රලි) තුමාට ඔහුගේ පිරිස සමඟ මදීනාවට පැමිණෙන ලෙස ආරාධනා කළේය. මෙම නිවේදනය ලැබෙන විට අබු බසීර් (රලි) බලවත් අසනීපව සිටි අතර, ඔහු අබු ජන්දල් (රලි) ගෙන්වා, රසූල් (සල්) තුමාගේ නියෝගය පරිදි වහාම ක්‍රියා කරන ලෙස පවසා මරණයට පත් විය. අබු ජන්දල් (රලි) සහ ඉතිරි පිරිස මදීනාවට ගොස් රසූල් (සල්) තුමා හා එක් වූහ. ඉන් පසුව මක්කාව හැර දමා මදීනාවට යන  ඕනෑම කෙනෙක්, ආරක්ෂා ලැබූ කෙනෙක් බවට සලකන ලදී. මේ ආකාරයෙන් ගිවිසුමේ පිළිකුල් සහගත හතර වන වගන්තිය මක්කා වාසීන්ගේ කැමැත්තෙන්ම අහෝසි විය.

හුදෙයිබියා ගිවිසුමෙහි කුරෙයිෂි වරුන්ගේ කොන්දේසි සියල්ලට රසූල් (සල්) තුමා එකඟ වීම අවසානයේ යහපත් ප‍්‍රතිඵල ගෙන දුන් බවට සියලු සිදුවීම් පෙන්නුම් කරයි. ඉස්ලාමය දිගින් දිගට ජය ගැනීමටද, අරාබි ද්වීපයේ වේගයෙන් ව්‍යාප්ත වීමටද, මෙම ගිවිසුම ස්ථීර පියවරක් බවට පත්විය. මේ නිසා, මක්කාව පහසුවෙන් ජය ගන්නටද සීසර්, කොස්රොස් සහ මුකව්කිස් යන ලොවේ රජ වරුන්ටද, අරාබි දේශයේ රජකුමරුන්ටද ඉස්ලාමය කරා ආරාධනා කිරීමටද හැකිවිය. අල්ලාහ් ශුද්ධ වූ අල් කුර්ආනයේ පවසන්නේ මෙසේය. “සටන් කිරීම ඔබට ප‍්‍රියංකර නොවුවද, එය ඔබට පවරන ලදී. යම් දෙයන් ඔබට හොඳව තිබියදී, ඔබ එය ප‍්‍රිය නොකරන්නට පුළුවන. යම් දෙයක් ඔබට නරකව තිබියදී, ඔබ එය ප‍්‍රිය කරන්නට පුළුවන. අල්ලාහ් සියල්ල දන්නේය. ඔබ නොදන්නේය.“ 2 : 216

කඃයිබර් කරා ගිය ගමන

සියලු කීර්ති හිමි අති උතුම් අල්ලාහ්, හුදෙයිබියාවේ දිවුරුම් දුන් අයට විශිෂ්ට ජයක්ද, යුද්ධයකින් ජය ගත් පසුව වස්තු ලැබෙන බවද පොරොන්දු වුනේ මෙසේය. “ගස යට විශ්වාසවන්තයන් ඔබට පක්ෂපාත භාවය දිවුරූ කල්හී, අල්ලාහ් සතුටු වුණේය. ඔවුන්ගේ සිත් හී තිබුදේ ඔහු දනී. ශාන්තභාවය ඔවුන් වෙත පහළ කර, ඉක්මනින් විජයග‍්‍රහණයක් දුන්නේය. බොහෝ යුද්ධාජීත ද්‍රව්‍යද දුන්නේය. අල්ලාහ් සදා බල සම්පන්නය.“ අල් කුර්ආන් 48: 18.

කයිබර්හී ලැබු ජය, මෙවැනි ජයග‍්‍රහණ කිහිපයන් ගෙන් පළමුවන්නකි. මදීනාවෙන් පලා හරිනු ලැබු බනු නද්ර් සහ බනු කයිනුකා යන යුදෙව් ගෝත‍්‍ර, මදීනාව සිට සැතපුම් හැත්තෑවක් පමණ දුර පිහිටි කඃයිබර් පළාතෙහි ජීවත් වූහ. එම පළාත යුදෙව් වරුන්ගේ ජනපදයක් වශයෙන් පමණක් නොව මුස්ලිම් වරුන්ට එරෙහිව ක්‍රියා මෙහෙයවීමේ කේන්ද්‍ර ස්ථානයක් බවටද පත්ව තිබුණි. මේ යුදෙව්වරු  මුස්ලිම් වරුන්ට එරෙහිව සටන් කරන ලෙස අවට සිටින අරාබි වරුන්ව පෙළඹවූ අතර, මදීනා අස්වැන්නෙන් භාගයක් දෙන බවට පොරොන්දුවී ගෆ්තාන් ගෝත‍්‍රිකයද තමන්ට පක්ෂව හරවා ගත්තෝය. මෙවැනි රාජ්‍ය විරෝධි ව්‍යාපාරය සඳහා තම ධනයෙන් විශාල කොටසක් වැය කළහ. ඔවුන්ගේ තර්ජනයෙන් කඃයිබර් පළාත ආරක්ෂා කර ගැනීමට රසූල් (සල්) තුමාට අවශ්‍ය විය. මදීනාවේ සිටිනා මුනාෆික් වරුන්ගේ මාර්ගයෙන්, ඔවුන්ගේ හිතමිතුරන් වන යුදෙව් ජාතීන්, දුර ඈත පළාතේ ජීවත් වූවත්, මදීනාවේ සිදුවන සියල්ල ගැන දනිති.

විශ්වාසීන්ගේ සේනාව

හුදෙයිබියාවෙන් මදීනාවට පැමිණි රසූල් (සල්) තුමා, මුහර්රම් මස අවසාන කොටසේදී කඃයිබර් කරා පිටත් විය. මෙම ගමනේ සෙබළු එක් දහස් හාර සීයක් සහ අශ්වයින් දෙසීයක් සහිත සේනාවක් එතුමා සමඟ එකතු වීය. හුදෙයිබියා ගමනට සහභාගි නොවූ කිසිවෙකුට මෙම ගමනේ යෑමට අනුමත නොලැබුණි. තුවාල ලත් අයට සාත්තු කිරීම, ආහාර පිළියෙල කිරීම, ජලය සැපයීම ආදී කටයුතු ඉටු කරනු පිණිස කාන්තාවන් විසි දෙනෙක්ද සේනාව සමඟ ගියහ.

මෙම ගමනේ ආහාර සඳහා වියළි බාර්ලි ස්වල්පයක් පමණක් තිබුණි. රසූල් (සල්) තුමා ඒවා වතුර භාජනයක පොඟ වන ලෙස කීමෙන් පසු, එයින් සියලු දෙනාම ආහාර ලබා ගත්තෝය. කඃයිබර් පෙදෙසට ලඟ වූ පසු, එම පෙදෙස අත්පත් කර ගෙනීමෙන් යහපතක් සිදු කරන ලෙසද, එයින් හට ගන්නා අයහපතින් සහ එහි වැසියන් ගෙන් සිදුවන අයපතින් රැකවරණය දෙන ලෙසද, රසූල් (සල්) තුමා අල්ලාහ් ගෙන් යාච්ඤා කළේය.

කඃයිබර් සහ බනු ගෆ්තාන් වරුන්ගේ පෙදෙස් දෙක අතර ස්ථානයක මුස්ලිම් සේනාවේ මූලස්ථානය තැනීමෙන් අනතුරුව, බියට පත් වූ බනු ගෆ්තාන්වරු කඃය්බර් යුදෙව් වරුන්ට සහාය දීමට ඉදිරිපත් වූයේ නැත.

කිසියම් ස්ථානයකට සටන් කිරීම සඳහා ගිය විට, අළුයම දක්වා රසූල් (සල්) තුමා පහර දෙන්නේ නැත. එම පළාතෙන් ෆජර් සලාතය සඳහා අදාන් හඬ ඇසුනේ නම්, එහි වැසියන් අතර මුස්ලිම්වරුද සිටිනා බවට එය සළකුණක් වන හෙයින්, එම පළාතට පහර දීමට එතුමා පසුබටවෙයි. කඃයිබර්හී අදාන් හඬ නොඇසුනු හෙයින්, සේනාව ඉදිරියට ගියේය. උදළු සහ මලූ වැනි උපකරණ රැගෙන පාන්දර රැකියා සඳහා යන කම්කරු පිරිසක්, රසූල් (සල්) තුමා සහ සේනාව දැක කලබලවී, “මුහම්මද් සේනාවක් රැගෙන ඇවිල්ලා.“  යයි කෑගසමින් පලා ගියෝය. “අල්ලාහු අක්බර්. කයිබර් විනාශ වුනා. අපි සමාජයක් අතර පැමිණෙන විට අවවාද ලැබු සමාජයට එය අයහපත් උදෑසනකි.“ යයි රසූල් (සල්) කීය.

ජය ලැබු හමුදා නායක

රසූල් (සල්) තුමාගේ සේනාව කඃයිබර්හී බලකොටු එකින් එක අත්පත් කර ගැනීමට පටන් ගත් අතර, පළමුව අත්පත් කර ගත්තේ නායිම් පළාතේ බලකොටුවයි. මුස්ලිම් වරුන්ට සටන් බිමේ මුහුණ දිය නොහැකිව බලකොටුව තුළට ගොස් දොරටු සියල්ල වසා ගත් යුදෙව්වරු, එය රැක ගැනීමට වැරදැරූ නමුත්, අලි ඉබ්න් අබි තාලිබ් (රලි) අවසානයේ ඔවුන් පරාජයට පත් කළේය. “අල්ලාහ් සහ රසූල් (සල්) ට ආදරය කරන සහ මේ බල කොටුව අත්පත් කර ගන්නා කෙනෙකු විසින් අපේ ධජය රැගෙන යනු ලැබේ.“ යයි රසූල් (සල්) දැන්වූ විට සහාබාවරු සෑම කෙනෙක්ම එම ගෞරවය ලබන අපේක්ෂාවෙන් සිටියහ. ඇස් දෙකම ඉදිමී සිටි අලි (රලි) තුමාට ආරාධනා කළ රසූල් (සල්) තුමා, තම කටේ කෙළ බින්දුවක් දෙකක් ඔහුගේ දෑසේ ගාමින්, උසස්තම ජයක් සඳහා ප‍්‍රාර්ථනා කළේය. අලි (රලි) ගේ දෑස් ඉක්මනින් සුව වීමෙන්, ඔහු ධජය ඔසවා ගෙන, “ඔවුන් අප මෙන් පත් වන තුරු ඔවුන් සමඟ සටන් කරන්නෙමි.“  යයි කීය.

“පෙරට යන්න. එහි ගොස් ඔවුන්ට ඉස්ලාමය කරා ආරාධනා කරන්න. අල්ලාහ් කෙරෙහි ඔවුන්ගේ යුතුකම ගැන ඔවුන්ට දන්වන්න. අල්ලාහ් මත දිවුරා කියමි. ඔබේ මාර්ගයෙන් කෙනෙක් ඊමානය ලැබුවේ නම්, එය රතු ඔටුවන් හිමි කර ගැනීමට වඩා ඔබට අගනා දෙයකි.“ යයි ඔහුට රසූල් (සල්) තුමා උපදෙස් දුන්නේය. (ඔටුවන් අතර රතු පැහැති ඔටුවන් මිල අධික බව සලකන්න.)

තවත් ජයග‍්‍රහණයක්

අලි (රලි) මර්හබ් නම් බලකොටුවට ළඟා වූ විගස, යුදෙව් වරුන්ගේ සුප‍්‍රසිද්ධ සටන් වීරයෙක් තම නිර්භීතකම ගැන කවි පද කියමින් එතැනට පැමිණියේය. දෙදෙනාම වහාම සටන පටන් ගත් අතර, ඔහුගේ හිස් වැස්මට අලි (රලි) කඩු පහරක් එල්ල කිරීමෙන්, ඔහුගේ හිස දෙපළු විය. ඔහුගේ මරණයෙන් විශිෂ්ට ජයක් ලැබුණි.

වහලෙක් ලැබු ත්‍යාගය

අබිසීනියා ජාතික වහලෙක් යුදෙව් වරුන්ගේ එළුවන් බලා ගෙන සිටියදී, යුදෙව්වරු ආයුධ සන්නද්ධව ලහි ලහියේ යනු දිටීය. තමා නබිවරයෙකු යයි පවසන කෙනෙකුට එරෙහිව සටන් කරනු පිණිස යන බව ඔහුගේ ප‍්‍රශ්නයට ඔවුන් පිළිතුරු දුන්හ. ඔහු එළු රංචුව සමඟ රසූල් (සල්) වෙතට ගොස්, “ඔබ පවසන්නේ මොනවද? ඔබ ජනතාව ආරාධනා කරන්නේ කුමක් වෙතටද?“  යනුවෙන් ප‍්‍රශ්න කළේය.

“මම ඉස්ලාමය කරා ආරාධනා කරමි. එනම්, අල්ලාහ් හැර නැමදුමට සුදුසු  වෙන දෙවියෙක් නැති බවද, මම අල්ලාහ්ගේ රසූල් වරයෙකු බවද සාක්ෂි දැරීම සහ අල්ලාහ්ට පමණක් නැමදුම් ඉටුකිරීම වේ.“ යයි රසූල් (සල්) පහදා දුන්නේය.

“මම ඒ ආකාරයට සාක්ෂි දරා විශ්වාස කළහොත්, මට ලැබෙන්නේ කුමක්දැ?“ යි ඔහු විමසුවේය.

“එම විශ්වාසය සහිතව ඔබ මරණයට පත් වූයේ නම්, ඔබ ස්වර්ගයට ඇතුළු වන්නේය.“යි පිළිතුරු ලැබුණි.

එම සේවකයා වහාම ඉස්ලාමය පිළි ගෙන, “අල්ලාහ්ගේ රසූල් (සල්) තුමනි, මම මේ එළුවන් භාරව සිටිමි. මේ එළු රංචුව ගැන කුමක් කරන්නදැ?“ යි  ප‍්‍රශ්න කළේය.

“බලකොටුව ඉදිරියේ තිබෙන පිටියේ  ඔවුන් හැර දමන්න. ඔවුන් තම හිමිකරු වෙතට යන බවට අල්ලාහ් වග බලා ගනී.“ යයි රසූල් (සල්) තුමා උපදෙස් දුන්නේය.

ඒ ආකාරයෙන් ඔහු කළ අතර, සේවකයා නොමැතිව එළුවෝ හැරී එනු දුටු යුදෙව් හිමිකරුවා, තම වහල් සේවකයා මුස්ලිම් වරයෙකු බවට පත් වුණා යයි දැන ගත්තේය. එහිදී යුදෙව්වරු හා මුස්ලිම්වරු අතර සටන සිදු වී, ෂහීද් නම් මරණයට පත් වූ මුස්ලිම්වරු අතර එම වහල් සේවකයාද කෙනෙකි. තම සහාබාවරු අතරට පැමිණි රසූල් (සල්) තුමා, “මේ වහල් සේවකයාට අල්ලාහ් ආශීර්වාද කර, කඃයිබර් කරා ගෙන ආවේය. ඔහු එක් වරක් වූවද අල්ලාහ්ට සජදා නොකළ නමුත්, (ස්වර්ගයේ සහකාරියන් වන) හූර්වරු දෙදෙනෙක් ඔහු  අසල සිටිනු දුටුවෙමි.“ යයි පැවසීය.

බෙදුවින් අරාබි වරයෙක් ලැබු ත්‍යාග

බෙදුවින් අරාබිවරු ලෙස හැඳින්වන ගම්බද අරාබිවරයෙක්ද රසූල් (සල්) තුමා වෙතට පැමිණ, ඉස්ලාමය පිළි ගෙන මුස්ලිම් සේනාව සමඟ ගමන් කළේය. ඔහුව බලා ගන්නා ලෙස සහාබාවරු කිහිප දෙනෙකුට උපදෙස් දෙන ලදී.

කඃයිබර් පළාතේ එක් සටනක ජය ගැනීමෙන් පසු, සතුරු සේනාව අත හැර දමා පලා ගිය භාණ්ඩ කිහිපයක් රසූල් (සල්) තුමාට හිමි වුණි. ඒවා බෙදා හරින අවස්ථාවේදී, මුස්ලිම් සේනාවේ එළුවන් බලා ගෙන මඳක් ඈත සිටි එම ගම්බද අරාබි වරයාටද කොටසක් වෙන් කරන ලදී. ඔහුගේ කොටස දුන් විට, “මෙය මොනවාදැ?“ යි ඔහු විමසීය.

“රසූල් (සල්) තුමා ඔබට වෙන් කළ කොටස.“ යයි පිළිතුරු ලැබුණි. එය රැගෙන රසූල් (සල්) තුමා වෙතට ගිය ඔහු, “මෙය මොනවාද? රසූල් (සල්) තුමනි?“ යයි විමසීය.

“සටනින් මට ලැබුණු භාණ්ඩයන්ගෙන් ඔබට හිමි කොටස.“ යනුවෙන් රසූල් (සල්) ඔහුට පිළිතුරු දුන්නේය.

“මම ඔබ තුමා පිටු පස පැමිණියේ මෙවැනි භාණ්ඩ ලබා ගැනීමට නොවේ. මම පැමිණියේ සටන් බිමේදී මට මෙතැන ඊයක් වැදී මරණයට පත්ව, ස්වර්යට ඇතුළු වන බලාපොරොත්තුවෙනි.“යි පැවසු ඔහු, තම ගෙල පෙන්විය.

“ඔබේ පැතුම එය නම්, අල්ලාහ් එය ඉටු කරන්නේය.“ යි රසූල් (සල්) තුමා ඔහුට පැවසීය.

පසුව සිදු වූ සටනකදී, එම ගම්බද අරාබිවරයාගේ ‍මෘත දේහය රසූල් (සල්) තුමා වෙතට ගෙනෙන ලදුව, “ඒ මිනිසාමදැ?“ යි එතුමා විමසූ විට, “ඔව්“ යනුවෙන් සහාබාවරු පිළිතුරු දුන්හ.

“ඔහු අල්ලාහ්ට අවංක විය. අල්ලාහ් ඔහුගේ අභිලාෂය ඉටු කළේය.“ යනුවෙන් පැවසු රසූල් (සල්) තුමා, තමා පොරොවා ගෙන සිටි ලෝගුවෙන් ඔහුගේ සිරුර ආවරණය කළේය. ඔහු සඳහා ජනාසා සලාහ් ඉටු කරන විට, “යා අල්ලාහ්, මේ ඔබේ මාර්ගයේ මුහාජිර් වරයෙකු ලෙස ගිය ඔබේ වහලෙකි. ඔහු ෂහීද් කෙනෙක් වශයෙන් ප‍්‍රාණය පුද කළ බවට මම සාක්ෂි දරමි.“ යයි එතුමා ප‍්‍රාර්ථනා කළේය.

කඃයිබර් පෙදෙසෙහි යුදෙව් වරුන්ට කොන්දේසි

කඃයිබර් පෙදෙසේ බලකොටු හතරක් මුස්ලිම්වරු අත්පත් කර ගැනීමෙන්, ඉතිරි  බලකොටු දෙක තුළ යුදෙව්වරු සැඟවී සිටියහ. ඒවාද දින දහයක් පමණ වැටලීමෙන්, අවසානයේදී ඔවුන් රසූල් (සල්) තුමාගෙන් සාම ගිවිසුමක් පැතුහ. ඔවුන්ට එම පළාතෙහිම තව දුරටත් සාමයෙන් හා ආරක්ෂා සහිතව රැඳී සිටීමට එතුමා අනුමැතිය දුන්නේය. එම සහනය සඳහා ඔවුන්ගේ වගාවෙන් සහ පලතුරු අස්වැන්නෙන් භාගයක් ඉස්ලාමිය රජයට බදු වශයෙන් ගෙවීමට ඔවුන් එකඟ වූහ. සෑම වසරම අබ්දුල්ලාහ් ඉබ්න් රවාහා (රලි) මෙම කටයුතු සඳහා පැමිණෙයි. සෑම අස්වැන්නක්ම කොටස් දෙකට බෙදා, ඔවුන්ට කැමති කොටස තෝරා ගන්නා ලෙස යුදෙව් වරුන්ට ඔහු පවසයි. ඔහුගේ නීති ගරුක සහ යුක්ති සහගත  බෙදීම් ගැන සඳහන් කරන විට, “මෙම බෙදීමේ ක්‍රියාවෙහි, අහසද, පොළොවද රැඳී සිටියි.“යනුවෙන් යුදෙව්වරු ප‍්‍රකාශ කළහ.

වස මිශ‍්‍ර කළ එළුමස්

කඃයිබර් පළාතේ සිදු වූ සටන් වලින් මුස්ලිම්වරු පහළොස් දෙනෙක් ෂහීද් බවට පත් වූ අතර, යුදෙව්වරු තිස් නව දෙනෙකුගේ මරණය සිදු වුණි. කඃයිබර් සටනේ  යෙදී සිටි කාලයේදී, රසූල් (සල්) තුමාට වස දී මරා දැමීමට කුමන්ත‍්‍රණයක් සිදු වුණි. සල්ලම් ඉබ්න් මිශ්කාම්ගේ බිරිය වන සෙzයිනබ් බින්ත් අල් හාරිත් නම් යුදෙව් කාන්තාවක් වස මිශ‍්‍ර කළ ආහාර පිලියෙල කර, එතුමාට දුන්නාය. එයින් මස් කෑල්ලක් කටේ දාගත් විගස, වස මිශ‍්‍ර කර තිබෙන බව දැන ගත් රසූල් (සල්) තුමා, එය වහාම කෙළ ගසා පිට දැමීය.

ආහාර පිළියෙල කළ යුදෙව් පිරිස කැඳවා, එසේ කිරීමට හේතුව කුමක්දැයි ප‍්‍රශ්න කළ විට, “ඔබ බොරුකාරයෙක් නම්, ඔබෙන් අපි නිදහස් වන්නෙමු. ඔබ ඇත්ත වශයෙන් නබිවරයෙකු නම්, වස මිශ‍්‍ර ආහාරයෙන් ඔබට කිසිදු හානියක් සිදු නොවේ.“ යයි ඔවුන් පිළිතුරු දුන්හ.

සෙzයිනබ් ගෙන් ප‍්‍රශ්න කළ විට, “ඔබව මරන්නට මට වුවමනාවක් තිබුණි.“ යයි ඇය පිළිගත්තාය.

“මට එරෙහිව අල්ලාහ් ඔබට බලය දෙන්නේ නැත.“ යයි ප‍්‍රකාශ කළ රසූල් (සල්) තුමා, “ඇය මරා දමන්නදැ?“ යි විමසු සහාබා වරුන්ට, “එපා.“ යයි පිළිතුරු දී, ඇයට නිදහසේ යන්නට ඉඩ දුන්හ. කෙසේ වෙතත් බිශ්ර් ඉබ්න් අල් බිශ්ර් (රලි) නම් සහාබා වරයෙක්, එම වස කෑමෙන්, මහත් වේදනා සහිත මරණයට පත්වීමෙන් පසු, සෙzයිනබ් මරණ දඬුවම ලැබුවාය. (අල්ලාහ්ගේ නීතිය වෙනස් කිරීමට අල්ලාහ්ගේ රසූල් වරයෙකුට පවා අනුමත නැති බව සලකන්න.)

යුද්ධයෙන් ලබා ගත් භාණ්ඩ

කඃයිබර් ප‍්‍රදේශය ජය ගත් පසු රසූල් (සල්) වරයා ෆිදාක් නම් පළාතට ගියේය. එහි සිටින යුදෙව් වරුන්ට ඉස්ලාමය කරා ආරාධනා කර, ඔවුන් මුස්ලිම් බවට පත් වූයේ නම්, ඔවුන්ගේ ජීවිතය සහ දේපළ ආරක්ෂා ලබන බවද, අල්ලාහ් ගෙන් ඔවුන් ත්‍යාග ලබන බවද පහදා දුන්හ. ඉස්ලාමයට පිවිසීමට එකඟ නොවු ඔවුන්, තම ජීවිතයට පමණක් ආරක්ෂාව දෙන ලෙස ඉල්ලීම් කළ හෙයින් ඔවුන් කිසිදු හානියට ලක් වූ යේ නැත. ඉස්ලාම්හී බලපෑමක් නොමැත යයි අල් කුර්ආන් සනාථ කරයි.

වාදි අල් කුරා නම් මිටියාවතේ වෙසෙන යුදෙව්වරු ආයුධ රැගෙන සටන් කළ නමුත්, අවසානයේ මුස්ලිම් වරුන්ට පරාජය වී ඔවුන් සතු භාණ්ඩ රසූල් (සල්) තුමාට භාර දීමෙන්, එතුමා ඒවා මුස්ලිම්වරු අතර බෙදා දුන්හ. එහෙත් යුදෙව් වරුන්ගේ ඉඩම් සහ දේපළ ඔවුන්ටම තබා ගන්නට අනුමැතිය ලැබුණි.

කඃයිබර්, ෆිදාක් සහ වාදි අල් කුරා යන පළාතේ යුදෙව්වරු පරාජයට පත් වූ බවට දැන ගත් තයිමා පෙදෙසේ යුදෙව්වරු, රසූල් (සල්) තුමා ගෙන් සාමය පැතුහ. එය පිළි ගත් එතුමා, ඔවුන්ගේ ඉඩම්, දේපළ සහ වස්තු සියල්ල ඔවුන්ටම තබා ගන්නට දී, මදීනාවට හැරී ගියහ.

කඃයිබර් ජයග‍්‍රහණයෙන් පසුව

කඃයිබර් සිට ආපසු හැරී එන අතර මඟදී, අධික වෙහෙසට පත් මුස්ලිම් සේනාව, අලුයම ෆජර් සලාහ් සඳහා අවදි නොවී, තද නින්දට පත් වූහ. ඔවුන් අතරින් ප්‍රථමයෙන්ම අවදි වූයේ රසූල් (සල්) තුමාය. අන් අයද නින්දෙන් අවදි කළ එතුමා, ටික දුරක් ගමන් කර, සහාබාවරු සමඟ ෆජර් සලාතය ඉටු කළේය. ප‍්‍රමාද වී අවදි වූ අවස්ථාවකදී සලාහ් ඉටු කරන ආකාරය මෙහිදී රසූල් (සල්) තුමා තම සහාබා වරුන්ට පෙන්වා දුන්හ.

අරාබියේ ජීවත් වූ යුදෙව්වරු ධනවත් පිරිසකි. අරාබියේ ඔවුන් සතු කඃයිබර් පෙදෙස අති සාරවත් පළාතකි. කඃයිබර් ජය ගැනීමෙන් අනතුරුව, කෘෂිකර්ම සඳහා සුදුසු ඉඩම් සහ වතු සමහරක් මුස්ලිම්වරු අතර බෙදා දීමෙන්, මේ දක්වා මුස්ලිම් ජනතාව මුහුණ දුන් ආර්ථික දුෂ්කරතාවය සුළු වශයෙන් හෝ ඉවත් විය. මක්කාවෙන් පලවා හරිනු ලැබු මුහාජිර්වරු මෙලෙස දේපළ හිමි කර ගැනීමෙන්, අන්සාර් වරුන්ගේ සරණ යටතේ ජීවත් වීමේ අවශ්‍යතාවය අවසන් විය. කඃයිබර්හී ෆිදාක් නම් පළාතේ දේපළ, සටනකින් තොරව රසූල් (සල්) තුමාට හිමි වීමෙන් අනතුරුව, එහි ආදායම රාජ්‍ය අමුත්තන්ට සහ දූතයන්ට සංග‍්‍රහ කිරීම සඳහා වෙන් කරන ලදී. ඒ සමඟ බනු නද්ර්ගේ දේපළෙන් ලැබෙන ආදායම, රසූල් (සල්) තුමාගේ පවුලේ සාමාජික හා ඥතීන් පිරිසටද, මදීනාවේ ජීවත් වන අනාථ, දුගී හා දුප්පත් අයගේ ආහාර සඳහාද වෙන් කරන ලදී. එනම්, මදීනාවේ මුස්ලිම් සමාජයේ සුබ සාධනයට අවශ්‍ය පියවර රැගෙන අවසාන වූ පසුව, තම පවුලේ සාමාජිකයන්ගේ කුසගින්න නිවීමට රසූල් (සල්) ක්‍රියා කළ බව මෙහිදී කවුරුත් පැහැදිලිව අවබෝධ කර ගත යුතුයි. (අපි දන්නා අනිකුත් මුස්ලිම් හෝ මුස්ලිම් නොවන පාලකයින් හා නායකයින් මෙවන් අවස්ථාවන් හි ක්‍රියා කරන්නේ කෙසේදැ යි සසඳා බලන්න.)

කඃයිබර් සිට හැරී ගිය රසූල් (සල්) තුමා, මදීනා අවට මුස්ලිම් වරුන්ට හානි සිදු කරන හෝ හානි සිදුකරන්නට කුමන්ත‍්‍රණ කරන ගෝත‍්‍රිකයන්ට අවවාද කරනු පිණිස කුඩා පිරිස් කිහිපයක් යැවීය. මෙලෙස එවන ලද සෑම පිරිසක්ම සතුරන් පරාජය කර, ඔවුන්ගේ සිත් තුළ බිය උපදවා මදීනාවට හැරී ගියහ.

රජවරු සහ නායකයන්ට ඉස්ලාමය කරා ඇරයුම

හුදෙයිබියා ගිවිසුමෙන් පසුව සාමකාමි වාතාවරණයක් පැවැත් වුනු අතර, විදේශ රජවරුන්ට සහ අරාබි ගෝත‍්‍ර නායකයන්ට ඉස්ලාමය වෙත ආරාධනා කර රසූල් (සල්) තුමා ලිපි යැවීය. සෑම රජවරයෙකුටම යැවීමට සුදුසු සංදේශක වරයෙක් තෝරා ගැනීමේදී එතුමා විශේෂ සැලකිලි දැක් වූ අතර, ලිපි පිළියෙල කිරීමද ඉතා ඕනෑකමින් සිදු කෙරුණි. විදේශ රජවරුන්ට එවන ලිපියෙහි මුද්‍රාවක්  දමනු පිණිස, “මුහම්මද් රසූලුල්ලාහ්“ යනුවෙන් අකුරු කැපූ රිදී මුද්දක් ද සාදන ලදී.

හේරාක්ලියස්

බයිzසන්ටින් (රෝමානු) අධිරාජ්‍ය නායක හේරාක්ලියස්, පර්සියානු අධිරාජ්‍යයේ නායක කොස්රොස් පර්වේස්, අබිසීනියාවේ මහ රජ නේගුස් සහ ඉජිප්තුවේ මහරජ මුකව්කිස් යන නායක වරුන්ට රසූල් (සල්) තුමා සංදේශ එවීය.

රසූල් (සල්) තුමාගේ ලිපිය ගෞරවයෙන් භාර ගත් හේරාක්ලියස්, නේගුස් සහ මුකව්කිස් යන නායකයින් ඒ ආකාරයෙන්ම පිළිතුරු එවූ හ. එතුමා ගැන තවත් විස්තර දැන ගැනීමට හේරාක්ලියස් රජුතුමාට අවශ්‍ය වූ හෙයින්, ඒ සඳහා සේවකයින් යෙදුවිය. ගාzසා පළාතේ වෙළඳාම සඳහා පැමිණ සිටි අබු සුෆියාන් සහ අරාබි පිරිස රජවාසල සේවකයින් රැගෙන ගොස්  රජ තුමාට ඉදිරිපත් කළහ. ආගම් වල ඉතිහාසය ද, නබි වරුන්ගේ යහපත් ගුණාංග සහ හැසිරීම් ගැනද දැනුම ලත් හේරාත්ලියස් මහරජ, පරීක්ෂණ පැවැත්වීමේ දක්ෂ කෙනෙකි. අල්ලාහ් ලොවට නබි වරු එවන්නේ කුමන කාලයේද සහ කෙසේද යන වගද, එම නබිවරු කෙරෙහි ජනතාව දක්වන ප‍්‍රතික්‍රියාව කුමක්ද යන වගද ඔහු ඉගෙන ගෙන සිටීය.

බොරු කීම අගෞරවයක් බව සලකන පැරණි සාම්ප‍්‍රදායට එකඟ ව, අබු සුෆියාන් සියලු ප‍්‍රශ්නයට අවංකව පිළිතුරු දුනි. අබු සිෆියාන්ගේ පිළිතුරු ඇසීමෙන් පසු, මුහම්මද් (සල්) තුමා අල්ලාහ්ගේ රසූල් වරයෙකු බවට හේරාක්ලියස් මහ රජ හඳුනා ගත්තේය. “ඔබ පවසන්නේ සත්‍ය නම්, මම දැන් පා තබා ඇති ස්ථානය ඔහු හිමි කර ගනියි. නබි වරයෙක් පැමිණෙන්නට නියමිත කාලය මෙය බව මම දන්නා නමුත්, ඔහු එන්නේ ඔබේ ජාතියෙන් බව මම නොසිතුවෙමි. එතුමාට ළඟා විය හැකි බව දන්නේ නම්, එතුමා හමු වීමට මම යන්නෙමි. එතුමා සමඟ සිටියේ නම් එතුමාගේ පා දෙක සෝදන්නෙමි.“ යනු හේරාක්ලිස් මහ රජ අබු සුෆියාන්ට කීය.

අබු සුෆියාන්ගේ පිරිස එතැනින් ඉවත් කර, රෝමානු හමුදා නායකයන්ට මාලිගාවට එන ලෙස ඇරයුම් කළ හේරාක්ලියස් ඔවුන් ඇතුළු වුවායින් පසු සියලු දොරටු වසන ලෙස අණ කළේය. ඔවුන් ඉදිරියට ගිය මහ රජ, “රෝමානු වරුණි, ඔබට ජයද, යහ මඟද, ඔබේ රාජධානිය ශක්තිමත්ව ස්ථාපනය කරන්නටද  ඕන නම්, මේ නබි වරයාට ගෞරවය දක්වනු.“ යයි ප‍්‍රකාශ කළේය.

රජතුමාගේ කථාව ප‍්‍රිය නොකළ ප‍්‍රධානීන් සභාවෙන් ඉවත යන්නට තැත් කළ නමුත් දොවරල් වසා තිබෙන බව දැක තවත් කලබලයට පත් වූහ. ඔවුන්ගේ ප‍්‍රතික්‍රියාව දුටු හේරාක්ලියස් රජුගේ සිත කලකිරුණි. ඔවුන් හරවා යවන ලෙස සේවකයන්ට අණ කළ රජතුමා, “මම කලින් පැවසුවේ ඔබේ විශ්වාසය පරීක්ෂා කරනු පිණිසයි. දැන් මම එය දැන ගත්තෙමි.“ යයි කීය. රජතුමාගේ කථාවෙන් මහත් සතුටට පත් වූ ඔවුන් සියලු දෙනාම රජතුමා ඉදිරියේ දණ ගසා ආචාර කළහ.

රසූල් (සල්) තුමාගේ ලිපියට සුදුසු පිළිතුරක් හේරාක්ලියස් රජු එවූ නමුත්, ඉස්ලාමයට වඩා රාජාසනය ඔහු ප‍්‍රිය කළේය. ඔහු හා මුස්ලිම්වරු අතර අබු බකර් (රලි) සහ උමර් (රලි) තුමන්ගේ පාලන යුගයේ නොයෙක් වර යුද්ධ පැවැත් වුණු අතර, අවසානයේ  රජය සහ බලය ඔහුට අහිමි විය.

ඔමාන් රටේ රජතුමා, රසූල් (සල්) තුමාගේ ආරාධනාව පිළි ගෙන මුස්ලිම් බවට පත් විය.

නේගුස් සහ මුකව්කිස් රජවරු

රසූල් (සල්) තුමා එවූ නියෝජියන්ට නේගුස් සහ මුකව්කිස් රජවරු ගෞරව යෙන් සැලකූහ. මුකව්කිස් රජතුමා තෑගි බෝග සමඟ වහල් තරුණියන් දෙදෙනෙක් රසූල් (සල්) තුමාට එවීය. රසූල් (සල්) තුමාගේ ඉබ‍්‍රාහීම් නම් පුත‍්‍රයාට උපත දුන් මරියා නම් කාන්තාව එයින් තැනැත්තියකි.

කොස්රොස් රජ

රසූල් (සල්) තුමාගේ ලිපිය කියවා මහත් කෝපයට පත් වූ පර්සියාවේ කොස්රොස් මහ රජ, එය ඉරා වීසි කළේය. “මගේ වහලෙක් වන මේ මිනිසා, මට මෙලෙස ලිපි ලියන්නේ කෙසේදැ?“ යි ඔහු කෝපයෙන් ප‍්‍රශ්න කළේය. කොස්රොස් රජුගේ ප‍්‍රතික්‍රියාව ගැන ආරංචි වූ රසූල් (සල්) තුමා, “ඔහුගේ රාජධානිය අල්ලාහ් එලෙසම ඉරා වීසි කරන්නේය.“ යි කීය.

තමා ඉදිරියට රසූල් (සල්) තුමාව ගෙන එන ලෙස, යෙමන් රටේ බධාන් නම් ආණ්ඩුකාරවරයාට, කොස්රොස් රජ අණ කළේය. බධාන් මෙම වගකීම බබාවයිහ්ට භාර කළේය. බබාවයිහ් මදීනාවෙහි රසූල් (සල්) වෙතට පැමිණ “ඔබව රැගෙන එනු පිණිස පිරිසක් එවන ලෙස බධාන් තුමාට රජ වරුන්ගේ මහ රජ කොස්රොස් තුමා අණ කරයි. එම කටයුත්ත, බධාන් මට භාර කර ඇත.“ යනුවෙන් කීවේය.

එය ඇසු රසූල් (සල්) තුමා, “(කොස්රොස්ගේ පුත‍්‍ර) ශිරාවෙයිහ්ට අල්ලාහ් බලය දී ඇති අතර, ඔහු පියාව ඝාතනය කර අවසානයි.“ යනුවෙන් නියෝජිතයාට දැනුම් දුන්නේය. එය ඇත්තෙන්ම සිදු විය. වසර හාරසියයක් පැරණි සාසනිද්  රාජ්‍ය සුනුවිසුනු කළ අල්ලාහ්, මුස්ලිම් වරුන්ට එහි බලය දුන්නේය. තවද, පර්සියාවේ ජනතාවට ඉස්ලාමය කරා මාර්ගයද අල්ලාහ් විවෘත කර දුන්නේය.

උම්රා අල් කදා

හත් වන හිජ්රි වසර රසූල් (සල්) තුමා උම්රා ඉටු කිරීම පිණිස මුස්ලිම්වරු සමඟ මක්කාවට පිටත් විය. හුදෙයිබියා ගිවිසුමට සහභාගි වූ සහාබා වරුන්ට පමණක් මෙම ගමනේ යන්නට ආරාධනා ලැබුණි. හුදෙයිබියා ගිවිසුමට එකඟව තම අසිපත හැර ඉතිරි ආයුධ සියල්ල ඉවත දමා, මුස්ලිම්වරු දෙදහස් දෙනෙක් මක්කාවට ඇතුළු වූහ. මුස්ලිම්වරු පැමිණෙන බව දැන ගත් විගස, මක්කා කාෆිර්වරු බොහෝ දෙනෙක්, තම නිවෙස් අත හැර දමා, අවට කඳු වලට හෝ මීටියාවතට හෝ ගොස් රැඳී සිටියහ. මුස්ලිම්වරු කඅබාව වටා තවාෆ් කරන දර්ශනය ඔවුන්ට මහත් කනස්සල්ලකි.

මක්කාවට පැමිණි රසූල් (සල්) තුමා සිරුරේ උඩ කොටස ආවරණය කළ ඉහ්රාම් නම් සුදු රෙද්ද කිහිල්ලට යටින් තබා, දකුණු උරහිස විවෘත කොට, කඅබාව වටා වේගයෙන් ඇවිද ගෙන තවාෆ් කරන ලෙස සහාබා වරුන්ට කීය. මුස්ලිම් වරුන්ගේ දැඩි අධිෂ්ඨානය, ජවය සහ සූදානම්භාවය මෙම ගමන් ශෛලියෙන් කාෆිර් වරුන් එදා දින පැහැදිලිව දුටුහ.

මෙය ගැන අල්ලාහ් අල් කුර්ආනයේ මෙසේ පවසයි. “අල්ලාහ් ඔහුගේ රසූල් වරයාගේ සිහිනය සැබෑ කළේය. අල්ලාහ් සිතුවේ නම්, ඔබ ඔබගේ හිස් මුඩු කරන ලදුව, හිසකෙස් කොට කරන ලදුව, ආරක්ෂා සහිතව, පිරිසිදු මස්ජිදයට ඇතුළු වන්නේය, යනුවෙන් දුන් පොරොන්දුව ඉෂ්ට කළේය. එයට පෙර ඉක්මන් විජයග‍්‍රහණයක් සිදු කළේය. ඔබ නොදන්නා සියලු දේ ඔහු දන්නේය.“ 48 : 27

උම්රා කර්තව්‍ය අවසානය වූ පසුව ගිවිසුමට එකඟව මක්කාවෙන් ඉවත යන ලෙස, හතර වන දින කාෆිර් වරුන්ගෙන් දෙදෙනෙක් පැමිණ රසූල් (සල්) තුමාට කීහ. එම තීරණය වෙනස් කිරීමට ඔවුන් කිසිසේත් එකඟ නොවීමෙන්, මක්කාවෙන් පිට වන ලෙස රසූල් (සල්) වරයා සහාබා වරුන්ට දැනුම් දුනි.

කරුණාව දැක්වීමට තරඟය

නවක මුස්ලිම් වරුන්ගේ සිතුවිලි සහ අදහස් සියල්ල ඉස්ලාම් සම්පූර්ණයෙන් වෙනස් කරයි. ජාහිලියියා නම් නුගත් යුගයේ, ගැහැනු දරවන් පිළිකුල් කරන, දුවෙක් ඉපදුනු විගස, ඇය නසා දමන කෲරතම ක්‍රියා සියල්ල ඉස්ලාමයේ අහෝසි වී අවසානයි. ඒ වෙනුවට ගැහැනු ළමයි අගනා සම්පතක් ලෙසද, දූවරුන් හදා වඩා ගැනීම ගෞරවය ගෙන දෙන ක්‍රියාවක් බවද සැලකුණි.

මක්කාවෙන් ඉවත යන්නට සූදානම් වන අවස්ථාවේ, හම්සා (රලි) තුමාගේ කුඩා දියණිය, “මාමේ, මාමේ“ යයි අමතමින් රසූල් (සල්) තුමාගේ පිටුපසින් දිව ගෙන ආවාය. එම දරුවාගේ භාරකාරයා වීමට අලි, ජාෆර් සහ සෙzයිද් (රලි) යන තිදෙනාම ඉදිරිපත් වුහ.

අලි (රලි) එම දරුවාගේ අතින් අල්ලා, “මෙන්න, ඔබේ ලේලි.“ යනුවෙන් පවසා ෆාතිමා (රලි) තුමියට භාර දුන්නේය.

“මම ඇය භාර ගන්නම්. ඇය මගේ බාප්පාගේ දියණිය වන අතර, ඇගේ නැන්දා මගේ බිරිය වේ.“ යයි ජාෆර් (රලි) ඉදිරිපත් විය. මේ අතර “ඇය මගේ (ඉස්ලාමිය සහෝදරත්වයේ) සොයුරාගේ දියණිය වේ.“ යයි සෙzයිද් (රලි) ඉදිරිපත් විය.

“මවගේ සොයුරිය මව හා සමාන වේ.“ යයි පැවසු රසූල් (සල්) තුමා ඒ කුඩා දැරියගේ පුංචි අම්මාට දරුවා භාර කළේය.

අලි (රලි) ගේ සිත සනසන අදහසින්, “ඔබ මගේ කෙනෙක් වන අතර, මමද ඔබෙන් කෙනෙක් වෙමි.“ යයි කීහ. “හැඩයෙන් හා ගති පැවතුමෙන් ඔබ මා හා සමාන වේය.“ යි ජාෆර් (රලි) තුමාට පවසා, සෙzයිද් (රලි) ට “ඔබ මගේ සහෝදරයෙක් වන අතර, මගේ ආරක්ෂාවේ සිටින මව්ලා කෙනෙකි.“ යයි කීහ.

මක්කාවේ සුප‍්‍රසිද්ධ නායකයන් ඉස්ලාමය පිළි ගනිති

රසූල් (සල්) තුමා මදීනාවට හැරී ගොස් ටික කලකින් අම්ර් බින් අල් ආස් (රලි) මුස්ලිම් බවට පත් වී මක්කාවෙන් බැහැර යන්නට තීරණය කළේය. වසර කිහිපයකට පෙර, කුරෙයිෂි වරුන්ගේ නියෝජිතයෙක් ලෙස අබිසීනියාවේ නේගුස් රජතුමා ඉදිරියේ මුස්ලිම් වරුන්ට විරුද්ධව චෝදනා නැගු ඔහුගේ වෑයම අසාර්ථක වීමෙන්, නින්දා සහිතව මක්කාවට හැරී යන්නට ඔහුට සිදු වූ බව කවුරුත් දන්නා කරුණකි.

ඉස්ලාමයට එරෙහිව ආරම්භයේ මෙවැනි පහත් ක්‍රියාවන් හී ඔහු යෙදුනු නමුත්, කාලයකින් නව ආගමේ සත්‍යතාවය ප‍්‍රිය කරන්නටද, පැරණි ආගමෙන් ඉවත් වන්නටද පටන් ගත්තේය. අවසානයේ තම සිත්තුළ සිදු වූ වෙනස ඔහුට වසා තැබිය නොහැකි විය. ඔහුගේ ළඟම මිත‍්‍රයා කාලිද් ඉබ්න් අල් වලිද් වේ. හුදෙයිබියා ගිවිසුම සිදු වූ කාලයේ, අස්ෆාන් නම් ස්ථානයේ රසූල් (සල්) තුමා ඉෂා සලාතය මෙහෙය වන අවස්ථාවේ දී අල් කර්ආනය පාරායනය කරනු ඇසු කාලිද්, එම වාක්‍යයන් කෙරෙහි තම සිත ඇදී යන බව දිටීය. අම්ර් බින් අල් ආස් තම තීරණය රහසිගතව මිත‍්‍රයාට හෙළි කළ විගස, කාලිද් ඉබ්න් අල් වලීද් ඔහු සමඟ මදීනා නුවරට යන්නට සූදානම් විය. ඔවුන් දෙදෙනාම තවත් මිත‍්‍රයෙකු වන උත්මාන් බින් තල්හාට මෙය ගැන දැන් වූ විගස, ඔහුද මිතුරන්ගේ ගමනට එකතු විය. මක්කාවේ ප‍්‍රකට නායකයන් වන මේ තිදෙනාම, අප‍්‍රමාදව මදීනාවට ගොස්, රසූල් (සල්) තුමා ඉදිරියේ ඉස්ලාමය ප‍්‍රකාශ කළහ. ඔවුන්ගේ වෙනස් වීම මුස්ලිම් වරුන්ට මහත් සතුට ගෙන දුනී. අල්ලාහ් කෙරෙහි විශ්වාස තබන ඕනෑම කෙනෙකුගේ පැරණි පාපයන්හට අල්ලාහ් සමාව දෙන බව අවබෝධ වූ කාලිද් ඉබ්න් අල් වලීද් (රලි) සහ අම්ර් බින් අල් ආස් (රලි) මහත් සතුටට පත් වූහ.

මෙවැනි දක්ෂ නායකයින් තිදෙනාම මදීනාවට පැමිණියේ, හුදෙයිබියාවේ සිදු වූ ගිවිසුමේ ප‍්‍රතිඵලයක් වශයෙන් බව කවුරුත් දැන ගත යුතුයි.

මූතා පෙදෙස කරා යෑම

ඝාතනයක් සිදු වේ

අරාබි දේශය තුළ ඉස්ලාමය සීරුවෙන් පැතිරී ගෙන යෑම දුටු යුදෙව්වරු, මදීනාවේ මුනාෆික්වරු සහ මක්කාවේ කාෆිර්වරු යන සතුරු පිරිස මහත් කනස්සලට පත් වුහ. අරාබි ජනතාව ඉස්ලාමයට එරෙහිව නැගී සිටීමට අපොහොසත් වන බව දන්නා ඔවුන්, රෝමානු සහ පර්සියානු විදේශ අධිරාජ්‍ය මගින් එම කටයුත්ත ඉටු කර ගන්නට කුමන්ත‍්‍රණ කළහ. ඇතැම් විදේශ රජ වරු රසූල් (සල්) තුමාගේ සංදේශයට ගෞරවයෙන් ප‍්‍රතිචාර තළහ. තවත් කිහිප දෙනෙක් තම අප‍්‍රියතාවය සහ සතුරුකම ප‍්‍රකාශ කළෝය. කවදා හෝ මෙම විදේශ රජ වරු, අරාබි දේශයට පහර දෙන්නේ නම්, රට තුළ සිටින සතුරු පිරිසද මුස්ලිම් වරුන්ට එරෙහිව නැගී සිටියහොත්, විශාල හානියක් සිදුකළ හැකි නිසා, මෙය මහත් අයහපත් තත්ත්වයකි.

රෝමානු අධිරාජයට අයත් බුස්රා පළාතේ ආණ්ඩුකාර වරයා ශුරෙයිහිබිල් ඉබ්න් අම්ර් අල් ගස්සානි වෙතට, හාරිත් බින් උමෙයිර් අzස්දි (රලි) තුමාව රසූල් (සල්) තුමා සංදේශක වරයෙක් වශයෙන් එවීය. හාරිත් බින් උමෙයිර් අzස්දි (රලි), මුහම්මද් (සල්) තුමා ගෙන් පැමිණි බව දැන ගත් විගස, මහත් කෝපයට පත් වූ ශුරෙයිහිබිල්, එතුමාව සිර භාරයට ගෙන, එතුමාගේ හිස කපා දමන ලෙස අණ කළේය. රට තුළට පැමිණි තානාපති හෝ නියෝජිතයෙකුට අතවර කිරීම, මෙයට පෙර සිදු නොවු දුෂ්ට ක්‍රියාවකි. ශුරෙයිහිබිල්ගේ මෙම ප‍්‍රචණ්ඩ ක්‍රියාවට සුදුසු පියවරක් නොගත්තේ නම්, නියෝජිතයන්ට අනාගතයේ මහත් අනතුරු සිදු විය හැක. තවද, නියෝජිතයෙකු මරා දැමීම, සංදේශය එවූ තැනැත්තාට කළ  අපකීර්තියකි. එනිසා සීමාව ඉක්ම වූ ඔහුට සුදුසු දඬුවමක් ලැබිය යුතුය.

ප‍්‍රතිවිපාකය

8 වන හිජ්රි වසර ජුමාදා අල් අව්වල් මස,  සෙzයිද් ඉබ්න් හාරිත් (රලි) ගේ නායකත්වය යටතේ මුහාජිර්වරු සහ අන්සාර්වරු තුන් දහස් දෙනෙකු ගෙන් සමන්විත සේනාවක් රසූල් (සල්) තුමා වහාම සූදානම් කළේය. එම සටනේ සෙzයිද් ඉබ්න් හාරිත් (රලි) මරණයට පත් වූයේ නම්, ජාෆර් බින් අබි තාලිබ් (රලි) නායකත්වය භාර ගත යුතුයි. ඔහු මරණයට පත් වූයේ නම්, අබ්දුල්ලාහ් බින් රවාහා (රලි) සේනාවේ නායකයා විය යුතුයි. ඔහුද මරණයට ලක් වූයේ නම්, තමන් කැමති කෙනෙක් නායකත්වයට මුස්ලිම්වරු තෝරා පත් කර ගත හැක යනුවෙන් රසූල් (සල්) තුමා දීර්ඝව උපදෙස් දුනී. සේනාව ගමන ආරම්භ කළ විට, එතුමාද ඔවුන් සමඟ මද දුරක් පයින් ඇවිද ගෙන ගියහ. ශක්තිමත් අධිරාජ්‍යක ආරක්ෂාව යටතේ සිටිනා සතුරාට එරෙහිව ගමන් කළ මුස්ලිම් සේනාවට මදීනා වාසීන් ආදරයෙන් සමු දුන්හ.

කැප වූ සටන්කරුවෝ

මආන් නම් ස්ථානයට පැමිණි විට, රෝමානු සෙබළු එක් ලක්ෂයක්ද, අරාබි ගෝත‍්‍රයන්ට අයත් එය හා සමාන ප‍්‍රමාණයේ සේනාවක්ද රැස් කර ගෙන, හේරාක්ලියස් මහ රජ බල්කා නම් ස්ථානයට පැමිණ සිටින බවට දැන ගන්නට ලැබුණි. උදා වූ තත්ත්වය ගැන සාකච්ඡා කර තීරණයක් ගනු පිණිස, මුස්ලිම් වරු මආන් හී දින දෙකක් රැඳී සිටියහ.

“සතුරු සේනාවේ සංඛ්‍යාව ගැන විස්තර දන්වා, රසූල් (සල්) තුමාට ලිපියක් එවමු. එතුමා අපේ සහායට අමතර පිරිසක් එවිය හැක. නැතහොත් අපට ඉදිරියට යන ලෙස අණ කරනු ඇත. එයට එකඟව ක්‍රියා කරමු.“ යයි ඇතැම් සහාබාවරු යෝජනා ඉදිරිපත් කළහ.

අබ්දුල්ලාහ් ඉබ්නු රවාහා (රලි) ශබ්ද නගා මෙසේ කීය. “ජනතාවනී, අල්ලාහ්ගේ නාමයෙන් දිවුරා කියමි. ඔබ සැම මෙහි පැමිණියේ ශහීද් නම් වීර මරණය සොයාගෙනයි. සතුරා සමඟ අපි සටන් කරන්නේ, අපේ සෙබළු සංඛ්‍යාව හෝ අපේ ශක්තිය පදනම් කර ගෙන නොවෙයි. අපි සටන් කරන්නේ අල්ලාහ් අපට ගෞරවය දුන් ආගමෙන් පමණි. හේරාක්ලියස් වෙතට යමු. ජය හෝ ශහීද් මරණය යන දෙකෙන් කුමක් ලැබුණත් අපි ජය ගන්නා බව නිසැකයි.“

මේ කථාවට සවන් දුන් සෙzයිද් ඉබ්න් හාරිත් (රලි), එක අතේ හීයක්ද අනිත් අතේ ධජයද රැගෙන සිට ගත් විට, මුස්ලිම් හමුදාව දැඩි අධිෂ්ඨානයකින් ඔහු සමඟ ඉදිරියට ගමන් කළහ. මුතා නම් පෙදෙසෙහි විශාල යුද පිටියක, තුන් දහසකින් සමන්විත මුස්ලිම් සේනාව එක් ලක්ෂයකට අධික, උපරිම ආයුධ රැගත් සතුරු සේනාව හා සටනේ යෙදුණහ. කාලිද් ඉබ්න් අල් වලීද් (රලි) මුස්ලිම් සේනාවේ ප‍්‍රථම වරට සහභාගි වූ අතර, ක්‍රිස්තියානු සේනාව සමඟ මුස්ලිම්වරු සටන් කළ ප‍්‍රථම අවස්ථාවද මෙය වේ.

රසූල් (සල්) ගේ ධජය ඔසවා ගත් සෙzයිද් ඉබ්න් හාරිත් (රලි), නිර්භීත ලෙස සටන් කර, අවසානයේ ශහීද් නම් මරණය ලැබීය. තිස් තුන් හැවිරිදි ජාෆර් ඉබ්න් අබි තාලිබ් (රලි) එම ධජය අතට රැගෙන, නිර්භීතව සටන් කළේය. එක් අවස්ථාවක, සතුරු සේනාව මැද තනි වීමෙන්, තම අශ්වයාගෙන් බිමට පැන,  සටන් කරමින් ඉදිරියට ගමන් කළ විට, එතුමාගේ දකුණු අත කැපුණි. වහාම ධජය වමතින් රැගෙන ගමන් කළ විට, ඒ අතද සතුරන් විසින් කපා දමන ලදී. එවිට තම දෑතේ ඉතිරි කොටසින් ධජය පපුවට තද කර ගෙන ඉදිරියට ගියේය. අවසානයේ එතුමා සතුරන් විසින් මරා දමනු ලැබීය. එතුමාගේ සිරුරේ ඉදිරි පසෙහි තුවාල අනුවක් පමණ තිබුණු නමුත්, පිටුපස එක තුවාලයක් වුවද දක්නට නොතිබුණි.

ජාෆර් (රලි) ගෙන් පසුව, අබ්දුල්ලාහ් ඉබ්න් රවාහා (රලි) මුස්ලිම් වරුන්ගේ ධජය ඔසවා ගෙන නිර්භිතව ඉදිරියට ඇදුනි. සටන පටන් ගත් මොහොත සිට කිසිදු ආහාරයක් නොගත් ඔහු, සතුරු සේනාවෙන් කිහිප දෙනෙක් මරා දමා, අවසානයේ  ශහීද් නම් මරණයට පත් විය.

හමුදාපති කාලිද් ඉබ්න් අල් වලීද් (රලි)

රසූල් (සල්) තුමා පත් කළ හමුදාපතිවරු තිදෙනාම ශහීද් වීමෙන් පසු, සුදුසු හමුදාපති කෙනෙක් තෝරා පත් කර ගැනීමේ වගකීම මුස්ලිම් හමුදාවට පැවරුණි. ඔවුන් කාලිද් ඉබ්න් අල් වලීද් (රලි) නායකයා ලෙස ඒකමතිකව තෝරා ගත්හ. දක්ෂ යුද ශූරයෙක් යන කීර්තිය හිමි ඔහු නායකත්වය භාරගත් විගස, ධජය අතට රැගෙන මුස්ලිම් සේනාවට නව සැලැස්මක් දුනී. නුවණැතිව ක්‍රියා කළ මෙම සැලැස්මට එකඟව, මුස්ලිම්වරු සතුරන් මැදට ගොස් මහත් ඝෝෂා නගමින් වෙරවීර්යයෙන් සටන් කළහ. වමෙන් හා දකුණෙන්, ඉදිරි පසින් හා පිටු පසින් සිටි සෙබළුන් සටන් බිමේ අවශ්‍යතාවය අනුව කාලිද් ඉබ්න් අල් වලීද් (රලි) වෙනස් කළේය. මෙම උපක‍්‍රමයෙන්, මොහොතෙන් මොහොතට අලුත් මුස්ලිම් වීරයෙක් තම ඉදිරියේ සිට ගෙන සටන් කරනු දුටු රෝමානු උපනායකයෝ සහ සෙබළුන් මහත් සේ  අවුල් වූහ. මුස්ලිම් වරුන්ට පක්ෂව සටන් කිරීමට විශාල සේනාවක් අලුතෙන් පැමිණ සිටින බව සිතු රෝමානු හමුදා නායකයෝද ඔවුන්ගේ සෙබළුන්ද මහත් භීතියට පත් වූහ.

කාලිද් (රලි) විදුලි වේගයෙන් සතුරන් මැදට පැන ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මරුමුවට පත් කළේය. එදා දින සටනේදී, ඔහු උපයෝගි කළ කඩු හතක් කැඩී යෑමෙන් ඔහු සටන් කළ ආකාරය සිතා ගත හැක. ඔහුගේ නායකත්වය යටතේ සටන් කළ මුස්ලිම් වීරයන්ට මුහුණු දීමට, උපරිම ආයුධසන්නද්ධ වූ  එක් ලක්ෂ රෝමානු හමුදාවට කොහෙත්ම නොහැකි විය. රණ බිමේ කාලිද් (රලි) තුමා දැක් වූ දක්ෂතාව ගැන ඇසු රෝමානු නායකයෝ, සිත් කලකිරීමට පත් වූ සෙබළු සමඟ රාති‍්‍ර අඳුරේ රණ බිමෙන් පලා ගියහ.

පසු දින උදය යුද්ධ පිටියේ රෝමානු සෙබළුන්ගේ මළ සිරුරු සහ පලා යන විට ඔවුන් අත හැර දමා ගිය භාණ්ඩ හා ආයුධ පමණක් දක්නට තිබුණි.

කාලිද් (රලි) සයිෆුල්ලාහ්

කාලිද් (රලි) ගේ නායකත්වය හා රණබිමේ එතුමා දැක් වූ දක්ෂතාවය සැවෝම ප‍්‍රසංශා කළ අතර, අල්ලාහ් ගෙන් සහ රසූල් (සල්) තුමාගෙන් ඔහුට සයිෆුල්ලාහ් එනම් අල්ලාහ්ගේ අසිපත යන ගෞරව නාමයද හිමි විය. මුතා සටන සිදු වූ දින, රසූල් (සල්) තුමා සැතපුම් සිය ගණනක් ඈත මදීනාවෙහි සිටින ජනතාවට රණබිමේ විස්තර දැන් වූ බව අනස් ඉබ්න් මාලික් (රලි) වාර්තා කරයි. “මුස්ලිම් සේනාව සතුරන් හා සටනේ යෙදුනහ. සෙ:zයිද් (රලි) ධජය රැගෙන ශහීද් වූ අතර, අල්ලාහ් ඔහුට ක්ෂමා කළේය. ජාෆර් ධජය රැගෙන ඔහුද වැටුණේය. අල්ලාහ් ඔහුටද ක්ෂමා කළේය. ඉන් පසුව අබ්දුල්ලාහ් ඉබ්න් රවාහා ධජය ඔසවා ගත් නමුත්, ඔහුද ශහීද් විය.“

මේ ලෙස විස්තර පවසන විට, එතුමගේ දෑසෙන් කඳුළු සැලුනි. “මුස්ලිම් වරුන්ට අල්ලාහ් ජයග‍්‍රහණය දෙන තුරු, (අල්ලාහ්ගේ අසිපත) “සයිෆුල්ලාහ්“ ධජය ඔසවා ගත්තේය.“ යයි එතුමා පවසා අවසන් කළේය. එදින පටන්, කාලිද් ඉබ්න් අල් වලීද් (රලි) තුමා අල්ලාහ්ගේ අසිපත යන සයිෆුල්ලාහ් ලෙස හඳුන් වනු ලැබීය. ජය ලැබු මුස්ලිම් සේනාව සමඟ කාලිද් (රලි) මදීනාවට හැරී පැමිණි විට, රසූල් (සල්) තුමා සහ මදීනා වාසීන්, මදීනා නුවරෙන් බැහැර ගොස් ඔවුන් සාදරයෙන් පිළිගත්හ.

තවද, ජාෆර් (රලි) ගේ කපා හරින ලද දෑත් වෙනුවෙන් අල්ලාහ් තටු (පක්ෂි පත‍්‍ර) දෙකක් සපයා ඇති බවද, ඒවායේ ආධාරයෙන් ස්වර්ගයේ  ඕනෑම තැනට ඔහුට පියාඹා ගිය හැකි බවද රසූල් (සල්) තුමා දැන්විය. එදා පටන්, ජාෆර් අල් තයියාර් (පියාඹන ජාෆර්) යනුවෙන්ද දුල් ජනාහෙයින් (තටු දෙකක් සහිත කෙනෙක්) යනුවෙන්ද ඔහු හඳුන්වනු ලැබීය.

මුස්ලිම් සේනාව, තීරණාත්මක ජයග‍්‍රහණයක් නොලැබ හැරී පැමිණි ප‍්‍රථම අවස්ථාව එය වේ. මේගැන මදීනාවේ ඇතැම් අය මුස්ලිම් සේනාවට දොස් පැවරු නමුත්, “ඉන්ෂා අල්ලාහ්. ඔවුන් ආපසු හැරී පැමිණියේ යළි සටන් කරනු පිණිසය.“ යි රසූල් (සල්) තුමා පැවසීය. මුතා සටනින් පසුව මදීනාවට කාෆිර් වරුන්ගේ තර්ජන කිහිපයක් එල්ලවූ නමුත්, අවසානයේ මුස්ලිම් සේනාව ඔවුන් සියල්ල පරාජයට පත්කර ජය ගත්හ.

මක්කාව ජය ගැනීම

සූදානම් කිරීම

මුස්ලිම් වරුන්ගේ හදවතෙහි ඉස්ලාමය ස්ථීරව තහවුරු වීමෙන් පසුව, රසූල් (සල්) තුමාට සහ මුස්ලිම් සමාජයට මක්කාවට ඇතුළු වීම සඳහා අල්ලාහ්ගේ අනුමැතිය ලැබුණි. කඅබාව ශූද්ධ පවිත‍්‍ර කර, ආශීර්වාද ලැබු දේව ස්ථානයක් බවටද, මක්කා නගරය උසස් තත්ත්වයටද සියලු ජනතාවට ආරක්ෂා දෙන ස්ථානයක් බවටද මුළු ලොවට ආපසු දීමට අවස්ථාව එළඹුණි.

කාෆිර්වරු ගිවිසුම කඩ කරති

හුදෙයිබියා සාම ගිවිසුමෙන් පසු, මුස්ලිම්වරු හෝ කුරෙයිෂිවරු හෝ සමඟ අරාබියේ  ඕනෑම ගෝත‍්‍රයකට සාම ගිවිසුමක් අත්සන් කළ හැකි විය. මෙයට එකඟව බනු බක්ර් ගෝත‍්‍රය කුරෙයිෂිවරු සමඟද, බනු කුzස්zසා ගෝත‍්‍රය රසූල් (සල්) තුමා සමඟද ගිවිසුම් කර ගැනීමෙන්, වසර දහයකට ඔවුන්ට ගැටුම් සිදු කිරීම තහනම් විය. මෙම ගිවිසුමෙන් පසුව, ඔවුනතර වසර ගණනාවක් තිබුණු සටන් අවසන් වී එක්තරා සාමයක් පැවතුණි.

එයට අමතරව අරාබි දේශයට ඉස්ලාම් පැමිණීමෙන්, එහි සියලු ගෝත‍්‍රිකයින් ඉස්ලාමයට එරෙහිව තම අවධානය යොමු කළ හේතුවෙන්, තම අභ්‍යන්තර ගැටුම් සියල්ල තාවකාලිව අමතක කර සිටි නමුත්, ඔවුන් තුළ සාමය කෙරෙහි වැඩි ආශාවක් නොතිබුණි. හුදෙයිබියා ගිවිසුමෙන් පසුව පැරණි ක්‍රෝධය මත බනු කුzස්zසා ගෝත‍්‍රයට පහර දීමට බනු බක්ර් වරුන්ට දවසක් අවස්ථාවක් ලැබුණි. බනු කුzස්zසා ගෝත‍්‍රයට අයත් පිරිසක් ක්ෂේම භූමියක් අසල කූඩාරම් තනා ලැගුම්ගෙන සිටිය දී, බනු බක්ර් ගෝත‍්‍රය ඔවුන්ට පහර දී, ඔවුන්ගේ කිහිප දෙනෙකු ඝාතනය කළහ. එම අවස්ථාවේ සමහර කුරෙයිෂි නායකයෝ බනු බකර් වරුන්ට අයුධ සපයා, අරගලයේ ඔවුන්ට පක්ෂව සහභාගි වුහ.

අසාධාරණ ලෙස පහර කෑමට ලක් වූ බනු කුzස්zසා ජනතාව රැකවරණය පතා කඅබාව (හරම්) පෙදෙසට දුව ගෙන ආ විට, ඔවුන් ලුහු බැඳ ගෙන ගිය පිරිස අතර වූ ඇතැම් කුරෙයිෂිවරු “අපි හරම් සිමාව තුළ සිටිමු. ඔබේ දෙවිවරු (පිළිම) ගැන ප‍්‍රවේශම්වනු.“ යනුවෙන් අවවාද කළ නමුත්, තවත් කුරෙයිෂිවරු කිහිප දෙනෙක්, “බනු බක්ර් ජනතාවනි, අද දින දෙවිවරු කිසිවෙක් නැත. මෙවැනි කදිම අවස්ථාවක් ඔබට නැවත ලැබෙන්නේ නැත. එනිසා පහර දෙනු.“ යයි දුර දිග කල්පනා නොකර පැවසීමෙන් අනතුරුව, කඅබා අවට බනු කුzස්zසා වරුන් තවත් කිහිප දෙනෙක් මරණයට පත් වූහ. කඅබාව සැවෝටම අභය භූමියක් වන හෙයින්, මෙය සම්පූර්ණයෙන් තහනම් ක්‍රියාවකි.

සහාය පැතීම

දින කිහිපයකින් බනු කුzස්zසා ගෝත‍්‍රයට අයත් අම්ර් බින් සාලිම් මදීනාවෙහි රසූල් (සල්) වෙතට පැමිණ, මුස්ලිම්වරු සහ බනු කුzස්zසා ජනතාව අතර පවතින සමගිය ගැනද, තම පිරිසට සිදු වූ ජීවිත හානිය ගැනද කවි පද කිහිපයකින් පැමිණිලි කළේය.

“ඔබට සහාය දෙනු ලැබේය“ යි ඔහුට රසූල් (සල්) තුමා පොරොන්දු විය. ඔවුන් මදීනාවෙන් බැහැර යන අවස්ථවේදී, “ගිවිසුම අලුත් කර, එය තහවුරු කිරීම සඳහා අබු සුෆියාන් මක්කාවෙන් පිටත් විය. එහෙත් එය අසාර්ථක වෙයි.“ යනු එතුමා සඳහන් කළේය.

තම සමාජයට අයත් ඇතැතම් අය කළ මැරවර ක්‍රියාවේ බරපතළකම ගැන වටහා ගත් කුරෙයිෂිවරු, එහි ප‍්‍රතිවිඵාකය කුමක්වේ දැයි බියට පත් ව, රසූල් (සල්) තුමා පැවසු අයුරින් ගිවිසුම අලුත් කරනු පිණිස අබු සුෆියාන්ව මදීනාවට එවුහ.

රසූල් (සල්) තුමා හමුවීමට මදීනාවට පැමිණි අබු සුෆියාන්, එතුමා හා විවාහ වූ තම දියණිය වන උම් හබීබා (රලි) තුමිය හමුවීමට ගියේය. එහිදී රසූල් (සල්) තුමා නිතර වාඩි වන ආතිරිල්ල මත ඔහු වාඩි වූ විට, එතුමිය ඔහු නැගිටුවා, ඇතිරිල්ල ඉවත් කර ඔතා දැමුවාය.

මවිතයට පත් වූ අබු සුෆියාන්, “දුවේ, මේ ඇතිරිල්ල මට සුදුසු නැති බව ඔබ සිතුවාද, නැත්නම් මම එයට සුදුසු නැති බව ඔබ සිතුවාද?“ යි විමසීය.

“මෙය අල්ලාහ්ගේ රසූල් (සල්) තුමාගේ ඇතිරිල්ලයි. ඔබ වැනි පිළිම වන්දනා කරුවෙක් එය මත වාඩිවනවාට මම අකැමතිය.“ යි එතුමිය පිළිතුරු දුන්නාය.

“මගෙන් වෙන්ව පැමිණි පසු, ඔබ හොඳටම නරක්වෙලාය.“ යි ඔහ කෝපයෙන් කීය.

මදීනාවෙහි අබු සුෆියාන්

රසූල් (සල්) තුමා හමු වී ගිවිසුම ගැන කථා කිරීමට නොයෙක් වාරයක් අබු සුෆියාන් උත්සාහ කළ නමුත් ඔහුට එය අපොහොසත් විය. අබු බකර් (රලි), උමර් (රලි), අලි (රලි) යන අයගෙන් සාර්ථක වදනක් බලාපොරොත්තු වූ නමුත්, එයින්ද පලක් සිදු නොවීමෙන්, ගත යුතු පියවර ගැන මහත් අවුලට පත් වූ ඔහු, මක්කාවට හැරී ගියේය. මේ අතර විශාල සේනාවක් සූදානම් කරන ලෙසද, එහි සියලු විස්තර රහසිගතව තබා ගන්නා ලෙසද රසූල් (සල්) තුමා නියෝග කළේය. තම ගමනේ ඉලක්කය කොහේදැයි කිසිවෙක් නොදැන සිටි අතර, මක්කා වාසීන් බලාපොරොත්තු නොවූ මොහොතක එහි පැමිණීමට රසූල් (සල්) තුමාට අවශ්‍ය විය.

“යා අල්ලාහ්, බලාපොරොත්තු නොවු ආකාරයට මක්කාවට ළඟා වීම පිණිස ඔවුන්ට ඔත්තු සපයන්නන් වලකිනු මැනවි.“ යයි එතුමා ප‍්‍රාර්ථනා කර, දසදහස් දෙනෙකුගෙන් යුත් සේනාවක් රැගෙන 8 වන හිජ්රි වසර, රමදාන් මස ගමන ආරම්භ කළේය.  අබු සුෆියාන්ගේ ගමන අසාර්ථක වීමෙන් කලකිරීමට පත් වූ මක්කා වාසීන්, මුස්ලිම් වරුන්ගේ නව පියවර කුමක්දැයි නොදැන මහත් අසහනයෙන් පසු වූහ. මේ අතර, රසූල් (සල්) තුමාගේ බාප්පා වන අබ්බාස් බින් අබ්දුල් මුත්තලිබ් මුස්ලිම් බවට පත් වූ තම බිරිය හා දරුවන් රැගෙන, මක්කාව සිට මදීනා නුවරට ගමන් කළේය. මගදී මේ පිරිස මුහුණ ගැසු රසූල් (සල්) තුමා, අබ්බාස් (රලි) ගේ පවුලේ සාමාජිකයන් මදීනාවට පිටත් කර එවා, අබ්බාස් (රලි) මක්කාවට රැගෙන ගියේය.

වේගයෙන් ගමන් කළ මුස්ලිම් සේනාව, මක්කාවේ සිට සැතපුම් අටක් දුරක පිහිටි මර් අස්z සzහ්රාන් නම් ස්ථානයේදී නැවතී විවේක ගත් නමුත්, මේ කිසිවක් මක්කා වැසියෝ නොදනි. ඔවුන් ප‍්‍රථම වරට මෙම සේනාව ගැන දැන ගත්තේ, කාන්තාරයේ එළුවන් බලාගන්නා ඇතැම් අය, රාත‍්‍රියේ මක්කාවට දුව ගොස් දැන් වූ විටයි. ඉන් අනතුරුව, අබු සුෆියාන් ඉබ්න් අල් හර්බ් මේ ගැන තොරතුරු සොයන්නට වහාම පිටත් විය. මේ අතර, රාත‍්‍රි කාලයේ මුස්ලිම් සේනාවට සතුරන් පහර දීම වැළැක්වීම පිණිස. උමර් (රලි) යටතේ පිරිසක් ආරක්ෂා කටයුතු සඳහා නිරතවී සිටියහ.

අබු සුෆියාන් ඉබ්න් අල් හර්බ් ඉස්ලාමය පිළිගනී

මක්කාවේ සිටින තම ඥාතීන් සහ මුස්ලිම්වරු පිළිබඳව සිත්තැවිල්ලට පත් වී, ඔවුන්ද ඉස්ලාමය පිළි ගෙන ආරක්ෂා ලැබිය යුතුයයි පැතූ අල් අබ්බාස් (රලි) එදා රාත‍්‍රියේ මක්කා නගරය දෙසට ඇදුණේය. රාත‍්‍රි කාලයේ සෑම කූඩාරමක් අසලම ආලෝකය සඳහා ගිනි දල්වන ලෙස රසූල් (සල්) තුමා නියෝග කළේය. ඔත්තු සෙවීමට පැමිණ සැඟ වී සිටි අබු සුෆියාන් මෙම දර්ශනය දැක තිගැස්සී, “මෙතරම් විශාල සේනාවක් හෝ මෙතරම් ප‍්‍රමාණයේ ගින්නක් හෝ මම කිසි කලක දුටුවේ නැත.“ යයි මවිතයට පත් විය.

අබු සුෆියාන්ගේ කට හඬින් ඔහුව හඳුනාගත් අල් අබ්බාස් (රලි), “රසූල් (සල්) තුමා සේනාව සමඟ පැමිණ සිටිනවා. කුරෙයිෂිවරුන්ට කෙතරම් භයානක උදෑසනයක් හෙට උදාවේදැ?“යි ප‍්‍රශ්න කළේය. මෙයින් අබු සුෆියාන් මහත් බියට පත් ව, අල් අබ්බාස්ට ලංවී, ඔහුගෙන් උපදෙස් පැතීය.

“කොටළුවා මත මා පිටුපස වාඩිවනු. මේ මොහොතේ ඔබට ආරක්ෂාව සැපයීමට හැකි එකම තැනැත්තා රසූල් (සල්) තුමා පමණි.“ යනුවෙන් අල් අබ්බාස් පැවසු විගස, අබු සුෆියාන්ද එලෙස වාඩිවිය. මුස්ලිම්වරු දුටුවහොත් අබු සුෆියාන්ට මරණය සිදු විය හැකි බව බිය වූ අබ්බාස් (රලි), රසූල් (සල්) තුමා වෙතට තම අමුත්තා සමඟ වේගයෙන් ගියේය.

රසූල් (සල්) වෙත ඉදිරිපත් කළ අබු සුෆියාන් ගෙන්, “ඔබට විනාශය හිමි වේවා අබු සුෆියාන්, අල්ලාහ් හැර අන් දෙවි කෙනෙක් නැති බව විශ්වාස කරන අවස්ථාව ඔබට තවම එළඹුණේ නැද්ද?“ යයි රසූල් (සල්) තුමා ඔහුගෙන් ප‍්‍රශ්න කළේය.

“ඔබ කෙතරම් කරුණාවන්තද, ආචාර හීලිද, අල්ලාහ් හැර තවත් දෙවි කෙනෙක් සිටින්නේ නම්, ඔහු අද මට උදව් කරනු ඇත.“ යනුවෙන් අබු සුෆියාන් පිළිතුරු දුනී. “ඔබට විනාශය සිදු වෙයි අබු සුෆියාන්, මම අල්ලාහ්ගේ රසූල් වරයෙකු බවට විශ්වාස කරන අවස්ථාව තවම ඔබට පැමිණියේ නැද්ද?“ යනුවෙන් රසූල් (සල්) තුමා ඔහුගෙන් නැවත ප‍්‍රශ්න කළේය.

“මගේ මව සහ පියා ඔබට කැප කරමි. ඔබ කෙතරම් කරුණාවන්තද, කෙතරම් ත්‍යාගශීලීද, අල්ලාහ්ගේ නාමයෙන් දිවුරමි. එය ගැන නම් මට තවම සැකයක් තිබෙනවාය.“යි  අබු සුෆියාන් පිළිතුරු දුනී. එවිට අල් අබ්බාස් (රලි) මැදිහත් වී, “නුඹට විනාශය සිදු වේවා අබු සුෆියාන්. අල්ලාහ් හැර අන් දෙවි කෙනෙක් නැති බවට සහ මුහම්මද් අල්ලාහ්ගේ රසූල් වරයෙකු බවට ෂහාදා කියා, නුඹේ හිස නැති වී යන්නට පෙර මුස්ලිම් කෙනෙක් වනු.“ යයි ඔහුට උපදෙස් දුනී. අබු සුෆියාන්ට එදා රාත්‍රිය අල් අබ්බාස් (රලි) සමඟ නැවති, විවේක ගන්නා ලෙස රසූල් (සල්) තුමා පැවසීය. පසු දින උදය රසූල් (සල්) තුමා ඉදිරියට පැමිණි අබු සුෆියාන් සිය කැමැත්තෙන් මුස්ලිම් බවට පත් විය.

අබු සුෆියාන් ගරු කරනු ලබයි

අල් අබ්බාස් (රලි) පැමිණ, “අබු සුෆියාන් පුරසාරම් දොඩවන්නට කැමති කෙනෙක්. එනිසා, ඔහුට ඒ සඳහා අවස්ථාවක් සලසා දිය හැකිදැ?“යි රසූල් (සල්) තුමා ගෙන් විමසීය. එයට එකඟවී, “මස්ජිදයට ඇතුළු වන කෙනෙක් ආරක්ෂා ලබන්නේය. අබු සුෆියාන්ගේ නිවස තුළට ඇතුළු වන කෙනෙක් ආරක්ෂා ලබන්නේය. තම තමන්ගේ  නිවෙස් තුළට ගොස් දොර වසා ගන්නා අය ආරක්ෂා ලබන්නෝය.“ යනුවෙන් රසූල් (සල්) තුමා ප‍්‍රකාශ කළහ.

ඉස්ලාමයේ බලය අබු සුෆියාන්ට පෙන් වීමට අදහස් කළ රසූල් (සල්) තුමා, සේනාව ගමන් කරන මාර්ගය අසලට ඔහුව රැගෙන යන ලෙස අල් අබ්බාස් (රලි) තුමාට කීවේය.

විවිධ ගෝත‍්‍රයන් ගෙන් සමන්විත මුස්ලිම් සේනාව, මුහුදු රැල්ල මෙන් තම තමන්ගේ ධජය යටතේ ගමන් කරන දර්ශනය දුටු අබු සුෆියාන් මවිතයට පත් විය. යම් ගෝත‍්‍රයට අයත් ධජයක් පසුකර ගෙනු යනු දුටුවේ නම්, ඔවුන් කවුරුන්දැයි අබු සුෆියාන් විමසයි. අල් අබ්බාස් (රලි) එම ගෝත‍්‍රයේ විස්තර පැවසු විට, “මට එයින් ඇති වැඩක් නැත.“ යනවෙන් කට ඇතුලෙන් අබු සුෆියාන් කියයි. අවසානව, කොළ පැහැති යුද්ධ ආවරණයෙන් සම්පූර්ණයෙන් සැරසී, ගමන් කරන රසූල් (සල්) තුමාගේ සේනාව ඔහු දුටීය. එය මුහාජිර්වරු සහ අන්සාර්වරුන් ගෙන් සමන්විත බල ඇනිය වේ. ඔවුන්ගේ ඇඳුම සහ හිස් වැස්ම නිසා, ඔහුට පෙනුනේ ඔවුන්ගේ දෑස් පමණි. ඔවුන් දැක තිගැස්සුනු අබු සුෆියාන්, “සුබ්හානල්ලාහ්. (සියලු කීර්තිය අල්ලාහ්ට හිමිවේවා) අල් අබ්බාස් මේ පිරිස කවුදැ?“ යි විමසුවේය.

“මේ තමයි මුහාජිර්වරු සහ අන්සාර්වරු සමඟ යන අල්ලාහ්ගේ රසූල් (සල්) තුමා.“ යනුවෙන් පිළිතුරු ලැබුණි.

“ඔවුන්ට එරෙහිව කිසිවෙකුට බලයක් හෝ සටන් කිරීමක් නැත. අල්ලාහ් මත දිවුරා කියමි අබු අල් ෆද්ල්, ඔබේ සහෝදරයාගේ පුත්‍රයාගේ බලය ඇත්ත වශයෙන්ම ඉහළ නැගී ඇත.“ යයි අබු සුෆියාන් කීවේය.

“අබු සුෆියාන් මෙය රාජ්‍ය බලයක් නොව, නබිත්වය.“යි අබ්බාස් පැවසීය.

“එසේ නම්, එය තවත් කදිමයි.“ යනු පිළිතුරු දුන් අබු සුෆියාන්, වේගයෙන් ගමන් කර, මක්කාවට ඇතුළු වී, ශබ්ද නගා “කුරෙයිෂිවරුණි, ඔබට මුහුණ දිය නොහැකි බලය සහිතව පැමිණෙන්නේ මුහම්මද්ය. ඉතා ශක්තිමක් දසදහස් දෙනෙක් ඔහු සමඟ සිටිති. මගේ නිවසට ඇතුළු වන කෙනෙක් ආරක්ෂාව ලබන බව ඔහු මට පවසයි.“ යනු දැන්විය. “අල්ලාහ් ඔබ මරා දැමිය යුතුය. ඔබේ නිවසින් අපට ඇති ඵල කුමක්ද?“ යි සමහරු ඔහු ගෙන් ඇසීය.

“මස්ජියට ඇතුළුවන අයද ආරක්ෂා ලබන්නෝය. තමන්ගේ නිවෙස් තුළට ගොස් දොර වසා ගන්නා අයද ආරක්ෂා ලබන්නෝය.“ යනුවෙන් ඔහු ශබ්ද නගා දැන්විය. රැස්ව සිටි මක්කා වාසීන් විසිරී ගොස් තම නිවෙස් තුළට හෝ මස්ජිදයට ඇතුළු වූහ.

නිහතමානි ජයග‍්‍රහණයක්

අට වන හිජ්රි වසර රමදාන් මස විසි වන දින සිකුරාදා උදය, අල්ලාහ්ගේ රසූල් (සල්) තුමා ඔටුවාගේ පිට නිකට ගෑවෙන තරමට හිස පහත් කරමින් මක්කාවට ඇතුළු විය. එම මොහොතේ ලේ සැලීමට එතුමා කිසිසේත් කැමති වූයේ නැත. තමා පලවා හැරිය මක්කාව ජය ගැනීමෙන් අල්ලාහ් දුන් ගෞරවය සිහි කළ එතුමාගේ සිතෙහි නැගුණේ නිහතමානභාවයයි. එම ජයග‍්‍රාහි අවස්ථාවේ එතුමා සූරා අල් ෆත්හ්  (ඉදා ජාඅ නස්රුල්ලාහි වල් ෆත්හ්) පාරායනය කරමින් පැමිණීය. එදා දින යුක්තිය, සමානතාවය, සාධාරණත්වය සහ නිහතමානභාවයේ ධජය නැංවිය. එම ඓතිහාසික දිනයේදී, කුරෙයිෂිවරු හා බනු හාෂිම් ගෝත‍්‍රයට අයත් බොහෝ දෙනෙක් සිටී නමුත්, එතුමාගේ පිටුපසින් ඔටුවා මත වාඩි වී ගමන් කළේ, එතුමාගේ නිදහස් ලැබු සේවකයාගේ පුත‍්‍රයා වන උසාමා ඉබ්න් සෙzයිද් (රලි) තුමාය.

මක්කාව ජය ගත් දිනයේ, මවිතයට පත් ව වෙවුලමින් සිටි මිනිසෙක්, “බිය නොවන්න. මම රජ වරයෙකු නොව, අව්වේ දමා වියළන ලද මස් කෑමට ගන්නා කුරෙයිෂි කාන්තාවකගේ පුතෙකි.“ යන නබි වදනට සවන් දී සිත සැනසුනේය. ශීත කරන යන්ත‍්‍ර නොමැති එම යුගයේ, සාමාන්‍ය අරාබි ජනතාව ආහාර සඳහා කාන්තාරයේ අව්වේ දමා වියළන ලද මස්, දින කිහිපයක් තබා ගනිති. තත්ත්වයේ වෙනසක් සිදු වූ නමුත්, අල්ලාහ්ගේ රසූල් (සල්) තුමා වෙනස් වුයේ නැත. ජයග‍්‍රාහී හෝ පරාජිත අවස්ථාවේ, බලයෙහි හෝ අසරණ වූ විට, එතුමාගේ ගති පැවතුම් වෙනස් වුයේ නැත. අල්ලාහ්ගේ වෙනස් නොවන සියලු නීතීන් සහ මාර්ගමෙන් අල්ලාහ්ගේ නබිවරුන්ද කිසි කලක වෙනස් නොවෙති.

ඝාතනය නොව මෛත‍්‍රියයි

අන්සාර් වරුන්ගේ බල ඇණියේ සිටි සඅද් ඉබ්න් උබාදා (රලි) “අද දින ඝාතනය කරන දිනයයි. අද දින අභය භූමියක් නැත. අද දින අල්ලාහ් කුරෙයිෂි වරුන්ව පහත් බවට පත් කර අවසානයි.“ යනුවෙන් අබු සුෆියාන්ව පසු කර ගෙන යන විට කීවේය.

“රසූල් (සල්) තුමනි, සඅද් පැවසු දේ ඔබට ඇසුණේ නැද්ද?“ යි අබු සුෆියාන් පැමිණිලි කළේය. එතුමා ඒ ගැන විමසු විට, සඅද් ශබ්ද නගා පැවසූ දේ එතුමාට ඔහු විස්තර කළේය.

සඅද් (රලි) ගේ කථාව අප‍්‍රිය කළ රසූල් (සල්) තුමා, “මෛති‍්‍රය හා කරුණාවේ දවස වන අද, කුරෙයිෂි වරුන්ව උතුම් බවට පත්කර, කඅබාවේ ගෞරවයද අල්ලාහ් උසස් කරයි.“ යනුවෙන් ඔහුට පහදා දුන්නේය.

ඉන් පසුව, සඅද් (රලි) කැඳවා ඔහුගේ අතේ තිබු ධජය රැගෙන, ඔහුගේ පුත‍්‍රයා වන කයිස්ගේ අතට රසූල් (සල්) තුමා භාර කළේය. සඅද්ගේ පුතාගේ අතට ධජය දුන් මෙම ක්‍රියාවෙන්, ඔහුගේ පවුළේ තුළම ධජය රැඳී තිබු හෙයින්, සඅද් අමනාප වුයේ නැත. අබු සුෆියාන්ද මෙයින් සෑහීමට පත් විය.

සුළු සුළු ගැටුම් සමහරක්

මක්කා වාසීන්ගේ දේපළ හෝ බඩු බාහිරාදිය කිසිවකට අත නොතබන ලෙසද, කිසිවක් විනාශ නොකරන ලෙසද, සේනාවට අණ ලැබුණි. සිය ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය නම් පමණක්, ආයුධ රැගෙන සටන් කරන ලෙස රසූල් (සල්) තුමා සේනාවට අනුමත කළේය. මක්කාවට ඇතුළු වන මුස්ලිම් වරුන්ට එරෙහිව ආයුධ ගත් සෆ්වාන් ඉබ්න් උමෙයියා, ඉක්රිමා ඉබ්න් අබු ජහල්, සුහෙයිබ් ඉබ්න් අම්ර් සහ උමෙයිර් ඉබ්න් වහ්බ් ඇතුළු කාෆිර් පිරිසක්, මුස්ලිම් ඇණියේ කාලිද් ඉබ්න් අල් වලීද්ගේ පිරිසක් සමඟ ගැටීමෙන්, කාෆිර්වරු දොළොස් දෙනෙක් මරණයට පත් වූහ. ඉතිරි අය සටන් නොකර යටත් වූහ. රසූල් (සල්) තුමාගෙන් රැකවරණය පැතු උමෙයිර් බින් වහ්බ් ආරක්ෂාව ලැබුවේය. ප්‍රාණය බේරා ගත් සෆ්වාන් ඉබ්න් උමෙයිර් සහ ඉක්රිමා ඉබ්න් අබු ජහල් මක්කාව හැර පලා ගිය නමුත්, මක්කාව ජය ගැනීමෙන් අනතුරුව, රසූල් (සල්) තුමා ගෙන් සමාව ඉල්ලා සිටියහ. හුනෙයින් සටනින් පසුව ඔවුන් දෙදෙනා ඉස්ලාමයට පිවිසී, ආරක්ෂා ලැබ, මක්කාවට හැරී පැමිණියහ.

හරම් පෙදෙස ශුද්ධ පවිත‍්‍ර කිරීම

තත්ත්වය සන්සුන් බවට පත් වුවායින් පසු, රසූල් (සල්) තුමා ඔටුවාගෙන් බැස, පළමුව කඅබාව වටා හත් වරක් තවාෆ් කළේය. කබාව වටා පිළිම තුන් සීය හැටක් පමණ පිහිටුවා තිබුණි. “සත්‍ය පැමිණියේය. අසත්‍ය ඉවත් වුණේය. අසත්‍ය නිතර ඉවත් වන සුළුය.“ (අල් කුර්ආන් 17:81) ලෙසද, “සත්‍ය පැමිණියේය. අසත්‍ය ආරම්භ කරන්නේ හෝ යළි පැමිණෙන්නේ හෝ නැත.“ අල් කුර්ආන් 34:49 ලෙසද පවසමින් අතැහි හැරමිටියෙන් රසූල් (සල්) තුමා පිළිම එකිනෙක තල්ලූ කිරීමෙන්, ඒවා මුණින් අතට පෙරළී වැටුණි. කඅබාව තුළද පින්තූරු සහ පිළිම තිබුනි. ඒවා සියල්ල විනාශ කර දමන ලෙස එතුමා අණ කළේය.

බැතිමත්කමේ දිනය

තවාෆ් කර්තව්‍ය අවසාන කළ රසූල් (සල්) තුමා, කඅබා දොරේ යතුර භාරව සිටින උත්මාන් ඉබ්න් තල්හා ගෙන් යතුර රැගෙන, කඅබාවේ දොර විවෘත කර, එහි තුළට ගොස් සියලු බලය හිමි අල්ලාහ් වෙත ප‍්‍රාර්ථනා කළේය.

මදීනාවට හිජ්රා කිරීමට පෙර දිනක්, කඅබා දොරේ යතුර දෙන ලෙස උත්මාන් ගෙන් රසූල් (සල්) තුමා ඉල්ලීමක් කළ විට, උත්මාන් ගෙන් අයහපත් හා නින්දිත වදන් අසන්නට එතුමාට සිදු විය. එම අවස්ථාවේ ඉතාමත් ඉවසිලිමත්ව, “උත්මාන්, එක් දිනක මෙම යතුර මගේ අතේ ඔබ දකින්නේය. එම අවස්ථාවේ මම කැමති කෙනෙකුට එය භාර කරන්නෙමි.“ යනුවෙන් එතුමා උත්මාන්ට පැවසීය.

එවැනි දිනයේදී, කුරෙයිෂිවරු ඉතාමත් පහත් බවට පත් ව විනාශවෙති.“ යයි උත්මාන් කෝපයෙක් පිළිතුරු දුනී.

“නැහැ. ඒ දිනය කුරෙයිෂි වරුන්ට සෞභාග්‍යමත් හා ආරක්ෂා සහිත දිනයක් වන්නේය.“ යි රසූල් (සල්) තුමා ඔහුට කීය. එම අවස්ථාවේ එතුමා කථා කළ අයුරින් එය කවදා හෝ සැබැවින් සිදු වන බව උත්මාන් විශ්වාස කළේය.

රසූල් (සල්) තුමාගේ ඓතිහාසික දේශනාව

රසූල් (සල්) තුමා කඅබාවෙන් පිටතට පැමිණ, අකබා නම් දොරේ උළුවස්ස මත අත තබාගෙන සිට ගත් විට, බිය හා ලැජ්ජාවෙන් බර වූ සිත් සහිත කුරෙයිෂි ජනතාව එතුමාගේ ඉදිරියේ පෙළ ගැසී සිට ගත්හ. එම අවස්ථාවේ එතුමා මෙසේ කථා කළේය. “අල්ලාහ් හැර අන් දෙවි කෙනෙක් නැත. ඔහුට කිසිදු සහකරුවෙක් නැත. ඔහු පොරොන්දු වූ වචනය ඉෂ්ට කර, ඔහුගේ සේවකයාට සහාය දුන්නේය. සියලු සතුරන් පලවා හැරියේ ඔහු පමණි. කඅබාවේ භාර කාරත්වය සහ වන්දනා කරුවන්ට ජලය සැපයීමේ උරුමය හැර, වරප‍්‍රසාද හිමිකම්, ලේ උරුම යන සියලු දේ අදින් අහෝසි වේ.,

“කුරෙයිෂි ජනතාවනී, (අන්ධකාර) ජාහිලියා යුගයට අයත් පාරම්පරික උඩඟුව සහ මළවුන්ට වැඳුම් පිදුම් කරන ක‍්‍රමය අල්ලාහ් අහෝසි කර ඇත. සියලු දෙනාම ආදම්ගෙන් පැවතෙන අය වන අතර, ආදම් පසෙන් මවනු ලැබීය. අති උතුම් අල්ලාහ් මෙසේ පවසයි. ‘මනුෂ්‍යයනි, ඇත්තෙන්ම ඔබ මිනිසෙකුගෙන් සහ ස්ත‍්‍රියකුගෙන් නිර්මාණය කළෙමු. ඔබ එකිනෙකා හඳුනා ගනු පිණිස ජාතීන් හා ගෝත‍්‍රයන් කළෙමු. සැබැවින්ම අල්ලාහ් ඉදිරියෙහි ඉතා ගෞරවය ඇති තැනැත්තා ඔබෙන් බැතිමතාය. අල්ලාහ් සර්වඥය. සියල්ල දන්නේය.“ අල් කුර්ආන් 49:13

“කුරෙයිෂි වරුණි, ඔබට මම අද කුමක් කරන බව ඔබ සිතන්නේද?“ යි එතුමා ප‍්‍රශ්න කළ විට, “අපි හොඳම දැය බලා පොරොත්තුවෙමු. ඔබ උසස් වංශවත් සොයුරෙකි. උසස් වංශවත් සොයුරෙකුගේ පුත‍්‍රයෙකි.“යයි ඔවුන් පිළිතුරු දුන්හ.

එවිට එතුමා, “යූසුෆ් නබි එතුමාගේ සහෝදරයන්ට පැවසූ දේ මම ඔබට පවසමි. ඔබ සමඟ කිසිදු ආරවුලක් නැත. ඔබේ මාර්ගයේ යන්න. ඔබ සියලු දෙනාම නිදහස්ය.“ යනුවෙන් කීවේය.

කඅබාවේ යතුර රැගෙන ඉදිරියට පැමිණි අලි (රලි) “කඅබාවේ භාරකාරත්වය සහ වන්දනා කරුවන්ට ජලය සපයන කාර්ය අපට පවරන්න.“ යි රසූල් (සල්) තුමාගෙන් ඉල්ලීම් කළේය.

“උත්මාන් ඉබ්න් තල්හා කොහිදැ?“යි රසූල් (සල්) තුමා විමසුවේය. උත්මාන් එතැනට පැමිණි විට, “උත්මාන් මෙන්න ඔබේ යතුර. අද දින බැතිමත්කමේ හා උසස් විශ්වාසකමේ දිනයකි. මෙය පාරම්පරික වස්තුවක් වශයෙන් තබා ගන්න. මෙය ඔබෙන් උදුරා ගන්නේ දුෂ්ට පාලකයෙක් පමණි.“ යනුවෙන් පැවසූ රසූල් (සල්) තුමා යතුර නැවත ඔහුට භාර කළේය.

බිලාල් (රලි)ට කඅබාව වහල මත නැඟ සලාහ් සඳහා අදාන් නම් ඇරයුම කරන ලෙස රසූල් (සල්) තුමා නියෝග කළේය. මක්කාවේ කුරෙයිෂි නායකයෝ අල්ලාහ්ගේ වචන මහා ශබ්ද නගා කියවීමට සවන් දුන් ප‍්‍රථම අවස්ථාව එය වේ. එම හඬින් මක්කා පෙදෙස ප්‍රතිනාදය දුනී. උම් අල් හානි බින්ත් අබු තාලිබ් තුමියගේ නිවසට ගොස් හිස නා පිරිසිදු වූ රසූල් (සල්) තුමා, ලැබු ජය සඳහා අල්ලාහ්ට ස්තූති කිරීමේ සලාත් අල් ෆත්හ් නම් ජයග‍්‍රහණයේ සලාතයේ රකඅත් අට ඉටු කළේය.

නීතියේ වෙනසක් නැත

ඒ අතර බනු මක්ඃසූම් ගෝත‍්‍රයට අයත් ෆාතිමා නම් ස්ත‍්‍රීයක් සොරකම් සඳහා අත් අඩංගුවට ගනු ලැබුවාය. ඇය වෙනුවෙන් රසූල් (සල්) වෙත මැදිහත් වන ලෙස ඇගේ ගෝත‍්‍රයට අයත් සමහරු, උසාමා ඉබ්න් සෙzයිද් (රලි) ගෙන් ඉල්ලීමක් කළහ. ඔහු එය පිළිබඳව රසූල් (සල්) තුමා හා කථා කරන්නට ගොස් මහත් ලැජ්ජාවට පත් විය. “අල්ලාහ් නියම කළ හුදූද් (වරදට නියමිත දඬුවම) ගැන මා සමඟ කථා කරන්නට ඔබ පැමිණියාදැ?“ යි එතුමා ඔහුගෙන් විමසීය. මෙම ප‍්‍රශ්නයෙන් තිගැස්සුනු ඔහු, “මගේ සමාව සඳහා ප‍්‍රාර්ථනා කරන්න රසූල් (සල්) තුමනි.“ යයි ඉල්ලා සිටීය.

එදින සවස රසූල් (සල්) තුමා දේශනාවක් කළේය. අල්ලාහ්ට  ප‍්‍රශංසා කළායින් පසු, “ඔබට පෙර වූ ජනතාව විනාශයට පත් විය. එයට හේතුව ඔවුන්ගේ උසස් වංශවත් කෙනෙක් වරදක් කළහොත්, ඔවුන් කිසිවක් නොකර ඉවත බලා ගන්නා අතර, ඔවුන්ගෙන් දුප්පත් කෙනෙක් එම වරද කළහොත්, ඔහුට දඬුවම දෙති. මාගේ ප‍්‍රාණය කාගේ අතේ තිබේද, ඒ අල්ලාහ්ගේ නාමයෙන් දිවුරා කියමි. මුහම්මද්ගේ දියණිය ෆාතිමා සොරකම් කළේ නම්, ඇගේද අත කපා හරින ලෙස මම අණ කරන්නෙමි.“ යයි තරයේ ප‍්‍රකාශ කළේය. අල්ලාහ්ගේ නීතිය වෙනස් කරන්නට නබි වරයෙකුට පවා අනුමත නැති බවද, සමාජයේ කෙනෙක් උසුලන තනතුරට එකඟව ඉස්ලාමිය නීතිය වෙනස් නොවන බවද සලකන්න.

එම කාන්තාවගේ අත කපා දමන ලදුව, ඇයද කළ වරදට සැබැවින්ම පසුතැවිලි වුවාය. කාලයකින් පසුව සුදුසු කෙනෙක් හා විවාහ වී, සමාජයේ අනිත් අය මෙන් පවුල් ජීවිතයක යෙදුණාය.

ඉස්ලාමය පිළිගැනීම

රසූල් (සල්) තුමා සෆා කන්දෙහි වාඩි වී සිටියදී, අල්ලාහ් සහ රසූල් වරයා කෙරෙහි විශ්වාසය ප‍්‍රකාශ කර, ඉස්ලාමයට පිවිසෙන්නට කුරෙයිෂිවරු විශාල පිරිසක් පැමිණියහ. මුලින් පිරිමින්ද, පසුව කාන්තාවන්ද පැමිණි අතර, ඔවුන් සෑම කෙනෙක් සඳහා අල්ලාහ්ගෙන් සමාව පතා එතුමා දීර්ඝව යාච්ඤා කරමින් සිටීය. හම්සා (රලි) තුමාගේ මළ සිරුර විකෘති කළ හින්ද් මුහුණ වසාගෙන පැමිණියත්, ඇගේ අවිනීත කථාවෙන් එතුමා හඳුනා ගත්තේය. “සිදු වූ දෙය සඳහා සමාව දෙන්න. අල්ලාහ් ඔබටද සමාව දෙන්නේය.“ යි ඈ රසූල් (සල්) වරයාට පැවසුවාය.

පිළිම වන්දනයේ සියලු සළකුණු ඉවත් කෙරේ

කඅබාව වටා තිබුනු සියලු පිළිම කඩා දමන ලෙස රසූල් (සල්) තුමා නියෝග කර සහාබාවරු එවීමෙන්, අල් ලාත්, අල් උzස්zසා සහ අල් මනාත් ඇතුළු පිළිම සියල්ල කඩා බිඳ දමන ලදී. ‘අල්ලාහ් සහ රසූල් කෙරෙහි විශ්වාස තබා, මුස්ලිම් බවට පත් වූ කෙනෙකුගේ නිවසෙහි පිළිමයක් තිබේ නම්, ඔහු එය බිඳ දැමිය යුතුය.‘ යනුවෙන් දන්වනු පිණිස මක්කාව සහ අවට සෑම තැනටම පණිවුඩ එවනු ලැබිය. පිළිමවල් කඩා දමන මුස්ලිම් වරුන්ට දේව ශාපයක් හෝ හානියක් සිදු වනු ඇතැයි බලාපොරොත්තු වූ ඇතැම් පූජකයෝ, එවැනි කිසිවක් සිදු නොවනු දැක, සියලු මිථ්‍යා අදහස් අතහැර දමා මුස්ලිම් බවට පත් වූහ.

රසූල් (සල්) තුමා සියලු මුස්ලිම් වරුන්ට මක්කාවේ රැස් වන ලෙස නියෝග කර, මක්කා නගරය අභය භූමියක් ලෙස සදා කල් පවතින බව ප‍්‍රකාශ කළේය. “අල්ලාහ් සහ අවසාන දිනය කෙරෙහි විශ්වාස තබන කෙනෙකුට මෙම නගරයේ සීමාව තුළ ලේ සැලීමට හෝ මිනිස් ඝාතනය සිදු කිරීමට හෝ අනුමත නැත. මට පෙර මේවා සිදු කිරීමට අනුමත නොතිබුණු අතර, මට පසුවද මේවා සිදු කිරීමට කිසිවෙකුට අනුමත නොමැත.“ යයි තරයේ ප‍්‍රකාශ කළේය.

මක්කාව ජය ගැනීමේ ප‍්‍රතිඵලය

අරාබියේ සෑම ගෝත‍්‍රයක්ම ඉස්ලාමයට එරෙහිව කුරෙයිෂි වරුන්ගේ ප‍්‍රතික්‍රියාව කුමක්දැයි බලා සිටිය නමුත් මක්කාව ජය ගැනීමෙන් අනතුරුව අරාබි ජනයා සැවෝම මුස්ලිම් බවට වහාම පත් වූයේ නැත. එසේ වෙනස් වීමට කිසිදු බල කිරීමක් තිබුණේ නැත. ආරම්භයේ පටන් මුස්ලිම් වරුන්ගේ එකම අරමුණ වූයේ ආගම නිදහසේ ඇදහීමට සතුරන්ගෙන් තිබුණු තර්ජනය ඉවත් කර, ආරක්ෂා සහිත පරිසරයක ජීවත් වීමයි. සාමය ස්ථාපනය වී, ආගම ඇදහීමේ නිදහස ලැබීමෙන් පසු, ඉස්ලාමීය ජීවන ක‍්‍රමය ඉගෙන ගන්නටද, එය පහදා ගන්නටද, අවසානයේ එය ප‍්‍රියකරන්නටද පිළිම වන්දනා කරුවන්ට කදිම අවස්ථාවක් උදා විය. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන්, කාලයක් යන්නට පෙර ඔවුන් විශාල පිරිසක් මුස්ලිම් බවට සිය කැමැත්තෙන් පත් වූහ. මේ ගැන අල්ලාහ් පවසන්නේ මෙසේය. “අල්ලාහ්ගේ උදව්ව හා ජය ප‍්‍රීති පැමිණෙන කල්හී, තවද අල්ලාහ්ගේ මාර්ගයට මිනිසුන් සමූහ වශයෙන් රොක්වනු ඔබ දකී.“ අල් කුර්ආනය 110:1 හා 2.

මාගේ ජීවිතය ඔබ සමඟයි, මාගේ මරණයද ඔබ අතරයි

රසූල් (සල්) තුමාට අල්ලාහ් මක්කාව විවෘත කොට, එතුමා උපත ලැබූ සුපුරුදු නගරයේ, ඥාතීන් වෙත පැමිණෙනු දුටු ඇතැම් අන්සාර්වරු, “අල්ලාහ් එතුමාගේ පැරණි උසස් ස්ථානය සහ නගරයේ බලය ලබා දුන් පසු, මදීනාවට හැරී පැමිණෙන්නේ නැත.“ යයි තමන් අතර කථා කර දුකට පත් වූහ.

ඔවුන් සාකච්ඡා කරන්නේ කුමක්දැයි රසූල් (සල්) තුමා ඔවුන් ගෙන් විමසීය. ඔවුන් සාකච්ඡා කළ කරුණු ගැන අන් කිසිවෙක් නොදනී. ඒ කරුණු ගැන මුලදී පවසන්නට ලැජ්ජා වු අන්සාර්වරු, අවසානයේ සැබෑ විස්තර කීහ. එවිට රසූල් (සල්) තුමා, “අඌදු බිල්ලාහ් (මම අල්ලාහ් වෙත ආරක්ෂා පතමි) මම ඔබ අතරම ජීවත් වෙමි, මම ඔබ අතරම මරණයටද පත් වන්නෙමි.“ යනුවෙන් ස්ථීරව කීමෙන් ඔවුන් සතුටු කඳුළු සැලූවෝය.

 හුනෙයින් සටන

හඃවාzසින්වරු

මුස්ලිම් වරුන්ගේ මක්කා ජයග‍්‍රහණය සහ ඉන් අනතුරුව ඉස්ලාමය වෙත බොහෝ ජනයාගේ සිත් ඇදී යෑම දුටු ඉතිරි වී සිටින කාෆිර් වරුන්ගේ සිත්තුළ මහත් භීතියක් හට ගත්තේය. කුරෙයිෂි වරුන්ට පසුව අරාබියේ ශක්තිමත් ගෝත‍්‍රයක් ලෙස හඃවාzසින්වරු සැලකේ. මේ දෙපිරිස අතර අතීතයේ නිතර මෙන් ගැටුම් සිදු වේ. මක්කාව සහ තායිෆ් අතර තිබෙන පෙදෙසේ ජීවත් වන හඃවාzසින්වරු, මක්කා ජයග‍්‍රහණයෙන් පසුව තම පළාතට රසූල් (සල්) තුමා පැමිණෙන්නේ යයි සැක කළහ. එනිසා මුස්ලිම් වරුන්ගේ ඉදිරි ගමන සදහටම නිමාවට පත් කරන්නට තීරණය කළහ.

ඔවුන්ගේ නායක මාලික් ඉබ්න් අව්ෆ් මුස්ලිම් වරුන්ට එරෙහිව යුද්ධ කිරීම සඳහා තාකිෆ් ගෝත‍්‍රය සමඟ එක්වී සූදානම් වූ විට, අවට පළාත්හි සිටින සුළු සුළු ගෝත‍්‍රිකයින්ද ඔහුට පක්ෂව රැස් වූහ. තම කාන්තාවන්, දරුවන් සහ දේපළ මුස්ලිම් වරුන් ගෙන් රැක ගනු පිණිස, සෑම කෙනෙක්ම තම පවුලේ අයද, තමා සතු ධනයද රැගෙන සටන් බිමට පැමිණිය යුතු බව සියලු දෙනාට දැනුම් දෙන ලදී. මේ ගැන ආරංචිය ලැබීමෙන්, ඔත්තු සොයනු පිණිස රසූල් (සල්) තුමා එවු තැනැත්තා, සතුරු සේනාව යුද්ධය සඳහා සූදානම් කර අවසාන බව තහවුරු කළේය.

මදීනාවෙන් පැමිණි මුහාජිර්වරු සහ අන්සාර්වරු දසදහසට අමතරව, මක්කා වාසීන් දෙදහසක් අඩංගු සේනාවක් සූදානම් කර ගත් රසූල් (සල්) තුමා, මක්කාව සිට හුනෙයින් කරා වහාම පිටත් විය. ඉස්ලාමයට පක්ෂව ඉදිරිපත් වූ විශාලතම සේනාව එය වූ අතර, “අපේ විශාල සංඛ්‍යාව හේතු කොට ගෙන, අපි කිසිසේත්ම පරාජයට පත්වන්නේ නැත.“ යයි සමහරුන් උඩඟුවෙන් කථා කළහ.

හුනෙයින් මීටියාවත

හිජ්රි 8 වන වසර ශව්වාල් මස 10 වන දින, අලුයම හුනෙයින් මීටියාවතට මුස්ලිම්  සේනාව පැමිණියේය. ඔවුන්ට පෙර එහි පැමිණි හවාzසින්වරු, කඳු උඩ සැඟ වී සිට ගෙන, මුස්ලිම්වරු මීටියාවතට ඇතුළු වූ විගස, නිරපේක්ෂිත ලෙස සෑම දිසාවෙන් හී විදමින් ප‍්‍රහාර දුන් විට, සූදානම් විරහිත මුස්ලිම් සේනාව මහත් අවුලට හා භීතියට පත් විය.

හවාzසින් වරුගේ දක්ෂ දුනු ශිල්පීන්ට මුහුණ දීමට නොහැකිව, මුස්ලිම් සෙබළු අවුල් වී පසු බැසූ අවස්ථාවේදී, අන් කිසිවෙකු ගැන සොයා නොබලා, සටන් පිටියෙන් ප‍්‍රථමයෙන් පලා ගියේ මක්කාවේදී මුස්ලිම් සේනාවට එකතු වූ නවක පිරිසයි. එය මහත් තීරණාත්මක අවස්ථාවකි. ආපසු හැරී සටන් කිරීමට කිසිසේත්ම මාර්ගයක් තිබුණේ නැත. මේ අතර, උහුද් සටනේ සිදුවුණාක්මෙන්, රසූල් (සල්) තුමා මරණයට පත් වූ බවට කට කථාවක් පැතිරීමෙන්, මුස්ලිම්වරු තවත් පසු බසින්නට පටන් ගත්හ.

හවාzසින්වරු පරාජයට පත් වෙති

සේනාවේ විශාල සංඛ්‍යාව ගැන උඩඟුවෙන් කථා කළ මුස්ලිම් වරුන්ට විශිෂ්ට ජයග‍්‍රහණයේ සතුටින් පසුව, පරාජයේ නින්දාවට මුහුණ දෙන්නට අල්ලාහ් සැලසුවේය. ඒවා දෙකම අල්ලාහ්ගෙන් ලැබෙන බව ඔවුන් මතකයේ තබා ගත යුතුයි. ඉන් පසුව අල්ලාහ්ගේ ශාන්තිය ඔවුන් වෙත පහළ වන බව පෙනුණි. මේ සියලු කරදර මැද, තම සුදු කොටළුවා මත රසූල් (සල්) තුමා නොසැලී වාඩි වී සිටීය. එතුමා කිසිවිටෙක බියට පත් වූයේ නැත. ඇතැම් ප‍්‍රධාන පෙළේ මුහාජිර්වරු එතුමා සමඟ සිටියදී, “මම නබිවරයෙකි. එගැන කිසිදු සැකයක් නැත. මම අබ්දුල් මුත්තලිබ්ගේ පුත‍්‍රයා වෙමි.“ යයි එතුමා ශබ්ද නගා කීය.

පිළිම වන්දනාකරුවන් පිරිසක් තම දෙසට පැමිණෙනු දැක, වැලි මිටක් අතට ගෙන ඔවුන් දෙසට රසූල් (සල්) තුමා වීසි කළයින් ඔවුන්ගේ ඇස් අඳුරුවුණි. මුස්ලිම් සේනාව අවුලට පත් ව සිටිනු දැක, “අන්සාර්වරුණි, කටු ගසේ මිත‍්‍රයිනි“ යයි ශබ්ද නගා අඬගසන්න.“යි තම කොටළුගේ ලණුව අල්ලාගෙන සිටි අබ්බාස් (රලි) ට අණ කළ විට, ඔහුද ශබ්ද නගා මුස්ලිම් වරුන්ට ඇරයුම් කළේය. මෙම ඇරයුම හඳුනා ගත් මුස්ලිම්වරු, “ලබ්බයික, ලබ්බයික.“ (ඔබේ ආරාධනාවට සවන් දෙමු. ඔබේ සේවය සඳහා පැමිණියෙමු) යනුවෙන් පිළිතුරු දෙමින් තමන් වාඩිවී සිටි ඔටුවන් සහ අශ්වයන්ගෙන් බිමට පැන, සියලු යුද්ධායුධ රැගෙන එතුමා වෙතට දුව ගෙන ආහ. මැදිහත් වූ සතුරු සේනාව නිසා, බොහෝ දෙනෙකුට රසූල් (සල්) තුමාට ළඟාවීමට නොහැකි වූ අතර, ඔවුන් තමන් සිටි ස්ථානයේම සටන් කරන්නට පටන් ගත්හ.

තම කොටළුවා මත වැඩිවී රසූල් (සල්) තුමා “අල්ලාහු අක්බර්“ යයි හඬ නගා සටන් කරනු දුටු සහාබාවරු තවත් දිරිමත් වූහ. දෙපිරිසම දරුණු ලෙස සටන් කළහ. මුස්ලිම් වරුන්ගේ සහායට අල්ලාහ් විසින් එවනු ලැබු මලාඉකා වරුන් ගෙන්, එම මීටියාවත පිරීමෙන්, හවාzසින් ජනතාව අන්ත පරාජයට පත් වූහ. ඔවුන්ගේ නායක මාලික් බින් අව්ෆ් සුළු පිරිසක් සමඟ සටන් පිටියෙන් පලා ගියේය. මෙම සටන ගැන අල්ලාහ් අල් කුර්ආනයේ පවසන්නේ මෙසේය.

“බොහෝ රණබිම්හී අල්ලාහ් ඔබට උදව් කළේය. හුනෙයින් සටන් දිනයේ, ඔබේ සංඛ්‍යාව ඔබට සතුට ගෙන දුන් නමුත්, එයින් කිසි පලක් නොවුණි. භූමි විශාල වුවද, ඔබට එය පටු බවට දැනුනි. පසුව ඔබ පසු බැස්සෝය. පසුව අල්ලාහ් රසූල් වරයා වෙතද, ඔබ වෙතද, ඔහුගේ ශාන්තභාවය පහළ කළේය. තවද, ඔබ නොදැක්කා වූ සේනාවක් පහළ කළේය. කාෆිර්වරුන්ට දඬුවම් කළේය. විශ්වාස නොකරනවුන්ට මෙය ඵල විපාකය.“ අල් කුර්ආන් 9:25 සහ 26 වැකි.

හුනෙයින් සටනෙහි ජයගත් සම්පත්

හුනෙයින් සටනින් මුස්ලිම් වරුන්ට විශිෂ්ට ජයග‍්‍රහණයක් ලැබීමෙන්, විශාල සම්පත් සමඟ සිරකරුවන්ද ඔවුන් අත්පත් කර ගත්හ. මේවා රසූල් (සල්) තුමා වෙතට ගෙනෙන ලදුව, ඒවා ජීරානා නම් ස්ථානයට ගෙන ගොස් ආරක්ෂා සහිතව තබන ලෙස මසූද් බින් අම්ර් ගිෆ්ෆාරි (රලි) ට එතුමා භාර කළේය. එම අවස්ථාවේදී, සිරකරුවෝ හය දහසක්ද, ඔටුවන් විසි දාහක්ද, විශාල ප‍්‍රමාණයේ රිදී ආභරණද වෙනත් සම්පත්ද මුස්ලිම් වරුන්ට හිමි වී තිබුණි.

තාඉෆ් වැටලීම

හුනෙයින් සටනින් ජීවිතය බේරා ගත් තාකිෆ් සේනාවද, හවාzසින් වරුන්ගේ නායක ඇතුළු පිරිසක්ද, තායිෆ් නුවරට පලා ගියහ. වසරකට අවශ්‍ය ආහාර පානාදිය රැස් කර ගත් ඔවුන්, බලකොටුව තුළට ගොස්, එහි ප‍්‍රධාන දොරටු වසා දැමුහ. ඔවුන් යුද්ධයට තවමත් සූදානම් ව සිටින බව දුටු රසූල් (සල්) තුමා, තායිෆ් කරා ගොස්, දින විස්සක් බලකොටුව වැටලීය. දුනු ශිල්පයේ දක්ෂ තාකිෆ්වරු, නොකඩවා හී විදීමෙන් මුළු අහසම පලඟැටියන් ගෙන් පිරී තිබුනාසේ පෙනුනි. මේ නිසා මුස්ලිම්වරු දොළොස් දෙනෙක් මිය ගිය අතර, හුනෙයින් සටනේ මිය ගිය මුස්ලිම් වරුන්ගේ සංඛ්‍යාව හතරක්වේ. මෙම කාලය තුළ, තායිෆ් අවට පළාතේ සිටින විශාල පිරිසක් රසූල් (සල්) තුමා වෙතට පැමිණ, මුස්ලිම් බවට පත් වූහ.

තායිෆ් නගරය ජය ගැනීමට අල්ලාහ්ගෙන් අනුමත නොලැබූ හේතුවෙන්, තායිෆ් වැටලීම අත හැර දමා, මුස්ලිම් සේනාව රැගෙන ජීරානා කරා රසූල් (සල්) තුමා හැරී ගියේය. හවාzසින් ජනතාව සාමය පතා පැමිණෙතියයි බලාපොරොත්තු වෙන් එහිදී දින දහයක් රැඳී සිටි නමුත්, කිසිවෙක් නොපැමිණීමෙන්, සටනෙන්  අත් පත් කර ගත් සම්පත්, තම සේනාව අතර බෙදා දුනී. මෙම අවස්ථාවේදී, ඉස්ලාමය කරා සිත් දිනා ගන්නට තවමත් ඉතිරි වී සිටින මුඅල්ලකාත් අල් කුලූබ් යන පිරිස අන් අයට පෙර තම කොටස ලබා ගත්හ.

සිරභාරයට ගත් අය නිදහස් කෙරේ

හවාzසින්වරු දාහතර දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක්, රසූල් (සල්) තුමා වෙතට පැමිණ, එතුමාට කිරි පෙවූ මව හලීමා සාදියා වෙනුවෙන් සමාව පතා, තම නෑයන් සහ අත්පත් කර ගත් සම්පත් ආපසු දෙන ලෙස ඉල්ලීමක් කළහ. එවිට එතුමා, “මා සමඟ සිටින අය ඔබට පෙනෙනවා නේද? මම වැඩියෙන් කැමති සත්‍යයටයි. ඔබ වඩාත්ම අගය කරන්නේ ඔබේ බිරියන් හා දරුවන්ද, නැත්නම් බඩු බාහිරාදියද?“ යයි ඔවුන්ගෙන් විමසීය. ඔවුන් සියලු දෙනාම එක හඬින්, “අපේ බිරියන් සහ දරුවන්ට සමානව කිසිවක් නොසලකමු.“ යයි කීය.

“එසේ නම් හෙට මම ලුහර් සලාතය අවසන් කළාට පසුව නැගිට, ‘අපේ බිරියන් සහ දරුවන් අපට ආපසු දෙන ලෙස මුස්ලිම් වරුන් වෙත රසූල් (සල්) තුමාද, එතුමා වෙත මුස්ලිම් වරුන්ද මැදිහත් වන ලෙස අපි ඉල්ලා සිටිමු. යයි පවසනු.“ යනුවෙන් රසූල් (සල්) ඔවුන්ට උපදෙස් දුනී.

ඔවුන්ද පසු දින ලුහර් සලාහ්වෙන් පසු, ඒ ආකාරයෙන් කීහ. රසූල් (සල්) තුමා එවිට, “මම සහ බනු අබ්දුල් මුත්තලිබ් ජනතාවට අයත් සියලු දේ දැන් ඔබට හිමිය. ඔබ වෙනුවෙන් ඉතිරි අයටද උපදෙස් කරන්නෙමි.“ යනුවෙන් කීවේය. මෙයට සවන් දුන් මුහාජිර්වරු සහ අන්සාර්වරු, “අපට අයත් සියලු දේ අල්ලාහ්ගේ රසූල් (සල්) තුමාට හිමිය.“ යි කියා සිටියහ.

බනු තමීම්, බනු ෆසාzරා සහ බනු සුලෙයිම් යන ගෝත‍්‍රයට අයත් පිරිස. තම කොටස ආපසු දිය නොහැකි බව කීය. මෙය ඇසු රසූල් (සල්) තුමා, “මේ ජනතාව ඉස්ලාමය පිළිගෙන මෙහි පැමිණ සිටිති. ඔවුන් පැමිණෙන තුරු මම බලා සිටියෙමි. ඔවුන්ට කරුණු දෙකෙන් එකක් තෝරා ගන්නට අවස්ථාවක් දුන් නමුත්, ඔවුන් තම බිරියන් සහ දරුවන් හා කිසිවක් සමාන නොවන බව පවසති. ඔවුන්ට හිමි යමක් තිබෙන කෙනෙක් ඒවා සතුටින් ආපසු දිය යුතුයි. එමෙන්ම, ඔවුන් ගෙන් හිර භාරයට ගත් අය රඳවා ගන්නට කැමති කෙනෙක්ද, ඔවුන් නිදහස් කළ යුතුයි. මේ ලෙස දෙන අයට, ඉදිරියේ සිදු වන පළමු වන සටනේ අල්ලාහ් අපට දෙන සම්පතින් මේවා මෙන් කොටස් හයක් බැගින් දෙන්නෙමි.“ යනුවෙන් කීය.

මෙය ඇසු සියලු දෙනාම, “අල්ලාහ්ගේ රසූල් (සල්) තුමා කෙරෙහි අපි සතුටු වෙමු.“ යි පිළිතුරු දුන්හ.

“ඔබ අතර සෑහීමට පත් වුයේ කවුරුන්ද, පත් නොවුයේ කවුරුන්ද යනු මම නොදනිමි. සියලු දෙනාම හැරී යන්න. ඔබේ නායකයින් සියලු දේ ගැන නිවැරදිව පහදා දෙන්නේය.“ යි රසූල් (සල්) තුමා ඔවුන්ට කීය. මේ ආකාරයෙන් සිර භාරයට ගන්නා ලද හය දහසක් පමණ ජනතාවක් සුළු මොහොතකින් නිදහස් වූහ.  නිදහස ලැබු සෑම කෙනෙකුටම ත්‍යාග වශයෙන් අලුත් ඇඳුමක් දෙනු ලැබුණි.

වංශවත් දරුවෙකුගේ උතුම් ක්‍රියාවක්

සිරභාරයට ගත් අය අතර, රසූල් (සල්) තුමාට කිරි පෙවූ මවගේ දියණිය වන ෂයිමා බින්ත් හිලීමා අස් සාදියා නම් සොයුරියක්ද සිටියාය. ඇය කවුරුන් දැයි නොදැන, සමහරු ඇයට අකාරුණිකව සැලකුහ. තමා රසූල් (සල්) තුමාගේ කිරි මවගේ දියණිය බැවින්, එතුමාගේ සොයුරිය බව ඇය පැවසු නමුත්, එම කථාව ඔවුන් විශ්වාස කළේ නැත.

රසූල් (සල්) තුමා වෙතට ෂයිමා තුමිය ගෙන ගිය පසු, “රසූල් (සල්) තුමනි, ඔබට  කිරි දුන් මවගේ දුවෙක් වූ සොයුරියෙක් වෙමි.“  යනුවෙන් ඈ පැවසු විට, “එය ඔප්පු කළ හැකිද?“ යි එතුමා ඇගෙන් විමසීය.

“ඔබ තුමා කුඩා කාලයේ දිනක් මම පිටේ තබා ඔසවා ගෙන යන විට, විකපු තුවාලයේ ලකුණු තවම තිබෙනවා.“ යයි ඇය පැවසුවාය. එම තුවාල ලකුණු හඳුනා ගත් එතුමා, ඇයට වාඩිවෙන්නට තම සිරුරේ තිබු වැස්ම බිම එලා, ඉතා ආදරයෙන් සංග‍්‍රහ කළේය.

“ඔබ කැමති නම්, මා සමඟ ආදරයෙන් හා ගෞරවයෙන් ජීවත් විය හැක. ඔබේ අය සමඟ යන්නට කැමති නම්, අවශ්‍ය දේ මම දෙන්නෙමි.“ යයි ඇයට පැවසු විට, “මට කුමක් හෝ දෙන්න. මගේ අය සමඟ ගොස් එහි ජීවත් වන්නෙමි.“ යයි ඇය පිළිතුරු දුන්නාය. තම නිවසට හැරී යන්නට පෙර ඉස්ලාමය පිළි ගත් ඇය, වහල් සේවකයින් දෙදෙනෙක්, වහල් සේවිකාවක්, ගවයන්, එළුවන්, මුදල් සහ ආහාර යනාදිය ත්‍යාග වශයෙන් රැගෙන ගියාය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආරම්භ ස්ථානය ලෙස සැලකෙන එංගලන්තයේ, කාන්තාවන්ට දේපළ හිමි කර ගැනීමේ අයිතිය දුන්නේ 1881 වසරේදීය. එයට ශත වසර 12 ට පෙර ඉස්ලාම් එම අයිතිය කාන්තාවන්ට දී අවසාන බව මෙම සිද්ධිය පෙන්නුම් කරයි.

අන්සාර්වරුන්ගේ අසීමිත ආදරය

ජිරානාවෙහි හුනෙයින් යුද්ධයෙන් ලබා ගත් සම්පත් බෙදා දෙන විට, මක්කා වාසීන් අතරින් පැමිණි නවක මුස්ලිම් වරුන්ට අන් අයට වඩා වැඩි ප‍්‍රමාණයක් රසූල් (සල්) තුමා දුන් බව ඉහත සඳහන් වුණි. මේ පිරිස අතරින් බොහෝ දෙනෙක් කුරෙයිෂි ගෝත‍්‍රයට අයත්, රසූල් (සල්) තුමාගේ ඥතීන් වේ. මෙයින් අසුතුටු වූ ඇතැම් තරුණ අන්සාර්වරු මේ ගැන තමන් අතර කථා කරන්නට වූහ.

තරුණ අන්සාර් වරුන්ගේ අසතුට ගැන ආරංචි වූ රසූල් (සල්) තුමා, අන්සාර් වරුන්ට එක් තැනක රැස්වන ලෙස අණ කර, ඔවුන් අමතා, “ඔබ මෙවැනි දෙයක් කථා කළාදැ?“ යි විමසුවේය. “අපේ ඇතැම් තරුණයින් මේ ආකාරයෙන් කථා කළ නමුත්, අපේ මහලු හා ඥානවන්ත අය කිසිවෙක් මේ අයුරින් කල්පනා කළේවත් නැතැ.“ යි ඔවුන් අවංකව පිළිතුරු දුන්හ

මෙයට සවන් දුන් රසූල් (සල්) තුමා, “අන්සාර් වරුණි, ඔබ නොමග ගිය අවස්ථාවේ මම ඔබට යහ මඟ පෙන් වූයේ නැද්ද?“ යි විමසීය. “ඔව්. අල්ලාහ් සහ ඔහුගේ රසූල්වරයා ඉතාමත් කාරුණිකය. නොමසුරුය.“ යි ඔවුන් පිළිතුරු දුන්හ. “ඔබ භේද බින්නවී සිටි අතර, අල්ලාහ් මා තුළින් ඔබේ හදවත් මෘදු බවට පත් කර, සමගි කළේ නැද්ද?“ යි යළි ප‍්‍රශ්න කළේය. “ඔව්. ඔබ තුමා අපට මහත් වරප‍්‍රසාදයකි.“ යි ඔවුන් පිළිතුරු දුන්හ.

“අන්සාර්වරුණි, ඔබ දුප්පත් ව සිටියදී, මා තුළින් ඔබ ධනවත් වූයේ නැද්ද?“යි නැවත රසූල් (සල්) තුමා විමසුවේය. “ඔව්, අල්ලාහ් සහ ඔහුගේ රසූල් (සල්) තුමා අපට ඉමහත් සේවයක් කර ඇත.“යනුවෙන් ඔවුන් කීය.

“අන්සාර් වරුණි, ඔබ කථා නොකරන්නේ ඇයිදැ?“ යි ප‍්‍රශ්න කළ රසූල් (සල්) තුමා, “ඔබ නින්දාවට පත් ව අප වෙත පැමිණි අවස්ථාවේදී, අපි ඔබ කෙරෙහි විශ්වාසය තැබුවෙමු. ඔබ අනාථව අප වෙත පැමිණි අවස්ථාවේදී අපි ඔබට සරණ වූයෙමු. ඔබ පලවා හරින ලදුව අප වෙතට පැමිණි අවස්ථාවේ අපි ඔබට සෙවණ දුන්නෙමු. ඔබ දුප්පත් ව අප වෙතට පැමිණි අවස්ථාවේදී, අපි ඔබට උපකාර වුයෙමු. යනුවෙන් ඔබ පැවසුවේ නම්, ඒවා සම්පූර්ණයෙන් මම පිළගනිමි.“ යි රසූල් (සල්) තුමා පැවසුවිට මහත් ශෝකයට පත් අන්සාර්වරු දෑසින් කඳුළු සලමින් නිහඬව සිටියහ.

“අන්සාර් වරුණි. මේ නවක ජනයා ඔටුවන් සහ එළුව් රැගෙන යන මොහොතේ ඔබ අල්ලාහ්ගේ රසූල් සමඟ ගමට හැරී යනවාට කැමති නැද්ද?“ යි විමසු රසූල් (සල්) තුමා, තව දුරටත් ඔවුන් අමතා, “හිජ්රා කිරීම මට නියම වී නොතිබුණේ නම්, මම අන්සාර් වරුන්ගේ කෙනෙක් වන්නෙමි. සියලු ජනයා එක මාර්ගයේ යන විට, අන්සාර්වරු තවත් මාර්ගයක යන්නේ නම්, මම අන්සාර් වරුන්ගේ මාර්ගය තෝරා ගන්නෙමි.“යි පවසා, “යා අල්ලාහ්, අන්සාර්වරු කෙරෙහිද, ඔවුන්ගේ දරුවන් කෙරෙහිද, ඔවුන්ගේත් දරුවන් කෙරෙහිද කරුණාව දක්වනු මැනවි.“ යයි යාච්ඤා කළේය. මේ කථාවට සවන් දුන් අන්සාර් වරුන්ගේ සතුට කොපමණ දැයි අපට සිතන්නට පවා නොහැක. නවක මුස්ලිම් වරුන්ට අමතර සහන දුන්නේ ඔවුන්ගේ සිත් දිනා ගනු පිණිස හැර ඥතීන්ට කළ විශේෂ සැලකිල්ලකින් නොවන බව, රසූල් (සල්) තුමාගේ කථාවෙන් ඔවුන් පහදා ගත්හ.

තාකිෆ් ගෝත‍්‍රිකයෝ

මුස්ලිම්වරු තායිෆ් සිට හැරී යන විට, “අපි පාපෝච්චාරණය කරමින්, අපේ දෙවියන් වහන්සේට වැඳ පුදමින්, ඔහුට පැසසුම් කියමින් හැරී යමු.“ (ආඉබූන, තාඉබූන, ආබිදූන ලි රබ්බනා හාමිදූන්) යනුවෙන් පවසන ලෙස රසූල් (සල්) තුමා කීය. ඔවුන් ගෙන් සමහරු, “යා අල්ලාහ් තාකිෆ් ගෝත‍්‍රයට ශාප කරනු.“ යි පැවසු නමුත්, රසූල් (සල්) තුමා දෑත ඔසවා, “යා අල්ලාහ්, තාකිෆ් ජනතාවට යහ මඟ පෙන්වා, මෙහි කැන්දන් එනු මැනවි“ යනුවෙන් ප‍්‍රාර්ථනා කළේය.

රසූල් (සල්) තුමා මදීනාවට හැරී යන විට අතර මඟදී, උර්වාන් ඉබ්න් මස්ඌද් නම් තාකිෆ් ජනයාගේ නායකයෙක් එතුමා හමු වී මුස්ලිම් බවට පත්ව, තම ජනතාව ඉස්ලාමය කරා ආරාධනා කිරීමට අනුමැතිය පැතීය. එයට රසූල් (සල්) තුමා, “මුස්ලිම් වරුන්ට පරාජය නොවීම ගැන ඔබේ ජනයා උඩඟුවෙන් සිටිති.  ඔවුන්ට  ඉස්ලාමය ගැන කථා කළහොත්, ඔවුන් ඔබ මරා දැමිය හැකිය.“ යි ඔහුට අවවාද කළේය. එහෙත් ඔහු, “මම ජනප‍්‍රිය කෙනෙකු වන අතර, මගේ ජනතාව මට බොහෝ ආදරය හා ගෞරවය දක්වති. ඔවුන් මට සවන් දෙන බව විශ්වාස කරමි.“ යි කියා සිටීමෙන් ඔහුට අනමැතිය ලැබුණි.

තම ජනතාව අතර හැරී ගිය ඔහු ඉස්ලාමය කරා ආරාධනා කළ විගස, ඔවුන් ඔහුට විරුද්ධ වූහ. එ පමණක් නොව, ඔහුව වටලා ගත් එම ජනතාව ඔහුට හී විද, බරපතළ ලෙස තුවාල සිදු කිරීමෙන්, ඔහු ෂහීද් විය.

තාබුක් සටන

මුතා සටනේදී නින්දිත පරාජයට පත් වූ ගස්සානිද් රජ, මුස්ලිම් වරුන්ගෙන් පළි  ගන්නා අරමුණින් විශාල සේනාවක් රැස් කළේය. මේ සඳහා රෝමයේ මහ රජු හේරාක්ලියස් ගෙන් සහයෝගය පැතු විගස, ඔහද සෙබළු හතළිස් දහසක් සමඟ සටනට සහභාගි වීමට තීරණය කළේය. ව්‍යාජ තාපසකයෙකු වන අබු ආමිර්, මදීනාවට පහර දෙන ලෙස මෙම සතුරන්ට රහසිගතව ආරාධනා කළේය. මදීනාවේ මුස්ලිම් සමාජය තුළ අසමගිය පැතිරීමේ අරමුණින්, දිරාර් නම් මස්ජිදයක් ඉදි කළ වංචනික පිරිස සමඟද ඔහු නොයෙකුත් කුමන්ත‍්‍රණයේ යෙදුනේය.

සේනා සංඛ්‍යාවෙන් සහ නවීන අවි ආයුධවලික් ද යුත් විශාල රෝමානු සේනාවක් අරාබි දේශ මායිම් තුළට පැමිණ, ඉස්ලාමයේ මූලස්ථානයට පහර දීමට සැරසෙන බව දැන ගත් විගස, ඔවුන්ට එරෙහිව සේනාවක් සූදානම් කරන්නට රසූල් (සල්) තුමා තීරණය කළේය. මෙම ඇරයුමට සවන් දුන් මුස්ලිම්වරුන්, අරාබියේ සෑම පළාතකම සිට වහාම මදීනාවට පැමිණියහ. සටනකට සූදානම් වන අවස්ථාවේ එහි විස්තර මුනාෆික් වරුන් ගෙන් සඟවා තැබීම රසූල් (සල්) තුමාගේ පුරුද්දකි. එහෙත් තාබුක් ගමනට රැස්වන විශාල සංඛ්‍යාව හේතු කොට ගෙන, එලෙස කිරීම අපහසු වූ හෙයින්, රෝමානු සේනාවට එරෙහිව සටනට යන බව එතුමා ප‍්‍රකාශ කළේය. එම වසර යහපත් ඉඳි ඵලදාව ලැබ, අස්වැන්න නෙළන කාලය සමීප වූ හේතුවෙන්, ඇතැම් මුස්ලිම්වරු එම ගමන යෑමට අකැමති වුහ.

විශාල සතුරු සේනාවකට මුහුණ දීමට යන මෙම දීර්ඝ ගමනට, නිර්ලෝභීව වියදම් කරන ලෙස රසූල් (සල්) තුමා මස්ලිම් වරුන්ට දිරිගැන්විය. උත්මාන් බින් අෆ්ෆාන් (රලි) තුමා වෙළඳාමට සූදානම් කර තිබු භාණ්ඩ සියල්ලද, ප‍්‍රවාහන පහසුකම්ද, මුදල්ද මෙම ගමන සඳහා දුන්නේය. උමර් (රලි) තමා සතු සියලු දෙයින් අඩක් දුන් අතර, අබු බකර් සිද්දීක් (රලි) තමා සතු  සියලු දේ පරිත්‍යාගි කළේය. සෑම මුස්ලිම් වරයෙකුම තමන්ට හැකි පරිදි මුදල් සහ භාණ්ඩ දුන් නමුත්, මුනාෆික්වරු කිසිවක් නොදුන්හ. එපමණක් නොව, නොයෙකුත් හේතු දක්වා, මෙම ගමනේ යෑමෙන් ඔවුන් වැලකී සිටියහ. ඔවුන් ගැන කුර්ආන් පවසන්නේ මෙසේය. “රසූල්වරයාගේ පිටුපසින් ගමනේ (නොගොස්) නතර වීම ගැන ඔවුන් සතුටුවුනෝය. ඔවුන්ගේ ධනයෙන්ද, දිවියෙන්ද අල්ලාහ්ගේ මාර්ගයේ වැය කර පරිශ්‍රම දරන්නට ඔවුන් පිළිකුල් කළෝය. අපාය ගින්න මෙයට වඩා රශ්ණය යි ඔවුන්ට කියනු. ඔවුන් වටහා ගනී නම්.“ 9 : 81

සේනාව තාබුක් කරා ගමන් කරයි..

තිස් දහසකින් යුත් සේනාවක් සමඟ හිජ්රි 9වන වසර රජබ් මස රසූල් (සල්) තුමා තාබුක් කරා පිටත් විය. තානියාත් අල් වදා නම් ස්ථානයේ මුස්ලිම් සේනාව නැවතී විවේක ගන්නාවිට, එම ස්ථානය දක්වා පැමිණි මුනාෆික් වරුන්ගේ නායක අබ්දුල්ලා බින් උබෙයි, සිය අනුගාමික පිරිසක් රැගෙන මදීනාවට හොර රහසේ හැරී ගොස්, එහි රසූල් වරයාගේ පවුලේ අය භාරව සිටි අලි (රලි) ගැන බොරු ප‍්‍රචාරයක් පැතිරුවේය. අලි (රලි) තුමාට වැදගත් තනතුරක් දීම වැළකීම පිණිස එතුමාව මදීනාවෙහි නවත්වා තැබු බවට ඔවුන් කළ බොරු ප‍්‍රචාරය ඉවසිය නොහැකිව, අලි (රලි), මදීනාවෙන් පිටත් වී, අල් ජුර්ෆ් නම් ස්ථානයේ රසූල් (සල්) හමුවී, මේ ගැන ප‍්‍රශ්න කළේය. “ඔවුන් බොරු කාරයෝ. මගේ පවුලේ අයගේ ආරක්ෂාව සඳහා ඔබ මදීනාවෙහි නවත්වා ආවෙමි. එනිසා හැරී යන්න.“ යි පැවසු රසූල් (සල්) තුමා, ඔහුගේ සිත සනසනු පිණිස, “මූසාට (අලෛ) (ඔහුගේ සොයුරා) හාරූන් (අලෛ) මෙන් මට ඔබවේ. එහෙත් මට පසුව නබි වරයෙක් පැමිණෙන්නේ නැත.“ යයි වැඩි දුරටත් කීය.

විනාශයට පත් තාමූද් ජනයාට අයත් හිජ්ර් නම් පෙදෙසෙහි ගමන් කරන විට, එය ශාප සඳහා තවමත් දඬුවම් ලබන අයගේ පළාතක් වන හෙයින්, එහි ළිඳෙන් ජලය බිඳක් වුවද පානය හෝ වුදු කිරීම සඳහා නොගෙන වේගයෙන් එම පළාතෙන් ඉවත්වන ලෙස රසූල් (සල්) තුමා නියෝග කළේය. “පාප කළ අයගේ නිවෙස් වලට ඇතුළු වන්නේ නම්, ඔවුන් භාජන වූ දෙයට ඔබද භාජන විය හැක යන බිය සහිතව, කඳුළු සලමින් ඇතුළු වන්න.“ යි එතුමා උපදෙස් කළේය.

තාබුක් පළාතෙහි රසූල් (සල්) තුමා

මුස්ලිම් සේනාව සිරියා දේශයේ මායිම අසල තාබුක් පෙදෙසට ඇතුළු වීමත් සමඟ, රෝමානු සේනාව ඇතුළු සතුරු සේනා සියල්ල, අරාබි දේශ සීමාවෙන් ඉවත්ව ගිය බවට ආරංචිය ලැබුණි. මුස්ලිම් පළාතට අනවශ්‍යව ඇතුළු නොවන බවට ඔවුන් තීරණය කළහ. තම අරමුණ ඉටු වූ පසු, ඔවුන්ගේ පළාත් තුළට ලුහු බඳින්නට මුස්ලිම් වරුන්ට කිසිදු අවශ්‍යතාවයක් නොතිබුණි.

රසූල් (සල්) තුමා තාබුක් පළාතෙහි රැඳී සිටි දිනයන්හී, එහි අවට සිටින අරාබි ගෝත්‍ර නායකයින් එතුමා හමු වී, සාම ගිවිසුම් අත්සන් කර, එතුමාට ජිzස්යා නම් බදු ගෙවුහ. (මුස්ලිම් නොවන අය 2.5% සකාත් බදු නොගෙවයි) ඔවුන්ගේ මායිම් සනාථ කරන බවද, ඔවුන්ට අයත් වෙළඳ ප‍්‍රවාහන සහ මුහුදේ යාත‍්‍රා කරන නැව් සඳහා ආරක්ෂාව දෙන බවද, එතුමා පොරොන්දු විය. මේ විස්තර දන්වා සියලු ජනතාවට ලිපි නිකුත් කරන ලදී. තාබුක් පළාතේ සති දෙකක් පමණ රැදී සිට සියලු සතුරු උවදුරු මැඩ පවත්වා. රසූල් (සල්) තුමා මදීනාවට හැරී පැමිණියේය.

මදීනාවේ නඩු විභාගය

මදීනා අසල මුස්ලිම් වරුන්ට එරෙහිව මුනාෆික්වරු ඉදිකළ දිරාර් මස්ජිදය, අල්ලාහ්ගේ අණට එකඟව විනාශ කරනු පිණිස සහාබාවරු දෙදෙනෙක් එවනු ලැබ, ඔවුන් එය ඉටු කළහ. “අනතුරු කිරීමේ අරමණින් මස්ජිදය තැනු අය“ යනවෙන් අභ්‍යන්තර සතුරන් ගැන අල් කුර්ආන් 9:107 වාක්‍ය පවසයි.

තාබුක් සටනට සහභාගි නොවී මදීනාවෙහි රැඳී සිටි කඅබ් ඉබ්න් මාලික්, මුරාරාහ් ඉබ්න් අර් රාබි සහ හිලාල් ඉබ්නු උමයියා යන සහාබාවරු තිදෙනෙක්, රසූල් (සල්) තුමා ඉදිරියට පැමිණ තම වරදට සමාව පැතුහ. ඔවුන් ආරම්භ කාලයේ මුස්ලිම් බවට පත් ව, තම දේව විශ්වාසය සඳහා නොයෙකුත් පරීක්ෂණයන්ට ඉවසීමෙන් මුහුණු දුන් අයවෙති. මුරාරාහ් සහ හිලාල් යන දෙදෙනා බද්ර් සටනට සහභාගි වූ අතර, ඉස්ලාමයට එරෙහිව සතුරන් සටනට පැමිණි අවස්ථාවන් හී සැඟවී සිටියේ නැත. එනිසා දැන් උදා වූ තත්ත්වය, ඔවුන් තමන් ගැන පරීක්ෂා කර ගැනීමටද, අනාගත මුස්ලිම් වරුන්ට පාඩමක් ලෙසද, අල්ලාහ්ගේ අසීමිත ඥානයෙන් සිදු වූ බව සැලකිය යුතුය. ආගම ගැන සැලකිලිමත් නොවීම, දුබල අධිෂ්ඨානය සහ ලෞකික දේවල් අගේ කොට ඒවා වෙත අධික ලෙස ඇල්ම දැක්වීම යන කරුණු, මුස්ලිම්වරු අතර මෙවැනි අඩු පාඩු සිදු වීමට හේතු වේ.

ඔවුන් සමඟ කිසිවෙක් කථා නොකළ යුතු බව රසූල් (සල්) තුමා තහනම් කිරීමෙන්, මුස්ලිම්වරු කිසිවෙක් ඔවුන් සමඟ කථා නොකර ඉවත බලා ගෙන ගියහ. කඅබ් ඉබ්න් මාලික් මස්ජිදයේ සලාහ් කර, වෙළඳ පොළට ගිය නමුත්, කිසිවෙක් ඔහුට සැලකීමක් දැක් වූයේ නැත. මෙවැනි අසීරු මානසික වේදනාව මැද දවස් පනහක් ගෙවූ ඔවුන් තුළ දේව විශ්වාසය තව තවත් තර වුණි. ඔවුන් දිගින් දිගට අල්ලාහ් ගෙන් සමාව පතමින් දවස ගෙවූහ.

මෙම තහනමින් ඔවුන්ගේ බිරියන්ද අපහසු තත්ත්වයට පත් වූ අතර, කිසිවෙක් ඔවුන් වෙතට යෑම තහනම් කරනු ලැබීය. මදීනාවෙහි ඔවුන් පසු වන තත්ත්වය ගැන ආරංචිය ලැබු ගස්සාන් පළාතේ කාෆිර් රජුගෙන් ඔවුන්ට තවත් පරීක්ෂණයක් සිදු විය. කඅබ් ඉබ්න් මාලික්ව ඉස්ලාමයෙන් ඉවතට ඇද ගන්නා අදහසින්, ඔහුට ගෞරවය දක්වනු පිණිස තම රාජ සභාවට පැමිණෙන ලෙස ගස්සාන් හී රජු ආරාධනා කළේය. (ඉස්ලාමයට එරෙහිව ක්‍රියා කරන සල්මාන් රුෂ්ඩි වැනි  ඕනෑම කෙනෙකුට කාෆිර් ලොව දක්වන ගෞරවය සහ ආදරයට අදත් අඩුවක් නැත.) රජුගේ ආරාධනාව සංදේශක වරයෙක් ගෙනවිත් දුන් විගස, කඅබ් එය ඉරා ගිනි බත් කළේය.

අල්ලාහ් ඔවුන්ට දුන් විභාගය අවනස් වූ අතර, ඔවුන් කිසිවෙක් විභාගයෙන් අසමත් වුයේ නැත. ඔවුන්ගේ ආදර්ශය සදා කල් පවතින ලෙස, අල්ලාහ් ගෙන් කුර්ආන් වාක්‍ය පහළ විය. “රසූල්වරයාටද, පීඩිත කාලයෙහි එතුමා අනුගමනය කරන මුහාජිර්වරුන්ටද, අන්සාර් වරුන්ටද අල්ලාහ් සමාව දුන්නේය. ඔවුන් පිරිසකගේ සිත් වැරදි මඟ යන්නට ළංවුවත්, ඔහු ඔවුන් වෙත දයාලුභාවයෙන් හැරුණේය. සැබැවින්ම, ඔහු ඔවුන්ට සානුකම්පිතයි. දයාලුය. පොළොව විශාල වූවද, ඔවුන්ට පටු බවට දැනුණි. අල්ලාහ් හැර පිළිසරණක් නැතැයි ඔවුන් දැන ගත්හ. ඔවුන්ගේ පසුතැවිලිවීමේ හේතුවෙන් ඔවුන් වෙතට අල්ලාහ් හැරුණේය. සැබැවින්ම, අල්ලාහ් සානුකම්පිතය.“ අල් කුර්ආන් 9: 117 සහ 118.

තාඉෆ් පළාත් වැසියන්

තාබුක් සටනේ ප‍්‍රථිඵලය ගැන ආරංචි වූ තාඉෆ් පළාත් වාසීන්, මුස්ලිම් වරුන් හා සටන් කර ජයගත නොහැකි බව අවසානයේ අවබෝධ කර ගත්හ. උර්වාන්ගේ ඝාතනයෙන්  පසු, ඔහුගේ පුත‍්‍රයා අබුල් මුලෙයිහ් පිරිසක් සමඟ මදීනාවට පැමිණ, මුස්ලිම් බවට පත්වුණේය. තාඉෆ් ජනතාවද, තම සමාජයේ තත්ත්වය ගැන සාකච්ඡාවක් පවත්වා, අල්ලාහ්ගේ රසූල් (සල්) තුමා වෙතට නියෝජිත පිරිසක් එවන්නට තීරණය කළහ.

ආගමික නීතියේ වෙනසක් නැත

මදීනාවට පැමිණි තාකිෆ් ගෝත‍්‍ර පිරිස සඳහා මස්ජිදය අසල කූඩාරමක් ඉදි කරන ලදුව, ඉස්ලාමය සහ එහි ඇදහීම් ක‍්‍රමය ගැන ඉගෙන ගත්හ. අවසානයේ ඉස්ලාමය පිළිගත් ඔවුන්, අල් ලාත් නම් පිළිමය වසර තුනක් තබා ගන්නට අනුමත ඉල්ලූ නමුත්, රසූල් (සල්) තුමා එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළේය. ඉන් පසු දෙවසරකටද, පසුව වසරකටද, පිළිමය තබා ගන්නට ඔවුන් දිගින් දිගට අනුමැතිය පැතූ නමුත්, රසූල් (සල්) තුමා ඒවා කිසිවකට එකඟ වූයේ නැත. අවසානයේ අඩුම වශයෙන් එක් මසකට පිළිමවල් තබා ගන්නට අනුමැතිය පැතු නමුත්, එයද ප‍්‍රතික්ෂේප කළ රසූල් (සල්) තුමා, එම පළිම සියල්ල විනාශ කිරීමට ඔවුන්ගේ ගෝත‍්‍රයට අයත් අබු සුෆියාන් ඉබ්න් අල් හර්බ් සහ අල් මුගීරා ඉබ්න් ශුබාන් යන දෙදෙනා එවීය. ඔවුන්ගේ දේවාලයට අයත් ධනයෙන් උර්වාන් බින් මසූද්ගේ මරණය සඳහා වන්දි මුදල් ගෙවනු ලැබීය.

දෛනික පස් වේල සලාහ් ඉටු නොකිරීමට සහනයන් දෙන ලෙස තාකිෆ් ගෝත‍්‍ර කළ අවසාන ඉල්ලීමටද එකඟ නොවු රසූල් (සල්) තුමා, ‘සලාහ් නොමැති ආගමේ කිසි දෙයක් ඉතිරිවී නැත.‘ යනුවෙන් පිළිතුරු දුන්නේය. (තාකිෆ් ජනයා මෙන් මුස්ලිම් පිරිසක් අදත් සිටිනු අපි දකිමු.)

නියෝජිත පිරිස තායිෆ් නගරයට හැරී ගිය පසු, තාකිෆ් ජනතාව අතර ඉස්ලාම් පැතිරීමෙන්, එහි සෑම කෙනෙකුම මුස්ලිම් වරු බවට පත් වූහ.

තායි ගෝත‍්‍රයේ නායක ආදී බින් හාතිම්, මුස්ලිම් වරුන්ට එරෙහිව සටන් කළ නමුත්, අලි (රලි) ට පරාජය වී, පලා ගියේය. එහෙත් රසූල් (සල්) තුමා ගැන විස්තරයට සවන් දුන් ඔහු, වහාම මදීනා නුවරට පැමිණ එතුමාව හමු විය. ඔහුට ගෞරවයෙන් හා ආදරයෙන් සැලකු රසූල් (සල්) තුමා, තම නිවසට යන අතර මඟදී කාන්තාවකගේ දුක්ගැනවිල්ලට සවන් දුන් ආකාරය දුටු ආදී සිත් වෙනස් වී ඒ මොහොතේ මුස්ලිම් බවට පත් වී, තම ජනයා වෙතට හැරී ගොස්, ඔවුන්ටද ඉස්ලාමයට පිවිසීමට මඟ පෙන් විය.

රසූල් (සල්) තුමා යුද්ධයට බැහැර ගිය අවසාන ගමන තාබූක් පළාතටයි. මෙම  වසර නවයක් තුළ මුස්ලිම් වරුන්ට සටන් විසි හතකටද, සුළු ගැටුම් හැටකටද මුහුණ දෙන්නට සිදු විය. මෙම සියලු ගැටුම් වලින් දෙපක්ෂයට අයත් එක් දහස් දහ අට දෙනෙක් ජීවිතක්ෂයට පත් වුහ. මෙලෙස අවම ජීවිත හානියකින් මෙතරම් විශාල ජයක්, කිසිම රජවරයෙක් කිසි කලක ලැබූ බව කිසිදු තැනක වාර්තා වී නැත. අරාබි අර්ධ ද්වීපයේ සාමය හා ආරක්ෂාව ස්ථාපනය කිරීම තුළින් කොපමණ ජන සංඛ්‍යාවකගේ ජීවිත වලට රැකවරණය ලැබුණා දැයි දන්නේ අල්ලාහ් පමණි. අවසානයේ හීරා පෙදෙස සිට, මක්කාව දක්වා කාන්තාවක් වුවත් අල්ලාහ් හැර අන් කිසිවෙකුට බිය නොමැතිව තනිවම වන්දනා ගමනේ  යෙදිය හැකි සම්පූර්ණ ආරක්ෂා සහිත පරිසරයක් එම රටේ උදා විය.

ඉස්ලාමයේ ප‍්‍රථම හජ් වන්දනා ගමන

9 වන හිජ්රි වසරේ, හජ් වන්දනාව මුස්ලිම් වරුන්ට අනිවාර්ය කුලුණක් බවට පත් විය. එම වසර හජ් වන්දනා කරුවන්ට අමීර් (නායකයා) වශයෙන් අබු බකර් (රලි) පත් කරන ලදුව, වන්දනා කරුවෝ තුන් සීය දෙනෙක් ඔහු සමඟ මක්කාවට පැමිණියහ. “කිසිම කාෆිර් වරයෙකුට අද දිනයෙන් පසු හජ් ඉටු කිරීමට හෝ නිර්වස්ත‍්‍රව (කඅබාව වටා) තවාෆ් කිරීමට හෝ අනුමත නැත.“ යයි අණ කරන අල් කුර්ආන්හී 9 - 28 වාක්‍ය ජනතාව ඉදිරියේ කියවන ලෙස නියෝග කර, අලි ඉබ්න් අබි තාලිබ් (රලි) ව මදීනාවේ සිට රසූල් (සල්) තුමා එවීය. අලි (රලි) මීනාවෙහි වන්දනා කරවන් කුර්බාන් දෙන දිනයේ එම නියෝගය ප‍්‍රසිද්ධ කළේය. අල්ලාහ්ගේ එම නියෝගය අදත් ක්‍රියාත්මක වේ.

නියෝජිතයින්ගේ වසර

මක්කාව, හුනෙයින් සහ තාබුක් සිට ජයග‍්‍රාහි ලෙස රසූල් (සල්) තුමා මදීනාවට හැරී පැමිණි පසු අරාබි දේශයේ සෑම ගෝත‍්‍රෙයේම නියෝජිතයින් මදීනාවට ගලා එන්නට පටන් ගත්හ. මේ හේතුවෙන් 9 වන හිජ්රි වසර නියෝජිතයින්ගේ වසර යයි හැඳින් වේ. එම නියෝජිතයින් ඉස්ලාමය ඉගෙන ගත් අතර, රසූල් (සල්) තුමාගේ ගුණාංගයන්ද, සහාබා වරුන්ගේ ජීවිත රටාවද සැබැවින් දුටුහ. මස්ජිදයේ විවෘත තැන්හී ඔවුන් සඳහා කූඩාරම් ඉදි කරන ලදුව, අල් කුර්ආනය පාරායන කරන විට ඔවුන් සවන් දුන්හ. මුස්ලිම්වරු සලාහ් ඉටු කරන අයුරු බලා සිටියහ. ඊමාන් නම් දේව විශ්වාසය පහදා දෙන ලෙස රසූල් (සල්) තුමාගෙන් ඉල්ලීම් කළහ.

එතුමාද නිතර අල් කුර්ආන් වැකි සඳහන් කරමින්, තම කථාවේ අලංකාර ශෛලියෙන් සහ ඥානවන්ත දේශනාවෙන් ඔවුන්ගේ සිත් දිනා ගත්තේය. සවන් දුන් සියලු දේ ඔවුන් විශ්වාස කර, සියලු දේ ගැන සෑහීමට පත් වූහ. ඉස්ලාමය ගැන සම්පූර්ණ විශ්වාස සහිතව, තම ගම් පෙදෙස් වලට හෑරී ගොස් තම ජනතාවට නූගත් ජාහිලියියා යුගය සහ එහි අයහපත් ප‍්‍රතිඵලය ගැන පහදා දී ඉස්ලාමයට ආරාධනා කළහ.

බනු ආද් ඉබ්න් බක්ර් ගෝත‍්‍රිකයන්ගේ නියෝජිතයෙකු වශයෙන් දිමාම් ඉබ්න් තාලබා මදීනාවට පැමිණියේය. මුස්ලිම් බවට පත්ව ගමට හැරී ගිය ඔහු, එම ජනතාවට ඉස්ලාම් කෙරෙහි ආරාධනා කළේ මෙසේය. “ඔබට හානියක් කිරීමට හෝ සුවයක් ලබා දෙන්නට මේ පිළිම වලට කිසිසේත්ම නොහැක. අල්ලාහ් ග‍්‍රන්ථයක් සමඟ රසූල් වරයෙක් එවා ඇත. එ මගින් ඔබ දැන් සිටින අසරණ තත්ත්වයෙන් මුදවා ගන්නට එතුමා ක්‍රියා කරයි. අල්ලාහ් හැර අන් දෙවි කෙනෙක් හෝ සහකරුවෙක් හෝ නැති බවද, මුහම්මද් (සල්) තුමා අල්ලාහ්ගේ රසූල් වරයෙක් බවද, අල්ලාහ්ගේ සේවකයෙක් බවද සාක්ෂි දරමි. ඔබට ඉටු කරන ලෙසද, තහනම් කරන ලෙසද එතුමා අණ කළ දේ පිළිබඳ විස්තර රැගෙන මම පැමිණියෙමි.“ යනුවෙන් ඔවුන්ට දිගින් දිගට ඔහු කීය.

එදා රාත‍්‍රි වන විට, එම ගෝත‍්‍රයේ මුස්ලිම් බවට පත් නොවු කිසිවෙක් ඉතිරිව සිටියේ නැත.

මුආද් ඉබ්න් ජබල් (රලි) සහ අබු මූසා (රලි) යන දෙදෙනා යෙමන් රට වැසියන්ට ඉස්ලාමය කරා ආරාධනා කරනු පිණිස එවු රසූල් (සල්) තුමා, “සියලු දේ පහසු කරන්න. අපහසු බවට පත් නොකරන්න. ඔවුන්ගේ සිතට සහන දෙන්න. බිය නොගන්වන්න.“ යනුවෙන් උපදෙස් දුන්නේය.

zසකාත් ගෙවීම අනිවාර්ය කුලුනකි

දෙවන වසරේදී සකාත් ගෙවීම මුස්ලිම් වරුන්ට අනිවාර්ය කුළුනක් බවට ප‍්‍රකාශ කරන ලද බව අප දනිමු. මුස්ලිම් වරුන්ගේ සකාත් මුදල් අය කරනු පිණිස සියලු ගෝත‍්‍ර වෙතට නියෝජිතයින් එවන ලද අතර, ආරම්භක අවදියේ එම නියෝජිතයෝ ඇතැම් තැන්හී නොයෙක් දුෂ්කර තාවන්ට මුහුණු දුන්හ. ඇතැමුන් ජීවිතක්ෂයට පවා ලක්වුහ. අවසානයේ සකාත් ගෙවීම ඉස්ලාමයේ ප‍්‍රධාන කුලුනක් බවට පත් වුණි.

මුබාහලාහ්

තමා බොරු පැවසුවේ නම්, අල්ලාහ්ගේ ශාපය තමා වෙතටම පහළ වේවා යයි කෙනෙක් යාචිඤා කිරීම මෙම වචනයේ අර්ථය වේ. දහවන හිජ්රි වර්ෂයේ නජ්රාන් පෙදෙස සිට ක්‍රිස්තියානු නියෝජිත පිරිසක් ඔවුන්ගේ නායක අබ්දුල් මසීහ් (ජේසු දාසයා) සහ අබු හරිතා නම් බිෂොප්වරයා සමඟ මදීනාවට පැමිණියෝය. නජ්රාන්හී වැදගත් පවුල් විසි හතරකින් තෝරා ගත් හැට දෙනෙකු ගෙන් මෙම පිරිස සමන්විත විය. මදීනා මස්ජිදයට පැමිණි ඔවුන්, උණුසුම් ලෙස තර්ක කරන්නට පටන් ගත්හ. මෙම අවස්ථාවේ, සූරා ආල ඉම්රාන්හි මුබාහලාහ් පිළිබඳ අල් කුර්ආන් වැකි කිහිපයක් අල්ලාහ් පහළ කළේය. ඉස්ලාමය පිළි ගන්නා ලෙස රසූල් (සල්) තුමා පැවසු විට, ඔවුන් උඩඟුවෙන් පිළිතුරු දුන්හ. “මැටියෙන් නිර්මාණ කරන ලද ආදම් තුමා හා ඊසා (අලෙ) සමානය.“ යි රසූල් (සල්) තුමා පැවසු විට, “නැත. ජේසුස් වහන්සේ අල්ලාහ්ගේ පුත‍්‍රයා වේ.“ යයි ඔවුන් තර්ක කළහ. “ඔබ පවසන්නේ සත්‍ය නම්, ඔබේ පවුලේ අය රැගෙන එන්න.  මමද එන්නෙමි. විවෘත ස්ථානයක දෙපිරිසම වෙන වෙනම වාඩි වී, බොරු පවසන්නන් වෙතට අල්ලාහ්ගේ ශාපය පහළ වේවා, යයි යාචිඤා කරමු.“ යනුවෙන් රසූල් (සල්) තුමා ඔවුන්ට ආරාධනා කළ අවස්ථාවේ, ඔවුන් නිහඬ වුහ.

පසු දින උදය අලි, ෆාතිමා, හසන් සහ හුසෙයින් (රලි) යන අය සමඟ රසූල් (සල්) තුමා පැමිණ, “බොරු පවසන්නන් වෙතට අල්ලාහ්ගේ කෝපය පහළ වේවා යයි මම ප‍්‍රාර්ථානා කරන අවස්ථාවේදී ඔබද ‘එසේම වේවා‘ යයි පතනු.“ යනුවෙන් ඔවුන්ට පැවසීය. එතුමාගේ කථාවට සවන් දී බියට පත් වූ ඔවුන්, “අපි මුබාහලා කිරීමට අකැමැතිය.“ යි කීහ.

“එසේ නම් මුස්ලිම් වී අපි හා එක සමාජයක් බවට පත්වනු.“ යයි එතුමා ඔවුන්ට ආරාධනා කළේය. එයද ඔවුන් ප‍්‍රතික්ෂේප කර, අවසානයේ ජිzස්යා නම් අවම බදු ගෙවීමට එකඟ වුහ. තම පළාතට හැරී යෑමට මාර්ගය පෙන්වන්නෙක් එවන ලෙස ඔවුන් ඉල්ලීමක් කිරීමෙන්, අබු උබෙයිදා ඉබ්න් ජර්රාහ් (රලි) ඔවුන් සමඟ එවනු ලැබීය. තම පළාතට හැරී ගොස් සුළු කලකට පසුව, ඔවුන් සියලු දෙනාම මුස්ලිම් බවට පත්වුහ.

 සමු ගැනීමේ හජ් වන්දනාව

රසූල් (සල්) තුමා හජ් වන්දනාව ඉටුකරයි

කඅබාව ශුද්ධ වූ දේව ස්ථානයක් බවට අල්ලාහ් යළි පත් කළායින් පසු, හජ් වන්දනාවේ යෑමට රසූල් (සල්) වරයා තීරණය කළේය. එතුමාට අල්ලාහ් පැවරු කාර්ය අවසන් වී ගෙන එන අතර, තම හිතවත් සහාබා වරුන් ගෙන් සමු ගැනීමට අවස්ථාව ළඟා වුණි. එහෙයින් ඔවුන් සියලු දෙනා හජ් වන්දනාව සඳහා රැගෙන යන්නට එතුමාට අල්ලාහ් අනුමැතිය දුන්නේය. තම දූත මෙහෙය ආරම්භ කළායින් පසු, එතුමා කරන ප‍්‍රථම හජ් වන්දනා ගමන මෙය වේ.

එතුමා මදීනාවෙන් පිටත් වීමට නොයෙකුත් හේතු සාධක තිබුණි. හජ් වන්දනාව ඉටු කිරීම, දුර ඈත පළාත් සිට පැමිණෙන සියලු මුස්ලිම් ජනතාව හමු වීම, ඔවුන්ට දේව විශ්වාස සහ එහි ක්‍රියාවලි සියල්ල කියා දීම, සත්‍ය ප‍්‍රකාශයට සාක්ෂි දැරීම, වගකීම භාර දීම, අවසාන උපදෙස් නිකුත් කිරීම යනු ඒවායින් සමහරකි. තවද, සියලු මුස්ලිම්වරු එතුමාගේ ඉගෙන් වීමට එකඟව ක්‍රියා කරන බව දිවුරුම් දීම භාර ගන්නටද, ජාහිලියියා නම් අන්ධකාර යුගයෙන් තවමත් ඉතිරි වී තිබෙන මකුළු දැල් සියල්ල ඉවත් කරන්නටද මෙම අවස්ථාව උපයෝගී කර ගනු ලැබුණි. එක් ලක්ෂයකට අධික මුස්ලිම්වරු එතුමා සමඟ හජ් කර්තව්‍යය ඉටු කළහ. මෙම හජ් වන්දනාව, හජ්ජතුල් වධා, (සමු ගැනීමේ හජ්), සහ හජ්ජතුල් බලාග් (නිවේදනය දැන්වීමේ හජ්) යනුවෙන් හැඳින් වේ.

හජ් වන්දනාවේ යෑමට රසූල් (සල්) තුමා තීරණය කර, ඒ බවට ජනතාවට දැනුම් දුන් විට, ඔවුන්ද එම ගමනට සූදානම් වුහ. මෙම නිවේදනය මදීනාවෙන් දුර ඈත පළාත් වලට පැතිරුණු විගස, එතුමා සමඟ හජ් වන්දනාවේ යෑමට මුස්ලිම්වරු මදීනාවට පැමිණියහ. වන්දනා ගමන් මාර්ගයේදී ද විශාල පිරිස් එතුමා සමඟ එකතු වුහ. එතුමා වටා ඇසට පෙනෙන සෑම තැනම මුස්ලිම්වරු පිරී සිටියහ. දුල් කඅදා මස 25වන දින, ලුහර් සලාතයේ රකඅ හතර අවසන් කර, මදීනාවෙන් කණ්ඩායම පිටත් විය. සලාහ් මෙහෙය වන්නට පෙර දේශනාවක් පැවැත් වූ රසූල් (සල්) තුමා වන්දනා කරුවන්ට ඉහ්රාම් පැළඳීමට අවශ්‍ය කරණු, හජ් වන්දනාවෙහි අත්‍යවශ්‍ය කුලුනු, සහ අතිරේක සුන්නාහ් යන සියලු කරුණු පහදා දුන්හ.

ඉහ්රාම් නම් සුදු රෙදි කැබැලි දෙක පමණක් පැලඳ ගෙන, “ලබ්බෙයික, අල්ලාහුම්ම ලබ්බෙයික්. ලබ්බෙයික, ලා ෂරීක ලක ලබ්බෙයික්. ඉන්නල් හම්ද වන් නිඅමත ලක වල් මුල්ක්. ලා ෂරීක ලක්.“ (ඔබේ ඇරයුමට පිළිතුරු දෙමි. යා අල්ලාහ් ඔබේ ඇරයුමට පිළිතුර දෙමි. ඔබේ ඇරයුමට පිළිතුරු දෙමි, ඔබට හවුල් කරුවෙක් නැත. ඔබේ ඇරයුමට පිළිතුරු දෙමි. සියලු පැසසුම් හා ආශීර්වාද සහ රජකම ඔබට හිමිය. ඔබට හවුල් කරුවෙක් නැත.) යනුවෙන් හඬ නගා තල්බියා පවසමින් එතුමා පිටත් විය. එතුමා සමඟ සිටි සෙනඟද එම තල්බියා හඬ නඟා පවසමින් ගමන් කළහ.

එතුමා දුල් හජ් මස හතර වන දින මක්කාවට ඇතුළු වී, හරම් මස්ජිදයට ගොස් කඅබාව වටා හත් වරක් තවාෆ් කළ පසු, සෆා හා මර්වා අතර සඊ නම් ගමන් කිරීමේ කාර්ය ඉටු කළේය. දින හතරක් මක්කාවේ නැවතී සිට, තර්වියාහ්  දිනය වන දුල් හජ් මස අට වන දින, සහාබාවරු සමඟ මීනා නම් ස්ථානයට ගොස් එදින රාත‍්‍රිය මීනාවෙහි ගත කළේය.

පසු දින දුල් හජ් මස 9 වන දින හිමිදිරියේ, සියලු වන්දනා කරුවන් සමඟ මීනා සිට අරෆාත් කරා ගියේය. එය සිකුරාදා දිනයයි. අරෆාත් මිටියාවතේ තම ඔටුවා මත වාඩි වී ගෙන කුත්බා නම් ඓතිහාසික දේශනාව පැවැත් විය. එම දේශනාවෙහි ඉස්ලාමයේ ප‍්‍රතිපත්ති තහවුරු කර, ජාහිලියියා නම් අන්ධ කාර යුගයට අයත් නැමදුම් හෙළා දුටුවේය. කෙනෙකුගේ ජීවිතය, දේපළ සහ ගෞරවය ඉතාමත් පවිත‍්‍ර බවද, ඒවා විනාශ කිරීම සම්පූර්ණයෙන් තහනම් යයි සියලු ආගම් එකඟ වන බවද පවසමින් ඒවා ගැන තරයේ අවවාද කළේය.

ජාහිලියියා යුගයට අයත් චාරිත‍්‍ර පාගා දැමූ බවද, පොලිය තහනම් කර අහෝසි කළ බවද ප‍්‍රකාශ කළේය. කාන්තාවන්ට ආහාර හා ඇඳුම් පැළඳුම් සාපයීම සහ කැරුණික වීම පිරිමින්ගේ පරම යුතුකමක් බවද දැන් විය.

“ජනතාවනි, මගේ වචනයට සවන් දෙනු මැනව. මෙම වසරෙන් පසු මෙම ස්ථානයේ නැවත වරක් මම ඔබලා හමුවන්නේදැයි නොදනිමි. එනිසා, මෙම වචන වලට ප‍්‍රවේශමින් සවන් දී, ඒවා මෙහි සහභාගි නොවූ අය වෙතට දන්වනු මැනවි.

ජනතාවනි, කඩ කළ නොහැකි මෙම ශුද්ධ වූ දිනයේ, මෙම ශුද්ධ වූ මාසයේ, මෙම ශුද්ධ වූ නගරයේ ලේ සැලීම තහනම් මෙන්ම ඔබ එකිනෙකාගේ ලේ සැලීම සහ එකිනෙකාගේ දේපළ නීති විරෝධි ලෙස පවරා ගැනීම ඔබට තහනම්ය. ඔබ අල්ලාහ්ට මුහුණු ගැසෙන බවද, එදා දින ඔබේ සියලු ක්‍රියා සඳහා ගිණුම් ඔහු පිය වන බවද මතකයේ තබා ගනු මැනවි.

පොලිය ගැනීම අල්ලාහ් සම්පූර්ණයෙන් තහනම් කරයි. එනිසා ගෙවිය යුතු සියලු පොලි අදින් අවසන් වේ. ඔබ ණයට දුන් මුදල ඔබට අයිතිය. අනුන්ට වැරදි නොකරනු, එවිට ඔබට වැරදි කරනු නොලැබේ.

ජනතාවනි, මිත්‍යා දෘෂ්ටි ඇදහීම සහ නූගත්කම දැන් මාගේ දෙපා යට පාගා දමා අහෝසි කළෙමි. නූගත් යුගයට අයත් පළි ගැනීමේ පිපාසය අදින් අවසානයි. සාද් ගෝත‍්‍රය විසින් කිරි පොවා හදා ගත් රබියියා බින් හාරිත්ගේ  ඝාතනය සිදු කළ හුදෙයිල්ට එරෙහිව පළි ගැනීමේ අයිතිය මම අහෝසි කරමි.

ජනතාවනි, ඔබේ ආගමෙහි ආරක්ෂාව සඳහා සාතාන් ගැන ප‍්‍රවේශම්වන්න. මහා පාපයන් වෙත ඔබව යෙදවීමේ සියලු බලා පොරොත්තු සාතාන් අත හැර දැමුවේය. එහෙත් සුළු පාපයන්හී ඔහුව අනුගමනය කිරීමෙන් ප‍්‍රවේශම්වන්න.

ජනතාවනි, මට සැලකිලිමත්ව සවන් දෙනු මැනව. අල්ලාහ්ට පමණක් නැමදුම් කරන්න. පස් වේල සලාතය ඉටු කරන්න. රමදාන් මස උපවාසයේ යෙදෙන්න. ඔබේ ධනයෙන් සකාත් බදු ගෙවන්න. ඔබට හැකියාව තිබේ නම් හජ් වන්දනාව ඉටු කරන්න.

සියලු මිනිස් වර්ගය ආදම් සහ හව්වාගෙන් බිහි වූ අයවෙති. අරාබි වරයෙක් අරාබි නොවන කෙනෙකුට වඩා උසස් නොවන අතර, අරාබි නොවන කෙනෙක් අරාබි වරයෙකුට වඩා උසස් නොවෙයි. එමෙන්ම, සුදු ජාතිකයෙක් කළු ජාතිකයෙකුට වඩා උසස් නොවන අතර, කළු ජාතිකයෙක් සුදු ජාතිකයෙකුට වඩා උසස්  නොවෙයි. දේව බැතිමත් කමින් හා යහපත් ක්‍රියාවෙන් පමණක් මිනිසා උසස් බවට පත්වෙයි. මුස්ලිම් වරයෙක්, අන් සෑම මුස්ලිම් වරයෙකුගේ සහෝදරයෙක් වන බවද, මුස්ලිම්වරු සහෝදරත්වයෙන් බැඳී සිටින බවද දැන ගනු මැනව. මුස්ලිම් වරයෙකුට අයත් කිසිවක් ඔහු විසින් කැමැත්තෙන් දෙනු ලබන තුරු තව මුස්ලිම් වරයෙකුට නීත්‍යානුකූලව අයිති වන්නේ නැත. එනිසා ඔබටම අයුක්තියක් සිදු නොකර ගන්න.

එක් දිනක අල්ලාහ් ඉදිරියේ ඔබ පෙනී සිටිය යුතු බවද, ඔබේ ක්‍රියා සඳහා පිළිතුරු දිය යුතු බවද මතකයේ තබා ගන්න. මම ඔබෙන් ඉවත්ව ගියායින් පසුව, ධාර්මික මාර්ගයෙන් ඉවත් වී අතරමං නොවන්න.

මාගේ ජනතාවනී, මට පසුව කිසිදු නබි වරයෙක් පැමිණෙන්නේ නැත. අලුත් ආගමක් බිහි වන්නේද නැත. එනිසා ජනතාවනී, මම පවසන වචන පිළිබඳව හොඳාකාරව කල්පනා කර අවබෝධ කර ගන්න. මාගෙන් පසුව අල් කුර්ආනය සහ මාගේ සූන්නාහ් (ආදර්ශය සහ උපදෙස්) යන කරුණු දෙකක් ඔබ හට මම ඉතිරි කර යමි. මේවා තදින් ග‍්‍රහණය කර ගන්නා තුරු, කිසි දවසක ඔබට නොමඟ යෑම සිදු නොවන බව සලකන්න.

මාගේ වචන වලට සවන් දෙන සියලු දෙනාම, අනිත් අයටද, ඒ අය තවත් අයටද යළි දැන්විය යුතුයි. ඇතැම් විට, මට මෙහිදී සෲජුව සවන් දෙන අයට වඩා, අවසානව මේවාට සවන් දෙන අයට, මාගේ වචන ගැන හොඳ අවබෝධයක් ලැබිය හැක. ජනතාවනි, ඔබෙන් මා ගැන අල්ලාහ් ප‍්‍රශ්න කරන්නේ නම්, ඔබ කුමක් පවසන්නේද?“ යනු ඇසීය.

“ඔබ තුමා අල්ලාහ්ගේ නිවේදනය ගෙන දුන් බවද, වගකීම ඉටු කළ බවද අපි සාක්ෂි දරමු.“ යයි එහි පැමිණ සිටි සැවෝම එක හඬින් ශබ්ද නගා පිළිතුරු දුන්හ.

“යා අල්ලාහ්, ඔබ මෙයට සාක්ෂිය වේ.“ යයි රසූල් (සල්) තුමා අහස දෙසට අත දිගු කර, තුන් වරක් ප‍්‍රකාශ කළේය. රසූල් (සල්) තුමා පැවසු සෑම වචනයක්ම, රබිය්යා බින් උමෙයියා බින් හඃලෆ් (රලි) ශබ්ද නගා සියලු දෙනාට ඇසෙන සේ කීවේය.

කුත්බා දේශනාව අවසන් කර, බිලාල් (රලි) තුමාට අදාන් කියන ලෙස රසූල් (සල්) තුමා අණ කළේය. සලාහ් සඳහා ඉකාමත් කීමෙන් පසු, ලුහර් සලාතයේ රකඅත් හතර කෙටි කර, රකඅත් දෙකක් මෙහෙයුවේය. එහි සලාම් කීමෙන් පසුව, නැවත වරක් ඉකාමත් කියා, අසර් සලාතයේ රකඅත් හතර කෙටි කර, රකඅත් දෙකක් මෙහෙයුවේය. මෙලෙස සලාහ් ඉටු කිරීම, ජම්මු කස්ර් යනුවෙන් හැඳින් වේ.

සලාහ් අවසාන කළ පසු, ඔටුවා මත නැග, අරෆාත්හී මව්කිෆ් නම් නවා තැනට පැමිණියේය. එහිදී ඔටුවා මත වාඩි වී, අල්ලාහ්ට පැසසුම් කළේය. උරහිස දක්වා දෑත් ඔසවා, සාගතයට ලක්ව සිඟමනේ යන යාචකයෙකු ආහාර ඉල්ලන්නා සේ අල්ලාහ්ගෙන් බැගෑපත්ව මෙසේ යාච්ඤා කළේය.

“යා අල්ලාහ්, මාගේ වචනයන්ට ඔබ සවන් දෙන අතර, මා සිටින තැනද ඔබට පෙනේ. මාගේ සියලු රහස්ද, මම හෙළි කරන දේවල්ද ඔබ දනී. ඔබෙන් කිසිවක් සඟවා තැබිය නොහැක. උදව් හා රැකවරණය ඉල්ලන මම දුගී, අසරණ කෙනෙක් වෙමි. මම බියට හා සැකයට පත් ව, මගේ සියලු වැරදි ක්‍රියා පිළිගෙන පාපෝච්චාරණය කරමි.“

“දුප්පත් අසරණයෙක් ඉල්ලන්නා සේ මම ඔබෙන් ඉල්ලමි. පාප කළ දුගී කෙනෙකු මෙන් ඔබෙන් ඉල්ලමි. ඔබට හිස පහත් කර දෑසින් කඳුළු සැලෙන, සිරුර ඔබට අවනත වන, ඔබ ඉදිරියේ කිසිදු ශක්තියක් නොමැති අන්ධයෙකු මෙන්, බිය හා සැක සහිතව ඔබෙන් ප‍්‍රාර්ථනා කරමි. යා අල්ලාහ්, ඔබ වෙත මම ඉදිරිපත් කරන ඉල්ලීම් ගැන මා කලකිරීමට පත් නොකරනු මැනව. දෙවියනී, මට මෛති‍්‍රය හා කරුණාව දක්වනු මැනව. ඉල්ලීම් කිරීමට ඉතාමත් සුදුසු සහ ඉල්ලීම් ඉටු කිරීමට ඉතාමත් උතුම් ඔබ පමණි.“

අරෆාත් දිනයේදී, “අද දින මම ඔබට ඔබගේ (සියලු) සන්මාර්ගය පරිපූර්ණ කළෙමි. මාගේ ආශීර්වාදයද පූර්ණ කළෙමි. ඔබට මාර්ගය වශයෙන් ඉස්ලාමය සතුටින් තෝරා දුනිමි.“ යන අල් කුර්ආන් වාක්‍ය 5 : 3 පහළ කරන ලදී. මෙම වාක්‍යයෙන් පසුව ඉස්ලාමයේ නීතිරීති පිළිබඳ කුර්ආන් වැකි කිසිවක් පහළ වුයේ නැත.

එදා දින රසූල් (සල්) තුමා එක් ලක්ෂයකට අධික සහාබා වරුන්ට කථා කළ ආකාරය සහ උපයෝගී කළ වචන, ඔවුන්ගෙන් සමු ගැනීම නොහොත් ආයුබෝවන් කීමක් වැනිය. මේ හේතුවෙන් එය සමුගැනීමේ හජ් වන්දනාව යනු හැඳින්වේ.

හජ් වන්දනාව අවසන් කර හැරී එනවිට, මදීනා නුවර ඇසට පෙනෙන දුරකදී, “අල්ලාහු අක්බර්“ යයි තුන් වරක් පවසා, “ලා ඉලාහ ඉල් අල්ලාහු වහදහු ලා ෂරීක ලහු, ලහුල් මුල්ක් ව හුවල් හම්ද්, ව හුව අලා කුල්ලි ෂෙය්යින් කදීර්. ආ ඉබූන තාඉබූන, ආබිදූන ලි රබ්බනා හාමිදූන්.“ (අල්ලාහ් හැර අන් දෙවි කෙනෙක් නැත. ඔහු ඒකීයකි. ඔහුට සහකරුවෙක් නැත. රාජ්‍ය ඔහුට හිමිය. සියලු පැසසුම් ඔහුටයි. සියලු දේ කෙරෙහි ඔහු බල සම්පන්නය. අපි පාපෝච්චාරනය කරමින්, අපේ දෙවියන් වහන්සේට වැඳ පුදමින්, ඔහුට පැසසුම් කියමින්, හැරී එමු. අල්ලාහ් අපට දුන් පොරොන්දුව සැබැවින් ඉටු කළේය. ඔහුගේ වහලුන්ට උපකාර කර, සතුරන් තනිවම පරාජයට පත් කළේය.“ යනුවෙන් ප්‍රකාශ කළේය.

ආලෝකමත් උදය වරුවේ මදීනාවට එතුමා ආතුළු විය.

නබි (සල්) වරයා ගේ බිරියන්

කදීජා බින්ත් අල් කුවාලිද් අල් කුරෙයිෂියියා (රලි) තුමිය, රසූල් (සල්) තුමාගේ පළමුවන බිරිඳ වේ. එතුමියගේ හතලිස් වියෙහි, නබිත්වය ලැබෙන්නට පෙර රසූල් (සල්) තුමා සමඟ විවාහ වුවාය. හිජ්රා ගමනට වසර තුනට පෙර මරණයට පත්වූ එතුමිය, ඉබ්රාහීම් නම් පුත‍්‍රයා හැර රසූල් (සල්) තුමාගේ ඉතිරි සියලු දරුවන්ගේ මව වේ.

එතුමියගේ මරණයෙන් පසුව, zසමාහ් අල් කුරෙයිෂිගේ දියණිය වන සවුදා (රලි) තුමිය හා රසූල් (සල්) තුමා විවාහ විය. පසුව අබු බකර් (රලි) ගේ දියණිය වන අයිෂා (රලි) තුමිය සමඟ විවාහ විය. ඒ සමාජයේ කාන්තාවන් අතර උසස් දැනුම හා නුවනැති කාන්තාව එතුමිය වේ. උමර් ඉබ්න් අල් ක:ත්තාබ් (රලි) ගේ දියණිය වන හෆ්සා (රලි) සමඟ ද, පසුව කුzසෙයිමාගේ දියණිය වන zසෙයිනබ් (රලි) තුමිය සමඟද විවාහ වූ අතර, විවාහවී දෙමසකින් zසෙයිනබ් (රලි) තුමිය මිය ගියාය. ඉන් පසුව අබි උමයියා අල් කුරෙසිෂිගේ දියණිය වන උම් සලාමා හින්ද් (රලි) තුමිය හා විවාහ වූ අතර, නබි (සල්) තුමාගේ බිරියන් අතර අවසානව මිය ගියේ එතුමිය යි. තම නැන්දා උමෙයිමාගේ දියණිය වන සෙzයිනබ් බින්ත් ජහෂ් (රලි) තුමිය සමඟද විවාහ විය. අල් හාරිත් ඉබ්න් අබි දිරාර් අල් මුස්තලිකියියාගේ දියණිය වන ජුවෙයිරියා (රලි) සමඟද, අබු සුෆියාන්ගේ දියණිය වන උම් හබීබා (රලි) තුමිය සමඟද, බනු නදර් සමාජයේ නායක හුසෙයි ඉබ්න් අක්:තාබ්ගේ  දියණිය සෆියියා (රලි) තුමිය සමඟද විවාහ විය. එතුමා අවසානව විවාහ වුයේ, අල් හාරිත් අල් හිලාලියියාගේ දියණිය වන මයිමුනා (රලි) තුමිය සමඟයි.

රසූල් (සල්) තුමා මරණයට පත් වූ අවස්ථාවේ දී බිරියන් නව දෙනෙක් ජීවතුන් අතර සිටියහ. ක:දීජා (රලි) සහ සෙයිනබ් (රලි) තුමියන් එයට පෙර මරණයට පත් ව අවසානයි. අයිෂා (රලි) තුමිය හැර අන් සියලු බිරියන්, කලින් වෙන කෙනෙකු සමඟ විවාහ වී, ඔවුන්ගේ ස්වාමි පුරුෂයන්ගේ මරණයෙන් වැන්දඹු බවට පත් වීමෙන් පසු, රසූල් (සල්) තුමා හා විවාහ වූ අයවේ. එතුමාගේ සේවිකාවන් දෙදෙනෙක්ද එතුමාට පසු ජීවතුන් අතර සිටියහ. මිසර රජු මුකව්කිස් ත්‍යාග වශයෙන් දුන් මරියා බින්ත් ශාමුන් නම් කොප්ටික් ක්‍රිස්තියානි වහල් සේවිකාවක් එතුමාගේ ඉබ්‍රාහීම් නම් පුත‍්‍රයාගේ මව වේ. බනු නදීර් ජනතාව ත්‍යාග වශයෙන් දුන් රෙයිහානා බින්ත් සෙzයිද් තුමිය මුස්ලිම් බවට පත් වුවායින් පසුව, රසූල් (සල්) තුමා ඇයට නිදහස ලබා දී විවාහ කර ගත්තේය.

නබි (සල්) තුමාගේ දරුවන්

කදීජා (රලි) තුමිය අල් කාසිම් නමින් පුතෙක් වැදු අතර, රසූල් (සල්) තුමාගේ කුන්යාවේ නම අබුල් කාසිම් ලෙස හැඳින් වන්නේ එනිසායි. (වැඩි මහල් දරුවාගේ නම පවසා එම දරුවාගේ තාත්තා ලෙස ඇමතීම ලංකාවේද සිරිතකි) එම දරුවා කුඩා වයසේදීම අපවත් වූ අතර, සෙzයිනබි, රුකයියා, කුල්සුම්, ෆාතිමා නම් දැරියන් හතර දෙනෙකුටද, අබ්දුල්ලාහ් නම් පුතෙකුටද ක:තීජා (රලි) තුමිය උපත දුන්නාය. අත් තය්යිබ් සහ අත් තාහිර් යනු අබ්දුල්ලාහ්ගේ වෙනත් නම්ය. ෆාතිමා (රලි) තුමිය, රසූල් (සල්) තුමගේ ප්‍රියතම දියණය වූ අතර, ස්වර්ගයේ සිටින කාන්තා වන්ගේ නායිකාව එතුමිය බව රසූල් (සල්) තුමා පවසයි. අලි ඉබ්න් අබි තාලිබ් (රලි) සමඟ විවාහ වූ එතුමිය, හසන් සහ හුසෙයින් යන දෙදෙනාගේ මව වේ. මේ දරුවන් දෙදෙනා ස්වර්ගයේ තරුණයන්ගේ නායකයෝ වන බව රසූල් (සල්) පැවසීය.

මරියා නම් ක්‍රිස්තියානි කාන්තාවට උපන් ඉබ‍්‍රාහීම් නම් පුත‍්‍රයා, කුඩා වයසේදී මිය ගියේය. ඉබ්‍රාහීම් ගේ මරණ සිදු වූ විට, ශෝකයට පත් රසූල් (සල්) තුමා, “දෑස කඳුළු සලයි, හදවතේ වේදනාව පිරෙන නමුත් අල්ලාහ්ගේ කෝපයට බියව, අපි කිසිවක් නොපවසමු. ඇත්තෙන්ම අපි ශෝක වෙමු යා ඉබ‍්‍රාහීම්.“ යනුවෙන් කීවේය.

රසූල් (සල්) තුමාගේ චරිත හා ගති පැවතුම්

රසූල් (සල්) සමඟ ඉතා සමීපයෙන් ආශ‍්‍රය කර, එතුමා ගැන හොඳාකාරව දන්නා අය අතර, අලි ඉබ්න් අබි තාලිබ් (රලි) ද කෙනෙකි. ඔහු එතුමා ගැන මෙලෙස විස්තර කළේය. “එතුමා අයහපත් හෝ අසභ්‍ය දේ කිසිවක් කථා නොකරයි. වෙළඳ පොලේ ඝෝෂා කරන්නේද නැත. තමාට වරදක් කළ කෙනෙකුට පවා අයහපතක් නොකළ එතුමා, ඔහුට සමාව දී සියල්ල අමතක කළේය. ජිහාද් හැර අන් කිසිම අවස්ථාවක කිසිවෙකුට පහර නුදුන් අතුමා, කාන්තාවන්ට හෝ සේවකයන්ට හෝ අන් කිසිවෙකුට පහර දීමට අත ඔසවා නැත. අල්ලාහ්ගේ ගෞරවය කෙළෙසෙන ක්‍රියාවකට හැර අන් කිසිදු හේතුවකට එතුමා කෝපයට පත් වනු මම දැක නැත. අල්ලාහ් නියම කළ සීමාව ඉක්ම වනු දුටු විට, අන් සියලු දෙනාට වඩා එතුමා කෝපයට පත් වේ. යම් කරුණක් සඳහා ක්‍රියා මාර්ග දෙකක් තිබේ නම්, එතුමා පහසු මාර්ගය නිතර තෝරා ගනී.“

තම නිවස තුළට පැමිණියේ නම්, වෙනත් සාමාන්‍ය පිරිමින් මෙන් එතුමාද, හැසිරෙයි. තම ඇඳුම් සෝදා ගැනීම, එළුවන්ගෙන් කිරි ගෙනීම, සහ නිවසේ අනිකුත් වැඩ වලටද එතුමා සහභාගි වෙයි.

අල්ලාහ්ගේ නාමය උච්චාරණය නොකර, එතුමා වාඩි වුනේද, සිට ගත්තේද නැත. එතුමා කොතැනකට ගියත්, රැස්ව සිටින ජනයාගේ පිටුපස වැඩි වූ අතර, අන් අයටද එලෙස කරන ලෙස උපදෙස් දුන්නේය. එතුමා සමඟ වාඩි වූ සෑම කෙනෙකුටම සැළකිලි දැක් වූ ආකාරයෙන්, තමාට වැඩි සැළකිලි දැක් වූ බව සෑම කෙනෙක්ම විශ්වාස කළහ. එතුමා සමඟ කථා කරන්නට කෙනෙක් වාඩි වූ විට, එම කථාවට  ඕනෑකමින් සවන් දී, එම තැනැත්තා කථාව අවසන් කර, ඉවත යන තුරු ඉවසී මෙන් සිටියි. කවරෙකු හෝ උදව් පැතුවේ නම්, එම අවශ්‍යතාව ඉටු කරන්නට හෝ එය ඉටු කර ගත හැකි මාර්ග පෙන්වීමට හෝ එසේ කළ නොහැකි නම් කාරුණිකව කථා කර එවන්නට හෝ ක්‍රියා කරයි.

කාරුණික හදවතක් සහිත වූ එතුමා, නිතර මෙන් සිනාමුසු මුහුණුවරකින් සිටියේය. සෑම කෙනෙකුම එතුමාට පියෙක් ලෙස සැලකු අතර, සියලු දෙනාට එක හා සමානව එතුමා සැලකු වේය.

මිනිසුන් සියලු දෙනා අතර, එතුමා ඉතාමත් නිර්ලෝභී, අවංක, කරුණාව හා මෛත‍්‍රිය සහිත වූ, උසස් වංශවත් කෙනෙකි. ප‍්‍රථම වරට එතුමාව දකින කෙනෙක් විශ්මයට පත් වන නමුත්, එතුමාව හොඳ හැටි දන්නා කෙනෙක් ආදරය කරයි. එතුමා ගැන විස්තර කළ කෙනෙක්, “එතුමා හා සමාන කෙනෙක්, එතුමාට පෙර හෝ පසුව නුදුටුවෙමි.“ යයි ප‍්‍රකාශ කළේය.

කාරුණික හා අලංකාරවත් ගුණාංගයෙන් නබිවරයාව සැරසූ සර්ව බලධාරි අල්ලාහ්, එතුමාගේ සිත් තුළ ආදරය සහ ආත්ම ගෞරවයද තැබුවේය. අල් බරා ඉබ්න් ආzසාබ් (රලි) මෙසේ පවසයි. “අල්ලාහ්ගේ රසූල් (සල්) තුමා සාමාන්‍ය උසින් යුත් කෙනෙකි. එතුමාට වඩා රූප සම්පන්න කෙනෙක් මම දැක නැත.“ අබු හුරෙයිරා (රලි) මෙසේ වාර්තා කරයි. “රසූල් (සල්) තුමා මධ්‍යම ප‍්‍රමාණයට වඩා මඳක් උස වන අතර, රතු (සුදු) පැහැති සමින් යුක්තය. එතුමාගේ කේශය තද කළු පැහැතියි. ඉදිරි පස දත් මුතු මෙන් දිලිසෙයි. එතුමාගේ ඇස් බැම් දිගයි, උර හිස පළලයි. එතුමා මෙන් තව කෙනෙක් එතුමාට පෙර හෝ පසුව නුදුටුවෙමි.“

“අල්ලාහ්ගේ රසූල් (සල්) තුමාගේ දෑත් මෙන් සියුම් හා සිනිඳු සේද රෙදි වූවත් මම අතගා නැත. එතුමාගේ සිරුරෙන් විහිදෙන සුවඳ මෙන් සුවඳ විලවුන් පවා  මම ආශ්වාස කර නැත.“ යනුවෙන් අනස් (රලි) තුමා වාර්තා කරයි.

අල්ලාහ්ගේ රසූල් (සල්) තුමාගේ අවසානය

ඉස්ලාමය සම්පූර්ණ වී, උසස් තත්ත්වයට පත් වූ විට, “අද දින, මම ඔබට ඔබගේ (සියලු) සන්මාර්ගය පරිපූර්ණ කළෙමි. මාගේ ආශීර්වාදය ද පූර්ණ කළෙමි. ඔබට මාර්ගය වශයෙන් ඉස්ලාමය සතුටින් තෝරා දුනිමි.“ යන 5 : 3 අල් කුර්ආන් වාක්‍ය පහළ වනු ඇසු බොහෝ සහාබාවරු මහත් සතුටට පත් වූ නමුත්, අබු බකර්, ඉබ්න් අබ්බාස් (රලි) වැනි ඥානවන්ත සහාබාවරු ශෝකයට පත් වූහ. ආගම සම්පූර්ණ වූ පසු, නබිවරයා වෙන්වී යෑම අනිවාර්ය යෙන් සිදුවන බව ඔවුන් අවබෝධ කර ගත්හ. මෙවැනි වැදගත් වාක්‍යයක් අන් කිසිදු ආගමික ග‍්‍රන්ථයක සඳහන් වී නැති බව සලකන්න. මුහුදු රැළි මෙන් ඉස්ලාම් දහම තුළට ජනයා පිවිසුනු අවස්ථාව රසූල් (සල්) තුමාට අල්ලාහ් සතුට ගෙන දුන්නේය. දැන් එතුමා මෙලොව අතහැර යන්නට අල්ලාහ් අනුමත දීමෙන්, තම මැවුම්කරු හමුවීමේ මොහොත ලඟා වුණි. මෙවැනි විජයග‍්‍රහය ගැන අල්ලාහ් මෙසේ දන්වයි. “අල්ලාහ්ගේ උදව්ව හා ජයප‍්‍රීතිය පැමිණෙන කල්හී, තවද අල්ලාහ්ගේ මාර්ගයට මිණිසුන් රංචු වශයෙන් ඇතුළු වනු ඔබ දකී. එහෙයින් ඔබේ අධිපති සුවිශුද්ධ කරනු. ඔහුගෙන් සමාව අයදිනු. ඇත්තෙන්ම ඔහු පසුතැවිලි භාර ගන්නේය.“ අල් කුර්ආන් 110: 1 සිට 3 දක්වා.

නබි (සල්) තුමා අසනීප විය

සෆර් මස අවසානයට පෙර රසූල් (සල්) තුමා අසනීප විය. රාත‍්‍රියෙහි මදීනාවේ ජන්නත් අල් බකී ලෙස දැන් හැඳින්වන සොහොන් බිමට, මළවුන් වෙනුවෙන් යාච්ඤා කිරීමට ගිය එතුමා, පසු දින උදය හැරී ආවේ, අසනීපයෙන්ය. මේ පිළිබඳව විශ්වාසීන්ගේ මව අයිෂා (රලි) තුමිය මෙසේ දන්වයි. “රසූල් (සල්) තුමා බකී සිට  නිවසට පැමිණි අවස්ථාවේ, මම හිස රදයකින් පෙලෙනු දුටුවේය. ‘මගේ හිස. මගේ හිස.‘ යයි කියමින් මම සිටියෙමි. එවිට එතුමා, ‘අල්ලාහ්ගේ නාමයෙන් දිවුරා කියමි. අයිෂා, ඇත්තෙන්ම මගේ හිසයි. (රිදෙන්නේ)“ යනුවෙන් කීවේය.

දිනෙන් දින එතුමාගේ අසනීපය වැඩි විය. අසනීපව සිටි කාලයේදී අයිෂා (රලි) තුමියගේ නිවසේ නැවතී ප‍්‍රතිකාර කර ගන්නට ඉතිරි බිරියන් ගෙන් අනුමැතිය පැතු විට, සියලු බිරියන් එයට එකඟ වූහ. එක් බිරියක් වන මයිමුනා (රලි) තුමියගේ නිවස සිට, ඉබ්න් අබ්බාස් (රලි) සහ අලි ඉබ්න් අබි තාලිබ් (රලි) යන දෙදෙනාගේ ආධාරයෙන් ඇවිද ගෙන ආ එතුමාගේ හිස රෙදි පටියකින් ඔතා තිබු අතර, අයිෂා (රලි) තුමියගේ නිවසට ඇතුළු වන විට, ඇවිදීමට  පවා නොහැකිව, එතුමාගේ දෙපා පොලොවෙහි ඇදී ගෙන ආවේය.

“අයිෂා, කඃයිබර්හී මම කෑ ආහාරයේ වේදනාව තවමත් දැනෙනවා. එහි තිබු වස නිසා මගේ ගෙල නහරය කැපී යනවාක් මෙන් දැනෙනවා.“ යනුවෙන් එම අවස්ථාවේ එතුමා පැවසූ බව අයිෂා (රලි) දන්වයි.

අවසාන යුද්ධ ගමන

රසූල් (සල්) තුමාට මඳ සුවයක් ලැබූ විට, සිරියා සහ පලස්තීන මායිම් සිට ලැබුණු අයහපත් ආරංචිය මත, රෝමානු වරුන්ට එරෙහිව, උසාමා බින් සෙzයිද් (රලි) යටතේ සේනාවක් වහාම සූදානම් කර එවිය. අශ්වාරෝහක බල ඇනිය පලස්තීනයේ අල් බල්කා සහ අල් දුරාන් පෙදෙසේ මායිම දක්වා ගෙන යන ලෙස සේනාපතිට අණ ලැබුණි.

උමර් ඉබ්න් අල් ක:ත්තාබ් (රලි), අබු බකර් (රලි) ඇතුළු ශ්‍රේෂ්ඨ සහාබාවරු කිහිප දෙනෙක්, තරුණ උසාමා (රලි) යටතේ ගමන් කළහ. මෙම සේනාව මදීනා සිට කිලෝ මීටර් 5ක් පමණ දුර පිහිටි අල් ජුර්ෆ් නම් ස්ථානයේ සිටියදී, රසූල් (සල්) තුමාගේ සෞඛ්‍ය තත්ත්වය අසාධ්‍ය බවට හැරුණි. මෙලෙස අසනපීව සිටියදී, තමා කළ අයුරින්, නියෝජිතයන්ට ගෞරවයෙන් සංග‍්‍රහ කරන ලෙසද, ඔවුන්ට නොමසුරු ලෙස තෑගි බෝග දෙන ලෙසද එතුමා උපදෙස් දුන්නේය. පිළිම වන්දනාව අරාබි අර්ධ ද්වීපයෙන් සම්පූර්ණයෙන් පිටුවහල් කරන ලෙසද එතුමා කීවේය.

අවවාදයක්

නබි (සල්) තුමා අසනීපව සිටි දවසක මුස්ලිම්වරු පිරිසක් අයිෂා (රලි) තුමියගේ නිවසට පැමිණියහ. එම පිරිස ආදරයෙන් පිළිගත් රසූල් (සල්) තුමා ඔවුන්ට ජය හා යහමඟ ලැබෙන්නටද, සියලු දේ සාර්ථක වනු පිණිසද අල්ලාහ් ගෙන් ප‍්‍රාර්ථනා කළේය. එම එවස්ථාවේදී, “අල්ලාහ්ට බිය බැතිමත්වන ලෙස ඔබට මම උපදෙස් දෙමි. එමෙන්ම ඔබ ගැන සෙවිල්ලෙන් සිටින ලෙස අල්ලාහ්ටද යාච්ඤා කරමි. ඔහු ගෙන් පැහැදිලි අවවාදකරු වෙකු ලෙස මම ඔබ වෙත පැමිණියෙමි. ‘අල්ලාහ්ගේ සේවකයන් හා වාසස්ථානයන් පිළිබඳව උඩඟු නොවන්න. මන්ද පොලොවෙහි උඩඟු වන්නට හෝ එහි අවැඩ කරන්නට හෝ නොසිතන අයට, අවසාන නිවස නියම කරමු. අවසානය බිය බැතියන්ටය.‘  (28 : 83) ලෙසද, ‘අහංකාර වුවන්ට ජහන්නම් හී (නිරයේ) ලගින තැනක් නැති ද?‘ (39:60) යනුවෙන්ද මටයි, ඔබටයි අල්ලාහ් පවසා ඇත.“ යනුවෙන් කීවේය.

තාපස කෙනෙක්

රසූල් (සල්) තුමාගේ අසනීප කාලයේදී මෙම සිද්ධිය ගැන  අයිෂා (රලි) තුමිය දන්වයි. “අයිෂා, රත‍්‍රන්වලට ඔබ මොනවද කළේ?“ යයි දිනක් එතුමා විමසු වේය. නිවසේ තිබු රන් කාසි  දෙකක් හෝ තුනක් ගෙනවිත් එතුමාට දුන් විට, ඒවා අතේ  තබා ගෙන, හරව හරවා සුළු වේලාවක් බලා සිට, ‘මේවා සමඟ දෙවියන් වහන්සේ හමුවන්නට සිදු වුනේ නම්, ඔහුට මුහම්මද් කුමක් පවසන්න ද? මේවා කාට හෝ දන් දෙන්න.‘ යනුවෙන් කීවේය.“

සලාහ් ගැන දැක්වූ උනන්දුව

රසූල් (සල්) තුමාගේ අසනීපය දිනෙන් දින, දරාගත නොහැකි තරමට උග‍්‍ර වුණි. “මිනිසුන් සලාහ් ඉටු කළාද?“ යයි එතුමා විමසීය. අවට සිටි අය “නැත රසූල් (සල්) තුමනි. ඔබ එනතුරු ඔවුන් බලා සිටිති.“ යයි පිළිතුරු දුන්හ.

“භාජනයකට මට ජලය ටිකක් දෙන්න.“ යි එතුමා කීවේය. එතුමා වෙතට ගෙන දුන් ජලයෙන් පිරිසිදු කර ගෙන නැගිටින්නට තැත් කළවිට, සිහි නැතුව වැටුනේය.

සිහි ආ පසු, “මිනිසුන් සලාහ් ඉටු කළාදැ?“ යි නැවත විමසු වේය. “නැත රසූල් (සල්) තුමනි. ඔබ එන තුරු ඔවුන් බලා සිටිති.“ යි අවට සිටි අය පිළිතුරු දුන්නෝය. “භාජනයට මට වතුර ටිකක් දෙන්න.“ යි එතුමා කියා, ජලයෙන් පිරිසුදු කර ගෙන නැගිටින්නට තැත් කළවිට, යළි සිහි නැතුව වැටුනේය.

මොහොතකින් සිහිය ආ පසු, “මිනිසුන් සලාහ් ඉටු කළාදැ?“ යි නැවත වරක් විමසුවේය. “නැත රසූල් (සල්) තුමනි. ඔබ එන තුරු ඔවුන් බලා සිටිති.“ යි අවට  සිටි අය තුන්වන වරටත් පිළිතුරු දුන්නෝය.

අබු බකර් තුමා සලාහ් මෙහෙයවයි

මස්ජිදය තුළ පිරි සිටි ජනතාව, රසූල් (සල්) තුමා පැමිණ සලාහ් මෙහෙයවන තුරු ඉවසිලිමත්ව බලා සිටියහ. එම ජනතාවට සලාහ් මෙහෙයවන ලෙස අබු බකර් (රලි) තුමාට පණිවුඩයක් රසූල් (සල්) තුමා එවීය. ඉතා කාරුණික හදවකත් සහිත වූ අබු බකර් (රලි) තුමා, එම කටයුත්ත ඉටු කරන ලෙස උමර් (රලි) තුමාට පැවසූ නමුත්, “එය ඉටු කිරීමට ඔබ වඩාත් සුදුසුය“ යි උමර් (රලි) පැවසීමෙන් එම කාලය තුළ අබු බකර් (රලි) තුමා සලාහ් මෙහෙය වන්නට පටන් ගත්තේය. වරක් සුළු වශයෙන් සුවය ලැබූ විගස, අල් අබ්බාස් සහ අලි (රලි) යන දෙදෙනාගේ ආධාරයෙන් රසූල් (සල්) තුමා ලූහර් සලාහ් ඉටු කිරීම පිණිස මස්ජිදයට ගියේය. එතුමා පැමිණෙනු දුටු අබු බකර් (රලි) තුමා ඉමාම් ස්ථානයෙන් ඉවත් වන්නට පටන් ගත් නමුත්, එතැනින් ඉවත් නොවන ලෙස රසූල් (සල්) තුමා අතින් පෙන්වා, අබු බකර්ගේ ළඟින් පොළොව මත වාඩි කරවන ලෙස අල් අබ්බාස් සහ අලි (රලි) වරුන්ට පැවසීමෙන්, අබු බකර් (රලි) සිට ගෙන සලාහ් මෙහෙය වූ අතර, රසූල් (සල්) තුමා පොළොව මත වාඩිවී සලාහ් ඉටු කළේය.

සමු ගැනීමේ කථාව

රෙදි පටියකින් හිස ඔතා ගෙන සිටි රසූල් (සල්) තුමා කුත්බා දේශනා පවත් වන මින්බරය මත වාඩිවී, “අල්ලාහ් තම වහලෙකුට මෙලොව සහ ඔහු වෙත තිබෙන දේ අතරින් එකක් තෝරා ගන්නට අවස්ථාවක් දුන් කල, ඒ වහලා අල්ලාහ් වෙත තිබෙන දේ තෝරා ගත්තේය.“ යනුවෙන් පැවසු වේය. මෙම කථාවෙහි එතුමා සඳහන් කරන්නේ තමා ගැන බව වටහා ගත් අබු බකර් (රලි), “ඔබ වෙනුවෙන් අපිද, අපේ දරුවන්ද වන්දි ගෙවන්නෙමු.“ යයි දෑසින් කඳුළු සලමින් කීය.

අවසානව දුටු දර්ශනය

සඳුදා අළුයම දක්වා අබු බකර් (රලි) සලාහ් මෙහෙයු වේය. මුස්ලිම්වරු ෆජර් සලාහ් ඉටුකරන විට, මස්ජිදය සමඟ තිබෙන තම කුටියේ ජනේලයේ රෙද්ද රසූල් (සල්) තුමා ඉවත්කර, දෙවියන් වහන්සේ ඉදිරියේ පේලි ගැසී සලාහ් ඉටු කරමින් සිටින පිරිස දෙස ඉතා ඕනෑ කමින් බලා සිටියේය. ඉස්ලාමය හා ජිහාදය කරා ආරාධනා කරන්නට තමා දැරූ වෙහෙසෙහි ප‍්‍රතිඵලය එදා දින දුටු එතුමා තුළ නැගු සතුට කොපමණදැයි දන්නේ අල්ලාහ් පමණි. එතුමාගේ මුහුණ ප‍්‍රීතියෙන් බැබලුනේය.

මෙම අවස්ථාව ගැන සහාබාවරු මෙසේ පවසුහ. “අයිෂා (රලි) තුමියගේ කාමරයේ ජනේල් රෙද්ද අයින් කර, අප දෙස එතුමා බලා සිටියේය. එතුමාගේ මුහුණ විවෘත කුර්ආනයේ පිටුවක් මෙන් පෙනුනි. එතුමා මඳ සිනහවක් සැලූවිට, අපි මහත් සතුටට පත්වීමෙන්, බලවත් පරීක්ෂණයකට භාජනය වුයෙමු.  එතුමා සලාහ් සඳහා පැමිණෙන බව අපි සිතුවෙමු. එහෙත් අපට සලාහ් අවසන් කරන ලෙස එතුමා අතින් සංඥා කර පෙන් විය. ඉන් පසුව ජනේල් රෙද්ද ඇද වැසුවේය. එතුමාගේ මරණය සිදු වූයේ එදා දිනයයි.“

වැදගත් අවවාදයක්

අයිෂා (රලි) තුමිය සහ ඉබ්න් අබ්බාස් (රලි) තුමා මෙසේ දැන්වුහ. “අල්ලාහ්ගේ රසූල් (සල්) තුමා අසනීපව සිටියදී තම ලෝගුව මුහුණ මත දමා ගත්තේය. වේදනාව වැඩිවන විට, එය ඉවත් කර ගත්තේය. මෙවැනි අසීරු තත්ත්වයේ සිටියදී, “තම නබිවරුන්ගේ සොහොන වැඳුම් පිදුම් කරන පූජා ස්ථානයක් බවට පත් කළ යුදෙව්වරු සහ ක්‍රිස්තු බැතිමතුන්ට අල්ලාහ්ගේ ශාපය හිමිවේවා.“ය යි පැවසු වේය. මෙමගින් එවැනි අයපත් ක්‍රියාවන්හී නොයෙදෙන ලෙස මුස්ලිම් වරුන්ට එතුමා අවවාද කළේය.

 අවසාන උපදෙස්

රසූල් (සල්) තුමා මරණාසන්නව සිටියදී, “ඔබේ සලාහ් (නැමදුම) ගැන සහ ඔබේ භාරව යටතේ සිටින අය ගැන ප‍්‍රවේසම් වන්න.“ යයි නැවත නැවත කීය. ඉන් පසු එතුමාගේ පපුව (වේගයෙන් ආශ්වාස ප්‍රශ්වාස කිරීම නිසා) ඉහළට හා පහළට වේගයෙන් යෑමෙන් එතුමාගේ වචන පැහැදිලිව නො ඇසුනි. (සියලු පාපයන් ගෙන් සමාව ලත් රසූල් (සල්) තුමා, නැමදුම ගැන දැක් වූ උනන්දුව කොපමණ දැයි අපි සිතා බැලිය යුතුයි. එහෙත් අද මුස්ලිම් වරුන්ට සලාහ් කිරීමේ වැදගත්කම ගැන මතක් කරන්නට තව පිරිසක් අවශ්‍යවී ඇත. අපි සමහරු සලාහ් ඉටු කරන්නේ තම අනිවාර්ය ක්‍රියාවක් වශයෙන් නොව, අල්ලාහ්ට කරන සහනයක් ලෙස සිතා ගෙනයි.)

“අල්ලාහ්ගේ රසූල් (සල්) තුමා, සලාහ් කරන ලෙසද, සzකාත් ගෙවන ලෙසද, ඔවුන්ගේ භාරව යටතේ සිටිනා අයට නිර්ලෝභීව සලකන ලෙසද, මුස්ලිම් වරුන්ට අණ කළේය.“ යනුවෙන් අලි (රලි) තුමා දන්වයි.

අයිෂා (රලි) තුමිය මෙලෙස දැන්වුවාය. “එතුමා අවසානව අසනීප වූ විට, එතුමා කළ ආකාරයට අල් මුවද්දතෙයින් (සූරා අල් ෆලක් සහ සූරා අන් නාස් දෙක) පාරායනය කරන්නට පටන් ගත්තෙමි. තම නෙත් අහස දෙසට ඔසවා, “උතුම් මිත‍්‍රයා සමඟයි. උතුම් මිත‍්‍රයා සමඟයි.“ යනුවෙන් එතුමා කීවේය.

එතුමිය (රලි) තව දුරටත් මෙසේ පවසයි. “ඒ මොහොතේ අබ්දුර් රහ්මාන් ඉබ්න් අබු බකර් (රලි) - අයිෂා තුමියගේ සොයුරා, අමු (මිෂ්වාක්) ගසේ පොඩි අතු කෑල්ලක් රැගෙන පැමිණියේය. රසූල් (සල්) තුමා එය දෙස ඉතා ඕනෑකමින් බැලු විට, එම මිෂ්වාක් කෝටුවෙන් දත් මදින්නට එතුමා කැමතියයි සිතුවෙමි. එම කෝටුව කටේ දමා, සපා මෘදු බවට පත් කර, එතුමාට දුන්නෙමි. එතුමා එයින් හොඳට දත් මැද ගත්තේය. එය මට ආපසු දෙන්නට තැත් කරද්දී, එතුමාගේ අතින් එය බිමට වැටුනි.“

“එතුමා අසල ජලය සහිත කුඩා භාජනයක් තිබුණි. එය තුළට අත දමා, තෙත් අතින් මුහුණ පිසදමා, ‘ලා ඉලාහ ඉල් අල්ලාහ්. මරණයේ වේදනාව සැබැවින්ම ඇත.‘ යයි කීවේය. ඉන් පසුව දබරැඟිල්ල අහස දෙසට ඔසවා ‘උතුම් මිත‍්‍රයා, උතුම් මිත‍්‍රයා.‘ යනුවෙන් කියමින් සිටියදී, අමරණීය අල්ලාහ් වෙත එක්වීමෙන් එතුමාගේ අත වතුර භාජනයට පහත්වුණි.“යි අයිෂා(රලි) තුමිය විස්තර කළාය.

“අල්ලාහ්ගේ රසූල් (සල්) තුමා අසනීපවී, එතුමාගේ හිස මගේ කලවය මත තිබුණි. එතුමාට ක්ලාන්තය සෑදී, යළි සිහිය ආ විට, වහල දෙස නෙත් යොමු කර, ‘“යා අල්ලාහ්, උතුම් මිත‍්‍රයා“ යනුවෙන් පැවසුවේය. රසූල් (සල්) තුමා කථා කළ අවසාන වචනය එයවේ.‘ යයි එතුමාගේ අවසාන මොහොත ගැන විස්තර කළ අයිෂා (රලි) තුමිය පැවසුවාය.

මෙලොව අතහැර යෑම

අල්ලාහ්ගේ රසූල් (සල්) තුමා මෙලොව හැර යනවිට, මුළු අරාබි දේශයම තිබුණේ එතුමාගේ පාලනය යටතේය. විදේශ රජවරු පවා එතුමාට බිය වූහ. එහෙත් එක දිනාරයක් හෝ දිර්හමක් හෝ වහල් සේවකයෙක් හෝ සේවිකා වක් හෝ එතුමා සතුව නොතිබුණි. එතුමා සතුව තිබුනේ සුදු කොටළුවෙක් සහ ආයුධ සමහරක් පමණි. (ඉඩම් කෑල්ලක් තිබී, එයද සදකා ලෙස දන් දී අවසානයි) එතුමාගේ යුද්ධ වැස්ම බාර්ලි සේරු තිහකට යුදෙව් වරයෙකු වෙත උකස් තර තිබුණි. තම මරණයට පෙර එය නිදහස් කර ගන්නට පවා එතුමා සතුව කිසිදු මුදලක් නොතිබුණි. ඉන්දියාවේ මහාචාර්ය රාම ක්‍රිෂ්න රාව් මෙම අවස්ථාව ගැන “ඉස්ලාමයේ නබිවරයා මුහම්මද්“ නම් කුඩා පොත් පිංචයක මෙසේ සඳහන් කරයි. “මුළු ලොවටම කුමන නිවසකින් ආලෝකය පැතිරුනේද, එම නිවස එදා දින අන්ධකාරයේ තිබුණි. මන්ද, පහන දල්වන්නට පවා නිවසෙහි තෙල් නොතිබුණි.“

අසනීපව සිටියදී වහළුන් හතලිස් දෙනෙක් එතුමා නිදහස් කළේය. අයිෂා (රලි) තුමිය වෙත තිබුනු දීනාර් හයක් හෝ හතක්, නිවසට පැමිණි යාචකයෙකුට සදකා වශයෙන් ගෙවා දමන ලෙස එතුමා කීවේය.

“අල්ලාහ්ගේ රසූල් (සල්) මෙලොව හැර දමා යනවිට, මේ නිවසෙහි ජීවත්වන කිසිවෙකුට ආහාර සඳහා බාර්ලි ඇට ස්වල්පයක් හැර, අන් කිසිවක් නොතිබුණි. එයද සුළු කාලයක් ඉතිරිවී තිබී, මම දිනක් එහි ප‍්‍රමාණය කොපමණ දැයි බැලුවායින් පසු, එයද අවසන් වුණි.“ යයි අයිෂා (රලි) තුමිය දන්වයි.

“එහෙත්, ඔබෙන් යැපෙන අයට ඔබේ මරණයෙන් පසුව යමක් ඉතුරු කරන්න.“ යනුවෙන් තම අනුගාම්කයන්ට නබි (සල්) වරයා උපදෙස් දුන්නේය.

හිජ්රි වසර 10, රබි අල් අව්වල් මස, දොලොස්වන දින සඳුදා හිරු රෂ්මිය තදීන් පවතින සවස් කාලයේ එතුමා මෙලොව හැර දමා ගියේය. එවිට එතුමාගේ වයස අවුරුදු හැට තුනයි. මෙලොවේ ජනිත වූ දිනයේම එතුමා එය හැර දමා ගියේය. එතුමාගේ උපත ප‍්‍රීතිමත් දිනක් වූවාක් මෙන්, එතුමාගේ වෙන්වී යැම මුස්ලිම් වරුන්ට ඉතාමත් අන්ධකාර, අපහසු හා වේදනා සහිත, මුළු මිනිස් සමාජයේ සංතාපයට හේතුවන අවාසනාවන්ත දිනයකි.

මෙහිදී ඉතා වැදගත් කරුණක් සඳහන් කළ යුතුයි. හිජ්රි දින දර්ශනයේ 12 වන දිනය යනු, ලංකාවේ අපි භාවිතා කරන සූර්යයා පදනම් කළ දින දර්ශනයේ 14 වන, එනම් පෝය දිනය වේ. මුහම්මදි (සල්) තුමාගේ උපත හා විපත සිදුවයේ මෙවැනි දිනයේය.

අනස් (රලි) සහ අබු සඊද් අල් කුද්රි (රලි) මෙසේ දැන්වුහ. “රසූල් (සල්) තුමා මදීනාවට පැමිණි දිනය මෙන් ආලෝකමත් දිනයක් අපි නුදුටු වෙමු. එතුමා මිය ගිය දවස මෙන් මහත් අන්ධකාර දිනයක්ද අපි නොදනිමු.“

උම් අයිමන් කඳුළු සලමින් සිටිනු දුටු පිරිසක්, එයට හේතුව විමසුවෝය. “අල්ලාහ්ගේ රසූල් (සල්) තුමා මරණයට පත්වන බව මම දනිමි. එහෙත් දේව වැකි ස්වර්ගයෙන් පහළවන වාසනාව දැන් අපෙන් ඉවත් වූ නිසා අඬමි.“ යයි  එතුමිය පිළිතුරු දුන්නාය.

නබි (සල්) තුමාණන්ගේ මරණය පිළිබඳ තවත් තොරතුරු

අල්ලාහ්ගේ රසූල් (සල්) තුමාගේ මරණය පිළිබඳ ආරංචිය සහාබාවරු අතර අකුණු පහරක් මෙන් පහළවිය. එතුමා කෙරෙහි ඉමහත් ආදරය දැක් වූ ඔවුන් තිගැස්සුනෝය. දරුවන් තම දෙමාපියන්ගේ ආදරයට හා රැකවරණයට පුරුදු වූවාක් මෙන් හෝ එයටත් වැඩියෙන් ඔවුන් එතුමාගේ ආදරමත් සැලකිල්ලේ සහනයෙන් ජීවත් වන්නට පුරුදු වී සිටියහ. ජනතාව කෙරෙහි එතුමා දැක් වූ සැලකිල්ල ගැන අල්ලාහ් අල් කුර්ආනයේ මෙසේ පවසයි. “ඔබෙන්ම රසූල් වරයෙක් ඔබ වෙත පැමිණ ඇත. ඔබ දුක් විඳීම ඔහුට බරපතල දෙයකි. ඔබ ගැන ඔහු සලකන්නේය. විශ්වාස වන්තයන්ට දයාලුය.“ 9 : 128

එතුමා, අනිකුත් සහාබා වරුන්ට වඩා තමන්ට කරුණාව හා සැලකිලි දක්වන බව සෑම කෙනෙක්ම පහදා ගෙන සිටියෝය. සමහර අයට එතුමා මරණයට පත්වූනා යයි සිතීමට පවා අපහසුය. තමාට ආරංචිය ගෙන ආ තැනැත්තාට බැන වැදුනු උමර් ඉබ්න් අල් කඃත්තාබ් (රලි) මස්ජිදයට ගොස්, එහි සිටි පිරිස අමතා, “මුනාෆික් වරුන් (වංචනිකයන්) සම්පූර්ණයෙන් විනාශ කරන තුරු, අල්ලාහ්ගේ රසූල් (සල්) තුමාට අල්ලාහ් මරණය දෙන්නේ නැත.“ යනුවෙන් ප‍්‍රකාශ කරන්නට විය.

අබු බකර් (රලි)

මෙවැනි අසීරු අවස්ථවක අබු බකර් (රලි) මෙන් එඩිතර හා බුද්ධිමත් පුද්ගලයෙක්  අවශ්‍යව තිබුණි. මෙම ආරංචිය ලැබුනු විගස, තම නිවසින් ඔහු පිටත් විය. මස්ජිදයේ දොර පසු කරගෙන යනවිට, උමර් (රලි) ගේ කථාවට මොහොතක් නැවතී සවන් දුන්නේය. ආයිෂා (රලි) තුමියගේ නිවසෙහි ලෝගුවකින් වසා තිබුණු රසූල් (සල්) තුමා වෙත ඔහු ගියේය. රෙදි කෑල්ල ඉවත් කර, රසූල් (සල්) තුමාගේ මුහුණ සිප ගත් ඔහු, “මගේ මව හා පියාට වඩා ඔබ මගේ ආදරයට හිමි කෙනෙකි. අල්ලාහ් ඔබට නියම කළ මරණය ඔබ දැක ගත්තේය. දෙවන මරණයක් ඔබට කිසි දවසක සිදු වන්නේ නැත.‘ යනුවෙන් කඳුළු සලමින් පවසා, රසූල් (සල්) තුමාගේ මුහුණ මත රෙදි කෑල්ල නැවත දමා, “ඉන්නා ලිල්ලාහි ව ඉන්නා ඉලෙයිහි රාජිඌන්.“ (අපි අල්ලාහ්ට හිමිය. අපි  හැරී යන්නේද ඔහු වෙතටය) යන වාක්‍ය කියවමින්, මස්ජිදය කරා ගියේය. එහිදී, උමර් (රලි) නොනැවතී සෙනඟට කථා කර ගෙන සිටිනු දැක, “යා උමර්, නිශ්ශබ්ද වන්න.“ යයි සෙමින් කීවේය.

එහෙත්, උමර් (රලි) මේවා කිසිවකට සවන් නොදී, තව දුරටත් කථා කර ගෙන ගියේය. උමර් (රලි) තම කථාවට සවන් දෙන මානසික තත්ත්වයේ නොසිටින බව දැනගත් අබු බකර් (රලි), ඉදිරියට පැමිණ කථා කරන්නට පටන් ගත්තේය.

අබු බකර්ගේ හඬ ඇසුනු විගස, සෙනඟ උමර් (රලි) ගෙන් ඉවත්වී, අබු බකර් (රලි) දෙසට පැමිණියහ. අල්ලාහ්ට ප‍්‍රශංසා කළ අබු බකර්, “ජනතාවනි, කවරෙකු හෝ මුහම්මද් (සල්) තුමාට වැඳ පිදුවේ නම්, මුහම්මද් මරණයට පත් වූ බව ඔහුට පවසන්න. එහෙත් කවරෙකු හෝ අල්ලාහ්ට නැමදුම් කළේ නම්, අල්ලාහ් අමරණීයයි, සදා කල් ජීවත්ව සිටියි.“ යනු පවසා, මෙම අල් කුර්ආන් වාක්‍ය පාරායනය කළේය. “මුහම්මද් රසූල්වරයෙකු මිස (අන් කිසිවක්) නැත. ඔහුට පෙර නොයෙකුත් රසූල්වරුන් පසු කර ගෙන ගියහ. එහෙයින් ඔහු මළේ නම් හෝ මරණු ලැබුවේ නම්, ඔබ ආපසු හැරී යන්නේද? යමෙක් ආපසු හැරී යන්නේ නම්, අල්ලාහ්ට කිසිදු හානියක් නොකෙරේ. කළගුණ දත් අයට (අල්ලාහ්) පල විපාක දෙන්නේය.“ අල් කුර්ආන් 3-144.

එම අවස්ථාවේ මස්ජිදයේ සිදුවන දේ බලා සිටි කෙනෙක් මෙසේ වාර්ථා කළේය. “අල්ලාහ්ගේ නාමයෙන් දිවුරා කියමි. එදා දින අබු බකර් (රලි) එය (අල් කුර්ආන් වැකිය) පාරායනය කරන තුරු, එම වැකිය පහළ වූ බව ජනයා නොදැන සිටියාක් මෙන්ය. ඔවුන් එයට සවන් දුන් අතර, එදායින් පසු ඔවුන්ගේ මුවේ එම වාක්‍ය සදා රැඳී තිබුණි.“

උමර් (රලි) මෙසේ දන්වයි. “අල්ලාහ්ගේ නාමයෙන් දිවුරා කියමි. අබු බකර් එම වාක්‍ය පාරායන කරනු ඇසු මම විශ්මයෙන් ගල් ගැසී සිටියෙමි. මගේ කකුල් දෙක පණ නැතුවාක් මෙන්, මම  බිමට ඇද වැටුනෙමි. අල්ලාහ්ගේ රසූල් (සල්) තුමා මරණයට පත් වූ බව මම අවබෝධ කර ගත්තේ ඒ මොහොතේය.“

අබු බකර් (රලි) කලීෆා බවට පත් කරනු ලබයි

මුහම්මද් රසූල් (සල්) තුමාට පසුව මුස්ලිම් වරුන්ගේ නායකත්වයට තෝරා ගනු ලැබු අබු බකර් (රලි) තුමාට, බනු සාඉදා ශාලාවේ දී, සියලු දෙනාම විශ්වාස භාවය ප්‍රකාශ කර දිවුරුම් දී ගෞරවය දැක් වූහ. ෂෙයිතාන්ගේ නොයෙකුත් උපක‍්‍රම තුළින්, මුස්ලිම් වරුන්ගේ සමගිය බිඳ වැටීම ගැන ඔවුන් සියලු දෙනාම බිය වුහ. එහෙත් ඔවුන්ගේ සියලු කටයුතු භාරව ක්‍රියා කළ හැකි, ශක්තිමත් නායකයෙක් යටතේ, මුස්ලිම්වරු එක්සත්ව තබා, රසූල් (සල්) තුමා මෙලොව හැර යන්නා බව ඔවුන් තරයේ විශ්වාස කළහ.

 රසූල් (සල්) තුමා ගෙන් සමු ගැනීම

මුස්ලිම් වරුන් තුළ ආරම්භක මොහොතේ හට ගත් තිගැස්සීම හා ශෝකයෙන් පසු, සන්සුන් භාවය සහ පැහැදීමක් උදාවිය. කාලයක් මුළුල්ලේ අල්ලාහ්ගේ රසූල් (සල්) තුමා, ඔවුන්ට පුහුණු කළ ආකාරයට ක්‍රියා කරන්නට ඔවුන් සූදානම් වූහ. එයින් මුල් පියවර එතුමාව මිහිදන් කිරීමට අවශ්‍ය පියවර ඉටු කිරීමයි.

රසූල් (සල්) තුමාගේ පවුලේ අය, එතුමාගේ සිරුර සෝදා කෆන් නම් රෙද්දෙන් ආවරණය කළ පසු, දේහය ඔසවා ගෙන යන තට්ටුවක් මත, නිවස තුළ තැබුවෝය. “නබි වරයෙකුගේ මරණය සිදු වූයේ නම්, එය සිදු වූ ස්ථානයේ හැර වෙනත් තැනක සොහොන් ගත කරන්නේ නැත.“ යනුවෙන් රසූල් (සල්) තුමා පවසනු ඇසු බව අබු බකර් (රලි) එහිදී දැන් වූ පසු, රසූල් (සල්) තුමාගේ මරණය සිදු වූ ඇඳ ඉවත් කර, එම ස්ථානයේ අබු තල්හා අල් අන්සාරි (රලි) කබ්ර් (සොහොන) සඳහා වලක් කැපුවේය.

ඉන් පසු එතමා ජීවත් වූ කුඩා නිවසෙහි සෙනඟ තුන් හතර කෙනෙකු ගෙන් යුත් කණඩායම් වශයෙන් පැමිණ ජනාසාz නම් මළවුන් වෙනුවෙන් ඉටු කරන නැමදුම ඉටු කළහ. ප‍්‍රථමයෙන් පිරිමින්ද, පසුව කාන්තාවන්ද, අවසානයේ කුඩා ළමයින්ද සලාහ් ඉටු කළහ. කිසිවෙක් නැමදුම මෙහෙයවන ඉමාම් වශයෙන් කටයුතු කළේ නැත.

ශෝක ජනක දිනයක්

අල්ලාහ්ගේ රසූල් (සල්) වරයාගේ වෙන්වී යෑම සිදු වූ දිනය මදීනා වෙහි මහත් ශෝක ජනක දිනයකි. අළුයම ෆජර් සලාහ් සඳහා අදාන් කියන්නට පටන් ගත් බිලාල් (රලි), “අෂ්ෂහදු අන්න මුහම්මදර් රසූලුල්ලාහ්“ යනුවෙන් පවසද්දී, ඉකිබිඳි ගාමින් අඬන්නට පටන් ගත්තේය. එතුමාගේ මේ හඬ මුස්ලිම් වරුන්ගේ සංවේගය තවත් වැඩි කරයි. එතුමා ජීවතුන් අතර සිටින කාලයේ මෙම අදාන් හඬට පිළිතුරු දී පුරුදු වූ සමාජයයි එය. රසූල් (සල්) තුමාගේ බිරියක් වන උම් සලාමා (රලි) තුමිය, “කෙතරම් විශාල පාඩුවක්ද මෙය, එයින් පසුව අපට සිදුවු කිසිම විපතක්, එතුමා නැතිවී ගිය විපත හා සමාන කළ නොහැක. අල්ලාහ් එතුමාට සාමය හා ආශීර්වාද හිමි කළේවා.“ යයි පැවසුවාය.

වරක් මුහම්මද් (සල්) තුමා, “ජනතාවනී, මූමින් වරයෙකුට හෝ කවරෙකුට හෝ විපතක් සිදුවුයේ නම්, මම නැති වූ පාඩුව සිහි කර, ඔහු සහනයට පත් විය යුතුය. මන්ද, මගේ කිසිම සමාජයක්, මාගේ මරණය මෙන් තවත් විශාල පාඩුවකට මුහුණ දෙන්නේ නැත.“ යනුවෙන් පැවසු වේය.

මෙවැනි උතුම් ගති පැවතුම් සහිත, සැමට කරුණව, දයාව හා මෛති‍්‍රය පෙන්වූ මෙම ශ්‍රේෂ්ඨ පුද්ගලයාගේ ජීවින මාර්ගය අනුගමනය කිරීමට අල්ලාහ් අප සැමට ආශීර්වාද කරත්වා.

සාමය හා දේවාශීර්වාදය මුහම්මද් (සල්) තුමාටද, එතුමාගේ පවුලේ අයටද, එතුමාගේ අනුගාමිකයින්ටද හිමිවේවා. ආමීන්.

**********************

මුහම්මද් (සල්) තුමා ගැන මුස්ලිම් නොවන, සමහර ලෝක ප්‍රකට පුද්ගලයින් දැක් වූ අදහස් පහත සඳහන්වේ.

“එක් ගෝත‍්‍රයට අයත් ඔටුවෙක් තවත් ගෝත‍්‍රයට අයත් ඉඩමකට වැරදීමකික් හෝ ඇතුළු වීම වැනි අල්ප හේතුවක් මත, වසර හතලිහක්, දෙපිරිසට අයත් 70,000 දෙනෙකුට ජීවිත හානි සිදු වී, දෙපාර්ශවයම විනාශ වීමේ තර්ජනයට මුහුණු දුන් ජනතාවක් වන අරාබි වරුන්ට, ඉස්ලාමයේ නබිවරයා, කෝපය මැඩ පවත් වන්නට උගන්වා, යුද පිටියේදී පවා දෙවියන් වහන්සේට නැමදුම් කරන සමාජයක් බවට පත්වීමේ පුහුණුව දුන්නේය.“ මහාචාර්ය.රාමක්‍රිෂ්න රාව්.

“නුගත් ජාහිලීය්යා යුගයේ උඩඟුව සහ අයහපත් ක්‍රියා අපෙන් ඉවත් කළ අල්ලාහ්ට සියලු ප‍්‍රශංසා හිමිවේවා. ජනතාවනී, සියලු මිනිසුන් පිරිස් දෙකකට පමණක් වර්ග කරනු ලැබු බව මතකයේ තබාගන්න. අල්ලාහ් කෙරෙහි බිය බැතිමත් කම සහිත අය, අල්ලාහ් ඉදිරියේ උතුම් ලෙස සලකනු ලබන අතර, අකාරුණික සිත් සහිත වුන් සහ වැරදි කරන්නන් ඉතාමත්ම පහත් ලෙස සලකනු ලබන්නෝය. එය හැර, සියලු මිනිස් සමාජය ආදම් ගෙන් පැවති අය වන අතර, අල්ලාහ් ආදම්ව මැවුවේ මැටියෙන්ය.“ යයි මිනිසාගේ සමාන තාවය ප‍්‍රකාශ කර, එය ප‍්‍රායෝගිකව ඉටු කළේය. දිනකට පස් වතාවක් රජවරු සහ පුරවැසියෝ එක පෙළට සිට ගෙන අල්ලාහ්ට නැමදුම් කරති. එමෙන්ම හජ් වන්දනාවේ සුදු රෙදි කැබලි දෙකකින් පමණක් සිරුර ආවරණය කර ගත් බැති මතුන්ගේ දර්ශනය එක්සත් ජාතීන්ගේ සංවිධානය අපට මතක් කරයි. කුල භේදය, පංති භේදය, ජාති භේදය, භාෂා භේදය හෝ වර්ණ භේදය යන සියලු පටු අදහස් වලින් මිනිසා බැහැර කර, කාරුණික බැතිමතුන් හෝ සිත්පිත් නැති පව්කාරයන් හෝ යන දෙවර්ගයට පමණක් සමාජය ස්ථීරව වෙන් කළේ ඉස්ලාමය පමණි.“ සරෝජිනි නායුඩු.

“නීති විරෝධි මාර්ගයෙන් උපයන ආදායම්, කළුකඩ ජාවාරම්, භාණ්ඩයන්ගේ හිඟයක් සිදුකර, අසාධාරණව මිල වැඩි කිරීම් වැනි ආර්ථික අංශයේ සමාජ විරෝධි ක්‍රියා අනුමත නොකෙරේ. සූදු හා සුරා තහනම්ය. පාසැල්, පූජනීය ස්ථාන, රෝහල් තැනීම් සහ ළිං කැපීම වැනි සමාජ සේවාවන්ට ආධාර කිරීම උසස්තම පිං උපදවන බව හැඳින්වේ.“ මහාචාර්ය රාම ක්‍රිෂ්ණ රාව්.

                                  ෆෆෆෆෆෆෆ

“ලොවේ බිහි වූ සියලු ආගමික පුද්ගලයන් සහ නබිවරු අතර මුහම්මද් (සල්) තුමා මහත් විජයග‍්‍රාහී කෙනෙක්වේ.“ එන්සයිකලෝපීඩියා බි‍්‍රටානිකා.

ෆෆෆෆෆෆෆ

“මෙවැනි පුද්ගලයෙකු (මුහම්මද් සල් තුමා) ගේ හඬ, ස්වභා ධර්මයේ හදවතෙන් පිට වූ එකකි. සියලු ජනයා අන් කිසිවකට වඩා මෙයට සවන් දිය යුතුය. මෙය හා සමාන කළවිට, අන් සියලු හඬ පුහුය.“ තෝමස් කාර්ලයිල්.

                                  ෆෆෆෆෆෆෆ

ඔබ කැමති ඕනෑම නමකින් එතුමා (මුහම්මද් සල් තුමාව) අමතන්න. එහෙත් තම ඇඳුම් තම අතින්ම සෝදා ඇඳ ගන්නා එතුමාට ජනතාව ගෙන් ලැබු අවනත භාවය, ඔටුනු පැලඳ ගත් මහ රජවරුන්ට පවා ලබා ගන්නට නොහැකිවුණි.“ තෝමස් කාර්ලයිල්.

                                  ෆෆෆෆෆෆෆ

“මෛති‍්‍ර භාවයේ ආත්මය මුහම්මද් (සල්) තුමාය. එතුමා වටා රොක් වූ අයට එතුමාගේ ආකර්ශණය දැනුනු අතර, කිසි විටෙක ඔවුන් එය අමතක කළේ නැත.“ දිවාන් චාන්ද් ශර්මා 1935 වසරේදී.

දයාබර සොයුරු සොයුරියනි.

මෙම පොත් පිංචය දැන් අවසානයි. අල්ලාහ්ගේ දහම ලොවෙහි නංවන්නට රසූල් (සල්) වරයා සහ සහාබාවරු කළ පරිත්‍යාග සමහරක් අපි දුටුවෙමු. ඒවා අපි අගය කළ යුතුයි. ඉස්ලාම් යනු නවක ආගමක් නොව, පැරණි ආගම් සියල්ල සම්පූර්ණ වූයේ ඉස්ලාමයේ බව (රසූල්) තුමා පැවසීය. එනම්, සියලු පැරණි ආගම්වල අඩංගු අලංකාරවත් ඉගැන්වීම් හා යහපත් ජීවන රටා සියල්ල ඉස්ලාම්හී තිබේ. මිනිසුන් තමන්ගේ කැමැත්ත පරිදි තම ආගම් වලට ඇතුළත් කළ කිසිවක් ඉස්ලාමයේ නැත. මේ හේතුවෙන් මුහම්මද් (සල්) තුමා ගෙන ආ ඉස්ලාමිය ජීවන ක‍්‍රමය ඕනෑම කෙනෙකුට අනුගමනය කළ හැකි විවෘත පොතකි. එය අනුගමනය කිරීමට සහ එහි ආදර්ශ අන් අයට කියා දෙන්නට අප තුළ ආශාව තිබේද? අල්ලාහ්ගේ ආදරය, මෛති‍්‍රය, කරුණාව. ආරක්ෂාව සහ සමාව ලබා ගත හැකි මාර්ගය අපටත් අවශ්‍යද?

එසේනම් අපේ ජීවන ක‍්‍රමයේ අනිවාර්යයෙන් වෙනසක් සිදුවිය යුතුයි. සම්ප‍්‍රදාය වතාවත් සහ නැමදුම් ක්‍රියාව පමණක් ඉටු කරන පිරිසක් වශයෙන් නොව, ඉස්ලාමිය ඉගෙන්වීම් ප‍්‍රායෝගිකව සිදුකරන මුස්ලිම්වරු බවට අපි පත්විය යුතුයි. අපි ජීවත්වන සමාජයට ආගම් හෝ භාෂා භේදයෙන් තොරව අපි සෑම කෙනෙකු ගෙන්ම යහපතක් සිදුවිය යුතුයි. ඉස්ලාම් පෙන්වන පහසු මැද මාවත ගැන ඉගෙන ගෙන එය ඔස්සේ ගමන් කර, සමාජයට සම්පතක් වශයෙන් අපි සියලු දෙනාම පත්විය යුතුයි. ඉන්ෂා අල්ලාහ් එය අපට කළ හැකිවනු ඇත.

මෙම පොත් පිංචය පිළිබඳ ඔබේ අදහස් පහත සඳහන් ලිපිනයට එවන්න.