මුස්ලිම් කෙනෙක් ලෙස උපත නොලැබීම ගැන මම කනගාටු වෙමි

කෙටි හැඳින්වීම

ඉස්ලාමයට හැඳින්වීමක්” නම් පාඨමාලාව අධ්යමයනය කිරීමට පටන් ගත්තෙමි. මේ පන්තියේ සිටින විට, කිතු දහම පිළිබඳ ව මා තුළ නැඟු ප්රකශ්න සියල්ල මතක් විය. එහෙත්, ඉස්ලාමය ඉගෙන ගන්නට පටන් ගත් විට ඒ ප්රතශ්න සියල්ලට පිළිතුරු ලැබුණි. ආදම්ගේ මුල් පාපය සඳහා මිනිසුන් සියලු දෙනාටම දඬුවම් නොලැබෙන බවද, ආදම් පාපක්ෂිමාව ඉල්ලීමෙන් අනතුරුව අති ක්ෂබමාශීලි දෙවියන් වහන්සේ ආදම්ට සමාව දුන් බවද ඉගෙන ගත්තෙමි.

Download
මෙම වෙබ් පිටුවට භාරව කටයුතු කරන්නා වෙත අදහස් දන්වා සිටින්න

වැඩි විස්තර

    මුස්ලිම් කෙනෙකු ලෙස උපත නොලැබීම ගැන මම කනගාටු වෙමි

    "حزنت على أنني لم أولد مسلما"

    < සිංහල >

    سنهالية

    اسم المؤلف

    الأخت هدى حوج( مسلمة جديدة)

    www.arabnews.com جريدة عرب نيوس 12 ديسمبر 2014م

    —™

    ජාසිම් ඉබ්නු දඉයාන්

    මුහම්මද් අසාද්

    ترجمة: جاسم بن دعيان

    مراجعة: محمد آساد

    මුස්ලිම් කෙනෙකු ලෙස උපත නොලැබීම ගැන මම කනගාටු වෙමි

    සවුදි අරාබියේ www.arabnews.com පුවත් පත්‍රයේ

    2014 දෙසැම්බර් 12 වන දින පළ වු ලිපිය

    සිංහල බසින්

    ජාසිම් ඉබ්නු දඉයාන්

    හුදා හොජ් නමැති නවක මුස්ලිම් සොයුරියකගේ චරිතාපදානයයි මේ.

    හුදා හොජ් නමැති තරුණිය, ඉස්ලාමයට පිවිසෙන නවකයන් ඉස්ලාම් දහම ගැන දැන ගන්නේ කෙසේ ද, ඉස්ලාම් දහම කෙරෙහි ඔවුන් ගේ සිත් ඇද ගන්නේ කුමක් ද? ඉස්ලාමයට පිවිසීමෙන් පසු ඔවුන්ගේ ජීවිත වෙනස් වෙන්නේ කෙසේ ද? යන කරුණු පිළිබඳ ව විශේෂ උනන්දුවෙන් අධ්‍යයනයක් කළාය. මෙවැනි ප්‍රශ්න අසා බොහෝ දෙනෙක් ඇගෙන් ඊ.මේල් මගින් විමසුහ. මෙම ලිපියේ ඇමරිකානු තරුණියක් වන ඇය ඉස්ලාම් දහමට පිවිසියේ කෙසේ ද, කවදා ද, කුමක් නිසාද යන ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු දෙන්නීය. ඇගේ වදනින් මෙය කියවා බලමු.

    මෙය දීර්ඝ කතාවක් වීම ගැන මට සමාවන්න, නමුත් සීමිත වාක්‍ය කිහිපයකින් සියලු විස්තර ඔබලා ට පහදා ගත නොහැකිවනු ඇතැයි විශ්වාස කරමි. මම වැල්වට්ටාරම් දොඩවීීමට අකැමති වන අතර, මාතෘකාවෙන් බැහැර වීමට ද අකැමැතියි. ඇතැම් අවස්ථාවන් හි දීර්ඝ විස්තර දීමට සිදු වන නමුත්, මෙ මගින් ඉස්ලාමය වෙත මගේ ගමන ගැන ඔබට අවබෝධ කර ගත හැකි වේ. අදාළ කරුණු පමණක් පැවසීම අවශ්‍ය නිසා, මම අඩු කළ විස්තර බොහෝය.

    මගේ ජීවිතය ගැන හැරී බලන විට සියලු සිදුවීම් අල්ලාහ් ගේ සැලැස්ම අනුව ද, ඒවා එකිනෙකට සම්බන්ධ බව ද දැක ගත හැක. මේවා පිළිබඳ ව “සුබ්හානල්ලාහ්“ යනුවෙන් පවසා මගේ වර්තමාන තත්ත්වය සඳහා අල්ලාහ් ට මගේ අවංක ස්තුතිය ප්‍රකාශ පළකරමි. තවත් අවස්ථාවන් හි, මම මුස්ලිම් ලෙස උපත ලැබ එමගින් ජිවිත මුළුල්ලේ ම මුස්ලිම් ලෙස ජිවත් වීමට වාසනා නොලැබීම ගැන කනගාටු වෙමි. මුස්ලිම් ලෙස උපත ලැබු ජනතාව ගැන ගෞරව දක්වන අතර, ඇතැම් අවස්ථාවන් හි ඔවුන් ට ලැබු වාසනාවේ අගය අවබෝධ කර නොගැනීම පිළිබඳව අනුගම්පා කරමි. මෙය කියවන ඔබට මම ඉස්ලාමයට පිවිසු මාර්ගය ගැන ද ඉන්ෂා අල්ලාහ් අවබෝධ කර ගත හැකිවේ. මෙය කියවන විට ඉස්ලාමය කෙරෙහි ඇරයුම් කිරීමට ඔබට ද ආශාවක් ඇතිවීමට හෝ ඔබේම ඊමානය තරකර ගත හැකි වන අතර, මේ කතාව කියැවීම සඳහා කාලය වැය කිරීම සුදුසු යැයි සිතමි. මෙය මගේ කතාවයි, එහෙත් බොහෝ නවක මුස්ලිම්වරුන් මෙහි සමානතාව දකිනු ඇත.

    මම කැලිෆෝනියවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ උපත ලැබ සමුද්‍රාසන්න ගමක හැදී වැඩුණෙමි. සැන් ඇන්සෙල්මෝ නමැති කුඩා නගරයේ ඉහළ මැද පන්තියට අයත්, ක්‍රිස්තියානු සුදු ජාතීන් ජීවත්වුහ. ගමේ ජීවත් වන සියලු දෙනා මම හඳුනන අය වෙති. කුඩා කාලයේ මහ පාරේ බේස් බෝල් සෙල්ලම් කර, ඇළ මාර්ගයේ ගෙම්බො අල්ලා, කඳු පළාතේ අශ්වයන් පැද, නිවස ඉදිරියේ ඇති ගස් නැග කාලය ගත කළෙමි.

    මගේ පියා ප්‍රෙස්බිටේරියන් වු නමුත් මව කතෝලික කෙනෙකි. මගේ පියාට ආගම ගැන වැඩි ළැදියාවක් නොතිබුණු නමුත් මගේ මව කතෝලික දහම තුළ අප හදා වඩා ගන්නට උත්සාහ කළාය. දේව ස්ථානයට පැමිණෙන අය, සිට ගෙන, වාඩි වී, දණ ගසා, නැවත වාඩි වී, නැවත නැගිට පාදිලිවරයා පවසන දේ පාරායනා කළහ. දේව ස්ථානයේ සෑම ආසන පෙළ අසල කුඩා පොත් පිංචයක් තිබුණි. එය කියවා නිසියාකාර ව උපදෙස් අනුගමනය කළ යුතුය. ඇතැම් අවස්ථාවන් හී මම දේව ස්ථානයේ අඩ නින්දේ පසු වුයෙමි. වයස අවුරුදු අට වන විට මගේ බෞතිස්මය එම දේවස්ථානයේ සිදු වු නමුත් ඒ ගැන මට වැඩිය මතකයක් නැත. ඉන් පසුව, වසරකට වරක් පමණක් අපි දේව ස්ථානය ට ගියෙමු.

    මම ජිවත් වූ පටු මාවතේ ප්‍රෙස්බිටේරියන් දේව ස්ථානයක් අසල ඉංග්‍රීසි ව්‍යාකරණ පාඩම් උගන්වන පාසැලක් තිබුණි. මම දස වන වියෙහි පසු වන විට මෙම දේවස්ථානයේ අය මට නත්තල් උත්සවයට ආරාධනා කළහ. ඉන් පසුව සෑම ඉරිදා දිනකම මම දේව ස්ථානයට ගියෙමි. දේව ස්ථානයේ මහලු අය තිස් දෙනෙකුගෙන් පමණක් සමන්විත සමූහයක් සිටීය. ඔවුන් බොහෝ කාරුණික පිරිසක් වුහ.

    ප්‍රෙස්බිටේරියන් දේව ස්ථානයේ නොයෙක් ක්‍රියා වලට සම්බන්ධ වුයෙමි. 6 වන පංතියේ සිටින විට දේවාලයේ පූජාව පවත් වන විට කුඩා දරුවන් බලා ගත්තෙමි. 9වන පංතියේ සිටින විට පූජක තුම ගේ බිරිය ගේ ඉරිදා දහම් පාසැලට සහය වුයෙමි. උසස් පාසැලේ සිටිය දී මිතුරන් සිව් දෙනෙක් සමඟ දේව ස්ථානයේ තරුණ සභාවක් ආරම්භ කළෙමි. එහි සාමාජික මම, මගේ මිතුරෙකු සහ තරුණ යුවළක් යන සිව් දෙනෙකි. ප්‍රධාන ප්‍රෙස්බිටේරියන් දේව ස්ථානයේ සීයය ට අධික තරුණ පිරිසක් සිටි අතර, ඔවුන් මෙක්සිකෝ වැනි පළාත් වලට වන්දනාවේ යති. එහෙත් අපේ සභාව බයිබලය අධ්‍යයනය කිරීම, දෙවියන් වහන්සේ ගැන සාකච්ඡා කිරීම, කුසල් ක්‍රියාවන් පිණිස මුදල් එකතු කිරීම වැනි කටයුතු වල නිරතවුයෙමු. රැස්වීම් හි ආධ්‍යාත්මික විෂය සහ අපේ සිත් හී පැන නගින ප්‍රශ්න පිළිබඳ ව විවාද කළෙමු. ජේසුස් වහන්සේ ට පෙර ජීවත් වු සමාජයන්ට කුමක් සිදු වේ ද? ඇතැම් යහපත් පුද්ගලයින් ජේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය නොතැබු එකම හේතුවෙන් අපාය ගත වන්නේ ඇයි? අනිත් අතට ඇතැම් දුෂ්ට අය, (මගේ මිතුරියගේ අයහපත් පියා) ක්‍රිස්තු බැතිමතුන් වූ එකම හේතුවෙන් ස්වර්ග ගත වන්නේ කෙසේ ද?

    දෙවියන් වහන්සේ අති කාරුණික නම් රුධිරයෙන් වන්දි ඉල්ලන්නේ කෙසේ ද? ආදාම්ගේ මුල් පාපයට අපි චූදිතයෝ වන්නේ කෙසේ ද? දේව වාක්‍යය වන බයිබලය විද්‍යාවේ යථාර්ථය සමඟ එකඟ නොවන්නේ කෙසේ ද? ජේසුස් වහන්සේ දෙවියෙක් වන්නේ කෙසේ ද? එක දෙවියෙක් එකම මොහොතේ තුන් දෙනෙක් බවට පත් වන්නේ කෙසේ ද? මේවා අපට විශාල ප්‍රහේලිකා විය.

    අපි මේවා පිළිබඳ ව තර්ක කළ නමුත් සුදුසු පිළිතුරක් අපට නොලැබුණි. දේව ස්ථානය ද අපට කිසිවක් පහදා නොදී, “විශ්වාස තබා ගන්න“ යනුවෙන් පමණක් පැවසීය. වයස 10 වන විට උතුරු කැලිෆෝනියාවේ ග්‍රීෂ්ම කාලයේ පවත්වන ලද තරුණ හමුවට ප්‍රථම වරට සහභාගි වුයෙමි. ඉන් පසුව වසර හතක් ම නොකඩවා එයට සහභාගි වුයෙමි.

    ගමේ දේව ස්ථානය කෙරෙහි සතුටින් සිටි නමුත්, කිසිදු අවුලක් නොමැති ව මම සැබැවින්ම දෙවියන් වහන්සේ හා සම්බන්ධ වූයේ මෙම තරුණ හමුවේ ය.

    දෙවන කොටස

    මම දෙවියන් වහන්සේ පිළිබඳ ව ගැඹුරු විශ්වාසය වර්ධනය කර ගත්තේ උතුරු කැලිෆෝර්නියාවේ මෙම තරුණ හමුවේදී ය. එළිමහනේ ක්‍රීඩා, පිහිනීම, විවිධ අත්කම් පුහුණු වීම් වැනි ක්‍රියාවන් හි කාලය ගෙව්වෙමු. එමගින් බොහෝ සේ විනෝද වූ නමුත් සෑම දිනකම ප්‍රාර්ථනාව, බියිබල් අධ්‍යයනය කිරීම, ආගමික ගී ගැයීම වැනි ක්‍රියාවන්හි යෙදීමෙන් කාලය සාමකාමිව ගත කළෙමු. මෙම නිශ්චල කාලය මට බොහෝ වටිනා එකක් වු අතර, එය මගේ මතක සටහනේ මා ලැබු උතුම් අවස්ථාවන් බව පත් විය. එහි නීතිය ට එකඟ ව අක්කර 200 ක් පමණ විශාල තරුණ හවුල් භූමියේ හුදකලාවේ වාඩි වී සිටිය යුතුය. එහි තිබෙන තණ පිට්ටනිය මැද හෝ කුඩා ගංගාවක් හරහා තිබෙන පාලම මත වාඩි වී කල්පනා කිරීම මගේ පුරුද්දක් විය. මා වටා තිබුණු ගස් කොළ, අහසේ වලාකුළු, කුඩා කුරුමිණි දෙස නෙත් යොමුකර, සීරුවෙන් ගලා බසින ජලයේ ශබ්දය, කුරුළු ගී, රැහැයියා ගේ හඬ වැනි දේට සවන් දුන්නෙමි. මෙම පරිසරය මගේ සිතට බොහෝ සහන හා සාමයේ හැඟීමක් ගෙන දුන් හේතුවෙන්, දෙවියන් වහන්සේ ගේ ප්‍රියංකර මැවීම් සඳහා සිත් තුළ ඔහුට කෘතඥ වුයෙමි.

    ග්‍රීෂ්ම කාල නිවාඩුව අවසානයේ ආපසු නිවසට ආ නමුත් මෙම හැඟීම් මා තුළ රැඳී පැවතුණි. ස්වභාවික පරිසරයේ, හුදෙකලාවේ කාලය ගෙවීමට, දෙවියන් වහන්සේ පිළිබඳව, ජිවිතය පිළිබඳව, එහි මා දරන ස්ථානය ගැන කල්පනා කිරිමට මම ආශා කළෙමි. ජේසුස් වහන්සේ වනාහි ගුරුවරයෙකු හා ආදර්ශයකු බව මා කර ගත් පෞද්ගලික අවබෝධය වර්ධනය කළෙමි. දේව ස්ථානයේ අවුල් සහගත ඉගැන්වීම් ගැන මා ලත වුයේ නැත. “අසල් වැසියන්ට ඔබට මෙන් ආදරය කරනු” යන නීතිය සම්පූර්ණයෙන්ම විශ්වාස කර, කිසිවක් බලා පොරොත්තු නොවී අන් අයට උදව් කිරීමට ද “ඔබ ව අන් අය සලකන අයුරින්ම ඔවුන් ට සැලකිලි දක්වන්න” යන තේමාවට ද පුරුදු වුයෙමි. සෑම කෙනෙකුට ම උදව් කිරීම ට මම වෑයම් කළෙමි. වයස අවුරුදු 14 දී අයිස් ක්‍රීම් විකුණන කඩයක රැකියාවක් ලැබුවෙමි. මගේ මාසික වැටුපෙන් $25 ක් අනාථ දරුවන් ට උපකාර කරන (Foster Parents Plan) වැඩ සටහනට යැව්වෙමි. විදේශ රටවල ජිවත් වන දුප්පත් දරුවන්ට ඇමරිකානුවන් ආර්ථික සහනයක් දීම ඔවුන්ගේ අරමුණ වේ. පාසැලේ ඉගෙන ගත් සිව් වසරේ ඊජිප්තු දේශයේ ෂෙරීෆ් නම් ළමයෙකුට මගේ ආධාර මුදල ගෙවනු ලැබුණි. අපි ලියුම් හුවමාරු කරගත්තෙමු. ඔහු ලියන්නේ අරාබි බසින්ය. ඔහු ගේ වයස අවුරුදු 9 ක් වූ අතර, ඔහුගේ පියා මිය ගොස්, මව ද රෝගියකු වු හේතුවෙන් රැකියාවක් කිරීමට අපොහොසත් වුවාය. ඔහුට කුඩා සොයුරන් දෙදෙනෙක් ද මගේ වයසේ නංගි කෙනෙක් ද සිටියි. මට වයස 16 වන විට ඔහුගේ නැගණියට විවාහ ගිවිස ගත් බව මට ලිපියක් ලැබුණු බව මට මතකය. ඒ මොහොතේ, “ඇය මගේ වයසෙ දරුවෙක් වන නමුත් දැනටමත් ඇය විවාහයට සූදානම් යැයි” මවිතයට පත්වුයෙමි. මෙය මට වටහා ගත නොහැකිවිය. මම සම්බන්ධ වූ පළමු වන මුස්ලිම් මොවුන් ය.

    මෙයට අමතරව, පාසැලේ අනිකුත් සමාජ සේවාවන් හි මම සම්බන්ධ වුයෙමි. අපේ පාසැලේ ඉගෙන ගන්නා මධ්‍යම ඇමරිකානු ශිෂ්‍යයන් ට ඉංග්‍රීසි භාෂාව පුහුණු කළෙමි. “සමාජ වගකිම සඳහා වන ශිෂ්‍යයන්” යන කණ්ඩායම මගින් නිකරගුවා දේශයේ දරුවන් සහ කෙන්යා දේශයේ ගැමියන් සඳහා මුදල් එකතු කළෙමු. න්‍යෂ්ටික ආයුධ වලට එරෙහි ව්‍යාපාරයක යෙදුණෙමු. එදා තිබුණු තර්ජනය න්‍යෂ්ටික යුද්ධයයි.

    ප්‍රංශ දේශයේ ශිෂ්‍යයන් නිවසට ගෙන්වා නොයෙක් කරුණු ගැන සාකච්ඡා කළෙමු. “යුද්ධයේ දරුවන්” (Children of wars) යන පිරිසක් දකුණු අප්‍රිකාව, ගාසා තීරය, ගවුතමාලා සහ යුද්ධයෙන් විනාශ වූ දේශයන් සිට පැමිණි තරුණයෝ ඇමරිකාවේ සෑම තැනකම ගමන් කර ඔවුන්ගේ ශෝක ජනක කතා පවසා සාමය සඳහා හඬ නගමින් සිටියහ. ඔවුන් අතරින් දෙදෙනෙක් අප නිවසේ ලැගුම් ගත්හ. පාසැල් නිවාඩු කාලයේ ස්වේච්ඡා ඉංග්‍රීසි ගුරුවරියක් ලෙස සේවයේ යෙදුණෙමි. අපේ නිවසේ ෆාතිමා සහ මයිසූන් නමැති චීන ජාතික මුස්ලිම් තරුණයන් දෙදෙනෙක් සිටියහ. මම සම්බන්ධ වූ දෙවන මුස්ලිම් පිරිස ඔවුන්ය. නමුත් අප අතර සාකච්ඡා කිසිවක් සිදු නොවිය. ඔවුන් දෙදෙනානම ඉංග්‍රීසි වචන කිහිපයකට පමණක් සිමා වූ නමුත්, නිතර සිනා මුසු මුහුණින් සිටියහ.

    මෙවැනි අත් දැකීම් තුළින් බාහිර ලොව හා සම්බන්ධ විමට අවස්ථාවක් ලැබ, සියලු දෙනාට ම ගරු කිරීමට පුහුණු වුයෙමි. මගේ මුළු ජිවිතයෙහි ම මම වර්ධනය කර ගත් කරුණු දෙක දේව විශ්වාසය සහ විදේශිකයින් සමඟ ඇසුරු කිරීම වේ. නිවසෙන් බැහැර වි පෝට්ලන්ඩ් විශ්ව විද්‍යාලය ට පැමිණි විට මෙම කරුණු දෙකම මතකයේ රැගෙන ගියෙමි.

    ලුවිස් සහ ක්ලාර්ක් කොලේජියේ බාහිර භාෂාවන් (ප්‍රංස සහ ස්පාඤ්ඤ භාෂා) ඉගැන ගන්නට තීරණය කළේ කවදා හෝ සරණාගතයන් අතර සේවය කර, ඔවුන් ට ඉංගීසි භාෂාව ඉගෙන්විය හැකි වේ යන අරමුණින් ය. සරසවියේ තරුණියන් දෙදෙනෙක් ලැගුම් ගත්හ. එක්කෙනෙක් කැලිෆෝර්නියාවේ මගේ නිවසේ සිට විනාඩි 10ක දුරක සිටිණා කෙනෙක්. සහ අනිත් කෙනා වයස අවුරුදු 29 ක් වන ජපන් තරුණියක්. ඇය ශිෂ්‍ය හුවමාරු ක්‍රමයේ ඉගෙන ගන්නා කෙනෙක්. එවිට මගේ වයස 17යි.

    සරසවියයේ කිසිවෙක් නාඳුනන හෙයින් නොයෙක් ක්‍රියාකාරකම් හි සම්බන්ධ වි, මිතුරන් සෙවීමට ආරම්භ කළෙමි. මම ප්‍රථමයෙන් තෝරා ගත්තේ “ක්‍රිස්තුස් වහන්සේ සඳහා විශ්ව විද්‍යාලයේ කුරුස යුද්ධය” (Campus Crusade for Christ) යන පිරිස සහ “සාකච්ඡා පිරිස” (Conversation Group) යන දෙපිරිස සමගයි. දෙවැනි පිරිස, ඇමරිකානු හා ජාත්‍යන්තර ශිෂ්‍යයන් අතර සාකච්ඡා කිරීම මාර්ගයෙන් ඉංග්‍රීසි භාෂාව පුහුණු වෙති.

    පාසැල් පළ වැනි වාරයේ “කුරුස යුද්ධකරුවන්” ශිෂ්‍යය රැස්වීම් වලට ගියෙමි. ඔවුන් අතර කිහිප දෙනෙක්, පිරිසිදු හදවත් සහිත විනීත ශිෂ්‍යයන් වු නමුත් බහුතරයක් බාහිර අලංකාරය ට ළැදි අය වේ. සතියකට වරක් රැස් වී, එක් එක්කෙනාගේ පෞද්ගලික අත්දැකීම් වලට සවන් දෙමින්, ගී ගයමින් දවස ගෙව්වෙමු. පෝට්ලන්ඩ් ප්‍රදේශයේ සතියට වරක් එක් දේව ස්ථානයක් බැගින් බලන්නට ගියෙමු. අපි ගිය බොහෝ දේව ස්ථානවල් මීට පෙර මා දුටු දේව ස්ථාන හා සමාන නොවන බව හැඟුණි. අවසානව අග්නි දිග පළාතෙහි අපි ගිය දේව ස්ථානයේ දුටු දර්ශනය නිසා තිගැස්සී, ඔවුන් ගේ රැස්වීම් වලින් ද මම සම්පූර්ණයෙන්ම ඉවත් වුයෙමි. මෙම දේව ස්ථානයේ විදුලි ගිටාර් සහිත සංගීත කණ්ඩායමක් වාදනය කළහ. දේව ස්ථානයට පැමිණි බැතිමතුන් හිස ට ඉහළින් දෑත් එසවා දෑස් පියවා ගෙන “හල්ලෙල්ලූයා” ගිතය ගායනා කළහ. එවකට මම මෙවැනි දැයක් දැක නැත. (දැන් නම් රූපවාහිනියේ ඒවා ඕනෑ තරම් විකාශය වේ) කුඩා ගම්මානයේ ප්‍රෙස්බිටේරියන් දේව ස්ථාන පසුබිමකින් පැමිණි මගේ සිතට එම දර්ශනය මහත් පිඩනයක් විය. එහි පැවතී වාතාවරණය දෙවියන් වහන්සේ සිහි කිරිමට හෝ ප්‍රාර්ථනා කිරීමට සුදුසු එකක් ‍නොවු බව මට දැනුණි. අපේ කණ්ඩායමේ ඉතිරි පිරිස එහි යෑමට ආශා කළ නමුත්, ඔවුන් සමඟ මගේ ගමන එදා දිනම අවසන් විය.

    තුන් වන කොටස

    එළිමහනෙහි නිශ්ශබ්ද පරිසරයක, හුදෙකලාවේ සිටින විට මම දෙවියන් වහන්සේට සමිපව සිටින බව මට හැඟුණි. අලංකාරවත් පරිසරයක ඉදි කරන ලද ලුවිස් සහ ක්ලාර්ක් සරසවිය භූමියේ ඇවිදින්නට, උයනේ බංකු වල වාඩි වි උස් කඳු සහ එහි ගස් වල වර්ණ වෙනස් වන ආකාරය බලා සිට කාලය ගෙව්වෙමි. දිනක් විද්‍යාල භූමියේ පිහිටි ගස් පඳුරු මැද ඉදි කරන ලද එංගලන්ත දේව සභාවේ කුඩා පල්ලියට (Chapel) ඇතුළු වුයෙමි. එය චාම් නමුත් අලංකාරය. අල්තාරයක් හෝ කුරුස හෝ ප්‍රතිමා කිසිවක් එහි නොමැත. වාඩි වීම සඳහා ආසන පෙළක් සහිත බංකු සහ විශාල ඕගනයක් තිබුණි. එම වසරේ ඉතිරි කාලයේ එම පල්ලියට ගොස් හුදකලාවේ නිහඬව වාඩිවි කල්පනා කළෙමි. අන් කිසිදු පූජා ස්ථානයක මෙන් නොව මෙම ස්ථානයේ මගේ සිතට පහසුවක් ද දෙවියන් වහන්සේට සමිප ව සිටින බවක හැඟීමක් ද දැනුණි.

    මේ කාලය තුළ සාකච්ඡා කණ්ඩායමේ පාඨමාලාව යටතේ තවත් ජාත්‍යන්තර ශිෂ්‍යයන් හමු වුයෙමි. අප පිරිසට අයත් මැ ඇතුළු ජපන් තරුණයෙක් හා තරුණියක්, ඉතාලියානුවෙක් සහ පලස්තින තරුණයෙක් යන පස් දෙනෙක් සිටියෙමු. අපේ පවුලේ අය, අධ්‍යාපනය, අපේ කුඩා කාලය, අපේ සංස්කෘති අතර වෙනස්කම් වැනි බොහෝ විෂයයන් පිළිබඳව සාකච්ඡා කළෙමු. පලස්තිනයේ ෆාරිස් ඔහු ගේ ජිවිතය, පවුලේ අය, ඔහුගේ දේව විශ්වාසය වැනි දේ පවසනු සවන් දෙන විට මට යමක් මතක් විය. මෙයට පෙර මා ආශ්‍රය කර තිබුණේ ෂෙරිෆ්, ෆාතිමා, මයිසූන් යන මුස්ලිම් වරුන් සමඟ පමණි.

    මෙයට පෙර මුස්ලිම්වරුන්ගේ විශ්වාසය සහ ඔවුන්ගේ ජීවිත ක්‍රමය මට පරිබාහිර සහ මගේ සංස්කෘතිය ට අන්‍ය බව දුටුවෙමි. අප අතර තිබුණු සංස්කෘතික සීමාව නිසා ඔවුන්ගේ දේව විශ්වාසය පිළිබඳව හදාරන්නට මට අවශ්‍යතාවක් නොතිබුණි. එහෙත්, ඉස්ලාම් ගැන වැඩි වැඩියෙන් අධ්‍යයනය කළ තරමට මගේ ජීවිතයට එය ගැළපෙන එකක් විය හැකි බව දකින්නට පටන් ගත්තෙමි.

    සරසවියේ දෙවැනි වාරයේ සාකච්ඡා කණ්ඩායම අහෝසි වී, ජාත්‍යන්තර ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනත් පාසැල් වලට විසිරී ගිය නමුත් අප අතර පැවතු අදහස් හුවමාරු, මා තුළ නොමැකී රැඳී තිබුණි. ඉන් පසු වාරයේ ආගමික අධ්‍යයන දෙපාර්තමේන්තුවේ “ඉස්ලාමයට හැඳින්වීමක්” නම් පාඨමාලාව අධ්‍යයනය කිරීමට පටන් ගත්තෙමි. මේ පන්තියේ සිටින විට, කිතු දහම පිළිබඳ ව මා තුළ නැඟු ප්‍රශ්න සියල්ල මතක් විය. එහෙත්, ඉස්ලාමය ඉගෙන ගන්නට පටන් ගත් විට ඒ ප්‍රශ්න සියල්ලට පිළිතුරු ලැබුණි. ආදම්ගේ මුල් පාපය සඳහා මිනිසුන් සියලු දෙනාටම දඬුවම් නොලැබෙන බවද, ආදම් පාපක්‍ෂමාව ඉල්ලීමෙන් අනතුරුව අති ක්‍ෂමාශීලි දෙවියන් වහන්සේ ආදම්ට සමාව දුන් බවද ඉගෙන ගත්තෙමි.

    පාපයක් සඳහා දෙවියන් වහන්සේ ට රුධිර බිලිදීමක් අවශ්‍ය නැත. අපි අවංක ව පාප ක්ෂමාව ඉල්ලා අප ජීවිතය යහපත් ලෙස ජීවත් විය යුතුය. ජේසුස් වහන්සේ දෙවියෙක් නොව අනිත් නබිවරුන් මෙන් එතුමා ද එකම නිවේදනය ගෙන ආ නබි වරයෙකි. ඔවුන් සියලු දෙනාටම ලැබුණේ එකම නිවේදනයකි. එනම් එකම දෙවියෙකු විශ්වාස කරන්න, ඔහුට අවනත වන්න, දෙවියන් වහන්සේ විසින් පහළ කරන ලද මාර්ගයේ යහපත් ලෙස ජීවත් වන්න යන්නයි. මෙයින් මා තුළ නැඟු ත්‍රිත්වය සහ ජේසුස් වහන්සේගේ ස්වභාවය පිළිබඳ සියලු ප්‍රශ්න වලට පිළිතුරු ලැබුණි. දෙවියන් වහන්සේ පරිපූර්ණ හා ඉතාමත් සාධාරණ විනිශ්චය කරුවෙකි. අපගේ දේව විශ්වාසය සහ යහපත් හැසිරීම මත අපට දඬුවම හෝ ත්‍යාග ලබා දෙයි. මෙවැනි ඉගැන්වීම් මගින් සියලු දේ නියමිත ස්ථානයට පත් වන හෙයින්, මගේ හදවතට හා බුද්ධියට පිළිගත හැකි බව පෙනුණි. මෙය ස්වභාවික එකක් වන හෙයින් කිසිදු අවුලක් නුදුටුවෙමි. මා මෙතක් කල් සොයමින් සිටි සත්‍ය දුටු විට මා තුළ විශාල සහනයක් දැනුණි. පාසැල් නිවාඩුවට නිවසට පැමිණ, දිගින් දිගට ඉස්ලාම් ගැන අධ්‍යයනය කළෙමි. පුස්තාකලයේ පොත් පත් කියවා ධාර්මික මඟ සොයමින් සිටි මිතුරන් සමඟ සාකච්ඡා කළෙමි. ඔවුන් බොහෝ දෙනෙක් පෙරදිග ආගම්, විශේෂයෙන් බෞද්ධාගම ගැන අධ්‍යයනය කරමින් සිටියහ. මගේ මග සෙවීම ගැන ද අවසානයේ මා සොයා ගත් දැය ගැනද ඔවුන් සතුටු වුහ. නමුත් ඔවුන් නොයෙක් ප්‍රශ්න ඇසුහ. විශේෂයෙන් කැලිෆෝර්නියාවේ නිදහස් මතධාරි කාන්තාවක් වශයෙන්, මගේ පවුලේ සාමාජිකයන් මගින් මගේ ජීවිතයට සිදු විය හැකි බලපෑම් ගැන ඔවුන් විමසුහ.

    මම අධ්‍යයනය කළ, ප්‍රාර්ථනා කළ නවක ආගම තුළින් මගේම හදවතට කෙතරම් දුරට සහනයක් තිබෙනවා දැයි පරීක්ෂා කළෙමි. මගේ නිවස සිට බොහෝ ඈත තිබෙන සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ සමීපතම ඉස්ලාමිය මධ්‍ය ස්ථානයක් පිහිටා තිබුණු හෙයින් එහි යෑමට මට නොහැකි විය. මේ හේතුවෙන් මට හැකි ආකාරයෙන් සත්‍යය සොයන්නට වුයෙමි. ඒ අතර මගේ පවුලේ උදවිය සමඟ කථා කළෙමි. වරක් රූපවාහිනි නාලිකාවේ එස්කිමෝ වරුන්ගේ ජිවිතය ගැන විස්තර කරන විට ඔවුන් ගේ ජිවිතයේ විශාල තැනක් හිමට තිබෙන හෙයින් එම පදයට 200 ටත් වැඩි වචන තිබෙන බව පවසනු ඇසුවෙමි. පසුව මේ විෂය ගැන සාකච්ඡා කරන විට, සෑම සමාජයම ඔවුන්ට වැදගත් ලෙස හැඳින්වන දැයට විවිධ පද උපයෝගි කරන බව ද, ආමරිකානු ජීවිතයේ මුදල් වැදගත් ස්ථානයක් දරණ හෙයින් එයට වචන කිහිපයක් තිබෙන බව මගේ පියා පැවසීය. ඒ මොහොතේ “මුස්ලිම්වරුන් දෙවියන් වහන්සේට නම් 99ක් භාවිතා කරති. ඔවුන්ට එය ඉතා වැදගත් කරුණක් විය යුතු” යැයි මම පැවසුවෙමි.

    නිවාඩු අවසානයේ නැවත සරසවියට ගියෙමි. එහි ගිය විගස මම කළ ප්‍රථම ක්‍රියාව පෝර්ට්ලන්ඩ් පල්ලිය හා සම්බන්ධ වීමයි. මට කථා කළ හැකි කවුරු හෝ කාන්තාවකගේ නමක් දෙන ලෙස ඉල්ලූ විට, ඇමරිකානු මුස්ලිම් සහෝදරියකුගේ නම හා දුරකථන අංකයක් මට ලැබුණි. එම සතියේ මම ඇය හමුවීමට ගියෙමි.

    සුළු වේලාවක් මා සමඟ කථා කළ ඇය, මම දැනටමත් මුස්ලිම් වරියක් බව අවබෝධ කර ගත්තාය. මුස්ලිම්වරිය වීම සඳහා අවශ්‍ය ප්‍රායෝගික කරුණු පිළිබඳ මඟ පෙන්වනු පිණිස සහෝදරියක් මට හඳුනා දෙන ලෙස මම ඇගෙන් ඉල්ලා සිටියෙමි. නිදසුන් වශයෙන් නැමදුම් කරන්නේ කෙසේ දැ යි පොත් පත් මගින් මම දන්නා නමුත්, ප්‍රායෝගික ව ඉටු කිරීමට මම නොදනිමි. මම ඉංග්‍රිසි බසින් කියවා සලාහ් කරන්නට උත්සාහ කළ නමුත් එයින් මම සතුටට පත් නොවුයෙමි. එදින අකීකා හෙවත් දරුවෙක් ඉපදුණු පසු දෙන ලද ආහාරය ට ආරාධනා ලැබ එහි ගියෙමි. එහි දි මුස්ලිම් සහෝදරියන් කිහිප දෙනක් හමු වී, ෂහාදා ප්‍රකාශ කළෙමි. එයින් බහුතරයක් ඇමරිකානු කාන්තාවන්ය. ඔවුන් ද තමන් ඉස්ලාමයට පිවිසු ආකාරය ගැන කථා කළහ. එදා රාත්‍රි මා ආපසු පාසැලට පැමිණියේ නවක ජිවිතයක් ආරම්භ කළ බව සතුටින් ය.

    ඉස්ලාම් මට සතුට ගෙන දෙයි.

    මම මුස්ලිම් සමාජයෙන් ඈත් ව සරසවියයේ ශිෂ්‍ය නිවාසයේ නැවති සිටියෙමි. සමීපතම මස්ජිදයට යෑමට බස් දෙකක ගමන් කිරිමට තිබෙන හෙයින්, සියලු මුස්ලිම් වරුන් ගෙන් ඉවත් වි, හුදෙකලාවේ ඉස්ලාමය හදාරන්නට සිදු විය. ඇතැම් අවස්තාවන් හි මස්ජිදයට අයත් පුස්තකාලයෙන් පොත් කිහිපයක් රැගෙනවිත් ඒවා කියෙව්වෙමි. කෙසේ වෙතත් මගේ අරමුණ ඉටු කිරීමෙහි දැඩි ව සිටියෙමි.

    ෂහාදා පවසා හය මසකට පසු ප්‍රථම වරට රමදාන් උපවාසයේ යෙදුණෙමි. හිජාබ් පලඳින තරමට මට සිත් ධෛර්යයක් නොතිබුණි. එහෙත්, ඒ වන විටත් ප්‍රමාණවත් ව සිරුර ආවරණය කරන ඇඳුමෙන් සැරසීමටද Scarf හෙවත් උතුරු සළුව භාවිත කිරීමට ද පුරුදු වුයෙමි. හිජාබ් පැලඳීමට මම පසුබට වීමට හේතු රාශියක් තිබුණි. මගේ ඊමානය තවමත් දුබල බව දැනුණි. හිජාබ් හි හේතුව හා මම එකඟ වෙමි, එහි අලංකාරය අගය කරමි. එය පැලඳ සිටින කාන්තා පිරිස බැතිමත්කම සහ සභ්‍ය සහිත අය බව මම දකිමි. එහෙත් එය පැලඳ ගත් විගස මිනිසුන් මගෙන් අසන ප්‍රශ්නයන්ට සුදුසු පිළිතුරු දීමට දැනුම නොමැති නිසා, එයට මුහුණ දීමට මැළි වුයෙමි.

    එහෙත්, රමදාන් මාසයේ මේවා සියල්ල වෙනස් විය. රමදාන් මස පළමු වන දින හිජාබ් පැලඳ ගෙන පන්තියට ගියෙමි. අද වන තුරු එය මම ඉවත දැමුවේ නැත, අල් හම්දු ලිල්ලාහ්. රමදාන් මාසයේ කුමක් හෝ දැයකින් මගේ සිතට ශක්තියක් දෙනු ලැබීමෙන් මුස්ලිම්වරියක් බව ආඩම්බර වුයෙමි. දැන් ඕනෑම ප්‍රශ්නයට පිළිතුරු දීමට මම සූදානම්ය.

    රමදාන් මස ආරම්භයේ සිට හුදෙකලාවේ සිටියෙමි. මුස්ලිම් සමාජයෙන් කිසිවෙක් මට ඇමතුවේ නැත. නේවාසිකාගාරයේ මට කියා වෙනම විශේෂ ආහාර නොමැත. සවසට ගොස් ආහාර පාර්සල් දෙකක් ගෙනැවිත් කාමරයේ තබා ගෙන, ෆතූර් සහ සහූර් මොහොතේ තනිවම ආහාර ගත්තෙමි. මුළු මාසයම සෑම දිනකම එකම ආහාරය ම දෙවේලට වෙනස් නොවී ලැබුවෙමි. මට තනිකම දැනුණු නමුත්, මෙයට පෙර මා තුළ මෙතරම් සාමයක් නොදුටුවෙමි.

    මම ඉස්ලාමයට පිවිසු බව පවුලේ අයට දැනුම් දුන් විට, ඔවුන් කිසිවෙක් පුදුමයට පත් නොවුහ. මගේ ක්‍රියා කලාපයෙන් එවැන්නක් සිදු වන බව ඔවුන් බලාපොරොත්තු වුහ. මම අවංක බව දන්නා ඔවුන් මගේ තීරණය පිළිගත්හ. මෙයට පෙරද මගේ සියලු කටයුතු වලට සහ ස්ථීර දේව විශ්වාසයට මගේ පවුලේ අය එකග නුවුවත් එයට එරෙහි වුයේ නැත. එහෙත් මම හිජාබය පලඳින්නට පටන් ගත් විට ඔවුන් විවෘත සිතකින් එය දෙස බැලුවේ නැත. එයට හේතු වුයේ මෙම ක්‍රියාවෙන් මම සමාජයෙන් වෙන් වී යන්නට ක්‍රියා කරන බවද, සමාජයේ වෙනස්කම් වලට මම ලක් විය හැකි බවද, ගුරුවරියක් වීමේ මගේ අරමුණට එමගින් බාධාවක් සිදු විය හැකි බවද, ඔවුන් බිය වූ අතර, මා සමඟ ප්‍රසිද්ධියේ පෙනී සිටීම ගැන ඔවුන් අපහසු වට පත්විය හැකි බව සිතුහ. හිජාබ් පැලඳීම රැඩිකල්වාදයක් ලෙස ඔවුන් සැලකුහ. මම වෙනත් ආගමක් ඇදහීම ඔවුන්ට ප්‍රශ්නයක් නොවු නමුත්, එයින් මගේ බාහිර ජීවිතයට බලපෑමක් සිදූවනවාට ඔවුන් අකැමැති වුහ.

    මම විවාහ වීමට ගත් තීරණය නිසා ඔවුන් තවත් කලබලට පත් වුහ. මේ කාල වකවානුවේ, අපගේ සාකච්ඡා කණ්ඩායමේ සාමාජිකයෙකු ව සිටි පලස්තීනයේ මුස්ලිම් ජාතිකයෙකු වන ෆාරිස් ව සොයා ගත්තෙමි. ඉස්ලාම් දහම මට ප්‍රථමයෙන් හඳුනා දුන් ඔහු තවමත් පෝට්ලන්ඩ් පළාතේ සමාජ විද්‍යාලයේ ශිෂ්‍යයෙකි. අපි දෙදෙනා විටින් විට දහවල් ආහාර වේලාවේ, පුස්තකාලයේ, ඔහුගේ සහෝදරයාගේ නිවසේ මුණ ගැසී කතා කිරීමට පටන් ගත්තෙමු. මගේ අධ්‍යාපනය අවසන් වූ ග්‍රීෂ්ම සෘතුවේ අපි විවාහ වුයෙමු. මම මුස්ලිම් බවට පත් වන ෂහාදා ප්‍රකාශ කර එවකට වසරක් නිම වී අවසානය. මෙම නිවේදනයෙන් මගේ පවුලේ සාමාජිකයන්ගේ සිත් විකෘති විය. මගේ හිජාබ් ඇඳුමේ තිගැස්සීමෙන් තවමත් මිදී නැති ඔවුන්, මගේ විවාහ දැන්වීම තවත් අකුණක් ලෙස සැලකුවෝය. මගේ තීරණය වෙනස් කිරීමට ඔවුන් බොහෝ සේ මහන්සි වූහ. මම ළාබාල කෙනෙක්, විවාහය නිසා මගේ අරමුණ සියල්ල මම අතහැර දැමිය හැක, මට පාසැලෙන් ඉවත් වීමට සිදු වේ, තරුණ මවක් බවට වහාම පත් වී මගේ ජීවිතය විනාශ කරගන්නට සිදු වේ යන නොයෙක් කර්ක ඉදිරිපත් කළහ.

    මගේ සැමියාට ඔවුන් ප්‍රිය කළ නමුත් ඔහු ව සම්පූර්ණයෙන් විශ්වාස කළේ නැත. මෙය ඇමරිකානු පුරවැසි භාවයට අවශ්‍ය Green Card ලබා ගනු පිණිස කරන ප්‍රෝඩාවක් යැයි ඔවුත් සැක කළහ. මේ ප්‍රශ්නය සම්බන්ධ ව මගේ පවුලේ අය සමඟ මාස කිහිපයක් සටන් කළෙමි. අපගේ ඥාති සම්න්ධතාව යළි ගොඩ නගා ගත නොහැකි වේ දැයි බිය වුයෙමි. මෙය සිදු වුයේ වසර තුනකට පෙරය, නමුත් දැන් සියල්ල වෙනස් වී අවසානය. මගේ සැමියා සමඟ ඔරගන් පළාතේ සරසවියට ඇතුළු වී, එහි කොර්වාලිස් නගරයේ පදිංචියට ගියෙමු. අපි අද ජිවත් වන්නේ ඉතාමත් සමගි මුස්ලිම් සමාජයක් සමඟය. පසුව ළදරු වර්ධන විෂය පිළිබඳ ව උසස් සම්මාන සහිත උපාධියක් ලැබුවෙමි. ලේකම්වරියක්, ප්‍රාථමික පාසැල් ගුරුවරියක් වැනි විවිධ රැකියාවන්හි මම නිරත වු නමුත්, මගේ හිජාබය මට ප්‍රශ්නයක් වුයේ නැත. මම තවමත් සමාජ සංවර්ධන සේවයේ සහ අනිකුත් ස්වේච්ඡා සේවයන්හි නිරත වෙමි. මගේ දෙමාපියන් හමු වීමට වසරකට කිහිප වරක් අපි ගියෙමු. ෆාරිස්ගේ දෙමාපියන් ප්‍රථම වරට දුටු පසු, අප අතර මිත්‍රත්වය තවත් වැඩි විය. දැන් මම අරාබි භාෂාව ද ඉගෙන ගනිමි. මම කතා කරන භාෂා කිහිපයක් අතර අරාබි භාෂාවද විශේෂ තැනක් ගනී.

    මගේ ජීවිත ගමන දෙස ඉතා ඕනෑ කමින් බලා සිටි මගේ ඥාතීන් මම ජීවිතය විනාශ කර නොගත් බව දැන් පිළි ගනිති. ඉස්ලාම් දහම වේදනාව හා ශෝකය නොව, සතුට හා සාමය මට ගෙන දුන් බව ඔවුන් දුටුහ. මම සතුටින් හා සහනයෙන් ජීවත් වන බව දකින මගේ ඥාතින් මා ලැබු ජය ගැන සැබැවින්ම ආඩම්බර වෙති. අප අතර පවතින ඥාතිත්වය යහපත් අතට හැරී තිබෙන අතර අපි ලබන මස ඔවුන්ගේ නිවසට පැමිණෙන දිනය ඕනෑකමින් බලා සිටිති. ඉන්ෂා අල්ලාහ්.

    මේවා සියල්ල දෙස ආපසු හැරී බලන විට, අද මම සිටින ස්ථානයට මා රැගෙන ගිය අල්ලාහ්ට අතිශයින් ස්තූති කරමි. අල්ලාහ්ගේ ආශීර්වාදය මට ස්ථීර ව ලැබුණු බවද මගේ ජීවිතයේ විවිධ කොටස් නිසි ලෙස එක් වී එක්තරා අලංකාරවත් මෝස්තරයක් නිර්මාණය වු බව මම සිතමි. “අල්හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන්”

    قُلْ إِنَّ هُدَى اللَّـهِ هُوَ الْهُدَىٰ ۖ وَأُمِرْ‌نَا لِنُسْلِمَ لِرَ‌بِّ الْعَالَمِينَ ﴿٧١﴾

    “අල්ලාහ්ගේ සන්මාර්ගයට සන්මාර්ගය යි කියව. තවද ලෝවැසි සියල්ලන්ගේම පරාධිපතිට අප කිකරු විය යුතු යැයි අපි අණවනු ලැබුවෙමු.” අල් කුර්ආන් 6:71

    නිමි

    වර්ග: