මානව ගරුත්වය පිළිබඳව නබි (සල්) තුමාණන්ගේ ඉගැන්වීම්

කෙටි හැඳින්වීම

දේව විශ්වසවන්තයින් සහ ප්රාතික්ෂෙප කළවුන්, හිමිකරුවන් සහ වහල් සේවකයින්, කාන්තාවන් සහ කුඩා දරුවන්, ජීවතුන් අතර සිටින්නන් සහ මළවුන් යන සෑම මිනිසෙකුගේම ආත්ම ගෞරවය පිළිබඳව මුහම්මද් නබි (සල්) තුමාණන් දැක්වු විශේෂ සැලකිලි පිළිබඳ ලිපිය.
“තවද, සැබැවින්ම අපි ආදම්ගේ දරුවන් ගෞරවයට පත් කළෙමු. යැයි අල් කුර්ආන් පවසයි. 17;70
දේව විශ්වාස වන්තයෙකුගේ (ඔහුගේ දේපොළ, ඔහුගේ රුධිරය, ඔහුගේ ගෞරවය) පවිත්ර තාවය අල්ලාහ් ඉදිරියේ උතුම් වේ. යැයි නබි (සල්) තුමාණන් වදාළහ.(ඉබ්නු මාජා)
යුද සිරකරුවන්ට ගෞරවයෙන් හා උදාරභාවයෙන් සැලකිලි දක්වමින් නබි (සල්) තුමාණන් ලොවේ දාමරික සමාජයට ආදර්ශයක් ඉදිරිපත් කළහ.

Download
මෙම වෙබ් පිටුවට භාරව කටයුතු කරන්නා වෙත අදහස් දන්වා සිටින්න

වැඩි විස්තර

    මානව ගරුත්වය පිළිබඳව නබි (සල්)

    තුමාණන්ගේ ඉගැන්වීම්

    كرامة الإنسان في حياة الرسول صلى الله عليه وسلم

    < සිංහල - سنهالية sinhali->

    කාන් යාසිර්

    اسم المؤلف

    خان ياسر

    —™

    ජාසිම් ඉබ්නු දඉයාන්

    මුහම්මද් අසාද්

    ترجمة:جاسم بن دعيان

    مراجعة:محمد آساد

    මානව ගරුත්වය පිළිබඳව නබි (සල්) තුමාණන්ගේ ඉගැන්වීම්

    http://radianceweekly.in/portal/issue/human-dignity-and-islam/article/prophetic-lessons-on-human-dignity/

    2015. ජනවාරි 11දින

    කාන් යාසිර්

    සිංහල බසින්

    ජාසිම් ඉබ්නු දඉයාන්

    දේව විශ්වසවන්තයින් සහ ප්‍රතික්ෂෙප කළවුන්, හිමිකරුවන් සහ වහල් සේවකයින්, කාන්තාවන් සහ කුඩා දරුවන්, ජීවතුන් අතර සිටින්නන් සහ මළවුන් යන සෑම මිනිසෙකුගේම ආත්ම ගෞරවය පිළිබඳව මුහම්මද් නබි (සල්) තුමාණන් දැක්වු විශේෂ සැලකිලි පිළිබඳව කාඃන් යාසිර් මෙහිදී විස්තර කරයි.

    යම් දැයක වටිනාකම පිළිබඳව හදවත් තුළ අවබෝධ කර ගැනීම පහසු දැයක් වන නමුත් එය වචනයෙන් ප්‍රකාශ කිරීම හෝ ක්‍රියාවේ නැංවීම අපහසු සහ මදි පුංචිකම් විය හැක. කෙසේ වෙතත් මිනිසාගේ ආත්ම ගෞරවයේ වටිනාකම පිළිබඳව “ලෝක මානව අයිතිවාසිකම් ප්‍රකාශනය (1948) Universal Declaration of Human Rights 1948 පවසන්නේ කුමක් දැයි පෙන්වා දීමට කැමැත්තෙමි.

    මෙම ප්‍රකාශනයේ පූර්විකාව ආරම්භ කරනු ලබන්නේ “නෛසර්ගික ගෞරවය” පිළිගැනීමෙන්ය. මෙය “ලොවේ ස්වාධීනත්වය, සාධාරණත්වය සහ සාමයේ පදනම” යනුවෙන් සළකනු ලැබේ.

    මෙම පූර්විකාව සඳහන් කරන්නේ එක්සත් ජාතින්ගේ ප්‍රජාවගේ විශ්වාසය වන “සෑම පුද්ගලයෙකුගේම වැදගත්කම සහ ගෞරවය” යන විෂය පිළිබඳවයි. “සෑම මිනිසෙක්ම ස්වාධීනත්වය හා එක හා සමානකාරත්වය සහ අයිතිවාසිකම් සහිත ව උපත ලබන්නේය.” යනුවෙන් පළමු වන ඡේදය පවසයි. මෙහි දී ගරුත්වය සහ අයිතිය එකම අර්ථය දක්වන වචන දෙකක් නොවන බව සැලකිය යුතුය. මානව ගරුත්වය යන සංකල්පය මානව අයිතිය යන සංකල්පයට වඩා ඉතාමත් පුළුල්ය. එනම් මානව ගරුත්වය ලබා ගනු පිණිස මානව අයිතිය මාර්ගයක් සකස් කර දෙන බව කිව හැක. සැබැවින්ම 22 සහ 23වන ඡේදය මගින් ප්‍රකාශ වන්නේ මෙම අදහසය.

    ඉස්ලාම් හි මානව ගරුත්වය

    ලෝකය දෙස ඉස්ලාම් බලන්නේ තව්හිද් නම් ඒක දෙවත්වය පදනම් කර ගෙනය. අල්ලාහු අක්බර් - අල්ලාහ් අති මහත් උත්තමයාණන්ය - මෙම ප්‍රකාශනය සෑම මුස්ලිම් වරයෙකුම දිනකට පස් වේල නැමදුමෙහි සිය වාරයක් ප්‍රකාශ කරයි. මුස්ලිම්වරුන් වන අපි උතුම් ආත්මභාවයක් සමඟ තිබෙන සම්බන්ධකම, අපගේ සමාජ ප්‍රතිරූපයට රුකුලක් ලෙස දකිමු. මෙහිදී මිනිසුන් මිහිතලයේ අල්ලාහ්ගේ නියෝජිතයින් වන බව අල් කුර්ආන් එක් වාක්‍යයකින් ප්‍රකාශ කර අවසානය.

    وَإِذْ قَالَ رَ‌بُّكَ لِلْمَلَائِكَةِ إِنِّي جَاعِلٌ فِي الْأَرْ‌ضِ خَلِيفَةً ۖ2:30....

    “තව ද නුඹ ගේ පරමාධිපති මලාඉකාවරුන්හට සැබැවින් ම මම මහපොළොවේ නියෝජිත පරම්පරාවක් පත් කරන්න ට යමි යැයි පැවසූ අවස්ථාව සිහිපත් කරනු.” සූරා අල් බකරා : 30.

    එ පමණක් නොව මිනිසා ලෙස බිහි කරනු ලැබීමෙන් සියලු මිනිසුන්ම එක හා සමාන බවද එයට හේතුව ඔවුන් සියලු දෙනාම එකම ආරම්භක උල්පතින් අපත ලැබු බවද අල් කුර්ආන් සනාථ කරයි.

    يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَ‌بَّكُمُ الَّذِي خَلَقَكُم مِّن نَّفْسٍ وَاحِدَةٍ وَخَلَقَ مِنْهَا زَوْجَهَا وَبَثَّ مِنْهُمَا رِ‌جَالًا كَثِيرً‌ا وَنِسَاءً ۚ4:1

    “අහෝ මිනිසුනි ! එකම ආත්මයකින් නුඹලා ව මවා එයින් එහි කළත්‍රය ද මවා ඔවුන් දෙදෙනාගෙන් අධික පිරිමින් ද කාන්තාවන් ද මැවූ නුඹලාගේ පරමාධිපතිට බිය බැතිමත් වනු.” සූරා අන් නිසා: 1.

    මිනිසාගේ මෙම “තක්රීම්” හෙවත් ගෞරවය පහත සදහන් අයුරින් පිරිනමනු ලැබු බව කුර්ආන පැහැදිලි ප්‍රකාශ කරයි.

    وَلَقَدْ كَرَّ‌مْنَا بَنِي آدَمَ وَحَمَلْنَاهُمْ فِي الْبَرِّ‌ وَالْبَحْرِ‌ وَرَ‌زَقْنَاهُم مِّنَ الطَّيِّبَاتِ وَفَضَّلْنَاهُمْ عَلَىٰ كَثِيرٍ‌ مِّمَّنْ خَلَقْنَا تَفْضِيلًا ﴿٧٠﴾17:

    “තවද, සැබැවින්ම අපි ආදම්ගේ දරුවන් ගෞරවයට පත් කළෙමු. ගොඩබිමේ හා මුහුදේ අපි ඔවුන් ව ඉසිලුවෙමු. තවද පිවිතුරු දැයින් අපි ඔවුනට ජිවන සම්පත් ලබා දුනිමු. තවද අපි මැවු අයට වඩා අධික වශයෙන් ඔහු ව උසස් කළෙමු.” කුර්ආන් 17:70.

    මිනිසාගේ උත්කර්ෂවත් හා ගෞරවනීය තත්ත්වය පිළිබඳ ව මෙම කුර්ආන් වාක්‍යය මගින් අවබෝධ කර ගත හැකි වේ.

    “සැබැවින්ම, අපි අමානතය (වගකීම) අහස් කෙරෙහි ද මිහිතලය කෙරෙහි ද කඳු කෙරෙහි ද (එය උසුලන ලෙස) ගෙන හැර පෑවෙමු. එවිට එය ඉසිලීමෙන් ඒවා වැළකුණෝය. තවද එයින් (එය ඉසිලීමෙන්) ඒවා බියට පත් විය. (නමුත්) මිනිසා එය ඉසිලීය. සැබැවින්ම ඔහු (තමාට ම) අපරාධ කරන්නෙකු ද (ඒ පිළිබඳ ව) අඥානයෙකු ද විය.” සූරා අල් අහ්සාබ් : 72.

    කෙටියෙන් පවසන්නේ නම්, අල්ලාහ්ගේ නියෝජිත වශයෙන් මිනිස් වර්ගයාට පිරිනමන ලද බලය සහිත ව ආදම් මිහිතලයට එවනු ලැබු බවද, ඔහු වෙත අල්ලාහ්ගේ දැනුම පමුණුවන ලද බවද, මලාඉකාවරුන් ආදම්ට හිස නමා ආචාර කිරීම, අහස්, පොළොව කඳු වැටි සියල්ල මතෙ හි මිනිසාගේ උසස් භාවයද, විශ්වාසවන්ත සහ වගකීම දරන්නෙකු ලෙස මිනිසා එවනු ලැබු බවද මෙහි ප්‍රකාශ කෙරේ. උත්තරීතර අල්ලාහ් විසින් සියලු මිනිසුන් වෙත උසස් ආත්ම ගෞරවය පිරිනමනු ලැබු බව ඉන්ග්‍රිඩ් මැට්සන් මෙනවිය නම් පඬිවරිය මෙසේ අවධාරණය කළාය.

    අල්ලාහ් විසින් ආදම් තුමාව ඔහුගේ ප්‍රතිරූපයෙන් මවනු ලැබුවේය. මේ හේතුවෙන් ගෞරවය සහ ශ්‍රේෂ්ඨත්වය මිනිස් උත්පත්තියේ අයිතියක් බවට පත් කරනු ලැබීය. මිනිසා පහසුවෙන් පෙලඹවීමට ලක් වන සුළු බව අල් කුර්ආන් සඳහන් කරන නමුත්, මුල් පාපයේ සංකල්පය කුර්ආනය ප්‍රතික්ෂේප කරයි. ඉස්ලාම් හි මිනිසා ඇත්ත වශ්‍යයෙන්ම පාපිෂ්ඨයෙක් නොවේ, ඒ වෙනුවට සෑම මිනිසෙක්ම පිරිසිදු ව උපත ලබන බවද ඔහු කුසල්කම් දෙසට යොමු වන බවද තහවුරු කරයි. ඉස්ලාමීය දේව ධර්මයට එකඟ ව, මිනිසා තුළ ස්වභාවික ව පවතින කුසල් ගුණාංගයන් යටපත් කිරීමට හා විකෘති කිරීමට ප්‍රධාන හේතුව වන්නේ සමාජයයි. කෙසේ වෙතත් අවසානයේ සෑම කෙනෙකක්ම තමන්ට සුදුසු යහ ජිවිතයක් තෝරා ගැනීමේ වගකීම දැරිය යුතුය. මෙම තෝරා ගැනීම පෞද්ගලික වගකීමක් වන අතර ආත්ම ගෞරවයට සහ අල්ලාහ්ගේ සියලු මැවිම් අතරින් මිනිසා උසස් මැවීමක් ලෙස හිස එසවීමට ප්‍රධාන සාධක බවට පත්වේ.

    මුහම්මද් නබි (සල්) තුමාණන් සහ මානව ගරුත්වය

    දිනක් කඅබාව ඉදිරියේ සිට ගෙන මුහම්මද් (සල්) කඉබාව සංකේත වශයෙන් අමතා මෙසේ පැවසුහ. “ඔබ කෙතරම් පවිත්‍ර ද! ඔබේ සුවඳ කෙතරම් පිරිසුදු ද! ඔබ කෙතරම් උතුම් ද! ඔබේ පවිත්‍රතාවය

    කෙතරම් උතුම් ද! කවරෙකුගේ අතේ මුහම්මද්ගේ ප්‍රාණය තිබේ ද, (ඔහු මත දිවුරා පවසමි) දේව විශ්වාස වන්තයෙකුගේ (ඔහුගේ දේපොළ, ඔහුගේ රුධිරය, ඔහුගේ ගෞරවය) පවිත්‍රතාවය අල්ලාහ් ඉදිරියේ ඔබට වඩා උතුම් වේ.” මූලාශ්‍ර ඉබ්නු මාජා.

    නිදහස සහ සමානතාවය තර්ජනයට ලක්වනවිට සූරා කෑම සහ දුෂ්ට පාලනය ආරම්භවෙයි. සියලු මිනිසුන්ම ගෞරවණිය අයවෙති, සියලු මිනිසුන්ම සමාන අයවේ. නබි (සල්) තුමාණන් තම අවසාන හජ් දේශනාවෙහි මෙම තේමාව නැවත නැවත තහවුරු කළහ. එතුමාණන් මෙසේ පැවසුහ. “ජනතාවනි! ඔබ සැමගේ නිර්මාතෘ වරයා එක් කෙනෙකි; ඔබ සියලු දෙනාම එකම මුතුන් මිත්තන්ගෙන් පැවත එන්නෝ වෙති, ඔබ සියලු දෙනාම ආදම්ගෙන් පැවත එන අය වන අතර ආදම් පසෙන් නිර්මාණය කරනු ලැබු කෙනෙකි.” මූලාශ්‍ර සහීහ් මුස්ලිම්.

    මුහම්මද් නබි (සල්) තුමාණන් ඉස්ලාමයේ සියලු ඉගැන්වීම් හි ප්‍රතිමූර්තියක් බව පැවසිය හැක. සැබැවින්ම එතුමාණන් ජංගම කුර්ආනයක් බඳුය. මේ පිළිබඳ ව කෙටියෙන් සාකච්ඡා කළෙමු. දැන් රසූල් (සල්) තුමාණන්ගේ ජීවිතයෙන් ආදර්ශ කිහිපයක් දෙස අවධානය යොමු කිරීම සුදුසු යැයි සිතමි.

    දිනක් නබි (සල්) තුමාණන් තම සගයින් සමඟ වාඩි වී සිටින විට යුදෙව් ජාතිකයෙකුගේ අවමඟුල් පෙරහැරක් ඔවුන් පසු කර ගෙන යන විට නබි (සල්) තුමාණන් නැගිට සිට ගත්හ. එය යුදෙව් ජාතිකයෙකුගේ අවමඟුල් පෙරහැරක් යැයි සහාබාවරයෙක් පැවසු විට, “ඔහු (මිනිස්) ආත්මයක් නොවේදැ?” යි නබි (සල්) තුමාණන් පිළිතුරු දුන්හ.

    දිනක් නගරයෙන් ආපසු පැමිණෙන අතර, මරණයට පත් වූ කෙනෙක් පිළිබඳ ව දෙදෙනෙක් ඕපාදූප කතා කරනු නබි (සල්) තුමාණන් සවන් දුන්හ. මඳ දුරක් ගිය විට බූරුවෙකුගේ කුණු වූ මළ සිරුරක් පාර අසල තිබුණි. නබි (සල්) තුමාණන්, කතා කරමින් සිටි දෙදෙනා කැඳවා “මෙම සිරුර අනුභව කරන්න.” යැයි පැවසුහ. “බූරුවාගේ මළ කඳ අනුභව කරන්නේ කවුරුන් ද අල්ලාහ්ගේ රසූල් (සල්) තුමණි?” යැයි ඔවුන් පැවසු විට “මඳකට පෙර කෙනෙකුගේ ගෞරවයට එරෙහි ව ඔබ දෙදෙනා කතා කරමින් සිටියා නොවේද? එම ක්‍රියාව මෙම මළ බූරුවාගේ කඳ බුදිනවාට වඩා පහත් ක්‍රියාවකි” යැයි ඔවුන් කීහ. මූලාශ්‍ර අබු දාවුද්.

    අල්ලාහ්ගේ රසූල් (සල්) තුමාණන් හට සටන් කිහිපයකට මුහුණ දීමට සිදු වූ බව අපි දනිමු. එම අවස්ථාවන්හි පරාජය වන බියගුල්ලෙක් වශයෙන් නොව සමාජයේ අසාධාරණය සහ දුෂ්ට පාලනය ඉවත් කරනු පිණිස කොන්දේසි සහිත සීමිත සටනට එතුමාණන් උපදෙස් දුන්හ. යුද නීතිය සහ එහි අනුගමනය කළ යුතු යුක්ති ධර්මය පිළිබඳ ව තම යුද භටයන්ට උපදෙස් කිහිපයක් නිකුත් කළහ. ඒවායින් කිහිපයක් පිළිබඳ ව ඉස්ලාමයේ ප්‍රථම කලීෆාවරයා වන අබු බකර් (රළි) විසින් දන්වන ලදී.

    “ජනතාවනී! ඔබ හට කොන්දේසි දහයක් භාර කරමි; යුද පිටියේ ඔබගේ මඟ පෙන්වීමක් වශයෙන් ඒවා හොඳාකාර ව ඉගෙන ගනු මැනවි. ඒවා නම්, ද්‍රෝහිකම් නොකරනු, යහ මාර්ගයෙන් බැහැර නොවනු, මළ සිරුරු විකෘති නොකරනු, කුඩා දරුවන් හෝ කාන්තාවන් හෝ මහලු පිරිමීන් ඝාතනය නොකරනු, ගස් කොළ, විශේෂයෙන් පලතුරු සහිත ගස් විනාශ නොකරනු, ඒවා පුලුස්සා ගිනි බත් නොකරනු, ඔබගේ ආහාරය සඳහා හැර සතුරන්ගේ ගව රංචුව කිසිවක් විනාශ නොකරනු, ඔබ යන මාර්ගයේ ශ්‍රමණ වෘත්තියට කැප වූ පිරිසක් දැක ගත හැකි වේ, ඔවුන් කිසිවෙකුට හානි සිදු නොකරනු.”

    යුද සිරකරුවන්ට ගෞරවයෙන් හා උදාරභාවයෙන් සැලකිලි දක්වමින් නබි (සල්) තුමාණන් ලොවේ දාමරික සමාජයට ආදර්ශයක් ඉදිරිපත් කළහ. ඉස්ලාමයට නිතර දොස් පවරන විලියම් මුයිර් වැනි පෙර දිග ඉතිහාසඥයන් පවා මුස්ලිම්වරු යුද සිරකරුවන්ට කරුණාවෙන් හා ගෞරවයෙන් සැලකිලි දැක් වූ බව අකැමැත්තෙන් හෝ පිළිගත්හ. බද්ර් සටනෙන් සිර භාරයට ගත් යුද සිරකරුවන් පිරිස තදට බැඳ තිබිය දී

    නබි (සල්) තුමාණන් රාත්‍රි නිදා ගත නොහැකි ව සිටි බව පැහැදිලි ව සඳහන් වී තිබේ. නබි (සල්) තුමාණන් ට නිදා ගත හැකි වුයේ ඔවුන්ගේ ලණු ලිහිල් කළායින් පසුවය.

    සුහෙයිල් ඉබ්නු අම්ර් අති දක්ෂ කථිකයෙකි. ඔහු තම උපරිම ව්‍යක්ත කථිකත්වය උපයෝගී කර ඉස්ලාමයේ නබි (සල්) තුමාණන්ට නිග්‍රහ කළේය. බද්ර් සටනේ පරාජයට පත් වූ කාෆිර් වරුන් අතර ඔහු ද සිර භාරයට ගනු ලැබීය. නබි (සල්) තුමාණන්ට සමිප වූ උමර් (රළි) තුමා, “නබි (සල්) තුමාණනි! ඔබ තුමාණන්ට එරෙහි ව සුහෙයිල් නැවත කතා කළ නොහැකි අයුරින් ඔහුගේ දත් බිඳ දමන්නෙමි” යැයි පැවසීය. එවැනි දඬුවමක් සිරකරුවෙකුට පැණවීම ඉස්ලාමීය සදාචාරයට හා ඉස්ලාමීය නිවේදනයට පටහැණි බව දන්නා නබි (සල්) තුමාණන් මෙසේ පිළිතුරු දුන්හ. “එසේ නොකරනු උමර්! මම කෙනෙකුට අකාරුණික ව සැලකුවේ නම්, මම නබි වරයෙකු වූවද අල්ලාහ් මට ඒ ආකාරයෙන්ම සැලකිලි දක්වන්නේය. ඇතැම් විට හෙට සුහෙල් තම තීරණය පැවසිය හැක, එයින් ඔබද සතුටට පත් විය හැකි වනු ඇත.” යැයි පැවසුහ. තවත් වාර්තාවක් “ ජනයාට මේ ලොවේ දඬුවම් දෙන අයට අල්ලාහ් (මතු ලොවේ) දඬුවම් දෙනු ඇත.” යැයි පැහැදිලි ව පැවසුහ. මූලාශ්‍ර මුස්ලිම්.

    අබු ජහල් ඉස්ලාමයේ දුෂ්ට සතුරෙකු බවට කිසිදු තර්කයක් නැත. ඔහුගේ පුත් ඉක්රිමා ද මක්කාව මුස්ලිම්වරු ජයගන්නා තුරු තම පියාගේ අඩි පාර ඔස්සේ ගමන් කළේය. මක්කාව පරාජයට පත් වූ විට ඉක්රිමාද ප්‍රාණ බියේ යෙමන් දේශයට පලා ගියේය. මක්කාවේ සිටින දේව විශ්වාස නොමැති අයට පවා නබි (සල්) තුමාණන් පොදු සමාව දී ඔවුන්ට කරුණා ව දැක් වු විට, ඉක්රිමාගේ බිරිඳ නබි (සල්) තුමා වෙතට පැමිණ ඉක්රිමා සඳහා සමාව ලබා ගත්තාය. මුස්ලිම් බවට පත්වූ එම කාන්තාව ඉක්රිමා වෙතට ගොස් මුස්ලිම් බවට පත් වන ලෙසද, මක්කාවට ආපසු හැරී එන ලෙස ද ඒත්තු ගැන්වුවාය. ඉක්රිමා ද එය පිළිගත්තේය. ඔහු ගෝත්‍ර නායකයකු වන අතර, නායකයෙකුගේ පුත්‍රයෙකි. ඉක්රිමා ඔහුගේ පියා පිළිබඳ ව අයහපත් දේ සවන් දුන්නේ නම් දුකට පත් වන බව සිතු නබි (සල්) තුමාණන් තම සහාබාවරුන් කැඳවා, “ඉක්රිමා ඉබ්නු ජහල් දේව විශ්වාස වන්තයෙකු සහ මුහාජිර් වරයෙකු ලෙස ඔබ වෙතට පැමිණෙනු ඇත. ඔහුගේ පියාට කිසිදු ආකාරයෙන් අයහපතක් නොපවසනු. මළවුන්ට නින්දා කිරීම ජීවතුන් අතර සිටිනා අයට සිත්තැවිල්ල සිදු කරන අතර, මළවුන්ට ඒවා කිසිවක් ඇසෙන්නේ නැත.” යැයි උපදෙස් දුන්හ.

    කෙටියෙන් පවසන්නේ නම්, ඉස්ලාම් හි ගරුත්වය යනු මුස්ලිම්වරුන්ට පමණක් හිමි වරප්‍රසාදයක් නොවන අතර, සෑම මිනිසෙකුටම එය ලබා දෙන්නට ඉස්ලාම් කටයුතු කරන බව මතකයේ තබා ගත යුතුය. “මිනිසුන් සියල්ල අල්ලාහ්ගේ මැවීම් වන අතර, ඔහුගේ මැවීමටට කරුණාව දක්වන්නන් අල්ලාහ්ට ඉතාමත් සමිපතම අය වේ.” යැයි නබි (සල්) තුමාණන් වදාළහ. මූලාශ්‍ර සහිහ් මුස්ලිම්. ගරුත්වය යනු ජිවතුන් අතර සිටින අයට පමණක් හිමි වරප්‍රසාදයක් නොව, අභාවයට පත් වූ අයට ද එය හිමි විය යුතුය. (යුදෙව් ජාතිකයෙකුගේ අවමංගල්‍ය ගමනට නබි (සල්) තුමාණන් ගෞරව දැක්වීමෙන් මෙය පැහැදිලි වේ.

    එමෙන්ම ගරුත්වය යනු පිරිමින්ට පමණක් සීමා වූ කරුණක් නොව කාන්තාවන්ටද අදාළ වන බව නබි (සල්) තුමාණන් සඳහන් කළේ මේ ආකාරයෙන්ය. “තම බිරියට යහපත් සැලකිලි දක්වන තැනැත්තා, ඔබ අතරින් උතුම් කෙනෙක් වෙයි.” මූලාශ්‍ර තිර්මිදි. එතුමාණන් තම බිරියන්ට, දියණියන්ට, තමා හදා වඩා ගත් මවට සහ එමගින් ලැබු සොයුරියන්ට දැක් වු සැලකිලි දෙස බලන විට එතුමාණන් දේශනා කළ දේ ඒ ආකාරයෙන්ම ජිවිතයේ අනුගමනය කළ බවද ඒ මගින් ප්‍රායෝගික ආදර්ශයක් ගෙන දුන් බවද සනාථ වේ.

    ගරුත්වය යනු වැඩි මහල් අයට පමණක් අයත් වරප්‍රසාදයක් නොව දරුවන්ටද ඒ සඳහා අයිතියක් තිබේ. නබි (සල්) තුමාණන් කිසි අවස්ථාවක කුඩා දරුවන්ට බැන වැදුණේ නැති අතර, ඔවුන්ට ආදර සෙනෙහස දැක් වූ බව අපි මතකයේ තබා ගත යුතුය. කුඩා දරුවන් පසු කර ගෙන යන විට ඔවුන්ට මුලින්ම සලාම් කීමට නබි (සල්) තුමාණෝ අමතක කළේ නැත. තම සහාබාවරුන්ටද ඒ අයුරින් කටයුතු කරන ලෙස එතුමාණන් උපදෙස් දුන්හ.

    ගරුත්වය යනු ප්‍රධානියෙකුට සහ ස්වාධීන මිනිසෙකුට පමණක් සීමා වූ වරප්‍රසාදයක් නොවන අතර, දුගී, අසරණ අයට සහ වහල් සේවකයන්ටද ඒ සඳහා හිමිකමක් ඇති බව නබි (සල්) තුමාණන් වදාළහ. “ඔබගෙන් කෙනෙකුගේ වහල් සේවකයෙක් හෝ (සේවිකාවක්) ගින්නට හා දුමට සමීප ව (අපහසුතාවෙන්) වාඩි වී ආහාර පිළියෙල කළායින් පසු, එය බුදින්නට ඔබ වාඩි වන විට, එම සේවකයාටද ආහාර සඳහා වාඩි වන ලෙස ආරාධනා කළ යුතුය. ආහාර ප්‍රමාණය සීමිත බව දැනුනේ නම්, තම ආහාර කොටසෙන් සේවකයාට (ස්වල්පයක්) පරිත්‍යාග කළ යුතුය.” මූලාශ්‍ර මුස්ලිම්. නබි (සල්) තුමාණන්ගෙන් මේ ආකාරයෙන් සැලිකිලි ලැබු වහල් සේවකයෝ, තම ඥාතීන්ගේ නිවෙස් වලට නොගොස් ස්වාමියා වන නබි (සල්) තුමාණන් සමඟ රැඳී සිටීමට වැඩි කැමැත්ත දැක් වූ බව අපට අමතක කළ හැකි ද?

    මෙවැනි සිදුවීම් හා නිදසුන් විශාල වශයෙන් ඉදිරිපත් කළ හැකි අතර, ඒවා පවසා නිම කළ නොහැක. එනිසා‍ මෙම මාතෘකාව සම්බන්ධව එක් විශේෂ කරුණක් පිළිබඳ ව සඳහන් කරමු. එනම් රෝගී බවට පත් වීමේ මානව ගරුත්වය.

    ඉන්ග්‍රිඩ් මැටිසන් මහත්මිය මෙසේ සඳහන් කරයි. “අසනීප තත්ත්වයේ සිටින කෙනෙක් පවා අල්ලාහ් ව දිගින් දිගට සිහිපත් කිරීම සහ නැමදුම් කිරීම අනිවාර්‍යය බව ඉස්ලාමීය නීතිය පවසන්නේ රෝගීන්ගේ ආත්ම ගරුත්වයට සැලකිලි දක්වන හේතුවෙනි.” එනම්, “කෙනෙක් අසනීපය නිසා එක්තැන් ව සිටියද, ඔහු සිහිසුන් ව සිටින්නේ නම් ඔහු පස් වේල නැමදුම් ක්‍රියාව අනිවාර්‍යයෙන් ඉටු කළ යුතුය. මුස්ලිම් වරයෙක් සිට ගැනිමට නොහැකි තරමට දුබල වුයේ නම්, ඔහු වාඩි වූ ඉරියව්වේ සිට නැමදුම් කළ යුතුය. මුස්ලිම් වරයෙක් වාඩි වීමට පවා නොහැකි තරමට දුර්වල වුයේ නම් ඔහු හාන්සි වී නැමුදුම් කළ යුතුය. කිසිදු ශාරීරික චලනයක් කළ නොහැකි අංශභාගයට ලක් වූ කෙනෙක් වූව ද, ඔහු හෝ ඇය තමා නැමදුම් කරන බව සිතා තම දෑස් චලනය මගින් නියමිත දිසාවට නියමිත වෙලාවට යොමු කරමින්, තම අනිවාර්‍යය නැමදුම් කටයුතු ඉටු කළ යුතුය.”

    මෙහි හරය වන්නේ අසනිප වූ රෝගීන් පවා සමාජයේ වැදගැම්මකට නොමැති කෙනෙක් බවට පත් වීමට ඉස්ලාම් අනුමත නොදීමය. එවැනි ජනතාව පවා අත්‍යවශ්‍යයෙන්ම කාර්යක්ෂම - සමාජයට අවශ්‍ය - කෙනෙකු බව ඉස්ලාම් සැලකිලි දක්වන බව මෙයින් දැක ගත හැකි වේ. මෙයට වඩා සදාචාර අභිවෘදිය හා මානව ගරුත්වය නඟා සිටවන තවත් කරුණක් තිබේද?

    - See more at: http://radianceweekly.in/portal/issue/human-dignity-and-islam/article/prophetic-lessons-on-human-dignity/#sthash.w5Qa1heS.dpuf

    ඔබගේ වටිනා අදහස්