සේවකයන්ගේ අයිතිවාසිකම්

කෙටි හැඳින්වීම

ඔබගේ වහලුන් ඔබගේ සහෝදරයන්ය. ඔබගේ පාලනය යටතට ඔවුන්ව පත් කළේ අල්ලාහ් ය. ඔවුන් හළන දහඩිය බිඳු සිඳී යෑමට පෙර ඔවුන්ගේ කුලිය ලබා දිය යුතුය

Download
මෙම වෙබ් පිටුවට භාරව කටයුතු කරන්නා වෙත අදහස් දන්වා සිටින්න

වැඩි විස්තර

    කම්කරුවන්ගේ මිතුරු මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)

    ] සිංහල – Sinhala –[سنهالي

    මාහිර් රම්ඩීන්

    2014 - 1435

    حقوق العمال

    « باللغة السنهالية »

    محمد صالح المنجد

    2014 - 1435

    කම්කරුවන්ගේ මිතුරු මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)

    ලොව බොහෝ රටවල් කම්කරුවන්ගේ දිනය මැයි මස 1 වැනි දින සමරනු අපි දන්නෙමු. 18 වැනි ශත වර්ෂයේ අවසන් භාගයේ ද 19 වැනි ශත වර්ශයේ ආරම්භයේ ද කම්කරුවන් තම අයිතිවාසිකම් හිමි කර ගැනීම උදෙසා ක්‍රියාත්මක කළ අරගලයන් සිහිපත් කිරීම වස් මෙම දිනය සමරනු ලැබේ.

    ආධිපත්‍යය දරන්නන් විසින් පැය 12 ක් පැය 15 ක් පැය 18 ක් යනදී ලෙස කම්කරුවන් සේවාවන් හි නිරත කරවා ඔවුන් ව දැඩි ලෙස පීඩාවට හා මර්දනයට පත් කළහ. කම්කරුවන් ට තම මූලික අයිතිවාසිකම් පවා අහිමි කර ප්‍රමාණවක් තරමට ගෙවීම් නොකර ඔවුන් විසින් සූරා කන ලදී. උදෑසන පටන් සවස දක්වා සේවයේ නිරත වීමට කම්කරුවන් බල කරනු ලැබූහ.

    මෙම වාතාවරණය මත පැය අටක සේවා කාලයක් ඉල්ලා කම්කරුවන්ගේ අයිතිය තහවුරු කරනු පිණිස කම්කරුවන්ගේ අරගලය පිපිරී ගියේය. කම්කරු සංගම් බිහි විය. ඇමරිකාව බ්‍රිතාන්‍යය ප්‍රංශය වැනි රටවල් හි මෙම අරගලයන් ආරම්භ විය.

    ඇමරිවේ 1832 දී බොස්ටන් හි නෞකාවක සේවය කළ තස්සුත් කම්කරුවන් පැය 10 ක සේවයේ තමන් නිරත වන බවට චෝදනා නගමින් තම සේවා කටයුතු වලින් ඉවත් වූහ.

    1835 හි ෆිලදෙල්ෆියාවේ පෙන්සිල්වේනියාවේ මෙම චෝදනාව ම ඉදිරිපත් කරනු ලැබ කම්කරුවන් සේවයෙන් ඉවත් වූහ. පෙන්සිල්වේනියාවෙහි ගල් අගුරු පතල් කම්කරුවන් හා දුම්රිය කම්කරුවන් අඩු සේවා කාලයක් ඉල්ලා 1877 හි සේවා කටයුතු වලින් ඉවත් වූහ.

    ඒ සමඟම ඇමරිකාවෙ හි නොයෙකුත් ප්‍රාන්තයන් හි පිහිටා ඇති කම්කරු සංගම් ඒකාබද්ධ කරමින් ඇමරිකානු කම්කරු සංස්ථාව යන මැයෙන් සංවිධානයක් බිහි විය. මෙම සංවිධානය පැය අටක සේවා කාලයක් පිළිබඳ යෝජනා ඉදිරිපත් කර දිගටම එම සංගමය ක්‍රියාත්මක විය. මැයි 1 වැනි දින කම්කරුවන්ගේ දිනය යන තේමාවෙන් සමරන්නට හේතු වූයේ මෙම සංවිධානයයි.

    1886 මැයි 3 වැනි දින ඇමරිකාවේ මැක්කාර්මික් හාර්වෙස්ටිං මෙෂින් නම් ආයතනය ඉදිරිපිට කම්කරුවන් 3000 කට අධික පිරිසක් පෙළ ගැසී අනතුරු ඇඟවීමේ උද්ඝෝෂණයක නිරත වූහ. මෙහි හට ගත් අර්බුධයෙ හි කම්කරුවන් සිව් දෙනෙකු පොලිසියේ වෙඩි පහරට ලක් වී මරණයට පත් වූහ. මෙම සිද්ධිය පාදක කර ගනිමින් හේමාර්ක්කට් ආයතනයේ කම්කරුවන් විසින් මැයි 4 වැනි දින නිහඬතාවෙන් යුතුව විශාල රැස්වීමක් දියත් කරන ලදී. මෙහි 2500 පමණ කම්කරුවන් පිරිසක් සහභාගී වූහ.

    රැස්වීමට බාධා කරමින් පොලීසිය විසින් තහංචි පන වන ලදී. සියලු දෙනා විසිර යන මෙන් නියෝග කරන ලදී. මෙම අවස්ථාවේ දී රැස් වී සිටි පිරිස අතුරින් බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. එයින් පොලිස් නිලධාරියෙකු එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත් විය. පසුව පොලිසිය විසින් රැස් ව සිටි පිරිස වෙත වෙඩි ප්‍රහාර එල්ල කරන ලදී. කම්කරුවන්ගේ ප්‍රධානීන් සිරභාරයට ගෙන නඩු පවරන ලදි. මෙම නඩුව 1886 ජූනි 21 වැනි දින ආරම්භ විය. නඩුව අවසන් වූයේ 7 දෙනෙකුට මරණ දඬවම නියම කරමිනි. මෙම සිද්ධිය හේමාර්ක්කට් මහා ඝාතනය නමින් හැඳින් විණ. මෙම සිද්ධිය සමඟ සම්බන්ධ කර හේමාර්ක්කට් හි සිහිවටන ඵලකයක් ඉදි කර ඇත.

    1887 නොවැම්බර් මස 11 වැනි දින කම්කරුවන්ගේ නායකයින් වන ආගස්ට් ස්පෙයින්, ඇල්බර් පර්සන්, ඇඩොල්ස් බිඃසෂර්, ජෝජ් එංගල් යන අය එල්ලා මරන ලදී.

    1887 නොවැම්බර් මස 13 වැනි පැවැත්වුණු රැලියට මුළු ඇමරිකාවම පෙළ ගැසුණහ. රට පුරා ලක්ෂ 5ක පමණ දෙනා මොවුන්ගේ අවසන් රැලියට සහභාගී වූ අතර ඇමරිකාව පුරා කළු දිනය යැයි ශෝකය පළ කර සිටියහ.

    1889 ජුලී මස 14 වැනි දින පැරිසියේ සොසියල් කම්කරුවන්ගේ ජාත්‍යන්තර කම්කරු පාර්ලිමේන්තුව රැස් විය. රටවල් 18ක සිට නියෝජිතයින් 400 දෙනෙකු පමණ මෙම රැස්වීමට සහභාගී වූහ. බිරෙක්ටික් ඒන්ගල්ස් ඇතුළු ව බොහෝ දෙනෙක් සහභාගී වූ මෙම රැස්වීමෙ හි කාල් මාක්ස් අවධාරණය කළ පැය 8ක සේවා මුරය පිළිබඳ අරගලය ඉදිරියට ගෙන යන ලෙස තීන්දු වීමත් සමඟම 1890 මැයි මස පළමුවැනි දින මුළු ලොව පුරා සිටින කම්කරුවන් විරෝධතා අරගල පැවැත්විය යුතු යැයි හඬ පැතිර යන ලදී.

    මෙම හඬ මැයි පළමුවැනි දින, ජාත්‍යන්තර කම්කරුවන්ගේ දිනය ලෙස සලකා එදින සැමරීමට තුඩු දුන් හේතුව විය. (wikipedia.org)

    මෙම ඓතිහාසික අරගලය දෙස අවධානය යොමු කළ විට කම්කරුවන්ගේ සාධාරණීය ඉල්ලීමට නිලධාරි පිරිස සවන් නොදී තම නිල බලයෙන් මැඩලීමට ඉදිරිපත් වූ බව පැහැදිලිය. ජීවතය ද මරණය ද යන අරමුණින් කම්කරුවන් තම අයිති වාසිකම් උදෙසා පාරට බැස උද්ඝෝෂණ ව්‍යාපාර වල යෙදුණහ.

    ඒ වෙනුවෙන් ජීවිත බොහෝමයක් පරිත්‍යාග කිරීමට ඔවුනට සිදු විය. එම දිනය සිහිපත් කිරීමේ අරමුණින් වාර්ෂිකව මැයි මස පළමුවැනි දින කම්කරුවන්ගේ දිනය ලෙස සමරනු ලැබේ.

    එම අරගලයේ ප්‍රතිඵලයක් වශයෙන් අද කම්කරුවන්ගේ දීමනාවන්, නිවාඩු දීමනාවන් ඇතුළු ව සෑම රටකම කම්කරු නීති ක්‍රියාත්මක කරන්නට ආරම්භ විය. ඔවුන්ගේ අයිතිවාසිකම් සඳහා හඬ නැගීමට ස්වෙච්ඡා සංවිධාන පවා අද බිහි වී ඇත.

    මේ පසුබිම යටතේ 7 වැනි ශත වර්ෂයේ බිහි වූ අවසන් දූත නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් කම්කරුවන්ට ලබා දී ඇති අයිතිවාසිකම් පිළිබඳ ව අපගේ අවධානය යොමු කළ යුතු වෙයි.

    අල්ලාහ්ගේ මඟ පෙන්වීම් යටතේ ඉස්ලාමය උගන්වා එය ක්‍රියාවට නැංවූ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ කුලියට එළුවන් බලා ගන්නා එමෙන්ම ව්‍යාපාර කටයුතු වල නිරත වන සේවකයෙකු වූහ. සේවකයින්ගේ දුෂ්කරතාවන් හා ගැටලු පිළිබඳව මනා අවබෝධයක් ඇති අයෙකු වූහ. දේව දූතයෙකු ලෙසින් ද කම්කරුවෙකු ලෙසින් ද එතුමාණන් පෙන් වූ ජීවිතය ඇත්තෙන්ම ආදර්ශමත් ජීවිතයකි.

    මිනිසෙකු හිඟමන් අයදිනවාට වඩා තවත් කෙනෙකු මත යැපීමට වඩා තම දෑතින් උපයා ආත්ම ගෞරවයෙන් යුතුව ජීවත් වීම ශ්‍රේෂ්ඨ යැයි ඉගැන්වූහ. රැකියාවක් කිරීම පිළිබඳව දිරි ගැන්වූවා පමණක් නොව කම්කරුවන්ගේ ශ්‍රමය වැදගත් කොට සැලකූහ. අනෙකා නොරවටා වංචා නොකොට අනුමත රැකියාවක් කර ජීවත් වන මෙන් දිරි ගැන්වූහ.

    ඔබ අතුරින් කෙනෙකු ලණුවක් ගෙන තම පිට මත දර මිටියක් ඔසවා ගෙන විකුණා ජීවත් වීම ජනයාගෙන් හිඟමන් යදිනවාට වඩා ශ්‍රේෂ්ඨය යැයි නබි (සල්ලලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ. (බුහාරි - 3406)

    කෙනෙකු තම දෑතින් උපයා අනුභව කරන ආහාරයට වඩා උතුම් ආහාරයක් කිසිවිටක අනුභව කළ නොහැක. දේව දූත දාවූද් (අලෙයිහිස් සලාම්) තුමා තම දෑතින් උපයා අනුභව කරන්නෙකු ව සිටි බව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ. (බුහාරි - 2072)

    කම්කරුවන් සමඟ මානුෂික ලෙසින් කටයුතු කරන මෙන් ද ඔවුන්ගේ හැඟීම් වලට ගරු කොට ක්‍රියා කරන මෙන් ද නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ අවධාරණය කළහ.

    නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාට සේවය කළ එතුමාණන්ගේ සහගාමියෙකු වූ අනස් බින් මාලික් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පවසා සිටියි.

    මම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ළඟ වසර 10ක් කම්කරුවෙකු ලෙස සේවය කර ඇත්තෙමි. (මාගේ සිත රිදෙන පරිදි) ‘චී‘ යනුවෙන් හෝ (මෙය) ඔබ කළේ ඇයි ? යන්නෙන් හෝ ඔබ (මෙය) මෙසේ කළ යුතු නොවේ ද ? යන්නෙන් හෝ එතුමාණන් මට පවසා නොමැත. (බුහාරි - 6038)

    කම්කරුවන් පවා මිනිසුන්ය. ඔවුන්ට ගරු කළ යුතුය. ආදරය සෙනෙහස පෑ යුතුය. ඔවුන්ගේ සුදුසුකම් අනුව සේවාවන් හි නිරත කළ යුතුය. ඔවුන්ගේ කතාවට සවන් දිය යුතුය. ඔවුන්හට අනවශ්‍ය ලෙසින් (දරා ගත නොහැකි) දුෂ්කරතාවන් නොපැවරිය යුතුය යනුවෙන් නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් නියෝග කළහ.

    මඃරූර් (රළියල්ලාහු අන්හු) තුමා වාර්තා කරයි.

    මම අබූ දර් (රළියල්ලාහු අන්හු) තුමා ව (මදීනාවට සමීපයෙන් ඇති) රබදා යන ස්ථානයේ මුණ ගැසුණෙමි. එවිට ඔහු වෙත ඇඳුම් කට්ටලයක් ද ඒ හා සමාන ව ඔහුගේ වහලා වෙත ද ඇඳුම් කට්ටලයක් තිබෙනු මම දුටුවෙමි. එවිට (මවිතයට පත් වෙමින්) ඒ ගැන මම ඔහුගෙන් විමසා සිටියෙමි. එයට ඔහු (මම) දිනක් කෙනෙකුට බැණ වැදී ඔහුගේ මව ගැන ද වැරදි ලෙස පැවසුවෙමි. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්

    අබූ දර්, ඔබ ඔහුට ද ඔහුගේ මවට ද දොස් නැගුවෙහිය. අඥාන යුගයේ ගති පැවතුම් වලින් යුත් මිනිසෙකු ලෙසින් සිටින්නෙහිය. ඔබගේ වහලුන් ඔබගේ සහෝදරයන්ය. ඔබගේ පාලනය යටතට ඔවුන්ව පත් කළේ අල්ලාහ් ය. එබැවින් කෙනෙකුගේ සහෝදරයෙකු තම පාලනය යටතේ සිටියේ නම් අනුභව කරන දැයින් ඔහුට ද ආහාර සපයයි. තමන් අඳින පලදින දැයින් ඔහුට ද අඳින්නට සලස්වයි. ඔහුගේ ශක්තියට ඔබ්බෙන් වූ කාර්යයන් හි ඔහු නිරත වූයේ නම් ඔවුනට උදව්කරුවන් වශයෙන් සිටින්න යැයි පැවසූහ.

    එබැවින් මම අඳින සේම මාගේ වහලාටත් අඳින්නට සැලැස්වූයෙමි යැයි අබූ දර් (රළියල්ලාහු අන්හු) තුමා පැවසූහ. (බුහාරි - 30)

    කම්කරුවන්ගේ ගෞරවය උසස් කොට සලකා ඔවුන් සමඟ මානුෂික ලෙසින් කටයුතු කරන මෙන් ද ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කර දෙන මෙන් ද නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පැවසූ මෙම ප්‍රකාශය කම්කරුවන්ගේ සාසනයෙහි ලිවිය යුතු අපූර්වජනක වදන් පෙළකි. කම්කරුවන් ව මිතුරන් ලෙස බලන්න. ඔවුන් අසීරුතාවට පත් වන විට උදව් කරුවන් ලෙස සිටින්න යනුවෙන් හාම්පුතුන්ට අණ කර ඇත්තාහ. මෙසේ ඉස්ලාම් පවසන කම්කරු අයිතිය ලොව වටහා ගත්තේ නම් 19 වැනි ශත වර්ශයේ කම්කරුවන්ගේ අරගලය ඇතිවන්නට හෝ පිපිරෙන්නට නොතිබුණි.

    කම්කරුවන්ගේ ශ්‍රමය වැදගත් කොට සැලකූ නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පවසා සිටි තවත් ප්‍රකාශයක් දෙස බලන්න.

    ඔබ අතුරින් කිසිවෙකු වෙත ඔහුගේ සේවකයා ඔහුගේ ආහාරය ගෙන ආවේ නම් ඔහු තම සේවකයාව තමන් සමඟ වාඩි කරවා ගන්න. එසේ ඔහු ව වාඩි කර නොගත්තේ නම් ඔහුට ද එක් මිටක් හෝ මිටි කිහිපයක් හෝ කටක් හෝ කටවල් කිහිපයක් හෝ කෑමට දෙන්න. හේතුව ඔහු එය පිසන විට එහි උණුසමත් එහි දුෂ්කරත්වයත් ඉවසා දරා ගත්තේ යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පැවසූහ. (බුහාරි - 5640)

    කම්කරුවන් තම හාම්පුතුන් වෙනුවෙන් උපයන විට හාම්පුතුන් තම කම්කරුවන්ගේ සේවය වැදගත් කොට සලකා අවශ්‍ය කටයුතු ඉටු කර දිය යුතුය. හාම්පුතුන් හා සේවකයා එකට වාඩි වී ආහාර ගත නොහැකි වුව ද සේවකයින්ගේ කුසගිනි නිවන්නට ආහාරය සැපයිය යුතු වේ. මෙය සේවකයින්ගේ මූලික අයිතිවාසිකම වේ යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා අවධාරණය කළහ.

    ඔවුන්ගේ වේතනය ඔවුන්ගේ සේවය අවසන් වූ වහා ගෙවිය යුතුයි. එය ප්‍රමාද නොකළ යුතුයි. ඔවුන් හළන දහඩිය බිඳු සිඳී යෑමට පෙර ඔවුන්ගේ කුලිය ලබා දිය යුතුය යනුවෙන් ද නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කළහ.

    දහඩිය සිඳී යාමට පෙර සේවකයින්ගේ කුලිය ලබා දෙන්න. යනුවෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පැවසූහ. (තිර්මිදි - 1434)

    සේවකයින්ගේ කුලී මුදල ළඟ තබා ගෙන බොහෝ හාම්පුතුන් හා පාලකයින් නිසි අයුරින් නිසි වේලාවට ඒවා ඔවුන්හට ලබා නොදෙන බැවින් ගැටළු උත්සන්න වී ඇත. අද ලොවෙ හි රාජ්‍යයන් කම්කරුවන්ට හිමි විශ්‍රමික මුදල් නිසි ලෙස නොගෙවා එම මුදල් ආයෝජන සඳහාත් අභිවෘද්ධිය සඳහාත් තම අවශ්‍යතාවන් ඉටු කර ගැනීම සඳහාත් භාවිත කරයි. මේ හේතුවෙන් කම්කරුවන් බොහෝ දුෂ්කරතාවන් වලට මුහුණ දෙති. මාස ගණනාවක් අවුරුදු ගණනාවක් එම මුදල ලබා ගත නොහැකිව ලත වෙති. ඇතැම් විට තමන්ගේ විශ්‍රාමික මුදල් නොලබාම අවසන් හුස්ම හෙළති. දහඩිය සිඳීමට පෙර කුලිය ලබා දෙන්නැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා උපදෙස් දුන් කම්කරු අයිතිය ඉතා පැහැදිලිව මෙහි සඳහන් වෙයි.

    කම්කරුවන්ගේ අයිතීන් සූරා කන එම අයිතිවාසිකම් උල්ලංඝනය කර දමන සමාජයේ බොහෝ දෙනා සිටිති. මෙලොවෙ හි එම අයිතිය ලබා දීමට ප්‍රතික්ෂේප කරන්නන් ට එරෙහිව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තමන් තර්ක කරන බව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා අවවාද කළහ.

    ‘මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මම තුන් දෙනෙකුට එරෙහි ව (අල්ලාහ් අභියස) තර්ක කරමි‘ යනුවෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පැවසූහ.

    පළමුවැන්නා නිදහස් පුද්ගලයෙකුව වහලෙකු බවට පත් කරන්නා.

    දෙවැන්නා දුන් පොරොන්දු කඩ කරන්නා.

    තුන්වැන්නා එක් සේවකයෙකු ව කුලියට ගෙන ඔහුගෙන් සේවය ලබා ගෙන ඔහුගේ කුලිය ලබා නොදෙන්නා. (බුහාරි 2270)

    එක් මිනිසකුගේ අයිතිය මොනයම් ආකරයකින් වුව ද විනාශ කර දැමීමට ඉඩ සැලසිය නොහැක යන්න දේව දූත මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ සඳහන් කළහ. එබැවින් කම්කරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳව මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ලබා දුන් උරුමයන් ගැන ලොව හැරී බැලිය යුතු නොවේ ද?

    ඔබේ අදහස් පහත සඳහන් ලිපිනයට එවන්න.

    e.mail: [email protected]

    වර්ග: