අල්-මුක්තසර් ෆිල් ඉබාදාත්

සංස්කරණය :

පරිවර්තනය: මාහිර් රම්ඩීන්

විචාරය කිරීම: මුහම්මද් අසාද් බී.ඒ.

ප්‍රකාශක: ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා

කෙටි හැඳින්වීම

පිරිසිදුකම හා ජලවර්ග පිළිබඳ නීති රීති. 2. පාත්‍ර හා දේව ප්‍රතික්ෂේපකයින්ගේ ඇඳුම් පිළිබඳ නීති රීති 3. කිලිටි තත්ත්වයේ පසුවන්නාට තහනම් වන කරුණු. 4. (ස්වභාවික කෘතිය) අවශ්‍යතා සපුරා ගැනීමේ විනය. 5. සිවාක් හෙවත් දත් පිරිසිදු කිරීමේ හා ෆිත්රා හෙවත් පෙර සිට පැවත එන පිළිවෙත් 6. වුළුඃ ධෝවනයෙහි නීති රීති .
7. පස්වේල සලාතයේ අනිවාර් භාවය පිළිබඳ පාඩම . 8 අදාන් හා ඉකාමත් පිළිබඳ නීති රීති
9. සලාතයේ ෂර්ත් හෙවත් කොන්දේසි .10 ආවරණය කළ යුතු දෑහි කොන්දේසි
11. සලාතය ඉටු කිරීමට නුසුදුසු ස්ථාන.12 කිබ්ලාවට මුහුණ ලෑම
13.නිය්යත් හෙවත් පැතුම 14. මස්ජිදය කරා යෑම
15. සලාතයේ ‘අර්කාන්’ හෙවත් මූලිකාංග එහි ‘වාජිබාත්’ හෙවත් අනිවාර්‍ය හා ‘සුනන්’ හෙවත් අතිරේක කරුණු. 16 .සලාතයේ ක්‍රමය.
17. සලාතයේ දී සිදුවන පිළිකුල් සහගත දෑ පිළිබඳ පැහැදිලි කිරීමේ පාඩම.
18.සලාතයේ දී ඉටු කිරීමට සතුටුදායක හා අනුමත දෑ පිළිබඳ විස්තර කිරීමේ පාඩම.
19. අමතක වීම සඳහා සුජූද් කිරීම පිළිබඳ වූ පාඩම.
20. සලාතයෙන් පසු මෙනෙහි කළ යුතු ප්‍රාර්ථනාවන් පිළිබඳ පාඩම.
21. පහත සඳහන් මාතෘකා මෙහි අන්තර්ගත වේ
22.අතිරේක සලාතයන් පිළිබඳ පාඩම.
23. විත්ර් සලාතය හා ඊට අදාළ නීති රීති.
24. තරාවීහ් සලාතය හා එහි නීති රීති.
25. අනිවාර්ය සලාතයන්ට අදාළ චර්යානුගත සුන්නත් සලාතයන් පිළිබඳ පාඩම.
26. ලුහා සලාතය.
27.සුජූදුත් තිලාවා
28. අත් තතව්වුඋල් මුත්ලක් හෙවත් පොදු අතිරේක සලාතයන්.

Download
මෙම වෙබ් පිටුවට භාරව කටයුතු කරන්නා වෙත අදහස් දන්වා සිටින්න

වැඩි විස්තර

 අල්-මුක්තසර් ෆිල් ඉබාදාත් වත්පිළිවෙත් පිළිබඳ සංෂිප්තය

المختصر في العبادات

අල්-මුක්තසර් ෆිල් ඉබාදාත්

 පෙරවදන

සියලු ප්‍රශංසා අල්ලාහ් සතුයි. අපි ඔහු ප්‍රශංසා කරමු. ඔහුගෙන් උදව් පතමු. අපගේ සිත් තුළ ඇති වන නපුරෙන් හා අපගේ ක්‍රියාවන් හි පාප කම්වලින් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතමු. අල්ලාහ් කවරෙකුට යහමඟ පෙන්වූයේ ද ඔහුට කිසිදු මුළාවක් නොමැත. ඔහු කවරෙකු  මංමුළාවේ හැරියේ ද ඔහුට කිසිදු යහමඟක් නොමැත. ඒකීය අල්ලාහ් හැර වෙනත් කිසිදු දෙවියකු නොමැති බවත් ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැති බවත් මම සාක්ෂි දරමි. තවද ඇත්තෙන්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔහුගේ ගැත්තා හා ඔහුගේ ධර්ම දූතයා බවත් මම සාක්ෂි  දරමි.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ حَقَّ تُقَاتِهِ وَلَا تَمُوتُنَّ إِلَّا وَأَنْتُمْ مُسْلِمُونَ

අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බිය විය යුතු සැබෑ අයුරින් නුඹලා ඔහුට බිය බැතිමත් වනු. තවද නුඹලා මුස්ලිම්වරුන් ව සිටිය දී ම මිස මරණයට පත් නොවනු.                                 (අල් කුර්ආන් 3:102)

يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ مِنْ نَفْسٍ وَاحِدَةٍ وَخَلَقَ مِنْهَا زَوْجَهَا وَبَثَّ مِنْهُمَا رِجَالًا كَثِيرًا وَنِسَاءً وَاتَّقُوا اللَّهَ الَّذِي تَسَاءَلُونَ بِهِ وَالْأَرْحَامَ إِنَّ اللَّهَ كَانَ عَلَيْكُمْ رَقِيبًا

අහෝ මිනිසුනි! එකම ආත්මයකින් නුඹලා ව මවා එයින් එහි කළත්‍රය ද මවා ඔවුන් දෙදෙනාගෙන් අධික පිරිමින් ද කාන්තාවන් ද මැවූ නුඹලාගේ පරමාධිපතිට බිය බැතිමත් වනු. තවද කවර(නාමය)ක් වෙනුවෙන් නුඹලා එකිනෙකා අයිතීන් ඉල්ලා සිටින්නේ ද ඔහුට ද (එවැනි) ලේ ඥාතීත්වය (බිඳ දැමීම)ට ද බිය වනු. නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා කෙරෙහි සර්ව නිරීක්ෂකයා විය. (අල් කුර්ආන් 4:1)

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَقُولُوا قَوْلًا سَدِيدًا ، يُصْلِحْ لَكُمْ أَعْمَالَكُمْ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَمَنْ يُطِعِ اللَّهَ وَرَسُولَهُ فَقَدْ فَازَ فَوْزًا عَظِيمًا

විශ්වාස කළවුනි! අල්ලාහ්ට බිය බැතිමත් වනු ඍජු වදනින් කතා කරනු. නුඹලාගේ ක්‍රියාවන් නුඹලාට ඔහු විධිමත් කර දෙනු ඇත. තවද නුඹලාගේ පාපයන්ට නුඹලාට සමාව දෙනු ඇත. තවද කවරෙක් අල්ලාහ්ට හා ඔහුගේ ධර්ම දූතයාණන්ට අවනත වන්නේ ද සැබැවින්ම ඔහු අතිමහත් ජයග්‍රහණයක් හිමි කර ගත්තේය.                                    (අල් කුර්ආන් 33:70,71)

මේ සියල්ලට පසුව 

විවිධ දැනුම් තක්සේරු කර බලන විට ඒ ඒ දැනුමට අදාළ වටිනාකම් ඇත. ඒවායින් අභිමානවත් එමෙන්ම මහිමයෙන් වඩාත් ඔප් නැංවෙන දැනුම වනුයේ ආගමික නීති රීති සම්බන්ධයෙන් වූ දැනුමය. හේතුව එහි අල් කුර්ආනය හා සුන්නා ව පිළිබඳ අවබෝධය හලාල් හෙවත් අනුමත හා හරාම් හෙවත් තහනම් දෑ පිළිබඳ දැනුම ෂරීආවෙහි මූලධර්මයන් හා එහි සැඟ වී ඇති දෑ පරිශීලනය කිරීම වැනි දෑ ඇතුළත් ව ඇති බැවිනි. මෙය දැන ගැනීමේ අවශ්‍යතාව ඇති වූ විට අල්ලාගේ ග්‍රන්ථය ඔහුගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ මඟ පෙන්වීම හා එතුමාණන්ගේ මිතුරන් තැබූ පියවරවල් පෙන්වා දෙන සැමට සරල ව තේරුම් ගත හැකි පැහැදිලි සංෂිප්ත ග්‍රන්ථයන් ලිවීමට මම ආරම්භ කළෙමි. මම මෙම පොතට ‘වත්පිළිවෙත් වල සංෂිප්තිය යන අරුථ ගෙන දෙන අල්-මුක්තසර් ෆිල් ඉබාදාත් යන නාමය යෙදුවෙමි.

මෙය ලියන කියවන සැමට මෙමඟින් ප්‍රයෝජනයක් ලැබිය යුතු යැයි මම අල්ලාහ්ගෙන් අයැද සිටිමි. මෙයට භාරකරු වන්නේ ඔහුය. මෙහි සම්පූර්ණ බලය ඇත්තේ ද ඔහුටය. අපගේ නබි මුහම්මද් තුමාණන්ටත් එතුමාණන්ගේ පවුලේ අයටත් එතුමාණන්ගේ මිතුරන්ටත් අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත්වේවා.

ලිපිය

අල් කසීම් විශ්ව විද්‍යාලයේ ෂරීආ අංශයේ ආචාර්ය 

අබූ මුහම්මද් කාලිද් බින් අලී බින් මුහම්මද් අල් මුෂෙයික් විසිනි.

සිංහලෙන් මව්ලවි මාහිර් ටී.ඩී රම්ඩීන්.

 පිරිසිදුකම හා ජලවර්ග පිළිබඳ නීතිරීති

ෂහාදා පද දෙකෙන් පසු ව ඉස්ලාමයේ මූලිකාංගයන් අතුරින් දෙවන මූලිකාංගය වනුයේ සලාතයයි. මුස්ලිම්වරයා (දෙවියන්ට අවනත වන්නා) හා කාෆිර්වරයා (දෙවියන් ප්‍රතික්ෂේප කරන්නා) අතර වෙනස සලාතය ඉටු කිරීම හා එය පැහැර හැරීම මත පිහිටයි. ඉස්ලාමයේ මූලික කුලුන එයයි. ගැත්තෙකු විනිශ්චය කරනු ලබන මුල්ම කරුණ වන්නේ ද සලාතයයි. එය විධිමත් නම් එමෙන්ම පිළි ගනු ලැබුවේ නම් ඔහුගේ සෙසු ක්‍රියාකරම් ද පිළි ගනු ලැබේ. එය ප්‍රතික්ෂේප කරනු ලැබුවේ නම් ඔහුගේ සෙසු ක්‍රියාකාරකම් ද ප්‍රතික්ෂේප කරනු ලබනු ඇත.

            මේ අනුව සලාතය නිවැරදි වනුයේ අභ්‍යන්තර හා බාහිර කිලිටි වලින් පිරිසිදු වූ පසුවය. සලාතයට පෙර කළ යුතු ඇතැම් කරුණු තිබේ. ඒවායින් මුල් තැන ගන්නේ පිරිසිදුකමය. එය සලාතයේ යතුර වේ. සලාතයේ කොන්දේසි අතුරින් වැදගත්ම කොන්දේසි ද වන්නේ පිරිසිදුකමය. කොන්දේසියක් කවර දෙයක් වෙනුවෙන් පනවනු ලැබුවේ ද ඒ සඳහා එය ඉතා අත්‍යවශ්‍ය කරුණකි.

 තහාරා යන්නෙහි අර්ථය

තහාරා: එහි පදානුගත අර්ථය වනුයේ මානසික හා භෞතික කිලිටි වලින් මිදීම හා පිරිසිදු වීමය.

එහි භාවිතානුගත අර්ථය වනුයේ කිලිටි වලින් ඉවත් වීම හා අපවිත්‍ර දෑ ඉවත් කිරීමය.

(කිලිටි වලින් ඉවත් වීම යනු) මහා කිලිට්ටක් නම් නිය්යතය සමඟ මුළු ශරීරයම ආවරණය වන පරිදි ජලය භාවිත කොට ස්නානය කිරීම හෝ සුලු කිලිට්ටක් නම් ශරීර අවයව හතරක ජලය භාවිත කොට ධෝවනය කිරීමය. එසේ නැතිනම් ජලය නොමැති විටක හෝ එය ලබා ගැනීමට දුෂ්කර වූ විටක හෝ එය භාවිත කිරීමට නොහැකි වූ විටක ඒ වෙනුවට නියමිත ක්‍රමයකට අනුව දූවිලි සහිත පස් භාවිත කිරීමය. ඉන්ෂා අල්ලාහ් ! මේ දෙආකාර කිලිටි වලින් පිරිසිදුවීමේ ක්‍රමය ගැන විස්තර ඉදිරියේ සඳහන් වෙයි.

(අපවිත්‍ර දෑ ඉවත් කිරීම) ආගමානුගත අර්ථය වනුයේ දෑසට පෙනෙන අපවිත්‍ර වූ දෑ ඉවත් කිරීමය. අපවිත්‍ර වූ දෑ ඉවත් කිරීමේ ක්‍රමය ද ඉදිරියේ සඳහන් වෙයි.

ජලයේ මූලය

මැවුම් ස්වභාවයෙන්ම ජලය පිහිටා එයට වෙනත් කිසිදු ද්‍රව්‍යයක් මුසු නොවූ තත්ත්වයක එය පිරිසිදුය යන්න ඒ පිළිබඳ ව විද්වතුන් දරන තීන්දුව ඒකමතික තීන්දුව වේ. එයයි ජලයේ මූලය වනුයේ. නමුත් අපවිත්‍ර ද්‍රව්‍යයක් හේතුවෙන් ජලයේ ගන්ධය සුවය හෝ වර්ණය යන ගුණාංග තුනෙන් එක් ගුණාංගයකින් හෝ එය වෙනස් වූයේ නම් එවිට විද්වතුන් දරන ඒකමතික තීන්දුව වනුයේ එය අපිරිසිදුය යන්නයි. ගස් කොළ සබන් සිද්ර් වැනි  පිරිසිදු ද්‍රව්‍යයක් මුසුවීම හේතුවෙන් ඉහත ගුණාංග වලින් එක් ගුණාංගයකින් හෝ එහි වෙනසක් ඇති වූ විටක එසේ මුසුවීම සීමාව ඉක්මවා නොගිය තත්ත්වයක තිබේ නම් මේ සම්බන්ධයෙන් ඇතැම් විද්වත්හු විවිධ විග්‍රහයන් හා මත ඉදිරිපත් කොට ඇත. නිවැරදිම අදහස වනුයේ එය පිරිසිදුය යන්නයි. එමගින් කිලිටි පිරිසිදු කළ හැකි අතර අපවිත්‍ර දෑ ද ඉන් පිරිසිදු කර ගත හැක.

මේ අනුව ජලය වර්ග දෙකක් යැයි පැවසීම නිවැරදිය.

පළමු වර්ගය : පිරිසිදු ජලයයි. එයින් පිරිසිදු කළ හැක. ‘භාවිත කළ ජලය’ යැයි නම් කරන තරමට අපවිත්‍ර දැයක් හෝ පිවිතුරු දැයක් හෝ මුසු නොවූ ජලයයි. එය ස්වභාවයෙන්ම පිහිටුන ද පිවිතුරු දෙයක් මුසු වී එය සීමාව ඉක්මවා නොගිය තත්ත්වයක පිහිටුන ද පරිහරණය කළ ජලය යැයි නම් නොකළ ද එක හා සමානය.

දෙවැනි වර්ගය : නජීස් ජලයයි. එය කිලිටි ඉවත් නොකරන අතර අපවිත්‍ර දෑ ද ඉවත් නොකරයි. එය අපවිත්‍ර දෑ හේතුවෙන් වර්ණය දුගඳ හා සුවය වෙනස් වූ ජලයයි.

විමසුම :

නජීස් ජලය හා සෙසු ද්‍රාවණික දෑ යම් කිසි පිරිසිදු වස්තුවක් තුළින් එහි නජීසයට අදාළ ගුණාංග ඉවත් වූයේ නම් එය පිරිසිදු වේ. යමක් එකතු කිරීම හෝ ඉවත් කිරීම හෝ එය ස්වභාවයෙන්ම වෙනස් වීම හෝ එය පිසීම හෝ වෙනත් ආකාරයකින් හෝ සිදු විය හැක. හේතුව එහි නීතිය ක්‍රියාත්මක වනුයේ එයට හේතු වූ කාරණය තිබීම හෝ නොමැති වීම පදනම් කර ගනිමිනි.

විමසුම:

අනුභව කිරීමෙන් හෝ පානය කිරීමෙන් තොර ව සීමාව ඉක්මවා නොයන අයුරින් නජීස් ද්‍රව්‍යයක් පරිහරණය කිරීමට අනුමැතිය ඇත. ඉමාම් මුස්ලිම් විසින් දන්වා සිටි ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමාගේ හදීසය මෙයට සාක්ෂියක් වශයෙන් පිහිටයි. එනම්

මිය ගිය සතුන්ගේ මේදය පිළිබඳ ව සහාබාවරුන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් පහත සඳහන් අයුරින් විමසා සිටියහ.

සැබැවින්ම මෙමගින් අපි හම් වලට ආලේප කරන්නෙමු.  නැව් වලට ද මෙමගින් ආලේප කරන්නෙමු. එමෙන්ම මෙමගින් අපි පහන් දල්වා ගන්නෙමු.

එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා එයට අනුමත දුන්හ.

විමසුම :

පිරිසිදු ජලයේ අපවිත්‍රභාවය පිළිබඳ ව යම් සැකයක් ඇති වූයේ නම් එහි මූලිකාංගය පිරිසිදුය යන්න වේ. බුහාරි හා මුස්ලිම් හි සඳහන් ‘පටහැණි දෑ ට පටහැණි දෑ ය’ යන අබ්දුල්ලාහ් ඉබ්නු සෙයිද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසය මේ සඳහා සාක්ෂියක් වේ.

 පාත්‍ර හා දේව ප්‍රතික්ෂේපකයින්ගේ ඇඳුම් පිළිබඳ නීති රීති.

පාත්‍ර යනු ජලය හෝ වෙනත් දෑ සුරක්ෂිත ව තබා ගන්නා භාජනයකි. එය වානේ හෝ ලී හෝ හම් හෝ වෙනත් ද්‍රව්‍යයකින් හෝ විය හැක.

එහි මූලික නීතිය වනුයේ භාවිතය සඳහා අනුමතය යන්නය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

هُوَ الَّذِي خَلَقَ لَكُمْ مَا فِي الْأَرْضِ جَمِيعًا

මහපොළොවේ ඇති දෑ නුඹලා වෙනුවෙන් මවා ඇත්තේ ඔහුය.                    (අල් කුර්ආන් 2:29)

තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි. 

وَالْأَرْضَ وَضَعَهَا لِلْأَنَامِ

මහපොළොව මිනිස් වර්ගයා වෙනුවෙන් තබා ඇත.                                       (අල් කුර්ආන් 55 : 10)

පිරිසිදු සෑම භාජනයක්ම භාවිතයට ගැනීම අනුමතය.

විමසුම:

රන් හා රිදී භාජන රන්‍ හෝ රිදී තිබෙන භාජන හෝ එය ආලේප කළ හෝ මිශ්‍ර කළ භාජන හෝ මේ හැර රන් හෝ රිදී ‍වෙනත් ක්‍රම වලින් මුසු කොට ඇති භාජන මේ කවර ආකාරයකින් තිබුණ ද එය කෑමට හෝ බීමට භාවිත කිරීමත්   ගැනීමත් තහනම් කරනු ලැබූවකි. සිදු වූ පළුද්දක් සකස් කිරීම වැනි අත්‍යවශ්‍ය අවස්ථාවක දී රිදී ස්වල්පයක් භාවිත කිරීම වරදක් නොමැත.

රන් හා රිදී පාත්‍ර භාවිතය තහනම් කිරීමේදී සාධක වූ එක් හදීසයක් වනුයේ හුදෙයිෆා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ සඳහනකි. එනම්

عَنْ حُذَيْفَةَ بْنِ الْيَمَانِ رَضِيَ اللهُ عَنْهُمَا، قَالَ: قَالَ النَّبِيُّ ﷺ‬ "لَا تَشْرَبُوا فِي آنِيَةِ الذَّهَبِ والْفِضَّةِ، وَلَا تَأْكُلُوا فِي صِحَافِهَا، فَإِنَّهَا لَهُمْ فِي الدُّنْيَا، وَلَكُمْ فِي الْآخِرَةِ "  مُتَّفَقٌ عَلَيْهِ  . 

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව හුදෙයිෆා ඉබ්නු අල්-යමාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

ඔබ රන් හා රිදී පාත්‍ර වල පානය නොකරන්න. එම තැටි වල අනුභව නොකරන්න. හේතුව සැබැවින්ම එය (දේව ප්‍රතික්ෂේපකයින් වන) ඔවුනට මෙලොවෙහිය. ඔබට මතු ලොවෙහිය. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

උම්මු සලමා විසින් වාර්තා කළ හදීසයක් ද මෙයට සාධක වශයෙන් පිහිටයි. එනම්

وَعَنْ أُمِّ سَلَمَةَ رَضِيَ اللهُ عَنْهَا، قَالَتْ: قَالَ رَسُولُ اللهِ ﷺ‬ "الَّذِي يَشْرَبُ فِي إِنَاءِ الْفِضَّةِ إِنَّمَا يُجَرْجِرُ فِي بَطْنِهِ نَارَ جَهَنَّمَ"  مُتَّفَقٌ عَلَيْهِ.

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)  ප්‍රකාශ කළ බව උම්මු සලමා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී.

කවරෙකු රිදී බඳුනක පානය කරන්නේ ද ඔහුගේ කුසෙහි පුරවා ගනුයේ නිරයේ ගින්නයි. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

එවන් බඳුන් භාවිත කරමින් පානය කිරීම මුළුමනින්ම තහනම් බව ඉතා පැහැදිලිය. එමෙන්ම රන් හා රිදී අලේප කළ භාජන, රන් හා රිදියෙන් වෙනස් කළ භාජන හා රන් හා රිදි ඒ තුළ තිබෙන භාජනය යන සියල්ල භාවිත කිරීම තහනම්ය. නමුත් කුඩා සිදුරක් ආවරණය කිරීම සඳහා රිදී භාවිත කරනු ලැබූ භාජනය අනුමතය. එය භාජනයේ බිදී ගිය දෙකෙළවර පෑහීමට හෝ එහි ඇති සිදුරක් හෝ ඉති තැළීමක් පිරවීමට හෝ විය යුතුය. මේ සඳහා අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසය සාධකයක් ලෙස ගත හැක. එනම්

وَعَنْ أَنَسِ بْنِ مَالِكٍ t  أَنَّ قَدَحَ النَّبِيِّ ﷺ‬ اِنْكَسَرَ، فَاتَّخَذَ مَكَانَ الشَّعْبِ سِلْسِلَةً مِنْ فِضَّةٍ.   أَخْرَجَهُ الْبُخَارِيُّ  .

අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම නබි තුමාණන්ගේ පාත්‍රය බිඳුණි. හිඩැස් ඇති එම ස්ථානයට රිදී කැබැල්ලක් තැබුහ.  (මූලාශ්‍රය: බුහාරි)

මෙම හදීස් සම්බන්ධතාව මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් ගත් එකක් ද එසේ නැතිනම් අනස් (රළියල්ලාහු අන්හු) තුමාගෙන් ගත් එකක්ද යන්න පිළිබඳ මත භේද ඇත. නමුත් ඉජ්මා හෙවත් ඒකමතික තීන්දුව වනුයේ එය කුඩා සිදුරක් වසන තරම් අල්ප වූයේ නම් එය අනුමතය යන්නය.

රන් හා රිදී භාජනය කෑමට හෝ බීමට භාවිත කිරීමේ තහනම පොදුවේ පිරිමියාටත් කාන්තාවටත් අදාළ වේ. හේතුව එය එක් පාර්ශවයකට පමණක් විශේෂ කොට නොපවසා පොදුවේ පවසා ඇති බැවිනි. නමුත් රන් ආභරණ භාවිතය කාන්තාවන්ට පමණක් තම ස්වාමියා ඉදිරියේ තම අලංකාරය පෙන්වීම සඳහා භාවිත කිරීමට අනුමැතිය ඇත.

විමසුම :

කෑමට හෝ බීමට හැර වෙනත් කටයුත්තක් සඳහා රන් හෝ රිදී භාජන භාවිත කිරීම හෝ ඍජු ව එය භාවිත කිරීමෙන් තොර ව යම් හේතුවක් වෙනුවෙන් ගැනීම හෝ වූ කලී ඒ පිළිබඳ ව විද්වතුන් අතර මත භේද පවතී. නමුත් වඩාත් උචිත වනුයේ එය අතහැර දැමීමය.

 දේව ප්‍රතික්ෂේපකයින්ගේ භාජන:

එය අපවිත්‍ර නොවන බව ඔබ දන්නා තාක් කල් දේව ප්‍රතික්ෂේපකයින්ගේ භාජන භාවිත කිරීමට අනුමැතිය ඇත. හේතුව නබි (සල්ලල්ලාහු අලයිහි වසලල්ම්) තුමා යුදෙව්වන්ගේ ආහාර ඔවුන්ගේ භාජන වල අනුභව කර ඇත්තාහ. නමුත් ඔබ එය නජීස් බව දන්නේ නම් එවිට එය හොඳින් සෝදා පසු ව පරිහරණයට ගත යුතුය.

 මියගිය සතුන්ගේ හම්:

මියගිය සතුන්ගේ හම් පදම් කොට පිරිසිදු කිරීමෙන් පසුව මිස භාවිත කිරීම තහනම්ය. මෘග සතුන්ගේ හම් හැර වෙනත් සතුන්ගේ හම් පදම් කළ පසු ව භාවිත කිරීමට අනුමැතිය ඇත. මෘග සතුන්ගේ හම් භාවිත කිරීම සුදුසු නොවේ. හම් පදම් කොට භාවිත කළ හැක්කේ මෘග සතුන් නොවන වෙනත් සතුන්ගේ හම් පමණි. හම් පදම් කළ පසු පරිහරණයට ගැනීමට අනුමැතිය ඇති බව සඳහන් කරමින් හදීස් පැමිණ ඇත. එහි නජීස් තිබිය හැක. නමුත් පදම් කිරීම තුළින් එය ඉවත් වේ. මේ ගැන ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ ප්‍රකාශය මෙසේය. 

عن ابن عباس رضي الله عنه قال: قال النبي صلى الله عليه وسلم : " يطهره الماء والقرض " رواه أحمد والدارقطني،

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

ජලය හා කර්ල් (එනම් පිරිසිදු කිරීම සඳහා භාවිත කරන ගසක කොළ වර්ගයකි. එය සලම් නම් ගසක කොළ වර්ගයක් බව ද අදහස් කෙරේ) එය පිරිසිදු කරයි.

මූලාශ්‍රය: අහ්මද්, දාරුකුත්නි

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බවට ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කළ තවත් හදීසයක් මෙසේය

طهور كل أديم دباغه

සෑම හමක්ම පිරිසිදු වනුයේ එය පදම් කිරීමෙනි.

මෙය ඉමාම් දාරුකුත්නි තුමා විසින් වාර්තා කර ඇති අතර මෙහි වාර්තා සම්බන්ධතාවට අදාළ සියලු වාර්තා කරුවන් විශ්වාසනීය අය වෙති. 

ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ තවත් ප්‍රකාශක

وَعَنِ ابْنِ عَبَّاسٍ رَضِيَ اللهُ عَنْهُمَا قَالَ: قَالَ رَسُولُ اللهِ ﷺ‬ " إِذَا دُبِغَ الْإِهَابُ فَقَدْ طَهُرَ "  أَخْرَجَهُ مُسْلِمٌ.

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී හම් පදම් කරනු ලැබුවේ නම් එය පිරිසිදු වනු ඇත.                   (මූලාශ්‍රය: මුස්ලිම්)

විමසුම :

මෘග සතුන්ගේ හම් භාවිත කිරීමට අනුමැතිය නැත. හේතුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කොටි හමින් නිම වූ ඇතිරිලි මත ගමන් කිරීම තහනම් කර සිටියහ. මෙම හදීසය ඉමාම් අහ්මද් හා ඉමාම් අබූ දාවූද් යන අය විසින් දන්වා ඇත.

දේව ප්‍රතික්ෂේපකයින්ගේ ඇඳුම්:

අපවිත්‍ර නොවන බව ඔබ දන්නා තාක් කල් දේව ප්‍රතික්ෂේපකයින්ගේ ඇඳුම් භාවිත කිරීමට අනුමැතිය ඇත. හේතුව එහි මූලධර්මය වනුයේ පිරිසිදුය යන්නය. සැකයක් ඇති වීම තුළින් එය ඉවත් නොවේ. ඔවුන් ගෙත්තම් කළ එමෙන්ම වර්ණ කළ දෑ භාවිත කිරීමට අනුමැතිය ඇත. හේතුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දේව ප්‍රතික්ෂේපකයන් විසින් ගෙත්තම් කළ එමෙන්ම වර්ණ ගැන්වූ ඇඳුම් අඳින්නකු වූහ. සියලු දෑ මැනවින් දන්නා උත්තරීතර අල්ලාහ්ය.


 කිලිටි තත්ත්වයේ පසුවන්නාට තහනම් වන කරුණු

ඇතැම් වත්පිළිවෙත් හි පවතින උදාරත්වය හා උසස් බව ඉවත් නොවනු පිණිස එම ක්‍රියාවන් මුස්ලිම්වරයකු පිරිසිදු තත්ත්වයේ නොසිටින විටෙක සිදු කිරීම තහනම් වේ.

සුළු හෝ මහා කිල්ලට ග්‍රහණය වූ අයට තහනම් වූ කරුණු.

1- පාරිශුද්ධ අල් කුර්ආනය ස්පර්ශ කිරීම.

කිල්ලට ග්‍රහණය වූවන් ආවරණයකින් තොර ව අල් කුර්ආනය ස්පර්ශ නොකළ යුතුය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

لَا يَمَسُّهُ إِلَّا الْمُطَهَّرُونَ

එය පිවිතුරු උදවිය හැර ස්පර්ශ නොකරයි. (අල් කුර්ආන් 56 : 79) මෙහි පිවිතුරු උදවිය යනු ජනාබත් හේතුවෙන් හෝ වෙනත් හේතුවකින් ඇති වූ කිලිටි තත්ත්වයෙන් පිවිතුරු වූ උදවිය යන්නය. මෙය ඇතැම් විද්වතුන්ගේ ප්‍රකාශය අනුව පිහිටුනකි.

තවදුරටත් මෙම ආයතය විස්තරාත්මක ව බැලූ විට ඉන් අදහස් වන්නේ මලක්වරුන් බව පෙනී යයි. මේ අනුව මිනිසා ද එම මඟ පෙන්වීමට අදාළ වන බැවින් මෙය ඒ සඳහා වූ සාධකයක් වශයෙන් ගත හැක.

එමෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අම්ර් ඉබ්නු හසම් තුමාට ලියූ ලිපියෙහි සඳහන් වන එතුමාණන්ගේ ප්‍රකාශයද මෙයට සාධකයක් වේ. එනම් පිරිසිදු අය හැර වෙන කිසිවෙකු අල් කුර්ආනය ස්පර්ශ නොකළ යුතුය යන්නය.

මෙය ඉමාම් නසාඊ හා වෙනත් ඉමාම්වරු විසින් පූර්ව සාධක සහිත හදීස් වාර්තා සම්බන්ධතාවකින් යුතු ව දන්වා ඇත.

පිරිසිදු තත්ත්වයේ නොවන කෙනෙකු අල් කුර්ආනය කවරයක් හෝ බෑගයක් තුළ තබා ඉසිලීම වරදක් නොවේ. එමෙන්ම එය බැලීමත් එය හදවතින් පාරායනය කිරීමත් ස්පර්ශ කිරීමෙන් තොර ව වෙනත් ආධාරයක් මගින් පිටු පෙරළීමත් වරදක් නොවේ.

2- අනිවාර්ය හෝ අතිරේක සලාතයන් ඉටු කිරීම.

පිරිසිදු කිරීමට හැකියාව තිබිය දී පිරිසිදු නොවී සලාතය ඉටු කිරීම තහනම් බව සියලු විද්වතුන්ගේ ඒකමතික තීරණය වේ.  අල් කුර්ආන් 5 : 6 වැනි වැකිය මෙය සනිටුහන් කරයි.

يَا أَيُّهَا الَّذِينَ آَمَنُوا إِذَا قُمْتُمْ إِلَى الصَّلَاةِ فَاغْسِلُوا وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ وَامْسَحُوا بِرُءُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى الْكَعْبَيْنِ وَإِنْ كُنْتُمْ جُنُبًا فَاطَّهَّرُوا

අහෝ විශ්වාස කළවුනි! නුඹලා සලාතයට සූදානම් වූ විට නුඹලාගේ මුහුණු ද නුඹලාගේ අත් මැණික් කටුව දක්වා ද සෝදා ගනු. තවද නුඹලාගේ හිස් (ජලයෙන්) පිරිමදිනු. තවද නුඹලාගේ පාද ද වළලු කර දක්වා සෝදා ගනු. නුඹලා ස්නානය අනිවාර්යය වූ කෙනෙකු ව සිටින්නෙහු නම් (ස්නානය කොට) පිරිසුදු කර ගනිවු.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැවසූ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ දන්වා සිටී.

පිරිසිදුකමින් තොර ව ඉටු කරන සලාතය අල්ලාහ් පිළිගන්නේ නැත.

ඉමාම් මුස්ලිම් ඇතුළු ව තවත් ඉමාම්වරු විසින් මෙම හදීසය දන්වා ඇත.

නමුත් කෙනෙකු දැනුවත්වම උවමනාවෙන්ම පිරිසිදු බවින් තොර ව සලාතය ඉටු කළේ නම් ඔහු පාපියකු වේ. එමෙන්ම ඔහුට අවවාද කරනු ලැබිය යුතුය. නමුත් නොදැනුවත්කමින් හෝ අමතක වීමෙන් හෝ එසේ කළේ නම් එවිට ඔහු පාපියකු නොවන නමුත් ඔහුගේ සලාතය නිවැරදි නොවේ.

මහා කිල්ලට ග්‍රහණය වූ අය වෙත තහනම් වූ විශේෂ කරුණු වනුයේ

1- ජුනුබ් තත්ත්වයේ පසුවන්නා කුර්ආනය කියවීම.

අලී (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ දන්වා සිටී. එතුමා ඔහු ව වැළැක්වූයේ නැත. එනම් අල් කුර්ආනයේ කිසිවක් හෝ කියවීමෙන් ඔහු ව වැළැක්වූයේ නැත. (නමුත් එය) ජනාබත් තත්ත්වයේ නොවීය.

මෙය ඉමාම් තිර්මිදි විසින් දන්වා ඇත. උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් ද මෙම හදීසය වාර්තා කොට ඇති අතර එය ඉමාම් බයිහකී තුමා තහවුරු කොට පවසයි. අලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසය මව්කූෆ් තරාතිරමේ තබා ඉමාම් දාරු කුත්නි තුමා ද දන්වා ඇති අතර එය ඔහු පූර්ව සාධක සහිත හදීසයක් බව ද පෙන්වා දෙයි.

ඔසප් තත්ත්වයේ පසු වන කාන්තාවන් හා නිෆාස් හෙවත් දරු ප්‍රසූතියකින් පසු රුධිර වහනය වන තත්ත්වයේ පසු වන කාන්තාවන් සම්බන්ධයෙන් සලකා බැලීමේ දී ඔවුන් දෙදෙනාට අල් කුර්ආනය පාරායනය කිරීමට අනුමැතිය ඇත. හේතුව එය වළක්වාලමින් සාධක සහිත කිසිදු ආධාරකයක් පැමිණ නොමැති බැවිනි. එසේ තහනම් කරමින් සඳහන් වූ ප්‍රකාශයන් පැමිණිය ද ඒවා ලඊෆ් ගණයට අයත් හදීසයන් වේ.

කිල්ලට හසු වූ පුද්ගලයකු අල් කුර්ආනය කියවීමේ අරමුණින් තොරව එයට සාපේක්ෂිත වදනින් කතා කිරීම වරදක් නොවේ. උදාහරණ වශයෙන් බිස්මිල්ලාහ්, අල් හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන් යනුවෙන් මෙනෙහි කිරීමේ ස්වභාවයෙන් එසේ පවසා සිටිය හැක. හේතුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සෑම අවස්ථාවකම අල්ලාහ් ව මෙනෙහි කරන්නකු ව සිටි බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කළ හදීසය ඊට සාධක ව පිහිටන බැවිනි. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

2- ජනාබත් හේතුවෙන් හෝ හයිල් හේතුවෙන් හෝ නිෆාස් හේතුවෙන් හෝ මහා කිල්ලට හසු වූ අයට මස්ජිදයේ රැඳී සිටීම තහනම් වේ. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَقْرَبُوا الصَّلَاةَ وَأَنْتُمْ سُكَارَى حَتَّى تَعْلَمُوا مَا تَقُولُونَ وَلَا جُنُبًا إِلَّا عَابِرِي سَبِيلٍ حَتَّى تَغْتَسِلُوا

අහෝ ! විශ්වාස කළවුනි, නුඹලා මත් ව සිටිය දී නුඹලා පවසන දෑ නුඹලා වටහා ගන්නා තෙක් සලාතයට ළං නොවනු. තවද (ස්නානය අනිවාර්යය වූ) කිලිටි තත්ත්වයේ සිටින්නා ද ස්නානය කර ගන්නා තෙක් (මස්ජිදයට) ළං නොවිය යුතුය. නමුත් (එහි) මාර්ගය හරහා ගමන් කරන්නා හැර (මූලාශ්‍රය : 4:43)

ඉන් අර්ථවත් වනුයේ මස්ජිදයේ රැඳී සිටීම සඳහා එහි ඇතුළු නොවන්න යන්නය.

එමෙන්ම ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය ඔසප් තත්ත්වයේ සිටිය දී එතුමියට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කළ ප්‍රකාශයක් ද මීට සාධකයක් වේ. එනම්

හජ් වන්දනාකරුවන් කරන අයුරින්ම ඔබ ද කරන්න. නමුත් ඔබ පිරිසිදු වන තෙක් බයිතුල්ලාහ් (අල්ලාහ්ගේ නිවස) පැදකුණු නොකරන්න.  (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

පැදකුණු කිරීමෙන් ඇය ව වළක්වාලීම මස්ජිදයේ රුඳී සිටීම තහනම් බව පෙන්වා දෙන්නකි.

ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කළ තවත් හදීසයක් ද මෙයට සාධක වේ. එනම් එතුමිය මෙසේ පවසා සිටියාය. (කාන්තාවන් වන) ඔවුන් ඉඃතිකාෆ් (මස්ජිදයේ රැඳී) සිටියෝය. ඔවුන් ඔසප් තත්ත්වයට පත් වූ විට මස්ජිදයෙන් පිට වන්නැයි අල්ලාහ්ගේ දූතයාණෝ ඔවුනට නියෝග කර සිටියහ.

ඉබ්නු කද්දාමා තුමා මෙය අල් මුග්නි නම් කෘතියෙහි අබූ හෆ්ස් අල් අබකරී තුමා සතු හදීසයක සඳහන් කරමින් අල් ෆුරූඃහි එය නිවැරදි වාර්තා සම්බන්ධතාවක් ඇති හදීසයක් බව ද පෙන්වා දෙයි. ‍

ඊට සාධක වශයෙන් ආඉෂා තුමිය දන්වා සිටි තවත් හදීසයක් වනුයේ මෙසේය.

අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මස්ජිදයේ සිට මට (සලාතය සඳහා භාවිත කරන) කුඩා ඇතිරිල්ල දෙන්නැයි පවසා සිටියහ. එවිට ඇය මම ඔසප් තත්ත්වයේ පසුවෙමි යැයි පැවසුවාය. එයට එතුමා ඔබේ හයිල් තත්ත්වය ඔබේ දෑතෙහි නොමැතැයි පවසා සිටියහ.

මෙය ඉමාම් මුස්ලිම් විසින් දන්වා ඇති හදීසයකි.

මහා කිල්ලට ග්‍රහණය වූ පුද්ගලයකු වුළු ගත් විට මස්ජිදයේ රැඳී සිටීමට ඔහුට අවසරය ඇත. එය අතා බින් යසාර් තුමාගේ කියමනට අනුවය. එතුමාණෝ මෙසේ පවසා සිටියහ. අල්ලාහ්ගේ දූතයාණන්ගේ මිතුරන්, ඔවුන් ජුනුබ් තත්ත්වයේ සිටිය දී සලාතය සඳහා ගන්නා වුළුඃ මෙන් වුළුඃ ගත් විට මස්ජිදයේ වාඩිවෙමින් සිටියහ.

මෙය ඉමාම් සඊද් ඉබ්නු මන්සූර් හසන් ගණයේ වාර්තා සම්බන්ධතාවක් සහිත ව දන්වා ඇත.

මෙම වුළු කිරීමෙන් අදහස් කරනුයේ ජනාබත් තත්ත්වය සැහැල්ලු කිරීමය.

මහා කිල්ලට ග්‍රහණය වූ අයට මස්ජිදය හරහා යෑමට පමණක් අනුමැතිය ඇත. එසේ නැතිනම් මස්ජිදයේ වාඩි නොවී අවශ්‍යතාවට පමණක් එහි පිවිසීමට අනුමැතිය ඇත. එය සූරා අන්-නිසා 44 වන වැකියේ සඳහන් ඉල්ලා ආබිරී සබීලි එනම් එහි (මස්ජදියේ) මාර්ගයේ ගමන් කරන අය හැර යන පාඨය සාධක කර ගනිමිනි. ඉන් අදහස් වනුයේ මස්ජිදයෙන් පිටවීම සඳහා ඒ හරහා ගමන් කරන්නන් යන්නය. මෙහි ‘හැර‘  යන අතිරේක පදයෙන් අදහස් වනුයේ එයට අනුමැතිය ඇති බවය.

  (ස්වභාවික කෘතිය) අවශ්‍යතා සපුරා ගැනීමේ විනය

ඉස්ලාම් දහම පරිපූර්ණ දහමකි. එය මිනිසාගේ ආගමික හා ලෞකික අවශ්‍යතා කිසිවක් පැහැදිලි නොකොට අතහැර දැමුවේ නැත. මේ අනුව වැසිකිළි කැසිකිළි අවශ්‍යතා සපුරා ගැනීමේ ක්‍රමය ද එකකි. එය අල්ලාහ් ශ්‍රේෂ්ඨත්වයට පත් කළ මිනිසා එම ශ්‍රෙෂ්ඨත්වය තුළින් සත්වයාගෙන් වෙන් කොට දැක්වීම සඳහාය. අපගේ දහම පිවිතුරු දහමය. පිරිසිදුකමේ දහමය. එබැවින් මෙහි වැසිකිළියට යන විට හා තම අවශ්‍යතා සපුරා ගන්නා විට පිළිපැදිය යුතු ඇතැම් ආගමික විනයන් සඳහන් වේ.

මුස්ලිම්වරයා වැසිකිළියට (තම අවශ්‍යතා ඉටු කිරීම සඳහා තනා ඇති ස්ථානයට) යාමට සිතුවේ නම් ඔහු පහත සඳහන් කරුණු පිළිපැදීම සතුටු දායකය.

1- බිස්මිල්ලාහ්, අඌදු බිල්ලාහි මිනල් කුබ්සි වල්කබාඉසි (අල්ලාහ්ගේ නාමයෙනි, ස්ත්‍රී පුරුෂ නපුරු බලවේගයන්ගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතමි) යැයි පැවසීම. මේ පිළිබඳ ව සුන්නාහි සඳහන් ව ඇත.

2- වැසිකිළියට පිවිසන විට තම වම් කකුල මුලින් තබා පිවිසීම.

3- එයින් පිට වන විට දකුණු කකුල මුලින් තබා පිට වීම. එවිට ගුෆ්රානක (මම ඔබෙන් සමාව අයදිමි) යැයි පැවසීම. එසේ සිදු කිරීමට හේතු ව සියලුම යහපත් කටයුතු වලදී දකුණු පැත්ත භාවිත කෙරෙන අතර අපවිත්‍ර දෑ ඉවත් කිරීම වැනි කටයුතු වලදී වමත භාවිත කෙරෙන බැවිනි. එනම් මෙහි මූලිකාංගය වනුයේ. අපවිත්‍ර දෑ ඉවත් කිරීම වැනි කරුණු හා බැඳුණු කටයුතු වලදී හැර සෙසු සෑම අවස්ථාවකම දකුණු අත දකුණු කකුල භාවිත කිරීමය.

4- අවශ්‍යතා ඉටු කිරීම සඳහා වෙන් කළ ස්ථානයක් නොවන එළිමහන් ස්ථානයක තමන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට තීරණය කළේ නම් ජනයින්ගෙන් දුරස් වූ කිසිවකු නොමැති ස්ථානයක ඉටු කිරීමත් එවිට බිත්තියක් හෝ ගහක් හෝ වෙනත් යම් වස්තුවක ආධාරයෙන් සෙසු ජනයාට නොපෙනෙන පරිදි ආවරණය වීමත් සතුටු දායකය.

5- තම අවශ්‍යතා ඉටු කරන විට එය එළිමහන් ස්ථානයක වුව ද ගොඩනැගිල්ලක් තුළ වුව ද කිබ්ලාවට මුහුණ ලෑම හෝ පසුපස ලෑම තහනම්ය. ඉන් හැරිය යුතුය. හේතුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වැසිකිළි අවශ්‍යතා සපුරා ගන්නා අවස්ථාවේ කිබ්ලා ව මුහුණලෑම හා එය පිටුපස ලෑම තහනම් කර ඇති බැවිනි.

6- තම ශරීරයට හෝ ඇඳුමට විහිඳෙන අයුරින් මූත්‍රා කිරීමෙන් වැළකී සිටිය යුතුය. මූත්‍රා කිරීමේදී ඉන් කිසිවක් විහිදී නොයන ආකාරයේ බුරුල් ස්ථානයක් තෝරා ගැනීම පුරුද්දක් කර ගත යුතුය. මූත්‍රා කිරීමෙන් පසුව පිරිසිදු නොකිරීම කබ්ර් හෙවත් මිනී වළෙහි දඬුවම අනිවාර්යය කරන කරුණු වලින් එකකි.

7- තම දකුණතින් තම ලිංගික අවයවය ස්පර්ශ නොකළ යුතුය. හේතුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එය තහනම් කොට ඇති බැවිනි.

8- ජනයා ගමන් කරන මාර්ගයන්හි ද ඔවුන් හෙවණ ලබන ස්ථානයන්හි ද ඔවුන් ජලය ලබා ගන්නා ස්ථානයන් හිද එමෙන්ම මිනිසාට සැරිසැරීමට අවශ්‍ය වන එහි පදිංචි වීමට අවශ්‍ය වන ස්ථානයන්හි ද මුස්ලිම්වරුන්ගේ මිනී වළ දමන කබ්ර් ස්ථානයන්හි ද මූත්‍රා කිරීම සුදුසු නොවේ. එයින් මිනිසාට හිංසාවන් වේදනාවන් ඇති වන බැවින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එය තහනම් කළහ.

9- කුර්ආනයේ කොටසක් සඳහන් ව ඇති යමක් උසුලාගෙන් වැසිකිලියට නොයා යුතුය. වඩාත් යහපත් වනුයේ අල්ලාහ්ගේ නාමය සඳහන් ව ඇති යමක් උසුලාගෙන වැසිකිළියට යාමෙන් පවා වැළකී සිටීමය.

10- වැසිකිළි අවශ්‍යතා සපුරන විට කතා කිරීමෙන් වැළකී සිටිය යුතුය. ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා වාර්තා කළ හදීසයක් මීට සාක්ෂියක් ලෙස පිහිටයි. එනම් දිනක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා මූත්‍රා කරමින් සිටිය දී මිනිසෙකු එතුමා අසලින් ගමන් කළේය. එවිට ඔහු එතුමාට සලාම් කීය. නමුත් එතුමා ඔහුට පිළිතුරු දුන්නේ නැත.  (මෙය ඉමාම් මුස්ලිම් විසින් දන්වා ඇති හදීසයකි.)

11- වුළු ගන්නා විට ද ස්නානය කරන විට ද කතා කිරීම වරදක් නොවේ.

අවශ්‍යතා සපුරා ගත් පසු ව අපවිත්‍ර දෑ බැහැර කළ ස්ථානය ජලයෙන් පිරිසිදු කළ යුතුය. එසේ නොමැතිනම් ගල් හෝ එම ස්ථානයේ පවතින වෙනත් දෑ ගෙන පිරිසිදු කළ යුතුය. මෙම ක්‍රම දෙකින්ම පිරිසිදු කර ගැනීම වඩාත් හොඳය. දෙකින් එකක් මත පමණක් සීමා කර ගත්තද ප්‍රමාණවත්ය. මේ සියල්ල පිළිබඳ සුන්නාහ්වෙහි සඳහන් වී ඇත.

ඉස්තිජ්මාර් හෙවත් ගල් හෝ එම ස්ථානයේ පවතින වෙනත් දැයක් මගින් පිරිසිදු කිරීම සඳහා පහත සඳහන් කරුණු කොන්දේසි වශයෙන් පිහිටයි.

1- පිරිමැදීම වාර තුනක් හෝ ඊට වැඩි වාර ගණනාවක් හෝ පිරිසිදු විය යුතුය.

2-  පිරිසිදු කිරීම සඳහා ගන්නා ද්‍රව්‍ය ඇට කටු හා සත්ව අශූචි වලින් තොර විය යුතුය. හේතුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා එය තහනම් කොට ඇත.

3- මිනිසා හෝ සතුන් ආහාරය සඳහා ගන්නා ආහාර ද්‍රව්‍ය හෝ දැනුම ලබන පොත් වැනි ගෞරවාන්විත යමකින් ද නොවිය යුතුය.

ඉස්තිජ්මාර් හෙවත් ගල් හෝ එයට සමාන දෙයකින් පිරිසිදු කිරීමේ අනුමත ප්‍රමාණය වනුයේ : ජලයෙන් මිස වෙනත් කිසිවකින් ඉවත් කළ නොහැකි කහට සලකුණක් පිහිටීමය.

ඉස්තින්ජා හෙවත් ජලයෙන් පිරිසිදු කිරීමේ අනුමත ප්‍රමාණය වනුයේ. සියලු අපවිත්‍ර දෑ එම ස්ථානයෙන් පිරිසිදු වන තෙක් සේදීමය. මෙහිදී සිතෙන් සිතීම පමණක් ප්‍රමාණවත් වේ.

 සිවාක් හෙවත් දත් පිරිසිදු කිරීමේ හා ෆිත්රා හෙවත්  පෙර සිට පැවත එන පිළිවෙත්

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව විශ්වාසවන්තයින්ගේ මව වූ ආඉෂා (රළියල්ලාහු අන්හා තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී.

අස්සිවාක් හෙවත් දත් පිරිසිදු කිරීම කට පිරිසිදු කරන පරමාධිපතිගේ තෘප්තියට බදුන් වන කරුණකි.

ඉමාම් බුහාරි තුමා මෙය මුඅල්ලක් ගණයට අයත් හදීසයක් බව ස්ථීර ස්වරූපයකින් යුතු ව වාර්තා කොට ඇත.

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

පැවත එන පිළිවෙත් පහකි. එනම් කත්නා කිරීම, රහස්‍ය පෙදෙස්හි රෝම බෑම, උඩු රැවුල් කැපීම, කිහිලි රෝම ඉවත් කිරීම, නියපොතු කැපීම වේ.                  

මෙය බුහාරි හා මුස්ලිම්හි සඳහන් හදීසයකි. 

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැවසූ බවට ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා දන්වා සිටි තවත් හදීසයක් බුහාරි හා මුස්ලිම්හි මෙසේ සඳහන් වේ.

නුඹලා උඩු රැවුල් කපා දමන්න. යටි රැවුල වැවෙන්නට ඉඩ හරින්න.

මෙම හදීසයන් හා මේ අදහස් කියැවෙන තවත් හදීසයන් පදනම් කර ගෙන ඉස්ලාමීය විද්වත්හු පහත සඳහන් නීතිරීති ගෙන ඇත.

            පළමුවැන්න : සිවාක්

            සියලුම අවස්ථාවන්හි සිවාක් හෙවත් කට පිරිසිදු කිරීම ආගමානුගත කරනු ලැබූවකි. එනම් දත් හා විදුරුමස් අතර පවතින කහ ගතිය හා දුර්ගන්ධය ඉවත් කොට පිරිසිදු කළ හැකි දැහැටියක් හෝ ඊට සමාන දෙයක් භාවිත කරමින් පිරිසිදු කිරීමය.

            සෑම වේලාවකම සිවාක් කිරීම නබි තුමාණන් පෙන්වා දුන් සුන්නාවකි. පොදුවේ ගත් කළ අවශ්‍යතාවක් ඇති වූ විටෙක උපවාස කරු පවා එම දිනයෙහි කට පිරිසිදු කළ යුතුය. විශේෂ අවස්ථාවන්හි සිවාක් කිරීම වඩාත් සතුටු දායකය.

1-     වුළු ගන්නා විට.

عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه عَنْ رَسُولِ اللهِ صلى الله عليه وسلم قَالَ: { لَوْلَا أَنْ أَشُقَّ عَلَى أُمَّتِي لَأَمَرْتُهُمْ بِالسِّوَاكِ مَعَ كُلِّ وُضُوءٍ }  رواه البخاري معلقا بصيغة الجزم

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

මාගේ සමූහයාට ඉතා දුෂ්කර කාර්යයක් නොවේ නම් වුළු ධෝවනය කරන සෑම අවස්ථාවකම කට පිරිසිදු කරන්නැයි ඔවුනට මම විධානය කර ඇත්තෙමි.

මෙය ඉමාම් බුහාරි තුමා මුඅල්ලක් ගණයේ හදීසයක් බව ස්ථීර ස්වරූපයකින් වාර්තා කරයි. මෙය කට කළත්වා සෝදන අවස්ථාවේ විය යුතුය.

2-     අනිවාර්යය හෝ අතිරේක සලාතයන් ඉටු කරන විට

عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قال: ان النبي صلى الله عليه وسلم قَالَ: { لَوْلَا أَنْ أَشُقَّ عَلَى أُمَّتِي لَأَمَرْتُهُمْ بِالسِّوَاكِ عِنْدَ كُلِّ صَلاَةٍ}  متفق عليه.

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

මාගේ සමූහයාට ඉතා දුෂ්කර කාර්යයක් නොවේ නම් සෑම සලාත් අවස්ථාවකම කට පිරිසිදු කරන්නැයි ඔවුනට මම විධානය කර ඇත්තෙමි.

මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්.

3- දහවල් හෝ රාත්‍රියේ නින්දෙන් අවදි වූ විට

عَنْ حُذَيْفَةَ رضي الله عنه قَالَ "كَانَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا قَامَ مِنْ اللَّيْلِ يَشُوصُ فَاهُ بِالسِّوَاكِ" متفق عليه.

හුදෙයිෆා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා රාත්‍රියේ අවදි වූ විට කට අතුල්ලා පිරිසිදු කරන්නෙකු වූහ.

මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්

ඊට හේතුව නින්දත් සමඟ කටින් හමන ගන්ධය වෙනස් වන බැවිනි.

4- අනුභව කිරීම හේතුවෙන් හෝ වෙනත් යම් හේතුවකින් කටින් හමන ගන්ධය දුර් වීම. ඉහත සඳහන් හුදෙයිෆා (රළියල්ලාහු අන්හු) තුමාගේ හදීසය මෙයට සාධක වශයෙන් පිහිටයි.

5- අල් කුර්ආනය කියවන විට

عن خذيفة رضي الله عنه قال : قال النبي صلى الله عليه وسلم : " فطهروا أفواهكم للقرآن " رواه ابن خزيمة، بسند جيد.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

එබැවින් කුර්ආනය (කියවීම) සඳහා ඔබගේ කටවල් පිරිසිදු කර ගන්න.

මෙය ඉමාම් ඉබ්නු හුසෙයිමා යහපත් වාර්තා සම්බන්ධකාවකින් යුතුව වාර්තා කොට ඇත.                                                              (මූලාශ්‍රය: ඉබ්නු හුසෙයිමා)

6- නිවසට ඇතුල් වන විට

عن عائشة رضي الله عنها قالت : أن النبي صلى الله عليه وسلم كان يبدأ إذا دخل بيته بالسواك " رواه مسلم

ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම නිවසට ඇතුළු වන විට මුළින්ම සිවාක් (කට පිරිසිදු) කර ගන්නෙකු වූහ.

මෙය ඉමාම් මුස්ලිම් විසින් දැනුම් දී ඇත.

 7- මරණ අවස්ථාවේදී

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇති ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කළ හදීසයක් මෙයට සාධක වශයෙන් පිහිටා ඇත.

දෙවැන්න :

පෙර සිට පැවත එන පිළිවෙත්

පෙර සිට පැවත එන පිළිවෙත් යනුවෙන් නම් තැබීමට හේතු වූයේ අල්ලාහ් ඔහුගේ ගැත්තන් මවා ඇති ස්වභාවයෙන්ම ඔවුන් වර්ණනා වන බැවිනි. ඒ කෙරෙහි අල්ලාහ් ඔවුන් ව දිරි ගැන්වීය. ඔවුනට එය සතුටු දායක කරුණක් බවට පත් කළේය. එය ඔවුන් ගුණාංගයන්ගෙන් හා මහිමයන්ගෙන් පූර්ණවත් වනු පිණිසය. එමෙන්ම අලංකාර මැවීමකින් හා අලංකාර හැඩයකින් ඔවුන් පෙනී සිටිනු පිණිසය. එය නබිවරුන් තෝරා ගත් පැරණි චාරිත්‍රයකි. සියලුම පිළිවෙත් එය පිළිගන්නා කරුණකි.

එම කරුණු වන්නේ

1- අල්-ඉස්තිහ්දාද් හෙවත් යකඩ තලයක් භාවිත කරමින් රෝම ඉවත් කිරීම එනම් ලිංගය අවට ඇති රෝම ඉවත් කිරීමය. ඉස්තිහ්දාද් යන නම යෙදී ඇත්තේ ද එම රෝම ඉවත් කිරීම සඳහා රේසරයක් හෝ දැළි පිහියක් වැනි යකඩ තලයක් භාවිත කරන බැවිනි. එය ඉවත් කිරීම අලංකාරය හා පිරිසිදුකම ගෙන දෙන්නක් වේ. එය බෑම හෝ වෙනත් ආකාරයකින් හෝ තමන් කැමති පරිදි ඉවත් කළ හැක. නමුත් බාන්නේ නම් එය වඩාත් උචිතය. හේතුව ඒ පිළිබඳ ව සුන්නාහ්වේ සඳහන් වී ඇති බැවින් හා එය උදුරා ඉවත් කිරීම එම ස්ථානය දුර්වල කරන බැවිනි.

2- අල්-කිතාන් හෙවත් චර්ම ඡේදනය එනම් ලිංගාග්‍රය ආවරණය කරමින් තිබෙන උඩු හම ලිංගාග්‍රය හෙළි වන තරමට ඉවත් කිරීමයි. එය කුඩා වියේදී සිදු කළ යුත්තකි. එම අවදියේ සිදු කිරීමෙන් ඇති වන තුවාල ඉක්මනින් සුව වනු ඇත. වැඩි වියට පත් වන විට ලිංග චර්ම ඡේදනය කර ගැනීම අනිවාර්යය වනු ඇත.

චර්ම ඡේදනයෙන් අපේක්ෂිත යථාර්ථය වනුයේ චර්මාග්‍රයේ රැදෙන අපවිත්‍ර දෑ පිරිසිදු කිරීම හා කාන්තාවගේ දැඩි කාමාශාව හීන කිරීමය.

3- උඩු රැවුල කපා හැරීම. එය කොට කිරීමට වඩා වැඩියෙන් විය යුතුය. එබැවින් උඩු රැවුල කොට කිරීමට වඩා එය බෑම වඩාත් උචිතය. එවිට කොට කිරීම යන ක්‍රියාවද එයට ඇතුළත් වනු ඇත. එපමණක් නොව එය අලංකාරය පිරිසිදු කම හා දේව ප්‍රතික්ෂේපකයින්ගෙන් වෙනස් වීම විදහා පාන්නක්ද වෙයි.

4- නියපොතු කැපීම. එනම් හමට වඩා දිගු ව පවතින නිය කපා හැරීමය. එය දිගු වීමට ඉඩ නොතබා විටින් විට කැපිය යුතු වේ. මෙමගින් අලංකාරය විදහා පෙන්වන අතර  නිය යට රැඳෙන කුණු ඉවත් කිරීමට පහසු වනු ඇත. මෘග සතුන්ට සමාන වීමෙන් ද දුරස් විය හැක.

5- කිහිලි යට වැඩෙන රෝම උදුරා දැමීම. කිහිලි යට වැඩෙන මෙම රෝම උදුරා දැමීමෙන් ඉවත් කිරීම සුන්නාවකි. සුන්නාහ්වේ සඳහන් වන බැවින් එය බෑමට හෝ වෙනත් මාර්ගයක් භාවිත කිරීමට වඩා උදුරා දැමීම වඩාත් උචිතය. මෙය ඉවත් කිරීම තුළින් පිරිසිදුකම රැක ගත හැකි අතර එම රෝම තිබීමෙන් ඇතිවන්නා වූ දුර්ගන්ධය නැති කර දමයි.

විමසුම :

            ලිංගාශ්‍රිතයෙහි වැඩෙන රෝම බෑම උඩු රැවුල කොට කිරීම නියපොතු කපා හැරීම හා කිහිලි යට රෝම උදුරා දැමීම සිදු විය යුත්තේ එය ඉක්මවා වැඩෙන විටය. දින හතළිහකට වඩා වැඩියෙන් ඒවා ඉවත් නොකොට අතහැර දැමීමේ තහනම හදීසයන් හි සඳහන් ව ඇති බැවින් ඒවා වැඩෙන්නට හැරීම පිළිකුල් සහගත ක්‍රියාවකි. අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලද හදීසයක මෙසේ සඳහන් වේ. දේව ප්‍රතික්ෂේපකයින්ටත් අග්නි වන්දනාකරුවන්ටත් මෘග සතුන්ටත් සමාන වන පරිදි එය දිගු වන්නට ඉඩ හැර අතහැර දැමීම නුසුදුසුය.

විමසුම : යටි රැවුල වැවෙන්නට ඉඩ හැරීම අනිවාර්යය. එය බෑම හෝ ඉන් කොටසක් ඉවත් කිරීම හෝ තහනම් ක්‍රියාවකි. ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසය එයට සාධකයක් වේ. එනම් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ. නුඹලා දේව ආදේශ කරන්නන්ට වෙනස් ව කටයුතු කරන්න. උඩු රැවුල කපා හරින්න. යටි රැවුල පූර්ණ ව තබන්න. (මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්)

 වුළුඃ ධෝවනයෙහි නීති රීති

වුළුඃ යනු භාෂාමය අර්ථය වනුයේ අලංකාරය පිරිසිදුකම යන්නයි.

රීතියානුකූල අර්ථය වනුයේ නියමිත රටාවකට අවයව සතරක්  සෝදා ගනිමින් අල්ලාහ් වෙනුවෙන් ඉටු කරන නැමදුමකි.

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا قُمْتُمْ إِلَى الصَّلَاةِ فَاغْسِلُوا وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ وَامْسَحُوا بِرُءُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى الْكَعْبَيْنِ

විශ්වාස කළවුනි, සලාතය සඳහා නැගී සිටින කල්හි නුඹලාගේ මුහුණු ද වැළමිට දක්වා නුඹලාගේ දෑත් ද සෝදා ගනිවු. තවද නුඹලාගේ හිස් (තෙත් වූ අතින්) පිරිමදිවු. තවද නුඹලාගේ පාදද වළලු කර දක්වා (සෝදා ගනිවු) (අල් කුර්ආන් 5:6)

මෙම පාඨය සලාතය සඳහා වුළුඃ ධෝවනය කිරීම අනිවාර්යය බව අවධාරනය කරයි. වුළුඃ ධෝවන කරන විට සේදිය යුතු එමෙන්ම පිරිමැදිය යුතු අවයව මෙහිදී විස්තර කොට ඇත.

වුළුඃ සඳහා වූ කොන්දේසි

1.      ඉස්ලාම තුළ සිටීම

2.      සිහි බුද්ධිය තිබීම

3.      බෙදා වෙන්කර හඳුනා ගත හැකි වයස් සීමාවක පසුවීම

4.      අදිටන් කිරීම

දේව ප්‍රතික්ෂේපකයකු මානසික රෝගයකු හෝ යමක් බෙදා වෙන් කොට හඳුනාගත නොහැකි වියේ පසු වන කුඩා දරුවකුගේ වුළුඃ ධෝවනය නිවැරදි නොවේ. එමෙන්ම වුළු ගැනීමේ අදිටනින් තොර ව සිසිල විදීමේ හෝ එමගින් නජීස් ඉවත් කිරීමේ හෝ කුණු ඉවත් කිරීමේ අදිටනින් සෝදන්නෙකුගේ වුළුඃ ධෝවනය ද නිවැරදි නොවේ.

5.      ඉහත කී පරිදි ජලය පිරිසිදු ව තිබිය යුතුය. එය අපිරිසිදු නම් වුළු අනුමත නොවෙයි.

6.      හමට ජලය ගලා යෑමට බාධා පමුණුවන මැටි  මැලියම් ඉටි බැඳුණු කුණු හා ඝන තීන්ත වැනි දෑ අවයවයන්හි හමට කිසිදු බාධාවකින් තොර ව ජලය ගලා යන අයුරින් ඉවත් කළ යුතුය. හේතුව අවයවය සම්පූර්ණයෙන් සේදීම අල්ලාහ් අනිවාර්යය කර ඇති බැවිනි. එමෙන්ම යම් බාධාවක් ඇති ව එම ධෝවනය නිවැරදි නොවේ.

 වුළුවෙහි සුන්නත් ක්‍රියාවන් හා එහි ක්‍රමය

පළමුව : කට පිරිසිදු කිරීම. එහි නියමිත ස්ථානය වනුයේ කට කලත්වා සෝදන විටය. මේ සම්බන්ධයෙන් කළින් සඳහන් වී ඇත.

දෙවනුව : හදීස්හි සඳහන් පරිදි මුහුණ සේදීමට පෙර වුළු ධෝවනයෙහි මුල් අවයවය වශයෙන් අත තුන් වරක් සේදිය යුතුය.

තෙවනුව : මුහුණ සේදීමට පෙර කට පිරිසිදු කරමින් හා නාසය පිරිසිදු කරමින් ආරම්භ කළ යුතුය. උපවාසයේ නිරත ව සිටින අයෙකු හැර එම කරුණු දෙකෙහිම කලත්වා සේදිය යුතුය. කට සේදීමේදී කැලැත්වීම යන සම්පූර්ණ කටටම ජලය ගලා යන සේ සේදීමයි. නාසය සේදීමේ දී කැලැත්වීම යනු නාස් තුඩුවේ අවසානය දක්වා ජලය ගලන්නට සලස්වා සේදීමය.

සිව්වනුව : ඝණ ව වැඩුණු රැවුල් විහිදුවා ජලයෙන් සේදීම  වුළුඃහි සුන්නත් ක්‍රියා අතුරින් එකකි. ඇතැම් විට එය ඇතුළාන්තය දක්වා යා හැක. එමෙන්ම අත් හා පාද වල ඇඟිලි අතර විහිදුවා සේදීම ද තවත් එකකි. එනම් ඒවායෙහි ඇතැම් දෑ ඇතැම් දෑ තුළ දමා සේදීමය. ඇතැම් විට එසේ සිදු විය හැක.

පස්වනුව : දකුණට ප්‍රමුඛත්වය ලබා දීම. එනම් දෙඅත් හා දෙපා අතුරින් වමතට වඩා දකුණට ප්‍රමුඛත්වය ලබා දීමය.

සයවැන්න :  සුන්නාහ්වේ සඳහන් ව ඇති ආකාරයට වුළුඃ හි ක්‍රම පිළිපැදීම. විටෙක එක් එක් අවයව වරක් බැගින් ද තවත් විටෙක එක් එක් අවයව දෙවරක් බැගින් ද තවත් විටෙක එක් එක් අවයව තුන් වරක් බැගින් ද තවත් විටෙක එකිනෙකට වෙනස් කරමින් ද සෝදා වුළුඃ ගැනීම. එනම් කට හා නාසය තුන්වරක් පිරිසිදු කරමින් මුහුණ සේදීම. දෙඅත් දෙවරක් හා පාද වරක් බැගින් සේදීම.

සත්වැන්න : වුළුඃහි පවසනු ලබන ප්‍රාර්ථනාවන් පිළිපැදීම එනම් වුළුඃ හි ආරම්භයේ බිස්මි පැවසීම එය අවසන් කළ පසු ෂහාදා කලිමාව පැවසීම එනම් :

أشهدُ أَن لا إِله إلاَّ اللهُ ، وَحدَهُ لاَ شَرِيْكَ لَهُ، وأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُوْلُهُ

තේරුම : නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවත් ඔහු ඒකීය බවත් ඔහුට කිසිදු හවුල් කරුවකු නොමැති බවද මම සාක්ෂි දරමි. තවත සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔහුගේ ගැත්තා බවත් ඔහුගේ ධර්ම දූතයාණන් බවත් මම සාක්ෂි දරමි.

سُبْحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ، أَشْهَدُ أَنْ لاَ إِلهَ إِلاَّ أَنْت ، أَسْتَغْفِرُكَ وَأَتُوْبُ إِلَيْكَ

තේරුම : යා අල්ලාහ් ඔබගේ ප්‍රශංසාව තුළින් ඔබ සුවිශුද්ධ විය. ඔබ හැර නැමදුමට කිසිවකු නොමැති බව මම සාක්ෂි දරමි. මම ඔබෙන් පව් සමාව අයැදිමි. තවද ඔබ වෙත පසුතැවිලි වී හැරෙමි.

වුළුඃහි ක්‍රමය:

            වුළුඃ ගන්නා අයුරු හා එය පිහිටිය ස්වරූපය

-         වුළුඃ කිරීම ආගමානුගත කරනු ලැබූ සලාතය හෝ වේවා හෝ වෙනත් කටයුත්තක් හෝ වේවා ඒ වෙනුවෙන් වුළුඃ ගන්නා බවට අදිටන් කිරීම

-         පසුව බිස්මිල්ලාහ් යැයි පැවසීම

-         තම අත් (මැණික් කටුව දක්වා වු කොටස) තුන් වරක් සේදීම

-         පසුව කට හා නාසය එක් අතින් එකවර සේදීම. තම නාසය තුළට වමතින් ජලය යවා සේදීම

-         මුහුණ සේදීම. දිගින් මුහුණෙහි සීමාව වනුයේ සාමාන්‍ය පරිදි ඉදිරි හිසෙහි රෝම වැඩෙන ස්ථානයේ සිට කම්මුල් හා නිකටින් පහළ කොටස දක්වා වේ. මුහුණෙහි පහළ කොටසෙහි දකුණු හා වම් කම්මුල් පැති කඩ දෙකකි. නිකට ඒ දෙක සම්බන්ධ කරමින් පවතී. එබැවින් එය සම්පූර්ණයෙන් සේදීම අනිවාර්යය වේ. මෘදු රැවුලක් ඇත්නම් එහි ඇතුළාන්තය හා බාහිරය සේදීම අනිවාර්යය. නමුත් හම ආවරණය වන පරිදි ඝණ රැවුලක් නම් එහි මතු පිට සේදීම අනිවාර්යය වන අතර ඉහත කී පරිදි ඇතැම් විටෙක එහි ඇතුළාන්තය අතුල්ලා සේදීම සතුටු දායක වේ. පළලින් මුහුණෙහි සීමාව වනුයේ එක් කනක සිට අනෙක් කන දක්වා වූ කොටසය.

-         පසුව දෑත් මැණික් කටුව දක්වා සේදීම. මෙහිදී අතෙහි සීමාව වනුයේ නිය හා ඇගිලි තුඩු සිට බාහුවේ ආරම්භක කොටස දක්වා වූ කොටසයි. දෑත් සේදීමට පෙර හමට ජලය ගලා යාම වළක්වා ලන සේ අතෙහි ඇලී ඇති තීන්ත වැනි දෑ ඉවත් කළ යුතුය.

-         පසුව අලුතින් ජලය ගෙන හිස සම්පූර්ණයෙන් හා දෙකන් එක් වරක් පිරිමැදීම. එය අත සෝදා ඉතිරි වූ ජලය නොවිය යුතුය.

හිස මස්හ් කිරීමේ එනම් හිස පිරිමැදීමේ ක්‍රමය : ජලයෙන් තෙමා ගත් දෑත් හිසෙහි ආරම්භක කොටසෙහි තබා එය කුළල් සන්ධිය දක්වා ගෙන ගොස් නැවතත් ආරම්භ කළ ස්ථානයටම ගෙන ඒම. වඩාත් හොදම ක්‍රමය වනුයේ මෙයයි. හිසෙහි කොටසක් එසේ පිරිමැද්දද ප්‍රමාණවත් වේ.

-         පසුව දබරැඟිලි දෙක කන් කුහර මත තබා මහපට ඇගිලි දෙකින් කන් දෙකෙහි බාහිර කොටස පිරිමැදීම.

-         තම දෙපා වළලු කර දක්වා සේදීම. වළලු කර යනු කෙණ්ඩයට පහළින් අස්ථි නෙරා පිහිටා ඇති කොටසය.

යමෙකුගේ අත් හෝ පාද කපා ඉවත් කොට ඇත්නම් අතෙහි හෝ පාදයේ ඉතිරි කොටස සෝදා හැරිය යුතුය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

فَاتَّقُوا اللَّهَ مَا اسْتَطَعْتُمْ

නුඹලාට හැකි පමණින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වන්න. (අල් කුර්ආන් 64 : 16)

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පවසා සිටියහ.

මම නුඹලාට යමක් නියෝග කළේ නම් එයින් ඔබට හැකි දෑ ගෙන එන්න.              (මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්)

මේ අනුව අනිවාර්යය කරනු ලැබූ ඉතිරි කොටස සෝදන විට ඔහු තමන්ට හැකි දෑ ගෙන ආ කෙනෙකු වෙයි.

-         ඉහත කී ක්‍රමයට අවසන් කළ පසු ව එම තත්වයේ සිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැවසූ ප්‍රාර්ථනාවක් පැවසිය යුතුය. ඉන් එකක් වනුයේ

أشهدُ أَن لا إِله إلاَّ اللهُ ، وَحدَهُ لاَ شَرِيْكَ لَهُ، وأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُوْلُهُ، سُبْحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ، أَشْهَدُ أَنْ لاَ إِلهَ إِلاَّ أَنْت ، أَسْتَغْفِرُكَ وَأَتُوْبُ إِلَيْكَ

තේරුම : නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවත් ඔහු ඒකීය බවත් ඔහුට කිසිදු හවුල් කරුවකු නොමැති බවත් මම සාක්ෂි දරමි. තවද සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔහුගේ ගැත්තා බවත් ඔහුගේ ධර්ම දූතයාණන් බවත් මම සාක්ෂි දරමි. යා ! අල්ලාහ්, ඔබගේ ප්‍රශංසාව තුළින් ඔබ සුවිශුද්ධ විය. ඔබ හැර නැමදුමට කිසිවකු නොමැති බව මම සාක්ෂි දරමි. මම ඔබෙන් පව් සමාව අයැදිමි. තවද ඔබ වෙත පසුතැවිලි වී හැරෙමි.

 වුළුඃහි අනිවාර්යය දෑ

එහි මූලිකාංග වනුයේ

පළමුවැන්න : මුහුණ සේදීම.

කට සේදීම හා නාසයට ජලය ගලා යන්නට සලස්වා නාසය සේදීම මුහුණ සේදීමෙහි කොටසකි. එබැවින් කවරෙකු හෝ මුහුණ සෝදන විට කට හා නාසය හෝ ඒවායින් එකක් හෝ අතහැරියේ නම් ඔහුගේ වුළු ධෝවනය නිවැරදි නොවේ. හේතුව කට හා නාසය මුහුණෙහි කොටසක් වන බැවිනි අල්ලාහ් අල් කුර්ආන් 5 : 6 වැනි පාඨයේ මෙසේ පවසා සිටියි නුඹලා නුඹලාගේ මුහුණ සෝදා ගනු. එයින් අවධාරණය කරනුයේ මුහුණ සම්පූර්ණයෙන් සෝදා හරින්න යන්නය. එබැවින් කවරෙකු ඉන් කොටසක් අතහරින්නේ ද ඔහු අල්ලාහ්ගේ නියෝගය පිළිපදින්නෙකු නොවනු ඇත. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ කට හා නාසය සේදූහ. එමෙන්ම එය කරන මෙන් නියෝග ද කර ඇත්තාහ. එතුමාණන් එය අතහැර දැමූ බවට කිසිදු වාර්තාවක් හෝ සඳහන් ව නොමැත.

දෙවැන්න : අත් දෙක මැණික් කටුව ඇතුළු ව සේදීම. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ

වැළමිට දක්වා නුඹලාගේ දෑත් ද සෝදා ගනිවු. (අල් කුර්ආන් 5:6) මෙහි වැළමිට දක්වා යනු වැළමිට ඇතුළු ව යන්න වේ. හේතුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම දෑත් උඩු බාහුවේ ආරම්භක කොටස දක්වා සේදූ බව අබූ හුරෙයියරා විසින් වාර්තා කළ හදීසයක් මුස්ලිම් හි සඳහන් ව ඇති බැවිනි. 

තුන්වැන්න : හිස සම්පූර්ණයෙන් පිරිමැදීම. කන් දෙක සේදීම ද ඉන් කොටසකි. අල්ලාහ් මෙසේ දන්වා සිටියි.

وَامْسَحُوا بِرُءُوسِكُمْ

තවද නුඹලාගේ හිස් (තෙත් වූ අතින්) පිරිමදිවු. (අල් කුර්ආන් 5:6) කන් දෙක අදාළ වන්නේ ද හිසටය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එය සිදු කළහ. එතුමාණන් එය අත හැර දමා හිසෙහි කොටසකට පමණක් සීමා කළ බවට හදීසයක් වාර්තා වී නොමැත. නබි(සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ‘කන් දෙක හිසෙහි කොටසකි’ යැයි පැවසූ බව අබ්දුල්ලා ඉබ්නු සෙයිද් වාර්තා කළ හදීසයක් ඉමාම් ඉබ්නු මාජා දාරුකුත්නි ඇතුළු ව වෙනත් ඉමාම් වරු විසින්ද දන්වා ඇත. එබැවින් හිසෙහි කොටසක් පමණක් පිරිමැදීම සුදුසු නොවේ.

සිව්වැන්න : දෙපා වළලු කර ඇතුළු ව සේදීම. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා සිටියි.

وَأَرْجُلَكُمْ إِلَى الْكَعْبَيْنِ

තවද නුඹලාගේ පාද වළලු කර දක්වා (සෝදා ගනිවු) (අල් කුර්ආන් 5:6) මෙහි ‘දක්වා’ යන අර්ථය ගෙන දෙන ‘ඉලා’ නම් අරාබි පදයෙන් අදහස් වනුයේ ‘ඇතුළුව, සමඟ’ යන අර්ථ ගෙන දෙන ‘මඅ’ යන නිපාත පදයේ අර්ථයයි. වුළුඃහි ක්‍රමය පිළිබඳ සඳහන් වන හදීස් සේදිය යුතු කොටසට වළලු කරද ඇතුළත් විය යුතු යැයි පෙන්වා දෙයි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා තම දෙපා කෙණ්ඩයේ මුල් කොටස දක්වා සේදූ බවට අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසය මීට සාධක වශයෙන් පිහිටයි.  (මූලාශ්‍රය : මුස්ලිම්)

පසුවැන්න : පිළිවෙළට කිරීම. එනම් පළමු ව මුහුණ සෝදා පසු ව දෑත් ද ඉන් පසු ව හිස තෙත් අතින් පිරිමැද අවසානයේ දෙපා සේදීමය. මේ බව අල්ලාහ් මෙසේ අවධාරණය කරයි.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا قُمْتُمْ إِلَى الصَّلَاةِ فَاغْسِلُوا وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ وَامْسَحُوا بِرُءُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى الْكَعْبَيْنِ

විශ්වාස කළවුනි! සලාතය සඳහා නැගී සිටින කල්හි නුඹලාගේ මුහුණු ද වැළමිට දක්වා නුඹලාගේ දෑත් ද සෝදා ගනිවු. තවද නුඹලාගේ හිස් (තෙත් වූ අතින්) පිරිමදිවු. තවද නුඹලාගේ වළලු කර දක්වා පාද ද (සෝදා ගනිවු)             (අල් කුර්ආන් 5:6)

මෙහි පිරිමැදීම යන පදය වෙනමම නොපවසා සේදීම යන පද අතර යෙදී තිබීමෙන් එය පිළිවෙළට කළ යුතුය යන කොන්දේසිය ගම්‍ය වේ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙම ක්‍රමය පිළිපදිමින් වුළුඃ පිළිවෙළට ඉටු කළහ. මෙම ක්‍රමය බිද දමා වෙනත් ක්‍රමයකට වුළුඃ කළ බවට සඳහන් කිසිදු හදීසයක් වාර්තා වී නොමැත.

සයවැන්න : අඛණ්ඩ ව ඉටු කිරීම. එනම් ඉහත කී අවයවයන් සේදීමේ දී එක් අවයවයක් ඊට පෙර තිබෙන අවයවය අතර දීර්ඝ වෙන් කිරීමක් නොකොට අඛණ්ඩ ක්‍රියාවලියක්ව පිළිපැදීමයි. එම අවයවයන් සෝදන විට නොකඩවා සේදිය යුතුය.

අඛණ්ඩ ව කළ යුතුය යන කොන්දේසිය වැළැක්විය නොහැකි හේතුවක් මත බිද වැටෙයි. උදාහරණයක් ලෙස ශරීරයට ජලය ගලා නොයන සේ පවතින යමක් ඉවත් කිරීම ජලය ලබා ගැනීමේ අවශ්‍යතාව වැනි දෑ සැලකිල්ලට ගත හැකිය.

 මේස් සපත්තු මත හා ඒ හැර අනෙකුත් ආවරණික පැලඳුම් මත මස්හ් කිරීමේ නීති රීති.

අල් මස්හු : භාෂාමය අර්ථය වනුයේ පිරිමදිමින් ගෙන යාමය.

රීතියානුකූල අර්ථය වනුයේ පිරිමැදීම ආගමානුගත කළ දෑ මත තෙත් කළ අත ගෙන යමින් පිරිමැදීමය.

මේ පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ විසින් ප්‍රකාශිත හදීස් හතළිහක් පමණ ඇත. ඉබ්නු මුන්දිහ් තුමා ඒ සියල්ල අල්ලාහ්ගේ දූතයාණන්ගේ සහාබාවරුන් අතුරින් සහාබාවරු අට දෙනෙකුගෙන් රැගෙන ගොනු කර ඇතැයි ඉමාම් අහ්මද් තුමා පවසයි.

මේස් සපත්තු මත පිරිමැදීමේ නීතිය.

මෙය ක්‍රියාවකට ලැබෙන වරප්‍රසාදයකි. මිනිසෙකු මේස් සපත්තු පැලද සිටින විට එය ගලවා දෙපා සේදීමට වඩා අල්ලාහ්ගෙන් වූ වරප්‍රසාදයක් ලෙස එය ගැනීම වඩාත් උතුම්ය. එමෙන්ම ඔහු එය නොපැලද සිටින විට වඩාත් උතුම් වන්නේ දෙපා සේදීමය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා තමන්ගේ දෙපා තිබෙන තත්ත්වයට පටහැණිව දුෂ්කරත්වය තෝරා ගත්තේ නැත. තම දෙපා මේස් සපත්තු පැලඳ තිබේ නම් ඒ මත එතුමාණෝ පිරිමැද්දාහ. දෙපා නිරාවරණ ව ඇත්නම් එතුමා පාද දෙක සේදූහ. මේස් සපත්තු මත පිරිමැදීම සඳහා එය පැලඳීමට හෝ එය සේදීම සඳහා ගැලවීමට හෝ ආගමානුගත කරනු නොලැබීය.

මේස් සපත්තු මත පිරිමැදීමේ අනුමත කාලය

පදිංචිකරුවකු වූ කලී ඔහුට දහවල් හා රාත්‍රිය වශයෙන් දිනක අවසරය ඇත. සලාතය කෙටි කිරීමට අනුමැතිය ඇති දුරක ප්‍රමාණයක් ගමන් කරන මගියෙකු වූ කලී දහවල් තුනක් හා රාත්‍රී තුනක් වශයෙන් දින තුනකට අවසරය ඇත. මීට සාධක වශයෙන් මුස්ලිම් සඳහන් වන හදීසයක් මෙසේය.

وَعَنْ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ رضِيَ الله عَنه قَالَ: { جَعَلَ النَّبِيُّ صلى الله عليه وسلم ثَلَاثَةَ أَيَّامٍ وَلَيَالِيَهُنَّ لِلْمُسَافِرِ, وَيَوْمًا وَلَيْلَةً لِلْمُقِيمِ - يَعْنِي: فِي الْمَسْحِ عَلَى الْخُفَّيْنِ }  أَخْرَجَهُ مُسْلِمٌ. 

අලී ඉබ්නු අබී තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා මගියාට දහවල් හා රාත්‍රී වශයෙන් දින තුනක් ද පදිංචිකරුවාට දහවලක් හා රාත්‍රියක් වශයෙන් එක් දිනක් ද පත් කළේය. මෙයින් අදහස් කරනුයේ මේස් සපත්තු මත පිරිමැදීම සම්බන්ධවය.             

මුස්ලිම් තුමා විසින් මෙය හෙළිදරව් කර ඇත.

මේ අවස්ථා දෙකෙහිම මස්හ් කිරීමේ කාලය ආරම්භ වනුයේ කිලිටි වලට ග්‍රහණය වූ පසුවය.

මේස් සපත්තු හෝ එයට සමාන ආවරණික පැලදුම් මත මස්හ් කිරීමේ කොන්දේසි.

මේස් සපත්තු හෝ එයට සමාන මේස් වැනි ආවරණික පැලඳුම් මත මස්හ් කිරීම සඳහා පහත සඳහන් කරුණු කොන්දේසි වශයෙන් පැන වේ.

1-  කිලිටි වලින් බැහැර වීම සඳහා ජලය භාවිත කරමින් පූර්ණ ලෙස පිරිසිදු කර ගත් පසු ව එය පැලඳීම. පහත සඳහන් හදීසය ඊට සාධක ව පවතී. එනම්

عَنْ اَلْمُغِيرَةِ بْنِ شُعْبَةَ رضي الله عنه قَالَ: كُنْتُ مَعَ النَّبِيِّ صلى الله عليه وسلم فَتَوَضَّأَ, فَأَهْوَيْتُ لِأَنْزِعَ خُفَّيْهِ, فَقَالَ: "دَعْهُمَا, فَإِنِّي أَدْخَلْتُهُمَا طَاهِرَتَيْنِ" فَمَسَحَ عَلَيْهِمَا"  مُتَّفَقٌ عَلَيْه ِ. 

මුගීරා ඉබ්නු ෂුඃබා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා සමඟ සිටියෙමි. එවිට එතුමා වුළු ධෝවනය කරන්නට වූහ. මම එතුමාගේ මේස් සපත්තු දෙක ගලවා දමන්නට නැමුනෙමි. ඒ අවස්ථාවේ එතුමා ඒ දෙක අත හරින්න. හේතුව සැබැවින්ම මම ඒ දෙක පිරිසිදු තත්ත්වයේ තිබිය දී මම එය දැමුවෙමි. පසු ව ඒ දෙක මත එතුමාණෝ පිරිමැද්දාහ. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

2- සාමාන්‍ය ලෙස ප්‍රයෝජනයට ගත හැකි ආකාරයේ වස්තුවකින් එම මේස් සපත්තු පිහිටා තිබීම.

3- ආගමානුගත කළ නියමිත වේලාව තුළ එය සිදු විය යුතුය.

4- මේස් සපත්තු හෝ ඊට සමාන ආවරණික දෑ පිරිසිදු වස්තුවකින් නිම් කොට තිබිය යුතුය. මිය ගිය සතුන් හෝ සුනඛයින් වැනි සතුන්ගේ හම් මත මස්හ් කිරීම නිවැරදි නොවේ.

ජටාව මත මස්හ් කිරීමේ කොන්දේසි දෙකකි.

පළමුවැන්න : හිසෙහි සුපුරුදු පරිදි ආවරණය විය යුතු කොටස ආවරණය වී තිබීම.

දෙවැන්න :  පූර්ණ පිරිසිදු වීමකින් පසු ව එය පැලඳ තිබීම. 

 ‍වෙළුම් පටි මත මස්හ් කිරීම

වෙළුම් පටි මත මස්හ් කිරීමට අනුමැතිය ඇත. එය අලවන ප්ලාස්ටරයක් හෝ ඔතන වෙළුම් පටියක් හෝ ඊට සමාන අස්ථී කැඩී යාමක දී බඳින ඝණ වෙළුමක් හෝ විය හැක. කැපීම් තුවාලය මත ඇති එම වෙළුම් පටිය මතු පිටින් පිරිමදියි. එමෙන්ම  තුවාලය මත ඇති එම ප්ලාස්තරය මතුපිටින් ද පිරිමදියි. මේ පිළිබඳ අවධාරණය කරමින් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් හදීස් වාර්තා වී ඇත. මේ සියල්ල අවශ්‍යතාවේ ප්‍රමාණයට අනුව වෙළන ලද දෑ විය යුතුය. එවිට ඒ මත පිරිමැදිය හැක. ඇතැම් විට එම අවශ්‍යතා ව පිරිමසා ගැනීම සඳහා සිදු වූ තුවාලයට සමීප කොටසක් ද ආවරණය වී තිබිය හැක.  අවශ්‍යතාවේ සීමාව ඉක්මවා එය පැලඳ ඇත්නම් ඊට අමතර දෑ ඉවත් කිරීම අනිවාර්යය වේ.  නමුත් එසේ ඉවත් කිරීම හානිදායක නම් එම අමතර දෑ මත මස්හ් කරයි. එයට අනුමැතිය ඇත.

කවරකුට තුවාලයක් සිදු වී තිබේ ද ඔහුට පහත සඳහන් අවස්ථාවලින් ඉවත් ව සිටිය නොහැක. 

පළමුවැන්න : ඒ මත ප්ලාස්ටරයක් හෝ වෙළුම් පටියක් හෝ ඊට සමාන දෙයක් දමා ඇති අවස්ථාව. එවිට ඔහු ඒ මත මස්හ් කරයි.

දෙවැන්න : ඒ මත ප්ලාස්ටරයක් හෝ වෙළුම් පටියක් හෝ ඊට සමාන කිසිවක් හෝ නොතිබෙන අවස්ථාව. තුවාලය සේදීමෙන් හෝ ඒ මත පිරිමැදීමෙන් හෝ කිසිදු හානියක් සිදු නොවේ නම් එවිට එය සෝදා හරී එසේ නැතිනම් ඒ මත පිරිමදියි.

තුනැවැන්න :  ඒ මත ප්ලාස්ටරයක් හෝ වෙළුම් පටියක් හෝ ඊට සමාන කිසිවක් හෝ නොතිබී එය සේදීමෙන් හෝ පිරිමැදීමෙන් හානියක් ගෙන දෙන අවස්ථාව. එවිට ඔහු වුළු ගත් පසු අත් හැර දැමූ ස්ථානය වෙනුවෙන් තයම්මුම් කර ගනී. වුළු හා තයම්මුම් අතර අඛණ්ඩතාවක් පිහිටිය යුතුය යන කොන්දේසියක් නොමැත.

සුළු කිලිටි අවස්ථාවක වුව ද මහා කිලිටි අවස්ථාවක වුව ද එම වෙළුම මත හෝ ඊට සමාන දෑ මත මස්හ් කිරීමට අනුමැතිය ඇත. මෙහි දී මස්හ් කිරීමට නියමිත කාල සීමාවක් නොමැත. එය ගලවන තෙක් හෝ ඊට යටින් ඇති තුවාලය සුව වන තෙක් හෝ ඒ මත පිරිමැදිය හැක. හේතුව එසේ මස්හ් කරනුයේ ඒ සඳහා අවශ්‍යතාව ඇති බැවිනි. එබැවින් අවශ්‍යතාවේ ප්‍රමාණය අනුව එහි කාලසීමාව පිහිටනු ඇත.

මෙම ආවරණක දෑ මත මස්හ් කිරීමේ සීමාව

මේස් සපත්තු හා මේස් මත මස්හ් කරයි. ජටාවක බොහෝ තැන් ආවරණය වන පරිදි මස්හ් කරයි. එහි ඇති වට ප්‍රමාණය අනුව එය තෝරා ගනී. එමෙන්ම සියලුම වෙළුම් මත සේදිය යුතු ස්ථානය අනුව ඉහළ හා පහළ කොටස් පිරිමදී.

මේස් සපත්තු හා ඊට සමාන අනෙකුත් ආවරණික දෑ මත මස්හ් කිරීමේ ක්‍රමය.

ජලයෙන් තෙමා ගත් අත් ඇගිලි පා ඇගිලි මත තබා කෙණ්ඩය දක්වා ගෙන ආ යුතුය. දකුණු අතින් දකුණු කකුල ද වම් අතින් වම් කකුල ද පිරිමදියි. පිරිමදින විට තම ඇගිලි ඈත් කර ගනියි. මස්හ් කිරීම නැවත නැවතත් සිදු නොකරයි.

 වුළුඃ අවලංගු වන කරුණු පිළිබඳ විස්තර

වුළුඃ අවලංගු වන කරුණු යනු වුළුඃ බිද දමන එය ශුන්‍ය කරන දෑය.

1- සාමාන්‍ය පරිදි අපවිත්‍ර දෑ පිටවීම. එය මළ මූත්‍රා හෝ ශුක්‍රාණු හෝ ඊට පෙර ගලන මැලියම් සහිත ද්‍රාවණය හෝ ඔසප් අවස්ථාවේ ගලන රුධිරය හෝ වාතය හෝ විය හැක.

වුළුඃ අනිවාර්යය කිරීමේ දී අල්ලාහ් මෙසේ පවසා සිටියි.

أَوْ جَاءَ أَحَدٌ مِنْكُمْ مِنَ الْغَائِطِ

නුඹලා අතුරින් යමෙකු මළ පහ කොට පැමිණියේ නම් (අල් කුර්ආන් 5: 6)

ඊට සාධක වශයෙන් පහත සඳහන් හදීසය ද පිහිටයි.

وَعَنْ صَفْوَانَ بْنِ عَسَّالٍ رضي الله عنه قَالَ: { كَانَ رَسُولُ اللهِ صلى الله عليه وسلم يَأْمُرُنَا إِذَا كُنَّا سَفْرًا أَنْ لَا نَنْزِعَ خِفَافَنَا ثَلَاثَةَ أَيَّامٍ وَلَيَالِيَهُنَّ, إِلَّا مِنْ جَنَابَةٍ وَلَكِنْ مِنْ غَائِطٍ, وَبَوْلٍ, وَنَوْمٍ }  أَخْرَجَهُ النَّسَائِيُّ, وَالتِّرْمِذِيُّ.

  සෆ්වාන් ඉබ්නු අස්සාල් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ අපි යම් ගමනක යෙදී සිටියහොත් අපගේ මේස් සපත්තු දින තුනකට නොගලවන මෙන් අණ කරන්නෙකු ව සිටියහ. නමුත් ජුනුබ් තත්ත්වයේ පසු වූයේ නම් හැර නමුත් මළ මූත්‍රා කිරීමෙන් හා නින්ද යෑමෙන් (වරදක් නොවන්නේය.)

නසාඊ තුමා හා තිර්මිදි තුමා විසින් හෙළිදරව් කර ඇත.

කාමුකත්වය හේතුවෙන් පිට වූ මැලියම් සහිත ද්‍රාවණය ලිංගයෙන් පිස දමා පිරිසිදු කර ගැනීමත්  පසුව වුළුඃ ගැනීමත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අණ කළහ.

එමෙන්ම වාතය පිට වීමෙන් ද වුළු අවලංගු වන බවට පහත සඳහන් පූර්ව සාධක සහිත හදීසය සාධකයක් වශයෙන් පිහිටා ඇති අතර විද්වතුන්ගේ ඒකමතික තීන්දුව අනුව ද එය තහවුරු වේ.

عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قال : قال النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: " لَا يَقْبَلُ اللَّهُ صَلَاةَ أَحَدِكُمْ إِذَا أَحْدَثَ حَتَّى يَتَوَضَّأَ " فقال رجل : ما الحدث يا أبا هريرة؟ قال فساء أو ضراط. متفق عليه.

කෙනෙකු කිල්ලට ග්‍රහණය වූ විට ඔහු වුළුඃ ගන්නා තෙක් අල්ලාහ් එම සලාතය පිළි ගන්නේ නැත යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැවසූ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. එවිට මිනිසෙකු ඔහුගෙන් අහෝ ! අබූ හුරෙයිරා, කිල්ල යනු කුමක් දැ යි විමසා සිටියේය. එයට ඔහු හඬක් නොමැති ව පිටවන වාතය හා හඬ ඇති ව පිටවන වාතය යැයි පවසා සිටීය.  මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්.

විද්වතුන්ගේ ඒකමතික තිරණය ද මෙම පදනම මත  පිහිටා ඇත.

ඉදිරි හා පසුපස විවර වලින් හැර ශරීරයේ වෙනත් විවර පිළිබඳ වූ කලී. එයින් මළ හෝ මූත්‍රා පිට වූයේ නම් වුළුඃ අවලංගු වන අතර ඒ හැර රුධිරය වමනය සෙම වැනි දෑ පිට වූයේ නම් එමගින් වුළුඃ අවලංගු වන්නේද නැතිද යන්න පිළිබඳ ව විද්වතුන් අතර මත භේද පවතී.

ඒ මත දෙකින් වඩාත් නිවරදිම මතය වනුයේ එමගින් වුළුඃ අවලංගු නොවන බවය. නමුත් මීට පටහැණිව යමක් පිට වූයේ නම් එවිට වුළුඃ කර ගැනීම වඩාත් යහපත් වනු ඇත.

2- සිහි විකල් වීම හෝ සිහිසුන් වීම

සිහිවිකල් වීම යනු උන්මාදය වැනි යම් හේතුවක් මගින් සිහිය විකල් වීමය. සිහිසුන් වීම යනු නින්ද හෝ ක්ලාන්තය වැනි දෑ හේතුවෙන් සිහි සුන් වීමය.  කවරෙකුගේ සිහිය විකල් වූයේ ද නැතහොත් නින්ද වැනි හේතුවක් නිසා ඔහුගේ සිහිය සුන් වූයේ ද ඔහුගේ වුළුඃ අවලංගු වනු ඇත. සෆ්වාන් ඉබ්නු අස්සාල් තුමාගේ හදීසය මීට සාධක වශයෙන් පිහිටයි. හේතුව මෙය කිලිටි ඇති වූවාදැ යි අනුමාන කරන්නක් බවට පත් වීමය. එමෙන්ම ඒ ගැන හැඟීමක් තමන්ට නොවීමය. නමුත් ගැඹුරු නින්දකින් තොර සුළු නින්දක අවස්ථාවක දී වුළුඃ අවලංගු නොවේ. අනස් බින් මාලික් (රළියල්ලාහු අන්හු) තුමා වාර්තා කරන පරිදි සහාබාවරු සුළුවෙන් නිදා ගනිති. පසු ව සලාතය ඉටු කරති. නමුත් වුළුඃ නොගනිති. (මූලාශ්‍රය: මුස්ලිම්) තවත් ප්‍රකාශයක ඔවුන්ගේ ඇලපත් මත හාන්සි වෙති යැයි සඳහන් ව ඇත. (මූලාශ්‍රය: අබූ දාවූද්) එහි දී ඔවුන් වුළුඃ ගත් බවට සඳහන් කිසිදු හදීසයක් නොමැත. මේ සියල්ල සලකා බැලීමේදී වුළුඃ අවලංගු වන්නේ ගැඹුරු නින්දකදී පමණය.

3- ඔටු මස් අනුභව කිරීම. එය අඩුවෙන් හෝ වැඩියෙන් හෝ වුව ද එක සමානය. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මේ පිළිබඳ ව පැහැදිලි කරමින්  ප්‍රකාශ කළ හදීසයක් අනස් (රළියල්ලාහු අන්හු තුමා විසින් මෙසේ ප්‍රකාශ කරන ලදී.

وَعَنْ جَابِرِ بْنِ سَمُرَةَ رَضِيَ اللهُ عَنْهُمَا; { أَنَّ رَجُلاً سَأَلَ النَّبِيَّ صلى الله عليه وسلم: أَتَوَضَّأُ مِنْ لُحُومِ الْغَنَمِ؟ قَالَ: إِنْ شِئْتَ قَالَ: أَتَوَضَّأُ مِنْ لُحُومِ الْإِبِلِ ؟ قَالَ: نَعَمْ }  أَخْرَجَهُ مُسْلِمٌ. 

ජාබිර් බින් සමුරා (රළියල්ලාහු අන්හුමා) යන අය විසින් වාර්තා කරන ලදී.

සැබැවින්ම මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා වෙත පැමිණ එළු මස් හේතුවෙන් මම වුළු ධෝවනය කළ යුතු දැ යි විමසුවේය. එතුමාණෝ ඔබ කැමති නම් යැයි පිළිතුරු දුන්හ. ඔටු මස් හේතුවෙන් මම වුළු ධෝවනය කළ යුතු දැ යි විමසුවේය. එවිට එතුමාණෝ එසේය යැයි පිළිතුරු දුන්හ.

ඉමාම් මුස්ලිම් විසින් මෙය හෙළිදරව් කර ඇත.

මේ පිළිබඳ ව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා විසින් දන්වා සිටි පූර්ව සාධක හදීස දෙකක් සඳහන් ව  ඇති බව ඉමාම් අහ්මද් තුමා අවධාරණය කරයි.

ඔටු මස් යනුවෙන් පවසා තිබීමෙන් එහි උගේ හදවත උගේ හිසේ මස් වැනි සියලු කොටස් එයට ඇතුළත් වේ.

ඔටුවන් හැර වෙනත් මස් අනුභව කිරීමෙන් වුළුඃ අවලංගු නොවේ.

විමසුම :  ලිංගය ස්පර්ශ කිරීමෙන් වුළුඃ අනිවාර්යය වන බව බොහෝ විද්වතුන් අවධාරණය කරයි. එය බුස්රා බින් සෆ්වාන් තුමා වාර්තා කළ හදීසය මුල් කර ගෙනය. එනම්

وَعَنْ بُسْرَةَ بِنْتِ صَفْوَانَ رَضِيَ اللهُ عَنْهَا; { أَنَّ رَسُولَ اللهِ صلى الله عليه وسلم قَالَ: "مَنْ مَسَّ ذَكَرَهُ فَلْيَتَوَضَّأْ" }  أَخْرَجَهُ أحمد، وأبو داود، والنسائي، والتِّرْمِذِيُّ وَصَحَّحَهُ .

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව බුස්රා බින්ත් සෆ්වාන් (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී.

කවරෙකු තම ලිංගය ස්පර්ශ කළේ ද එවිට ඔහු වුළුඃ ධෝවනය කර  ගත යුතුය.

අහ්මද්, අබූ දාවූද්, නසාඊ, ඉමාම් තිර්මිදි යන ඉමාම් වරු විසින් වාර්තා කොට ඇති අතර ඉමාම් තිර්මිදි මෙය පූර්ව සාධක සහිත හදීසයක් බව දන්වා සිටියි.

පවක් සිදුවීමෙන් පසු ද කාමාශාවෙන් යුතු ව ලිංගය ස්පර්ශ කිරීමෙන් පසු ද වුළුඃ ධෝවනය කර ගැනීම සතුටු දායකය. කාන්තාවක් කාමාශාවෙන් යුතු ව ස්පර්ශ කිරීමද එලෙසමය. 

විමසුම : පිරිසිදුභාවයේ ස්ථාවරත්වයේ සිට පසු ව එය අවලංගු කරවන යමක් සිදු වූ බවට සැකයක් මතු වූයේ නම් එහි මූලිකාංගය වනුයේ පිරිසිදුභාවයේ සිටින බවය. මීට සාධක වශයෙන් පහත සඳහන් හදීසය පිහිටයි. එනම්

وَعَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صلى الله عليه وسلم: { "إِذَا وَجَدَ أَحَدُكُمْ فِي بَطْنِهِ شَيْئًا، فَأَشْكَلَ عَلَيْهِ، أَخَرَجَ مِنْهُ شَيْءٌ، أَمْ لَا؟ فَلَا يَخْرُجَنَّ مِنْ الْمَسْجِدِ حَتَّى يَسْمَعَ صَوْتًا، أَوْ يَجِدَ رِيحًا }  أَخْرَجَهُ مُسْلِمٌ. 

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බවට අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

ඔබ අතුරින් කිසිවෙකු හෝ තම කුසෙහි යමක් දැක පසු ව ඉන් යමක් (වාතයක්) පිටවූයේ ද? නැති ද? යන්නෙන් සැකයක් ඇති වූ විටෙක ඔහු එහි හඬ කනට වැටෙන තුරු හෝ දුර්ගන්ධය දැනෙන තුරු හෝ එම මස්ජිදයෙන් (සලාතය අතහැර දමා) පිට වී නොයන්න.

මුස්ලිම් විසින් එය හෙළිදරව් කර ඇත.

නීතිය හා රීතිය වනුයේ : ස්ථීරභාවය සැකය තුළින් ඉවත් නොවන බවය.

එමෙන්ම තමන් කිලිටිභාවයේ ස්ථාවරත්වයේ සිට පසුව පිරිසිදුකම ගැන තමන් පිරිසිදු ද නැද්ද යන්නෙහි සැකයක් ඇති වූ විටෙක එහි මූලිකාංගය වනුයේ කිලිටිභාවයේ සිටින බවය.


 ස්නානය කිරීමේ නීතිය

පහත සඳහන් නියමිත ක්‍රමයකට අනුව මුළු ශරීරයම ආවරණය කරන පරිදි ජලය භාවිත කොට ස්නානය කිරීමය.

එයට සාධක වශයෙන් අල්ලාහ් අවධාරණය කරන අල් කුර්ආන් 5: 6 වැනි පාඨය පිහිටයි.

وَإِنْ كُنْتُمْ جُنُبًا فَاطَّهَّرُوا

නුඹලා (ස්නානය අනිවාර්යය කරන) කිලිටිභාවයෙන් පසුවන්නේ නම් එවිට නුඹලා (ස්නානය කොට) පිරිසිදු වන්න.

ස්නානය අනිවාර්යය කරවන කරුණු හයකි.

1- පිරිමියකුගේ ලිංග මාර්ගයෙන් ශුක්‍රාණු හෝ කාන්තාවකගේ යෝනි මාර්ගයෙන් ඩිම්බ පිටවීම. අවදියෙන් සිටිය දී හෝ නින්දෙහි සිටිය දී හෝ එය පිටවිය හැක.

අවදියෙන් සිටිය දී පිට වූයේ නම් එය පිටවන විට කාමාශාවෙන් යුතු ව පිටවීම කොන්දේසියක් ලෙස පැන වේ. කාමාශාවකින් තොර ව පිට වූයේ නම් ස්නානය අනිවාර්යය නොවේ. එය රෝගී තත්ත්වයක හෝ එය රඳා පවත්වා ගත නොහැකි තත්ත්වයක හෝ වෙනත් යම් හේතුවක් මත හෝ පිටවීම මෙන්ය.

නින්දේ දී පිට වූයේ නම් එය ඉහ්තිලාම් යනුවෙන් නම් කරයි. පොදුවේ ස්නානය කිරීම අනිවාර්යය වේ. හේතුව එය තමන් නොදැනුවත්වම පිටවන බැවින් හා කාමුක හැඟීමෙන් පිටවූයේ ද නැද්දැ යි යන්න වටහා ගත නොහැකි බැවිනි. 

නිදමින් සිටින්නා නින්දෙන් අවදි වූ විට යම් තෙතමනයක් දුටු විට එය පහත සඳහන් කරුණු වලින් එකක් වීම සැඟවිය නොහැකි කරුණකි.

පළමුව: තමන් එය ශුක්‍රාණු යැයි දැන ගැනීම. එවිට පොදුවේ ස්නානය අනිවාර්යය කරයි.

දෙවනුව : ශුක්‍රාණු නොවන බව දැන ගැනීම. එවිට ස්නානය අනිවාර්යය නොවේ. නමුත් පවතින දෑ පිරිසිදු කර ගත යුතුය.

තුන්වැන්න : එම කරුණ සම්බන්ධයෙන් සැකයෙන් පසුවීම. එවිට ස්නානය ඔහු කෙරෙහි අනිවාර්යය නොවේ. නමුත් ඔහු ඇති වූ දෑ පිරිසිදු කර ගත යුතුය.

2- ලිංගය යෝනිය හරහා ඇතුළු කිරීම. ඉන් අදහස් වනුයේ ලිංග්‍රාග්‍රය යෝනිය තුළට බහාලීමය. එසේ සංසර්ගය යෙදෙන විට දී දෙදෙනාටම ශුක්‍රාණු පිට නොවූව ද ස්නානය කර ගැනීම අනිවාර්යය. මෙය ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කළ හදීසය තහවුරු කරයි. එනම්,

عَنْ عَائِشَةَ رَضِيَ اللهُ عَنْهَا قَالَتْ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ " إِذَا جَلَسَ بَيْنَ شُعَبِهَا الْأَرْبَعِ وَمَسَّ الْخِتَانُ الْخِتَانَ فَقَدْ وَجَبَ الْغُسْلُ  " رواه مسلم وفي لفظ : " وإن لم ينزل"

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) පැවසූ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී.  ඇයගේ පැති කඩ හතරක් මත වාඩි වී ලිංගය යෝනිය සමඟ ස්පර්ශ වූ විට ස්නානය අනිවාර්යය විය. මෙය ඉමාම් මුස්ලිම් තුමා විසින් වාර්තා කොට ඇති අතර තවත් ප්‍රකාශයක ‘ශුක්‍රාණු පිට නොවූවද’ යැයි සඳහන් ව ඇත.          

3- දේව ප්‍රතික්ෂේපකයකු ඉස්ලාමය වැළඳ ගැනීම

කෙනෙකු ඉස්ලාමය වැලඳ ගත් විට ඔහු කෙරෙහි ස්නානය කිරීම අනිවාර්යය වේ. හේතුව කය්ස් බින් ආසිම් තුමා ඉස්ලාමය වැලඳ ගත කල්හි ස්නානය කර ගන්නා ලෙස නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔහුට අණ කළ බව අබූ දාවූද් නසාඊ තිර්මිදි යන ඉමාම් වරු විසින් දන්වා ඇත.

තවත් විටෙක සුමාම ඉබ්නු අසාල් තුමා ද ඉස්ලාමය වැලඳ ගත් කල්හි ස්නානය කර ගන්නා ලෙස එතුමා ඔහුට අණ කළ බව අහ්මද් තුමා හා අබ්දුර් රස්සාක් තුමා තම ග්‍රන්ථ වල සඳහන් කොට ඇත. 

            4, 5 - හයිල් හෙවත් ඔසප් තත්ත්වය හා නිෆාස් හෙවත් දරු ප්‍රසූතියෙන් පසු ඇති වන රුධිර වහනය.

අල් කුර්ආන් 2: 222 වැනි පාඨයේ

فَإِذَا تَطَهَّرْنَ

ඔවුන් පිරිසිදු වූ විට ...... යනුවෙන් අල්ලාහ් අවධාරණය කරයි. මෙයින් අදහස් වන්නේ ඔසප් තත්ත්වයේ පසු වන කාන්තාවන් රුධිර වහනය නතර වූවායින් පසු ස්නානය කොට පිරිසිදු වීමය.

ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය වාර්තා කළ හදීසයක ද මෙසේ සඳහන් වේ.

عَنْ عَائِشَةَ رضي الله عنها قَالَتْ قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : "إِذَا أَقْبَلَتْ الْحَيْضَةُ فَدَعِي الصَّلَاةَ وَإِذَا أَدْبَرَتْ فَاغْسِلِي وَصَلِّي" رواه البخاري وغيره.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැවසූ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී.

ඔසප් තත්ත්වය ඇති වූයේ විට ඔබ සලාතය අතහැර දමන්න. එය පසු වූ විට ඔබ ස්නානය කොට සලාතය ඉටු කරන්න.  මූලාශ්‍රය : බුහාරි ඉමාම් ඇතුළු ව වෙනත් අය.

6-  මරණයට පත්වීම. උම්මු අතිය්යා (රළියල්ලාහු අන්හා) තුමියගේ හදීසය මීට සාධක වශයෙන් පිහිටයි. එනම්,

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ දියණියක් මිය ගිය අවස්ථාවේ ඇය ව ස්නානය කරන කාන්තාවන්ට එතුමා මෙසේ පවසා සිටියහ.

ඇය ව තුන් වරක් හෝ පස්වරක් හෝ ඊට අධික ව හෝ නාවන්න. (මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්)

ස්නානය කිරීමේ ක්‍රමය:

ස්නානය කිරීමේ ක්‍රම දෙකක් ඇත.

පළමුවැන්න : පූර්ණ ලෙස ස්නානය කිරීමේ ක්‍රමය. එය වාජිබ් හෙවත් අනිවාර්යය ක්‍රියා හා මුස්තහබ් හෙවත් සතුටු දායක ක්‍රියා පිළිපදිමින් ස්නානය කිරීමය. එනම්,

-         හදවතින් අදිටන් කිරීම

-         පසු ව බිස්මි පවසා තුන් වරක් දෑත් සෝදා තම ලිංගය ද සෝදා ගැනීම.

-         පසුව තම දෙපා සමඟම පූර්ණ ලෙස වුළුඃ ධෝවනය කර ගැනීම. ඇතැම් විට ස්නානය අවසානයේ සේදීම සඳහා දෙපා සේදීම ප්‍රමාද කරයි. 

-         පසු ව තම හිසට තුන් වරක් ජලය වක් කර ගැනීම. එහි හිසකෙස්හි මුලට ජලය ගලන්නට සැලැස්වීම.

-         පසු ව මුළු ශරීරයම ආවරණය වන පරිදි එක් වරක් ස්නානය කර ගැනීම. දකුණු පැත්තෙන් ආරම්භ කිරීම ද ජලය ගලා යන පරිදි තම දෑතින් අතුල්ලා සේදීම ද සතුටුදායකය.

-         පසු ව ඉහත කී පරිදි වුළුඃහි උසුරන ලද ප්‍රාර්ථනාවන් ගෙන මෙහිද උසුරීම

දෙවන්න : අනුමත ස්නානයේ ක්‍රමය. එනම් අදිටන් කර ගනිමින් කට හා නාසය සෝදා පිරිසිදු කර ගනිමින් මුළු ශරීරයම ආවරණය වන පරිදි ස්නානය කර ගැනීමය. 

විමසුම : නිය්යත් හෙවත් අදිටන් කිරීමේ අවස්ථාවන් ඇත.

පළමුව : තමන් අතිරේක ස්නානය හෝ අනිවාර්යය ස්නානය කරන බවට අදිටන් කිරීම. මෙහිදී දෙකින් එකක් අදිටන් කළ ද එමගින් අනෙක අනුමත වනු ඇත.

දෙවනුව : මහා හා සුළු කිල්ලෙන් බැහැර වන බවට හෝ පොදුවේ කිල්ලෙන් බැහැර වන බවට හෝ සලාතය ඉටු කිරීම වෙනුවෙන් හෝ අල් කුර්ආනය පාරායනය කිරීම වෙනුවෙන් හෝ යැයි අදිටන් කොට ස්නානය කිරීමෙන් මහා කිල්ල හා සුළු කිල්ල යන අවස්ථා දෙකින් මිදෙනු ඇත. 

තුන්වනුව : මහා කිල්ලෙන් බැහැර වන බවට අදිටන් කිරීම. මෙමගින් කිලිටි වර්ග දෙකින්ම ඉවත් වනු ඇත.

 තයම්මුම්හි නීති රීති පිළිබඳ පාඩම

තයම්මුම් යන්නෙහි භාෂාමය අදහස පැතුමයි.

රීතියානුකූල ආගමික අදහස : නියමිත ක්‍රමයක් පිළිපදිමින් මුහුණ හා අත් දෙක පිරිසිදු පසින් පිරිමැදීමෙන් අල්ලාහ්ට කරන නැමදුමකි.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා සිටියි.

يَا أَيُّهَا الَّذِينَ آَمَنُوا إِذَا قُمْتُمْ إِلَى الصَّلَاةِ فَاغْسِلُوا وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ وَامْسَحُوا بِرُءُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى الْكَعْبَيْنِ وَإِنْ كُنْتُمْ جُنُبًا فَاطَّهَّرُوا وَإِنْ كُنْتُمْ مَرْضَى أَوْ عَلَى سَفَرٍ أَوْ جَاءَ أَحَدٌ مِنْكُمْ مِنَ الْغَائِطِ أَوْ لَامَسْتُمُ النِّسَاءَ فَلَمْ تَجِدُوا مَاءً فَتَيَمَّمُوا صَعِيدًا طَيِّبًا فَامْسَحُوا بِوُجُوهِكُمْ وَأَيْدِيكُمْ مِنْهُ مَا يُرِيدُ اللَّهُ لِيَجْعَلَ عَلَيْكُمْ مِنْ حَرَجٍ وَلَكِنْ يُرِيدُ لِيُطَهِّرَكُمْ وَلِيُتِمَّ نِعْمَتَهُ عَلَيْكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ

අහෝ ! විශ්වාස කළවුනි, නුඹලා සලාතයට සූදානම් වූ විට නුඹලාගේ මුහුණු ද නුඹලාගේ අත් මැණික් කටුව දක්වා ද සෝදා ගනු. තවද නුඹලාගේ හිස් (ජලයෙන්) පිරිමදිනු. තවද නුඹලාගේ පාද ද වළලු කර දක්වා සෝදා ගනු. නුඹලා ස්නානය අනිවාර්යය වූ කෙනෙකු ව සිටින්නෙහු නම් (ස්නානය කොට) පිරිසුදු කර ගනිවු. නමුත් නුඹලා රෝගී ව හෝ යම් ගමනක නිරත ව සිටියෙහු නම් හෝ නුඹලා අතුරින් කිසිවකු මළමූත්‍රා පහ කොට පැමිණියේ නම් හෝ නුඹලා (නුඹලාගේ) බිරියන් (ලිංගික ව) ස්පර්ශ කළෙහු නම් තවද නුඹලා ජලය නොලැබුවෙහු නම් පිරිසිදු පසින් නුඹලාගේ මුහුණුද නුඹලාගේ අත් ද පිරිමදිනු. නුඹලාට කිසිදු දුෂ්කරතාවක් ඇති කිරීමට අල්ලාහ් අපේක්ෂා නොකරයි. නමුත් නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස නුඹලා ව පිරිසිදු කිරීමටත් ඔහුගේ ආශිර්වාදයන් නුඹලා කෙරෙහි පූර්ණවත් කිරීමටත් අපේක්ෂා කරයි. (අල් කුර්ආන් 5 : 6)

කුර්ආනයේ සඳහන් වන පරිදිම අල්ලාහ්ගේ දූතයාණන්ගේ ප්‍රකාශයන්හි ද සමාජයේ සමස්ත විද්වතුන්ගේ ඒකමතික තීන්දුහිද සඳහන් ව ඇත. මෙය මෙම සමාජයට පිරිනමනු ලැබූ මහත් වරප්‍රසාදයකි. එය අල්ලාහ් අපට තෝරා දී ඇත. මේ හා පුළුල් පිරිසිදු ක්‍රමයක් හා වඩාත් යහපත් ක්‍රමයක් වෙනත් කිසිදු සමූහයකට ඔහු ඇති නොකළේය.  මේ පිළිබඳ ව බුහාරි හා මුස්ලිම් ඇතුළු ව වෙනත් ග්‍රන්ථ වල සඳහන් හදීසයන් දෙස යොමු වී බැලිය හැක. එනම්,

عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ رَضِيَ اللَّهُ عَنْهُمَا; أَنَّ النَّبِيَّ صلى الله عليه وسلم قَالَ: "أُعْطِيتُ خَمْسًا لَمْ يُعْطَهُنَّ أَحَدٌ قَبْلِي: نُصِرْتُ بِالرُّعْبِ مَسِيرَةَ شَهْرٍ, وَجُعِلَتْ لِي الْأَرْضُ مَسْجِدًا وَطَهُورًا, فَأَيُّمَا رَجُلٍ أَدْرَكَتْهُ الصَّلَاةُ فَلْيُصَلِّ" وفي لفظ : "فعنده مسجده وطهوره" 

සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

මට පෙර කිසිවෙකු ට පිරි නොනැමූ කරුණු පහක් මට පිරිනමනු ලැබීය. මහපොළොව මුළුමණින්ම නමදින ස්ථානයක් ලෙස ද පිරිසිදු ස්ථානයක් ලෙස ද පත් කරන ලදී. මිනිසෙකු කොතැනක සිටියත් ඔහුට සලාතයේ වේලාව පැමිණියේ නම් ඔහු එහි සලාතය ඉටු කරත්වා!

(මූලාශ්‍රය: අහ්මද්, බයිහකී)

තවත් ප්‍රකාශයක :  එම ස්ථානය ඔහුගේ මස්ජිදයයි. ඔහුගේ පිරිසිදු ස්ථානයයි යනුවෙන් සඳහන් ව ඇත.

තයම්මුම්හි නීතිය:

ජලය ලැබෙන තෙක් හෝ ජලය භාවිත කිරීමට නොහැකි වූ බාධකය ඉවත් වන තෙක් හෝ තයම්මුම් ක්‍රියාවලිය කිලිටි ඉවත් කරයි. ජලය ලැබුණු විටෙක එසේ නැතහොත් තයම්මුම් කිරීමට හේතු වූ සාධකය ඉවත් වූ විටෙක ඔහුගේ තයම්මමු ශූන්‍ය වේ.

ජලය වෙනුවට තයම්මුම් සිදු කරන අවස්ථාවන් :

පළමුව : ජලය නොමැති වූ විටෙක එම ස්ථානයේ හෝ ඊට සමීපයෙන් හෝ ජලය ඇති බව නොදන්නා විටෙක අල්ලාහ් පවසන පරිදි එසේ තයම්මුම් කර ගත යුතුය.

فَلَمْ تَجِدُوا مَاءً فَتَيَمَّمُوا

නුඹලා ජලය නොලැබුවෙහු නම් එවිට තයම්මුම් කර ගනු. (අල් කුර්ආන් 5:6) එය පදිංචි ස්ථානයේ හෝ ගමන් ගන්නා ස්ථානයේ දී හෝ නොවූව ද එය සොයා නොලැබුණු විටෙක හෝ වුව ද එක සමානය. 

දෙවනුව : බීමට හා ආහාර පිසීමට අවශ්‍ය ජලය පමණක් තිබෙන විටෙක. එනම් එම ජලය පිරිසිදු කිරීම සඳහා භාවිත කළ විටෙක තම මූලික අවශ්‍යතා සපුරා ගැනීමේදී අපහසුතාවක් ඇති වේ. බීමට ජලය සුරක්ෂා නොකොට එසේ පිරිසිදු කිරීම සඳහා භාවිත කළ විට පිපාසය හේතුවෙන් තම ජීවිතයට හෝ සෙසු අයගේ ජීවිතයට හෝ සතුන්ගේ ජීවිතයට හෝ යම් බලපෑමක් ඇති වන්නට පුළුවන.

තුන්වනුව : ජලය භාවිත කළ විටෙක රෝගී බව හේතුවෙන් තම ශරීරයට බලපෑම් ඇති වේ. එසේ නැතිනම් සුව වීමට ප්‍රමාද වේ. එම තුවාලය පෑරේ. අමාරු වේ යැයි බියක් ඇති වූ විටෙක. ඉහත සඳහන් අල් කුර්ආන් 5: 6 වැනි පාඨයෙන්  අල්ලාහ් මෙය අවධාරණය කරයි. එනම්

وَإِنْ كُنْتُمْ مَرْضَى أَوْ عَلَى سَفَرٍ أَوْ جَاءَ أَحَدٌ مِنْكُمْ مِنَ الْغَائِطِ أَوْ لَامَسْتُمُ النِّسَاءَ فَلَمْ تَجِدُوا مَاءً فَتَيَمَّمُوا

නමුත් නුඹලා රෝගී ව හෝ යම් ගමනක නිරත ව සිටියෙහු නම් හෝ නුඹලා අතුරින් කිසිවකු මළමූත්‍රා  පහ කොට පැමිණියේ නම් හෝ නුඹලා (නුඹලාගේ) බිරියන් (ලිංගික ව) ස්පර්ශ කළෙහු නම් තවද නුඹලා ජලය නොලැබුවෙහු නම් පිරිසිදු පසින් නුඹලාගේ මුහුණුද නුඹලාගේ අත් ද පිරිමදිනු.

ජලය ඇත්තේ ඇතැම් අවයව සේදීම සඳහා පමණක් නම් එය හැකි පමණින් එම අවයව හා ශරීරය සඳහා භාවිත කළ යුතුය. ජලයෙන් සේදීම සඳහා ප්‍රමාණවත් නොවූ ඉතිරි අවයව වෙනුවෙන් තයම්මුම් කළ යුතු වේ. උත්තරීතර අල්ලාහ් අල් කුර්ආන් 64: 16 වැනි පාඨයෙන් මෙසේ අවධාරණය කරයි.

فَاتَّقُوا اللَّهَ مَا اسْتَطَعْتُمْ

නුඹලාට හැකි පමණින් අල්ලාහ්ට බිය බැතිමත් වනු.

තයම්මුම්හි ෆර්ලු හෙවත් අනිවාර්යය මූලිකාංග

1-     මුහුණ පිරිමැදීම

2-     මැණික් කටු දක්වා දෑත් පිරිමැදීම

3-     මුහුණ හා දෑත් අතර පිළිවෙල හා අඛණ්ඩතාව රැකීම.

විමසුම: තයම්මුම් කරන දෑ

තයම්මුම් කරන දෑ කොටස් දෙකකට බෙදේ.

පළමුව : පස් වැලි ගල් කළුගල් හෝ එවැනි මහපොළොවට ආවේණික වර්ගයක් වීම. පොදුවේ එවන් දෑ මත තයම්මුම් කිරීම නිවැරදි වේ. උත්තරීතර අල්ලාහ් අල් කුර්ආන් 4:43 වැනි පාඨයෙන් මෙසේ පවසයි.

فَتَيَمَّمُوا صَعِيدًا طَيِّبًا

පිරිසිදු පසින් තයම්මුම් කරනු. (අල් කුර්ආන් 5:6)

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හා එතුමාගේ මිතුරන් සලාතයේ වේලාව ඔවුන් වෙත පැමිණි විට ඔවුන් සලාතය ඉටු කරන භූමියේම පිරිසිදු පසින් හෝ වෙනත් දැයකින් හෝ තයම්මුම් කර ගනිති. ඔවුන් පස් උසුලා ගෙන ගියේ නැත.

දෙවැන්න : ඇතිරිල්ලක් ලෑලි කොටයක් යකඩයක් වැනි මහපොළොවට ආවේණික නොවූ වර්ගයක් වීම. මෙහි දී ඒවා මත දූවිලි තිබිය යුතුය යන කොන්දේසිය පැන වේ.

තයම්මුම් කරන ක්‍රමය:

දෑතින් පසට ගසා පසුව මුහුණ පිරිමැද අනතුරු ව දෑත් පිරිමැදීමය. දෙමුරයක් පසට ගසන්නේ නම් ඉන් එක් මුරයකින් මුහුණ පිරි මැද දෙවැනි මුරයෙන් දෑත් පිරිමදින්නේ නම් එය ද අනුමතය. නමුත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් පැවත එන ක්‍රමය වනුයේ මුල් ක්‍රමයයි. දෙමුරයකින් තයම්මුම් කිරීමේ ක්‍රමය  සහාබාවරුන්ගෙන් පැවත ආ කරුණකි.

තයම්මුම් අවලංගු වනුයේ

1-     සුළු කිල්ලට හසු වූ විටෙක එනම් වුළු අවලංගු කර වන යමක් ඇති වූ විටෙක හෝ මහා කිල්ලට හසු වූ විටෙක එනම් ජනාබත් තත්ත්වය ඔසප් තත්ත්වය හා නිෆාස් තත්ත්වයට පත් වූ විටෙක. හේතුව යමක් වෙනුවට කිරීමේදී එම කරුණට අදාළ නීතිය ද එයට බලපාන බැවිනි.

2-     ජලය නොමැතිකම හේතුවෙන් තයම්මුම් කර ඇත්නම් ජලය ලැබුණු විටෙක තයම්මුම් අවලංගු වේ. එමෙන්ම තයම්මුම් කිරීම සඳහා දහම අනුමත කළ රෝගී භාවය වැනි බාධක ඉවත් වූ විටෙක තයම්මුම් ද අවලංගු වේ.

ජලය හෝ පස් නොමැති විටෙක හෝ  ජලය හෝ පස් ස්පර්ශ කිරීමට නොහැකි අවස්ථාවක් උදා වූ විටෙක වුළුඃ හෝ තයම්මුම් කිරීමෙන් තොරව පවතින තත්ත්වය අනුව සලාතය ඉටු කරයි. හේතුව කිසිවකුට ඉසිලිය නොහැකි බරක් අල්ලාහ් නොපටවන බැවිනි. නැවතත් සලාතය ඉටු කිරීමේ අවශ්‍යතාවක් නොපවතී. හේතුව ඔහු කවර දෙයක් අණ කර තිබේ ද එය පිළිපදින බැවිනි. උත්තරීතර අල්ලාහ් අල් කුර්ආන් 64: 16 වැනි පාඨයෙන් මෙසේ අවධාරණය කරයි.

فَاتَّقُوا اللَّهَ مَا اسْتَطَعْتُمْ

නුඹලාට හැකි පමණින් අල්ලාහ්ට බිය බැතිමත් වනු.

එමෙන්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පවසා සිටියහ. මා කුමක් හෝ නියෝගයක් නුඹලාට නියෝග කර ඇත්නම් ඉන් ඔබේ ශක්තියට හැකි දෑ පිළිපදින්න.

විමසුම : සලාතය ඉටු කිරීමට පෙර ජලය ලැබුණේ නම් තයම්මුම් ශූන්‍ය වේ. එවිට වුළුඃ කර ගැනීම අනිවාර්යය. සලාතය ඉටු කිරීමෙන් පසු ලැබුණේ නම් එම සලාතය නිවැරදිය. සලාතය ඉටු කරන අතරවාරයේ ලැබුණේ නම් එවිට ඔහු එක් රකඅතයක් ඉටු කර ඇත්නම් ඔහු ඔහුගේ සලාතය පූර්ණ කළ යුතුය. එසේ නොමැතිනම් සලාතය අත්හිටුවිය යුතුය.

විමසුම : ජලය ලැබේවි යැයි දන්නේ නම් හෝ හැඟුණේ නම් හෝ ජලය ලැබෙන තෙක් සලාතය ප්‍රමාද කිරීම සතුටුදායකය. ඒ හේතුවෙන් සාමුහික ව ඉටු කිරීම වැනි අනිවාර්යය කරුණක් අතපසු නොවිය යුතුය. එසේ නොමැති නම් සලාතය ඉටු කළ යුතුය.

 නජීස් ඉවත් කිරීමේ නීතිරීති

සලාතය ඉටු කිරීමට සිතූ විටෙක කිලිටිවලින් පිරිසිදු වීම මුස්ලිම් වරයකුගෙන් අපේක්ෂා කරනු ලබන පරිදිම ශරීරය වස්ත්‍රය හා ස්ථානය අපවිත්‍ර දැයින් පිරිසිදුව තබා ගැනීම ද අපේක්ෂා කරනු ලැබේ.

උත්තරීතර අල්ලාහ් ඇඳුම පිරිසිදු කිරීම සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශ කර සිටියි.

وَثِيَابَكَ فَطَهِّرْ

ඔබේ වස්ත්‍රය ඔබ පිරිසිදු ගන ගන්න. (අල් කුර්ආන් 74 : 4) 

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අස්මා (රළියල්ලාහු අන්හා) තුමියට ඔසප් රුධිරය තැවරුණු ඇගේ ඇඳුම සෝදා ගන්නා මෙන් නියෝ කළහ. (මූලාශ්‍රය බුහාරි හා මුස්ලිම්)

ශරීර පිරිසිදුකම පිළිබඳ ව වූ කලී, මළ මූත්‍රා කිරීමෙන් පසු පිරිසිදු කිරීම අවධාරණය කරමින් පැමිණෙන හදීසයන් පෙර පැහැදිලි කිරීම් වල සඳහන් ව ඇත.

ස්ථාන පිරිසිදුකම පිළිබඳ ව වූ කලී, අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසය සාධක වශයෙන් පිහිටා ඇත.   එහි ගම්බද අරාබි ජාතිකයකු මූත්‍රා කළ ස්ථානයට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වතුර භාජනයක් වක් කළ බව සඳහන් ව ඇත. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

නජීස් දෑ පිරිසිදු කිරීමේ දී කරුණු දෙකක් ඇති වීමෙන් ඉවත් විය නොහැක.

පළමුව :  මහපොළොව මත හෝ ඒ හා බැඳුණු තාප්පයක් වළක් හෝ ගලක් වැනි දැයක් මත පිහිටා ඇති අපවිත්‍ර දෑ. එවිට එම අපවිත්‍ර දෑ ඉවත් ව යන පරිදි එක් වරක් සෝදා පිරිසිදු කිරීම ප්‍රමාණවත් වේ. එහි අර්ථය වනුයේ ඒ මත එක් වරක් ජලය වක් කිරීමෙන් ඒ සමඟම එම අපවිත්‍ර දෑද ගලා යෑමය. මස්ජිදය තුළ ගම්බද අරාබි ජාතිකයා මූත්‍රා කළ විට ඒ මත ජලය වක් කරන්නැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කළ නියෝගය මීට සාධක වශයෙන් දැක් වේ.

දෙවැන්න : මහපොළොවේ හෝ ඒ හා බැඳුණු තැනක හෝ නොමැති ව වෙනත් තැනක පිහිටා ඇති අපවිත්‍ර දෑ. එහි කොටස් කිහිපයක් වෙන් කර දැක්විය හැක.

පළමුවැන්න : නජාසා මුගල්ලලා හෙවත් දැඩි ගණයේ අපවිත්‍ර දෑ. එය සුනඛයාගේ අපවිත්‍රතාවය. එය සත් වරක් සෝදා ඉන් එක් වරක් පස් එකතු කිරීමය. එනම් සෝදන ලද වාරයන්හි එක් වාරයක් පස් සම්බන්ධ කොට සේදීමය.

عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللهُ عَنْهُ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: "طُهُورُ إنَاءِ أَحَدِكُمْ إذَا وَلَغَ فِيهِ الْكَلْبُ أَنْ يَغْسِلَهُ سَبْعَ مَرَّاتٍ ، أُولَاهُنَّ بِالتُّرَابِ"  أَخْرَجَهُ مُسْلِمٌ . وَفِي لَفْظٍ لَهُ " فَلْيُرِقْهُ " ، وَلِلتِّرْمِذِيِّ " أُخْرَاهُنَّ ، أَوْ أُولَاهُنَّ " .

ඔබ කිසිවෙකුගේ භාජනයක් සුනඛයා ලෙව කෑ විට එය පිරිසිදු වනුයේ සත් වරක් සේදීමෙනි. ඉන් ප්‍රථම වාරය පසින් විය යුතු යැයි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී.        (මූලාශ්‍රය: මුස්ලිම්)

සෝදන මුල්ම අවස්ථාවේ පස් යෙදීම වඩාත් උචිතය. 

දෙවැන්න : නජාසා මුහෆ්ෆෆා හෙවත් සැහැල්ලු ගණයේ අපවිත්‍ර දෑ. එය ස්ව කැමැත්තෙන් ආහාර නොගන්නා පිරිමි දරුවාගේ මූත්‍රා වේ. එමෙන්ම මදී හෙවත් නොදැනුවත් ව ගලන මැලියම් සහිත ද්‍රාවණය

මෙහිදී ජලය ඉසීම ප්‍රමාණවත් වේ. ඊට සාධක වශයෙන් පහත සඳහන් උම්මු කයිස් තුමියගේ හදීසය පිහිටා ඇත.

කිසිදු අහාරයක් අනුභව නොකළ ඇයගේ කුඩා දරුවා සමඟ ඇය අල්ලාහ්ගේ දූතයාණන් වෙත පැමිණියාය. පසු ව එතුමාගේ උකුලේ වාඩි කෙරෙව්වේය. ඔහු එතුමාගේ ඇඳුමෙහි මූත්‍රා කළේය. එවිට එතුමා ජලය ගෙන්වා ගෙන එයට ඉස්සේය. නමුත් එතුමා එය සේදුවේ නැත. (මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්)

ස්ව කැමැත්තෙන් ආහාර තෝරා අනුභව කරන්නේ නම් එවිට එවැනි දරුවකුගේ මූත්‍රාද වැඩිහිටියකුගේ මූත්‍රා මෙනි. එමෙන්ම කුඩා දැරියකගේ මූත්‍රාද වැඩිහිටියකුගේ මූත්‍රා මෙනි. මේ කී සියලු අවස්ථාවන් හි සෙසු අපවිත්‍ර දෑ සෝදනවාක් මෙන් සෝදනු ලැබේ.

තුන්වැන්න : නජාසා මුතවස්සිතා හෙවත් සාමාන්‍ය ගණයේ අපවිත්‍ර දෑ. ඉහත සඳහන් කොටස් දෙක හැර දැරියකගේ මූත්‍රා වැඩිහිටි අයගේ මූත්‍රා වහනය වන රුධිරය වැනි සෙසු අපවිත්‍ර දෑ මේ ගණයට අයත් වේ. එය පිරිසිදු වී ඇතැයි තමන් සිතන තරමට සේදීමෙන් එය පිරිසිදු භාවයට පත් වේ.

විමසුම : ඔටු ගව හා එළු වැනි ආහාරය සඳහා අනුමත සතුන්ගේ මළමූත්‍රා පිරිසිදුය. හේතුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සදකාවට නියමිත ඔටුවන් තමන් වෙත භාර දෙන මෙන් අර්නිය්යා ගෝත්‍රය වෙත නියෝග කළහ. එවිට ඔවුන් උන්ගේ මූත්‍රා හා උන්ගේ කිරි පානය කරමින් සිටියහ. (මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්)

එමෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් පැවසූ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරයි.

ඔබ එළු පට්ටියේ සලාතය ඉටු කරන්න. නමුත් ඔටුවන් ජලය බොන ස්ථානයේ සලාතය ඉටු නොකරන්න. 

මෙය ඉමාම් අහ්මද් හා ඉමාම් තිර්මිදි තුමා විසින් දන්වා ඇති අතර ඉමාම් තිර්මිදි මෙය පූර්ව සාධක හදීසයක් බව සඳහන් කරයි. 

විමසුම :

නජීස් හෙවත් අපවිත්‍ර දෑ :

1-     සිංහ වලස් කොටි වැනි උන්ගේ මාංශ අනුභව කිරීමට තහනම් සතුන්.

මීට සාධක වශයෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා බළළුන් පිළිබඳ පවසා සිටි හදීසය දැක්විය හැක. ‘සැබැවින්ම ඌ නජීස් නොවේ. ඌ ඔබ අතර ගැවසෙන සත්වයකි’ යැයි එතුමා පවසා සිටියහ.

මෙය ඉමාම් තිර්මිදී ඇතුළු වෙනත් ඉමාම් වරු විසින් ද වාර්තා කොට ඇත.

මේ අනුව ඌ හැර වළක්වා ගැනීමට අසීරු නොවන සෙසු සතුන් නජීස් බව මෙයින් පෙන්වා දෙයි. නමුත් මේ නීතියෙන් මිනිස් වර්ගයා වෙන් වෙයි. ඔහු දේව ප්‍රතික්ෂේපකයකු වුව ද පිරිසිදුය. එමෙන්ම ගෝනුස්සන් මකුණන් මදුරුවන් වැනි රුධිර ගමනය නොමැති සතුන් ද වෙන් වෙති. තවද බළළුන් බූරුවන් වැනි වළක්වා ගැනීමට අසීරු වන සතුන් ද වෙන් වෙති. හේතුව උන් නිතර ගැවසෙන බැවිනි. මේ සියල්ල පිරිසිදුය. උන්ගේ දහඩිය උන්ගේ කෙළ උන්ගේ රෝම පිරිසිදුය.

2-     මංශ අනුභවයට තහනම් වූ සතුන්ගෙන් පිට වන මළ මූත්‍රා හා රුධිරය වැනි දෑ. මේවා නජීස් වේ. නමුත් මිනිසා මින් වෙන් වෙයි. මිනිසාගේ කෙළ දහඩිය කිරි කාන්තාවකගේ යෝනි මාර්ගයේ පවතින තෙත ගතිය හමන ගද වැනි දෑ අපිරිසිදු නොවේ. එමෙන්ම රුධිර ගමනය නොමැති සතුන්ගෙන් පිට වන දෑ ද ඉහත කී පරිදි වළක්වා ගැනීමට අසීරු සතුන්ගේ කෙළ හා දහඩිය ද අපිරිසිදු නොවේ.

3-     මුහුදු සතුන් මිනිස් දේහය හා රුධිර ගමන් කිරීමක් නොමැති සතුන් හැර මිය ගිය සෙසු සියලු දෑ නජීස්ය.

4-     සත්වයින්ගෙන් වෙන් වූ කොටස් නජීස්ය. නමුත් රෝම පිහාටු ලෝම අං කුර වැනි දෑ හා මිනිස් කොටස් මින් වෙන් වෙයි.

5-     සතුන් කපන විට පිට වී ගලා යන රුධිරය හා සතුන් ජීවත් ව සිටින විට උන්ගෙන් පිට වන රුධිරය නජීස් වන නමුත් මිනිස් රුධිරය. මිනිසාගේ ලිංගාශ්‍රයෙන්  පිට වන රුධිරය ඒ හැර වෙනත් රුධිරය නජීස් නොවේ.


 හයිල් හෙවත් ඔසප් තත්ත්වය හා නිෆාස් හෙවත් දරු ප්‍රසූතියකින් පසු පවතින තත්ත්වය පිළිබඳ නීති රීති

පළමුව :  හයිල් හා එහි නීති රීති.

හයිල් යනු භාෂාමය අර්ථය ගලා යාමය.

රීතියනුකූල ආගමික අර්ථය වනුයේ නියමිත කාල සීමාවක් තුළ කාන්තාවකගෙන් වහනය වන ස්වභාවික රුධිරයයි.

විමසුම: මෙම තත්ත්වය සීමිත වයස් සීමාවකට හෝ සීමිත දින ගණනකට පමණක් සීමා වන්නේ ද? එනම් කාන්තාවකට ඇති වන ඔසප් තත්වය ආගමනුකූලව සලකනු ලබනුයේ නියමිත වයස් සීමාවක් තුළ හෝ නියමිත දින ගණනාවක් තුළ ඇති වන රුධිර වහනය පමණක් යැයි සිතිය හැකි ද?

නිවැරදි අදහස වනුයේ අල් කුර්ආන් 2:222 වැනි පාඨයෙන් අල්ලාහ් පවසන පරිදි හයිල් නම් ඔසප් තත්ත්වය වයස් සීමාවකට හෝ දින ගණනකට පමණක් සීමා නොවූවක් බවය. එනම්

وَيَسْأَلُونَكَ عَنِ الْمَحِيضِ قُلْ هُوَ أَذًى فَاعْتَزِلُوا النِّسَاءَ فِي الْمَحِيضِ وَلَا تَقْرَبُوهُنَّ حَتَّى يَطْهُرْنَ فَإِذَا تَطَهَّرْنَ فَأْتُوهُنَّ مِنْ حَيْثُ أَمَرَكُمُ اللهُ إِنَّ اللهَ يُحِبُّ التَّوَّابِينَ وَيُحِبُّ الْمُتَطَهِّرِينَ (222)

තවද ඔසප්භාවය පිළිබඳ ව ඔවුහු නුඹගෙන් විමසති. එය කිලිටකි. එබැවින් ඔසප් සමයේ බිරියන්ගෙන් ඉවත් වනු. ඔවුන් පිරිසිදු වන තෙක් නුඹලා ඔවුනට (ලිංගික ඇසුරට) සමීප නොවනු. ඔවුන් පිරිසිදු වූ කල්හි අල්ලාහ් නුඹලාට අණ කළ පරිදි ඔවුන් වෙත යනු. සැබැවින්ම අල්ලාහ් පශ්චාත්තාපයේ නියැළෙන්නන් හා පිරිසිදු ව සිටින්නන්ට ප්‍රිය කරන්නේය යැයි පවසනු. (අල් කුර්ආන් 2:222)

කාන්තාවකට සාමාන්‍ය පරිදි ඇති වන්නා වූ රුධිර වහනය කාන්තාවක් දුටුවහොත් එම අවස්ථාවේ එම කාන්තාව ඔසප් තත්ත්වයේ කාන්තාවන් පිළිපදින නීති රීති පිළිපැදිය යුතුය. නියමිත වයස් සීමාවක හෝ නියමිත දින ගණනක සිදු විය යුතු යැයි සීමා වන්නේ නැත.

ඔසප් තත්ත්වයේ පසු වන කාන්තාවක් එම කාල පරිච්ඡේදය තුළ හා එය අවසන් වූ තත්ත්වයක පිළිපැඳිය යුතු නීති රීති අල් කුර්ආනයේ හා සුන්නාහ්වේ විස්තරාත්මක ව සඳහන් වේ.

1-     ඔසප් තත්ත්වයේ ඇය සලාතයට ඉටු නොකළ යුතුය. එමෙන්ම උපවාසයේ නිරත නොවිය යුතුය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ෆාතිමා බින්ත් අබී හුබෙයිෂ් (රළියල්ලාහු අන්හා) තුමියට මෙසේ ප්‍රකාශ කළහ. ඔබට ඔසප් තත්ත්වය ඇති වූ විට ඔබ සලාතය අතහරින්න. මූලාශ්‍රය බුහාරි. ඔසප් තත්ත්වයේ පසු වන කාන්තාවක් උපාවාසයේ නිරත වූවා නම් හෝ සලාතය ඉටු කළා නම් හෝ ඇයට උපවාසය හෝ සලාතය අනුමත නොවන්නේය. හේතුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා එය තහනම් කර ඇති බැවිනි. එසේ පනවන තහනම අනුමත නොවන්නක් බව තීන්දු කරයි.  නමුත් එය අල්ලාහ්ට හා ඔහුගේ රසූල්වරයාට පිටුපෑමක් බවට පත් වේ.

ඇය ඔසප් තත්ත්වයෙන් පිරිසිදු වූවා නම් ආගමික විද්වතුන්ගේ ඒකමතික තීන්දුව අනුව ඇය අත්හළ සලාතය හැර උපවාසය පමණක් නැවත ඉටු කළ යුතුය. ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය මෙසේ දන්වා සිටියි. අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කාලයේ අපි ඔසප් තත්ත්වයට පත් වූ විට උපවාසය නැවත ඉටු කරන මෙන් අපි අණ කරනු ලැබවෙමු. නමුත් සලාතය නැවත ඉටු කරන මෙන් අණ කරනු ලැබුවේ නැත. (මූලාශ්‍රය :  බුහාරි හා මුස්ලිම්)

හිරු උදා වී මොහොතකට පසු හෝ හිරු අවරට යෑමට මොහොතකට පෙර හෝ මිස ඇය පිරිසිදු නොවූයේ නම් ඇයගේ එදින උපවාසය නිවැරදි නොවේ. 

2-     බයිතුල්ලාහ් ව වටා තවාෆ් (ප්‍රදක්ෂණය) කිරීම ද ඇයට අනුමත නොවේ. එමෙන්ම ඇය මස්ජිදයේ රැඳී නොසිටිය යුතුය. මේ පිළිබඳ ව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කළ ප්‍රකාශයක් ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ දන්වා සිටි.

හජ් වන්දනාකරුවන් ඉටු කරන දෑ ඔබ ද ඉටු කරන්න. නමුත් ඔබ බයිතුල්ලාහ් ව තවාෆ් (ප්‍රදක්ෂණය) නොකරන්න. (මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්)

3-     ඇයගේ ඔසප් තත්ත්වය නතර වී ඇය ස්නානය කර ගන්නා තෙක් ඇයගේ සැමියා ඇය සමඟ ලිංගික සම්බන්ධතා ඇති කර ගැනීම ඔහුට තහනම් වන්නේය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා සිටියි. 

وَيَسْأَلُونَكَ عَنِ الْمَحِيضِ قُلْ هُوَ أَذًى فَاعْتَزِلُوا النِّسَاءَ فِي الْمَحِيضِ وَلَا تَقْرَبُوهُنَّ حَتَّى يَطْهُرْنَ فَإِذَا تَطَهَّرْنَ فَأْتُوهُنَّ مِنْ حَيْثُ أَمَرَكُمُ اللهُ إِنَّ اللهَ يُحِبُّ التَّوَّابِينَ وَيُحِبُّ الْمُتَطَهِّرِينَ

තවද ඔසප්භාවය පිළිබඳ ව ඔවුහු නුඹගෙන් විමසති. එය කිලිටකි. එබැවින් ඔසප් සමයේ බිරියන්ගෙන් ඉවත් ව සිටිනු. ඔවුන් පිරිසිදු වන තෙක් නුඹලා ඔවුනට (ලිංගික ඇසුරට) සමීප නොවනු. ඔවුන් පිරිසිදු වූ කල්හි අල්ලාහ් නුඹලාට අණ කළ පරිදි ඔවුන් වෙත යනු. සැබැවින්ම අල්ලාහ් පශ්චාත්තාපයේ නියැළෙන්නන් හා පිරිසිදු ව සිටින්නන්ට ප්‍රිය කරන්නේය යැයි පවසනු. (අල් කුර්ආන් 2:222)

මෙහි බිරියන්ගෙන් ඉවත් ව සිටිනු යන්නෙන් අදහස් කරනුයේ ඇය සමඟ ලිංගික ඇසුරෙන් වැළකී සිටින්න යන්නයි. ‘ඔබ සංසර්ගය හැර අනෙක් සියලු දෑ සිදු කර ගන්න’ යනුවෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. (මූලාශ්‍රය : මුස්ලිම්)  තවත් ප්‍රකාශයක ‘ලිංගික ඇසුර හැර’ යැයි සඳහන් ව ඇත. 

ඔසප් තත්ත්වයේ පසු වන කාන්තාව සමඟ සංසර්ගයේ නිරත නොවී ඇය ව ස්පර්ශ කිරීම සිප ගැනීම යනාදි ලෙස ඇයගෙන් පහස විදීම ඇයගේ සැමියාට අනුමතය.

4-     ඇය ඔසප් තත්ත්වයේ පසු වන විට ඇය ව දික්කසාද කිරීම ඇයගේ සමියාට අනුමත නොවේ. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා සිටියි.

يَا أَيُّهَا النَّبِيُّ إِذَا طَلَّقْتُمُ النِّسَاءَ فَطَلِّقُوهُنَّ لِعِدَّتِهِنَّ

නබිවරය, (ජනයින්ට මෙසේ පවසනු) ‘නුඹලා කාන්තාවන් දික්කසාද කරන්නේ නම් ඔවුන්ගේ ඉද්දාවෙහි (එනම් එය පටන් ගැනීමට සුදුසු කාලයෙහි) දික්කසාද කරවු.  (අල් කුර්ආන් 65 : 1) මින් අදහස් කරනුයේ ඉද්දා පටන් ගැනීම සඳහා ලිංගික ඇසුරුකම් නොපැවත් වූ සුදුසු පිරිසිදු කාලය යන්නයි. ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමාණෝ ඔහුගේ බිරිය ඔසප් තත්ත්වයේ සිටියදී දික්කසාද කළහ. එවිට නබි(සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඇය ව නැවත ගෙන්වා ගන්නා මෙන් නියෝග කොට ඇය පිරිසිදු තත්ත්වයක සිටිය දී තමන් කැමති නම් ඇය ව දික්කසාද කර ගන්නැයි නියෝග කර සිටියහ. (මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්)

5-     ඔසප් තත්ත්වයේ සිටින කාන්තාවක් අල් කුර්ආනය ස්පර්ශ කිරීම අනුමත නොවේ.

මීට සාධක වශයෙන් අබූ බක්ර් බින් මුහම්මද් බින් අම්ර් බින් හස්ම් තුමා තම පියාගෙන් ද පියා තම සීයාගෙන් ලබා ගෙන වාර්තා කළ හදීසය පෙන්වා දිය හැක. එනම් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අම්ර් ඉබ්නු හසම් තුමාට ලිපියක් ලියූහ. එහි ‘පිරිසිදු අය හැර වෙන කිසිවෙකු අල් කුර්ආනය ස්පර්ශ නොකළ යුතුය’ යනුවෙන් සඳහන් ව තිබිණ.

මෙය මාලික් නසාඊ දාරුකුත්නි යන ඉමාම්වරු විසින් වාර්තා කොට ඇත.

තුහුර් හෙවත් පිරිසිදු කාලය යනු රුධිර වහනය නැවතී යාමය. පිරිසිදු භාවයේ සලකුණු දෙකකි.

1-     හයිල් අවසානයේ ගර්භාෂයෙන් පිට වී ගලන සුදු පැහැති ද්‍රාවණයයි.

2-     වියළි භාවය. එනම් රුධිර වහනය නැවතී එම ස්ථානයේ සනීපාරක්ෂක තුවා තබා එය ඉවත් කරන විට එහි කිසිදු වෙනසක් නොතිබීමය.

ඇයගේ රුධිරය නතර වූ විට ඇය පිරිසිදු වන්නීය. ඇයගේ ඔසප් කාලය අවසන් වී යයි. එවිට ස්නානය කර ගැනීම අනිවාර්යය වේ. ඔසප් තත්ත්වය හේතුවෙන් ඇයට තහනම් වූ සියලු දෑ ඇයගෙන් ඉවත් වෙයි. පිරිසිදු වීමෙන් පසු ඇය බොර පැහැති හෝ කහ පැහැති යමක් දුටුවේ නම් ඒ වෙත නැවත හැරී බැලිය යුතු නොවේ. මීට සාධක වශයෙන් උම්මු අතිය්යා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කළ හදීසය පිහිටා ඇත. එනම් ‘පිරිසිදු වූවායින් පසු ඇති වන කහ වර්ණය හෝ බොර පැහැති වර්ණය ගැන අපි ගණන් නොගත්තෙමු.’ මෙය ඉමාම් අබූ දාවුද් තුමා විසින් වාර්තා කර ඇත. මෙහි දී ඔසප් තත්ත්වය ඉවත් වූ බවට නීතිය ගැබ් වෙයි. හේතුව මේ පිළිබඳ ව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා දන්වා ඇති බැවිනි. එමෙන්ම පිරිසිදු වීමට පෙර ඔසප් තත්ත්වයට අදාළ නීති රීති ඇය පිළිපැදිය යුතු වේ. නමුත් සාමාන්‍ය පරිදි ඔසප් තත්ත්වය නතර වී ඇය තවදුරටත් බොර පැහැති හෝ කහ පැහැති වර්ණයක් ඇය දුටුවේ නම් ඇය එය සෝදා පිරිසිදු කර ගෙන සලාතය ඉටු කළ යුතුය. ඔසප් රුධිර වහනය ඇති වීමට පෙර ද බොර පැහැති වර්ණය හෝ කහ පැහැති වර්ණය දුටුවේ නම් එහි නීතියද එලෙසමය. ඒ පිළිබඳ ව ගණන් ගත යුතු නොවේ.

විමසුම:  ඔසප් තත්ත්වයේ පසු වන කාන්තාවක් හෝ නිෆාස් හෙවත් දරු ප්‍රසූතියෙන් පසු රුධිර වහන තත්ත්වයක පසු වන කාන්තාවක් හෝ සලාතයේ එක් රකආතයක් ඉතිරි ව ඇති තරම් වේලාවක් ගත වී යාමට පෙර පිරිසිදු තත්ත්වයට පත් වූවා නම්. එම වේලාවට නියමිත සලාතය ඉටු කිරීම ඇයට අනිවාර්යය වේ.  උදාහරණයක් වශයෙන් පහත සඳහන් අවස්ථාවන් දැක ගත හැක. එනම් හිරු අවරට යෑමට පෙර එක් රකආතයක් තරම් කාලයක් පවතින විටෙක ඇය පිරිසිදු තත්ත්වයට පත් වූවා නම් එදින අසර් සලාතය ඉටු කිරීම ඇයට අනිවාර්යය වේ. එමෙන්ම ඇය රාත්‍රියෙන් අඩක කාලයක් ගත වූ පසු පිරිසිදු වූවා නම් එදින ඉෂා සලාතය පමණක් ඉටු කිරීමට ඇයට අනිවාර්යය වේ.

සලාතයේ වේලාව පැමිණි පසු ඇය එය ඉටු කිරීමට මත්තෙන් ඔසප් තත්තවයට හෝ නිෆාස් තත්ත්වයට පත් වූවා නම් ඒ පිළිබඳ නිවැරදි ප්‍රකාශ වනුයේ නියමිත සලාතයේ වේලාව පැමිණ එහි ආරම්භයේ එක් රකඅතයක තරම් කාලයක් ගත වී පසු ව එය ඉටු කිරීමට පෙර ඇය ඔසප් තත්ත්වයට හෝ නිෆාස් තත්ත්වයට පත් වූ විටෙක එම සලාතය නැවත ඉටු කිරීම ඇයට අනිවාර්යය බවය.

දෙවැන්න ඉස්තිහාලා හා ඊට අදාළ නීති රීති.

අල් ඉස්තිහාලා යනු නියමිත කාලයක් තුළ සිදු නොවන   දහඩියක ස්වරූපයෙන් පිට වන රුධිර වහනයයි. මෙය ආදිල් යනුවෙන් හැඳින් වේ.

රීතියනුකූල අර්ථය වනුයේ හයිල් හෝ නිෆාස් හෝ විය නොහැකි ශිරාවන් තුළින් වහනය වන රුධිර ගැලීමය. 

ඇයට සිදු වන ඝණ රුධිර වහනය හෝ එසේ නැතහොත් ටික කලක් ගත වීමෙන් පසු ව මිස විසන්ධි නොවන රුධිර වහනය මෙයට ඇතුළත් වේ.

ඉස්තිහාලා ඇති වන කාන්තාවන්ට තත්ත්ව තුනක් ඇත.

පළමුව : ඇයට ඉස්තිහාලා ඇති වීමට පෙර සාමාන්‍යයෙන් ඒ ගැන ඇය දැන හඳුනන තත්ත්වයක් විය හැක. එනම් ඉස්තිහාලා ඇති වීමට පෙර මාසය ආරම්භයේ හෝ මධ්‍යයේ හෝ දින පහක් හෝ දින අටක් හෝ ඔසප් තත්ත්වය ඇති වී එහි නියමිත දින ගණන ද ඇය දැන සිටියේ නම් එය සුපුරුදු පරිදි ඇයට සිදු වන නියමිත දින ගණන් නම් ඇය සලාතය හා උපවාසය අතහැර දැමිය යුතුය. එවිට ඔසප් තත්ත්වයක දී පිළිපැදිය යුතු නීති රීති සියල්ල අදාළ වේ. සුපුරුදු පරිදි රුධිරය වහනය වී නතර වූ විට ඇය ස්නානය කොට සලාතයේ නිරත විය යුතුය. නමුත් ඉන් පසුව වහනය වෙමින් පවතින රුධිරය සලකනුයේ ඉස්තිහාලා යනුවෙනි. හේතුව උම්මු හබීබා (රළියල්ලාහු අන්හා) තුමියට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ‘ඔබට (සාමාන්‍යයෙන්) ඔසප් රුධිර වහනය ඇති වන (දින) ප්‍රමාණයට (සලාතය හා උපවාසයෙන්)  වැළකෙනු. පසුව ස්නානය කොටස සලාතය ඉටු කරනු. යැයි පවසා ඇති බැවිනි.

දෙවනුව : ඇය හඳුනන සාමාන්‍ය තත්ත්වයට පරිබාහිර තත්ත්වයක් විය හැක. නමුත් ඇය එය වෙන් කර හඳුනා ගත යුතුය. ඇතැම් විටෙක එය ඝණ කළු පැහැයෙන් යුක්ත හා දුර්ගන්ධයෙන් යුක්ත හයිල් හි ලක්ෂණ උසුලන තත්ත්වයක් විය හැක. එසේ නැතිනම් රතු පැහැයෙන් යුක්ත ඊට දුර්ගන්ධයක් හෝ ඝණත්වයක් හෝ නොමැති හයිල් හි ලක්ෂණ නොපෙන්වන තත්ත්වයක් ද විය හැක. මෙම තත්ත්වය යටතේ හයිල් හි ලක්ෂණ වලින් යුතු ව වහනය වන රුධිරය හයිල් ලෙස සලකනු ලැබේ. එවිට සලාතය හා උපවාසය අතහැර දැමිය යුතුය. මේ හැර වෙනත් දෙයක් නම් එය ඉස්තිහාලා යනුවෙන් සලකනු ලැබේ. හයිල් හි ලක්ෂණ ඇති ව සිදු වන රුධිර වහනය අවසානයේ ඇය ස්නානය කර ගත යුතු අතර පසු ව සලාතය හා උපවාසය ඉටු කළ යුතුය.   ඉස්තිහාලා තත්ත්වය පිරිසිදු යැයි සලකනු ලැබේ. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ෆාතිමා බින්ත් අබී හුබෙයිෂ්ට කළ ප්‍රකාශයෙන් අවධාරණය වන්නකි. එනම් “ඔසප් කාලයේ වහනය වන රුධිරය වී නම් එය කළු පැහැයෙන් යුක්ත ව හඳුනා ගනු ලබන්නේ නම් ඔබ සලාතයෙන් වැළකී සිටින්න. (ඒ හැර) වෙනත් දෙයක් නම් ඔබ සෝදා පිරිසිදු කර ගෙන සලාතය ඉටු කරන්න.” (මෙය ඉමාම් අබූ දාවූද් නසාඊ යන ඉමාම් වරුන් විසින් වාර්තා කොට ඇති අතර ඉමාම් ඉබ්නු හිබ්බාන් හා ඉමාම් හාකිම් යන අය මෙය පූර්ව සාධක සහිත හදීසයක් බව දන්වා සිටී.

තුන්වනුව : සුපුරුදු පරිදි දැන හඳුනා ගැනීමට නොහැකි තත්ත්වයකින් හෝ ඔසප් තත්ත්වය වෙන් කර හඳුනා ගත හැකි ලක්ෂණ නොමැති තත්ත්වකින් හෝ පිහිටිය හැක. එවිට කාන්තාවන් බහුතරයකට සාමාන්‍යයෙන් සිදු වන පරිදි සෑම මසකම දින හයක් හෝ හතක් හෝ ඇය ඉවත් ව සිටිය යුතුය. හේතුව එය කාන්තාවන් බහුතරයකට සාමාන්‍යයෙන් සිදු වන නිශ්චිත කාල පරිච්ඡේදය වන බැවිනි. හම්නා බින්ත් ජහස් (රළියල්ලාහු අන්හා) තුමියට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කළ ප්‍රකාශය මීට සාධක වශයෙන් පිහිටා ඇත. එතුමිය ‘මම දරුණු ලෙස අධික ව ඔසප් රුධිර වහනය වන්නියක් වීමි. එබැවින් මම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ ඒ ගැන ආගමික නීතිය කුමක්දැ යි විමසුවෙමි. එවිට එතුමා

“එය ෂෙයිතාන්ගේ ක්‍රියාවලියකි. (පොදුවේ) දින හයක් හෝ හතක් හෝ ඔබ ඔසප් තත්වයේ කාලය ලෙස සලකන්න. පසු ව ඔබ ස්නානය කරන්න. ඔබ පිරිසිදු වන්නී නම් දින විසි හතරක් හෝ දින විසි තුනක් සලාතයෙ හි නිරත වන්න. උපවාසයේ නිරත වන්න. සලාතය ඉටු කරන්න. සැබැවින් ම එය ඔබට ප්‍රමාණවත් ය. සෑම මසකම සෙසු කාන්තාවන් ඔසප් සම්බන්ධ ව කටයුතු කරන අයුරින් ඔබත් කටයුතු කරන්න. යැයි පවසා සිටියහ.”

අබූ දාවූද්, තිර්මිදි, ඉබ්නු මාජා හා අහ්මද් යන ඉමාම්වරුන් විසින් මෙය දන්වා ඇත. ඉමාම් තිර්මිදි මෙය පූර්ව සාධක සහිත හදීසයක් ලෙස සඳහන් කරයි.

ඉස්තිහාලා තත්ත්වයක පසු වන කාන්තාවක් පිරිසිදු වීමේ නීති සම්බන්ධයෙන් පිළිපැදිය යුතු කරුණු.

1- ඉහත සඳහන් කළ අයුරින් හයිල් ලෙස සැලකෙන රුධිර වහනය අවසන් වූ පසු ස්නානය කිරීම ඇයට අනිවාර්යය වේ.

2- රුධිර වහනය වන ස්ථානයේ සනීපාරක්ෂක තුවා හෝ එම වහනය වළක්වාලන වෙනත් වස්තුවක් හෝ ඒ මත තබා එය නොවැටෙන අයුරින් තදින් බැද ගත යුතුය.

තුන්වැන්න : නිෆාස් හෙවත් දරු ප්‍රසූතියෙන් පසු වහනය වන රුධිර තත්ත්වය හා එහි නීති රීති.

භාෂාමය අර්ථය : ඇතුළතින් පිට වන දෑ

රීතියනුකූල ආගමික අර්ථය : දරු ප්‍රසූතියක දී හෝ ඊට පසු ව හෝ ඊට පෙර ප්‍රසූතියත් සමඟ ගර්භාෂයෙන් බුරුලට වහනය වන රුධිරයයි.

මේ අනුව දරු ප්‍රසූතියකට පෙර වහනය වන රුධිර සම්බන්ධයෙන් සලකා බැලීමේ දී දරු ප්‍රසූතියේ සලකුණු එහි දැක ගත නොහැකි වූ විටෙක එය නිෆාස් යැයි නොසැලකේ.

නිෆාස් තත්ත්වය ද හය්ල් තත්ත්වයට සමානය. එබැවින් සංසර්ග ක්‍රියාවලියෙන් තොර ව පහස විදීම වැනි අනුමත කරුණු වලදී ද සංර්ගයේ නිරත වීම වැනි තහනම් කරුණු වලදී මේ හා සමාන අයුරින් කටයුතු කළ යුතු වේ. උපවාසය සලාතය දික්කසාදය තවාෆ් කිරීම මස්ජිදයේ රැඳී සිටීම වැනි දැයින් වැළකී සිටීම රුධිරය වහනය අවසන් වූ පසු ස්නානය අනිවාර්ය වීම වැනි කටයුතු වලදී ද ඇය හයිල් තත්ත්වයේ පසු වන කාන්තාවකට සමානය. එමෙන්ම හයිල් කාරියක් මෙන් උපවාසය නැවත ඉටු කිරීම ඇය කෙරෙහි අනිවාර්යය වන අතර සලාතය එසේ නැවත ඉටු කිරීමට අවශ්‍ය නොමැත. 

විමසුම: නිෆාස් හි උපරිම කාලය වනුයේ දින හතළිහකි. එය උම්මු සලමා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලද හදීසයකට අනුවය. එනම් ‘‘දින හතළිහක් සම්පූර්ණ කළ විට ඇය ස්නානය කොට සලාතය ඉටු කොට පිරිසිදු කාන්තාවන්ට අදාළ නීති පිළිපැදිය යුතු වේ” යැයි උමර් අනස් ඉබ්නු අබ්බාස් උම්මු සලමා හා වෙනත් උතුමන්ලා (රලියල්ලාහු අන්හුම්) විසින් දන්වා ඇත.

දින හතළිහකට පෙර නිෆාස් තත්ත්වයේ පසු වන කාන්තාවන්ගේ රුධිර වහනය නැවතුණේ නම් ඇයගේ නිෆාස් තත්ත්වය අවසන් වේ. එවිට ඇය ස්නානය කොට සලාතය ඉටු කළ යුතුය. නිෆාස් තත්ත්වයෙන් ඇයට තහනම් කරනු ලැබූ සියල්ල ඇයගෙන් ඉවත් වී යයි.

විමසුම :  මිනිස් මැවීමකට සමාන හෝ ඊට වඩාත් සමීප හැඩයකින් යුත් කලලයක් ගැබනි මවක් විසින් ප්‍රසූත කොට පසු ව ඒ සමඟම රුධිර වහනය සිදු වූයේ නම් ඇයගේ නීතිය ද නිෆාස් කාන්තාවකගේ නීතිය හා සමානය. ගර්භාෂයේ වැඩෙන කලලය මිනිස් හැඩයක් ගැනීමට ගත වන කාලය බොහේ විට මාස තුනකි. එහි අවම කාලය දින අසූ එකකි. මිනිස් හැඩරුවක් යැයි කිව නොහැකි මස් කැබැල්ලක් කලලයක් වැනි දෙයක් වැටුණේ නම් ඉන් පසු ගලන රුධිරය නිෆාස් රුධිරය යැයි නොසැලකේ. එවිට සලාතය හෝ උපවාසය අතහැරීමට අවශ්‍ය නොවේ. ඇය නිෆාස් තත්ත්වයේ පසු වන කාන්තාවකට අදාළ නීති අදාළ නොවේ.

සටහන : දරු ප්‍රසූතියකට පෙර ගැබිනි මවක් දකින ජලය මෙන් වූ ද්‍රාවණය මුල් කර ගනිමින් ඇය නැමදුම් අත් නොහළ යුතුය. එහි නීතිය පිරිසිදුය යන්නය. තම යෝනි මාර්ගය හෝ ඇඳුම පිරිසිදු කර ගත යුතු නැත. එයින් වුළු අවලංගු නොවේ.

 සලාතයේ නීති රීති

පස්වේල සලාතයේ අනිවාර් භාවය පිළිබඳ පාඩම

ෂහාදා හෙවත් ප්‍රතිපත්තිමය ප්‍රකාශයට පසු ඉස්ලාමයේ වැදගත්මය අංගය වනුයේ සලාතයයි. අල්ලාහ්ගේ දූතවරුන් අතුරින් අවසන් දූතයාණන් වූ මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මිඃරාජ් හෙවත් ගුවන් ගමනෙහි නිරත වූ විට එදින රාත්‍රියෙහි  පෙර පැවැති පිළිවෙත්වලට වෙනස් ආකාරයකින් අල්ලාහ් එතුමාට සලාතය  අනිවාර්යය කළේය. එහි ඇති මහිමය එය අනිවාර්යය වීමේ වැදගත්කම හා අල්ලාහ් අබියස එයට ඇති උසස් ස්ථානය මෙමගින් පෙන්වා දෙයි.

සලාතය: භාෂාමය අර්ථය ‘ප්‍රාර්ථනාව’ය. උත්තරීතර අල්ලාහ් අල් කුර්ආන් 9: 103  وَصَلِّ عَلَيْهِمْ ඔවුනට පතන්න. එනම් ඔවුනට ප්‍රාර්ථනා කරන්න යනුවෙන් ප්‍රකාශ කර සිටී.

එහි රීතියනුකූල ආගමික අර්ථය වනුයේ : අල්ලාහු අක්බර් යැයි තක්බීර් පවසා ආරම්භ කොට නියමිත ප්‍රකාශයන් හා නියමිත ක්‍රියාවන් ඉටු කරමින් අස්සලාමු අලයිකුම් යැයි සලාම් පවසා අවසන් කරන නැමදුමය. මෙලෙස සලාත් යනුවෙන් නම් කරනු ලැබුවේ ප්‍රාර්ථනාව ද එහි ඇතුළත් වන බැවිනි. සලාතය ඉටු කරන්නා ප්‍රාර්ථනාවක් හෝ ප්‍රශංසාවක් හෝ පැතුමක් හෝ නොමැති ව නැමදුම සම්පූර්ණ කළ නොහැක. එබැවින් සලාතය යනුවෙන් නම් ලැබීමට මෙය හේතු විය. පස් වැනි හිජ්රි වර්ෂයට පෙර නබි තුමාණන් මිඃරාජ් හෙවත් ගුවන් ගමනෙහි නිරත වූ දිනයේ දී නිශ්චිත කාලය පැමිණි විට දහවල් හා රාත්‍රියෙහි පස් වේලක් සලාතය ඉටු කිරීම වැඩිවියට පත් සෑම මුස්ලිම්වරයකු වෙතම අනිවාර්යය කරන ලදී. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

إِنَّ الصَّلَاةَ كَانَتْ عَلَى الْمُؤْمِنِينَ كِتَابًا مَوْقُوتًا

නියත වශයෙන්ම සලාතය දේව විශ්වාසවන්තයින්ට නිශ්චිත කාලයක් නියම කරන ලද්දක් විය. (අල් කුර්ආන් 4:103) එනම් මෙය අල්ලාහ්ගේ දූතයාණන් තම ප්‍රකාශයෙන් හා ක්‍රියාවෙන් පැහැදිලි කර පෙන්වා දුන් කාලයන්හි අනිවාර්යය කරනු ලැබූවක් බවය.

උත්තරීතර අල්ලාහ් තවදුරටත් මෙසේ පවසා සිටියි.

وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ حُنَفَاءَ وَيُقِيمُوا الصَّلَاةَ

අල්ලාහ්ට පමණක් දහම සතු කරමින් පිවිතුරු ව ඔහුට පමණක් අවංක ව නැමදුම් කිරීමට ද සලාතය ස්ථාපිත කිරීම ද මිස ඔවුහු අණ කරනු නොලැබුවෝය.

(අල් කුර්ආන් 98 : 5)

තවත් වැකිය අල්ලාහ් මෙසේ අවධාරණය කරයි.

قُلْ لِعِبَادِيَ الَّذِينَ آَمَنُوا يُقِيمُوا الصَّلَاةَ

විශ්වාස කොට සලාතය විධිමත් ව ඉටු කරන මාගේ ගැත්තන්ට (නබිවරය) නුඹ පවසනු.

(අල් කුර්ආන් 14:31)

එමෙන්ම “ඉස්ලාමය කරුණු පහක් මත ගොඩ නැගී ඇත. 1. නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවටත් සැබැවින්ම මුහම්මද් තුමාණන් අල්ලාහ්ගේ දූතයාණන් බවටත් වූ ප්‍රතිපත්තිමය ප්‍රකාශට සාක්ෂි දැරීම 2. සලාතය විධිමත් ව ඉටු කිරීම ......” යනුවෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා වාර්තා කළ හදීසය බුහාරි මුස්ලිම් හි සඳහන් ව ඇත.

විමසුම : 

කුඩා දරුවකු සත් වැනි වියට පා තබන විට සලාතය ඔහු කෙරෙහි අනිවාර්යය නොවූව ද එහි වැදගත්කම වටහා ගනු පිණිස එය ඉටු කරන මෙන් ඔහුට සැල කර සිටීම ඔහුගේ භාරකරු කෙරෙහි පැවරෙන වගකීමකි. ඔහු සලාතය ඉටු කළේ නම් අල් කුර්ආනයේ හා සුන්නාහ්වේ සඳහන් පරිදි පොදුවේ ඔහුට හා ඔහුගේ භාරකරුට ප්‍රතිඵල සටහන් වනු ඇත. අල්ලාහ් මෙසේ පවසා සිටියි.

مَنْ جَاءَ بِالْحَسَنَةِ فَلَهُ عَشْرُ أَمْثَالِهَا

කවරෙකු යහපත ගෙන එන්නේ ද එවිට ඒ හා සමාන කුසල් දහයක් ඔහුට හිමිය

(අල් කුර්ආන් 6:160)

ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා වාර්තා කළ හදීසයක  මෙසේ සඳහන් වේ. කාන්තාවක් තම දරුවා ඉහළට ඔසවා මොහුටත් හජ් ඇත්තේ දැයි නබි තුමාණන්ගෙන් විමසා සිටියාය. එවිට එතුමාණෝ එසේය. එමෙන්ම ඔබටත් කුසලක් හිමි යැයි පවසා සිටියහ.

(මූලාශ්‍රය : මුස්ලිම්)

එබැවින් සලාතය හා ඒ සඳහා පිරිසිදු වීමේ ක්‍රමය ඔහුට ඔහුගේ භාරකරු විසින් ඉගැන්විය යුතුය.

දරුවකු වැඩි වියට පත් වූ විටෙක ඔහු සලාතය ඉටු කළේ නම් එය ඔහුට නිවැරදි වෙයි. එසේ නැතහොත් නියමිත සලාතයේ වේලාව එක් රකඅතයක කාලයක් හො ඊට වඩා වැඩි කාලයකි හෝ ගෙවී යෑමට මත්තෙන් ඔහු වැඩිවියට පත් වූයේ නම් සලාතය ඉටු කිරීම ඔහු කෙරෙහි අනිවාර්යය වේ.

දේව ප්‍රතික්ෂේපකයාට ද උන්මත්තකයාට ද සලාතය අනිවාර්යය නොවන නමුත් සලාතයේ නියමිත වේලාව එක් රකඅතයකින් හෝ ගෙවී යාමට පෙර එම දේව ප්‍රතික්ෂේපකයා ඉස්ලාමය වැලඳ ගත්තේ නම් හෝ එම උන්මත්තයාගේ සිහිකල්පනාව පැමිණියේ නම් හෝ එවිට එය ඉටු කිරීම ඔවුන් දෙදෙනා කෙරෙහි අනිවාර්යය වේ.

විමසුම : 

සලාතය නියමිත වේලාවට වඩා ප්‍රමාද කිරීම සුදුසු නැත. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.

إِنَّ الصَّلَاةَ كَانَتْ عَلَى الْمُؤْمِنِينَ كِتَابًا مَوْقُوتًا

නියත වශයෙන්ම සලාතය දේව විශ්වාසවන්තයින්ට නිශ්චිත කාලයක් නියම කරන ලද්දක් විය. (අල් කුර්ආන් 4:103) එනම් නිශ්චිත කළ වේලාවේම එය ඉටු කිරීම අනිවාර්යය යන්නයි. එය ප්‍රමාද නොකළ යුතුය. නමුත් සලාත දෙකක් එකට එක් කොට ඉටු කිරීමට අනුමැතිය ඇති අවස්ථාවක එකක් ප්‍රමාද කොට අනෙක් සලාතය  සමඟ එක් කොට ඉටු කිරීමට අපේක්ෂා කළ අයෙකු හැර. එමෙන්ම ජනාබත් හේතුවෙන් හෝ යම් කිලිටක් හේතුවෙන් හෝ වෙනත් යම් හේතුවකින් හෝ සලාතය නියමිත වේලාවේ ඉටු නොකොට එය ප්‍රමාද කිරීම සුදුසු නොවේ. සලාතයේ නියමිත වේලාව පැමිණි විට එය ඉටු කළ යුතු වේ.

විමසුම: සලාතය ඉටු කිරීම අනිවාර්යය යැයි නොතකා මැළිකමින් හෝ නොසැලකිලිමත් බවින් හෝ යමෙකු සලාතය මඟ හරින්නේ නම් විද්වතුන්ගේ නිවැරදි ප්‍රකාශය අනුව ඔහු දේව ප්‍රතික්ෂේපයෙකු බවට පත් වනු ඇත. “මිනිසෙකු අතර හා ප්‍රතික්ෂේපය අතර පවතින වෙනස වනුයේ සලාතය පැහැර හැරීමය” යන ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසයත් (මූලාශ්‍රය: මුස්ලිම්) “අප අතර හා ඔවුන් අතර ඇති ගිවිසුම වනුයේ සලාතයයි. එබැවින් කවරෙකු එය මඟ හරින්නේ ද එවිට ඔහු දෙවියන් ප්‍රතික්ෂේප කළේය” යනුවෙන් නබි (සල්ලල්ලාහ් අලයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බවට බුරෙයිදා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසත් මීට සාධක වශයෙන් පිහිටා ඇත. (පස් මහා ඉමාම්වරු විසින් මෙය පූර්ව සාධ සහිත හදීස් වාර්තා සම්බන්ධතාවකින් යුතු ව වාර්තා කොට ඇත.)

 අදාන් හා ඉකාමත් පිළිබඳ නීති රීති

අදාන් යනු භාෂාමය අර්ථය ‘නිවේදනය’ කිරීම වේ.

රීතියනුකූල ආගමික අර්ථය වනුයේ නියමිත පාඨ මෙනෙහි කරමින් සලාතයේ වේලාව පැමිණි ඇති බවට නිවේදනය කරමින් ඒ වෙත ඇරයුම් කොට අල්ලාහ්ට නැමදුම් කිරීම වේ.

ඉකාමත් යනු ‘අකාම’ යන මූල පදයෙන් ගනු ලැබූවක් වන අතර යමක් ඍජු ව විධිමත් ව සැකසීමට මෙම පදය භාවිත කරනු ලැබේ.

රීතියනුකූල ආගමික අර්ථය වනුයේ නියමිත පාඨ මෙනෙහි කරමින් සලාතයේ සඳහා නැගී සිටින මෙන්   නිවේදනය කොට අල්ලාහ්ට නැමදුම් කිරීම වේ.

හිජ්රි පළමුවැනි වසරේම අදාන් ආගමානුගත කරන ලදී. එසේ ආගමානුගත කිරීමට හේතු වූයේ සහාබාවරුන්ට සලාතයේ වේලාව නිවැරදි ව හඳුනා ගැනීමට දුෂ්කර වූ බැවිනි. ඒ සඳහා යම් සලකුණක් තැබිය යුතු යැයි ඔවුහු සාකච්ඡා කළෝය. අබ්දුල්ලාහ් ඉබ්නු සෙයිද් තුමාට මෙම අදාන් ක්‍රමය හීනෙන් පෙන්වන ලදී. පසු ව දේව පණිවිඩය එය පිළිගත්තේය. අල්ලාහ් එය මෙසේ අවධාරණය කරයි.

يَا أَيُّهَا الَّذِينَ آَمَنُوا إِذَا نُودِيَ لِلصَّلَاةِ مِنْ يَوْمِ الْجُمُعَةِ فَاسْعَوْا إِلَى ذِكْرِ اللَّهِ وَذَرُوا الْبَيْعَ

නුඹලාට ජුමුආ දින සලාතය සඳහා දැනුම් දුන් විට අල්ලාහ් ව මෙනෙහි කිරීමට යුහුසුලුවෙන් පැමිණෙනු. ව්‍යාපාරික කටයුතු අතහැර දමනු.  (අල් කුර්ආන් 62:9)

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.

وَإِذَا نَادَيْتُمْ إِلَى الصَّلَاةِ

සලාතය වෙත නුඹලා ඇරයුම් කරන විට ...

(අල් කුර්ආන් 5:85)

අදාන් හා ඉකාමත් ෆර්ළු කිෆායා වේ. ෆර්ළු කිෆායා යනු ක්‍රියාවක් ඉටු කිරීමට අපේක්ෂා කරනු ලබන විට එය ඉටු කිරීම සඳහා සියලු මුස්ලිම්වරුන් වෙත පැවරෙන අනිවාර්යය වගකීමකි. නමුත් එය ප්‍රමාණවත් පිරිසක් විසින් ඉටු කරනු ලැබුවේ නම් සෙසු අයගෙන් එය ඉවත් වෙයි. අදාන් හා ඉකාමත් යන දෙකම ඉස්ලාමයේ බාහිර සංකේතයන්ය. ගමනක නිරත වී සිටිය ද පදිංචි ස්ථානයේ රැඳී සිටිය ද පස්වේල සලාතය සඳහා ඒ දෙක නිවේදනය කිරීම පිරිමින්ගේ වගකීම තුළ පවතින අනිවාර්යය කරුණු දෙකකි. ඒ දෙකම අත්හරින ප්‍රදේශයක් ඇත්නම් එම ප්‍රදේශවාසීන්ට අවවාද කරනු ලැබිය යුතුය. හේතුව ඒ දෙක ඉස්ලාමයේ බාහිර සංකේත අතුරින් වන බැවිනි. නමුත් ඒ දෙක දීර්ඝ කරමින් පැවසීම සුදුසු නොවේ.

විමසුම: තනි ව සලාතය ඉටු කරන්නාට අදාන් හා ඉකාමත් පැවසීම සුන්නාක්වකි. උක්බා ඉබ්නු ආමිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසය එයට සාධක වශයෙන් පිහිටා ඇත. එනම්

කඳු මුදුන් තලාවක සිටින එළුවන් දක්කාගෙන යන පුද්ගලයකු සලාතය සඳහා නිවේදනය කොට (අදාන් ඉකාමත් පවසා) පසු ව ඔහු සලාතයේ නිරත වෙයි. නුඹේ පරමාධිපති ඒ පුද්ගලයා දෙස බලා සතුටු වන්නේය.

මෙය ඉමාම් නසාඊ තුමා විසින් දන්වා ඇත.

විමසුම: අදාන් හා ඉකාමත් නිවැරදි වීමට ඇතැම් කොන්දේසි පැන වේ. පිළිවෙළට අඛණ්ඩ ව එක් අයකු විසින් නිවේදනය කළ යුතුය. අදාන් පවසන්නා පිරිමියකු මනා බුද්ධිය ඇත්තෙකු විශ්වාසවන්තයකු හොඳ නරක වෙන් කර හඳුනා ගත හැකි අයකු විය යුතුය. එමෙන්ම නියමිත වේලාව පැමිණීමෙන් පසු ව පැවසිය යුතුය. අදාන්හි ආගමානුගත කළ වදන් කිසිවක් අඩු නොකළ යුතුය.

අදාන්හි ක්‍රම දෙක

අදානයට ක්‍රම දෙකක් ඇත.

පළමුවැන්න: බිලාල් (රළියල්ලාහු අන්හු) තුමාගේ අදාන් පිළිවෙළ. එය වදන් පහළොවකින් සමන්විතය. එතුමා විසින් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඉදිරියේ අඛණ්ඩ ව කියන ලද්දේ මෙම ක්‍රමය අනුවය.

දෙවැන්න: අබූ මහ්දූරා (රළියල්ලාහු අන්හු) තුමාගේ අදාන් පිළිවෙළ. එය බිලාල් (රළියල්ලාහු අන්හු) තුමාගේ අදාන් ක්‍රමය මෙන්ම වදන් දහ නවයකින් සමන්විත වූවකි. අමතර සංඛ්‍යාවක් එයට එකතු වූයේ එම වදන් නැවත නැවතත් පැවසීමෙනි. එනම් සාක්ෂි දැරීමේ ප්‍රකාශයන් දෙක තමන් අවට සිටින අයට ඇසෙන තරමට පහත් හඬින් පවසා පසු ව නැවතත් ඒ දෙක උස් හඬින් පැවසීමය.

ඒ අනුව විටෙක එක් ක්‍රමයක් ද තවත් විටෙක අනෙක් ක්‍රමය ද අනුගමනය කිරීම සතුටුදායකය.

අදාන් හි පිළිපැදිය යුතු සතුටු දායක කරුණු : අදාන්හි වදන් දිගුවට අදිමින් හෝ සීමාව ඉක්මවා යමින් හෝ නොපවසා සෙමින් පැවසිය යුතුය. විටෙක සෑම වදනක්ම නවත නවතා පැවසීමත් විටෙක වදන් දෙක බැගින් යුත් දෑ එකට එකතු කරමින් පැවසීමත් සතුටුදායක වනු ඇත. අදාන් පවසන අවස්ථාවේ උස් හඬින් පවසනු පිණිස කිබ්ලා දෙසට හැරීම. හයිය අලස් සලාත් යැයි පවසන විට දකුණට හැරීම. හය්ය අලල් ෆලාහ් යැයි පවසන විට වමට හැරීම. හය්ය අලල් ෆලාහ් හි දෙවන ප්‍රකාශයෙන් පසු ව සුබ්හු අදාන් හි පමණක් අස්සලාතු කයිරුන් මිනන් නව්ම් යැයි දෙමුරයක් පැවසීම. හේතුව එම කාලයේ ජනයා බොහෝ විට නිදා ගන්නා බැවින් ද ඒ පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා නියෝග කර ඇති බැවින් ද වේ.

ඉකාමත් පවසන විට ඉක්මණින් පැවසීම ද සතුටුදායකය. හේතුව එය සහභාගී වී සිටින අයට කරන ඇරයුමක් වන බැවිනි. එහි වදන් ඇද ඇරයුම් නොකළ යුතුය. අදානයට භාර ව සිටින්නා ඉකාමතයටත් භාර ව සිටීමද සතුටුදායකය. ඉමාම්ගේ අනුමැතියෙන් තොර ව ඉකාමත් නොපැවසිය යුතුය. හේතුව ඉකාමත් ඉමාම්ගේ අධීක්ෂණය යටතේ එහි වේලාව තීන්දු කිරීම බැඳී ඇති බැවිනි. එබැවින් ඔහුගේ සංඥාවකින් තොර ව ඉකාමත් කියනු නොලැබේ.

ඉකාමත් පැවසීමේ ක්‍රම දෙක :

පළමුවැන්න : බිලාල් (රළියල්ලාහු අන්හු) තුමාගේ ක්‍රමය. එය වදන් එකොළහකින් සමන්විතය.

දෙවැන්න : අබූ මහ්දූර් (රළියල්ලාහු අන්හු) තුමාගේ ක්‍රමය. එය බිලාල් තුමාගේ අදානය මෙන්ම වදන් පහළොවකින් සමන්විතය. විටෙක ක්‍රමයක් පිළිපැදීමත් තවත් විටෙක අනෙක් ක්‍රමය පිළිපැදීමත් සතුටු දායකය.

විමසුම : නියමිත වේලාවට පෙර අදාන් පැවසීම සුදුසු නොවේ. හේතුව නිවේදනය කිරීමට ආගමානුගත කර ඇත්තේ නියමිත වේලාව පැමිණ පසුවය. එසේ කළේ නම් අපේක්ෂිත අරමුණ ඉටු නොවනු ඇත. එය සවන් දෙන්නාට ද එහි වැරදි ඇතිවන්නට පුළුවන. ආගමානුගත ක්‍රමය වනුයේ පොදුවේ ආදානය එහි ආරම්භ වේලාවේම පැවසීමය. මෙම ක්‍රමය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මුඅද්දින්වරු දෙදෙනා විසින් පිළිපදින ලද්දකි.

නියමිත පිරිසකට පමණක් අදාන් පවසනු ලබන්නේ නම් සලාතයට පෙර එය සිදු කිරීම ආගමානුගත කරන ලද්දකි.

පළමුවන අදානය : අලුයම උදා වන අවස්ථාවේ පවසන ලද දෙවන අදානයට පෙර හිමිදිරියෙහිම පළමු අදානය පැවසීම සතුටුදායකය. ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසය එයට සාක්ෂි වශයෙන් පිහිටා ඇත. එනම් නියත වශයෙන්ම බිලාල් (රළියල්ලාහු අන්හු) තුමා රාත්‍රියෙහි අදාන් පවසයි. එබැවින් ඉබ්නු උම්මි මක්තූම් (රළියල්ලාහු අන්හු) තුමා අදාන් පවසන තෙක් ආහාරපාන ගන්නැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පවසා සිටියහ. 

අදාන් දෙක අතර පැවතිය යුතු කාලය නිදන්නෙකු අවදි වී සලාතය ඉටු කොට ඔහු උපවාසයේ නිරත වන්නට අපේක්ෂා කරන්නෙකු නම් ඔහුගේ සහර් ආහාර වේල ගන්නා තෙක් වූ කාල පරාසයයි.

මුඅද්දින්ට පිළිතුරු දීම

මුඅද්දින්ගේ අදාන් හඬ ඇසෙන්නෙකු එයට පිළිතුරු දීම සුන්නාවකි. එනම් ඔහු පවසන අයුරින්ම තමන් ද එය පැවසීමය. හය්ය අලස් සලාත් හා හය්ය අලල් ෆලාහ් යන වදන් පවසන විට ලා හවුල වලා කුව්වත ඉල්ලා බිල්ලාහි යැයි පැවසීම ද සුන්නාවකි. මුඅද්දින් අදාන් පවසා හමාර කළ පසු

اللهُمَّ صل عَلَى مُحَمَّدٍ. اللهُمَّ رَبَّ هَذِهِ الدَّعْوَةِ التَّامَّةِ وَالصَّلاَةِ الْقَائِمَةِ آتِ مُحَمَّدًا الْوَسِيلَةَ وَالْفَضِيلَةَ وَابْعَثْهُ مَقَامًا مَحْمُودًا الَّذِي وَعَدْتَهُ، (إِنَّكَ لاَ تُخلِفُ الْمِيْعَادَ)

අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් අල්ලාහුම්ම රබ්බ හාදිහිද් දඃවතිත් තාම්මා වස්සලාතිල් කාඉමා ආති මුහම්මදන් අල් වසීලත වල් ෆළීලා. වබ්අස්හු මකාමන් මහ්මූදනිල්ලදී වඅද්තහ් (ඉන්නකලා තුක්ලිෆුල් මීආද්).

තේරුම : සම්පූර්ණ වූ මේ කැඳවුම හා ස්ථාවර වූ සලාතයේ පරමාධිපතියාණනි. මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට (ඔබගේ) උපකාරය හා ශ්‍රේෂ්ඨත්වය ලබා දෙනු මැන. ඔබ පොරොන්දු වූ මකාමන් මහ්මූදාවෙහි (උතුම් වූ ස්ථානයෙහි) එතුමාණන් අවදි කරනු මැන ! (බුහාරි)

දෙවන වර හෝ තුන්වන වර අදාන් පවසන්නාටත් පිළිතුරු දිය යුතුය. අදාන්හි කොටසකට පමණක් සවන් දෙන්නේ නම් තමන්ට ඇසෙන එම කොටසට පමණක් පිළිතුරු දිය යුතුය.

අදාන් පැවසීමෙන් පසු කිසිදු හේතුවකින් තොර ව හෝ නැවත පැමිණීමේ අරමුණින් තොර ව මස්ජිදයෙන් බැහැර ව යාම තහනම් වේ.

සලාතයේ ෂර්ත් හෙවත් කොන්දේසි

ෂර්ත් යන්නෙහි භාෂාමය අර්ථය ‘සඛේතය’යි.

රීතියානුකූල ආගමික අර්ථ දැක්වීම වනුයේ

යමක් නොතිබෙන විටෙක නොතිබීම අනිවාර්යය කරන්නකි. එය තිබෙන විටෙක තිබීම අනිවාර්ය නොකරන්නකි. එය ස්වභාවයෙන්ම නැතිවම බැරි කරුණකි. සලාතයේ කොන්දේසි එය ඉටු කිරීමට හැකියාව තිබිය දී ඉටු නොකිරීම සලාතයේ නිවැරදි භාවය වළක්වයි.

පළමුවැනි කොන්දේසිය: සලාතයේ නියමිත වේලාව පැමිණ තිබීම.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.

إِنَّ الصَّلَاةَ كَانَتْ عَلَى الْمُؤْمِنِينَ كِتَابًا مَوْقُوتًا

සැබැවින්ම සලාතය දේව විශ්වාසවන්තයින් කෙරෙහි කාල නියමයකින් නියම කරනු ලැබූවකි.  (අල් කුර්ආන් 4:103)

එනම් සීමිත කාලයන් තුළ අනිවාර්යය කරනු ලැබූවක් යන්නයි. කාල නියමය යනු සීමා කිරීමකි. දවසේ නියමිත වේලාවන් සලාතය සඳහා සීමා කිරීම තුළින් සලාතයට කාල නියමයක් අල්ලාහ් පිහිටෙව්වේය. ඒ අනුව සියලු මුස්ලිම්වරුන් පංචකාලීන සලාතයන්ට සීමා කරන ලද   විශේෂ වේලාවන් ඇති බව ඒකමතික ව පිළිගනිති.  ඊට පෙර ඉටු කිරීම සුදුසු නොවෙයි.

විශ්වාසවන්තයින්ගේ නායකයකු වූ උමර් ඉබ්නු අල් කත්තාබ් තුමාණෝ මෙසේ පවසා සිටියහ.

සලාතයට වේලාවක් ඇත. එය පිළිපැදීමෙන් හැර සලාතය නිවැරදි නොවන බවට අල්ලාහ් එයට කොන්දේසි පැනෙව්වේය.

එම වේලාවන් වනුයේ පහත සඳහන් අයුරිනි.

1- ලුහර් සලාතයේ වේලාව: හිරු මුදුණින් බැස යාමත් සමඟ  ඇරඹේ. එනම් හිරු මුදුණින් බටහිර දෙසට නැඹුරු වීමය. මෙය أَقِمِ الصَّلَاةَ لِدُلُوكِ الشَّمْسö හිරු අවරට යන විට නුඹ සලාතය ඉටු කරනු යන අල්ලාහ්ගේ ප්‍රකාශයේ සඳහන් ‘දුලූක්’ අවරට යෑම යන පදයෙන් පැහැදිලි කරයි. එමෙන්ම බටහිර දෙසට හිරු නැඹුරු වීමත් සමඟ නැගෙනහිර දෙසින් හෙවණැලි වැටීමට පටන් ගනී. ඉන් හිරු අවරට යන බව හඳුනා ගත හැක. යම් වස්තුවක හෙවණැල්ල එම වස්තුව හා සමාන දිගුවකින් දිස් වන තෙක් ලුහර් සලාතයේ කාලය දිගු වේ. ඒ සමඟම එහි සලාතයේ වේලාව අවසන් වෙයි. අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හු) තුමා වාර්තා කළ හදීසය මීට සාධකයක් වශයෙන් පිහිටා ඇත. එනම්

ලුහර් හි වේලාව හිරු මුදුණින් අවරට ගොස් මිනිසකුගේ හෙවණැල්ල ඔහුගේ උසට සමාන ව පිහිටන තෙක්ය.

මූලාශ්‍රය :  මුස්ලිම්

එහි ආරම්භ වේලාවේම එය ඉටු කිරීම සතුටු දායකය. නමුත් දැඩි හිරු රශ්මීය ඇති අවස්ථාවක හැර. එවිට යමෙකු තනි ව හෝ සාමුහික ව හෝ සලාතය ඉටු කරන්නේ නම් හිරු රශ්මිය හීන වී යන තෙක් අසර් සලාතයට සමීප ව එය ප්‍රමාද කිරීම සතුටුදායක වනු ඇත. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බවට අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසය මෙයට සාධක වශයෙන් පිහිටයි. එනම්

‘හිරු රශ්මීය අධික වූ විට සිසිල ඇති වන තරමට සලාතය ප්‍රමාද කරන්න. හේතුව සැබැවින්ම දැඩි තාපය නිරයේ ගිනි ජාලාවෙනි. ’  (මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්)

2. අසර් සලාතය: ලුහර් වේලාව අවසන් වීමත් සමඟ අසර් සලාතයේ වේලාව ඇරඹේ. එනම් සෑම වස්තුවකම හෙවණැල්ල ඒ හා සමාන ප්‍රමාණයකින් පිහිටෙන අවස්ථාවයි. ආගමික වියතුන්ගේ නිවැරදිම ප්‍රකාශය වනුයේ එය කහ පැහැයෙන් හිරු ආලෝකය වන තෙක් දිගු වන බවය. ඊට සාධක වශයෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසය පිහිටා ඇත. එනම්:

‘‘අසර්හි වේලාව වනුයේ හිරු ආලෝකය කහ පැහැ නොගැනුනු කාලය තෙක්ය. ” (මූලාශ්‍රය : මුස්ලිම්)

මෙය තෝරා ගැනීමේ නිදහස් වේලාවයි. වැළැක්විය නොහැකි අවස්ථාවක හිරු අවරට යන තෙක් එහි කාලය දිගු වෙයි. අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කළ නබි තුමාණන්ගේ ප්‍රකාශය මීට සාධක වශයෙන් පිහිටා ඇත. එනම්,

හිරු අවරට යන්නට පෙර අසර් සලාතයෙන් එක් රකආතයක් කවරෙකු ලැබුවේ ද ඔහුට අසර් සලාතය ලැබිණ. (මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්)

අසර් සලාතයට පමණක් ආවේණික වූ කාල අවස්ථා දෙකක් ඇත. එය තෝරා ගැනීමට දී ඇති නිදහස් වේලාව හා නොවැළැක්විය හැකි හේතුවක් මත උදා වන වේලාවයි.

නමුත් එහි ආරම්භ වේලාවේම ඉටු කිරීම නබි තුමාණන් පෙන්වා දුන් මග වෙයි. එයට ඇති විශේෂ මහිමය නිසා අල්ලාහ් එය සලාතුල් වුස්තා හෙවත් මධ්‍යකාලීන සලාතය යැයි හඳුන්වා ඇත. එනම්

حَافِظُوا عَلَى الصَّلَوَاتِ وَالصَّلَاةِ الْوُسْطَى وَقُومُوا لِلَّهِ قَانِتِينَ (238)

සලාතයන් හා මධ්‍යකාලීන සලාතය මත සුරක්ෂිත ව රැඳී සිටිනු. තවද නුඹලා අල්ලාහ්ට යටහත් වූවන් ලෙස නැගී සිටිනු. (අල් කුර්ආන් 2:238)

මධ්‍යකාලීන සලාතය යනු අසර් සලාතය යැයි තහවුරු කරමින් හදීස් වාර්තා වේ.

3- මග්රිබ් සලාතය: හිරු අවරට යෑමෙන් එම වේලාව ආරම්භ වේ. එනම් හිරුගේ ගෝලාකාර හැඩයෙන් කිසිවක් නොදකින තරමට මුළුමණින්ම එය අවරට යෑමය. එය තැනිතලාවක හෝ කඳු මුදුනක හෝ වේවා නොපෙනිය යුතුය. නැගෙනහිර දෙසින් ගොඩනැගිලි වල අඳුර වැටීමෙන් හිරු අවරට ගිය බව හඳුනා ගත හැක. එය උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ නබි තුමාණන්ගේ හදීසය තහවුරු කරයි.

එනම්  ‘රාත්‍රිය මෙහි සිට උදා වූ විට හෝ දහවල මෙහි සිට බැස යන විට උපවාස‍ය රකින්නා උපවාසෙන් මිදෙනු ඇත.  (මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්) පසු ව විහිදී පවතින රක්ත වර්ණය බැස යන තෙක් මග්රිබ් හි වේලාව දිගු වෙයි. රක්ත වර්ණය යනු හිරු එළිය සමඟ මුසු වූ රතු එළිය වේ. පසු ව රතු පැහැය ඉවත් ගොස් සුදු එළිය පමණක් පවතී. පසු ව එය ද ක්‍රමයෙන් සැඟ වී යයි. සුදු එළිය සැඟ වී යාම රතු එළිය සැඟ වී ගිය බවට වූ සාධකයක් වෙයි.

මග්රිබ් සලාතය එහි ආරම්භ වේලාවේම ඉටු කිරීම නබි තුමාණන් පෙන්වා දුන් මඟ වේ. ඉමාම් තිර්මිදි විසින් හෙළිදරව් කළ සල්මා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කළ හදීසය මීට සාධකයක් ලෙස පිහිටයි. එනම්

සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා හිරු අවරට ගිය විට මග්රිබ් සලාතය ඉටු කරන්නෙකු වූහ.

ඉමාම් තිර්මිදි තුමා පවසන ආකාරයට සහාබාවරුන් හා ඉන් පසු පැමිණි බහුතර විද්වතුන්ගේ මතය වූයේ එය බවය. හේතුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සමඟ ජිබ්රීල් (අලෙයිහිස් සලාම්) තුමා පළමු හා දෙවන දිනයන්හි හිරු අවරට ගිය පසු ව එය ඉටු කර ඇති බැවිනි.

4- ඉෂා සලාතය : මග්රිබ් වේලාව අවසන් වීමෙන් ඉෂා වේලාව ආරම්භ වේ. එනම් හිරුගේ රක්ත වර්ණය බැස යාමේ සිට මධ්‍යම රාත්‍රිය දක්වා වූ කාලයයි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසය මීට සාධක ව පවතී. එනම්,

ඉෂා සලාතයේ වේලාව මධ්‍යම රාත්‍රිය දක්වාය. (මූලාශ්‍රය : මුස්ලිම්)

තනි ව හෝ සාමුහික ව සලාතය ඉටු කරන්නන් එහි අවසන් වේලාව දක්වා එය ප්‍රමාද කිරීම උතුම්ය. නමුත් මෙහෙයවන්නෙකු පිළිපදිමින් ඉටු කරන්නන්හට අසීරු වන්නේ නම් එය එහි ආරම්භ වේලාවේම ඉටු කිරීම සතුටු දායකය. එය දුෂ්කරත්වය පදනම් කර ගනිමිනි. හේතුව සහාබාවරුන් කල් ඇතුව රැස් ව සිටිනු දුටුවේ නම් එතුමාණන් එය කළින්ම ඉටු කරති. ඔවුන් ප්‍රමාද වී රැස්වනු දුටුවේ නම් එතුමා ද ප්‍රමාද කරති. (වාර්තාකරු ජාබිර් (රළියල්ලාහු අන්හු) මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්)

ඉෂා සලාතයට පෙර නින්දට යාම පිළිකුල් සහගතය. හේතුව ගැඹුරු නින්දට වැටී එය අතපසු වීමට අවස්ථාව එළඹෙන හෙයිනි. ඉෂා සලාතයෙන් පසුව මිනිසුන් සමඟ කතා කිරීම ද පිළිකුල් සහගතය. ඒ අනුව රාත්‍රිය අවසානයේ නැගිට සලාත් ඉටු කිරීම සඳහා ඉෂා සලාතය ඉටු කළ වහාම නින්දට යා යුතුය. පසුව රාත්‍රිය අවසානයේ නැගිට ඉතා උනන්දුවෙන් තහජ්ජුද් සලාතය ද පසුව සුබ්හු සලාතය ද ඉටු කරනු ඇත. හේතුව ඉෂා සලාතයට පෙර නින්දට යාමත් ඉන්පසු ව කතා කිරීමත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පිළිකුල් කර ඇති බැවිනි. මෙය අබූ බර්දා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කොට ඇති අතර ඉමාම් බුහාරි හා ඉමාම් මුස්ලිම් තුමා විසින් දන්වා ඇත.

මෙසේ පිළිකුල් සහගත වනුයේ කිසිදු අවශ්‍යතාවකින් තොරව රාත්‍රියේ අවදි වී සිටින විටය. නමුත් යම් කිසි හේතුවක් අවශ්‍යතාවක් ඇතොත් එහි වරදක් නොමැත.

5- සුබ්හු හෙවත් ෆජ්ර් සලාතය : අලුයම උදාවෙත්ම එහි වේලාව ඇරඹේ. හිරු උදා වන තෙක් එය දීර්ඝ ව පවතී. අබ්දුල්ලාහ්  අම්ර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ නබි තුමාණන්ගේ ප්‍රකාශය මීට සාධකයක් ලෙස පිහිටයි. එනම්: ‘සුබ්හු වේලාව අලුයම උදාවේ සිට හිරු උදා නොවී පවතින කාලය පුරාය’ මූලාශ්‍රය මුස්ලිම්.

හිරු උදා වීම තහවුරු වූ විට එය ඉක්මන් කිරීම සතුටුදායකය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ‘ගලස්’ හෙවත් අලුයම් කාලයෙහි කෙනෙකු හඳුනා ගත හැකි තරමට ආලෝකය පවතින විට සලාතය ඉටු කර ඇත. (මෙය බුහාරි හා මුස්ලිම් හි සඳහන් ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසයකි.)

කෙනෙකුට අමතක වී නම් හෝ ඔහු නින්දට වැටුණේ නම් හෝ මතක් වූ වහාම එය ඉටු කිරීම අනිවාර්යය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැවසූ බවට අනස් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ දන්වයි. ‘කවරෙකුට සලාතය අමතක වූයේ ද එසේ නැතහොත් ඔහු නින්දට වැටුණේ ද එය මතක් වූ විට ඔහු එය ඉටු කරත්වා ! ඒ වෙනුවෙන් කිසිදු ප්‍රතිකර්මයක් කළ යුතු නැත.’ (මූලාශ්‍රය බුහාරි හා මුස්ලිම්) අතපසු වූ සලාතයක් ප්‍රමාද නොකොට ක්ෂණික ව ඉටු කිරීම අනිවාර්යය වේ. ඇතැම් ජනයා සිතනවාක් මෙන් නියමිත සලාතයට සාපේක්ෂව නියමිත කාලය පැමිණෙන තෙක් අපේක්ෂාවෙන් නොසිටිය යුතුය. එමෙන්ම තහනම් කරනු ලැබූ වේලාව නික්ම යන තෙක් එය ප්‍රමාද ද නොකළ යුතුය. එහෙයින් ඔහු එම අවස්ථාවේම ඉටු කළ යුතුය.

විමසුම:

අතපසු වී ගිය සලාතය ඉටු කිරීමෙන් ඔහුගේ වගකීම ඉටු වෙයි.  අතපසු වී ගිය සලාතය ද තත්කාලීන සලාතය සේම ඉටු කරනු ලබයි. එය ප්‍රසිද්ධියේ පාරායන කොට ඉටු කරනු ලබන්නක් නම් ප්‍රසිද්ධියේ පාරායනය කරමින් ද නිහඬ පිළිවෙතකින් ඉටු කරනු ලබන්නක් නම් නිහඬ ව ද ඉටු කරනු ලැබේ.

අතපසු වූ සලාතයන් කිහිපයක් නම් එවිට ඒවා අනුපිළිවෙළින් ඉටු කරනු ලැබිය යුතුය. හේතුව හන්දක් යුද දිනයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට අසර් සලාතය ඉටු කිරීමට අතපසු වූ කල්හි එතුමාණන් එය මුලින්ම ඉටු කොට පසු ව මග්රිබ් සලාතය ඉටු කළහ. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

අමතකවීමකින් හෝ නොදැනුවත්කමින් හෝ තත්කාලීන සලතයේ වේලාව  ජුමුආ සලාතය හා සාමුහික සලාතය තමන්ට අතපසු වී යනු ඇතැයි බිය වන්නේ නම් හෝ අනුපිළිවෙළ අනුගමනය නොකෙරෙනු ඇත.

එමෙන්ම අතිරේක සලාතයන් නියමිත සලාතයන්ට ආවේණික අමතර සලාතයන් විත්ර් සලාතයන් එම අනිවාර්යය සලාතයන් සමඟම ඉටු කරනු ලැබේ.

දෙවැනි කොන්දේසිය: අව්රා හෙවත් ශරීරයේ රහස්‍ය පෙදෙස් ආවරණය කිරීම.

එනම් ශරීරයේ ආවරණය කළ යුතු අනිවාර්යය කොටස ආවරණය කිරීමය. එය ප්‍රසිද්ධියේ හෙළි දැක්වීම අශීලාචාර ක්‍රියාවකි. එසේ සිදු කිරීමෙන් ලැජ්ජා සහගත විය යුතුය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

يَا بَنِي آدَمَ خُذُوا زِينَتَكُمْ عِنْدَ كُلِّ مَسْجِدٍ

ආදම්ගේ දරුවනි, (සලාතය සඳහා) සිරස නමන සෑම ස්ථානයකම නුඹලාගේ අලංකාරත්වය ගනු... (අල් කුර්ආන් 7:31)

මෙයින් අදහස් කරනුයේ සෑම සලාතක්ම ඉටු කරන අවස්ථාවේ දී තම අලංකාරය ගත යුතුය යන්නයි.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බවට ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී.

‘වැඩිවියට පත් කාන්තාවක් ඇය හිස ආවරණය කරන මොට්ටැක්කිලියකින් තොර ව සලාතය ඉටු කරන්නී නම් එය පිළිගනු නොලැබේ.’ මෙය ඉමාම් අබූ දාවූද් ඉමාම් තිර්මිදි යන අය විසින් වාර්තා කොට ඇති අතර ඉමාම් තිර්මිදි මෙය හසන් ගණයේ හදීසයක් යැයි තවදුරටත් සඳහන් කරයි.

ආවරණය කළ යුතු පෙදෙස නිරාවණය කිරීම අශික්ෂිත කරුණක් යැයි අල්ලාහ් අල් කුර්ආනයේ නම් කරයි.

وَإِذَا فَعَلُوا فَاحِشَةً قَالُوا وَجَدْنَا عَلَيْهَا آبَاءَنَا وَاللَّهُ أَمَرَنَا بِهَا قُلْ إِنَّ اللَّهَ لا يَأْمُرُ بِالْفَحْشَاءِ أَتَقُولُونَ عَلَى اللَّهِ مَا لا تَعْلَمُونَ (28)

ඔවුන් යම් අශික්ෂිත දෙයක් කළ විට ‘අපගේ මුතුන්මිත්තන් මේ මත සිටිනු අපි දුටුවෙමු. තවද අල්ලාහ් අපට මෙය අණ කර ඇත’ යැයි පැවසුවෝය. (නබිවරය) නියත වශයෙන්ම අල්ලාහ් අශික්ෂිත දෑ පිළිබඳ ව අණ නොකරයි. නුඹලා නොදන්නා දෑ අල්ලාහ් මත (ගොතා) පවසන්නෙහු ද?  (අල් කුර්ආන් 7:28)

එකල මොවුන් නිරුවත් ලෙසින් බයිතුල්ලා හෙවත් දේව මන්දිරය ප්‍රදක්ෂණය කරමින් සිටියහ. එසේ සිදු කිරීම ආගමික කටයුත්තක් ලෙස විශ්වාස කළහ.

ආවරණය කළ යුතු දෑහි කොන්දේසි.

සලාතයේ දී ආවරණය කළ යුතු දෑ අනුමත වූවක් පිවිතුරු වූවක් හා ශරීරයේ වර්ණය නොපෙනන විනිවිද භාවයකින් තොර වූවක් විය යුතුය.

පිරිමියකුගේ අව්රාව (ආවරණය කළ යුතු සීමාව)

පිරිමියකු ගැට වියේ පසු වූවත් වැඩි වියේ පසු වූවත් ඔහු තම ශරීරය ආවරණය කළ යුතු සීමාව වනුයේ ඉණටියේ සිට දණහිස දක්වා වූ කොටසයි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අලී (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ දන්වයි. ‘ඔබ ඔබේ කලවා ප්‍රදේශය ප්‍රදර්ශනය නොකරනු. ජීවතුන් අතර සිටින්නෙකුගේ හෝ මිය ගිය අයකුගේ හෝ කලවා ව දෙස නොබලනු.’  (මූලාශ්‍රය: අබූ දාවූද්)

තම පියා තම සීයාගෙන් ගෙන තමන්ට දැනුම් දුන් බවට අම්ර් ඉබුනු ෂුඅයිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසය ද මෙලෙස විස්තර කරයි.

‘අව්රාව (ආවරණය කළ යුතු කොටස) වනුයේ ඉණ හා දණහිස අතර වූ කොටසයි.’ 

මූලාශ්‍රය දාරුකුත්නී. මෙය හසන් ගණයට අයත් වාර්තා සම්බන්ධතාවකින් යුක්තය.

වැඩිවියට පත් කාන්තාවකගේ අව්රාව. ඇයගේ මුළු ශරීරයම ආවරණය කළ යුත්තකි.  නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ ප්‍රකාශ කළහ. ‘කාන්තාව මුළුමණින්ම අව්රාවකි’ මෙය ඉමාම් තිර්මිදි විසින් පූර්ව සාධක හදීසයක් යැයි සඳහන් කොට ඇත. ‘වැඩිවියට පත් කාන්තාවක් ඇය හිස ආවරණය කරන මොට්ටැක්කිලියකින් තොර ව සලාතය ඉටු කරන්නී නම් එය පිළිගනු නොලැබේ’ යැයි ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලද හදීසයත් මීට සාධක ව පිහිටා ඇත. මෙය පදනම් කර ගනිමින් විද්වත්හු ‘ඇත්තෙන්ම කාන්තාවක් සලාතයේ නියමිත වේලාව ලබා පසු ව ඇය එම සලාතය ඉටු කරයි. නමුත් ඇයගේ අව්රාවෙන් කොටසක් නිරාවරණය වී නම් ඇයගේ සලාතය සුදුසු නොවෙයි’ යන නීතිය ක්‍රියාත්මක කරයි.  

මෙම හදීස් සමඟ අල්ලාහ්ගේ වදන් කිහිපයක් ද කියවා බලමු.

وَلَا يُبْدِينَ زِينَتَهُنَّ إِلَّا مَا ظَهَرَ مِنْهَا وَلْيَضْرِبْنَ بِخُمُرِهِنَّ عَلَى جُيُوبِهِنَّ وَلَا يُبْدِينَ زِينَتَهُنَّ إِلَّا لِبُعُولَتِهِنَّ

ඔවුන්ගේ අලංකාරය ඉන් මතු පිටින් ඇති දෑ හැර ප්‍රදර්ශනය නොකළ යුතුය. ඔවුන්ගේ මොට්ටැක්කිලි මගින් ඔවුන්ගේ පපු මත දැමිය යුතුය. තම ස්වාමි පුරුෂයින්ට හැර වෙන කිසිවකුට ඔවුන්ගේ අලංකාරය ප්‍රදර්ශනය නොකළ යුතුය. (අල් කුර්ආන් 24:31)

يَا أَيُّهَا النَّبِيُّ قُلْ لِأَزْوَاجِكَ وَبَنَاتِكَ وَنِسَاءِ الْمُؤْمِنِينَ يُدْنِينَ عَلَيْهِنَّ مِنْ جَلَابِيبِهِنَّ

අහෝ නබිවරය, ඔබේ බිරින්දෑවරුන් ඔබේ දූවරුන් හා දේව විශ්වාසවන්ත කාන්තාවන්හට ඔවුන්ගේ ලෝගුව ඔවුන් මත එල්ලෙන්නට දමනු යැයි පවසනු. (අල් කුර්ආන් 33:59)

وَإِذَا سَأَلْتُمُوهُنَّ مَتَاعًا فَاسْأَلُوهُنَّ مِنْ وَرَاءِ حِجَابٍ ذَلِكُمْ أَطْهَرُ لِقُلُوبِكُمْ وَقُلُوبِهِنَّ

(නබිතුමාගේ බිරින්දෑවරුන් වන) ඔවුන්ගෙන් නුඹලා යම් වස්තුවක් ඉල්ලා සිටින්නේ නම් තිරයක පිටුපස සිට නුඹලා ඔවුන්ගෙන් ඉල්ලා සිටිනු. එය නුඹලාගේ හදවත් ඔවුන්ගේ හදවත් වලට වඩාත් පිවිතුරු වේ.  (අල් කුර්ආන් 33:53)

මෙම පාඨ හා මෙම අදහස ඇති ව සඳහන් වන කුර්ආනයේ හා හදීසයේ සෙසු ප්‍රකාශ කාන්තාවක් අන්‍ය පිරිමින් ඉදිරියේ ඇය මුළුමණින්ම අව්රාවක් යැයි පෙන්වා දෙයි. සලාතයේ හෝ වේවා වෙනත් අවස්ථාවක හෝ වේවා ඔවුන් ඉදිරියේ තම ශරීරයෙන් යමක් ප්‍රදර්ශනය කිරීම සුදුසු නොවේ. නමුත් ඇය අන්‍ය පිරිමින් නොමැති ස්ථානයක සලාතය ඉටු කරන්නී නම් සලාතයේ දී ඇයගේ මුහුණ ඇය නිරාවරණය කරයි. එමෙන්ම ඇයගේ දෑත් හා පාද ද නිරාවරණය කරයි. එය කාන්තාවකට ඇය ඇඳ සිටින ඇඳුම සමඟ සලාතයේ නිරත වීමට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ලබා දුන් අවකාශය ගැන අස්මා (රළියල්ලාහු අන්හා) තුමිය කළ වාර්තාව ඊට නිදසුනක් පිහිටන බැවිනි.

ගැට වියේ පසුවන කාන්තාවක් නම් ඇයගේ හිස මුහුණ දෑත් හා පාද යන දෑ හැර සෙසු සියල්ල අව්රා වේ.

තවද අල්ලාහ් සලාතයේ දී අව්රා ව ආවරණය කිරීමට  අමතර ව යමක් කරන මෙන් නියෝග කරයි. එය අලංකාරයෙන් පසුවීමයි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.

يَا بَنِي آدَمَ خُذُوا زِينَتَكُمْ عِنْدَ كُلِّ مَسْجِدٍ

ආදම්ගේ දරුවනි, (සලාතය සඳහා) සිරස නමන සෑම ස්ථානයකම නුඹලාගේ අලංකාරත්වය ගනු... (අල් කුර්ආන් 7:31)

මෙහිදී අව්රා ව ආවරණය කිරීම පමණක් නොව අලංකාරයෙන් පෙනී සිටීමට ද ඔහු නියෝග කරයි. මුස්ලිම්වරයකු අල්ලාහ් ඉදිරියේ සිටින විට අලංකාර ඇදුමෙන් සැරසී අලංකාර ලෙස පෙනී සිටිය යුතුය. ඒ අනුව සලාතය ඉටු කරන්නෙකු මතු පිටින් හා අභ්‍යන්තර ව පූර්ණ අලංකාරයෙන් ලෙසින් පෙනී සිටියි. සුපුරුදු පරිදි අලංකාරය සඳහා සූදානම් වෙමින් හිස ආවරණය කරන්නේ නම් ඒ සඳහා ඔහුගේ හිස ද ඔහු ආවරණය කර ගනී.

තුන්වන කොන්දේසිය: නජීස් වලින් වැළකී සිටීම.

නජීස් වලින් වැළකී සිටීම යනු සලාතය ඉටු කරන්නා එයින් දුරස්වීමයි. එනම් තම ශරීරයේ හෝ වස්ත්‍රයේ හෝ සලාතය ඉටු කරන ස්ථානයේ හෝ එය තැවරී ඇත්නම් ඉවත් කිරීමයි.

නජීස් යනු මියගිය දෑ වහනය වන රුධිරය මලමූත්‍ර වැනි සලාතයට බාධා පමුණුවන නියමිත අපවිත්‍ර දෑ වේ. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.

وَثِيَابَكَ فَطَهِّرْ

ඔබේ වස්ත්‍රය ඔබ පිරිසිදු කර ගන්න. (අල් කුර්ආන් 74:4) මින් අදහස් කෙරෙනුයේ එය ජලයෙන් සෝදා පිරිසිදු කිරීම බව ඉබ්නු සීරීන් තුමා පවසා සිටියි. වේදනාවට ලක්වෙමින් තිබූ මිණීවළ වල් දෙකින් එකක් පිළිබඳ ව නබි තුමාණන් පවසා සිටිය දී ‘ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු මූත්‍ර කොට එයින් පිරිසිදු නොවූ අයෙකි’ යැයි පැවසූ බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. එමෙන්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අස්මා (රළියල්ලාහු අන්හා) තුමියට ‘ඔබ ඔබේ ඇඳුමෙහි ඔසප් රුධිරය තැවරුණු විට එයා සෝදා ගෙන පසු ව එහි සලාතය ඉටු කරන්න’ යැයි නියෝග කළහ. (මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්) තවත් අවස්ථාවක ‘ඔබේ පාවහන් යුගල බිම අතුල්ලා පසු ඒ දෙක පැලද සලාතය ඉටු කරන්න’ යැයි නියෝග කළහ. තවත් අවස්ථාවක  ‘මස්ජිදය තුළ මූත්‍ර කළ පුද්ගලයාගේ මූත්‍රවට ජලය වක්කොට පිරිසිදු කරන්නැ’යි නියෝග කළහ. එමෙන්ම මලමූත්‍ර අවස්ථාවන්හි ජලය මගින් හා ගල් මඟින් පිරිසිදු කර ගැනීම පිළිබඳ සදහන් වී හදීස් හා මීට අමතර ව පිරිසිදුකම පිළිබඳ ව සඳහන් හදීස් ද මීට සාධක වශයෙන් පිහිටා ඇත.

සලාතයෙන් පසු ඔහු යම් අපවිත්‍ර දැයක් ඔහු මත තිබෙනු දුටුවේ නම් එමෙන්ම එය ඇති වූයේ කවදා කොතැනක දැයි ඔහු නොදන්නේ නම් එවිට ඔහුගේ සලාතය නිවැරදිය. එමෙන්ම සලාතයට පෙර ඒ පිළිබඳ ඔහු දැන සිටිය ද එය ඉවත් කිරීමට ඔහුට අමතක වී නම් එවිට ද වඩා නිවැරදි ප්‍රකාශ අනුව ඔහුගේ සලාතය නිවැරදිය. නමුත් සලාතය අතරවාරයේ යම් අපවිත්‍ර දැයක් ඇති බව දැන මහත් පරිශ්‍රමයකින් තොරව නජීස් ඉවත් කිරීමට හැකි පාවහන් හා ජටාව වැනි දෙයක් වෙතොත් එය ඉවත් කොට සලාතය අඛණ්ඩ ව ඉටු කළ යුතුය. එය ඉවත් නොකළේ නම් සලාතය නිෂ්ඵල වී යයි.

විමසුම සලාතය ඉටු කිරීමට නුසුදුසු ස්ථාන

පළමුව : කබ්ර් හෙවත් සුසාන භූමිය. එනම් සුසාන භූමියක සලාතය ඉටු කිරීම නිවැරදි නොවේ. එය මිනී වළ දමා ඇති සෑම ස්ථානයක්ම අදහස් කෙරේ. අබූ සඊද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ ප්‍රකාශය මීට සාධක වශයෙන් පිහිටා ඇත. එනම් ‘සොහොන් බිම් ස්නානය කරන ස්ථාන හැර මුළු මහත් මහපොළොවම මස්ජිද් (සලාතය ඉටු කෙරෙනු ලබන ස්ථානයන්) වේ.’ ප්‍රධාන පෙළේ ඉමාම්වරු පස් දෙනා විසින් මෙය වාර්තා කොට ඇත. ඉමාම් තිර්මිදි තුමා මෙය පූර්ව සාධක සහිත හදීසයක් බව දන්වා සිටීයි. තවත් විටෙක නබි තුමාණෝ ‘නුඹලා කබ්ර් ස්ථාන වෙත සලාතය ඉටු නොකරන්න. ඒ මත වාඩි වී නොසිටින්න’ යැයි ප්‍රකාශ කර ඇත. (මූලාශ්‍රය: මුස්ලිම්)

කබ්ර් ස්ථාන වල හෝ මිනී වළ දැමූ ස්ථානයක සලාතය ඉටු කිරීම තහනම් වීමට මූලික හේතුව අපවිත්‍රකමින් ප්‍රවේශම් වීම සඳහා නොව එය ඒවාට ගරු බුහුමන් දැක්වීමක් හෝ වන්දනාවක් බවට පවත්වන බැවිනි. මෙය මිනීවළවල් නැමදුමට ලක් වීමේ මාර්ග වසා දමනු ඇත. නමුත් මෙහිදී ජනාzසා සලාතය වෙන් වෙයි. එම සලාතය කබ්ර් ස්ථාන වල ඉටු කිරීමට අනුමැතිය ඇත. එමෙන්ම මිනීවළක් මතට වී සලාතය ඉටු කිරීම ද මෙලෙසමය. කබ්ර් ස්ථානය යැයි සැලකෙන කවර ස්ථානයක හෝ වේවා සලාතය ඉටු නොකළ යුතුය. හේතුව කබ්ර් ස්ථානයට මිනී වළ දැමූ ස්ථාන සමඟම එය අවට වූ භූමි ප්‍රෙද්ශයත් ඇතුළත් වන බැවිනි.

ඒ අනුව කබ්ර් දෙසට හැරී සලාතය ඉටු කිරීම ද නිවැරදි නොවේ. අබූ මුර්සිද් අල් ගන්වීයි (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ ප්‍රකාශය මීට සාධක වශයෙන් පිහිටයි. එනම් ‘නුඹලා මිනීවළවල් වෙත සලාතය ඉටු නොකරනු’ (මූලාශ්‍රය: මුස්ලිම්)

එමෙන්ම කබ්ර් ඉදි කර ඇති මස්ජිදයන් තුළ සලාතය ඉටු කිරීම ද නිවැරදි නොවේ. මස්ජිදය තනා පසු ව එහි දේහය වළ දමා ඇත්නම් එවිට එම දේහය ගොඩ ගෙන මස්ජිද් සීමාවෙන් ඉවත වළ දැමිය යුතුය.

දෙවනුව: වැසිකිළි වල සලාතය ඉටු කිරීම ද නිවැරදි  නොවේ. ඒව මළමූත්‍ර පහ කරන ස්ථාන වේ. එම ස්ථාන වල ෂෙයිතානුන් ගැවසෙන බැවින් ද ඒවා වැසිකිළි කැසිකිළි අවශ්‍යතා ඉටු කිරීම සඳහා සූදානම් කර ඇති බැවින් ද එම ස්ථාන වල සලාතය ඉටු නොකළ යුතුය.

තුන්වනුව: නාන කාමර වල සලාතය ඉටු කිරීම ද නිවැරදි නොවේ. එය ස්නානය කිරීම සඳහා ඉදිකරන ලද ස්ථානයක් වන බැවින් ද තම රහස්‍ය පෙදෙස් නිරාවරණය කරන ස්ථානක් බැවින් ද ෂෙයිතානුන් ගැවසෙන ස්ථානයක් බැවින් ද එහි සලාතය ඉටු කිරීම සුදුසු නොවේ. මෙම තහනම නාන ස්ථානයට පමණක් නොව දොරටුවක් ඉදි කොට නාන කාමරය යැයි සැලකෙන සෑම ස්ථානයකටම අදාළ වේ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වාර්තා කළ බවට අබූ සඊද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් දන්වා ඇති හදීසය මීට සාධක වශයෙන් පිහිටා ඇත. එනම් ‘මිනි වළ දමා ඇති ස්ථාන හා ස්නානය කරන ස්ථාන හැර මුළු මහත් මහපොළොවම මස්ජිද් (සලාතය ඉටු කෙරෙනු ලබන ස්ථානයන්) වේ.’ ප්‍රධාන පෙළේ ඉමාම්වරු පස් දෙනා විසින් මෙය වාර්තා කොට ඇත. මෙය පූර්ව සාධක සහිත හදීසයක් බව දන්වා සිටීයි.

සිව්වැන්න : ඔටු ගාල් වල සලාතය ඉටු කිරීම ද නිවැරදි නොවේ. එය ඔටුවන් ජීවත් වන එමෙන්ම නිතර ගැවසෙන ස්ථානයකි. එමෙන්ම ඔටුවන් ජලය පානය කිරීම සඳහා යන එන ස්ථා වල ද සලාතය ඉටු නොකළ යුතුය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔටුවන් ගාල් කරන ස්ථානයන්හි සලාතය ඉටු කිරීම වළකා ඇති බවට ජාබිර් බින් සමුරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසය මීට සාධක වශයෙන් පිහිටා ඇත. (මූලාශ්‍රය: මුස්ලිම්)

පස් වැන්න : නජීස් හෙවත් අපවිත්‍ර දෑ ඇති ස්ථාන වල ද සලාතය ඉටු කිරීම නිවැරදි නොවේ. නජීස් ස්ථාන වල සලාතය ඉටු කිරීමේ තහනම පිළිබඳ ව ඉහත සඳහන් හදීස් මීට සාධක වශයෙන් පිහිටා ඇත.

විමසුම :

ප්‍රතිමා ඉදි කරනු ලැබූ ස්ථාන හෝ පිළිරූ එල්ලා ඇති ස්ථාන වල සලාතය ඉටු කිරීම පිළිකුල් සහගතය. මේ පිළිබඳ ව සහාබාවරු දැනුම් දුන් වාර්තා ග්‍රන්ථ වල සඳහන් ව ඇත.

සිව්වැන්න : කිබ්ලාවට මුහුණ ලෑම

සලාතය නිවැරදි වීමේ කොන්දේසි අතුරින් කිබ්ලාවට මුහුණ ලෑමද එක් කොන්දේසියකි. එනම් එය පාරිශුද්ධ කඃබාවයි. ඒ වෙත ජනයා මුහුණලා යන බැවින් ද සලාතය ඉටු කරන්නා එයට මුහුණලා සලාතය ඉටු කරන බැවින් ද එයට කිබ්ලා යනුවෙන් නම් තබන ලදී. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා සිටියි.

 فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ وَحَيْثُ مَا كُنْتُمْ فَوَلُّوا وُجُوهَكُمْ شَطْرَهُ

නුඹගේ මුහුණ ශුද්ධ මස්ජිදය වෙත ම හරවනු. නුඹලා කොතැනක සිටිය ද නුඹලා නුඹලාගේ මුහුණු ඒ දෙසටම හරවනු. (අල් කුර්ආන් 2: 150)

සලාතය වැරදි ලෙස ඉටු කළ පුද්ගලයකු සම්බන්ධයෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කොට අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) විසින් වාර්තා කළ හදීසය ද මෙයට සාධක වශයෙන් පිහිටා ඇත. එනම් ‘ඔබ සලාතය සඳහා සූදානම් වූ විට පූර්ණ ලෙස වුළු ධෝවනය කර ගන්න. පසු ව කිබ්ලා දෙසට මුහුණ ලා අල්ලාහු අක්බර් යැයි තක්බීර් පවසන්න. (මූලාශ්‍රය: මුස්ලිම්)

කවරෙකු මස්ජිදුල් හරම් තුළ කඃබාවට සමීප සිටින්නේ ද ඔහු තම මුළු ශරීරයම කඃබා ව දෙසටම හැරවීම අනිවාර්යය වේ. හේතුව ඒ දෙසට හැරීමේ හැකියාව ඔහුට තිබෙන බැවිනි. එහෙයින් ඔහු එයින් වෙනතකට හැරීම සුදුසු නොවේ. නමුත් කවරෙකු කඃබාවට දුරින් වෙනත් ප්‍රදේශ වල ජීවත් වන්නේ ද එවිට ඔහු සලාතයේ දී කඃබා ව පිහිටා ඇති දිශාවට මුහුණ ලා යුතුය. එවිට මදක් කඃබාවට දකුණින් හෝ වමින් හෝ පිහිටීම වරදක් නොවේ. ඊට සාධක වශයෙන් ‘කිබ්ලා ව නැගෙනහිර හා බටහිර අතරය’ යැයි යනුවෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බවට අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසය සාධක වශයෙන් පිහිටා ඇත. මෙම හදීසය ඉමාම් තිර්මිදි තුමා පූර්ව සාධක හදීසයක් බව සඳහන් කරන අතරම සහාබාවරු එක් අයකු පමණක් නොව බහුතරයක් දෙනා මම හදීසය සඳහන් කර ඇත. මෙය මදීනා වාසීන් හා එයට සමාන්තර ව පිහිටා ඇති ප්‍රදේශවාසීන් මුල් කර ගෙනය. මේ හා සමාන ව සෙසු ප්‍රදේශ ද තක්සේරු කළ යුතුය. උදාහරණයක් වශයෙන් කෙනෙකු නැගෙනහිර පළාතක ජීවත් වන්නේ එවිට ඔහුගේ කිබ්ලා ව වනුයේ උතුරු හා දකුණ අතර වූ ප්‍රදේශයයි. බටහිර පළාතක සිටින්නේ නම් එහි නීතිය ද එලෙසමය.

විමසුම: පහත සඳහන් අවස්ථා වල කිබ්ලා ව මුහුණ ලෑමේ කොන්දේසිය ක්‍රියාවිරහිත වේ.

කිබ්ලා දෙසට මුහුණලෑමට නොහැකි වූ අවස්ථාවක: යම් කෙනෙකු කිබ්ලාවට මුහුණ ලෑමට හැකියාව තිබුණු නමුත් ඔහු කිබ්ලා නොවන දිශාවකට බැඳ දමා හෝ හිර කර තබා ඇති විටෙක විද්වතුන්ගේ ඒකමතික තීන්දුව අනුව ඔහු කිබ්ලා දෙසට නොහැරුණ ද ඔහුගේ හැකියාවට අනුව සලාතය ඉටු කළ යුතුය. හේතුව අනිවාර්යය දෑ නොහැකියාව හේතුවෙන් ඉන් ඉවත් වන බැවිනි.

වැළැක්විය නොහැකි අවස්ථාවක:

යුද පිටියක යුද්ධය උග්‍ර වූ අවස්ථාවක හා ගංවතුර හේතුවෙන් හෝ ගින්නක් හේතුවෙන් හෝ සතුරු ප්‍රහාරයක් හේතුවෙන් හෝ වෙනත් හේතුවක් මත පලා යන කෙනෙකු උදාහරණ වශයෙන් පෙන්විය හැක. එම අවස්ථාවේ කිබ්ලා ව දෙසට මුහුණ ලෑමේ කොන්දේසිය ක්‍රියාවිරහිත වේ.

දුෂ්කර හා අසීරු අවස්ථාවක:

කිබ්ලා ව දෙසට මුහුණ ලෑමට ශක්තිය නොදරන රෝගියකු හෝ ඒ දෙසට හැරීමට අසීරු කෙනෙකු උදාහරණ ලෙස පෙන්විය හැක. මොවුන් සියලු දෙනා කිබ්ලා නොවන දිශාවක සිටිය ද ඔවුන් සිටින තත්තවයේම සලාතය ඉටු කරයි. ඔවුන්ගේ සලාතය නිවැරදිය. හේතුව නියත වශයෙන්ම කොන්දේසියක් එය ඉටු කළ නොහැකි තත්වයකට පත් වූ විටෙක එහි අනිවාර්යභාවය ක්‍රියාවිරහිත වෙයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

فَاتَّقُوا اللَّهَ مَا اسْتَطَعْتُمْ

‘නුඹලා හැකි පමණින් අල්ලාහ්ට බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්න.’ (අල් කුර්ආන් 64:16)

‘මම නුඹලාට යමක් නියෝග කළ විට නුඹලාගේ හැකියාවේ තරමට එය ගෙන එනු’ යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්) ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසයක් බුහාරිහි මෙසේ සඳහන් වෙයි. ‘සැබැවින්ම ඔවුන් බිය දරුණුවූ අවස්ථාවේ කිබ්ලාවට

 මුහුණලමින් ද පසුපස ලමින් ද සලාතය ඉටු කර ඇත.

ගමනක නිරත වෙමින් සිටිය දී නෆිල් හෙවත් අතිරේක සලාතයේ දී :

කෙනෙකු පා ගමනින් හෝ වාහනයකින් හෝ ගමන් කරමින් සිට සීමිත ඉඩකඩක් පමණක් ඇති බැවින් කිබ්ලා දෙසට හැරීමට හැකියාවක් නොදැරුවේ නම් එහිදී ද කිබ්ලා නොවන දිශාවකට සලාතය ඉටු කිරීම අනුමැතිය ඇත. මේ සඳහා අනස් (රළියල්ලාහු අන්හු) ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) යන උතුමන්ලා හා වෙනත් අය කළ වාර්තාවන් සාධක වශයෙන් පිහිටා ඇත.

විමසුම:

කිබ්ලා දිශාව යැයි පෙන්වා දෙන කරුණු බොහෝමයක් ඇත.

එවායින් සමහරක් මෙසේය.

දැනුම් දීමෙන්: එනම් වැඩිවියට පත් විශ්වාසනීය පුද්ගලයකු විසින් කිබ්ලා දිශාව මෙය යැයි දැනුම් දුන් විටක ඔහුගේ දැනුම් දීම මුල් කර ගනිමින් ක්‍රියා කළ හැක.

මහාරීබ් හෙවත් නැමදුම් මධ්‍යස්ථාන අනුගමනය කරමින්: කිබ්ලා දිශාවට මුහුණ ලා එහි නැමදුම් කරනු ලබන්නේ නම් එය අනුගමනය කරමින් ක්‍රියා කළ හැක. එය කිබ්ලා ව යන්නට සාධක වශයෙන් ද ගත හැක. හේතුව එම නැමදුම් මධ්‍යස්ථාන වල සුපුරුදු පරිදි නැමදුම් කටයුතු කරනුයේ එම දිශාව මුල් කර ගෙන බැවිනි. ඒ අනුව ඒ දෙසට මුහුණලෑම නිවැරදි බව එය පෙන්වයි.

ක්ෂිතිජයේ ඇති සලකුණු මගින් : තාරකා මුල් කර ගනිමින්  කිබ්ලා දිශාව සොයා ගත හැක. අහසෙහි ඒවා ස්ථාන ගත වී ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ  ප්‍රකාශ කරයි.

وَعَلَامَاتٍ وَبِالنَّجْمِ هُمْ يَهْتَدُونَ

සලකුණු හා තරු මගින් ඔවුහු මඟ ලබති.  (අල් කුර්ආන් 16:16)

හිරු හා සතු පිහිටීම මගින්

මාලිමා යන්ත්‍රය වැනි නවීන උපකරණ හෝ වෙනත් දෑ මගින්

විමසුම :

කිබ්ලා දිශාව සොයන්නා කිබ්ලා දිශාව පිළිබඳ අවබෝධයක් ඇත්තෙකු නම් ඔහු පදිංචිව සිටිය ද ගමනක සිටිය ද එය පරිශ්‍රමයකින් යුතු ව සෙවිය යුතුය. එසේ තම පරිශ්‍රමයෙන් සොයා දැන ගන්නට තරම් දැනුම නොමැති වූ විටෙක ඒ පිළිබඳ පරිශ්‍රමයෙන් සොයා දැන ගන්නා වෙනකකු අනුගමනය කළ යුතු වේ. එමෙන්ම ඔහු පදිංචි ව සිටී නම් හෝ ගමට කිට්ටුවෙන් සිටී නම් හෝ මස්ජිදයක සිටින්නේ නම් කිබ්ලා දිශාව වෙන කෙනකු ගෙන් අසා දැන ගත යුතුය. කිබ්ලා ව පිළිබඳ කිසිවකු අනුගමනය කිරීමකින් හෝ විමසීමකින් තොර ව සලාතය ඉටු කොට කිබ්ලා දිශාව ඔහුට වැරදුණු විට ඔහු සලාතය නැවත ඉටු කළ යුතු වේ.

පොදුවේ යමෙකු මස්ජිදයෙන් හා පදිංචි ස්ථානයෙන් ඈතක සිටින්නේ නම් එවිට ඔහු කිබ්ලාව තක්සේරු කොට සලාතය ඉටු කළ යුතුය. එවිට ඔහුගේ සලාතය නිවැරදිය.

පස්වැන්න: නිය්යත් හෙවත් පැතුම

නීය්යතයක සලාතයේ කොන්දේසි අතුරින් එකකි. නිය්යත් යන්නෙහි භාෂාමය අදහස පැතුම චේතනාව යන්නයි. ආගමානුකූල අදහස වනුයේ අල්ලාහ් වෙත සමීප වීම උදෙසා ඔහුට ගැතිකම් කිරීමට ඇති කර ගන්නා වූ අධිෂ්ඨානයයි.

එහි ස්ථානය හදවතය. එය මුවින් ප්‍රකාශ කළ යුතු නැත. එය නවක බිහි වූ කරුණකි. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හෝ එතුමාගේ මිතුරන් වන සහාබාවරු හෝ එසේ සිදු කර නොමැත. තමන් අපේක්ෂිත සලාතය එනම් ලුහර් නම් ලුහර් ලෙසත් අසර් නම් අසර් ලෙසත් තම හදවතෙහි අධිෂ්ඨාන කර ගත යුතුය. ‘සියලු ක්‍රියාවන් චේතනාව අනුව පිහිටයි’ යනුවෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කළ ප්‍රකාශය මීට සාධක වශයෙන් පිහිටයි. (වාර්තාකරු: උමර් රළියල්ලාහු අන්හු තුමා, මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්) ඒ අනුව නියමිත සලාතය හෝ වේලාවට නියමිත සලාතය අදිටන් කරයි. නිය්යතය නැමදුමත් සමඟම බැදෙනු පිණිස එය ආරම්භ තක්බීරයේම අදිටන් කරයි. මදක් කළින් අදිටන් කළේ නම් එහි වරදක් නොමැත.

එම අදිටනය සලාතය පුරාවට පිහිටිය යුතුය. සලාතය අතරවාරයේ අදිටනය බිද වැටුණේ නම් එවිට සලාතය නිෂ්ඵල වී යයි.

අදිටනය බිඳ වැටීම පිළිබඳ ව යම් සැකයක් වී නම් සලාතය නිෂ්ඵල නොවෙයි. හේතුව අදිටනය මුල් ස්වභාවයෙන්ම තවදුරටත් පිහිටන බැවිනි. එමෙන්ම සලාතයේ තහනම් කරන ලද දෙයක් සිදු කිරීමට සිතුවේ නම් එවිට සලාතය නිෂ්ඵල නොවේ.

විමසුම: තනි ව සලාතය ඉටු කරන්නෙකුට ෆර්ල් හෙවත් අනිවාර්යය සලාතය සඳහා අදිටන් කොට පසු ව සාධාරණ හේතුවක් තිබී  ඔහු එය නාෆිලා හෙවත් අතිරේක සලාතයක් ලෙස වෙනස් කිරීමට අනුමැතිය ඇත. උදාහරණයක් ලෙස ඔහු තනි ව සලාතය ඉටු කොට පසු ව සාමුහික සලාතය සමඟ එකතු වීමට සිතූ විටක එලෙස කටයුතු කළ හැක.

නිය්යතය වෙනස් කිරීම කොටස් කිහිපයකට බෙදෙයි.

පළමුවැන්න: අනිවාර්යය සලාතයක් හෝ කාල හෝ ස්ථාන හෝ අවස්ථා සහගත අතිරේක සලාතයක් පොදු අතිරේක සලාතයක් බවට වෙනස් කිරීම. එය සාමුහික සලාතය අතපසු වීමක් හෝ සලාතය සඳහා වූ නියමිත කාලය ඉකුත් වීමක් හෝ සිදු විය හැකි තාක්කල් එසේ කිරීමට අනුමැතිය ඇත.

දෙවැන්න: නියමිත සලාතයක් නියමිත සලාතයක් වෙත වෙනස් කිරීම එවිට ඔහුගේ අදිටනය ඔහු අහෝසි කළ බැවින් පළමු සලාතය නිෂ්ඵල වී යයි. මුල සිට අදිටනය නොමැති බැවින් දෙවන සලාතය ඉටු නොවෙයි.

තුන්වැන්න: පොදු සලාතයක් නියමිත සලාතයකට වෙනස් කිරීම එය නිවැරැදි නොවේ.

විමසුම:

මේ හැර වෙනත් වෙනස් වීම සිදු කළ හැක. එනම් පුද්ගලික ව සලාතය ඉටු කරමින් සිටින තත්ත්වයේ සිට සාමුහිකව ඉටු කරනු ලබන සලාතයට සහභාගී වීමට හෝ සලාතය මෙහෙයවීමේ තත්ත්වයට හෝ වෙනස් වීමට අවසරය ඇත. එමෙන්ම සාධාරණ හේතුවක් ඇතොත් ඉමාමත් තත්ත්වයේ සිට මඃමූම් තත්ත්වයට හෝ පුද්ගලික ව සලාතය ඉටු කිරීමේ තත්ත්වයට වෙනස් වීමට අවසරය ඇත. එමෙන්ම සාධාරණ හේතු ඇතොත් මඃමූම් තත්වයේ සිට ඉමාමත් තත්ත්වයට හෝ පුද්ගලික ව සලාතය ඉටු කරන තත්ත්වයට වෙනස් වීමට ද අවසරය ඇත.

ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසය මීට සාධක වශයෙන් පිහිටා ඇත. එනම් නියත වශයෙන්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සලාතය සඳහා සිට ගත්හ. එතුමාණන්ට වමින් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු සිට ගත්හ. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පුද්ගලික ව ඉටු කරමින් සිටි තත්ත්වයේ සිට සාමුහික සලාතයේ තත්තවයට වෙනස් වූහ. (මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්) මේ හැර ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය හා වෙනත් අය විසින් වාර්තා කරන ලද හදීස් ද සඳහන් වී ඇත.

 සලාතය සඳහා මස්ජිදය වෙත ගමන් කිරීමේ විනය පිළිබඳ පාඩම

මුස්ලිම් සමාජය සමග එක් වී සාමුහික ව සලාතය ඉටු කිරීම සඳහා මුස්ලිම්වරයකු නිවසින් පිට ව යන විට තැන්පත් ව හා ගාම්භීර ව පිට ව යා යුතුය. සකීනත් හෙවත් තැන්පත්භාවය යනු තමන් ගමන් කරන විට ඉතා සන්සුන් ව ගමන් කිරීමය. වකාර් හෙවත් ගාම්භීරත්වය යනු ශාන්ත ලීලාවෙන් මෘදු ලෙසින් බැල්ම පහත හෙළමින් ගමන් කිරීමය.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැවසූ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

ඔබ සලාතය සඳහා පැමිණෙන විට (තවත් වාර්තාවක ඔබට ඉකාමත් ඇසුනු විට) ඔබ ගමන් කරනු. ඔබ තැන්පත්ව ගමන් කරනු. ඔබට සලාතය හිමි වූ විට සලාතය ඉටු කරනු. ඔබට ඉන් යමක් අතපසු වූ විට එය පූර්ණවත් කරනු. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

‘ඔබ අතුරින් කිසිවකු හෝ සලාතය වෙත යන්නේ ද එවිට ඔහු සලාතය තුළය.’ යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව ඉමාම් මුස්ලිම් තුමා දන්වා ඇත.

මුස්ලිම්වරයකු මස්ජිදය වෙත උදෑසනම පිටත් ව යා යුතුය. හේතුව ඔහු මුල් තක්බීරය හිමි කර ගත යුතු බැවින් හා සාමුහික සලාතයට මුල් අවස්ථාවේම සහභාගී විය යුතු බැවිනි.

‘ඔබ අතුරින් කෙනෙකු වුළු ගෙන එම වුළු ධෝවනය අලංකාර ව ඉටු කොට පසු ව ඔහු මස්ජිදය වෙත පිය නගන්නේ නම් ඔහු තබන සෑම පියවරකට එමගින් ඔහුට තරාතිරමක් උසස් වී එමගින් ඔහුගේ පාපයක් මැකී යනු මිස නැත.’ යැයි ඉබ්නු උමර් (රළියල්ලාහු අනුහු) තුමා විසින් කළ වාර්තාව බුහාරි මුස්ලිම් හි සඳහන් වී ඇත.

මස්ජිදය දොරටුව අසලට ගිය විට එහි පිවිසෙන අවස්ථාවේ දකුණු කකුල මුලින් තබා පහත සඳහන් අයුරින් යැයි පැවසිය යුතුය.

أَعُوذُ بِاللَّهِ الْعَظِيمِ وَبِوَجْهِهِ الْكَرِيمِ وَسُلْطَانِهِ الْقَدِيمِ مِنْ الشَّيْطَانِ الرَّجِيمِ

අඌදු බිල්ලාහිල් අළීම් වබිවජ්හිල් කරීම් වසුල්තානිහිල් කදීම් මිනෂ් ෂෙයිතානිර් රජීම්

තේරුම: සර්ව බලධාරී අල්ලාහ්ගේ නාමයෙන් ද සදා පවතින ඔහුගේ ගරුත්වයේ නාමයෙන් ද ඔහුගේ ආධිපත්‍යයේ නාමයෙන් ද පලවා හරින ලද ෂෙයිතාන්ගෙන් සිදු විය  හැකි හානියෙන් ආරක්ෂාව පතමි.

මෙය අබූ දාවූද්හි සඳහන් වී ඇති අතර ඉමාම් නවවි තුමා මෙහි වාර්තා සම්බන්ධතාව මනා ලෙස පිහිටා ඇති බව සඳහන් කරයි.

අබූ හුමෙයිද් හෝ අබූ හුරෙයිරා දන්වා ඇති අයුරින්

اللَّهُمَّ اغْفِرْ لِي ذُنُوبِي وَافْتَحْ لِي أَبْوَابَ رَحْمَتِكَ

අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් අල්ලාහුම්මග්ෆිර්ලී දුනූබී වෆ්තහ් ලී අබ්වාබ රහ්මතික.

තේරුම: යා ! අල්ලාහ්, මාගේ පවට මා වෙත සමාව පිරිනමනු මැනව ! ඔබගේ ආශිර්වාදයේ දොරටු මා වෙත විවර කර දෙනු මැනව ! යැයි පැවසිය යුතුය.

මස්ජිදයෙන් පිටත් වීමට සිතුවේ නම් වම් කකුල ඉදිරියෙන් තබා පෙර කළ අයුරින්ම ප්‍රාර්ථනා කළ යුතුය. එහිදී රහ්මතික යන පදය වෙනුවට ෆල්ලික යන පදය යොදා පැවසිය යුතුය.

එනම්

بِسْمِ اللَّهِ وَالسَّلَامُ عَلَى رَسُولِ اللَّهِ اللَّهُمَّ اغْفِرْ لِي ذُنُوبِي وَافْتَحْ لِي أَبْوَابَ فَضْلِكَ

බිස්මිල්ලාහි වස්සලාමු අලා රසූලිල්ලාහි අල්ලාහුම්මග්ෆිර්ලී දුනූබී වෆ්තහ් ලී අබ්වාබ රහ්මතික.

තේරුම: අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි. අල්ලාහ්ගේ දූතයාණන් වෙත ශාන්තිය සමාදානය අත් වේවා! යා අල්ලාහ්! මාගේ පවට මා වෙත සමාව පිරිනමනු මැනව! ඔබගේ භාග්‍යයේ දොරටු මා වෙත විවර කර දෙනු මැනව! මෙසේ ආශිර්වාදය යන පදය වෙනුවට භාග්‍යය යනුවෙන් පැවසීමට හේතුව මස්ජිදය යනු ආශිර්වාදයේ ස්ථානයයි. ජීවනෝපාය සලසා ගන්නා ස්ථානය මස්ජිදයෙන් පිටතය. එය අල්ලාහ්ගෙන් වූ භාග්‍යය වන බැවිනි.

එමෙන්ම මස්ජිදය වෙත පිවිසුනු විට තහය්යතුල් මස්ජිද් හෙවත් මස්ජිදය වෙනුවෙන් පිදෙන රකආත් දෙකක් ඉටු කරන තෙක් වාඩි නොවිය යුතුය. බුහාරි හා මුස්ලිම් හි සඳහන් අබූ කතාදා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ නබි වදන මීට සාධක වී ඇත. එනම් ‘ඔබ අතුරින් කිසිවකු හෝ මස්ජිදයට පිවිසුනු විට රකආත් දෙකක් ඉටු කරන තෙක් වාඩි නොවනු. පසු ව සලාතය අපේක්ෂාවෙන් සිටිය යුතුය. සලාතය සඳහා අපේක්ෂාවෙන් සිටින්නා අල්ලාහ් ව මෙනෙහි කරමින් අල් කුර්ආනය කියවමින් වාඩි වී සිටිය යුතුය. අනවශ්‍ය කටයුතු වලින් වැළකී සිටිය යුතුය. ඇඟිලි අතර අමුණමින් ඒවා කැඩීම ‍නොකළ යුතුය. සලාතය අපේක්ෂාවෙන් සිටින්නකුගේ යුතුකම් සම්බන්ධයෙන් පැවසීමේ දී මෙය තහනම් කරමින් හදීස් සඳහන් ව ඇත. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැවසූ බව කඃබ් ඉබ්නු උජ්රා විසින් වාර්තා කරන ලදී. ‘ඔබ අතුරින් කෙනෙකු වුළු ධෝවනය කොට පසු ව සලාතය වෙත උවමනාවෙන්ම පිටත් ව ගොස් ඔහුගේ ඇඟිලිකරු අතර අමුණා පුරුක් කඩමින් කෙළිලොල් නොකර සිටින්නේ නම් එවිට නියත වශයෙන්ම ඔහු සලාතයේම සිටින්නේය.’ මෙය ඉමාම් අහ්මද් අබූ දාවුද් තිර්මිදි යන ඉමාම්වරුන් විසින් වාර්තා කොට ඇති අතර එයට සාක්ෂි වශයෙන් අබූ හුරෙයිරා විසින් දන්වා සිටි හදීසයක් ද ඇති අතර ඉමාම් හාකිම් තුමා මෙය පූර්ව සාධක සහිත හදීසයක් බවද සඳහන් කරයි. සලාතය අපේක්ෂාවෙන් නොසිටින පුද්ගලයකු වූ කලී ඇඟිලි අතර එසේ අමුණා පුරුක් කැඩීම ඔහුට තහනමක් නොමැත. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සලාතය නිම වී සලාම් කීමෙන් පසු මස්ජිදයේ සිට තම ඇඟිලි අතර අමුණා සිටි බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසයක් බුහාරි හා මුස්ලිම්හි සඳහන් ව ඇත.

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසයක

නියත වශයෙන්ම ගැත්තෙකු සලාතය අපේක්ෂාවෙන් සිටින තාක් කල් ඔහු සලාතයේම සිටියි. තවද මලක්වරු ද ඔහු වෙත ප්‍රාර්ථනා කරති. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

පළමු පේළියට (සෆ් එකට) එක් වීමට උත්සාහ දැරීම සුන්නාවකි.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැවසූ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

(සලාතය වෙත) ඇරයුම් කිරීමේ හා පළමුවන පේළියේ ඇති යහපත ජනයා දැන ගන්නේ නම් ඔවුන් ඒ වෙත සහභාගී වීමෙන් මිස වෙන කිසිව(ක මහිමය)ක් ඔවුන් නොදුටුවේ නම් එයට ඔවුහු සහභාගි වනු ඇත. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

ඉමාම්ට සමීපයෙන් සිටීම ද සුන්නාවකි. මුස්ලිම් හි සඳහන් අබූ මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසයක නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙසේ පවසා ඇති බව සඳහන් වේ. එනම්,

ඔබ අතුරින් විද්වතුන් හා බුද්ධිමතුන් මට සමීපයෙන් සිටිත්වා!

මෙය පිරිමින් හා සම්බන්ධයෙන් සලකන විටය. කාන්තාවක් පිළිබඳ සැලකීමේ දී ඇයට වඩාත් උචිත හා උතුම් වන්නේ පේළි අතුරින් අවසන්ම පේළියයි. ‘කාන්තාවන්ගේ පේළි අතුරින් වඩාත් ශ්‍රේෂ්ඨ වනුයේ අවසන් පේළිය වේ’ යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැවසූ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කොට ඇත. හේතුව පිරිමින්ගේ බැල්මෙන් දුරස් ව පිහිටන හෙයිනි. නමුත් පිරිමින් හා කාන්තාවන් අතර තිරයක් වී නම් එවිට තිරයෙන් පිටුපස පළමු පේළිය ඇයට වඩාත් උතුම් වන්නේය.

ඉමාම් හා මඃමූම් යන දෙදෙනාම පේළි කෙළින් සකස් කර ගැනීම වඩාත් වැදගත් කරුණකි. ෂෙයිකුල් ඉස්ලාම් තුමා මෙය අනිවාර්යය යැයි පවසා ඇත. අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් දන්වා සිටි හදීසය මෙයට සාධක වශයෙන් පිහිටයි.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ.

නුඹලාගේ පේළි කෙළින් සකස් කර ගන්න. හේතු ව පේළි කෙළින් සකස් කර ගැනීම සලාතය පූර්ණවත්වීමේ කරුණු අතුරිනි. (මූලාශ්‍ර: බුහාරි හා මුස්ලිම්)

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව නුඃමාන් ඉබ්නු බෂීර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් දන්වා සිටි හදීසයක මෙසේ සඳහන් වේ.

නුඹලාගේ පේළි කෙළින් සකස් කර ගන්න. එසේ නොමැති නම් නුඹලා අතර අල්ලාහ් භේද ඇති කරනු ඇත. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

පේළි කෙළින් සකස් කිරීම යනු උරහිස් හා විලුඹු එකිනෙකට ඍජු ව තබා පේළි සකස් කිරීමය.

එමෙන්ම පේළි අතර හිඩැස් පිරවීම හා එහි ළං ව සිට ගැනීමය. ජාබිර් ඉබ්නු සමුරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසය මීට සාධක වශයෙන් පිහිටා ඇත. එනම් අල්ලාහ්ගේ දූතයාණන් පිටත්ව ගියේය. එවිට එතුමා ‘මලක්වරුන් ඔවුන්ගේ පරමාධිපති ඉදිරියේ පෙළ ගැසී සිටින සේ නුඹලා ද පෙළ ගැසිය යුතු නොවේ ද’ යැයි විමසා සිටියහ. එවිට ඔවුහු මලක්වරුන් තම පරමාධිපති ඉදිරියේ පෙළ ගැසෙන්නේ කෙසේ දැයි විමසූහ. එවිට එතුමා මුල් පේළිය සම්පූර්ණ කරමින් පේළි අතර ළං ව සිටිති. යැයි පැවසූහ.  (මූලාශ්‍රය : මුස්ලිම්)

ඉමාම්ට සමීපයෙන් කෙනෙකු වී නම් ඉමාම්ගේ වම් පැත්තට වඩා දකුණු පැත්තෙන් පිහිටා ඇති මුල් පේළිය වඩා උතුම්ය. එසේ නොමැති නම් දෙපැත්ත එක හා සමාන ව පවත්වා ගත යුතුය.

සුන්නාව වනුයේ පළමු පේළිය ඉමාම්ට සමීපයෙන් පිහිටීමය. පසු ව සෑම පේළියක්ම සුජූද් කිරීමට තරම් ප්‍රමාණයක් හැර හිඩැස් නොතබා එකිනෙකට පර ව පිහිටීමය. ඉහත් සඳහන් හදීස් අනුව පැහැදිලි වනුයේ පළමු පේළිය සම්පූර්ණ කරන තෙක් දෙවන පේළිය ඇරඹීම ආගමානුගත කරනු නොලැබූවක් බවය.

 සලාතයේ ‘අර්කාන්’ හෙවත් මූලිකාංග එහි ‘වාජිබාත්’ හෙවත් අනිවාර්‍ය හා ‘සුනන්’ හෙවත් අතිරේක කරුණු.

අල් ‘අර්කාන්’ යනු ‘රුකුන්’ යන පදයේ බහුවචනයයි. එනම් ‘අසලින් පිහිටිය යුතු බලවත් කරුණක්’ යන අදහසයි. ‘අර්කානුෂ් ෂෙයිඉ’ යනු එයට වඩාත් වැදගත් වන කොටස් යන තේරුමයි.

ෂර්ත් හෙවත් කොන්දේසි හා රුකුන් හෙවත් මූලිකාංග අතර පවතින වෙනස: ඇත්තෙන්ම ෂර්ත් යනු සලාතයට පෙර පිළිපැදිය යුතු කරුණුය. රුක්න් යනු සලාතය තුළ පිළිපැදිය යුතු කරුණුය. එමෙන්ම ෂර්ත් හෙවත් කොන්දේසි සලාතය ආරම්භයේ සිට අවසානය දක්වා එකට බැඳී තිබිය යුතුය. නමුත් රුක්න් හෙවත් මූලිකාංග ඊට වෙනස්ය. එය බිඳුනු විටෙක වෙනත් දෙයක් ඒ සඳහා ගෙන එනු ලැබේ.

රුක්න් හෙවත් මූලිකාංග හා වාජිබ් හෙවත් අනිවාර්යය කරුණු අතර පවතින වෙනස: ඇත්තෙන්ම රුක්න් යනු අමතක වීම හේතුවෙන් හෝ නොදැනුවත්කම හේතුවෙන් හෝ බිද නොවැටෙන කරුණකි. නමුත් ඊට පටහැණි ව වාජිබ් යනු අමතක වීම හෝ නොදැනුවත්කම හේතුවෙන් බිඳ වැටෙන කරුණකි. නමුත් එය සුජූද් කිරීම බල කරයි.

අර්කාන් හෙවත් මූලිකාංග: මේවායින් යමක් අතපසු වූයේ නම් සලාතය නිෂ්ඵල වී යයි. එය උවමනාවෙන් හෝ අමතකවීමෙන් හෝ අතපසු වුව ද සලාතයෙන් එක් රකආත් එකක් අතපසු වී නිෂ්ඵල වුව ද පසු ව සිදු කරන ක්‍රියාව එම ස්ථානය ගනී. එහි විස්තර පහතින් සඳහන් වෙයි.  

වාජිබාත් හෙවත් අනිවාර්යය දෑ: මේවායින් යමක් උවමනාවෙන්ම අතපසු කළ විට සලාතය නිෂ්ඵල වී යයි. අමතක වීමෙන් අතපසු වූ විට සලාතය නිෂ්ඵල නොවනු ඇත. නමුත් අමතක වීම සඳහා සජදා කිරීම බල කරයි.

සුනන් හෙවත් අතිරේක දෑ: මේවායින් යමක් උවමනාවෙන් හෝ අමතක වීමෙන් හෝ අතපසු කළ විට සලාතය නිෂ්ඵල නොවෙයි. නමුත් එමගින් සලාතයේ ස්වභාවයේ අඩුවක් සිදු වෙයි. ඒවා තම සිරිතක් ලෙස සිදු කරමින් එන කෙනෙකුට අමතක වීමෙන් අතපසු වූයේ නම් ඒ සඳහා සජදා කිරීම සතුටුදායක වනු ඇත.

සලාතයේ අර්කාන් හෙවත් මූලිකාංග පහත දැක්වෙන අයුරිනි.

1.                 අනිවාර්යය සලාතයේ දී නැගී සිටිමින් සලාතය ඉටු කිරීම.

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

وَقُومُوا لِلَّهِ قَانِتِينَ

නුඹලා යටහත් පහත් ව අල්ලාහ් වෙනුවෙන් (සලාතය සඳහා) නැගී සිටිනු. (අල් කුර්ආන් 2:238)

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැවසූ බවට ඉම්රාන් තුමා මෙසේ දන්වයි. ඔබ නැගිට සිට සලාතය ඉටු කරන්න. නමුත් ඔබට නොහැකි නම් වාඩි වී ඉටු කරන්න. එයට ද නොහැකි නම් ඉල පැත්තට ඇළවී ඉටු කරන්න. (මූලාශ්‍රය: බුහාරි)

රෝගීභාවය හේතුවෙන් තමන්ට සිට ගනිමින් සලාතය ඉටු කිරීමට හැකියාව නොමැති නම් ඔහුගේ පහසුකමට අනුව වාඩිවෙමින් හෝ ඉල පැත්තට ඇලවෙමින් හෝ සලාතය ඉටු කළ යුතුය. උදාහරණ වශයෙන් භයානක රෝගියකු නිරුවත් ව සිටින්නකු සිට ගැනීමට නොහැකි අයුරින් ප්‍රතිකාර සිදු කර ඇති බැවින් වාඩි වීමට හෝ පැත්තකට ඇලවීමට හෝ බල කෙරුණු ලැබූවෙකු පෙන්වා දිය හැක. එලෙසම යම් තැනක කොටු වී ඉන් බැහැර වීමට නොහැකි ව එමෙන්ම නැගිට සිටීමට නොහැකි ව සිටින්නා ද මෙම තත්ත්වයේ පසුවන්නෙකි.

විමසුම: නැගී සිටීමට නොහැකි ඉමාම්වරයකු අනුගමනය කරමින් කෙනෙකු සලාතයට ඉටු කරන්නේ නම් එවිට එය ඉමාම් ව පිළිපදිමින් වාඩි වී සලාතය ඉටු කිරීමට හේතු වනු ඇත. එනම් යමෙකු සලාතය වාඩිවෙමින් ආරම්භ කළ විට ඔහු පසුපස සිට සලාතය ඉටු කරන්නන් ඔහු ව අනුගමනය කරමින් වාඩි වී සලාතය ඉටු කිරීම අනිවාර්යය වන්නේය. එය විද්වතුන්ගේ මත අනුව වඩාත් නිවැරදි මතය වේ. හේතුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා රෝගාතුර වූ කල්හි වාඩිවෙමින් එතුමාණෝ සලාතය ඉටු කළහ. එතුමාට පසුපසින් සිටින්නන්ටත් වාඩි වී සලාතය ඉටු කරන මෙන් අණ කළහ. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

යමෙකු සලාතය නැගී සිට ආරම්භ කොට පසු ව නැගී සිටීමට නොහැකි තත්ත්වයක් ඔහුට ඇති වූ විට ඔහු පසුපසින් සිට සලාතය ඉටු කරන්නන් නැගී සිට සලාතය ඉටු කිරීම අනිවාර්යය වන බැවින් එසේ නැගී සිට සලාතය ඉටු කළ යුතුය. නබි තුමාණන්ට සිදු වූ මෙවැනිම අවස්ථාවක දී  සහාබාවරු අනුගමනය කළේ ද මෙලෙසිනි. පසු ව අබූ බක්ර් (රළියල්ලාහු අන්හු) තුමා සිට ගනිමින් ඔවුනට සලාතය ආරම්භ කොට මෙහෙය වූහ. මූලාශ්‍රය බුහාරි හා මුස්ලිම් මෙය ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කොට ඇත.

අතිරේක සලාතය නැගී සිටිමින් හෝ වාඩිවෙමින් හෝ ඉටු කිරීමට අනුමැතිය ඇත. එහි නැගිට සිටිය යුතු යැයි අනිවාර්යයභාවයක් නොමැත. නමුත් වාඩි වී සලාතයට ඉටු කරන්නාට හිමි වනුයේ නැගී සිටිමින් සලාතය ඉටු කරන්නාට හිමි වන මහිමයෙන් අඩකි. 

2.                 ආරම්භ තක්බීරය පැවසීම.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ කිබ්ලා දෙසට හැරී තක්බීර් පැවසූහ යැයි අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසය මීට සාධක වශයෙන් පිහිටා ඇත. (මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්) තක්බීර් පැවසීමෙන් තොර ව වෙනත් යම් වදනක් පවසා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සලාතය ආරම්භ කළ බවට කිසිදු සඳහනක් නොමැත. තක්බීර් හි ස්වරූපය වනුයේ

اللهُ أكْبَرُ ‘අල්ලාහු අක්බර්’ (අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය) යන්නය. ඒ හැර වෙනත් ප්‍රකාශයක් කිරීම සුදුසු නොවේ. හේතුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා විසින් දන්වා ඇත්තේ මෙම ස්වරූපයෙන් පමණක් බැවිනි.

3.                 සූරතුල් ෆාතිහා පාරායනය කිරීම.

අල්කුර්ආනයේ ආරම්භය (සූරතුල් ෆාතිහාව) පාරායනය නොකළ කෙනෙකුට සලාතය නොවනු ඇත යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව උබාදා ඉබ්නු අස්-සාමිත් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කොට ඇත. (මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්)

සලාතයේ සෑම රකආතයකම එය අනිවාර්යය හෝ වේවා අතිරේක හෝ වේවා ඉමාම්වරයෙකු හෝ මඃමූම්වරයෙකු හෝ වේවා තනිව සලාතය ඉටු කරන්නෙකු හෝ වේවා සූරතුල් ෆාතිහා පාරායනය කිරීම මූලිකාංගයකි. හේතුව සලාතය ඉටු කරන්නේ කෙසේදැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සලාතය වැරදි ලෙස ඉටු කළ පුද්ගලයකුට ඉගැන් වූ කල්හි සෑම රකඅතයකම සූරතුල් ෆාතිහා පාරායනය කරන මෙන් නියෝග කළහ. නමුත් ඉමාම් හඬ නගා පාරායනය කරන සලාතයක හැර. එවිට ඉමාම් මඃමූම් වෙනුවෙන් එම වගකීම උසුලනු ඇත.

4.                 සෑම රකඅතකම රුකූඋ කිරීම.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا ارْكَعُوا وَاسْجُدُوا

‘අහෝ විශ්වාස කළවුනි, නුඹලා රුකූඋ කරනු තවද සුජූද් කරනු.’ (අල් කුර්ආන් 22: 77)

බුහාරි හා මුස්ලිම්හි සඳහන් අබූ හුරයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසයක අල්ලාහ්ගේ දූතයාණන් රුකූ කරන මෙන් නියෝග කර ඇති බව සනාථ වෙයි. රුකූඋ යනු භාෂාමය අර්ථය නැමීමය.

නැගිට සිට රුකූඋ කිරීමට හැකියාව ඇති අයෙකු වූ කලී ඔහු ආබාධිතයෙකු හෝ ශරීරෝපාංග ඌණතාවන්ගෙන් පෙළෙන්නෙකු නොවේ නම් ඔහු තම අත් දෙක දණහිස් කරා ලඟා වන තෙක් නැමිය යුතුය. එසේ නොමැති ව අත් කොටට පිහිටා ඇති හෝ වෙනත් යම් ශරීරාබාධයකින් පෙළෙන්නෙකු නම් විද්වතුන්ගේ මතය අනුව නැගී සිට ගත් ඉරියව්වට වඩා රුකූඋ ඉරියව්ව වෙත වැඩිපුර නැමිය යුතුය යන්නයි.

රුකූඋ කිරීමට හැකි වාඩි වී සලාතය ඉටු කරන්නෙකු වූ කලී පොළොවේ සිට තම දණ හිස් දෙක පිහිටා ඇති ප්‍රමාණයට ඔහුගේ මුහුණ ඉදිරියට ගෙන යෑමය.

5.                 අල් ඉඃතිදාල්

රුකූඋ ඉරියව්වෙන් නැගිට ආරම්භයේ මෙන්ම ඍජු ව සිට ගැනීම. අබූ මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලද හදීසය මීට සාධකයකි. එනම් ‘මිනිසෙකු සලාතයේ දී රුකූවෙන් හා සුජූදයෙන් තම කොන්ද කෙළින් කර නොගත් විටෙක එවන් සලාතය පිළිගනු නොලැබේ. මෙය ඉමාම් තිර්මිදි විසින් පූර්ව සාධක සහිත හදීසයක් යැයි සඳහන් කොට ඇත. බුහාරි හා මුස්ලිම් හි සඳහන් තවත් හදීසයක් මෙසේය. ‘පසු ව ඍජු ව සිටගන්නා තෙක් නැගී සිටිනු යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ප්‍රකාශ කළහ. මෙය අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසයකි.

6.                 සුජූද් කිරීම

එනම් සෑම රකඅතයකම ශරීර අවයව හතක් පොළොව මත දෙවරක් තැබීමය. උත්තරීතර අල්ලාහ් ‘නුඹලා සුජූද් කරනු යැයි පවසා තිබීම මීට සාධකයකි. මේ පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා නියෝග කළ හදීස් බොහෝමයක් සඳහන් ව ඇත. එතුමාණන් පැවසූ බවට අබූ හුරෙයිරා විසින් වාර්තා කළ හදීසයක මෙසේ සඳහන් වේ. ‘පසු ව නුඹලා සුජූද් තත්තවයේ (නියම අයුරින්) රැඳෙන තෙක් සුජූද් කරනු. (මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්) එතුමාණන් පැවසූ බවට මාලික් ඉබ්නු අල්හුවයිරිස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ තවත් හදීසයක මෙසේ සඳහන් වේ. ‘මා සලාතය කරනු නුඹලා දුටුවාක් මෙන් නුඹලාද සලාතය ඉටු කරනු. (මූලාශ්‍රය: බුහාරි) සුජූද් කිරීමේ දී පොළොව මත තබන අවයව හත වනුයේ: නළල, නාසය, අත් දෙක, දණහිස් දෙක, දෙපා ඇඟිලි. සෑම කෙනෙකුම මෙම අවයව හත පොළොව මත තබා සුජූද් කිරීම අවශ්‍ය වේ.

7.                 සුජූද් දෙක අතර වාඩි වීම

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැවසූ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. ‘පසු ව නුඹලා වාඩි වන තත්ත්වයේ (නියම අයුරින් රැඳෙන තෙක් වාඩි වනු.‘ (මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්) ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සුජූද් සිට හිස එස වූ විට ඍජු ලෙස වාඩි වන තෙක් නැවත සුජූද් නොකරන්නෙකු වූහ. (මූලාශ්‍රය: මුස්ලිම්) ඉහත සඳහන් අබූ මස්ඌද් තුමාගේ හදීසය මීට සාධක වශයෙන් පිහිටා ඇත.

8.                 සඳහන් කළ සෑම ක්‍රියාවකම මදක් රැඳීම.

එනම් එය කුඩා කාලයක් වුව ද සන්සුන් ව සිටීමය. තවත් ප්‍රකාශයක් අනුව එය මෙනෙහි කළ යුතු ව ඇති සික්ර් වල ප්‍රමාණයට විය යුතු යැයි සඳහන් ව ඇත.

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැවසූ බවට මෙසේ සඳහන් වේ. ‘පසු ව නුඹලා රුකූඋ තත්ත්වයේ (නියම අයුරින්) රැඳෙන තෙක් රුකූඋ කරනු. තවද සුජූද් තත්ත්වයේ (නියම අයුරින්) රැඳෙන තෙක් සුජූද් කරනු.  (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

9,10. අවසන් ෂහාදා ප්‍රකාශය හා එහි අසුන් ගැනීම.

එනම් අත්තහය්යාත්හි ආරම්භ කොට  ෂහාදා ප්‍රකාශය දක්වා කියවෙන ප්‍රාර්ථනාවයි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මරණයට පත් වන තෙක්ම එතුමා මෙසේ සිදු කළ බව සනාත වෙයි.  එතුමාණෝ ‘මා සලාතය කරනු නුඹලා දුටුවාක් මෙන් නුඹලාද සලාතය ඉටු කරනු යැයි පවසා මෙය ද කරන මෙන් නියෝග කළහ. ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. ෂහාදා පැවසීම අප වෙත අනිවාර්යය කිරීමට පෙර අපි (වෙනත් දෑ) පවසන්නන් ලෙස සිටියෙමු. මෙය දාරුකුත්නි තුමා වාර්තා කොට ඇති අතර එය පූර්ව සාධක සහිත හදීසයක් යැයි ද සඳහන් කර ඇත. ඉමාම් ඉබ්නු අබ්දුල් බිර් මෙය ෂාද් ගණයේ හදීසයක් බව සඳහන් කරයි. මෙහි සඳහන් ‘අනිවාර්යය කිරීමට පෙර’ යන පද පෙළෙන් එය අනිවාර්යය වූ බව පෙන්වා දෙයි.

11. මූලිකාංගයන් අනු පිළිවෙළින් ඉටු කිරීම.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මේවා අනුපිළිවෙළින් ඉටු කරන්නෙකු වූහ. එමෙන්ම එතුමා ‘මා සලාතය කරනු නුඹලා දුටුවාක් මෙන් නුඹලාද සලාතය ඉටු කරනු යැයි පවසා සිටියහ. තවද සලාතය වැරදි ලෙස ඉටු කළ පුද්ගලයාට සලාතය සම්බන්ධයෙන් උගන්වන විට ‘පසු ව’ යන අර්ථය ගෙන දෙන ‘සුම්ම’ යන පද භාවිතයෙන් පවසා ඇත. මෙය අනුපිළිවෙළට කළ යුතු යැයි පෙන්වා දෙයි. (මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්) වාර්තා කරු අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු)

12. සලාම් පැවසීම.

ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. ‘ඔබ අතුරින් කෙනෙකු තම කලව මත අත තබා පසු ව තමන්ට දකුණු දෙසින් හා තමන්ට වම් දෙසින් සිටින ඔහුගේ සහෝදරයාට සලාම් පැවසීම ප්‍රමාණවත් වේ.’ මෙය ඉමාම් මුස්ලිම් විසින් දන්වා ඇත.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ දෙපැත්තට හැරී සලාම් පැවසීම අඛණ්ඩ ව සිදු කරමින් පැමිණියහ. ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා හා ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය වාර්තා කළ හදීස් අනුව අතිරේක සලාතයක එක් වරක් පමණක් සලාම් දීම ප්‍රමාණවත් යැයි සඳහන් ව ඇත.

සලාතයේ වාජිබාත් හෙවත් අනිවාර්යය කරුණු

1.                  ආරම්භක තක්බීරය හැර සලාතයේ පවසනු ලබන සෙසු තක්බීරයන් අනිවාර්යය වේ. හේතුව ඒ පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා නියෝග කර ඇති බැවිනි. මෙම නියෝගය අබූ මූසා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසයේ ද දැක ගන්නට පුළුවන. එනම් එතුමාණෝ මෙසේ පැවසූහ. ‘ඔහු තක්බීර් පවසන විට නුඹලා ද තක්බීර් පවසන්න. ඔහු ‘සමිඅල්ලාහු ලිමන් හමිදහ්’ යනුවෙන් පවසන විට නුඹලා ‘රබ්බනා වලකල් හම්දු’ යැයි පවසන්න. මෙය ඉමාම් මුස්ලිම් විසින් වාර්තා කොට ඇත.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙය අඛණ්ඩ ව සිදු කරමින් පැමිණියහ. එබැවින් වෙනත් සංකේතයක් හෝ මෙනෙහි කිරීමක් හෝ ඒ වෙනුවට එකතු නොකළ යුතුය.

2.                  තස්මීඃ පැවසීම.  එනම්

سَمِعَ اللهُ لِمَنْ حَمِدَهُ

සමිඅල්ලාහු ලිමන් හමිදහ් (අල්ලාහ් ව ප්‍රශංසා කළ අයට ඔහු සවන් දුන්නේය) යැයි පැවසීම. මෙය ඉමාම් හා තනි ව සලාතය ඉටු කරන්නා වෙත පැවරෙන වගකීමකි. එය මඃමූම් සම්බන්ධයෙන් සලකා බැලීමේ දී ඔහු එය ප්‍රකාශ නොකරනු ඇත. 

3.                  තහ්මීද් පැවසීම. එනම්

رَبَّنَا وَلَكَ الْحَمْدُ

රබ්බනා වලකල් හම්දු (අපගේ පරමාධිපතියාණනි, ඔබටමය සියලු ප්‍රශංසා) යැයි පැවසීම. මෙය ඉමාම් මඃමූම් හා තනි ව සලාතය ඉටු කරන්නා හට පැවරෙන වගකීමකි. මීට පෙර සඳහන් වූ අබූ මූසා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසය මීට සාධක වශයෙන් පිහිටා ඇත.

4.                   سُبْحَانَ رَبِّيَ الْعَظِيْمසුබ්හාන රබ්බියල් අළීම්  (සර්වබලධාරී මාගේ පරමාධිපති පිවිතුරුය) යැයි පැවසීම. මෙය රුකූඋ ඉරියව්වෙහි එක් වරක් පැවසීම අනිවාර්යය වේ. එය තුන් වරක් දක්වා වැඩි කිරීම සුන්නාහ්වකි. පූර්ණත්වයේ අවම ප්‍රමාණය එයයි. එය දස වාරයක් දක්වා වැඩි කළ හැක. එය ඉමාම්වරයකුට වඩාත් උතුම්ය.

5.                   سُبْحَانَ رَبِّيَ الْأعْلَىසුබ්හාන රබ්බියල් අඃලා (අති උත්තරීතර මාගේ පරමාධිපති පිවිතුරුය) යැයි පැවසීම. මෙය සුජූද් හි එක් වරක් පැවසීම අනිවාර්යය වේ. එය තුන්වරක් දක්වා වැඩි කිරීම සුන්නාවකි. නියත වශයෙන්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා රුකූඋවෙහි සුබ්හාන රබ්බියල් අලීම් යනුවෙන් ද එතුමා සුජූද් හි සුබ්හාන රබ්බියල් අඃලා යනුවෙන් ද පැවසූ බවට හුදෙයිෆා (රළියල්ලාහු අන්හු) තුමා විසින් සඳහන් කළ හදීසය සාධක වශයෙන් පිහිටා ඇත. ඉමාම් පස් දෙනා විසින් මෙය සඳහන් කොට ඇති අතර ඉමාම් තිර්මිදි තුමා මෙය පූර්ව සාධක සහිත හදීසයක් බවද සඳහන් කරයි.

උක්බා ඉබ්නු ආමිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසයේ සඳහන් කර ඇත්තාක්  මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙසේ පැවසීමට නියෝග කර ඇත. එය සලාතයේ අර්කාන් හෙවත් මූලිකාංගයන්හි මෙසේ වදන් ප්‍රකාශ කොට මෙනෙහි කළ යුතු බැවිනි.

6.                  සජදා දෙක අතර එක් වරක් رَبِّ اغْفِرْ لىْ රබ්බිග් ෆිර්ළී (මාගේ පරමාධිපතියාණනි! මට සමාව දෙනු මැනව!) යනුවෙන් පැවසීම. එය තුන් වරක් දක්වා වැඩි කිරීම සුන්නාවකි. එය දස වරක් දක්වා වැඩි කළ හැක. එසේ දසවාරයක් පැවසීම ඉමාම් වරයකුට වඩාත් උතුම් ය.  ඇත්තෙන්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) එසේ සජදා දෙක අතර රබ්බිග් ෆිර්ළී, රබ්බිග් ෆිර්ළී යැයි පැවසූ බව හුදෙයිෆා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කොට ඇත. මෙය නසාඊ ඉබ්නු මාජා යන ඉමාම්වරු විසින් දන්වා ඇත.

සලාතයේ රුක්න් හෙවත් මූලිකාංගයන්හි මෙනෙහි නොකොට හිස් ව නොතැබිය යුතු බැවින් මෙසේ පැවසිය යුතු වේ. 

එනම්

7,8. මුල් ෂහාදා ව පැවසීම හා ඒ සඳහා වාඩි වීම. එනම්

التَّحِيَّاتُ لِلَّهِ وَالصَّلَوَاتُ وَالطَّيِّبَاتُ السَّلَامُ عَلَيْكَ أَيُّهَا النَّبِيُّ وَرَحْمَةُ اللَّهِ وَبَرَكَاتُهُ السَّلاَمُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللَّهِ الصَّالِحِينَ. أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ

අත්තහය්යාතු ලිල්ලාහි වස්සලවාතු වත්තය්යිබාතු අස්සලාමු අලයික අය්යුහන් නබිය්යු වරහ්මතුල්ලාහි වබරකාතුහු අස්සලාමු අලයිනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන් අෂ්හදු අන්ලාඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු

තේරුම: සියලු ශුභාසිංසනයන් අල්ලාහ් සතුය. එමෙන්ම සියලු ආශිර්වාදයන් හා සියලු යහපත් දෑ ද (ඔහු සතුය). අහෝ නබි තුමණි! ඔබට අල්ලාහ්ගේ දයාව හා ඔහුගේ අභිවෘද්ධිය හිමි වේවා! එමෙන්ම අප වෙත හා අල්ලාහ්ගේ දැහැමි ගැත්තන් වෙත ද හිමි වේවා! නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නොමැති බවට මම සාක්ෂි දරමි. එමෙන්ම නියත වශයෙන්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔහුගේ ගැත්තා හා ඔහුගේ ධර්ම දූතයා බවට ද මමා සාක්ෂි දරමි. යැයි හෝ හදීස් හි සඳහන් වෙනත් ආකාරයෙන් හෝ පැවසීමය.

ඉහත සඳහන් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමාගේ හදීසය අනුවත් බුහාරි හා මුස්ලිම් හි සඳහන් වන අබ්දුල්ලාහ් ඉබ්නු බුහෙයිනා විසින් වාර්තා කොට ඇති හදීසයේ එන එය අතපසු වූ විට සජදා සහ්වු කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා බල කර ඇත. යන සඳහන අනුවත් එය අතපසු වූ විට සජදා කළ යුතු කරුණක් බව හෙළි වේ. එබැවින් එය සලාතයේ මූලිකාංගයක් නොවන බව ගම්‍ය වේ. හේතුව එය අමතක වූ විටෙක නැවත ඉටු කිරීමේ වගකීමෙන් මිදෙන බැවිනි.

 සලාතයේ සුන්නත් හෙවත් අතිරේක කරුණු

මෙය තුන්වැනි කොටසයි. සලාතයේ දී පළමු කොටස් දෙකින් නොකියවුණු සෙසු ක්‍රියාවන් හා ප්‍රකාශයන් සුන්නා වේ. එය අතපසු වීමෙන් සලාතය නිෂ්ඵල නොවේ.

සලාතයේ සුන්නත් වර්ග දෙකකි.

පළමුව වර්ගය: ප්‍රකාශ සහිත සුන්නත් දෑ ඒවා අධික ව ඇත. ඒ අතුරින් ප්‍රාරම්භක ප්‍රාර්ථනාව අඌදු පැවසීම බිස්මි පැවසීම, ඇතැම් විට එය හඬ නඟා පැවසීම ආමීන් පැවසීම, සූරතුල් ෆාතිහාවට පසු තමන්ට පහසු අල් කුර්ආන් වැකි සුබ්හ් මග්රිබ් ඉෂා යන සලාතයන්හි හඬ නඟා ද ලුහර් හා අසර් යන සලාතයන්හි නිහඬ ව ද පාරායනය කිරීම මේ පිළිබඳ ව ඉදිරියේ දී සලාතයේ ක්‍රමය යන පාඩමේ සඳහන් වෙයි.

ප්‍රකාශ සහිත සුන්නත් දෑ අතුරින් තවත් කරුණු වනුයේ ‘රබ්බනා වලකල් හම්දු’ යන ප්‍රකාශයෙන් පසු ‘මිල්අස් සමාඉ වමිල්අල් අර්ළි වමිල්අ මා ෂිඃත මින් ෂෙයිඉන් බඃදු’ යැයි පැවසීම මේ හැර හදීස්හි සඳහන් තවත් ප්‍රාර්ථනාවන් ද ඇත. එමෙන්ම රුකූඋ හා සුජූද්හි පවසන තස්බීහ් එකකට වඩා වැඩි වාර ගණනක් පැවසීම, සජදා දෙක අතර රබ්බිග් ෆිර්ලී යැයි පැවසීම, මේ හැර හදීස්හි සඳහන් වෙනත් ප්‍රාර්ථනාවන් පැවසීම. ‘අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මින් අදාබි ජහන්නම වමින් අදාබිල් කබ්රි වමින් ෆිත්නතිල් මහ්යා වල් මමාති වමින් ෆිත්නතිල් මසීහිද් දජ්ජාල් යන ප්‍රාර්ථානවන් හා  ඊට අමතර ප්‍රාර්ථනාවන් අවසන් ෂහාදා සඳහා වාඩි වී සිටින අවස්ථාවේ පැවසීම. මේවා පිළිබඳ සලාතයේ ක්‍රමය යන පාඩමේ සඳහන් වනු ඇත.

දෙවන වර්ගය. ක්‍රියා සහිත සුන්නත් දෑ එනම් ප්‍රාරම්භක තක්බීරය පවසන විට රුකූඋ වෙත නැවෙන විට ඉන් නැගිටින විට හා පළමු ෂහාදාවෙන් නැගිටින විට දෑත් එසවීම. ප්‍රාරම්භක තක්බීරයෙන් පසු සිට ගනිමින් සිටිය දී තම දකුණත වමත මත තබා එය ඔහුගේ පපුව මත තැබීම, බැල්ම සුජූද් කරන ස්ථානය වෙත යොමු කිරීම, රුකූඋ හි තම දෑත් දණහිස මත තැබීම, සුජූද් හි තම උදරය කලව දෙකින් දුරස් ව තබා ගැනීම හා තම කලව දෙක තම කෙණ්ඩයෙන් දුරස් ව තබා ගැනීම, රුකූහි තම පිට සමාන්තර ව තබා ගැනීම, හිස කෙළින් තබා ගැනීම, හිස පහත් නොකළ යුතු අතර හිස ඉහළ බලන සේ එසවිය නොයුතුය. වෙනත් කෙනෙකුට හිරිහැරයක් නොවන තාක් කල් ඔහුගේ අත් බාහු ව ඇලපතින් දුරස් ව තබා ගැනීම. සුජූද් කරන විට තම නළල නාසය හා සුජූද් හි අනෙකුත් ඉරියව්වන් නියමිත අයුරින් තැබීම. මේ හැර වෙනත් ප්‍රකාශ සහිත හා ක්‍රියා සහිත සුන්නත් ක්‍රියාවන් ඇත. සලාතයේ ක්‍රමය යන පාඩමේ ඒවා සඳහන් වෙයි.

 සලාතයේ ක්‍රමය

එනම් සලාතය ඉටු කිරීමේ දී පිළිපැදිය යුතු ක්‍රමය හා එහි ස්වභාවයයි.

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සලාතය සඳහා නැගී සිටින විට කිබ්ලා දෙසට හැරෙයි. තම දෑත් ඔසවයි. විටෙක තම උරහිසට සමාන්තර ව ද විටෙක කන් පෙති වල අගිස්සට සමාන්තර ව ද ඔසවයි. එබැවින් විටෙක එක් අයුරින් ද තවත් විටෙක අනෙක් අයුරින් ද පිළිපැදීම සුන්නාවකි. අතේ ඇතුළත (අල්ල) කිබ්ලා දෙසට යොමු කරමින් ‘අල්ලාහු අක්බර්’ යැයි පවසයි.

පසු ව තම දකුණු අතින් වමත අල්ලා ගනී. විටෙක තම දකුණත වමත මත තබයි. විටෙක තම දකුණත වමත් බාහු ව මත තබා තම පපුව මත තබයි. පසු ව ප්‍රාරම්භක ප්‍රාර්ථනාවන් උසුරයි. නබි තුමාණන් එකම ප්‍රාර්ථනාවක් මත අඛණ්ඩ ව රැඳුණේ නැත. එබැවින් හදීස් වල සඳහන් වෙනත් ප්‍රාර්ථනාවන් ද උසුරිය හැකි.

ඉන් සමහරක් මෙසේය.

"سُبْحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ وَتَبَارَكَ اسْمُكَ وَتَعَالَى جَدُّكَ وَلَا إِلَهَ غَيْرَكَ"

සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික වතබාරකස්මුක වතආලා ජද්දක වලා ඉලාහ ගයිරුක.

තේරුම: යා අල්ලාහ්! ඔබේ ප්‍රශංසාවෙන් ඔබ පිවිතුරුය. ඔබේ නාමය සමෘද්ධිතය. ඔබේ කීර්තිය උත්තරීතරය. ඔබ හැර වෙනත් දෙවිඳෙකු නොමැත.

"اللَّهُمَّ بَاعِدْ بَيْنِي وَبَيْنَ خَطَايَايَ كَمَا بَاعَدْتَ بَيْنَ الْمَشْرِقِ وَالْمَغْرِبِ اللَّهُمَّ نَقِّنِي مِنْ الْخَطَايَا كَمَا يُنَقَّى الثَّوْبُ الْأَبْيَضُ مِنْ الدَّنَسِ اللَّهُمَّ اغْسِلْ خَطَايَايَ بِالْمَاءِ وَالثَّلْجِ وَالْبَرَدِ"  

අල්ලාහුම්ම බාඉද් බයිනී වබයින කතායාය කමා බාඅද්ත බයිනල් මෂ්රිකි වල් මග්රිබි අල්ලාහුම්ම නක්කිනී මින් කතායාය කමා යුනක්කිස් සව්බුල් අබ්යලු මිනද් දනස්. අල්ලාහුම්මග්සිල්නී මින් කතායාය බිල් මාඉ වස්සල්ජි වල් බරද්.

තේරුම: යා අල්ලාහ්! ඔබ බටහිර හා නැගෙනහිර දුරස් කලාක් මෙන් මා අතර හා මාගේ පාපයන් අතර දුරස් කරත්වා ! අහෝ අල්ලාහ්! සුදු ඇඳුමින් කුණු ඉවත් කරන්නාක් මෙන් මාගේ පාපයන්ගෙන් ද මා පිරිසිදු කරත්වා ! අහෝ අල්ලාහ්! පිනිකැට වලින් සිසිලෙන් හා ජලයෙන් මාගේ පාපයන් මගෙන් සොදා හරිනු මැනව !

මේ හැර වෙනත් ප්‍රාර්ථනාවන් ද හදීස් වල සඳහන් ව ඇත.

පසු ව අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම් යැයි හෝ අඌදු බිල්ලාහිස් සමීඋල් අලීම් මිනෂ් ෂෙයිතානිර් රජීමි මින් හමසිහි මින් නෆකිහි වනෆ්සිහි බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම් යැයි පැවසීම විටෙක එය හඬ ඇසෙන තරමට හඬින් පවසයි.

පසු ව සූරතුල් ෆාතිහා ව පාරායනය කරයි. එය අවසන් වූ වහාම ආමීන් පවසයි.

පසු ව සුබ්හු සලාතයේ දී බොහෝ විට තිවාලුල් මිෆ්සලයට අනුව සූරාවන් පාරායනය කරයි. ලුහර් සලාතයේ දී විටෙක තිවාල් දීර්ඝ ක්‍රමයටත් විටෙක අව්සාත් හෙවත් මධ්‍යස්ථ ක්‍රමයටත් පාරායනය කරයි. අසර් හා ඉෂා සලාතයන්හි අව්සත් හෙවත් මධ්‍යස්ථ ක්‍රමයට පාරායනය කරයි. මග්රිබ්හි කිසාර් ක්‍රමයට කෙටි සූරාවන් පාරායනය කරයි. ඇතැම් විට දිග සූරාවන් පාරායනය කරයි. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මග්රිබ් සලාතයේ දී සූරා මුර්සලාත්, සූරා තූර්, සූරා අල් අඃරාෆ් හා වෙනත් සූරාවන් පාරායනය කළ බවට හදීස් වල සඳහන් ව ඇත.  

සටහන :

මිෆ්සල් හෙවත් සන්ධිය යනු සූරාහ් කාෆ් හි සිට අල්-කුර්ආනය අවසානය දක්වා වූ කොටස.

තිවාලුල් මිෆ්සල් හෙවත් දීර්ඝ සන්ධිය යනු සූරාහ් කාෆ් හි සිට සූරාහ් අම්මා දක්වා වූ කොටසයි.

අව්සාතුල් මිෆ්සල් හෙවත් මධ්‍යස්ථ සන්ධිය යනු සූරාහ් අම්මාහි සිට සූරාහ් අල්-ලුහා දක්වා වූ කොටසයි.

කිසාරුල් මිෆ්සල් හෙවත් කෙටි සන්ධිය යනු සූරාහ් ලුහා හි සිට සූරාහ් අන්-නාස් දක්වා වූ කොටසයි.

සුබ්හ් සලාතයේ දී හා මග්රිබ් ඉෂා සලාත්හි ආරම්භක රකආත් දෙකෙහි දී හඬ නගා පාරායනය කර ඇත. සෙසු සලාත්හි පාරායනය කර ඇත්තේ පහත් හඬින්ය. සෑම සලාතයකම ආරම්භ රකඅතයෙහි ඊට දෙවැනි රකආතයෙහි පාරායනය කිරීමට වඩා දීර්ඝ ලෙස පාරායනය කොට ඇත. 

පසු ව ආරම්භයේ තම දෑත් එසෙව්වාක් මෙන් ඔසවා අල්ලාහු අක්බර් යැයි පවසා රුකූ සඳහා නැමෙයි. ඇඟිලි කරු ඈත් කොට තම දණහිස් මත තබයි. ඒ දෙක හොදින් ස්ථාන ගත කරයි. තම බාහු ව ඉල පැත්තෙන් ඈත් කරවා තබා ගනියි. තම පිට සමාන්තර ව තබා ගනී. හිස ද ඍජු ව තබා ගනී. එය එසවීම හෝ පහත් කිරීම හෝ නොකළ යුත්තකි. පසු ව سُبْحَان رَبِّيَ الْعَظِيْمْ ‘සුබ්හාන රබ්බියල් අලීම්’ යැයි හෝ හදීස්හි සඳහන් වෙනත් ප්‍රාර්ථනාවන් හෝ උසුරයි.

මෙහිදී සුන්නාහ් ව වනුයේ සාමුහික සලාතයක් නම් ඉමාම් වරයා තස්බීහ් දස වාරයක් පවසන තරමට දිගු කිරීමය. මඃමූම්වරයා එවිට එම ඉමාම් ව පිළිපදිනු ඇත. එමෙන්ම තනි ව ඉටු කරන්නෙකු පිළිබඳ සැලකීමේදී එය දීර්ඝ කිරීමට හෝ කෙටි කිරීමට හෝ ඔහුට පුළුවන.

පසු ව سَمِعَ اللهُ لِمَنْ حَمِدَهُ ‘සමිඅල්ලාහු ලිමන් හමිදා’ යැයි පවසා හිස ඔසවයි. රුකූහි අත් එසෙව්වාක් මෙන් තම දෑත් ඔසවා ගනීයි.

නැගිට ඍජු ව සිට ගත් විට رَبَّنَا وَلَكَ الْحَمْدُ ‘රබ්බනා ලකල් හම්දු’ යැයි පවසයි. රුකූහි තරමට ඉඃතිදාල්හි ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සිටියහ. හදීස්හි සඳහන් පරිදි මෙම ස්ථානයේ පැවසිය යුතු ප්‍රාර්ථනාවන් පහතින් සඳහන් වෙයි. 

පසු ව තක්බීර් පවසා සජදා කරයි. එහිදී එතුමා අත් එසවූයේ නැත. තම නළල නාසය අත් දණහිස් පාද වල ඇඟිලි තුඩු බිම තබා සුජූද් කරයි. අත් හා පාද වල ඇඟිලි කිබ්ලා දෙසට හරවා තබයි. සුජූද් හි ඍජු ව සිටියි. තම නළල හා නාසය පොළොව මත තබා තම අත් දෙකට බර දෙයි. තම වැළමිට ඔසවා ගනී. තම වැලමිට ඇලපතින් ඈත් ව තබා ගනී. තම උදරය කලවයෙන් ඈත් ව තබා ගනී. තම කලවාව කෙණ්ඩයෙන් දුරස් ව තබා ගනී. සුජූද්හි سُبْحَان رَبِّيَ الأعْلىَ ‘සුබ්හාන රබ්බියල් අඃලා’ යැයි පවසයි. එතුමාගේ සුජූදය රුකූඋහි තරමටම (දීර්ගව) තිබුණි. සුන්නාහ්වේ සඳහන් පරිදි මෙම ස්ථානයේ පැවසිය යුතු ප්‍රාර්ථනාවන් පහත සඳහන් වෙයි. පසු ව අල්ලාහ්ගේ අයැද සිටියි.

පසු ව අල්ලාහු අක්බර් යැයි පවසා තම හිස ඔසවයි. පසු ව ෆිරාෂ් ක්‍රමයට අසුන් ගනී. එනම් වම් කකුල මත වාඩි වී දකුණු පාදය සිටුවා තබා ගැනීමය. තම දෑත් කලව මත තබයි. පසු ව ‘අල්ලාහුම්මග් ෆිර්ලී වර්හම්නී වජ්බුර්නී වහ්දිනී වර්සුක්නී’ යනුවෙන් පවසයි. එතුමා එසේ අසුන්ගෙන සිටීම සුජූද්හි තරමටම (දීර්ග) විය.

පසු ව තක්බීර් පවසා සුජූද් කරයි. ආරම්භයේ සිදු කළාක් මෙන්ම දෙවන සුජූදයෙහි ද පිළිපදියි.

පසු ව තක්බීර් පවසා හිස ඔසවමින් තම දණහිස් දෙක මත හා කලව දෙක මතට බර වී පාද මුල් කර ගනිමින් නැගිටියි. මද විවේකයක් අවශ්‍ය වූ විටෙක ඒ සඳහා වාඩි වෙයි.

පසු ව සම්පූර්ණයෙන්ම සිට ගත් විට කුර්ආනය පාරායනය කිරීමට ආරම්භ කරයි. මුල් රකආතයේ අඌදු නොපැවසුවේ නම් මෙහිදි අඌදු පවසයි. පසු ව බිස්මි පවසයි. නැවත ප්‍රාරම්භක ප්‍රාර්ථනාව නොපවසයි. පළමු රකආතය මෙන්ම දෙවන රකඅතයද ඉටු කරයි.

පසු ව ප්‍රථම ෂහාදා ව පැවසීම සඳහා සුජූද් දෙක අතර වාඩි වූවාක් මෙන් ඉෆ්තිරාෂ් ක්‍රමයට වාඩි වෙයි. විටෙක දකුණු අත දකුණු කලව මත ද වම් අත වම් කලව මත ද තබයි. විටෙක දකුණු අත දකුණු දණහිස මත ද වම් අත වම් දණහිස මත ද තබයි. දකුණතෙහි මහපට ඇගිල්ල මැදඟිල්ලට යටින් පිහිටන සේ රවුමක හැඩයෙන් තබා ගනී. වෙදඟිල්ල හා සුළැඟිල්ල මොළවා ගනියි. දබරැඟිල්ලෙන් විටෙක සංඥා කරයි. තවත් විටෙක සියලුම ඇඟිලි මොළවා ගෙන තම දබරැඟිල්ලෙන් සංඥා කරයි. ප්‍රාර්ථනා කරන විට දී එය සොලවයි. ඒ දෙස බලයි. තවද

التَّحِيَّاتُ لِلَّهِ وَالصَّلَوَاتُ وَالطَّيِّبَاتُ السَّلَامُ عَلَيْكَ أَيُّهَا النَّبِيُّ وَرَحْمَةُ اللَّهِ وَبَرَكَاتُهُ السَّلاَمُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللَّهِ الصَّالِحِينَ. أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ

අත්තහය්යාතු ලිල්ලාහි වස්සලවාතු වත්තය්යිබාතු අස්සලාමු අලයික අය්යුහන් නබිය්යු වරහ්මතුල්ලාහි වබරකාතුහු අස්සලාමු අලයිනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන් අෂ්හදු අන්ලාඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු.

තේරුම: සියලු ශුභාසිංසනයන් අල්ලාහ් සතුය. එමෙන්ම සියලු ආශිර්වාදයන් හා සියලු යහපත් දෑ ද (ඔහු සතුය.) අහෝ නබි තුමණි, ඔබට අල්ලාහ්ගේ දයාව හා ඔහුගේ අභිවෘද්ධිය හිමි වේවා! එමෙන්ම අප වෙත හා අල්ලාහ්ගේ දැහැමි ගැත්තන් වෙත ද හිමි වේවා! නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නොමැති බවට මම සාක්ෂි දරමි. එමෙන්ම නියත වශයෙන්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔහුගේ ගැත්තා හා ඔහුගේ ධර්ම දූතයා බවට ද මමා සාක්ෂි දරමි.

යැයි පවසයි. එසේ නැතහොත් හදීස්හි සඳහන් වෙනත් තෂහ්හුද් ක්‍රම අනුව ප්‍රාර්ථනා කරයි. මෙහිදී එතුමාණන් අසුන් ගනුයේ මද වේලාවකි.

පසු ව තක්බීර් පවසා නැගිට සිටියි. නැගිටීම සම්පූර්ණ කළ විට දෙඅත් ඔසවයි. පසු ව තුන්වැනි හා හතරවැනි රකආතයන් ඉටු කරයි. මුල් රකආත් දෙකට වඩා අඩු කාලයක් මෙම රකආත් දෙක පිහිටීය. මේ දෙකෙහිම සූරතුල් ෆාතිහා පාරායනය කරයි. නමුත් ලුහර් සලාතයේ ඇතැම් විට ෆාතිහා සූරාවට වඩා අමතර දෙයක් පාරායනය කරයි.

පසු ව අවසාන ෂහාදාව පැවසීම සඳහා තවර්රුක් ක්‍රමයට වාඩි වෙයි. වම් කකුල දකුණු කකුලේ කෙණ්ඩයට යටින් පිටතට එන සේ තම පසුපස බිම තබා දකුණු පාදය සිටුවා තබා ගනියි. ඇතැම් විට පසුපස බිම තබා තම පාද දකුණු දෙසින් පිටතට එන සේ තබා ගනියි.

පසු ව අවසාන වශයෙන් ෂාහාදා ව පවසයි. එය ආරම්භයේ සඳහන් කළ අයුරින්මය. මීට අමතර ව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත හදීස් වල සඳහන් අයුරින් සලවාත් ප්‍රකාශ කරයි. උදාහරණ වශයෙන්

اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ كَمَا صَلَّيْتَ عَلَى آلِ إِبْرَاهِيمَ إِنَّكَ حَمِيدٌ مَجِيدٌ اللَّهُمَّ بَارِكْ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ كَمَا بَارَكْتَ عَلَى آلِ إِبْرَاهِيمَ إِنَّكَ حَمِيدٌ مَجِيدٌ

අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා සල්ලයිත අලා ආලි ඉබ්රාහීම් ඉන්නක හමීදුන් මජීද්. වබාරික් අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා බාරක්ත අලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුන් මජීද්

තෙරුම: යා අල්ලාහ්! ඉබ්‍රාහීම් (අලයිහිස් සලාම්) තුමාගේ පවුලට ඔබ ආශිර්වාද කළාක් මෙන්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාටත් එතුමාණන්ගේ පවුලේ අයටත් ඔබ ආශිර්වාදය කරත්වා! නියත වශයෙන්ම ඔබ ප්‍රශංසාලාභීය. කීර්තිය හිමිය. එමෙන්ම ඉබ්‍රාහීම් (අලයිහිස් සලාම්) තුමාගේ පවුලට ඔබ සමෘද්ධිය ඇති කළාක් මෙන් මුහම්මද් තුමාණන් හා එතුමාගේ පවුලේ උදවියට සමෘද්ධිය ඇති කරත්වා!

පසු ව නිරයේ දඬුවමින් කබ්ර් හි දඬුවමින් ද මරණයේ හා ජීවිතයේ මුහුණ දෙන අර්බුදවලින් ද පැමිණීමට නියමිත දජ්ජාල්ගේ අර්බුද වලින් ද ආරක්ෂාව පතයි. පසු ව අල් කුර්ආනයේ හා සුන්නාහ්වේ සඳහන් ප්‍රාර්ථනාවන් අනුව ප්‍රාර්ථනා කරයි.

පසුව අස්සලාමු අලයිකුම් යැයි පවසා දකුණු දෙසට හැරී සලාම් පවසයි. එමෙන්ම වම් දෙසට හැරී ද සලාම් පවසයි.

සලාම් පැවසූ පසු ‘අස්තග්ෆිරුල්ලාහ් යනුවෙන් තුන් වරක් පවසයි. අනතුරු ව ‘අල්ලාහුම්ම ඉන්නක අන්තස් සලාමු වමින්කස් සලාමු තබාරක්ත යා දල් ජලාලි වල් ඉක්රාමි යැයි පැවසිය යුතුය. පසු ව අල්ලාහ් ව මෙනෙහි කරයි. ඉන්ෂා අල්ලාහ්, ඒ පිළිබඳ විස්තර පහත සඳහන් වෙයි.

 සලාතයේ දී සිදුවන පිළිකුල් සහගත දෑ පිළිබඳ පැහැදිලි කිරීමේ පාඩම

සලාතයේ දී තම මුහුණ පපුව හා සිත වෙනතකට හැර වීම පිළිකුල් සහගතය. ‘එය සලාතයේ දී ෂෙයිතාන් විසින් ගැත්තෙකු වංචාවට ලක් කරන්නා වූ වංචාවකි.’ යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැවසූ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් කළ වාර්තාව මෙය අවධාරණය කරයි. මූලාශ්‍රය බුහාරි. නමුත් යම් කිසි බියක් හෝ වැළැක්විය නොහැකි හේතුවක් වැනි තත්ත්වයක් උදා වූ විටෙක එය එසේ සිදුවීම වරදක් නොවේ. ඔහුගේ මුළු ශරීරයම හරවන්නේ නම් කිසිදු හේතුවකින් තොර ව ඔහු කිබ්ලා ව මඟ හැරිය හේතුවෙන් ඔහුගේ සලාතය අවලංගු වෙයි.

සලාතයේ දී තම බැල්ම අහස දෙසට යොමු කිරීම ද පිළිකුල් සහගතය. එසේ සිදු කරන්නා වෙත නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම අකමැත්ත පළ කොට ඇත. එතුමාණෝ ‘තම සලාතයේ දී අහස දෙසට තම බැල්ම යොමු කරන ජනයාගේ තත්ත්වය කුමක් ද’ යැයි පැවසූහ. එතුමාගේ එම ප්‍රකාශය ‘එයින් නොවැළකුණේ නම් ඔවුන්ගේ බැල්ම ඩැහැ ගනු ඇත’ යැයි පවසන තරමට දැඩි විය. මෙය අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කොට ඉමාම් බුහාරි තුමා විසින් දැනුම් දී ඇත. සලාතය ඉටු කරන්නා තම බැල්ම ඔහු නළල බිම තබා සුජූද් කරන ස්ථානය වෙත යොමු ව තිබිය යුතු යැයි ඉහත සඳහන් ව ඇත. එමෙන්ම තම බැල්ම ඔහු ඉදිරියේ ඇති බිත්තිය දෙස හෝ ලියවිලි දෙස හෝ කැටයම් දෙස හෝ එවැනි යමක් දෙස යොමු කිරීම අනවශ්‍ය ක්‍රියාවකි. හේතුව එය ඔහුගේ සලාතයෙන් ඔහු ව වෙනතකට හරවනු ඇත.

එමෙන්ම සලාතයේ දී කිසිදු හේතුවකින් තොර ව තම දෑස් පියා ගැනීම ද පිළිකුල් සහගතය. නමුත් ඔහු ඉදිරියේ යම් විසිතුරු භාණ්ඩ හෝ සැරසිලි වැනි සලාතයට බාධා වන යම් කරුණක් වී දෑස් පියවීමට අවශ්‍යතාවක් ඇති වූ විටෙක ඔහුගේ දෑස් පියා ගැනීම පිළිකුල් සහගත නොවෙයි.

සලාතයේ දී කිසිදු අවශ්‍යතාවකින් තොර ව කියාම් හෙවත් සිට ගැනීමේ ඉරියව්වෙහි බිත්තියක් වැනි ආධාරයක් මත හාන්සි වීමද පිළිකුල් සහගතය. හේතුව කියාම් හි පවතින පරිශ්‍රමය ඉන් ඉවත් වන බැවිනි. නමුත් එසේ හාන්සි වී එය ඉවත් වූ විට තමන් ඇඳගෙන වැටුණේ නම් එවිට සලාතය අවලංගු වනු ඇත. යම් කිසි රෝගයක් නිසා එවැනි අවශ්‍යතාවක් සඳහා එසේ කළේ නම් එහි වරදක් නොමැත.

සලාතයේ සුජූද් ඉරියව්වෙහි තම බාහු දිගු කොට තබා ගැනීම ද පිළිකුල් සහගතය. එනම් තම අත් බාහු පොළොවට ඇලෙන සේ තබමින් දිගු කොට තබා ගැනීමය. ‘නුඹලා සුජූද් හි ඍජු ව සිටිනු. සුනඛයා තම ඉදිරි පාද දෙක දිගු කරමින් සිටින සේ නුඹලාගෙන් කිසිවකු තම අත් බාහු දිගු නොකළ යුතුය’ යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසය මීට සාධක වශයෙන් පිහිටා ඇත.

සලාතයේ දී අධික චලනය ද පිළිකුල් සහගතය. සෙල්ලම් කිරීමද මීට අදාළ වේ. එනම් තම අතින් හෝ කකුලෙන් හෝ රැවුලෙන් හෝ ඇඳුමෙන් හෝ වෙනත් දෙයක් මඟින් එහි දී ප්‍රයෝජනයක් නොවන්නා වූ කටයුත්තක නිරත වීමය. කිසිදු අවශ්‍යතාවකින් තොර ව පොළොව ස්පර්ශ කිරීම ද ඉන් එක් කරුණක් වෙයි.

සලාතයේ දී තහස්සුර් හෙවත් ඉඟටිය හා ඉල ඇටය අතර අත තබා ගැනීම, එනම් උකුලෙහි ඉහළ කොටසෙහි අත තැබීම. හේතුව මෙය දේව ප්‍රතික්ෂේපකයින්ගේ හා අහංකාරයින්ගේ ක්‍රියාවක් වන බැවිනි. ඔවුනට ආදේශී ව කටයුතු කිරීම අපහට තහනම් කරනු ලැබූවකි. ‘මිනිසෙකු සලාතය ඉටු කිරීමේ දී ඉහ්තිසාර් ක්‍රමයෙන් එනම් අත ඉඟටිය හා ඉල ඇටය අතර තබා ගැනීමෙන් වැළකිය යුතු  යැයි අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසය මීට සාධක වශයෙන් පිහිටා ඇත. (මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්)

සලාතයේ දී ඇගිලි පුරුක් කැඩීම ද ඇගිලි අතර අමුණාගෙන සිටීම ද පිළිකුල් සහගතය.

තමන් වෙනතකට යොමු කරන දෙයක් ඉදිරියේ සලාතය ඉටු කිරීම ද පිළිකුල් සහගතය. ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කළ හදීසය මීට සාධක වේ. එනම් නියත වශයෙන්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ලාංජන සහිත රතු රෙදි කඩක් මත සලාතය ඉටු කළහ. එවිට එතුමා එහි ඇති ලාංජන දෙස ඇස් යොමු කළහ. සලාතය අවසන් කළ කල්හි මේ මාගේ ලාංජන සහිත රතු රෙදි කඩ අබූ ජහ්ම් වෙත රැගෙන යනු. මට ලාංජන රහිත රෙදි කඩක් ගෙන එනු. නියත වශයෙන්ම එය මාගේ සලාතයෙන් මා වෙනතකට යොමු කළේය. (මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්)

රූප ඉදි කර තිබුණ ද ඉදි කර නොතිබුණ ද එම  ස්ථාන වල සලාතය ඉටු කිරීම පිළිකුල් සහගතය.

මළ මූත්‍ර හෝ වාතය දරා සිටීම, දරා ගත නොහැකි සීතල හෝ උණුසුම, ප්‍රියතම ආහාර වේලක් ඉදිරියේ තබනු ලැබීම වැනි යම් මනසට පීඩනයක් ඇති කරන යමක් සිදුවීමෙන් තමන්ගේ සිතුවිලි වෙනතකට යොමු කරන අවස්ථාවක සලාතය තුළට පිවිසීම ද පිළිකුල් සගතය. ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා  කරන ලද හදීසය මීට සාධක වශයෙන් පිහිටා ඇත. එනම් ආහාර ඉදිරියේ සලාතය නොමැත. එමෙන්ම මළ මූත්‍ර දරා සිටින්නාට ද සලාතය නොමැත යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළහ.  මූලාශ්‍රය : මුස්ලිම්.

ඉස්ලාමීය විද්වතුන් මෙම තහනම් පිළිකුල් සහගත දෑ ලෙස පෙන්වා දෙයි. මෙය සලාතය විනයානුකූල ව ඉටු කිරීම හා නිවැරදි ව ඉටු කිරීම යන පාඩම අතුරින් වූවකි.

අල්ලාහ් සියල්ල මැනවින් දනී.

සලාතයේ දී ඉටු කිරීමට සතුටුදායක හා අනුමත දෑ පිළිබඳ විස්තර කිරීමේ පාඩම

සලාතය ඉටු කරන්නෙකු ඉදිරියෙන් යමෙකු ගමන් කරන විට ඔහු ඔහුට සමීපයෙන් සිටී නම් ඔහු ව වැළැක්වීම සුන්නාවකි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පවසා සිටියහ. ‘නුඹලා අතුරින් කිසිවකු හෝ සලාතය ඉටු කරමින් සිටින විට තමන් ඉදිරියේ ගමන් කරන කිසිවකු අත හැර නොදැමිය යුතුය. එසේ ඔහු එයට පිටුපෑවේ නම් ඔහුට පහර දෙනු. හේතුව නියත වශයෙන්ම ඔහු සමඟ ෂෙයිතාන් සිටින්නේය. මෙය ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කොට ඉමාම් මුස්ලිම් විසින් දන්වා ඇත.

අනිවාර්යය සලාතයක් වැනි කඩ කළ නොහැකි සලාතයක් ඉටු කරන්නෙකු ඉදිරියෙන් යමෙකු ගමන් කරන්නේ නම් ඔහු ව වැළැක්වීම අනිවාර්යය වේ. එමෙන්ම සලාතය කඩ කරන බූරුවකු හෝ කළු බල්ලෙකු හෝ කාන්තාවක් ගමන් කළ ද ඔහු විසින් ඔවුන් වැළැක්වීම අනිවාර්යය වේ.

නමුත් සලාතය ඉටු කරන්නා ඉදිරියේ බාධකයක් වී නම් (එනම් බිත්තියක් හෝ එවැනි උස් සහිත යමක් වී නම්) ඊට පසුපසින් ගමන් කිරීම වරදක් නොවේ. ඔහු ඉදිරියේ බාධකයක් නොවුණ ද ඔහු සුජූද් කරන ස්ථානයට පසුපසින් ගමන් කිරීමත් වරදක් නොවේ. සලාතය සඳහා නැගිට සිටින ස්ථානයේ සිට බාහු තුනක ප්‍රමාණයෙන් එහි පරතරය තිබිය යුතු යැයි ඉස්ලාමීය විද්වත්හු පවසති.

තනි ව සලාතය ඉටු කරන්නෙකු හෝ වේවා ඉමාම්වරයෙකු හෝ වේවා තමන් ඉදිරියෙන් බාධකයක් තබා ගැනීම සුන්නාවකි. හේතුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙසේ පවසා ඇත. ‘ඔබ අතුරින් කිසිවකු හෝ සලාතය ඉටු කරන්නේ නම් බාධකයක් වෙත යොමු වී සලාතය ඉටු කරත්වා ! ඊට සමීප ව සිටිත්වා ! මෙය අබූ සඊද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කොට අබූ දාවූද් ඉබ්නු මාජා යන ග්‍රන්ථ වල සඳහන් ව ඇත.

එම බාධකය ඔටු වලිගය මෙන් පිහිටීම සුන්නාවකි. එනම් එය හීනි වුව ද පළල් වුව ද එක් බාහුවක් තරම් පිහිටීමය. එමෙන් උස් සහිත සෑම දෙයක්ම එසේ බාධකයක් වශයෙන් තැබීමට අනුමැතිය ඇත. සලාතය සඳහා භාවිත කරන ඇතිරිය ද ඊට ප්‍රමාණවත් වේ. නමුත් කිසිදු බාධකයක් නොමැති ව සලාතය ඉටු කිරීම සුදුසු නොවේ. අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කොට ඇති හදීසය මීට සාධකයක් වශයෙන් පිහිටා ඇත. එනම් ඔබ අතුරින් කිසිවකු හෝ සලාතය ඉටු කරන්නේ නම් ඔහු හැරී සිටින දෙසට යමක් තබා ගනිත්වා ! කිසිවක් නොලැබුවේ නම් රිටක් සිටුවා ගනිත්වා ! ඔහුට එයත් නොමැති නම් ඉරක් අදිත්වා  යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පවසා සිටියහ. මෙය ඉමාම් අහ්මද් අබූ දාවූද් ඉබ්නු මාජා යන ඉමාම්වරු විසින් දන්වා ඇති අතර ඉමාම් අහ්මද් හා ඉබ්නු මුදීනිය්යි යන ඉමාම්වරු විසින් මෙය පූර්ව සාධක සහිත හදීසයක් බවද අවධාරණය කරයි. 

විමසුම :  මුස්ලිම් හි සඳහන් අබූ දර් (රළියල්ලාහු අන්හු) තුමාගේ හදීසය අනුව සලාතය ඉටු කරන්නා හා ඔහුගේ බාධකය අතර හෝ බාහු තුනට වඩා අඩු පරතරයක් අතර හෝ කළු බල්ලෙකු බූරුවකු හෝ කාන්තාවක් ගමන් කිරීමෙන් සලාතය අවලංගු වේ.

එමෙන්ම යමෙකු අවසර පැතීම ඉමාම්ට අමතක වී යාම මිනිසෙකු විනාශ මුඛයට වැටෙන්නට යාම වැනි යම් කරුණක් සලාතය ඉටු කරන්නා ඉදිරියේ සිදු වන්නේ නම්. ඔහු පිරිමියෙකු නම් සුබ්හානල්ලාහ් යැයි තස්බීහ් පැවසීමෙන් ද කාන්තාවක් නම් අත තට්ටු කරමින් ද එය අවධාරණය කිරීමට ඔහුට අනුමැතිය ඇත. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පවසා සිටියහ. ඔබට යම් කරුණක් සලාතයේ දී ඇති වූ විට පුරුෂයින් සුබ්හානල්ලාහ් යැයි තස්බීහ් පවසත්වා ! කාන්තාවන් අත් තට්ටු කරත්වා ! මෙය සහ්ල් ඉබ්නු සඃද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරනු ලදු ව බුහාරි හා මුස්ලිම්හි මෙය සඳහන් ව ඇත.

සලාතය ඉටු කරමින් සිටින්නෙකු සලාමය පිළිතුරු දෙන ආකාරය පිළිබඳ අවබෝධයක් ඇත්තේ නම් ඔහු වෙත සලාම් පැවසීම පිළිකුල් සහගත කරුණක් නොවේ. එවිට සලාතය ඉටු කරන්නා සලාතයේ  නිරත වෙමින් සිටිය දීම තම අත දිගු කොට එමගින් සංඥා කරමින් එයට පිළිතුරු දීම තම වගකීමක් බවට පත් වෙයි. නමුත් එය ප්‍රකාශයෙන් නොවිය යුත්තකි. මෙය ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කොට ඇත.

සලාතය ඉටු කරන්නාට ඇතැම් විට එක රකආතයක සූරාවන් කිහිපයක් පාරායනය කිරීමට අනුමැතිය ඇත. මේ පිළිබඳ ව හුදෙයිෆා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසයක් බුහාරි හා මුස්ලිම්හි මෙසේ සඳහන් වේ. එනම් නියත වශයෙන්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා එක් රකඅතයක කියාම් ඉරියව්වෙහි සිට සූරතුල් බකරා සූරත් ආලු ඉම්රාන් සූරත් නිසා යන සූරාවන් පාරායනය කළහ. එකම පාරායනය රකආත් දෙකෙහිම පාරායනය කිරීමටත්. සූරාවක් දෙකට බෙදා රක්ආත් දෙකක පාරායනය කිරීමටත් එමෙන්ම සූරාවක ආරම්භ කොටස හෝ මැද කොටස හෝ අවසාන කොටස හෝ පාරායනය කිරීමටත් අනුමැතිය ඇත. මේ පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කළ ප්‍රකාශයක් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදුව අහ්මද් හා මුස්ලිම් හි මෙසේ සඳහන් වේ. ඇත්තෙන්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සුබ්හු සලාතයේ රකආත් දෙකින් පළමු රකආතයෙහි ‘කූලූ ආමන්නා බිල්ලාහි වමා උන්දිල ඉලයිනා’ යන සූරතුල් බකරා 136 වැනි වැකිය ද දෙවන රකආතයේ ‘කුල් යා අහ්ලල් කිතාබි තආලව් ඉලා කලිමතින් සවාඋන් බයිනනා වබයිනකුම්’ යන සූරත් ආලු ඉම්රාන් හි 64 වැනි වැකිය ද පාරායනය කරන්නෙකු වූහ.

අල් කුර්ආන් හි සූරා මුස්සම්මිල් හි 20 වැනි වැකියේ සඳහන් ‘ෆක්රඌ මා තයස්සර මින්හු’ එනම් ඉන් ඔබට පහසු දේ කියවන්න යන අල්ලාහ්ගේ පොදු වැකිය අනුව තමන්ට කැමති ප්‍රමාණයට පාරායනය කළ හැක.  නමුත් මෙවන් දෑ අනිවාර්යය සලාත්හි නිරතුරු ව පිළිපැදීමෙන් වැළකිය යුතුය. අතරින් පතර එසේ සිදු කරන්නේ නම් මැනවි ! එවිට සුන්නා ව වනුයේ පූර්ණ සූරාවක් පාරායනය කිරීම හෝ කියවන ලද සූරාව දිගු නම් එය දෙකට බෙදා පාරායනය කිරීමය.

සලාතය ඉටු කරන්නා දඬුවම පිළිබඳ සඳහන් කරමින් පාරායනය කරන ලද අවස්ථාවන්හි ඉන් ආරක්ෂාව පැතීමටත් දයාලුභාවය පිළිබඳ සඳහන් කරමින් පාරායනය කරන ලද අවස්ථාවන්හි අල්ලාහ්ගේ ආශිර්වාදය අයැද සිටීමටත් අනුමැතිය ඇත. තම පාරායනයෙහි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්)තුමාණන් පිළිබඳ මෙනෙහි කිරීමක් සිදු වන්නේ නම් එතුමාණන් වෙත සලාම් පැවසීමට ද අනුමැතිය ඇත. එය එතුමාණන් ව මතක් වන අවස්ථාවෙහි එතුමාණන් වෙත සලවාත් පැවසීම වඩාත් වැදගත් හෙයිනි. ඉහත සඳහන් හුදෙයිෆා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසය අනුව මෙසේ පිළිපැදීම අතිරේක සලාතයන්හි සතුටුදායක වන අතර අනිවාර්යය සලාතයන්හි අනුමත කරණක් වේ.

 අමතක වීම සඳහා සුජූද් කිරීම පිළිබඳ වූ පාඩම

‘සහ්වු’ හෙවත් අනවධානය ‘නිස්යාන්’ හෙවත් අමතක වීම ‘ගෆ්ලා’ හෙවත් නොසැලකිලිමත්කම වැනි පද විවිධ වුව ද අර්ථයෙන් එකමය. එනම් දන්නා දෙයකින් මනස බැහැර වීමය.

පරිභාෂිත රීතියානුකූල අදහස වනුයේ

සලාතයේ ඇති වන අඩුව පිරවීම සඳහා සලාතය ඉටු කරන්නා විසින් සිදු කරන සුජූද් දෙකය. සලාතයේදී සිදු වන අඩු පාඩු පුරවන කරුණු අතුරින් දෙවන කරුණය.

සුජූදුස් සහ්වු ආගමානුගත කර ඇත්තේ කරුණු තුනකින් කුමක් හෝ එක් කරුණක් සඳහාය.  එනම්

පළමුවැන්න : සලාතයේ යමක් වැඩි පුර කළ විටෙක

දෙවැන්න: සලාතයේ යම් අඩුවක් කළ විටෙක

තුන්වැන්න: අමතර දෙයක් හෝ අඩුවක් හෝ සිදු වී ඇත්තේදැයි යම් සැකයක් තමන් තුළ ඇති වූ විටෙක

කවර කටයුත්තක් සඳහා සුජූද් කළ යුත්තේ දැයි සාක්ෂි හා සාධක පැමිණ ඇත්තේ ද ඒ අයුරින් මෙම කරුණු තුනෙන් යමක් සඳහා සුජූදු කරනු ලැබේ. එහෙයින් සලාතයේ සිදු වන සෑම අමතර ක්‍රියාවක් සඳහා හෝ අඩුපාඩුවක් සඳහා හෝ සැකයක් සඳහා හෝ සුජූද් කළ යුතු ව නැත. ඒ සඳහා හේතු සාධක තිබුණේ නම් පමණක් සුජූදුස් සහ්වු කිරීම ආගමානුගත කර ඇත. පැමිණ ඇති සාධක පොදුවේ සඳහන් වන බැවින් එය අනිවාර්යය සලාතයක හෝ අතිරේක සලාතයක හෝ වේවා මෙය පිළිපැදිය යුතු වේ. සුජූදුස් සහ්වු කිරීමට ආගමානුගත කරන ලද සලාතය වනුයේ වනුයේ රුකූඋ හා සුජූද් ඇතුළත් සෑම සලාතයක්මය.

එහෙයින් ජනාසාz සලාතය මෙම නීතියෙන් බැහැරය. එහි අමතක වීම සඳහා සුජූදුස් සහ්වු ඉටු කරනු නොලැබේ. එමෙන්ම සුජූදුද් තිලාවා හෝ සුජූදුස් සහ්වු අමතක වීම සඳහා ද සුජූද් සහ්වු ඉටු කරනු නොලැබේ.

සුජූදුස් සහ්වු ඉටු කිරීමේ අවස්ථා.

පළමු අවස්ථාව: සලාතයේ යමක් අමතර ව සිදු කිරීම

            එය ක්‍රියාවෙන් හෝ ප්‍රකාශයෙන් හෝ විය හැකිය.

පළමුව: ක්‍රියාවෙන් සිදු වන අමතර දෑ වූ කලී උදාහරණ වශයෙන් වාඩි විය යුතු තැන සිට ගැනීම සිට ගත යුතු තැන වාඩි වීම රුකූඃ හෝ සුජූද් අමරත ව කිරීම වැනි සලාතයට අදාළ ක්‍රියාවක් නම් එය අමතක වී සිදු කළ විට අනිවාර්යයෙන්ම අමතක වීම සඳහා සුජූද් කිරීම කළ යුතු වේ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බවට ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසය මීට සාධක වශයෙන් පිහිටයි. එනම්, ‘සලාතයේ දී මිනිසකු අමතර දෙයක් කළ විට හෝ අඩුවක් කළ විට ඔහු සජදා දෙකක් ඉටු කරත්වා!’ මෙය ඉමාම් මුස්ලිම් විසින් දන්වා ඇත.

විමසුම:

එක් රකආතයක් අමතර ව ඉටු කොට එය අවසන් කිරීමෙන් පසු ව මිස ඔහු ඒ වග නොදත්තේ නම් එවිට ඔහු අමතක වීම වෙනුවෙන් සජදා ඉටු කරයි. අමතර රකආතය අතරවාරයේ දැන ගත්තේ නම් එවිට ඔහු එම මොහොතේම වාඩි විය යුතුය. තෂහ්හුද් පැවසුවේ නැතිනම් තෂහ්හුද් පැවසිය යුතුය. පසු ව අමතක වීම වෙනුවෙන් සුජූද් කොට සලාම් පැවසිය යුතුය.

ඉමාම්වරයකු නම් අමතර දෑ හා අඩුපාඩු පිළිබඳ මඃමූම්වරුන්ගෙන් දැන ගනු ඇත. එසේ ඔවුන් විසින් සිදු කරන නිවේදනය පිරිමි පාර්ශවය නම් ඔවුන් පවසන තස්බීහ් මගින් හා කාන්තාවන් නම් ඔවුන් කරන අත් තට්ටු කිරීමෙන් දැන ගනු ඇත. එවිට ඉමාම්වරයාට ඔවුන්ගේ එම නිවේදනය වෙත එම මොහොතේම හැරීම අනිවාර්යය වන්නේය.  නමුත් ඉමාම්වරයා එය නිවැරදිය යන ස්ථාවරය මත සිටින්නේ නම් එවිට ඔවුන්ගේ නිවේදනය පිළිපැදිය යුත්තක් නොවනු ඇත. හේතුව ඔහු යොමු විය යුත්තේ නිවැරදි දෑ වෙත පමණය.

ප්‍රකාශයකින් සිදු කරන අමතර ක්‍රියාවක් නම්: එනම් සුජූද්හි හෝ රුකූඋ හි අල් කුර්ආනය කියවීම රකආත් හතරකින් හෝ තුනකින් යුත් සලාතයන් හි අවසන් රකආත් දෙකෙහි අල්කුර්ආන් සූරාවන් කියවීම වැනි  අමතර ප්‍රකාශයක් අමතක වීමෙන් සිදු වී ඇත්නම් අමතක වීම සඳහා සජදා කිරීම සතුටුදායක වන්නේය.

සලාතයේ දී අමතර ව සිදු වන ක්‍රියාව හෝ ප්‍රකාශය අනුභව කිරීම පානය කිරීම අධික චලනය කතා කිරීම වැනි සලාතයට අදාළ නොවන කරුණක් නම් ඒ සඳහා සුජූදුස් සහ්වු කිරීම ආගමානුගත කරන නොලදී. නමුත් එය උවමනාවෙන්ම සිදු කර ඇත්නම් සලාතය අවලංගු වේ. අමතක වීමෙන් සිදු වී ඇත්නම් සලාතය අවලංගු නොවේ.

දෙවන අවස්ථාව : සලාතයේ යමක් අඩු වීමය.

සලාතයෙන් යමක් අඩු වන්නේ නම් එය පහත සඳහන් කරුණු අතුරින් එකක් වන්නේය.

1-     අර්කාන් හෙවත් සලාතයේ මූලිකාංගයන්හි අඩුපාඩු ඇති වීම. එනම් අතපසු වූ කරුණ සලාතයේ මූලිකාංගයක් නම් එම මූලිකාංගය ආරම්භ තක්බීරය පැවසීම නම් එවිට සලාතය පිළිගනු නොලැබේ. එයට සුජූදුස් සහ්වු කිරීමේ අවශ්‍යතාවක්ද නොමැත.

ආරම්භ තක්බීරය හැර රුකූඃ කිරීම සුජූද් කිරීම හා එවැනි වෙනත් මූලිකාංගයක් නම්  සලාතය ඉටු කරන්නා එම රකඅතයේ ඊට පර ව ඇති මූලිකාංගයට තවමත් සේන්දු නොවූයේ නම් එවිට නැවතත් එම මූලිකාංගය ඉටු කොට ඉතිරි මූලිකාංග ද පරිපූර්ණ කළ යුතුය. නමුත් එම රකආතයේ ඊට පර ව ඇති මූලිකාංගයට සේන්දූ වූවායින් පසු ඔහුට මතක් වී නම් එම රකආතය නිෂ්ඵල වී යයි. එම ස්ථානයේ ඊට පර ව ඇති මූලිකාංගයන් ඉටු කළ යුතුය.

අතපසු වූ මූලිකාංගය සලාතයෙන් පසු ව දැන ගත්තේ නම් එවිට පූර්ණ රකආතයක් අතපසු කළාක් මෙන් එය සලකනු ලැබේ. වෙන් වූ කාලය දීර්ඝ නොවී ඔහු  පිරිසිදු ව සිටින්නේ නම් ඒ වෙනුවෙන් පූර්ණ රකආතයක් ඉටු කොට පසු ව අමතක වීම සඳහා සජදා සහ්වු ඉටු කළ යුතුය. නමුත් වෙන් වූ කාලය දීර්ඝ නම් හෝ ඔහුගේ පිරිසිදුභාවය (වුළූ) බිද වැටී ඇත්නම් සලාතය අලුතෙන් මුල සිටම ඉටු කළ යුතු වේ. අතපසු වූ දෑ අවසන් රකආතයේ වී නම් එවිට ඔහු එය ද ඉන් පසු ඇති දෑ ද ඉටු කොට සලාම් දී ඉහත සඳහන් පරිදි වෙන් වූ කාලය දීර්ඝ නොවී වුළූ අවලංගු නොවී තිබෙන තාක් කල් සුජූදුස් සහ්වු ඉටු කරයි.

2-     වාජිබාත් හෙවත් සලාතයේ අනිවාර්යය දෑහි අඩු පාඩු ඇතිවීම. අතපසු වූ අංගය රුකූඃහි හෝ සුජූද්හි තස්බීහ් පැවසීම වැනි දෙයක් නම්

(අ) ඊට පර ව ඇති අංගයේ නිරත වීමට පෙර මතක් වූයේ නම් එය නැවත ඉටු කරයි. අනතුරු ව සලාම් පැවසීමෙන් පසු ව සුජූද් කරයි. හේතුව සලාතයේ අමතර දෙයක් කර ඇති බැවිනි.

(ආ) ඊට පර ව ඇති අංගයේ නිරත වීමෙන් පසු ව මතක් වූයේ නම් එම අංගය බිද වැටේ. පසු ව අමතක වීම සඳහා අනිවාර්යයයෙන් සලාමයට පෙර සුජූද් කරයි. හේතුව එහි අඩුවක් ඇති වූ බැවිනි.

3- සුන්නා හෙවත් සලාතයේ අතිරේක කරුණක අඩුපාඩු සිදුවීම

අතපසු වූ අංගය සුන්නාවක් නම් එය ඔහු සිරිතක් වශයෙන් කරමින් සිටින්නේ නම් එවිට සලාමයට පෙර සුජූද් කිරීම ඔහුට සතුටුදායකය. එසේ නොමැතිනම් අවශ්‍ය නොවේ. 

තුන්වන අවස්ථාව :  සලාතයේ සැකයක් ඇති වීම. එහි දී පහත සඳහන් කරුණු වලින් නොමිදෙනු ඇත.

1-     ඔහුගේ අනුමානයට වඩා යමක් අබිබවා තිබීම. එසේ ඔහුගේ අනුමානයට වඩා යමක් අබිබවා පිහිටියේ නම් ඒ අනුව ඔහු කටයුතු කරයි. සලාම් පැවසීමෙන් පසු සජදා සහ්වු ඉටු කරයි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බවට ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසයක් මීට සාධක වශයෙන් පිහිටා ඇත. එනම් නිවැරදි දෑ ඔහු තෝරා ගන්නට උත්සාහ කරත්වා ! පසු ව එය ඒ අනුව සම්පූර්ණ කරත්වා ! (මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්)

2-     ඔහු වෙත යමක් වඩාත් නිවැරදි ලෙස නොතිබීම එවිට ඔහු යම් ස්ථාවරයකට එළඹෙයි. පසු ව අඩුව පුරවයි. උදාහරණයක් වශයෙන් සලාතයේ රකආත් ගණන්හි තමන් රකආත් දෙකක් කළේ ද එසේ නැතහොත් තුනක් කළේ ද යන්නෙන් කෙනෙකුට සැකයක් ඇති වූ විටෙක ඔහු ඉටු කළ දෑ ඔහුට වඩා නිවැරදි යැයි දකින්නේ නම් ඒ අනුව ඔහු කටයුතු කරයි. එසේ නැතහොත් එහි අඩු සංඛ්‍යාව තෝරා ගෙන ඒ අනුව කටයුතු කරයි. හේතුව එය විශ්වාසනීයභාවයට වඩාත් සමීප වන බැවිනි. පසු ව අමතක වීම සඳහා සලාමයට පෙර සුජූද් කරයි. අබූ සඊද් (රළියල්ලාහු අන්හු) තුමාගේ හදීසය මීට සාධක වශයෙන් පිහිටා ඇත. එනම් ‘ඔබ අතුරින් කිසිවකුට තම සලාතයේ දී සැකයක් ඇති වූ විටෙක ඔහු ඉටු කළ රකආත් ගණන තුනක් ද හතරක් ද යන්නෙන් ඔහු නොදනී නම් එවිට ඔහු සැකය දුරලත්වා ! තමන්ට වඩාත් විශ්වාස කළ හැකි දෑ අනුව ඉටු කරත්වා ! පසුව සලාම් කීමට පෙර සුජූද් දෙකක් ඉටු කරත්වා!’ මෙය ඉමාම් මුස්ලිම් විසින් දන්වා ඇත.

විමසුම:

සුජූදුස් සහ්වු කිරීමේ නීතිය වනුයේ වාජිබ් හෙවත් අනිවාර්යය යන්නය. එසේ අනිවාර්යය වනුයේ තමන් සිදු කළ අමතර දැයින් සලාතය නිෂ්ඵල වී යනු ඇතැයි සිතූ විටය.  එසේ නොමැතිනම් අනිවාර්යය නොවේ.

උදාහරණයක් වශයෙන් අමතක වී අමතර රකආතයක් ඉටු කරයි. එය සලාතය නිෂ්ඵල කරනු ඇතැයි ඔහු සිතයි. එවිට සුජූදුස් සහ්වු කිරීම අනිවාර්යය වේ.

විමසුම: සුජූද් කිරීමේ ස්ථානය

(අ) සලාමයට පෙර : රුකූඃහි හෝ සුජූද් හි හෝ තස්බීහ් පැවසූමේ අඩුපාඩුවක් සිදුවන්නාක් මෙන් යම් අඩුවක් සිදු වූ විට සලාමයට පෙර සුජූදුස් සහ්වු ඉටු කරයි. එය අබ්දුල්ලාහ් ඉබ්නු බුහයිනා තුමා විසින් වාර්තා කළ හදීසය පිළිපදිමිනි. එනම් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පළමු තෂහ්හුද් පැවසීම අත්හළ කල්හි සලාමයට පෙර සුජූද් කළහ. මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්.

එසේ නැතහොත් ඉහත සඳහන් අබූ සඊද් (රළියල්ලාහු අන්හු) තුමාගේ හදීසය අනුව කෙනෙකුට යම් සැකයක් මතු වී වඩාත් නිවැරදි දේ තෝරා ගැනීමට නොහැකි වූ විටද සලාමයට පෙර සුජූදුස් සහ්වු ඉටු කරයි.

(ආ) සලාමයට පසු : රුකූඃ හෝ සුජූද් හෝ කියාම් හෝ කුඌද් වැනි දෙයක් අමතර ව කළේ නම් සලාමයෙන් පසු සුජූදුස් සහ්වු ඉටු කළ යුතුය. ‘සලාතයේ වැඩිපුර සලාමයක් පැවසූ කල්හි සලාමයට පසු සුජූද් කළහැයි අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් කළ වාර්තාව මීට සාධක වශයෙන් ගත හැකිය. 

එසේ නැතහොත් යම් සැකයක් මතු වී පසු ව ඔහුට යමක් නිවැරදි යැයි සිතූ විටෙක උදාහරණ වශයෙන් තමන් ඉටු කළ රකආත් ගණන තුනක් ද හතරක් ද යන්නෙන් සැකයක් ඇති වී පසු ව ඔහු ඉටු කළ රකආත් ගණන තුනක් යන වග ඔහුට පැහැදිලි වූ විට තවත් රකආතයක් ඉටු කොට සලාමයෙන් පසු ව සුජූදුස් සහ්වු ඉටු කරයි. මෙය ඉහත සඳහන් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමාගේ හදීසය පදනම් කර ගනිමිනි.

විමසුම : මඃමූම්වරයාගේ අමතක වීම

            (ආ) පෙර එක් වූ මඃමූම්වරයකු නම් අමතක වීමේ වගකීම ඉමාම්වරයා විසින් උසුලනු ඇත. එවිට ඔහු අමතක වීම සඳහා සුජූද් කළ යුතු නැත.

            (ආ) පසු එක් වූ මඃමූම්වරයකු නම් තමන්ට අතපසු වූ දෑ ඉටු කළ පසු ව සජදා ඉටු කළ යුතුය.

සුජූදුස් සහ්වුහි ක්‍රමය සාමාන්‍ය සලාතයේ ඉටු කරන සුජූදය හා සමානය. සලාතය ඉටු කරන්නා පහත සඳහන් අවස්ථා තුනෙහි සැකය ගැන අවධානය යොමු නොකරයි. 

1-     මිනිසාට කුතුහලයන් අධික වූ විටෙක

2-     අනුමානයක් පමණක් පවතින විටෙක

3-     නැමදුම් සියල්ල අවසන් කළ පසුව

විමසුම : වාර ගණනාවක් අමතක වීම් සිදු වූ විටෙක සජදා දෙකක් පමණක් ප්‍රමාණවත් වේ.

 සලාතයෙන් පසු මෙනෙහි කළ යුතු ප්‍රාර්ථනාවන් පිළිබඳ පාඩම

අනිවාර්යය සලාතයන්හි අඩුපාඩු හා අමතක වීම් බොහෝමයක් සිදු වේ. අල්ලාහ්ගේ දයාව හේතුවෙන් එම අඩුපාඩු පුරවාලීමට ඇතැම් කරුණු ඔහු ආගමානුගත කළේය. සලාතය නිමා වූ පසු ව මෙනෙහි කරන්නා වූ ප්‍රාර්ථනාවන් ද එම අඩුපාඩු පුරවන කරුණු අතුරින් එකකි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

فَإِذَا قَضَيْتُمُ الصَّلَاةَ فَاذْكُرُوا اللَّهَ قِيَامًا وَقُعُودًا وَعَلَى جُنُوبِكُمْ

නුඹලා සලාතය අවසන් කළ විට සිටගනිමින් ද වාඩිවෙමින් ද ඇලපත් මත හාන්සිවෙමින් ද අල්ලාහ් ව මෙනෙහි කරනු. (අල් කුර්ආන් 4: 103)

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

فَإِذَا قُضِيَتِ الصَّلَاةُ فَانْتَشِرُوا فِي الْأَرْضِ وَابْتَغُوا مِنْ فَضْلِ اللَّهِ وَاذْكُرُوا اللَّهَ كَثِيرًا لَعَلَّكُمْ تُفْلِحُونَ

සලාතය අවසන් වූ විට නුඹලා මහපොළොවේ සැරිසරා අල්ලාහ්ගේ භාග්‍යය සොයනු. තවද නුඹල ජය අත්පත් කර ගත හැකි වනු පිණිස අධික වශයෙන් අල්ලාහ් ව මෙනෙහි කරනු. (අල් කුර්ආන් 62: 10)

සලාතය ඉටු කරන්නා සලාම් පැවසූ පසු තුන්වරක් ‘අස්තග්ෆිරුල්ලාහ් (මම අල්ලාහ්ගෙන් සමාව අයැදිමි) යැයි පැවසීම සුන්නාවකි.

පසුව

اللَّهُمَّ أَنْتَ السَّلاَمُ وَمِنْكَ السَّلاَمُ تَبَارَكْتَ ذَا الْجَلاَلِ وَالإِكْرَامِ

අල්ලාහුම්ම අන්තස් සලාම් වමින්කස් සලාම් තබාරක්ත දල් ජලාලි වල් ඉක්රාම්.

තේරුම: යා ! අල්ලාහ්, ශාන්තිය ඔබයි. ශාන්තිය ඇති වනුයේ ඔබෙන්ය. ගෞරවනී වූ ද අභිමානවත් වූ ද ඔබ භාග්‍ය වන්තයාය.

මෙය මුස්ලිම් හි සඳහන් සව්බාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසයක සඳහන් වන්නකි.

පසුව

لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ لاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَلاَ نَعْبُدُ إِلاَّ إِيَّاهُ لَهُ النِّعْمَةُ وَلَهُ الْفَضْلُ وَلَهُ الثَّنَاءُ الْحَسَنُ لاَ إِلَهَ إِلاَّ اللَّهُ مُخْلِصِينَ لَهُ الدِّينَ وَلَوْ كَرِهَ الْكَافِرُونَ

ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්. ලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහි ලා ඉලාහ ඉල්ලල්ලාහු වලා නඃබුදු ඉල්ලා ඉයියාහු ලහුන් නිඃමතු වලහුල් ෆල්ලූ වලහුල් සනාඋල් හසන් ලා ඉලාහ ඉල්ලල්ලාහු මුහ්ලිසීන ලහුද්දීන වලව් කරිහල් කාෆිරූන්.

තේරුම: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙක් හෝ කිසිවක් නොමැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල් කරුවෙකු නොමැත. සියලු බලතල ඔහු සතුය. ප‍්‍රශංසා සියල්ල ඔහුටමය. සෑම දෙයක් කෙරෙහිම ඔහු ශක්තිය ඇත්තාය. අල්ලාහ්ගෙන් හැර කිසිම ශක්තියක් හෝ බලවේගයක් නොමැත. ඔහු හැර වෙනත් දෙවියෙකු නැත. ඔහු හැර වෙන කිසිවෙකුට අපි නැමදුම් නොකරන්නෙමු. සියලූ දායාදයන් ඔහු සතුය. ශ්‍රේෂ්ඨත්වය ද උතුම් වූ උපහාරය ද ඔහුටම හිමිය. නැමදුමට සුදුස්සා ඔහු හැර වෙන කිසිවෙක් හෝ කිසිවක් නොමැත. ප‍්‍රතික්ෂේප කරන්නන් විරුද්ධ වුව ද සියලු නැමදුම් ඔහු වෙනුවෙන් පමණක් ඉටු කරමු.

මෙය ඉමාම් මුස්ලිම් විසින් වාර්තා කොට ඇත.

اللَّهُمَّ لاَ مَانِعَ لِمَا أَعْطَيْتَ وَلَا مُعْطِيَ لِمَا مَنَعْتَ وَلَا يَنْفَعُ ذَا الْجَدِّ مِنْكَ الْجَدُّ

අල්ලාහුම්ම ලා මානිඅ ලිමා අඃතයිත වලා මුඃතිය ලිමා මනඃත වලා යන්ෆඋ දල් ජද්දි මින්කල් ජද්දු

යා ! අල්ලාහ්, ඔබ දුන් දෙයක් වළක්වාලීමට හෝ ඔබ වැළකූ දෙයක් ලබා දීමට හෝ කිසිවකුට හැකියාවක් නොමැත. ඔබෙන් මිදීමට ධනවතාගේ ධනය ඔහුට ප්‍රයෝජනවත් නොවෙයි.

මූලාශ්‍රය: බුහාරි මුස්ලිම්

සටහන: එනම් ඔහුට ප්‍රයෝජනවත් වන්නේ ධනවතාගේ ධනය නොව ඔහු කරන දැහැමි ක්‍රියාවන්ය යන්නය.

පසුව

سُبْحَانَ اللهِ සුබ්හානල්ලාහ් (අල්ලාහ් සුපිවිතුරුය)

الْحَمْدُ اللهِ අල් හම්දු ලිල්ලාහ් (සියලු ප්‍රශංසා අල්ලාහ්ටය)

اللهُ أَكْبَرْ අල්ලාහු අක්බර් (අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය) යනුවෙන් 33 වරක් පැවසීම.

සියය සම්පූර්ණ කිරීම සඳහා

لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ

ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහු ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්

තේරුම: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙක් හෝ කිසිවක් නොමැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල්කරුවෙකු නොමැත. සියලු ආධිපත්‍යයන් ඔහුටම හිමිය. ප‍්‍රශංසා සියල්ල ද ඔහුටමය. ඔහු සෑම දෙයක් කෙරෙහිම බලය ඇත්තාය.

ඇතැම් විට තස්බීහ් 25 වරක් ද තහ්මීද් 25 වරක් ද තහ්ලීල් 25 වරක් ද තක්බීර් 25 වරක් ද පවසයි.

තවත් විටෙක තස්බීහ් 10 වරක් ද තහ්මීද් 10 වරක් ද තක්බීර් 10 වරක් ද පවසයි.

තවත් විටෙක තස්බීහ් 33 වරක් ද තහ්මීද් 33 වරක් ද තක්බීර් 33 වරක් ද සියය සම්පූර්ණ කිරීම පිණිස නැවත තක්බීරයක් පවසයි.

මග්රිබ් සලාතයෙන් පසු හා ෆජ්ර් සලාතයෙන් පසු දස වරක් තහ්ලීල් පවසයි. එහි දී

لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ

ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහු ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්

තේරුම: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙක් හෝ කිසිවක් නොමැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල්කරුවෙකු නොමැත. සියලු ආධිපත්‍යයන් ඔහුටම හිමිය. ප‍්‍රශංසා සියල්ල ද ඔහුටමය. ඔහු සෑම දෙයක් කෙරෙහිම බලය ඇත්තාය.

මේ පිළිවෙළට අනුව ප්‍රාර්ථනාවන් මෙනෙහි කිරීමෙන් පසු ව ආයතුල් කුර්සීය හෙවත් අල් කුර්ආන් 2:255 වැනි වැකිය ද මුඅව්විදතෙයින් හෙවත් අල් කුර්ආන් 113 හා 114 යන සූරාවන් ද පාරායනය කරයි. මග්රිබ් හා ෆජ්ර් සලාතයෙන් පසු ව මෙම සූරාවන් තුන්වරක් බැගින් පාරායනය කිරීම සතුටු දායකය.

සලාතයෙන් පසු තහ්ලීල් තස්බීහ් තහ්මීද් හා තක්බීර් උස් හඬින් පැවසීම සතුටුදායකය. නමුත් එය සාමුහික හඬක් නොවිය යුතුය. සෑම කෙනෙකුම වෙන වෙනම එසේ උස් හඬින් පැවසිය යුතුය.

තහ්ලීල් හි ගණන ද තස්බීහ් තහ්මීද් හා තක්බීර්හි ගණන ගණන් ගැනීම සඳහා අත් ඇගිලි භාවිත කරයි. හේතුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මෙම ඇඟිලි විනිශ්චයට භාජනය වන බැවිනි.

 අතිරේක සලාතයන් පිළිබඳ පාඩම

අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම, දැනුම සෙවීම යන කරුණු වලට පසුව අල්ලාහ් වෙත ළං වීමට ඉතා උසස්තම ක්‍රියාව වනුයේ අතිරේක සලාතයයි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අල්ලාහ් වෙත ළං වීම සඳහා අතිරේක සලාත් වල හා ඒ හැර වෙනත් කටයුතු වල ද නිරත වූහ. එතුමාණෝ මෙසේ පැවසූහ. “ඔබ අල්ලාහ් වෙනුවෙන් කරන සුජූදයක් නොවනු ඇත, එමගින් ඔබට තරාතිරමක් උසස් වී පාපයක් ඔබෙන් ඉවත් වී යනු මිස.” මෙය ඉමාම් මුස්ලිම් විසින් දන්වා ඇත.

අතිරේක සලාතයන් වර්ග දෙකකි.

පළමු වර්ගය: නියමිත සලාත් වේලාවන් හි නිශ්චය කරන ලද සලාතයන් හෝ යම් ස්ථානයක් හෝ තත්ත්වයක් මුල් කර ගෙන ඉටු කරන ලද සලාතයන්. මේවාට නීති පනවන ලද අතිරේක සලාතයන් යැයි කියනු ලැබේ. උදාහරණ වශයෙන් පස්වේල සලාතයන්ට අදාළ අතිරේක සලාතයන් හා ලුහා සලාතය පෙන්විය හැක. 

දෙවන වර්ගය: නියමිත වේලාවක නිශ්චය කරනු නොලැබූ හා යම් ස්ථානයක් හෝ තත්ත්වයක් මුල් කර නොගත් සලාතයන්. මේවාට පොදු අතිරේක සලාතයන් යැයි කියනු ලැබේ. මේ පිළිබඳ විස්තර පහතින් සඳහන් වේ.

 විත්ර් සලාතය හා ඊට අදාළ නීති රීති

සලාතුල් විත්ර් හි නීතිය එය සුන්නතුල් මුවක්කදා හෙවත් අතිවැදගත් සුන්නාවකි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මුආද් (රළියල්ලාහු අන්හු) තුමාට මෙසේ පැවසූහ. ඔවුහු නුඹට ඒ සම්බන්ධයෙන් පිළිතුරු දුන්නේ නම් රාත්‍රියේ හා දහවලෙහි පස්වේල සලාතයන් ඔවුනට අල්ලාහ් අනිවාර්යය කර ඇතැයි දන්වා සිටිනු. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්) විත්ර් සලාතය වාජිබ් හෙවත් අනිවාර්යය සලාතයන් හයක් වන්නට තිබුණි. එමෙන්ම අලී ඉබ්නු අබීතාලිබ් (රළියල්ලාහු අන්හු) තුමාගේ ප්‍රකාශයත් මෙය තහවුරු කරයි. එනම් ‘විත්ර් සලාතය අනිවාර්යය සලාතයේ ස්වරූපය මෙන් අපේක්ෂා නොකෙරේ. එනමුත් එය අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පෙන්වා දුන් සුන්නාවකි යැයි පැවසුවේය. එය අහ්මද්, නසාඊ යන ඉමාම්වරු විසින් දන්වා ඇත.

ඉමාම් අබූ හනීෆා තුමා එය අනිවාර්ය යැයි පවසන අතර ෂෙයිකුල් ඉස්ලාම් තුමාගේ මතය වනුයේ රාත්‍රියේ අවදිවන්නෙකුට අනිවාර්යය වේ යන්නයි.

විත්ර් යනු ඊට පෙර ඇති සලාතයන්ගෙන් වෙන් වූ තනි රකආතයකට කියනු ලැබේ. එමෙන්ම රකආත් තුන, පහ, හත, නවය, එකොළහ වශයෙන් පිහිටන සලාත එක සලාමයකින් බැඳී ඇත්නම් එවන් සලාතයටත් විත්ර් යනුවෙන් කියනු ලැබේ. මෙම රකආතයන් සලාම් දෙකක් හෝ ඊට වැඩි වාරගණනකින් බැඳී ඇති විට විත්ර් යනුවෙන් සලකනු නොලබන අතර ඒවායින් වෙන් වූ තනි රකආතයට පමණක් විත්ර් යනුවෙන් නමින් ව්‍යවහාර වේ. 

විත්ර් සලාතයේ වේලාව: ඉෂා සලාතයේ අවසානයෙන් පසු විත්ර් සලාතයේ වේලාව ඇරඹේ. එය ඉෂා අවස්ථාවේ හෝ මග්රිබ් හා ඉෂා එක්කොට ඉටු කරන අවස්ථාවේ හෝ ඉටු කිරීම එක සමානය. අලුයම දක්වා එහි වේලාව දිගු වෙයි. ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කොට ඇති හදීසය ඊට සාධක වශයෙන් පිහිටා ඇත. එනම් අල්ලාහ්ගේ දූතයාණෝ ඉෂා සලාතය හා අලුයම උදා වන තෙක් කාලය අතර රකආත් එකොළහක් ඉටු කරන්නෙකු වූහ. මෙය ඉමාම් මුස්ලිම් විසින් දන්වා ඇත.

අවසන් රාත්‍රියේ නොවරදවා නැගිටීමට අධිෂ්ඨානය ඇත්තෙකුට විත්ර් සලාතය සඳහා වඩාත් සතුටුදායක වේලාව වනුයේ රාත්‍රියේ අවසන් වේලාවය. නමුත් අවසන් රාත්‍රියේ තමන් අවදිවීම ගැන විශ්වාසයක් නොමැත්තෙකුට වඩාත් සතුටුදායක වනුයේ නින්දට පෙර විත්ර් ඉටු කිරීමය. මෙලෙස නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා උපදෙස් දී ඇත. නබි තුමාණන් පැවසූ බව ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසයක් ඉමාම් මුස්ලිම් තුමා මෙසේ දන්වා සිටියි. රාත්‍රිය අවසානයේ අවදි නොවනු ඇතැයි කවරෙකු බියවන්නේ ද ඔහු නින්දට පෙර විත්ර් ඉටු කරත්වා! රාත්‍රිය අවසානයේ අවදිවීම ගැන කෙනෙකුට තහවුරු නම් එහි අවසානයේ විත්ර් ඉටු කරත්වා ! හේතුව නියත වශයෙන්ම රාත්‍රිය අවසානයේ අල් කුර්ආන් කියවීම සාක්ෂි දරනු ලබන්නකි. එයයි වඩාත් උතුම් වනුයේ.

විත්ර් සලාතයේ රකආත් ගණන හා එම සලාතය ඉටු කරන ක්‍රමය. 

හදීස් හි හා සහාබාවරු දස දෙනෙකු විසින් වාර්තා කර ඇති පරිදි විත්ර් සලාතයේ අවම රකආත් ගණන එකකි. නමුත් වඩාත් යහපත් හා උතුම් වනුයේ ඊට පෙර රකආත් දෙකකින් සමන්විත වීමය.

විත්ර් සලාතයේ උපරිම රකආත් ගණන වනුයේ රකආත් එකොළහක් හෝ රකආත් දහ තුනකි. එය රකආත් දෙක දෙක බැගින් ඉටු කර පසු ව එක රකආතයක් විත්ර් වශයෙන් ඉටු කිරීමය. ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගේ හදීසය මීට සාධක වශයෙන් පිහිටයි. එනම් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) රාත්‍රියෙහි රකආත් එකොළහක් ඉටු කරන්නෙක් වූහ. ඒවායින් එකක් විත්ර් වශයෙන් ඉටු කරන්නෙකු වූහ. යැයි එතුමිය විසින් වාර්තා කර ඇත. මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි. එමෙන්ම එතුමාණන් රකආත් දහ තුනක් ඉටු කළ බවටත් ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කළ තවත් හදීසයක් බුහාරි හා මුස්ලිම්හි සඳහන් ව ඇත.

තවත් ප්‍රකාශයක එතුමාණෝ සෑම රකආත් දෙකක් අතරම සලාම් පැවසූ අතර එක රකආතයක් විත්ර් වශයෙන් ඉටු කළහ.

ඔහුට රකආත් නවයක් ඉටු කළ ද හැක. එහිදී රකආත් අටක් ඉටු කොට පසු ව අට වැනි රකආතයේ වාඩි වී පළමු තෂහ්හුද් උසුරයි. පසු ව සලාම් නොපවසා නැගී සිට නව වැනි රකආතය ඉටු කරයි. අනතුරු ව අවසන් තෂහ්හුද් උසුරා සලාම් පවසයි.

එමෙන්ම රකආත් හතක් හෝ පහක් හෝ ඔහුට ඉටු කළ හැක. ඔහු එහි අවසානයේ මිස වාඩි නොවනු ඇත. පසු ව තෂහ්හුද් පවසා සලාම් කියයි. උම්මු සලමා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කළ හදීසය මීට සාධක ව පිහිටයි. එනම් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) රකආත් හතක් හෝ පහක් හෝ විත්ර් වශයෙන් ඉටු කරන්නෙකු වූහ. ඒවා අතර සලාම් පැවසීමෙන් හෝ යමක් කතා කිරීමෙන් හෝ වෙන් නොකරති. මෙය ඉමාම් මුස්ලිම් තුමා විසින් දන්වා ඇත. රකආත් හතක් ඉටු කිරීමේදී තවත් ක්‍රමයක් ඇත. එනම් තෂහ්හුද් දෙකක් හයවැනි හා හත්වැනි රකආතයෙන් පසු ව උසුරා අවසානයේ සලාම් පවසා නිමා කිරීමය.

තවද ඔහුට රකආත් තුනක් විත්ර් වශයෙන් ඉටු කළ ද හැක. එහි දී රකආත් දෙකක් ඉටු කොට සලාම් පවසා පසු ව තුන්වැනි රකආතය තනි ව ඉටු කරනු ඇත. එසේ නැතහොත් තුනම එකට ඉටු කොට අවසානයේ එක් වරක් තෂහ්හුද් හා සලාම් පවසා අවසන් කරනු ඇත.

එහි ආරම්භ රකආතයේ ‘සබ්බිහිස්ම රබ්බික’ යන සූරාවද දෙවන රකආතයේ ‘කුල් යා අය්යුහල් කාෆිරූන්’ සූරාව ද තුන්වැනි රකආතයේ ‘කුල් හුවල්ලාහු අහද්’ යන සූරාව ද පාරායනය කිරීම සතුටුදායකය.

ඇතැම් විට විත්ර් හි රුකූඋ කිරීමෙන් පසු දෙඅත් ඔසවා අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරමින් කුනූත් පැවසීම ද සතුටු දායකය.

අල්ලාහුම්මහ්දිනී ෆීමන් හදයිත ........... අවසානය දක්වා

නමුත් විත්ර් හි කුනූත් පැවසීම සිරිතක් වශයෙන් නොකළ යුතුය. හේතුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සලාතය පිළිබඳ විස්තර කරන්නන් බහුතරයක් දෙනා එතුමාණන් කුනූත් පැවසූ බවට සඳහන් කර නොමැති බැවිනි.

උබෙයි ඉබ්නු කඃබ් (රළියල්ලාහු අන්හු) තුමා පැවසූ බවට සුනන් අබූ දාවූද් හි මෙසේ හදීසයක් සඳහන් වේ. එනම් නියත වශයෙන්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා විත්ර් සලාතයේ කුනූත් පැවසූහ. එතුමා ඇතම් විට රුකූඋ කිරීමෙන් පසු ද ඇතැම් විට ඊට පෙර ද කුනූත් පවසා ඇති බවද සඳහන් වේ.

විමසුම:

යම් කිසි හේතුවක් මත විත්ර් සලාතය අතපසු වූ විට එය ලුහා වේලාවෙහි දෙක බැගින් ඉටු කිරීම සතුටුදායකය. රකආත් පහක් විත්ර් කිරීමට අපේක්ෂා කොට පසු ව නින්දට වැටුණේ නම් රකආත් හයක් නැවත ඉටු කළ යුතුය. ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගේ හදීසය මීට සාධක වශයෙන් පිහිටා ඇත. එනම් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නින්ද හෝ යම් කිසි වේදනාවක් තමන්ට ඇති වූ විටෙක දහවල් කාලයේ රකආත් දොළොහක් සලාතය ඉටු කරන්නෙකු වූහ. මෙය මුස්ලිම්හි සඳහන් වී ඇත.

 තරාවීහ් සලාතය හා එහි නීති රීති

තරාවීහ් යනු තර්විය්හා (විවේකය) යන පදයේ බහු වචනයයි. එහි මූල අර්ථය පොදුවේ වාඩි වීම යන අරුතින් ගම්‍ය වේ. පසු ව එය රමළාන් මස රාත්‍රියන්හි රකආත් හතරට පසු ව වාඩි වීම සඳහා නම් කරන ලදී. හේතුව ඔවුහු එම සලාතයේ දිගු වේලාවක් යොමු වී පසු ව වාඩි වන බැවිනි.

රීතියානුකූල අර්ථය රමළාන් රාත්‍රියන්හි සමූහ වශයෙන් ඉටු කරන සලාතය යන්නයි.

කවරෙකු රමළාන් මාසයේ විශ්වාසයෙන් හා කුසල් බලාපොරොත්තුවෙන් රාත්‍රියේ සලාතය ඉටු කළේ ද ඔහු පෙර කළ පව් වලට ඔහුට සමාව දෙනු ලැබීය යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පවසා ඇති බැවින් මෙය සුන්නතුල් මුවක්කදා හෙවත් වැදගත් සුන්නාවකි. මෙය අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කොට ඇති අතර බුහාරි හා මුස්ලිම් යන ඉමාම්වරු විසින් දන්වා ඇත.

මෙය මස්ජිදයේ සාමුහික ව ඉටු කිරීම වඩා උතුම්ය. සැබැවින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම සගයින් සමඟ මස්ජිදයේ සාමුහික ව මෙම සලාතය ඉටු කළහ. පසු ව එය ඔවුන් වෙත අනිවාර්යය වේවි යන බියෙන් ඔවුන් සමඟ සාමුහික ව සලාතය ඉටු කිරීමෙන් පසුබැස්සාහ. බුහාරි මුස්ලිම් හි සඳහන් ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කළ හදීසය මෙය තහවුරු කරන්නකි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ දර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ තවත් හදීසක මෙසේ සඳහන් වේ. කවරෙකු ඉමාම් හැරී යන තෙක්ම ඔහු සමඟ සලාතය ඉටු කරන්නේ ද ඔහු රාත්‍රිය නැමදුමෙන් ජීවමාන කළ බවට සටහන් කරනු ලැබේ.  මෙය පස්මහා ඉමාම්වරු විසින් වාර්තා කොට ඇති අතර ඉමාම් තිර්මිදි තුමා මෙය පූර්ව සාධක සහිත හදීසයක් යැයි සඳහන් කරයි.

මෙහි රකආත් ගණන වූ කලී ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් තහවුරු කර ඇති පරිදි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ රමළාන් මාසයේ හෝ ඒ හැර වෙනත් මාසයක දී හෝ රකආත් එකොළහට වඩා වැඩි කරන්නෙකු නොවූහ. මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්. ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසය සලකා බලන විට මේ සම්බන්ධයෙන් වූ කරුණ මීට වඩා පුළුල්ය. එනම් රාත්‍රී සලාතය දෙක දෙක බැගිනි යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැවසූ බව එතුමා විසින් දන්වා ඇත. මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්.

එමෙන්ම උමර් (රළියල්ලාහු අන්හු) තුමාගේ සමයේ රකආත් 21 ඉටු කළ බවට සඳහන් හදීස් ද වාර්තා වී ඇත. එය අබ්දුර් රස්සාක් විසින් දන්වා ඇත.

මුවත්තා හි එතුමා උබෙයි හා තමීමුද් දාරී යන අයට රකආත් එකොළහක් ජනයාට සලාතය මෙහෙය වන මෙන්  නියෝග කළ බව සඳහන් වේ.

ෂෙයිහුල් ඉස්ලාම් ඉබ්නු තයිමිය්යා මේ ගැන පවසා සිටින විට, අහ්මද් හා ෂාෆී යන ඉමාම්වරුන්ගේ ප්‍රසිද්ධියට පත් සංකල්පය අනුව රකආත් 21ක් කෙනෙකුට සලාතය ඉටු කළ හැකි බවත් ඉමාම් මාලික්ගේ සංකල්පය අනුව රකආත් 36ක් ඉටු කළ හැකි බවත් එමෙන්ම රකආත් එකොළහක් හෝ දහතුනක් හෝ ඉටු කළ හැකි බවත් ඒ සියල්ල යහපත් බවත් සලාතයේ කෙටිභාවය හා දිගු භාවය සැලකිල්ලට ගෙන රකආත් ගණන් වැඩි වීම හෝ අඩුවීම සිදු විය යුතු බවත් පවසා සිටියි.

එහි නියමිත වේලාව ඉෂා සලාතය හා විත්ර් සලාතය අතර පවතින කාලයයි. එය ඉෂා සලාතයේ වේලාවේම ඉටු කළ ද මග්රිබ් සමඟ ඉෂා එක්කොට ඉටු කරන අවස්ථාවක වුව ද එක සමානය.

 අනිවාර්යය සලාතයන්ට අදාළ චර්යානුගත සුන්නත් සලාතයන් පිළිබඳ පාඩම

අනිවාර්යය සලාතයන්ට අදාළ චර්යානුගත සුන්නත් සලාතයන් හි මුළු රකආත් ගණන දොළොසකි. එහි විස්තර පහත සඳහන් අයුරිනි.

-      ලුහර් සලාතයට පෙර රකආත් හතරක්

-      ලුහර් සලාතයට පසු රකආත් දෙකක්

-      මග්රිබ් සලාතයට පසු රකආත් දෙකක්

-      ඉෂා සලාතයට පසු රකආත් දෙකක්

-      සුබ්හ් සලාතයට පෙර රකආත් දෙකක්.

අනිවාර්යය සලාතයන්ට අදාළ චර්යානුගත සලාතයන් සඳහා සාධක වශයෙන් පිහිටා ඇත්තේ ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් ඉදිරිපත් කොට ඇති හදීසයයි. එතුමා මෙසේ ප්‍රකාශ කළහ.

මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් රකආත් දහයක් ලබා මතක තබා ගතිමි. එනම් ලුහර් සලාතයට පෙර රකආත් දෙකක් ද ඉන් පසු ව රකආත් දෙකක් ද මග්රිබ් සලාතයට පසු නිවසේ දී රකආත් දෙකක් ද ඉෂා සලාතයට පසු නිවසේදී රකආත් දෙකක් ද සුබ්හු සලාතයට පෙර රකආත් දෙකක් ද මම මතකයේ තබා ගත්තෙමි. හෝරාවක් විය. එහි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත කිසිවකු ඇතුළු වූයේ නැත. සැබැවින්ම එතුමාණෝ අදාන් පවසන්නා අදාන් පවසා අලුයම උදා වූ විට රකආත් දෙකක් ඉටු කරන්නෙකු වූ බව හෆ්සා තුමිය මට දැනුම් දුන්නාය යැයි තවදුරටත් එතුමා පවසා සිටීය. මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්.

ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලද හදීසයක් මුස්ලිම් හි මෙසේ සඳහන් වේ. එතුමාණෝ මාගේ නිවසේ ලුහර් සලාතයට පෙර රකආත් දෙකක් ඉටු කර පිටත් ව ගොස් ජනයාට සලාතය මෙහෙයවා නැවතත් මාගේ නිවසට පැමිණ රකආත් දෙකක් ඉටු කරන්නෙක් වූහ.

විමසුම: අනිවාර්යය සලාතයන්ට අදාළ චර්යානුගත සලාතයන් මස්ජිදයේ සිදු කිරීමට වඩා නිවසේ සිදු කිරීම උතුම්ය. හේතුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ද එසේ කර ඇති අතර එසේ කරන මෙන් නියෝගද කර ඇත. එය පහත ලැයිස්තුගත මහිමයන් ඒ සඳහා ලැබෙන බැවිනි.

-      සුන්නාවක් පිළිපැදීම

-      ‘අනිවාර්යය සලාතය හැර මිනිසෙකු ඉටු කරන සලාත් වලින් උතුම්ම සලාතය වනුයේ තම නිවසේ ඉටු කරන සලාතය වේ.’ යැයි යනුවෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැවසූ බවට සෙයිද් ඉබ්නු සාබිත් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කර තිබීම.

-      මූණිච්චා ව හා ආකර්ෂණයෙන් දුරස් වීම

-      අවංකත්වය හා බැතිමත්කම පූර්ණවත් වීම සඳහා එය හේතුවක් වීම

-      අල්ලාහ් ව මෙනෙහි කිරීම හා සලාත් ඉටු කිරීම තුළින් නිවස පාලනය කිරීම. එවිට නිවැසියන් වෙත කරුණාව පහළ වනු ඇත. ෂෙයිතාන් ඉන් දුරස් ව යනු ඇත.

චර්යානුගත සුන්නත් සලාතයන් අතුරින් වඩාත් වැදගත්ම සලාතය වනුයේ ෆජ්ර් සලාතයට පෙර ඇති රකආත් දෙකය. ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ෆජ්ර් රකආත් දෙකට වඩා වඩාත් වැදගත් කමක් වෙනත් කිසිදු අතිරේක සලාතයකට දැක්වූයේ නැත.  මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බවට ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලද තවත් හදීසයක් මෙසේය.  ‘ෆජ්ර් රකආත් දෙක මෙලොව මා එහි ඇති සියලු දෑට වඩා උතුම්ය.’ මෙය ඉමාම් මුස්ලිම් විසින් දන්වා ඇත. එහෙයින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ගමනක නිරත වී සිටිය ද නගරයේ නැවතී සිටිය ද මෙම රකආත් දෙක හා විත්ර් සලාතය සුරක්ෂිත ව ඉටු කළහ.

ෆජ්ර්හි සුන්නත් සලාතය හැර දින චර්යානුගත සෙසු සුන්නත් සලාතයන් ගමනක දී අත හැර දැමූහ. සලාතුල් ලුහා, කියාමුල් ලෙයිල්, වුළුහි සුන්නත් රකආත් දෙක හා වෙනත් සුන්නත් සලාතයන් ගමනකදී ආගමානුගත කරන ලදී.

ෆජ්ර් හි සුන්නත් රකආත් දෙකට අදාළ සුන්නත් ක්‍රියාවන් ඇත.

-      ඒ දෙක සැහැල්ලු අයුරින් ඉටු කිරීම. ‘නියත වශයෙන්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සුබ්හු සලාතයට පෙර ඇති රකආත් දෙක සැහැල්ලුවෙන් ඉටු කරන්නෙකු වූහැයි ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කර ඇත. මෙය බුහාරි හා මුස්ලිම්හි සඳහන් හදීසයකි.

-      ෆජ්ර් හි සුන්නත් සලාතයේ පළමුවැනි රකආතයේ සූරතුල් ෆාතිහාවට පසු ව ‘කුල් යා අය්යුහල් කාෆිරූන්’ යන සූරාව පාරායනය කිරීම දෙවන රකආතයේ ‘කුල් හුවල්ලාහු අහ්ද්’ යන සූරාව පාරායනය කිරීම. ඇතැම් විට ඒ දෙකෙහි පළමුවැනි රකආතයේ ‘කූලූ ආමන්නා බිල්ලාහි වමා උන්සිල ඉලයිනා’ යන අල් කුර්ආන් 2:136 වැනි වැකිය පාරායනය කිරීම. දෙවන රකආතයේ ‘කුල් යා අහ්ලල් කිතාබි තආලව් ඉලා කලිමතින් සවාඉන්’ යන අල් කුර්ආන් 3:64 වැනි ආයතය පාරායනය කිරීම සුන්නාවකි. මේ සියල්ල හදීස්හි සඳහන් ව ඇත.

-      ඒ දෙක ඉටු කළ පසු ව අවශ්‍යතාවක් ඇත්නම් දකුණු ඇලපැත්තට ඇලවී සිටීම එතුමාණන් එසේ කර ඇති බවටත් නිවසේදී එසේ අනුගමනය කළ බවටත් සාධක සඳහන් වේ.

විමසුම:

යම් කිසි හේතුවක් මත මෙම චර්යානුගත සුන්නා සලාතයන්ගෙන් කිසිවක් හෝ විත්ර් සලාතය හෝ අතපසු වූ විට දහවල් කාලයේ ඉරට්ටේ සංඛ්‍යාවකින් ඒවා ඉටු කිරීම සුන්නාවකි. උදාහරණ වශයෙන් රකආත් පහක් ඉටු කිරීමට කෙනෙකු සිතා එය අතපසු වූ විට දහවල් කාලයේ රකආත් හයක් වශයෙන් එය නැවත ඉටු කිරීම. හේතුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අතපසු වූ ෆජ්ර් හි රකආත් දෙක නින්දට යන විට නැවත ඉටු කළහ. එමෙන්ම ලුහර් සලාතයට පෙර අතපසු වූ රකආත් දෙක අසර් සලාතයට පසු ඉටු කළහ. මූලාශ්‍ර වල සඳහන් පරිදි අතපසු වූ යමක් එය නැවත ඉටු කිරීමට ආගමානුගත කර පරිදි අතපසු වන චර්යානුගත සෙසු සුන්නත් සලාතයන් ඒ හා සසදා ඉටු කළ යුතු වේ. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැවසූ බව අබූ සඊද් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ දන්වා සිටීය. කවරෙකු විත්ර් සලාතයෙන් තොර ව නින්දට වැටුණේ නම් හෝ එය අමතක වී ගියේ නම් හෝ උදෑසන අවදි වූ විට හෝ එය මතක් වූ විට ඉටු කරත්වා! මෙය ඉමාම් තිර්මිදි හා ඉමාම් අබූ දාවුද් විසින් දැනුම් දී ඇත.

 ලුහා සලාතය.

فِي بُيُوتٍ أَذِنَ اللَّهُ أَنْ تُرْفَعَ وَيُذْكَرَ فِيهَا اسْمُهُ يُسَبِّحُ لَهُ فِيهَا بِالْغُدُوِّ وَالْآَصَالِ (36) رِجَالٌ لَا تُلْهِيهِمْ تِجَارَةٌ وَلَا بَيْعٌ عَنْ ذِكْرِ اللَّهِ...

(අල්ලාහ්ගේ) මන්දිරයන්හි උසට ඉදි කරනු ලැබීමටත් උදේ සවස එහි ඔහු ව පිවිතුරු කරමින් ඔහුගේ නාමය මෙනෙහි කරනු ලැබීමටත් අල්ලාහ් අනුමැතිය දී ඇත. එසේ කරනුයේ පිරිමින්ය. ව්‍යාපාරය හෝ ගනුදෙනුව හෝ අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් ඔවුන් ව මුළා නොකරනු ඇත.

යැයි (අල් කුර්ආන් 24: 36,37) පාඨ වල සඳහන් ව ඇති හෙයින් සෑම දිනකම ලුහා සලාතය ඉටු කිරීම පොදුවේ වැදගත් සුන්නාවකි.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැවසූ බව අබූ දර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

නුඹලාගෙන් කෙනෙකු සතු සෑම පුරුකක් වෙනුවෙන්ම සදකාවක් ඇත. සෑම තස්බීහයක්ම (සුබ්හානල්ලාහ් යැයි පැවසීම) සදකාවකි. සෑම තහ්මීදයක්ම (අල්හම්දු ලිල්ලාහ් යැයි පැවසීම) සදකාවකි සෑම තහ්ලීලයක්ම (ලා ඉලාහ ඉල්ලල්ලාහු යැයි පැවසීම සදකාවකි. සෑම තක්බීරයක්ම (අල්ලාහු අක්බර් යැයි පැවසීම) සදකාවකි. යහපත විධානය කිරීම ද සදකාවකි. අයහපතින් වැළැක්වීම ද සදකාවකි. ලුහා වේලාවෙහි ඉටු කරන රකආත් දෙක මේවාට ප්‍රමාණවත් වේ. මෙය ඉමාම් මුස්ලිම් විසින් දන්වා ඇත.

ලුහා සම්බන්ධයෙන් වූ හදීස් බොහෝමයක් පැමිණ ඇත.

ඒවායින් එකකි අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කොට බුහාරි හා මුස්ලිම් හි සඳහන් හදීසය. එනම්

මාගේ මිතුරා වූ අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සෑම මසකම දින තුනක් උපවාසයේ නිරත වීම ලුහා සලාතයේ රකආත් දෙක ඉටු කිරීම හා මා නින්දට යාමට පෙර විත්ර් ඉටු කිරීම යන කරුණු තුන පිළිබඳ මට උපදෙස් දුන්නේ යැයි අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

විමසුම: අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ පෙර හදීසයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ලුහා සලාතයේ රකආත් දෙක ඉටු කිරීම යනුවෙන් ප්‍රකාශ කළ බව සඳහන් වී ඇත. ඒ අනුව ලුහා සලාතයේ අවම රකආත් ගණන දෙකක් ලෙස දැක්වේ. නමුත් එහි උපරිමයට සීමාවක් නොමැත.

ලුහා සලාතයේ වේලාව හිරු උදා වී හීයක තරම් උසට පිහිටීමෙන් එහි වේලාව ඇරඹේ. එනම් හිරු උදා වී විනාඩි දොළොහක් පමණ ගත වූ පසු යන්නය. 

හිරු මධ්‍යහ්නෙන් අවරට යන තෙක් එහි කාලය දීර්ඝ ව පවතී. එනම් ගුවන් මධ්‍යයට හිරු පැමිණ විනාඩි 20ක තරම් වූ කාලයක් ගත වන තෙක්ය. වඩාත් උතුම් වන්නේ උෂ්ණත්වය අධික වන විට ඉටු කිරීමය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැවසූ බවට සයිද් ඉබ්නු අර්කම් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසය මීට සාධක වශයෙන් පිහිටයි. ‘එනම් දැහැමියන්ගේ සලාතය ඔටු පැටවුන් හිරු රශ්මීය හේතුවෙන් පෙරළෙන්නට පටන් ගන්නා මොහොතේදීය.’ මෙය ඉමාම් මුස්ලිම් විසින් දන්වා ඇත.

 සුජූදුත් තිලාවා

අල් කුර්ආනය කියවන එමෙන්ම එයට සවන් දෙන අයට සුජූදුත් තිලාවා ඉටු කිරීම සුන්නාවක් මිස අනිවාර්යය නොවේ. සෙයිද් ඉබ්නු සාබිත් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ ප්‍රකාශ කළේය. මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත සූරා අන්-නජ්ම් පාරායනය කළෙමි. නමුත් එතුමා එහි සුජූද් නොකළහ.  මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්.

උමර් (රළියල්ලාහු අන්හු) මෙසේ වාර්තා කරයි. නියත වශයෙන්ම අපි අභිමත වී (සුජූදුත් තිලාවා කරන්නේ) නම් මිස සුජූද් කිරීම අප වෙත අල්ලාහ් නියම නොකළේය.  මෙය ඉමාම් බුහාරි තුමා විසින් දන්වා ඇත.

මෙය ආගමානුගත කරුණක් බවට ඉස්ලාමීය විද්වත්හු ඒකමතික තීරණයක් මත පසුවෙති.

ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ ප්‍රකාශ කරන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අප වෙත සජදා සහිත සූරාවන් පාරායනය කරන්නෙකු වූහ. එවිට එතුමා සුජූද් කරයි අපිද එතුමාණන් සමඟ කරන්නෙමු. අපගෙන් කිසිවකුට ඔහුගේ නළල තබන්නට තැනක් නොමැති තරමට විය.

සවන් දෙන්නා යනු එම පාරායනයට උවමනාවෙන්ම සවන් දෙන්නා යන්නය. සවනට වැටෙන්නා යනු එය උවමනාවෙන් තොර ව ඔහුගේ කනට ඇසීමය. එවිට සුජූදුත් තිලාවා කිරීම ඔහුගේ වගකීමෙහි ආගමානුගත කරනු ලද්දක් නොවේ. බුහාරි හි සඳහන් ප්‍රකාශයක මෙසේ සඳහන් වේ. නියත වශයෙන්ම තමන් සමඟ උස්මාන් සජදා කිරීම සඳහා සජදා සූරාව පාරායනය කරන කෙනෙකු අසලින් උස්මාන් (රළියල්ලාහු අන්හු) තුමා ගමන් ගත්තේය. එවිට එතුමා සජදා කළේ නැත. තවද සුජූද් කිරීම පිහිටනුයේ එයට සවන් දෙන්නන් කෙරෙහිය යැයි එතුමා පවසා සිටීය.

සජදා තිලාවත් අන්තර්ගත සූරාවන්.

අල් අඃරාෆ්, අර් රඃද්, අන් නහ්ල්, අල් ඉස්රා, මර්යම්, අල් හජ්, අල් ෆුර්කාන්, අන් නම්ල්, අලිෆ් ලාම් මීම් සජදා, හා මීම් ගාෆිර්, අන් නජ්ම්, අල් ඉන්ෂිකාක්, ඉක්රඃ බිස්මි රබ්බික, ස්වාද්හි සජදා,

සුජූදුත් තිලාවා යනු සලාතයක් නොවේ. පිරිසිදු වීම කිබ්ලා දිශාවට මුහුණ ලෑම රහස්‍ය පෙදෙස් ආවරණය කිරීම වැනි සලාතයකට අදාළ කරුණු මෙහි කොන්දේසි වශයෙන්  නොපැන වේ.

සලාතයේ සුජූද් ඉරියව්වෙහි පවසනවාක් මෙන් සුබ්හාන රබ්බියල් අඃලා යැයි එම සුජූද්හිද පවසයි. ‘සජද වජ්හිය ලිල්ලාහිල්ලදී කලකහූ වසව්වරහූ වෂක්ක සම්අහූ වබසරහූ බිහව්ලිහි වකුව්වතිහි’ යන ප්‍රාර්ථනාව පැවසීම වරදක් නොවේ. මෙය ඉමාම් තිර්මිදි පූර්ව සාධක සහිත හදීසයක් බව දන්වා සිටියි. එමෙන්ම ‘අල්ලාහ්ම්ම උක්තුබ් ලී බිහා අජ්රා වළඃ අන්නී බිහා විස්රා වජ්අලහා ලී ඉන්දක දහ්රා, තවකබ්බලහා මින්නී කමා තකබ්බලහා මින් අබ්දික දාවූද් යනුවෙන් පැවසීම වරදක් නැත. මෙය ඉමාම් තිර්මිදි විසින් දන්වා ඇත.

සුජූදුත් තිලාවා වෙනුවෙන් නැමෙන විට හෝ නැගිටින විට හෝ තක්බීර් පැවසීමක් නොමැත. එමෙන්ම සලාම් පැවසීමක් හෝ තෂහ්හුද් පැවසීමක් හෝ නොමැත. හේතුව ඒ සඳහා සාධක නොමැති බැවිනි.

නමුත් එය සලාතයේදී නම් එවිට නියත වශයෙන්ම ඔහු නැමෙන නැගිටින සෑම අවස්ථාවකම තක්බීර් පැවසිය යුතුය. හේතුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් නැමෙන නැගිටින සෑම අවස්ථාවකම තක්බීර් පවසා ඇති බැවිනි.


 අත් -තතව්වුඋල් මුත්ලක් හෙවත් පොදු අතිරේක සලාතයන්

අත්-තතව්වුඃ යන පදය අත්-තව්උ යන මූල පදයෙන් ගනු ලැබූවකි. එය පිළිකුලට ප්‍රති විරුද්ධ අර්ථය ගෙන දෙයි.

එහි රීතියානුගත අර්ථය වනුයේ අනිවාර්යය නොවන යටහත් පහත් ලෙසින් සිදු කරන ක්‍රියාවලියයි.

අල් මුකය්යිද් යනු කාලය හෝ ස්ථානය හෝ තත්ත්වය පදනම් කර ගත් කොන්දේසි සහිත ක්‍රියාවලියයි.

අල් මුත්ලක් යනු එයට කාලයක් හෝ ස්ථානයක් හෝ තත්ත්වයක් හෝ කොන්දේසි වශයෙන් නොපැන වේ.

රාත්‍රියේ අත්-තතව්වුඋල් මුත්ලක් ඉටු කිරීම දහවල් කාලයේ ඉටු කිරීමට වඩා උතුම්ය.

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

تَتَجَافَى جُنُوبُهُمْ عَنِ الْمَضَاجِعِ يَدْعُونَ رَبَّهُمْ خَوْفًا وَطَمَعًا وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ (16) فَلَا تَعْلَمُ نَفْسٌ مَا أُخْفِيَ لَهُمْ مِنْ قُرَّةِ أَعْيُنٍ جَزَاءً بِمَا كَانُوا يَعْمَلُونَ (17)

ඔවුහු ඔවුන්ගේ ඇලපත් යහන් වලින් ඉවතට ගෙන බියෙන් සහ අපේක්ෂාවෙන් යුතු ව තම රබ්(පරමාධිපති)ට ආයාචනා කරති. තවද අප ඔවුනට දුන් දැයින් (අල්ලාහ්ගේ මාර්ගයේ) වියදම් කරති.

ඔවුන් කරමින් සිටි දෑට ප්‍රතිඵල වශයෙන් තමන්ට සඟවනු ලැබූ (තමන්ගේ) ඇස් පිනවන දෑ ගැන කිසිවෙක් නොදනිති. (අල් කුර්ආන් 32: 16,17)

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ. ‘රාත්‍රියේ එක් හෝරාවක් ඇත. අල්ලාහ්ට අවනත ගැත්තෙකු මෙලොව හා මතු ලොව යහපත ඉල්ලා සිටියි. එය එම වේලාවට සැසදේ නම් එය ඔහුට පිරිනමනු ලබනු මිස නැත.’ මෙය ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ මුස්ලිම් හි සඳහන් හදීසයකි.

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ දන්වා සිටියි. ‘අනිවාර්යය සලාතයන්ට පසු වඩා ශ්‍රේෂ්ඨතම සලාතය කුමක් දැයි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් විමසන ලදී. එවිට එතුමාණෝ ‘රාත්‍රි කාලයේ ඉටු කරන සලාතය වේ’ යැයි පැවසූහ. මෙය ඉමාම් මුස්ලිම් විසින් දන්වා ඇත.

මෙලෙස රාත්‍රියේ සලාතය ඉටු කිරීම පිළිබඳ වූ සාධක බොහෝමයක් පැමිණ ඇත. වඩාත් උතුම් වනුයේ පොදු අතිරේක සලාතයන් රාත්‍රියේ ඉටු කිරීමය. හේතුව එය රහසිගත ව ඉටු කිරීමට හා චිත්තපාරිශුද්ධියට වඩාත් සමීප බැවිනි. එමෙන්ම එය සෙසු මිනිසුන්ගේ අවධානයෙන් තොරවූ වේලාවකි. එහි නින්ද හා විවේකය මත අවනත වීමේ බලපෑමක් ඇති බැවිනි.

රාත්‍රියෙහි වඩාත් උතුම් වනුයේ රාත්‍රියෙන් හයෙන් පංගුවක් ගතවීමෙන් පසු රාත්‍රියෙන් තුනෙන් පංගුවයි.  අබ්දල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. සලාතයේ උතුම්ම සලාතය වනුයේ දාවූද් (අලයිහිස් සලාම්) තුමාගේ සලාතයයි. එතුමාණෝ රාත්‍රියෙන් අඩක් නිදති. තුනෙන් පංගුවක් නැගිට සලාතය ඉටු කරති. හයෙන් පංගුවක් නිදති. මෙය ඉමාම් මුස්ලිම් හා ඉමාම් බුහාරි තුමා විසින් වාර්තා කරනු ලැබූ හදීසයකි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ රාත්‍රිය ආරම්භයේ විවේකී ව නින්දට ගොස් පසු ව අල්ලාහ්ට ඇරයුම් කරන වේලාවෙහි අවදි වෙයි. එවිට ‘යමක් මගෙන් ඉල්ලා මම ඔහුට ලබා දෙන කිසිවකු හෝ සිටී දැයි’ ඔහු පවසයි. පසු ව එතුමාගේ විවේකය සඳහා රාත්‍රියෙහි ඉතිරි ව පවතින අවසන් හයෙන් පංගුව තුළ නින්දට ගියහ. එය සුබ්හු සලාතය සඳහා දිරිමත් ව අවදි වීමට හැකි වනු පිණිසය. මෙයය වඩාත් උතුම් වනුයේ. එසේ නොමැති නම් හිරු අවරට ගිය වේලාවේ සිට අලුයම උදා වන තෙක් වූ සම්පූර්ණ රාත්‍රියම නැගිට සලාතය ඉටු කිරීමට සුදුසු කාල පරිච්ඡේදයයි.

රාත්‍රියේ නැගිට සිට සලාතය ඉටු කිරීමේ දී පිළිපැදිය යුතු විනයන්.

-      නින්දට යන මොහොතේ රාත්‍රියේ නැගිට සිට සලාත් හි නිරත වන බවට අදිටන් කිරීම.

-      අවදි වූ විට කට පිරිසිදු කිරීම.

-      අල්ලාහ් ව මෙනෙහි කිරීම. එහිදී ඔහු මෙසේ පවසයි.

"لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ الْحَمْدُ ِللهِ وَسُبْحَانَ اللهِ ولاَ إلهَ إلاَّ الله وَلاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللهِ"

ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහු ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර් අල් හම්දු ලිල්ලාහ් වසුබ්හානල්ලාහ් වලා ඉලාහ ඉල්ලල්ලාහ් වල්ලාහු අක්බර් වලා හවුල වලා කුව්වත ඉල්ලා බිල්ලාහි

තේරුම: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙක් හෝ කිසිවක් නොමැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල්කරුවෙකු නොමැත. සියලු ආධිපත්‍යයන් ඔහුටම හිමිය. ප‍්‍රශංසා සියල්ල ද ඔහුටමය. ඔහු සෑම දෙයක් කෙරෙහිම බලය ඇත්තාය. සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය. ඔහු සුපිවිතුරුය. අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නොමැත. අල්ලාහ්ගෙන් තොර ව කිසිදු බලයක් හෝ කිසිදු හැරීමක් හෝ නොමැත.

පසු ව ප්‍රාර්ථනාවන්හි නිරත වෙයි. (මූලාශ්‍රය බුහාරි)

-      තවදුරටත් මෙසේ පවසයි.

الْحَمْدُ لِلَّهِ الَّذِي أَحْيَانَا بَعْدَ مَا أَمَاتَنَا وَإِلَيْهِ النُّشُورُ

අල්හම්දු ලිල්ලාහිල්ලදී අහ්යානා බඃද මා අමාතනා වඉලයිහින් නුෂූරූ (මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්)

තේරුම: මා නින්දට පත් කළ පසු ව නැවත අවදි කළා වූ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා තවද නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙතමය.

-      මෙසේ ද පවසයි.

الْحَمْدُ لِلَّهِ الَّذِي عَافَانِي فِي جَسَدِي وَرَدَّ عَلَيَّ رُوحِي وَأَذِنَ لِي بِذِكْرِهِ

අල් හම්දු ලිල්ලාහිල්ලදී ආෆානී ෆී ජසදී වරද්ද අලය්ය රූහී වඅදින ලී බිදික්රිහි (මූලාශ්‍රය : තිර්මිදි)

තේරුම: මාගේ ශරීරයට සුවය ලබා දී නැවත මාගේ ප්‍රාණය මට ලබා දී ඔහු ව මෙනෙහි කිරීමට අවසරය ලබා දුන් අල්ලාහ්ටම සියලු ප්‍රශංසා.

-      තම අතින් තම මුහුණෙහි පවතින නිදිමත ගතිය පිස දමා තම බැල්ම අහස දෙසට යොමු කර ආලු ඉම්රාන් සූරාවෙහි අවසන් ආයත් ටික පාරායනය කිරීම එනම් ‘ඉන්න ෆී හඃල්කිස් සමාවාති වල් අර්ළ් යන ආයතයේ සිට අවසානය දක්වා (ආලු ඉම්රාන් 190 වැනි වැකියේ සිට අවසානය දක්වා)

-      සැහැල්ලු රකආත් දෙකකින් තහජ්ජුද් සලාතය ආරම්භ කිරීම. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බවට අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසය මීට සාධක ව පිහිටයි. එනම් ‘නුඹලා අතුරින් කිසිවකු හෝ රාත්‍රියෙහි නැගී සිටියේ නම් සැහැල්ලු රකආත් දෙකකින් ඔහුගේ සලාතය ආරම්භ කරත්වා !’ (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

-      රාත්‍රී සලාතයේ දී සෑම රකආත් දෙකක් අතරම සලාම් පැවසීම. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බවට ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසය මීට සාධක ව පිහිටා ඇත. එනම් ‘රාත්‍රී සලාතය දෙක දෙක බැගිනි’ (මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්) එනම් එක් තෂහ්හුදයක් හා සලාම් දෙකකින් සමන්විත රකආත් දෙක දෙක බැගින් ඉටු කිරීම යන්නයි. එය හතර බැගින් නොව දෙක බැගින් විය යුතුය.

-      කියාම් (නැගිට සිටීමේ ඉරියව්ව) රුකූඃ (දණහිස් අල්ලා නැමී සිටීමේ ඉරියව්ව) සුජූද් (සතැගි නමස්කාරය) දිගු කොට ඉටු කිරීම. කියාම් රුකූඃ හා සුජූද් අතර මෙනෙහි කරන්නේ නම් එය තම හදවතට බිය බැතිමත් හැඟීම ඇති කරන ක්‍රියාවක් වේ.

-      තහජ්ජුද් සලාතය තම නිවසේ සිදු කිරීම. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැවසූ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. ‘සලාතය වඩාත් උතුම් වනුයේ අනිවාර්යය සලාතය හැර මිනිසෙකු තම නිවසේ ඉටු කරන සලාතයයි. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්) හේතුව එය චිත්තපාරිශුද්ධියට වඩාත් සමීප වන බැවිනි.

-      ඉමාම් මුස්ලිම් විසින් දැනුම් දී හුදෙයිෆා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසය අනුව යම් පොරොන්දුවක් අන්තර්ගත ව ඇති ආයතයක් පාරායනය කරන විට එය අල්ලාහ්ගෙන් ඉල්ලා සිටීම හා යම් අවවාදයක් සඳහන් ආයතයක් පාරායනය කරන විට ඉන් ආරක්ෂාව පැතීම.

-      දුආඋල් ඉස්තිෆ්තාහ් (ආරම්භ පැතුම) රුකූඃ, සුජූද් හා ජුලූස් හි ප්‍රාර්ථනාවන් වැනි සලාතයේ දී චර්යානුගත වූ ප්‍රාර්ථනා මෙහිදීද අවධානයෙන් යුතු ව අනුගමනය කිරීම.

විමසුම : සුන්නත් සලාතයන් වැළැක්විය නොහැකි හේතුවක් මත රැඳී පවතී. එහි කුසල එය ඉටු කරන්නෙකු මෙනි. නබි (සල්ලලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැවසූ බව අබූ මූසා (රළියල්ලාහු අන්හු) තුමා විසින් කළ වාර්තාව මීට සාධක ව පිහිටා ඇත. එනම් ගැත්තෙකු රෝගාතුර වූ විට හෝ යම් ගමනක නිතර  වූ විට හෝ ඔහු නිරෝගී ව සිටින විටත් පදිංචි ව සිටින විටත් ඔහු කරමින් සිටි යහ ක්‍රියාවන් (එලෙසම) ඔහුට සටහන් කරනු ලැබේ. මෙය ඉමාම් බුහාරි විසින් දන්වා ඇත. එමෙන්ම සිට ගැනීමට හැකියාව තිබියදීත් සුන්නත් සලාතයන්හි වාඩි වී එය ඉටු කිරීමට අනුමැතිය ඇත.

සලාතය විත්ර් සලාතය සමඟ අවසන් විය යුතය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එතුමාගේ රාත්‍රි සලාතයන්හි අවසන් සලාතය වශයෙන් විත්ර් සලාතය ඉටු කරන්නෙකු වූහ. එපමණක් නොව එසේ ඉටු කරන මෙන් නියෝගද කළහ. මේ පිළිබඳ හදීස් බොහෝමයක් සඳහන් වී ඇත.

කවරෙකුට රාත්‍රියේ තහජ්ජුද් සලාතය ඉටු කිරීමට අතපසු වූයේ ද ලුහර් සලාතයට පෙර එය නැවත ඉටු කිරීම ඔහුට සතුටුදායක වේ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බවට උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසය මීට සාධක වේ. එනම් ‘කවරෙකු රාත්‍රියෙහි අල් කුර්ආන් කියවන පිරිසෙන් ඉවත් ව නින්දට වැටුණේ ද එසේ නැතහොත් ඉන් කොටසක නින්දට වැටුණේ ද පසු ව ඔහු සුබ්හ් සලාතය හා ලුහර් සලාතය අතරවාරයේ එය කියෙව්වේ නම් එය ඔහු රාත්‍රියේ කියෙව්වාක් මෙන් ඔහුට සටහන් කරනු ලබනු ඇත.’ මෙය ඉමාම් මුස්ලිම් විසින් දන්වා ඇත.


 සලාතය තහනම් කරනු ලැබූ වේලාවන් පිළිබඳ පාඩම

ඇතැම් අවස්ථාවන්හි හැර සලාතය ඉටු කිරීමට තහනම් කරනු ලැබූ වේලාවන් පහක් ඇත. ඒවානම්

පළමුවැන්න : දෙවන අලුයම් කාලය උදා වී හිරු උදා වන තෙක් වූ කාලය. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පැවසූ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කොට ඇත. අලුයම උදා වූ විට ෆජ්ර්හි රකආත් දෙක හැර වෙනත් සලාතයක් නොමැත. ඉමාම් ඉමාම් අහ්මද් අබූ දාවූද් හා වෙනත් ඉමාම්වරු විසින් වාර්තා කොට ඇත. එහෙයින් අලුයම උදා වූ විට ෆජ්ර් සලාතයට අදාළ චර්යානුගත සුන්නත් සලාතය හැර වෙනත් කිසිදු අතිරේක සලාතයක් ඉටු නොකළ යුතුය. මෙය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පෙන්වා දුන් මඟ පෙන්වීමය.

ඉමාම් ෂාෆි තුමා මෙම තහනම සුබ්හු සලාතයෙන් පසු ව ඇරඹේ යැයි සඳහන් කරයි. එය අබූ සඊද් (රළියල්ලාහු අන්හු) තුමා වාර්තා කළ හදීසයක් පදනම් කර ගනිමිනි.

දෙවැන්න : හිරු උදාවීමේ සිට විනාඩි දොළහක් පමණ ගත වී සාමාන්‍යය ලෙස තමන්ගේ දෑසට පෙනෙන තරමට එය හීයක තරම් උසට නගින තෙක් වූ කාලය.

තුන්වැන්න : හිරු මුදුනට පැමිණ ඉන් අවරට යන තෙක් වූ කාලය. එනම් වස්තුවක හෙවණැල්ල අඩුවෙන් හෝ වැඩියෙන් හෝ නොමැති ව සමාන්තර ව පැවතීමෙන් එම වේලාව හඳුනා ගත හැක. එය බටහිර දෙසට හිරු බසින තෙක් පිහිටනු ඇත. උක්බත් ඉබ්නු ආමිර් (රළියල්ලාහු අන්හු) තුමාගේ හදීසය මීට සාධක වශයෙන් පිහිටයි. එනම් ‘වේලාවන් තුනක් ඇත. ඒවායෙහි අප සලාතය ඉටු කිරීමත් අප අතර මිය යැඳුණන් වළ දැමීමත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තහනම් කළහ. එනම් හිරු උදාවන විට එය උස් ව පවතින තෙක්. හිරු මුදුණින් පිහිටන විට එය අවරට යන තෙක්. හිරු බැස යමින් හීන වන විට එය (සම්පූර්ණ ව) බැස යන තෙක්.’ මෙය ඉමාම් මුස්ලිම් විසින් දන්වා ඇත.

සිව්වැන්න : අසර් සලාතයේ සිට හිරු අවරට යන තෙක් වූ කාලය. අබූ සඊද් අල් කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. ‘සුබ්හු සලාතයෙන් පසු හිරු උදාවන තෙක් හා අසර් සලාතයෙන් පසු හිරු අවරට යන තෙක් කිසිදු සලාතයක් නොමැත.’ මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්.

පස්වැන්න : හිරු බැස යාම සඳහා ක්‍රමයෙන් සැඟ ව යන්නට ආරම්භ කළ විට එය සම්පූර්ණයෙන්ම සැඟ ව යන තෙක්. ඉහත උක්බා (රළියල්ලාහු අන්හු) තුමාගේ හදීසය මීට සාධක වශයෙන් පිහිටයි.

විමසුම : තහනම් කරන ලද මෙම වේලාවන්හි ඉටු කිරීමට අනුමැතිය ඇති සලාතයන්.

1-     මෙම වේලාවන්හි අතපසු වී ගිය අනිවාර්යය සලාතයන් ඉටු කිරීම. මෙම පොදු නීතිය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැවසූ බවට අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසය සාධක වශයෙන් පිහිටා ඇත. එනම් සලාතය මඟ හැරෙන තරමට කවරෙකු නින්දට වැටුණේ ද එසේ නැතහොත් අමතක වී ගියේ ද ඔහුට එය මතක් වූ විට ඔහු එය ඉටු කරත්වා ! ඒ හැර වෙනත් ප්‍රතිකර්මයක් එයට නොමැත. (මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්.

2-     විද්වතුන්ගේ නිවැරැදි ප්‍රකාශයන් අනුව මෙම වේලාවන්හි හේතු සහගත සලාතයන් ඉටු කිරීමට අනුමැති ඇත. උදාහරණ වශයෙන් ජනාසාz සලාතය තහ්යතුල් මස්ජිද් හෙවත් මස්ජිදය වෙනුවෙන් ඉටු කරන සලාතය, ග්‍රහණ සලාතය, තවාෆ් හි රකආත් දෙක ඉටු කිරීම, වුළූඃ හි රකආත් දෙක ඉටු කිරීම, අතපසු වූ සාමුහික සලාතය නැවත ඉටු කිරීම.  ඉස්තිහාරා සලාතය මෙවැනි කාරණා සහිත සලාතයන් එම වේලාවන්හි ඉටු කළ හැක. මේ සම්බන්ධයෙන් පෙන්වා දෙන සාධක කාලය හා බැඳුණු කොන්දේසි රහිත සලාතයන් ඉටු කිරීම සඳහාය. මෙම වේලාවන්හි එවන් සලාතයන් ඉටු කිරීමේ පොදු තහනම විශේෂ වනු ඇත. කිසිදු හේතුවක් නොමැති ව අතිරේක සලාතයක් ආරම්භ කරමින්   ඉටු කිරීම සුදුසු නොවේ. 

3-     සුබ්හු සලාතයට පෙර පවතින සුන්නත් සලාතය  අතපසු වූ විටෙක ඉන් පසු ව නැවත ඉටු කිරීම. මෙය තහවුරු කරමින් හදීස් සඳහන් ව ඇත. එලෙසම ලුහර් හි සුන්නත් සලාතය අසර් සලාතයට පසු ව නැවත ඉටු කිරීමට ද අනුමැතිය ඇත. විශේෂයෙන් ලුහර් සමඟ අසර් සලාතය එක්කොට ඉටු කරන අවස්ථාවක මෙම ක්‍රමය පිළිපදිනු ඇත. අසර් සලාතයෙන් පසු ව ලුහර් සලාතයේ සුන්නත් රකආත් දෙක නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඉටු කළ බවට තහවුරු කරමින් ආඉෂා (රළියල්ලාහු අන්හු) තුමිය විසින් හදීසයක් වාර්තා කොට ඇත.  මෙය මුස්ලිම් හි සඳහන් වේ.

  

වර්ග: