දේපළ බෙදීමේ දී කාන්තාවට අඩු කොටසක් දෙනු ලබනුයේ ඇයි

කෙටි හැඳින්වීම

දේපොළ බෙදනවිට කාන්තාවන්ට ඉස්ලාම් අසාධාරණ සිදුකරන්නේ ද? ඒවාට පිළිතුරු

Download
මෙම වෙබ් පිටුවට භාරව කටයුතු කරන්නා වෙත අදහස් දන්වා සිටින්න

වැඩි විස්තර

    දේපළ බෙදීමේ දී කාන්තාවට අඩු කොටසක් දෙනු ලබනුයේ ඇයි ?

    ] සිංහල– Sinhala –[سنهالي

    එම්.එස්.එම් ඉම්තියාස් යූසුෆ් සලෆි

    439310

    සිංහලෙන්

    මව්ලවි මාහිර් ටී.ඩී. රම්ඩීන්

    2013 - 1435

    نصيب المرأة في الوراثة ولماذا؟

    « باللغة السنهالية »

    إمتياز يوسف

    ترجمة:: ماهر رمدين

    2013 - 1435

    දේපළ බෙදීමේ දී කාන්තාවට අඩු කොටසක් දෙනු ලබනුයේ ඇයි ?

    එම්.එස්.එම් ඉම්තියාස් යූසුෆ් සලෆි

    සිංහලෙන් මව්ලවි මාහිර් ටී.ඩී. රම්ඩීන්

    ඉස්ලාමය පිළිබඳව ඇති විවේචනයන් අතුරින් දේපළ බෙදා දීමේ දී කාන්තාවට අඩුවෙන් පිරිනැමීම පිළිබඳ වූ විවේචනය ද එකකි. එබැවින් ඒ පිළිබඳ නිවැරදි තොරතුරු පැහැදිලි ලෙස වටහා ගැනීම අපගේ වගකීමයි.

    නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ කාල වකවානුවේ විසූ ජන සමාජයේ පසුබිම වූයේ පුරුෂයින් සෑම ආකාරයකින්ම කාන්තාවන් යටපත් කොට ඔවුන්ගේ උරුමයන් උදුරා ගෙන ජීවත් වීමය. බලය ඇත්තා ඔහු නිවැරදි පුද්ගලයා යන වාදය මුල් කර ගනිමින් තම පියා හෝ සහෝදරයා හෝ අත හැර දමා ගිය වස්තුවෙහි කාන්තාවට කිසිදු කොටසක් ලබා නොදී බලහත්කාරයෙන් එම වස්තුව ඩැහැ ගත්හ.

    පියාණන් අහිමි වී කර කියා ගත නොහැකි තත්ත්වයක පසු වන අනාථ දරුවන්ටත් ස්වාමි පුරුෂයා අහිමි වී තම නෙත් කදුළු වලින් පුරවා ගෙන සිටින වැන්දඹුවන්ටත් එම දේපළින් කිසිවක් නොලැබේ. මොවුන් අන් අයගෙන් අත පා අනුන්ගේ පිහිටෙන් ජීවත් වන දුක්බර ජීවිතයක් ගත කරන තත්ත්වයක් පැවතුනි. මෙම පසුබිම තුළ මෙම අපරාධය මුලිනුපුටා දැමීමේ මුල් පියවර වශයෙන් අල්ලාහ් පහත සඳහන් වාක්‍යය පහළ කරමින් තීන්දු ලබා දුන්නේය.

    كُتِبَ عَلَيْكُمْ إِذَا حَضَرَ أَحَدَكُمُ الْمَوْتُ إِنْ تَرَكَ خَيْرًا الْوَصِيَّةُ لِلْوَالِدَيْنِ وَالْأَقْرَبِينَ بِالْمَعْرُوفِ حَقًّا عَلَى الْمُتَّقِينَ (180)

    فَمَنْ بَدَّلَهُ بَعْدَمَا سَمِعَهُ فَإِنَّمَا إِثْمُهُ عَلَى الَّذِينَ يُبَدِّلُونَهُ إِنَّ اللَّهَ سَمِيعٌ عَلِيمٌ (181)

    فَمَنْ خَافَ مِنْ مُوصٍ جَنَفًا أَوْ إِثْمًا فَأَصْلَحَ بَيْنَهُمْ فَلَا إِثْمَ عَلَيْهِ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ (182)

    180. නුඹලාගෙන් කෙනෙකුට මරණය ආසන්න වූ විට (තම) වස්තූන් අත හැර යන්නේ නම් තම දෙමාපියන්ට ද ඥාතීන්ට ද නියමයන්ට අනුව අන්තිම කැමැත්ත ලබා දීම නුඹලාට අනිවාර්යය කරනු ලැබ ඇත. (එය) බිය භක්තිකයින්ට වගකීමක් වශයෙන් (පත් කර ඇත.)

    181. එයට (අන්තිම කැමැත්තට) සවන් දුන් පසු කවරෙකු එය වෙනස් කරන්නේ ද සැබැවින්ම එහි පාපය එය වෙනස් කරන්නන්ටමය. සැබැවින්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය. සර්ව ඥානීය.

    182. නමුත් කවරෙකු අන්තිම කැමැත්ත ප්‍රකාශ කරන්නෙකුගේ වැරද්දක් හෝ (සිතා මතා කරන) පාපයක් පිළිබඳව බිය වන්නේ ද ඔහු ඔවුනතර (උරුමක්කාරයින් අතර) කරුණු සමතයකට පත් කිරීම ඔහු හට වරදක් නොවේ. සැබැවින්ම අල්ලාහ් ක්ෂමාශීලීය කරුණාභරිතය. අල්-කුර්ආන් සූරා 2)

    මේ අනුව දේපළ අත හැර දමා යන උදවිය විසින් තම දෙමව්පියන් භාර්යාවන් හා දරුවන් ඇතුළුව ඥාතීන්ට එම දේපළින් කොටස් බෙදා වෙන් කර අන්තිම කැමැත්ත ප්‍රකාශ කළ යුතුව තිබේ. එය ලිඛිතව ද තිබිය යුතු වේ යන නීතිය ක්‍රියාත්මක විය. අන්තිම කැමැත්තේ යම් අසාධාරණයක් දකින්නේ නම් එය සංශෝධනයට ලක් කිරීමට ද උරුමය ලබා දී ඇත.

    عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا: أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «مَا حَقُّ امْرِئٍ مُسْلِمٍ لَهُ شَيْءٌ يُوصِي فِيهِ، يَبِيتُ لَيْلَتَيْنِ إِلَّا وَوَصِيَّتُهُ مَكْتُوبَةٌ عِنْدَهُ» بخاري

    අන්තිම කැමැත්ත ප්‍රකාශ කිරීමට යම් වස්තුවක් හිමි ව ඇති කවර මුස්ලිම් වරයෙකු වුව ද ඔහු තම අන්තිම කැමැත්ත නොලියා රාත්‍රී දෙකක් ගත කිරීමට පවා අනුමැතිය නැතැයි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී. (මූලාශ්‍රය: බුහාරි)

    මෙමගින් කාන්තාවන්ට පවා සාධාරණ ලෙස තම උරුමයන් ලැබීමට මඟ පෙන්වා දී ඇත.

    මෙම නීතිය ක්‍රියාත්මකව පැවතුණු කාල වකවානුවේ සඃද් ඉබ්නු රබීආ (රළියල්ලාහ් අන්හු) යන සහාබිවරයාගේ බිරිය තමන්ගේ ගැහැණු දරුවන් දෙදෙනා කැටුව ගෙන නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) වෙත පැමිණ අල්ලාහ්ගේ දූතයාණනි, මෙන්න මේ දෙදෙනා සඃද් ඉබ්නු රබීආහ්ගේ දියණියන්ය. මොවුන්ගේ පියා උහද් යුද්ධයේ සහභාගී වී ජීවිතක්ෂයට පත් විය.

    මොවුන්ගේ පියාගේ සහෝදරයා මොවුන්ගේ සියලු දේපළ හිමි කර ගත්තේය. මොවුන් වෙනුවෙන් කිසිවක් තබා ගොස් නැත. මොවුන්ට කියා කිසිදු වස්තුවක් නොමැති නම් මොවුන්ව විවාහ කර දීමට පවා නොහැකි වේවි යැයි පවසා සිටියාය.

    මෙම පැමිණිල්ලට සවන් දුන් නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් නියත වශයෙන්ම අල්ලාහ් මේ සඳහා තීන්දුවක් ලබා දෙනු ඇතැයි පවසා සිටියහ. මෙම අවස්ථාවේ මෙම කාන්තාවගේ අයැදීමට පිළිතුරක් වශයෙන් පහත සඳහන් නීතිය පහළ විය.

    يُوصِيكُمُ اللَّهُ فِي أَوْلَادِكُمْ لِلذَّكَرِ مِثْلُ حَظِّ الْأُنْثَيَيْنِ فَإِنْ كُنَّ نِسَاءً فَوْقَ اثْنَتَيْنِ فَلَهُنَّ ثُلُثَا مَا تَرَكَ وَإِنْ كَانَتْ وَاحِدَةً فَلَهَا النِّصْفُ وَلِأَبَوَيْهِ لِكُلِّ وَاحِدٍ مِنْهُمَا السُّدُسُ مِمَّا تَرَكَ إِنْ كَانَ لَهُ وَلَدٌ فَإِنْ لَمْ يَكُنْ لَهُ وَلَدٌ وَوَرِثَهُ أَبَوَاهُ فَلِأُمِّهِ الثُّلُثُ فَإِنْ كَانَ لَهُ إِخْوَةٌ فَلِأُمِّهِ السُّدُسُ مِنْ بَعْدِ وَصِيَّةٍ يُوصِي بِهَا أَوْ دَيْنٍ آَبَاؤُكُمْ وَأَبْنَاؤُكُمْ لَا تَدْرُونَ أَيُّهُمْ أَقْرَبُ لَكُمْ نَفْعًا فَرِيضَةً مِنَ اللَّهِ إِنَّ اللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا (114-)

    නුඹලාගේ දරුවන් විෂයෙහි අල්ලාහ් නුඹලාට වසිය්යත් (උපදෙස්) කරන්නේය. (එනම්) ස්ත්‍රීන් දෙදෙනෙකුගේ පංගුව මෙන් (එනම් පංගු දෙකක්) පිරිමියා සතුය.

    • නමුත් (අත හැර දමා ගිය වස්තුවට පිරිමි දරුවන් නොවී) දෙදෙනෙකුට වඩා ස්ත්‍රීහූ පමණක් සිටින්නෙහු නම් අත හැර දමා යන දැයින් තුනෙන් දෙකක් (2/3) ඔවුනට සතුය.
    • එක් ස්ත්‍රියක් පමණක් සිටියා නම් ඇයට භාගයක් සතුය.

    2) (මිය ගිය) ඔහුට දරුවෙකු සිටියේ නම් ඔහු අත හැර දමා යන දැයින් හයෙන් කොටසක් (1/6) බැගින් දෙමාපියන් දෙදෙනාගෙන් සෑම කෙනෙකුටම සතුය.

    • ඔහුට දරුවෙකු නොසිටියේ නම් තමන්ගේ දෙමාපියන් එයට උරුමකම් පාති. එවිට තම මවට තුනෙන් පංගුවක් සතුය. (ඉතිරිය පියාණන් සතුය)
    • (මිය ගිය) ඔහුට සහෝදරයන් (හෝ සහෝදරියන්) සිටියේ නම් තම මවට (1/6) හයෙන් පංගුවක් සතුය.
    • (මෙසේ දේපළ බෙදීම) තමන් කුමන දෙයක් වසිය්යත් කළේ ද එයට පසුව හා තම ණය පියවීමෙන් පසුවය.
    • (දේපළ බෙදීමේ දී) නුඹලාගේ දෙමව්පියන් හා නුඹලාගේ දරුවන් ඔවුන් අතුරින් කවරෙකු නුඹලාට ප්‍රයෝජනයන් ගෙන දීමෙහි සමීප යැයි නුඹලා නොදන්නෙහුය.
    • (මේ සියල්ල) අල්ලාහ්ගෙන් වූ අනිවාර්ය කරන ලද්දක් වශයෙනි. සැබැවින්ම අල්ලාහ් සර්වඥානීය සර්ව ප්‍රාඥය. (අල්-කුර්ආන් 4:11)

    وَلَكُمْ نِصْفُ مَا تَرَكَ أَزْوَاجُكُمْ إِنْ لَمْ يَكُنْ لَهُنَّ وَلَدٌ فَإِنْ كَانَ لَهُنَّ وَلَدٌ فَلَكُمُ الرُّبُعُ مِمَّا تَرَكْنَ مِنْ بَعْدِ وَصِيَّةٍ يُوصِينَ بِهَا أَوْ دَيْنٍ وَلَهُنَّ الرُّبُعُ مِمَّا تَرَكْتُمْ إِنْ لَمْ يَكُنْ لَكُمْ وَلَدٌ فَإِنْ كَانَ لَكُمْ وَلَدٌ فَلَهُنَّ الثُّمُنُ مِمَّا تَرَكْتُمْ مِنْ بَعْدِ وَصِيَّةٍ تُوصُونَ بِهَا أَوْ دَيْنٍ وَإِنْ كَانَ رَجُلٌ يُورَثُ كَلَالَةً أَوِ امْرَأَةٌ وَلَهُ أَخٌ أَوْ أُخْتٌ فَلِكُلِّ وَاحِدٍ مِنْهُمَا السُّدُسُ فَإِنْ كَانُوا أَكْثَرَ مِنْ ذَلِكَ فَهُمْ شُرَكَاءُ فِي الثُّلُثِ مِنْ بَعْدِ وَصِيَّةٍ يُوصَى بِهَا أَوْ دَيْنٍ غَيْرَ مُضَارٍّ وَصِيَّةً مِنَ اللَّهِ وَاللَّهُ عَلِيمٌ حَلِيمٌ (12 (4-

    3). (මිය ගිය) නුඹලාගේ භාර්යාවන්ට දරුවන් නොවී නම් ඔවුන් අත හැර දමා ගිය දැයින් (ස්වාමි පුරුෂයින් වන) නුඹලාට අඩක් (1/2) හිමිය.

    • ඔවුනට දරුවන් වෙතොත් ඔවුන් අත හැර දමා යන දැයින් (ස්වාමි පුරුෂයින් වන) නුඹලාට හතරෙන් පංගුවක් සතුය. (මෙය) ඔවුන් කුමන දෙයක් වසිය්යත් කළේ ද එයට පසුව හා තම ණය (පියවීමෙන්) පසුවය.
    • නුඹලාට (ස්වාමිපුරුෂයින් වන නුඹලා මිය ගිය පසුව) දරුවන් නොවෙතොත් නුඹලා අත හැර දමා යන දැයින් (භාර්යාවන් වන) ඔවුනට හතරෙන් පංගුවක් (1/4) සතුය.
    • නමුත් නුඹලාට දරුවන් වෙතොත් නුඹලා අත හැර දමා යන දැයින් (භාර්යාවන් වන) ඔවුනට අටෙන් එකක් (1/8) සතුය. (මෙය) නුඹලා කුමන දෙයක් වසිය්යත් කළේ ද එයට පසුව හා තම ණය (පියවීමෙන්) පසුවය.

    4. ඍජු ආරෝහි (දෙමව්පියන්) හෝ අවරෝහි (දරුවන්) ඥාතීන් නොමැත්තෙකු වශයෙන් උරුමකම් පාන පිරිමියෙකු හෝ ස්ත්‍රියකු හෝ වෙතොත් ඔහුට (හෝ ඇයට) සහෝදරයෙකු හෝ සහෝදරියෙකු වෙතොත් ඔවුන් දෙදෙනාගෙන් සෑම කෙනෙකුටම හයෙන් පංගුවක් (1/6) බැගින් සතුය. ඔවුන් මෙයට වඩා වැඩියෙන් සිටිතොත් තුනෙන් එකක පංගුවේ හවුල් කරුවෝ වෙති. (මෙය) තමන් කුමන දෙයක් වසිය්යත් කළේ ද එයට පසුව හා තම ණය (පියවීමෙන්) පසුවය.

    තවද අල්ලාහ්ගෙන් වූ නියෝගයකි. අල්ලාහ් සර්වඥය සර්ව ශාන්තය. (අල්-කුර්ආන් 4: 12)

    මෙම වැකි පහළ වීමත් සමඟම මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සඃද් ඉබ්නු රබීආගේ සහෝදරයාව කැඳවා ඔහු රැගෙන ගිය දේපල පහත සඳහන් අයුරින් බෙදා දුන්හ.

    දැරියන් දෙදෙනාට (එක් අයෙකුට 1/3 බැගින්) 2/3 දෙකක කොටසක් ද මොවුන්ගේ මවට 1/8 කොටසක් ද ඉතිරිය සඃද් (රළියල්ලාහු අන්හු) තුමාගේ සහෝදරවරුන්ට ද බෙදා දුන්හ.

    (මූලාශ්‍රය: අහ්මද්, අබූ දාවූද්, තිර්මිදි, ඉබ්නු මාජා)

    තමන්ටත් තමන්ගේ දියණියන්ටත් දේපළ උරුමය විෂයෙහි නියමිත කොටස නොලැබුණු බවට කාන්තාවක් යුක්තිය ඉල්ලා පැමිණි විට එම කාන්තාවට යුක්තිය ඉටු කිරීම සඳහාම දේපළ උරුමය පිළිබඳ නීතිය පහළ විය.

    දුව පුතා සහෝදරයා සහෝදරිය බිරිය මව පියා යන අයට මෙම නීතිය මගින් දේපළ වස්තුවෙහි කොටස් ලැබීමට අවස්ථාව සැලසිනි.

    මීට වඩා කාන්තාව සඳහා වූ ගෞරවයක් නිලයක් අයිතියක් පිරි නමා තිබීම වෙන කිසිදු ආගමක දැකිය නොහැකි කරුණකි.

    මෙම දේපළ උරුමය පිළිබඳ නීතිය පිරිනමනු ලැබුවායින් පසු අන්තිම කැමති පත්‍රයේ සඳහන් පරිදි දේපළ කොටස් කිරීමේ නීතිය අහෝසි කරනු ලැබූ අතර උරුම කරුවන්ට දේපළ පිළිබඳව අන්තිම කැමැත්ත ප්‍රකාශ කිරීමට හෝ ලිවීමට හෝ මැදිහත් වීමට හෝ තහනම් කරනු ලැබීය. උරුමක්කරුවන්ට කුමන ප්‍රතිශතයකින් බෙදා දිය යුතු යැයි අල්ලාහ් පැහැදිලි කර පවසා ඇත්තේ ද ඒ අනුව හා මෙම පාරිශුද්ධ කුර්ආනයට විග්‍රහකයා වූ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් කවර අයුරින් ක්‍රියා කරමින් බෙදා වෙන් කර දැක් වූයේ ද ඒ අනුව පමණක් ලොව විනාශය දක්වා කොටස් කරණය සිදු විය යුතුය. මෙහි කිසිවෙකුට වෙනස් කමක් කළ නොහැක.

    උරුමක්කරුවන් නොවන වෙන කිසිවෙකුට හෝ යහකම් කරන්නන්ට හෝ දේපළින් නියමිත කොටසක් ලබා දිය යුතු යැයි අපේක්ෂා කරන්නේ නම් ඒ පිළිබඳව වසීය්යත් හෙවත් අන්තිම කැමැත්ත ප්‍රකාශ කර තිබීම තහනම් කරනු නොලැබීය.

    උදාහරණ වශයෙන් සමාජයේ අධ්‍යාපනය දැනුම වර්ධනය උදෙසා ක්‍රමවත් ව්‍යාපෘතීන් සඳහා හෝ දුගී දුප්පතුන් අනාථයින් වැන්දඹුවන් සරණාගතයින් වැනි අය ගැන යහපත සැලකිල්ලට ගෙන ඔවුන්ගේ අභිවෘද්ධිය උදෙසා කෙනෙකු තම දේපළින් නියමිත කොටසක් අන්තිම කැමැත්තෙහි සඳහන් කිරීමට අපේක්ෂා කළේ නම් ඔහුට ඇති තරම් එසේ කළ හැකිය. නමුත් ඔහුගේ සම්පූර්ණ වස්තුවම සුබ සාධක ආයතන වලට හෝ පොදු සංවිධාන වලට හෝ ලියා තබන්නට නොහැක. ඔහුගේ අන්තිම කැමැත්ත සඳහා වූ කොටස සම්පූර්ණ වස්තුවෙන් තුනෙන් පංගුවට වඩා අධික නොවීම ඉස්ලාමය ප්‍රිය කරයි.

    عَنْ عَامِرِ بْنِ سَعْدٍ، عَنْ أَبِيهِ رَضِيَ اللَّهُ عَنْهُ، قَالَ: مَرِضْتُ، فَعَادَنِي النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَقُلْتُ: يَا رَسُولَ اللَّهِ، ادْعُ اللَّهَ أَنْ لاَ يَرُدَّنِي عَلَى عَقِبِي، قَالَ: «لَعَلَّ اللَّهَ يَرْفَعُكَ وَيَنْفَعُ بِكَ نَاسًا»، قُلْتُ: أُرِيدُ أَنْ أُوصِيَ، وَإِنَّمَا لِي ابْنَةٌ، قُلْتُ: أُوصِي بِالنِّصْفِ؟ قَالَ: «النِّصْفُ كَثِيرٌ»، قُلْتُ: فَالثُّلُثِ؟ قَالَ: «الثُّلُثُ، وَالثُّلُثُ كَثِيرٌ أَوْ كَبِيرٌ»، قَالَ: فَأَوْصَى النَّاسُ بِالثُّلُثِ، وَجَازَ ذَلِكَ لَهُمْ

    සඃද් ඉබ්නු අබී වක්කාස් (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී. මම (නබි තුමාණන්ගේ අවසන් හජ් අවස්ථාවේ මක්කාහ්වේ) රෝගාතුර වූයෙමි. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මාගේ සුව දුක් විමසීම සඳහා පැමිණියහ. එවිට අල්ලාහ්ගේ දූතයාණනි, මා පැමිණි මාවතේ නැවත හැරී නොයනු පිණිස (එනම් දහමින් බැහැරව නොයනු පිණිස) මා වෙනුවෙන් ප්‍රාර්ථනා කරනු මැනව !

    මම අල්ලාහ්ගේ දූතයාණනි, මාගේ සියලු වස්තු පිළිබඳව අන්තිම කැමැත්ත ප්‍රකාශ කිරීමට ප්‍රිය කරන්නෙමි. මට ඇත්තේ එක් දුවකි. (එබැවින් මාගේ වස්තුවෙන්) අඩක් අන්තිම කැමත්ත ප්‍රකාශ කරන්න දැයි විමසුවෙමි. එයට එතුමා අඩක් අධිකය යැයි පැවසූහ. එසේ නම් තුනෙන් කොටසක යැයි විමසුවෙමි. තුනෙන් එක් කොටසක් ද? එය ද අධික ය. එය ද අධික යැයි පැවසූහ. පසුව තුනෙන් කොටසක් වසිය්යත් කළෙමි.

    තවත් වාර්තාවක

    නුඹලා නුඹලාගේ උරුමක්කරුවන් ස්වයංපෝෂකයින් ලෙස හැර දමා යෑම ජනයාගෙන් ඔවුන් අයැද අත පාන දුප්පතුන් ලෙස හැර දමා යාමට වඩා යහපත්ය යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූහ.

    ගැහැනු දරුවන් සඳහා වූ නියමිත වස්තුව ලබා දීමට ද ස්වයං පෝෂකයින් ලෙස ඔවුන්ව පත් කිරීමට ද නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් තම අවධානය දැඩි ලෙස යොමු කර ඇත්තාහ.

    දේපළ උරුමය නියම කිරීමේ දී සෑම පාර්ශවයකටම වෙන් වෙන් ප්‍රමාණයන් නියම කර තිබීම දැකිය හැක. එමෙන්ම උරුමක්කරුවන් යනු කවරෙක් ද? ඔවුන් කවර අයුරින් උරුමකම් ලබන්නට හිමිකම් පාන්නේ ද? ඔවුන්ගෙන් මුල් තැන ලබා දිය යුත්තේ කවරෙකුට ද? ඔවුන්ගෙන් කා හට කවර ප්‍රමාණයක් ලබා දිය යුතු ද? යන්න පැහැදිලි කිරීම් සියල්ල ඉස්ලාමය පැහැදිලි කර ඇත.

    දේපළ සඳහා මිනිසා උරුමක් කරුවෙකු වුව ද ඔහු විසින් තීන්දු කර කැමති පරිදි උරුමක්කරුවන් අතර බෙදා දීමෙන් වැළකී සිටිය යුතුයි. එය බෙදා හැරිය යුතු වන්නේ ඉස්ලාමය සැලසුම් කර දී ඇති ලැයිස්තුවට අනුවය. වස්තුව පරම්පරාවෙන් පරම්පරාවට මාරුවෙන් මාරුව පැමිණීම වැදගත් නොවෙයි. එම දේපළ තුළින් ජීවිතයත් උරුමයත් ආරක්ෂා කර ගැනීමය වැදගත් වන්නේ.

    එබැවින් පිරිමි දරුවන්ට පමණක් සම්පූර්ණ බූදලයම ලබා නොදී ගැහැනු දරුවන්ටත් දෙමාපියන්ටත් එක කුස උපන් සහෝද සහෝදරියන්ටත් පවුලේ ඥාතීන්ටත් නිසි අයුරින් බෙදා දී උරුමක්කරුවන් ලෙස පත් කිරීම තුළින් පවුල් ජීවිත නොකැඩී, ව්‍යාකූලභාවයට පත් නොවී ආරක්ෂා කළ හැක. කෙනෙකු තවත් කෙනෙකු යටතේ යැපෙන අයුරින් දේපළ බෙදා දීම මගින් ආර්ථික දියුණුව හා ප්‍රීතිමත් අවනත පවුල් ජීවිතයක් බිහි කරන්නට හැකි වේ. ඒ හේතුවෙන් උරුමක්කරුවන් වන්නේ කවුරුන්දැයි යන ලැයිස්තුව ඉස්ලාම් සැලසුම් කර පිරිනමා ඇත්තේ.

    පියා මිය ගියේ නම් එම පවුල නඩත්තු කිරීමේ වගකීම පිරිමි දරුවන් කෙරෙහි පැවරේ. පිරිමි දරුවන් නොවී නම් පියාගේ සහෝදරයා කෙරෙහි පැවරේ. ඔහු එම පවුල නඩත්තු කරන්නෙකු උරුමක්කරුවෙකු බවට පත් වෙයි. පියා හැර දමා ගිය වස්තුව බෙදා දෙන විට එම වස්තුවට කොටස් කරුවෙකු බවට පත් වන්නේ එබැවිනි. මෙමගින් පිරිමියෙකුගේ සරණක් නොමැති පවුලකට මොහු මගින් ආරක්ෂාව සලසනු ලැබේ.

    මෙම ශ්‍රේෂ්ඨමත් නීතියෙහි දොරටුවෙන් කාන්තා සමූහය ආරක්ෂා සහගත බවට පත් වෙයි. තම ජීවනෝපාය තමන් විසින්ම උපයා ගැනීම පිණිසත් තමන්ගේ ජීවිතය ශක්තිමත් කර ගනු පිණිසත් රැකියා සොයා යන මුස්ලිම් නොවන කාන්තාවන්ගේ තත්ත්වය ඉස්ලාම් පවසන කාන්තාවකට නොපැවරේ. ඇය දේපළ උරුමයෙන් ආරක්ෂා ගත වන්නීය.

    මුස්ලිම් කාන්තාවක් හා මුස්ලිම් නොවන කාන්තාවක් රැකියාවකට යෑමෙහි මූලික වශයෙන් වෙනස් කම් ඇත.

    මුස්ලිම් නොවන කාන්තාවක් පිළිබඳව සලකා බැලීමේ දී ඇය ඇයගේ ජීවිතය සකසා ගැනීම සඳහා ඉපැයිය යුතු වේ. ඇයව භාර ගෙන නඩත්තු කිරීමට යහපත් ජීවිතයක් සලසා දීමට කිසිවෙකු නොමැත. බූදලයෙන් කොටසක් ද හිමි නොවෙයි. එබැවින් ඔවුන් පක්ෂව සිටින ආගම්වාදී දර්ශනය ද සමූහ සංකල්පයන් ද ඇයට එරෙහිව බිහි වී ඇති බැවින් ඇය වැඩිවියට පත්වීමෙන් පසු නිවසින් බැහැරට යා යුතු වේ. නමුත් ඉස්ලාම් පවසන කාන්තාවකගේ තත්ත්වය මීට වඩා හාත්පසින්ම වෙනස්ය.

    ඇය ගැන සළකා බැලීමේ දී නිවසෙහි සිටම සියලු ආකාරයේ උරුමයන් භුක්ති විඳීමට මඟ පෙන්වා දී ඇත. දිළිඳුකම ඇතුළුව අවශ්‍යතාවන් අමතර ආදායම් උදෙසා ඇය රැකියාවක් සොයා ගැනීමට අපේක්ෂා කළේ නම් ඒ සඳහා කිසිදු තහනමක් නැත. තමන්ගේ ආගමික ප්‍රතිපත්තිය විනය තම පතිවත රැක ගෙන කටයුතු කළ හැකි පසුබිමක් නම් රැකියාවකට යෑමේ අනුමැතිය පිරිනමා ඇත.

    දේපළ උරුමයෙහි නීතිය පිළිබඳව වූ අවසාන වැකියෙහි අල්ලාහ් පවසන විට නුඹලාගේ දේපළට ඉතා සමීප අය එමෙන්ම නුඹලාට වඩාත් ප්‍රයෝජනවත් අය කවුරුන් දැයි නුඹලා නොදන්නෙහුයැයි පැවසීමෙන් අදහස් කරනුයේ කෙතරම් විශ්මය ජනක කරුණක් දැයි මෙහි දී නිරීක්ෂා කර බැලීම අපගේ වගකීමක් වෙයි.

    අප ඉහතින් අනු අංක යොදා පේළි වෙන්කර පෙන්වා දුන් දේපළ උරුමය පිළිබඳ නීතියෙහි හතර වැනි නීතිය තවදුරටත් පැහැදිලි කරමින් තවත් වැකියක් පහළ විය.

    මෙම නීතියෙහි කෙනෙකු අත හැර දමා ගිය වස්තුවට එහි උරුමක්කරුවන් වන මව පියා බිරිය දරුවන් යන අය නොවී සහෝදර සහෝදරියන් පමණක් සිටින්නේ නම් ඔවුන් අතර කවර අයුරින් බෙදී යා යුතු දැයි පහත සඳහන් අයුරින් විග්‍රහ කෙරී ඇත. (මෙම නීතිය කළාලා නමින් හැඳින් වේ.)

    يَسْتَفْتُونَكَ قُلِ اللَّهُ يُفْتِيكُمْ فِي الْكَلَالَةِ إِنِ امْرُؤٌ هَلَكَ لَيْسَ لَهُ وَلَدٌ وَلَهُ أُخْتٌ فَلَهَا نِصْفُ مَا تَرَكَ وَهُوَ يَرِثُهَا إِنْ لَمْ يَكُنْ لَهَا وَلَدٌ فَإِنْ كَانَتَا اثْنَتَيْنِ فَلَهُمَا الثُّلُثَانِ مِمَّا تَرَكَ وَإِنْ كَانُوا إِخْوَةً رِجَالًا وَنِسَاءً فَلِلذَّكَرِ مِثْلُ حَظِّ الْأُنْثَيَيْنِ يُبَيِّنُ اللَّهُ لَكُمْ أَنْ تَضِلُّوا وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ (4-176)

    (නබිවරය) ඔවුහු නුඹෙන් (කළාලා පිළිබඳව) තීන්දු අසති. කළාලා පිළිබඳව අල්ලාහ් නුඹලාට තීන්දු ලබා දෙනු ඇතැයි පවසවු.

    • පුද්ගලයෙකු ඔහුට පුතෙකු නොමැතිව සහෝදරියක් පමණක් ඇතිව මරණයට පත් වන්නේ නම් එවිට ඔහු අත හැර යන දැයින් අඩක් ඇය සතු වෙයි. (කාන්තාවක් මිය ගොස්) ඇයට දරුවන් නොසිටියේ නම් (සහෝදරයා වන) ඔහු ඇයට උරුමක්කරුවා වෙයි.
    • (සහෝදරියන්) දෙදෙනෙකු වී නම් ඔවුන් දෙදෙනාට ඔහු අත හැර ගිය දැයින් තුනෙන් දෙකක් සතුය. පිරිමි හා කාන්තා සහෝදර සහෝදරියන් වී නම් එවිට ස්ත්‍රීන් දෙදෙනෙකුගේ පංගුව මෙන් (පංගුවක්) පිරිමියා සතු වෙයි.
    • නුඹලා වැරදි මඟ නොයනු පිණිස අල්ලාහ් නුඹලාට (මෙසේ) පැහැදිලි කරන්නේය. අල්ලාහ් සියලු දෑ පිළිබඳව සර්වඥය. (අල්-කුර්ආන් 4:176)

    දේපළ උරුමය පිළිබඳව පහළ වූ අවසන් වැකිය මෙය වන්නේ යැයි බරාඋ (රළියල්ලාහු අන්හු) තුමාණන් සඳහන් කර ඇත. (මූලාශ්‍රය: බුහාරි)

    දේපළ උරුමය පිළිබඳ සියලුම විස්තර අල්ලාහ් පැවසීමෙන් පසුව මෙම නීතියට පටහැනිව කටයුතු කරන්නන් දැඩි ලෙස දඬුවමට ලක් කරනු ලැබේ. සදාකාලිකවම නිරයේ පසු වනු ඇතැයි අවවාද කර සිටියි.

    تِلْكَ حُدُودُ اللَّهِ وَمَنْ يُطِعِ اللَّهَ وَرَسُولَهُ يُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا وَذَلِكَ الْفَوْزُ الْعَظِيمُ (13) وَمَنْ يَعْصِ اللَّهَ وَرَسُولَهُ وَيَتَعَدَّ حُدُودَهُ يُدْخِلْهُ نَارًا خَالِدًا فِيهَا وَلَهُ عَذَابٌ مُهِينٌ (14 4-13, )

    මේවා අල්ලාහ්ගේ සීමාවන්ය. කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ රසූල් වරයාට අවනත වන්නේ ද ඔවුන්ව (ස්වර්ග) උයන් වලට ඇතුළත් කරවන්නේය. ඊට යටින් ගංගාවෝ ගලා බසිති. (ඔවුහු) එහි සදාකාලිකයෝය. එය මහත් වූ ජයග්‍රහණයයි.

    කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ රසූල්වරයාට පිටුපාන්නේ ද තවද ඔහුගේ සීමාවන් ඉක්මවා යන්නේ ද ඔහුව නිරයට ඇතුළු කරවන්නේය. (ඔහු) එහි සදාකාලිකයෙකු වන්නේය. තවද ඔහුට අවමන් සහගත දඬුවමක් ඇත. (අල්-කුර්ආන් 4:13-14)

    දෙපළ වස්තුව පිරිමි දරුවන්ට පමණක් එසේ නැතිනම් ගැහැනු දරුවන්ට පමණක් පිරිනැමිය නොහැක. සියලුම දරුවන්ට හා උරුමක්කරුවන්ට දේපළ නිසි අයුරින් බෙදිය යුතු වේ. එයට පටහැනිව කටයුතු කරන්නා දඬුවමට නියම වූ පුද්ගලයෙකු බවට පත් වෙයි.

    මිය ගිය තැනැත්තා අත හැර දමා ගිය වස්තුව කොටස් කිරීමට පෙර ඔහුගේ ණය පියවීම හා අන්තිම කැමැත්ත ඉටු කිරීම මුලින්ම සිදුවිය යුතු ය යන්න ද ඉතා වැදගත් කොන්දේසියකි. දෙමව්පියන් තම දරුවන් කෙරෙහි සෙනෙහස දක්වනවාට වඩා අල්ලාහ් තම මැවීම් කෙරෙහි අධික ආදරයක් දක්වන්නා බව මෙම නීතිය මඟින් පෙන්වා දී නැත් ද?

    පිරිමින්ට වඩා කාන්තාවන්ට දේපළ අඩුවෙන් පිරිනමනුයේ ඇයි?

    කාන්තාවන්ට දේපළ උරුමයෙන් කොටසක් පිරිනැමූ ඉස්ලාම් පිරිමින්ට වඩා අඩුවෙන් ලබා දුන්නේ ඇයි? යන සැකය මතු වීම ස්වභාවිකය. එය නිවැරදි කිරීම යහපතක් කටයුත්තක් යැයි මම සිතමි.

    රැකියාවක නිරත වී ඉපැයීම පිරිමින් කෙරෙහි ඉස්ලාම් පවරා ඇති වගකීමකි. කාන්තාවන් කෙරෙහි එම වගකීම පවරා නැත.

    පිරිමියා උපයමින් තම මව පියා සහෝදරයා සහෝදරිය තම බිරිය යන කවය තුළ පවත්නා එම පවුල ආරක්ෂා කිරීමේ වගකීම් හෙබි පුද්ගලයෙකු ලෙස සිටියි. ඔහුගේ ඉපැයීම යටතේ කාන්තාව ආරක්ෂාව සලසනු ලැබ නඩත්තු කරවනු ලබන්නීය. එම කාන්තාව විවාහ කර දීමේ වගකීම ද නඩත්තු වියදම ද ඔහු කෙරෙහිම පැවරෙයි. ස්වාමි පුරුෂයා විසින් දික්කසාද කරනු ලැබුවේ නම් නැවත ඇයට නඩත්තු වියදම් ලබා දීමේ වගකීම ද ඔහු වෙතම පැවරෙයි.

    මොහු කාන්තාවක් විවාහ කර ගන්නා විට ඇය සඳහා නියමිත මහරයද ලබා දී ජීවත් වීමට අවශ්‍ය ජීවන පහසුකම් ද ලබා දී තමන්ගේ දරුවන් හා පවුල නඩත්තු කරන්නෙකු බටව පත් වෙයි. බිරය දික්කසාද කළ විට ඇයට යම් පහසුකමක් හෝ උපකාරයක් කළ යුතු වෙයි.

    දේපළ බෙදීමේ දී පියා සහෝදරයා දරුවන් යන අය විසින් තමන් සතු කොටස් ලබා ගන්නා අතරම දුවක් බිරියක් මවක් සහෝදරියක් ‍ලෙස සිටිය දී ඇය සතු කොටස ඇය ලබන්නීය. වස්තුවෙහි උරුමකම් ලබනවාක් මෙන්ම ස්වාමි පුරුෂයෙකු වශයෙන් පැමිණෙන අයගෙන් මහර් වශයෙන් ද කොටසක් ලබා ගැනීමේ උරුමය ලබන්නියක් වශයෙන් ද සිටින්නීය.

    බාහිර ලෙසින් දකින විට කාන්තාව අඩුවෙන් ද පිරිමියා වැඩියෙන් ද ලබන බව පෙනෙනු ඇත. ඉස්ලාම් පවසන හේතු කාරකයන් නිරීක්ෂා කර බලන්නේ නම් කාන්තාව සියලුම උරුමයන් අධික ලෙස භුක්ති විඳිනු දැකිය හැකි වේ.

    ඉපැයීමේ නිදහස පිරිමින්ට පිරිනමා ඇති සේම කාන්තාවටත් පිරි නමා ඇත. නමුත් කාන්තාවකගේ ආදායම් මාර්ග ඇයගේ අනුමැතියෙන් තොර ස්වාමි පුරුෂයාට පරිහරණය කළ නොහැක. ඇය විසින් ස්වාමි පුරුෂයාට ලබා දෙන්නේ නම් එවිට එය පරිත්‍යාග කිරීමේ ප්‍රතිඵලය හිමි කාන්තාවක් වන්නීය යැයි ඉස්ලාම් පවසයි.

    කාන්තාවනි, නුඹලා පරිත්‍යාගයන් කරවු. නුඹලා සතුව රන් ආභරණ තිබුණ ද නුඹලා පරිත්‍යාග කරවු යනුවෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ. එයට සවන් දුන් මම (මාගේ ස්වාමි පුරුෂයා වන) අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් වෙත පැමිණියෙමි. ඔබ දිළිඳුභාවයෙහි පසුවන්නෙහිය. නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණෝ පරිත්‍යාග කරන මෙන් අපට අණ කළහ. එබැවින් ඔබ එතුමාණන් වෙත ගොස් (මාගේ පරිත්‍යාගය ඔබට) ලබා ගත හැකි දැයි විමසා දැන ගන්න. එය නිවැරදි නම් මා විසින් ඔබට එය ලබා දීම ප්‍රමාණවත් වෙයි. නැතිනම් මා වෙන අයට ලබා දෙමි යැයි පැවසුවෙමි. එවිට ඔහු ඔබ ගොස් දැන ගෙන පැමිණෙන්නැයි පැවසීය.

    මම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ නිවසට ගියෙමි. දොරකඩ අන්සාරි කාන්තාවක් ද සිට ගෙන සිටියාය. මාගේ අවශ්‍යතාව මෙන්ම ඇයගේ අවශ්‍යතාව ද එයම විය. එවිට අප වෙත බිලාල් (රළියල්ලාහු අන්හු) තුමාණන් පැමිණියේය. අපි ඔහු වෙත ‘ඔබ නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වෙත ගොස් කාන්තාවන් දෙදෙනෙකු පැමිණ තමන් සතුව ඇති සදකා භාණ්ඩ තමන්ගේ ස්වාමි පුරුෂයින්ට හෝ තමන්ගේ යටතේ වැඩෙන අනාථයින්ට හෝ ලබා දීමට ප්‍රිය කළ හැකි දැයි ඔබගෙන් අසා දැන ගන්නට සිට ගෙන සිටින්නේ ය යන පුවත දන්වා සිටින්න. අපි කවුරුන්ද යන වග එතුමාණන්ට නොපවසා සිටින්නැයි පැවසුවෙමු.

    බිලාල් (රළියල්ලාහු අන්හු) තුමාණන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) වෙත ගොස් මේ පිළිබඳව විමසා සිටීයි. එවිට එතුමා ඔවුන් දෙදෙනා කවුරුන් දැයි ඔහුගෙන් විමසූහ. එක් අයෙක් අන්සාරි කාන්තාවකි. අනෙක් අය සෙයිනබ් යැයි බිලාල් (රළියල්ලාහු අන්හු) තුමාණන් පවසා සිටීය. මොන සෙයිනබ් දැයි විමසූ විට අබ්දුල්ලාහ්ගේ බිරිය යනුවෙන් බිලාල් (රළියල්ලාහු අන්හු) පිළිතුරු දුනි. එවිට නබි තුමාණන් ඥාතීන් ආදරය කිරීම පරිත්‍යාග කිරීම යන දෙයාකාරයක කුසල් එම කාන්තාවන් දෙදෙනාට ඇතැයි පැවසූහ. (වාර්තාකරු: සෙයිනබ් අස්-සකෆී (රළියල්ලාහු අන්හා) මූලාශ්‍රය බුහාරි)

    නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් විසින් ලබා දුන් කාන්තා අයිතිය දෙස බලන්න. නීතිමය වශයෙන් දේපළ බෙදීමේ ක්‍රමවේදයන් සියල්ල ලබා දුන් පසුවත් ඇය උපයන ආදායමෙන් ස්වාමි පුරුෂයාට ලබා දීමේ වගකීමක් නැත. ඇයගේ කැමැත්තට ලබා දෙන්නේ නම් සදකා හෙවත් පරිත්‍යාග කිරීමෙහි කුසල් ලබනු ඇතැයි පෙනේ.

    කාන්තාවන් සඳහා වූ උරුමයන් පිරිනමා ඔවුන්ව ජීවත් කරවන දහම කුමක් ද යන්න දැන්වත් ඔබේ සිතට එකඟව පවසන්න.

    ඔබගේ වටිනා අදහස්