හඹා එන යහකම්

කෙටි හැඳින්වීම

1. ජනයා ජීවත් විය යුත්තේ කෙසේ ද?
2. සියලු යහකම් පිළිගනු ලැබීම පිණිස කොන්දේසි දෙකක්.
3. ඉක්ඃලාස් සහ නබි (සල්) තුමාගේ මඟ පෙන්වීම පිළිපැදීම
4. කෙනෙකුගේ මරණයෙන් පසුව ඔහුගේ ණය පියවීම.
5. ඔහු නොකළ උපවාස, හජ් හෝ උම්රා අවසන් කිරීම
6. ඔහුගේ නමින් සිදුකරන කත්තම් ගැන පැහැදීම

Download
මෙම වෙබ් පිටුවට භාරව කටයුතු කරන්නා වෙත අදහස් දන්වා සිටින්න

වැඩි විස්තර

    හඹා එන යහකම්

    ] සිංහල – Sinhala – [ سنهالي

    සංස්කරණය

    එම්. එස්. එම් ඉම්තියාස් යූසුෆ් සලෆි

    පරිවර්තනය: මාහිර් රම්ඩීන්

    2014 - 1435

    الصالحات الجاريات بعد الموت

    « باللغة السنهالية »

    محمد إمتياز يوسف

    ترجمة: ماهر رمدين

    2014 - 1435

    හඹා එන යහකම්

    මාහිර් රම්ඩීන්

    الَّذِي خَلَقَ الْمَوْتَ وَالْحَيَاةَ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا وَهُوَ الْعَزِيزُ الْغَفُورُ

    නුඹලා අතුරින් කවරෙකු ක්‍රියාවෙන් උතුම් ද යන්න පිරික්සනු පිණිස ඔහු මරණය හා ජීවිතය නිර්මාණය කළේය. තවද ඔහු අති බලසම්පන්නය. අති ක්ෂමාශීලීය.

    (අල්-කුර්ආන් 67:2)

    මෙලොව ජීවිතය සදාතනික නොවේ. මතු ලොව ජීවිතය සදාතනික වනුයේ. මතු ලොව ජීවිතයෙහි ජයග්‍රහණය හා පරාජය තීරණය කරන වේදිකාවක් වශයෙන් මෙලොව ජීවිතය පිහිටා ඇත. එබැවින් මෙය පරීක්ෂාවේ වේදිකාවකි.

    ස්වර්ගයේ ජීවත් විය යුතු අපි, ෂෙයිතාන්ගේ කුමන්ත්‍රණ හේතුවෙන් ස්වර්ගයෙන් පහළ කරනු ලදුව මිහිතලයේ ජීවන් වන්නට සලස්වනු ලැබීය.

    නබි ආදම් (අලෙයිහිස් සලාම්) තුමා හා හව්වා (අලෙයිහස් සලම්) තුමිය යන දෙදෙනාව ස්වර්ගයෙන් අල්ලාහ් පහළ කළ අවස්ථාවේ,

    قُلْنَا اهْبِطُوا مِنْهَا جَمِيعًا فَإِمَّا يَأْتِيَنَّكُمْ مِنِّي هُدًى فَمَنْ تَبِعَ هُدَايَ فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

    නුඹලා සැවොම මෙතැනින් (ස්වර්ගයෙන් මිහිතලයට) බසිවු. මගෙන් නුඹලාට මඟ පෙන්වීමක් ආ කල්හි කවුරුන් මාගේ මඟ පෙන්වීම අනුගමනය කරන්නේ ද ඔවුනට බියක් නැත. තවද ඔවුන් දුක් නොවෙති යැයි ද අපි ප්‍රකාශ කළෙමු. (අල්-කුර්ආන් 2:38)

    قَالَ اهْبِطُوا بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ وَلَكُمْ فِي الْأَرْضِ مُسْتَقَرٌّ وَمَتَاعٌ إِلَى حِينٍ، قَالَ فِيهَا تَحْيَوْنَ وَفِيهَا تَمُوتُونَ وَمِنْهَا تُخْرَجُونَ.

    නුඹලා (ස්වර්ගයෙන් මිහිතලයට) බසිවු. නුඹලාගෙන් සමහරුන් අන් සමහරුන්ට සතුරුය. නුඹලාට මිහිතලයෙ හි වාසස්ථානයක් හා වින්දනයක් (යම්) කලකට ඇතැයි ඔහු(අල්ලාහ්) ප්‍රකාශ කළේය.

    එහි ම නුඹලා ජීවත් වන්නෙහුය. එහි ම නුඹලා මරණයට පත් වන්නෙහුය. එයින්ම නුඹලා පිට කරනු ලබන්නෙහුය යැයි ඔහු පැවසුවේය. (අල්-කුර්ආන් 7:24, 25)

    ආදම් (අලෙයිහිස් සලාම්) තුමා හා හව්වා (අලෙයිහස් සලාම්) තුමිය මිහිතලයට පහළ කරනු ලැබූ විට මෙලොව ජීවිතයේ ජයග්‍රහණය ලබනු පිණිස කරුණු දෙකක් පිළිබඳව මිනිස් වර්ගයාට අල්ලාහ් නියෝග කර තිබීම අවදානයට ගත යුතුයි.

    පළමුවැන්න ජනයා ජීවත් විය යුත්තේ කෙසේ ද? ක්‍රියා කළ යුත්තේ කෙසේ ද? යන්න මඟ පෙන්වීමේ වගකීම් තමන් සතු යැයි ද කවරෙකු එම මඟ පෙන්වීම අනුගමනය කළේ ද ඔහු දුකට හෝ කනස්සල්ලට පත් නොවන බව අල්ලාහ් ප්‍රතිඥා දී ඇත.

    දෙවැන්න මෙම මිහිතලයේ නියමිත කාලයක් ජීවත් වී මිය ගිය පසු නැවත ජීවය ලබා දී අවදි කරනු ලබයි. පසුව විනිශ්චය කරනු ලබන්නේ යැයි අවවාද කර ඇත.

    ආදරය හා කරුණාව ඇති රහ්මාන් මිනිස් සමාජය යහ මඟින් එපිට නැඹුරු වන සෑම අවස්ථාවකම ඔවුනට යහමඟ පෙන්වීම පිණිස නබි වරුන් එවා දේව වැකි පහළ කොට තම ප්‍රතිඥාව තහවුරු කළේය. අවසාන වශයෙන් නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ලෝ වැසියනට අවසන් ධර්ම දූතයා වශයෙන් එවා, අවසන් ධර්මය වන අල්-කුර්ආනය පහළ කොට තම මඟ පෙන්වීම සම්පූර්ණ කළේය. මෙම මූලධර්මය මෙහි හොඳින් වටහා ගෙන ඉහත සඳහන් (67:2) වැකිය අවබෝධ කර ගත යුතුයි.

    මෙම වැකිය ජීවිතය හා මරණය අතර වූ කාලය තුළ යහ ක්‍රියාවන් කරනුයේ කවරෙකු ද යන පරීක්ෂණයට සෑම කෙනෙකුම මුහුණ දිය යුතු යැයි පැහැදිලි කර සිටියි.

    යහ ක්‍රියාවන් යනු කුමක් ද? එය තීරණය කළ හැක්කේ කෙසේ ද? යන්න අවබෝධ කර ගත්තේ නම් මෙම පරීක්ෂණයෙන් ජය ගැනීම පහසු වනු ඇත.

    ඉමාම් ෆුලෙයිල් ඉබ්නු ඉයාල් (රහ්මතුල්ලාහි අලෙයිහි) මෙම වැකිය විග්‍රහ කරන විට අල්ලාහ් වෙනුවෙන් අවංක ලෙසින් නිවැරදිව ක්‍රියා කිරීමයි. නිවැරදි ලෙසින් යනු නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ සුන්නාහ්වට අනුව ක්‍රියා කිරීම වේ යැයි සඳහන් කළහ. (මූලාශ්‍රය: තෆ්සීර් බගවි)

    එබැවින් යහ ක්‍රියාවන් යනු දැහැමි ක්‍රියාවන් යන අර්ථය වේ. ජීවිතය හා දැහැමි ක්‍රියාවන් කුමක් ද යන්න පෙන්වා දීම පිණිසය ආදර්ශමත් ධර්ම දූතයකු ලෙස නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ව අල්ලාහ් පහළ කළේ.

    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

    لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللهِ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كَانَ يَرْجُو اللهَ وَالْيَوْمَ الْآخِرَ وَذَكَرَ اللهَ كَثِيرًا

    අල්ලාහ්ව ද පරමාන්ත දිනය ද අපේක්ෂා කොට අල්ලාහ්ව අධික ලෙස මෙනෙහි කරන්නන්ට අල්ලාහ්ගේ රසූල් වරයාගෙන් නුඹලාට අලංකාරවත් ආදර්ශයක් ඇත. (අල්-කුර්ආන් 33:21)

    අල්ලාහ්ව ද පරමාන්ත දිනය ද විශ්වාස කර මෙලොව ජීවිතයේ පරීක්ෂණ වලින් ජයග්‍රහණය ලැබිය යුතු නම් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ව සියලු කටයුතු වල දී ආදර්ශමත් ලෙස ගෙන ක්‍රිය කළ යුතු වේ. එබැවින් අපි කරන සියලු යහකම් පිළිගත යුතු නම් කොන්දේසි දෙකක් ඇත.

    පළමුවැන්න ඉක්ඃලාස් (චිත්ත පාරිශුද්ධිය) වේ. එනම් මිනිසුන්ගෙන් පැසසුම හෝ මූණිච්චාව හෝ අපේක්ෂා නොකර අල්ලාහ්ගේ තෘප්තිය පමණක් අපේක්ෂා කරමින් ඔහු පිරිනැමූ දැහැමි ක්‍රියාවන් හි කැමැත්ත ඇති කර ගනිමින් අවංක චේතනාවෙන් ක්‍රියාවන් යොමු කිරීමය.

    දෙවැන්න නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ මඟ පෙන්වීම පිළිපැදීමය. එනම් නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ක්‍රියා කර පෙන් වූ පිළිවෙතක් කිසිදු අඩු වැඩීමකින් තොරව වෙනස් කිරීමකින් තොරව ක්‍රියා කිරීමත් එතුමාණන් නොපෙන් වූ කිසිදු ක්‍රියාවක් සිදු නොකර අත හැරීමයි.

    මෙම කොන්දේසි දෙක පිළිවෙළට පිහිටෙන විටය දේව විශ්වාසවන්තයෙකුගේ ක්‍රියාවන් දැහැමි ක්‍රියාවන් බවට පිළිගනු ලබන්නේ! එම ක්‍රියාව මෙලොවට ද මතු ලොවට ද ප්‍රයෝජනවත් වනු ඇත.

    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

    فَاسْتَجَابَ لَهُمْ رَبُّهُمْ أَنِّي لَا أُضِيعُ عَمَلَ عَامِلٍ مِنْكُمْ مِنْ ذَكَرٍ أَوْ أُنْثَى....

    එකල් හි නුඹලා අතුරින් පිරිමියෙකුගෙන් හෝ ස්ත්‍රියකගෙන් හෝ යම් (යහපත්) ක්‍රියාවක් කළ අයගේ ක්‍රියාව සැබැවින්ම මම අපතේ නොයවමි යැයි ඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිළිතුරු දුන්නේය..... (අල්-කුර්ආන් 3:195)

    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

    مَنْ عَمِلَ صَالِحًا مِنْ ذَكَرٍ أَوْ أُنْثَى وَهُوَ مُؤْمِنٌ فَلَنُحْيِيَنَّهُ حَيَاةً طَيِّبَةً وَلَنَجْزِيَنَّهُمْ أَجْرَهُمْ بِأَحْسَنِ مَا كَانُوا يَعْمَلُونَ

    පිරිමියෙකුගෙන් හෝ කාන්තාවකගෙන් තමන් විශ්වාස වන්තයෙකුව සිට කවරෙකු යහකම් කළේ ද ඔහුට අපි සැපවත් ජීවිතයක් ප්‍රදානය කරන්නෙමු. ඔවුන් කරමින් සිටි දෑහි යහපත හේතුවෙන් අපි ඔවුනට ඔවුන්ගේ වේතනය පිරි නමන්නෙමු. (අල්-කුර්ආන් 16:97)

    දැහැමි ක්‍රියා කරන දේව විශ්වාසවන්තයින්ගේ මෙලොව හා මතු ලොව ජීවිතය යහ ජීවිතයක් බවට පත් කිරීමේ වගකීම අල්ලාහ් දරයි. එමෙන්ම ඔවුන්ගේ කුසල් ආරක්ෂා සහගතව පවතී යැයි ප්‍රතිඥා දරයි. අල්ලාහ්ගේ ප්‍රතිඥාව බොරුවක් නොවෙයි. ඔවුන් කළ දැහැමි ක්‍රියාවන් ඉදිරිපත් කර එවායේ අනුසාරයෙන් උදව් උපකාර හෝ අවශ්‍යතාවන් ඉල්ලා ප්‍රාර්ථනා කළේ නම් එම ප්‍රාර්ථනාවන් පිළිගෙන අවශ්‍යතාවන් සපුරාලීමටත් අල්ලාහ් සූදානම්ව සිටියි. (මෙයට වසීලා යැයි පවසනු ලැබේ.)

    ඇත්තෙන්ම අල්ලාහ් වෙනුවෙන්ම ජීවත් වී ඔහු වෙනුවෙන්ම සේවය කර ඔහුගේ ධර්ම දූතයා පෙන්වා දුන් අයුරින් යහකම් කළවුන්ගේ ජීවිතයේ අවසාන භාගයේ අල්ලාහ් මලක් වරුන් එවා ඔවුනට ශුභාරංචි දන්වා සිටියි.

    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

    يَا أَيَّتُهَا النَّفْسُ الْمُطْمَئِنَّةُ، ارْجِعِي إِلَى رَبِّكِ رَاضِيَةً مَرْضِيَّةً ، فَادْخُلِي فِي عِبَادِي، وَادْخُلِي جَنَّتِي.

    (යහකම් කළවුන් දෙස බලා) ඕ! සැනසුමට පත් ආත්මය, (නුඹ) තෘප්තිමත් වී (අල්ලාහ්ගේ) තෘප්තියට ද ලක් වෙමින් නුඹ නුඹගේ පරමාධිපති වෙත හැරී යවු. එබැවින් මාගේ (යහ) ගැත්තන් අතරට නුඹ ඇතුළු වවු. මාගේ ස්වර්ගයට ද නුඹ ඇතුළු වවු. (අල්-කුර්ආන් 89:27-30)

    إِنَّ الَّذِينَ قَالُوا رَبُّنَا اللهُ ثُمَّ اسْتَقَامُوا تَتَنَزَّلُ عَلَيْهِمُ الْمَلَائِكَةُ أَلَّا تَخَافُوا وَلَا تَحْزَنُوا وَأَبْشِرُوا بِالْجَنَّةِ الَّتِي كُنْتُمْ تُوعَدُونَ، نَحْنُ أَوْلِيَاؤُكُمْ فِي الْحَيَاةِ الدُّنْيَا وَفِي الْآَخِرَةِ وَلَكُمْ فِيهَا مَا تَشْتَهِي أَنْفُسُكُمْ وَلَكُمْ فِيهَا مَا تَدَّعُونَ، نُزُلًا مِنْ غَفُورٍ رَحِيمٍ

    සැබැවින්ම අපගේ පරමාධිපති අල්ලාහ් යැයි පවසා අනතුරුව (එහි) ස්ථාවරව සිටියවුන් නම් ඔවුන් වෙත මලක්වරු පහළ වී නුඹලා බිය නොවවු. තවද නුඹලා දුක් නොවවු. නුඹලා ප්‍රතිඥා දෙනු ලබමින් සිටි ස්වර්ගය පිළිබඳව සතුටු වවු.

    මෙලොව ජීවිතයෙහි ද මතු ලොවෙහි ද අපි නුඹලාගේ (උදව්කාර) භාරකරුවන්ය. තවද නුඹලා ආශා කරන දෑ එහි නුඹලාට ඇත. තවද නුඹලා අයැදින දෑ ද එහි නුඹලාට ඇත.

    අතික්ෂමාශීලී පරම කරුණාභරිතයාණන්ගෙන් වූ සංග්‍රහයක් වශයෙනි. (අල්-කුර්ආන් 41:30-32)

    මෙවැනි ශුභාරංචි අතුරින් තවත් පැත්තක් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පහත සඳහන් අයුරින් ප්‍රකාශ කළහ.

    දේව විශ්වාසය ඇති ගැත්තෙකු මෙලොව අත හැර දමා මතු ලොවට පිවිසෙන විට (ඔහුගේ මරණාසන්නයේ) සූර්යයා මෙන් දීප්තියෙන් යුත් සුදුවන් වතකින් යුත් මලක්වරු අහසින් පහළට බසිති. ඔවුන් අතර ස්වර්ගයේ කෆන් වස්ත්‍ර ද ස්වර්ගයේ කස්තූරි ද තිබේ. එම ගැත්තාගේ දෑසට පෙනෙන දුරකින් එම මලක්වරු සිටිති. ප්‍රාණය අත්පත් කර ගන්නා මලක්වරයා එම ගැත්තාගේ හිස දෙසින් වාඩි වී ‘අහෝ! දැහැමි ආත්මය (සැනසුම ලත් ආත්මය) අල්ලාහ්ගේ සමාව හා තෘප්තිය වෙත බැහැර වනු මැනවයි පවසයි. ක්ෂණිකව එම ගැත්තාගේ ආත්මය ජල බඳුනකින් ස්වල්පයක් හැළෙන්නාක් මෙන් (කිසිදු දුෂ්කරතාවකින් තොරව) බැහැර වන එය එම මලක්වරයා ගනු ඇත.

    (තවත් වාර්තාවක් අනුව) එම ගැත්තාගේ ප්‍රාණය වෙන් වීමත් සමග අහස් හා මිහිතලය අතර වූ මලක්වරු ද අහසේ ඇති සියලු මලක්වරු ද එම ආත්මයට ප්‍රාර්ථනා කරනු ඇත. ඒ සියලු මලක්වරු තමන් ඉදිරියට එම ආත්මය ගෙන යන්නැයි අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරති.

    මලකල් මව්ත්ගේ දෑතට එම ගැත්තාගේ ආත්මය ලැබුණු විගස ස්වල්පයක් හෝ ප්‍රමාද නොවන ආත්මාවන් එම ස්වර්ග කෆනයෙහි එය තැන්පත් කර ආරක්ෂා කර තබයි. මෙයමය අල්ලාහ් අල්-කුර්ආනයේ මෙසේ පවසනුයේ.

    وَهُوَ الْقَاهِرُ فَوْقَ عِبَادِهِ وَيُرْسِلُ عَلَيْكُمْ حَفَظَةً حَتَّى إِذَا جَاءَ أَحَدَكُمُ الْمَوْتُ تَوَفَّتْهُ رُسُلُنَا وَهُمْ لَا يُفَرِّطُونَ

    ඔහුය තම ගැත්තන්ට ඉහළින් සර්ව බලය යොදන්නා. නුඹලාට ආරක්ෂකයින් ඔහු යවන්නේය. නුඹලාගෙන් කෙනෙකුට මරණය පැමිණි විට අපගේ දේව දූතයෝ ඔහුගේ ප්‍රාණය අත්පත් කර ගනිති. ඔවුන් කිසිදු අතපසු කිරීමක් නොකරති. (අල්-කුර්ආන් 6:61)

    ඉන් පසුව මිහිතලයේ සිටියාට වඩා ඉතා සුවඳැතිව එම ආත්මය අහස දෙසට ගෙන යති. එය දකින මලක්වරු සියල්ල මෙම අගනා සුවඳැති ආත්මාව කාගේ දැයි විමසති. මොහුගේ පුත් මොහුගේ යැයි ලොවෙහි ඔහුට පිරිනැමූ අලංකාර නාමය පවසති. පළමුවැනි අහසට යනවාත් සමඟම මඟ සලසා දෙන්නැයි මලක්වරු ඉල්ලා සිටිති. ඔවුනට මඟ සලසා දෙනු ලැබේ. මෙලෙස සෑම අහසකම සිදු වේ. හත් වැනි අහසට එම ආත්මය ගිය විට මාගේ දැහැමි ගැත්තාගේ නාමය ඉල්ලීය්යූන් (දැමියන්ගේ නාම ලේඛන) වාර්තාවෙහි ලියන්නැයි අල්ලාහ් පවසයි.

    كَلَّا إِنَّ كِتَابَ الْأَبْرَارِ لَفِي عِلِّيِّينَ، وَمَا أَدْرَاكَ مَا عِلِّيُّونَ ، كِتَابٌ مَرْقُومٌ، يَشْهَدُهُ الْمُقَرَّبُونَ.

    එසේ (නුඹලා සිතන පරිදි) නොව සදැහැමින්ගේ ලේඛනය ඉල්ලිය්යූන්හිය. ඉල්ලිය්යූන් යනු කුමක් දැ?යි නුඹව දැනුවත් කළේ කුමක් ද? (එය) ලියා නිම කරනු ලැබූ පොතකි. (අල්ලාහ්ට) සමීපතයින් (වන මලක්වරු) එයට සාක්ෂි දරති. (අල්-කුර්ආන් 83: 19-21)

    එම ගැත්තාගේ නාමය එහි සඳහන් වූ වහාම එම ආත්මය පොළොවට ගෙන යන්න. (හේතුව මාගේ ප්‍රතිඥාව ඉටු විය යුතුයි.) මහ පොළොවෙන්ම මැව්වෙමු. මහ පොළොවටම නැවත යවන්නෙමු. මහ පොළොවෙන්ම නැවත නැගිටුවන්නෙමු. මේ අනුව එම ආත්මය ගෙනැවිත් එම ගැත්තාගේ ශරීරයට යා කරනු ඇත. එවිට එම ගැත්තාව මිනී වළෙහි තැන්පත් කර සියල්ලෝම නිවෙස් වෙත බලා යන පා හඬ අසා අවසන් වූ පසුව භයානක මලක් වරුන් දෙදෙනෙකු පැමිණ ඔබේ රබ් (පරමාධිපති) කවු දැ?යි විමසති. එවිට එම ගැත්තා මාගේ රබ් අල්ලාහ් යැයි පවසයි.

    ඔබේ දහම කුමක් දැ?යි විමසති. මාගේ දහම ඉස්ලාම් යැයි පවසයි. ඔබ වෙත යැවූ මෙම මිනිසා කවුදැ?යි විමසති. ඔහු අල්ලාහ්ගේ දූතයාණන් වේ යැයි පවසයි. මේ බව ඔබ දන්නේ කෙසේ දැ?යි විමසති. එයට ඔහු අල්ලාහ්ගේ පුස්තකය හැදෑරුවෙමි. අල්ලාහ්ව විශ්වාස කළෙමි. ඔහුව සත්‍යය කළෙමි යැයි පිළිතුරු දෙයි.

    (නැවතත් ඔහුගෙන්) ඔබේ රබ් කවු ද? ඔබේ දහම කුමක් ද? ඔබේ නබි වරයා කවු ද? යැයි විමසති. මෙයයි එක් සැබෑ දේව විශ්වාසියෙකුට මුහුණ දෙන්නට සිදු වන අවසාන පරීක්ෂණය වනුයේ. එනමුත් අල්ලාහ් මෙසේ පවසා සිටියි.

    يُثَبِّتُ اللهُ الَّذِينَ آمَنُوا بِالْقَوْلِ الثَّابِتِ فِي الْحَيَاةِ الدُّنْيَا وَفِي الْآَخِرَةِ وَيُضِلُّ اللهُ الظَّالِمِينَ وَيَفْعَلُ اللهُ مَا يَشَاءُ

    අල්ලාහ් විශ්වාස කළවුන් ව මෙලොව ජීවිතයේ හා මතු ලොවෙ හි ස්ථාවර වදනින් ස්ථාවරවත් කරන්නේය. තවද අල්ලාහ් අපරාධ කරුවන්ව නොමඟ යෑමට හරින්නේය. තවද ඔහු අභිමත කරන දෑ කරන්නේය. (අල්-කුර්ආන් 14:27)

    මලක් වරුගේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන විට මාගේ රබ් අල්ලාහ්, මාගේ දහම ඉස්ලාම්, මාගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) යැයි පිළිතුරු සපයයි.

    එවිට ‘මාගේ ගැත්තා ඇත්ත කතා කළේය. ඔහු වෙනුවෙන් ස්වර්ගයේ ඇතිරිලි අතුරන්න. ස්වර්ග ඇඳුමින් සරසන්න. ස්වර්ගයේ දොරටුවක් විවෘත කරන්න යැයි පවසන හඬක් අහසින් පැමිණෙයි. ස්වර්ගයේ සුවද එම ගැත්තා ආඝ්‍රාණය කරයි. දෑසට පෙනෙන තරමට ඔහුගේ මිනී වළ විශාල කරවයි.

    එවිට සුවඳ ගැල් වූ අලංකාර ඇඳුමක් ඇඳ ගත් මිනිසෙකු ඔහු වෙත පැමිණෙයි. ‘අල්ලාහ්ගේ තෘප්තියත් සදාතනික සැපසම්පත් හි කේන්ද්‍ර ස්ථානය වන ස්වර්ගය ලබන්නට සුබ පතමි. මෙයය ඔබට ප්‍රතිඥා දුන් දිනය වන්නේ යැයි පවසයි.

    එම විශ්වාසවන්තයා එම මිනිසා දෙස බලා ඔබටත් අල්ලාහ්ගේ ආශිර්වාදය ලැබේවා! ඔබ කවුද? ඔබේ කඩවසම් මුහුණම සුබාරංචි දන්වා සිටින්නක් යැයි පවසයි. ‘මමය (ඔබ ලොවෙහි උපයා ගත්) දැහැමි ක්‍රියාවන්. අල්ලාහ් ට අවනත වී යහකම් කිරීමෙහි යුහුසුලු භාවයත් පාපයන් කිරීමෙහි පසුබෑමත් නුඹ පෙන්වා සිටියෙහිය. අල්ලාහ් ඔබට යහ ප්‍රතිඵල ලබා දෙත්වා! යැයි එම කඩවසම් මුහුණ ඇති අය පවසයි.

    අනතුරුව ස්වර්ගයේ දොරටුව හා නිරයේ දොරටුව පෙන්වයි. ඔබ අල්ලාහ්ට අවනත නොවූයේ නම් මෙයයි ඔබ යා යුතු මාර්ගය වනුයේ යැයි නිරයේ දොරටුව පෙන්වා අල්ලාහ් ඔබට එය වෙනස් කළේය යැයි පවසා ස්වර්ගයේ දොරටුව පෙන්වයි. ස්වර්ගයේ සැප සම්පත් දුටු වහාම එම ගැත්තා යා! අල්ලාහ්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඉක්මන් කරනු මැනව!යි පවසයි. සන්සුන් වන්න යැයි ඔහුට පවසනු ලැබේ.

    තවත් වාර්තාවකට අනුව අහෝ! අල්ලාහ් මා ලබා ඇති සැප සම්පත් ගැන පවසන්නට මා මාගේ පවුලේ උදවිය වෙත එවනු මැනව! යැයි එම විශ්වාසවන්තයා පවසයි. තමන්ට ඉතා ආදරය කරන අය විසින් අවදි කරන තුරු මනමාලයෙකු නිදාගන්නාක් මෙන් අල්ලාහ් ඔබව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින අවදි කරවන තෙක් නිදා ගන්නැයි මලක්වරු දෙදෙනාම ඔහුට ප්‍රකාශ කරනු ඇතැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළහ. දේව විශ්වාසවන්තයෙකුගේ අවසන් තීන්දුව මෙලෙස පෙන්වනු ලැබේ. නමුත් පාපියෙකුගේ තත්ත්වය මෙයට පටහැනිව පිහිටේවි යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පවසා සිටි දීර්ඝ හදීසයෙහි දැකිය හැකි වන්නේය. (මූලාශ්‍රය: අහ්මද්, අබූ දාවූද්, නසාඊ, හාකිම්, ඉබ්නු මාජා)

    ජනාසාවක් (සන්දූක් හි) තබනු ලැබ එය තම උරහිස් මත ඔසවා ගෙන යනු ලබන විට ජනාසාව යහකම් කර ඇත්නම් මාව ඉතා ඉක්මණින් රැගෙන යන්නැයි පවසයි. එය යහකම් නොකළ තත්ත්වයේ තිබේ නම් අහෝ! විනාශය! මා ගෙන යන්නේ කොහේදැයි අසයි. මෙලෙස පවසනු ලබන හඬට මිනිසා හැර අන් සියලු දෑ සවන් දෙයි. මිනිසා එයට සවන් දුන්නේ නම් සිහි විකල් වී වැටෙනු ඇතැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූහ. (මූලාශ්‍රය : බුහාරි)

    මරණයෙන් පසු ජීවිතය උදෙසා කළ යහකම් වල ප්‍රතිඵල ප්‍රාණය අත්පත් කර ගන්නා අවස්ථාවේ දී හෝ මිනී වළ තුළ හෝ අල්ලාහ් පෙන්වන්නේ යැයි මෙම හදීස් පැහැදිලි කරයි. තවද අල්ලාහ්ගේ දූත නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පහත සඳහන් පරිදි ප්‍රකාශ කළහ.

    ජනාසාව වෙත කරුණු තුනක් අනුගමනය කරයි. ඉන් දෙකක් නැවත හැරී එනු ඇත. එක් කරුණක් පමණක් ජනසාව සමඟ ඉතිරිව පවතී. එනම් ඔහුගේ පවුල ඔහුගේ ධනය හා ඔහු කරන යහකම්. මෙම තුනෙන් ඔහුගේ පවුල හා ඔහුගේ ධනය නැවත හැරී යයි. ඔහුගේ යහකම් පමණක් ඔහු සමඟ රැඳෙනු ඇත. (වාර්තා කරු: අනස් -රළියල්ලාහු අන්හු-, මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

    මිනිසා ජීවත් වන විට ඔහුගේ පවුල වෙනුවෙන් ජීවත් විය. පවුල වෙනුවෙන් හරි හම්බ කළේය. ප්‍රාණය වෙන්වීමත් සමඟම ඒ දෙක ඔහු සමඟ නොඑනු ඇත. පැය 24ක් තුළ ජනාසාව වළ දැමීම සම්බන්ධව බිරිය දරුවන් ඇතුළුව ඥාතීන් කතා කර ගනිති. නෑ දෑකම් සියල්ල මිනී වළ දක්වා පැමිණෙයි. පසුව එය ද හැරී යයි.

    ඔවුන් රෑ දහවල් මහන්සියෙන් සොයා ගත් දේපළ වස්තුව හරි හම්බ කළ ධනය සියල්ල අතහැර දමා කෆන් රෙදි කඩ තුනක් සමඟ තනිව යනු ඇත.

    ඔහුගේ දේපළ හා වස්තුව බිරිය දරුවන් බෙදා ගනිති. ජීවිතයේ අනෙක් අදිරය ගැන ඔවුන් සිතති. කාලය ගෙවී ගියත්ම ඔහු ගැන අමතක වී යන්නට ද පුළුවන. පවුලට නව භාරකරුවෙකු අවශ්‍ය බව ද තර්ක කරන්නට පුළුවන. මෙයය යාථාර්ථය. මිය ගිය අය වෙනුවෙන් සැමදා දුක් වී කදුළු සලන්නට කිසිවෙකු නොමැත. නියමිත කාලයක් ගෙවී යත්ම සාමාන්‍ය තත්ත්වයට පත් වෙති.

    මෙම සිද්ධියය මතු ලොවෙහි සිදු වන්නට යන්නේ. මව පියා සැමියා බිරිය නෑකම් දෙමව්පියන් දරුවන් යන සම්බන්ධකම් කිසිවක් එදින කිසිවෙකු විසින් අවධානය යොමු නොකරති. තමන්ව ආරක්ෂා කර ගත හැක්කේ කෙසේ දැ?යි පමණක් ඔහු ආත්මාර්තකාමීව එහි පසු වෙයි.

    අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

    فَإِذَا جَاءَتِ الصَّاخَّةُ (33) يَوْمَ يَفِرُّ الْمَرْءُ مِنْ أَخِيهِ (34) وَأُمِّهِ وَأَبِيهِ (35) وَصَاحِبَتِهِ وَبَنِيهِ (36) لِكُلِّ امْرِئٍ مِنْهُمْ يَوْمَئِذٍ شَأْنٌ يُغْنِيهِ (37)

    මහා හඬ පැමිණි විට එම (විනිශ්චය) දිනයේ මිනිසා තම සහෝදරයා තම මව තම පියා තම බිරිය තම දරුවන් අතහැර දමා පලා යයි. එදින ඔවුන් අතර සෑම මිනිසෙකුම (සෙසු අයගෙන්) තමන්ව හරවා දමන කරුණු ඇත. (අල්-කුර්ආන් 80: 33-37)

    මෙම යථාර්ථය අවබෝධ කොට මධ්‍යම පතිපදාවෙන් යුතුව භාවයකින් මෙලොවෙ හි හා මතුලොව වෙනුවෙන් ජීවත් වන මෙන් ඉස්ලාම් නියෝග කරයි. මෙය මහත් වූ පරීක්ෂණයකි. පරීක්ෂණයක් නොමැතිව ස්වර්ගය පහසුවෙන් නොලැබෙයි. මෙම පරීක්ෂණයන් සඳහාම මිනිසා මවනු ලැබීය. මෙයින් සමත් වීමය දේව විශ්වාසවන්තයකුගේ ඉලක්කය වනුයේ. මෙය ඉහත සඳහන් අල්-කුර්ආන් වැකිය අවධාරණය කරමින් සිටියි.

    මෙම පරීක්ෂණයන්ගෙන් අපව සදහටම මුදවා ගනුයේ අප කරන්නා වූ දැහැමි ක්‍රියාවන්ය. එබැවින් යහකම් උදෙසා අධික ලෙස උනන්දු විය යුතුයි.

    යහකම් වර්ග දෙකකි.

    إِنَّا نَحْنُ نُحْيِي الْمَوْتَى وَنَكْتُبُ مَا قَدَّمُوا وَآثَارَهُمْ وَكُلَّ شَيْءٍ أحْصَيْنَاهُ فِي إِمَامٍ مُبِينٍ

    සැබැවින්ම අපමය මියගියවුනට ප්‍රාණය දෙනුයේ. ඔවුන් ඉදිරිපත් කළ දෑ ද ඔවුන් තබා ගිය සලකුණු ද අපි සටහන් කරන්නෙමු. සෑම දෙයක්ම පැහැදිලි පුස්තකයේ එය ගණන් බලා තබා ඇත්තෙමු. (අල්-කුර්ආන් 36:12)

    මිනිසා ඉදිරිපත් කරන යහකම් හා අයහකම් වාර්තා කරනු ලබනවාක් මෙන්ම ඔහු වෙනත් අය වෙනුවෙන් කළ යහකම් හා අයහකම් සඳහා වූ පෙර නිදසුන් ද සටහන් කරනු ලැබේ යැයි මෙහි සඳහන් කරන බව ඉමාම් ඉබ්නු කසීර් ඉමාම් බගවී ඉමාම් කුර්තුබී (රහ්මතුල්ලාහි අලෙයිහිම්) යන අය විග්‍රහ කරති. එබැවින් යහකම් සඳහා දිරිගැන්වීම් දෙයාකාරයකින් දැකිය හැක.

    1. මිනිසා තමන් වෙනුවෙන් කර ගන්නා වූ යහකම්

    එනම් සලාතය ඉටු කිරීම උපවාසයේ නිරතවීම zසකාත් දීම දානමාන කිරීම වැනි නැමදුම් ඇතුළුව තමන්ටම කියා දැහැමි පවුලක් ගොඩ නැගීම තමන්ගේ දැනුම හැකියාව ජනයා ප්‍රයෝජනය ලබන අයුරින් සලස්වා ගැනීමය.

    2. සමාජ සුබ සාධනය සඳහා කරන යහකම්

    එනම් දුගී දුප්පතුන් අනාථයින් වැන්දඹුවන් අවශ්‍යතාවන්ගෙන් පෙළෙන්නන් වැනි උදවියට උදව් උපකාර කර සමාජය අවදි කරවීමේ ක්‍රියාවන් මෙහෙයවීමයි. පහත සඳහන් හදීස් වෙත අවධානය යොමු කරමු.

    عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ "إِذَا مَاتَ الْإِنْسَانُ انْقَطَعَ عَنْهُ عَمَلُهُ إِلَّا مِنْ ثَلَاثَةٍ إِلَّا مِنْ صَدَقَةٍ جَارِيَةٍ أَوْ عِلْمٍ يُنْتَفَعُ بِهِ أَوْ وَلَدٍ صَالِحٍ يَدْعُو لَهُ" (أخرجه مسلم)

    මිනිසා මිය ගිය විට කරුණු තුනක් හැර ඔහුගේ සෙසු සියලු ක්‍රියාවන් ඔහුගෙන් නතර වී යයි.

    1. ඔහු කළ ස්ථාවර තැන්පතු පරිත්‍යාගය (සදකා ජාරියා)
    2. (ජනයා වෙනුවෙන් අතහැර ගිය) ප්‍රයෝජනවත් දැනුම
    3. ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කරන දැහැමි දරුවා

    (මේවා තුළින් මිය ගිය පසුත් කුසල් හිමිවෙමින් පවතී) යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පැවසූ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. (මූලාශ්‍රය: මුස්ලිම්)

    عَنْ أَبِي هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِنَّ مِمَّا يَلْحَقُ الْمُؤْمِنَ مِنْ عَمَلِهِ وَحَسَنَاتِهِ بَعْدَ مَوْتِهِ عِلْمًا عَلَّمَهُ وَنَشَرَهُ وَوَلَدًا صَالِحًا تَرَكَهُ وَمُصْحَفًا وَرَّثَهُ أَوْ مَسْجِدًا بَنَاهُ أَوْ بَيْتًا لِابْنِ السَّبِيلِ بَنَاهُ أَوْ نَهْرًا أَجْرَاهُ أَوْ صَدَقَةً أَخْرَجَهَا مِنْ مَالِهِ فِي صِحَّتِهِ وَحَيَاتِهِ يَلْحَقُهُ مِنْ بَعْدِ مَوْتِهِ (سنن ابن ماجه)

    දේව විශ්වාසවන්තයෙකු මිය ගිය පසු ඔහුගේ ක්‍රියාවන් හා යහකම් අතුරින් ඔහුට හිමිවන දෑ වනුයේ ඔහු (ජනයාට) උගන්වා දුන් දැනුමත් එය (ජනයා අතර) පැතිර වීමත් දැහැමි දරුවෙකු අත හැර යාමත් (දැනුමෙන් පිරුණු) එක් පුස්තකයක් ලියා අතහැර යාමත් මස්ජිදයක් ඉදි කිරීමත් මගියන්ට මඩමක් ඉදි කර දීමත් ජල පහසුකම් සලසා දීමත් ජීවත් ව නිරෝගීව සිටිය දී තම ධනයෙන් පරිත්‍යාග කිරීමත් වේ. මේ සඳහා ප්‍රතිඵල ඔහුට ලැබෙමින්ම පවතී යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කළහ. (මූලාශ්‍රය: ඉබ්නු මාජා)

    මස්ජිද් ඉදි කිරීම පාසල් ගොඩ නැගීම ශිෂ්‍යාධාර පිරිනැමීම පර්යේෂණාගාරයන් නිර්මාණය කිරීම පොදු මධ්‍යස්ථාන ඉදි කිරීම පුස්තකාලයන් තැනීම අනාථ නිවෙස් ඉදි කිරීම ජල ව්‍යාපෘතීන් ඇති කිරීම වැනි සමාජයට සෙත සැලසෙන මූලික සේවාවන් සලසා දීමත් සමග සෙසු ජනයාද මේ සඳහා දිරි ගැන්වීමට ආදර්ශමත් පුද්ගලයෙකු ලෙස මුස්ලිම්වරයෙකු සිටිය යුතුයි.

    තමන් වෙනුවෙන් හා සෙස්සන් වෙනුවෙන් කරන්නා වූ මෙම ක්‍රියාවන් සඳහා වූ ප්‍රතිඵල මෙලොවේ සිට මතුලොව දක්වා ලැබෙමින් පවතී. ඔහුගේ මෙම සේවාවෙ හි දැහැමි දරුවෙකු බිහි කිරීමත් අමතක කළ හැකි කරුණක් නොවේ. ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කරන ඔහුගේ නම සමාජයට හඳුන්වා දෙන යහපත් දරුවෙකු ලෙස හැර දමා යා යුතුයි.

    ජරීර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ වාර්තා කරයි. (දිනක්) මධ්‍යාහ්න වේලාවක නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා සමඟ අපි සිටියෙමු. එවිට පාවහන් පැලද නොගත් අඩු පාඩු සහිත ඇඳුම් ඇඳ ගත් අඩ නිරුවතින් ඉරුණු කපු රෙදි හෝ වෙනත් රෙදි වර්ගයක් ඇඳගත් පිරිසක් තම ගෙලෙහි කඩු එල්ලා ගනිමින් අල්ලාහ්ගේ දූත (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණියහ. ඔවුන්ගෙන් බහුතරයක් මුළර් ගෝත්‍රයට අයත් විය. නැත, ඔවුන් සියල්ලෝම මුළර් ගෝත්‍රිකයින්ය. ඔවුන්ගේ දිළිඳුකම දුටු නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ මුහුණ වෙනස් විය. ක්ෂණිකව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා (අසහන කාරී තත්ත්වයකින්) නිවසට ඇතුළු වී පසුව එළියට ඇවිත් බිලාල් රළියල්ලාහු අන්හු තුමාට අණ කර සිට බිලාල් තුමා ද අදාන් පවසා ඉකාමත් ද පැවසීය. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සලාතය මෙහෙයවා ජනයාට දේශනාවක් කළහ. (එම දේශනාවෙහි) ....

    “මනුෂ්‍යයිනි, එකම ආත්මයකින් නුඹලාව නිර්මාණය කළ නුඹලාගේ පරමාධිපතිට නුඹලා බිය භක්තිමත් වවු. තවද ඔහු එතුළින් එ(ම ආත්මයෙ)හි සහකාරිය නිර්මාණය කළේය. ඔවුන් දෙදෙනාගෙන් පුරුෂයින් හා ස්ත්‍රීන් අධිකව ව්‍යාප්ත කළේය. නුඹලා කවරෙකු පිළිබඳව එකිනෙකා විමසා ගනුයේ ද එවන් වූ අල්ලාහ්ට බිය භක්තිමත් වවු. තවද උපතින් වූ ඥාති සම්බන්ධතාව (විසන්ධි කිරීම)ට ද (නුඹලා බිය වවු.) සැබැවින්ම අල්ලාහ් නුඹලා කෙරෙහි නිරීක්ෂාකාරීය. (අල්-කුර්ආන් 4:1)

    විශ්වාස කළවුනි, අල්ලාහ්ට බිය භක්තිමත් වවු. සෑම ආත්මයක්ම හෙට දින සඳහා (තමන්ට) පෙරටු කර ගත් දෑ පිළිබඳව අවධානය යොමු කරවු. තවද අල්ලාහ්ට බිය භක්තිමත් වවු. සැබැවින්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව් අභිඥානවන්තයාය. (අල්-කුර්ආන් 59:18)

    යන වැකි පාරායනය කර පෙන්වා මුළර් ගෝත්‍රයට දානමාන කරන මෙන් පැවසූහ. එවිට රට ඉඳියක කොටසක් හෝ පරිත්‍යාග කරන මෙන් උපදෙස් දුන්හ.

    එවිගස නබි අනුගාමිකයින් තමන් සතුව තිබූ දීනාර් හා දිර්හම් ඇඳුම් පැලඳුම් ඉරිගු එක් සාඃ එකක ප්‍රමාණයක් බැගින් ද රට ඉඳි එක් සාඃ එකක ප්‍රමාණයක් බැගින් ද පරිත්‍යාග කළහ. එවිට අන්සාරි සහාබිවරයෙකු තම මල්ල පිරෙන්නට බඩු බාහිරාදිය ගෙන ආවේය. එය උසුලා ගත නොහැකිව ඔහුගේ අත වෙව්ලීය. හේතුව ඔහු විසින් එය ඉසිලීමට නොහැකි වූ බැවිනි.

    තවදුරටත් ජනයා තමන්ගේ දානමානයන් රැගෙන පැමිණෙමින් සිටියහ. පසුව ආහාර ද්‍රව්‍යයන්ගෙන් හා ඇඳුම් පැලදුම් වලින් ගොඩවල් දෙකක් රැස් වී තිබෙනු මම දිටිමි. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ මුහුණ ද මනමාලියෙකු මෙන් දීප්තිමත්ව තිබෙනු දිටිමි. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) කවරෙකු ඉස්ලාමයේ එක් අලංකාර ක්‍රියාදාමයක් බිහි කරන්නේ ද ඔහුට ඒ සඳහා වූ කුසල් ද ඔහුගෙන් පසුව ඒ අනුව ක්‍රියා කළවුන්ගේ කුසල් ද ඇත. ඒ වෙනුවෙන් ඔවුන්ගේ කිසිදු කුසලක් අඩු නොවේ.

    එසේම කවරෙකු ඉස්ලාමයේ එක් නපුරු ක්‍රියාදාමයක් බිහි කරන්නේ ද ඔහුට ඒ සඳහා වූ පාපය ද ඔහුගෙන් පසුව ඒ අනුව ක්‍රියා කළවුන්ගේ පාපය ද ඇත. ඒ අනුව ක්‍රියා කළ අයගේ පාපයෙන් කිසිදු අඩුවක් නොවේ යැයි පැවසූහ. (මූලාශ්‍රය: මුස්ලිම්)

    මුස්ලිම් වරයෙකු ශ්‍රේෂ්ඨ මඟ පෙන්වන්නෙකුව සිට පරාර්ථකාමීව පොදු යහපත රකින පුද්ගලයෙකු ලෙස ජීවත් විය යුතුයි යන අරමුණු සහගත මනෝභාවය අල්ලාහ්ගේ දූත නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පෙන්වා දුන්හ.

    කවරෙකු ඉස්ලාමයේ අලංකාර යහ ක්‍රියාවක් කොට තවත් කෙනෙකුව එමගින් දිරිමත් කරන අයුරින් ජීවත් වන්නේ ද ඔහුට ඒ සඳහා කුසල් හිමිවනවාක් මෙන්ම එම යහපත් සේවය ක්‍රියාත්මක කළවුන්ගේ යහපත ද සදහටම ලැබෙමින් පවතී යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ජනයාව දිරි ගැන්වූහ. එබැවින් මෙම සීමාවෙන් එපිට මුස්ලිම්වරයෙකු ඉවත් ව ජීවත් නොවිය යුතුයි.

    හඹා එන යහකම්

    මාහිර් රම්ඩීන්

    මිය ගිය ඇත්තන්ට ප්‍රයෝනය ගෙන දෙන කරුණු.

    මව් පියන් ඇතුළු පවුලේ සාමාජිකයෙක් මරණයට පත් වූ විට ඔහුව නාවා කෆන් කර සලාතය ඉටු කර වළ දැමීමත් සමඟම අපගේ වගකීම් අවසන් නොවෙයි.

    මිය ගිය ඇත්තන් වෙනුවෙන් දරුවන් පවුලේ සාමාජිකයින් කළ යුතු තවත් ඇතැම් වගකීම් ඇත.

    ඒවා පිළිබඳව දැන් අපි අවධානය යොමු කරමු.

    ණය පියවීම

    දෙමාපියන් ඇතුළු ඥාතීන් කවරෙකු හෝ ණය ගැත්තෙකු ලෙස මරණයට පත් වූයේ ද? ඒ පිළිබඳව කිසියම් ආකාරයකින් දැනුවත් කර තිබේ ද? යන්න අවධානය කළ යුතුයි.

    ණය ගැත්තෙකු ලෙස සිටියේ නම් ප්‍රථමයෙන්ම ණය පිය වීම සඳහා ඉදිරිපත් විය යුතුයි. ණය නොපියවා මරණය පත් වීම පාපයකි.

    “මිය ගිය අයගේ දේපළ බෙදා හැරීමට පෙර ඔහුගේ ණය ද අන්තිම කැමැත්ත ද ඉටු කරන මෙන් අල්ලාහ් අණ කර සිටියි. (4:11 වැකිය බලන්න)

    අල්ලාහ්ගේ දූතයාණන්, ජනසාz සලාතය ඉටු කිරීමට පෙර මිය ගිය තැනැත්තා ණය ගැත්තෙකු ලෙස මරණය පත් වූයේ ද යන්න විමසා සිටි බවට පහත සඳහන් හදීසය පවසා සිටියි.

    අපි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා සමඟ සිටින අවස්ථාවක එක් ජනාzසාවක් ගෙන එන ලදී. ගෙන ආ අය නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට සලාතය මෙහෙය වන මෙන් පවසා සිටියහ. මොහු කෙරෙහි කුමක් හෝ ණයක් ඇත්තේ දැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් විමසූහ. එවිට නැතැයි කියන ලදී. කිසියම් වස්තුවක් අතහැර දමා ගියේ ද? යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) නැවතත් ඇසීය. එවිට ද නැතැයි කියන ලදී. එවිට එම ජනාzසාවට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සලාතය මෙහෙය වීය.

    ඉන්පසුව තවත් ජනාzසාවක් ගෙන එන ලදී. සලාතය මෙහෙයවන මෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගෙන් ඉල්ලා සිටියේය. මොහුට ණය කිසියක් තිබේ දැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් විමසූහ. එසේය යැයි කියන ලදී. කිසියම් හෝ වස්තුවක් අතහැර දමා ගියේ දැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් විමසූහ. ඩිනාර් 3ක් අතහැර දමා ගොස් ඇතැයි පිළිතුරු දෙනු ලැබූ විට එම ජනාzසාවට නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් සලාතය මෙහෙය වූහ.

    ඉන් පසුව තවත් ජනාසාවක් ගෙන එන ලදී. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට සලාතය මෙහෙයවන මෙන් ඉල්ලා සිටියෝය. මොහු කුමක් හෝ දෙයක් අතහැර ගියේ දැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) විමසන විට නැතැයි පිළිතුරු දෙන ලදී. මොහුට කිසියම් ණයක් ඇත්තේ දැයි නබි (සල්ලලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් විමසා සිටියහ. එවිට දිනාර් 3ක් ණය ඇත්තේ යැයි පිළිතුරු දෙන ලදී. (ණය ගැත්තාට සලාතය ඉටු නොකර) ඔබම සලාතය මෙහෙයවන්නැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පැවසූහ.

    එම මොහොතේම එහි සිටි අබූ කතාදා (රළියල්ලාලහු අන්හු) තුමා අල්ලාහ්ගේ දූතයාණනි, මම එම ණය භාර ගනිමි. මොහු කෙරෙහි ඔබ සලාතය මෙහෙයවන්නැයි ඉල්ලා සිටියහ. පසුව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ජනාසා සලාතය මෙහෙය වූහ.

    (වාර්තාකරු: සලමත් ඉබ්නු අක්වා රළියල්ලාහු අන්හු, මූලාශ්‍රය: බුහාරි, අහ්මද්, නසාඊ, තිර්මිදි)

    පාපක්ෂමාව අයැදීම

    අපට පෙර මරණයට පත් වූ මුස්ලිම්වරුන් වෙනුවෙන් හා මුඃමින්වරුන් වෙනුවෙන් පාපක්ෂමාව ඇයැද ප්‍රාර්ථනා කිරීමේ පුරුද්දක් කවදත් අප පිළිපැදිය යුතුයි.

    رَبَّنَا اغْفِرْ لَنَا وَلِإِخْوَانِنَا الَّذِينَ سَبَقُونَا بِالْإِيمَانِ

    අපගේ පරමාධිපතියාණනි, අපට ද අපට පෙර විශ්වාසයෙන් ඉදිරියට ගිය අපගේ සහෝදරයන්ට සමාව දෙනු මැනව. (අල්-කුර්අන් 59: 10)

    විශේෂයෙන් දෙමව්පියන් වෙනුවෙන් සමාව ඉල්ලීමට අමතක නොකළ යුතුයි. ඔවුන් අපව බිහි කළ දා පටන් වැඩි වියට පත් වන තෙක් අපගේ කිලිටි පිරිසිදු කර අප වෙනුවෙන්ම දැඩි කැප වීමකින් කටයුතු කළ උදවියයි. අපගේ සතුට වෙනුවෙන් ඔවුන්ගේ සතුට කැප කළ අය වෙති. අප නිදා ගැනීම පිණිස දෑස් අවදියෙන් තබා ගත් අයයි. අපි කුස පිරෙන්නට ආහාර ගැනීම සඳහා කුසගින්නෙන් දවස් ගත කළ අයයි. කිකිළිය තම පැටවුන් රකිනවාක් මෙන් අපව රැක බලා පෝෂණය ලබා දුන් අයයි. එබැවින් ඔවුන් වෙනුවෙන් පාපක්ෂමාව ඇයැද සිටිමින් අල්ලාහ්ගේ දයාව පතා කබ්ර් හි වේදනාවෙන් ද නිරයේ වේදනාවෙන් ද පරලොව පරීක්ෂාවන්ගෙන් ද ආරක්ෂා කර ස්වර්ගයට ඇතුළත් කරන මෙන් කවදත් අවංක සිතින් ප්‍රාර්ථනා කළ යුතුයි.

    අපව මැවූ දෙවියන්ටත් අපව බිහි කළ දෙමාපියන්ටත් කෘතඥතාව පුද කිරීමට අමතක නොකළ යුතුයි. දෙමව්පියන් සඳහා ප්‍රාර්ථනා කරන ක්‍රමය අල්ලාහ් පහත සඳහන් අයුරින් උගන්වා දෙන්නේය.

    رَبَّنَا اغْفِرْ لِي وَلِوَالِدَيَّ وَلِلْمُؤْمِنِينَ يَوْمَ يَقُومُ الْحِسَابُ

    අපගේ පරමාධිපතියාණනි, මාගේ ද මාගේ දෙමාපියන්ගේ ද දේව විශ්වාසවන්තයින්ගේ ද පාපයන් (පරලොව) විනිශ්චය දිනයේ සමාව දෙනු මැනව! (අල්-කුර්ආන් 14:41)

    وَقُلْ رَبِّ ارْحَمْهُمَا كَمَا رَبَّيَانِي صَغِيرًا

    මාගේ පරමාධිපතියාණනි, මා කුඩා අවදියේ සිටින විට (මාගේ දෙමව්පියන් වන) ඔවුන් දෙදෙනා මා හදා වඩා ගත් අයුරින්ම ඔවුන් දෙදෙනාට කරුණා කරනු මැනව! (අල්-කුර්ආන් 17:24)

    දෙමව්පියන් වෙනුවෙන් අපි පතන පාපක්ෂමාව හේතුවෙන් ඔවුන්ගේ තරාතිරම උසස් කරවනු ලැබෙයි.

    عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِنَّ الرَّجُلَ لَتُرْفَعُ دَرَجَتُهُ فِي الْجَنَّةِ فَيَقُولُ أَنَّى هَذَا فَيُقَالُ بِاسْتِغْفَارِ وَلَدِكَ لَكَ (سنن ابن ماجه)

    මිනිසාගේ තරාතිරම් ස්වර්ගයේ උසස් කරවනු ලබයි. එවිට ඔහු කෙසේ නම් මෙය ලැබුණේ දැයි විමසයි. ඔබේ දරුවා ඔබ වෙනුවෙන් පාපක්ෂමාව ඇයදීම හේතුවෙන් ලැබුණු උසස් භාවයයි යනුවෙන් පවසනු ලැබේ යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූහ.

    (වාර්තාකරු : අබූ හුරෙයිරා, මූලාශ්‍රය: ඉබ්නු මාජා)

    ස්වර්ගයේ අපගේ දෙමාපියන්ගේ තරාතිරම් උසස් වීම සඳහා ජීවිත කාලය පුරාම සෑම අවස්ථාවක දීම ප්‍රාර්ථනා කිරීමට අප අමතක නොකළ යුතුයි.

    පරිත්‍යාග කිරීම

    දෙමව්පියන් සඳහා, ඥාතීන් සඳහා ඔවුන්ගේ නාමයෙන් පරිත්‍යාගයන් කරන විට ඔවුන්ගේ පාපයන් සමා කරන ලැබේ.

    عَنْ عَائِشَةَ أَنَّ رَجُلًا أَتَى النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ يَا رَسُولَ اللَّهِ إِنَّ أُمِّيَ افْتُلِتَتْ نَفْسَهَا وَلَمْ تُوصِ وَأَظُنُّهَا لَوْ تَكَلَّمَتْ تَصَدَّقَتْ أَفَلَهَا أَجْرٌ إِنْ تَصَدَّقْتُ عَنْهَا قَالَ نَعَمْ

    කෙනෙකු නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ මාගේ මව වසීය්යත් (අන්තිම කැමැත්ත) ප්‍රකාශ නොකළ තත්ත්වයේ මරණයට පත් වූවාය. ඇය මරණ මොහොතේ කතා කර ඇත්නම් (සදකා) දෙන මෙන් පවසනු ඇතැයි මම විශ්වාස කරමි. එබැවින් මම ඇය වෙනුවෙන් පරිත්‍යාග කරන්නේ නම් එහි කුසල් ඇයට ලැබේ වි දැයි විමසුවේය. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා එසේය (කුසල් හිමි වන්නේය) යැයි පැවසූහ.

    (වාර්තාකරු: ආඉෂා රළියල්ලාහු අන්හා, මූලාශ්‍රය: මුස්ලිම්)

    عَنْ أَبِي هُرَيْرَةَ أَنَّ رَجُلًا قَالَ لِلنَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِنَّ أَبِي مَاتَ وَتَرَكَ مَالًا وَلَمْ يُوصِ فَهَلْ يُكَفِّرُ عَنْهُ أَنْ أَتَصَدَّقَ عَنْهُ قَالَ "نَعَمْ"

    සැබැවින්ම මාගේ පියා කිසිදු වසීයතයක් නොකරම දේපළ හැර දමා මරණයට පත් විය. ඔහු වෙනුවෙන් ඒවා මම පරිත්‍යාග කළේ නම් ඔහුගේ පාපයට වන්දියක් ලෙස පත්වන්නේ දැයි මිනිසෙකු නබි (සල්ලලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසූ විට, එතුමාණෝ එසේය යැයි පැවසූහ. (වාර්තාකරු: අබූ හුරෙයිරා රළියල්ලාහු අන්හු, මූලාශ්‍රය: මුස්ලිම්)

    عَنْ ابْنِ عَبَّاسٍ أَنَّ رَجُلًا قَالَ: "يَا رَسُولَ اللهِ إِنَّ أُمِّي تُوُفِّيَتْ أَفَيَنْفَعُهَا إِنْ تَصَدَّقْتُ عَنْهَا" فَقَالَ: "نَعَمْ" قَالَ: "فَإِنَّ لِي مَخْرَفًا وَإِنِّي أُشْهِدُكَ أَنِّي قَدْ تَصَدَّقْتُ بِهِ عَنْهَا" (سنن ابي داود)

    මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ අල්ලාහ්ගේ දූතයාණනි, මාගේ මව මිය ගියාය. මගේ මව වෙනුවෙන් පරිත්‍යාග කළේ නම් එය ප්‍රයෝජනවත් වේවි දැයි විමසුවේය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් එසේය යැයි පැවසූහ. මා සතු එක් වත්තක් ඇත. එය මාගේ මව වෙනුවෙන් මම පරිත්‍යාග කරන බවට ඔබව සාක්ෂිකරුවෙකු ලෙස පත් කරන්නෙමි යැයි එම මිනිසා පැවසුවේය.

    (වාර්තා කරු: ඉබ්නු අබ්බාස් රළියල්ලාහු අන්හු. මූලාශ්‍රය: අබූ දාවූද්)

    පොදු පහසුකම් සලසා දීම

    මිය ගිය අයගේ නමින් පොදු සේවා ව්‍යාපෘතීන් ඇරඹීම අපි දකින්නෙමු. උදාහරණයක් ලෙස අනුස්මරණ ශාලා තැනීම, බස් නැවතුම් පොළවල් නිර්මාණය කිරීම, වෛද්‍ය කළමනා පරිත්‍යාග කිරීම වැනි දෑ සඳහන් කළ හැක. මෙවැනි පොදු සේවාවන් මගින් සමාජයට සෙත සැලසෙයි. අල්ලාහ්ගේ දූතයාණෝ මෙවන් පොදු ව්‍යාපෘතීන් මෙම සමූහයාට හඳුන්වා දුන්හ. පහත සඳහන් හදීසයේ ද මිනිසාට අවශ්‍ය මූලික පහසුකම් මිය ගිය අයගේ නාමයෙන් සිදු කර දීමට නියෝග කරයි.

    عَنْ سَعْدٍ قَالَ : قُلْتُ : ياَ رَسُوْلَ اللهِ إِنَّ أُمِّيْ مَاتَتْ أَفَأَتَصَدَّقُ عَنْهَا ؟ فَقَالَ : « نَعَمْ » ، فَقُلْتُ : أَيُّ صَدَقَةٍ أَفْضَلُ ؟ قَالَ : « إِسْقَاءُ الْماَءِ »

    සඃද් ඉබ්නු උබාදා (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණනි, මාගේ මව මිය ගියාය. ඇය වෙනුවෙන් මම පරිත්‍යාක කරන්නදැයි විමසුවෙමි. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් එසේය යැයි පැවසූහ. පරිත්‍යාගයේ උතුම් වන්නේ කුමක්දැයි විමසුවේය. එවිට ජලය සැපයීම යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ. (මූලාශ්‍රය: ඉබ්නු හුසෙයිමා)

    උපවාසයේ නියැළීම

    මිය ගිය තැනැත්තා ජීවත්ව සිටිය දී රමළාන් කාල උපවාසයන් හි නිරත වීමට නොහැකිව ඒ වෙනුවෙන් ෆිද්යා ලබා නොදුන් කෙනෙකු ලෙස මරණයට පත් ව ඇත්නම් ඔහු වෙනුවෙන් එම උපවාසය දරුවන් ඉටු කළ යුතුයි. එමෙන්ම කිසියම් හෝ හේතුවක් මත උපවාසයේ නිරත වන බවට භාර වී, එම උපවාසයේ නිරත නොවූ කෙනෙකු ලෙස මරණයට පත් වුව ද දරුවන් එම උපවාසය රැකිය යුතුයි.

    عَنْ ابْنِ عَبَّاسٍ رَضِيَ اللهُ عَنْهُمَا أَنَّ امْرَأَةً أَتَتْ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَتْ إِنَّ أُمِّي مَاتَتْ وَعَلَيْهَا صَوْمُ شَهْرٍ فَقَالَ أَرَأَيْتِ لَوْ كَانَ عَلَيْهَا دَيْنٌ أَكُنْتِ تَقْضِينَهُ قَالَتْ نَعَمْ قَالَ فَدَيْنُ اللهِ أَحَقُّ بِالْقَضَاءِ (متفق عليه)

    අල්ලාහ්ගේ දූතයාණනි! එක් මසක කාලයක් උපවාසය අනිවාර්යය වූ තත්ත්වයේ මගේ මව මරණයට පත් වුවාය. එය ඇය වෙනුවෙන් මම ඉටු කළ හැකි දැයි මිනිසෙකු විමසුවේය. එයට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා, ඔබේ මවට ණය ඇත්තේ නම් එය ඔබ ඉටු නොකරන්නේ දැ?යි විමසුවේය. එයට එම මිනිසා එසේය යැයි පැවසීය. එසේ නම් අල්ලාහ්ගේ ණය පියවන්න. ණය පියවීමට ඔහු ඉතා සුදුස්සෙකු වන්නේය යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ. (මූලාශ්‍රය: බුහාරි මුස්ලිම්)

    عَنْ عَائِشَةَ رَضِيَ اللهُ عَنْهَا أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ مَنْ مَاتَ وَعَلَيْهِ صِيَامٌ صَامَ عَنْهُ وَلِيُّهُ (أخرجه البخاري)

    කවරෙකු උපවාසය අනිවාර්යය වූ තත්ත්වයේ මරණයට පත් වූයේ ද ඔහු වෙනුවෙන් ඔහුගේ භාරකරු උපවාසයේ නිරත විය යුතු යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූහ.

    (වාර්තා කරු ආඉෂා රළියල්ලාහු අන්හු, මූලාශ්‍රය: බුහාරි)

    හජ් උම්රා කිරීම

    දෙමව්පියන් ජීවතුන් අතර සිටිය දී හජ් ඉටු කිරීමට ඔවුනට ශක්තිය නොමැති නම් ඔවුන් වෙනුවෙන් දරුවන් හජ් හෝ උම්රා ඉටු කරන්නේ නම් ප්‍රථමයෙන්ම දරුවන් තමන් වෙනුවෙන් හජ් උම්රා කළ යුතුයි. ඉන් පසුව (ජීවතුන් අතර සිටින හෝ මිය ගිය) ඥාතීන් සාමාජිකයින් ඇතුළු දෙමව්පියන් වෙනුවෙන් ඉටු කළ යුතුයි.

    عَنْ ابْنِ عَبَّاسٍ رَضِيَ اللهُ عَنْهُمَا قَالَ "أَتَى رَجُلٌ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ لَهُ إِنَّ أُخْتِي قَدْ نَذَرَتْ أَنْ تَحُجَّ وَإِنَّهَا مَاتَتْ فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَوْ كَانَ عَلَيْهَا دَيْنٌ أَكُنْتَ قَاضِيَهُ قَالَ نَعَمْ قَالَ فَاقْضِ اللهَ فَهُوَ أَحَقُّ بِالْقَضَاءِ" (أخرجه البخاري)

    මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ මාගේ සහෝදරිය හජ් ඉටු කරන බවට චේතනා කළාය. නමුත් හජ් නොකරම මිය ගියාය. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ඔබේ සහෝදරියට ණයක් ඇත්නම් එය ඔබ පියවන්නේ දැයි විමසීය. එසේය මම පියවන්නෙමි යැයි පැවසුවේය. එසේ නම් අල්ලාහ්ගේ ණය ඉටු කරන්න. ණය ඉටු කරන්නට ඔහුමය සුදුස්සා යැයි නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් පැවසූහ. (මූලාශ්‍රය: බුහාරි)

    عَنْ ابْنِ عَبَّاسٍ رَضِيَ اللهُ عَنْهُمَا: "أَنَّ امْرَأَةً مِنْ جُهَيْنَةَ جَاءَتْ إِلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَتْ "إِنَّ أُمِّي نَذَرَتْ أَنْ تَحُجَّ فَلَمْ تَحُجَّ حَتَّى مَاتَتْ أَفَأَحُجُّ عَنْهَا" قَالَ "نَعَمْ، حُجِّي عَنْهَا أَرَأَيْتِ لَوْ كَانَ عَلَى أُمِّكِ دَيْنٌ أَكُنْتِ قَاضِيَةً اقْضُوا اللهَ فَاللهُ أَحَقُّ بِالْوَفَاءِ" (أخرجه البخاري)

    ජුහෙයින් ගෝත්‍රයට අයත් කාන්තාවක් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ මාගේ මව හජ් ඉටු කරන බවට භාර කළාය. නමුත් ඇය මිය යන තුරුම හජ් ඉටු නොකළාය. ඇය වෙනුවෙන් මම හජ් ඉටු කරන්නදැ?යි විමසුවෙමි. නබි (සල්ලලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ඔබේ මවට ණය තිබුණේ නම් එය ඔබ ඉටු කරනවා නොවේ දැයි විමසුහ. අල්ලාහ්ගේ ණය ඉටු කරන්න. ණය ඉටු කරන්නට ඔහුමය ඉතා සුදුස්සා වනුයේ යැයි පැවසූහ.

    (වාර්තාකරු: ඉබ්නු අබ්බාස් රළියල්ලාහු අන්හු, මූලාශ්‍රය: බුහාරි)

    عَنْ ابْنِ عَبَّاسٍ رَضِيَ اللهُ عَنْهُمَا قَالَ جَاءَتْ امْرَأَةٌ مِنْ خَثْعَمَ عَامَ حَجَّةِ الْوَدَاعِ قَالَتْ يَا رَسُولَ اللهِ إِنَّ فَرِيضَةَ اللهِ عَلَى عِبَادِهِ فِي الْحَجِّ أَدْرَكَتْ أَبِي شَيْخًا كَبِيرًا لَا يَسْتَطِيعُ أَنْ يَسْتَوِيَ عَلَى الرَّاحِلَةِ فَهَلْ يَقْضِي عَنْهُ أَنْ أَحُجَّ عَنْهُ قَالَ "نَعَمْ" (أخرجه البخاري)

    නබි )සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්( තුමාණන්ගේ අවසන් හජ් අවස්ථාවේ කස්අම් නම් ගෝත්‍රයට අයත් කාන්තාවක් පැමිණ අල්ලාහ්ගේ දූතයාණනි! අල්ලාහ් තම ගැත්තන් කෙරෙහි හජ් අනිවාර්යය කර ඇත්තේය. මාගේ පියා වයෝවෘද්ධයෙකි. වාහනයේ නැග අසුන් ගැනීමට ඔහුට නොහැක. ඔහු වෙනුවෙන් මට හජ් ඉටු කළ හැකිදැ?යි විමසුවාය. එයට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් එසේය යැයි පැවසූහ.

    වාර්තාකරු: ඉබ්නු අබ්බාස් රළියල්ලාහු අන්හු, මූලාශ්‍රය: බුහාරි)

    عَنْ ابْنِ عَبَّاسٍ أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سَمِعَ رَجُلًا يَقُولُ "لَبَّيْكَ عَنْ شُبْرُمَةَ" قَالَ "مَنْ شُبْرُمَةُ" قَالَ "أَخٌ لِي" أَوْ "قَرِيبٌ لِي" قَالَ "حَجَجْتَ عَنْ نَفْسِكَ" قَالَ "لَا" قَالَ "حُجَّ عَنْ نَفْسِكَ ثُمَّ حُجَّ عَنْ شُبْرُمَةَ" (ابو داود)

    මිනිසෙකු නබි (සල්ලල්ලලාහු අලෙයිහි වසල්ලම්) වෙත පැමිණ අල්ලාහ්ගේ දූතයාණනි! ෂුබ්රුමා වෙනුවෙන් හජ් කිරීමට තල්බියා පවසා ඇත්තෙමි යැයි පැවසුවේය. ෂුබ්රුමා කවුරුන් දැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා විමසූහ. ඔහු මාගේ සහෝදරයාය, එසේ නොමැති නම් කිට්ටු ඥාතියාය යැයි පැවසූවේය. ඔබ වෙනුවෙන් හජ් ඉටු කර ඇත්තේ දැයි නබි තුමාණෝ විමසූ විට ඔහු නැතැයි පිළිතුරු දුන්නේය. ප්‍රථමයෙන්ම ඔබ වෙනුවෙන් හජ් ඉටු කරන්න. පසුව ෂුබ්රුමා වෙනුවෙන් හජ් ඉටු කරන්නැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පැවසූහ. (වාර්තා කරු: ඉබ්නු අබ්බාස් රළියල්ලාහු අන්හු, මූලාශ්‍රය අබූ දාවූද්)

    භාරයන් ඉටු කිරීම

    අල්ලාහ් හා ඔහුගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් අනුමත කළ දෑ හි කෙනෙකු භාරයක් තබා, එය ඉටු කිරීමට පෙර මරණයට පත් වූයේ නම් පමණය එම භාරය භාරකරුවා විසින් ඉටු කළ යුත්තේ. කබ්රය රෙදි කඩකින් ආවරණය කරමි. තෙල් වක්කරමි. කන්දුරි දෙමි. සොහොනේ හත් වරක් කැරකෙමි යනුවෙන් භාර කළේ නම් එය ඉටු කිරීම අනිවාර්යය නොවේ. අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ගේ මඟ පෙන්වීමට පටහැණිව මෙම භාරයන් පවතින බැවින් ඒවා ඉටු කිරීමෙන් වැළකී සිටිය යුතුයි.

    عَنْ ابْنِ عَبَّاسٍ أَنَّهُ قَالَ: اسْتَفْتَى سَعْدُ بْنُ عُبَادَةَ الْأَنْصَارِيُّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي نَذْرٍ كَانَ عَلَى أُمِّهِ تُوُفِّيَتْ قَبْلَ أَنْ تَقْضِيَهُ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ "اقْضِهِ عَنْهَا" (البخاري)

    මාගේ මව කෙරෙහි එක් භාරයක් තිබිණ. එය ඉටු කිරීමට පෙර ඇය මරණයට පත් වූවාය. (එයට කුමක් කළ හැකි දැයි) සඃද් ඉබ්නු උබාදා (රළියල්ලාහු අන්හු) නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගෙන් ෆත්වා විමසීය. එය ඇය වෙනවෙන් ඉටු කරන්නැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තීන්දු කළේය. (වාර්තාකරු: ඉබ්නු අබ්බාස් රළියල්ලාහු අන්හු, මූලාශ්‍රය: බුහාරි)

    عَنْ ابْنِ عَبَّاسٍ أَنَّ امْرَأَةً رَكِبَتْ الْبَحْرَ فَنَذَرَتْ إِنْ نَجَّاهَا اللهُ أَنْ تَصُومَ شَهْرًا فَنَجَّاهَا اللهُ فَلَمْ تَصُمْ حَتَّى مَاتَتْ فَجَاءَتْ ابْنَتُهَا أَوْ أُخْتُهَا إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَمَرَهَا أَنْ تَصُومَ عَنْهَا (سنن ابي داود)

    කාන්තාවක් මුහුදෙ හි ගමන් කරන විට, අල්ලාහ් ඇයව මුදවා ගත්තේ නම් මසක කාලයක් උපවසායේ නිරත වන බව භාරයක් වූවාය. අල්ලාහ් ඇයව මුදවා ගත්තේය. නමුත් ඇය මිය යන තුරුම එම උපවාසය ඉටු නොකළාය. මෙම තත්ත්වයේ එම කාන්තාවගේ දැරිය හෝ සහෝදරිය නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ මේ ගැන විමසා සිටියාය. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා එම කාන්තාව වෙනුවෙන් ඔබ උපවාසයේ නිරත වන්නැයි ඇයට අණ කළහ. (වාර්තා කරු: ඉබ්නු අබ්බාස් රළියල්ලාහු අන්හු. මූලාශ්‍රය: අබූ දාවූද්)

    පවුල් සම්බන්ධතාව රැකීම

    පවුලේ කෙනෙකු මරණයට පත් වූ පසු, ඔහුගේ පවුල සමඟ ඇති සම්බන්ධතාව ද මරණයට පත් නොකළ යුතුයි. එලෙස මව්පියන් මරණයට පත් වූ විට ඔවුන් අතර පැවතුණු ඥාති සම්බන්ධකම් විසන්ධි නොකළ යුතුයි. දෙමාපියන්ගේ මිතුරන් හමු වූ විට තම දෙමාපියන්ට පෙන්වන ගෞරවය ලබා දී ඔවුන්ව ගරු කළ යුතුයි.

    අබ්දුල්ලා ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) මක්කාහ්වට යන අතරවාරයේ, එක් ගම් වැසියෙකු හමු වූ විට ඔහුට සලාම් පවසා තමන් ගමන් කරමින් සිටි බූරුවා මත ඔහුට ගොඩ නංවා ගමන් කළහ. තවද ඔහුට තම හිසෙහි තිබුණු ජටාව (ගලවා) පිරි නැමූහ. එවිට අපි ඔහුට අල්ලාහ් ඔබව නිවැරදි කරත්වා! ඔවුන් ග්‍රාමවාසීහුය. ඔවුනට ස්වල්පයක් පිරිනැමුව ද තෘප්තියට පත්වනු ඇතැයි පැවසුවෙමු. එයට අබ්දුල්ලාහ් බින් උමර් (රළියල්ලාහු අන්හු) තුමා, මොහුගේ පියා (මාගේ පියා) උමර් බින් අල්-කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමාගේ සෙනෙහෙවන්තයෙකු වූහ. අල්ලාහ්ගේ දූත (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් දැහැමි කරුණු වලින් ඉතා උතුම් වන්නේ ශ්‍රේෂ්ඨ දරුවෙකු තම පියාට හිතවත් අය සමඟ යහ සම්බන්ධතාවන් පැවැත්වීම යැයි පවසා සිටිනු මම සවන් දුනිමි. (මූලාශ්‍රය මුස්ලිම්)

    නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් (මිය ගිය එතුමාගේ බිරිය වන) කදීජා (රළියල්ලාහු අන්හා) තුමියව අධිකව මෙනෙහි කරන්නෙකු වූහ. ඇතැම් අවස්ථා වල එළුවෙකු කැපූ විට එය කොටස් කර කදීජා (රළියල්ලාහු අන්හා) තුමියගේ මිතුරියන් වෙත එවන්නේ යැයි ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය වාර්තා කරන්නීය. (මූලාශ්‍රය: බුහාරි)

    කත්තම් ෆාතිහා

    සහෝදරවරුනි! මෙහි සඳහන් කර ඇති කරුණු සම්බන්ධව මිය ගිය අපගේ දෙමව්පියන් ඇතුළු පවුලේ සාමාජිකයින් කෙරෙහි අප අවධානය යොමු කර ඇත්තේ දැයි කරුණාකර සිතා බලන්න.

    සහාබි වරු නබි තුමාණන්ගෙන් ඉගෙන ගත් පාඩම් අපගේ මුස්ලිම් පවුල් හදාරා ඇත්තේ දැයි ද අවධානය යොමු කර බලන්න.

    ජනාzසා ගෙදර අය ඉතා දුකින් හා ශෝකයෙන් සිටින අවස්ථාවක කත්තම් ෆාතිහා වෙනුවෙන් දහස් ගණනක් ණය ලබා කටට රසවත් කෑම පිළියෙල කර තබයි. අසල් වැසියන් හෝ එහි පැමිණෙන ජනයා හෝ ජනාzසා ගෙදර අයට ආහාර සපයා සැනසීම වෙනුවට එහි ඉඳ කෑම ගැනීම කවර ආකාරයක යුක්ති සහගත ද? එය නිවස ගිනි ගෙන තිබිය දී සුරැට්ටුව පත්තු කරන්නට ගින්න පතනවාක් මෙනි.

    ජඃෆර් (රළියල්ලාහු අන්හු) තුමා ඝාතනය කරනු ලැබූ පුවත නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට දන්වා සිටි අවස්ථාවේ දී ජඃෆර්ගේ නිවැසියන්ට ශෝකයට පත් වීමේ පුවත පැමිණ ඇත. එබැවින් ජඃෆර්ගේ පවුලේ අයට ආහාර පිළි‍යෙල කර දෙන්නැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූහ.

    වාර්තාකරු: අබ්දුල්ලාහ් ඉබ්නු ජඃෆර් රළියල්ලාහු අන්හු, මූලාශ්‍රය: අබූ දාවූද් ඉබ්නු මාජා)

    මාගේ අසල්වැසියෙකු මරණයට පත් වූ අවස්ථාවේ, මෙවැනි සුන්නත් ක්‍රියාවක් කර සනසා ඇත්තෙමු ද?

    මිය ගිය අය වෙනුවෙන් කත්තම් ෆාතිහා පාරායනා කර රාතිබ් පවත්වා මව්ලූද් කියවා 3,7,15,20,30,40 හා 60 යනුවෙන් දානයන් ලබා දීමත්, වාර්ෂික දානය ලබා දීමත් සුන්නත් නම් එම උතුම් සුන්නාහ්ව පිළිබඳව නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පෙන්වා දෙන්නට තිබුණා නොවේ ද? මේ අහසට පහළින් පොළොවට ඉහළින් අල්ලාහ්ගේ දහම ක්‍රියාත්මක කිරීම සඳහා කැප වී ජීවත් වූ ශ්‍රේෂ්ඨ උතුම් අයයි සහාබිවරුන්. ස්වර්ගය පිළිබඳව ශුභාරංචි දෙනු ලැබූ එම සමාජයේ නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ජීවතුන් අතර සිටිය දී, කත්තම් ෆාතිහා ව ක්‍රියාවට නංවා නොතිබිණේ නම් පසුව ඇයි ඔබ බිය විය යුත්තේ? කරදර විය යුත්තේ?

    සහෝදරයිනි, නිරයෙන් දුරස් වී ස්වර්ගය වෙත කැටුව යෑමට මඟ පෙන්වන්නෙකු ලෙස පැමිණි අල්ලාහ්ගේ අවසන් දූත නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්, එතුමාණන්ව සැබෑ ලෙස විශ්වාස කළ ජනයාට එතුමාණන් ජීවත් ව පෙන් වූ ජීවන ක්‍රමය ප්‍රමාණවත් වෙයි.

    එබැවින් ඔබේ ධනය හා කාලය නාස්ති නොවෙයි. දෙමව්පියන් ඇතුළු ඥාතීන්ගේ නාමයෙන් පරිත්‍යාගයන් කරන්න. සමාජයට හා රටට සෙතක් වන දෑ ඉටු කිරීමට ඉදිරිපත් වන්න. කිසිදු සැකයක් නොමැති මතු ලොව දක්වා කුසල් ලැබෙමින්ම පවතී.

    සටහන: සහෝදරයිනි, මිය ගිය අයගේ නාමයෙන් සූරා යාසීන් හෝ මන්සිල් බෙදා හරිනු ලැබේ. දූවිලි පිස දැමීමට කිසිවෙකු නොමැතිව ඒවා මස්ජිදයන් හි පැත්තකට දමා ඇත. ඊට වඩා පාරායනය කිරීමටත් ඉගෙන ගැනීමටත් පහසුකම් නොමැති දරුවන්ට කුර්ආන් ඇතුළු පොත්පත්, පාසල් උපකරණ ලබා දෙන්න. ඒවා ඉතා ප්‍රයෝජනවත් වෙයි.

    මරණාසන්න මොහොතේ සිට මිනී වළ දක්වා

    මුස්ලිම්වරයෙකුගේ මරණාසන්න මෙහොතේ දී කලිමාව කියා දීමේ පටන්, වළ දමන තෙක් විශේෂයෙන් පැවසිය යුතු ප්‍රාර්ථනාවන් හා සමහර විනයන් පිළිබඳ කෙටියෙන් බලමු.

    කලිමාව කියා දීම

    මරණාසන්න මොහෝතේ සිටින අයට ලා ඉලාහ ඉල්ලල්ලාහු යනුවෙන් කියා දෙන්න. කවරෙකුගේ අවසන් වචනය ලා ඉලාහ ඉල්ලල්ලාහු යැයි පවතින්නේ ද ඔහු ස්වර්ගයට පිවිසෙන්නේය යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූහ. (වාර්තාකරු: මුආද් රළියල්ලාහු අන්හු. මූලාශ්‍රය : මුස්ලිම්, අබූ දාවූද්)

    ඉවසීමෙන් කටයුතු කිරීම

    කෙනෙකු මරණයට පත් වූ විට විලාප නැගීම ඇඳුම් ඉරා දමා මුහුණට ගසා ගැනීම වැනි දෑ අනුමත නොවෙයි. ලොවෙහි බිහි වන සියලු දෙනා මරණයට පත් විය යුතුමය. මට පෙර ඔහු ඉකුත් විය. ඔහුගේ පාපයන් හා අපගේ පාපයන් අල්ලාහ් ක්ෂමා කරනු මැනව! අප ද දිනක මරණයට පත් වන්නේමය. ඉන්නා ලිල්ලාහි වඉන්නා ඉලෙයිහි රාජිඌන් යනුවෙන් පවසා ඉවසා දරා ගනිමින් අල්ලාහ්ගෙන් යහපත අපේක්ෂා කළ යුතුයි. එවිට අපට අල්ලාහ්ගේ දයාව හා කරුණාව හිමි වනු ඇත.

    කවර මුස්ලිම්වරයෙකු හෝ තමන්ට විපතක් අත්වන අවස්ථාවේ

    إِنَّا لِلهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ ، اللَّهُمَّ أْجُرْنِي فِي مُصِيبَتِي وَأَخْلِفْ لِي خَيْرًا مِنْهَا

    නියත වශයෙන්ම අප අල්ලාහ්ටම සතු වූවන් වෙමු. ඔහු වෙතම නැවත යන්නන් වෙමු. යා! අල්ලාහ්, මා ලබා ඇති මේ විපතෙහි කුසල් පිරිනමා එයට වඩා විශිෂ්ඨ දෙයක් ඒ වෙනුවට මට ලබා දෙනු මැනව! යනුවෙන් පැවසුවේ නම්, අල්ලාහ් ඔහුට අත් වූ විපත වෙනුවට කුසල් පිරිනමන්නේ යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පැවසූහ.

    (මූලාශ්‍රය: මුස්ලිම්)

    මය්යතයක් බලන විට

    මයියතයක් බලන විට ප්‍රාර්ථනා කළ යුතුයි. අබූ සලමා (රළියල්ලාහු අන්හු) තුමා මිය ගිය අවස්ථාවේ නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පැමිණ පහත සඳහන් අයුරින් ප්‍රාර්ථනා කළහ.

    اللَّهُمَّ اغْفِرْ لِأَبِي سَلَمَةَ وَارْفَعْ دَرَجَتَهُ فِي الْمَهْدِيِّينَ وَاخْلُفْهُ فِي عَقِبِهِ فِي الْغَابِرِينَ وَاغْفِرْ لَنَا وَلَهُ رَبَّ الْعَالَمِينَ اللَّهُمَّ افْسَحْ لَهُ فِي قَبْرِهِ وَنَوِّرْ لَهُ فِيهِ

    යා! අල්ලාහ්, අබූ සලාමාට සමාව දෙනු මැනව! යහමඟ ලැබූවන් අතර ඔහුගේ නිලය උසස් කරනු මැනව! ඔහු හැර දමා ගිය දරුවනට ඔහු වෙනුවට තව කෙනෙකු පත් කරනු මැනව! සමස්ත විශ්වයේ පරමාධිපතියාණනි, අපව ද ඔහුව ද කමා කරනු මැනව! ඔහුගේ මිනි වළ විස්තීරණය කරනු මැනව! එහි ආලෝකය ඇති කරනු මැනව!

    (වාර්තා කරු: උම්මු සලමා රළියල්ලාහු අන්හු. මූලාශ්‍රය: මුස්ලිම්, අබූ දාවූද්)

    මිය ගිය තැනැත්තාගේ (අබූ සලමාගේ) නම පවසා නබි තුමාණන් ප්‍රාර්ථනා කළ බැවින් අප ද බලන්නට යන ජනාසාවෙහි නම පවසා මෙම ප්‍රාර්ථනාවම පැවසිය යුතුය. බොහෝ අයට මෙම ප්‍රාර්ථනාව නොදන්නා බැවින් සූරාහ් ෆාතිහාව පවසයි. ඇතැමුන් සලාවත් පවසයි. මෙය වරදකි. ඉහත සඳහන් ප්‍රාර්ථනාව පැවසීම සිරිතක් බවට පත් කර ගත යුතුයි. මෙම ප්‍රාර්ථනාව මගින් කරුණු දෙකක් නබි තුමාණන් ඉගැන්වූහ.

    1. මයියතය වෙනුවෙන් සමාව අයැද සිටීම

    2. මිය ගිය ඔහු වෙනුවට තවත් කෙනෙකු ඔහුගේ පවුලේ අයට පත් කරන මෙන් පැතීම

    ඉක්මණින් ගෙන යෑම

    ජනාzසාව (ඔසවා ගෙන යන විට) ඉක්මණින් ගෙන යන්න. එය (මය්යතය) යහපත ඉටු කර ඇත්නම් එම යහපත කරා ඉක්මණින් ගෙන යන්න. එසේ නොමැතිනම් එක් පාපයක් ඔබගේ උරහිසින් (ඉක්මණින්) බස්සන්නෙහිය යනුවෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූහ. (වාර්තාකරු: අබූ හුරෙයිරා රළියල්ලාහු අන්හු. මූලාශ්‍රය: බුහාරි)

    ජනාzසාව ඔසවා ගෙන යන අවස්ථාවේ හඬ නගා දික්ර් හා කලිමාවන් පැවසීමට කිසිදු හදීස් මූලාශ්‍රයක් නොමැත. නිහැඬියාවෙන් ඔසවා ගෙන යෑමය නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පෙන්වා දුන් ක්‍රමය වන්නේ. මෙයට පටහැණිව ශබ්දය උස් කිරීම සුන්නාහ්වට පටහැණි ක්‍රියාවක් වේ යැයි සමස්ත ලංකා ජම්ඉය්යතුල් උලමා සභාව 06-06-1980 (ෆත්වා) තීන්දුව ප්‍රකාශ කර ඇති බව විශේෂයෙන් මෙහි දී සඳහන් කළ යුතුයි.

    ජනාzසා සලාතයේ ක්‍රමය

    ජනාzසාවට සහභාගි වන්නන් ජනාzසා සලාතයේ ද වළ දැමීමෙහි ද අවසන් දක්වාම සහභාගී වීම ඉතා උතුම්ය. එය සුන්නාහ්වට ඉතා සමීප ක්‍රියාදාමයකි.

    කවරෙකු ජනාzසා සලාතයට සහභාගී වන්නේ ද ඔහුට එක් කීරාත් කුසල් ඇත. කවරෙකු වළ දමන තෙක් සහභාගි වන්නේ ද ඔහුට කීරාත් දෙකක කුසල් ඇත යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ. එවිට කීරාත් දෙකක් යනු කුමක් දැයි විමසන ලදී. එයට එතුමා විශාල කඳු දෙකක් මෙන් වූ ප්‍රමාණය(ක කුසල්) යැයි පැවසූහ. (තවත් වාර්තාවක උහද් කන්ද තරම් යැයි සඳහන්ව ඇත.) (වාර්තාකරු: අබූ හුරෙයිරා රළියල්ලාහු අන්හු, මූලාශ්‍රය: බුහාරි)

    · ජනාzසා සලාතය යනු මිය ගිය ඇත්තන්ට කරනු ලබන ප්‍රාර්ථනාවකි.

    අල්ලාහ්ට කිසිවකින් ආදේශ නොකළ හතළිස් දෙනෙකු (තවත් වාර්තාවක සිය දෙනෙකු) ජනාzසා සලාතයේ සහභාගී වී, මිය ගිය ඇත්තන් වෙනුවෙන් ප්‍රාර්ථනා කළහොත් ඔවුන්ගේ ප්‍රාර්ථනාවන් අල්ලාහ් පිළිගන්නේය යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) පැවසූහ. (වාර්තාකරු: ඉබ්නු අබ්බාස් රළියල්ලාහු අන්හු. මූලාශ්‍රය: මුස්ලිම්)

    · ඔබ මය්යතය වෙනුවෙන් සලාතය ඉටු කළේ නම් පිවිතුරු චේතනාවෙන් ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න. යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) පැවසූහ. (වාර්තාකරු: අබූ හුරෙයිරා රළියල්ලාහු අන්හු. මූලාශ්‍රය: ඉබ්නු මාජා)

    (මෙම ප්‍රාර්ථනාව තුන්වැනි තක්බීරයේ ප්‍රකාශ කරන ලදී.)

    මය්යතය පිරිමි මය්යතයක් නම් සලාතය මෙහෙය වන ඉමාම් හිසට සමීපයෙන් ද කාන්තා මය්යතයක් නම් මය්යතයේ මැද කොටසට සමීපයෙන් ද සිට සලාතය මෙහෙය විය යුතුයි. (මූලාශ්‍රය: ඉබ්නු මාජා, තිර්මිදි)

    පළමුවැනි තක්බීරය පවසා දෙඅත් බැඳ ගත් පසු අඌදු බිස්මි සමඟ සූරතුල් ෆාතිහාව පාරායනා කළ යුතුයි.

    දෙවැනි තක්බීරයට පසුව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් කෙරෙහි සලවාත් පැවසිය යුතුයි. (අත්තහය්යාත්හි පාරායනය කරන සලවාතය පැවසීම ඉතා ශ්‍රේෂ්ඨ වෙයි.)

    තුන් වැනි තක්බීරය පැවසීමෙන් පසුව මය්යතය වෙනුවෙන් ප්‍රාර්ථනා කළ යුතුයි.

    اللَّهُمَّ اغْفِرْ لَهُ وَارْحَمْهُ وَعَافِهِ وَاعْفُ عَنْهُ وَأَكْرِمْ نُزُلَهُ وَوَسِّعْ مُدْخَلَهُ وَاغْسِلْهُ بِالْمَاءِ وَالثَّلْجِ وَالْبَرَدِ وَنَقِّهِ مِنْ الْخَطَايَا كَمَا نَقَّيْتَ الثَّوْبَ الْأَبْيَضَ مِنْ الدَّنَسِ وَأَبْدِلْهُ دَارًا خَيْرًا مِنْ دَارِهِ وَأَهْلًا خَيْرًا مِنْ أَهْلِهِ وَزَوْجًا خَيْرًا مِنْ زَوْجِهِ وَأَدْخِلْهُ الْجَنَّةَ وَأَعِذْهُ مِنْ عَذَابِ الْقَبْرِ أَوْ مِنْ عَذَابِ النَّارِ

    තේරුම: යා අල්ලාහ්! මොහුට සමාව දෙනු මැනව! මොහුට කරුණා කරනු මැනව! මොහුට සුවය ලබා දෙනු මැනව! මොහුගේ නවාතැන (කබ්රය) ගෞරවය කරනු මැනව! මොහු පිවිසෙන ස්ථානය (කබ්රය) විශාල කරනු මැනව! සුදු වස්ත්‍රයක් කිලිටි වලින් පිරිසිදු කරනවාක් මෙන් මොහුව වැරදි වලින් ද ජලයෙන් ද පිනිකැට මගින් ද සිසිල් ජලයෙන් ද පිවිතුරු කරනු මැනව! මොහුගේ මෙලොව නිවසට වඩා උතුම් නිවසක් (ස්වර්ගයේ) ලබා දෙනු මැනව! මොහුගේ සහකාරියට වඩා උතුම් සහාකාරියක් මොහුට (පරලොවෙහි) දෙනු මැනව! මොහුව ස්වර්ගයේ ඇතුළු කරනු මැනව! කබ්ර් හි වේදනාවෙන් නිරයේ වේදනාවෙන් ඔහුව මුදවා ගනු මැනව! (වාර්තාකරු : අවුෆ් ඉබ්නු මාලික්, මූලාශ්‍රය: මුස්ලිම්)

    (මෙම හදීසය වාර්තා කරන අවුෆ් (රළියල්ලාහු අන්හු) මෙසේ පවසයි. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ප්‍රාර්ථනා කළ මෙම ප්‍රාර්ථනාවට සතු මය්යතය මා විය යුතු නොවේ දැයි මම ආශා කළෙමි.)

    (මෙවැනි ප්‍රාර්ථනාවන් තවත් බොහෝමයක් ඇත.)

    නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ අලංකාර මෙම ප්‍රාර්ථනාවන් අත හැර දමා, අල්ලාහුම්මග් ෆිර් ලහු වර්හම්හු යනුවෙන් කෙටියෙන් ප්‍රාර්ථනා කිරීම කනගාටු දායක කරුණකි. මය්යතය වෙනුවෙන් අයදින මෙම ප්‍රාර්ථනාව හැකි පමණින් කට පාඩම් කිරීමට උත්සාහ දැරිය යුතුයි. දුආවෙහි තේරුම හැඟීමෙන් යුතුව අයදින විටය එය ජීවමානව පවතින්නේ. සෙසු අය සඳහා මෙම ප්‍රාර්ථනාව අප ඉල්ලන විට සෙසු අය ද අපගේ ජනාzසාවට සහභාගී වී මෙම ප්‍රාර්ථනාව කළ යුතුයි යන ආශාව ඇති විය යුතුයි. තැවුනු සිතින් යුතුව අපගේ දෙමාපියන් ඥාතීන් ඇතුළුව මිතුරන්ට ප්‍රාර්ථනා කරන්නට පුරුදු විය යුතුයි.

    හතරවැනි තක්බීරය පැවසීමෙන් පසුව සලාම් පැවසිය යුතුයි.

    මයියතය කබ්ර්හි තබන විට

    بِسْمِ اللهِ وَعَلَى سُنَّةِ رَسُوْلِ اللهِ

    අල්ලාහ්ගේ නාමය පවසා නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ මඟපෙන්වීමට අනුව වළ දමන්නෙමු.

    (මූලාශ්‍රය: ඉබ්නු මාජා)

    ජනාසාවක වළ දැමූ පසුව

    කබ්රය එක් වියතක පමණ ප්‍රමාණයක් උස් කළ යුතුයි. එයට වඩා අධිකව ඉස්සිය නොයුතුයි. කබ්ර් මත සොහොන් කොත් ඉදි නොකළ යුතුයි. කබ්රය එක් වියතකට වඩා අධිකව ඉස්සීමත් කබ්ර් මත සොහොන් කොත් ඉඳි කිරීමත් එයට හුනු ගැසීමත් ඒ මත ලිවීමත් කබ්රය මත අසුන් ගැනීමත් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තහනම් කළහ. (මූලාශ්‍රය: තිර්මිදි, මුස්ලිම්, අබූ දාවූද්)

    මය්යතයක වළ දැමූ පසුව එහි සිටින සෑම කෙනෙක්ම (මය්යතය වෙනුවෙන්) තමන්ට දන්නා භාෂාවෙන් අවංක සිතින් ප්‍රාර්ථනා කළ යුතුයි. පාපක්ෂමාව පැතිය යුතුයි.

    නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා එක් මය්යතයක් වළ දැමූ පසු එහි සිට ඔබගේ සහෝදරයා වෙනුවෙන් පාපක්ෂමාව පතන්න. මලක්වරුන් ඔහුගෙන් විමසන ලද ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීමේ (ආත්ම) විශ්වාසය පතන්න. හේතුව ඔහු දැන් විමසනු ලබන්නේ ය යැයි එහි සිටි තම සහාබි වරුන් අතර ප්‍රකාශ කර සිටියහ. (වාර්තාකරු: උස්මාන් රළියල්ලාහු අන්හු. මූලාශ්‍රය: අබූ දාවූද්)

    සුසාන භූමියට පිවිසෙන විට

    السَّلَامُ عَلَيْكُمْ أَهْلَ الدِّيَارِ مِنْ الْمُؤْمِنِينَ وَالْمُسْلِمِينَ وَإِنَّا إِنْ شَاءَ اللهُ لَلَاحِقُونَ أَسْأَلُ اللهَ لَنَا وَلَكُمْ الْعَافِيَةَ

    තේරුම: මුඃමින්වරුන් වන මුස්ලිම්වරුන් වන කබ්ර් වැසියනි, ඔබට ශාන්තිය අත්වේවා! ඉන්ෂා අල්ලාහ්! නියත වශයෙන්ම අප ද ඔබ සමඟ පැමිණ රැස්වෙන්නට සිටින්නෙමු. අපට හා ඔබට අල්ලාහ්ගෙන් සුවය පතන්නෙමු! (මූලාශ්‍රය: මුස්ලිම්)

    ජනාzසාව සමඟ සහභාගි වන උදවිය සුසාන භූමියට ඇතුළත් වෙත්ම තමන්ගේ ජංගම දුරකතන විසන්ධි කර, මරණය පිළිබඳවත් පරලොව පිළිබඳවත් සිතන්නටත් බිය වන්නටත් අවස්ථාවක් ලෙස මෙම අවස්ථාව යොදා ගත යුතුය. මෙහි අනවශ්‍ය කතා දෙඩීමෙන් හා දේශපාලනය ගැන, රට ගැන කතා කිරීමෙන් වැළකිය යුතුයි. සෑම කෙනෙකුම මෙම කබ්ර් ජීවිතය සඳහා කෙතරම් දුරට යහකම් සූදානම් කර ඇත්දැයි ස්වයං ලෙස විචාලන මහඟු අවස්ථාවක් බව අමතක නොකළ යුතුයි.

    වළ දැමූ උදවියට ප්‍රාර්ථනා කිරීමේ ස්ථානයකි සුසාන භූමිය. මෙය කබ්ර් දිශාවට සලාතය ඉටු කිරීමේ සුජූද් කිරීමේ ඒ වටා තවාෆ් කිරීමේ නැමදුම් ඉටු කිරීමේ උත්සව පැවැත්වීමේ කුර්ආනය පාරායනය කිරීමේ ස්ථානයක් නොවෙයි.

    ඔබගේ නිවෙස් කබ්ර් ස්ථාන බවට පත් කර නොගන්න. නියත වශයෙන්ම ෂෙයිතාන් සූරතුල් බකරා පාරායනය කරනු ලබන නිවසින් පලා යනු ඇතැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ. (මූලාශ්‍රය: මුස්ලිම්)

    හැකි පමණින් අපගේ නිවෙස් කබ්ර් ස්ථාන ලෙස පත් කර ගැනීමෙන් වැළකී අල්-කුර්ආනය කියවා නැමදුම් ඉටු කර අල්ලාහ්ගේ ආශිර්වාදයට හා භාග්‍යයට සුදුසු ස්ථානයක් බවට නිවෙස් අලෝකමත් කර ගත යුතුයි. යහකම් ඉටු කර යහපත් ආදර්ශමත් මුස්ලිම් වරයෙකු ලෙස ජීවත් වී කබ්රය ආලෝකමත් කර ගනිමින් පරලොවෙහි යහ ප්‍රතිඵල හිමි කර ගන්නා මිනිසුන් ලෙස අප සියලු දෙනාවම අහෝ අල්ලාහ්! පත් කරනු මැනව!

    වර්ග: