‘සහජ හැඟීම්’ පිළිබඳ ගවේෂණයට ආරාධනා

කෙටි හැඳින්වීම

සහජ හැඟීම් පිළිබඳ ව කටයුතු කිරීමේ මිනිස් ප්රවවණතා පදනම් කර ගෙන මිනිසා ව පොදු වශයෙන් කණ්ඩායම් තුනකට වර්ග කළ හැකි බව විද්වතුන්ගේ මතයයි. සහජ හැඟීම් පිළිබඳ අන්ත දෙක නියෝජනය කරන හා මැදුම් පිළිවෙත අනුගමනය කරන පිරිස් ලෙස මෙම කණ්ඩායම් තුන දැක්විය හැක

Download
මෙම වෙබ් පිටුවට භාරව කටයුතු කරන්නා වෙත අදහස් දන්වා සිටින්න

වැඩි විස්තර

    ‘සහජ හැඟීම්’ පිළිබඳ ගවේෂණයට ආරාධනා

    සිංහල – Sinhala –[سنهالي

    මුහම්මද් මන්සූර් දහ්ලාන්

    2015 - 1436

    الأحاسيس الطبيعية

    « باللغة السنهالية »

    محمد منصور دحلان

    2015 - 1436

    ‘සහජ හැඟීම්’ පිළිබඳ ගවේෂණයට ආරාධනා

    පෙර ලිපියෙන් මිනිසාගේ සහජ හැඟීම් පිළිබඳ මූලික විග්‍රහයක් ඉදිරිපත් කළෙමු. සහජ හැඟීම් පිළිබඳ ව කටයුතු කිරීමේ මිනිස් ප්‍රවණතා පදනම් කර ගෙන මිනිසා ව පොදු වශයෙන් කණ්ඩායම් තුනකට වර්ග කළ හැකි බව විද්වතුන්ගේ මතයයි. සහජ හැඟීම් පිළිබඳ අන්ත දෙක නියෝජනය කරන හා මැදුම් පිළිවෙත අනුගමනය කරන පිරිස් ලෙස මෙම කණ්ඩායම් තුන දැක්විය හැක.

    පළමු කණ්ඩායම

    පළමු අන්තයේ සිටින පිරිස මිනිසාගේ සහජ හැඟීම් පිළිබඳ අවබෝධයකින් යුක්ත වූවන් වූවද සහජ හැඟීම් පාලනය කිරීමේ කටයුත්තේ දී ඉතා අසරණ තත්ත්වයක ට පත් වූවන් වෙති. ඔවුන් සැබැවින් ම තම සහජ හැඟීම් හි වහලුන් බවට පත් වූවන් ය. මෙම වහල් භාවය ඔවුන්ගේ මෙලොව හා මතුලොව පරාජයට හා විනාශයට හේතුවක් බව ට පත් ව ඇත.

    දුම් පානය මත් ද්‍රව්‍ය භාවිතය හා ලිංගික ආසාදනයන්ගෙන් දෛනික ව මිනිසුන් දහස් සංඛ්‍යාවක් ජීවිතයෙන් සමු ගන්නා බව නොදන්නා අයෙකු නැති තරම් ය. මෙම වැරදි ක්‍රියාවන්ගෙන් ඇති වන හානිය පිළිබඳ ව ජනයා දැනුවත් කිරීමේ වැඩ සටහන් ලොව සෑම තැනක ම පාහේ නිරතුරුව ක්‍රියාත්මක වේ. මෙම වැරදි ක්‍රියාවන් හි නියැළෙන්නන් එහි හානිකර විපාක පිළිබඳ ව ඉතා හොඳින් දැනුවත් ව සිටින්නන් ය. කරුණු එසේ වූව ද ඔවුන් ට තමන්ගේ වැරදි ඇබ්බැහියෙන් මිදෙන්නට අවශ්‍ය ආත්ම ශක්තිය ගොඩ නගා ගන්නට හැකියාවක් නොමැති ව වැරදි පුරුද්දේ වහලුන් බවට පත් ව සිටිත්. මෙම ආශාවේ වහලුන් බවට පත් වී සිටින්නන් පිළිබඳ ව අල් කුර්ආනයේ වැකියක් පෙර ලිපියේ සඳහන් කළෙමු. එම අල් කුර්ආන් වැකිය නැවත වරක් උපුටා දක්වන්නට සිදු ව ඇත්තේ මෙම ඡේදයේ අප සාකච්ඡා කරන කරුණු වලට ඇති අදාලත්වය සැලකිල්ලට ගෙන ය.

    “තම තෘෂ්ණාව තමන්ගේ දෙවිඳුන් වශයෙන් පත් කර ගත් තැනැත්තා ව ඔබ දැක ඇති ද? ඔබ ඔහුට ආරක්ෂකයෙකු වශයෙන් සිටින්නෙහි ද? ඔවුන්ගෙන් බහුතරය සවන් දෙන්නන් හෝ සිතන්නන් වශයෙන් සිටින බව ඔබ සිතන්නෙහි ද? ඔවුන් තිරිසනුන් මිස අන් කිසිවක් නැත. සැබැවින්ම ඔවුන් (තිරිසනුන්ට වඩා) ඉතාමත් නොමග ගියවුන් වශයෙන් සිටින්නෝ ය.” (අල් කුර්ආනය 25 : 43 - 44)

    තම හැඟීමේ වහලුන් බවට සිටින්නන් ගලවා ගත හැකි වන්නේ තම චෛතසිකය විශ්වයේ අධිපති හා අති උතුම් දෙවිඳුන්ගේ වහල්භාවය ට පත් කිරීමෙන් පමණි. තම ජීවිතයේ පරම අභිලාෂය හා අපේක්ෂාව සිතේ ඇති වන හැඟීම් සන්තර්පණය කිරීම නොව තම හැඟීම් සම්මා පාලනයකට ගෙන ඒම බව ඉස්ලාමය උගන්වයි. මිනිස් ශරීරයට හා ජීවිතයට හානිකර බොහෝ දෑ ඉස්ලාමය සහමුලින් ම තහනම් (හරාම්) කොට ඇත. එලෙසම තහනම් කිරීමට නොහැකි සහජ හැඟීම් පිළිබඳ ව සම්මා මාවතක් ඉස්ලාමය පෙන්වා දෙයි. දුම් පානය මත්පැන් හා මත් ද්‍රව්‍ය කිසිසේත් ම මිනිසාට අවශ්‍ය දෑ නොවේ. එවන් දෑ ඉස්ලාමය සහමුලින් ම තහනම් කොට ඇත. නමුත් ලිංගිකත්වය ඉස්ලාමය ප්‍රතික්ෂේප කරන්නේ නැත. ලිංගිකත්වය සන්තර්පණය කිරීමේ සම්මා (හලාල්) මාවත ඉස්ලාමය පෙන්වා දෙයි. එම සම්මා මාවත නොපිළිපැද අසම්මා පිළිවෙත් අනුගමනය කිරීම මගින් විවිධ ලිංගික ආසාදනයන් ඇති වීමට දොරටු විවෘත වන බව අප සැවොම දන්නා සත්‍යයකි. ක්‍ෂුද්‍ර ජීව විද්‍යාවේ උපතවත් සිදු නොවී තිබු යුගයක, එනම් දැනට වර්ෂ 1400ක ට පෙර මේ පිළිබඳ ව අවවාදාත්මක දැනුම් දීමක් මුහම්මද් ධර්ම දුතයාණන් විසින් කර තිබීම සැබැවින් ම ඉස්ලාමයේ සත්‍යතාව සහතික කරන්නක් හා ශ්‍රේෂ්ඨ ප්‍රාර්තිහාර්යයක් බව ප්‍රතික්ෂේප කළ හැක්කේ කා හට දැ’යි විමසන්නට කැමැත්තෙමු.

    තවත් නබි වදනකට අනුව මෙලොව පිළිබඳ අසීමිත ආශාව විනාශයට හේතුව බව නබි තුමාණන් විසින් පවසා ඇත. නබි තුමාණන්ගේ සහගාමිකයෙකු වූ අබ්දුල්ලාහ් ඉබ්නු උමර් තුමා විසින් දන්වනු ලැබු ව ඉබ්නුමාජා නබි වදන් ග්‍රන්ථයේ (නබි වදන් අංක 4019) වාර්තා කොට ඇති පරිදි මුහාජිරීන්වරුන් (සංක්‍රාමිකයින්) අමතමින් ‘ඔබ කරුණු පහකින් පීඩා තත්ත්වයට පත් වනු ඇත. ඔබ එම තත්ත්වයන් දකින අවස්ථාවන් අල්ලාහ් විසින් වළක්වා ඇත’ (එනම් එම තත්ත්වයන් ඇති වන කාල වකවානුවට පෙර ඔබ ජීවිතයෙන් සමු ගනු ඇත). එම කරුණු පහෙන් මෙම ලිපියට අදාළ කරුණ පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

    ‘ලිංගික අපචාරය හා පරදාර සේවනය පුළුල් ලෙස පැතිර යන තත්ත්වය ඇති වූ විට ඔබගේ පුර්ව පියවරුන් පීඩා නොවිඳි නව රෝගයන්ගෙන් ජනයා පීඩාවට පත් වනු ඇත’ (මෙය ඒඩ්ස් රෝගය පිළිබඳ නබි තුමාණන් ලෝ වැසියන් හට ලබා දෙන පූර්ව අවවාදයක් බව ප්‍රතික්ෂේප කළ හැක්කේ කා හට ද?)

    මිනිස් සිතේ දෙආකාරයක හැඟීම් නිරතුරු ව ක්‍රියාත්මක වෙමින් පවතී. කුසලය සඳහා දිරිගැන්වෙන අල්ලාහ්ගෙන් වූ සම්මා හැඟීම් හා අකුසලය සඳහා දිරිගැන්වෙන නපුරු බලවේගයන්ගෙන් (ෂයිතාන්ගෙන්) වූ අසම්මා හැඟීම් අතර වූ ගැටුම ජය ගන්නා ආකාරයට මිනිස් ජීවිතයේ යහකම හා අයහකම රැඳී ඇත.

    “තවද අපි (යහ හා අයහ) මාර්ග දෙක ඔහුට පෙන්වා (නො)දුන්නෙමු ද?” (අල් කුර්ආන් 90:10)

    “තවද ආත්මය මත හා එය නිසි ලෙස සැකසු ඔහු මත දිවුරමින්, පසුව ඔහු එයට එහි අයහකම් හා යහකම් පිළිබඳ හැඟීම ඇති කළේය.” (අල් කුර්ආන් 91 : 7 – 8)

    මුහම්මද් ධර්ම දුතයාණන්ගේ ඉගැන්වීම් අනුව විවිධ අවස්ථාවන්හි දී ශ්‍රේෂ්ඨතම ජිහාදය (ජිහාද් අල් අක්බර්) කුමක් දැ’යි පැහැදිලි කොට ඇත. වරෙක ශ්‍රේෂ්ඨතම ජිහාදය තම චෛතසිකයේ මතුවන අකුසලයට නැඹුරු වූ හැඟීම් සමඟ චෛතසික අරගලයක යෙදීම බව එතුමා පවසා ඇත. මෙම ක්‍රියාවලිය මගින් කෙනෙකුගේ චෛතසිකය පාරිශුද්ධත්වයට පත්කොට අභ්‍යන්තර සාමය ළඟා කර ගනිමින් අකුසලයට නැඹුරු වූ හැඟීම් පරාජයට පත් කොට කෝපය හා වෛරය පිටු දකින තත්ත්වයක් උදා කර ගැනීමට හැකි වෙයි. මිනිසාගේ ශ්‍රේෂ්ඨ පැවැත්ම හා සාරධර්ම සපිරි යහ ජීවිතය සහතික කළ හැක්කේ චිත්ත පාරිශුද්ධිය මගින් පමණි.

    ඉහතින් සහජ හැඟීම් පිළිබඳ ව මිනිසා ක්‍රියා කරන ආකාරය අනුව ඇති කණ්ඩායම් තුනෙන් පළමු කණ්ඩායම පිළිබඳ විග්‍රහයක් ඉදිරිපත් කළෙමු.

    දෙවන කණ්ඩායම

    සහජ හැඟීම් පිළිබඳ දෙවන කණ්ඩායමේ හැසිරීම් රටාව අනුව ඔවුන් ට තමන්ගේ සහජ හැඟීම් පිළිබඳ අවබෝධයක් ඇතිමුත් ඉන් ඇතැම් හැඟීම් පිළිබඳ ව වැළකී සිටින්නන් බවට කටයුතු කරන්නට උත්සාහ කරති. වැළකී සිටින්නට වෙර දරන සහජ හැඟීම් හි නියැළීම තම ආගමික හා සංස්කෘතික ඉගැන්වීම් උල්ලංඝනය කිරීමක්, සමාජ අපවාදයට හේතුවක්, නින්දා සහගත හා සමච්චලයට ලක් වන කරුණක් ආදී වශයෙන් ඔවුන් සලකන බව පෙනේ. මෙයට හොඳම උදාහරණය ලෙස ඇතැම් දහම් හි ස්ත්‍රී හා පුරුෂ පුජක පක්ෂය ලිංගික ක්‍රියාවන්ගෙන් වැළකී සිටීම ට කටයුතු කිරීම දැක්විය හැක. දහමේ ඉගැන්වීම් අනුව එය පුජක පක්ෂයට අකැප දෙයක් ලෙස ඔවුන් සලකති. සහජ හැඟීම් පිළිබඳ මෙයට පෙර විග්‍රහ කළ පළමු කණ්ඩායම ට සහමුලින් ම ප්‍රතිවිරුද්ධ කණ්ඩායමක් ලෙස මෙම පිරිස දැක්විය හැක.

    මෙම පිරිසත් ස්වභාවිකත්වය ප්‍රතික්ෂේප කරන්නන් ලෙස පෙර කණ්ඩායම මෙන් තවත් අන්තයක සිට කටයුතු කරති. ලිංගිකත්වය සහමුලින්ම ප්‍රතික්ෂේප කිරීම හා සීමා මායිම් නොමැති ව එහි ගැලී කටයුතු කිරීම මැදුම් පිළිවෙතින් බැහැර වූ අන්තවාදී පිළිවෙත් දෙකක් ලෙස දැක්විය හැක. මිනිසා බඳු විෂම ලිංගික (Hetero Sexual) සත්වයින් තුළ ලිංගික හැඟීම් ඇති වන්නේ එක්තරා අන්තරාසර්ග (Endocrine) ග්‍රන්ථියකින් වහනය වන හෝර්මෝන වර්ගයන් නිසා බව පර්යේෂණාත්මක මනෝ විද්‍යාවෙන් හා ජීව රසායන විද්‍යාවෙන් පෙන්වා දී ඇත. අධිලිංගික හෝ අවලිංගිකතාව මේ ග්‍රන්ථි වල අධික්‍රියාකාරිත් වය හෝ අවක්‍රියාකාරිත්වය මත කෙළින්ම රඳා පවතී.

    ප්‍රති විරුද්ධ ලිංගිකයන්ගේ දර්ශනය, ගන්ධය, ස්පර්ශය, ශබ්දය ආදී ඉන්ද්‍රිය ග්‍රහණ නිසා හෝ ඒ සම්බන්ධ වෙනත් දෙයක් නිසා හෝ සිතේ ලිංගික හැඟීම් පිබිදේ. මෙහි ප්‍රතිඵලය ලෙස චාලක ස්නායු ඔස්සේ ලිංගික ග්‍රන්ථි කරා විද්‍යුත් ආවේග ගමන් කරයි. එවිට එම ග්‍රන්ථි වලින් රුධිරයට හෝර්මෝනය වහනය වෙයි. රුධිර සංසරණය මගින් මොළය දක්වා එන මෙම හෝර්මෝන පුද්ගලයාගේ සිතුවිලි තවත් පුබුදු කරවයි. ජීව විද්‍යාත්මක සාධකයක් වන මෙම කායික වේදී ක්‍රියාදාමයෙන් මතු වෙන චිත්තවේග මර්දනය කිරීම එතරම් පහසු කාර්යයක් නොවේ. ඒ හේතුවෙන් මෙම පිරිසට සියලු සදාචාර නීති අමතක වී ගොස් අපචාරාත්මක ලිංගික ක්‍රියාවලියකට අවතීර්ණ වීම අරුමයක් නොවේ.

    තම ආගමික හෝ සංස්කෘතික හේතු මත ලිංගිකත්වයෙන් වැළකී සිටින්නට බැඳී සිටියත් සත්‍යය වශයෙන් ම සිදු වන්නේ විවාහ සංස්ථාවෙන් බැහැර වූ ලිංගික ක්‍රියාවලියකට මෙම පිරිස ඇදී යාමය. ජාත්‍යන්තර මෙන්ම ජාතික වශයෙන් හෙළිදරවු වන පුජක පක්ෂයේ අපචාරාත්මක ලිංගික ක්‍රියාවන් මෙයට සාක්ෂි දරයි. දැහැමි සැදැහැවත් හා පවිත්‍ර වූ ආධ්‍යාත්මිකත්වයක් උදෙසා බ්‍රහ්මචර්යාව පිළිපදින්න ට ආරම්භයේ අධිෂ්ඨානයක් ඇති කර ගත්ත ද බහුතරයක් ළමා හා කාන්තා ලිංගික අපචාරයේ හා සම ලිංගික විෂමාචාරයේ සාමාජිකත්වයට පත් වීම සුලබ දෙයක් බවට පත්වෙමින් ඇත.

    දැහැමි හා සැදැහැවත් කමේ පවිත්‍රතාව සඳහා බ්‍රහ්මචර්යාව අවශ්‍ය සාධකයක් ලෙස සැලකීම යථාර්ථයක් නම් මෙම යථාර්ථය අනුගමනය කරමින් ලෝ වැසි සැවොම මෙම ආධ්‍යාත්මික ජයග්‍රහණ මාවතට අවතීර්ණ වුවහොත් සිදු විය හැක්කේ කුමක් ද යන්න පිළිබඳ ව කරුණාකර මොහොතකට සිතා බලන්න. එසේ වුවහොත් මිහිතලය මත වූ සම්පුර්ණ මිනිස් පරපුර ම නෂ්ටප්‍රාප්තිය ට පත් වන්නට අවුරුදු සියයක් ගත නොවනු ඇත. එසේ සැවොම එක්වර මෙම මාවතට අවතීර්ණ වීම සිදු නොවන බව තර්කයක් යමෙකුට ඉදිරිපත් කළ හැක. එසේ නම් ලෝ වැසි සැමගේ මෙලොව හා මතුලොව විමුක්ති මාර්ගය මෙවන් ඉගැන්වීමක් තුළ අන්තර්ගත වී නොමැති බව මෙයට ප්‍රති විරුද්ධ තර්කය ලෙස මතයක් ඉදිරිපත් කිරීමට හැකියාවක් ඇති බව අපට පිළිගන්නට සිදුවෙනවා නොවේ ද? මෙම තර්කයට පැහැදිලි කිරීමක් ලෙස බොහෝ විට ඉදිරිපත් කරනු ලබන මතයක් නම් මිනිසා එක් උත්පත්තිය (භවය) ක දී රැස් කර ගන්නා පින් (කුසල්) හේතුවෙන් ඊළඟ උපත යහ එකක් වන අතර මෙලෙස උපතින් උපත (භවයෙන් භවය) මිනිසා යහකමේ ප්‍රගති මාවතට අවතීර්ණ වී අවසන් ජයග්‍රහණය දක්වා ගමන් කරන බවය. මෙය දහම් කිහිපයක ම සුළු වෙනස්කම් සහිත ව උගන්වන සංකල්පයකි. නමුත් මෙම සංකල්පය පිළිගැනීමට දුෂ්කරතා කිහිපයක් ඇත. මෙම සංකල්පයේ අනු සංකල්පයන් වූ මරණින් මතු උපදින්නා තමා ද අන් අයෙකු ද යන්න පිළිබඳ ව ඇති මතයන් මෙන්ම උත්පත්ති ක්‍රම හා උත්පත්ති තල පිළිබඳ ව යථාර්ථවාදී ව හා විද්‍යාත්මක පදනමකින් විමසුමක යෙදුණහොත් මෙම සංකල්පය පිළිගැනීමට ඇති දුෂ්කරතා පැහැදිලි ව අවබෝධ කර ගත හැකි වනු ඇත. මෙම ලිපියේ විමසුමට ලක් වී ඇති මාතෘකාවෙන් බාහිර වූ එකක් හෙයින් මෙම විෂය ගැඹුරින් සාකච්ඡා කිරීමට මෙහි දී අපේක්ෂා නොකරන්නෙමු.

    ඉහත මතයට ප්‍රතිවිරුද්ධ මතයක් ලෙස බ්‍රහ්මචාරී පිළිවෙතකින් තොරව වූව ද මරණින් මතු අවසාන ජයග්‍රහණය ලඟා කර ගත හැකි බව කරුණු ඉදිරිපත් කිරීමක් දක්නට ඇත. නමුත් දහමේ ප්‍රධාන මුලාශ්‍රයන් හි සඳහන් පරිදි ගිහි ජීවිතය අත්හැරීමකින් තොරව මෙම තත්ත්වය අත්පත් කර ගැනීමට නොහැකි බව පැහැදිලි ලෙස දක්නට ඇති හෙයින් මෙම මතයන් දෙක අතර පැහැදිලි පරස්පරතාවක් ඇති බව පිළිගැනීමට සිදුවෙනවා නොවේ ද? එක් කරුණක් පිළිබඳ ව මත දෙකක් ඉදිරිපත් වන විට මත දෙක ම සත්‍යය වීමට නොහැකි බව අප සැවොම හොඳින් දන්නා කරුණකි. මත දෙකම අසත්‍ය විය හැක. එකක් සත්‍යය වී අනික ප්‍රතික්ෂේප වන විට දහමේ ඉගැන්වීම් පිළිබඳ බරපතළ ගැටලු මතු වේ. ආගමික ග්‍රන්ථ පරස්පරතාවකින් තොර විය යුතු බව අල් කුර්ආනය උගන්වන්නේ මෙම වැදගත් හේතු පදනම් කර ගෙන ය. මෙ පිළිබඳ ව අල් කුර්ආනයේ සත්‍යතාව සහතික කරමින් අභියෝගාත්මක ලෙස ඉදිරිපත් කොට ඇති වැකිය පහතින් සඳහන් කොට ඇත්තෙමු.

    “අල් කුර්ආනය ඔවුන් පරිශීලනය නොකරනුයේ මන් ද? එය අල්ලාහ්ගෙන් නොවී අන් කෙනෙකුගෙන් වූයේ නම් එහි නුඹලා බොහෝ පරස්පරයන් දකිනු ඇත”. (අල් කුර්ආන් 4 : 82)

    මෙම වැකියෙන් ඉදිරිපත් කරන කරුණු අතර වැදගත් ම සාධකය නම් අල් කුර්ආනය සහතික වශයෙන් ම විශ්වයේ අධිපති අති උතුම් අල්ලාහ් විසින් පහළ කරන ලද්දක් බවත් එය අල්ලාහ්ගෙන් නොවී මිනිස් චින්තනයෙන් සකස් කරන ලද්දක් නම් අනිවාර්යයෙන් ම එහි පරස්පරතාවන් අන්තර්ගත වීමට හැකි බවය. ආගමික මුලාශ්‍ර සහතික වශයෙන් ම පරස්පරතාවන්ගෙන් වියුක්ත නොවූයේ නම් අනුගාමිකයින් බොහෝ දුෂ්කරතාවන් ට ලක් විය හැකි බව කිසිවෙකු ට ප්‍රතික්ෂේප කළ හැකි කරුණක් නොවේ.

    ඉහතින් විග්‍රහ කර ඇති පරිදි මෙම දෙවැනි කණ්ඩායම නිර්මාතෘ විසින් මිනිසාට ලබා දී ඇති සහජ හැඟීම් ප්‍රතික්ෂේප කොට හා විකෘති කොට කටයුතු කරන්නන් බවට පත් ව සිටිති. ඔවුන් මිනිසාට හිමි ස්වභාවිකත්වය ප්‍රතික්ෂේප කළවුන් බව ට ද පත් ව සිටිති.

    “සැබැවින්ම අපි මිනිසා ව අලංකාර ස්වරූපයකින් නිර්මාණය කළෙමු. පසුව ඉතා පහත් වුවන්ගෙනුත් ඉතා පහත් වුවෙකු බවට පත් කළෙමු. (නමුත්) විශ්වාස කර යහකම් කළවුන් හැර. ඔවුනට සීමා රහිත ශුභ ඵලයන් ඇත.” (අල් කුර්ආන් 95 : 4 – 6)

    විවාහය දිරි ගන්වන එකම දහම ඉස්ලාම් බව පැහැදිලි ව ප්‍රකාශ කරන්න ට කැමැත්තෙමු. ඉස්ලාමීය ඉගැන්වීම් මැදුම් පිළිවෙත හා යථාර්ථවාදිත්වය සහතික කරන්නක් බව මෙයින් සහතික වෙයි. මිනිස් පරපුරේ පැවැත්ම සහතික කළ හැක්කේ මෙවන් නිවැරදි මඟ පෙන්වීමක් මත ඇති කර ගන්නා වූ විවාහ බන්ධනයකින් බව ප්‍රතික්ෂේප කළ හැක්කේ කා හට ද?

    “මුහම්මද් තුමාණන්ගේ සහගාමියෙකු වූ උස්මාන් බින් මස්ඌන් තුමා මුහම්මද් තුමාණන් වෙත ගොස් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කිරීමට තමන් ට අවසර දෙන ලෙස ඉල්ලා සිටී විට එතුමාණන් එය සහමුලින්ම ප්‍රතික්ෂේප කළේය. මුහම්මද් තුමාණන් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කිරීමට ඔහුට අනුමැතිය දී තිබුණේ නම් අපි පුරුෂ ගක්තිය හීන කරගෙන ඇත්තෙමු යනුවෙන් ස:ද් බින් අබී වක්කාස් තුමා සඳහන් කළේය”. (බුහාරී සහ මුස්ලිම් නබි වදන් ග්‍රන්ථ)

    “මුහම්මද් තුමාණන්ගේ සහගාමීන්ගෙන් ඇතැමුන් විවාහ නොවන බව ද තවත් සමහරෙක් රාත්‍රිය කාලයේ නිදා ගැනීමෙන් වැළකී රෑ මුළුල්ලේ ම නැමදුම් කරන බව ද තවත් සමහරෙක් තමන් අඛණ්ඩ ව (දිනපතා) උපවාස ශීලයෙහි යෙදෙන බව ද සාකච්ඡා කර ගත්හ. මෙම පුවත මුහම්මද් තුමාණන්ගේ සවනට වැටුණු කල්හි මෙසේ පවසන්නන්ගේ තත්ත්වය කුමක් වේ ද? යනුවෙන් පවසා ‘මම උපවාස ශීලයෙහි යෙදෙමි; එලෙසම (ඇතැම් දවස් වල) උපවාස ශීලයෙහි නො යෙදෙමි; මම රාත්‍රී කාලයේ නැමදුමෙහි නිරතවෙමි; එමෙන්ම යහනට ද පිවිසෙන්නෙමි; මම කාන්තාවන් හා විවාහ වෙමි. මගේ මෙම පිළිවෙත උදාසීන කරන්නේ කවරෙක් ද ඔහු මාගේ (සමාජයට අයත්) කෙනෙකු නොවේ’ යැයි පවසා සිටියහ”. (බුහාරී නබි වදන් අංක 5063)

    යහපත් පරම්පරාවක් බිහි කරනු ලැබීම විවාහයේ අරමුණු වලින් එකක් යැයි මෙමගින් වටහා ගත හැකි ය. ‘නඩත්තු වියදම් දැරීමට නුඹලාගෙන් හැකියාව ඇත්තේ කවරෙකු ට ද ඔහු විවාහ විය යුතුයි. මන්දයත් විවාහය (අනිකුත් කාන්තාවන් බැලීමෙන්) දර්ශනය වළකන්නක් ලෙස ද (රහස් අවයව ආරක්ෂා කර) පතිවත රකින්නක් ලෙස ද වන්නේ ය.’ යනුවෙන් මුහම්මද් තුමාණන් පැවසූහ’. (මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී 1905,5065 සහ 5066 නබි වදන්).

    නොමග යෑමෙන් තමන් ව වළක්වා ගැනීමත් විවාහයේ තවත් වැදගත් අරමුණක් වේ යැ’යි මෙම නබි වදන තුළින් පැහැදිලි ව අවබෝධ කර ගත හැකි වේ.

    තුන්වන කණ්ඩායම

    සහජ හැඟීම් පිළිබඳ ව ක්‍රියා කිරීමේ දී මෙම කණ්ඩායම සහජ හැඟීම් යථාර්ථයක් බව පිළිගන්නා අතර සහජ හැඟීම් විසින් තමන් ව වහල් තත්ත්වයට පත් කිරීම ට කිසිදු අයුරකින් ඉඩ නොතබා හැඟීම් පාලනය කරමින් කටයුතු කරති. හැඟීම් පාලනය කිරීම සඳහා ඔවුන්ට උපකාරී වී ඇත්තේ අල් කුර්ආනය ඉදිරිපත් කරන දිව්‍යමය මාර්ගෝප දේශයත් මුහම්මද් තුමාණන් විසින් පෙන්වා දෙන ලද අලංකාර පරමාදර්ශයන්ය. අල් කුර්ආනය විසින් මෙලෙස කටයුතු කරන්නන් ට ලබා දී ඇති ‘මධ්‍යස්ථ ප්‍රජාව’ යන නාමය සත්‍යය කරමින් කටයුතු කරන්නට ඔවුන් සැදී පැහැදී සිටිති.

    “එලෙස ම නුඹලා (සෙසු) ජනයා ට සාක්ෂිකරුවන් වීම පිණිස ද රසූල් වරයා නුඹලා ට සාක්ෂිකරුවෙකු වීම පිණිස ද අපි නුඹලා ව මධ්‍යස්ථ ප්‍රජාවක් වශයෙන් පත් කළෙමු”. (අල් කුර්ආන් 2 : 143)

    මධ්‍යස්ථ ප්‍රජාවක් ලෙස කිසිදු අන්තයකට නොයා දහම මගින් ලබා දී ඇති සීමා මායිම් බිඳ නොදමා තමන්ගේ සහජ හැඟීම් පිළිබඳ ව කටයුතු කිරීම ඉස්ලාමිකයෙකුගේ ප්‍රධානතම හා වැදගත් වගකීමක් වෙයි. මෙලොව ජීවිතය කෙරෙහි පමණක් අවධානය යොමු කරමින් ජීවත් වීම ඉස්ලාමය අනුමත නොකරයි. එලෙසම මෙලොව ජීවිතය සහමුලින්ම ප්‍රතික්ෂේප කරමින් මරණින් මතු ජීවිතය කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම ද ඉස්ලාමීය පිළිවෙත නොවේ. මෙලොව හා මතුලොව ජීවිතය පිළිබඳ ව මධ්‍යස්ථභාවයකින් යුක්ත ව කටයුතු කිරීම ‘මධ්‍යස්ථ ප්‍රජාවගේ’ පිළිවෙතයි.

    ඉදිරි ලිපි මගින් මිනිසාගේ විවිධ ආකාරයේ සහජ හැඟීම් පිළිබඳ ව සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන්නෙමු ‘ඉන්ෂා අල්ලාහ්’!

    පූර්ව නිගමනයන්, පාරම්පරික විශ්වාසයන්, විචාරයෙන් තොර වූ පක්ෂපාතිත්වය ආදියෙන් මිදී විවෘත මනසකින් යුක්ත ව යථාර්ථය, විචාරය, බුද්ධිය හා විද්‍යාව පදනම් කර ගෙන සත්‍යය ගවේෂණයට අවංක සිතින් අත්වැල් බැඳ ගන්නා ලෙස ඉතා කාරුණික ව ඉල්ලා සිටින්නෙමු. ඉදිරි ලිපි මගින් මෙම බුද්ධිමය සංවාදය අඛණ්ඩ ව පවත්වාගෙන යමු. (ඉන්ෂා අල්ලාහ්!)

    පෙර ලිපියෙන් සහජ හැඟීම් පිළිබඳ ව කටයුතු කිරීමේ මිනිස් ප්‍රවණතා පදනම් කර ගෙන මිනිසා ව පොදු වශයෙන් කණ්ඩායම් තුනකට වර්ග කළ හැකි බව ඇති විද්වත් මතයයන් විමසා බැලුවෙමු. මෙම ලිපියෙන් සහජ හැඟීම් වර්ග පිළිබඳ විශ්ලේෂණයක් ඉදිරිපත් කරන්නට අදහස් කරන්නෙමු. මිනිසා විවිධ සහජ හැඟීම් වලින් යුක්ත වූවෙකු බව ඉස්ලාමය මෙන්ම මුස්ලිම් නොවන මනෝ විද්‍යාඥයින්, සමාජ විද්‍යාඥයින්, ජීව විද්‍යාඥයින් මෙන්ම ඉතිහාසඥයින් ද පිළිගෙන ඇති කරුණකි. මෙම ලිපියෙන් පළමු ව මිනිසාගේ ජීවත් වීමේ ආශාව මෙන්ම වයෝවෘද්ධත්වය හා මරණය පිළිබඳ ඇති බිය නම් වූ නොනැසී පැවැත්මේ සහජ හැඟීම ගැන විමසා බලන්නට අදහස් කරන්නෙමු.

    නොනැසී පැවැත්මේ සහජ හැඟීම

    වයස අවුරුදු දෙකක පමණ දරුවෙකු ව උස ගොඩනැගිල්ලකින් පහතට හෙළන බව අඟවා යමෙකු එම දරුවා ව දෙපැත්තට පැද්දෙව්වේ නම් දරුවාගේ දෑස් ඉහළ ගොස් බියකරු මුහුණකින් යුක්ත ව මහා හඬකින් අඬන්නට පටන් ගැනීම අපට දකින්නට ලැබෙනු ඇත. මෙයින් පැහැදිලි වන්නේ මෙම දරුවා ඇතුළු ව සියලු මිනිසුන් ‘මරණ බිය’ නම් වූ සහජ හැඟීම ඇති ව බිහි ව ඇති බවය. මෙම සහජ හැඟීම මහා කාරුණික අල්ලාහ් විසින් අප වෙත ලබා දී ඇති හෙයින් අපි සියදිවි නසා ගැනීමේ චින්තනයෙන් නිරතුරු ව වැළකෙන්නට කටයුතු කරන්නෙමු. යමෙකු සියදිවි නසා ගන්නේ නම් එය ඔහුගේ ‘මරණ බිය’ නම් වූ සහජ හැඟීමේ අස්වභාවිකත්වයක් හේතුවෙන් සිදු කර ගන්නක් බව මෙයින් පැහැදිලි වෙයි.

    ජීවිතයේ අභාග්‍ය දෑ සිදු වූ විට සිත තැන්පත් ව තබා ගැනීමේ හැකියාව බොහෝ අයට කළ හැක්කක් නොවන බව සත්‍යයකි. ප්‍රශ්‍න සහ අවාසනාවන්ත සිදුවීම් යනු මිනිස් ජීවිතයේ කොටසකි. සෑම කෙනෙකුටම අසතුටුදායක සිදුවීම් වලට මුහුණ දීමට සිදු වන අතර තාවකාලික වශයෙන් දුක් මුසු භාවයට ද පත් විය හැක. ජිවිතයේ මුහුණ දීමට සිදු වන පරාජයන් වලදී මිනිසුන් තාවකාලික වශයෙන් තමාටම දොස් කියා ගැනීම මෙන්ම දුක්මුසු භාවයක් හෝ හිස් බවක් දැනීම ස්වභාවිකය. මිනිසා මෙවැන්නකට අකැමැතිය. තම ශක්ති ප්‍රමාණයෙන් ඉස්ලාමීය නැමදුම් හා අනෙකුත් මඟ පෙන්වීම් නිසියාකාර ව ඉටු කරමින් සම්මා ජීවිතයක් ගත කරන්නෙකුට වූවද පරීක්ෂණයන්ගෙන් වියුක්ත වූ ජීවිතයක් අපට සහතික කොට නැත. මිනිසා ජීවිතයේ විවිධ පරීක්ෂණයන් ට භාජනය වන විට මිනිසාගේ පරම සතුරා වූ ‘ෂෙයිතාන්’ (නපුරු බලවේග) මිනිසාගේ චෛතසිකයේ විවිධ ආකාරයේ සිතුවිලි ඇති කරවන්නට කටයුතු කරයි. මෙමගින් මිනිසා ව අල්ලාහ්ගෙන් දුරස්ථ කරවීම ෂෙයිතාන්ගේ අපේක්ෂාවයි.

    وَإِمَّا يَنزَغَنَّكَ مِنَ الشَّيْطَانِ نَزْغٌ فَاسْتَعِذْ بِاللَّـهِ ۚ إِنَّهُ سَمِيعٌ عَلِيمٌ ﴿٢٠٠﴾ إِنَّ الَّذِينَ اتَّقَوْا إِذَا مَسَّهُمْ طَائِفٌ مِّنَ الشَّيْطَانِ تَذَكَّرُ‌وا فَإِذَا هُم مُّبْصِرُ‌ونَ ﴿٢٠١﴾

    “ෂෙයිතාන්ගෙන් පෙලඹවීමක් සැබැවින්ම නුඹට ඇති වන්නේ නම් එවිට අල්ලාහ්ගෙන් නුඹ ආරක්ෂාව පතවු! සැබැවින්ම ඔහු සර්ව ශ්‍රාවකය සර්වඥය. සැබැවින්ම බියභක්තිමත් වන්නන් ව ෂෙයිතාන්ගෙන් බලපෑමක් ස්පර්ශ කළ විට ඔවුහු (අල්ලාහ් ව) මෙනෙහි කරති. එසැණින් ඔවුහු (සත්‍යය) පැහැදිලි ව දකින්නන් වෙති”. (අල් කුර්ආන් 7 : 200 – 201)

    ෂෙයිතාන්ගේ මෙම නොමග යැවීමෙන් තමන් ව ආරක්ෂා කර ගන්නට කටයුතු නොකරන්නන් ‘අහෝ දෙවියනි! මෙලෙස මට දඬුවම් කරන්නේ ඇයි දැ’යි වැනි ප්‍රශ්න මතු කොට එයින් නොනැවතී වැරදි මාවත ඔස්සේ තම සිත මෙහෙයවමින් තවත් භයානක තීන්දු ගැනීම කරා යොමු වෙති. ජීවිතයේ පරීක්ෂණකාරී දෑ සිදුවීම පිළිබඳ ව මහා කාරුණික අල්ලාහ් මිනිසාගෙන් ප්‍රශ්නයක් මතු කරයි.

    أَحَسِبَ النَّاسُ أَن يُتْرَ‌كُوا أَن يَقُولُوا آمَنَّا وَهُمْ لَا يُفْتَنُونَ ﴿٢﴾29

    ‘අපි විශ්වාස කළෙමු’යි ඔවුන් කී පමණින් ඔවුන් පිරික්සුමට ලක් නොකොට ඔවුන් අත හැර දමනු ලබන්නේයැ’යි මිනිසා සිතන්නෙහු ද?” (අල් කුර්ආන් 29 : 2)

    ජීවිතයේ මුහුණ පෑමට සිදු වන පරීක්ෂණ පිළිබඳ ව ඉවසීමෙන් යුක්ත ව මහා කාරුණික අල්ලාහ් කෙරෙහි විශ්වාසය තබා තැන්පත්භාවයකින් කටයුතු කිරීම සෑම ඉස්ලාමිකයෙකුගේම වගකීමක් වෙයි.

    وَلَنَبْلُوَنَّكُم بِشَيْءٍ مِّنَ الْخَوْفِ وَالْجُوعِ وَنَقْصٍ مِّنَ الْأَمْوَالِ وَالْأَنفُسِ وَالثَّمَرَ‌اتِ ۗ وَبَشِّرِ‌ الصَّابِرِ‌ينَ ﴿١٥٥﴾ الَّذِينَ إِذَا أَصَابَتْهُم مُّصِيبَةٌ قَالُوا إِنَّا لِلَّـهِ وَإِنَّا إِلَيْهِ رَ‌اجِعُونَ ﴿١٥٦﴾ أُولَـٰئِكَ عَلَيْهِمْ صَلَوَاتٌ مِّن رَّ‌بِّهِمْ وَرَ‌حْمَةٌ ۖ وَأُولَـٰئِكَ هُمُ الْمُهْتَدُونَ ﴿١٥٧﴾ 2;

    “බියෙන් හා කුසගින්නෙන් අල්පයක් මගින් ද තව ද සම්පත් ජීවිත හා පලතුරු හිඟ වීම මගින් ද සැබැවින්ම අපි නුඹලා ව පරීක්ෂාවට ලක් කරන්නෙමු. ඉවසිලිවන්තයින්ට සුබාරංචි දෙවු. තමන්ට යම් දුර්භාග්‍යයක් ඇති වූ කල් හි ‘ඉන්නා ලිල්ලාහි වඉන්නා ඉලයිහි රාජිඌන්’ (සැබැවින් ම අපි අල්ලාහ් වෙනුවෙන්මය, ඔහු වෙතම අපි නැවත යොමුවන්නන් වෙමු) යැ’යි ඔවුහු පවසති. තමන්ගේ පරමාධිපතිගෙන් වූ ආශීර්වාදය හා කරුණාව තමන් කෙරෙහි වූවන් ඔවුන් ය. තවද ඔවුහුමය යහමග ලබන්නෝ”. (අල් කුර්ආන් 2 : 155 – 157)

    ජීවිතයේ කරුණු පිළිබඳ ව පමණක් නොව දහම පිළිබඳව ද අප පරීක්ෂාවට ලක් කරනු ලබන බව මහා කාරුණික අල්ලාහ් අප වෙත දන්වා සිටී.

    لَتُبْلَوُنَّ فِي أَمْوَالِكُمْ وَأَنفُسِكُمْ وَلَتَسْمَعُنَّ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ مِن قَبْلِكُمْ وَمِنَ الَّذِينَ أَشْرَ‌كُوا أَذًى كَثِيرً‌ا ۚ وَإِن تَصْبِرُ‌وا وَتَتَّقُوا فَإِنَّ ذَٰلِكَ مِنْ عَزْمِ الْأُمُورِ‌ ﴿١٨٦﴾ 3;

    “නුඹලාගේ සම්පත් තුළින් ද නුඹලා තුළින් ද සැබැවින්ම නුඹලා පරීක්ෂාවට ලක් කරනු ලබන්නෝමය. තවද නුඹලාට පෙර පුස්තක ලද්දන්ගෙන් ද ආදේශ තබන්නන්ගෙන් ද අධික පීඩාකාරී වදන් වලට සැබැවින්ම නුඹලා සවන් දෙන්නෙහුමය. නුඹලා ඉවසා බියභක්තිමත් වන්නෙහු නම් සැබැවින් ම එය අධිෂ්ඨානයෙන් යුත් කාර්යයන් අතුරින් වන්නේය”. (අල් කුර්ආන් 3 : 186)

    මෙවන් සෑම අවස්ථාවකම ජයග්‍රහණය අත්පත් කර ගැනීමට අත්‍යවශ්‍ය කරුණු දෙකක් නම් ඉවසීම හා බිය බැතිමත්භාවය බව ද ඉහත අල් කුර්ආන් වැකිය අප වෙත දන්වා සිටී. නමුත් මහා කාරුණික අල්ලාහ් මිනිසාට දැරිය නොහැකි පරීක්ෂාවකින් ඔහු ව පරීක්ෂා නොකරන බව ද දන්වා සිටී.

    لَا يُكَلِّفُ اللَّـهُ نَفْسًا إِلَّا وُسْعَهَا ۚ2;286

    “කිසිදු කෙනෙකුට ඔහුට දැරිය නොහැකි බරක් (වගකීමක්) මිස අල්ලාහ් නොපටවයි. (අල් කුර්ආන් 2 : 286)

    සියලු වගකීම් හා පරීක්ෂාවන් මිනිසාට දැරිය හැකි සීමා මායිම් අතික්‍රමණය කරන්නක් නොවන බව සහතිකයක් මෙමගින් අපට ලැබී ඇත. ජීවිතයේ විපතක් හෝ පීඩාකාරී තත්ත්වයක් ඇති වන සෑම මොහොතකම අප විසින් නිරතුරුව මතක් කර ගත යුතු වැදගත්ම පණිවිඩය මෙය වන විට අපගේ සිත්සතන් හි පහසු හා සුවදායි හැඟීමක් සහතික වශයෙන් ම ඇති වෙයි. ඉවසීම හා බිය බැතිමත්භාවයෙන් යුතුව මහා කාරුණික අල්ලාහ් කෙරෙහි විශ්වාසය තබා මෙවන් අවස්ථාවන් හි ක්‍රියා කරන විට විශ්වාසවන්තයෙක් (මූමීන් වරයෙක්) තම පරීක්ෂාවෙන් ජයග්‍රහණය අත්පත් කරගන්නෙකු බවට පත් වෙයි. මෙමගින් අති උතුම් අල්ලාහ් ද තම ගැත්තා ගැන සතුට හා තෘප්තිය ඇති කර ගනී. එහෙයින් විශ්වාසවන්තයෙකු ට ජීවිතයේ ප්‍රශ්න හේතුවෙන් සියදිවි නසා ගැනීමේ තත්වයට පත් වීමට කිසිදු ආකාරයක බලපෑමක් ඇති නොවෙයි. ජීවිතයේ පරීක්ෂාව සතුටින් පිළිගන්නා ඔහු අල්ලාහ් ව තෘප්තිමත් කොට තමන් ද තෘප්තිමත් තත්ත්වයට පත්කර ගනී.

    ජීවය ලබා දීම හා ආපසු ගැනීම මිනිසාගේ ක්‍රියාවන්ගෙන් සම්පුර්ණයෙන් ම බැහැර වූ වගකීමක් බව ඉස්ලාමය උගන්වයි. යමෙකු සියදිවි නසා ගනීමට පෙලඹෙන්නේ නම් එය ඔහුගේ ‘මරණ බිය’ නම් වූ සහජ හැඟීමේ අස්වභාවිකත් වයක් හේතුවෙන් හා තම චෛතසිකය බිය බැතිමත්භාවයෙන් තොර වූ තත්ත්වයකට පත් වී ඇති බව පෙන්නුම් කරයි. යම් සමාජයක සියදිවි නසා ගැනීම වැඩි වශයෙන් සිදු වන්නේ නම් එම සමාජය අති භයානක අන්දමින් ආධ්‍යාත්මික පරිහානියකට ලක් වී ඇති බව පෙන්නුම් කරයි.

    නිවැරදි දේව ‘විශ්වාසය’ පදනම් කර ගත් දහම් අදහන්නන් අතරේ සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාව ඉතාමත්ම අවම මට්ටමක පවතී. පහතින් ඉදිරිපත් කොට ඇති අප රටේ සිය දිවි නසා ගැනීම් පිළිබඳ පුවත්පත් වාර්තාව දෙස අපගේ අවධානය යොමු කරමු.

    ‘අද’

    සියදිවි නසාගැනීමෙන් ශ්‍රී ලංකාව 4 වැනි තැන - World Health Organization

    2014-09-04

    ලෝකයේ සියදිවි නසා ගැනීමේ ප්‍රතිශතය ඉහළම රටවල් අතර ශ්‍රී ලංකාව සිව්වැනි ස්ථානයේ සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති වාර්තාවක දැක්වෙයි.

    එම වාර්තාවට අනුව, සෑම තත්ත්පර 40දීම ලෝකයේ යම් පුද්ගලයෙකු සියදිවි නසා ගන්නා බව හෙළි වී තිබේ. සියදිවි නසාගැනීමෙන් ප්‍රථම ස්ථානය ගෙන ඇත්තේ ගයානාවයි. උතුරු කොරියාව සහ දකුණු කොරියාව දෙවැනි සහ තෙවැනි ස්ථානයේ පසුවෙයි. එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ පුද්ගලයන් ලක්ෂයකට 28.9ක පිරිසක් සියදිවි හානි කර ගන්නා බව පැවසෙයි.

    විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් සියදිවි හානි කර ගැනීමේ අවස්ථා සවිස්තරාත්මක ව වාර්තා කිරීම මගින් පුද්ගලයන් එවැනි සිද්ධි අනුකරණය කිරීමේ ප්‍රවණතාව වර්ධනය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය මෙහිදී අවධාරණය කර තිබේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ මේ වන විට සියදිවි නසා ගැනීම විශාල ගැටලුවක් බවට පත් ව ඇති බවයි. වස පානය කිරීම, ගෙල වැළලා ගැනීම, වෙඩි තබා ගැනීම සහ උස් ගොඩනැගිලි සහ කඳු මුදුන් වලින් පැනීම සියදිවි හානි කර ගැනීමට යොදා ගන්නා සුලබ ක්‍රම ලෙස ද එම වාර්තාව මගින් ඉදිරිපත් කර තිබේ.

    - See more at: http://ada.lk/article/27580 /url#sthash.aXTO4yW1.dpuf

    ඉස්ලාමිකයින් අතරේ සියදිවි නසා ගැනීම් පිළිබඳ තත්ත්වය ඉතාම අවම මට්ටමක පවතී. එවන් තත්ත්වයක් වාර්තා නොවන තරමට විරලය. මෙයට ප්‍රධාන හේතුව දේව විශ්වාසයෙන් ලබා ගන්නා ආත්ම ශක්තිය බවට කිසිදු සැකයක් නොමැත. ලෝකයේ සියදිවි නසා ගැනීමේ වාර්තා පිළිබඳ ව සොයා බැලීමේදීත් අපට පැහැදිලි ව පෙනී යන කරුණක් නම් මුස්ලිම් රටවල් ඉතාම අඩු ප්‍රතිශතයක් මේ පිළිබඳ ව දක්වන බවය.

    මුහම්මද් ධර්මදු තයාණන්ගේ සුන්නතය අනුව සියදිවි හානිකරගත්තෙකු වෙනුවෙන් ජනාසා සලාතය (මෘතදේහයක් උදෙසා කරන්නා වූ සලාතය) ඉ ටු කරනු නොලැබේ. “මුහම්මද් ධර්ම දුතයාණන් පවසා ඇති පරිදි ‘යමෙක් යකඩ කැබැල්ලකින් (හෝ අන් මගකින්) සියදිවි නසා ගත්තේ ද එම යකඩ කැබැල්ලෙන් ම ඔහුට නිරයේ දී දඬුවම් දෙනු ලැබේයැ’යි දක්වා ඇත. ‘ස්වයං තුවාල සිදු කරමින් මිනිසෙකු සියදිවි නසා ගත් විටක ‘මගේ ගැත්තා ඉක්මන් වී සියදිවි හානි කර ගෙන ඇත. මම ඔහුට ස්වර්ගය තහනම් කරමි’යි අල්ලාහ් පැවසු බව මුහම්මද් තුමාණන් පවසා ඇත”. (මුලාශ්‍රය : බුහාරී හදීස් ග්‍රන්ථය දෙවැනි වෙළුම - හදීස් අංක 445)

    මිනිසාගේ චෛතසිකයේ වයෝවෘද්ධත්වය හා මරණය කෙතරම් පිළිකුල් සහගත සහජ හැඟීමක් බවට මිනිසාගේ නිර්මාතෘ මහා කාරුණික අල්ලාහ් විසින් පත් කොට ඇත්තේදැ’යි යන්න ආදම් තුමාගේ හැසිරීම පිළිබඳව අල් කුර්ආනය ඉදිරිපත් කරන විග්‍රහය අනුව පැහැදිලි වේ.

    “තව ද ‘ආදම්, නුඹ හා නුඹගේ බිරිය ස්වර්ගයෙහි වාසය කරවු. නුඹලා කැමති තැනක (කැමති දෑ) එයින් අනුභව කරවු. තව ද නුඹලා දෙදෙනා මෙම ගස අසලට නොයවු. එසේ වුවහොත් නුඹලා දෙදෙනා අපරාධකරුවන් අතුරින් වන්නෝ යැ’යි අපි ප්‍රකාශ කළෙමු. ඔවුන් දෙදෙනාගෙන් ආවරණය කරනු ලැබූ ලැජ්ජා ස්ථානයන් ඔවුන් දෙදෙනාට හෙළි කරවීම පිණිස ෂෙයිතාන් ඔවුන් දෙදෙනාට. ‘නුඹලා දෙදෙනාගේ පරමාධිපති මෙම ගස නුඹලා දෙදෙනාට තහනම් කළේ නුඹලා දෙදෙනා මලක්වරුන් වන්නට හෝ නුඹලා සදාතනිකයින් අතුරින් වන්නට මිස නැතැ’යි (ෂෙයිතාන්) පැවසුවේය”. (අල් කුර්ආන් 7 : 19 – 20)

    ෂෙයිතාන්ට ආදම් තුමා ව නොමග යවා ගන්නට හැකි වුයේ මිනිසා තම සහජ හැඟීම් පදනම් කර ගෙන වයෝවෘද්ධත්වය හා මරණය පිළිකෙව් කරන බව දැන සිටි හෙයිනි. වයෝවෘද්ධතාව පිළිබඳ මිනිසා කෙතරම් බිය වන්නේ ද යන්න දැන ගත හැකි එක් උදාහරණයක් නම් තමන්ගේ වයස සඟවා තාරුණ්‍යයේ දැක්මක් ඇති කර ගැනීම පිණිස ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම විශාල මුදල් ප්‍රමාණයක් වැය කරමින් සිදු කරනු ලබන කල්ප්‍ය ශල්‍යකර්මයන් (Plastic Surgery) දැක්විය හැක. වයෝවෘද්ධතාව හේතුවෙන් බොහෝ පිරිස් මානසික වශයෙන් විවිධ අසහනකාරී තත්ත්වයන් ට පත්වීම වර්තමාන සමාජයේ බහුල ව දැකිය හැක. ආත්ම විශ්වාසය බිඳ වැටීම වැනි විවිධ මානසික පීඩනයන්ට ඔවුන් ලක් වෙති. මෙවන් තත්ත්වයන් විශ්වාසවන්තයින් අතර බහුල ව දක්නට නොමැත. ‘ප්‍රතික්ෂේපකයින්ට මෙලොව ජීවිතය ස්වර්ගය ලෙසත් විශ්වාස වන්තයින්ට එය සිරගෙයක් ලෙසත් ඇත්තේයැ’යි මුහම්මද් තුමාණන් වරෙක පවසා ඇත (මුලාශ්‍රය මුස්ලිම් හදීස් ග්‍රන්ථය 4 වන වෙළුම - හදීස් අංකය 1529). තම ස්වර්ගය තුළ විවිධ වින්දනීය සුඛ විහරණයන් වයෝවෘද්ධතාව හේතුවෙන් බුක්ති විඳින්නට නොහැකි තත්ත්වයක් ඇති වූ විට එය ඔවුන්ට දරා ගත නොහැක්කක් බවට පත් වෙයි.

    මිනිසුන් අතුරින් දීර්ඝායුෂ පිළිබඳ වඩාත් ආශා කරන්නන් බවට පත් ව ඇත්තේ යුදෙව්වන් ය.

    وَلَتَجِدَنَّهُمْ أَحْرَ‌صَ النَّاسِ عَلَىٰ حَيَاةٍ وَمِنَ الَّذِينَ أَشْرَ‌كُوا ۚ يَوَدُّ أَحَدُهُمْ لَوْ يُعَمَّرُ‌ أَلْفَ سَنَةٍ وَمَا هُوَ بِمُزَحْزِحِهِ مِنَ الْعَذَابِ أَن يُعَمَّرَ‌ ۗ وَاللَّـهُ بَصِيرٌ‌ بِمَا يَعْمَلُونَ ﴿٩٦﴾ 2;

    “සැබැවින් ම (අන් සියලු) මිනිසුන්ට වඩා ද ආදේශ කරන්නන්ට වඩා ද (මෙලොව) ජීවිතය දැඩි ව ආශා කරන්නන් ලෙස නුඹ ඔවුන් ව (යුදෙව්වන් ව) දකින්නෙහිය. ඔවුන්ගෙන් කෙනෙකු ‘(තමන්ට) වසර දහසක ආයුෂ පිරිනමනු ලැබුවේ නම්යැ’යි ඇලුම් කරයි. එහෙත් (දීර්ඝ) ආයුෂ පිරිනමනු ලැබුවා ද එය දඬුවමෙන් ඔහු ව දුරස්ථ කරවන්නක් නොවේ. තව ද අල්ලාහ් ඔවුන් කරන දෑ පිළිබඳ ව සර්ව සුපරික්ෂාකාරීය”. (අල් කුර්ආන් 2 : 96).

    මහා කාරුණික අල්ලාහ් විසින් මිනිසාට දී ඇති ආයුෂ ප්‍රමාණය අල්ලාහ්ගේ තෘප්තිය උදෙසාම යොදා ගනිමින් අල්ලාහ් හමු වන දින අල්ලාහ් මෙන්ම මිනිසාට ද තෘප්තිය උදා කර ගැනීමට හැකි වන පරිදි එය ගත කිරීමට හැකි භාග්‍යයෙන් සපිරුණු ජීවිතයක් ගත කිරීමට අධිෂ්ඨාන කර ගනිමු.

    ඉදිරි ලිපි මගින් මිනිසාගේ විවිධ ආකාරයේ සහජ හැඟීම් පිළිබඳ ව සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන්නෙමු ‘ඉන්ෂා අල්ලාහ්’!

    පූර්ව නිගමනයන්, පාරම්පරික විශ්වාසයන්, විචාරයෙන් තොර වූ පක්ෂපාතිත්වය ආදියෙන් මිදී විවෘත මනසකින් යුක්ත ව යථාර්ථය, විචාරය, බුද්ධිය හා විද්‍යාව පදනම් කර ගෙන සත්‍යය ගවේෂණයට අවංක සිතින් අත්වැල් බැඳ ගන්නා ලෙස ඉතා කාරුණික ව ඉල්ලා සිටින්නෙමු. ඉදිරි ලිපි මගින් මෙම බුද්ධිමය සංවාදය අඛණ්ඩ ව පවත්වා ගෙන යමු. (ඉන්ෂා අල්ලාහ්!)

    වර්ග: