ඊමාන් හි අර්ථ විවරණය

කෙටි හැඳින්වීම

1. අර්කාන් අල් ඉස්ලාම් - ඉස්ලාම් හි කුලුනු
2. අකීදා නම් දේව විශ්වාසයේ මූලික කරුණු
3. මලාඉකාවරු කෙරෙහි විශ්වාසය
4. ග්‍රන්ථයන් කෙරෙහි විශ්වාසය
5. රසූල්වරුන් කෙරෙහි විශ්වාසය

Download
මෙම වෙබ් පිටුවට භාරව කටයුතු කරන්නා වෙත අදහස් දන්වා සිටින්න

වැඩි විස්තර

ඊමාන්හි අර්ථ විවරණය

شرح أصول الإيمان


අති කාරුණික හා දයාබර අල්ලාහ්[1]ගේ නාමයෙන්

සියලු ප්රශංසා අල්ලාහ්ට හිමිවේවා. අපි ඔහු ප්රශංසා කොට. ඔහුගේ සහනය හා සමාව පතමු. අපි ඔහුගේ සරණද, අපගෙන් සිදු වන අයහපත් සහ අකාරුණික ක්රියාවන්ගෙන් ආරක්ෂාවද පතමු. අල්ලාහ් කවරෙකුට යහමඟ පෙන්වන්නේද, ඔහු නොමඟ යවන්නට කිසිවෙකුට නොහැක. අල්ලාහ් කවරෙකුට නොමඟ යන්නට ඉඩ දෙන්නේද, ඔහුට යහමඟ පෙන්වීමට කිසිවෙකුට නොහැක. නැමදුමට සුදුසු අල්ලාහ් හැර අන් කිසිවෙක් නැති බවද, ඔහුට සහකරුවෙක් හෝ ඔහු හා සමාන කෙනෙක් නැති බවටද, සාක්ෂි දරමි. තවද, මුහම්මද්[2] සල්ලල්ලාහු අලෛයිහි ව සල්ලම් තුමාණන් අල්ලාහ්ගේ සැබෑ සේවකයෙක් සහ අල්ලාහ්ගේ සංදේශය ගෙන ආ රසූල්වරයෙක් බවද සාක්ෂි දරමි. අල්ලාහ්ගේ ආශීර්වාදය මුහම්මද් (සල්) තුමාණන්ට සහ එතුමාගේ යහපත් පවුලේ අයටද, එතුමාගේ උදාර සහාබාවරුන්ටද, එතුමා අනුගමනය කරන සියලු දෙනාටද හිමිවේවා!

තව්හිද්[3] නම් ඒක දේව විශ්වාසය පිළිබඳ අවබෝධය මුස්ලිම්වරුන්ට අත්යවශ්ය, උතුම් දැනුමක් වේ. අල්ලාහ් ගැනද, ඔහුගේ අලංකාරවත් නාමයන් සහ ගුණාංගයන් ගැනද තම වහලුන් කෙරෙහි ඔහුගේ අයිතීන් ගැනද, මෙම දැනුම නියෝජනය කරයි. මෙම දැනුම අල්ලාහ් වෙත ළඟාවීමට මාර්ගයක් වන අතර ඔහුගේ නීති රීතියන්හි අත්තිවරම ද මෙය වේ. මේ හේතුන් නිසා, තව්හීද් හෙවත් ඒක දේව විශ්වාසය කෙරෙහි ජනතාවට ආරාධනා කිරීමෙහි සියලු රසූල්වරුන් අතර එකඟතාවක් තිබේ.

අති උතුම් අල්ලාහ් කුර්ආනයේ මෙසේ පවසයි. “මා හැර දෙවියෙක් නැත. එහෙයින් මාහට පමණක් නමදිනු යැයි ඔහුට වහී පහළ කොට මිස (මුහම්මද් තුමණි!) ඔබට පෙර කිසිදු රසූල් වරයෙකු නොඑව්වෙමි." සූරා 21:25

නැමදුමට සුදුසු සැබෑ එකම දෙවියා ඔහු පමණක් බවද, ඔහු හා සමාන හෝ ඔහුගේ නාමයන්හි හා ගුණාංගයන්හි හෝ සමාන කිසිවෙක් නැති බවද, අල්ලාහ් තම වහ්දානිය්යා නම් ඒකීයත්වය පිළිබඳ ව සාක්ෂි දරයි. මලාඉකාවරුන් සහ දැනුම සහිත ජනයාද එලෙසම සාක්ෂි දරති.

“ඔහු හැර (අන්) දෙවියෙක් නැත යැයි අල්ලාහ්ද, මලාඉකාවරුන්ද, දැනුම ඇති අයද සාක්ෂි දරති. ඔහු හැර (අන්) දෙවි කෙනෙක් නැත. ඔහු බල සම්පන්නය. නුවණැතිය." (3:18)

තව්හීද් නම් ඒක දේව විශ්වාසය දරන මෙවැනි උසස් ස්ථානය හේතු කොට ගෙන, සෑම මුස්ලිම්වරයෙකුම අත්යවශයෙන්ම එය ඉගෙන ගැනීම, පහදා ගැනීම, සහ පිළිගැනීම තුළින් සැකයෙන් තොරව අවනතවීමෙන්, තම දීනය ස්ථීර පදනම මත ගොඩ නඟා ගත යුතුය. එවිට මෙම මාර්ගයෙහි යහපත් පලදාව ලබා ගැනීමේ වාසනාවද ඔහුට හිමි වේ.

අෂ් ෂෙය්ක් මුහම්මද් සාලෙහ් අල් උතෙයිමීන්

පරිවර්කගෙන් වචනයක්

ආගමෙන් ඉටු විය යුතු අවශ්යතාවන් දෙකක් ඇත. ඒවා නම්

1. මැවුම්කරු වන දෙවියා කවුද? ඔහු හා ඔහුගේ මැවීම් අතර තිබෙන සබන්ධතාවය කුමක්ද? යන්න ආගම පැහැදිලි ව පෙන්විය යුතුය. මෙම දැනුම, එක්තරා පිරිසකට හෝ කුලයකට හෝ පමණක් සීමා නොවී, ලොවේ සෑම කෙනෙකුටම ලැබිය යුතුය.

2. මෙම දැනුම සහිත ව, ලොවෙහි යහපත් ලෙස ජීවත්වන්නේ කෙසේ දැයි පැහැදිලි කිරීමේ වගකීමද ආගමෙන් ඉටු විය යුතුය.

මෙම අවශ්යතාවන් දෙකම ඉටු වන විට, එය පිළිගත් සෑම කෙනෙකුම ආගම පෙන්වන සිමාව තුළ ජිවත් වීමට වෑයම් කිරීමෙන්, සමාජයේ සාමය සහ සංවරය පවතින අතර, ඇතැම් සමාජයන් හි ආගමේ නමින් සිදු වන ගසා කෑම් සහ මුළාකිරීම් අවසන් වන්නටද හැකි වේ.

මුස්ලිම් දෙමාපියන්ට ජනිත වූ හේතුවෙන් අපි මුස්ලිම් බවට පත් වුයෙමු. අල් හම්දු ලිල්ලාහ්! මුස්ලිම්වරු ලෙස උපත ලැබු අපි ඉස්ලාමයේ සැබෑ අර්ථය ඉගෙන ගන්නටද වෑයම් කළ යුතු නොවේද?

මෙහි මුල් පියවර වශයෙන් ඉස්ලාම්හි දේව විශ්වාසය යනු කුමක් දැ යි අපි පැහැදිලි ව අවබෝධ කර ගත යුතුය. ඊමානය තර කර ගත් කෙනෙකුට, දෙවන පියවර වන ඉස්ලාම් පෙන්වන යහපත් ජීවිතයේ නිරත වීමට, ඉන්ෂා අල්ලාහ් පහසු වන බව නිසැකය.

ඉස්ලාමය ගැන සැබෑ අවබෝධයක් නොමැති කෙනෙක්, ඉස්ලාම් පෙන්වන යහපත් ජීවිතයේ නිරත වෙන්නේ කෙසේද? ඉස්ලාමය ඉගෙන ගෙන ලොවෙහි සෑම දේශයකම නවක මුස්ලිම් වරු බවට පත් වන ලක්ෂ සංඛ්යා අතර, උපතින් මුස්ලිම්වරු පිරිසක් ඉස්ලාමීය දැනුම මඳ බැවින් ඉතා අසරණ තත්ත්වයකට පත් ව සිටිනා බව කනගාටුවෙන් වුවද කිව යුතු වේ. ඉස්ලාම් තහනම් කළ ක්රියාවන් හි පවා නොදැනුවත්ව ආගමේ නමින් ඇතැමුන් නිරත වීමට ඉඩ ඇත.

ඊමානයේ මූලික කරුණු පහදා දෙන ෂෙයික් උතෙයිමීන්ගේ “ෂර්හ් උසුල් අල් ඊමාන්" හෙවත් දේව විශ්වාසයේ අර්ථ කථනය නම් මෙම කුඩා පොත් පිංචය, සිංහල භෂාවෙන් අධ්යයන ලබන මුස්ලිම් වරුන්ගේ පහසුව සඳහා සිංහල බසට පරිවර්තනය කළෙමි. සිංහල දන්නා ලාංකේය මුස්ලිම්වරු සුළු පිරිසක් හෝ මෙම පොත් පිංචයෙන් ප්රයෝජන ලබන්නේ නම් අල්ලාහ්ට සියලු ස්තූතිය සහ ප්රශංසා හිමිවේවා!

ජාසිම් ඉබ්නු දඉයාන්

2004 සැප්තැම්බර 25 වන දින

ඉස්ලාම් නම් දීන් [4] - ආගමික මාර්ගය

මුහම්මද් (සල්) තුමාණන්ගේ මාර්ගයෙන් අල්ලාහ් විසින් එවනු ලැබු දීනය ඉස්ලාම්ය. අල්ලාහ් මෙය අවසාන දහම වශයෙන් සකස් කර ඔහුගේ මැවීම් සඳහා සම්පූර්ණ කළේය. මිනිසාට අල්ලාහ්ගේ අනුග්රහය සම්පූර්ණ කිරීමක් වශයෙන් ඔවුන්ට එය දීනයක් ලෙස තෝරා ගත්තේය. ඉස්ලාම් නම් දීනය හැර වෙනත් කිසිම ආගමක් කිසිවෙකුගෙන් පිළිනොගන්නා බව අල්ලාහ් කුර්ආනයේ පවසයි.

“මුහම්මද්! අද දින මම ඔබට ඔබගේ සන්මාර්ගය පරිපූර්ණ කෙළෙමි.මගේ ආශීර්වාදය ඔබ වෙත පූර්ණ කෙළෙමි. ඔබට මාර්ගයක් වශයෙන් ඉස්ලාම් (මඟ) සතුටින් තොරා දුනිමි."[5] 5:3

“යමෙක් ඉස්ලාම් (මාර්ගය) නොවන දැය සන්මාර්ගයක් ලෙස තෝරා ගතහොත්, එය ඔහුගෙන් භාර ගනු නොලැබේ. ඔහු අන්තිම දිනයෙහි විශාල පාඩු ලැබුවන්ගෙන් කෙනෙකි." කුර්ආන් 3:85

ඉස්ලාමය තුළින් මිනිසා අල්ලාහ්ට අවනත විය යුතු බව ආඥා කර මුහම්මද් (සල්) තුමාණන් අමතා අල්ලාහ් මෙසේ පවසයි.

“අහෝ මනුෂ්යයයෙනි! ඇත්තෙන්ම මම ඔබ සැම වෙත අල්ලාහ්ගේ රසූල්වරයෙක් වෙමි. අහස්හිද පොළොවෙහිද රාජ්යය ඔහුටය. ඔහු හැර දෙවියෙක් නැත. ඔහු ජීවය දෙන්නේය. මරණය පමුණුවන්නේය. එහෙයින් අල්ලාහ් ගැනද, ඔහුගේ වචනයන්[6] ගැනද විශ්වාස කරන උම්මි (අකුරු නොදන්නා) නබි වූ රසූල්වරයා ගැනද විශ්වාස කර ඔබ යහ මඟ වනු පිණිස ඔහු අනුගමනයද කරනු යැයි කියනු." අල් කුර්ආන් 7:158.

“මුහම්මද්ගේ ප්රාණය කා අතේ තිබේද, ඔහුගේ (අල්ලාහ් ගේ) නාමයෙන් දිවුරා කියමි. (වර්තමාන) යුදෙව් හා ක්රිස්තියානුවන් අතර යමෙක් මා ගැන ආරංචි වී, මා සමඟ එවන ලද නිවේදනය (ඒක දේවත්වය) විශ්වාස නොකර මියැදෙන්නේ නම්, ඔහු අපාය ගින්නෙහි තම වාසස්ථානය තනා ගත් කෙනෙකි." යැයි මුහම්මද් නබි (සල්) තුමාණන් පැවසු බව අබු හුරෙයිරා (රළි)[7] දන්වයි. මූලාශ්ර මුස්ලිම් 1:284

මුහම්මද් (සල්) තුමාණන් කෙරෙහි විශ්වාසය ගැබීම යනු, එතුමාණන් රැගෙන ආ කරුණු සත්යය බව සම්පූර්ණයෙන් පිළිගෙන එයට අවනත වීම තුළින් සාක්ෂි දැරීම වේ. එහෙත් සාක්ෂි දැරීමේ වචන මාලාව පැවසීමෙන් පමණක් විශ්වාසය සම්පූර්ණ වන්නේ නැත. නබි (සල්) තුමාගේ ඥාතියෙකු වන අබි තාලිබ්, නබි (සල්) තුමාට සහය දී, උසස් ආගමක් එතුමා ගෙන ආ බව පැවසු නමුත්, රසූල් (සල්) තුමා කෙරෙහි විශ්වාසය තැබු කෙනෙක් බවට ඔහු පත් වුයේ නැත.

සියලු පැරණි ආගම් හි සඳහන් මානව ශුභ සිද්ධීන් සියල්ල ඉස්ලාම් නම් දීනයේද අඩංගු වී තිබේ. සෑම කාලයකටම, සෑම ස්ථානයකටම, සෑම ජාතීන්ටම ගැළපීම ඉස්ලාම්හි විශේෂ ලක්ෂණයවේ.

අල්ලාහ් තම රසූල්වරයා මෙසේ අමතයි. “ඇත්තෙන්ම, අපි සත්යමය පුස්තකය (කුර්ආනය) එයට ඉදිරියෙහි වූ (පෙර පහළ වූ) පුස්තක සත්ය කරමින්ද, එය ආරක්ෂා කරමින්ද, (උසස් විශ්වාසතම සාක්ෂියක් ලෙස මුහම්මද් තුමණි!) ඔබ වෙත පහළ කෙළෙමු." කුර්ආන් 5:48.

ඉස්ලාමය අනුගමනය කිරීමෙන්, ඕනෑම තැනක හා ඕනෑම කාලයක පවතින මුස්ලිම් සමාජයන්ගේ සුබසාධනයට පටහැණිව කිසිවක් සිදුනොවීම, දීන් හි සුදුසුකමක් වේ. සැබැවින්ම මුස්ලිම් සමාජයක් වර්ධනය ලබන්නේ ඉස්ලාම් තුළින්ය. එහෙත් එක් එක් අයට කැමති ආකාරයට, ස්ථානයට හෝ කාලයට ගැළපෙන අයිරින් ඉස්ලාම් දීනය වෙනස් වන්නේ යැයි මෙයින් අදහස් නොවන බව සලකන්න.

ඉස්ලාමීය දීනය යනු සත්ය ධර්මය වේ. කවරෙක් එය සැබැවින්ම අනුගමනය කරන්නේද, ඔහුට විශිෂ්ට ජයද, එය අනුගමනය නොකරන අයට වඩා උසස් පැවැත්මද දෙන බව අල්ලාහ් පොරොන්දු වෙයි. අල්ලාහ් මෙසේ පවසයි. “මුෂ්රික්වරුන් එය ප්රිය නොකළ නමුදු, එය (ඉස්ලාමය) සියලු මාර්ගයන්ටම වඩා උසස් ලෙස පැතිර පවතිනු පිණිස යහ මඟද, සත්ය ධර්මයද සමඟ ඔහුගේ රසූල්වරයා (මුහම්මද් තුමාණන් ව) එව්වේ ඔහුය." කුර්ආන් 61:9

“ඔබ අතර විශ්වාස කර යහකම්ද කළවුන්ට, ඔහු (අල්ලාහ්) ඔවුන්ට පෙර වූ අය අධිපතීන් කළාක් මෙන් ඔවුන්ද භූමියහි අධිපතීන් කරන බව අල්ලාහ් පොරොන්දුව දුන්නේය. තවද, ඔවුන් මා නමදින්නේ නම් කිසි දෙයකින් මා හා සමානයන් නොතබන්නේ නම්, ඔවුන්ගේ බියෙන් පසුව, (එය දුරු කර) එය වෙනුවෙන් ඔවුන්ට ආරක්ෂා දෙන්නෙමි. මෙයට පසුව යම් කෙනෙක් විශ්වාස නොකරන්නේද, ඒ අය දුදනෝය. (අල්ලාහ්ට අකිකරු වූ කැරලි කරුවන් වන්නෝය." කුර්ආන් 24:55

අකීදා නම් ඒක දේව විශ්වාසය සහ ෂරීආ නම් ඉස්ලාමිය නීති රිතීන්ගෙන් ඉස්ලාමිය දීනය සමන්විතය. ඒවා අංග සම්පූර්ණද වේ. ඉස්ලාමය පහත සඳහන් පරිදි අණ කරයි.

· ඒක දේවත්ව නම් තව්හීදය ආඥා කර, අල්ලාහ්ට සහකරුවන් සහ ආදේශකයන් තබන ෂිර්ක් නම් ක්රියාව තහනම් කරයි.

· සත්යතාවය අණ කර, අසත්ය තහනම් කරයි.

· ධර්මිෂ්ඨකම අණ කර, ද්රෝහි කම තහනම් කරයි.

· අවංකභාවය අණ කර, පාවා දීම තහනම් කරයි.

· දෙමාපියන්ට යහකම් හා යුතුකම් ඉටු කිරීම අණ කර, ඒ අයට අගෞරව කිරීම සහ අකාරුණික වීම තහනම් කරයි.

· නෑකම සුහදව පැවැත්වීම අණ කර, නෑකම බිඳ දැමීම කහනම් කරයි.

· අසල් වැසියන් හා සුහදව ජිවත්වීම අණ කර, අසල්වැසියන්ට හිරිහැර කිරීම තහනම් කරයි.

කෙටියෙන් පවසන්නේ නම්, සියලු උසස් කල්ක්රියාවන් පිළිපදින ලෙස ඉස්ලාම් අන කරන අතර, පිලිකුල් සහගත හැසිරීම් සියල්ල තහනම් කරයි. ධර්මිෂ්ඨකම අනුගමනය කරන ලෙස පවසන අතර, අකුසල් ක්රියාවන් සියල්ල තහනම් කරයි.

අල්ලාහ් කුර්ආනයේ මෙසේ පවසයි. “ඇත්තෙන්ම අල්ලාහ් සාධරණකමද, යහකමද[8], ඥාතීන්ට උදව් උපකාර මගින් සංග්රහ කරන ලෙසද, දූෂණ කමින්ද[9], පාටකමින්ද[10], නපුරුකමින්ද වළකින ලෙසද අණ කරන්නේය.දීර්ඝ ලෙස කල්පනා කරනු පිණිස ඔබට උපදෙස් දෙන්නේය." කුර්ආන් 16:90

අර්කාන් අල් ඉස්ලාම් - ඉස්ලාම් හි කුලුනු

ප්රධාන කුලුනු පහක් මත ඉස්ලාමය ගොඩ නගා ඇත. අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළි) තුමා, නබි (සල්) තුමාණන්ගෙන් වාර්තා කළේ මෙසේය.

1. ඒක දේවත්වය ස්ථාපනය කිරීම. (තවත් වාර්තාවකට අනුව, නැමදුමට සුදුසු අල්ලාහ් හැර අන් කිසිවෙක් නැති බවටද, මුහම්මද් (සල්) තුමාණන් අල්ලාහ්ගේ සේවකයෙක් හා රසූල් වරයෙක් බවටද සාක්ෂි දැරීම.

2. සලාහ් (නැමදුම) ස්ථාපනය කිරීම.

3. zසකාත් නම් බදු ගෙවීම.

4. රමදාන් මස උපවාසෙහි යෙදීම සහ

5. මක්කාවට හජ් වන්දනාවේ යෑම යනාදිය ලෙසය.

උපවාසය සහ හජ් වන්දනාව අතර ප්රථමයෙන් කළ යුත්තේ කුමක් දැ යි කෙනෙක් ප්රශ්න කළ විට, “රමදාන් ප්රථමයෙන් සඳහන් වී මම ඇසුවෙමි." යැයි වාර්තාකරු දන්වයි. (සහීහ් මුස්ලිම්)

· අල්ලාහ්ගෙන් නිවේදනය ගෙන ආවේ (මුහම්මද් (සල්) තුමාණන්ය. එනිසා එතුමා සැබැවින්ම අල්ලාහ්ගේ සේවකයෙක් සහ (ඉස්ලාම් නම්) නිවේදනය ගෙන ආ කෙනෙක් යැයි සහතික කිරීම ලා ඉලාහ ඉල්ලල්ලාහ් යන ෂහාදාවෙහි අඩංගු වී ඇත.

කෙනෙකුගේ ක්රියාවන් හරියාකාරව ඉටු කිරීමටද ඒවා පිළිගනු ලැබීමටද අවශ්ය වන පදනම ලා ඉලාහ ඉල්ලල්ලාහ් සහ මුහම්මද් රසූලුල්ලාහ් යන සාක්ෂි දෙකම වේ. එයට හේතුව, ඉහ්ඃලාස් (අල්ලාහ්ට පමණක් අවංක භක්තිය) සහ මුතාබආත් (රසූප් තුමාණන්ගේ ආදර්ශය) නොමැති ක්රියාවන් පිළිගනු නොලැබේ. ලා ඉලාහ ඉල්ලල්ලාහ් යන ෂහාදාව ඉෂ්ට වන්නේ ඉහ්ඃලාසය තුළින් පමණි. එමෙන්ම මුහම්මද් (සල්) අල්ලාහ්ගේ රසූල්වරයා වේ යන ෂහාදා ව ප්රත්යක්ෂ වන්නේ රසූල් තුමාණන්ගේ මුතිබආත් (ආදර්ශය පිළිපැදීම) තුළින් පමණි.

මෙම වැදගත් ෂහාදා දෙක ප්රකාශ කිරීමෙන්, මවනු ලැබු දෑ වලට වහල් වීමේ භාවයෙන් කෙනෙකුගේ සිත සහ ආත්මය නිදහස් වන අතර, රසූල් (සල්) තුමාණන්ගේ ආදර්ශයෙන් බැහැරව වෙනත් මාර්ගයක් අනුගමනය කිරීමෙන්ද කෙනෙක් වැළකී සිටියි.

දෙවනුව: සලාහ් නම් නැමදුම ස්ථාපනය කිරිම. එනම් නියමිත වේලාවට සහ නියමිත ආකාරයට අල්ලාහ්ට නැමදුම් කිරීම වේ. කෙනෙකුගේ හදවත විවෘත වීම, සතුටට පත්වීම, අකුසල් හා පාප ක්රියාවන් සිදු කිරීමෙන් වැළකීම යන ඇතැම් යහඵල මෙයින් සිදු වේ.

තෙවනුව: zසකාත් ගෙවීම. එනම් කෙනෙකුගේ ධනයෙන් නියමිත ප්රමාණයක් දන් දීමෙන්, අල්ලාහ්ට නැමදුම් කිරීම වේ. කෙනෙක් ලෝබකම හා තණ්හාව වැනි අයහපත් ගුණාංගයන් ගෙන් ඉවත් වී, පිරිසිදු වන අතර ඉස්ලාමය සහ මුස්ලිම්වරුන්ගේ අවශ්යතාවන් ඉෂ්ට කිරීමෙහි යහඵල කිහිපයක් සිදු වේ.

හතරවන: උපවාසය. එනම් උපවාසය අවලංගු කරන බව දන්නා සියලු දැයින් වැළකී, සෑම වසරක්ම රමදාන් මස උපවාසයේ යෙදීම තුළින්, අල්ලාහ්ට නැමදුම් කිරීම වේ.

අල්ලාහ්ගේ සතුට ලබා ගන්නා අරමුණින් තමා කැමති දෑ වලින් ඉවත් වීමටද, එම වැළකීම ඉවසීමෙන් දරා ගන්නාටද උපවාසය පුහුණු කරයි.

පස්වන: මක්කාවෙහි පිහිටි අල්ලාහ්ගේ නිවසට හජ් වන්දනාවේ යෑම. හජ් වන්දනා ක්රියාවන්හි යෙදෙනු පිණිස අල්ලාහ්ගේ ශුද්ධ වූ නිවස වන කඅබාවට යෑමෙන්. අල්ලාහ්ට නැමදුම් කිරීම වේ.

මෙහි යහඵල නම්, අල්ලාහ්ගේ සතුට පතා ශරීරයෙන් සහ මුදලින් පරිත්යාග කිරීමට පුහුණුවීම වේ. මේ හේතුන් නිසා, හජ් වන්දනාව එක්තරා ජිහාද් ක්රමයක් ලෙස සැලකේ.

ඉස්ලාම්හී, ඉහත සඳහන් මූලික කරුණු සහ සඳහන් නොකළ අනිකුත් කරුණු සියල්ල, සත්ය 'දීනය' අනුගමනය කිරීමෙන් අල්ලාහ්ට අවනත වන සුචරිතයෙන් යුත් පිරිසිදු ඉස්ලාමීය සමාජයක් බවට මෙම සමාජය පත් කරයි. මෙවැනි සමාජයේ අල්ලාහ්ගේ අනිකුත් මැවීම් වලටද, සත්යයෙන් සහ සාධාරණකමින් සලකනු ලැබේ. ඉස්ලාමයේ අනිකුත් නීතිරීති නිසියාකාර ව පිළිපැදීමට නම්, මෙම මූලික කරුණු නිවැරදි ලෙස අනුගමනය කළ යුතුය. ඉහත සඳහන් නිගමනය සැබෑ වන්නේ එවිටය.

'දීන්' පිළිබඳ කරුණු නිසියාකාර ව අනුගමනය කරන්නේ නම්, ඉස්ලාම් සමාජය දියුණුව හා සෞභාග්යමත් තත්ත්වය ලබන්නේය. එම සමාජය, දීනය පිළිපැදීම අත්හරින ප්රමාණයට අනුකූලව, එහි සමෘද්ධියද හීන වේ. මෙයට සාධක සොයන අය, අල්ලාහ්ගේ මෙම වාක්ය කියවා බැලිය යුතුය.

“ඒ නගර වාසීන් විශ්වාස කොට, භය භක්තියෙන් වුවා නම්, අහසින්ද, පොළොවෙන්ද සම්පත්හි ආශීර්වාදය අපි ඔවුන්ට විදහා දෙන්නෙමු. එහෙත් ඔවුන් රසූල්වරුන් ප්රතික්ෂේප කළහ. එහෙයින් ඔවුන් උපයා ගත් දැයින් අපි (දඬුවම් දී) ඔවුන් හසු කළෙමු. ඒ නගරවාසීන් රාත්රි නිදන කල්හී, අපගේ දඬුවම ඔවුන්ට පහළ වෙයි යන බියෙන් මිදුණෝද? නැතහොත් එම නගරවාසීන් කෙළියෙහි යෙදී සිටියදී, දහවල් කාලයෙහි ඔවුන්ට අපගේ දඬුවම් පහළ වෙයි යන බියෙන් මිදුණෝද?" කුර්ආන් 7: 96 සිට 99 දක්වා.

මෙයට පෙර වූ ජාතින්ගේ ඉතිහාසය ගැන සොයා බලන්න. කල්පනා කිරීමේ හැකියාවද, අන්ධකාර තිරයෙන් ආවරණය නොවු සිතක් ද සහිත කෙනෙකුට ඉතිහාසයෙන් වැදගත් පාඩමක් තිබේ. මන්ද, සහය පැතීමට හැකි වන්නේ අල්ලාහ්ගෙන් පමණි.

අකීදා නම් දේව විශ්වාසයේ මූලික කරුණු

ඉස්ලාමයේ කුලුනු ලෙස හැඳින්වන ඇතැම් කරුණු ඉහත සඳහන් කෙරුණි. එහි සඳහන් පරිදි, ඉස්ලාම් නම් දීනය, අකීදා (දේව විශ්වාසය) සහ ෂරීආ (ව්යවස්ථා, නීතිරීති සහ අධිකරණය) යන කරුණු දෙකකින් සමන්විතය.

දැන් අකීදා අල් ඉස්ලාමීයියා නම් ඉස්ලාම් හී දේව විශ්වාසය කුමක් දැ යි බලමු. අර්කාන් අල් ඊමාන් යනු අල්ලාහ් කෙරෙහිද, ඔහුගේ මලාඉකාවරුන් කෙරෙහිද, ඔහුගේ ආගමික ග්රන්ථයන් කෙරෙහිද, ඔහුගේ නිවේදනය රැගෙන ආ රසූල්වරුන් කෙරෙහිද, අවසාන දිනය කෙරෙහිද, අල් කද්ර්[11] නම් හොඳ හා නරක කෙරෙහිද තබන විශ්වාසය වේ.

අල්ලාහ්ගේ ග්රන්ථය වන අල් කුර්ආනය සහ නබි (සල්) තුමාණන්ගේ සුන්නාහ් ව නම් ආදර්ශය, උපදෙස් හා අනුමැතිය මේවායේ සාධකවේ.

අල්ලාහ් මෙසේ පවසයි. “ඔබේ මුහුණ නැගෙනහිර දෙසට හෝ බස්නාහිර දෙසට හෝ හැරවීම (පමණක්) අල් බිර් (භක්තිය, යහකම් හෝ අවනත වීම) නොවේ. එහෙත් අල් බිර් යනු අල්ලාහ් ගැනද, අන්තිම දිනය ගැනද, මලාඉකාවරුන් ගැනද, ග්රන්ථය ගැනද, නබිවරුන් ගැනද විශ්වාස කිරීම වේ." කුර්ආන් 2:177.

අල් කද්ර් ගැන අල්ලාහ් මෙසේ පවසයි. “ඇත්තෙන්ම අපි සියලු දැය නියමයක් (කද්ර්) සහිත ව නිර්මාණය කළෙමු. අපගේ අණ, ඇස් පිය හෙළීමේ මොහොතේ දී සිදුවන්නේය." කුර්ආන් 54: 49,50.

ජිබ්රීල් නම් දේව දූතයා ඊමාන් යනු කුමක් දැ යි ඇසු ප්රශ්නයට, “අල්ලාහ් කෙරෙහි, ඔහුගේ මලාඉකාවරුන් කෙරෙහි, ඔහුගේ ග්රන්ථයන් කෙරෙහි, ඔහුගේ රසූල්වරුන් කෙරෙහි, අවසාන දිනය කෙරෙහි සහ අල් කද්ර්හි හොඳ හා නරක කෙරෙහි විශ්වාස කිරීම ඊමාන් වේ." යනුවෙන් නබි (සල්) තුමාණන් පිළිතුරු දුන්හ. මූලාශ්ර සහිහ් මුස්ලිම්.

1. අල්ලාහ් කෙරෙහි විශ්වාසය

අල්ලාහ් කෙරෙහි විශ්වාසයට කරුණු හතරක් අයත් වේ.

පළමුව, අල්ලාහ්ගේ පැවැත්ම කෙරෙහි විශ්වාසය. මෙයට සාධක නම්:

Ø ෆිත්රා නම් පිරිසිදු ස්වභාව ධර්මය,

Ø බුද්ධිය,

Ø අෂ් ෂරීආ-එනම් කුර්ආනයේ සහ සුන්නාහ්වෙන් පහළ කළ දේ,

Ø අල් හිස්-එනම් අල්ලාහ්ගේ පැවැත්ම වටහා ගත හැකි ප්රත්යක්ෂ ඥානය, හැඟීම් හෝ අවබෝධය වේ.

· ෆිත්රා නම් පිරිසිදු ස්වභාව ධර්මය:

සෑම මැවීමක්ම, පෙර කල්පනාවක් හෝ අධ්යාපනයක් හෝ නොමැති වුවද, තම මැවුම්කරු ගැන විශ්වාසය සහිත ව මවනු ලැබුවෝය. ෆිත්රා නම් මෙම ස්වභාවිකය අනුගමනය නොකිරීමට හේතු සාධක පෙන්වනු ලැබු කෙනෙක් හැර, අන් කිසිවෙක් ෆිත්රාවෙන් ඉවත යන්නේ නැත.

මේ පිළිබඳ ව, “සෑම දරුවෙකුම ෆිත්රා නම් තත්ත්වයේ උපත ලබන්නේය. එහෙත් යුදෙව්වරයෙකු හෝ ක්රිස්තු බැතිමතෙක් හෝ ගින්නට නමදින්නෙක් බවට ඔහුගේ දෙමාපියන් ඔහු ව පත් කරති." යැයි නබි (සල්) තුමාණන් පහදා දුන්හ. මූලාශ්ර සහීහ් බුහාරි 8:597.

· බුද්ධිය පිළිබඳ සාධක

පළමු ව පැමිණි සහ ඉන් අනතුරු ව පැමිණි සෑම මාවීමකටම මැවුම්කරුවෙක් සිටිය යුතුය. මන්ද කිසිම දැයක් තමන් විසින් මවනු නොලැබු අතර, ඒවා සන්නිපතිතය හේතු කොටගෙන (අහම්බෙන්) පැවැත්ම ලැබුවේද නැත. කිසිම මැවීමක්, තමන් විසින් තමා ව මවා ගත නොහැකි අතර, තම පැවැත්මට පෙර එය කිසිවක් නොවු හෙයින්, එයම මැවුම්කරුවෙක් වන්නේ කෙසේද? තවද, සෑම සිදුවීමකටම එය උත්පාදනය කළ ආරම්භකරුවෙක් සිටිය යුතු හෙයින්, යමෙක් අත් වැරැද්දකින් තමා ව මවා ගත නොහැක. තවද, මෙම මැවීම් හි විශිෂ්ට පිළිවෙළක් සහ සමානපාතික සංවිධානයක් තිබීමද, උපක්රම හා හේතුන් අතරද, අනිකුත් මැවීම් අතරද පැහැදිලි සම්බන්ධකමක් තිබීමද දකින විට, මේවා සියල්ල අත්වැරැද්දකින් සිදු වු බව කිසිසේත් කිව නොහැක. ඇත්ත වශයෙන්ම අත් වැරැද්දක් හේතු කොට ගෙන පැවතීම ආරම්භ වු බව සැලකු දැයක් ආරම්භක අවදියේදී නියමිත ආකාරයට ක්රියා කරන්නේද නැත. එසේ නම්, විනාශයෙන් ආරක්ෂා ලැබ, එම පැවැත්ම වර්ධනය වූ කාලයෙහි පවා තම නියමය තුළ රැඳී සිටියේ කෙසේද?

මේ අනුව, මෙම මැවීම් සියල්ල තමා විසින්ම තමා ව නිර්මාණය නොකර ගත්තේ නම්, හිටිහැටියේ අහම්බෙන් මෙන් ඔවුන්ගේ නිර්මාණය සිදු නොවුයේ නම්, ඔවුන්ට නිර්මාතෘවරයෙක් සිටිය යුතු බවට පැහැදිලි ව පෙනේ. එම නිර්මාතෘවරයා සකල ලෝකයන්ට අධිපති වන අල්ලාහ්ය. මෙම යුක්ති සහගත නිගමනය සූරා අන් නූර් හි අල්ලාහ් තීරණාත්මක ව සහ පැහැදිලි ව පෙන්වා දෙයි.

“ඔවුහු නිර්මාතෘවරයෙක් නොමැතිව නිර්මාණය කරනු ලැබුවා ද? නැතහොත් ඔවුහුම නිර්මාතෘවරයෝද?" අල් කුර්ආන් 52:35 යන වාක්යයෙන් කෙනෙක් නිර්මාතෘවරයෙක් නොමැතිව නිර්මාණය නොලැබු බවද, ඔවුන් තමන් විසින් තමාව නිර්මාණය නොකර ගත් බවද අල්ලාහ් පෙන්නුම් කරයි. මේ අනුව, මෙහි නිර්මාතෘවරයා අල්ලාහ් බව පැහැදිලි ව පෙනේ.

අත් තූර් නම් සූරාවෙන් “ඔවුහු නිර්මාතෘවරයෙක් නොමැති ව නිර්මාණය කරනු ලැබුවාද? නැතහොත් ඔවුහුම නිර්මාතෘ වරුන්ද? හෝ ඔවුහු අහස්ද පොළොවද නිර්මාණය කළාද? නැත. ඔවුහු ස්ථීර විශ්වාසය නැත්තෝය. හෝ ඔබේ හිමිගේ නිධාන ඔවුන්ගේ අතෙහිද? ඔවුහු තමා කැමති දේ එහි කරන්නට අධිකාරියෝද?" අල් කුර්ආන් 52: 35 සිට 37 දක්වා වැකි නබි (සල්) තුමාණන් පාරායනය කළ විට, එම වාක්යයන්ට ජුබෙයිර් ඉබ්නු මුතිම් (රළි) තුමා සවන් දුන්නේය. එම අවස්ථාවේ දී ඔහු බහු දේව වන්දනා කරුවෙකි. ඔහු මෙසේ පැවසුවේය. (මෙම තර්කයට සවන් දුන්) මගේ හදවත ඉවත යන්නට පටන් ගත්තේය. තවද, ඊමානය (නම් දේව විශ්වාසය) මාගේ හදවතේ ප්රථම වරට හට ගත්තේ එම මොහොතේය." මූලාශ්ර සහිහ් අල් බුහාරි 6:358 සහ 277.

මෙම කරුණු පැහැදිලි කිරීමට ඔබට තවත් උදාහරණයක් දෙමි. දිය ඇල්ල සහිත අලංකාරවත් මල්වත්තක් මැද, ගෘහ භාණ්ඩ සහ අනිකුත් සුඛෝපභෝගි උපකරණ සියල්ල සවි කළ මාලිගාවක් ඔබට පෙන්වා, “මෙම සම්පූර්ණ මාලිගාව තමා විසින්ම නිර්මාණය කර ගත්තේය. නැතහොත් නිර්මාතෘවරයෙක් නොමැති ව අහම්බෙන් මෙන් නිර්මාණය සිදු විය." යැයි කෙනෙක් පැවසවේ නම්, ඔහුගේ කතාව ඒ මොහොතේම ඔබ ප්රතික්ෂේප කරන බව නිසැකය. ඔහුගේ තර්කය විහිළුවක් බවද ඔබ සලකන්නේය. එසේ නම්, ඉතා කදිම නියමයක් සහ පරිසරයක් සහිත ව පවතින මෙම විශ්වය සහ මහ පොළොව, අහස සහ ග්රහ ලොව සියල්ල තමන් විසින්ම නිර්මාණය කර ගත්තේද? මැවුම්කරුවෙක් නොමැති ව මේවා තම පැවැත්ම තමන් විසින්ම ආරම්භ කර ගත්තේද?

· අෂ් ෂර්ආ: ග්රන්ථයන්ගෙන් අල්ලාහ්ගේ පැවැත්ම පිළිබඳව සාධක;

පහළ වූ සියලු ආගමික ග්රන්ථයන් අල්ලාහ්ගේ පැවැත්ම ගැන පවසන හෙයින්, ඒවා පෙන්වන සාධක අෂ් ෂර්ආ වේ. මැවීම්හි සුබ සාධනය සඳහා ආගමික ග්රන්ථයන්හි සඳහන් නීති රීතීන් සියල්ල තම මැවීම් ගැන සහ ඔවුන්ගේ අවශ්යතාවන් පිළිබඳ දැනුම සහ සියලු ඥානය සහිත වූ අධිපති කෙනෙකුගෙන් පහළ වූ බව පෙන්නුම් කරයි. විශ්වය පිළිබඳ තොරතුරු ආගමික ග්රන්ථයන්හි පහළ වීමද, එම තොරතුරු සැබෑ බවට පසු කාලයක ප්රත්යක්ෂ වීම ද සියලු දැ ය ගැන ඥානය සහිත වූ එකම අධිපතිගෙන් එම තොරතුරු පහළ වූ බවද තමා දැන් වූ සියල්ල ඉටු කිරිමේ හැකියාව ඔහුට තිබෙන බවද පෙන්නුම් කරයි.

· අල් හිස්: අල්ලාහ්ගේ පැවැත්ම පිළිබඳ කායික සාධක

මෙහි කරුණු දෙකක් අඩංගු වේ. පළමුව, පීඩාවට හෝ දුකට පත් වු කෙනෙක් සහන පතා යාච්ඥා කරන විට, එයට අල්ලාහ් පිළිතුරු දෙන ආකාරය අපි ඇසීම සහ දැකිම වේ. අල්ලාහ් මෙසේ පවසයි.

“පෙර අපට නූහු (අලෛ) අඬ ගැසු කල, අපි ඔහුට පිළිතුරු දුන් බව (සිහි කරවු)" අල් කුර්ආන් 21:76.

තවද,“ඔබ ඔබගේ දෙවියාගෙන් උදව් ඉල්ලු විට, ඔහු ඔබට පිළිතුරු දුන්නේයයි (සිහි කරනු)" කුර්ආන් 8:9

අනස් ඉබ්නු මාලික් (රළි) මෙසේ දන්වයි. “නබි (සල්) තුමාගේ ජිවිත කාලයේ වැස්ස නොමැති ව ජනතාව මහත් පීඩාවට පත් වුහ. නබි (සල්) තුමාණෝ සිකුරාදා දවසක් කුත්බා දේශනාව පවත්වමින් සිටිය දී, ගම්බද අරාබි වරයෙක් නැගිට. 'අල්ලාහ්ගේ රසූල් (සල්) තුමාණනි! අපේ දේපළ විනාශ වී, අපගේ දරුවන් කුස ගින්නෙන් පෙළෙති. කරුණාකර අල්ලාහ්ගෙන් (වර්ෂාව සඳහා) යාච්ඤා කරන්න.' යැයි සිටියේය. එවිට නබි (සල්) තුමාණන් (වැස්ස ඉල්ලා) තම දෑත ඉස්සීය. එම මොහොතේ දී අහසේ එක වළාකුලක් වුවද දක්නට නොතිබුණි. මගේ ප්රාණය කාගේ අතේ තිබේද, (ඔහුගේ නාමයෙන් දිවුරා කියමි) විශාල පර්වත මෙන් වළාකුළු රැස් වී, නබි (සල්) තුමාණන් මිම්බරයෙන් බසින්නට පෙර, එතුමාගේ රැවුල මත වැහි බින්දු වැටුණු මම දුටුවෙමි. එදින, පසු දින, තුන්වන දින, සිව් වැනි දින සහ අනෙක් සිකුරාදා දක්වා වැස්ස තිබුණි. (අනිත් සිකුරාදා) එම ගම්බද අරාබිවරයා හෝ තවත් කෙනෙක් නැගිට, 'අල්ලාහ්ගේ රසූල් තුමණි! අපේ ගෙවල් දොරවල් කඩා වැටුණි. අපේ දේපළ සහ ගවයන් ජලයේ ගිලී අවසානය. කරුණාකර (වැස්ස නවත්වන ලෙස) අල්ලාහ්ගෙන් යාච්ඤා කරන්න.' යැයි ඉල්ලා සිටීය. එවිට නබි (සල්) තුමාණන් තම දෑත ඔසවා, 'අල්ලාහ්! අප වටේට, අප මත නොව්.' යැයි පැවසුහ. එතුමා කුමන දිසාවට අත පෙන්වුයේද, එම දිසාවට වළාකුල් විසිරී ගියේය." මූලාශ්ර සහීහ් අල් බුහාරි 2:55.

අල්ලාහ්ගෙන් පිළිතුරු ලැබීමට අවශ්ය කොන්දේසි සම්පූර්ණ කර, අල්ලාහ්ගෙන් පමණක් අවංක ව යාච්ඤා කරන කෙනෙකුගේ ඉල්ලීම් ඉෂ්ට වන ආකාරය අද පවා අප දකින දෙයකි.

මෙහි දෙවන කොටස නම්, නබිවරුන්ගේ සලකුණක් වශයෙන් ඒ අයගේ ජනතාව දුටු හෝ ආරංචි වූ ඇතැම් “මුඋජිසාත්" (හාස්කම්), එම නබිවරුන් ලොවට පහළ කළ අල්ලාහ්ගේ පැවැත්ම ගැන වෙනස් කළ නොහැකි සාක්ෂි දරයි. ඇත්ත වශයෙන්ම, මෙම ප්රාතිමාර්යයන් සාමාන්ය ජනතාවගේ හැකියාවෙන් සිදු කළ නොහැකි අතර, මෙවැනි ප්රාතිහාර්යයන් මගින් රසූල්වරුන්ට උපකාර සහ සහය දීමෙන්, අල්ලාහ් තම පැවැත්ම ගැන පැහැදිලි ව පෙන්වයි. මූසා (අලෛ) තුමාට හැරමිටියෙන් මුහුදේ ජලයට පහර දෙන ලෙස අල්ලාහ් අණ කිරීමෙන් එසේ කළ විට මුහුදේ ජලය විශාල කඳුමෙන් වෙන් වී, වියළි මාර්ග එකොළොහක් මතු වීම මෙයට උදාහරණයක් වේ.

“ඔබේ හැරමිටියෙන් මුහුදට ගසනු. යැයි මූසාට වහී පහළ කෙළෙමු. එවිට එය (මුහුද) බෙදී එක එක කොටසකගෙන් පර්වතයක් මෙන් වුයේය." කුර්ආන් 26:63

අල්ලාහ්ගේ අනුමැතියෙන් මළවුන්ට ප්රාණය දී යළි නැගිටවීම, මළවුන් සොහොනෙන් පිට කිරීම යන ප්රාතිහාර්යයන් ඊසා (අලෛ) නම් ජේසු තුමාට දෙන ලද සලකුණු පිළිබඳ උදාහරණ වේ. මේ ගැන අල්ලාහ් මෙසේ පවසයි. “මම අල්ලාහ්ගේ අවසරයෙන් මළවුන් නැගිට වන්නෙමි." කුර්ආන් 3:49 සහ “ඔබ මගේ අනුමැතියෙන් මළවුන් නැගිට්ටුවේය." කුර්ආන් 5:110.

වරක් මක්කාවේ සිටිනා කුරෙයිෂිවරු මුහම්මද් (සල්) තුමාගෙන් (නබිත්වය පිළිගන්නට නම්) හාස්කමක් පෙන්වන ලෙස ඉල්ලා සිටියහ. එතුමාණන් සඳ දෙකඩ කර පෙන් වු විට, එම සෙනඟ එය දුටුහ. මේ ගැන අල්ලාහ් සඳහන් කරන්නේ මෙසේය. “පැය ළං විය. හඳ දෙබෑවිණ. ඔවුහු සලකුණක් දුටුවත් ආපසු හැරෙති. තවද, 'මෙය නොපවතින ඉන්ද්ර ජාලයකි' යැයි කියති." කුර්ආන් 54:1,2.

අල්ලාහ් තම රසූල් වරුන්ට සහය හා උපකාර දක්වනු පිණිස, මෙවැනි ප්රාතිහාර්යන් සියල්ල සිදුකර, තම පැවැත්ම පිළිබඳ ව ඉවත දැමිය නොහැකි සාධකයන් පෙන්විය.

දෙවනුව: අල්ලාහ්ගේ ආධිපත්යය කෙරෙහි (රුබූබියියා) විශ්වාසය. සහකරුවෙක් හෝ හවුල්කරුවෙක් නොමැති එකම අධිපත් - 'රබ්' අල්ලාහ් පමණක් බව විශ්වාස කිරීම.

මැවීම: රාජ්ය සහ අණ යන සියල්ල අධිපති කෙනෙකුට අයත් වේ. අල්ලාහ් හැර අන් මැවුම්කරුවෙක් නැත. ඔහු හැර වෙනත් මාලික් (හිමිකරුවෙක්)[12] නොමැත. තවද, ඔහුගෙන් හැර වෙනත් අණක් නැත. අති උතුම් අල්ලාහ් මෙසේ පවසයි. “නිර්මාණයද, අණද ඔහු (අල්ලාහ්) සතුය." කුර්ආන් 7:54.

තවද, “ඒ අල්ලාහ්ය. ඔබගේ පරමාධිපතියාය. ඔහුටය රාජ්යය. ඔහු හැර ඔබ අමතන්නා වු අය ඉඳි ඇට සිවියක්වත්[13] හිමි නොකරන්නෝය." යනුවෙන් කුර්ආන් 35:13 වාක්ය පවසයි.

අහංකාරයෙන් උමතු වූ කෙනෙක් හැර, අන් කිසිවෙක් අල්ලාහ්ගේ ආධිපත්යය ප්රතික්ෂේප නොකරයි. අල්ලාහ් පැවසු දේ විහ්වාස නොකළ ෆිර්අවුන් (මහ රජ), තම ජනතාව රැස්කර ශබ්ද නගා මෙසේ කීය.'මම ඔබගේ අති උතුම් දෙවියන් වහන්සේය." කුර්ආන් 79:24.

“අහෝ ප්රධාණිනි! ඔබට මා හැර වෙන දෙවි කෙනෙක් සිටින්නේ යැයි මම නොදනිමි." කුර්ආන් 28:38 යනුවෙන් ෆිර්අවුන් පැවසුවත් එය ස්ථීර විශ්වාසය මත නොවු බව කුර්ආන් පෙන්නුම් කරයි. “ඔවුන්ගෙන් සිත් එය (අල්ලාහ්ගෙන් පැමිණි සලකුණු සහ මූසා තුමා අල්ලාහ්ගේ රසූල්වරයෙකු බව) පිළිගත් නමුත්, අන්යා යෙන් ද උඩඟුවෙන්ද ඔවුහු ප්රතික්ෂේප කළහ." කුර්ආන් 27:14.

“මේ (විස්මය ජනක) සාධක වශයෙන් පහළ කළේ අහස්හිද පොළොවෙහිද පරමාධිපති මිස, අන් කිසිවෙක් නොවන බව සැබැවින්ම ඔබ දන්නෙහිය. අහෝ ෆිර්අවුන්! සැබැවින්ම නුඹ විනාශ කරනු ලබන්නෙකු බව මම සිතමි." යනුවෙන් මූසා කීවේය. කුර්ආන් 17:102.

මේ හේතුන් නිසා, ඒ කාලයේ විවිධ දේව වන්දනාවෙහි යෙදුනු අරාබි ජනතාව පවා, නැමදුමෙහි අල්ලාහ් සමඟ අනිකුත් සහකරු වන් තබා ගත් නමුත්, ආධිපත්යය (රුබූබියියා) අල්ලාහ්ට පමණක් හිමි බව සම්පූර්ණයෙන්ම පිළිගත්හ. මේ බව අල්ලාහ් මෙසේ පවසයි.

“නුඹලා දැන සිටියෙහු නම් මිහිතලයද එහි ඇති අයද සතු වන්නේ කවරකුටදැ?යි මට කියනු." ලෙස කියනු. “අල්ලාහ්ට" යැයි ඔවුහු කියනු ඇත. “එසේ නම් ඔබ මෙනෙහි නොකරන්නේ දැයි?" විමසනු. “අහස් හතෙහි පරමාධිපති සහ අර්ෂහි පරමාධිපති කවුරුදැ? යි" විමසනු. “අල්ලාහ්" යයි ඔවුහු පවසනු ඇත. එසේ නම්, නුඹලා බිය බැතිමත් නොවන්නේදැ?" යි කියනු. සියලු දැයෙහි ආධිපත්යය කවරෙකු අතෙහි ද? තවද ඔහු ආරක්ෂාව දෙන්නේය.[14] ඔහුට එරෙහි ව කිසිදු ආරක්ෂාවක් නොමැත, ඔබ දන්නේ නම්. යැයි කියනු. “අල්ලාහ්ටයි" ඔවුහු කියන්නෝය. “එසේ නම් නුඹලා මෝහනය කරනු ලබනුයේ කෙසේදැ? යි කියනු." අල් කුර්ආන් 23:85 සිට 89 දක්වා.

“අහසද පොළොවද නිර්මාණය කෙළේ කවරෙක්දැ? යි ඔබ ඔවුන්ගෙන් ප්රශ්න කෙළෙහි නම්, එය නිර්මාණය කළේ බලසම්පන්න, සියල්ල දන්නාය ලෙස ඔවුහු කියන්නෝය." කුර්ආන් 43:9

තවද, “ඔවුන් ව නිර්මාණය කෙළේ කවුරුන්දැ?" යි ඔබ ඔවුන් ගෙන් ප්රශ්න කෙළෙහි නම්, “අල්ලාහ්" යැයි ඔවුහු කියන්නෝය. එසේ නම් (සත්යයයෙන්) ඔවුහු කෙසේ ඈත්වන්නෝද?" 43:87

සියලු දැයෙහි අධිපති අල්ලාහ්ගේ අණ අල් කව්නී (ජාත්යන්තර අණ) සහ අශ් ශර්රී (නීතිය හෝ අධිකරණ අණ) යන කරුණු දෙකකින් සමන්විතයි. විශ්වාසයෙහි සියලු කටයුතු භාර ව සිට, ඔහුට කැමති ආකාරයටද, ඔහුගේ ඥානය තුළින් අවශ්ය වන ආකාරයටද නඩත්තු කරන්නා සේ, ඉබාදාත්[15] පිළිබඳ අධිකරණය මගින්ද, මුආමලාත්[16] පිළිබඳ නීති රීතින් තුළින්ද ඔහුගේ ඥානයට අනුකූලව එවා පාලනය කරන විනිශ්චයකරුද ඔහු වේ.

මෙවැනි කරුණු හේතු කොට ගෙන, ඉබාදාවෙහි අල්ලාහ්ට අමතර ව අධිකරණ තනන්නෙක් හෝ මුආමලාත්හි අල්ලාහ්ට අමතර ව විනිශ්චය කරුවෙක් පත් කරන්නෙක්, තම ඊමානය නිසියාකාරව වටහා නොගත් කෙනෙකු වන අතර, ෂිර්ක් නම් පාපයද සිදු කළේය.

තෙවනුව: අල්ලාහ්ගේ උලූහියියා වෙහි විශ්වාසය

සහකරුවෙකු හෝ සමානකරුවෙකු හෝ නොමැති සැබෑ එකම ඉලාහ් (දෙවියා) අල්ලාහ් පමණක් යන විශ්වාසය මෙය වේ. ඉලාහ් යන පදයෙහි අර්ථය අල් මඃලූහ් වේ. එනම් මඅබූද් නම් බැතිමත්කම සහ ගුණ වර්ණනා කිරීම මගින්, නැමදුම් කිරීමට සුදුසු එකම සැබෑ දෙවියා යන්නයි.

“ඔබගේ දෙවියා (ඉලාහ්) එකම දෙවියාය. ඔහු හැර නැමදුමට සුදුසු වෙනත් දෙවි කෙනෙක් නැත. ඔහු පරම දයාලුය. අති අනුකම්පා සහිතය." කුර්ආන් 2:163.

“ඔහු හැර (අන්) දෙවියෙක් නැති බවට අල්ලාහ්ද, මලාඉකා වරුන් ද, යුක්තියෙහි ස්ථීර ව දැනුම ඇත්තෝද සාක්ෂි දරති. තම සියලු මැවීම් ඉතා සාධාරණ ව පාලනය කරන ඔහු හැර (අන්) දෙවියෙක් නැත. ඔහු බල සම්පන්නය, නුවණැතිය." කුර්ආන් 3:18

අල්ලාහ්ට අමතර ව ඉලාහ් (දෙවියෙක්) ලෙස සලකා, නැමදුම් කරන සියල්ල ව්යාජ උලුහියියා වේ.

“මෙය සැබැවින්ම අල්ලාහ් වන ඔහු සත්ය බැවින්ද, සැබැවින්ම ඔහු හැර ඔවුන් අයදින දෑ වන එය නිෂ්ඵල වන බැවින් ද සැබැවින්ම අල්ලාහ් අති උත්තරීතර, අති ශ්රේෂ්ඨ වන හෙයින් ද වේ." කුර්ආන් 22:62.

අන් අයට ආලිහා (දෙව්වරුන්) ලෙස ඇමතීමෙන් පමණක්, ඔවුන් නැමදුමට හිමි (උලුහියා) බවට පත් නොවෙති. පැරණි අරාබි ජනයා පුද පූජා කළ අල් ලාත්, අල් උzස්zසා සහ මනාත් නම් පිළිම ගැන අල්ලාහ් පවසන්නේ මෙ ලෙසය. “එය ඔබද, ඔබේ පියවරුන්ද තැබු තේරුම් විරහිත නම් මිස (වෙන කිසිවක්) නැත. අල්ලාහ් එයට අණ බලයක් පහළ නොකළේය."[17] කුර්ආන් 53:23

බන්ධනාගාරයේ තමා සමඟ සිටි සිරකරුවන්ට යූසුෆ් (අලෛ) තුමා මෙලෙස උපදෙස් දුන් බව කුර්ආනයේ අල්ලාහ් මෙසේ පවසයි.

“අහෝ සිරභාරව සිටින මගේ සගයිනි, විවිධ දෙවිවරු හොඳ ද? බල සම්පන්න[18] එකම අල්ලාහ් හොඳ ද? ඔහු හැර ඔබ නැමදුම් කරන්නේ ඔබද, ඔබගේ පියවරුන්ද නම් ආරූඪ කර ගත් නාමයන් මිස වෙන කිසිවක් නැත." කුර්ආන් 12:39 සහ 40.

මෙය හේතු කොට ගෙන සියලු නබිවරුන් සහ රසුල් වරුන් තම ජනතාවට පහත සඳහන් පරිදි උපදෙස් දුන්නෝය.

“අල්ලාහ්ට නමදිනු. ඔහු හැර වෙන දෙවියෙක් නැත." අල් කුර්ආනයේ 7:59, 23:32, 50:61, 60:73, 84:23 සහ 85:11යන වාක්යයන් දෙස බලන්න.

එහෙත් මුෂ්රික්වරුන් හෙවත් බහු දේව වන්දනාකරුවන් මෙම උපදෙස් පිළිනොගෙන, අල්ලාහ්ට සමානකරුවන් තනමින්ද, අල්ලාහ්ට අමතර ව ඔවුන්ටද පුද පූජා කරන්නටද, ඔවුන්ගෙන් සහන සහ සහය පතන්නටද ක්රියා කරති. මෙවැනි මුෂ්රික්වරුන්ගේ ක්රියාවන් අල්ලාහ් පහත සඳහන් අයුරින් අවලංගු කරයි.

පළමුව: අල්ලාහ්ට අමතර ව ඔවුන් පුද පූජා කරන දෙවිවරුන්ට කිසිදු දේව බලයක් නොමැත. මෙම ව්යාජ දෙවිවරුන් කිසි දෙයක් නිර්මාණය නොකළ අතර, ඔවුන් පවා මිනිසුන් විසින් මවනු ලැබු හෙයින්, තමන්ට පුද පූජා කරන්නන්ට හොඳක් කිරීමට හෝ ඒ අයට සිදු වන හානියකින් ආරක්ෂාව සපයන්නටද නොහැකි වෙති. ප්රාණයක් දෙන්නට නොහැකි ඔවුන්ට මරණයද සිදු කිරීමට නොහැක. අහස්හි කිසි දෙයක් ඔවුන්ට හිමි නොවන අතර, එහි කොටස්කරුවන්ද නොවන්නෝය. අල්ලාහ් මෙසේ පවසයි.

“ඔවුහු, ඔහු (අල්ලාහ්) හැර අන් දෙවිවරුන් ගත්තෝය. ඔවුහු (ව්යාජ දෙව්වරුන්) කිසිවක් නිර්මාණය නොකළ අතර, ඔවුහුද නිර්මාණය කළ ලද දේවල්ය. තමන්ට විපතක් හෝ සැපතක් කර ගන්නටද ඔවුන්ට නොහැක්කෝය." කුර්ආන් 25:3 මේ පිළිබඳව බයිබලය පවසන්නේ කුමක් දැ යි බලන්න.[19]

(දේව විශ්වාසය නොමැති කාෆිර්වරුන්ට මුහම්මද් තුමනි!) පවසනු. අල්ලාහ් හැර නුඹලා (අල්ලාහ්ගේ සහකරුවන් යැයි) වරදවා සිතන අයව අඬ ගසනු. අහස්හි හෝ පොළොවෙහි ඔවුහු අණු ප්රමාණ බරකටවත් බලයක් නොලබති. ඒ දෙකෙහි ඔවුන්ට (කිසිදු) කොටසකටවත් හිමි නොවෙත. තවද, ඔවුන්ගෙන් ඔහුට උදව් කරුවෙක්ද නැතැයි කියනු. තවද ඔහු (අල්ලාහ්) කවරෙකුට අනුමත දුන්නේද ඔහු මිස ඔහුගේ අභියස මැදිහත් ව කතා කිරීම ප්රයෝජන නොවන්නේය.“ යි කුර්ආන් 34: 22 සහ 23 වැකි පවසයි.

කිසි දෙයක්වත් නිර්මාණය නොකරන අනෙක් (ව්යාජ) දෙවි වරුන්, ඔවුන්ද (මිනිසා විසින්) නිර්මාණය කරන ලැබු දේ (ප්රතිමාවන්ට) උදව් කරන්නට හෝ තමන්ට වුවද උදව් කර ගන්නට ඔවුහු (ව්යාජ දෙව්වරුන්) හොහැක්කෝමය." කුර්ආන් 7:191,192.

ව්යාජ දෙව්වරුන්ගේ තත්ත්වය මෙසේ තිබියදී, අල්ලාහ්ට අමතර ව ඒවාට නැමදුම් කිරිම සම්පූර්ණයෙන්ම නිෂ්ඵල සහ පුහු ක්රියාවක් බව පෙනේ.

දෙවනුව: සියලු මැවීම්හි අධිපති (රබ් අල් හාඃලික්) අල්ලාහ් පමණක් බවද අධිරාජ්යය ඔහුට පමණක් හිමි බවද, ඔහුට එරෙහිව කිසිදු ආරක්ෂක වරයෙක්[20] නැති බවද, බහු දේව වන්දනාකරුවන් පවා පිළිගනිති. සියලු දැයෙහි ආධිපත්යය (රුබූබියා) ඔහු සතු වේ යන පළමුවන කොටස පිළිගත් හේතුවෙන්, නැමදුමට සුදුසු එකම ඉලාහ් (උලුහියියා-පරමාධිපති) ඔහු පමණක් බවද අත්යවශ්යයෙන්ම පිළිගන්නට සිදු වේ.

මේ පිළිබඳ ව අල්ලාහ් මෙසේ පවසයි. “ අහෝ මනුෂ්යාණනි, ඔබ සැබෑ බැතිමතුන් බවට පත් වී, ආරක්ෂා වනු පිණිස ඔබද, ඔබට පෙර සිටියවුන්ද මැවීම් කළ ඔබගේ දෙවියාට නමදිනු. ඔබට පොළොව නවාතැනක් මෙන්ද, අහස වියනක් මෙන්ද ඔහු නිර්මාණය කළේය. අහසින් (වැසි) දිය වස්ස වන්නේය. ඒ කරුණු කොට ඔබට ආහාර වශයෙන් පලතුරු වර්ග හට ගන්වන්නේය. එහෙයින් ඔබ දැනුවත් ව අල්ලාහ්ට සමානයන් නොතබනු." කුර්ආන් 2: 21 සහ 22.

“ඔවුන් ව නිර්මාණය කළේ කවුරෙක්දැ" යි (නබි තුමණි!) ඔබ ඔවුන්ගෙන් ප්රශ්න කළේ නම්, “අල්ලාහ්" යැයි ඔවුහු කියන්නෝය.එසේ නම් (තම මැවුම්කාරයා වන අල්ලාහ්ගෙන්) ඔවුන් කෙසේ ඈත් වන්නේද?" යනුවෙන් කුර්ආන් 43:87 ප්රශ්න කරයි.

“පවසනු. අහසින්ද, පොළොවෙන්ද ඔබට ආහාර සම්පාදනය කරන්නේ කවරෙක්ද? ශ්රවණයද, දර්ශනයද (ඒ දෙක නිර්මාණය කොට ආරක්ෂා කරන) හිමි කවරෙක්ද? මළවුන්ගෙන් ජිවය සිදු කරන්නේත්, ජීවයෙන් මරණය සිදු කරන්නේත් කවරෙක්ද? සියලු දැය පරිපාලනය කරන්නේ කවරෙක්දැ?" යි කියව. “අල්ලාහ්" යැයි ඔවුහු කියන්නෝය. “එසේ නම්. ඔබ ඔහුට බිය නොවන්නේද?" යි කියනු. ඒ ඔබේ සත්ය දෙවියා වු අල්ලාහ්ය. එහෙයින් සත්ය නැති විට නොමඟ මිස වෙන කුමක්ද? ඔබ කෙසේ හරවනු ලබන්නේද?" යැයි කුර්ආන් 10:31,32 ප්රශ්න කරයි.

සිව්වැන්න: අල්ලාහ්ගේ අලංකාරවත් නාමයන් හා ගුණාංගයන් කෙරෙහි විශ්වාසය.

අල්ලාහ්, ඔහුට සරිලන අන්දමට, ඔහු ගැන කුර්ආනයේ සහ නබි (සල්) තුමාණන්ගේ හදීස්හි පැවසු ආකරයට සනාථ කිරීම වේ. එනමුත් පහත සඳහන් ආකාරයෙන් තොරව එය සිදු කෙරේ.

තහ්රීෆ්: අර්ථය විකෘති කිරීම,

තඅතිල්: අර්ථය ප්රතික්ෂේප කිරීම,

තක්යීෆ්: ඔහුගේ ගුණාංගයන්ට ශෛලයක් නියම කිරීම හෝ

තම්හීල්: ඔහුට යමක් සමාන කිරීම යනුවෙන්ය.

අල්ලාහ් මෙලෙස පවසයි. “සියලු අලංකාරවත් නාමයන් අල්ලාහ්ටය. ඒවා මගින් ඔහු අමතන්න. ඔහුගේ නාමයන් කෙරෙහි දෝෂාරෝපණ කරන අය ගැන නොසලකා හරිනු. ඔවුන් කරමින් සිටි දැයින් පලවිපාක ඔවුහු ලබන්නෝය." කුර්ආන් 7:180.

තවද, “අහස්හිද, පොළොවෙහිද උසස්තම ගුණ වර්ණනා ව ඔහුට හිමිය. ඔහු බල සම්පන්නය. නුවණැතිය." කුර්ආන් 30:27.

අල්ලාහ් මෙලෙසද පවසයි. “කිසි දැයක් ඔහු බඳු නොවේ. ඔහුය සියල්ල අසන්නේ, සියල්ල දන්නේ." කුර්ආන් 42:11.

මේ පිළිබඳ ව නොමග ගිය දෙපිරිස

පළමුවන පිරිස: අල් මුආතිලාත්. මේ පිරිස අල්ලාහ්ගේ අලංකාරවත් නාමයන් සහ ගුණාංගයන් සනාථ කළහොත් ඔහුගේ මැවීම් සමඟ සමානතාවක් (තශ්බීහ්) දක්වන්නට අවශ්යයෙන් සිදු වන බව පවසා, අල්ලාහ්ගේ අලංකාරවත් නාමයන් සහ ගුණාංගයන් සියල්ල ප්රතික්ෂේප කළහ. මෙම මතය පහත සදහන් කරුණු මත වැරදිය.

· සියලු හීනතාවෙන් තොර වූ අල්ලාහ්ගේ වචනයන් එකිනෙකට ප්රතිවිරුද්ධ වන බව වැරදියාකාර ව පැවසීම. අල්ලාහ් ඔහුගේ නාමයන් සහ ගුණාංගයන් සියල්ල සනාථ කර ඇති අතර, කිසිවක් තමා හා සමාන නොවන බවද තරයේ පවසා ඇත. අල්ලාහ් සනාථ කළ දැයක් පිළිගැනීමට නම්, ඔහුගේ මැවීම් හා සමානතාවක් දක්වන්නට අවශ්ය වන බව කවරෙක් හෝ පවසන්නේ නම්, ඒ තැනැත්තා සැබැවින්ම අල්ලාහ්ගේ වදන් එකිනෙකට ප්රතිවිරුද්ධ වන බව චෝදනා නගන්නෙක් බවට පත්වෙයි.

නාමයන්හි හෝ ගුණාංගයන්හි එකඟත්වයක් තිබෙන කරුණු දෙකක් අතර සමානතාවක් තිබෙන බව කිව නොහැක. මිනිසුන් දෙදෙනෙක් අතර සවන් දීම, දැකීම, කතා කිරීම වැනි හැකියාව තිබෙන නමුත්, ඒ දෙදෙනාම සියලු දැයෙහි එක හා සමාන බව කිසිවෙක් නොකියයි. සෑම සතුන්ටම අත්, පා, ඇස් හා නාසය තිබෙන නමුත්, ඒ සියලු සතුන්ම එක හා සමාන බව කිව හැකිද? මවන ලද දැයෙහි මෙවැනි වෙනස්කම් දකින්නට හැකි නම්, මැවුම්කරු හා ඔහුගේ මැවීම් අතර පවතින මෙම වෙනස්කම් තවත් පැහැදිලි බව පෙනේ.

· දෙවන පිරිස මුශබ්බිහා යන පිරිස වේ. අල්ලාහ්ගේ සියලු නාමයන් සහ ගුණාංගයන් ඔවුන් පිළිගන්නා නමුත්, අල්ලාහ් සහ ඔහුගේ මැවීම් අතර සමානතාවක් තිබෙන බව පවසති. මිනිසාගේ අවබෝධ කර ගැනීමේ හැකියාවට සරිලන ප්රමාණයනට අල්ලාහ් ඔහුගේ වාක්යයන් පහළ කළ හේතුවෙන්, මෙලෙස සමාන කිරීම අවශ්ය වන බව මේ පිරිස පවසති. මෙම තර්කයද සෑම අතින්ම වැරදි බව පහත සඳහන් කරුණු මගින් සනාථ කරයි.

අල්ලාහ් සහ ඔහුගේ මැවීම් අතර සමානතාවක් තිබෙන බව පැවසීම වැරදි ආකල්පයක් යැයි කුර්ආනය සහ සුන්නාහ් සාධක පෙන්වයි. එහෙයින් කුර්ආන් වැකියන් සහ සුන්නාහ් අසත්ය කරුණක් පෙන්නුම් කරන බව පැවසීම වරදකි.

· අල්ලාහ්ගේ නාමයන් සහ ගුණාංගයන් මිනිසාට පහදා ගත හැකි ආකාරයට මිනිසා ව අමතන නමුත්, අල්ලාහ්ගේ ගුණාංගයන් සහ නාමයන්හි සැබෑ අර්ථව පිළිබඳ දැනුම අල්ලාහ් පමණක් සතු බව අපි දැන ගත යුතුය. මේ පරිදි තමා සියල්ල අසන්නා බව අල්ලාහ් පවසන විට, ශබ්දවලට සවන් දීමේ හැකියාව මෙහි සදහන් වන නමුත්, විවිධ මැවීම් අතර පවා සවන් දීමේ හැකියාව නොයෙකුත් ආකාරයට වෙනස් වන හෙයින්, මැවුම්කරු වන අල්ලාහ් සහ ඔහුගේ මැවීම් අතර තිබෙන ඇසීමේ හැකියාව හාත්පසින් වෙනස් බව පැහැදිලිව පෙනේ.

අල්ලාහ් “ඉස්තවා[21] අලල් අර්ෂ්" ලෙස ඔහු ගැන පවසයි. ඉස්තවා යන පදයෙහි මුල් අර්ථය ඉහළ නැගීය යන්නයි. මැවීම් අතර ඉහළ නැගීම් සිදුවන්නේ කෙසේදැයි කොයි කාටත් පැහැදිලි නමුත් අල්ලාහ් අර්ශයට ඉහළින් නැගුනේ කෙසේදැයි කිසිවෙක් නොදනී. පොළොව මත තිබෙන ආසනයක ඉස්තවා කිරීම සහ බයට පත් වී කලබලකාරි ව හැසිරෙන ඔටුවෙකු මත ඉස්තවා කිරීම අතර විශාල වෙනසක් ඇත. මෙලෙස මවන ලැබු දේ අතර මෙම ක්රියාවෙහි මෙතරම් වෙනසක් තිබිය දී, මැවුම්කරු සහ ඔහුගේ මැවීම් අතර වෙනස්කම් තිබෙන බව පැහැදිලි ව පෙනේ.

ඉහත සදහන් කළ ආකාරයට අල්ලාහ් ගැන විශ්වාසය තැබීම තුළින් මුඃමින්වරයෙකුට විශාල යහ පලවිපාක තිබෙන බව සලකන්න. එවා නම්:

· අල්ලාහ්ගේ තව්හීද් නම් ඒකීයත්වය සැකයෙන් තොරව පැහැදිලි වීමෙන් බිය බැතිමත්කම, අපේක්ෂාව සහ නැමදුම යන දෑහි ඔහු සමඟ තව කෙනෙක් හවුල් නොකිරීම;

· අල්ලාහ්ගේ අලංකාරවත් නාමයන් සහ උසස්තම ගුණාංගයන්ට සරිලන පරිදි ඔහු වෙත ශ්රේෂ්ඨ ආදරය, ප්රශංසාව සහ ගුණවර්ණනා කිරීම යන දේ ඉටු කිරීම;

· ඔහු කරන ලෙස අණ කළ දේ ඉටු කිරීමෙන් සහ ඔහු නොකරන ලෙස තහනම් කළ දැයින් වැළකි සිටීම තුළින් ඔහුට නැමදුම් කිරීම.

මලාඉකාවරුන් කෙරෙහි විශ්වාසය

මලාඉකාවරු අල්ලාහ්ගේ අල් ගෛබ්[22] ලොවට අයත් මැවීමකි. ඔවුන්ද අල්ලාහ්ට වැඳුම් පිදුම් කරන අතර, රුබූබියියා හෝ උලූහියියා යන අල්ලාහ්ගේ දේව ගතියන්ගෙන් කිසිවක් ඔවුන්ට හිමි නැත. ආලෝකයෙන් මලාඉකාවරුන් ව මැවු අල්ලාහ්, ඔහුගේ අණට සම්පූර්ණයෙන් අවනත වීමේ ස්වභාවයද, ඒ සඳහා අවශ්ය හැකියාවද ඔවුන්ට දුන්නේය. අල්ලාහ් අල් කුර්ආනයේ මෙලෙස පවසයි.

“ඔහුගේ ඉදිරියෙහි සිටිනා අය (මලාඉකාවරු) ඔහු නැමදුමට උඩඟු නොවෙති. ආයාසද නොවෙති ඔවුහු දිවා රෑ නොනවත්වා (අල්ලාහ්) සුවිශුද්ධ කරති." කුර්ආන් 21:19 සහ 20.

ඔවුන් විශාල සංඛ්යාවක් වන අතර, ඔවුන්ගේ සංඛ්යාව කොපමණ දැ යි අල්ලාහ් හැර අන් කිසිවෙක් නොදනී. මුහම්මද් (සල්) තුමාණන්ගේ මිඃරාජ් නම් දෙව්ලොව ගමන පිළිබඳ ව හදිස් වදනක් අනස් (රළි) මෙසේ වාර්තා කරයි. “බයිත් අල් මඅමූර්"[23] මට පෙන්වනු ලැබුණි. ජිබ්රීල් (අලෛ) ගෙන් ඒ ගැන මම විමසු විට, “මෙය බයිත් අල් මඃමූර්ය. මෙහි දිනපතා මලාඉකාවරුන් හැත්තෑ දහසක් නැමදුම් කරති. ඒ පිරිස මෙතැනින් ඉවත් ව ගිය පසු, කිසි දවසක ආපසු හැරී එන්නේ නැත." යැයි ඔහු කිවේය. (එනම් දින පතා අලුත් පිරිසක් එහි පැමිණෙති. මූලාශ්ර සහීහ් අල් බුහාරි 1:429.

මලාඉකාවරු කෙරෙහි විශ්වාසයෙහි කරුණු හතරක් අඩංගුය.

ඔවුන්ගේ පැවැත්ම ගැන විශ්වාස කිරීම;

නමින් දන්නා ජිබ්රීල් වැනි මලාඉකාවරු ගැනද, නම්න් නොදන්නා අනිකුත් මලාඉකාවරු ගැනද විශ්වාස කිරීම.

· මලාඉකාවරුන්ගේ ස්වභාවය ගැන අපි දන්නා දේ ගැන විශ්වාස කිරීම. එනම්, තටු හයසීයක් සහිත ව, ඈත අහසේ සිතිජය සම්පූර්ණයෙන් ආවරණය කර ගත් ජිබ්රීල් තුමා ව ඔහුගේ සැබෑ ස්වරූපයෙන් දුටු බව නබි (සල්) තුමාණන් පැවසුහ. මූලාශ්රය සහීහ් අල් බුහාරි 1:455 සිට 457 දක්වා;

අල්ලාහ්ගේ අණට එකඟ ව මලාඉකාවරු විසින් ඉටු කරන, අප දන්නා ඇතැම් ක්රියාවන් ගැන විශ්වාස කිරීම. ඒවා නම්, මලාඉකාවරු දිවා රාත්රි අල්ලාහ්ට තස්බීහ් කිරීම (අල්ලාහ්ගේ කිර්ති මහිමය පැවසීම) සහ නැමදුම් කිරීමෙහි නිරත වීම යනු ඒවායින් කිහිපයකි.

අල්ලාහ්ගේ අණ පරිදි මලාඉකාවරයෙකුට මිනිස් රූපයක් ගත හැක. එනම් අල්ලාහ් විසින් එවනු ලැබු ජිබ්රීල් තුමා අංග සම්පූර්ණ මිනිසෙක් ලෙස මරියම් තුමිය ඉදිරියට පැමිණීය. අල් කුර්ආන් 19:17 වැකිය බලන්න. එමෙන්ම, නබි (සල්) තුමාණන් සහාබාවරු අතර වාඩි වී සිටියදී, සුදෝ සුදු ඇඳුමෙන් සැරසී, කළු පැහැති කෙස් සහිත කෙනෙකුගේ රූපයෙන් ජිබ්රීල් තුමා එතැනට පැමිණීය. ගමන් මහන්සියක් ඔහු වෙත දක්නට නොතිබුණු අතර, සහාබාවරු කිසිවෙක් මෙයට පෙර ඔහු ව දැක නැත. නබි (සල්) තුමාණන් ගෙන් ඉස්ලාම්, ඊමාන්, ඉහ්සාන්[24] සහ අවසාන (දිනය) පැය ගැන ප්රශ්න කළේය. නබි (සල්) තුමාණන් ඒ ප්රශ්න සියල්ලට පිළිතුරු දුන් පසු, ජිබ්රීල් ඉවත ගියේය. ඔහු ගිය පසු, නබි (සල්) තුමාණන්, “ඔබට දීන් උගන්වන්නට පැමිණි ඔහු ජිබ්රීල්යැ." යි සහාබාවරුන්ට කීහ.

මේ ආකාරයෙන්ම ඉබ්රාහීම් (අලෛ) සහ ලූත් (අලෛ) යන නබි වරුන්ගේ ඉදිරියට මිනිස් හැඩයෙන් මලාඉකාවරුන් පැමිණියෝය.

ඇතැම් මලාඉකාවරුන්ට විශේෂ වගකීම් පවරා තිබේ.

· ජිබ්රීල්: අල් අමීන් (විශ්වාසවන්තයා) නම් ඔහුට, නබිවරු සහ රසූල්වරු වෙතට අල්ලාහ්ගෙන් පහළ වන නිවේදනය රැගෙන ඒමේ වගකීම පවරා ඇත.

· මීකාඊල්: අල් කත්ර් නම් වර්ෂාව සහ වගාව භාර ව සිටියි.

· ඉස්රාෆීල්: අවසාන දිනයෙහි නියමිත වේලාවට, මැවීම් සියල්ල යළි නැගිටින මොහොතෙහි හොරණෑව ශබ්ද කිරීමේ වගකීම පවරා ඇත.

· මලක් අල් මවුත්: (මරණය සිදු කරන මලාඉකාවරයා) මරණය සිදු වන විට, ප්රාණය ඇද ගන්නා ක්රියාව භාර ව සිටියි. “මරණය සිදු කරන්නට ඔබ මත පත් කරන ලද මලාඉකාවරයා ඔබ මරණයට පත් කරන්නේය. පසුව ඔබගේ හිමි වෙත ඔබ යළි පමුණුවනු ලබන්නේයැයි කියනු." කුර්ආන් 32:11.

· දරු කුස භාර ව සිටින මල්ඉකාවරුන්: මවගේ කුසයේ දරුවන් මාස හතරක් පසු වු විට, අල්ලාහ් එම දරුවා වෙතට මලාඉකා වරයෙක් එවා, එම දරුවාගේ ආහාර පෝෂණය, ජීවිත කාලය, ක්රියාවන්, එම දරුවා ආශීර්වාද ලැබු කෙනෙක්ද, නැතහොත් ශාපයට ලක් වූ කෙනෙක්ද යන විස්තර සියල්ල සටහන් කරන ලෙස අණ කරනු ලබයි.

· කෙනෙකුගේ වම සහ දකුණු පැතිවල වාඩි වී, ඔහුගේ සියලු ක්රියාවන් සටහන් කර ගැනීමේ වගකීම ඉටුකරන මලාඉකාවරුන්.[25] “තවද ඇත්තෙන්ම, ඔබ කෙරෙහි ආරක්ෂාව සඳහා (මලාඉකාවරු) පත් කරනු ලබන්නෝය. (ඔබගේ ක්රියාවන්) සටහන් කරන ගෞරවාර්හ සටහන් කරුවන් (ඒ අය වෙති). ඔබ කරන සියලු දේ ඔවුහු (මලාඉකාවරු) දනිති." කුර්ආන් 82: 10 සිට 12 දක්වා.

· මරණයට පත් වූ කෙනෙක්, සොහොන් කළායින් පසු, ඔහු වෙතට පැමිණ ප්රශ්න අසන මලාඉකාවරු දෙදෙනෙක්.[26]

මලාඉකාවරු කෙරෙහි විශ්වාසයේ උසස් යහඵල

Ø අල්ලාහ්ගේ උතුම් භාවය, ඔහුගේ ශක්තිය සහ බල මහිමය ගැන අවබෝධ කර ගැනීම. ඇත්තෙන්ම මලාඉකාවරුන් වැනි උතුම් නිර්මාණයක් සිදු කිරීමට උතුම් මැවුම්කරුවෙක් සිටිය යුතය.

Ø තම මැවීමක් වන මිනිසා කෙරෙහි දක්වන ආදරය හේතු කොට ගෙන ඔවුන් ආරක්ෂා කරනු පිණිසද, වෙනත් ක්රියාවන් ඉටු කිරීම පිණිසද මලාඉකාවරුන් භාර කළ අල්ලාහ්ට ස්තූතිය පුද කිරීම.

අල්ලාහ්ට පුද පූජා කරන මලාඉකාවරුන් කෙරෙහි ආදරය දැක්වීම.

මලාඉකාවරුන්ට සැබෑ රූපයක් නොමැති බව සෘජු මාර්ගයෙන් බැහැර ගිය ඇතැම් අය පවසති. මලාඉකාවරුන් යනු මැවීම් අතර වර්ධනය කර ගත හැකි යහපත් බලශක්තිය බව මේ අය සලකති. මෙම නිගමනය කුර්ආනයට ද, රසූල් (සල්) තුමාණන්ගේ හදිස් වදන් වලටද, මුස්ලිම්වරු පිළිගත් මතයටද එරෙහි ව ක්රියා කරයි.

අල්ලාහ් කුර්ආනයේ මෙසේ පවසයි. “පැසසුම් සියල්ල අහස්ද, පොළොවද නිර්මාතෘ වරයා වූ අල්ලාහ්ටය. ඔහු පියා පත් දෙකින්ද, තුනින්ද, සතරින්ද වූ මලාඉකාවරුන් දූතයන් කළේය." කුර්ආන් 35:1

“ඔවුන්ගේ මුහුණටද, පිටටද පහර දී මලාඉකාවරුන්, විශ්වාස නොකරනවුන්ගේ ප්රාණය (මරණය සිදු වන මොහොතෙහි) අත්පත් කර ගන්නා අවස්ථාව ඔබ දුටුවෙහි නම් (එය භයානක දර්ශනයක් වන්නේය.)" කුර්ආන් 8:50.

“මේ දේව විශ්වාසය නොමැති අපරාධකරුවන් මරණාසන්න වන කල්හි, මලාඉකාවරුන් ඔවුන්ගේ අත දිගු කොට 'ඔබගේ පණ නල බැහැර කරවු.' ලෙස පවසනු ඔබ දුටුවේ නම්." කුර්ආන් 6:93

(විනිශ්චය දිනයෙහි) ඔවුන්ගේ (මලාඉකාවරුන්ගේ) සිත් හි බිය ඉවත් වී ගිය කල්හි, 'ඔබගේ හිමි කීවේ කුමක්දැ? යි ඔවුහු කියන්නෝය. 'සත්යයය. ඔහු (අල්ලාහ්) අති උසස්ය. අති උත්තමයා' යැයි කියති." කුර්ආන් 32:23

ස්වර්ග ගත වන සෙනඟ ගැන අල්ලාහ් මෙසේ පවසයි. “මලාඉකාවරුන් (ස්වර්ගයේ) සෑම දොරටුවකින්ම ඔවුන් වෙත ඇතුළු වෙති. 'ඔබ (ලොවෙහි) ඉවසීමෙන් උත්සාහ දැරූ දැයින් ඔබට සාමය හිමිවේවා. අවසාන (යහ ඵලදායි) නිවස හොඳය.' ( ඒ මලා ඉකාවරුන් කියති.)" කුර්ආන් 13:23 සහ 24

නබි (සල්) තුමාණන් පැවසු පහත සඳහන් හදීසයක් අබු හුරෙයිරා (රළි) දන්වා සහීහ් බුහාරි 4:431 හි වාර්තා වේ.

“අල්ලාහ් කෙනෙකුට ආදරය කරන්නේ නම්, ජිබ්රීල් (අලෛ) තුමාට අඬ ගසා, “අල්ලාහ් අසවල් තැනැත්තාට ආදරය කරයි. ජිබ්රීල් තුමනි!ඔබද ඔහුට ආදරය කරනු මැනවි." යැයි අණ කරයි. ජිබ්රීල් (අලෛ) තුමාද එම තැනැත්තාට එලෙස ආදරය කර, 'අල්ලාහ් අහවල් තැනැත්තාට ආදරය කරයි. එනිසා ඔබ ලා සැම ද එම තැනැත්තාට ආදරය කළ යුතුයැ.'යි ස්වර්ගයේ සිටින අය අතර ප්රකාශ කරයි. ඉන් අනතුරුව, ස්වර්ගයේ සිටින සියලු දෙනාද එම තැනැත්තාට ආදරය කිරීමෙන්, එම පුද්ගලයා පොළොවෙහි සිටින සියලු දෙනාගේ ද ආදරයට ලක් වීමේ සතුට ලබයි."

පහත සඳහන් හදීසය ද සහීහ් අල් බුහාරි 4:433 හි වාර්තා වේ.

“සෑම සිකුරාදා දිනයෙහිම, මස්ජිදයේ සෑම දොරටුවකම, මලාඉකාවරුන් සිට ගෙන, (ජුම්ආ සඳහා) මස්ජිදයට පැමිණෙන සෑම කෙනෙකුගේම නම් (එන වේලාව අනුව) පිළිවෙළින් සටහන් කර ගනිති. ඉමාම්වරයා මින්බරය (දේශනාව පවත්වන ආසනය) මත වාඩි වු විගස, තම සටහන් පත් වසා දමා දික්රයට (කුත්බා දේශනයට) සවන් දෙනු පිණිස සූදානම් වෙති."

ඉහත සදහන් හදීස් මගින්, මලාඉකාවරුන් සැබෑ මැවීම් බවද, සෘජු මාර්ගයෙන් බැහැර ව නොමඟ ගිය බව පවසන්නා සේ, බල වේගයක් නොවන බවද පැහැදිලි වේ. සියලු මුස්ලිම්වරුන් පිළිගත් මතයද, ඉහත සඳහන් කරුණු වලට එකඟ වන බව සලකන්න.

ග්රන්ථයන් කෙරෙහි විශ්වාසය

කිතාබ් යන වචනයෙහි බහු වචනය කුතුබ් වේ. මිනිසාට මෛත්රියක් සහ මඟ පෙන්වීමක් ලෙස අල්ලාහ් රසූල් වරුන්ට පහළ කළ ග්රන්ථයන් කුතුබ් ලෙස හැඳින්වන අතර, ඒවායේ ආධාරයෙන් මෙලොවෙහි ද, මරණයෙන් පසුවද සතුට ලබා ගන්නට මිනිසාට හැකි වනු ඇත.

ග්රන්ථයන් කෙරෙහි විශ්වාසය කරුණු හතරකින් සමන්විතය.

Ø ග්රන්ථයන් සැබැවින්ම පහළ වුයේ අල්ලාහ්ගෙන් බව විශ්වාස කිරිම.

Ø නමින් සඳහන් වු ග්රන්ථයන් ගැන එනම් මුහම්මද් (සල්) තුමාට පහළ වු අල් කුර්ආන්ය, මූසා (අලෛ) තුමාට පහළ වු තව්රාත්, ඊසා (අලෛ) තුමාට පහළ වු ඉන්ජීල් සහ දාවුද් (අලෛ) තුමාට පහළ වු zසබුර් යන ග්රන්ථ ගැන විශ්වාස කිරිම වේ. එමෙන්ම නමින් අපි නොදන්නා ග්රන්ථද තිබෙන බව පොදුවේ විශ්වාස කිරීම.

Ø කුර්ආන්හි සඳහන් සියලු තොරතුරුද, පැරණි ග්රන්ථයන්හි වෙනස් නොවී පවතින තොරතුරුද සැබෑ බව සහතික කිරීම.

Ø නිවේදනයකින් අවලංගු නොකළ නීති රීතීන් සියල්ල ඒ ආකාරනේම පිළිගැනීම සහ ඒවාට අවනත වී කටයුතු කිරීම: එම නීති රීතීන් පනවන්නට තුඩුදුන් හේතුන් ගැන අපි නොදැන සිටියත්, ඒවා සම්පූර්ණයෙන් පිළිගැනීම, පැරණි ග්රන්ථ සියල්ල අවසානයෙන් පහළ කරන ලද කුර්ආනය මගින් සංශෝධනය කරනු (ලැබී මෙන් අනතුරු ව අවලංගු කරනු) ලැබු බව අල්ලාහ් පවසයි. “සැබැවින්ම, අපි සත්යමය පුස්තකය, එයට පෙර වූ පුස්තකයන් සත්ය කරමින්ද, එය ආරක්ෂා කරමින්ද පහළ කළෙමු." කුර්ආන් 5:48;

මේ අනුව, සියලු පැරණි ග්රන්ථයන් කෙරෙහි අල් කුර්ආනය විනිශ්චය කරන නිසා, පැරණි ග්රන්ථයන් පවසන නියෝගයන් මත ක්රියා කිරීම තහනම් වන අතර, ඒවායින් කුර්ආනය අනුමත කළ සහ පිළිගත් නියෝගයන් මත පමණක් ක්රියා කළ හැක.

ග්රන්ථයන් කෙරෙහි විශ්වාසයේ උසස් යහපල

Ø තම මැවීම් කෙරෙහි අල්ලාහ් දක්වන ආදරය හේතු කොට ගෙන සෑම සමාජයකටම යහ මඟ පෙන්වනු පිණිස ග්රන්ථයන් එවු බව පිළිගැනීම;

Ø සෑම සමාජයකටම ඒවායේ තත්ත්වයට ගැළපෙන ආකාරයට ෂරීආ නම් නීති රීති තැනු අල්ලාහ්ගේ කරුණාව සහ ඥානය අවබෝධ කර ගැනීම.

Ø “ඔබගෙන් සෑම පිරිසකටම ෂරීආවක්ද (නිති මාලාවක්) අනුගමනය කරනු පිණිස පැහැදිලි මාර්ගයක්ද සැලැස්සුවෙමු." කුර්ආන් 5:48.

Ø ඔහුගේ ග්රන්ථයන් පහළ කර, මිනිසාට සහන සැලසු අල්ලාහ්ට ස්තූති කරීම.

රසූල්වරුන් කෙරෙහි විශ්වාසය

රසුල් යන වචනයේ බහු වචනය රුසුල් වන අතර, එය මුර්සල්, නම් යමක් දන්වන්නට එවනු ලැබු තැනැත්තෙක් ගැන සඳහන් කරයි. අන් අයට දන්වන ලෙස අල්ලාහ්ගේ නියෝගය ලැබ, අෂ් ෂරීආ යන දේව නීතිය රැගෙන පැමිණියේ රසූල් වරුන්ය. පළමුවන රසූල්වරයා නූහ් (අලෛ) තුමා වන අතර, අවසාන රසූල්වරයා මුහම්මද් (සල්) තුමාණන්ය. මේ බවට අල්ලාහ් මෙසේ පවසයි. “නූහු (අලෛ)ට සහ එතුමාට පසුව පැමිණි නබිවරුන්ට වහී පහළ කළ ආකාරයෙන්ම (මුහම්මද් තුමණි) ඔබටද වහී පහළ කෙළෙමු." කුර්ආන් 4:163.

අෂ් ෂෆා නම් මැදිහත්වීම යන මාතෘකාව යටතේ, අනස් ඉබ්නු මාලික් (රළි) තුමා දැන් වු, මුහම්මද් (සල්) තුමාණන්ගේ හදිස් වදනක් මෙසේ වාර්තා වේ. “යළි නැගිටින දිනයේ දී, මිනිසුන් ආදම් (අලෛ) වෙතට ගොස් තමන් වෙනුවෙන් අල්ලාහ් වෙත මැදිහත් වන ලෙස ඉල්ලා සිටිති. එතුමා 'අල්ලාහ් ලොවට එවු ප්රථම රසූල්වරයා වන නූහු (අලෛ) තුමා වෙතට යන්න' යි පවසයි" [27] මූලාශ්ර සහීහ් අල් බුහාරි 6:236.

අල්ලාහ් මෙසේ පවසයි. “මුහම්මද් (සල්) තුමාණන් ඔබගේ මිනිසුන්ගෙන් කිසිවෙකුගේ පියෙක් නොවේ. එහෙත් එතුමා අල්ලාහ්ගේ රසූල් වරයාද, නබිවරුන්ගේ (අවසාන) මුද්රාවද වේ." කුර්ආන් 33:40

අල්ලාහ් ෂරිආ ව සමඟ රසූල්වරයෙක් නොඑවු හෝ රසුල් වරයෙක් ගෙන ආ ෂරීආ ව කාලයකින් අඩපණ වීමෙන් පසු, එය පුනරුත්ථානය කරනු පිණිස, තවත් නබිවරයෙක් නොඑවු කිසිදු සමාජයක් ලොවෙහි නැත. මේ බව අල්ලාහ් පවසන්නේ මෙසේය.

“අල්ලාහ් නමදිනු. තාගුත් (සියලු ව්යාජ දෙවිවරුන්) අත හරිනු.' යැයි (ප්රකාශ කරමින්) අපි එක් එක් ජනතාකටම රසුල් වරයෙකු එව්වෙමු." කුර්ආන් 16:36.

(අවවාද දෙනු පිණිස) අනුශාසකයෙක් ඔවුන් අතර නොපැමිණ ජනතාවක් නොමැත."යනුවෙන් කුර්ආන් 35:24 වාක්ය සනාථ කරයි.

“සැබැවින්ම, අපි තව්රාත් (ග්රන්ථය) පහළ කෙළෙමු. එහි යහ මඟද ආලෝකයද වෙයි. (අල්ලාහ්ට) අවනත වු නබිවරුන් එයින්ම යුදෙව්වරුන්ට විනිශ්චය කළෝය." කුර්ආන් 5:44

මේ සියලු රසූල්වරුන් අල්ලාහ්ගේ මැවීම් වන මනුෂ්යයන් වන අතර, අල්ලාහ්ගේ රුබූබියියා හෝ උලූහියියා වැනි විශේෂ ගුණාංගයන් විරහිත අය ද වෙති. රසූල්වරුන් අතර ගෞරවය සහිත උසස් ස්ථානයක් දරන, උදාර රසූල්වරයා වන මුහම්මද් (සල්) තුමාණන් ගැන අල්ලාහ් මෙසේ පවසයි.

“අල්ලාහ් සිතු දේ හැර යහපතක් සිදු කිරීමට හෝ අයහපකත් සිදු කර ගැනීමට හෝ මට නොහැක. මම ගුප්ත දැය දන්නේ නම්, මට වස්තු රාශියක් රැස් කිරීමටද, මට විපතක් සිදු නොවන්නටද හැකි විය යුතුය. විශ්වාස කරන ජනතාවට මම අවවාද දෙන්නෙක් ලෙසද, ශුභාරංචි දෙන්නෙක් ලෙසද පැමිණි කෙනෙක් මිස (කිසිවක්) නොවන්නෙමි' යැයි මුහම්මද් තුමාණනි! කියනු." කුර්ආන් 7:188.

මුහම්මද් (සල්) තුමාණන් පිළිබඳ ව මේ ආකාරයෙන්ද අල්ලාහ් පවසයි. “සැබැවින්ම, ඔබට අනතුරක් කරන්නට හෝ හොඳක් කරන්නට හෝ මට බලයක් නැතැයි කියනු. ඇත්තැන්ම, අල්ලාහ්ගෙන් මා මුදවන්නට කිසිවෙකුට නොහැක්කේමය. ඔහු හැර පිළිසරණක් මට නැත්තේමය.“ යි (මුහම්මද් නුමණි!) පවසනු." කුර්අන් 72:21 සහ 22.

මිනිස් ස්වභාවයට අදාළ නින්ද, මහන්සිය, අසනීපය, මරණය, ආහාර පානය සඳහා අවශ්යතාව යන සියල්ල මෙම රසූල් වරුන්ටද ඇති විය. ඉබ්රාහීම් (අලෛ) තම දෙවියන් වහන්සේ ගැන මෙලෙස විස්තර කළේය.

“ඔහු මට ආහාර දෙන්නේය. මට පානය ද දෙන්නේය. මා රෝගි වුවහොත් ඔහු මා නිරෝගි කරන්නේය. ඔහු මා මියැන්නට සලසන්නේය. නැවත මට ජීවය දෙන්නේය." කුර්ආන්26:79, 80

වරක් මුහම්මද් (සල්) තුමාණන් “මා ද ඔබමෙන් මනුෂ්ය යෙක් වන අතර, ඔබලා මෙන් අමතක වීමටද භාජන වෙමි. එනිසා මට අමතක වුයේ නම් මතක් කරන්න." යනුවෙන් පැවසුවේය. සහීහ් අල් බුහාරි 4:394 හි සහ මුස්ලිම් ර්තා කර ඇත.

රසූල්වරුන් අල්ලාහ් කෙරෙහි උසස්තම “උබූදියියා"[28] සහිත වු පිරිසක් බව අල්ලාහ් ප්රශංසා කරයි.

“ඇත්තැන්ම, ඔහු (නූහු) කළ ගුණ දන්නා වහලෙකි." කුර්ආන් 17:3

මුහම්මද් (සල්) තුමා ගැන අල්ලාහ් මෙසේ පවසයි. “ලෝ වැසියන්ට අවවාදයක් වනු පිනිස ඔහුගේ වහලාට (මුහම්මද්ට) ෆුර්කාන් (සත්ය වෙන් කර පෙන්වන ග්රන්ථය) පහළ කළ ඔහු (අල්ලාහ්) අති ශ්රේෂ්ඨය." කුර්ආන් 25:1

ඉබ්රාහීම්, ඉස්හාක් සහ යාකූබ් (අලෛ) යන අය ගැන අල්ලාහ් මෙලෙස පවසයි. (නැමදුමහි) නිර්භීත ශක්තියත් (දිව්යමාන) දර්ශනයක් හිමිවු අපගේ වහලුන් ඉබ්රාහීම්ද, ඉස්හාක්ද, යාකූබ්ද සිහි කරනු. ඇත්තෙන්ම, පරලොව ගැන සදා සිහි කිරීමෙන් අපි ඔවුන් විශිෂ්ට කෙළෙමු." කුර්ආන් 38:45 සහ 46

මර්යම් (අලෛ) තුමියගේ පුත්රයා වන ඊසා (අලෛ) - ජේසු, ගැන අල්ලාහ් සඳහන් කරන්නේ මේ ලෙසය. “ඔහු (ජේසු) අපි අනුග්රහය කළ වහලෙකු මිස (වෙන කිසිවෙක්) නැත. තවද අපි ඔහු ඉස්රාඊල් දරුවන්ට ආදර්ශයක් කෙළෙමු." කුර්ආන් 43:59

රසූල්වරුන් කෙරෙහි විශ්වාසයේ කරුණු හතරක් අඩංගුය

Ø රසූල්වරන් රැගෙන ආ සංදේශයන් සැබැවින්ම අල්ලාහ්ගෙන් ආ බව විශ්වාස කිරීම. එනිසා කිසියම් රසූල්වරයෙකුගේ සංදේශය ප්රතික්ෂේප කරන්නෙක්, රසූල්වරුන් සියලු දෙනාම ප්රතික්ෂේප කරන්නෙක් ලෙස සැලකේ.

“නූහු (අලෛ) තුමාගේ ජනතාව රසූල්වරුන් ප්රතික්ෂේප කළාහ." කුර්ආන් 26:105

නූහු (අලෛ) තුමාට පෙර කිසිදු රසූල්වරයෙක් නොපැමිණියත් එතුමාගේ ජනතාව රසූල්වරුන් සියලු දෙනාම ප්රතික්ෂේප කළ පිරිසක් බවට අල්ලාහ් පත් කළේය. එමෙන්ම, මරියම් (අලෛ) තුමියගේ පුත්රයා වන ජේසු (අලෛ) තුමා, තමාට පසුව මුහම්මද් (සල්) තුමාණන් පැමිණෙන බව ශුභ ආරංචිය පවසා තිබුණද, එම නිවේදනය ප්රතික්ෂේප කළ හේතුවෙන් ක්රිස්තු බැතිමතුන්, මුහම්මද් (සල්) තුමාණන් ව පමණක් නොව ඊසා (අලෛ) තුමාවද ප්රතික්ෂේප කළ පාපයට පත් වුහ. නොමඟ යෑමෙන් සියලු ජනතාව ආරක්ෂා කර, සෘජු මාර්ගයෙහි රැගෙන යනු පිණිස, අල්ලාහ් විසින් එවන ලද මුහම්මද් (සල්) තුමාණන් ව, තම රසුල්වරයෙකු ලෙස පිළිගන්නා තුරු, ජේසුස් තුමා රැගෙන ආ නිවේදනයෙන් ක්රිස්තු බැතිමතුන්ට කිසිදු යහපලක් නොමැත.

Ø නමින් සඳහන් රසුල්වරුන් වන මුහම්මද්, ඉබ්රාහිම්, මූසා, ඊසා, සහ නූහු (අලෛ) යන සියලු අය ගැන විශ්වාස කිරීම: මෙම පස් දෙනා “උලුල් අzස්ම් මින් අර් රසූල්" (අචල හා ස්ථීර ව ක්රියා කළ රසූල්වරු) ලෙස හැදින්වනු ලැබුහ. මෙම රසූල්වරු පිරිස පිළිබඳව අල්ලාහ් කුර්ආනයේ ස්ථාන දෙකක සඳහන් කර ඇත.

“නබිවරුන්ගෙන් ඔවුන්ගේ ප්රතිඥාව ඔබගෙන්ද, නූහුගෙන්ද, ඉබ්රාහිම්ගෙන්ද, මූසාගෙන්ද, මරියම්ගේ පුත්රයා වන ඊසාගෙන්ද ගත් බව (සිහි කරනු). අපි ඔවුන්ගෙන් ස්ථීර ප්රතිඥාවක් (ගිවිසුමක්) ගත්තෙමු." කුර්ආන් 33:7

“ නූහු (අලෛ) ට 'වෙනස් නොවී, මාර්ගයෙහි නිරත වනු' යැයි අණ කළ පිරිදි ඔබ වෙත පහළ කළා වු ද, ඉබ්රාහිම්ට ද, මූසාට ද, ඊසාට ද අණ කළා වු ද සන්මාර්ගයම ඔබටද ඔහු (අල්ලාහ්) නියම කෙළේය." කුර්ආන් 42:13

අපි නමින් නොදන්නා රසූල්වරුන් පිළිබඳ ව, එවැනි අයද අල්ලාහ් ගෙන් පැමිණි සැබෑ රසූල්වරුන් බව විශ්වාස කරමු. මන්ද, “ඇත්තැන්ම, ඔබට පෙර අපි රසූල්වරයෙක් එව්වෙමු. ඔවුන්ගෙන් ඇතැම් අය ගැන අපි ඔබට විස්තර කෙළෙමු. ඇතැම් අය ගැන ඔබට විස්තර නොකෙළෙමු." යැයි කුර්ආනය 10:78 පවසයි.

මෙම රසූල්වරුන් මගින් නිවැරදි ව වාර්තා කරන ලද විස්තරද විශ්වාස කිරීම:

Ø අල්ලාහ් විසින් එවනු ලැබු මෙම රසූල්වරුන් අතරින් මිනිස් සමාජයට අවසාන වශයෙන් පැමිණියේ මුහම්මද් (සල්) තුමාණන් හෙයින් එතුමා රැගෙන ආ ෂරීආ නම් නිතියට එකඟ ව කටයුතු කිරීම;

“ඔබගේ දෙවියාගේ නාමයෙන්, ඔවුන් අතර තර්ක කළ දැයෙහි ඔබ ව විනිශ්චයට පත් කර ඔබගේ තීරණයෙහි ඔවුන්ගේ සිත් තුළ අමනාපයක් නොදැක සම්පූර්ණයෙන් යටත් වන තුරු, ඔවුන් විශ්වාස කරන්නෝ නොවෙති." කුර්ආන් 4:65

රසූල්වරුන් කෙරෙහි විශ්වාසයේ යහපත

1. අල්ලාහ්ට නිසියාකාරව නැමදුම් කරන්නේ කෙසේ දැ යි ස්වාධීන ව දැන ගැනීමේ හැකියාව මිනිසාට නොමැති හෙයින්, අල්ලාහ්ගේ සෘජු මාර්ගය කරා මඟ පෙන්වනු පිණිසද, අල්ලාහ්ට නැමදුම් කරන නිවැරදි ක්රමය පහදා දෙනු පිණිසද, මිනිසා වෙතට රසූල් වරුන් එවු අල්ලාහ්ගේ කරුණාව සහ සැලකිලි අගය කිරීම.

2. රසූල්වරුන් එවීමෙන් අල්ලාහ් සිදු කළ උපකාරයට ස්තූති කිරීම.

3. අල්ලාහ්ට නැමදුම් කර, ඔහුගේ නිවේදනය ප්රකාශ කර, මිනිස් සමාජයට උපදෙස් දුන් රසූල්වරුන් කෙරෙහි සුදුසු ආකාරයට ආදරය දැක්වීම. ඔවුන්ට ශුභ පැතීම සහ ගුණ වර්ණනා පැවසීම.

අල්ලාහ්ගේ රසූල්වරුන් මිනිස් වර්ගයට අයත් නොවන බව පවසමින් ඇතැම් හිතුවක්කාර ජනයා, එම රසූල්වරුන්ට අපහස කරති. මෙම කතාව අල්ලාහ් පහත සදහන් වාක්ය මගින් ප්රතික්ෂේප කරයි.

“මනුෂ්යයන්ට යහ මඟ පැමිණි කල්හි, ඔවුන් එය විශ්වාස කිරීමෙන් ඔවුන් 'අල්ලාහ් මිනිසෙකු රසූල්වරයෙකු ලෙස පහළ කෙළේ ද?' යි කීම මිස නොවැළැක්වුයේය. පියාඹමින් ඇවිදින මලාඉකාවරුන් මහ පොළොවෙහි වුවා නම්, අපි ඔවුන් වෙත අහසින් මලාඉකාවරයෙකු රසූල්වරයෙකු වශයෙන් එවන්නෙමු." කුර්ආන් 17:94 සහ 95.

මෙම සෙනඟ පැවසු මුසා බස් වලට, “මහ පොළොවෙහි වාසය කරන්නේ මිනිසුන් හෙයින් එම මිනිසුන්ට රසූල් වරයෙකු වශයෙකු එවිය යුත්තේ මනුෂ්යයෙකි" යැයි, අල්ලාහ් පිළිතුරු දෙයි. මෙම පෘතුවිය මලාඉකාවරුන් වාසය කරන ස්ථානයක් නම්, ඒ අයට මලාඉකා කෙනෙක් රසූල්වරයෙකු ලෙස අල්ලාහ් එවනු ඇත. මෙවැනි ව්යාජ තර්ක ඉදිරිපත් කරමින් රසූල්වරුන් ප්රතික්ෂේප කළ ජනතාවට අල්ලාහ් පිළිතුරු දෙන්නේ මේ ආකාරයටය. “ඔබ අප වැනි මනුෂ්යයෙක් මිස නැත. අපගේ පියවරුන් නැමදුම් කළ දැයින් අප වළක්වන්නට ඔබ අදහස් කරන්නේය. එසේ නම් පැහැදිලි අණ බලයක් ගෙනෙනු." යැයි ඔවුහු කීවෝය. “අප ඔබ වැනි මනුෂ්යයන් මිස වෙන නැත" යි ඔවුන්ගේ රසූල්වරු ඔවුන්ට කීවෝය. “එහෙත් අල්ලාහ් ඔහුගේ වහලුන්ගෙන් ඔහු සිතු කෙනෙකුට අනුග්රහය දෙන්නේය. අල්ලාහ්ගේ අවසරයෙන් මිස ඔබ වෙතට අණ බලයක් ගෙන ඒම අපට නොවෙයි." කුර්ආන් 14: 10 සහ 11 වැකි.

1වන කොටස නිමි

අවසාන දිනය කෙරෙහි විශ්වාසය

සියලු දෙනාම තම ක්රියාවන් සඳහා පරීක්ෂණ කරනු ලැබ, ඒවාට අදාළ ත්යාග හෝ දඬුවම ලබනු පිණිස, යළි පණ ගන් වන දිනය අවසාන දිනය වේ. මෙම දිනයෙන් පසුව දිනයක් නොමැති හෙයින් මෙය අවසාන දිනය ලෙස හැඳින් වේ. මෙම දිනයෙන් පසුව ජන්නා නම් ස්වර්ගය ලැබු පිරිස ස්වර්ගයට පිවිසෙන අතර, අන් නාර් නම් අපාය හිමි කර ගත් අය අපාය ගත වෙති.

අවසාන දිනය කෙරෙහි විශ්වාසයෙහි කරුණු තුනක් අඩංගුය.

යළි නැගිටින දිනය කෙරෙහි විශ්වාසය: එනම්, හොරණෑව දෙවන වරට නාද කරන විට, මරණයට පත් වූ සියලු දෙනාම (මිනිසුන්, ජින්වරුන් සහ පැවති සියල්ල) යළි පණ දෙනු ලැබ, තම දෙවියන් වහන්සේ ඉදිරියෙහි නැගිට සිටිති. සියලු දෙනාම පාවහන් නොමැතිව, නිර්වස්ත්රව, චර්ම ඡේදනය කිරීම නොලැබ (උපන් ආකාරයට) සිට ගනු ඇත.

“අපි පළමුවන නිර්මාණය ඇරඹුවාක් මෙන්, එය නැවතද කරන්නෙමු. එය අප කෙරෙහි පොරොන්දුවකි. අපි (එය) ඉටු කරන්නෙමුය." කුර්ආන් 21:104.

අල් බාත් වන යළි නැගිටීම කුර්ආනයට, සුන්නාහ්වට සහ ඉජ්මා නම් ඒකමතික එකඟ වීමට අනුකූල ව තහවුරු කළ දැයකි.

“සැබැවින්ම, ඔබ එයට පසුව මැරෙන්නේමය. පසුව, ඔබ යළි නැගිටින දිනයෙහි ඇත්තෙන්ම නැගිටුවනු ලැබේ." කුර්ආන් 23:15 සහ 16.

“පාවහන් නොමැතිව, නිර්වස්ත්රව, චර්ම ඡේදන කිරීම් නොලැබ අවසාන දිනයේදී, මිනිසුන් රැස් කරනු ලැබේ." යනුවෙන් නබි (සල්) තුමාණන් පවසා අල් බුහාරි, සහීහ් මුස්ලිම් 4:684 සහ තිරිමිදි වාර්තා කළහ.

යළි නැගිටින දිනය ගැන මුස්ලිම්වරුන් සියලු දෙනාම ඒකමතික ව එකඟ වන්නේ එය නුවණට අනුකූල වන කරුණක් වන හෙයිනි. රසූල්වරුන්ගේ වචනයන් මගින් භැර දුන් වගකීම සඳහා ප්රතිඵල දෙනු පිණිස, තම මැවීම් සඳහා මආද් හෙවත් නැවත පැමිණෙන ස්ථානයක් අල්ලාහ් සකස් කර ඇත.

“අපි විනෝදයට (හේතුවත් නොමැති ව) ඔබ නිර්මාණය කෙළෙමු යැයි ද, ඔබ අප වෙත නැවත නොපමුණුවනු ලබන්නේ යැයි ද ඔබ සිතන්නේද?" යනුවෙන් කුර්ආනය 23:115 වාක්යය ප්රශ්න කරයි.

1. ගණන් බැලීම සහ එයට පලවිපාක ලැබීම කෙරෙහි විශ්වාසය: අල්ලාහ්ගේ දාසයා වන මිනිසාගේ සියලු ක්රියාවන් ගණන් බලනු ලැබීමෙන් අනතුරුව, ඒවාට සුදුසු ලෙස පලවිපාක දෙනු ලැබේ.

මෙය කුර්ආනයට, සුන්නාහ්වට සහ ඉජ්මා නම් ඒකමතික එකඟ වීමට අනුකූල වන කරුණක් බව සලකන්න. අල්ලාහ් මෙසේ පවසයි.

“ඇත්ත වශයෙන්ම, ඔවුන්ගේ නැවත පැමිණීම අප වෙතටය. පසුව ඔවුන්ගේ ගණන් බැලීමද අපටය." කුර්ආන් 88:26

“යමෙක් හොඳක් රැගෙන පැමිණියහොත් ඔහුට එවැනි සේ දහ ගුණයක් ඇත. යමෙකු නරකක් රැගෙන පැමිණියහොත් එවැන්නක් මිස පලවිපාක නොදෙනු ලැබේ. ඔවුන්ට අසාධාරණකම් සිදු කරනු නොලැබේ." කුර්ආන් 6:160.

“අපි යළි නැගිටින දිනයෙහි සාධාරණ තුලාවක් ස්ථාපනය කරන්නෙමු. කිසිවෙකු කිසි දැයකින් අසාධාරණකම් නොකරනු ලබන්නේය. අබ ඇටයක බරක් වුවද අපි එය ගෙන එන්නෙමු. ගණන් ගැනීමෙහි අපි ප්රමාණවත් වෙමු." කුර්ආන් 21:47

නබි (සල්) තුමාණන් මෙලෙස පැවසු බව ඉබ්නු උමර් (රළි) දැන් වු හදීස් වදනක් සහීහ් අල් බුහාරි 3:621හි වාර්තාවේ. “දේව විශ්වාසය සහිත ව කෙනෙකු අල්ලාහ් තමා ළඟට ගෙනැවිත් අල්ලාහ්ගේ ආවරණයෙන් සෙවනෙල්ල සපයා, ' ඔබ අසවල් පාප ක්රියාවන් කළාදැ?' යි ප්රශ්න කරයි. ඔහු (මිනිසා) ' ඔව් මාගේ දෙවියනි' යැයි පිළිතුරු දෙයි. මේ ආකාරයට ඔහු (මිනිසා) කළ සියලු පාපයන් ගැන ප්රශ්න කරන ලදුව, එම සියලු පාපයන් තමා කළ බව පිළි ගත් මිනිසා, තමා විනාශයට පත් වුවා යයි සිතයි. එවිට අල්ලාහ් ඔහුට, 'ලොවෙහි ඔබේ පාපයන් හට මම ආවරණය සපයා (ඒවා සඟවා තබා) ඇති හෙයින්, අද දින ඔබට සමාව දෙමි.' යැයි පවසයි. ඉන් අනතුරුව ඔහු (මිනිසාගේ)ගේ යහ ක්රියාවන්හි (වාර්තා) පොත දකුණු අතේ දෙනු ලබයි. දේව විශ්වාසය නොමැති අය සහ වංචණික අයගේ අකුසල් ක්රියාවන් ප්රසිද්ධ කරනු ලබයි.' තමන්ගේ දෙවියන් වහන්සේ ගැන බොරු ගෙතුවේ මේ අය වේ.' යැයි සාක්ෂි කරුවෝ පවසන්නෝය. 'දැන ගන්න. අල්ලාහ්ගේ ශාපය වරද කරුවන් මත බව සැකයක් නැත.' " කුර්ආන් 11:18.

නබි (සල්) තුමාණන් මේ අකාරයට පැවසු හදීස් වදනක් සහීහ් අල් බුහාරි, මුස්ලාම්, අහමද් සහ තවත් අය වාර්තා කර ඇත. (ඔබ වෙත නියම කළ මලාඉකාවරයාට) හොඳ සහ නරක ලියන ලෙස අල්ලාහ් අණ කර, (එය ලියන්නේ) කෙසේදැ යි පෙන්වුයේය. කෙනෙක් යහ ක්රියාවක් කිරීමට අදහස් කළ නමුත්, එය ඉටු නොකළේ නම්, ඔහුට සම්පූර්ණ යහ ක්රියාවක් ඉටු කළ බවට අල්ලාහ් සටහන් කරයි. ඔහු යහ ක්රියාවක් කිරීමට අදහස් කර, එය ඉටු කළේ නම් එය (සඳහා ත්යාග) දහය සිට හත් සියක් දක්වා සහ ඊටත් අධික ව අල්ලාහ් ඔහුට සටහන් කරයි. කෙනෙක් අකුසල් ක්රියාවක් කිරීමට අදහස් කළ නමුත් එය ඉටු නොකළේ නම්, අල්ලාහ් ඔහුට එක් යහ ක්රියාවක් සටහන් කරයි. ඔහු (මිනිසා) අකුසල් ක්රියාවක් කිරිමට අදහස් කර, එය සැබැන්වින්ම ඉටු කළේ නම්, එක් අකුසල් ක්රියාවක් කළ බව අල්ලාහ් ඔහු (ගේ ගිණුමට) සටහන් කරයි."

ගණන් බැලිම සහ පලවිපාක දීම නුවණට එකඟ වන හෙයින් මුස්ලිම්වරු සියලු දෙනාම එය ඒකමතික ව පිළිගනිති. ග්රන්ථයන් පහළ කර, නබිවරුන්ද එවා, නබිවරුන් රැගෙන ආ නිවේදනය මවනු ලැබු සියලු දෙනාම පිළිගත යුතු බවද, ඒවාට එකඟ ව ක්රියා කළ යුතු බවද අණ කළ අල්ලාහ්, එම නිවේදනය නසා දමන්නට ක්රියා කරන අකුසල් ජනතාවට එරෙහි ව සටන් වදින ලෙසද අණ කර ඇත. අවසාන දිනයේ ගණන් බැලීම සහ ත්යාග දීම සිදු නොවන්නේ නම්, මේ සියල්ල අපතේ කෙරෙන ක්රියාවන් නොවේ ද? අති ඥානවත් අල්ලාහ් මෙවැනි අසම්පූර්ණකමින් තොරය. මෙම ගණන් බැලීම සහ ත්යාග දිම ගැන මේ ආකාරයට අල්ලාහ් සනාථ කරයි.

“ඔවුන් වෙත රසූල්වරුන් පහළ කරනු ලැබු අයගෙන්, ඇත්තෙන්ම අපි ප්රශ්න කරන්නෙමු. රසූල්වරුන්ගෙන්ද අපි ප්රශ්න කරන්නෙමු. (ඔවුන් කළ සියලු දැය ගැන) දැනුමෙන් අපි කියා සිටින්නෙමුය. අපි (ඔවුන්) ඉදිරිපිට නොවුවෝ නොවෙමු." කුර්ආන් 7:8

1. අල් ජන්නාහ් නම් ස්වර්ගය සහ අන් නාර් නම් අපාය පිළිබඳවද, මැවීම් සදා කල් රැඳී සිටින අවසාන නවාතැන් ඒවා බවද විශ්වාස කිරීම.

අල්ලාහ් ඔවුන්ට නියම කළ සියල්ල විශ්වාස කර, අල්ලාහ් සහ ඔහුගේ රසූල්වරයා කෙරෙහි අවංක විශ්වාසය සහිත ව, අල්ලාහ් සහ ඔහුගේ රසූල් තුමාණන්ගේ නියෝගයන්ට කීකරු ව කටයුතු කරන බැතිමත් විශ්වාසීන්ට ජන්නාහ් නම් සතුටු නිවස අල්ලාහ්ගෙන් පිරිනමනු ලැබේ. “කිසිදු ඇසක් නුදුටු, කිසිදු කනක් නොඇසු කිසිදු කෙනෙක් නොසිතු (සියලු) දිව්ය සැපත" ජන්නාවෙහි අල්ලාහ් සූදානම් කර ඇත.

“සැබැවින්ම, විශ්වාස කොට යහකම් කරන්නා වු ඒ අය, ඔවුහුය ඉතාම හොඳ මැවීම්. ඔවුන්ගේ ත්යාග ඔවුන්ගේ හිමි (දෙවියා) ඉදිරියෙහි අද්න් නම් ස්වර්ගයවේ. එහි යටින් ගලා බසින ගංගාය. ඔවුහු එහි සදා කල් වෙසෙන්නෝය. අල්ලාහ් ඔවුන් කෙරෙහි සතුටු වුනේය. මෙය තමාගේ හිමිට බිය බැතිමත් අයටය." කුර්ආන් 98: 7 සහ 8

“ඔවුන් කරන ක්රියාවන් සඳහා ත්යාග වශයෙන් සඟවා තබා ඇති සතුට කිසි කෙනෙක් නොදනි." 98:7 සහ 8.

දේව විශ්වාසය නොමැති අය සහ ඔහුගේ නිවේදනය ගෙන ආ රසූල් වරුන්ට එරෙහි ව ක්රියා කළ (කාෆිර්වරුන් සහ පාප ක්රියාවන් කරන) අය සඳහා අන් නාර් නම් අපාය නවාතැනක් වශයෙන් අල්ලාහ් තනා ඇත. එහිදී දෙනු ලබන නොයෙකුත් වද වේදනාවන් සහ දඬුවම් ගැන සිතා බැලීම පවා අපහසුය.

“විශ්වාස නොකරන්නන්ට සකස් කරන ලද ගින්නට බිය වනු." ලෙස අල් කුර්ආනයෙ 3:131 හි අල්ලාහ් අවවාද කරයි.

ඇත්තෙන්ම (විශ්වාසය නොමැති) අපරාධකරුවන්ට එහි බිත්ති, ඔවුන් වට කරන ගින්නක් අපි පිළියෙල කළෙමු. ඔවුහු (තද පිපාසයෙන්) උදව්වක් සොයන කල්හි, ඔවුන්ගේ මුහුණු දවන ලෝදිය වැනි දියක් ඔවුන්ට දෙනු ලැබේ. නපුරය (ඒ) පානය. නපුරුය එම නවාතැන." කුර්ආන් සූරා කහ්ෆ් : වාක්ය 29

“ඇත්තෙන්ම, අල්ලාහ් ප්රතික්ෂේප කළවුන්ට ශාප කොට, ඔවුන්ට දැල්වෙන ගින්න පිළියෙල කෙළේය. ඔවුහු එහි සදාකල් වෙසෙන්නෝය. (ඔවුන් එහි) ආරක්ෂකයෙකු හෝ උදව්කාරයෙකු හමු නොවන්නෝය. ඔවුන්ගේ මුහුණ ගින්නෙහි හරවනු ලබන දින, 'අහෝ! අපි අල්ලාහ්ට කීකරු වුණේ නම්.' යැයි ඔවුහු කියන්නෝය." කුර්ආන් 33:64 සිට 66 දක්වා.

මරණයෙන් පසු ජීවිතය කෙරෙහි විශ්වාසයේ කරුණු

1. ෆිත්නතුල් කබ්ර් (සොහොනෙහි සිදු වන වද හිංසාව) යනු මලාඉකා වරුන් දෙදෙනෙක්, මළ අයගෙන් ඔහුගේ දෙවියා, ඔහු අනුගමනය කළ ආගමික මාර්ගය සහ ඔහුගේ නබිවරයා ගැන ප්රශ්න කිරීම වේ. සැබෑ වචනය කෙරෙහි විශ්වාසය සහිත වූ ජනයා, අල්ලාහ් ස්ථීර ලෙස තබයි. “අල්ලාහ් මාගේ දෙවියා වේ, ඉස්ලාම් මාගේ මාර්ගය වේ, මුහම්මද් (සල්) තුමාණන් මාගේ නබි වරයා වේ." යනුවෙන් ඔවුහු පවසති. එහෙත් දේව විශ්වාස නොමැති අය, “අහෝ මම කිසිවක් නොදනිමි" යනුවෙන්ද, මුනාෆික්වරුන් නම් වංචණිකයන්, “අහෝ මම කිසිවක් නොදනිමි. අන් අය පවසන දේ මම ද කීවෙමි." යනුවෙන් ද පිළිතුරු දෙන්නට අල්ලාහ් සලසයි. මූලාශ්ර සහීහ් බුහාරි සහ මුස්ලිම්.

2. සොහොනෙහි ලැබෙන වද වේදනාව සහ සතුට: දේව විශ්වාස නොමැති අය සහ වංචණික අය අතර සිටිනා පාපතරයින්ට වද හිංසාව පමුණුවනු ලැබේ. අල්ලාහ් කුර්ආනයේ මෙසේ පවසයි.

“ගින්න, එයට ඔවුහු උදය, සවස ගෙන හැර පානු ලබන්නෝය. (අවසාන) පැය පැමිණෙන දිනයන්හි 'ෆිර්අවුන්ගේ ජනයා ඉතා දැඩි දඬුවමට ඇතුළු කරව්!' (යනුවෙන් මලාඉකාවරුන්ට කියනු ලැබේ)." අල් කුර්ආන් 40:46.

දිනක් නබි (සල්) තුමාණන් කාෆිර්වරුන්ගේ සොහොනක් පසු කර ගෙන යන විට, “මේ අය සොහොනෙහි පරීක්ෂණයට භාජන වෙති යැයි සහාබාවරුන්ට පවසා, “මට ඇසෙන සොහොනෙහි වද වේදනාවන්ට ඔබද සවන් දුන්නේ නම්, ඔබේ මළවුන් සොහොන් ගත නොකරයි යන හේතුව නොමැති නම්, ඔබටද එය සවන් දෙන්නට සලස්වන්නෙමි." යැයි කීහ. ඉන් පසු අප දෙසට හැරී, අපායෙහි දෙන ලද වද වේදනාවෙන් අල්ලාහ් වෙත ආරක්ෂා පතමි.“ යැයි පැවසුහ. “පරීක්ෂණයෙහි, එහි පැහැදිලි සහ අපැහැදිලි කරුණු වලින් අල්ලාහ් වෙත ආරක්ෂා පතනු." යැයි එතුමාණන් පැවසුහ. සහාබාවරුන්ද, “පරීක්ෂණයෙහි, එහි පැහැදිලි සහ අපැහැදිලි කරුණු වලින් අල්ලාහ් වෙත ආරක්ෂා පතමු." යැයි කීහ. “දජ්ජාල්ගෙන් සිදු වන උවදුරෙන් අල්ලාහ් වෙත ආරක්ෂා පතනු." යැයි එතුමා පැවසු විට, සහාබාවරුන්ද “දජ්ජාල්ගෙන් සිදු වන උවදුරෙන් අල්ලාහ් වෙත ආරක්ෂාව පතමු." යැයි කීහ. මූලාශ්ර සහීහ් අල් මුස්ලිම්.

සොහොනෙහි ලැබෙන සතුට, දේව විශ්වාසය සහිත වූ අයට පමණක් බව අල්ලාහ් පවසයි.

“'ඇත්තෙන්ම, අප අධිපති අල්ලාහ්' යැයි කියා, ඉන් පසුව සෘජු ව සිටි අය, 'බිය නොවනු. ශෝක නොවනු. ඔබට තිළිණ දෙන ලද ජන්නාව (ස්වර්ගය) ගැන ශුභාරංචියද ලබනු.'යි කියමින් ඔවුන් වෙත මලාඉකාවරුන් පහළ වන්නෝය." කුර්ආන් 41:30.

“මරණාසන්න වූ කෙනෙකුගේ ප්රාණය ගෙල ළඟට පැමිණි කල්හි (ඔබ මැදිහත් නොවන්නේ ඇයි ද?) ඒ මොහොතේ ඔබ බලා සිටින්නේය. නමුත් අපි (ප්රාණය අත්පත් කර ගන්නා මලාඉකාවරුන්) ඔබට වඩා ඔහුට සමීප ස්ථානයේ වෙමු. එහෙත් ඔබ නොදන්නේය. ඔබ පරීක්ෂණයෙන් හා දඬුවමෙන් තොරව නම්, ඔබ සත්ය පවසන්නේ නම්, ඒ (ප්රාණය) යළි ගෙන්වා ගනු. (මරණයට පත් වූ) ඔහු අල්ලාහ් සමීප කරන ලද කෙනෙකුගෙන් නම්, විශ්රාන්තියද, සුවඳ පැළෑටිද, භාග්යයයෙන් යුත් ජන්නාහ් ව (ස්වර්ගය) ඔහුටය." කුර්ආන් 56: 83 සිට 89 දක්වා.

සොහොනෙහි මලාඉකාවරුන් දෙදෙනා අසන ප්රශ්නයන්ට මූඃමින් වරයෙක් නිවැරදි පිළිතුරු සැපයීමෙන් පසු ව සිදු වන දේ ගැන නබි (සල්) තුමාණන් මේ ආකාරයට පැවසු බව අල් බරා බින් ආසාබ් (රළි) වාර්තා කරයි. “මගේ බැතිමතා සැබෑ දේ පැවසුවේය. ඒ නිසා අල් ජන්නාහ්වෙහි ඇඳුමෙන් ඔහු සරසන්න. අල් ජන්නාවෙහි සම්පත් ඔහුට සපයන්න." යැයි අහසෙන් ශබ්දයක් ඇසෙනු ඇත. එවිට ඔහු (මළ තැනැත්තා) සුවඳවත් මද සුළඟින් වට කරනු ලබන අතර, ඔහුගේ සොහොන ඇසට පෙනෙන දුර ප්රමාණයට විශාල කරනු ලබයි." මූලාශ්ර ඉමාම් අහ්මද් සහ අබු දාවුද්.

අවසාන දිනය කෙරෙහි විශ්වාසයේ යහපත්කම

Ø අල්ලාහ්ට අවනත වී ක්රියා කිරීමේ ආශාව හට ගැනීමෙන්, අවසාන දිනයේ දී ලැබෙන ත්යාගය ලබා ගැනීමේ අරමුණින් වෑයම් කිරීම;

Ø එදින සිදු වන දඬුවම කෙරෙහි බිය හේතු කොටගෙන අල්ලාහ්ට අකීකරු වන ක්රියාවන් සිදු කිරීමට සහ ඒවා අනුමත කිරීමට මැළි වීම;

Ø මරණයෙන් පසු ලැබෙන සතුට හා ත්යාග බලාපොරොත් වෙන් මෙලොවෙහි සිදුවු සහ අතපසු වූ දේ ගැන සෑහීමට පත් වීම;

මරණයෙන් පසු යළි නැගිටීමක් සිදු නොවන බව කාෆිර්වරු ප්රතික්ෂේප කරති. මෙවැනි තර්කය වැරදි බවද, වලංගු නැති බවද, අෂ් ෂර්ආ, අල් හිස් සහ සාධාරණත්වය තහවුරු කරයි.

අෂ් ෂර්ආ මගින් පෙන්වන කරුණු ගැන අල්ලාහ් මෙසේ කියයි.

“ඔවුහු පුනරුත්ථාන කරනු (යළි පණ ගන්වන) නොලබන්නෝ යැයි ප්රතිත්ෂේප කරන අය කියති. 'එසේ නොවේ. ඇත්තෙන්ම මාගේ හිමිගේ නාමයෙන්, ඔබ පුනරුත්ථාන කරනු ලබන්නේමය. එවිට ඔබ කරමින් සිටි දැය ගැන ඔබට දැනුම් දෙනු ලබන්නේය. එය අල්ලාහ්ට ඉතා පහසි'යැයි කියනු." කුර්ආන් 64:7. සියලු ආගමික ග්රන්ථයන් මේ ගැන එකඟ වේ.

අල් හිස් තුළින් පෙන්වන කරුණු: තම මැවීම් මරණයෙන් පසු යළි නැගිටීම ගැන අල්ලාහ් කුර්ආනයේ නොයෙක් වාරයක් සඳහන් කර ඇත. සූරා බකරාවෙන් උපුටා ගත් උදාහරණ පහක් මෙහි සඳහන් වේ.

Ø පළමුවන උදාහරණය, මූසා (අලෛ) ගේ ජනතාවට අදාල වේ. එම ජනතාව, “අල්ලාහ් ව ප්රත්යක්ෂ ලෙස (දෑසින්) දකින තුරු ඔබ ගැන කිසි කලෙක විශ්වාස නොකරන්නෙමු." යැයි පැවසු විට, ඔවුන් මැරෙන්නට අල්ලාහ් සලසා, යළි පණ ගන්වන්නට සිදු කෙළේය. බනු ඉස්රායිල් වරුන්ට අල්ලාහ් ඒ ගැන මතක් කරන්නේ මෙසේය.

“ 'යා මූසා! අල්ලාහ් ප්රත්යක්ෂ ලෙස දකින තුරු ඔබ ගැන කිසි කලෙක විශ්වාස නොකරන්නෙමු.' යි කියා ඔබ බලා සිටියදී අකුණු වැදුනි. ඔබ (අපට) ස්තූති කරනු පිණිස ඔබගේ මරණයෙන් පසු ඔබට අපි ප්රාණය දුන්නෙමු." කුර්ආන් 2:55 සහ 56.

“ඔබ කෙනෙකු මරා, එහි වරද වෙන කෙනෙකු මත පැවැරීමට විවාද කළ අවස්ථාව (සිහි කරව්). අල්ලාහ් ඔබ සඟවන දැය එළි කරන්නේය. 'ඇයගේ (ගවයාගේ) කැබැල්ලකින් (මළ සිරුරට) ගසනු.' යැයි අපි කීවෙමු. (එවිට මළ තැනැත්තා නැගිට සාක්ෂි දුන්නේය) එමෙන්ම, අල්ලාහ් මළවුන්ට පණ දෙයි. ඔබ නුවණැතියන් වනු පිණිස ඔහුගේ සංඥාවන් පෙන්වයි." කුර්ආන් 2:73 සහ 73.

Ø මරණයට බියෙන් තම නිවෙස් අත හැර දමා පලා ගිය දහස් ගණන් ජනතාවගේ කතාව මෙහි උදාහරණය වශයෙන් පෙන්වන ලදි. ඔවුන්ට මියැදෙන්නට සලස්වා, අල්ලාහ් යළි පණ දුන්නේය. නිවෙස් වලින් දහස් ගණනින් පිට වූ අය ගැන, “මරණයට බියෙන් ඔවුන්ගේ ගෙවල් වලින් දහස් ගණනින් පිට වු අය ගැන (මුහම්මද් තුමණි!) ඔබ ආවර්ජණය නොකෙළේද? ඔවුන්ට 'මැරෙනු' යැයි අල්ලාහ් කීවේය. ඉන් (මරණින්) පසු ඔවුන්ට පණ දුන්නේය. ඇත්තෙන්ම, අල්ලාහ් මිනිසුන් කෙරෙහි වරප්රසාද හිමිය.එහෙත්, මිනිසුන්ගෙන් බොහෝ දෙනෙක් කළගුණ නොදන්නෝය." කුර්ආන් 2:243.

Ø පහත සඳහන් උදාහරණයේ නටබුන් තත්ත්වයට පත් වූ නගරයක් පසු කර ගෙන ගිය කෙනෙක්, අල්ලාහ් එය යළි පණ ගන්වන්නේ කෙසේ දැ යි කල්පනා කළේය. “නැතහොත් නටබුන් වී කඩා වැටුණු කුඩා ගමක් අසලින් ගිය කෙනෙකු ඔබ දුටුවේද?" අල්ලාහ් ඒවා මළ පසු කෙසේ පණ උපදවන්නේ දැ යි ඔහු කීවේය. (ඔහුගේ සැකය දුරු කරනු පිණිස) අල්ලාහ් ඔහු සිය වසරක් මිය ගොස් සිටින්නට සලසා, ඉන් පසු ඔහුට පණ දී, නැගිටුවා,“නුඹ කොපමණ කලක් මෙලෙස නතර වී සිටියේද?“ යි කීවේය. “දවසක් නැතහොත්. දවසකින් කොටසක් නතර වී උන්නෙමි." යි ඔහු කීවේය. “එසේ නැත. නුඹ අවුරුදු සියයක් නතර වී උන්නේය. නුඹගේ ආහාර දෙස බලනු. එය කල් ගත වීමෙන් වෙනස් වු බවක් නොපෙනේ, නුඹගේ බූරුවා දෙස බලනු, (එය ඇට සැකිල්ලකි) නුඹ මිනිස්සුන්ට සලකුණක් වනු පිණිස (මෙලෙස) කෙළෙමු. ඇට කටු දෙස බලනු. අපි කෙසේ එය ඇට සැකිල්ලක් ලෙස ගළපා, මසින් වසන්නෙමු දැ යි බලනු. (ලෙස අල්ලාහ් කීවේය.) ඔහුට එය පැහැදිලි වූ කල්හි, “ඇත්තෙන්ම, අල්ලාහ් සියලු දැය කෙරෙහි බල සම්පන්න යැයි මම දනිමි." යි කීවේය. කුර්ආන් 2:259

Ø අල්ලාහ්ගේ මිත්රයා වන ඉබ්රාහිම් (අලෛ) තුමා, මළවුන් යළි නැගිට වන්නේ කෙසේදැ යි අල්ලාහ්ගෙන් විමසු අවස්ථාවේ පක්ෂීන් සිව් දෙනෙකු මරා, ඔවුන්ගේ සිරුර කැබලි කොට, අවට තිබෙන සෑම කඳු මත ඒවා දමන ලෙස අල්ලාහ් එතුමාට අණ කෙළේය. පසුව එම පක්ෂීන් යළි අඬ ගසන ලෙසද, කැබලි වූ පක්ෂීන් යළි එක් වී ඉබ්රාහීම් (අලෛ) තුමා වෙතට ආපසු පියඹා එන ආකාරය බලන ලෙසද අල්ලාහ් අණ කෙළේය. මේ ගැන අල්ලාහ් මෙසේ සදහන් කරයි.

“මාගේ දෙවියනි! ඔබ මළවුන්ට කෙසේ පණ දෙන්නේ දැ යි මට පෙන්වනු" යැයි ඉබ්රාහීම් (අලෛ) පැවසු කල්හි, ඔබ විශ්වාස නොකරන්නේ දැ යි කීවේය. 'එසේ නොවේ, (මම විශ්වාස කරමි) එහෙත් මගේ සිත පිණා යාම පිණිස යැ'යි කීවේය. 'පක්ෂීන් සහර දෙනෙක් ගෙන, ඔවුන් කැබලි කර, ඒ කැබලි එක එක කන්දක් මත තබනු. පසුව ඔබ ඔවුන්ට අඬ ගසනු. උන් ඔබ වෙත වේගයෙන් එන්නේය.'යි කීවේය. ඇත්තෙන්ම, අල්ලාහ් බලසම්පන්නය නුවණැතිය." කුර්ආන් 2:226.

ඉහත සහන් උදාහරණ සියල්ල සැබැවින්ම සිදු වු අතර, මළවුන් යළි නැගිටින බව පෙන්වන සාක්ෂි ද වේ. මළවුන්ට යළි පණ දීම සහ සොහොනින් නැගිට වීම, අල්ලාහ්ගේ අනුමැතිය ලැබ ඊසා (අලෛ) තුමා පෙන් වු හාස්කම් කිහිපයක් අතර එකකි.

යුක්ති සහගත සාක්ෂිය කොටස් දෙකකින් සමන්විතය.

1. අහස සහ පොළොවෙහි ආරම්භක නිර්මාතෘවරයා අල්ලාහ්ය. සියලු දේ ආරම්භයේ නිර්මාණය කළ අල්ලාහ්ට, ඒවා විනාශයට පත් වුවායින් පසුව, ඒවා නැවත ඒ ආකාරයෙන්ම නිර්මාණය කළ හැකිය. මේ ගැන අල්ලාහ් මෙසේ සඳහන් කරයි.

“නිර්මාණය ප්රථමයෙන් කරන්නේ ඔහුය. පසුව එය (නැසී ගිය පසු) නැවත උත්පාදනය කරන්නේය. ඔහුට එය ඉතා පහසුය. අහස්හිද, පොළොවෙහිද උසස්ම ගුණ ඔහුටය. ඔහු බල සම්පන්නය. නුවණැතිය." කුර්ආන් 30:27

“අප පළමු වන නිර්මාණය ඇරඹුවාක් මෙන් එය නැවතත් කරන්නෙමු. එය අප කෙරෙහි පොරොන්දුවකි. අපි (එය) ඉටු කරන්නෙමු." කුර්ආන් 21:104

දිරාපත් වී ගිය ඇට කටු වලට යළි ප්රණය ගැන්විය නොහැකි බව පවසන අයට මෙලෙස පිළිතුරු දෙන ලෙස නබි (සල්) තුමාට අල්ලාහ් අණ කරයි.

“එයට නැවත දිවි දෙන්නේ පළමු වරට එය හට ගැන් වූ ඔහුය." යි කියනු. ඔහු සියලු නිර්මාණයන් ගැනම දන්නේය.“ කුර්ආන් 36:79

මෙම මහ පොළොව කිසිදු ගසක් කොළයක් නොමැතිව, ප්රාණයක් නොමැති ව තිබියදී, වර්ෂාව පැමිණි විට එය යළි පණ ගෙන, සෑම තැනම ගස් කොළවලින් පිරෙයි. විවිධ වර්ගයේ ශාක වැවෙනු ඇත. ප්රාණයක් නොමැති වු පොළොවට මෙලෙස යළි පණ දුන් අල්ලාහ්, මළවුන්ට ප්රාණය දී යළි නැගිටු වන්නේය. මේ ගැන කුර්ආන් මෙසේ පවසයි.

2. “භූමිය පාළු බවට ඔබ දැකීමද, අප එය මත ජලය පහළ කර කල්හී, එය ප්රාණවත්වී වැඩීමද ඔහු (අල්ලාහ්)ගේ සංඤාවකින්ය ඇත්තෙන්ම, එයට (භූමියට) ප්රාණය දෙන්නා වූ ඔහු මළවුන්ද ප්රාණය දෙන්නේමය. ඇත්තෙන්ම, ඔහු සියලු දැය කෙරෙහි බල සම්පන්නය. " කුර්ආන් 41:39.

අෂ් ෂර්ආ ගැන සඳහන් කරන වාක්යයන් පවසන ආකාරයට, සොහොනෙහි සිදු වන දඬුවම ගැන විශ්වාසය තැබීම, මරණයෙන් පසු ජීවිතය ගැන තබන විශ්වාසයෙහිම කොටසකි.

මෙම මාතෘකාව යටතේ ඉබ්නු අබ්බාස් (රළි) දැන් වූ තවත් හදීස් වදනක් සහිහ් අල් බුහාරි 8:81 හී වාර්තා වේ. “වරක් නබි (සල්) තුමා මදීනා නුවර ඇති සොහොන් බිමක් පසු කර ගෙන ගිය විට, දෙදෙනෙක් සොහොනෙහි දඬුවම් දෙනු ලබන සිද්ධියට සවන් දුන්හ. 'මේ අය දඬුවම් ලබන්නේ මහා පාපයන්හට නොවු නමුත්, ඔවුන්ගේ පාපයන් බරපතළ වේ. එක් පුද්ගලයෙක් මුත්රා කරන විට (තම සිරුරේ වැදි) අපිරිසිදුවීම වැළකුවේ නැත. අනික් තැනැත්තා තමීමා[29] පතුරුවා ගෙන ගියේය.' බව පැවසුහ."

අල් හිස්හි උදාහරණය නම්, කෙනෙක් නිදා ගන්නා විට, තමා අලංකාරවත් ස්ථානයක සතුටින් සිටින බව හෝ පටු, බිය උපදවන ස්ථානයක සිටින බව සිහිනෙන් දකී. ඇතැම් විට තමා දුටු සිහිනය හේතු කොට ගෙන. ඔහු හදිසියෙන් අවදි වන නමුත්, තමා නිදා ගත් ඇඳ මත, තම කාමරයෙහිම සිටින බව දැන ගනියි. නින්ද එක්තරා මරණයක් වන හෙයින් එය වෆාත් ලෙස අල්ලාහ් සඳහන් කරයි.

“මිනිසුන් මිය යන කල්හී, ඔවුන්ගේ ආත්මයද, නින්දෙහි නොමැරෙන අයගේ ආත්ම ද අල්ලාහ් අත්පත් කර ගන්නේය. මරණය නියමිත අයගේ ආත්මය නවත්වා ගන්නේය. අන් කෙනාගේ ආත්මය නියමිත කාලය තෙක් හරින්නේය." කුර්ආන් 39:42.

යුක්තියට එකඟ වන කරුණු: නිදා ගෙන සිටින කෙනෙක් සැබෑ තත්ත්වයට සමාන සිහිනයක් සැබැවින්ම දකිනු ඇත. ඔහු සිහින යෙහි නබි (සල්) තුමාණන් ව එතුමාගේ සැබෑ ස්වරූපයෙන් දැකිය හැක. එලෙස සිහිනයෙහි දුටු කෙනෙක් ඇත්ත වශයෙන්ම එතුමා ව දුටුවේය. එහෙත් එම තැනැත්තා, තවමත් තම ඇඳ මත නිදා ගෙන සිටියි. අපගේ සැබෑ ජීවිතයෙහි මෙවැන්නක් සිදුවිය හැකි නම්, මරණ යෙන් පසු ජීවිතයේ මේවා සිදු විය නොහැකිද?

සොහොන් කළ තැනැත්තා පසෙන් ආවරණය නොකෙළේ නම් සොහොන් කිරිමට පෙර සිටි ආකාරයෙන්ම ඔහු ව දැක ගත හැකි වන අතර, ඔහුගේ සොහොනෙහි පුළුල් වීමක් සිදු නොවන බව ඇතැම් අය කරන තර්කයට පහත සඳහන් අයුරින් පිළිතුරු දෙමු.

1. සැක සහිත තර්ක ඉදිරිපත් කරමින්, අෂ් ෂර්ආ පෙන් වු සිදුවීම් සහ සාක්ෂීන් සියල්ල ප්රතික්ෂේප කළ නොහැක. අෂ් ෂර්ආ ගෙනෙන සාක්ෂියට විරුද්ධව සැක කරන කෙනෙක්, අෂ් ෂර්ආ පෙන්වන්නේ කුමක්දැ යි නිසියාකාරව කල්පනා කළේ නම්, තම සැකය අසාධාරණ බව දැන ගනී. “ඇතැමුන් යුක්ති සහගත කථාවන් කිහිපයක් ඉවත දමන්නේ ඔවුන්ගේ පහදා ගැනීමේ හැකියාවේ හීන තාව නිසාය." යි සලකන්න.

2. බර්zසහ් (මරණයෙන් පසු යළි නැගිටින තුරු කෙනෙක් පසු වන) තත්ත්වය ගුප්ත දෙයක් වන (ගයිබ්) හෙයින්, අල් හිස් මගින් ඒවා පහදා ගත නොහැක.

ඒවා ගොචර ශක්තියෙන් වටහා ගත හැකි නම්, ගුප්ත දැයෙහි විශ්වාසය තැබීමේ යහඵලය සිදු නොවන අතර, ගුප්ත දැයෙහි විශ්වාස තබන අයද, දේව විශ්වාසය ප්රතික්ෂේප කරන අයද එක හා සමාන තත්ත්වයට පත්වන්නෝය.

3. සොහොනෙහි සතුට සහ වේදනාව: සොහොන පුළුල් වීම හෝ පටු වීම යන සියල්ල, මරණයට පත් වු කෙනෙක් හැර අන් කිසිවෙක් නොදනී. කෙනෙක් තමා පළලැති, ප්රීතිමත් හෝ පටු, බිහිසුනු තැනක සිටින බව සිහිනෙහි දැකීම හා සමානවේ. ඔහු තම ඇඳෙන් බැස නොගිය බව අන් අය පවසති. ඔහු ඇඳ මත, ඇතිරිලි අතර නිදා සිටියි. මුහම්මද් (සල්) තුමාණන් වෙතට වහී (කුර්ආන් වැකි) පහළ වන විට, එතුමාණන් තම මිත්රයන් සමඟ සිටියේය. පහළ වන වහී එතුමාට පමණක් ඇසුණු අතර, අවට සිටින කිසිවෙකුට ඒවා ඇසුණේ නැත. ඇතැම් අවස්ථාවන්හී, වහී ගෙන ආ ජිබ්රීල් (අලෛ) තුමා මිනිස් රුවෙන් පැමිණ, නබි (සල්) තුමාණන් සමඟ කතා කළ නමුත්, සහාබාවරුන් එතුමා දුටුවේ නැත.

4. අල්ලාහ් එක් එක් අයට දුන් සීමාවන් තුළ යමක් වටහා ගන්නට මැවීම් වලට හැකි වේ. ලොවෙහි පවතින සෑම දැයක් ගැනම කෙනෙකුට අවබෝධ කර ගත නොහැක. හත් අහස, පොළොව සහ ඒවායේ තිබෙන සෑම දැයක්ම අල්ලාහ්ගේ නාමය “තස්බීහ් බිහම්දිල්ලාහ්“ එනම් සියලු අංග හීනයෙන් තොර වු අල්ලාහ්ගේ කීර්තිය පවසමින්, ඔහුට ප්රශංසා කරති. මෙම තස්බීහ් ක්රියාව සත්යය සහ සැබැවින්ම සිදු වන දෙයකි. තම මැවීම් අතරින් ඔහු කැමති කෙනෙකුට එයට සවන් දෙන්නට අල්ලාහ් සලස්වන නමුත්, මෙය අපගෙන් සඟවා තබන ලබ කරුණකි. මේ ගැන අල්ලාහ් මෙලෙස පවසයි.

“අහස් හතද, නොළොවද, එහි සියලු දැයද ඔහු සිවිශුද්ධ කරති. ඔහුට පැසසුම් කරමින් සුවිශුද්ධ නොකරන කිසිවෙක් නොමැත. එහි ඔවුන්ගේ සුවිශුද්ධ කිරීම ඔබ වටහා ගන්නේ නැත." කුර්ආන් 17:44.

මෙලෙසම, ෂෙයිතාන්වරුන් සහ ජින්වරුන් පොළොව මත එහා මෙහා සංඤරණය කරන නමුත්, අප ඇසට නොපෙනේ. ජින්වරුන්ගෙන් පිරිසක්, අල්ලාහ්ගේ රසුල්වරයා කුර්ආන් පාරායනය කරන විට, නිශ්ශබ්දව එයට සවන් දීමෙන් පසුව, තම පිරිස වෙතට ගොස් ඔවුන්ට අවවාද කළෝය. එහෙත් මේවා කිසිවක් අපට නොපෙනේ.

“ආදම්ගේ දරුවනි! ඔබේ දෙමාපියන් (ආදම් සහ හව්වා) ගේ ලැජ්ජා ස්ථාන ඔවුන් දෙදෙනාට පෙන්වනු පිණිස ඔවුන් දෙදෙනාගේ වස්ත්ර ඉවත් කර, ජන්නාවෙන් පිට කළාක් මෙන්, ෂෙයිතාන් ඔබ සැමද මුළා කරන්නට ඉඩ නොදෙනු. ඇත්තෙන්ම ඔහුද, ඔහුගේ පිරිසද ඔබට නොපෙනෙන අයුරින් සිට, ඔබ ව දකින්නෝය. ඇත්තෙන්ම, අපි විශ්වාස නොකරන අයට, ෂෙයිතානුන් යහළුවන් කෙළෙමු." කුර්ආන් 7:27.

ඉහත පෙන්වු ආකාරයට, පවතින සෑම දෙයක් ම පිළිබඳ දැනුම ලබන්නට මිනිසාට නොහැක. සැඟවුණු කරුණු පිළිබඳ ව කිසිදු දැනුමක් නොමැති ඔහුට, ඒවා ගැන නිවේදන මගින් අනාවරණය වූ කිසිවක් ප්රතික්ෂේප කිරීමට කිසිසේත් නොහැක.

අල් කද්ර් පිළිබඳ විශ්වාසය

අල්ලාහ්ගේ පෙර දැනුම සහ ඥානයට එකඟ ව, ඔහුගේ මැවීම් වලට අල්ලාහ්ගෙන් ලැබෙන තීරණය නොහොත් දෛවය අල් කද්ර් වේ.

අල් කද්ර් කෙරෙහි විශ්වාසයේ කරුණු හතරක් අඩංගුය.

කළින් සිදු වු, දැනටමත් සිදු වන සහ අනාගතයේ සිදුවීමට තිබෙන සියලු කරුණු පිළිබඳ ව, ඒවා අල්ලාහ්ගේ ක්රියාවෙන් හෝ වේවා ඔහුගේ මැවීම් හී ක්රියාවෙන් හෝ වේවා, සම්පූර්ණව සහ විස්තරාත්මක ව අල්ලාහ් දැන සිටින බව විශ්වාස කිරීම.

මෙම විස්තර සියල්ල “අල් ලව්හුල් මහ්ෆුළ්" නම් ආරක්ෂාව ලැබු සටහන් පොතෙහි අල්ලාහ් සඳහන් කර ඇති බව විශ්වාස කිරීම. මෙම දැනුම සහ එය ලියා තැබීම යන කරුණු ගැන අල්ලාහ් මෙලෙස පවසයි.

“අහස්හිද, පොළොවෙහිද සියලු දැය අල්ලාහ් දන්නා බව ඔබ නොදන්නේද? ඒවා සියල්ල පොතෙහි (සඳහන් ව ඇත) ඇත්තෙන්ම එය අල්ලාහ්ට පහසුය." කුර්ආන් 22:70.

අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් අල් ආස් (රළි) පහත සඳහන් හදීසයක් වාර්තා කෙළේය. “අහස් සහ පොළොව මැවීමට වසර පනස් දහසකට පෙර, මැවීම් හි ක්රියාවන් සහ ඒවායේ නියමිත ප්රමාණයන් ගැන අල්ලාහ් ලියා තබා ඇත." මූලාශ්රය සහීහ් මුස්ලිම් 4:6416.

අල්ලාහ්ගේ ක්රියාවෙන් හෝ වේවා මැවීම් හී ක්රියාවෙන් හෝ වේවා, මවනු ලැබු සෑම දැයක්ම අල්ලාහ්ගේ අනුමැතිය නොමැති ව සිදු නොවන බව විශ්වාස කිරීම. අල්ලාහ් තම ක්රියාවන් පිළිබඳ ව මෙසේ පවසයි.

“අල්ලාහ් සිතු දැය කරන්නේය." කුර්ආන් 14:27;

ඔහු සිතු අයුරින් ගර්භයන් හි (නානා විලාසයෙන් ඔබ හැඩ ගස් වන්නේය." කුර්ආන් 3:6.

තම මැවීම් හි ක්රියාවන් ගැන ඔහු මේ ආකාරයට පවසයි.

“ඔහු සිතුවහොත් ඔවුන්ට ඔබට වඩා බලය දෙන්නේය. එවිට ඔවුන් (ඔබට එරෙහි ව සටන් කර) ඔබ ව කපා කොටා මරා දමන්නෝය." කුර්ආන් 4:90.

“අල්ලාහ් සිතුවහොත් ඔවුහු එය නොකරන්නෝය. එහෙයින් ඔවුන්ද ඔවුන් බොරු ගෙතු දැයද හැර දමනු." කුර්ආන් 6:137.

සියලු දැයෙහි “තවාතිහා" (ස්වභාවය) ගුණාංගය සහ චලනය යන සියල්ල අල්ලාහ් විසින් නිර්මාණය කරනු ලැබු බව විශ්වාස කිරීම.

“අල්ලාහ් සියලු දැයෙහි මැවුම්කරුය. ඔහු සියලු දැයෙහි “වකීල්ය" (භාරකරු, පාලක, ආරක්ෂයා). " කර්ආන් 39:62.

“ඔහු සියලු දැයක්ම නියමිත ප්රමාණයෙන් (කඩවසමින්) නිර්මාණය කෙළේය." කුර්ආන් 25:2.

අල්ලාහ්ගේ රසූල්වරයා වන ඉබ්රාහීම් (අලෛ) තම ජනතාවට මෙලෙස පැවසු බව අල්ලාහ් දන්වයි.

“ඔබේ අතින්ම සාදා ගත් දැයට (පිළිමයන්ට) ඔබ නැමදුම් කරන්නේද? ඔබවද ඔබ නැමදුම් කරන දැයද (පිළිම සාදන භාණ්ඩ) නිර්මාණය කෙළේ අල්ලාහ්ය." ලෙස (තම ජනතාවට) ඔහු ඉබ්රාහීම් (අලෛ) කීවේය." කුර්ආන් 37:95 සහ 96.

අල් කද්ර් කෙරෙහි විශ්වාසය සම්බන්ධ ව ඉහත සඳහන් කරුණු කිසිවක් මිනිසෙකුට නිදහස් සිතක්ද (අල් මෂීආ), ස්වේච්ඡාවෙන් ක්රියා කිරීමේ හැකියාවද නැති බව නොපවසයි. මන්ද, මේ කරුණු දෙකම අෂ් ෂර්ආ සහ සැබෑ තත්ත්වයට එකඟ වන බව තහවුරු කෙරෙන නිසාය.

“එහෙයින්, තම දෙවියන් වහන්සේ වෙත ස්ථානයක් (හෝ යහ මාර්ගයක් ලබන්නට) සිතන කෙනෙක්, ඒ අනුව (මෙලොව ජීවිතයෙහි) හැසිරේවා." කුර්ආන් 78:39.

“ඔබේ බිරියන් ඔබට වපුරන බිමකි. ඔබ සිතු අයුරින් ඔබේ වපුරන බිමට යනු."[30] කුර්ආන් 2:223.

මිනිසාගේ කුද්රා නම් හැකියාව ගැන අල්ලාහ් මෙසේ පවසයි.

“එසේ හෙයින්, අල්ලාහ්ට හැකි පමණකින් බිය බැතිමත් ව යහකම් ඉටු කරනු. (ඔහුට) සවන් දෙනු. කීකරු වනු." කුර්ආන් 64:16.

අල්ලාහ් කෙනෙකුට උසුලන්නට නොහැකි ප්රමාණයට අධික ව බර පටවන්නේ නැත. ඔහු උපයා ගත් හොඳ දැය (ත්යාග) ඔහුටය. ඔහු උපයා ගත් (නරකින්) දඬුවමද ඔහුටය." කුර්ආන් 2:286.

සැබෑ තත්ත්වය මෙයයි. තමාට මශීආ සහ කුද්රා තිබෙන බවද, ඒවාට අනුකූල ව ක්රියා කිරීමට හෝ කිසිවක් නොකර සිටින්නට හැකි බවද සෑම කෙනෙකුම දන්නා අතර, තමා ස්වේච්ඡාවෙන් ඉටු කරන ඇවිදීම, වාඩිවීම වැනි ක්රියා සහ හිතා මතා නොව සිරුරෙහි සිදුවන වෙවුලීම් වැනි දේ අතර එහි තිබෙන වෙනසද හොඳාකාර ව දනී. කෙසේ වෙතත් සෑම මැවීමකගේම මශීආ නම් කැමැත්ත සහ කුද්රා නම් ක්රියා කිරීමේ හැකියාව පවතින්නේ, අල්ලාහ්ගේ කැමැත්ත සහ හැකියාව මත පමණක් බව අප දැන ගත යුතුය. අල්ලාහ් මේ ගැන පවසන්නේ මෙලෙසය.

“ඔබ අතරින් සෘජු මාර්ගයෙහි ගමන් කරන්නට කැමති වන කවරෙකු වුවද, සියලු විශ්වාසයන්හි අධිපති වන අල්ලාහ් කැමති වන්නා හැර, ඔබේ කැමැත්තෙන් පමණක් (සිදු) නොවේ." කුර්ආන් 81:28 සහ 29.

මුළු විශ්වයම අල්ලාහ්ට පමණක් අයත් හෙයින්, ඔහුගේ කැමැත්ත නොමැති ව, ඔහුගේ රාජධානියෙහි කිසිදු දැයක් පවතින්නට ඉඩ නැත.

මෙහිදී වැදගත් කරුණක් මතකයේ තබා ගත යුතුය. එනම් කෙනෙක් අනිවාර්යයෙන් කළ යුතු ක්රියාවන් ඉටු නොකර මඟ හැරීමට හෝ අල්ලාහ්ට අකීකරු වන ක්රියාවන් හී යෙදීමට හෝ ඉහත විස්තර කළ අල් කද්ර් කෙරෙහි තැබු විශ්වාසය අනුමත දෙන බව නොසිතන්න. මේ අනුව, තමා කළ හෝ සොකළ ක්රියාවන්හට කද්ර් හේතු සාධක වූ බව කිසිවෙකුට තර්ක කළ නොහැකි බව පහත සඳහන් කරුණු පෙන්වයි.

අල්ලාහ්ගේ වාක්ය මෙසේ පෙන්නුම් කරයි.

“අල්ලාහ් සිතුවේ නම් අපිද, අපේ පියවරුන්ද (ඔහුට) සමානයක් නොතබන්නෙමුයිද, (අල්ලාහ්ගේ අණට එරෙහිව) තහනම් නොකෙළෙමුයි ද (අල්ලාහ්ට සමාන තබන) මුෂ්රික්වරු කියන්නෝය. මෙලෙසම අපගේ දඬුවම විඳින තුරු ඔවුන්ට පෙරවු අයද (අල්ලාහ්ගේ රසූල්වරු සමඟ තර්ක කර) බොරු කළෝය. 'ඔබ වෙත යම් දැනුමක් තිබේද? එසේ නම් එය අපට හෙළි කරවු. ඔබ (බොරු) සිතුවිලි මිස (සත්ය) අනුගමනය නොකරන්නෝය. ඔබ බොරු කියන්නන් මිස (වෙන කිසිවක්) නැත.' යැයි කියනු." කුර්ආන් 6:148.

පහත සඳහන් කුර්ආන් වාක්ය ගැන සළකා බලන්න.

“විශ්වාස කළ අයට ස්වර්කයයි) ශුභාරංචි පළ කරන්නාවුද, (විහ්වාස නොකළ අයට අපාය යැයි) අවවාද කරන්නාවු ද රසූල් වරුන්ගෙන් පසු අල්ලාහ් ගැන මිනිසුන්ට (විවාද කිරීමට) කරුණක් නැති වනු පිණිස, රසූල්වරු (අපි පහළ කෙළෙමු) ඇත්තෙන්ම, අල්ලාහ් නිරතුරු බල සම්පන්නය. නුවණැතිය." කුර්ආන් 4:165.

අල්ලාහ්ගේ රසූල්වරුන්ට විරුද්ධ වන අයට, අල් කද්ර් නිසා තමන් ඒ ආකාරයට හැසිරුනු බව කියා සිටීමට සමාවක් තිබුනේ නම්, අල්ලාහ්ගේ කැමැත්තෙන් සිදුවන බව ඔවුන් පවසන විරුද්ධවාදය රසූල් වරුන් එවීමෙන් පමණක් ඉවත් කළ නොහැකි බව සළකන්න.

අලි ඉබ්නු අබි තාලිබ් (රළි) වාර්තා කළ හදීස් වදනක් මෙහි දී සැළකිය යුතුය. වරක් නබි (සල්) තුමාණන් “ජන්නාවෙහි හෝ අපායෙහි ඔහුගේ ස්ථානය වෙන් නොකරගත් කිසිවෙක් ඔබ අතර නැත." යැයි පැවසුහ. එම සෙනඟ අතරින් කෙනෙක්, “එය මත අප රැඳී (යහ ක්රියා කිසිවක් නොකර) සිටින්නදැ" යි විමසුවේය. එයට “ඔබ කරන දේ (යහ ක්රියාවන්) දිගටම කර ගෙන යන්න. සෑම කෙනෙකුම තමා කුමන ස්ථානය සඳහා මවනු ලැබුවේ ද, එම ස්ථානය කරා යෑමට අවශ්ය ක්රියාවන් කිරීමට පහසු කරනු ලබයි." යනුවෙන් පැවසු රසූල් (සල්) තුමාණන් මෙම කුර්ආන් වැකියද කීවේය. “යමෙකු දන් දී (අල්ලාහ්ට) බිය බැතිමත් ව කටයුතු කරන්නේද, තවද යහ දැය සත්ය බව විශ්වාස කරයි ද, ඇත්තෙන්ම, අපි ස්වර්ගයේ මග ඔහුට පහසු කරන්නෙමු. යමෙක් ධනය රැස් කොට තමා ස්වාධීනයයි සිතයි ද, තවද යහ දැය ප්රතික්ෂේප කරන්නේද ඇත්තෙන්ම, අපි විනාශයේ මඟ ඔහුට ලෙහෙසි කරන්නෙමු." කුර්ආන් 92:5 සිට 10 දක්වා. මූලාශ්රය බුහාරි 9:642 සහ මුස්ලිම්.

යහ ක්රියාවන් කරන ලෙසද, පාපයන්ගෙන් ඉවත් වන ලෙසද, මිනිසාට අණ කළ අල්ලාහ්, ඔහුට කරන්නට නොහැකි කිසිදු දැයක වගකීමක් පවරන්නේ නැති බවද කියයි.

“එහෙයින් අල්ලාහ්ට හැකි පමණක් බිය වී (ඔබේ කටයුතු කරනු)." කුර්ආන් 64:16.

“අල්ලාහ් කෙනෙකුට උසුලන්න නොහැකි ප්රමාණයට අධික ව බර පටවන්නේ නැත." කුර්ආන් 2:286.

බල කිරීම් නිසා මිනිසාට ක්රියා කරන්නට සිදුවන්නේ නම්, එය උසුලන්නට නොහැකි බරක් ඔහු මත පැටවීමක් වන්නේය. එය අසත්යයකි. මන්ද, අමතක විමෙන් හෝ දැනුම නොමැතිකම නිසා හෝ බල කිරීම නිසා හෝ කෙනෙක් වැරදි ක්රියාවක් කළේ නම්, ඔහු පාපයක් කළ බවට සලකනු නොලබන අතර, ඔහුට අල්ලාහ්ගෙන් සමාවද ඇත.

අල්ලාහ්ගේ අල් කද්ර් යනු, නියමිත කරුණු සැබැවින් සිදු වන තුරු කිසිවෙක් නොදන්නාසේ ආරක්ෂා සහිත ව තබන ලද රහසකි. කෙනෙකුගේ ක්රියාවට පෙර චේතනාව මුල් තැන ගන්නා හෙයින්, අල් කද්ර් පිළිබඳ ව පෙර දැනුම පදනම් කොට, කෙනෙක් ක්රියා කළ බව කිව නොහැක. අල් කද්ර් කුමක් දැ යි නොදැන ක්රියා කළ කෙනෙක්, තමා අල් කද්ර් නිසා යමක් කළ බව පවසන්නේ මුසාවකි.

ලෞකික දේවලින් තමාට වාසියක් ගෙනෙන දේ හිමිකර ගන්නට මිනිසා පෙලෙඹෙන බව අපි දකිමු. තමාට වාසියක් නොමැති දෙයක් වෙනුවෙන් වාසියක් ඉවත දමා, එම වාසිය ඉවත දැමුවේ අල් කද්ර් නිසා යැයි කිසිවෙක් පවසන්නේ නැත. එසේ නම්, දහමෙහි වාසිය ගෙන දෙන කරුණු ඉවත දමා, තම දහමෙහි හානියක් සිදු කරන දේ තෝරා ගෙන, එය තිරණයට අල් කද්ර් හේතු වු බව තර්ක කරන්නේ මන්ද? මෙම අවස්ථාවන් දෙකෙහිම එකම ආකාරයට ක්රියා කළ යුතු නොවේද?

පහත සඳහන් උදාහරණය මෙම විෂය තවත් පැහැදිලි කරයි. කෙනෙක් ඉදිරියෙහි මාර්ග දෙකක් තිබේ. දුෂ්ට, නීති විරෝධි ක්රියාවන්, මිනී මැරුම්, සොරකම්, බිය, සාගතය, අකුසල් සහ අයහපත්, පාපයන්ගෙන් පිරුණු නගරයකට එක් මාර්ගයක් ඔස්සේ ගිය හැක. අනෙක් මාර්ගය ඔස්සේ ගියේ නම් නීති ගරුක, ආරක්ෂා සහිත, නිස්කලංක, ඕනෑ තරම් ආහාරපානාදිය සහිත, සෑම කෙනෙකුගේ ජීවිතය දේපළ සහ ආත්ම ගෞරවය අගේ කොට සලකන උසස් ජීවිත ක්රමයක් සහිත ජනතාවක් වාසය කරන නගරයට ගිය හැක. මේ මිනිසා විසින් යන්නට තෝරා ගනු ලබන්නේ කුමන මාර්ගයද?

ඔහු ආරක්ෂා සහිත, නීති ගරුක ජීවිතයක් සහිත නගරයට යන මාර්ගය තෝරා ගන්නා බව නිසැකය. කල්පනා කිරීමේ හැකියාව තිබෙන කෙනෙක් අයහපත් සහ අසාධාරණකම් පිරුණු නගරයට යන මාර්ගය තෝරා ගෙන, එම තීරණයට අල් කද්ර් හේතු වූ බව පවසන්නේ නැත. එසේ නම්, මරණයෙන් පසුව ස්වර්ගය කරා යන මාර්ගය අත හැර දමා, ඒ වෙනුවෙන් අපාය ගින්නට මඟ පාදන මාර්ගය තෝරා ගෙන, එයට අල් කද්ර් හේතු වූ බව තර්ක කරන්නේ මන්ද?

මේ පිළිබඳව තවත් උදාහරණයක් දෙස බලමු. අසනීප වූ කෙනෙකුට ඖෂධ දුන් විට, අකැමැත්තෙන් හෝ ඒවා බීමට ඔහු ට සිදු වෙයි. ඔහුගේ රෝගය සුව කර ගනු පිණිස, ඇතැම් ආහාර නොගෙන වැළකීමට සිදු වුයේ නම්, කෙතරම් ආස කළද, ඒවා කෑමෙන් ඔහු වැළකී සිටින්නේය. මේවා සියල්ල ඔහු කරන්නේ රෝගයෙන් සුවය ලබනු පිණිසය. මේ තැනැත්තා බෙහෙත් නොබී, පත්තියම් නොරැක, කැමති ආහාර සියල්ල කෑමට ගෙන එයට අල් කද්ර් හේතු වූ බව පැවසිය හැකිද? එසේ නම්, අල්ලාහ්ගේ අණ ඉවත දමා, අල්ලාහ් සහ ඔහුගේ රසූල් (සල්) තුමාණන් තහනම් කළ ජීවිතය තෝරා ගෙන, එයට අල් කද්ර් හේතු වූ බව තර්ක කරන්නේ මන්ද?

අල් වාජිබාත් යනු, ආගමෙහි අනිවාර්යය කරුණු ඉවත දමන්නට සහ පාපයන් හි නිරත වීමට, අල් කද්ර් හේතු වූ බව කෙනෙක් තර්ක කිරීම වේ. ඔහුට මැරවරයෙක් පහර දී, ඔහුගේ දේපළවලට හෝ ගෞරවයට හානි සිදු කර, “මගේ මේ ක්රියාවට මට දොස් නොකියන්න. (අල්ලාහ්ගේ තීරණය වු) අල් කද්ර් නිසා මෙය සිදු විය." යනුවෙන් පැවසුවේ නම්, මෙම තර්කය ඔහු පිළිගන්නේද? අල්ලාහ්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින්, නීති විරෝධි ලෙස ජීවත් වන්නට අල් කද්ර් හේතුවක් ලෙස තර්ක කරන්නෙක්, තමාට මිනිසෙක් පහර දුන්නේ නම් එය අල් කද්ර් නිසා යැයි පිළිනොගන්නේ මන්ද?

මූඃමින්වරුන්ගේ අමීර්වරයා වන උමර් ඉබ්නු අල් කඃත්තාබ් (රළි)ගේ තීරණය මෙහි ඉතාමත් සුදුසුය. සොරකම් කළ කෙනෙකුගේ අත කපා හරින සෙල ඉස්ලාමීය නීතියට එකඟ ව, එතුමා විනිශ්චය දුන් අවස්ථාවේදී, “මූඃමින්වරුන්ගේ අමීර් තුමණි! මදක් ඉවසන්න. මම මේ සොරකමේ යෙදුණේ අල් කද්ර් නිසාය."යි පැවසු විත්තිකරු, තම සොරකමට අල්ලාහ් හේතු වූ බව පෙන්වන්නට යෙදුණේය. එවිට උමර් (රළි) “අපි නුඹේ අත කපා හරින්නේද අල් කද්ර් නිසා හැර, වෙන කිසිදු හේතුවක් නිසාවත් නොවේය." යි ඔහුට පිළිතුරු දුන්නේය.

අල් කද්ර් කෙරෙහි විශ්වාසයේ ඇතැම් යහඵල

යමක් කරන්නට අල්ලාහ් විසින් මවන ලද උපක්රමයන්ගෙන් ප්රයෝජනය ගන්නා විට, ඒවා මත පමණක් රැඳී නොසිට, ඒවා සැපයූ අල්ලාහ් වෙත සම්පූර්ණ විශ්වාසය සහිත ව රැඳී සිටීම. සියලු දැයක්ම පෙර නියමිත සුදුසු ප්රමාණයට අල්ලාහ් නිර්මාණය කර තිබීම මෙයට හේතු වෙයි.

යම් අරමුණක් ඉටු කර ගත් කෙනෙක්, ඔහුගේ අරමුණ ඉටු වුයේ පෙර නියම කළ යහපත් උපක්රම මගින් ජය ලබන්නට අල්ලාහ් දුන් වරප්රසාදය සිහි කරමින් තමා ගැන උසස් ලෙස සිතා උඩඟු නොවී ආරක්ෂාව ලබන්නේය. ජය ලැබු අවස්ථාවෙහි ඔහු උඩඟු වුයේ නම්, අල්ලාහ්ගෙන් ලැබෙන ආශීර්වාදය සඳහා ස්තූති කිරීමට ඔහු අමතක කරන්නේය.

අල්ලාහ් විසින් පෙර නියම කරන ලද යමක් සිදු වන විට ඒ ගැන කෙනෙකුට සිත් තුළ හට ගන්නා ශාන්ත භාවය හා සාමය. තමා කැමති දැයක් ලබා ගන්නට නොහැකි වු විට හෝ අකැමැති දැයක් සිදු වන විට, අහස් සහ පොළොව හිමි අල්ලාහ්ගේ පෙර තීරණය වන අල් කද්ර් අනුව සිදු වීමට නියමිත සියල්ල සැබැවින්ම සිදු වන බව පිළිගන්නා කෙනෙක්, අනවශ්ය සිත් තැවුල්ලට පත් නොවෙයි. මේ ගැන අල්ලාහ් මෙසේ පවසයි.

“මිහිතලයේ හෝ නුඹලා අතර හෝ කිසිදු දුර්භාග්යයක් සිදුව්න්නේ නැත, එය අපි ඇති කරන්නට පෙර පුස්තකයේ සඳහන් ව මිස. සැබැවින්ම මෙය අල්ලාහ් කෙරෙහි පහසු කටයුත්තකි.

නුඹලාට මඟහැරුනු දෑ කෙරෙහි දොම්නස් නොවනු පිණිස ද, ඔහු නුඹලාට දුන් දෑ පිළිබඳව (අධිකව) සතුටු නොවනු පිණිස ද (සියල්ල පුස්තකයේ සඳහන් වී ඇත) තවද උඩඟු පුරසුරම් දොඩන සියල්ලන්ම අල්ලාහ් ප්රිය නොකරන්නේය.“ කුර්ආන් 7:22 සහ 23.

මෙවැනි දේව විශ්වාසය සහිත අය පිළිබඳව නබි (සල්) තුමාණන් මෙලෙස පැවසුහ. “මූඃමින් වරයෙකුගේ කරුණු කෙතරම් විස්මය ජනකද! ඔහුගේ සෑම කරුණකම යහපතක් ඇති අතර මූඃමින් වරයෙකු හැර අන් කෙනෙකුට මෙය අදාළ නොවේ. යම් සර්ආවක්[31] ඔහුට සිදු වුයේ නම්, ඔහු (අල්ලාහ්ට) ස්තූතිය පළ කරයි. මෙයින් ඔහුට යහපතක් ඇත. යම් දර්ආවක්[32] ඔහුට සිදු වුයේ නම්, ඔහු එය ඉවසීමෙන් දරා ගනී. මෙයින්ද ඔහුට යහපතක් ඇත." මූලාශ්රය සහීහ් මුස්ලිම් හදීස් අංක 7138.

දෙපිරිසක් අල් කද්ර් පිළිබඳව නොමඟ ගියහ

මිනිසා සෑම දැයක්ම ඉටු කරන්නේ බලපෑම් නිසාය, ඔහුට තීරණයක් ගැනීමට හෝ ක්රියා කිරීමට නිදහසක් නොමැති බව මෙම කරුණු ගැන නොමඟ ගිය අල් ජබ්රියියා[33] නම් එක් පිරිසක් පවසති.

මේ ගැන නොමඟ ගිය තවත් පිරිසක් අල් කද්රියියාවෙති [34]. මිනිසා නිදහසේ කැමැත්තෙන් සහ හැකියාවෙන් සෑම දැයක්ම ඉටු කරන හෙයින් අල්ලාහ්ගේ මශීආ (තීරණය) සහ කුද්රා (හැකියාව) යහ කිසිවක් නිසා මිනිසාගේ ක්රියාවන්ට බල පෑමක් සිදු නොවන බව මේ පිරිස පවසති.

ජබ්රියියා පිරිසට අෂ් ෂර්ආ සහ සැබෑ තත්ත්වය මත පිළිතුරු

අෂ් ෂර්ආ පවසන ආකාරයට මිනිසාට ස්වයව කල්පනා කිරීමේ ශක්තියක් සහ නිදහස් ව ක්රියා කිරීමේ හැකියාව තිබෙන බවද, ඒවා මත මිනිසා ක්රියා කරන බවද අල්ලාහ් තහවුරු කර ඇත.

“ඔබ අතරින් මෙලොව දැයට කැමති වන අයත් සිටිති. ආහිඃරාවට (මරණයෙන් පසු ජීවිතයට) කැමති වන අයද සිටිති.“ කුර්ආන් 3:152.

“පවසනු. 'සත්යය ඔබගේ අධිපති (අල්ලාහ්) ගෙන්ය.' එහෙයින් කැමති කෙනෙක් විශ්වාස කෙරේවා. කැමති කෙනෙක් විශ්වාස නොකෙරේවා. ඇත්තෙන්ම අපරාධකරුවන්ට එහි බිත්ති ඔවුන් වට කරන ගින්නක් අපි පිළියෙල කෙළෙමු.“ කුර්ආන් 18:29.

අල් කද්ර් පිරිසට පිළිතුරු

අෂ් ෂරීආ පවසන ආකාරයට සියලු දේ මැවුවේ අල්ලාහ් බවද, ඒවා පවතින්නේ ඔහුගේ අනුමැතිය මත බවද කිසිදු සැකයක් නැත. සියලු මැවීම්හි ක්රියාවන් සිදු වන්නේ අල්ලාහ්ගේ අනුමැතියෙන් බව අල්ලාහ් කුර්ආනයේ සඳහන් කර ඇත.

“අල්ලාහ් සිතුවේ නම්, ඔවුන්ගෙන් පසු පැමිණි පරපුර පැහැදිලි සලකුණු (ආයාවන්) ඔවුන්ට පහළ වුවායින් පසුවත් ඔවුනොවුන් අතර ඇණ කොටා මරා නොගන්නෝය. එහෙත් ඔවුහු වෙනස් වී ඔවුන්ගෙන් සමහරු විශ්වාස නොකළහ. අල්ලාහ් සිතුවේ නම් ඔවුහු ඔවුනොවුන් අතර ඇණ කොටා නොගන්නෝය. අල්ලාහ් සිතු දේ කරන්නේය.“ කුර්ආන් 2:253.

“අපි සිතුවෙමු නම්, සෑම කෙනෙකුටම ඔහුගේ යහ මඟ දෙන්නෙමු. එහෙත් 'ජින්වරුන්ගෙන්ද මිනිසුන්ගෙන්ද (දෙවර්ගයේ පාපතරයින්) සියල්ලන්ගෙන් අපාය පුරවන්නෙමු.' යි මගෙන් වු වදනය ස්ථීර විය.“ කුර්ආන් 22:13

මුළු විශ්වයම අල්ලාහ්ට හිමි බව කිසිදු සැකයක් නැත. මිනිසා මෙම විශ්වයේ අංගයක් වන බැවින්, ඔහුද අල්ලාහ්ට හිමිය. හිමිකරුට අයත් දේපළ සහ වස්තුව ඔහුගේ අනුමැතිය හෝ කැමැත්ත නොමැති ව තමන් කැමති ආකාරයට වියදම් කරන්නට හිමිකමට භාජන වූ කෙනෙකුට කිසිසේත්ම අනුමත නැත. සැබෑ තත්ත්වය මෙය බව සලකන්න.

ඉස්ලාමීය අකීදාවෙහි ප්රධාන අරමුණ

ඉස්ලාමීය අකීදාවෙහි උසස් අරමුණු කිහිපයක් ඇත. ඒවායින් කිහිපයක් පහත දැක්වේ.

අවංක චේතනාවෙන් අල්ලාහ්ට පමණක් නැමදුම් ක්රියාව ස්ථාපනය කිරීම. කිසිදු හවුල්කරුවෙක් නොමැති එකම මැවුම් කරු ඔහු පමණි. එනිසා නැමදුම් කිරීමේ අරමුණ සහ නැමදුම් ක්රියාව ඔහුට පමණක් විය යුතුය.

යුක්තියට නොගැළපෙන. අනුවණ අදහස් සහ සිතුවිලි සිතෙන් ඉවත් කර ගැනීම. අකීදා පිළි නොගත් සිතෙහි නොයෙකුත් අසහන පැන නගින අතර, මේවා හේතු කොට ගෙන ලෞකික දේවලට පුද පූජා කර, මිත්යා ඇදහීම් පිළිපදිමින් නොමඟ යන්නට අවස්ථාවන් ඇත.

සිතෙහි සහනය සහ සිතුවිලි වල නිස්කලංක භාවය සහිතව අනවශ්ය කලබල නොවීමේ හැකියාව. දේව විශ්වාසය මගින් කෙනෙක් තම මැවුම්කරුවාණන් සමඟ සෘජුවම සම්බන්ධ වන හෙයින්,උසස්තම විනිශ්චයකරු සහ උසස්තම පාලකයා වන දෙවියන් වහන්සේ, තම සියලු කටයුතු භාර ව සිටින බව සෑහීමට පත් වන දාසයා තුළ අවුල් සහගත සිතුවිලි කිසිවක් පැන නගින්නේ නැත. සියලු ක්රියාවන් කිරිමේ හැකියාව අල්ලාහ් සතු බව දන්නා දාසයා, නිස්කලංකයට පත් වෙයි. ඉස්ලාමය හැර වෙනත් මාර්ගයක් ඔහු පතන්නේ නැත.

අල්ලාහ්ට කරන නැමදුමෙහි සෘජු මාර්ගයේ සිටින කෙනෙක්, තම අරමුණ සහ ක්රියාවන් හි අල්ලාහ්ගේ අනිකුත් මැවීම් සමඟද සාමය ලබයි. අල්ලාහ් විසින් එවනු ලැබු සියලු නබිවරුන් කෙරෙහි දක්වන ගෞරවය සහ විශ්වාසය මත ඒ අය පෙන් වූ සෘජු මාර්ග ඔස්සේ සාමයෙන් තම අරමුණ සහ ක්රියාවන් ඔස්සේ ගමන් කිරීමට ඔහුට හැකිවෙයි.

අල්ලාහ්ගෙන් ත්යාග ලබා ගන්නා අවස්ථා කිසිවක් අතපසු නොකර, සියලු දෑ ගැනම ඕනෑකමින් සැලකිලිමත් වීම, එමෙන්ම පාපයන් සිදු වනු දකින විට අල්ලාහ්ගෙන් ලැබෙන දඬුවමට බියෙන් එවැනි ස්ථානයෙන් සැණින් ඉවත් වීම. මේවා ඔහු ඉටු කරන්නේ, මරණයෙන් පසු ජීවිතය කොරෙහිද, යහ ක්රියාවන් සඳහා අල්ලාහ් ගෙන් ලැබෙන ත්යාග කෙරෙහිද ඔහු තබන විශ්වාසය පදනම් කර ගෙනය.මෙවැනි බැතිමතුන් ගැන අල්ලාහ් මේ ආකාරයට පවසයි. “ඔවුන් කරන යහ ක්රියාවන්හි නොයෙකුත් තරාතිරම් ඇත. ඔබේ දෙවියා මේවා ගැන නොදන්නා නොවේ.“ කුර්ආන් 6:132

නබි(සල්) තුමාණන්ගේ හදීස් වදනක් පහත සඳහන් වේ. “දුබල මූඃමින් වරයෙකුට වඩා ශක්තිමත් මූඃමින් වරයෙක් අල්ලාහ් කැමති උසස් කෙනෙක් වන අතර, සෑම කෙනෙකු කෙරෙහිම යහපතක් ඇත. මරණයෙන් පසු ඔබට යහපත සිදු කරන දේ ගැන ආශා කර, අල්ලාහ්ගෙන් සහය පතන්න. සිත් කලකිරීමට පත් නොවන්න. යම් ආබාධයක් හෝ කරදරයක් ඔබට සිදු වුයේ නම්, මම අහවල් දේ කළා නම් මෙය මට සිදු නොවන්නේය.'යි නොකියන්. ඒ වෙනුවට 'අල්ලාහ් නියම කළ දේ සිදුවුවා' යැයි පවසන්න. 'එය කළේ නම්' යන වචනය ෂෙයිතාන්ගේ ක්රියාවන්ට දොරටු විවෘත කරයි.“

තම දීනය තහවුරු කිරීම පිණිස එහි අත්තිවාරම වඩාත් ශක්තිමත් කර ගැනීමටද, එම අරමුණ ලබා ගනු පිණිස ඕනෑම පාඩුවක් දරා ගන්නටද සූදානම් වන ශක්තිමත් සමාජයක් (උම්මාවක්) ස්ථාපනය කිරීම. මේ ගැන අල්ලාහ් පවසන්නේ මෙලෙසය.

“අල්ලාහ් ගැනද, ඔහුගේ රසූල්වරයා ගැනද විශ්වාස කර, පසුව (එහි) සැක නොකොට අල්ලාහ්ගේ මාර්ගයෙහි තම ධනයෙන්ද, තම දිවියෙන්ද කැප කර වෙහෙස දරන අය පමණක් විශ්වාස කරන්නෝය. ඔවුහුමය සත්ය වන්තයෝ.“ කුර්ආන් 49:15

අල්ලාහ්ගෙන් ගෞරවය පතන සහ එය ලබා ගන්නා උපක්රමය සොයන පුද්ගලයින් සහ සමාජයන් පුනරුත්තාපනය කිරීමෙන්, මෙලොවෙහි පමණක් නොව මරණයෙන් පසුවද සතුට ලබා ගැනීම. මෙම ක්රියාව ගැන මෙලෙස අල්ලහ් සඳහන් කරයි.

“පිරිමියෙකුගෙන් හෝ කාන්තාවකගෙන් හෝ යමෙක් ඔහු සැබෑ විශ්වාස කරන්නෙක් වී යහකමක් කරන්නේද, ඇත්තෙන්ම අපි ඔහුට යහ දිවි පැවැත්මක් දෙන්නෙමු. තවද, අපි ඔවුන්ට ඔවුන් කරමින් හුන් ඉතා හොඳ දැයෙහි ප්රමාණයෙන් ඔවුන්ගේ ත්යාග දෙන්නෙමු.“ කුර්ආන් 16:97

ඉස්ලාමීය අකීදාවෙහි ඇතැම් අරමුණු ඉහත සඳහන් කළෙමි. මෙය ලබා ගන්නට මටද, සෑම මුස්ලිම්වරයෙකුටද හැකි වේවා යැයි අල්ලාහ්ගෙන් පතමි. අකීදා පිළිබඳ මෙම පොත් පිංචය අවසන් කිරිමට උපකාරය දුන් අල්ලාහ්ට සියලු ප්රශංසා හිමි වේවා. මුහම්මද් (සල්) තුමාණන්ට, එතුමාණන්ගේ පවුලේ අයට සහ එතුමාණන්ගේ අනුගාමිකයන් සියලු දෙනාට සාමය හා සහනය හිමි වේවා.

නිමි

හින්දු දහම පවසන ඒක දේව විශ්වාසය

බහු දේ වන්දනා ක්රමය බව සලකන ලද හින්දු දහමේ සංස්කෘත බසින් ශුද්ධ වු ග්රන්ථයන් කිහිපයක් තිබේ. ඒවා ඒක දේව විශ්වාසය ගැන පවසන්නේ මෙලෙසය.

ඒහම් ඉවෛත්යම් - ඔහු එක් කෙනෙකි, ඔහු හැර අන් කිසිවෙක් නැත. සන්තෝක්යා උප නිශාද වාක්ය 6:2.1 සහ යජුර් ග්රන්ථය වාක්ය 32:3

නා තස්ය ප්රතිමා අස්ති - ඔහුට කිසිදු රූපයක් නොමැත. ස්වේතාස්වත්ර උප නිශාද වාක්ය 4:19

නා සම්දර්ෂ තිෂාත්ති රූපම් අස්යා;

නා ශක්සුස පස්යාත්ති කාස් සනෙය්නම්.

ඔහුගේ රුව කිසිවෙක් නොදකී. ඔහු ව කිසිවෙක් දෑසින් දුටුවේද නැත. - ස්වේතාස්වත්ර උප නිශාද වාක්ය 4:20

දෙව් මහා ඔසි - දෙවියන් වහන්සේ අති උත්තමයාණන්ය.

අදර්ව වේද 20 වන පොත ස්ලෝක අංක 58 වාක්ය 3

මුනිවරු (දැනුම් ලත් අය) දෙවියන් වහන්සේට නොයෙක් නමින් අමතයි. රිග් වේද පළමුවන පොත ස්ලෝක අංක164 වාක්ය 46.

ඒහම් ප්රහම්, ත්විද්ය නස්තේ නේහ් නා නාස්තේ කින්චාන්.

දෙවියන් වහන්සේ එක් කෙනෙකි. ඔහුට දෙවනුව කිසිවෙක් නොමැත. කිසි දවසක සිටියේ නැත. කිසි දවසක සිටියේ නැත. කොහෙත්ම නැත. බ්රහ්ම සූත්ර ග්රන්ථය.

ජේසුස් ක්රිස්තුස් තුමාණන් තම බැතිමතුන්ට දුන් නියෝගය

සවන් දෙන්න අහෝ ඉස්රයීල්වරුනි! මාගේ ස්වාමියා සහ ඔබේ ස්වාමියා වන දෙවියා එකම දෙවියන් වහන්සේය. ඔහුට පමණක් නැමදුම් කරනු මැනවි.

(හින්දු සහ ක්රිස්තු දහමේ ග්රන්ථ පවසන ඒක දේව විශ්වාසය සම්බන්ධ කරුණු මෙම කුඩා පොත් පිංචයට එකතු කරනු ලැබුවේ පරිවර්තක විසිනි)



[1] අල්ලාහ් යනු ආරබි පදයකි. අති උතුම් දෙවියන් වහන්සේගේ අලංකාර නාමයක් වන අතර එයට සමාන වචනයක් නැත. අල්ලාහ් යනු මුස්ලිම්වරුන්ට පමණක් අයත් දෙවියෙක් නොව, ක්රිස්තු ආගම අදහන අරාබිවරුන්ද දෙවියන් වහන්සේට අමතන්නේ මෙම පදයෙන්ය.

[2] මුහම්මද් රසූල් තුමාගේ නාමය සදහන් කරන සෑම විටම එතුමාණන්ට සලාහ් සහ සලාම් හිමිවේවා යනුවෙන් පැතිය යුකුය. සත්වන අහසේ තිබෙන තම අර්ෂය (රාජාසනය) ඉහළ නැග ඇති උතුම් අල්ලාහ් තමා යටතේ සිටින මලාඉකාවරුන් අතර මුහම්මද් තුමාට සලාම් නම් සාමය පැතීම සහ ප්රශංසා කිරීම සලාම් යනුවෙන් හැඳින්වේ. මලාඉකාවරුන්ද එතුමාට සලාම් නම් සාමය පතන්නෝය. අල්ලාහ්ගේ සලාම් යන්නහි අදහස හීනතාවෙන් සහ අකුසල් තාවෙන් මුහම්මද් තුමාට අල්ලාහ් දෙන ආරක්ෂාවයි. මුස්ලිම්වරයෙක් සල්ලල්ලාහු අලෛයිහි වසල්ලම් යනුවෙන් පවසන විට ඔහු මුහම්මද් තුමාණන්ට ආරක්ෂාව හා ස්වර්ගය පිරිනමන ලෙස අල්ලාහ්ගෙන් පතයි.

[3] නැමදුමට සුදුසු සැබෑ එකම දෙවියා අල්ලාහ් බවද, සියලු දැයෙහි අධිපති ඔහු බවද, දිව්යමය නාමයන්, ගුණාංගයන් සහ ක්රියාවන්හි ඔහුට හවුල්කරුවෙක් හෝ ඔහු හා සමාන කිසිවෙක් හෝ නැති බවද විශ්වාස කිරීම තව්හීද් වේ.

[4] බටහිර රටවල ආගම යනුවෙන් සඳහන් කරන වචනයට වඩා පුළුල් තේරුමක් මෙහි ඇත. ජීවිතයේ සෑම පැත්තම අල්ලාහ්ගෙන් පහළ වූ නිගමනයට එකඟවන හෙයින් ජීවිතයෙහි සියලු අංගයක්ද, විවිධත්වයන්ද දීන් යන වචනයෙන් හැඳන්වේ.

[5] මුහම්මද් (සල්) තුමාණන්ගේ හජ් අල් වදා නම් අවසාන හජ් වන්දනාවෙහි අරෆා දිනයේ සිකුරාදා මෙම වාක්යය පහළ කරන ලදී.

[6] අල්ලාහ්ගේ නිවේදනයන් පහළ වු කුර්ආන් සහ පැරණි ග්රන්ථයන් වන තව්රාත්, බයිබලය, සබූර් ගැන මෙහිදී සඳහන් වේ.

[7] රළි අල්ලාහු අන්හු - අල්ලාහ් ඔහු ගැන සතුටු විය යන වචන මාලාව, නබි තුමාණන්ගේ සගයන් වන සහාබාවරුන්ගේ නම පවසන විට පැතිය යුතුය.

[8] අල්ලාහ්ගේ සතුට පතා මුහම්මද් (සල්) තුමාණන්ගේ සුන්නාවට එකඟ ව සියලු කටයුතු ඉවසීමෙන් ඉටු කිරීම අල් ඉහ්සාන් වේ.

[9] කාමයේ වරදවා හැසිරීම, දෙමාපියන්ට අගෞරවය දැක්වීම, බොරු හා වංචා වැනි අකුසල් ක්රියාවන් අල් ෆහ්ශා ලෙස හැඳන්වේ.

[10] ඉස්ලාමීය නීතිය තහනම් කළ බහු දේව වන්දනා ක්රමය. දේව විශ්වාස නොමැතිවීම වැනි අයහපත් ක්රියාවන් අල් මුන්කර් ලෙස හැඳින්වේ.

[11] අල් කද්ර් යනු “අල්ලාහ්ගේ හැකියාවයි." එනම් ඔහුගේ දැනුමෙන් ඔහු ලියා තබා, ඔහු තීරණය කර පෙර නියම කළ ප්රමාණයට සහ සියුම් මිම්මට මැවීම් සිදු කිරීම යනුවේ.

[12] අති උතුම් අල්ලාහ් සෑම හිමිකරුවන්ගේම හිමිකරුය. ඔහු කැමති කෙනෙකුට හිමි කර ගන්නට අනුමැතිය දෙන්නේය. අහසෙහි සහ පොළොවෙහි සියලු ධනය ඔහු සතුය. සෑම යහදැයක්ම ඔහු සතුය. ඔහු කැමති කෙනෙකුට ඒවා දෙන්නේය. ඔහු කැමති කෙනෙකුගෙන් ඒවා ආපසු ගන්නේය. සියලු දැයක්ම ඔහු වෙත රැඳී පවති.

[13] අල්ලාහ් හැර අනිකුත් මැවීම්ගෙන් සහ මළවුන්ගෙන් සහන හා රැකවරණය පතන ජනයාට, ඒ අයට ඉඳි ඇටයක සිවියක් වූවද හිමි නැති බව මෙම වාක්යය තරයේ අවවාද කරයි. මළවුන් තමා වෙනුවෙන් මැදිහත් විය යුතු බව පතන ජනතාව සියලු දැය දීමට හෝ ආපසු ගන්නට සහ සපයන්නට හා නඩත්තු කිරීමට හැකි අල්ලාහ් ගැන නිසියාකාරව අවබෝධ නොලත් බව කිව යුතුය. ඔහුගේ මැවීම්, ඔහුගෙන් පමණක් යාච්ඤා කරන්නේ නම්, අල්ලාහ් එය ප්රිය කරයි.

[14] අල්ලාහ් කෙනෙකුට රැකවරණය දෙන්නේ නම්, අන් කිසිවෙක් ඔහුට හානි කළ නොහැක. එමෙන්ම අල්ලාහ් කෙනෙකුට දඬුවම් දෙන්නේ නම්, ඔහුට රැකවරණය දීමට හැකි වන්නේ කා හටද?

[15] කුර්ආනය සහ සුන්නාහ් ව පෙන්වන මාර්ගයට එකඟ ව අල්ලාහ් වෙනුවෙන් කරන නැමදුම් ඉබාදා වේ.

[16] ලොවෙහි පවතින අන්යෝන්ය නෑකම්, සැලකිලි, නඩත්තු කිරීම, පිළිවෙළට හැසිරීම්, සමාජීය හා වෙළඳ හුවමාරු යන සියලු කරුණු මුආමලාත් හී අඩංගු වේ.

[17] හූද් (අලෛ) තුමා තම සමූහයට මෙසේ පැවසුවේය. “ඔබද, ඔබේ පියවරුන්ද සඳහන් කර ගත් ඇතැම් නාමයන් ගැන ඔබ මා සමඟ විවාද කරන්නේද? ඒ ගැන කිසිදු අනුමැතියක් ඔබට අල්ලාහ් පහළ කෙළේ නැත." කුර්ආන් 7:71.

[18] අල් කහ්හාර්, එනම් උස් සහ පහත් ලෝකයන් හී මැවීම් ද, බලවේගයන්ද අල්ලාහ් මැඩ පවත්වයි. ඔහුගේ අණ මිස කිසිවක් සිදුවන්නේද, සෙලවෙන්නේ ද නැත. ඔහුගේ මැවීම් සියල්ලන්ට ඔහුගේ අනුග්රහය අවශ්යය වේ. ඔහුගේ අංග සම්පූර්ණ පැවැත්ම, බලය සහ හැකියාව කිසිවෙකුට ප්රතික්ෂේප කළ නොහැක.

[19] විජාතීන්ගේ කැපු රූප පුහු දේවල්ය. ඒවා ගසකින් කපා ගත් ලී පමණකි. ලී කැටයම් කරුවෙක් ඒවා සිය ආයුධ වලින් නෙලයි. ඔවුහු ඒවා රන් රිදියෙන් සරසා මිටියෙන් ඇණ ගසා නොසෙලවන සේ සවි කරයි. ඒවා වනාහි කැකිරි වත්තක සිටුවා ඇති, කතා කරන්නට බැරි පඹයන් වැනිය. ඒවාට ඇවිදීමට නොහැකි නිසා, ඔසවා ගෙන යා යුතුය. ඒවාට බිය නොවන්න. මන්ද, නුඹලාට අනතුරක් කරන්නට හෝ යහපතක් කරන්නට ඒවාට බැරිය." ජෙරමියා 10: වාක්ය 3 සිට 5 දක්වා. පිළිම වන්දනාව පිළිබඳ ව බයිබලයේ නිගමනය මෙයයි. - පරිවර්තක.

[20] අල්ලාහ් කෙනෙකුට ආරක්ෂාව දෙන්නේ නම්, ඔහුට හානි සිදු කිරිමට කිසිවෙකුට නොහැකි සේ අල්ලාහ් කෙනෙකුට දඬුවමක් වශයෙන් හානියක් සිදු කළේ නම්, ඒ තැනැත්තාට ආරක්ෂාව දෙන්නට කිසිවෙකුට නොහැක.

[21] ඉස්තවා යනු රාජාසනයට ඉහළින් නැගීය යන්නයි.

[22] මිනිසාගේ පොදු ඥානයට බාහිර ව පවතින ස්වභාවය සහ ඇතැම් කරුණු ගෛබ් ලෙස හැඳින් වේ. මේවා පිළිබඳ දැනුම අල්ලාහ්ට පමණක් හිමිය.

[23] මෙය මක්කාවේ තිබෙන කඅබාව හා සමාන ස්ථානයක් වේ. මලාඉකාවරුන් මෙහි නොකඩවා පැමිණෙති. හත්වන අහසේ සිටින අයගේ කඅබාව මෙයයි.

[24] ජිබ්රීල් ඉහ්සාන් ගැන ප්රශ්න කළ විට, “අල්ලාහ් ඔබේ ඇසට පෙනෙන්නාසේ ඔහුට නැමදුම් කිරීම ඉහ්සාන්වේ. ඔබට ඔහු නොපෙනුනද ඔහුට ඔබව පෙනෙනවා ඇත." යනුවෙන් නබි (සල්) තුමාණන් පිළිතුරු දන්හ. මූලාශ්ර සහීහ් අල් බුහාරි 1:47.

[25] ඔහුගේ (ක්රියාවන්) සටහන් කරන්නන් දකුණු පසින්ද වම් පසින්ද සිට සටහන් කරනු ඇත. (එම) ලේඛකයන් ඔහු ළඟ හිඳ (සටහන් කර) මිස, ඔහු වචනයක් වුවද උච්චාරණය නොකරන්නේය." කුර්ආන් 50: 17 සහ 18.

[26] “මුන්කර් සහ නකීර් යන මේ මලාඉකාවරු දෙදෙනා, මළ තැනැත්තාගෙන් ඔහුගේ දෙවියා කවුද? ඔහු අනුගමනය කළ ආගම කුමක්ද? ඔහුගේ නබිවරයා කවුදැ? යි ප්රශ්න කරති." මූලාශ්රය තිර්මිදි 1391.

[27] මෙම හදීස් වදනින්, අවසාන දිනයේ මිනිසුන්ගේ අසහනය ගැන නබි (සල්) තුමාණන් පහදා දුන්හ. පළමුව ආදම් (අලෛ) තුමා වෙතටද, පසුව නූහු (අලෛ) තුමා, ඉබ්රාහිම් (අලෛ) තුමා. මූසා (අලෛ) තුමා, ඊසා (ජේසු) (අලෛ) තුමා යන රසුල්වරුන් වෙතටද ජනතාව යති. මේ සියලු දෙනාම නොයෙකුත් හේතුන් නිසා තමන්ට මැදිහත්විමට අපොහොසත් බව පවසති. එම ජනතාව අවසානයේ මුහම්මද් (සල්) තුමාණන් වෙතට යති. එතුමා අල්ලාහ්ගේ අනුමැතිය ලැබීමෙන් පසුව එම ජනයා වෙනුවෙන් මැදිහත් වෙයි.

[28] අවනතවීම, යටත්වීම, සහ අල්ලාහ්ට පමණක් බිය බැතිමත් කමින් නැමදුම් කිරීම යන ගුණාංගයන් සහිත වු අල්ලාහ්ගේ වහලෙක්

[29] බොරු ප්රචාර පතරමින් සමාජයේ අසමගිය සහ අසහනය හට ගැන්විය

[30]. නිත්යනු කූලව විවාහ වී, ඔවුන් සමඟ සම්බන්ධකම් පවත්වනු

[31] සෞභාග්යය, පහසු ජීවිතය සහ අල්ලාහ්ගේ නීතිය අනුගමනය කිරීමේදී පහසුතාව.

[32] සාගතය, අසනීපය, අපහසු තත්ත්වය, නොයෙකුත් පීඩන සහ බලවත් හිරිහැර.

[33] ජබ්ර් යනු අරාබි බසින් බලපෑම වේ. ජහ්මි බිස් සෆ්වාන්ගේ (හිජ්රි වසර 745) අනුගාමිකයන් වන එම පිරිස, මිනිසාට නිදහස් සිතක් නොමැති බවද, මිනිසාගේ ගැලවීම ගැන පෙර තීරණය කර අවසාන බැවින්, එයට එකඟ ව හෝ එරෙහි ව ක්රියා කිරීමට කිසිවෙකුට නොහැකි බවද පවසති. මේ අනුව මිනිසා සුළඟේ පාවෙන පුළුන් කැබැල්ලක් මෙන් යැයි මේ අය කියති.

[34] අල් කද්ර් ගැන පමණක් විශ්වාස කරන මේ පිරිස, අල් ජබ්රියියාවට හාත්පසින් විරුද්ධ වෙති. මිනිසා තම ස්වයං කල්පනාවෙන් සහ ක්රියාවෙන් සියල්ල මවා ගන්නා බව පවසන මේ පිරිස, අල්ලාහ්ට අමතර ව වෙනත් මැවුම්කරුවන් බිහි කරති. පාපයන් සහ අයහපත් ක්රියාවන් ෂෙයිතාන් විසින් මවන ලද බව පවසන මේ අය, අල්ලාහ්ට අමතර ව ෂෙයිතාන්ද මැවුම් කරුවෙක් බවට පත් කරති. මේ හේතුව නිසා, “මේ පිරිස වර්තමාන සමාජයේ මජූසිවරුන්ය. මේ අය අසනිප වුවහොත් බලන්නට නොයන්න. ඔවුන්ගේ මරණයට සහභාගි නොවන්න.“ යැයි නබි (සල්) තුමාණන් වදාළහ.

ඔබගේ වටිනා අදහස්