(1) හිරු සඳු හා වෙනත් ග්රහ වස්තූන් පිහිටි අහස මත දිවුරා අල්ලාහ් පවසයි.
(2) සියලු මැවීම් ඒකරාශි කරන බවට ප්රතිඥා දුන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය මත දිවුරා පවසයි.
(3) නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා තම සමූහයාට සාක්ෂි දරන්නාක් මෙන් සාක්ෂි දරන සෑම කෙනෙකු මත ද, තම නබිවරයාට සාක්ෂි දරන සමූහය මෙන් සාක්ෂි දරනු ලබන සෑම කෙනෙකු මතම දිවුරා ඇත.
(4) මහපොළොවේ විශාල අගල් හැරූ අයට ශාපය අත්වේවා!
(5) ඔවුහු එහි ගිනි අවුලා දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන් පණපිටින්ම එහි හෙළුහ.
(6) ගිනි පිරුණු එම අගල් අවට ඔවුහු වාඩි වී සිටියහ.
(7) ඔවුහු දෙවියන් විශ්වාස කරන්නන් හට දුන් වද වේදනා හා දඬුවම් දෙමින් සිදු කරමින් සිටි දෑ කෙරෙහි සහ ඒ අවස්ථාවෙහි දී ඔවුන් එහි සිටි හේතුවෙන් සාක්ෂි දරන්නෝ වෙති.
(8) සියලු විෂයයන්හි පැසසුමට ලක් වූ, කිසිවෙකු විසින් අබිබවා යා නොහැකි සර්වබලධාරී අල්ලාහ්ව ඔවුන් විසින් විශ්වාස කිරීමේ හේතුවෙන් මිස, දේව ප්රතික්ෂේපකයින් ඔවුනට දොස් කීවේ නැත.
(9) ඔහු-අල්ලාහ්- වනාහි, අහස් හා මහපොළොවේ ආධිපත්යය ඔහුට පමණක් සතු වන්නේය. සියලු දෑ පිළිබඳ ඔහු නිරීක්ෂණය කරන්නාය. ඔහුගේ ගැත්තන්ගේ කිසිදු කරුණක් ඔහුට සැඟවෙන්නේ නැත.
(10) දෙවියන් විශ්වාස කරන්නන්හට හා දෙවියන් විශ්වාස කරන්නියන්හට හිංසා පීඩා කරමින් දඬුවම් දුන් අය, අල්ලාහ්ව පමණක් විශ්වාස කිරීමෙන් ඔවුහු වෙනතකට යොමු කිරීමට උත්සාහ කළහ. පසුව ඔවුන් කළ පාපයෙන් මිදෙන්නට අල්ලාහ් වෙත පසුතැවිලි නොවුනෝය. එබැවින් ඔවුන්හට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී නිරයේ වේදනාව ඇත. එමෙන්ම ඔවුන් ඇවිළවූ ගින්නේ වේදනාවද ඔවුනට සතු වනු ඇත. එය ඔවුන් දේව විශ්වාස කළවුන්ව එම ගින්නෙන් පුළුස්සා සිදු කළාවූ ඔවුන්ගේ එම අධම ක්රියාව හේතුවෙනි.
(11) සැබැවින්ම දෙවියන් විශ්වාස කොට යහකම් කළවුන් වනාහි, ඔවුනට ස්වර්ග මාලිගාවන් හා එහි තිබෙන ගස් අතරින් ගලා බසින ගංගාවන් සහිත ස්වර්ග උයන් ඇත. එය අල්ලාහ් ඔවුනට සූදානම් කළ අතිමහත් ජයග්රහණයයි. වෙන කිසිදු ජයග්රහණයක් එයට සම කළ නොහැක.
(12) අහෝ දූතය, අපරාධකරුවා අල්ලාහ් පිළිබඳ නොසැලකිල්ලෙන් පසුවන විට ඔහු වෙනුවෙන් වූ ඔබේ පරමාධිපතිගේ ග්රහණය ඉතා බලවත්ය.
(13) සැබැවින්ම මැවීම් හා දඬුවම පූර්වාදර්ශයකින් තොරව උත්පාදනය කළේ ඔහුය. ඒ දෙක යළි ගෙන එන්නේද ඔහුය.
(14) ඔහුගේ ගැත්තන් අතුරින් පසුතැවිලි වී ඔහු වෙත නැඹුරු වන්නන්ගේ පාපයන්ට ඔහු සමාව දෙන්නාය. ඔහු වෙත සමීප වී ඔහු පිළිබඳ හැඟීමෙන් කටයුතු කරන්නන්හට ඔහු දයාලුය.
(15) ගෞරවනීය අර්ෂ් හෙවත් ඔහුගේ රාජ්යයේ හිමිකරු ඔහුය.
(16) ඔහු සිතන දේ සිදු කරන්නාය. ඔහු කැමති වන අයගේ පාපයන්ට සමාව දෙනු ඇත. ඔහු කැමති අයට දඬුවම් කරනු ඇත. සුවිශුද්ධ වූ ඔහුට කිසිදු බල කරන්නෙකු නොමැත්තේය.
(17) අහෝ දූතය! සත්යයට විරුද්ධව නැගී සිටීමටත් එයින් ජනයා වැළැක්වීමටත් ඒක්රැස් වූ සේනාවන්ගේ පුවත ඔබ වෙත පැමිණියේද?
(18) (එය) ෆිර්අවුන් හා සාලිහ් අලෛහිස් සලාම් තුමාගේ ජන සමාජය වූ සමූද් වැසියන්ගේ පුවත...
(19) බොරු කරමින් සිටි සමූහයන් පිළිබඳ හා ඔවුන්ට අත්වූ විනාශය පිළිබඳ තොරතුරු ඔවුන් වෙත නොපැමිණීම ඔවුන්ගේ විශ්වාස වළක්වාලන සාධකයක් නොවීය. සැබෑ කරුණ නම් ඔවුන්ගේ දූතයාණන් ඔවුන් වෙතට කවර කරුණක් ගෙන ආවේද, එවිට ඔවුහු ඔවුන්ගේ ආශාවන්ට වහල් වී එය බොරු කරමින් සිටියහ.
(20) අල්ලාහ් ඔවුන් කරන ක්රියාවන් ආවරණය කරමින් ඒවා සටහන් කර ගන්නාය. ඉන් කිසිවක් ඔහුට මඟ හැරෙන්නේ නැත. ඒ අනුව ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.
(21) බොරුකරන්නන් පවසන්නාක් මෙන් අල් කුර්ආනය කවියක් හෝ ප්රචණ්ඩත්වය ඇති කරන්නක් හෝ නොවේ. එය ගෞරවනීය කුර්ආනයයි.
(22) කිසිදු වෙනස් කිරීමකින් හෝ විකෘති කිරීමකින් හෝ තොරව කිසිදු අඩු කිරීමකින් හෝ වැඩි කිරීමකින් හෝ තොරව ආරක්ෂා කරනු ලැබූ ඵළකයක එය තිබිණි.