<     >  

3 - Aal-i-Imraan ()

|

(1) අලිෆ්, ලාම්, මීම්.

(2) අල්ලාහ්, සදා පැවැත්මක් ඇති සදා ජීවමානී වූ ඔහු හැර (සැබැවින්ම) වෙනත් දෙවියෙක් නොමැත.

(3) (නබිවරය) සත්‍යයෙන් යුක්තවූ මෙම ධර්මය මෙයට පෙරවූ (දහම් සම්බන්ධ සියඵ) දෑ සත්‍ය කරවන්නක් වශයෙන් ඔබ වෙත ඔහු පහළ කළේය. තවද තව්රාතයද ඉන්ජීලයද ඔහු පහළ කළේය.

(4) තවද මීට පෙර (විසූ) ජනයාට මඟ පෙන්වීමක් ලෙසය (ඔහු ආගම් පහළ කළේ.) තවද සත්‍යයයෙන් අසත්‍යය වෙන්කර පෙන්වන (අල්-කුර්ආනය) ද ඔහු පහළ කළේය. සැබැවින් ම අල්ලාහ්ගේ වැකි ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුනට, දැඩි දඬුවම් ඇත. තවද අල්ලාහ් සර්ව බලධාරී ය. සම ප්‍රතිචාර දක්වන්නාය.

(5) නියත වශයෙන් ම අල්ලාහ් (ගේ දැනුම) ට අහස්හි හෝ මහපොළොවේ ඇති කිසිවක් සැඟැවෙන්නේ නැත.

(6) ගර්භාෂයන් තුළ නුඹලා ව තමන් කැමති පරිදි හැඩ ගන්වන්නේ ඔහු ම ය. සර්ව බලධාරී සියුම් ඥානවන්ත වූ ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත.

(7) ඔහු කවරෙකුද යත් නුඹ වෙත ධර්ම ග්‍රන්ථය පහළ කළේ ඔහු ය. එහි මුහ්කමාත් ( හෙවත් පැහැදිලි තීන්දු සහගත) වැකි ඇත. ඒවා ධර්ම ග්‍රන්ථයේ මූලය යි. තව ද අනෙක් ඒවා මුතෂාබිහාත් (හෙවත් විවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත) වැකි ය. එබැවින් කවරෙකුගේ හදවතෙහි ව්‍යාකූලත්වයක් තිබේද ඔවුන් කලහකම් කිරීමේ අපේක්ෂාවෙන් ද, එහි අර්ථ විකෘති කිරීමේ අපේක්ෂාවෙන් ද එයින් විවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත දෑ අනුගමනය කරති. එහි යථාර්ථය අල්ලාහ් හා ගැඹුරු ඥානය ඇත්තවුන් හැර වෙන කිසිවෙකු නොදන්නේය. තව ද අපි ඒවා විශ්වාස කළෙමු. සියල්ල අපගේ පරමාධිපති වෙතිනි යැයි ඔවුහු පවසති. බුද්ධිමත් අය හැර වෙනත් කිසිවෙක් මෙනෙහි නොකරන්නෝය.

(8) අපගේ පරමාධිපතියාණෙනි, ඔබ අප ව යහමඟ යොමු කළ පසු ව අපගේ හදවත් විකෘතිභාවයට පත් නොකරනු. තව ද අපට ඔබ වෙතින් වූ දයාව පිරිනමනු. සැබැවින් ම ඔබ ම ය මහා ත්‍යාගශීලී වන්තයා.

(9) (තවද) අපගේ පරමාධිපතියාණෙනි, කිසිදු සැකයක් නොමැති දිනකට මිනිසුන් එක් රැස් කරන්නා නියත වශයෙන් ම ඔබම ය. සැබැවින් ම අල්ලාහ් ප්‍රතිඥාවන් කඩ නොකරන්නේය (යනුවෙන් ප්‍රාර්ථනා කරති.)

(10) නියත වශයෙන් ම දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ට ඔවුන්ගේ ධන සම්පත හෝ ඔවුන්ගේ දරු සම්පත හෝ අල්ලාහ්ගෙන් පැමිණෙන කිසිවකින් (මිදීමට) ඔවුනට උපකාර නොවන්නේ ම ය. නිරා ගින්නේ ඉන්ධන වනුයේ ඔවුන් ම ය.

(11) ෆිර්අවුන්ගේ පරපුර හා ඔවුනට පෙර සිටියවුන්ගේ සිරිත මෙනි. ඔවුහු අපගේ වදන් අසත්‍ය කළෝය. එබැවින් අල්ලාහ් ඔවුන්ගේ පාපයන් හේතුවෙන් ඔවුන් ව (දඬුවමට) හසු කළේය. තව ද අල්ලාහ් දඬුවම් කිරීමෙහි ඉතා දැඩි ය.

(12) නුඹලා අබිබවා යනු ලබනු ඇත. තව ද නිරය වෙත ඒකරාශී කරනු ලබනු ඇත යැයි දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට නුඹ පවසනු. එම නවාතැන නපුරු ය.

(13) (යුද්ධය සඳහා) හමු වූ දෙපිරිස තුළ නුඹලාට සංඥාවක් ඇත. පිරිසක් අල්ලාහ්ගේ මාර්ගයේ යුද වැදුණහ. අනෙක් පිරිස දේව ප්‍රතික්ෂේපකයෝ ය. මොවුහු ඔවුන් ව (යුද පිටියේ) දෙගුණයක් මෙන් පියවි ඇසින් දුටුවෝය. අල්ලාහ් තමන් අභිමත කරන අයට තම උපකාරයෙන් (ජයග්‍රහණය) තහවුරු කරන්නේය. මනා දැක්මකින් යුත් අයට මෙහි පාඩමක් ඇත.

(14) කාන්තාවන්, පිරිමි දරුවන්, රන් හා රිදියෙන් රැස් කර තබන ලද ස්කන්ධ, සළකුණු තබනු ලැබූ අශ්වයින්, ගොවිපළ සතුන් හා වතු කෙරෙහි වූ තෘෂ්ණාවෙහි ඇල්ම ජනයාට අලංකෘත කරන ලදී. ඒවා මෙලොව ජීවිතයේ වින්දනයන් ය. තව ද අලංකාර යොමු වීමේ ස්ථානය ඇත්තේ අල්ලාහ් වන ඔහු වෙත ය.

(15) මේවාට වඩා ශ්‍රේෂ්ඨ දෑ ගැන මම නුඹලාට දන්වන්නෙම් දැයි (නබිවරය!) විමසනු. බිය බැතිමතුන්හට ඔවුන්ගේ පරමාධිපති අබියස ඊට පහළින් ගංගාවන් ගලා බස්නා උයන් ඇත. ඔවුහු එහි සදාතනිකයෝය.පිවිතුරු අඹුවන් ද එහි වාසය කරති. තව ද එහි අල්ලාහ්ගෙන් වූ පිළිගැනීම ද ලැබෙනු ඇත . තව ද අල්ලාහ් එම ගැත්තන් පිළිබඳ ව සර්ව නිරීක්ෂක ය.

(16) ඔවුහු කවරහු ද යත් අපගේ පරමාධිපතියාණනි! සැබැවින්ම අපි විශ්වාස කළෙමු. එහෙයින් ඔබ අපට සමාව දෙනු මැනව ! තව ද නිරා ගින්නේ දඬුවමින් අප ආරක්ෂා කරනු මැනව ! යැයි පවසන්නෝ ය.

(17) ඔවුහු ඉවසිලිවන්තයෝය. සත්‍ය පවසන්නෝය. යටහත් වන්නෝය. වියදම් කරන්නෝය. අලුයම් (සහර්) කාලයෙහි පාප ක්ෂමාවෙහි නිරත වන්නෝය.

(18) අල්ලාහ්, ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත යැයි සාක්ෂි දරයි. එමෙන් ම මලක්වරුන් ද, යුක්තිය ඉටු කරමින් සිටින ඥානයෙන් යුත් අය ද (සාක්ෂි දරති.) සියුම් ඥානී සර්ව බලධාරී ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත.

(19) නියත වශයෙන් ම අල්ලාහ් අබියස වූ දහම ඉස්ලාමය වේ. දේව ග්‍රන්ථය පිරිනමනු ලැබූ අය, ඔවුන් වෙත ඥානය පැමිණි පසු ව ඔවුන් අතර තිබූ ඊර්ෂ්‍යාව හේතුවෙන් මිස ඔවුහු භේද නොවූහ. තව ද කවරෙකු අල්ලාහ්ගේ වැකි ප්‍රතික්ෂේප කරන්නේ ද එවිට සැබැවින් ම අල්ලාහ් විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත් ය.

(20) එබැවින් නුඹ සමඟ ඔවුන් වාද කළේ නම් එවිට මම මාගේ මුහුණ අල්ලාහ්ට යටහත් කළෙමි. තව ද මා අනුගමනය කළ අය ද (එසේ යටහත් කළෝය) යැයි නුඹ පවසනු. තව ද නුඹලා යටහත් වූයෙහු දැයි දේව ග්‍රන්ථය පිරිනමනු ලැබූවන්ගෙන් හා ලිවීමේ කියවීමේ හැකියාව නොදරන්නන්ගෙන් විමසනු. ඔවුහු එසේ යටහත් වූයෙහු නම් එවිට සැබැවින් ම ඔවුහු යහමඟ ලැබුවෝය. ඔවුහු පිටුපෑවෙහු නම් එවිට ඔබේ වගකීම වනුයේ දන්වා සිටීම පමණ ය. තව ද අල්ලාහ් ගැත්තන් පිළිබඳ ව සර්ව නිරීක්ෂක ය.

(21) නියත වශයෙන් ම අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කරන, යුක්තියෙන් තොර ව නබි වරුන් ව ඝාතනය කරන, සාධාරණ ලෙසින් (තීන්දු තීරණ) නියෝග කරන්නන් ව ඝාතනය කරන අය වෙත ඔවුන්ට වේදනීය දඬුවමක් ඇති බව නුඹ ශුභාරංචි පවසනු.

(22) මෙලොව හා මතු ලොව තම ක්‍රියාවන් නිෂ්ඵල වී ගිය අය මොවුහු ම ය. තව ද ඔවුනට උදව් කරුවන්ගෙන් කිසිවෙක් හෝ නොමැත.

(23) පුස්තකයෙන් කොටසක් පිරිනමනු ලැබූවන් ව නුඹ නොදුටුවෙහි ද? ඔවුන් අතර තීන්දු කරනු පිණිස අල්ලාහ්ගේ ග්‍රන්ථය වෙත ඔවුන් කැඳවනු ලබන්නෝය. පසු ව ඔවුන් අතුරින් පිරිසක් නොසලකා හරින්නන් ලෙස පිටුපා ගියෝය.

(24) එය, නියමිත දින ගණනකට පමණක් මිස නිරය අප ව ස්පර්ශ නොකරනු ඇතැයි ඔවුන් පැවසූ හේතුවෙනි. තව ද ඔවුන්ගේ දහමෙහි ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන් ව රවටා දැමුවේය.

(25) කිසිදු සැකයක් නොමැති දිනයක අප ඔවුන් ව එක්රැස් කර සෑම ආත්මයක් සඳහා ම එය ඉපැයූ දෑ පූර්ණ ව දෙනු ලබන විට එය කෙසේ වේ ද ? තව ද ඔවුහු අපරාධ කරනු නොලබන්නෝය.

(26) (නබිවරය) නුඹ පවසනු. සියලු පාලනයන්හි හිමිකරු වන අල්ලාහ්, ඔබ අභිමත අයට රාජ්‍ය පාලනය පිරිනමන්නෙහිය. ඔබ අභිමත අයගෙන් රාජ්‍ය පාලනය ඉවත් කරන්නෙහිය. තව ද ඔබ අභිමත අය ව උසස් කරන්නෙහිය. ඔබ අභිමත අය ව පහත් කරන්නෙහිය. සියලු යහපත ඇත්තේ ඔබ අතෙහි ය. නියත වශයෙන්ම ඔබ සියලු දෑ කෙරෙහි ශක්තිවන්තයා ය.

(27) ඔබ රාත්‍රිය දහවලෙහි ඇතුළත් කරන්නෙහිය. ඔබ දහවල රාත්‍රියෙහි ඇතුළත් කරන්නෙහිය. මළ දැයින් ජීවී දෑ පිට කරන්නෙහිය. ඔබ ජීවී දැයින් මළ දෑ පිට කරන්නෙහිය. තව ද ඔබ අභිමත අයට ගණනයකින් තොර ව පෝෂණය ලබා දෙන්නෙහිය.

(28) දේව විශ්වාසවන්තයින් දේව විශ්වාසවන්තයින් ව හැර දේවත්වය ප්‍රතික්ෂේප කරන්නවුන් ව භාරකරුවන් ලෙස නොගත යුතු ය. කවරෙකු එසේ කරන්නේ ද එවිට ඔහුට අල්ලාහ්ගෙන් කිසිවක් (කිසිදු ආරක්ෂාවක්) නොවනු ඇත. නමුත් නුඹලා ඔවුන්ගෙන් (ආත්ම) ආරක්ෂාව සපයා ගැනීම උදෙසා මිස. තව ද අල්ලාහ් තමන් ගැන නුඹලාට අවවාද කරන්නේය. තව ද ලැඟුම් ගන්නා ස්ථානය ඇත්තේ අල්ලාහ් වෙත ම ය.

(29) නුඹලාගේ හදවත් තුළ නුඹලා (යමක්) සඟවන්නේ නම් හෝ එය නුඹලා හෙළි කරන්නේ නම් හෝ අල්ලාහ් එය දන්නේය. තව ද අහස්හි ඇති දෑ ද මහපොළොවෙහි ඇති දෑ ද ඔහු දන්නේය. තව ද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.

(30) සෑම ආත්මයක් ම, තමන් කළ යහපත් දෑ ද, තමන් කළ නපුරු දෑ ද, තමන්ඉදිරියේ ඉදිරිපත් කරනු ලබන දිනයේදී, එය තමන් කළ දෙය සහ ඒ දවස අතර ඉතා දිගු දුරසක් තිබුණේ නම් යැයි ප්‍රිය කරයි. තව ද අල්ලාහ් තමන් ගැන නුඹලාට අවවාද කරන්නේය.තව ද අල්ලාහ් ගැත්තන් කෙරෙහි සෙනෙහෙවන්ත ය.

(31) (නබිවරය!) නුඹලා අල්ලාහ් ව ප්‍රිය කරන්නන් ව සිටියේ නම්, එවිට නුඹලා මා අනුගමනය කරනු. අල්ලාහ් නුඹලා ව ප්‍රිය කරනු ඇත. තව ද නුඹලාගේ පාපයන්ට ඔහු සමාව දෙනු ඇත. තව ද අල්ලාහ් අති ක්ෂමාශීලී ය, අසමසම කරුණාන්විතය යැයි නුඹ පවසනු.

(32) (තවද) නුඹලා අල්ලාහ්ට හා රසූල්වරයාට අවනත වනු යැයි පවසනු. නමුත් ඔවුන් පිටුපෑවේ නම් එවිට සැබැවින් ම අල්ලාහ් දේව ප්‍රතික්ෂේපකයින් ව ප්‍රිය නොකරන්නේය.

(33) සැබැවින් ම අල්ලාහ් ආදම් ව ද, නූහ් ව ද, ඉබ්‍රාහීම්ගේ පවුල ද, ඉම්රාන්ගේ පවුල ද ලෝවැසියනට වඩා ඉහළින් තෝරා ගත්තේය.

(34) ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුගෙන් වූ පරපුරකි. තව ද අල්ලාහ් සර්ව ශ්‍රාවක ය. සර්ව ඥානීය.

(35) මාගේ පරමාධිපතියාණෙනි, සැබැවින් ම මම මාගේ කුස තුළ ඇති දෑ කැප කරනු ලැබූවක් ලෙස ඔබ වෙනුවෙන් භාරයක් තැබුවෙමි. එබැවින් මගෙන් (එය) පිළිගනු මැනවි. නියත වශයෙන්ම ඔබ සර්ව ශ්‍රාවක ය. සර්ව ඥානී ය යැයි ඉම්රාන්ගේ බිරිය පැවසූ අවස්ථාව සිහිපත් කරනු.

(36) පසු ව ඇය එය ප්‍රසූත කළ කල්හි මාගේ පරමාධිපතියාණෙනි, සැබැවින් ම මම එය ගැහැනු දරුවෙකු ලෙස ප්‍රසූත කළෙමි. තව ද ඇය ප්‍රසූත කළ දෑ පිළිබඳ ව අල්ලාහ් මැනවින් දන්නා ය. පිරිමියා ගැහැනිය මෙන් නොවේ. තව ද සැබැවින් ම ඇයට මම මර්යම් යැයි නම් තැබුවෙමි. තව ද ඇයට හා ඇයගේ පරපුරට පලවා හරින ලද ෂෙයිතාන්ගෙන් සිට ඔබෙන් ආරක්ෂාව පතන්නෙමි යැයි ඇය පැවසුවාය.

(37) එවිට ඇයගේ පරමාධිපති යහපත් පිළිගැනීමකින් ඇය ව පිළිගත්තේය. තව ද යහපත් වැඩීමකින් හදා වඩා ගන්නට සැලැස්සුවේය. ඇය ව zසකරිය්යාට භාර කළේය. නැමදුම් ස්ථානයේ ඇය වෙත zසකරිය්යා පිවිසෙන සෑම අවස්ථාවක ම ඇය අසල ආහාර දුටුවේය. අහෝ ! මර්යම්, ඔබට මෙය කෙසේ (ලැබුණේ) ද? යැයි ඇසුවේය. මෙය අල්ලාහ් වෙතින් යැයි ඇය පැවසුවාය.නියත වශයෙන් ම අල්ලාහ් තමන් අභිමත අයට ගණනයකින් තොර ව පෝෂණය ලබා දෙන්නේය.

(38) එම අවස්ථාවේ දී Zසකරිය්යා තම පරමාධිපති ව අයැද සිටියේය. මාගේ පරමාධිපතියාණෙනි, මට ඔබ වෙතින් දැහැමි පරපුරක් පිරිනමනු මැනව ! සැබැවින් ම ඔබ ප්‍රාර්ථනාවට සවන් දෙන්නා යැයි ඔහු පැවසුවේය.

(39) එවිට ඔහු නැමදුම් ස්ථානයෙහි, සිට ගෙන සලාතය ඉටු කරමින් සිටිය දී, සැබැවින් ම අල්ලාහ් ගෙන් වූ වදන සත්‍යය කරවන්නෙකු ලෙස ද, නායක යෙකු ලෙස ද, (කාන්තාවන් ගෙන්) වැළකුණු අයෙකු ලෙස ද, දැහැමියන් අතුරින් නබිවරයෙකු ලෙස ද වූ යහ්යා පිළිබඳ ශුභාරංචිය අල්ලාහ් නුඹට දන්වා සිටින්නේ යැයි මලක්වරු ඔහු අමතා පැවසුහ.

(40) මාගේ පරමාධිපතියාණෙනි! මට දරුවෙකු ලැබිය හැක්කේ කෙසේ ද? මා වයෝවෘද්ධ භාවයට පත් ව ඇත. එමෙන් ම මාගේ බිරිය වද කතකි යැයි ඔහු පැවසුවේය. එලෙස ය අල්ලාහ් තමන් අභිමත දෑ සිදු කරනුයේ යැයි ඔහු (අල්ලාහ් එවිට) පැවසුවේය.

(41) මාගේ පරමාධිපතියාණෙනි! ඔබ මට සලකුණක් ඇති කරනු මැනව! යැයි ඔහු පැවසුවේය. ඔබට වූ සලකුණ වනුයේ ඔබ ජනයා සමඟ සංඥා කිරීමකින් හැර දින තුනක් කතා නොකිරීම ය. තව ද නුඹ නුඹගේ පරමාධිපති ව අධික ව මෙනෙහි කරනු. තව ද උදේ සවස පිවිතුරු කරනු යැයි ඔහු(අල්ලාහ්) පැවසුවේය.

(42) අහෝ මර්යම්! නියත වශයෙන් ම අල්ලාහ් ඔබ ව තෝරා ගත්තේය. ඔබ ව පිවිතුරු කළේය. තව ද ලෝවැසි කාන්තාවන්ට වඩා ඔබ ව (ඉහළින්) තෝරා ගත්තේය යැයි මලක්වරුන් පැවසූ අවස්ථාව සිහිපත් කරනු.

(43) අහෝ මර්යම්! ඔබ ඔබේ පරමාධිපතිට අවනත වනු. (නළල බිම තබා) සුජූද් කරනු. තව ද රුකූඋ කරන්නන් සමඟ ඔබ ද රුකූඋ කරනු.

(44) මෙය අදෘශ්‍යමාන පුවත් වන්නේය. අපි එය නුඹට හෙළිදරව් කරන්නෙමු. මර්යම්ට භාරකාරත්වය දරනුයේ ඔවුන්ගෙන් කවුරුන් දැ යි යන්න පිළිබඳ ව ඔවුන් ඔවුන්ගේ පන්හිදවල් වීසි කර (කුසපත්) දමන විට ඔවුන් අසල නුඹ නොසිටියෙහිය. එමෙන්ම ඔවුන් වාද කරන විට ඔබ ඔවුන් අසල නොසිටියෙහිය.

(45) අහෝ මර්යම්! නියත වශයෙන් ම අල්ලාහ් ඔහුගෙන් වූ වදනක් පිළිබඳ ඔබට ශුභාරංචි දන්වන්නේය. ඔහුගේ නම මර්යම්ගේ පුත් ඊසා හෙවත් මසීහ් ය. ඔහු මෙලොව හා මතු ලොව ගරුත්වයක් ඇති දේව සමීපතයින් අතුරින් කෙනෙකි.

(46) තව ද ඔහු තොටිල්ලෙහි පසු වන වියේ දී ද තුරුණු වියේ දී ද ජනයා සමඟ කතා කරනු ඇත. තව ද ඔහු දැහැමියන් අතුරින් කෙනෙකි.

(47) මාගේ පරමාධිපතියාණෙනි! කිසිදු මිනිසෙකු මා ස්පර්ශ නොකර තිබිය දී මට දරුවෙකු ලැබිය හැක්කේ කෙසේදැයි ඇය පැවසුවාය. එලෙසය අල්ලාහ් තමන් අභිමත දෑ මවන්නේය. ඔහු යම් කරුණක් තීන්දු කළ විට එයට ‘වනු‘ යැයි පවසනවා පමණ ය, එය සිදු වන්නේය.

(48) තව ද ඔහු ඔහුට දේව ග්‍රන්ථය ද ප්‍රඥාව ද තව්රාතය ද ඉන්ජීලය ද උගන්වන්නේය.

(49) ඉස්රාඊල් දරුවන්ට ධර්ම දූතයෙකු ලෙසින්, නියත වශයෙන් ම මම නුඹලාට නුඹලාගේ පරමාධිපතිගෙන් සංඥාවක් ගෙන ආවෙමි. සැබැවින් ම මම නුඹලාට පක්ෂියෙකු හැඩය මෙන් (ජීවියෙකු) මැටියෙන් මවමි. පසුව මම එහි පිඹිමි. එවිට එය අල්ලාහ්ගේ අනුමැතියෙන් පක්ෂියෙකු වනු ඇත. තවද මම උපතින් අන්ධ අයද, (සුදු හා කළු) සමේ රෝගද සුව කරමි. අල්ලාහ්ගේ අනුමැති යෙන් මියගියවුනට ජීවය දෙමි. නුඹලා අනුභව කරන දෑ ගැන ද නුඹලාගේ නිවෙස් තුළ නුඹලා රැස් කරන (තිබෙන) දෑ ගැන ද මම නුඹලාට දන්වා සිටිමි. නුඹලා විශ්වාසවන්තයින් නම් සැබැවින් ම නුඹලාට මෙහි සාධකයක් ඇත.

(50) තව ද මා ඉදිරියේ ඇති තව්රාතය තහවුරු කරන්නෙකු වශයෙන් ද, නුඹලා වෙත තහනම් කරනු ලැබූ ඇතැම් දෑ නුඹලාට මා අනුමත කරනු පිණිස ද තව ද නුඹලාගේ පරමාධිපතිගෙන් වූ සංඥාවක් මම නුඹලා වෙත ගෙන ආවෙමි. එබැවින් නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. තව ද නුඹලා මට අවනත වනු.

(51) සැබැවින් ම අල්ලාහ් මාගේ පරමාධිපති ය. නුඹලාගේ ද පරමාධිපති ය. එබැවින් නුඹලා ඔහුට නැමදුම් ඉටු කරනු. ඍජු මාර්ගය මෙයයි.

(52) ඔවුන් අතර ප්‍රතික්ෂේප කිරීම ඊසා වටහා ගත් කල්හි ''අල්ලාහ් වෙත මට උදව් කරන්නන් කවුරුන්ද?'' යි විමසා සිටියේය. හවාරීය්යූන්වරු (ගෝලයන්) ''අල්ලාහ්ගේ උදව් කරුවෝ අපි වෙමු. අපි අල්ලාහ් ව විශ්වාස කළෙමු. තව ද නියත වශයෙන් ම අපි මුස්ලිම්වරු යන්නට ඔබ සාක්ෂි දරනු'' යැයි පවසා සිටියෝය.

(53) අපගේ පරමාධිපතියාණෙනි! ඔබ පහළ කළ දෑ අපි විශ්වාස කළෙමු. රසූල්වරයා ව ද අපි අනුගමනය කළෙමු. එබැවින් ඔබ අප ව සාක්ෂිකරුවන් සමඟ සටහන් කර ගනු මැනව !

(54) තව ද ඔවුහු කුමන්ත්‍රණ කළෝය. අල්ලාහ් ද කුමන්ත්‍රණ කළේය. තව ද අල්ලාහ් කුමන්ත්‍රණ කරන්නන්ගෙන් අති ශ්‍රේෂ්ඨයා ය.

(55) අහෝ ඊසා! සැබැවින් ම මම නුඹ ව අත්පත් කර ගනිමි. නුඹ ව මා වෙතට ඔසවා ගනිමි. ප්‍රතික්ෂේප කළවුන්ගෙන් මම නුඹ ව පිවිතුරු කරමි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින නුඹ ව ප්‍රතික්ෂේප කළවුනට වඩා නුඹ ව පිළිපැද්දවුන් ව ඉහළින් තබමි. පසු ව මා වෙත ය නුඹලාගේ නැවත යොමු වන ස්ථානය ඇත්තේ. නුඹලා අතර නුඹලා කවර දෙයක් මත භේද ඇති කර ගනිමින් සිටියේ ද එවිට මම එවැනි දෑ පිළිබඳ ව තීන්දු දෙමි යැයි අල්ලාහ් පැවසූ අවස්ථාව සිහිපත් කරනු.

(56) ඔවුන් අතුරින් ප්‍රත්ක්ෂේප කරන්නේ කව්රුන්ද, ඔවුනට මෙලොවෙහි හා මතු ලොවෙහි දැඩි දඬුවමකින් මම දඬුවම් කරමි. ඔවුනට උදව්කරුවන්ගෙන් කිසිවෙක් නොමැත.

(57) විශ්වාස කොට යහකම් කරන්නෝ කවරහු ද, ඔවුන්ගේ ප්‍රතිඵල ඔවුනට ඔහු පූර්ණ ව පිරිනමයි. තව ද අල්ලාහ් අපරාධකරුවන් ප්‍රිය නොකරයි.

(58) එය, මෙම වදන් තුළින් හා සියුම් ඥානාන්විත මෙනෙහි කිරීම තුළින් අපි එය නුඹට කියවා පෙන්වන්නෙමු.

(59) නියත වශයෙන් ම අල්ලාහ් ඉදිරියේ ඊසාගේ උපමාව ආදම්ගේ උපමාව මෙනි. ඔහු ව ඔහු පසින් මවා පසු ව ඔහුට (මිනිසෙකු බවට) ‘වනු‘ යැයි පැවසුවේය. එවිට ඔහු ඇති විය.

(60) මෙම සත්‍යය නුඹගේ පරමාධිපතිගෙනි. එබැවින් නුඹ සැක කරන්නන් අතුරින් කෙනෙකු නොවනු.

(61) ඒ සම්බන්ධයෙන් නුඹ වෙත නිවරදි දැනුම පැමිණි පසුව ඒ (ඊසා) සම්බන්ධයෙන් කවුරුන් හෝ නුඹ සමඟ වාද කළේ නම් ඔවුනට නුඹ, "නුඹලා එනු. අපි අපගේ දරුවන් හා නුඹලාගේ දරුවන් ද තව ද අපගේ කාන්තාවන් හා නුඹලාගේ කාන්තාවන් ද, අපේ පාර්ශ්වය සහ නුඹලාගේ පාර්ශ්වය කැඳවා පසු ව අපි (දෙපාර්ශ්වය විසින්) ප්‍රාර්ථනා කරමින් අල්ලාහ්ගේ ශාපය බොරු කාරයින් මත පත් කරමු“ යැයි (නබිවරය) පවසනු.

(62) සැබැවින් ම සත්‍ය කතාන්තරය වනුයේ මෙයයි . තව ද අල්ලාහ් හැර වෙනත් දෙවියෙක් නොමැත. තව ද සැබැවින් ම අල්ලාහ් වන ඔහු ම ය සර්ව බලධාරී. සර්ව ප්‍රඥාවන්ත වනුයේ.

(63) එබැවින් ඔවුහු පිටුපෑවෙහු නම් එවිට නියත වශයෙන් ම අල්ලාහ් අර්බුදකාරීන් පිළිබඳ ව සර්ව ඥානී ය. (යැයි දැන ගනු.)

(64) අහෝ දහම් ලත් ජනයිනි! අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු අපි නොනමදිමු. ඔහුට කිසිවක් ආදේශ නොතබමු. අල්ලාහ් ගෙන් තොර ව අප අතුරින් ඇතැමෙකු ඇතැමෙකු ව දෙවියන් ලෙස නොගත යුතු ය යනුවෙන් අප හා ඔබ අතර වූ පොදු සම්මත වදනක් වෙත පැමිණෙනු යැයි (නබිවරය) පවසනු. එවිට ඔවුහු (සත්‍ය පිළි නොගෙන) පිටුපෑවෙහු නම් සැබැවින් ම අපි අවනත වූ (මුස්ලිම්) වරු යන බවට නුඹලා සාක්ෂි දරනු යැයි පවසනු.

(65) දහම් ලත් ජනයිනි! ඉබ්‍රාහීම් සම්බන්ධයෙන් නුඹලා වාද කරනුයේ මන් ද? ඔහුගෙන් පසු ව මිස තව්රාතය හා ඉන්ජීලය පහළ වූයේ නැත. (ඒ ගැන පවා) නුඹලා වටහා නොගන්නෙහු ද?

(66) මෙන්න මේ නුඹලාය, නුඹලාට කවර දෙයක් ගැන දැනුමක් ඇත්තේ ද එවැනි දෙයක් පිළිබඳ ව නුඹලා වාද කළෙහුය. තවද කවර දෙයක් පිළිබඳ ව නුඹලාට දැනුමක් නොමැත්තේ ද එවැනි දෙයක් පිළිබඳ නුඹලා වාද කරනුයේ මන් ද? තව ද අල්ලාහ් දන්නේය. නමුත් නුඹලා නොදන්නෙහුය.

(67) ඉබ්‍රාහීම් යුදෙව්වෙක් හෝ කිතුනුවෙක් හෝ නොවීය. එනමුත් ඔහු අවංක මුස්ලිම්වරයෙකු විය. තව ද ඔහු ආදේශ තබන්නන් අතුරින් කෙනෙක් ද නොවීය.

(68) නියත වශයෙන්ම මිනිසුන්ගෙන් ඉබ්‍රාහීම්ට වඩා සමීපතම අය වනුයේ, ඔහු ව ද, මෙම නබිවරයා ව ද, අනුගමනය කළවුන් හා විශ්වාස කළවුන් ය. තව ද අල්ලාහ් විශ්වාස වන්තයින්ගේ භාරකරු ය.

(69) නුඹලා ව නොමඟ යවන්නට හැකි නම් කොතරම් අගනේ යැයි දහම් ලත් ජනයා අතරින් පිරිසක් ප්‍රිය කරති. ඔවුන් ව ම මිස වෙනත් කිසිවෙකු ව ඔවුහු මුළා නොකරති. නමුත් ඔවුහු (එය) වටහා නොගන්නෝය.

(70) අහෝ දහම් ලත් ජනයිනි! නුඹලා සාක්ෂි දරමින් සිටිය දී අල්ලාහ්ගේ වැකි නුඹලා කුමක් නිසා ප්‍රතික්ෂේප කරන්නෙහු ද?

(71) දහම් ලත් ජනයිනි! සත්‍යය සමඟ අසත්‍යය නුඹලා මුසු කරනුයේ මන් ද? නුඹලා දැනුවත් ව සිටිය දී සත්‍යය වසන් කරන්නෙහුය.

(72) දහම් ලත් ජනයා අතුරින් පිරිසක් (තම වාර්ගිකයින්ට) " ඔබ විශ්වාස කළවුනට පහළ කළ දෑ නුඹලා දහවල් කාලයේ විශ්වාස කර, එහි අවසන් භාගයේ නුඹලා ප්‍රතික්ෂේප කරනු යැයි පවසති. (මෙමගින්) ඔවුන් (ගේ විශ්වාසයෙන්) නැවත හැරී පැමිණිය හැක.

(73) තවද නුඹලාගේ දහම පිළිපදින අය ව පමණක් මිස (වෙන කිසිවෙකු) නුඹලා විශ්වාස නොකරනු. (යැයි ද ඔවුහු පවසති.) සැබැවින් ම සැබෑ මඟ පෙන්වීම වනුයේ අල්ලාහ්ගේ මඟ පෙන්වීම ය යැයි (නබිවරය) නුඹ පවසනු. නුඹලාට දෙනු ලැබුවක් මෙන් (දේව ග්‍රන්ථයක්) කිසිවෙකුට දෙනු ලබනු ඇතැ යි හෝ එම විශ්වාසවන්තයින් නුඹලාගේ පරමාධිපති අබියස වාද කරමින් නුඹලා ව ජය ගනු ලබනු ඇතැ යි හෝ නුඹලා විශ්වාස නොකරනු (යැයි ද ඔවුහු පවසති) සැබෑ භාග්‍යය අල්ලාහ්ගේ අතෙහි ය. එය ඔහු අභිමත අයට පිරිනමන්නේය. තව ද අල්ලාහ් සර්ව ව්‍යාපක ය සර්ව ඥානී ය.

(74) තමන් අභිමත කරන උදවියට අල්ලාහ් ඔහුගේ දයාව නියම කරන්නේය. තව ද අල්ලාහ් අතිමහත් භාග්‍යයෙන් යුක්ත ය.

(75) දහම් ලත් ජනයා අතුරින් ඇතැම්හු නුඹ ඔහුට රන් පොදියක් භාර කළේ නම් එය නුඹට නැවත ලබා දෙති. එමෙන් ම තවත් ඇතැම්හු නුඹ ඔහුට දීනාරයක් භාර කළේ නම්, ඒ කෙරෙහි නුඹ නිරන්තරයෙන් (ඉල්ලා) සිටින තෙක් මිස නුඹ වෙත එය නැවත ලබා නොදෙති. එය ලිවීමට කියවීමට නොදත් අය සම්බන්ධයෙන් අප කෙරෙහි (වරදට හසු කිරීමේ) මඟක් නොමැතැ යි ඔවුන් පැවසූ බැවිනි. තව ද ඔවුහු දැන දැනම අල්ලාහ් ගැන බොරු ප්‍රකාශ කරන්නෝය.

(76) එසේ නොව කවරෙකු තම ගිවිසුම ඉටු කර බැතිමත් වූයේ ද සැබැවින් ම අල්ලාහ් බැතිමත් අය ව ප්‍රිය කරන්නේය. (යන වග දැන ගනු.)

(77) සැබැවින් ම අල්ලාහ්ගේ ගිවිසුම ද ඔවුන්ගේ දිවුරුම් ද සුළු මිලකට විකුණන්නන් වන ඔවුන් හට මතු ලොවෙහි කිසිදු කොටසක් නොමැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී අල්ලාහ් ඔවුන් සමඟ කතා නොකරන්නේය. ඔවුන් දෙස නොබලන්නේය. තව ද ඔවුන් ව පිවිතුරු නොකරන්නේය. තව ද ඔවුනට වේදනීය දඬුවමක් ද ඇත.

(78) තව ද ඔවුන් අතුරින් තවත් පිරිසක් වෙති. ඔවුහු නියත වශයෙන් ම ධර්ම ග්‍රන්ථය (කියවන විට) තම දිවවල් හරවමින් කියවති. එය දේව ග්‍රන්ථයේ දෙයක් බව නුඹලා සිතනු පිණිසය. නමුත් එය දේව ග්‍රන්ථයෙන් නොවෙයි. තව ද එය අල්ලාහ් වෙතින් යැයි පවසති. එහෙත් එය අල්ලාහ් වෙතින් ද නොවෙයි. තව ද ඔවුහු දැනුවත් ව සිටිය දී ම අල්ලාහ් කෙරෙහි අසත්‍ය ප්‍රකාශ කරන්නෝය.

(79) කෙනෙකුට වේද ග්‍රන්ථය ද, ප්‍රඥාව ද, නබිත්වය ද පිරිනමා තිබියදී, පසු ව අල්ලාහ්ව හැර දමා මටම දාසයින් වී සිටිනු යැයි ජනයාට පැවසීම කිසිදු මිනිසෙකුට බලයක් නැත. එහෙත් දේව ග්‍රන්ථය නුඹලා උගන්වමින් සිටින බැවින් ද නුඹලා ඉගෙන ගනිමින් සිටින බැවින් ද, නුඹලා ඒකදේවවාදී ගැත්තන් වනු. (යැයි පවසයි)

(80) තව ද නුඹලා දේව දූතයන් (හෙවත් මලක්වරුන්) ව හා නබිවරුන් ව පරමාධිපතිවරුන් ලෙස ගැනීමට ඔහු නුඹලාට නියෝග නොකරයි. නුඹලා මුස්ලිම්වරුන් බවට පත් වූ පසු දේව ප්‍රතික්ෂේපය ඔහු නුඹලාට අණ කරයි ද?

(81) තවද අල්ලාහ් නබිවරුන්ගෙන් ප්‍රතිඥාව ලබා ගත් අවස්ථාව සිහිපත් කරනු. (ඔවුන් අමතා) මා නුඹලාට දේව ග්‍රන්ථය හා ප්‍රඥාව ප්‍රධානය කර ඇත්තෙමි. ඉන් පසුව නුඹලා සමඟ ඇති දහම් කරුණු සත්‍යය කරවන ධර්ම දූතයෙකු පැමිණෙන්නේ නම්, ඔහු ව නුඹලා සැබෑ ලෙස විශ්වාස කළ යුතුය. ඔහුට නුඹලා සැබැවින්ම උදව් කළ යුතුය. ( යනුවෙන් පවසා ) මෙය නුඹලා පිළිගත්තෙහු ද, ඒ සම්බන්ධයෙන් වූ මාගේ බලවත් ප්‍රතිඥාව නුඹලා ලබා ගත්තෙහු ද? යනුවෙන් ඔහු (අල්ලාහ්) විමසුවේය. අපි "පිළිගත්තෙමු" යැයි ඔවුහු පැවසුවෝය. එසේ නම් නුඹලා එයට සාක්ෂි දරනු. තව ද මම ද නුඹලා සමඟ සාක්ෂි දරන්නන් අතුරින් සිටිමි යැයි පැවසුවේය.

(82) එබැවින් කවරෙකු ඉන් පසු ව පිටුපෑවේ ද එවිට පාපතරයෝ වන්නෝ ඔවුහු ම ය.

(83) අල්ලාහ්ගේ දහම හැර ඔවුන් සොයන වෙනත් යමක් තිබේ ද ? අහස් හා මහපොළොව තුළ ඇති අය කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ ඔහුටම යටහත් වෙති. තව ද ඔහු වෙතම ඔවුහු නැවත යොමු කරනු ලබන්නෝය.

(84) අපි අල්ලාහ් ව ද, අප වෙත පහළ කරනු ලැබූ දෑ ද, ඉබ්‍රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, යඃකූබ් හා යඃකූබ්ගේ පරපුරට දෙනු ලැබු දෑ ද, තම පරමාධිපතිගෙන් මූසා, ඊසා හා නබිවරුන්ට දෙනු ලැබූ දෑ ද, විශ්වාස කළෙමු. ඔවුන් අතුරින් කිසිවෙකු අතර වෙනස්කම් ඇති නොකළෙමු. තව ද අපි ඔහුට අවනත වන්නෝ (මුස්ලිම්වරුන්) වෙමු යැයි ඔබ පවසනු.

(85) කවරෙකු ඉස්ලාමයෙන් තොර ව වෙනත් දහමක් සොයන්නේ ද එවිට ඔහුගෙන් කිසිවක් පිළිගනු නොලබන්නේ ම ය. තව ද ඔහු මතු ලොවෙහි අලාභ වන්තයින් අතුරින් කෙනෙකි.

(86) තමන් වෙත පැමිණි පැහැදිලි සාධක තුළින් රසූල්වරයා සත්‍යය යැයි සාක්ෂි දරා ඔහු ව ඔවුන් විශ්වාස කළ පසුව, (එම රසූල්වරයා ව) ප්‍රතික්ෂේප කරන පිරිසක් අල්ලාහ් යහ මඟ යොමු කරනුයේ කෙසේ ද? අල්ලාහ් මෙවැනි අපරාධකාර පිරිසට මඟ පෙන්වන්නේ නැත.

(87) සැබැවින් ම ඔවුන්ගේ ප්‍රතිඵලය වනුයේ ඔවුන් කෙරෙහි අල්ලාහ්ගේ ද, මලක්වරුන්ගේ ද, සියලු මිනිසුන්ගේ ද ශාපය යි.

(88) (ඔවුහු) එහි (නිරයේ) සදාතනිකයෝය. ඔවුන්ගෙන් දඬුවම සැහැල්ලු කරනු නොලැබේ. තව ද ඔවුනට අවකාශය දෙනු නොලැබේ.

(89) නමුත් ඉන්පසු ව පශ්චාත්තාප වී තමන් ව නිවැරදි කර ගත් අය හැර. එහෙයින් නියත වශයෙන් ම අල්ලාහ් අති ක්ෂමාශීලී ය. අසමසම කරුණාන්විත ය.

(90) නියත වශයෙන් ම තම විශ්වාසයෙන් පසු ව ප්‍රතික්ෂේප කොට අනතුරු ව ප්‍රතික්ෂේපය අධික කළවුන් වන ඔවුන්ගේ පශ්චාත්තාපය පිළි ගනු නොලබන්නේ ම ය. තව ද මුළාවූවෝ ඔවුහු ම ය.

(91) නියත වශයෙන් ම ප්‍රතික්ෂේප කළ අය, ප්‍රතික්ෂේපකයින් ලෙස සිටිය දීම මරණයට පත් වූවන් නම් ඔවුන් කිසිවෙකුගෙන් මහපොළොව රනින් පිරෙන්නට තරම් වන්දි වශයෙන් ගෙවනු ලැබුව ද එය පිළි ගනු නොලබන්නේමය. ඔවුනට වේදනීය දඬුවම ඇත. තව ද ඔවුනට උදව්කරුවන් කිසිවෙකුද නොමැත.

(92) නුඹලා ප්‍රිය කරන දැයින් නුඹලා වියදම් කරන තෙක් නුඹලා යහපත ලබා නොගන්නෙහු ම ය. තවද කවර දැයකින් නුඹලා වියදම් කරන්නේ ද ඒ පිළිබඳ ව නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානී ය.

(93) තව්රාතය පහළ කරනු ලැබීමට පෙර ඉස්රාඊල්(යඃකූබ්) තමන් කෙරෙහි තහනම් කර ගත් දෑ හැර ආහාර සියල්ල ඉස්රාඊල් දරුවන්ට අනුමත ව තිබිණ යැයි (නබිවරය) පවසනු. එහෙයින් නුඹලා සත්‍යවාදීන් නම් තව්රාතය ගෙනැවිත් එය කියවා බලනු.

(94) එබැවින් කවරෙක් එයට පසු ව (පවා) අල්ලාහ් කෙරෙහි අසත්‍ය ගෙතුවෝ ද එවිට අපරාධ කරුවෝ ඔවුහු ම ය.

(95) (නබිවරය!) නුඹ පවසනු. අල්ලාහ් සත්‍ය පැවසුවේය. එබැවින් නුඹලා අවංක වූ ඉබ්‍රාහීම්ගේ පිළිවෙත පිළිපදිනු. තවද ඔහු ආදේශ තබන්නන් අතුරින් කෙනෙක් නොවීය.

(96) ජනයාට (නැමදුම සඳහා) තබනු ලැබූ ප්‍රථම ගෘහය ලෝ වැසියනට මඟ පෙන්වන්නක් ලෙසින් ද සෞභාග්‍යමත් ලෙසින් ද මක්කාවෙහි පිහිටා ඇති දෙය (ගෘහය) වේ.

(97) එහි පැහැදිලි සංඥාවන් ඇත. ඉබ්‍රාහිම් සිට ගත් ස්ථනය ද ඇත. තවද කවරෙකු එයට ඇතුළත් වන්නේ ද ඔහු අභයදායියෙකු වෙයි. තවද අල්ලාහ් වෙනුවෙන් එම ගෘහයෙහි හජ් ඉටු කිරීම සඳහා ඒ වෙතට යෑමට හැකියාව ඇති ජනයා වෙත පැවරුණු වගකීමකි. එබැවින් සැබැවින්ම අල්ලාහ් ලෝවැසියන්ගෙන් පොහොසත්ය.

(98) අහෝ දේවග්‍රන්ථ ලත් ජනයිනි! නුඹලා අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කරනුයේ මන් ද? තවද අල්ලාහ් ද නුඹලා කරන දෑ පිළිබඳ ව සාක්ෂිකරුය.

(99) දේව ග්‍රන්ථ ලත් ජනයිනි, නුඹලා (සත්‍යයට) සාක්ෂිකරුවන් ව සිටිය දී නුඹලා එහි දෝෂ සොයමින් විශ්වාස කළවුන් ව අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වනුයේ මන්දැ යි (නබිවරය) අසනු. තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව නොසලකා හරින්නෙකු නොවේ.

(100) අහෝ විශ්වාස කළවුනි! දේව ග්‍රන්ථය දෙනු ලැබූ අය අතුරින් පිරිසකට නුඹලා අවනත වන්නෙහු නම් නුඹලාගේ විශ්වාසයෙන් පසු ව නුඹලා ව ඔවුන් නැවත ප්‍රතික්ෂේපකයින් බවට හරවනු ඇත.

(101) තවද නුඹලා කෙරෙහි අල්ලාහ්ගේ වැකි පහළ කරනු ලබමින් සිටිය දී ද නුඹලා අතර ඔහුගේ ධර්ම දූතයා සිටිය දී ද නුඹලා ප්‍රතික්ෂේප කරනුයේ කෙසේ ද? කවරෙකු අල්ලාහ් ව තදින් ග්‍රහණය කර ගන්නේ ද එවිට සැබැවින්ම ඔහු ඍජු මාර්ගය වෙත මඟ පෙන්වනු ලැබීය.

(102) අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බිය විය යුතු සැබෑ අයුරින්ම නුඹලා ඔහුට බිය බැතිමත් වනු. තවද නුඹලා මුස්ලිම්වරුන් ව සිටිය දී ම මිස මරණයට පත් නොවනු.

(103) නුඹලා සියල්ල අල්ලාහ්ගේ (දහම හෙවත්) රැහැන තදින් ග්‍රහණය කර ගනු. තවද නුඹලා වෙන් ව නොයනු. නුඹලා කෙරෙහි අල්ලාහ් ප්‍රධානය කළාවූ ආශිර්වාදයන් සිහිපත් කරනු. නුඹලා එකිනෙකා සතුරන් ව සිටි විට ඔහු නුඹලාගේ හදවත් අතර මිතුරු බන්ධනය ඇති කළේය. එවිට නුඹලා ඔහුගේ ආශිර් වාදයෙන් සහෝදරයන් බවට පත් වූහ. තවද නුඹලා (ඊට පෙර) නිරා ගිනි අගාධ අද්දරයෙහි සිටියෙහුය. එවිට ඔහු නුඹලා ව එයින් මුදවා ගත්තේය. එලෙසය නුඹලා යහ මඟ ලබනු පිණිස අල්ලාහ් නුඹලාට ඔහුගේ වදන් පැහැදිලි කරනුයේ.

(104) යහපත වෙත ඇරයුම් කරන, දැහැමි දෑ නියෝග කරන, තවද පිළිකුල් දැයින් වළක්වාලන සමූහයක් නුඹලා අතුරින් සිටිය යුතුයි. තවද ජයග්‍රාහකයෝ ඔවුහුමය.

(105) පැහැදිලි සාධක තමන් වෙත පැමිණි පසු ව වෙන් ව ගොස් මත ගැටුම් ඇති කර ගත් අය මෙන් නුඹලා නොවනු. තවද (පරලොව) අති මහත් දඬුවම ඔවුනට හිමි වේ.

(106) එදින ඇතැම් මුහුණු සුදු පැහැ ගැන් වෙයි. තවත් මුහුණු කළු පැහැ ගැන් වෙයි. තම මුහුණු කළු පැහැ ගැන් වූ අය හමුවෙහි , "නුඹලා විශ්වාස කළ පසු ප්‍රතික්ෂේප කළෙහු ද, එහෙයින් නුඹලා ප්‍රතික්ෂේප කරමින් සිටි දෑ හේතුවෙන් නුඹලා මෙම දඬුවම විඳිනු" (යැයි කියනු ලැබේ.)

(107) තම මුහුණු සුදු පැහැ වූවන් වූ කලී ඔවුහු අල්ලාහ්ගේ කරුණාව තුළ සිටිති. ඔවුහු එහි (ස්වර්ගයේ) සදාතනිකයෝ ය.

(108) මේවා අල්ලාහ්ගේ වැකි ය. ඒවා අපි නුඹ වෙත සත්‍යයෙන් යුතු ව පාරායනය කර පෙන්වන්නෙමු. තවද අල්ලාහ් ලෝවැසියනට අපරාධයක් අපේක්ෂා කරන්නෙක් නොවේ.

(109) අහස් හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද අල්ලාහ් සතු ය. තවද සියලු කරුණු නැවත යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙත ය.

(110) ජනයා වෙනුවෙන් බිහි කරනු ලැබූ ශ්‍රේෂ්ඨතම සමාජය නුඹලා වන්නෙහුය. නුඹලා යහපත අණ කර අයහපතින් වළක් වන්නෙහුය. තවද අල්ලාහ් ව විශ්වාස කරන්නෙහුය. තවද දේව ග්‍රන්ථය ලැබූ ජනයා ද ( මුහම්මද් නබි කෙරෙහි ) විශ්වාස කළේ නම් එය ඔවුනට යහපතක්ම වනු ඇත. ඔවුන් අතුරින් විශ්වාසවන්තයෝ ද සිටිති. තවද ඔවුන්ගෙන් බහුතරය පාපතරයෝ ය.

(111) සුළු වේදනාවකින් හැර ඔවුනට නුඹලා වෙත හිංසා කළ නොහැක්කේ ම ය. තවද නුඹලා සමඟ ඔවුහු සටන් වදින්නේ නම් ඔවුහු නුඹලාට පිටු පස හැරී පලා යති. ඉන්පසු ව ඔවුහු උදව් කරනු නොලබති.

(112) ඔවුන් කොතැනක සිටිය ද ඔවුනට අවමානය නියම විය. අල්ලාහ්ගේ රැහැනින් හා මිනිසාගේ රැහැනින් ( ආරක්ෂණ සම්මුතියෙන් ඔවුහු ) මිදුණේ නම් මිස. තවද ඔවුහු අල්ලාහ්ගෙන් වූ කෝපයටද ලක් වූහ. එමෙන්ම ඔවුන් කෙරෙහි දිළිඳුකම ද නියම විය. එයට හේතුව ඔවුන් අල්ලාහ්ගේ වැකි ප්‍රතික්ෂේප කරමින් සිටි බැවින් හා යුක්තියෙන් තොර ව නබිවරුන් ව ඝාතනය කරමින් සිටි බැවිනි. එය ඔවුන් පිටුපාමින් සිටි බැවින් ද ඔවුන් සීමාව ඉක්මවා යමින් සිටි බැවින් ද වේ.

(113) ඔවුහු (සියල්ලෝ ම) එක සමාන නොවූහ. දේව ග්‍රන්ථය ලත් ජනයා අතුරින් (යහ මාර්ගයේ) ස්ථීර ව සිටින සමාජයක් ද විය. ඔවුහු රාත්‍රී කාලයේ (සලාතයේ දී) හිස නමා නමස්කාර කරමින් අල්ලාහ්ගේ වැකි පාරායනය කරති.

(114) තවද ඔවුහු අල්ලාහ් ව ද පරමාන්ත දිනය ද විශ්වාස කරති. තවද යහපත විධානය කරති. අයහපතින් වළක්වාලති. දැහැමි කටයුතු වල යුහුසුලු ව යෙදෙති. තවද ඔවුහු දැහැමියන් අතුරින් වෙති.

(115) තවද ඔවුහු යහපතින් කිසිවක් කරන්නේ ද, එවිට එය ඔවුනට ප්‍රතික්ෂේප කරනු නොලබන්නේ ම ය. තවද අල්ලාහ් බිය බැති මතුන් පිළිබඳ ව සර්ව ඥානී ය.

(116) නියත වශයෙන් ම ප්‍රතික්ෂේප කළවුන් අල්ලාහ්ගෙන් (දඬුවම් වශයෙන් පැමිණෙන්නා) වූ කිසිවකට (එරෙහි ව) ඔවුන්ගේ ධන සම්පත් හෝ ඔවුන්ගේ දරු සම්පත් හෝ ඔවුනට ප්‍රයෝජනවත් නොවන්නේ ම ය. තවද නිරා ගින්නේ සගයෝ ඔවුහු ම ය. තවද ඔවුහු එහි සදාතනිකයෝ ය.

(117) මෙලොව ජීවිතයෙහි ඔවුන් විදයම් කරන දෑ ට උපමාව නම් එහි අධික සීතල සහිත දැඩි සුළඟක් මෙනි. තමන් තමන්ට ම අපරාධ කර ගත් පිරිසකගේ කෙතට එය පතිත විය. එවිට එය විනාශ කර දැමීය. අල්ලාහ් ඔවුනට අපරාධ නොකළේය. නමුත් ඔවුන් ඔවුනටම අපරාධ කර ගන්නෝය.

(118) අහෝ විශ්වාස කළවුනි! නුඹලා අතුරින් මිස (සෙසු අය) සමීපතම මිතුරන් ලෙස නොගනු. ඔවුහු නුඹලාට අසාධාරණකම් කිරීමෙන් අඩුවක් නොකරති. නුඹලා ව පීඩාවට පත් කළ දෑ ඔවුහු ප්‍රිය කළෝය. ඔවුන්ගේ මුවින් ක්‍රෝධය හෙළි විය. ඔවුන්ගේ හදවත් සඟවා ඇති දෑ ඉතා දරුණුය. නුඹලා වටහා ගන්නන් ව සිටියේ නම් නුඹලාට මෙම වදන් අපි පැහැදිලි කළෙමු.

(119) මෙන්න! නුඹලා ඔවුන් ව ප්‍රිය කරන්නෙහුය. නමුත් ඔවුහු නුඹලා ව ප්‍රිය නොකරති. තවද නුඹලා දේව ග්‍රන්ථ සියල්ල විශ්වාස කරන්නෙහුය. තවද ඔවුහු නුඹලා ව මුණ ගැසුණු විට අපි විශ්වාස කළෙමු යැයි පැවසුවෝය. ඔවුහු වෙන් ව ගිය විට කෝපය හේතුවෙන් නුඹලාට එරෙහි ව ඇඟිලි තුඩු විකුවෝය. (නබිවරය!) නුඹලා ගේ කෝපය සමඟ ම නුඹලා මිය යනු. නියත වශයෙන් ම හදවත් තුල ඇති දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව ඥානීය යැයි පවසනු.

(120) නුඹලාට යම් යහපතක් ස්පර්ශ කළේ නම් එය ඔවුන් ව දුකට පත් කරවයි. තවද නුඹලාට යම් අයහපතක් වැලඳුණේ නම් එමගින් ඔවුහු සතුටට පත් වෙති. තවද නුඹලා ඉවසා බිය බැතිමත් වන්නේ නම් ඔවුන්ගේ කුමන්ත්‍රණ කිසිවක් නුඹලාට හානිදායක නොවෙයි. නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා කරමින් සිටින දෑ පිළිබඳ ව සර්ව ප්‍රකාරයෙන්ම දන්නා ය.

(121) (නබිවරය! උහද් ) යුද්ධය වෙනුවෙන් නියමිත ස්ථානයන්හි විශ්වාසවන්තයින් ව සීරුවෙන් තැබීම පිණිස නුඹගේ පවුල වෙතින් (මදිනාවෙන්) උදෑසන පිටත් ව ගිය අවස්ථාව සිහිපත් කරනු. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවක ය. සර්ව ඥානී ය.

(122) නුඹලා අතුරින් දෙපිරිසක් තමන් අධෛර්යට පත් ව ඇතැයි සිතූ අවස්ථාව සිහිපත් කරනු. තවද ඔවුන් දෙපිරිසගේ භාරකරු අල්ලාහ්ය. එබැවින් විශ්වාස වන්තයින් අල්ලාහ් කෙරෙහිම සියල්ල භාර කළ යුතු ය.

(123) නුඹලා දුබලයින් ව සිටිය දී ඇත්තෙන්ම අල්ලාහ් බද්ර් (සටනෙ) හි නුඹලාට උදව් කළේය. එබැවින් නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස නුඹලා අල්ලාහ් ට බිය බැතිමත් වනු.

(124) මලක්වරුන් අතුරින් තුන් දහසක පිරිසක් (අහසේ සිට) පහළ කරනු ලබමින් නුඹලාගේ පරමාධිපති නුඹලාට උපකාර කිරීම නුඹලාට ප්‍රමාණවත් නොවන්නේ දැ යි දේව විශ්වාසවන්තයින්ට (නබිවරය) නුඹ පැවසූ අවස්ථාව සිහිපත් කරනු.

(125) නොඑසේ ය. නුඹලා ඉවසිලි වන්ත ව ද බිය බැතිමත් ව ද සිටින්නේ නම් එම අවස්ථාවේ ඔවුන් ක්ෂණික ව (ප්‍රහාරයක් දෙනු පිණිස) නුඹලා වෙත ඔවුන් පැමිණියේ නම් (යුද) සලකුණු තබනු ලැබූ පන් දහසක මලක් වරුන්ගෙන් නුඹලාගේ පරමාධි පති නුඹලාට උදව් කරනු ඇත.

(126) නුඹලාට ශුභාරංචියක් ලෙස හා එමගින් නුඹලාගේ හදවත් සන්සුන් වනු පිණිස මිස අල්ලාහ් එය සිදු නොකළේය. සර්ව බලධාරී ප්‍රඥාවන්ත අල්ලාහ් අබියසින් මිස එම උපකාරය නොවීය.

(127) (අල්ලාහ් නුඹලාට උදව්කිරීමට හේතුව) ප්‍රතික්ෂේප කළවුන්ගෙන් පිරිසක් විනාශ කර දැමීමට හෝ ඔවුන් ව නින්දාවට පත් කිරීම පිණිස ය. එවිට ඔවුහු පරාජයට පත්වූවන් ලෙස හැරී යති.

(128) ඔවුනට ඔහු සමාව දීම ගැන හෝ ඔවුනට ඔහු දඬුවම් කිරීම ගැන හෝ එවැනි විෂයක් සම්බන්ධයෙන් (තීන්දු දීමට) නුඹට කිසිඳු බලයක් නැත. හේතුව සැබැවින් ම ඔවුහු අපරාධකරුවෝ ය.

(129) අහස්හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද අල්ලාහ් සතු ය. ඔහුට අභිමත වූ අයට සමාව දෙන්නේය. ඔහුට අභිමත වූ අයට දඬුවම් කරන්නේය. තවද අල්ලාහ් අති ක්ෂමාශීලී ය. අසමසම කරුණාන්විත ය.

(130) අහෝ විශ්වාස කළවුනි! නුඹලා පොලිය දෙගුණ ප්‍රගුණ කර අනුභව නොකරනු. තවද නුඹලා අල්ලාහ් ට බිය බැතිමත් වනු. නුඹලා ජයග්‍රහණය ලබා ගත හැකි වනු පිණිස.

(131) තවද දේව ප්‍රතික්ෂේපකයින්ට සූදානම් කරනු ලැබූ නිරා ගින්නට නුඹලා බිය වනු.

(132) තවද නුඹලා කරුණාවට පාත්‍ර විය හැකි වනු පිණිස නුඹලා අල්ලාහ්ට ද මෙම ධර්ම දූතයාට ද අවනත වනු.

(133) සමාව වෙතට ද, දේව බිය බැතිමතුන් හට සූදානම් කරනු ලැබූ අහස් හා පොළොව තරම් ප්‍රමාණයෙන් වූ ස්වර්ග උයනක් වෙතට ද, නුඹලා යුහුසුලු වනු.

(134) ඔවුහු කවරහු ද යත් සැපවත් අවස්ථාවන්හි ද දුෂ්කර අවස්ථා වන්හි ද වියදම් කරන්නෝ වෙති. තවද කෝපය මැඩ පවත්වාගන්නෝ හා මිනිසුනට සමාව දෙන්නෝ වෙති. තවද අල්ලාහ් (මෙවැනි) දැහැමියන් ව ප්‍රිය කරන්නේය.

(135) තවද ඔවුහු කවරහුද යත් ඔවුහු යම් අශීලාචාර දෙයක් කළ විට හෝ තමන්ට ම අපරාධයක් කර ගත් විට හෝ අල්ලාහ් ව මෙනෙහි කරති. එසැණින් ඔවුන්ගේ පාපයන්ට ඔවුහු සමාව අයැදිති. පාපයන්ට සමාව දෙන්නා අල්ලාහ් හැර වෙන කවරෙක් ද? තවද ඔවුන් දැනුවත් ව සිටිය දී ඔවුන් කළ (වැරදි) දෑ හී ඔවුහු නිරත නොවූහ.

(136) තම පරමාධිපතිගෙන් වූ සමාව හා ඒවාට පහළින් ගංගාවන් ගලා බසින ස්වර්ග උයන් තම ප්‍රතිඵල වශයෙන් හිමි කරගන්නෝ ඔවුහු ම ය. ඔවුහු එහි සදාතනිකයෝ ය. යහකම් කරන්නවුන්ගේ ප්‍රතිඵල යහපත් විය.

(137) නුඹලාට පෙර ද (මෙවැනි) ක්‍රියා මාර්ගයන් ඉකුත් ව ගොස් හමාරය. එබැවින් නුඹලා මහපොළොවේ සැරිසරනු. තවද (සත්‍ය) බොරු කළවුන්ගේ අවසානය කෙසේ වී දැ යි අධීක්ෂණය කරනු.

(138) මෙය ජනයා හට වූ පැහැදිලි කිරීමකි. තවද දේව බිය බැතිමතුන්ට මඟපෙන්වීමක් හා උපදෙසකි.

(139) තවද නුඹලා දුර්වල නොවනු. තවද නුඹලා දුකට පත් නොවනු. නුඹලා විශ්වාසවන්තයෝ නම් ශ්‍රේෂ්ඨයෝ ද නුඹලා ම ය.

(140) නුඹලාට (උහද් සටනෙහි) තුවාල ඇතිවූයේ නම් (ඒ ගැන අධෛර්යට පත් නොවනු. හේතුව) එවැනි ම තුවාලයක් එම පිරිසට ද (බද්ර් සටනෙහි) ඇති විය. තවද අපි මෙවැනි දිනයන් ජනයා අතර මාරුවෙන් මාරුවට ලබා දෙන්නෙමු. තවද (එය) විශ්වාස කළවුන් ව අල්ලාහ් හඳුනා ගනු පිණිසත් නුඹලා අතුරින් ෂහීද්වරුන් (දිවි පුදන්නන්)ව තෝරා ගනු පිණිසත් ය. තවද අල්ලාහ් අපරාධකරුවන් ව ප්‍රිය නොකරයි.

(141) තවද (එසේ කරනුයේ) විශ්වාස කළවුන් ව අල්ලාහ් පිවිතුරු කිරීම පිණිසත් දේව ප්‍රතික්ෂේපකයින් ව විනාශ කරනු පිණිසත් ය.

(142) (විශ්වාසවන්තයිනි!) නුඹලා අතුරින් (අල්ලාහ්ගේ මාර්ගයේ) සටන් කළවුන් කවුරුන් දැ යි අල්ලාහ් නොදැන, එමෙන් ම ඉවසිලිවන්තයින් පිළිබඳ ව ද ඔහු නොදැන, ස්වර්ග උයන් වලට පිවිසීමට නුඹලා සිතන්නෙහු ද?

(143) නුඹලා (වීර) මරණය හමු වීමට පෙර එය අපේක්ෂා කරමින් සිටියෙහු ය. (දැන්) නුඹලා එය සියැසින් ම දුටුවෙහු ය.

(144) තවද මුහම්මද් දූතයෙකු මිස (වෙනත් කෙනෙක්) නොවේ. ඔහුට පෙර ධර්ම දූතයින් ඉකුත් වී ගියහ. (ඔවුන් අතුරින්) කෙනෙක් මිය ගියේ නම් හෝ ඝාතනය කරනු ලැබුවේ නම් හෝ නුඹලා නුඹලාගේ විලුඹු මතින් ආපසු හැරී ගියෙහුය. තවද කවරෙකු තම විලුඹු දෙක මතින් හැරී යන්නේ ද එවිට අල්ලාහ්ට කිසිවකින් හානියක් සිදු නොවන්නේ ම ය. අල්ලාහ් කෘතවේදී අයට ප්‍රතිඵල දෙනු ඇත.

(145) නියම කරනු ලැබූ නිර්ණිත කාලයක අල්ලාහ්ගේ අනුමැති යෙන් මිස මරණයට පත්වීමට කිසිදු ආත්මයකට (හැකියාවක්) නොමැත. තවද කවරෙකු මෙලොව කුසල් අපේක්ෂා කරන්නේ ද ඔහුට අපි එයින් පිරිනමන්නෙමු. තවද කවරෙකු මතුලොව කුසල් බලාපොරොත්තු වන්නේ ද ඔහුට අපි එයින් පිරිනමන්නෙමු. තවද කෘතවේදී අයට අපි යහපත් ප්‍රතිඵල පිරිනමන්නෙමු.

(146) නබිවරුගෙන් කොපමණ දෙනෙක්, ඔවුන් සමඟ අල්ලාහ්ගේ දැහැමි දනන්ගෙන් යුත් බොහෝ දෙනෙක් සමග එක්ව (අල්ලාහ්ගේ මාර්ගයේ) සටන් කරති. එනමුදු ඔවුනට අල්ලාහ්ගේ මාර්ගයේ සිදු වූ දුෂ්කරතා වෙනුවෙන් ඔවුහු අධෛර්ය නොවූහ. තවද ඔවුහු දුර්වල ද නොවූහ. එමෙන්ම (සතුරන්ට) යටහත් ද නොවූහ. තවද අල්ලාහ් ඉවසිලිවන්තයින් ව ප්‍රිය කරයි.

(147) අපගේ පරමාධිපතියාණනි! අපගේ පාපයන්ටත් අප විෂයෙහි සිදු වන සීමාව ඉක්මවීම් වලටත් අපට සමාව දෙනු මැනව! තවද අපගේ පාද ස්ථාවර කරනු මැනව! ප්‍රතික්ෂේප කළ ජනයාට එරෙහි ව ද අපට උදව් කරනු මැනව! යන වදන මිස වෙන වදනක් ඔවුනට නොතිබිණි.

(148) එවිට අල්ලාහ් මෙලොව ප්‍රතිඵල ද, මතු ලොව යහපත් ප්‍රතිඵල ද ඔවුනට පිරිනැමීය. තවද අල්ලාහ් දැහැමියන් ව ප්‍රිය කරයි.

(149) අහෝ විශ්වාස කළවුනි! නුඹලා ප්‍රතික්ෂේප කළවුනට අවනත වන්නේ නම් ඔවුන් නුඹලා ව නුඹලාගේ විලුඹු මත නැවත ආපස්සට හරවනු ඇත. එවිට නුඹලා අලාභවන්තයින් ලෙස නැවත හැරෙන්නෙහුය.

(150) නමුත් නුඹලාගේ භාරකරු අල්ලාහ් ය. ඔහු උදව් කරන්නන් ගෙන් ශ්‍රේෂ්ඨයා ය.

(151) කවර දෙයක් සම්බන්ධයෙන් බලයක් ඔහු ප්‍රතික්ෂේප කළවුන්ට පහළ නොකළේ ද, එවැන්නක් මුල් කර ගෙන ඔවුහු අල්ලාහ්ට ආදේශ තැබූ හේතුවෙන්, ප්‍රතික්ෂේප කරන්නන්ගේ සිත් තුළ අපි භීතිය හෙළන්නෙමු. තවද ඔවුන්ගේ වාසස්ථානය නිරා ගින්න ය. තවද අපරාධකරු වන්ගේ නවාතැන ඉතා නපුරු ය.

(152) ඔහුගේ අනුමැතියෙන් නුඹලා ඔවුන් ව මරා දැමූ අවස්ථාවේදී අල්ලාහ් සැබැවින් ම ඔහුගේ ප්‍රතිඥාව සැබෑ කළේය. අවසානයේදී නුඹලා නිවටයින් වී නුඹලා වෙත පැනවූ අණ පිළිබඳ විෂයෙහි මත භේද ඇති කරගත්තෝය. නුඹලා ප්‍රිය කරන දෑ නුඹලාට පෙන් වූ පසු ව ද නුඹලා පිටුපෑවෝය. නුඹලා අතුරින් මෙලොව ප්‍රිය කරන්නෝ ද වෙති. තවද නුඹලා අතුරින් පරලොව ප්‍රිය කරන්නෝ ද වෙති. පසු ව ඔහු නුඹලා පරීක්ෂා කිරීම පිණිස නුඹලා ව ඔවුන්ගෙන් හැරෙව්වේය. තවද නුඹලාට ඔහු සමාව දුන්නේය. තවද අල්ලාහ් විශ්වාසවන්තයින් කෙරෙහි භාග්‍යයෙන් යුක්ත කෙනෙකි.

(153) මෙම දූතයා (මුහම්මද්) නුඹලාට පිටුපසින් සිට නුඹලා කැඳවමින් සිටිය දී, කිසිවකු දෙස හැරී නොබලා නුඹලා (කන්ද මතට) නැග ගිය සැටි සිහි කරන්න. මේ හේතුවෙන් නුඹලාටද (පරාජයේ) දුක ප්‍රතිඵලයක් ලෙස ලබා දුන්නේය. කුමක් නිසාද යත් නුඹලාට අත පසු වූ දෙය (ජය) ගැනද , නුඹලාට (දුක) හටගත් සිදුවීම ගැනද නුඹලා ශෝකයට පත් නොවනු පිණිසයි. අල්ලාහ් නුඹලා කරන දේ ගැන හොඳින් වටහාගනී.

(154) අනතුරු ව එම තැවුලෙන් පසුව ඔහු නුඹලා වෙත සහනයක් ලබා දෙන සුළු නින්දක් පහළ කළේය. එය නුඹලා අතුරින් පිරිසක් ආවරණය කරගත්තේය. තවද (තවත්) පිරිසක්, ඔවුන්ගේ සිත් ඔවුන් කෙරෙහි ම ශෝකය ඇති කළේය. ඔවුහු අඥාන යුගයේ අනුමානයන් මෙන් අල්ලාහ් ගැන සත්‍ය නොවන දෑ සිතමින් “ මෙම විෂයෙහි යම් (ජයග්‍රාහී) කරුණක් අපට ඇත්තේ දැ “ යි විමසන්නෝය. සියලු කරුණු අල්ලාහ්ට යැයි පවසනු. නුඹට හෙළි නොකරන දෑ ඔවුහු ඔවුන්ගේ ආත්මාවන් තුළ සඟවා ගන්නෝය. අපට මෙම විෂයෙහි යම් බලයක් වී නම් අපි මෙහි මරුමුවට පත් නොවන්නෙමු යැයි පවසන්නෝය. නුඹලා නුඹලාගේ නිවෙස් වල සිටිය ද ඝාතනය කරනු ලැබීමට නියම වූවන් ඔවුන් (මැරී) වැටිය යුතු ස්ථානයට පැමිණෙන්නේමය. තවද එය නුඹලාගේ හදවත් තුළ ඇති දෑ ඔහු පිරික්සනු පිණිස ය. තවද නුඹලාගේ සිත් තුළ ඇති දෑ පැහැදිලි කරනු පිණිස ය. හදවත් තුළ ඇති දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව ඥානී ය.

(155) නියත වශයෙන් ම දෙපිරිස මුණ ගැසුණු දින නුඹලා අතරින් පිටු පා හැරී ගියවුන් වන ඔවුනට ෂෙයිතාන් ලිස්සා (මඟ හැර) යන්නට හැරියේ ඔවුන් ඉපැයූ දැයින් ඇතැම් කරුණු හේතු වෙනි. තවද අල්ලාහ් ඔවුනට සමාව දුන්නේය. නියත වශයෙන් ම අල්ලාහ් අති ක්ෂමා ශීලී ය. ඉතා ඉවසිලිවන්ත ය.

(156) අහෝ විශ්වාස කළවුනි! ප්‍රතික්ෂේප කළවුන් මෙන් නුඹලා නොවනු. තවද ඔවුහු තමන්ගේ සහෝදරයින් දෙස බලා, මහපොළොව මත (නුඹ සමඟ) ඔවුන් ගමන් නොකර හෝ (නුඹ සමඟ) යුද බිමට ගොස් (විපතට පත් වූ විට) , අප සමඟ සිටියෙහු නම් ඔවුහු මරණයට පත් නොවෙති. එමෙන්ම ඝාතනය කරනු නොලබති යැයි පැවසූහ. අල්ලාහ් මෙසේ කරන්නේ, ඔවුන්ගේ සිත් තුළ ශෝකය ඇති කරනු පිණිස ය. තවද ජීවය දෙන්නේ ද මරණයට පත් කරන්නේ ද අල්ලාහ් ය. නුඹලා කරන දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව නිරීක්ෂක ය.

(157) නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබුවේ නම් හෝ නුඹලා මරණයට පත් වූයෙහු නම් හෝ අල්ලාහ්ගෙන් වූ සමාව ද කරුණාව ද ඔවුන් රැස් කරන දෑ ට වඩා අති උතුම් ය.

(158) තවද නුඹලා මරණයට පත් වූයෙහු නම් හෝ නුඹලා ඝාතනය කරනු ලැබුවෙහු නම් හෝ නුඹලා අල්ලාහ් වෙත එක් රැස් කරනු ලබන්නෙහුය.

(159) අල්ලාහ්ගෙන් වූ කරුණාව හේතුවෙන් නුඹ ඔවුනට මෘදු ව කටයුතු කළෙහිය. නුඹ දැඩි සිතකින් යුත් දරුණු අයෙකු වූයෙහි නම් නුඹ අසලින් ඔවුහු ඉවත් ව යති. එබැවින් නුඹ ඔවුනට සමාව දෙනු. ඔවුන් වෙනුවෙන් සමාව අයදිනු. (විවිධ) කරුණු වල දී ඔවුන් සමඟ සාකච්ඡා කරනු. නුඹ (යම් දෙයක්) තීරණය කළේ නම් එවිට අල්ලාහ් වෙත භාර කරනු. නියත වශයෙන් ම අල්ලාහ් භාර කරන්නන් ව ප්‍රිය කරන්නේය.

(160) අල්ලාහ් නුඹලාට උදව් කරන්නේ නම් (එය) අබිබවා යන්නෙක් නුඹලාට නැත. තවද නුඹලා ව ඔහු අතහැර දැමුවේ නම් ඉන් පසු ව නුඹලාට උදව් කරන්නේ කවරෙක් ද ? තවද විශ්වාසවන්තයින් අල්ලාහ් වෙත ම (තම කටයුතු) භාර කළ යුතු ය.

(161) කිසිදු නබිවරයෙකුට වංචා කිරීම (සුදුසු) නොවීය. තවද කවරෙක් වංචා කරන්නේ ද ඔහු වංචා කළ දෑ සමඟ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පැමිණෙයි. එවිට සෑම ආත්මයකට ම එය ඉපැයූ දෑ පූර්ණ ව දෙනු ලැබේ. තවද ඔවුහු අපරාධ කරනු නොලබති.

(162) අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂා කරන්නා කවරෙක් ද ඔහු අල්ලාහ්ගෙන් වූ කෝපය තමන් වෙත ගෙන්වා ගත් අය මෙන් වන්නේ ද? (එසේ නොව කෝපයට ලක් වූ) ඔහුගේ වාසස්ථානය නිරයය. තවද ඔහු පිවිසෙන ස්ථානය ඉතා නපුරු ය.

(163) ඔවුහු අල්ලාහ් අබියස (විවිධ) තරාතිරම් ඇත්තෝය. තවද අල්ලාහ් ඔවුන් කරන දෑ පිළිබඳ ව සර්ව නිරීක්ෂක ය.

(164) විශ්වාසවන්තයින් මීට පෙර පැහැදිලි නොමඟෙහි සිටිය ද, තම(අල්ලාහ්ගේ) වදන් ඔවුනට කියවා පෙන්වන, තවද ඔවුන් ව පිවිතුරු කරවන, තවද ඔවුනට ග්‍රන්ථය(කුර්ආනය) හා ඥානය උගන්වන රසූල්වරයෙකු ඔවුන් අතුරින් ම ඔවුන් වෙත එවීමෙන් ඔවුනට අල්ලාහ් උපකාර කළේය.

(165) නුඹලාට කුමක් හෝ දුෂ්කර තත්වයක් ඇති වූ කල්හි,එවැනිම දුෂ්කර තත්වයක් (බද්ර් සටනේදී) ඇති කර තිබිය දී, මෙය කෙසේ දැ යි නුඹලා ඇසූහ. මෙය නුඹලා (ගේ වරද) තුළින්ම යැයි පවසනු. සැබැවින් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්තයා ය.

(166) තවද දෙපිරිස මුණ ගැසුණු දින නුඹලාට ඇති වූ (හිංසන වැනි) දෑ ( සිිදුවූයේ ) අල්ලාහ්ගේ අනුදැනුමෙනි. තවද ඔහු (මෙසේ කළේ සත්‍ය) විශ්වාස වන්තයින් ව (තෝරා) හඳුනා ගනු පිණිස ය.

(167) තවද කුහකයින් (කවුරුන් දැ යි) ඔහු හඳුනා ගනු පිණිස ය (එසේ කළේ). නුඹලා පැමිණ අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරනු නැතිනම් මැඩපවත්වනු යැයි පවසනු ලැබූ විට අප (මෙය) යුද්ධයක් යැයි දන්නේ නම් අපි ද නුඹලා ව පිළිපදින්නෙමු යැයි පවසති. එදින ඔවුන් විශ්වාස කිරීමට වඩා ප්‍රතික්ෂේප කිරීමට ඉතා සමීප යෙන් සිටිනු ඇත. ඔවුන්ගේ සිත් තුළ නොමැති දෑ ඔවුන්ගේ මුවින් පවසති. තවද අල්ලාහ් ඔවුන් වසන් කරන දෑ පිළිබඳ ව මැනවින් දන්නා ය.

(168) (යුද්ධයට නොගොස්) වාඩි වී සිටි ඔවුන්ගේ සහෝදරයින් හමුවෙහි මොවුහු "අපට අවනත ව (අප සමඟ) සිටියේ නම් ඝාතනය කරනු නොලබන්නට තිබුණි" යැයි පැවසූහ. එසේ (පවසන) නුඹලා සත්‍යවාදීන් ව සිටියේ නම් "නුඹලාගෙන් මරණය වළක්වා ගනු" යැයි (නබිවරය) නුඹ පවසනු.

(169) අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබූවන් මිය ගියවුන් යැයි නුඹ නොසිතනු. ඔවුහු පෝෂණය කරනු ලබමින් අල්ලාහ්ගේ අබියස ජීවත් ව සිටින්නෝය.

(170) අල්ලාහ් තම භාග්‍යයෙන් ඔවුනට පිරිනැමූ දෑ පිළිබඳ ව ඔවුහු සතුටුවෙමින් සිටිති. තවද තමන්ට පසු තමන් සමඟ (තවමත්) සේන්දු නොවූවන් පිළිබඳ ව ඔවුනට කිසිදු බියක් නොමැත, තවද ඔවුනට දුකක්ද නැත යි සිතමින් ඔවුහු ප්‍රීතිමත් වෙති.

(171) අල්ලාහ්ගෙන් වූ සම්පත් හා භාග්‍යයන් පිළිබඳ ව ඔවුහු ප්‍රීතිමත් වෙති. තවද නියත වශයෙන් ම අල්ලාහ් විශ්වාස වන්තයින්ගේ ප්‍රතිඵල නිෂ්ඵල නොකරන්නේය.

(172) ඔවුහු තමන්ට තුවාල ඇති වූ පසු ව පවා අල්ලාහ්ට ද රසූල්වරයාට ද ප්‍රතිචාර දැක් වූ අය වෙති. ඔවුන් අතුරින් දැහැමි ලෙස කටයුතු කර බිය බැතිමත් වූවනට මහත් වූ ප්‍රතිඵල ඇත.

(173) ඔවුහු කවරහු ද යත් නියත වශයෙන්ම ජනයා නුඹලාට (එරෙහිව) එක් රැස් වී ඇත. එබැවින් නුඹලා ඔවුනට බිය වනු යැයි ජනයා ඔවුනට පැවසූහ. එවිට එය(එම ප්‍රකාශය) ඔවුනට විශ්වාසය වැඩි කළේය. තවද ඔවුහු අල්ලාහ් අපට ප්‍රමාණවත් ය. තවද භාරකරු වශයෙන් ඔහු යහපත් යැයි පැවසූහ.

(174) එබැවින් අල්ලාහ්ගෙන් වූ සම්පත හා භාග්‍යය සමඟ ඔවුහු හැරී ගියහ. ඔවුනට නපුරක් ස්පර්ශ නොවීය. තවද ඔවුහු අල්ලාහ්ගේ තෘප්තිය (අපේක්ෂාවෙන්) අනුගමනය කළෝය. තවද අල්ලාහ් මහත් භාග්‍යයෙන් යුක්ත ය.

(175) සැබැවින් ම එලෙස ය ෂෙයිතාන් තම මිතුරන් ව (පෙන්වා නුඹ ව) බිය ගන්වනුයේ. එබැවින් නුඹලා ඔවුනට බිය නොවනු. තවද නුඹලා විශ්වාසවන්තයින් ව සිටියේ නම් නුඹලා මට බිය වනු.

(176) ප්‍රතික්ෂේප(කුෆ්ර්) කිරීමෙහි යුහුසුලු ව කටයුතු කරන අය නුඹ ව දුකට පත් නොකළ යුතුය. නියත වශයෙන් ම ඔවුනට කිසිවකින් අල්ලාහ්ට හානි පමුණු විය නොහැක. මතු ලොවෙහි කොටසක් ඔවුනට ඇති නොකිරීමට අල්ලාහ් අපේක්ෂා කරයි. තවද ඔවුනට මහත් වූ දඬුවමක් ඇත.

(177) නියත වශයෙන් ම දේව විශ්වාසය වෙනුවට ප්‍රතික්ෂේපය (කුෆ්ර්) මිලට ගත්තවුන් වන ඔවුන් හට අල්ලාහ්ට යම් හානියක් සිදු කිරීමට නොහැක්කේ ම ය. තවද ඔවුනට වේදනීය දඬුවමක් ඇත.

(178) ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුනට අප (ක්ෂණික ව දඬුවම් නොදී) ප්‍රමාද කිරීම තමන්ට යහපතක් යැයි ඔවුන් නොසිතිය යුතුය. අප එසේ ඔවුනට ප්‍රමාද කරනුයේ ඔවුන් අධික ව පාපය වර්ධනය කර ගනු පිණිස ය. තවද ඔවුන් හට නින්දා සහගත දඬුවම ඇත.

(179) අල්ලාහ් කිලිටි දැයින් පිවිතුරු දෑ වෙන් කරන තෙක් නුඹලා (දැනට) කවර තත්ත්වයක පසු වන්නේ ද එවන් තත්ත්වයක ම විශ්වාසවන්තයින් ව අතහැර දමන්නෙක් නොවීය. එමෙන් ම අදෘශ්‍යමාන දෑ නුඹලාට පෙන්වා දීමට ද අල්ලාහ්ට (අවශ්‍ය) නොවීය. එනමුත් තම ධර්ම දූතයින්ගෙන් තමන් අභිමත ‍‍‍‍‍‍‍‍‍කළ අයව අල්ලාහ් තෝරා ගන්නේ ය. එබැවින් නුඹලා අල්ලාහ් ව ද ඔහුගේ ධර්ම දූතයින් ව ද විශ්වාස කරනු. නුඹලා විශ්වාස කරන්නේ නම් තවද බිය බැතිමත් වන්නේ නම් එවිට නුඹලාට මහත් වූ ප්‍රතිඵල ඇත.

(180) අල්ලාහ් තම භාග්‍යයෙන් ඔවුනට පිරිනැමූ දෑ පිළිබඳ මසුරුකම් කරන්නන්, එය(එසේ මසුරුකම් කිරීම) තමන්ට යහපතක් යැයි නොසිතිය යුතුය. නමුත් එය ඔවුනට නපුරු ය. ඔවුහු කවර දෙයක් පිළිබඳ මසුරුකම් කළේ ද එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් හට ගෙල මාල පලඳවනු ලබන්නේය. තවද අහස් හි හා මහපොළොවේ උරුමය අල්ලාහ් සතු ය. තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තයා ය.

(181) සැබැවින් ම අල්ලාහ් දිළිඳු ය. තවද අපි පොහොසත්හු යැයි පැවසූ අයගේ ප්‍රකාශයට සැබැවින් ම අල්ලාහ් සවන් දුන්නේය. ඔවුන් පැවසූ දෑ ද, යුක්තියකින් තොර ව නබි වරුන් ව ඔවුන් ඝාතනය කිරීම ද අපි සටහන් කර ගන්නෙමු. තවද නුඹලා පිලිස්සෙන දඬුවම භුක්ති විඳිනු යැයි අපි (විනිශ්චය දිනයේදී) පවසන්නෙමු.

(182) මෙය නුඹලාගේ අත් ඉදිරිපත් කළ දෑ හේතුවෙනි. තවද නියත වශයෙන්ම අල්ලාහ් ගැත්තන් හට අරපාධ කරන්නෙක් නොවේ.

(183) ඔවුහු කවරහු ද යත් ගින්න ගිල දමන කුර්බානයක්(කැපයක්) අප වෙත රැගෙන එන තෙක් කිසිදු ධර්ම දූතයෙකු ව අප විශ්වාස නොකළ යුතු යැයි අල්ලාහ් අප සමග ගිවිසගෙන ඇතැයි පැවසුවෝය. පැහැදිලි සාධක සමඟ ද (මේ) නුඹලා පවසා සිටි දෑ සමඟ ද මට පෙර ධර්ම දූතයෝ නුඹලා වෙත පැමිණියහ. එසේ නුඹලා සත්‍යවාදීන් නම් ඔවුන් ව නුඹලා ඝාතනය කළේ මන්දැ යි අසනු.

(184) එසේ නුඹ ව ඔවුන් බොරු කළේ නම් එවිට (දැන ගනු), පැහැදිලි සාධක සමඟ ද, ලේඛන හා ආලෝකමත් වේද ග්‍රන්ථ සමඟ ද නුඹට පෙර පැමිණි රසූල්වරු ද නියත වශයෙන් ම බොරු කරනු ලැබූහ.

(185) සෑම ආත්මයක් ම මරණයේ සුවය විඳින්නේය. නුඹලාට නුඹලාගේ ප්‍රතිඵල පූර්ණ ව පිරිනමනු ලබනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයෙහි ය. එවිට කවරෙක් (නිරා) ගින්නෙන් දුරස් කරනු ලැබ (ස්වර්ග) උයනට ඇතුළත් කරනු ලැබුවේ ද සැබැවින් ම ඔහු ජයග්‍රහණය කළේය. තවද මෙලොව ජීවිතය රවටාලන හුදු භුක්ති විඳීමක් මිස නැත.

(186) නුඹලාගේ වස්තුවෙහි ද, නුඹලාගේ ආත්මාවන්හි ද, සැබැවින් ම නුඹලා පරීක්ෂා කරනු ලබන්නෙහුය. තවද නුඹලාට පෙර විසූ වේද ග්‍රන්ථ පිරිනමනු ලැබූවන්ගෙන් ද, ආදේශ කළ අයගෙන් ද, බොහෝ වද වේදනාවන් ගැන නුඹලා සවන් දෙන්නෙහු ම ය. තවද නුඹලා ඉවසා බිය බැතිමත් වූයේ නම් එවිට සැබැවින් ම එය දිරිගන්වන කරුණු අතුරින් (එකක්) වෙයි.

(187) දේව ග්‍රන්ථය දෙනු ලැබූවන් ගෙන්, "නුඹලා එහි අදහස් ජනයාට පැහැදිලි කරනු, තවද නුඹලා එය වසන් නොකරනු" යැයි අල්ලාහ් ප්‍රතිඥා ගත් අවස්ථාව සිහිපත් කරනු. නමුත් ඔවුහු එය ඔවුන් ගේ පිට පෙදෙසින් පිටුපසට විසි කළෝය. ඒ (ප්‍රතිඥාව) වෙනුවට අල්ප මිලක් ලබා ගත්තෝය. ඔවුන් මිලට ගන්නා දෑ ඉතා නපුරු විය.

(188) (නබිවරය) තමන් කරමින් ආ දෑ පිළිබඳ සතුටු වන අය ගැන හා තමන් නොකළ (යහපත්) දෑ පිළිබඳ ව ප්‍රශංසා කරනු ලැබීම ප්‍රිය කරනවුන් ගැන නුඹ නොසිතනු. දඬුවමින් (මිදී) ජයග්‍රහණය ඔවුනට තිබේ යැයි නුඹ නොසිතනු. තවද ඔවුනට වේදනීය දඬුවමක් ද ඇත.

(189) අහස්හි හා මහපොළොවෙහි ආධිපත්‍යය අල්ලාහ් සතුය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය.

(190) නියත වශයෙන් ම අහස් හා මහපොළොව මැවීමෙහි ද රාත්‍රිය හා දහවල මාරු වීමෙහි ද බුද්ධිමත් අයට පැහැදිලි සාධක ඇත.

(191) ඔවුහු කවරහු ද යත් සිට ගනිමින් ද, වාඩි වෙමින් ද, ඉලපැති වලට ඇල වෙමින් ද, අල්ලාහ් ව මෙනෙහි කරමින් හා අහස් හා මහපොළොව මැවීම තුළ (ඇති යථාර්ථය) කල්පනා කරමින් ‘අපගේ පරමාධිපතියාණෙනි! නුඹ මෙය නිකරුණේ නොමැව්වෙහිය. නුඹ සුපිවිතුරු ය. එබැවින් අපව (නිරා) ගින්නේ දඬුවමින් ආරක්ෂා කරනු මැනව! (යනුවෙන් ප්‍රාර්ථනා කරති).

(192) අපගේ පරමාධිපතියාණෙනි! නියත වශයෙන් ම නුඹ කවරෙකු ව (නිරා) ගින්නට ඇතුළත් කරන්නෙහි ද එවිට සැබැවින් ම නුඹ ඔහු ව අවමානයට පත් කරන්නෙහිය. තවද අපරාධ කරුවන්ට උදව් කරුවන් කිසිවෙකු නොමැත.

(193) අපගේ පරමාධිපතියාණෙනි! නුඹලාගේ පරමාධිපති ව නුඹලා විශ්වාස කරනු යැයි, දේව විශ්වාසය වෙත කැඳවන කැඳවුම් කරුට සැබැවින් ම අපි සවන් දුනිමු. එවිට අපි විශ්වාස කළෙමු. එබැවින් අපගේ පාපයන් සමා කරනු මැනව! අපගේ නපුරුකම් අපගෙන් පහ කරනු මැනව! තවද අප ව දැහැමියන් සමඟ මරණයට පත් කරනු මැනව!

(194) අපගේ පරමාධිපතියාණෙනි! තවද නුඹගේ ධර්ම දූතයින් තුළින් අපට ප්‍රතිඥා දුන් දෑ අපට පිරිනමනු මැනව! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අප ව දුකට පත් නොකරනු මැනව! සැබැවින් ම නුඹ ප්‍රතිඥාවන්ට වෙනස්කම් නොකරන්නෙහිය.‘ (යැයි පවසති.)

(195) එවිට ඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිළිතුරු දුන්නේය. සැබැවින් ම මම නුඹලා අතුරින් පිරිමියෙකුගෙන් හෝ වේවා ගැහැනියකගෙන් හෝ වේවා දැහැමි ක්‍රියා කරන්නාගේ ක්‍රියාව නිෂ්ඵල නොකරමි. නුඹලාගෙන් ඇතැමුන් ඇතැමුන්ගෙන් ය. එබැවින් දේශ තරණය කොට තම නිවෙස් වලින් බැහැර කරනු ලදු ව මාගේ මාර්ගයේ වේදනාව විඳ සටන් වැද ඝාතනය කරනු ලැබූවන් වන ඔවුන්ගේ නපුරු පාපයන් ඔවුන්ගෙන් මම පහ කරමි. තවද පහළින් ගංගාවන් ගලා බස්නා උයන් හි ඔවුන් ව මම ඇතුළත් කරමි. (එය) අල්ලාහ් අබියසින් වූ කුසලක් ලෙසිනි. තවද අල්ලාහ් ඔහු වෙත ය කුසලින් ශ්‍රේෂ්ඨ දෑ ඇත්තේ.

(196) (නබිවරය!) නගරයන් හි ප්‍රතික්ෂේප කළවුන්ගේ සැරිසැරීම නුඹ ව නොරවටා දැමිය යුතු ය.

(197) (එය) ස්වල්ප භුක්ති විඳීමකි. පසු ව ඔවුන්ගේ නවාතැන නිරය ය. තවද (ඔවුන්) ලැගුම් ගන්නා ස්ථානය නපුරු විය.

(198) නමුත් තමන්ගේ පරමාධිපතිට බිය බැතිමත් වූවන් වන ඔවුනට පහළින් ගංගාවන් ගලා බසින (ස්වර්ග) උයන් ඇත. එහි ඔවුහු සදාතනිකයෝය. (එය) අල්ලාහ් අබියසින් වූ සංග්‍රහයක් වශයෙනි. අල්ලාහ් අබියස ඇති දෑ දැහැමියන්ට ඉතා ශ්‍රේෂ්ඨය.

(199) තවද නියත වශයෙන් ම දේව ග්‍රන්ථ හිමි අය අතුරින් අල්ලාහ් ව ද නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ ද ඔවුන් වෙත පහළ කරනු ලැබූ දෑ ද අල්ලාහ්ට යටහත් පහත් ව විශ්වාස කරන අය සිටිති. අල්ලාහ්ගේ වදන් වෙනුවට ඔවුහු අල්ප මිලක් නොගනිති. ඔවුන්ගේ ප්‍රතිඵල ඔවුන්ගේ පරමාධිපති අබියසින් ඔවුනට හිමි(වන්නේ)ය. නියත වශයෙන් ම අල්ලාහ් විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත්ය.

(200) අහෝ විශ්වාස කළවුනි ! නුඹලා ජයග්‍රහණය ලැබිය හැකි වනු පිණිස නුඹලා ඉවසනු. තවද ඉවසීමට නුඹලා එකිනෙකා දිරිගන් වනු. තවද නුඹලා ස්ථාවර ව සිටිනු. අල්ලාහ්ට බිය බැතිමත් වනු.

<     >