85 - Al-Burooj ()

|

(1) ග්‍රහ මණ්ඩල වලින් යුත් අහස මත දිවුරමින්,

(2) ප්‍රතිඥා දෙනු ලැබූ දිනය මත දිවුරමින්.

(3) සාක්ෂි දරන්නා හා සාක්ෂි දරනු ලබන දේ මත ද දිවුරමින්.

(4) අගල් වැසියෝ විනාශ කරනු ලැබුවෝය.

(5) (එය) ඉන්ධන වලින් යුක්ත ගින්නකි.

(6) ඔවුහු ඒ මත වාඩි වී සිටියෝය.

(7) දේවත්වය විශ්වාස කරන්නන්හට ඔවුන් කරමින් සිටි දෑ ඔවුහු නරඹමින් සිටියෝය.

(8) ප්‍රශංසාලාභී සර්ව බලපරාක්රම අල්ලාහ් ව ඔවුන් විශ්වාස කිරීම හේතුවෙන් මිස ඔවුහු ඔවුන්ගෙන් පළි නොගත්තෝය.

(9) ඔහු වනාහි අහස් හා මහපොළොවෙහි ආධිපත්‍ය සතු අයෙකි. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂි දරන්නා ය.

(10) නියත වශයෙන්ම දේවත්වය විශ්වාස කරන්නන් හා දේවත්වය විශ්වාස කරන්නියන් හට හිංසා කර, පසු ව පශ්චාත්තාප නොවූවන් වන ඔවුනට නිරයේ දඬුවම තවද ඔවුනට පිලිස්සෙන ගින්නෙහි දඬුවම ද ඇත.

(11) සැබැවින්ම විශ්වාස කොට යහකම් කළවුන් වන ඔවුනට ඊට පහළින් ගංගාවන් ගලා බසින (ස්වර්ග) උයන් ඇත. එයයි අති මහත් ජයග්‍රහණය.

(12) නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතිගේ ග්‍රහණය ඉතා දැඩි ය.

(13) (පූර්වාදර්ශයක් නොමැති ව) නිර්මාණය කරන්නේ ද යළි සකස් කරන්නේ ද ඔහුමය.

(14) තවද ඔහු අති ක්ෂමාශීලී ය. මහත් දයාලු ය.

(15) කීර්තිමත් අර්ෂ්හි හිමිකරු ය.

(16) ඔහු සිතන දේ මැනවින් කරන්නා ය.

(17) (නබිවරය!) නුඹට සේනාවන්හි පුවත පැමිණියේ ද?

(18) ෆිර්අවුන් හා සමූද් (සේනාවන්ගේ)

(19) නමුත් දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් බොරු කිරීමෙහි ය.

(20) තවද අල්ලාහ් ඔවුන්ගේ පසුපසින් වෙළාගන්නා ය.

(21) නමුත් එය කීර්තිමත් කුර්ආනය වේ.

(22) (එය) ආරක්ෂිත ඵලකයෙහි.