90 - Al-Balad ()

|

(1) මෙම නගරය (මක්කාහ් ව) මත මම දිවුරමි.

(2) නුඹ මෙම නගරයේ රැඳී සිටිය දී,

(3) පියා හා ඔහු ජනිත කළ දෑ මත (දිවුරමි.)

(4) සැබැවින්ම මිනිසා ව දැඩි දුෂ්කරතාවක අපි මැව්වෙමු.

(5) ඔහු කෙරෙහි කිසිවෙකු බලය නොදරන්නේම යැයි ඔහු සිතන්නේ ද?

(6) මම අධික වශයෙන් ධනය නාස්ති කළෙමි යැයි ඔහු පවසයි.

(7) ඔහු ව කිසිවෙක් නොදුටුවේ යැයි ඔහු සිතන්නේ ද?

(8) අපි ඔහුට දෑස් ඇති නොකළෙමු ද?

(9) දිව ද දෙතොල් ද (ඇති නොකළෙමු ද?)

(10) තවද අපි ඔහුට (හොඳ නරක යන) මාවත් දෙක වෙත මඟ පෙන්වූයෙමු.

(11) එනමුත් ඔහු අකබා ව තරණය නොකළේය.

(12) අකබා ව යනු කුමක්දැයි නුඹ ව දැනුවත් කළේ කුමක්ද?

(13) (එය) වහලෙකු නිදහස් කිරීම;

(14) එසේ නැතහොත් සාගින්නෙන් යුත් දිනක ආහාර සැපයීම ය.

(15) සමීපකම් ඇති අනාථ ඥාතියෙකුට;

(16) එසේ නැතහොත් අසරණ වූ දුගියෙකුට (ආහාර සැපයීම ය.)

(17) පසු ව ඔහු විශ්වාස කර ඉවසීම පිළිබඳ එකිනෙකාට උපදෙස් දෙමින් කරුණා දයාව පිළිබඳව ද එකිනෙකාට උපදෙස් දුන් අය අතරින් කෙනෙකු බවට පත් විය.

(18) ඔවුහුමය දකුණත පාර්ශවයින් වන්නෝ.

(19) තවද අපගේ වදන් ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහුමය වමත් පාර්ශවයින් වන්නෝ.

(20) ඔවුන්හට මොළවන ලද (නිරයේ) ගින්න ඇත.