26 - Ash-Shu'araa ()

|

(1) තා, සීන්, මීම්

(2) ඒවා පැහැදිලි ධර්ම ග්රන්ථයේ වදන්ය.

(3) ඔවුහු දේවත්වය විශ්වාස කරන්නන් නොවීම හේතුවෙන් නුඹ නුඹගේ ආත්මය විනාශ කරගන්නට බලයි.

(4) අපි අභිමත කරන්නේ නම් අහසින් සංඥාවක් ඔවුනට එරෙහි ව අපි පහළ කරන්නෙමු. එවිට ඔවුන්ගේ ගෙලවල් එයට යටහත් වන්නන් බවට පත් වනු ඇත.

(5) මහා කරුණාන්විතයාණන්ගෙන් යම් නව මෙනෙහි කිරීමක් ඔවුන් වෙත පැමිණි කල ඒ ගැන පිටුපාන්නන් ලෙසින් මිස ඔවුන් සිටියේ නැත.

(6) එවිට සැබැවින්ම ඔවුහු බොරු කළෝය. එහෙයින් ඔවුහු කවර දෙයක් ගැන සරදම් කරමින් සිටියෙහු ද එහි පුවත ඔවුන් වෙත මතු පැමිණෙනු ඇත.

(7) එහි අපි ගරුසැරැති සෑම ජෝඩුවකින්ම කොපමණක් දෑ හට ගන්වා ඇති දැයි මහපොළොව දෙස ඔවුහු නොබැලුවෙහු ද?

(8) නියත වශයෙන්ම එහි සංඥාවක් ඇත. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නොවූහ.

(9) තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතියාණන් වනාහි ඔහුමය මහා කරුණාන්විත සර්ව බලධාරී.

(10) තවද ‘අපරාධකාරී ජනයා වෙත නුඹ යනු’යි මූසාට නුඹගේ පරමාධිපති ඇමතූ අවස්ථාව මෙනෙහි කරනු.

(11) ෆිර්අවුන්ගේ ජනයා (වෙත යනු). ඔවුහු බිය බැතිමත් විය යුතු නොවේ ද?

(12) මාගේ පරමාධිපතියාණනි! ඔවුන් මා බොරු කරනු ඇතැයි නියත වශයෙන්ම මම බිය වෙමි යැයි ඔහු පැවසුවේය.

(13) මාගේ හදවත පීඩනයට පත් වනු ඇත. මාගේ දිව පැහැදිලිව කතා නොකරනු ඇත. එහෙයින් හාරූන් වෙත (දූත මෙහෙය) නුඹ එවනු.

(14) තවද මට එරෙහිව වූ පාපයක් ඔවුන් සතු ව ඇත. එහෙයින් ඔවුහු මා මරා දමනු ඇතැයි මම බිය වෙමි.

(15) එසේ නොව, අපගේ සංඥා රැගෙන නුඹලා දෙදෙනා යනු. නියත වශයෙන්ම අපි නුඹලා සමග සිට සවන් දෙන්නෝ වෙමු යැයි ඔහු පැවසුවේය.

(16) එහෙයින් නුඹ දෙදෙනා ෆිර්අවුන් වෙත ගොස් නියත වශයෙන්ම අපි සර්ව ලෝකයන්හි පරමාධිපතිගේ ධර්ම දූතයන් වෙමු යැයි පවසනු.

(17) එබැවින් අප සමඟ ඉස්රාඊල් දරුවන් යවන මෙන් ද නුඹ දෙදෙනා පවසනු.

(18) අපි නුඹ ව අප තුළ දරුවකු සේ හදා වඩා නොගත්තෙමු ද? නුඹගේ ආයු කාලයෙන් වසර ගණනාවක් නුඹ අප අතර රැඳී සිටියෙහිය යැයි ඔහු (ෆිර්අවුන්) පැවසීය.

(19) තවද නුඹ සිදු කළා වූ නුඹගේ ක්රියාව නුඹ සිදු කර ඇත. තවද නුඹ ගුණමකුවන් අතරිනි (යැයි ෆිර්අවුන් පැවසීය.)

(20) මුළාවූවන් අතරින් කෙනෙකු ව මා සිටිය දී මම එය සිදු කළෙමි යැයි ඔහු (මූසා) පැවසීය.

(21) එවිට මම නුඹලාට බිය වූ කල්හි මම නුඹලාගෙන් පලා ගියෙමි. එවිට මාගේ පරමාධිපති මට ප්‍රඥාව ප්‍රදානය කළේය. තවද ඔහු මා ධර්ම දූතයින් අතරට පත් කළේය.

(22) තවද එය ආශිර්වාදයකි. ඉස්රාඊල් දරුවන්ව (ෆිර්අවුන් වන) නුඹ වහල් භාවයට පත් කරමින් නුඹ මට එය කියා පෙන්වන්නෙහිය.

(23) සර්ව ලෝකයන්හි පරමාධිපති යනු කවරෙක් දැ? යි ෆිර්අවුන් විමසීය.

(24) නුඹලා තරයේ විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් (දැන ගනු) අහස් හි හා මහපොළවෙහි ද ඒ දෙක අතර ඇති දෑහි ද පරමාධිපති (ඔහු)ය යැයි ඔහු (මූසා) පැවසීය.

(25) නුඹලා සවන් නොදෙන්නෙහු දැයි අවට සිටියවුන්ගෙන් ඔහු (ෆිර්අවුන්) පැවසීය.

(26) (ඔහු) නුඹලාගේ පරමාධිපති ද නුඹලාගේ මුල් මුතුන් මිත්තන්ගේ පරමාධිපති ද වේ යැයි (මූසා) පැවසීය.

(27) නුඹලා වෙත එවනු ලැබූ නුඹලාගේ ධර්ම දූතයා නියත වශයෙන්ම උම්මත්තකයෙකි යැයි ඔහු (ෆිර්අවුන්) පැවසීය.

(28) නුඹලා වටහා ගන්නන් ලෙස සිටියෙහු නම් (දැන ගනු) නැගෙනහිර බටහිර හා ඒ දෙක අතර ඇති දෑහි හිමිපාණන් (ඔහු)ය යැයි ඔහු (මූසා) පැවසීය.

(29) මා හැර වෙනත් දෙවියකු නුඹ ගත්තෙහි නම් සැබැවින්ම මම නුඹ ව සිරකරුවන් අතරට පත් කරමි යැයි ඔහු (ෆිර්අවුන්) පැවසීය.

(30) මම නුඹ වෙත පැහැදිලි කරුණක් රැගෙන ආ විට වුව දැයි ඔහු (මූසා) විමසීය.

(31) නුඹ සත්යවාදීන් අතරින් නම් එය නුඹ ගෙන එනු යැයි ඔහු (ෆිර්අවුන්) පැවසීය.

(32) එවිට ඔහු (මූසා) ඔහුගේ සැරයටිය (බිම) හෙළුවේය. එවිට එය පැහැදිලි සර්පයකු විය.

(33) තවද ඔහුගේ අත ඉවතට ගත්තේය. එවිට එය නරඹන්නන් හට (දීප්තියෙන් බැබළෙන) සුදුවන් (සේ දිස්) විය.

(34) නියත වශයෙන්ම මොහු මනා දැනුමැති මායාකරුවකු යැයි තමන් අවට සිටි ප්‍රධානීන් හට ඔහු (ෆිර්අවුන්) පැවසීය.

(35) ඔහුගේ මායාවෙන් නුඹලා ව නුඹලාගේ දේශයෙන් පිටුවහල් කිරීමට ඔහු අපේක්ෂා කරයි. එහෙයින් (ඔහු ගැන මට) නුඹලා කුමක් අණ කරන්නෙහු ද?

(36) ඔහු හා ඔහුගේ සහෝදරයාට කල් දෙනු. තවද නගරවලට (ජනයා) එක්රැස් කරන්නන් එවනු යැයි ඔවුහු (ප්‍රධානීහු) පැවසුවෝය.

(37) මනා දැනුමැති සියලුම මායාකරුවන් නුඹ වෙත ඔවුන් ගෙන එනු ඇත.

(38) එසේ නියමිත දිනක නියමිත වේලාවක මායාකරුවන් එක්රැස් කරන ලදී.

(39) තවද නුඹලා ද එක්රැස්වන්නෝ දැයි ජනයාගෙන් විමසන ලදී.

(40) මායාකරුවන් වන ඔවුහු අබිබවා යන්නන් වූයේ නම් අපට ඔවුන් පිළිපැදිය හැකි වනු ඇත.

(41) මායාකරුවෝ පැමිණි කල්හි අප අබිබවා යන්නන් වූයේ නම් අපට කුලියක් තිබේ දැයි ඔවුහු ෆිර්අවුන්ගෙන් විමසූහ.

(42) එසේය: එවිට නියත වශයෙන්ම නුඹලා (මට) සමීපතයින් අතරින් වන්නෙහුය යැයි ඔහු පැවසීය.

(43) නුඹලා හෙළන දෑ හෙළනු යැයි මූසා ඔවුනට පැවසීය.

(44) එවිට ඔවුහු ඔවුන්ගේ ලණු හා ඔවුන්ගේ යෂ්ටි හෙළූහ. තවද ෆිර්අවුන්ගේ ගෞරවය මත දිවුරමින් නියත වශයෙන්ම අබිබවා යන්නෝ අපමය යැයි ඔවුහු පැවසූහ.

(45) එවිට මූසා ඔහුගේ සැරයටිය හෙළීය. එවිට එය ඔවුන් මවා පාන දෑ ගිල ගත්තේය.

(46) පසුව මායාකරුවන් සිරස නමා නමස්කාර කරන්නන් බවට පත් කර දමන ලදී.

(47) සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් ගැන අපි විශ්වාස කළෙමු යැයි ඔවුහු පැවසුවෝය.

(48) ඔහු මූසාගේ හා හාරූන්ගේ පරමාධිපති ය.

(49) මම නුඹලාට අවසර දීමට පෙර නුඹලා ඔහු විශ්වාස කළෙහු ද? නුඹලාට මායාව ඉගැන් වූ ඔහු නුඹලාගේ ප්‍රධානියා වී ඇත. එහෙයින් නුඹලා මතු දැන ගනු ඇත. නියත වශයෙන්ම නුඹලාගේ අත් හා නුඹලාගේ පාද මාරුවෙන් මාරුවට මම කපා දමමි. තවද මම නුඹලා සියල්ල කුරිසියේ බැද දමමි ඔහු යැයි පැවසීය.

(50) කිසිදු ප්‍රශ්නයක් නොමැත. නියත වශයෙන්ම අපි අපගේ පරමාධිපතියාණන් වෙත හැරෙන්නන් වෙමු යැයි ඔවුහු පැවසූහ.

(51) දේවත්වය විශ්වාස කරන්නන් අතරින් අප ප්‍රමුඛයින් වූ බැවින් අපගේ වැරදි වලට අපගේ පරමාධිපති අපට සමාව දෙනු ඇතැයි නියත වශයෙන්ම අපි ප්රිය කරන්නෙමු.

(52) තවද මාගේ ගැත්තන් රැගෙන නුඹ රාත්‍රියේ පිටත් ව යනු. නියත වශයෙන්ම නුඹලා ලුහුබඳිනු ලබන්නෝ යැයි මූසා වෙත අපි දේව පණිවිඩ එව්වෙමු.

(53) එවිට ෆිර්අවුන් (මොවුන් ගැන නිවේදනය කරනු වස්) නගර වලට රැස් කරන්නන් එවීය.

(54) නියත වශයෙන්ම මොවුන් (මූසාගේ පිරිස) ස්වල්ප පිරිසක් පමණි.

(55) තවද නියත වශයෙන්ම මොවුහු අපට කෝපය ඇති කළවුන් වෙති.

(56) තවද නියත වශයෙන්ම අපි සියලු දෙනා අවදියෙන් සිටිය යුත්තෝ වෙමු.

(57) එහෙයින් (ෆිර්අවුන් හා ඔහුගේ සමූහය භුක්ති විඳිමින් සිටි) උයන් වලින් හා උල්පත් වලින් අපි ඔවුන් බැහැර කළෙමු.

(58) නිධන් වලින් හා ගෞරවනීය ස්ථානයෙන් ද (අපි ඔවුන් බැහැර කළෙමු.)

(59) එලෙස අපි ඒවා ඉස්රාඊල් දරුවන්ට උරුම කර දුන්නෙමු.

(60) පසුව උදෑසනට උදාවෙමින් ඔවුහු ඔවුන් ලුහු බැන්දෝය.

(61) කණ්ඩායම් දෙක එකිනෙකා දුටු කල්හි, නියත වශයෙන්ම අපි කොටු කරනු ලබන්නෝ වූයෙමු යැයි මූසාගේ සගයෝ පැවසූහ.

(62) එසේ නොව නියත වශයෙන්ම මා සමග මාගේ පරමාධිපති සිටියි. ඔහු මට මග පෙන්වනු ඇතැයි ඔහු පැවසීය.

(63) ඔබේ සැරයටියෙන් මුහුදට ගසන මෙන් අපි මූසාට දන්වා සිටියෙමු. එවිට එය පැළි ගියේය. (පැළී ගිය) සෑම කොටසක්ම මහා කඳු මෙන් (ජලකඳ ඉහළට එස)විය.

(64) තවද අපි එහි (ෆිර්අවුන්ගේ සේනාව වූ) අනෙක් අයද සමීප කළෙමු.

(65) තවද අපි මූසා හා ඔහු සමග සිටි සියලු දෙනා මුදවා ගත්තෙමු.

(66) පසුව අපි අනෙක් අය දියේ ගිල්වීමු.

(67) නියත වශයෙන්ම එහි සංඥාවක් විය. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නොවූහ.

(68) තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වන ඔහුමය සර්ව බලධාරී මහා කරුණාන්විත.

(69) තවද නුඹ ඔවුන් වෙත ඉබ්රාහීම්ගේ පුවත කියවා පෙන්වනු.

(70) නුඹලා කුමක් නමදින්නෙහුදැයි ඔහු තම පියාණන් හා තම ජනයාගෙන් විමසූ අවස්ථාව සිහිපත් කරනු.

(71) අපි පිළිම නමදින්නෙමු. එහෙයින් ඒ වෙනුවෙන්ම අපි රැඳී සිටින්නන් වෙමු යැයි ඔවුහු පැවසූහ.

(72) නුඹලා අමතන විට නුඹලාට ඔවුන් සවන් දෙන්නේ ද? යැයි ඉබ්රාහීම් විමසීය.

(73) එසේ නැතහොත්, ඔවුන් නුඹලාට සෙත සළසන්නේ ද? එසේත් නැතහොත් ඔවුන් හිංසා පමුණුවන්නේ දැ?යි (ඉබ්රාහීම් විමසීය.)

(74) නමුත් අපගේ මුතුන් මිත්තන් එසේ සිදුකරනු අපි දැක ඇත්තෙමුයි ඔවුහු පැවසුවෝය.

(75) නුඹලා නමදිමින් සිටි දෑ කුමක් දැයි නුඹලා සිතා බැලුවෙහු දැ?යි ඔහු (ඉබ්රාහිම්) විමසීය.

(76) නුඹලා හා නුඹලාගේ මුල් මුතුන් මිත්තන් (නමදිමින් සිටි දෑ).

(77) හේතුව සර්ව ලෝකයන්හි පරමාධිපති(අල්ලාහ්) හැර ඔවුන් (සියලු දෙනා) මාගේ සතුරන් වන බැවිනි.

(78) ඔහු(අල්ලාහ්) වනාහි මා මවා මට මග පෙන්වයි.

(79) තවද ඔහු වනාහි මට ආහාර සපයයි. මට පානය දෙයි.

(80) තවද මා රෝගී වූ විට ඔහු මට සුවය දෙයි.

(81) තවද ඔහු වනාහි මා මරණයට පත් කොට පසුව මට (යළි) ජීවය දෙයි.

(82) තවද ඔහු වනාහි මාගේ වැරදි වලට විනිශ්චය දිනයේ දී මට සමාව දෙනු අතැයි මා ආශා කරන අයයි.

(83) මාගේ පරමාධිපතියාණනි! මට ප්‍රඥාව පිරිනමනු මැනව! තවද මා දැහැමියන් සමඟ එක් කරනු මැනව!

(84) තවද පසු ව පැමිණෙන ජනයා අතර (සැබෑ ලෙස අගයන) කීර්ති නාමයක් මට ඇති කරනු මැනව!

(85) තවද සුව පහසුකම් ඇති ස්වර්ගයේ උරුමක්කරුවන් අතරින් මා පත් කරනු මැනව!

(86) තවද මාගේ පියාණන්ට සමාව දෙනු මැනව! නියත වශයෙන්ම ඔහු නොමග ගිය අය අතරින් කෙනෙකු විය.

(87) තවද මළවුන් කෙරෙන් (ජනයා) නැගිටුවනු ලබන දින නුඹ මා අවමානයට පත් නොකරනු මැනව!

(88) (එය) ධනය හෝ දරුවන් ‌හෝ ප්‍රයෝජනවත් නොවන දිනකි.

(89) නමුත් ආරෝග්‍යමත් හදවතකින් අල්ලාහ් වෙත පැමිණෙන්නන් හැර.

(90) තවද බිය බැතිමතුන් හට ස්වර්ගය සමීප කරවනු ලැබේ.

(91) තවද සීමාව ඉක්මවා ගියවුන්ට නිරය හෙළි කරනු ලැබේ.

(92) (අල්ලාහ් හැර දමා) නුඹලා නමදිමින් සිටි දෑ කොහේදැ?යි ඔවුන්ගෙන් විමසනු ලැබේ.

(93) අල්ලාහ් හැර දමා නුඹලා නමදිමින් සිටි ඔවුහු නුඹලාට උදව් කරන්නෝ ද? එසේ නැතහොත් ඔවුහු උදව් ලබන්නෝද?

(94) එවිට එහි ඔවුන් හා සීමාව ඉක්මවූවෝ මුණින් අතට හෙළනු ලබති.

(95) ඉබ්ලීස්ගේ සේනාව යන සියලු දෙනා ද (මුණින් අතට) හෙළනු ලබති.

(96) තවද ඔවුහු එහි වාද කර ගනිමින් මෙසේ පවසති.

(97) අල්ලාහ් මත දිවුරමින් නියත වශයෙන්ම අපි පැහැදිලි නොමගෙහි වූයෙමු.

(98) සර්ව ලෝකයන්හි පරමාධිපතිට සමානයන් ලෙස අපි නුඹලා ව පත් කළ අවස්ථාවේ...(අපි පැහැදිලි නොමගෙහි වූයෙමු.)

(99) තවද එවන් අපරාධකරුවෝ මිස වෙනත් කිසිවකු අප ව නොමග නොයැවීය.

(100) එහෙයින් අප වෙනුවෙන් මැදිහත්වන්නන් කිසිවකු හෝ නොමැත.

(101) තවද (උණු වන හදවතක් ඇති) සමීප මිතුරෙකු හෝ නොමැත.

(102) එහෙයින් අපහට තවත් වාරයක් වී නම් එවිට අපි දේවත්වය විශ්වාස කරන්නන් අතරින් වන්නෙමු.

(103) නියත වශයෙන්ම එහි සංඥාවක් ඇත. එහෙත්, ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නොවූවෝය.

(104) තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහුමය සර්ව බලධාරී මහාකරුණාන්විත.

(105) නූහ්ගේ ජනයා ධර්ම දූතවරුන් බොරු කළෝය.

(106) නුඹලා බිය බැතිමත් විය යුතු නොවේදැයි ඔවුන්ගේ සහෝදර නූහ් ඔවුනට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.

(107) නියත වශයෙන්ම මම නුඹලා සඳහා වූ විශ්වාසනීය දූතයකි.

(108) එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.

(109) තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් වෙත මිස වෙනත් අයෙකු වෙත නැත.

(110) එහෙයින් නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු. (යැයි පැවසූහ.)

(111) පහත් අය නුඹ ව අනුගමනය කරමින් සිටියදී අපි නුඹ ව විශ්වාස කරන්නෙමු දැයි ඔවුහු විමසුවෝය.

(112) ඔවුන් සිදු කරමින් සිටි දෑ පිළිබඳ ව මට දැනුම නොමැතැයි ඔහු පැවසුවේය.

(113) නුඹලා වටහා ගන්නේ නම් ඔවුන්ගේ ගිණුම ද මාගේ පරමාධිපති මත මිස වෙනත් කිසිවකු මත නැත.

(114) තවද මම දේවත්වය විශ්වාස කරන්නන් පලවා හරින්නෙකු නොවෙමි.

(115) මම පැහැදිලි අවවාද කරන්නෙකු මිස වෙනත් කෙනෙකු නොවෙමි.

(116) අහෝ නූහ්! නුඹ මෙයින් නොවැළකුණෙහි නම් සැබැවින්ම නුඹ ගල් ගසනු ලබන්නන් අතරින් වනු ඇතැයි ඔවුහු පැවසූහ.

(117) මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන්ම මාගේ ජනයා මා බොරු කළෝය යැයි ඔහු පැවසීය.

(118) එහෙයින් මා අතර හා ඔවුන් අතර විවෘත තීන්දුවක් දෙනු මැනව! තවද මා ද මා සමග සිටින අය අතරින් දේවත්වය විශ්වාස කරන්නන් ද නුඹ මුදවා ගනු මැනව!

(119) එවිට (ජීවරාශීන්) පටවනු ලැබූ නැවෙහි සිටි ඔහු හා ඔහු සමග සිටියවුන් ද අපි මුදවා ගත්තෙමු.

(120) ඉන් අනතුරු ව අපි ඉතිරිවූවන් (දියෙහි) ගිල්වූයෙමු.

(121) නියත වශයෙන්ම එහි සංඥාවක් ඇත. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නොවූවෝය.

(122) තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහුමය සර්ව බලධාරී මහාකරුණාන්විත.

(123) ආද් ජනයා (ද) ධර්ම දූතයින් බොරු කළෝය.

(124) නුඹලා බිය බැතිමත් විය යුතු නොවේ දැයි ඔවුන්ගේ සහෝදර හූද් ඔවුනට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.

(125) නියත වශයෙන්ම මම නුඹලා වෙනුවෙන් වූ විශ්වාසනීය ධර්ම දූතයක්මි.

(126) එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.

(127) තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් මත මිස වෙනත් අයෙකු මත නොවේ.

(128) සෑම උස් තැනකම නුඹලා විනෝදය පිණිස සංඥා (කුළුණු) තනන්නෙහු ද?

(129) තවද නුඹලා සදා ජීවත් වීමට බලමින් මන්දිර තනා ගන්නෙහු ද?

(130) තවද නුඹලා (කිසිවකු) හසු කළ විට දැඩි පාලකයින් ලෙසින් නුඹලා හසු කර ගන්නෙහුය.

(131) එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.

(132) තවද නුඹලා දන්නා දෑ මගින් නුඹලාට උපකාර කළ ඔහුට නුඹලා බිය බැතිමත් වනු.

(133) ගොවිපළ සතුන් මෙන්ම දරුවන් ඔහු නුඹලාට උපකාර කළේය.

(134) තවද උයන් හා උල්පත් මගින් ද (ඔහු නුඹලාට උපකාර කළේය.)

(135) නියත වශයෙන්ම මම නුඹලා කෙරෙහි මහත් දිනයක දඬුවම ගැන බිය වෙමි.

(136) නුඹ උපදෙස් කළ ද එසේ නැතහොත් නුඹ උපදෙස් කරන්නන් අතරින් නොවූව ද අප වෙත එක සමානය යැයි ඔවුහු පැවසූහ.

(137) මෙය මුතුන් මිත්තන්ගේ ගති පැවතුම් මිස වෙනෙකක් නොවීය.

(138) තවද අපි දඬුවම් කරනු ලබන්නන් නොවූයෙමු.

(139) එසේ ඔවුහු ඔහුව බොරු කළෝය. එහෙයින් අපි ඔවුන් විනාශ කළෙමු. නියත වශයෙන්ම එහි සංඥාවක් විය. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නොවූවෝය

(140) තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහුමය මහාකරුණාන්විත සර්ව බලධාරී.

(141) සමූද් ජනයා ද ධර්ම දූතයින් බොරු කළෝය.

(142) නුඹලා බිය බැතිමත් විය යුතු නොවේ දැ?යි ඔවුන්ගේ සහෝදර සාලිහ් ඔවුනට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.

(143) නියත වශයෙන්ම මම නුඹලා වෙනුවෙන් වූ විශ්වාසනීය ධර්ම දූතයක්මි.

(144) එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.

(145) තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් මත මිස වෙනත් අයෙකු මත නොවේ.

(146) මෙහි සුරක්ෂිතයින් ලෙස නුඹලා අතහැර දමනු ලබන්නෙහු ද?

(147) උයන් හා උල්පත් අතර ද,

(148) තවද කෙත් වතු හා වලුබරැති ඉඳි ගස් අතර ද,

(149) තවද නුඹලා දක්ෂ ලෙසින් කඳු හාරා නිවෙස් තනා ගන්නෙහුය.

(150) එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.

(151) තවද නුඹලා සීමාව ඉක්මවූවන්ගේ නියෝගයට අවනත නොවනු.

(152) ඔවුහු වනාහි මහපොළොවේ කලහකම් කරන්නෝ වෙති. තවද ඔවුහු විධිමත් ව කටයුතු නොකරති.

(153) නියත වශයෙන්ම නුඹ හූනියම් කරනු ලැබූවන් අතරින් කෙනෙකු යැයි ඔවුහු පැවසූහ.

(154) නුඹ අප මෙන් මිනිසෙකු මිස වෙනත් අයෙකු නොවේ. එහෙයින් නුඹ සත්යවාදීන් අතරින් නම් සංඥාවක් ගෙන එනු.

(155) මෙය ඔටු දෙනයි. ඇය වෙනුවෙන් පාන වාරයක් ඇත. තවද නුඹලා වෙනුවෙන් ද නියම කරනු ලැබූ දිනයක පාන වාරයක් ඇත.

(156) තවද නුඹලා කිසිදු අයුරින් ඇයට හිරිහැර නොකරනු. එවිට මහත් දිනයක දඬුවම නුඹලා ග්රහණය කරනු ඇත.

(157) නමුත් ඔවුහු ඌව මරා දැමුවෝය. එහෙයින් ඔවුහු පසුතැවිලි වන්නන් වූවෝය.

(158) එවිට එම දඬුවම ඔවුන්ව ග්රහණය කළේය. නියත වශයෙන්ම එහි සංඥාවක් විය. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නොවූහ.

(159) තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහුමය සර්ව බලධාරී මහාකරුණාන්විත.

(160) ලූත්ගේ ජනයා ද දහම් දූතයින් බොරු කළෝය.

(161) නුඹලා බිය බැතිමත් විය යුතු නොවේදැයි ඔවුන්ගේ සහෝදර ලූත් ඔවුනට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.

(162) නියත වශයෙන්ම මම නුඹලා වෙත (එවනු ලැබුවා) වූ විශ්වාසනීය ධර්ම දූතයක්මි.

(163) එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.

(164) තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් මත මිස වෙනත් අයෙකු මත නොවේ.

(165) නුඹලා ලෝවැසියන් අතරින් පිරිමින් වෙත යන්නෙහු ද?

(166) තවද නුඹලාගේ බිරියන් අතරින් නුඹලාගේ පරමාධිපති නුඹලා වෙනුවෙන් මවා ඇති දෑ අත හැර දමමින් (පිරිමින් වෙත යන්නෙහු ද?) නමුත් නුඹලා සීමාව ඉක්මවා ගිය පිරිසකි.

(167) අහෝ ලූත්! නුඹ එයින් නොවැළකුණෙහි නම්, සැබැවින්ම නුඹ බැහැර කරනු ලබන්නන් අතරින් වන්නෙහිය යැයි ඔවුහු (නූහ්ගේ ජනයා) පැවසුවෝය.

(168) නියත වශයෙන්ම මම නුඹලාගේ ක්රියාව පිළිකුල් කරන්නන් අතරින් කෙනෙකු වෙමි යැයි ඔහු (ලූත්) පැවසීය.

(169) පරමාධිපතියාණනි! ඔවුන් සිදු කරන දැයින් මා හා මාගේ පවුල මුදවා ගනු මැනව!

(170) ඔහු හා ඔහුගේ දරුපවුලේ සෙසු සියලු දෙනා අපි මුදවා ගත්තෙමු.

(171) එවිට රැඳී සිටියවුන් අතර වූ මැහැල්ලියක් හැර.

(172) පසු ව අපි අනෙක් අය විනාශ කර දැමුවෙමු.

(173) තවද අපි ඔවුන් වෙත මහා වර්ෂාවක් පහළ කළෙමු. එවිට අවවාද කරනු ලැබූවන් සඳහා වූ වර්ෂාව දරුණු විය.

(174) නියත වශයෙන්ම එහි සංඥාවක් විය. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නොවූවෝය.

(175) තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහුමය සර්ව බලධාරී මහාකරුණාන්විත.

(176) අය්කා වාසීහු ද දර්ම දූතයින් බොරු කළෝය.

(177) නුඹලා බිය බැතිමත් විය යුතු නොවේදැයි ෂුඅයිබ් ඔවුනට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.

(178) නියත වශයෙන්ම මම නුඹලා වෙනුවෙන් වූ විශ්වාසනීය ධර්ම දූතයක්මි.

(179) එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.

(180) තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් මත මිස වෙනත් අයෙකු මත නොවේ.

(181) නුඹලා කිරුම් මිනුම් පූර්ණවත් ලෙසින් ඉටු කරනු. තවද නුඹලා අලාභ කරන්නන් අතරින් නොවනු.

(182) තවද නිවැරදි තුලනයෙන් නුඹලා කිරනු.

(183) තවද නුඹලා ජනයාට ඔවුන්ගේ භාණ්ඩ වල අඩුපාඩු නොකරනු. තවද නුඹලා මහපොළොවේ කලහකාරීන් ලෙස නොසැරිසරනු.

(184) තවද නුඹලා හා (නුඹලාට) පෙර මැවීම් මැවූ ඔහුට නුඹලා බිය බැතිමත් වනු.

(185) නියත වශයෙන්ම නුඹ හූනියම් කරනු ලැබූවන් අතරිනි යැයි ඔවුහු පැවසුවෝය.

(186) තවද නුඹ අප මෙන් මිනිසෙකු මිස වෙනත් අයෙකු නොවේ. තවද සැබැවින්ම අපි නුඹ බොරුකාරයින්ගෙන් කෙනෙකු යැයි සිතමු.

(187) එහෙයින් නුඹ සත්යවාදීන් අතරින් කෙනෙකු නම් අහසින් කැබැල්ලක් අප වෙත වැටෙන්නට සලස්වනු.

(188) නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව මාගේ පරමාධිපති මැනවින් දන්නාය යැයි ඔහු පැවසීය.

(189) එවිට ඔවුහු ඔහු බොරු කළෝය. එහෙයින් අඳුරු (වළාවෙන්) ආවරණ කරන දිනයේ දඬුවම ඔවුන් ග්රහණය කළේය. නියත වශයෙන්ම එය දරුණු දිනයක දඬුවමක් විය.

(190) නියත වශයෙන්ම එහි සංඥාවක් විය. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නොවූවෝය.

(191) තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහුමය සර්වබලධාරී මහාකරුණාන්විත.

(192) තවද නියත වශයෙන්ම මෙය ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූ පහළ කිරීමක්මය.

(193) විශ්වාසනීය ආත්මය එය රැගෙන පහළ විය.

(194) නුඹ අවවාද කරන්නන් අතරින් වනු පිණිස (නබිවරය!) නුඹේ හදවත වෙත,

(195) පැහැදිලි අරාබි බසින්.

(196) තවද නියත වශයෙන්ම එය මුතුන් මිත්තන්ගේ ලේඛන වල විය.

(197) තවද ඉස්රාඊල් දරුවන්ගේ විද්වතුන් ඒ ගැන දැන සිටීම ඔවුනට සංඥාවන් නොවී ද?

(198) තවද අරාබි නොවන ඇතැමුන් වෙත අපි එය පහළ කොට,

(199) එය ඔහු ඔවුනට කියවා පෙන්වූයේ නම් ඔවුන් ඒ ගැන විශ්වාස කරන්නන් නොවනු ඇත.

(200) වැරදිකරුවන්ගේ හදවත් තුළ අපි එය ඇතුළත් කළේ එලෙසය.

(201) වේදනීය දඬුවම ඔවුන් දකින තෙක් ඒ පිළිබඳ ව ඔවුහු විශ්වාස නොකරති.

(202) එහෙයින් ඔවුන් නොහඟමින් සිටියදී ක්ෂණික ව ඔවුන් වෙත එය (දඬුවම) පැමිණෙනු ඇත.

(203) එවිට ඔවුහු අප කල් දෙනු ලබන්නන් වන්නෙමු දැ?යි අසති.

(204) එසේනම් ඔවුහු අපගේ දඬුවම ඉක්මණින් පතන්නෝ ද?

(205) ඔබ නොදන්නෙහි ද? ඔවුනට වසර ගණනාවක් අප භුක්ති විඳීමට සලස්වා,

(206) පසු ව ඔවුනට පොරොන්දු දෙනු ලබමින් සිටි දෑ ඔවුන් වෙත පැමිණි විට,

(207) ඔවුන් භුක්ති විඳිමින් සිටි දෑ ඔවුනට ඵලක් නොවනු ඇත.

(208) තවද කිසිදු ගම්මානයක් එහි (එවන ලද) අනතුරු අඟවන්නන්ගෙන් තොර ව අපි විනාශ නොකළෙමු.

(209) (ඔවුන් එවනු ලැබුවේ) මෙනෙහි කිරීමක් වශයෙනි. තවද අපි අපරාධකරුවන් නොවූයෙමු.

(210) තවද ෂෙයිතාන්නු එය පහළ නොකළෝය.

(211) තවද ඔවුනට එය සුදුසු (කාර්යයක්) නොවීය. තවද ඔවුහු එයට ශක්තිය නොදරති.

(212) නියත වශයෙන්ම ඔවුහු (එයට) සවන්දීමෙන් ඉවත් කරනු ලැබූවෝ වෙති.

(213) එහෙයින් නුඹ අල්ලාහ් සමග වෙනත් දෙවියකු ඇරයුම් නොකරනු. එවිට නුඹ දඬුවම් කරනු ලබන්නන් අතරින් වනු ඇත.

(214) තවද නුඹගේ සමීප ඥාතීන්ට නුඹ අවවාද කරනු.

(215) තවද දේවත්වය විශ්වාස කරන්නන් අතරින් නුඹ ව අනුගමනය කළවුන් හට නුඹගේ (කරුණාවේ) පියාපත් පහත් කරනු.

(216) නමුත් ඔවුන් නුඹට පිටුපෑවේ නම්, නියත වශයෙන්ම නුඹලා සිදු කරන දැයින් මම නිදහස් වූ අයෙකි යැයි නුඹ පවසනු.

(217) තවද නුඹ සර්ව බලධාරී මහාකරුණාන්විතයාණන් මත (සියල්ල) භාර කරනු.

(218) ඔහු වනාහි නුඹ නැගිට නැමදුම් කරන විට නුඹව දකින්නාය.

(219) තවද සුජූද් කරන්නන් අතර නුඹගේ චලනය ද (ඔහු දකින්නාය).

(220) නියත වශයෙන්ම ඔහුමය සර්ව ශ්‍රාවක සර්ව ඥානී.

(221) ෂෙයිතානුන් පහළ වන්නේ කවුරුන් වෙත දැයි මම (දේවත්වය විශ්වාස කරන) නුඹලාට දන්වන්න ද?

(222) පාපකම් කරන බොරු ගොතන සෑම කෙනෙකු වෙතම ඔවුහු පහළ වෙති.

(223) සවනට වැකුණු දෑ ඔවුහු ඉදිරිපත් කරති. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා මුසාවාදීහුය.

(224) තවද කවිවරුන් වනාහි නොමග ගියවුන් ඔවුන් ව අනුගමනය කරති.

(225) නියත වශයෙන්ම ඔවුන් සෑම මිටියාවතකම නිදැල්ලේ හැසිරෙනු නුඹ නොදුටුවෙහි ද?

(226) තවද නියත වශයෙන්ම ඔවුහු තමන් සිදු නොකරන දෑ (කළ බවට) පවසති.

(227) නමුත් දේවත්වය විශ්වාස කර යහකම් කර අල්ලාහ් ව අධික වශයෙන් මෙනෙහි කර අපරාධ කරනු ලැබූවායින් පසු තම ආරක්ෂාව සලස්වා ගත් අය හැර. තවද තමන් කවර තැනකට යොමු වන්නේ දැයි අපරාධ කළවුන් මතු දැන ගනු ඇත.