83 - Al-Mutaffifin ()

|

(1) කිරුම් මිනුම් වල වංචා කරන්නන්හට විනාශයමය.

(2) ඔවුන් වනාහි මිනිසුන්ගෙන් කිරා ගන්නා විට සම්පූර්ණයෙන්ම කිරා ගනිති.

(3) කිරා දෙන විට හෝ මැන දෙන විට අඩු කර දෙති.

(4) නියත වශයෙන්ම තමන් නැගිටුවනු ලබන්නන් බව ඔවුහු නොසිතන්නෝ ද?

(5) මහත් වූ දිනයක් සඳහා.

(6) එදින මිනිස්සු සකල ලෝකයේ පරමාධිපති ඉදිරියේ නැගී සිටිනු ඇත.

(7) නොඑසේය. නියත වශයෙන්ම අපරාධකරුවන්ගේ ලේඛනය සිජ්ජීන්හි ඇත්තේය.

(8) (නබිවරය!) සිජ්ජීන් යනු කුමක් දැයි නුඹ ව දැනුවත් කළේ කුමක් ද?

(9) (එය) ලියන ලද වාර්තා පොතකි.

(10) බොරු කරන්නන් හට එදින විනාශයය.

(11) මොවුන් වනාහි විනිශ්චය දිනය බොරු කරති.

(12) සීමාව ඉක්මවා ගිය සෑම පාපතරයකුම මිස වෙනත් කිසිවෙක් එය බොරු නොකරනු ඇත.

(13) අපගේ වදන් ඔහු වෙත පාරායනා කරනු ලබන විට (මෙය) පැරැණ්නන්ගේ ප්‍රබන්ධයන් යැයි ඔහු පවසයි.

(14) නොඑසේය. නමුත් ඔවුන් උපයමින් සිටි දෑ (මගින්) ඔවුන්ගේ හදවත් මත මල බැඳී ඇත.

(15) නොඑසේය. නියත වශයෙන්ම ඔවුහු එදින ඔවුන්ගේ පරමාධිපතිගෙන් තිර දම(මින් වෙන් කර)නු ලබන්නෝය.

(16) තවද නියත වශයෙන්ම ඔවුහු නිරයෙහි පිවිසෙන්නෝ වෙති.

(17) ඉන්පසුව “නුඹලා බොරු කරමින් සිටි දෑ මෙය වේ” යැයි කියනු ලැබේ.

(18) නොඑසේය. නියත වශයෙන්ම දැහැමියන්ගේ ලේඛනය ඉල්ලීයියීන්හිම ය.

(19) තවද ඉල්ලීයියීන් යනු කුමක් දැයි නුඹ ව දැනුවත් කළේ කුමක් ද?

(20) (එය) ලියන ලද වාර්තා පොතකි.

(21) (දේව) සමීපතයෝ එයට සාක්ෂි දරති.

(22) නියත වශයෙන්ම දැහැමියෝ සැප පහසුකම් හි සිටිති.

(23) කවිච්චි මතට වී (සිරි) නරඹමින් සිටිති.

(24) (ඔවුනට ලැබුණු) සැප පහසුකම් හි සිරියාව නුඹ ඔවුන්ගේ මුහුණු තුළින් දැන ගනු ඇත.

(25) මුද්‍රා කරන ලද අමෘතයෙන් ඔවුහු පොවනු ලබති.

(26) එහි මුද්‍රාව කස්තූරි ය. එහෙයින් තරඟ වදින්නට අපේක්ෂා කරන්නන් ඒ තුළ තරඟ වදිත්වා.

(27) තවද එහි මිශ්‍රණය තස්නීමයෙනි.

(28) එය දේව සමීපතයින් එයින් පානය කරන උල්පතකි.

(29) නියත වශයෙන්ම අපරාධ කළ අය විශ්වාස කළවුන් පිළිබඳ ව සිනහසෙමින් සිටියෝය.

(30) තවද ඔවුන් පසු කරමින් ගිය විට ඔවුහු එකිනෙකා අතර ඇස් කොණින් ඉඟි කොට සමච්චල් කර ගත්තෝය.

(31) තවද ඔවුහු ඔවුන්ගේ ජනයා වෙත හැරී ගිය විට (ඒ ගෙන) සතුටු වන්නන් ලෙස හැරී ගියෝය.

(32) තවද ඔවුහු ඔවුන් ව දුටු විට “සැබැවින්ම මොවුන් නොමග ගියවුන්මය” යැයි පවසති.

(33) තවද ඔවුන් මත ආරක්ෂකයින් ලෙස මොවුහු එවනු නොලැබුවෝය.

(34) එහෙයින් අද දින විශ්වාස කළවුන් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් දෙස බලා සිනාසෙති.

(35) සුව පහසු කවිච්චි මත වී සිරි නරඹති.

(36) ප්‍රතික්ෂේපකයෝ තමන් කරමින් සිටි දෑ සඳහා ප්‍රතිවිපාක දෙනු ලැබුවෝ ද?