56 - Al-Waaqia ()

|

(1) සිදු වන දෑ (එනම් නැගිටවනු දිනය) සිදු වූ විට;

(2) එම සිදුවීම බොරුවක් නොවෙයි.

(3) (එය අපරාධකරුවන්) පහත් කරවන්නකි. (දැහැමියන්) උසස් කරවන්නකි.

(4) මහපොළොව කම්පනයකින් කම්පනය කරනු ලැබූ විට;

(5) තවද කඳු සුනු විසුනු කරනු ලැබූ විට;

(6) එවිට එය විසිරුණු දූවිලි බවට පත් වනු ඇත.

(7) එවිට නුඹලා වර්ග තුනක් වන්නෙහුය.

(8) එනම් දකුණු පස ජනයා. එම දකුණු පස ජනයා යනු කවරෙක් ද?

(9) තවද වම් පස ජනයා. එම වම් පස ජනයා යනු කවරෙක් ද?

(10) පෙරටුගාමීහු පෙරටු ගාමීහුය.

(11) ඔවුහු (අල්ලාහ්ට) සමීපතයෝ වෙති.

(12) (ඔවුන්) සැපවත් උයන්හි සිටිති.

(13) මුල් අයගෙන් වූ පිරිසකි.

(14) තවද පසු පැවත එන්නන්ගෙන් වූ ස්වල්පයකි.

(15) (ඔවුන්) සරසන ලද ඇඳන් මත සිටිති.

(16) ඒ මත එකිනෙකාට මුහුණලමින් හාන්සිවන්නන් ලෙස සිටිති.

(17) ළමා විය සදාතනික වූ ළමුන් (සංග්‍රහ කිරීම සඳහා) ඔවුන් වටා යති.

(18) දිය දහරාවෙන් පුරවනු ලැබූ ගුරු ලේත්තු, කේතල් හා කුසලාන සමග (ඔවුන් වටා යති.)

(19) එයින් ඔවුනට හිසේ රුදාව ඇති නොවේ. තවද ඔවුන් මත් නොවෙති.

(20) ඔවුන් කැමති පලතුරු සමග ද;

(21) ඔවුන් ආශා කරන කුරුලු මාංශ සමග ද (ඔවුන් වටා යති.)

(22) තවද දැකුම්කලු කන්යා කුමරියෝ ද වෙති.

(23) (ඔවුන්) සඟවා තබන ලද මුතු වලට සමානය.

(24) (එය) ඔවුන් සිදු කරමින් සිටි දෑ සඳහා ප්‍රතිඵලයක් වශයෙනි.

(25) ඔවුහු එහි පුහු දැයකට හෝ පාපය ඇති කරන කතාවකට හෝ සවන් නොදෙති.

(26) සලාම් සලාම් (ශාන්තියයි) යනුවෙන් පවසනු ලැබීම මිස.

(27) දකුණු පස ජනයා, දකුණු පස ජනයා යනු කවරෙක් ද?

(28) (ඔවුන්) කටු නොමැති මසන් ගස් අතරෙහිය.

(29) තවද කැන් එල්ලෙන කෙසෙල් ගස් අතරය.

(30) තවද දිගු කරනු ලැබූ සෙවණැලි අතරය.

(31) තවද ගලා යවනු ලබන ජලය අතරය.

(32) තවද බොහෝ පලතුරු අතරය.

(33) කිසිදු කප්පාදුවක් නැත. එමෙන්ම කිසිදු තහනම් කිරීමක් ද නැත.

(34) තවද උස් ව තබන ලද ඇතිරිලි අතරය.

(35) නියත වශයෙන්ම අපි ඔවුන් (ලලනාවන්) නව නිර්මාණයකින් නිර්මාණය කළෙමු.

(36) අපි ඔවුන් කන්යා කුමරියන් බවට පත් කළෙමු.

(37) පෙම්බර සම වයසැති,

(38) දකුණු පස ජනයා සඳහා (මේවා සූදානම් කර තිබේ.)

(39) (ඔවුන්) මුල් අයගෙන් වූ පිරිසකි.

(40) තවද පසු පැවත එන්නන්ගෙන් වූ පිරිසකි.

(41) තවද වම් පස ජනයා. වම් පස ජනයා යනු කවරෙක් ද?

(42) (ඔවුන්) ලෝ දිය හා ගිනි දැලි සුළං අතරය.

(43) තවද කළු දුමාරයෙන් යුත් හෙවණ අතරය.

(44) (එහි) කිසිදු සිසිලක් හෝ මිහිරක් හෝ නැත.

(45) නියත වශයෙන්ම ඔවුහු එයට පෙර සුඛෝපබෝගී ජීවිතයක් ගත කරන්නන් ලෙස සිටියහ.

(46) තවද ඔවුහු මහත් පාපයන් මත හිතුවක්කාර ලෙස රැඳී සිටිමින් උන්හ.

(47) තවද “අපි මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ පසු නියත වශයෙන්ම අපි නැවත නැගිටුවනු ලබන්නෝ වෙමු දැ” යි ඔවුහු පවසමින් උන්හ.

(48) “අපගේ ආරම්භක මුතුන් මිත්තන් ද නැවත නැගිටුවනු ලබන්නෝ ද?”

(49) “නියත වශයෙන්ම ආරම්භකයින් හා පසු පැවත එන්නන් (යන සියල්ලන්හට) (නබිවරය!) නුඹ පවසනු.

(50) ඔවුන් සැබවින්ම නියමිත දිනක නියමිත වේලාවක එක් රැස් කරනු ලබන්නෝ වෙති.

(51) ඉන් පසු; අහෝ බොරුකාර නොමග ගියවුන් වන නුඹලා!

(52) නියත වශයෙන්ම zසක්කූම් ගසින් අනුභව කරන්නෝ වෙති.

(53) එයින් කුසවල් පුරවා ගන්නෝ වෙති.

(54) ඒ මත ලෝ දියෙන් පානය කරන්නෝ වෙති.

(55) පිපාසිත ඔටුවන් පානය කරන්නාක් මෙන් පානය කරන්නෝ වෙති.

(56) මෙය විනිශ්චය දිනයේ ඔවුන්ගේ සංග්‍රහය වේ.

(57) අපමය නුඹලා ව මැව්වේ. එහෙයින් නුඹලා (එය) විශ්වාස නොකරන්නෙහු ද?

(58) නුඹලා ශුක්‍රාණු ලෙස පිට කරන දෑ ගැන නුඹලා සිතා බැලුවෙහු ද?

(59) එය මැව්වේ නුඹලා ද එසේ නැතහොත් (එහි) මැවුම්කරුවෝ වන්නෝ අපි ද?

(60) නුඹලා අතර මරණය නිර්ණය කළේ අපය. අපි අසමත් වන්නන් නොවෙමු.

(61) නුඹලාගේ හැඩරුව වෙනස් කිරීමටත් නුඹලා නොදන්නා ස්වරූපයක නුඹලා ව (යළි) බිහි කිරීමටත් (අපි අසමත් වන්නන් නොවෙමු.)

(62) තවද මුල් මැවීම ගැන සැබැවින්ම නුඹලා දන්නෙහුය. එහෙයින් නුඹලා මෙනෙහි කළ යුතු නොවේ ද?

(63) නුඹලා වපුරන දෑ ගැන නුඹලා සිතා බැලුවෙහු ද?

(64) එය වගා කරනුයේ නුඹලා ද? එසේ නැතහොත් (එහි) වගාකරුවෝ අපි ද?

(65) අපි අභිමත කරන්නේ නම් එය වියැළුණු ඉපැණිලි බවට පත් කරන්නට තිබුණි. එවිට නුඹලා පුදුමයට පත් වනු ඇත.

(66) “නියත වශයෙන්ම අපි ණය කාරයෝ වෙමු.”

(67) “එසේ නොව අපි වළක්වනු ලැබූවෝ වෙමු.” යැයි පවසමින් (නුඹලා පුදුමයට පත් වනු ඇත.)

(68) නුඹලා පානය කරන ජලය දෙස නුඹලා සිතා බැලුවෙහු ද?

(69) එය වලාකුළෙන් පහළ කළේ නුඹලා ද? එසේ නැතහොත් (එය) පහළ කරන්නෝ අපිද?

(70) අපි අභිමත කර ඇත්නම් එය ලුණු බවට පත් කරන්නට තිබුණි. එහෙයින් නුඹලා ගුණගරුක විය යුතු නොවේ ද?

(71) නුඹලා දල්වන ගින්න සිතා බැලුවෙහු ද?

(72) (එම ගින්න නිපද වන) ගස නිර්මාණය කළේ නුඹලා ද? එසේ නැතහොත් (එහි) නිර්මාණකරුවෝ අපි ද?

(73) අපි එය මෙනෙහි කිරීමක් ලෙසින් හා මගීන්ට (ප්‍රයෝජනවත්) භාණ්ඩයක් ලෙසින් පත් කළෙමු.

(74) එහෙයින් නුඹගේ අති මහත් පරමාධිපතියාණන්ගේ නාමයෙන් නුඹ සුවිශුද්ධ කරනු.

(75) එහෙයින් තාරකා රැඳෙන තැන් මත මම දිවුරමි.

(76) තවද නුඹලා දන්නෙහු නම් නියත වශයෙන්ම එය ඉමහත් දිවුරුමකි.

(77) නියත වශයෙන්ම එය ගෞරවනීය කුර්ආනයකි.

(78) ආරක්ෂා කරනු ලැබූ ලේඛනයෙහි තිබිණ.

(79) එය පිවිතුරු අය හැර වෙනත් කිසිවකු ස්පර්ශ නොකරති.

(80) ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූ පහළ කිරීමකි.

(81) නුඹලා මෙම ප්‍රකාශය ගැන ද නොසලකා හරින්නන් ලෙස සිටිනුයේ?

(82) තවද නුඹලාගේ පෝෂණය සඳහා (කෘතගුණ සලකන්නක් වශයෙන්) නියත වශයෙන්ම නුඹලා බොරු කිරීම (තෝරා) ගන්නෙහු ද?

(83) (ප්‍රාණය) උගුරු දණ්ඩට ළඟා වූ විට;

(84) නුඹලා එම අවස්ථාවේ බලමින් සිටින්නෙහුය.

(85) තවද ඔහු වෙත අපි නුඹලාට වඩා සමීපයෙන් සිටිමු. නමුත් නුඹලා නොදකිනු ඇත.

(86) එහෙයින් නුඹලා නැවත නැගිටුවනු නොලබන්නන්නෙහු යැයි (සිතන්නෙහු) නම්;

(87) නුඹලා සත්‍යවාදීන් නම් නුඹලා එය (ප්‍රාණය) නැවත ගෙන එනු.

(88) ඔහු (අල්ලාහ්ට) සමීපතයින් අතරින් වූයේ නම්;

(89) සැනසුම ද ප්‍රණීත ආහාර ද සැපවත් (ස්වර්ග) උයන් ද (ඔහුට) ඇත.

(90) තවද ඔහු දකුණු පස ජනයා අතරින් වූයේ නම්;

(91) දකුණු පස ජනයා අතරින් වූ නුඹට ශාන්තියයි.

(92) ඔහු නොමග ගිය බොරු කරන්නන් අතරින් වූයේ නම්;

(93) එවිට ලෝ දියෙන් වූ නවාතැනක් (ඔහුට) ඇත.

(94) තවද නිරා ගින්නෙහි දැවීම ද (ඔහුට) ඇත.

(95) ස්ථීර සත්‍යය වනුයේ නියත වශයෙන්ම මෙයමය.

(96) එහෙයින් නුඹගේ අතිමහත් වූ පරමාධිපතිගේ නාමයෙන් සුවිශුද්ධ කරනු.