<     >  

7 - Al-A'raaf ()

|

(1) අලිෆ් ලාම් මීම් සාද් (මේ සම්බන්ධයෙන් සූරතුල් බකරා හෙවත් දෙවන පර්ච්ඡේදයේ දැක්වෙන විස්තර කියවන්න).

(2) ( නබිවරය! මෙය) නුඹ වෙත පහළ කරන ලද දේව ග්‍රන්ථයයි.එබැවින් මෙම (දහම ජනයා අතර ප්‍රචාරය කිරීම) සම්බන්ධයෙන් නුඹේ හදවතෙහි කිසිඳු පැකිලීමක් ඇති නොවිය යුතුය. නුඹ (ජනයාට) අනතුරු ඇඟවීම් කරනු පිණිස ද දේව විශ්වාසවන්තයින්ට උපදෙසක් ලෙස ද (මෙය නුඹ වෙත පහළ කරන ලදි)

(3) නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ නුඹලා අනුගමනය කරනු. තවද ඔහු හැර (වෙනත් දෑ) භාරකරුවන් ලෙස ගෙන නුඹලා අනුගමනය නොකරනු. ස්වල්ප වශයෙනි නුඹලා උපදෙස් ලබනුයේ.

(4) (පාපිෂ්ඨයින් වාසය කළ) ගම්මාන රාශියක් අප විනාශ කර ඇත්තෙමු. අපගේ දඬුවම ඔවුන් (ධර්මය අමතක කර) රාත්‍රිය ගත කරමින් සිටිය දී හෝ දහවල් කාලය ගතකරමින් සිටියදී ඒ වෙත පැමිණියේය.

(5) අපගේ දඬුවම ඔවුන් වෙත පැමිණි අවස්ථාවේ "අපි අපරාධකරුවන් ලෙස සිටියෙමු" යැයි පැවසීම මිස ඔවුන්ගේ (වෙනත්) ප්‍රකාශයක් නොවීය.

(6) කවුරුන් වෙත (පණිවිඩකරුවන්) එවනු ලැබුවේ ද ඒ ජනයාගෙන්ද සැබැවින්ම අපි විමසන්නෙමු. එමෙන් ම (එවනු ලැබූ) පණිවිඩකරුවන්ගෙන් ද අපි විමසන්නෙමු.

(7) ඥානාන්විත ලෙසින් අපි ඔවුනට (ඔවුන් කළ දෑ) විස්තර කරන්නෙමු. තවද අපි (එයින්) සැඟවූවන් නොවූයෙමු.

(8) එදින (ක්‍රියාවන්) තක්සේරු කිරීම සැබෑවකි. එබැවින් කවරෙකුගේ තුලාවන් බරින් වැඩි වූයේ ද ජයග්‍රහකයෝ ඔවුහුමය.

(9) තවද කවරෙකුගේ තුලාවන් සැහැල්ලු (බරින් අඩු) වූයේ ද ඔවුන් අපගේ වදන් පිළිබඳ ව අසාධාරණ ලෙස ක්‍රියා කළ හේතුවෙන් තමන්ටම අලාභහානි කර ගත්තෝ ඔවුහුමය.

(10) තවද සැබැවින්ම අපි නුඹලාට මහපොළොවේ පහසුකම් සලසා දුනිමු. එමෙන්ම එහි නුඹලාට ජීවනෝපාය මාර්ගයන් ද ඇති කළෙමු. නුඹලා (අතුරින්) කෘතඥවනුයේ ස්වල්ප දෙනෙකි.

(11) තවද සැබැවින්ම අපි නුඹලා ව මවා පසු ව නුඹලා ව හැඩ ගැන්වූයෙමු. පසුව නුඹලා සුජූද් (සිරස බිම තබා ආචාර) කරනු යැයි මලක්වරුන්ට පැවසුවෙමු. එවිට ඉබ්ලීස් හැර ඔවුහු සුජූද් කළෝය. ඔහු සිරස නමන්නන් අතුරින් නොවීය.

(12) මා නුඹට නියෝග කළ අවස්ථාවෙහි නුඹ සිරස නොනැමීමට නුඹ ව වැළැක් වූයේ කුමක් ද? යැයි (අල්ලාහ්) පැවසුවේය. (එවිට) මම ඔහුට වඩා ශ්‍රේෂ්ඨය. නුඹ මා මවා ඇත්තේ ගින්නෙනි. නුඹ ඔහු මවා ඇත්තේ මැටියෙනි යැයි ඔහු පැවසීය.

(13) එසේ නම් නුඹ මෙයින් පහළට බසිනු. මෙහි උඩඟුකම් පෑම නුඹට සුදුසු නොවේ. එබැවින් නුඹ පිට ව යනු. නියත වශයෙන්ම නුඹ පහත් අය අතුරිනි යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේය.

(14) ඔවුන් (මළවුන්ගෙන්) නැගිටුවනු ලබන දින දක්වා මට නුඹ අවකාශය දෙනු යැයි ඔහු (ෂෙයිතාන්) කීවේය.

(15) නියත වශයෙන් නුඹ අවකාශය දෙනු ලැබූවන් අතුරිනි යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේය.

(16) නුඹ මා නොමඟ යැවූ බැවින් නිසැකවම මමද මෙම ජනයා නුඹේ ඍජු මාර්ගයෙහි යාම වැළැක්වීම සඳහා (ඒ) මොහොත එනතුරු බලා සිටිමි යැයි (ෂයිතාන්) පැවසුවේය.

(17) පසු ව මම ඔවුන්ගේ ඉදිරි පසින් ද ඔවුන්ගේ පසුපසින් ද ඔවුන්ගේ දකුණු පසින් ද ඔවුන්ගේ වම් පසින්ද ඔවුන් වෙත පැමිණෙමි. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා කෘතවේදීන් ලෙස නුඹ නොදකිනු ඇත.

(18) මෙහි සිට නුඹ අවමානයට ලක්වූවකු සේ හා පලවා හරිනු ලැබූවකු සේ පිට ව යනු. ඔවුන් අතුරින් කවරෙකු නුඹ ව අනුගමනය කළේ ද සැබැවින්ම නුඹලා සියල්ලන්ගෙන්ම නිරය පුරවන්නෙමි යැයි ඔහු (අල්ලාහ්) පැවසීය.

(19) තවද අහෝ ආදම් ! ඔබ හා ඔබේ බිරිය ස්වර්ගයේ වාසය කරනු. ඔබ දෙපළ කැමති අයුරින් අනුභව කරනු. නමුත් මෙම ගසට ළං නොවනු. එවිට නුඹලා දෙදෙනා අපරාධකරුවන් අතුරින් වන්නෙහුය.

(20) ඔවුන් දෙදෙනාට අන්‍යෝනය වශයෙන් සඟවනු ලැබූ ඔවුන් දෙදෙනාගේ රහස්‍ය පෙදෙසින් ආවරණය කරනු ලැබූ දෑ ඔවුන් දෙදෙනාගෙන් හෙළි කිරීමට ෂෙයිතාන් ඔවුන් දෙදෙනාට කුකුස ඇති කළේය. තවද නුඹලා දෙදෙනා මලක්වරුන් දෙදෙනෙකු වීමට හෝ නුඹලා දෙදෙනා සදාතනිකයින් අතුරින් වීමට හෝ මිස නුඹලා දෙදෙනාගේ පරමාධිපති නුඹලා දෙදෙනා ව මෙම ගසින් වැළැක්වූයේ නැතැයි ඔහු පවසා සිටියේය.

(21) සැබැවින්ම මම (මේ ගැන) නුඹලා දෙදෙනාට උපදෙස් දෙන්නන් අතුරින් වීමි යැයි ඔවුන් දෙදෙනාට ඔහු දිවුරා පැවසුවේය.

(22) රැවටීමෙන් ඔවුන් දෙදෙනා ව ඔහු පහත් කළේය. පසු ව ඔවුන් දෙදෙනා එම ගසින් රස වින්ද කල්හි ඔවුන් දෙදෙනාගේ රහස්‍ය පෙදෙස් ඔවුන් දෙදෙනාට හෙළි විය. ස්වර්ග උයනේ කොළයකින් ඔවුන් දෙදෙනා මත වසා ගැනීමට ඔවුන් දෙදෙනා තැත් කළෝය. තවද මෙම ගසින් මා නුඹලා දෙදෙනා නොවැළැක්වූයෙම් ද, තවද සැබැවින්ම ෂෙයිතාන් නුඹලා දෙදෙනාට ප්‍රකට සතුරා යැයි මම නුඹලා දෙදෙනාට නොකීවෙම් දැයි පවසා ඔවුන් දෙදෙනාගේ පරමාධිපති (අල්ලාහ්) ඔවුන් දෙදෙනා ව ඇමතීය.

(23) අපගේ පරමාධිපතියාණනි ! අපි අපටම අපරාධ කර ගත්තෙමු. තවද නුඹ අපට සමාව නොදුන්නේ නම් එමෙන්ම නුඹ අපට කරුණා නොකළේ නම් සැබැවින්ම අපි පාඩු විඳින්නන් අතුරින් වන්නෙමු යැයි ඔවුන් දෙදෙනා පවසා සිටියහ.

(24) නුඹලා පහළට බසිනු. නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකුට සතුරුය. තවද නුඹලාට නියමිත කාලයක් දක්වා මහපොළොවේ වාසස්ථානය ද භුක්ති විඳීම ද ඇත යැයි ඔහු පැවසුවේය.

(25) එහි නුඹලා ජීවත් වනු ඇත. තවද එහිදී ම නුඹලා මරණයට පත් වනු ඇත. තවද එයින්ම නුඹලා බැහැර කරනු ලබනු ඇත යැයි ඔහු පැවසුවේය.

(26) ආදම්ගේ දරුවනි ! නුඹලාගේ රහස්‍ය පෙදෙස් ආවරණය කරනු ලබන සහ අලංකාරයද ලබා දෙන වස්ත්‍ර සැබැවින්ම අපි නුඹලා වෙත ලබා දුන්නෙමු. එනමුත් දේව බැති (තක්වා) වස්ත්‍රය එයමයි ශ්‍රේෂ්ඨ වනුයේ. එය අල්ලාහ්ගේ සංඥාවන් අතුරිනි. (මෙමගින්) ජනයා තුළ යහපත් සිතුවිලි ජනිත විය හැකිය.

(27) ආදම්ගේ දරුවනි, නුඹලාගේ දෙමාපියන් ස්වර්ග උයනින් ඔහු බැහැර කළාක් මෙන් ෂෙයිතාන් නුඹලා ව ව්‍යාකූලත්වයට පත් නොකළ යුතුය. ඔවුන් දෙදෙනාට ඔවුන් දෙදෙනාගේ රහස්‍ය පෙදෙස් පෙන්වීම පිණිස ඔවුන් දෙදෙනාගේ වස්ත්‍ර ඔවුන් දෙදෙනාගෙන් ඔහු ගලවා දැමීය. නියත වශයෙන්ම නුඹලා ඔවුන් ව නොදකින අයුරින් ඔහු හා ඔහුගේ ගෝත්‍රිකයින් නුඹලා ව දකියි. (සත්‍යය) විශ්වාස නොකරන්නන්හට හිත මිතුරන් ලෙස නියත වශයෙන්ම අපි ෂෙයිතානුන් ව පත් කළෙමු.

(28) ඔවුන් යම් අශික්ෂිත දෙයක් කළ විට ‘අපගේ මුතුන්මිත්තන් මේ මත සිටිනු අපි දුටුවෙමු. තවද අල්ලාහ් අපට මෙය අණ කර ඇත’ යැයි පැවසුවෝය. (නබිවරය) නියත වශයෙන්ම අල්ලාහ් අශික්ෂිත දෑ පිළිබඳ ව අණ නොකරයි. නුඹලා නොදන්නා දෑ අල්ලාහ් මත (ගොතා) පවසන්නෙහු ද?

(29) මාගේ පරමාධිපති යුක්තිය අණ කර ඇතැයි (නබිවරය !) නුඹ පවසනු. සිරස නමන සෑම ස්ථානයකම නුඹලාගේ මුහුණු ස්ථාපිත කරනු. තවද නුඹලා ඔහුට පමණක් දහම පුද කොට අවංකයින් ලෙසින් ඔහුගෙන් අයැද සිටිනු. නුඹලා ව ඔහු ආරම්භ කළාක් මෙන් නුඹලා නැවත (ඔහු වෙතම) හැරී යනු ඇත.

(30) පිරිසකට ඔහු මඟ පෙන්වීය. තවත් පිරිසකට ඔවුන් කෙරෙහි මුළාව නියම විය. නියත වශයෙන්ම ඔවුහු අල්ලාහ්ගෙන් තොර ව ෂෙයිතානුන් ව හිත මිතුරන් ලෙස ගත්තෝය. තවද සැබැවින්ම තමන් යහමඟ ලැබූවන් යැයි ඔවුහු සිතති.

(31) ආදම්ගේ දරුවනි, (සලාතය සඳහා) සිරස නමන සෑම ස්ථානයකම නුඹලාගේ අලංකාරත්වය ගනු. තවද නුඹලා අනුභව කරනු. පානය කරනු. නමුත් නුඹලා නාස්ති නොකරනු. නියත වශයෙන්ම ඔහු නාස්තිකාරයින් ව ප්‍රිය නොකරයි.

(32) තම ගැත්තන්හට ප්‍රධානය කළ අල්ලාහ්ගේ අලංකාරය හා පෝෂණයන්ගෙන් වූ යහපත් දෑ තහනම් කර ගන්නා කවරෙකු දැයි (නබිවරය !) නුඹ පවසනු. මෙය මෙලොව ජීවිතයේ ද, විශේෂයෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී ද විශ්වාස කළවුනට සතු වූවකි. දැනුම ඇති පිරිසට මෙම සංඥාවන් අපි පැහැදිලි කරනුයේ එලෙසය.

(33) "මාගේ පරමාධිපති තහනම් කර ඇත්තේ අශික්ෂිත දෑ ද එයින් එළිපිට වන දෑ ද රහසිගතව වන දෑ ද, පාපය ද, යුක්තියකින් තොර ව සීමාව ඉක්මවීම ද, කවර දෙයක් පිළිබඳ ව අල්ලාහ් කිසිදු සාධකයක් පහළ නොකළේද එවැන්නකින් ඔහුට නුඹලා ආදේශ තැබීම ද, නුඹලා නොදන්නා දෑ අල්ලාහ් මත (ගොතා) පැවසීම ද වේ" යැයි (නබිවරය !) නුඹ පවසනු.

(34) සෑම සමූහයකටම නිශ්චිත කාලයක් ඇත. ඔවුන්ගේ නිශ්චිත කාලය පැමිණි විට ඔවුන් මොහොතක් හෝ ප්‍රමාද නොවනු ඇත. එමෙන්ම ඔවුන් පෙරටු ව යන්නේ ද නැත.

(35) ආදම්ගේ දරුවනි! මාගේ වදන් නුඹලා වෙත පවසන නුඹලා අතුරින් වූ දූතවරු නුඹලා වෙත පැමිණියේ නම් එවිට කවරෙකු දේව බිය හැඟීමෙන් කටයුතු කොට තමන් ව හැඩගස්වා ගත්තේ ද එවිට ඔවුන් කෙරෙහි කිසිදු බියක් නොමැත. තවද ඔවුහු දුකට පත් නොවෙති.

(36) තවද, කවරෙකු අපගේ වදන් බොරු කොට ඒ පිළිබඳ (විශ්වාස කිරීම ගැන) උඩඟු කම පෙන්වන්නේද ඔවුහු නිරා ගින්නේ සගයෝය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.

(37) එහෙයින් අල්ලාහ් මත බොරු ගොතා පවසන්නාට වඩා හෝ ඔහුගේ වදන් බොරු කළ අයට වඩා මහා අපරාධකරු කවරෙකු ද? ඔවුනට නියම කරන ලද ඔවුන්ගේ ( ලෞකික වස්තූන් වැනි) කොටස ඔවුනට හිමි වනු ඇත. අවසානයේ අපගේ දූතවරු ඔවුන් අත්පත් කර ගැනීම සඳහා පැමිණි විට ‘අල්ලාහ්ගෙන් තොර ව නුඹලා අයැදිමින් සිටි දෑ කොහේදැයි විමසති. (එවිට) ඔවුහු ඔවුන් අපෙන් මුළා වී ඇතැයි පවසති. තවද තමන් දේව ප්‍රතික්ෂේපකයින් ව සිටී බවට ඔවුහු ඔවුන්ටම (එරෙහිව) සාක්ෂි දරති.

(38) ජින් වර්ගයා හා මිනිස් වර්ගයා අතුරින් නුඹලාට පෙර ඉකුත් වී ගොස් නිරයේ වෙසෙන සමූහයන් තුළට නුඹලා ද පිවිසෙනු යැයි ඔහු පවසයි. සෑම සමූහයක්ම පිවිසෙන විට ඔවුහු තම සහෝදර සමූහයාට ශාප කරති. එකින් පසු එක ඔවුන් සියල්ලම එහි ළඟා වූ විට ඔවුන්ගෙන් පසු අය ඔවුන්ගෙන් මුල් අයට එරෙහි ව අපගේ පරමාධිපතියාණනි ! අප ව නොමඟ හැරියේ මොවුහුය. එබැවින් ඔවුනට නිරා ගින්නේ දෙගුණයක දඬුවමක් පිරිනමනු මැනවි යැයි පවසති. සෑම කෙනෙකුටම දෙගුණය(ක දඬුවම)ක් ඇත. එනමුත් නුඹලා එය නොදන්නෙහුය යැයි ඔහු පවසයි.

(39) එමෙන්ම ‘අපට වඩා කිසිදු මහිමයක් නුඹලාට නොවීය. එබැවින් නුඹලා ද නුඹලා උපයමින් සිටි දෑ හේතුවෙන් මෙම දඬුවම භුක්ති විඳිනු’ යැයි ඔවුන්ගෙන් මුල් අය ද ඔවුන්ගෙන් පසු අය දෙස බලා පවසති.

(40) සැබැවින්ම අපගේ වදන් බොරු කොට එය (පිළිගැනීමට) උඬඟුවූවන් වන ඔවුනට අහස්හි දොරටු විවෘත කරනු නොලැබේ. ඔටුවා ඉඳි කටු සිඳුර තුළට පිවිසෙන තෙක් ඔවුහු ස්වර්ගයට නොපිවිසෙති. මෙලෙසය අපි වැරදිකරුවන්ට ප්‍රතිවිපාක පිරිනමනුයේ.

(41) ඔවුනට නිරයෙන් වූ පලසක් ඇත. එමෙන්ම ඔවුනට ඉහළින් පොරෝණයක් ද ඇත. තවද එලෙසය අපි අපරාධකරුවන්ට ප්‍රතිවිපාක පිරිනමනුයේ.

(42) තවද ( අපගේ ශුද්ධ වූ වදන්) විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුන්ගේ ශක්ති ප්‍රමාණයට අනුව වගකීම් පැවැරුවෙමු. ඔවුහුමය ස්වර්ග වැසියෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.

(43) (මෙලොව දී) ඔවුන්ගේ හදවත් තුළ තිබූ ක්‍රෝධය වැනි දෑ අපි ඉවත් කළෙමු. ඔවුනට පහළින් ගංගා ගලා බසිති. තවද "මේ සඳහා අපට මඟ පෙන්වූ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා. අල්ලාහ් අපට (යහ) මඟ නොපෙන්වූයේ නම් අප යහ මඟ ලබන්නන් නොවෙමු. අපගේ පරමාධිපතිගේ දූතවරු සත්‍යයම ගෙන ආහ" යැයි ඔවුන් පවසනු ඇත. එමෙන්ම "නුඹලා කරමින් සිටී දෑ හේතුවෙන් නුඹලාට උරුම කරනු ලැබූ ස්වර්ගය මෙය වේ" යැයි ඔවුන් ඇරයුම් කරනු ලබති.

(44) අපගේ පරමාධිපති අපහට ප්‍රතිඥා දුන් දෑ සැබෑ ලෙසින්ම අපි ලබා ඇත්තෙමු. නුඹලාගේ පරමාධිපති නුඹලාට ප්‍රතිඥා දුන් දෑ නුඹලා සැබෑ ලෙසින්ම ලබා ඇත්තේ දැයි ස්වර්ගවාසීහු නිරාවාසීන් අමතා අසති. එසේය යැයි ඔවුහු පවසනු ඇත. එවිට අපරාධකරුවන් කෙරෙහි අල්ලාහ්ගේ ශාපය ඇතැයි ඔවුන් අතරින් වූ නිවේදකයෙකු (ඔවුනට) නිවේදනය කරයි.

(45) ඔවුහු වනාහි අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වන්නෝ වෙති. තවද ඔවුහු එහි අඩුපාඩු සොයති. එමෙන්ම මතු ලොව ප්‍රතික්ෂේප කරන්නෝ ඔවුහුමය.

(46) තවද ඔවුන් දෙපිරිස අතර ආවරණයක් පවතී. උස් ස්ථානය මත ඇතැම් පුද්ගලයෝ වෙති. සෑම කෙනෙකුවම ඔවුන්ගේ සලකුණු වලින් ඔවුන් හඳුනා ගනු ඇත. පසු ව ඔවුහු ස්වර්ග වාසීන් අමතා නුඹලාට ශාන්තිය අත්වේවා ! යැයි පවසති. ඔවුන් ආශා කරමින් සිටිය ද ඔවුහු එහි (තවද) ඇතුළු නොවූහ.

(47) ඔවුන්ගේ බැල්ම නිරා වැසියන් දෙසට යොමු කරනු ලබන විට ‘අපරාධකාරී ජනයා සමඟ අප ව පත් නොකරනු මැනව’ යි ඔවුහු පවසනු ඇත.

(48) (ස්වර්ගය හා නිරය අතර වූ) උස් ස්ථානය මත වූ වැසියන් ඇතැම් පුද්ගලයින් අමතති. ඔවුන්ගේ සලකුණු වලින් ඔවුන් ව ඔවුහු හඳුනා ගනිති. නුඹලාගේ සමූහය හා නුඹලා විශිෂ්ට යැයි සිතූ උපාංග (අද) නුඹලාට කිසිඳු ප්‍රයෝජනයක් ලබා නොදේ යැයි ඔවුහු පවසති.

(49) අල්ලාහ් ඔවුනට දයාව ලබා නොදෙනු ඇත යැයි නුඹලා දිවුරා පැවසූ අය මොවුහු ද (යැයි ස්වර්ග වාසීහු දේව ප්‍රතික්ෂේපකයින්ගෙන් විමසති.) නුඹලා ස්වර්ගයට පිවිසෙනු, නුඹලාට කිසිදු බියක් නොමැත තවද නුඹලා දුකට පත් වන්නේ ද නැත ( යැයි පවසනු ලැබේ).

(50) නිරා වැසියෝ ස්වර්ග වාසීන් අමතා අප මත ජලයෙන් හෝ අල්ලාහ් නුඹලාට පෝෂණය කළ දැයින් හෝ වක් කරන්නැයි පවසති. දේව ප්‍රතික්ෂේපකයින් වෙත ඒ දෙකම සැබැවින්ම අල්ලාහ් තහනම් කර ඇතැයි ඔවුහු පවසනු ඇත.

(51) ඔවුන් වනාහි ඔවුන්ගේ දහම ඔවුන් විහිළුවක් ලෙස හා සෙල්ලමක් ලෙස ගත් අය වෙති. තවද මෙලොව ජීවිතය ඔවුන් ව මුළා කළේය. එබැවින් ඔවුන් ඔවුන්ගේ මෙම හමුවීම අමතක කර දමා අපගේ වදන් ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සිටියාක් මෙන් අද දින අපි ද ඔවුන් අමතක කර දමන්නෙමු.

(52) ඔවුන් වෙත දේව ග්‍රන්ථය ගෙනැවිත් දුන්නෙමු. එය අපි දැනුම මත පදනම් කරමින් විශ්වාස කරන ජනයාට මඟ පෙන්වීමක් හා දයාවක් ලෙස පැහැදිලි කර ඇත්තෙමු.

(53) මොවුහු ( දේව ධර්මයෙහි අනතුරු අගවා තිබූ) එහි අවසානය මිස වෙනත් කිසිවක් ඔවුහු බලාපොරොත්තු වන්නෙහු ද? එහි අවසානය පැමිණෙන දින මීට පෙර එය උදාසීන කළවුන් ‘සැබැවින්ම අපගේ පරමාධිපතියාණන්ගේ දූතවරු අප වෙත පැමිණියේමය. අප වෙනුවෙන් මැදිහත්වන්නන් අතුරින් කිසිවකු සිටිනවා ද? එසේ නම් ඔවුහු අප වෙනුවෙන් මැදිහත් වනු ඇත. නැතහොත් අපි නැවත හරවා යවනු ලබන්නෙමු ද? එවිට අපි කරමින් සිටි දෑ නොවන (යහපත් ක්‍රියාවන්) කළ හැකි වන්නේ යැයි පවසති. සැබැවින්ම ඔවුන් ඔවුන්ටම අලාභහානි සිදු කර ගත්තෝය. ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන් ව මුළා කළේය.

(54) නියත වශයෙන්ම අහස් හා මහපොළොව දින සයකින් මැව්වේ නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්ය. පසුව ( තම තත්වයට යෝග්‍ය පරිදි) ඔහු අර්ෂය මත වූයේය. ඔහු රාත්‍රියෙන් දහවල ආවරණය කරයි. එය එකිනෙක සීඝ්‍ර පිළිවෙළින් සොයයි. තවද හිරු සඳු හා තරු ඔහුගේ නියෝගය අනුව වසඟ කරනු ලැබූ දෑ වේ. දැන ගනු. මැවීම හා නියෝගය ඔහු සතුය. සකල ලෝකයන්හි පරමාධිපති වන අල්ලාහ් උත්කෘෂ්ට විය.

(55) නුඹලා යටහත් පහත් ව හා රහසිගත ව නුඹලාගේ පරමාධිපතිට අයදිනු. නියත වශයෙන්ම ඔහු සීමාව ඉක්මවා කටයුතු කරන්නන් ව ප්‍රිය නොකරයි.

(56) තවද මහපොළොව හැඩගැස් වූ පසු නුඹලා එහි කලහකම් නොකරනු. තවද බියෙන් හා ආශාවෙන් ඔහුට නුඹලා අයදිනු. නියත වශයෙන්ම අල්ලාහ්ගේ දයාව දැහැමියන්ට සමීපයෙන් ඇත.

(57) තවද තම දයාව අතුරින් ශුභාරංචියක් ලෙස සුළඟ එවනුයේ ඔහුය. අවසානයේ එය ඝන වලාකුළු ඉසිලූ විට මිය ගිය ප්‍රදේශයකට ගමන් කරවා ඉන් පසු ව අපි එමගින් ජලය පහළ කළෙමු. පසු ව අපි එයින් සෑම (පලතුරු) භෝගයක්ම හට ගැන්වූයෙමු. නුඹලා උපදෙස් ලැබිය හැකි වනු පිණිස මිය ගිය දෑ අපි ප්‍රාණවත් කරනුයේ එලෙසය.

(58) තවද සාරවත් පොළොව, එහි පරමාධිපතිගේ අනුහසින් එහි පැළෑටි හට ගන්වයි. නිසරු වී ගිය දෑ (පොළොව) ස්වල්පයක් මිස හට ගන්වන්නේ නැත. කෘතවේදී වන ජනයාට අපි සංඥාවන් පැහැදිලි කරනුයේ එලෙසය.

(59) සැබැවින්ම අපි නූහ් ව ඔහුගේ සමූහයා වෙත එව්වෙමු. එවිට ඔහු මාගේ සමූහයනි ! නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. ඔහු හැර වෙනත් කිසිදු දෙවියෙකු නුඹලාට නොමැත.මහත් වූ දිනයක දඬුවම නුඹලා මත වනු ඇතැයි මම බිය වෙමි යැයි ඔහු පැවසුවේය.

(60) නියත වශයෙන්ම ඔබ පැහැදිලි මුළාවක සිටිනු අපි දකින්නෙමු යැයි ඔහුගේ සමූහයා අතුරින් ප්‍රධානීහු පැවසුවෝය.

(61) මාගේ සමූහයනි ! මා සමඟ කිසිදු මුළාවක් නොමැත. එනමුත් මම සකල ලෝකයන්හි පරමාධිපතිගෙන් වූ දූතයෙකු වෙමි යැයි ඔහු පැවසුවේය.

(62) මාගේ පරමාධිපතිගේ දූත පණිවිඩ මම නුඹලාට දැනුම් දෙමි. තවද මම නුඹලාට උපදෙස් දෙමි. තවද නුඹලා නොදන්නා දෑ අල්ලාහ් වෙතින් මම දැන ගනිමි.

(63) නුඹලා බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරනු පිණිස ද, නුඹලා දයාව ලැබිය හැකි වනු පිණිස ද, නුඹලාට අවවාද කරනු වස් නුඹලා අතුරින් වූ මිනිසෙකු වෙත නුඹලාගේ පරමාධිපතිගෙන් උපදෙසක් නුඹලා වෙත පැමිණීම ගැන නුඹලා පුදුමු වන්නෙහු ද? (යැයි පැවසුවේය)

(64) නමුත් ඔවුහු ඔහු ව බොරු කළෝය. පසු ව අපි ඔහු හා ඔහු සමඟ වූවන් නැව තුළ (ගිලිහී යාමෙන්) මුදවා ගත්තෙමු. තවද අපගේ වදන් බොරු කළවුන් ව ගිල්වූයෙමු. නියත වශයෙන්ම ඔවුහු අන්ධ පිරිසක් වූහ.

(65) ආද් සමූහයා වෙත ඔවුන්ගේ සහෝදර හූද් ව ද (එව්වෙමු.) ඔහු ‘මාගේ සමූහයනි ! නුඹලා අල්ලාහ්ට වන්දනාමානය කරනු. ඔහු හැර නුඹලාට කිසිදු දෙවියෙකු නොමැත. එබැවින් නුඹලා බිය හැඟීමෙන් කටයුතු කළ යුතු නොවේ දැ’යි පැවසුවේය.

(66) නියත වශයෙන්ම ඔබ අඥානකමෙහි සිටිනු අපි දකිමු. එමෙන්ම ඔබ නියත වශයෙන්ම බොරුකාරයින් අතුරින් යැයි ද සිතමු යි ඔහුගේ සමූහයා අතුරින් වූ ප්‍රතික්ෂේප කළ ප්‍රධානීහු පැවසුවෝය.

(67) ‘මාගේ සමූහයනි ! මා වෙත කිසිදු අඥානකමක් නොමැත. එනමුත් මම ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූ දූතයෙක් වෙමි’ යැයි ඔහු පැවසුවේය.

(68) මාගේ පරමාධිපතිගේ පණිවිඩ මම නුඹලාට දන්වමි. තවද මම නුඹලා සඳහා වූ විශ්වාසනීය උපදේශකයකු වෙමි.

(69) නුඹලාට අනතුරු ඇඟවීම වස් නුඹලා අතුරින් වූ මිනිසෙකු වෙත නුඹලාගේ පරමාධිපතිගෙන් උපදෙසක් නුඹලා වෙත පැමිණීම ගැන නුඹලා පුදුමු වන්නෙහු ද? තවද නූහ්ගේ සමූහයාට පසු ව නුඹලා නියෝජිතයින් බවට පත් කිරීම ගැනත් ශරීර ස්වරූපයෙහි පුළුල් බව නුඹලාට අධික ව පිරිනැමීම ගැනත් මෙනෙහි කරනු. එසේම නුඹලා ජයග්‍රහණය ලැබිය හැකි වනු පිණිස අල්ලාහ්ගේ දායාදයන් ගැන මෙනෙහි කර බලනු.

(70) අපගේ මුතුන් මිත්තන් නමදිමින් සිටි දෑ අපි අත හැර දමා අල්ලාහ්ට පමණක් නැමදුම් කිරීම සඳහා නුඹ අප වෙත පැමිණියෙහි ද? නුඹ සත්‍යවාදීන් අතුරින් නම් අපට නුඹ ප්‍රතිඥා දුන් දෑ අප වෙත ගෙන එන්නැයි ඔවුහු පැවසුවෝය.

(71) නුඹලාගේ පරමාධිපතිගෙන් වූ දඬුවම හා කෝපය නුඹලා වෙත පතිත විය. නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන් ඒවාට නම් තැබූ නාමයන් පිළිබඳ නුඹලා මා සමඟ වාද කරන්නෙහු ද? ඒවා පිළිබඳ කිසිදු සාධකයක් අල්ලාහ් පහළ නොකළේය. එබැවින් නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. සැබැවින්ම මම ද නුඹලා සමඟ බලාපොරොත්තුවන්නන් අතුරින් වෙමි යැයි ඔහු පැවසුවේය.

(72) එහෙයින් අපගෙන් වූ දයාලුභාවය හේතුවෙන් ඔහු හා ඔහු සමඟ වූවන් අපි මුදවා ගත්තෙමු. අපගේ වදන් බොරු කළවුන්ගේ මුදුන් මුල කපා හැරියෙමු. තවද ඔවුහු විශ්වාසවන්තයින් ලෙස නොසිටියහ.

(73) තවද සමූද් වෙත ඔවුන්ගේ සහෝදර සාලිහ් ව ද (එව්වෙමු). මාගේ සමූහයනි ! නුඹලා අල්ලාහ්ට ගැතිකම් කරනු. ඔහු හැර නුඹලාට කිසිදු දෙවියකු නොමැත. සැබැවින්ම නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙත පැහැදිලි සාධකයක් පැමිණ ඇත. එය අල්ලාහ්ගෙන් වූ ඔටු දෙනයි. (ඌ) නුඹලාට සංඥාවක් වශයෙනි. අල්ලාහ්ගේ භූමියේ බුදින්නට නුඹලා ඌ අත හැර දමනු. නපුරක් සිදු කිරීමට නුඹලා ඌ ස්පර්ශ නොකරනු. එවිට වේදනීය දඬුවමක් නුඹලා ව ග්‍රහණය කරනු ඇතැයි ඔහු පැවසුවේය.

(74) ආද් (සමූහයා)ට පසු නුඹලා ව ඔහු නියෝජිතයින් බවට පත් කොට මහපොළොවේ වාසය කිරීමට සැලැස් වූ අවස්ථාව නුඹලා මෙනෙහි කරනු. නුඹලා එහි අමුද්‍රව්‍ය තුළින් මාලිගාවන් තනා ගන්නෙහුය. තවද කඳු හාරා නිවාස තනා ගන්නෙහුය. එබැවින් අල්ලාහ්ගේ දායාදයන් නුඹලා මෙනෙහි කරනු. තවද මහපොළොවේ කලහකම් කරන්නන් ලෙසින් පාපකාරී අයුරින් කටයුතු නොකරනු.

(75) ඇත්ත වශයෙන්ම සාලිහ් ඔහුගේ පරමාධිපතිගෙන් එවනු ලැබූවෙක් බව නුඹලා දන්නෙහුදැයි ඔහුගේ සමූහයා අතුරින් උඩඟු වූ ප්‍රධානීහු ඔවුන් අතුරින් දුර්වලයින් ලෙස සලකනු ලැබූ විශ්වාස කළවුනට පවසා සිටියහ. (එවිට) ඔවූහු " ඔහු කුමක් මගින් යවනු ලැබුවේ ද ඒ ගැන අපි විශ්වාස කළවුන් වන්නෙමු" යැයි ඔවුන් පවසා සිටියහ.

(76) ‘නියත වශයෙන්ම නුඹලා කවර දෙයක් පිළිබඳ ව විශ්වාස කළෙහු ද ඒ පිළිබඳ ව අපි ප්‍රතික්ෂේප කරන්නන් වෙමු’ යැයි උඩඟුකම් පෑවෝ පැවසුවෝය.

(77) පසු ව ඔවුහු එම ඔටු දෙන කපා දෑමූහ. තවද ඔවුන්ගේ පරමාධිපතිගේ නියෝගය අබිබවා කටයුතු කළෝය. තවද අහෝ සාලිහ් ! නුඹ රසූල්වරුන් අතුරින් වේ නම් නුඹ අපට ප්‍රතිඥා දෙන දෑ අප වෙත ගෙන එන්නැයි ඔවුහු පැවසුහ.

(78) එසැණින් භූ කම්පනය ඔවුන් හසුකර ගත්තේය. පසු ව ඔවුහු ඔවුන්ගේ නිවෙස් තුළම මළකඳන් බවට පත් වූහ.

(79) පසු ව ඔහු ඔවුන්ගෙන් හැරී ගොස් මාගේ සමූහයනි ! මාගේ පරමාධිපතිගේ දූත පණිවිඩය මම නුඹලාට දන්වා සිටියෙමි. තවද මම නුඹලාට උපදෙස් දුනිමි. එනමුත් නුඹලා උපදේශකයින් ප්‍රිය නොකරන්නෙහුය’ යැයි ඔහු පැවසීය.

(80) තවද ලූත් ව ද (එව්වෙමු.) එවිට ලෝ වැසියන් අතුරින් නුඹලාට පෙර කිසිවකු හෝ නොකළ අශික්ෂිත දෑ නුඹලා කරන්නෙහු දැ? යි තම සමූහයා වෙත ඔහු පැවසුවේය.

(81) නියත වශයෙන්ම නුඹලා කාන්තාවන් හැර දමා කාමුක ලෙසින් පිරිමින් වෙත පැමිණෙන්නෙහුය. එසේම නුඹලා සීමාව ඉක්මවූවන් වෙති. (යැයි පැවසුවේය)

(82) නුඹලා නුඹලාගේ ගමෙන් මොවුන් ව බැහැර කරනු. නියත වශයෙන්ම මොවුන් පිරිසිදු ව සිටින මිනිසුන් පිරිසකි යැයි ඔවුන් පැවසීම මිස ඔහුගේ සමූහයාගේ පිළිතුර නොවීය.

(83) එවිට අපි ඔහුගේ බිරිය හැර ඔහු හා ඔහුගේ (සෙසු) පවුලේ උදවිය මුදවා ගතිමු. ඇය විනාශ වූවන් අතුරින් වූවාය.

(84) තවද අපි ඔවුන් මත වර්ෂාවක් වැස්සවීමු. එබැවින් වැරදිකරුවන්ගේ අවසානය කෙසේ වී දැයි අවධානයෙන් බලනු.

(85) තවද මද්යන්(වාසීන්) වෙත ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ් ව ද (එව්වෙමු.) මාගේ සමූහයනි ! නුඹලා අල්ලාහ්ට වන්දනාමානය කරනු. නුඹලාට ඔහු හැර වෙනත් කිසිදු දෙවියෙකු නොමැත. නුඹලාගේ පරමාධිපතිගෙන් පැහැදිලි සාධකයක් නුඹලා වෙත පැමිණ ඇත. එබැවින් නුඹලා කිරුම් මිනුම් පූර්ණවත් කරනු. ජනයාට ඔවුන්ගේ භාණ්ඩ වල අඩු පාඩු නොකරනු. තවද මහපොළොව සැකසූ පසු ව එහි කලහකම් නොකරනු. නුඹලා විශ්වාසවන්තයින් ව සිටියෙහු නම් එය නුඹලාට ශ්‍රේෂ්ඨ වන්නේ යැයි ඔහු පැවසුවේය.

(86) තවද ඔහු ව විශ්වාස කළවුන්ව, නුඹලා බියවද්දමින්, අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වමින්, අඩු පාඩු සොයමින්, සෑම මාර්ගයකම නුඹලා වාඩි නොවනු. නුඹලා ස්වල්පයක් ව සිටිය දී අපි නුඹලා ව අධික කළ ආකාරය සිහිපත් කරනු. තවද කලහකාරීන්ගේ අවසානය කෙසේ වී දැයි නුඹලා අවධානයෙන් බලනු.‍ෙ

(87) කවර දෙයක් සමඟ මා එවනු ලැබුවේ ද එය නුඹලා අතුරින් පිරිසක් විශ්වාස කොට තවත් පිරිසක් විශ්වාස නොකර සිටියේ නම් එවිට අප අතර අල්ලාහ් තීන්දු දෙන තෙක් නුඹලා ඉවසා සිටිනු. තවද ඔහු තීන්දු ලබා දෙන්නන් අතුරින් ශ්‍රේෂ්ඨය.

(88) අහෝ ෂුඅයිබ් ! සැබැවින්ම අපි නුඹ හා නුඹ සමඟ විශ්වාස කළවුන් අපගේ ප්‍රදේශයෙන් පිටුවහල් කරන්නෙමු. එසේ නැතහොත් නුඹ අපගේ දහම් පිළිවෙත් තුළට නැවත හැරී ආ යුතු යැයි ඔහුගේ සමූහයා අතුරින් උඩඟුකම් පෑ ප්‍රධානීහු කීහ. (එවිට) ඔහු ‘අපි පිළිකුල් කරන්නන් ලෙසින් සිටියත්’ දැයි පැවසුවේය.

(89) ඔබේ දහමින් අල්ලාහ් අප මුදවා ගත් පසු ඒ වෙත අපි නැවත හැරුණේ නම් සැබැවින්ම අපි අල්ලාහ් කෙරෙහි බොරු ගෙතූවන් බවට පත් වෙමු. අපගේ පරමාධිපති වන අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස එහි නැවත හැරී යාම අපට කළ නොහැක. අපගේ පරමාධිපති සියලු දෑ පිළිබඳ ව දැනුමෙන් ව්‍යාප්තය. අපි අල්ලාහ් වෙතම භාර කරමු. අපගේ පරමාධිපතියාණෙනි ! අප අතර ද අපගේ සමූහයා අතර ද යුක්ති ගරුක ව තීන්දු ලබා දෙනු මැනව! තීන්දු ලබා දෙන්නන්ගෙන් ශ්‍රේෂ්ඨ වනුයේ ඔබය. (යැයි ෂුඅයිබ් පැවසීය.)

(90) ‘නුඹලා ෂුඅයිබ් ව අනුගමනය කළෙහු නම් නියත වශයෙන්ම නුඹලා අලාභවන්තයෝ වෙති’ යැයි ඔහුගේ සමූහයා අතුරින් ප්‍රතික්ෂේප කළ ප්‍රධානීහු පැවසුවෝය.

(91) එසැණින් භූ කම්පනය ඔවුන් හසු කර ගත්තේය. පසු ව ඔවුහු ඔවුන්ගේ නිවෙස් තුළම මළකඳන් බවට පත් වූහ.

(92) ෂුඅයිබ් ව බොරු කළවුන් එහි වාසය නොකළාක් මෙන් වූහ. ෂුඅයිබ් ව බොරු කළවුන් වන ඔවුහු අලාභවන්තයින්ම වූහ.

(93) පසු ව ඔවුන්ගෙන් ඔහු ඉවත් ව හැරුණේය. තවද ‘මාගේ සමූහයනි ! සැබැවින්ම මම මාගේ පරමාධිපතිගේ දූත පණිවිඩ නුඹලාට දැනුම් දුනිමි. තවද මම නුඹලාට උපදෙස් දුනිමි. මෙසේ තිබිය දී ප්‍රතික්ෂේපිත ජනයා කෙරෙහි මා දුකට පත් වනුයේ කෙසේ දැ’යි පවසා සිටියහ.

(94) කවර දේශයකට හෝ නබිවරයකු අපි එව්වේ නම් එහි වැසියන් යටහත් පහත් විය හැකි වනු පිණිස අපි ඔවුන් දුෂ්කරතා හා පීඩාවන්ගෙන් ග්‍රහණය නොකර සිටියේ නැත.

(95) පසු ව අපි නපුර වෙනුවට යහපත පරිවර්තනය කළෙමු. අවසානයේ ඔවුහු සමෘද්ධිමත් වූහ. තවද ‘සැබැවින්ම අපගේ මුතුන් මිත්තන්හට දුක හා සතුට ඇති විය’ යැයි ඔවුහු පැවසුවෝය. පසු ව ඔවුන් නොවටහාගනිමින් සිටිය දී අපි අනපේක්ෂිත ලෙසින් ඔවුන් ව ග්‍රහණය කළෙමු.

(96) නියත වශයෙන්ම එම ප්‍රදේශ වැසියන් විශ්වාස කොට බිය බැතියෙන් යුතු ව කටයුතු කර තිබුණේ නම් සැබැවින්ම අහසින් හා මහපොළොවෙන් අපි ඔවුන් වෙත භාග්‍යයන් විවෘත කර දෙන්නට තිබුණි. නමුත් ඔවුහු බොරු කළෝය. එවිට අපි ඔවුන් උපයමින් සිටි දෑ හේතුවෙන් ඔවුන් ව ග්‍රහණය කළෙමු.

(97) ඔවුන් රාත්‍රියේ නිදා ගන්නන් ලෙස සිටිය දී අපගේ දඬුවම ඔවුන් වෙත පැමිණීම ගැන ප්‍රදේශවාසීහු අභයදායී ව සිටින්නෝ ද?

(98) ඔවුහු කෙළිලොල් කරමින් සිටිය දී පෙරවරුවේ අපගේ දඬුවම ඔවුන් වෙත පැමිණීම ගැන ප්‍රදේශවාසීහු අභයදායී ව සිටින්නෝ ද?

(99) අල්ලාහ්ගේ උපාය මාර්ගයට ඔවුහු අභයදායී ව සිටින්නෝ ද? අලාභවන්ත පිරිස මිස අල්ලාහ්ගේ උපාය මාර්ගයට වෙනත් කිසිවකු අභයදායී ව නොසිටියි.

(100) පොළොවෙහි පෙර විසූ වැසියන්ට පසු ව එයට උරුමකරුවන් ලෙස පැමිණි ඔවුන්ට අපි අභිමත කළේ නම් ඔවුන්ගේ පාපයන් හේතුවෙන් දඬුවම් කරන වග හා ඔවුන්ගේ හදවත් මත මුද්‍රා තබන වග නොවැටහේ ද? ඔවුහු (යහපත් උපදේශයන් කෙරෙහි) සවන් නොදෙති.

(101) මෙම ගම්මානයන් පිළිබඳ ව, එහි පුවත් අපි නුඹට දන්වමු. සැබැවින්ම ඔවුන්ගේ දූතවරු පැහැදිලි සාධක සමඟ ඔවුන් වෙත පැමිණියහ. නමුත් මීට පෙර බොරු කළ දෑ ඔවුන් විශ්වාස කරන්නන් නොවූහ. දේව ප්‍රතික්ෂේපකයින්ගේ හදවත් මත අල්ලාහ් මුද්‍රා තබනුයේ මෙලෙසය.

(102) ඔවුන්ගෙන් බහුතරයක් දෙනා කිසියම් ප්‍රතිඥාවක සිටිනු අපි නොදකිමු. තවද අපි ඔවුන්ගෙන් බහුතරයක් දෙනා පාපකම් කරන්නන් ලෙසම දකිමු.

(103) ඔවුන්ගෙන් පසු ව අපි මූසා ව අපගේ සංඥා සමඟ ෆිර්අවුන් හා ඔහුගේ ප්‍රධානීන් වෙත එව්වෙමු. එවිට ඔවුහු ඒවාට අපරාධ කළෝය. එබැවින් කලහකාරීන්ගේ අවසානය කෙසේ වී දැයි අවධානයෙන් බලනු.

(104) අහෝ ෆිර්අවුන් ! නියත වශයෙන්ම මම සකල ලෝකයන්හි පරමාධිපතිගෙන් වූ දූතයෙකු වෙමි යැයි මූසා පැවසුවේය.

(105) අල්ලාහ් මත සත්‍යය හැර වෙනත් කිසිවක් මා නොපැවසීම ගැන වගකිව යුත්තෙක් වෙමි. නුඹලාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් සමඟ සැබැවින්ම මම නුඹලා වෙත පැමිණ ඇත්තෙමි. එබැවින් මා සමඟ ඉස්රාඊල් දරුවන් ව එවනු. (යැයි මූසා පැවසුවේය.)

(106) (එයට ෆිර්අව්න්) නුඹ පැහැදිලි සාධකයක් ගෙන ආ අයෙකු වී නම් නුඹ සත්‍යවාදීන්ගෙන් කෙනෙකු ද වී නම් එය ගෙන එනු යැයි ඔහු පැවසුවේය.

(107) එවිට ඔහු ඔහුගේ සැරයටිය දැමුවේය. එවිට එය පැහැදිලි සර්පයකු විය.

(108) ඔහු තම අත (ලෝගුවෙන්) ඉවත දැමුවේය. එවිට එය බලන්නන් හට සුදු පැහැයෙන් දිස්විණ.

(109) ෆිර්අවුන්ගේ පිරිස අතුරින් වූ ප්‍රධානීහු "නියත වශයෙන්ම මොහු ඥානාන්විත හූනියම් කරුවෙකි" යැයි පවසා සිටියෝය.

(110) මොහු නුඹලා ව නුඹලාගේ භූමියෙන් පිටුවහල් කිරීමට සිතන්නේය. එහෙයින් නුඹලා (මට) නියෝග කරනුයේ කුමක් ද?

(111) ඔවුහු (ෆිර්අව්න්ට මෙසේ) පැවැසූහ. මොහුට හා මොහුගේ සහෝදරයාට කල් දෙනු. එක්රැස් කරන්නන් (හූනියම් කරුවන් රැස් කිරීමට) නගර වලට යවනු.

(112) මනා ඥානය ඇති සෑම හූනියම්කරුවකුම ඔවුහු නුඹ වෙත ගෙන එනු ඇත.

(113) තවද හූනියම්කරුවෝ ෆිර්අවුන් වෙත පැමිණ ‘සැබැවින්ම අපි ජය ලබන්නන් වීමු නම් සැබැවින්ම අපට කුලියක් හිමි විය යුතුය’ යැයි පැවසුවෝය.

(114) එසේය. තවද නුඹලා (මට) සමීපතයින් අතුරිනි යැයි ඔහු පැවසුවේය.

(115) අහෝ මූසා ! (විජ්ජාවන්) නුඹ දමන්නෙහි ද නැතිනම් අපිම දමන්නන් වන්නෙමු දැයි ඇසුවෝය.

(116) නුඹලා දමනු යැයි ඔහු පැවසුවේය. ඔවුහු එය දැමූ කල්හි ජනයාගේ ඇස් බැන්දුම් කොට ඔවුන් ව බිය වැද්දූහ. තවද ඔවුහු මහත් හූනියම් (විජ්ජාවක්) ගෙන ආහ.

(117) තවද ‘නුඹ නුඹේ සැරයටිය දමනු’ යැයි අපි මූසා වෙත දන්වා සිටියෙමු. එවිට එය ඔවුන් සිදු කළ විජ්ජාවන් ගිල දැමීය.

(118) තවද සත්‍ය පැහැදිලි වූයේය. ඔවුන් කරමින් සිටි දේ නිෂ්ඵල විය

(119) එවිට එහි ඔවුන් පරාජයට පත් කරන ලදී. තවද ඔවුහු අවමානයට ලක් වූහ.

(120) තවද හූනියම්කරුවන් යටහත් වන්නන් බවට පත් කරන ලදී.

(121) සකල ලෝකයන්හි පරමාධිපති ව අපි විශ්වාස කළෙමු යැයි ඔවුහු පැවසුවෝය.

(122) (ඔහු) මූසාගේ හා හාරූන්ගේ පරමාධිපතියාය.

(123) ‘මා නුඹලාට අවසර දීමට පෙර නුඹලා ඔහු ව විශ්වාස කළෙහුය. නියත වශයෙන්ම මෙය නුඹලා නගරයේ සිටිය දී එහි වැසියන් එයින් නුඹලා බැහැර කරනු වස් කුමන්ත්‍රණය කළ කුමන්ත්‍රණයකි. එහෙයින් නුඹලා (මෙහි විපාකය) මතු දැන ගනු ඇතැ’යි ෆිර්අවුන් පැවැසුවේය.

(124) නුඹලාගේ අත් හා නුඹලාගේ පාද මාරුවෙන් මාරුවට කපා දමන්නෙමි. පසු ව නුඹලා සියල්ලන් ව කුරිසියේ තබා ඇණ ගසන්නෙමි.

(125) ‘නියත වශයෙන්ම අපි අපගේ පරමාධිපති වෙත හැරෙන්නන් වන්නෙමු’ යැයි ඔවුහු පැවසුවෝය.

(126) අපගේ පරමාධිපතිගේ සංඥා අප වෙත පැමිණි කල්හි අපි විශ්වාස කළ බැවින් මිස නුඹ අපගෙන් පළිගත්තේ නැත. අපගේ පරමාධිපතියාණෙනි ! අප වෙත ඉවසීම හෙළනු මැනව ! තවද (නුඹට අවනත වන) මුස්ලිම්වරුන් බවට අප මරණයට පත් කරනු මැනව ! (යැයි පැවසූහ.)

(127) තවද මෙම පොළොවේ ඔවුන් කලහකම් කිරීමටත්, ඔබ හා ඔබගේ දෙවිවරුන් අතහැර දැමීමටත් මූසා හා මූසාගේ පිරිස ව ඔබ අත හැර දමන්නෙහි දැයි ෆිර්අවුන්ගේ පිරිසගෙන් වූ ප්‍රධානීහු පවසා සිටියහ. (එවිට) ඔවුන්ගේ පිරිමි දරුවන් ඝාතනය කරමු. ඔවුන්ගේ ගැහැනු දරුවන් පණපිටින් අත හැර දමමු. තවද සැබැවින්ම අපි ඔවුනට ඉහළින් බලය යොදවන්නන් වෙමු යැයි ඔහු පැවසීය.

(128) නුඹලා අල්ලාහ්ගෙන් උදව් පතනු. ඉවසීමෙන් දරා ගනු. නියත වශයෙන්ම පොළොව අල්ලාහ් සතුය. ඔහුගේ ගැත්තන් අතුරින් ඔහු අභිමත කරන අයට එය උරුම කර දෙනු ඇත. තවද අවසානය දේව බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන්හටය යැයි මූසා ඔහුගේ පිරිසට පැවසීය.

(129) නුඹ අප වෙත පැමිණීමට පෙර ද නුඹ අප වෙත පැමිණීමට පසු ද අපි පීඩාවට පත් කරනු ලැබුවෙමු යැයි ඔවුහු පැවසුවෝය. නුඹලාගේ පරමාධිපති නුඹලාගේ සතුරන් විනාශ කර දමා නුඹලා ව පොළොවේ නියෝජනය කරන්නට සලස්වන්නට පුළුවන. එවිට නුඹලා ක්‍රියා කරනුයේ කෙසේ දැයි ඔහු අවධානයෙන් බලනු ඇතැයි ඔහු පැවසීය.

(130) ඔවුන් මෙනෙහි කරනු හැකි වනු පිණිස නියඟයෙන් හා භවබෝග හිග කිරීමෙන් සැබැවින්ම අපි ෆිර්අවුන්ගේ පිරිස ග්‍රහණය කළෙමු.

(131) ඔවුනට යහපත පැමිණි විට මෙය අප වෙනුවෙන් යැයි ඔවුහු පවසති. ඔවුනට යම් නපුරක් ඇති වන්නේ නම් මූසා හා ඔහු සමඟ වූවන්ගෙන් ඇති වූ අසුබ නිමිත්තක් යැයි සිතති. දැන ගනු. ඔවුන්ගේ අසුබ නිමිති අල්ලාහ් වෙතය. එනමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනා (ඒ බව) නොදනිති.

(132) තවද නුඹ අප එමගින් වශී කරනු පිණිස කවර හෝ සංඥාවක් අප වෙත ගෙන ආව ද නුඹ ව අපි විශ්වාස කරන්නන් නොවෙමු යැයි ඔවුහු පැවසුවෝය.

(133) එබැවින් අපි ඔවුන් වෙත ගංවතුර, පළඟැටියන්, උකුණන්, ගෙම්බන් හා රුධිරය පැහැදිලි සංඥා වශයෙන් එව්වෙමු. නමුත් ඔවුහු උඩඟුකම් පෑහ. තවද (කුරිරු ලෙස) වැරදි කරන පිරිසක් බවට පත් වූහ.

(134) ඔවුන් මත දඬුවම පතිත වූ කල්හි අහෝ මූසා ! ඔබගේ පරමාධිපති ඔබ වෙතින් ප්‍රතිඥා ගත් අයුරින් ඔබ අප වෙනුවෙන් ඔහුගෙන් ප්‍රාර්ථනා කරනු මැනව ! මෙම දඬුවම අප වෙතින් ඔබ ඉවත් කර දුන්නේ නම් නියත වශයෙන්ම අපි ඔබ ව විශ්වාස කරන්නෙමු. තවද ඔබ සමඟ ඉස්රාඊල් දරුවන් ව යවන්නෙමු යැයි ඔවුහු පැවසුවෝය.

(135) එවිට ඔවුන් එය(විනාශය) ළඟා කර ගන්නා නිශ්චිත කාලයක් දක්වා ඔවුන්ගෙන් එම දඬුවම අපි ඉවත් කළ කල්හි එවිට ඔවුහු ප්‍රතිඥා කඩ කරන්නන් වූහ.

(136) එහෙයින් අපි ඔවුනට දඬුවම් කළෙමු. නියත වශයෙන්ම ඔවුන් අපගේ වදන් බොරු කළ බැවින් ද ඒ පිළිබඳ ඔවුන් නොසැලකිලිමත්වූවන් ලෙස සිටි බැවින් ද අපි ඔවුන් මුහුදෙහි ගිල්වූයෙමු.

(137) දුර්වලයින් ලෙස සලකනු ලබමින් සිටී පිරිසට, මහපොළොවේ එහි අපි සමෘද්ධිය ඇති කළ නැගෙනහිර දිශාවන් හා බටහිර දිශාවන් උරුම කර දුනිමු. ඉස්රාඊල් දරුවන් ඉවසීමෙන් සිටි බැවින් නුඹේ පරමාධිපතිගේ අලංකාර වදන ඔවුන් කෙරෙහි පූර්ණවත් විය. ෆිර්අවුන් හා ඔහුගේ පිරිස සිදු කරමින් සිටි දෑ ද ඔවුන් උසට තනමින් සිටි දෑ ද අපි මුළුමණින්ම විනාශ කර දැමුවෙමු.

(138) ඉස්රාඊල් දරුවන් මුහුද තරණය කරන්නට අපි සැලැස්සුවෙමු. පසු ව තමන් සතු පිළිම මත නමදිමින් සිටින පිරිසක් වෙත ඔවුහු පැමිණියෝය. ‘අහෝ මූසා ! ඔවුන් සතු ව ඇති දෙවියන් මෙන් දෙවියකු අප වෙනුවෙන් පත් කරනු’ යැයි ඔවුහු පැවසුවෝය. ‘සැබැවින්ම නුඹලා අඥානකමින් සිටින පිරිසකැ’යි ඔහු පැවසුවේය.

(139) නියත වශයෙන්ම ඔවුන් වනාහි ඔවුන් කවර විෂයක සිටියේ ද එය විනාශ වන්නකි. තවද ඔවුහු සිදු කරමින් සිටි දෑ ද නිෂ්ඵලය.

(140) ‘ලෝවැසියනට වඩා නුඹලා ව ඔහු උසස් කර තිබිය දී අල්ලාහ් නොවන දෑ ද මා නුඹලා වෙනුවෙන් සෙවිය යුත්තේ’ යැයි ඔහු (මූසා) පැවසුවේය.

(141) නුඹලාගේ පිරිමි දරුවන් ඝාතනය කර නුඹලාගේ ගැහැනුන් ජීවත් කරවා දඬුවමේ වේදනාව විඳවන්නට සැලැස් වූ ෆිර්අවුන්ගේ පැලැන්තියෙන් නුඹලාව මුදවා ගත් අවස්ථාව සිහිපත් කරනු. තවද මෙහි නුඹලාගේ පරමාධිපතිගෙන් අති මහත්වූ පරීක්ෂණයක් විය.

(142) මූසාට අපි රාත්‍රී තිහක් ප්‍රතිඥා දුනිමු. තවද අපි එය (දින) දහයකින් පූර්ණ කළෙමු. ඒ අනුව ඔහුගේ පරමාධිපතිගේ නිශ්චිත කාලය රාත්‍රී හතළිහක් ලෙස සම්පූර්ණ විය. මාගේ සමූහයා අතර මා වෙනුවෙන් නුඹ නියෝජනය කරනු. තවද විධිමත් කරනු. තවද නුඹ කලහකාරීන්ගේ මඟ අනුගමනය නොකරනු යැයි මූසා ඔහුගේ සහෝදර හාරූන්ට කීවේය.

(143) අප නියම කළ ස්ථානයට මූසා පැමිණ, ඔහු සමඟ ඔහුගේ පරමාධිපති කතා කළ කල්හි ‘මාගේ පරමාධිපතියාණෙනි ! (ඔබ ව) මට පෙන්වනු මැනව ! මා ඔබ ව බැලිය යුතුය යැයි පැවසුවේය. එයට ඔබ මා දැකිය නොහැක්කේමය. එනමුත් එම කන්ද දෙස බලනු. එය ස්ථාවර ව පිහිටියේ නම් ඔබ මා දකිනු ඇත යැයි පැවසුවේය. ඔහුගේ පරමාධිපති එම කන්දෙහි හෙළි වූ කල්හි එය සුනු විසුනු බවට පත් කළේය. තවද මූසා සිහිමුර්ජා වී වැටුණේය. පසුව ඔහුට (සිහිය) පැහැදිලි වූ කල්හි ‘ඔබ සුපිවිතුරුය. මම ඔබ වෙත පසුතැවිලි වී හැරුණෙමි. දේව විශ්වාසවන්තයින්ගේ පළමුවැනියා මම වෙමි යැයි කීය.

(144) අහෝ මූසා ! නියත වශයෙන්ම මම මාගේ දූත පණිවිඩ තුළින් ද මා ඔබ සමඟ කතා කිරීම තුළින් ද මා ඔබ ව ජනයාට වඩා ශ්‍රේෂ්ඨ කළෙමු. එබැවින් මා නුඹට පිරි නැමූ දෑ ගනු. තවද නුඹ කෘතවේදීන් අතුරින් වනු යැයි ඔහු පැවසුවේය.

(145) ඔහු වෙනුවෙන් පුවරු වල සෑම දෙයක්ම ලිව්වෙමු. එය උපදෙසක් හා සෑම දෙයක්ම විග්‍රහ කරන්නක් වශයෙන් විය. එබැවින් එය බලවත් ලෙස ග්‍රහණය කර ගනු. එමෙන්ම එහි අලංකාර දෑ ග්‍රහණය කර ගන්නා මෙන් නුඹේ ජනයාට ද නුඹ නියෝග කරනු. පාපතරයින්ගේ නිවහන මම නුඹලාට පෙන්වමි (යැයි ඔහු පැවසුවේය.)

(146) යුක්තියෙන් තොර ව පොළොවේ උඩඟුකම් පාන්නන් අපගේ සංඥාවන්ගෙන් නියත වශයෙන්ම අපි මතු හරවන්නෙමු. ඔවුන් සියඵ සංඥාවන් දුටුව ද එය ඔවුහු විශ්වාස නොකරති. තවද ඔවුන් ඍජු මාර්ගය දකින්නේ නම් එය ඔවුහු (ඍජු) මඟක් ලෙස නොගනිති. සීමාව ඉක්ම වූ මාර්ගයක් දකින්නේ නම් එය මඟක් ලෙස ගනිති. එය ඔවුන් අපගේ වදන් බොරු කළ බැවින් හා ඒ පිළිබඳ ව ඔවුන් අනවධානීන් ලෙස සිටි බැවිනි.

(147) තවද අපගේ වදන් හා මතු ලොව හමු ව බොරු කළවුන් වන ඔවුන්ගේ ක්‍රියාවන් නිෂ්ඵල විය. ඔවුන් කරමින් සිටි දෑ සඳහා මිස ඔවුනට ප්‍රතිඵල දෙනු ලබනු ඇත් ද?

(148) මූසාගේ ජනයා ඔහුගෙන් පසු ව ඔවුන්ගේ ආභරණ තුළින් වසු පැටවකුගේ හැඩයෙන් යුත් යමක් (නමදින්නට) ගත්තේය. එයට ගව හඬකුත් විය. සැබැවින්ම එය ඔවුන් සමඟ කතා නොකරන බවත් ඔවුනට එය ඍජු මඟ නොපෙන්වන බවත් ඔවුහු නොදුටුවෝ ද? ඔවුහු එය (දෙවියන් ලෙස) ගත්තෝය. තවද ඔවුන් අපරාධකරුවන් බවට පත් වූහ.

(149) ඔවුන්ගේ දෑත් කළ දෑ පිළිබඳ පසුතැවිලි වී සැබැවින්ම තමන් මුළා වී ඇති බව ඔවුන් දුටු කල්හි, අපගේ පරමාධිපති අපට කරුණා නොකළේ නම් තවද අපහට ඔහු සමාව නොදුන්නේ නම් සැබැවින්ම අපි අලාභවන්තයින් අතුරින් වන්නෙමු යැයි ඔවුහු පැවසූහ.

(150) තවද මූසා තම සමූහයා වෙත දැඩි කෝපයෙන් හා දුකින් පැමිණ කල්හි ‘මගෙන් පසු ව නුඹලා මා නියෝජනය කළ අයුරු නපුරු විය. නුඹලාගේ පරමාධිපතිගේ අණට නුඹලා ඉක්මන් වූයේ දැයි ඇසීය. තවද එතුමා (දේව පණිවිඩ සඳහන්) පුවරු පහත හෙළා තම සහෝදරයාගේ හිස අල්ලා තමන් වෙත ඇද්දේය. ‘මාගේ මවගේ පුතණුවනි ! සැබැවින්ම මෙම සමූහයා මා දුර්වලයකු යැයි සිතූහ. මා මරා දැමීමට තැත් කළහ. එබැවින් නුඹ මා ගැන සතුරන් (ඉදිරියේ) සිනහවට ලක් නොකරනු. තවද අපරාධකාරී ජනයා සමඟ මා පත් නොකරනු යැයි ඔහු (හාරූන්) කීය.

(151) මාගේ පරමාධිපතියාණෙනි, මට හා මාගේ සහෝරදයාට සමාව දෙනු මැනව ! ඔබේ කරුණාව තුළට අපව ද ඇතුළත් කරනු මැනව ! තවද ඔබ කරුණාවන්තයින් අතුරින් මහා කාරුණිකය.

(152) නියත වශයෙන්ම වසු පැටවා (නැමදුමට) ගත් අය වන මොවුනට මෙලොව ජීවිතයේ දී මොවුන්ගේ පරාමාධිපතිගෙන් වූ කෝපය ද අවමානය ද හිමි වනු ඇත. තවද කල්පනය කර ගොතන්නන්හට අපි ප්‍රතිඵල පිරිනමනුයේ එලෙසය.

(153) තවද කවරෙකු නපුරුකම් කොට ඉන් පසු ව පශ්චාත්තාප වී විශ්වාස කළේ ද සැබැවින්ම නුඹගේ පරමාධිපති ඉන් පසු පවා අතික්ෂමාශීලීය. කරුණා ගුණයෙන් යුක්තය.

(154) මූසාගෙන් කෝපය නිවී ගිය කල්හි එම පුවරු ඔහු ගත්තේය. එම පිටපත්හි, තම පරමාධිපතිට බියවන්නා වූ ඔවුන්හට යහමඟ ද දයාව ද විය.

(155) නියම කරන ලද අපගේ ස්ථානය සඳහා මිනිසුන් හැත්තෑවක් දෙනා මූසා තෝරා ගත්තේය. භූ කම්පනය ඔවුන් ග්‍රහණය කළ කල්හි ‘මාගේ පරමාධිපතියාණනි ! ඔබ අභිමත කළේ නම් මීට පෙරම ඔබ ඔවුන් හා මා විනාශ කරන්නට තිබුණි. අප අතුරින් අධමයින් කළ දෑ හේතුවෙන් ඔබ අප විනාශ කරන්නෙහි ද? මෙය ඔබේ පරීක්ෂණයක් මිස නැත. එමගින් ඔබ අභිමත කරන අය මුළා කරන්නෙහිය. ඔබ අභිමත කරන අයට මඟ පෙන්වන්නෙහිය. ඔබ අපගේ භාරකරුය. එබැවින් අපට සමාව දෙනු මැනව ! තවද අපට කරුණා කරනු මැනව ! තවද ඔබ සමාව දෙන්නන්ගෙන් ශ්‍රේෂ්ඨතමයාය’ යැයි ඔහු(මූසා) පැවසුවේය.

(156) තවද මෙලොවෙහි හා මතු ලොවෙහි අපහට යහපත නියම කරනු මැනව ! නියත වශයෙන්ම අපි ඔබ වෙත හැරුණෙමු. ‘මාගේ දඬුවම, මා අභිමත කරන අය එමගින් මම හසු කරමි. තවද මාගේ දයාව සියලු දෑහි ව්‍යාප්ත ව ඇත. එබැවින් දේව බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන zසකාත් පිරිනමන අය හා අපගේ වදන් විශ්වාස කරන අයට එය මම මතු සටහන් කරමි යැයි ඔහු(අල්ලාහ්) පැවසුවේය.

(157) ඔවුහු වනාහි, ඔවුන් අබියස ඇති තව්රාතයේ හා ඉන්ජීලයේ සඳහන් කරනු ලැබූ අයුරින් ඔවුනට යහපත විධානය කරන, පිළිකුල් සහගත දැයින් ඔවුන් වළක්වාලන, යහපත් දෑ ඔවුනට අනුමත කරන, අයහපත් දෑ ඔවුන් මත තහනම් කරන, ඔවුන්ගේ බර හා ඔවුන් මත පැවති දුෂ්කරතාවන් (පහකර) තබන අයකු ලෙසින් ශාක්ෂරතාවක් (ලිවීමට කියවීමට නොහැකි) නොමැති දේව ඥානය ලැබූ මෙම ධර්ම දූතයාණන් ව අනුගමනය කරන්නෝ වෙති. එබැවින් කවරෙකු ඔහු ව විශ්වාස කොට, ඔහුට ගරු කොට, ඔහුට උදව් කර ඔහුට පහළ කරනු ලැබූ ආලෝකය පිළිපැද්දේ ද ඔවුහුමය ජයග්‍රහකයෝ.

(158) අහෝ ජනයිනි ! සැබැවින්ම මම නුඹලා සියලු දෙනා වෙත වූ අල්ලාහ්ගේ ධර්ම දූතයා වෙමි. අහස් හා පොළොවේ ආධිපත්‍යය ඔහු සතුය. ඔහු හැර නැමදුමට වෙනත් සුදුස්සෙකු නොමැත. ඔහු ජීවය දෙයි. තවද මරණයට පත් කරයි. එබැවින් නුඹලා යහමඟ ලැබිය හැකි වනු පිණිස අල්ලාහ් ව ද ඔහු හා ඔහුගේ වදන් විශ්වාස කරන ඔහුගේ දූත උම්මි (ශාක්ෂරතාව නොදන්නා) නබිවරයාව ද විශ්වාස කරනු. තවද ඔහුව අනුගමනය කරනු.

(159) මූසාගේ ජනයා අතුරින් සත්‍යය අනුව යහමඟ පෙන්වන හා එමගින් යුක්තිය ඉටු කරන ප්‍රජාවක් වෙති.

(160) ගෝත්‍ර දොළොසක ප්‍රජාවක් බවට අපි ඔවුන් වෙන් කළෙමු. මූසාගේ ජනයා ඔහුගෙන් ජලය ඉල්ලා සිටිය දී නුඹේ සැරයටියෙන් ගලට ගසනු යැයි අපි ඔහුට දන්වා සිටියෙමු. එවිට උල්පත් දොළොසක් ඉන් මතු වී පිටාර ගැලීය. සෑම ජන කොට්ඨාසයක්ම ඔවුන් පැන් බොන ස්ථානය දැන ගත්තේය. තවද වලාකුළ ඔවුනට සෙවණැලි බවට පත් කළෙමු. තවද ඔවුන් වෙත මන්නු හා සල්වා (නම් ස්වර්ග ආහාර) පහළ කළෙමු. නුඹලාට අපි පෝෂණය කළ දැයින් පිවිතුරු දෑ අනුභව කරනු. තවද අපි අපරාධ නොකළෙමු. එහෙත් ඔවුහු ඔවුනටම අපරාධ කර ගනිමින් සිටියහ.

(161) නුඹලා මෙම ගම්මානයේ පදිංචි වනු. තවද නුඹලා කැමති දෑ එයින් නුඹලා අනුභව කරනු. තවද නුඹලා හිත්තතුන් (පාපයෙන් ගැලවීම ලබා දෙනු) යැයි පවසනු. එහි දොරටුවෙන් හිස පහත් කොට ඇතුළු වනු. නුඹලාගේ වැරදි වලට අපි නුඹලාට සමාව දෙන්නෙමු. දැහැමියන්ට අපි අධික කර දෙන්නෙමු යැයි ඔවුනට පවසනු ලැබූ අවස්ථාව සිහිපත් කරනු.

(162) ඔවුන් අතුරින් අපරාධ කළවුන් ඔවුනට පවසනු ලැබූ දෑ හැර වෙනත් ප්‍රකාශයක් - වෙනස් කොට පැවසුවෝය. එබැවින් ඔවුන් අපරාධකරමින් සිටි හේතුවෙන් අහසින් දඬුවමක් අපි ඔවුන් වෙත එව්වෙමු.

(163) මුහුද අසබඩ පිහිටි ගම්මානය පිළිබඳ ව නුඹ ඔවුන්ගෙන් අසනු. ඔවුන් සෙනසුරාදා දින සීමාව ඉක්මවා ගිය අවස්ථාව සිහිපත් කරනු. සෙනසුරාදා දින ඔවුන්ගේ මතස්‍යයින් ඔවුන් වෙත හිස ඔසවා පැමිණෙයි. සෙනසුරාදා නොවන දිනයෙහි ඔවුන් වෙත එසේ නොපැමිණෙයි. ඔවුන් පාපකම් කරමින් සිටි හේතුවෙන් අප ඔවුන් පරීක්ෂාවට ලක් කළේ එලෙසය.

(164) තවද අල්ලාහ් ඔවුන් විනාශ කරන්නට යන එසේත් නැතහොත් දැඩි දඬුවමකින් දඬුවම් කරන්නට යන පිරිසකට නුඹලා උපදෙස් දෙනුයේ මන්දැයි ඔවුන් අතුරින් වූ සමූහයක් පැවසූ අවස්ථාව සිහිපත් කරනු. නුඹලාගේ පරමාධිපති වෙත හේතු සාධකයක් වනු පිණිසත් ඔවුන් බිය හැඟීමෙන් යුතු ව කටයුතු කිරීමට හැකි වනු පිණිසත් යැයි ඔවුහු (දේශකයෝ) පැවසුවෝය.

(165) කවර දෙයක් ඔවුනට උපදෙස් දෙනු ලැබුවේ ද එය ඔවුන් අමතක කළ කල්හි නපුරෙන් වළක්වන්නන් (පමණක්) අපි මුදවා ගත්තෙමු. තවද අපරාධ කළවුන් පාපකම් කරමින් සිටි හේතුවෙන් දැඩි දඬුවමකින් අපි ඔවුන් ග්‍රහණය කළෙමු.

(166) එයින් තහනම් කරනු ලැබූ දෑ සම්බන්ධයෙන් ඔවුන් සීමාව ඉක්මවා කටයුතු කළ කල්හි ‘නුඹලා වඳුරන් මෙන් වී අවමානයට පත් වෙනු’ යැයි අපි ඔවුනට පැවසුවෙමු.

(167) මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා ඔවුනට එරෙහි ව නපුරු දඬුවමෙන් දඬුවම් කරන අය එවනු ඇතැයි නුඹගේ පරමාධිපති නිවේදනය කළ අවස්ථාව සිහිපත් කරනු. නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති දඬුවම් දීමෙහි ඉතා වේගවත්ය. තවද නියත වශයෙන්ම ඔහු අති ක්ෂමාශීලී කරුණා ගුණයෙන් යුක්තය.

(168) තවද අපි පොළොවේ සමූහයන් වශයෙන් ඔවුන් බෙදා වෙන් කළෙමු. ඔවුන් අතුරින් සදැහැමියන් ද වෙති. තවද ඔවුන් අතුරින් එසේ නොවන අය ද වෙති. තවද ඔවුන් නැවත හැරිය හැකි වනු පිණිස යහපත් දෑ හා නපුරු දැයින් අපි ඔවුන් පරීක්ෂා කළෙමු.

(169) ඔවුන්ගෙන් පසු ව (ඔවුන් වෙනුවට) පරපුරක් පැමිණ එම දේව ග්‍රන්ථය උරුම කර ගත්තෝය. (එමගින් මෙලොවෙහි) පහත් භාණ්ඩය ඔවුහු ගනිති. තවද අපට සමාව දෙනු ලබනු ඇතැයි පවසති. ඒ හා සමාන (තවත් පහත්) භාණ්ඩයක් ඔවුන් වෙත පැමිණෙන්නේ නම් එය ද ඔවුහු ගනිති. අල්ලාහ් වෙත සත්‍යය මිස වෙනත් කිසිවක් නොපැවසිය යුතු යැයි ඔවුන් වෙතින් දේව ග්‍රන්ථයේ ප්‍රතිඥාවක් ගනු නොලැබුවේ ද? තවද එහි ඇති දෑ ඔවුන් හැදෑරිය යුතු නොවේ ද? දේව බිය හැඟීමෙන් කටයුතු කරන්නන්හට මතු ලොව නිවහන ශ්‍රේෂ්ඨය. (මෙය) නුඹලා වටහා ගත යුතු නොවේ ද?

(170) තවද ඔවුහු වනාහි දේව ග්‍රන්ථය තදින් පිළිපදින්නන් වෙති. තවද ඔවුහු සලාතය විධිමත් ව ඉටු කළෝය. නියත වශයෙන්ම අපි දැහැමි දනන්ගේ ප්‍රතිඵල නිෂ්ඵල නොකරන්නෙමු.

(171) තවද ඔවුනට ඉහළින් වළාකුලක් මෙන් කන්ද ඔසවා තැබූ අවස්ථාව සිහිපත් කරනු. සැබැවින්ම එය ඔවුන් මත වැටෙනු ඇතැයි ඔවුහු සිතූහ. නුඹලා බිය හැඟීමෙන් යුතු ව කටයුතු කළ හැකි වනු පිණිස නුඹලාට අපි පිරිනැමූ දෑ නුඹලා බලවත් ලෙස ග්‍රහණය කර ගනු. තවද එහි ඇති දෑ නුඹලා මෙනෙහි කරනු.

(172) තවද නුඹගේ පරමාධිපති ආදම්ගේ දරුවන්ගෙන් ඔවුන්ගේ කොදුවලින් ඔවුන්ගේ පරපුර ගෙන ඔවුනට එරෙහි ව ඔවුන්ම සාක්ෂි දැරීමට පත් කොට නුඹලාගේ පරමාධිපති මා නොවේ දැයි (ඔහු විමසුවේය.) එසේය අපි සාක්ෂි දරමු යැයි ඔවුහු පැවසුවෝය. (එසේ ප්‍රතිඥාවක් ගනු ලැබුවේ) මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ‘නියත වශයෙන්ම අපි මේ ගැන අනවධානීන් ලෙස සිටියෙමු යැයි නුඹලා නොපවසනු පිණිසය.

(173) නැතහොත් නියත වශයෙන්ම මීට පෙර සිට ආදේශ කළ අය වනුයේ අපගේ මුතුන් මිත්තන්ය. තවද අපි ඔවුන්ගෙන් පසු වූ පරපුරක් වෙමු. අවැඩ කරන්නෝ සිදු කළ දෑ හේතුවෙන් නුඹ අප ව විනාශ කරන්නෙහිද යැයි නුඹලා නොපවසනු පිණිසය.

(174) තවද එලෙසය ඔවුහු නැවත හැරිය හැකි වනු පිණිස එම සාධක අප විස්තර කරනුයේ.

(175) අප අපගේ වදන් ඔහු වෙත පිරිනැමූ අයකුගේ පුවත ඔවුන් වෙත කියවා පෙන්වනු. නමුත් ඔහු එයින් ගැල වී ගියේය. එවිට ෂෙයිතාන් ඔහු පසු පස ගියේය. එහෙයින් ඔහු නොමඟ ගියවුන් අතුරින් විය.

(176) අපි අභිමත කළේ නම් එමගින් අපි ඔහු උසස් කරන්නට තිබුණි. එනමුත් ඔහු මහපොළොවේ සදා රැඳුණේය. ඔහුගේ මනෝ ආශාවන් පිළිපැද්දේය. එබැවින් ඔහුගේ උපමාව සුනඛයාගේ උපමාව මෙනි. නුඹ පළවා හැරියේ නම් ඌ දිව දිගු කරයි. නුඹ (පහර නොදී) ඌ අත හැර දමන්නේ නම් ද ඌ දිව දිගු කරයි. අපගේ වදන් බොරු කළ පිරිසට උපමාව මෙයයි. එබැවින් ඔවුන් වටහා ගත හැකි වනු පිණිස මෙම කතා වස්තුව ඔවුනට නුඹ පවසනු.

(177) අපගේ වදන් බොරු කොට තමන්ටම ආසාධාරණකම් කරමින් සිටි පිරිසකගේ උපමාවන් නපුරු විය.

(178) කවරෙකු අල්ලාහ් යහ මඟ යොමු කරන්නේ ද එවිට ඔහු යහ මඟ ලැබූවෙකි. තවද කවරෙකු ඔහු නොමඟ යන්නට හරින්නේ ද එවිට ඔවුහුමය අලාභවන්තයෝ.

(179) සැබැවින්ම අපි ජින් වර්ගයා හා මිනිස් වර්ගයාගෙන් වැඩි දෙනෙකු නිරය සඳහා බිහි කළෙමු. ඔවුනට හදවත් ඇත. ඔවුහු එමගින් වටහා නොගනිති. තවද ඔවුනට ඇස් ඇත. ඔවුහු එමගින් නොබලති. තවද ඔවුනට කන් ඇත. ඔවුහු එමගින් සවන් නොදෙති. ඔවුහු (ඔටු, ගව, එළු වැනි) ගොවිපළ සතුන් මෙනි. නැත. ඊටත් වඩා නොමඟ ගියවුන්ය. නොසැලකිලිමත් කමින් සිටියවුන් ඔවුහුමය.

(180) වඩාත් අලංකාර නාමයන් අල්ලාහ්ට හිමිය. එහෙයින් නුඹලා ඒවා මගින් ඔහුට ඇරයුම් කරනු. තවද ඔහු (අල්ලාහ්) ගේ නාමයන් විකෘති කරන්නේද ඔවුන් අතහැර දමනු. ඔවුන් කරමින් සිටි දෑ සඳහා ඔවුනට ප්‍රතිඵල දෙනු ලබනු ඇත.

(181) තවද අප මැවූ අය අතුරින් සත්‍යය තුළින් මඟ පෙන්වන, තවද එතුළින් යුක්තිය ඉටු කරන සමූහයක් ද විය.

(182) අපගේ වදන් බොරු කළවුන් වනාහි ඔවුන් නොහඳුනන පරිදි අපි පියවරින් පියවර, ඔවුන් මතුවට හසු කර ගන්නෙමු.

(183) තවද මම ඔවුනට අවකාශය දෙමි. නියත වශයෙන්ම මාගේ සැලැස්ම ඉතා දැඩිය.

(184) ඔවුන්ගේ සගයාට කිසිදු උමතුවක් නොමැති බව ඔවුහු වටහා නොගත්තෝ ද ? ඔහු පැහැදිලි අවවාද කරන්නකු මිස නැත.

(185) අහස්හි හා මිහිතලයේ ආධිපත්‍යයෙහි ද යම් දෙයකින් අල්ලාහ් මවා ඇති දෑ ගැන ද ඔවුන්ගේ නියමිත කාලය සමීප විය හැකිය යන්න ගැන ද ඔවුහු අවධානයෙන් නොබැලුවෝ ද. එහෙයින් ඉන් පසු ව ඔවුන් කවර පුවතක් ගැන ද විශ්වාස කරනු ඇත්තේ?

(186) අල්ලාහ් කවරෙකු නොමඟ යොමු කරන්නේ ද එවිට ඔහුට මඟ පෙන්වන්නෙකු නැත. තව ද ඔවුන්ගේ සීමාව ඉක්මවීමෙහි සැරිසැරීම ට ඔහු ඔවුනට ඉඩ හරියි.

(187) අවසන් හෝරාව ගැන, එය කවදා පැමිණෙන්නේ දැයි ඔවුහු නුඹගෙන් විමසති. එහි දැනුම ඇත්තේ මාගේ පරමාධිපති අබියසය. එහි නියමිත වේලාවෙහි ඔහු හැර (වෙන කිසිවකු) එය හෙළි නොකරනු ඇත. එය(එහි දැනුම) අහස්හි හා පොළෝ තලයේ (වෙසෙන්නන් හට) බැරෑරුම් විය. එය ක්ෂණීකව මිස නුඹලා වෙත නොපැමිණෙනු ඇතැයි නුඹ පවසනු. ඒ පිළිබඳ ව නුඹ මනා දැනුමක් ඇත්තෙකු සේ ඔවුහු නුඹගෙන් විමසති. එහි දැනුම ඇත්තේ අල්ලාහ් අබියසය යැයි නුඹ පවසනු. එනමුත් මිනිසුන්ගෙන් වැඩි දෙනා (ඒ බව) නොදනිති.

(188) අල්ලාහ් අභිමත කළේ නම් මිස මා වෙනුවෙන් යම් යහපතක් කිරීමට හෝ හානියක් කිරීමට හෝ මම බලය නොදරමි. අදෘශ්‍යමාන දෑ ගැන මා දැන ගන්නෙකු ව සිටියේ නම් මා යහපත අධික වශයෙන් කරගන්නට තිබුණි. තවද මට නපුරක් ඇති නොවනු ඇත. මා අවවාද කරන්නෙකු හා විශ්වාස කරන ජනයාට ශුභාරංචි දන්වන්නෙකු මිස නැත.

(189) එක ආත්මයකින් (ආදම්ගෙන්) නුඹලා ව මවා ඇය සමඟ වාසය කරනු පිණිස එයින් එහි සහකාරිය (හව්වා-ඒවා) ඇති කළේ ඔහුය. ඔහු ඇය වෙළා ගත් කල්හි ඇය ( දරුවෙකු පිළිසිඳ) සැහැල්ලු බරක් ඉසිලුවාය. පසු ව ඇය ඒ සමඟ ගමන් ගත්තාය. ඇයට එය බරින් වැඩි වූ කල්හි ‘ඔබ අපට (අඩුපාඩු වලින් තොර) යහපත් කෙනෙකු පිරිනැමුවෙහි නම් අපි කෘතවේදීන් අතුරින් වන්නෙමු යැයි ඔවුන් දෙදෙනා ඔවුන් දෙදෙනාගේ පරමාධිපතිගෙන් අයැද සිටියහ.

(190) ඔවුන් දෙදෙනාට (අඩුපාඩු වලින් තොර) යහපත් දරුවෙකු ඔහු පිරිනැමූ කල්හි ඔවුන් දෙදෙනාට ඔහු පිරිනැමූ දරුවා විෂයෙහි ඔවුන් සමකරන්නන් ඔහුට පත් කළෝය. ඔවුන් ආදේශ තබන දැයින් අල්ලාහ් උත්තරීතරය.

(191) කිසිවක් නොමවන දෙයට ඔවුහු ආදේශ තබන්නෝද? ඔවුන්ද ඔහු විසින් මවනු ලැබ සිටිය දී.

(192) මොවුනට උදව් කිරීමට ඔවුනට නොහැක. ඔවුන් තමන්ටම පවා උදව් කර ගත නොහැක.

(193) තවද නුඹ ඔවුන් යහ මඟ වෙත ඇරයුම් කරන්නෙහි නම් ඔවුහු නුඹලා ව අනුගමනය නොකරති. නුඹලා ඔවුන්ගෙන් අයැද සිටිය ද නැතහොත් නුඹලා නිහඬ ව සිටිය ද නුඹලාට එක සමානය.

(194) නියත වශයෙන්ම අල්ලාහ්ගෙන් තොර ව නුඹලා අයැද සිටින දෑ නුඹලා මෙන් ගැත්තන්ය. එබැවින් නුඹලා ඔවුන් අයැදිනු. නුඹලා සත්‍යවාදීන් ව සිටියෙහු නම් නුඹලාට ඔවුන් පිළිතුරු දෙත්වා.

(195) එමගින් ඔවුන් ගමන් කරන පාද ඔවුනට තිබේ ද? නැතහොත් එමගින් ඔවුන් අල්ලන අත් ඔවුනට තිබේ ද? නැතහොත් එමගින් ඔවුන් බලන ඇස් ඔවුනට තිබේ ද? නැතහොත් එමගින් ඔවුන් සවන් දෙන කන් ඔවුනට තිබේ ද? නුඹලාගේ හවුල්කරුවන් නුඹලා කැඳවා පසු ව මට නුඹලා කුමන්ත්‍රණය කරනු. තවද මට අවකාශය නොදෙනු යැයි (නබිවරය) නුඹ ඔවුනට පවසනු.

(196) නියත වශයෙන්ම මෙම දේව ග්‍රන්ථය පහළ කළ අල්ලාහ්ය මාගේ භාරකරු. තවද ඔහු දැහැමියන් භාර ගන්නාය.

(197) තවද ඔහුගෙන් තොර ව නුඹලා ඇරයුම් කරන දෑ වනාහි නුඹලාට උදව් කිරීමට ඔවුහු හැකියාව නොලබති. තවද ඔවුහු ඔවුන්ටම පවා උදව් කර ගත නොහැක.

(198) තවද යහ මඟ වෙත නුඹ ඔවුන් ඇරයුම් කරන්නෙහි නම් ඔවුහු (ඊට) සවන් නොදෙති. ඔවුන් නුඹ වෙත බලා සිටිනාක් මෙන් නුඹ ඔවුන් දකිනු ඇත. (නමුත්) ඔවුහු නොබලති.

(199) උදාර ගතිගුණ පිළිපදිනු. තවද යහපත අණ කරනු. තවද අඥානයින්ගෙන් ඉවත් වනු.

(200) ෂෙයිතාන් විසින් යම් බලපෑමක් නුඹට බලපෑම් ඇති කළ විට නුඹ අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතනු. නියත වශයෙන්ම ඔහු සර්ව ශ්‍රාවකය. සර්වඥානීය.

(201) නියත වශයෙන්ම දේව බිය හැඟීමෙන් යුතු ව කටයුතු කළවුන් ඔවුනට ෂෙයිතාන් විසින් යම් බලපෑමක් ස්පර්ශ වූ විට ඔවුහු (අල්ලාහ් ව) සිහිපත් කරති. එවිට ඔවුන් අවදි වී බලන්නන් වූහ.

(202) ඔවුන්ගේ (ෂෙයිතානීය) සහෝදරයෝ ඔවුන් නොමඟ තුළට ඇද ගෙන යති. තවද ඔවුහු (ඒ සම්බන්ධයෙන්) කිසිදු අඩුවක් නොකරති.

(203) තවද (නබිවරය,) නුඹ ඔවුන් වෙත සංඥාවක් නොගෙනා වේ නම් ‘නුඹ එය ගෙන ආ යුතු නොවේදැයි ඔවුහු විමසුවෝය. මා පිළිපදිනුයේ මාගේ පරමාධිපතිගෙන් මා වෙත දන්වනු ලබන දෑ පමණය. මෙය නුඹලාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයකි. තවද මඟපෙන්වීමකි. තවද විශ්වාස කරන ජනයා වෙනුවෙන් වූ දයාවකි යැයි නුඹ පවසනු.

(204) කුර්ආනය පාරායනය කරනු ලබන විට නුඹලා එයට සවන් දෙනු. තවද නුඹලා නිහඬ ව සිටිනු. නුඹලා දයාව දක්වනු ලැබිය හැකි වනු පිණිස.

(205) තවද උදේ හා සවස යටහත් පහත් ව බියෙන් යුතු ව (පවසන) ප්‍රකාශයන් උස් හඬින් තොර ව නුඹ තුළ නුඹගේ පරමාධිපති ව නුඹ සිහිපත් කරනු. තවද නුඹ නොසැලකිලිමත්වන්නන් අතුරින් නොවනු.

(206) නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති අබියස සිටින්නවුන් ඔහුට ගැතිකම් කිරීමට ඔවුහු උඩඟු නොවෙති. තවද ඔවුහු ඔහු ව පිවිතුරු කරති. තවද නළල බිම තමා ඔහුට නැමදුම් කරති.

<     >