100 - Al-Aadiyaat ()

|

(1) හති දමමින් වේගයෙන් දිව යන්නන් මත දිවුරමින්,

(2) කුර ගැටීමෙන් ගිනි පුපුරු නංවන්නන් මත ද,

(3) තවද අලුයමෙහි ආක්රමණය කරන්නන් මත ද (දිවුරමින්.)

(4) එවිට එමගින් උන් දූවිලි නංවති.

(5) කණ්ඩායම් වශයෙන් (සතුරන්) මැදට පිවිසෙති.

(6) නියත වශයෙන්ම මිනිසා තම පරමාධිපතිට ගුණමකුය.

(7) තවද ඇත්තෙන්ම ඔහු එයට සාක්ෂිකරුවෙක් වේ.

(8) තවද ඇත්තෙන්ම ඔහු වස්තුවට දැඩි ලෙස ඇලුම් කරන්නෙක් වේ.

(9) නමුත් මිනීවළවල් තුළ ඇති දෑ පිට කරනු ලබන වග ඔහු නොදන්නේ ද?

(10) තවද හදවත් තුළ ඇති දෑ හෙළි කරනු ලබන වග (ඔහු නොදන්නේ) ද?

(11) නියත වශයෙන්ම එදින ඔවුන්ගේ පරමාධිපති ඔවුන් පිළිබඳ ව අභිඥානවන්තය.