(1) කාෆ්, කීර්තිමත් අල් කුර්ආනය මත දිවුරමින්.
(2) නමුත් අවවාද කරන්නෙකු ඔවුන් අතරින්ම ඔවුන් වෙත පැමිණීම ගැන ඔවුහු පුදුමයට පත් වූවෝය. එවිට “මෙය පුදුම සහගත කරුණකි”යැයි දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෝ පැවසුවෝය.
(3) “අප මිය ගොස් පස් බවට පත් වූ විට (යළි ජීවය දෙනු ලබන්නේ) ද? එය (බුද්ධියට) දුරස් හැරීමකි.
(4) මහපොළොව ඔවුන්ගෙන් අඩු කර දමන දෑ ගැන සැබැවින්ම අපි දනිමු. තවද අප අබියස ආරක්ෂිත පුස්තකයක් ඇත.
(5) නමුත් ඔවුන් වෙත සත්‍යය පැමිණි කල්හි ඔවුහු එය බොරු කළෝය. එවිට ඔවුහු අවුල් සහගත තත්ත්වයක වූවෝය.
(6) ඔවුනට ඉහළින් ඇති අහස දෙස අපි එය ඉදි කර ඇත්තේ කෙසේ දැයි ද තවද අපි එය අලංකාර කර ඇත්තේ කෙසේ දැයි ද ඔවුහු නොබැලුවෝ ද? තවද පලුදු කිසිවක් එයට නැත.
(7) තවද මහපොළොව අපි එය දිගු හැර එහි කදු හෙළුවෙමු. තවද අපි ඒ තුළ මනහර සෑම වර්ගයක්ම යුගල වශයෙන් හට ගැන්වූයෙමු.
(8) (එසේ කළේ තම පරමාධිපති වෙතට) යොමු වන සෑම ගැත්තෙකුටම මග පෙන්වීමක් හා මෙනෙහි කිරීමක් වශයෙනි.
(9) තවද අපි අහසින් ආශිර්වාද ලත් ජලය පහළ කළෙමු. එමගින් අපි වතු යායන් හා නෙළන බීජ ද හට ගැන්වූයෙමු.
(10) තවද එහි එකිනෙකට ඇමුණුනු වලු සහිත උසින් පවතින ඉඳි ගස් ද (අපි හට ගැන්වූයෙමු.)
(11) (එය) ගැත්තන්හට පෝෂණයක් වශයෙනි. තවද අපි එමගින් මියගිය භූමියක් ප්‍රාණවත් කළෙමු. (මිනි වළෙන්) බැහැර වීම ද එලෙසය.
(12) ඔවුනට පෙර සිටි නූහ්ගේ ජනයා ද රස් වාසීහු ද සමූද් ජනයා ද බොරු කළෝය.
(13) ආද් ජනයා ද ෆිර්අවුන් ද ලූත්ගේ සහෝදරයෝ ද,
(14) අයිකා වාසීහු ද තුබ්බඃ ජනයා ද (බොරු කළෝය). මේ සියල්ලෝම ධර්ම දූතයින් බොරු කළෝය. එහෙයින් මාගේ අවවාදය නියම විය.
(15) මුල් මැවීමෙන් අපි ආයාසයට පත්වූයෙමු ද? නැත, (මිය ගිය පසු) නව මැවීම ගැන ඔවුහු සැකයෙහි වෙති.
(16) තවද සැබැවින්ම අපි මිනිසා මැව්වෙමු. තවද ඔහුගේ සිත කවර දෙයක් කොඳුරන්නේ ද එය අපි දන්නෙමු. තවද ගෙල නහරට වඩා අප ඔහු වෙත සමීපය.
(17) දකුණු පසින් හා වම් පසින් වාඩි වී සිටින වාර්තාකරුවන් දෙදෙනා සටහන් කර ගන්නා අවස්ථාවේ;
(18) කිසිදු වදනක් ඔහු උච්චාරණය කළ ද (සියල්ල) නිරීක්ෂා කරන සටහන් කරන්නෙකු ඔහු අසලින් සිටින්නේමය.
(19) තවද මරණයේ වේදනාව සැබෑ ලෙසින් ම පැමිණ ඇත. නුඹ ඉන් මඟ හරිමින් සිටි දෑ එයයි.
(20) තවද හොරණෑවෙහි පිඹිනු ලැබේ. අවවාදයේ දිනය එයයි.
(21) තවද සෑම ආත්මයක්ම එය මෙහෙයවන්නෙකු හා සාක්ෂිකරුවෙකු සමග පැමිණ ඇත.
(22) “සැබැවින්ම නුඹ මේ ගැන නොසැලකිලිමත් කමෙහි සිටියෙහිය. (දැන්) අපි නුඹේ තිරය නුඹෙන් ඉවත් කළෙමු. එහෙයින් අද දින නුඹේ බැල්ම තියුණුය.”
(23) තවද “මෙන්න, මා සතු ව සටහන් කරනු ලැබූ වාර්තාවක් ඇත” යැයි (සටහන් කරන මලක්වරයා වන) ඔහුට සමීපයෙන් සිටින්නා පවසනු ඇත.
(24) “හිතුවක්කාර ලෙස ප්‍රතික්ෂේප කරන සියල්ලන්ව නුඹලා දෙදෙනා නිරයේ දමනු!
(25) (ඔවුන්) යහපත දැඩි ලෙස වළක්වාලන, සීමාව ඉක්මවා ගිය, සැකයෙන් පසුවන (අය වෙති).
(26) අල්ලාහ් සමග වෙනත් දෙවිඳෙකු පත් කර ගත් අය වනාහි, නුඹලා දෙදෙනා දැඩි දඬුවමට හෙළනු.
(27) “අපගේ පරමාධිපතියාණනි! මා ඔහුව නොමග යැව්වේ නැත. නමුත් ඔහු අන්ත මුළාවෙහි විය” යැයි ඔහුට සමීපත මිතුරා (ෂෙයිතාන්) පවසනු ඇත.
(28) “මා ඉදිරියේ නුඹලා තර්ක නොකරනු. සැබැවින්ම මෙම අවවාදය නුඹලා වෙත මම ඉදිරිපත් කර ඇත්තෙමි” යැයි ඔහු (අල්ලාහ්) පවසනු ඇත.
(29) මා ඉදිරියේ එම ප්‍රකාශය වෙනස් කරනු ලබන්නක් නොවෙයි. තවද මම ගැත්තන්හට අපරාධ කරන්නෙකු නොවෙමි.” (යැයි ඔහු (අල්ලාහ්) පවසනු ඇත.)
(30) එදින “නුඹ පිරුණෙහිදැ?”යි අපි නිරය අමතා පවසමු. “(මීට අමතර ව) තවත් යමක් වැඩියෙන් තිබේ දැ”යි එය විමසයි.
(31) තවද දුරස්ථභාවයකින් තොර ව බිය බැතිමතුන් හට (ස්වර්ග) උයන සමීප කරවනු ලැබේ.
(32) ප්‍රවේශම් වන නැඹුරු වන සෑම කෙනෙකු සඳහා නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ මෙයයි.
(33) කවුරුන් අදෘශ්යමාන තත්ත්වයේදී මහා කරුණාන්විතයාණන්ට බිය වී (ඔහු වෙත) හැරෙන හදවතකින් පැමිණෙන්නේද;
(34) නුඹලා එහි සාමයෙන් ඇතුළු වනු. එය සදාකාලික දිනයයි. (යනුවෙන් පවසනු ලැබේ)
(35) ඔවුනට එහි ඔවුන් කැමති දෑ ඇත. තවද (ඊට) අමතර දෑ ද අප අබියස ඇත.
(36) මොවුනට පෙර පරම්පරාවන් කොපමණක් අපි විනාශ කළෙමු ද? මොවුනට වඩා ඔවුන් බලයෙන් වඩාත් ශක්තිමත් වූවෝය. එවිට ඔවුහු දේශයන්හි සැරිසරන්නට වූවෝය. (ඔවුනට) කිසිදු සරණ පතන තැනක් වී ද?
(37) කවරෙකුට හදවතක් වී ද එසේ නැතහොත් කවරෙකු සාවධානයෙන් සවන් යොමු කළේ ද ඔහුට නියත වශයෙන්ම එහි අනුශාසනාවක් ඇත.
(38) තවද සැබැවින්ම අපි අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද දින හයක් තුළ මැව්වෙමු. තවද කිසිදු වෙහෙසක් අපට ඇති නොවීය.
(39) එහෙයින් ඔවුන් පවසන දෑ මත (නබිවරය!) නුඹ ඉවසීමෙන් සිටිනු. හිරු උදාවීමට පෙර ද එය අවරට යෑමට පෙර ද නුඹ නුඹේ පරමාධිපතිගේ ප්‍රශංසා ව තුළින් සුවිශුද්ධ කරනු.
(40) තවද රාත්‍රියේ ද සුජූද් කිරීමෙන් පසු ව ද (නුඹ ඔහු සුවිශුද්ධ කරනු).
(41) තවද සමීප ස්ථානයක සිට අමතන්නා අමතන දිනයට නුඹ සවන් දෙනු.
(42) එදින සැබෑ ලෙසින්ම මහා හඬට ඔවුන් සවන් දෙනු ඇත. එය (මිනී වලවල් වලින්) බැහැර කරනු ලබනු දිනයයි.
(43) නියත වශයෙන්ම අපි ජීවය දෙන්නෙමු. තවද අපි මරණයට පත් කරන්නෙමු. තවද අප වෙතය නැවත යොමු වීමේ ස්ථානය ඇත්තේ.
(44) එදින මහපොළොව ඔවුන්ගෙන් පැළී කඩිනමින් වෙන් ව යනු ඇත. එක්රැස් කිරීම වනුයේ එයයි. එය අප වෙත පහසුය.
(45) ඔවුන් පවසන දෑ පිළිබඳ මැනවින් දන්නෝ අප වෙමු. නුඹ ඔවුන් වෙත ආධිපත්‍ය දරන්නෙකු නොවේ. එහෙයින් මාගේ අවවාදයට බිය වන්නන්හට නුඹ අල් කුර්ආනය පිළිබඳ මෙනෙහි කරනු.