66 - At-Tahrim ()

|

(1) අහෝ නබිවරය! නුඹ නුඹගේ බිරියන්ගේ තෘප්තිය සොයමින් නුඹට අල්ලාහ් අනුමත කළ දෑ නුඹ තහනම් කර ගනුයේ ඇයි? තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය; මහා කරුණාන්විතය.

(2) නුඹලාගේ දිවුරුම් වලින් මිදීමේ ක්රමයක් අල්ලාහ් නුඹලාට නියම කළේය. තවද අල්ලාහ් නුඹලාගේ ආරක්ෂකය. තවද ඔහු සර්ව ඥානී ය; මහා ප්‍රඥාවන්ත ය.

(3) නබිවරයා ඔහුගේ බිරියන්ගෙන් ඇතැමෙකුට කතාවක් රහසින් කියූ අවස්ථාවේ එක් බිරියකු (අන් අය වෙත) එය දන්වා සිටි කල්හි (මෙසේ රහස හෙළිදරව් වීම) අල්ලාහ් එය නබිවරයා වෙත හෙළි කළේය. ඉන් කොටසක් නබිවරයා ඇයට දන්වා සිට කොටසක් නොසලකා හැරියේය. ඔහු එය ඇයට දන්වා සිටි කල්හි “මෙය ඔබට දන්වා සිටියේ කවුදැයි” ඇය ඇසුවාය. “අභිඥානවන්තවූ සර්ව ඥානියාණෝ මට දැනුම් දුන්නේය”යැයි ඔහු පැවසීය.

(4) (නබිවරයාගේ භාර්යාවන් වන) නුඹලා දෙදෙනාම අල්ලාහ් වෙත පශ්චාත්තාප වූවා නම් (මැනවි!) හේතුව නුඹලා දෙදෙනාගේ හදවත් සැබැවින්ම විතැන් වී ඇත. ඔහුට එරෙහි ව නුඹලා දෙදෙනා එකිනෙකාට උර දුන්නෙහු නම් එවිට (දැනගනු!) නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහු ඔහුගේ භාරකරුය. ඉන් පසු ව ජිබ්රීල් ද දේව විශ්වාසවන්තයින්ගෙන් දැහැමියා ද මලක්වරු ද උර දෙන්නන්ය.

(5) ඔහු නුඹලා ව දික්කසාද කළේ නම් නුඹලාට වඩා යහපත් අවනත වන, විශ්වාස කරන, යටහත් වන, පාප ක්ෂමාවෙහි නිරත වන, නැමදුම් කරන, උපවාසයේ නිරත වන, වැන්දඹුවන් හා කන්යාවියන් බිරියන් වශයෙන් ඔහුගේ පරමාධිපති ඔහුට වෙනස් කර දෙන්නට පුළුවණ.

(6) අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා හා නුඹලාගේ පවුල (නිරා) ගින්නෙන් ආරක්ෂා කර ගනු. එහි ඉන්ධන මිනිසුන් හා ගල්ය. එහි දරුණු කුරිරු මලක්වරුන් වෙති. අල්ලාහ් ඔවුනට අණ කරන දෑ සම්බන්ධයෙන් ඔවුහු ඔවුහු පිටු නොපාති. තවද ඔවුනට අණ කරනු ලබන දෑ ඔවුහු (එලෙසම) ඉටු කරති.

(7) අහෝ දේවත්වය ප්‍රතික්ෂේප කළවුනි! අද දින නුඹලා නිදහසට කරුණු නොදක්වනු. නියත වශයෙන්ම නුඹලාට ප්‍රතිඵල වශයෙන් පිරිනමනු ලබනුයේ නුඹලා සිදු කරමින් සිටි දෑය.

(8) අහෝ දේවත්වය විශ්වාස කළවුනි! අල්ලාහ් වෙත අවංක පශ්චාත්තාපයකින් පශ්චාත්තාප වී යොමු වනු. නුඹලාගේ පරමාධිපති නුඹලාගේ පාපයන් නුඹලාගෙන් පහ කොට ඒවාට පහළින් ගංගාවෝ ගලා බස්නා (ස්වර්ග) උයන් වලට නුඹලා ව ඇතුළත් කරන්නට පුළුවණ. එදින නබිවරයාට හා ඔහු සමග වූ විශ්වාස කළවුනට අල්ලාහ් අවමන් නොකරයි. ඔවුන්ගේ ආලෝකය ඔවුන් ඉදිරිපසින් ද ඔවුන්ගේ දකුණුපසින් ද දිව යයි. “අපගේ පරමාධිපතියාණනි! අපගේ ආලෝකය අපට පූර්ණවත් කර දෙනු මැනව! තවද අපහට සමාව දෙනු මැනව! නියත වශයෙන්ම නුඹ සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය.” යැයි ඔවුන් පවසනු ඇත.

(9) අහෝ නබිවරය! දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් හා කුහකයින් සමග නුඹ අරගල කරනු. තවද ඔවුනට එරෙහි ව දැඩි ව කටයුතු කරනු. තවද ඔවුන්ගේ නවාතැන නිරයයි. තවද යොමු වන ස්ථානය නපුරු විය.

(10) නූහ්ගේ බිරිය හා ලූත්ගේ බිරිය ප්‍රතික්ෂේප කළවුන් සඳහා උපමාවක් ලෙස අල්ලාහ් ඉදිරිපත් කළේය. ඔවුන් දෙදෙනා අපගේ දැහැමි ගැත්තන් අතරින් ගැත්තන් දෙදෙනෙකු යටතේ වූහ. නමුත් ඔවුන් දෙදෙනා මොවුන් (සැමියන්) දෙදෙනා ට ද්‍රෝහි වූවෝය. එවිට අල්ලාහ්ගෙන් වූ කිසිවකින් ඔවුන් දෙදෙනා වෙනුවෙන් කිසිදු සෙතක් සැලසිය නොහැකි විය. තවද නුඹලා පිවිසෙන්නන් සමග නිරයට පිවිසෙනු යැයි කියනු ලැබීය.

(11) තවද විශ්වාස කළවුන් සදහා උපමාවක් ලෙස අල්ලාහ් ෆිර්අවුන්ගේ බිරිය ඉදිරිපත් කළේය. “මාගේ පරමාධිපතියාණනි! නුඹ අබියස (ස්වර්ග) උයනේ නිවසක් මා වෙනුවෙන් ඉදි කර දෙනු මැනව! තවද ෆිර්අවුන්ගෙන් ද ඔහුගේ (නපුරු) ක්‍රියාවෙන් ද මා මුදවා ගනු මැනව! තවද අපරාධකාරී ජනයාගෙන් මා මුදවා ගනු මැනව!” යැයි ඇය පවසා සිටියාය.

(12) තවද තම පතිවත සුරක්ෂා කර ගත් ඉම්රාන්ගේ දියණිය වූ මර්යම් (ගේ උපමාව ද ගෙන හැර දක්වීය.) අපගේ ආත්මයෙන් ඒ වෙත අපි පිඹුවෙමු. තවද ඇයගේ පරමාධිපතිගේ වදන් හා ඔහුගේ ග්‍රන්ථ ඇය තහවුරු කළාය. තවද ඇය අවනතක වන්නන් අතරින් වූවාය.