81 - At-Takwir ()

|

(1) හිරු හකුළනු ලබන විට;

(2) තවද තරු කඩා හැලෙන විට;

(3) තවද කඳු විතැන් කරනු ලබන විට,

(4) තවද ගැබ්බර ඔටු දෙනුන් අතහැර දමනු ලබන විට,

(5) තවද වන සතුන් රැස් කරනු ලබන විට,

(6) තවද මුහුදු ගිනිබත් කරනු ලබන විට,

(7) තවද ආත්මාවෝ (එයට සමාන ආත්මාවන් සමඟ) සම්බන්ධ කරනු ලබන විට,

(8) තවද පණ පිටින් වළලනු ලැබූ ගැහැණු දරුවෝ විමසනු ලබන විට,

(9) තමන් කුමන පාපයක් නිසා ඝාතනය කරනු ලැබුවෝ දැයි? (විමසනු ලබන විට,)

(10) තවද (හොඳ නරක ලියවුණු) ලේඛන දිග හරිනු ලබන විට,

(11) තවද අහස නිරාවරණය කරනු ලබන විට,

(12) තවද නිරය මොලවනු ලබන විට,

(13) තවද ස්වර්ගය සමීප කරවනු ලබන විට,

(14) ආත්මය තමන් ඉදිරිපත් කර ඇති දෑ කුමක්දැයි දැන ගනු ඇත.

(15) එබැවින් මුළුමණින් ම සැඟවී පවතින ග්‍රහතාරකාව මත මම දිවුරමි.

(16) (එය) පෙනී නොපෙනී ගමන් කරන්නකි.

(17) රාත්‍රිය එය ගෙවී යන විට ඒ මත දිවුරමින්,

(18) පෙරවරුව එය උදා වී පවතින විට ඒ මත දිවුරමින්.

(19) නියත වශයෙන්ම මෙය ගෞරවනීය දූතයකුගේ වදන වේ.

(20) (ඔහු) බලවත් අයෙකි. අර්ෂ්හි හිමිකරු අබියස නිලයක් ඇත්තෙකි.

(21) තවද (මලක්වරුන් විසින්) යටහත් වනු ලබන්නෙකි. එහි විශ්වාසවන්ත අයෙකි.

(22) තවද (ජනයිනි) නුඹලාගේ සගයා (මුහම්මද්) උන්මත්තකයකු නොවේ.

(23) තවද සැබැවින්ම ඔහු ඔහු ව පැහැදිලි ක්‍ෂිතිජයෙහි දුටුවේය.

(24) තවද ඔහු (ගුප්ත දෑ) සඟවන මසුරකු නොවේ.

(25) තවද එය පලවා හරින ලද ෂෙයිතාන්ගේ වදනක් නොවේ.

(26) එබැවින් නුඹලා යන්නේ කොයිබට ද?

(27) එය ලෝවැසියනට මෙනෙහි කිරීමක් මිස නැත.

(28) නුඹලා අතරින් කවරෙක් සෘජු මාර්ගය පැතීමට අභිමත කරන්නේ ද එවැනි අයට ය.

(29) තවද ලෝ වැසියන්ගේ පරමාධිපති වන අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස, නුඹලා අභිමත නොකරන්නෙහුය.