82 - Al-Infitaar ()

|

(1) අහස පිපිරී වෙන් ව ගිය විට,

(2) තවද තාරුකා වැටී විසිරී ගිය විට,

(3) තවද සමුද්‍රයන් පුපුරා යන විට,

(4) තවද මිනී වළවල් (ඒ තුළ තැන්පත් කර ඇති මළ මිනී) පෙරළා දමනු ලබන විට,

(5) සෑම ආත්මයක් ම තමන් ඉදිරිපත් කළ හා පසුවට ඉතිරි කළ දෑ දැන ගනු ඇත.

(6) අහෝ මිනිස! ගෞරවනීය නුඹගේ පරමාධිපති පිළිබඳ ව නුඹ ව මුළා කළේ කුමක් ද?

(7) ඔහු නුඹ ව මවා පසුව නුඹව සකසා පසුව නුඹව සමානුපාතික කළේය.

(8) කවර රූපයකින් නුඹ ව හැඩ ගැස්වීමට ඔහු අභිමත කළේ ද ඒ අයුරින් (නුඹව මැව්වේය.)

(9) නො එසේය, නමුත් නුඹලා විනිශ්චය පිළිබඳ බොරු කරන්නෙහුය.

(10) නියත වශයෙන්ම නුඹලා මත (මලාඉකාවරුන් වන) ආරක්ෂකයින් සිටිති.

(11) (ඔවුහු) ගෞරවනීය ලේඛකයෝ වෙති.

(12) ඔවුහු නුඹලා කරන දෑ පිළිබඳ දන්නෝය.

(13) නියත වශයෙන්ම දැහැමියන් සුව සැපයෙහි ය.

(14) තවද නියත වශයෙන්ම අධර්මිෂ්ඨයින් නිරයෙහි ය.

(15) විනිශ්චය දිනයේ ඔවුහු එහි පිවිසෙනු ඇත.

(16) තවද ඔවුහු (නොපැමිණ) එයින් සැඟවී සිටින්නන් නොවෙති.

(17) විනිශ්ච දිනය කුමක් දැයි නුඹ ව දැනුවත් කළේ කුමක් ද?

(18) පසු ව ද විනිශ්ච දිනය කුමක් දැයි නුඹ ව දැනුවත් කළේ කුමක් ද?

(19) එදින ආත්මයක් තවත් ආත්මයකට කිසිවකින් බලය නොදරනු ඇත. එදින සියලු කරුණු අල්ලාහ් සතු ය.