(1) අරුණෝදය මත ද දිවුරමින්.
(2) දස රාත්‍රියන් මත ද දිවුරමින්.
(3) ඉරට්ටේ හා ඔත්තේ මත ද දිවුරමින්.
(4) රාත්‍රිය ගෙවී යන විට ඒ මත ද දිවුරමින්.
(5) නුවණ ඇති අයට එහි (ප්‍රමාණවත්) දිවුරුමක් ඇත් ද?
(6) ආද් ජනයා සමඟ නුඹගේ පරමාධිපති කවර අයුරින් කටයුතු කළේ දැයි නුඹ නොදුටුවෙහි ද?
(7) (ඔවුන්) කුලුනු වලින් යුක්ත ඉරම් නගරවාසීන් ය.
(8) ඒවා මෙන් කිසිවක් (වෙනත්) දේශයන්හි නිර්මාණය කරනු නොලැබීය.
(9) නිම්නයන්හි ගල් පර්වත කැනූ සමූද් ජනයා සමඟත්;
(10) රිටි සහිත ෆිර්අවුන් සමඟත් (නුඹගේ පරමාධිපති කවර අයුරින් කටයුතු කළේ දැයි නුඹ නොදුටුවෙහි ද?)
(11) ඔවුහු දේශයන්හි සීමා ව ඉක්මවා කටයුතු කළෝය.
(12) ඔවුහු එහි කලහකම් අධික ලෙස සිදු කළෝය.
(13) එහෙයින් නුඹගේ පරමාධිපති ඔවුන් මත දඬුවමේ කසය හෙළුවේය.
(14) සැබැවින්ම නුඹගේ පරමාධිපති රැක බලා සිටින්නාය.
(15) එනමුත් මිනිසා වූ කලී, ඔහුගේ පරමාධිපති ඔහු ව පරීක්ෂාවට ලක් කර, පසු ව ඔහුට උපකාර කර ඔහුට දායාදයන් පිරිනැමූ කල්හි “මාගේ පරමාධිපති මට උපකාර කළේය” යැයි ඔහු පවසයි.
(16) තවද ඔහු ව පරීක්ෂාවට ලක් කර පසු ව ඔහුගේ ජීවන සම්පත් ඔහුට සීමා කළ කල්හි එවිට ඔහු “මාගේ පරමාධිපති මට අවමන් කළේය” යැයි පවසයි.
(17) නොඑසේය, නුඹලා අනාථයාට උපකාර නොකරන්නෙහුය.
(18) තවද නුඹලා දුගියාට ආහාර සැපයීමට දිරි නොගන්වන්නෙහුය.
(19) තවද නුඹලා උරුමයන් (අයුතු ලෙස) මුළුමණින් ම අනුභව කරන්නෙහුය.
(20) එමෙන්ම අප්‍රමාණ ළැදියාවකින් ධනයට ඇලුම් කරන්නෙහුය.
(21) එසේ නොව, මහපොළොව කැබලි කැබලි වශයෙන් සුනු විසුනු කරනු ලැබූ කල්හි,
(22) තවද මලක්වරු පෙළින් පෙළට (පෙළ ගැසී) සිටියදී නුඹගේ පරමාධිපති පැමිණෙන්නේය.
(23) තවද එදින නිරය ගෙන එනු ලැබේ. එදින මිනිසා සිහිපත් කරයි. එම සිහිපත් කිරීම ඔහුට කෙසේ (නම් ඵලක්) වන්නේ ද?
(24) “අහෝ මම මාගේ ජීවිතය වෙනුවෙන් කල් ඇති ව (යහකම්) සිදු කරන්නට තිබුණා නොවේ” දැයි ඔහු පවසයි.
(25) එදින ඔහුගේ දඬුවම මෙන් කිසිවෙක් දඬුවම් නොකරයි.
(26) තවද ඔහුගේ බැඳීම මෙන් කිසිවෙක් (අපරාධකරුවන් ව) බැඳ නොතබයි.
(27) “අහෝ සැනසුමට පත් ආත්මය!
(28) නුඹ තෘප්තියට පත් වන්නෙකු ලෙස ද තෘප්තියට ලක් වූ අයෙකු ලෙස ද නුඹගේ පරමාධිපති වෙත හැරී යනු.
(29) එවිට නුඹ මාගේ ගැත්තන් අතරට යනු.
(30) තවද මාගේ ස්වර්ගයට පිවිසෙනු.